යුරෝපීයයන්ට උඩරට යටත්කර ගන්නට බැරිවුන සැබෑ හේතුව සිංහලයාගේ දක්ෂ ගරිල්ලා සටන් ක්‍රම හා භූමියේ හා දේශගුණයේ වාසිය තමන් සතුකරගත් යුධ උපක්‍රමයි

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යුධ හමුදාවට අනුබද්ධ, තුන්වන ලංකා රෙජිමේන්තුවේ අණදෙන කපිතාන් (පසුව මේජර්) ආතර් ජොන්ස්ටන් රචනාකල "NARRATIVE OF THE OPERATIONS OF A DETACHMENT IN AN EXPEDITION TO CANDY (KANDY), IN THE ISLAND OF CEYLON IN 1804"  ඇසුරින් සකස් කරන ලදී.

ශ්‍රී වික්‍රම රාජසිංහගේ යුධ ධජය හෙවත් දවුන්දෙ කොඩිය

1803 සහ 1804 කාලයේ දියත් කරපු ප්‍රධාන ආක්‍රමණ වලදී බ්‍රිතාන්‍යයන්ට මහනුවර යටත් කරගන්නට හෝ, එක දිගට යුද්ධය පවත්වාගෙන යන්නට බැරි වුණා. ඒකට හේතු කිහිපයක් මුල්වුනා. 

උඩරට වැසියන්ගේ දක්ෂ ආරක්ෂක උපක්‍රම නිසා බ්‍රිතාන්‍ය හමුදාවලට සිදුවූ විනාශය, බ්‍රිතාන්‍යයන්ගේ සැපයුම් ජාල බිඳවැටීම හා ඒවා බිඳවැට්ටවීමට සිංහල සටන්කරුවන් භාවිතාකල උපක්‍රම, යුරෝපීයයන්ට ඉතා අහිතකර දේශගුණය වගේම බ්‍රිතාන්‍යයන්ගේ යුද සැලසුම්වල තිබුණු බරපතළ වැරදි හේතුවුනා.

(1) Effectiveness of Candian (Kandyan) Warfare | උඩරට සටන් ක්‍රමවල සාර්ථකත්වය

මේජර් ජොන්ස්ටන්ට අනුව, බ්‍රිතාන්‍යයන්ගේ පරාජයට ප්‍රධානම හේතුව වුණේ කඳුකරයේ භූගෝලීය පිහිටීමට උපරිමයෙන් ගැලපෙන විදිහේ සටන් ක්‍රමයකට උඩරට රජුට පක්ෂපාත සටන්කාමීන් භාවිතා කිරීමයි. යුරෝපීය හමුදාවලට මේ සටන් උපක්‍රම ජයගන්න කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැහැ.

(a) Irregular and Desultory Attacks-  රටාවක් නොමැතිව විටින් විට සිදුකල ප්‍රහාර සහ විසිරුණු ප්‍රහාර: යුරෝපීය හමුදාවන් එල්ල කරන සෘජු ප්‍රහාර හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටි උඩරැටියන්, ඒ වෙනුවට "පැහැදිලි රටාවක් නොමැති විසිරුණු සටන් ක්‍රමවේදයක්" අනුගමනය කළහ. එහිදී සතුරාගේ දෙපසින් සැඟවී ප්‍රහාර එල්ල කරමින් (flank attacks) ඔවුන්ව පීඩනයට පත් කිරීම, සැපයුම් මාර්ග අවහිර කිරීම සහ හමුදා කණ්ඩායම් අතර පවතින සන්නිවේදනය බිඳ දැමීම මගින් ඔවුහු සතුරා විඩාවට පත් කළහ.

(b) Exploitation of Retreat - පසුබැසීමෙන් ප්‍රයෝජන ගැනීම: උඩරැටියන්ගේ තවත් ප්‍රධාන උපක්‍රමයක් වූයේ තම රට ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන සතුරෙකුට සෘජුව පීඩනය එල්ල නොකිරීමයි. 

නවීන ආයුධවලින් සන්නද්ධ යුරෝපීය හමුදාවක් හා මුහුණට මුහුණ සටන්කොට ජයගත නොහැකි බව උඩරට සෙන්පතියන් හොඳින් අවබෝධකරගෙන සිටියා.

