නිසැකවම ඔබ වම් පස ඇති ඡායාරූපය වැනි ඡායාරූප රාශියක් ගෙන ඇති. එම ඡායාරූපය ඉතා අඳුරු වන අතර, එතරම් ප්‍රයෝජනවත් නොවේ. ඔබට මූලික ඡායාරූප සංස්කාරකයක් (Photo Editor) වන මයික්‍රොසොෆ්ට් ෆොටෝ (Microsoft Photo) හෝ ඇඩෝබි ෆොටෝෂොප් (Adobe Photoshop) වැනි මෘදුකාංගයක් හෝ ස්මාර්ට් දුරකථන යෙදුම් සිය ගණනක් භාවිත කරමින් ඡායාරූපය ආලෝකමත් කිරීමට හා වර්ණ දීප්තිමත් කිරීමට උත්සහ කල හැකියි.
කෙසේ වෙතත්, ඔබ ගත් ඡායාරූපය JPG ආකෘතියෙන් පවතී නම්, ඔබට එය කිසිදාක දකුණු පස ඇති ඡායාරූපය මෙන් දීප්තිමත් හා වර්ණවත් පෙනුමක් ලබා දීමට නොහැකි වනු ඇත.
නමුත්, ඔබ DSLR කැමරාවක් භාවිත කළේ නම් සහ ඡායාරූපය RAW ආකෘතියෙන් සුරැකී තිබේ නම්, ඔබට බොහෝ දුරට එම ඡායාරූපය වැඩි දියුණු කර, එය දකුණු පස ඇති ඡායාරූපය මෙන් පෙනුමට ආසන්න කිරීමට හැකි වනු ඇත.
RAW format, DSLR photographers best friend
DSLR කැමරා භාවිතා කරන බොහෝ දෙනෙක් තමන් ගන්න ඡායාරූප RAW ආකාරයටද සටහන් කරගන්න ලෙස කැමරාව සීරුමාරු කරගෙන තිබෙන්නේ JPG ෆෝමැට් එකට වඩා RAW ෆෝමැට් එකෙන් සටහන් කරගන්නා ඡායාරූප අපි මුලින් කියූ ආකාරයට වඩාත් හොඳින් එඩිට් කර ගන්න පුලුවන් නිසා.
බොහොමයක් DSLR කැමරාවල ඡායාරූප RAW ෆෝමැට් එකෙන් හෝ RAW හා JPG යන ෆෝමැට් දෙකෙන්ම එකවර සටහන් වෙන විධියට සකසන්න පුලුවන්. මම දැන් වසර 5ක් තිස්සේම පාවිච්චි කරන entry level DSLR කැමරාව වන Canon EOS 2000D කැමරාවෙන් RAW වගේම JPG ෆෝමැට් දෙකෙන්ම ඡායාරූප එකවර සටහන් වෙන ආකාරයටයි මා සකසාගෙන තියෙන්නේ.
මෙහි වාසිය, හොඳින් ආලෝකමත්වූ, වැඩිය එඩිට් නොකර භාවිතා කරන්න පුලුවන් ඡායාරූප JPG format එකෙන් තියෙන නිසා කෙලින්ම භාවිතා කරන්න පුලුවන් වීම. RAW ෆෝමැට් එකෙන් විතරක් සේව් කරනවා නම්, හැම ඡායාරූපයක්ම RAW එඩිටර් මෘදුකාංගයකට දාලා JPG බවට හරවන තෙක් පාවිච්චි කරන්න බෑ. ඒක කාළය නාස්තියක්.