ඒ වෙනුවට මැලේරියාව, කහ උණ, පාචනය වැනි රෝගාබාධ සහ ආහාර හිඟය හේතුවෙන් සතුරාට කවදා හෝ පසුබැසීමට සිදුවන බව ඔවුහු දැන සිටියා. ඒ අනුව, රෝගීන් සහ තුවාලකරුවන් පිරිවරාගෙන, දැඩි තෙහෙට්ටුවෙන් හා ආහාර හිඟයෙන් පෙළෙමින්, බොහෝවිට පතොරම් පවා අවසන් වී සිටින අවස්ථාවකදී පමණක් සතුරාට ප්‍රහාර එල්ල කිරීමට උඩරට සෙනෙවියන් ක්‍රියාකල අතර එවැනි අවස්ථාවලදී මුලුවැර යොදා පහරදී පසුබසින හමුදා සුණුවිසුණු කර දැම්මා.

(c) Obstruction and Ambushes - මාර්ග අවහිර බාධක යෙදීම් සහ සැඟවී පහරදීම: කඳුකර හා වනාන්තරවලින් පිරි භූමිය තමන්ට වාසිදායක ලෙස යොදාගත් උඩරැටියන්, පටු මාර්ග හරහා විශාල ගස් කපා හෙළා එම මාවත් අවහිර කළා. උස් බිම් හා කඳු මුදුන්වල ස්ථානගත වූ ඔවුන්, පර්වත සහ ගස්වලට මුවා වී සතුරාට ප්‍රහාර එල්ල කළ අතර, එම ස්ථාන කරා යන මාවත් දන්නේ ස්වදේෂික සටන්කරුවන් පමණක් වීම හේතුවෙන් ඔවුන්ව එම ස්ථානවලින් පලවා හැරීම යුරෝපීය ආක්‍රමණිකයින්ට අතිශය දුෂ්කර කාර්යයක් වුනා.

කතෲ සටහන: මෙම උපක්‍රමය ගරිල්ලා සටන් ක්‍රමය ලෙස හැඳින්වෙන අතර ගරිල්ලා" (Guerrilla) යන පදය මුලින්ම නිර්මාණය වූයේ 19 වන සියවසේ මුල් භාගයේදී, එනම් පෙනින්සියුලා යුද්ධය (Peninsular War - 1808–1814) සමයේදීය. මෙහි පෙනින්සියුලාව යනු අර්ධද්වීපය වන අතර නැපෝලියන් අයිබීරියානු අර්ධද්වීපය ආක්‍රමණය කිරීම මේ යුද්ධයේ ආරම්භය වුනා. 

නැපෝලියන් බොනපාට්ගේ ප්‍රංශ හමුදාවන්ට එරෙහිව ස්පාඤ්ඤ සහ පෘතුගීසි සිවිල් සටන්කාමීන් විසින් දියත් කළ අසම්මත සටන් ක්‍රම හැඳින්වීමට මෙම වචනය මුලින්ම භාවිතාවුනා.

"ගරිල්ලා" යනු ස්පාඤ්ඤ භාෂාවෙන් "කුඩා යුද්ධය" (Little war) යන අරුත දෙන වචනයක්. එය "ගුවේරා" (Guerra - යුද්ධය) යන වචනයෙන් බිඳී  පැමිණි එකක්.  මෙම පදය 1809 දී පමණ ඉංග්‍රීසි භාෂාවට එක් වුනා. එය ප්‍රචලිත කිරීම සඳහා එවකට බ්‍රිතාන්‍ය හමුදාපතිවරයෙකු වූ ආතර් වෙලස්ලි (Arthur Wellesley) හෙවත් වෙලින්ටන් ආදිපාදවරයා (Duke of Wellington) මූලික වුනා. ඔහු තම වාර්තාවල මෙම අක්‍රමවත් සටන්කාමීන් හැඳින්වීමට මෙම වචනය යොදා ගත්තේය.

(d) Targeting Logistics - සැපයුම් ජාල ඉලක්ක කිරීම: පතරොම් සහ ආහාරපාන රැගෙන යන 'කූලීකරුවන්' හෙවත් බඩු උසුලන්නන් ස්වදේෂික සටන්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වුනා. අත්‍යවශ්‍ය සැපයුම් නොමැතිව විධිමත් සන්නද්ධ හමුදාවකට ඉදිරියට යා හැක්කේ ඉතා සුළු දුරක් පමණක් බව ඔවුන් හොඳින් වටහාගෙන සිටි උඩරට සෙන්පතියන්, සිය වෙඩික්කරුවන්, බඩු උසුලාගෙන ආක්‍රමණික හමුදාව පිටුපසින් යන කුලීකරුවන් ඉලක්කරමින් වෙඩිතබා මරා දැමීමට නියෝගදී තිබුණා.

එවැනි පහදීම්වලදී කුලීකරුවන් සිය බඩු බිමදමා පණ රැකගැනීමට පැන යන අතර මෙය දිගින් දිගටම සිදුවන විට සම්පූර්ණ සැපයුම් දාමය බිඳ වැටෙන බව උඩරට සෙන්පතීන් දැන සිටියා.

(2) Logistical Impossibility and Personnel Issues faced by the British Army | බ්‍රිතාන්‍ය හමුදාව මුහුණ දුන් සැපයුම් ජාල පවත්වා ගැනීමේ ගැටලු සහ පිරිස් බලය මදවීමේ ගැටලු

මේජර් ජොන්ස්ටන්ගේ විස්තරයට අනුව, බ්‍රිතාන්‍ය හමුදාවේ උඩරට ආක්‍රමණ මෙහෙයුම් අසාර්ථකවීමට තවත් හේතු ලෙස දක්වන්නේ කලින් විස්තරකල පරිදි කුලීකරුවන් අවශ්‍ය පමණින් සොයාගැනීමේ අපහසුව හා ඝණකැලෑ හා කඳුකර පෙදෙසක සිදුවන් සටන් සඳහා සැපයුම් ජලා බිඳ නොවැටී තබාගැනීමට නොහැකිවීමයි.

(a) Coolie Crisis and Supply Dependence - කූලී ශ්‍රමික අර්බුදය සහ සැපයුම් නොමැතිව ඉදිරියට යාමේ නොහැකියාව: ආක්‍රමණික හමුදාවක් යන ඕනෑම තැනක ආහාර පාන සහ ආයුධ රැගෙන යාම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එය ඕනෑම යුධ ව්‍යායාමයක සැලසුම් කරණයේදී ඉතා අත්‍යාවශ්‍ය කරුණක්.

බ්‍රිතාන්‍ය උඩරට ආක්‍රමණ වලදී අවම ගණනය කිරීම්වලට අනුව, කෙටි කාලයකට පවා එක් සොල්දාදුවෙකු වෙනුවෙන් බඩු උසුලන්නන් (කූලීවරුන්) සිව්දෙනෙකු බැගින් අවශ්‍ය වෙනවා. ඒ අනුව, සෙබළුන් 600කගෙන් යුත් බලඇණියක් සඳහා 2,400ක කුලීකරුවන් පිරිසක්ද පිටුපසින් රැගෙන ඉදිරියට ඇදීමට හමුදාවට සිදුවෙනවා. 

එතරම් කුලීකරුවන් සොයා ගැනීම ඉතාමත් අපහසු වුනා. එහෙත්, කුලීකරුවන් මත යැපීම කිසිසේත් පවත්වාගත නොහැකි තත්වයක් බව බ්‍රිතාන්‍ය සැලසුම්කරුවන් අමතක කර තිබුණා.

(b) Intelligence loss - තොරතුරු කාන්දු වීම: අවශ්‍ය ප්‍රමාණයට බඩු උසුලන්නන් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ අතර, ඒ නිසාම මෙහෙයුම් දියත් කිරීම විශාල වශයෙන් ප්‍රමාද වුනා. මෙම ප්‍රමාදයන් හේතුවෙන්, බ්‍රිතාන්‍යයන් සූදානම් වන ආක්‍රමණය පිළිබඳව උඩරට රජුට සිය ඔත්තුකරුවන් හරහා කලින්ම තොරතුරු වාර්තා වූ අතර එමඟින් ඔවුන්ට සන්නද්ධ වීමට අවශ්‍ය කාලය ලැබුණා.

(c) Desertion and Vulnerability of Coolies - බඩු උසුලන්නන් නිතරම පලායාම සහ ඔවුන්ගේ අනාරක්ෂිතභාවය: උඩරට සටන් සඳහා එක්වීමට බඩු උසුලන්නන් තුළ තිබුණේ දැඩි අකමැත්තකි. ඊට ප්‍රධානතම හේතුව වූයේ සොල්දාදුවන්ට වඩා ඔවුන්ගේ රාජකාරිය අවදානම් සහගත වීමත්, බ්‍රිතාන්‍ය නිළධාරීන් ඔවුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය හෝ වෙනත් කිසි අව්ශ්‍යතාවයක් ගැන නොසලකා හැරීමත්ය. 

එමෙන්ම ඔවුන් උඩරට සේනාවන්ට හසු වුවහොත් අනිවාර්‍යයෙන් රජුට ද්‍රෝහීමේ වරදට වේදනාත්මක මරාදැමීමක් නියත බවද ඔවුන් දනී. මේ නිසා අවස්ථාවක් ලැබුණු සැණින් මොවුන් පලා ගියහ. විශේෂයෙන්ම කපොලු වැනි පටු මාර්ගවලදී උඩරැටියන්ගේ වෙඩි ප්‍රහාර එල්ල වන විට ඔවුන් තම බඩු බාහිරාදිය අතහැර පලා ගිය අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවේ ගමන ඇනහිට රෝගීන්, තුවාලකරුවන් සහ සියලුම සැපයුම් සතුරාට ගොදුරු වීමේ දැඩි අවදානමකට ලක් විය.