RAW+JPG ක්‍රමයේ අවාසියක් වෙන්නේ ඉක්මණට මෙමරි කාඩ් එක පිරෙන එක
JPG vs RAW Image Size Comparison
උඩින් තියෙන image properties වල එකම ඡායාරූපය JPG හා RAW ෆෝමැට් වලින් සටහන් වෙද්දී ඡායාරූප ගොනුවේ විශාලත්වය වෙනස් වන ආකාරය බලන්න පුලුවන්. මෙගාබයිට් 7.63කට සේව් වෙන JPG ෆෝමැට් එකේ ෆොටෝ එක කැනන් RAW ෆෝමැට් එකෙන් සේව් වෙනකොට මෙගාබයිට් 28ක් තරම් විශාලයි. එතකොට ෆෝමැට් දෙකෙන්ම එකම ඡායාරූපය සේව් වෙනකොට මෙගාබයිට් 35ක් වැය වෙනවා.
ඡායාරූප ඉතා විශාල ගණනක් එකම සැසියකදී ගන්නවා නම් විශාල ධාරිතාවයේ මෙමරි කාඩ් එකක් හරි අමතර මෙමරි කාඩ් දෙක තුනක් හරි ලඟ තියාගන්න වෙනවා.
What is RAW format?
RAW එක ගැන දන්නෙ නැති අයට කෙටියෙන් විස්තර කරනවා නම්, DSLR කැමරාවල සෙන්සරයෙන් එන දත්ත කිසිම වෙනසකට එනම් ප්‍රොසෙසින් එකකට බඳුන් නොකර ඒ විධියටම මෙමරි කාඩ් එකේ සටහන් වෙනකොට ඒ ෆොටෝ ගොනු RAW ෆෝමැට් එකෙන් සටහන් වෙනවා කියලා කියනවා.
RAW ෆෝමැට් කියලා එක ජාත්‍යන්තර සම්මතයක් නෑ. විවිධ කැමරා නිෂ්පාදකයින් විවිධ RAW ෆෝමැට් භාවිතා කරනවා. කැනන් කැමරා CR2 හා CR3 රෝ ෆෝමැට් භාවිතා කරනවා. නිකොන් කැමරා NEF ෆෝමැට් එක භාවිතා කරන අතර ෆුජීෆිල්ම් කැමරා RAF ෆෝමැට් එකත්, සෝනි ඇල්ෆා කැමරා ARW ෆෝමැට් එකෙනුත් රෝ ඡායාරූප සේව් කරනවා.
Why RAW format is important to photographers?
ජංගම දුරකථන හා කුඩා කැමරා හා ඇක්ෂන් කැමරා ඡායාරූප සටහන් කර ගන්නේ JPG ෆෝමැට් එකෙන්. මේ ෆෝමැට් එක ජාත්‍යන්තර සම්මතයකට අනුකූල එකක් වගේම ඉතාමත් හොඳ කොලිටියේ ඡායාරූප, අඩු මෙමරි ප්‍රමාණයක් භාවිතා කරලා සේව් කරගන්න පුලුවන් ෆෝමැට් එකක් නිසා කැමරා නිෂ්පාදකයින් අතර බොහොම ජනප්‍රියයි.
ඉස්සෙල්ලා මම පෙන්නපු සංසන්දනයේ 28 මෙගාබයිට ප්‍රමාණයක RAW ඡායාරූපයක් JPG ෆෝමැට් එකේදී මෙගාබයිට් 7කට අඩු කරගන්නේ, JPG format එකෙන් ඡායාරූපයක් සටහන් කරනකොට භාවිතා කරන, ඡායාරූපයේ කොලිටිය කිසිම අඩුවක් නොකර, ගොනුවේ විශාලත්වය අඩුකරන්න භාවිතා කරන image compression algorithm කියන තාක්ෂණයක් නිසා. JPG Image Compression Algorithm එක නිසා ඡායාරූපවල ගොනුවේ විශාලත්වය හතර ගුණයකින් විතර අඩුකර ගන්න පුලුවන්.