(d) Logistical Failures of 1804 - ආක්‍රමණයේ සැපයුම් ජාල බිඳවැටීම: මේජර් ජොන්ස්ටන් විස්තර කරන අන්දමට ඔහු සහභාගීවූ 1804 මෙහෙයුමේදී බඩු උසුලන්නන්ගේ හිඟය නිසා බඩු ඇදීමට ගොනුන් යොදා ගැනීමට සිදු වූ අතර, එය දැඩි අවුල් සහගත තත්ත්වයකට සහ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඉතාමත් ලැජ්ජා සහගත අවස්ථාවලට මුහුණදෙන්නට සිදුවුනා.

විශේෂයෙන්ම වෙඩි හුවමාරු අවස්ථාවලදී බියට පත් වූ ගොනුන් කුලප්පු වී හිස් ලූ ලූ අත දිව යාම විශාල ගැටලුවක් වුනා. එමෙන්ම බඩු උසුලන්නන් විඩාපත් වීම හෝ පලා යාමත් නිසා, තුවාලකරුවන් සහ රෝගීන් තාවකාලික මැසි  මත තබාගෙන යාමට සිදුවුනා. මේ හේතුවෙන් මුළු පසුබැසීමේ ක්‍රියාවලියම අඩාල වී හමුදාව දැඩි අසීරුතාවයට පත්වුනා.

(3) Devastating Effects of Climate and Disease | දේශගුණය සහ රෝග පීඩාවලින් එල්ල වූ විනාශකාරී බලපෑම

ස්වභාවික පරිසරය උඩරැටියන්ට සහාය වූ 'බලගතු සහායක හමුදාවක්' ලෙස ක්‍රියාකරමින් යුරෝපීය හමුදා දැඩිලෙස අඩපණ කරන්නට වුනා.

Isolation and High Mortality - හුදෙකලා බව සහ ඉහළ මරණ අනුපාතය:  ජනශුන්‍ය වනගත ප්‍රදේශවල පැවති රුදුරු දේශගුණය ආක්‍රමණිකයන්ගේ ශරීර සෞඛ්‍යයට කිසිසේත්ම ඔරොත්තු දුන්නේ නැත. එමෙන්ම කිසිදු ආකාරයකින් උපකාරක බළඇණියකට, වෙද හා හෙද කණ්ඩායම්වලට ලඟා නොවිය හැකි ලෙස කොටුවී, හුදෙකලා වී සිටීමටද බොහෝ සේනාංකවලට සිදුවුනා.

මෙයට කදිම උදාහරණයක් වන්නේ 1803 වසරේදී බ්‍රිතාන්‍ය 65 වන රෙජිමේන්තුවේ 'ග්‍රෙනේඩියර්' බලඇණියට මුහුණ දීමට සිදු වූ ඉරණමයි. දේශගුණික බලපෑම හේතුවෙන් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම බලඇණියම පාහේ විනාශ වී ගියේය.

Monsoon Rains - මෝසම් වැසි: සාමාන්‍යයෙන් මාර්තු මැද භාගයේදී ආරම්භ වන මෝසම් වැසි හේතුවෙන් මුහුදුබඩ ප්‍රදේශවල සිට සැපයුම් රැගෙන ඒම ප්‍රායෝගිකව කළ නොහැකි මට්ටමට පත් වුනා. මේ සමඟ ගංගා ඇළ දොළ ඉතා වේගයෙන් පිටාර ගැලීම නිසා අත්‍යවශ්‍ය සැපයුම් හා රෝගීන් ගෙනයාමට සිදුකල යුතු ගංගා තරණය කිරීම් පවා නතර වූ අතර, සේනාංක හුදෙකලා වීමටද එය හේතු වුනා. 1803 වසරේදී මේජර් ඩේවි සහ 1804 දී මේජර් ජොන්ස්ටන් ඇතුළු පිරිස මුහුණ දුන් අමිහිරි අත්දැකීම් මෙයට හොඳම උදාහරණ ලෙස දක්වන්න පුලුවන්.