ඒත් JPG ෆෝමැට් එකේ ලොකුම අවාසිය, ඡායාරූපය ප්‍රමාණයෙන් කුඩා කරන කොම්ප්‍රෙෂන් ඇල්ගොරිතම් එකෙන්, ඡායාරූපයේ ආලෝක තත්වයන් ගැන හා වෙනත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඉවත් කරන නිසයි. මේ තොරතුරු එනම් ඩිජිටල් බයිට (digital bytes with image information) අඩුවීම නිසයි ඡායාරූපයේ ගොනුවේ ප්‍රමාණය කුඩා වෙන්නේ.
මේ වටිනා තොරතුරු ඡායාරූප ගොනුවෙන් ඉවත්වීම නිසා ඡායාරූපය එඩිට් කරනකොට නැතිනම් post processing වලදී, සීමාසහිත සීරුමාරු කිරීම් විතරක් කරන්න පුලුවන්.
අන්න ඒ නිසා තමයි මද ආලෝකයේ ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් ගන්න ඡායාරූප ෆොටෝ එඩිටින් ඇප් එකකින් එඩිට් කරලා ගොඩක් ලස්සනට ආලෝකමත් කරගන්න අමාරු. එහෙම ආලෝකමත් කරන්න ඕනෙ දත්ත, ඡායාරූප JPG ෆෝමැට් එකෙන් සේව් වෙනකොට මැකිලා යනවා.
RAW ෆෝමැට් වලින් ඡායාරූපය කිසිම කොම්ප්‍රෙෂන් එකකට බඳුන් නොකර, සෙන්සර් එකෙන් එන සියලුම දත්ත සටහන් කර ගන්නවා. එතකොට එඩිටින් වලදී JPG එකක් එඩිට් කරනවාට වඩා හොඳට ආලෝකමත් කරලා, ලස්සන කරලා ගන්න පුලුවන් අවස්ථාව ලැබෙනවා.
ඡායාරූපශිල්පීන් RAW ෆෝමැට් එකට ගොඩක් ඇලුම් කරන්නේ මේ නිසයි.
Viewing and editing RAW format images
RAW format එකේ ඡායාරූප සාමාන්‍යයෙන් වින්ඩෝස් හෝ ඇපල් OS වල එන ෆොටෝ විව් හා ෆොටෝ එඩිට් ඇප්වල බලන්නවත් එඩිට් කරන්න වත් බෑ. Windows 11 වල RAW ඡායාරූපයක thumbnail එක පෙන්වනවා, ඒත් ඡායාරූපය විවෘත කරලා බලන්න නම් RAW View / Edit ඇප් එකක් තියෙන්න ඕනෙ.
Adobe Camera RAW
Adobe Camera Raw යනු ඡායාරූප ශිල්පීන්ට ඩිජිටල් කැමරාවලින් ලබාගත්RAW රූප ගොනු (raw image files) සමඟ කෙලින්ම වැඩ කිරීමට ඉඩ සලසන, මුල් ඡායාරූපය කිසිම වෙනසකට බඳුන් නොකරන රූප සැකසුම් එන්ජිමක් (non-destructive image processing engine) සහිත රූප සැකසුම් ඇප් එකක්.
Raw File Processing - එහි ප්‍රධාන භාවිතය වන්නේ 'ඩිජිටල් නෙගටිව්' ලෙස හැඳින්වෙන RAW ගොනු තුළ අඩංගු නොසැකසූ, උසස් තත්ත්වයේ දත්ත (Image Data) තේරුම් ගෙන, එම ඡායාරූපය ඇඩෝබි ෆොටෝෂොප් (Adobe Photoshop) වැනි ප්‍රධාන සංස්කරණ මෘදුකාංගයක (Editing Program) විවෘත කිරීමට පෙර මූලික සංස්කරණ යෙදීමයි.
Non-Destructive Editing - ඇඩෝබි කැමරා රෝ භාවිතයෙන් සිදුකරන සියලුම ගැලපීම් (උදාහරණයක් ලෙස නිරාවරණය (Exposure), සුදු සමතුලිතතාවය (White Balance), තීව්‍රතාවය (Contrast) වැනි) වෙනම ගොනුවක් තුළ (හෝ අදාළ RAW ගොනුව තුළම) මෙටාදත්ත (Metadata) ලෙස සුරැකෙනු ඇත. මේ නිසා මුල් RAW image ගොනුව සම්පූර්ණයෙන්ම නොවෙනස්ව පවතිනවා.