(4) Campaign Failures and Errors - බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරීන්ගේ සටන් උපායමාර්ගික වැරදි

බ්‍රිතාන්‍යයන් ගත් උත්සාහයන් අඩාල වීමට ඔවුන්ගේ අපරණිත දේශපාලනික තීරණ මෙන්ම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ බරපතල වැරදි සෘජුවම බලපෑ බව පැවසිය යුතුම යයි මේජර් ජොන්ස්ටන් සඳහන් කර තිබෙනවා.

1803දී පසුබසින බ්‍රිතාන්‍ය සේනාංකයක සමූලඝාතනය වීම: 1803 වසරේදී දරුණු සටනකින් පසු සෙංකඩගල නුවර සීමාවට ඇතුලුවූ බ්‍රිතාන්‍යයන්ට උඩරැටි රාජ්‍ය පාක්ෂිකයින් නගරය අතහැරදමා පලාගොස් ඇති බව පෙනුනා.

ඒ අනුව බ්‍රිතාන්‍යයන් ඉතා පහසුවෙන් සෙංකඩගල පාලනය සියතට ගත්තද, එය උඩරැටියන් සෘජු සටන් මඟහරිමින් අනුගමනය කළ සූක්ෂ්ම යුධෝපායක් පමණක් බව අවබෝධ කරගන්නට බ්‍රිතාන්‍ය සෙනෙවියන්ට නොහැකි වුනා. 

උඩ රැටියන් බලා පොරොත්තුවෙන් සූදානම්ව සිටි ආකාරයටම කල් යත්ම දේශගුණික බලපෑමෙන් බ්‍රිතාන්‍ය සේනාංක දුර්වල වූ අතර,  බ්‍රිතාන්‍ය සේනාංකය දැඩි ලෙස දුර්වලවී ඇති බව ඔත්තුකරුවන් මාර්ගයෙන් දැනගත් උඩරට සෙනෙවියන් ප්‍රතිප්‍රහාර දෙමින් ඉදිරියට එන්නට වුනා.

පසුව නුවර නගරය භාරව සිටි මේජර් ඩේවි ආරක්ෂිතව පසුබැසීමේ කොන්දේසිය මත යටත් වුනා. නමුත් උඩරැටියන් එම ගිවිසුම් කඩ කරමින් බ්‍රිතාන්‍යයන් සහාය දුන් මුතුසාමි රජුව මරා දැමූ අතර, පසුව මුළු යුරෝපීය බලඇණියම කෲර ලෙස සමූලඝාතනය කලා. මෙම සිදුවීම බ්‍රිතාන්‍ය හමුදාව දැඩි ලෙස අධෛර්යයට පත් කලා.

1804 යුධ මෙහෙයුමේදී සම්බන්ධීකරණ බිඳවැටීම: සේනාංක හයක සහභාගීත්වයෙන් 1804 දී දියත් කිරීමට සැලසුම් කළ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුම, බඩු උසුලන්නන්ගේ හිඟය නිසා ආරම්භයටත් පෙර අත්හැර දැමීමට සිදු විය. එහෙත් නියෝග වැරදියට වටහා ගැනීම නිසා මේජර් ජොන්ස්ටන්ගේ බලඇණිය පමණක් අනෙක් සේනාංක තමන් හා එක්වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මහනුවර දෙසට ගමන් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ කුඩා බලඇණිය හුදෙකලා වූ අතර, හමුදා හයකටම මුහුණ දීමට සන්නද්ධව සිටි සමස්ත උඩරට සේනාවටම තනිව මුහුණ දීමට ඔහුට සිදුවීමේ ඔහුගේ බළඇණිය සම්පූර්ණයෙන්ම විනාශවුනා.

රජුගේ තදබල උදහසට ලක්වීම: බ්‍රිතාන්‍යයන් නුවරින් පසුබසින විට බ්‍රිතාන්‍යයන් විසින් රජුගේ ප්‍රියතම මාලිගා වූ කුණ්ඩසාලේ මාලිගය සහ පාන්ගරම් අසල මාලිගය ගිනිබත් කිරීමත් සමඟ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දැඩි ලෙස කෝපයට පත් විය. මේ නිසා රජුගේ සේනාවන් මෙම හුදෙකලා වූ බ්‍රිතාන්‍ය බලඇණිය විනාශ කිරීමේ අරමුණින් ඉතා ආවේගශීලීව සටනට අවතීර්ණ වුනා.

මෙම කරුණු සියල්ලේ එකතුව නිසා පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන සියලු ආක්‍රමණිකයන් පරාජය කරමින් වසර තුන්සියයක් පුරා රට අභ්‍යන්තරයේ බලය රඳවා ගැනීමට උඩරැටියෝ සමත් වුනා. 

Comments