ඉතා වටිනා හා දුර්ලභ මොහොතවල් හා යලින් ප්‍රතිනිර්මාණය කල නොහැකි අවස්තා (උදා: විවාහ උත්සවයක දර්ශණ, ක්‍රීඩා තරඟයක උණුසුම් මොහොතක්) ඡායාරූපයට නැගූ විට, එම මුල් ඡායාරූප ගොනුව කිසිම වෙනසක් නොකර සුරැකිව තබා ගැනීම ඡායාරූපකරණයේදි ඉතාමත් වැදගත්.
Core Editing Tools of Adobe Camera RAW
සුදු සමතුලිතතාවය (White Balance) සහ නිරාවරණය, දීප්තිමත් කොටස් දීප්තියෙන් අඩු කිරීම, අඳුරු කොටස් ආලෝකමත් කිරීම, වර්ණ නිසිපරිදි සීරුමාරු කිරීම
වර්ණ ශ්‍රේණිගත කිරීම (Color Grading) සහ Hue, Saturation and Light සීරුමාරු කිරීම
විස්තර (Detail) වෙනස් කිරීම් තියුණු කිරීම Noise Reduction
කෘත්‍රිම බුද්ධිය මඟින් බලගැන්වූ විශේෂාංග
කාච විකෘති නිවැරදි කිරීම් (Lens Corrections) සහ ජ්‍යාමිතික (Geometric) ගැලපීම්.
තෝරාගත් ප්‍රදේශීය (Local) වෙනස් කිරීම් සඳහා ආවරණ යෙදීම (Masking).
Raw Therapee
රෝ තෙරපී යන නාමයෙන් හඳුන්වන්නේ ඉහත විස්තර කල ඇඩෝබි කැමරා රෝ මෘදුකාංගයේ සියලුම පහසුකම් තිබෙන, නිතරම යාවත්කාලීන වන, ජනප්‍රිය කැමරා සන්නාමවල RAW ඡායාරූප ගොනු සියල්ලම පාහේ එඩිට් කල හැකි - සම්පූර්ණයෙන්ම නොමිලේ - ලැබෙන ෆ්‍රී සොෆ්ට්වෙයා එකකි.
රෝ තෙරපි (RawTherapee) නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් (Free and Open Source software).
මෙයින් අදහස් වන්නේ ඔබට මෙම මෘදුකාංගය කිසිදු මුදලක් නොගෙවා, ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකදී මෙන්ම ඕනෑම ආකාරයකට භාවිත කිරීමේ හැකියාව ඇති බවයි. කෙසේ වෙතත්, ඔබ අනිවාර්යයෙන්ම 'කොපිලෙෆ්ට්' (Copyleft) GPLv3 බලපත්‍රයේ (License) නියමයන්ට අනුකූල විය යුතුය.
අධික මිලක් ගෙවා ඇඩෝබි කැමරා රෝ පහසුකම ඇති ඇඩෝබී ලයිට්-රූම් වැනි මෘදුකාංගයක් ලබාගන්නවාට වඩා, විශේෂයෙන්ම විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයේ යෙදෙන ඔබට රෝ තෙරපි ඉතා වැදගත් වෙන්න පුලුවන්.
HOME PAGE - https://rawtherapee.com/
WINDOWS DOWNLOAD - https://rawtherapee.com/shared/builds/windows/RawTherapee_5.12_win64_release.exe
MAC OS DOWNLOAD - https://rawtherapee.com/shared/builds/mac/RawTherapee_macOS_15.4_Universal_5.12.zip
RAW THERAPEE USER INTERFACE
Comments
Post a Comment