Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 14 April 2011

ඕලන්දයේ විද්‍යාගරයක බිහිවෙන අනාගතයේ ගොවිපොල

හිරු එළිය නොමැතිව රතු-නිළ් ආලෝකයේ වැවෙන මාළුමිරිස් පැළ
අදවන විට ලෝකය උග්‍ර ආහාර අර්බුදයක එලිපත්තට පිවිසෙමින් තිබේ. ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් දැනටමත් මන්දපෝෂණයෙන් පෙලෙන අතර කාළගුණික විපර්යාස හා ස්වභාවික ව්‍යසනයන් නිසා පලදාව අඩුවෙමින් පවතින අතර පෙර නොවූ විරූ ලෙස ආහාරද්‍රව්‍ය වල මිලගණන් ඉහල යමින් පවතී. මේ අතරම ලොව බොහෝ රටවල් නියඟයෙන් පීඩාවිඳින අතර තවත් රටවල්වල නිරන්තර ජලගැලීම් නිසා වගාවන් විනාශවී යයි. අද බිලියන 6.8වන ලෝක ජනගහනය 2050වන විට බිලියන 9 දක්වා ඉහල යාහැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන්බලා තිබේ. මේ වැඩිවන ජනගහනයට, ජලය හිඟ, පලදාව අඩු වගාබිම් වලින් ආහාර සපයන්නේ කෙසේද? වැඩිවන ජනගහනය සඳහා ආහාර සැපයිමට තවතවත් වනාන්තර කපාදමමින් වගාබිම් පුලුල් කළයුතු අතර පරිසරයට විනාශකාරී කෘත්‍රිම පොහොර හා රසායණික වල්නාශක හා කෘමිණාශක භාවිතය ඉහල දැමිය යුතු වෙනවා. ඒ වගේම ජල හිඟය විසඳුමක් නොමැති ගැටලුවක්.ඉතාම නුදුරු අනාගතයේදී ලෝකයේ බොහෝ රටවල්වලට මුහුණපෑමට සිදුවන බරපතල ගැටලුවකි මෙය.

මේ ගැටලුවට පිලියමක් තමන් සොයාගෙන ඇතිබව ඕලන්දයේ පෞද්ගලික පර්යේශණ ආයතනයක් වන ප්ලාන්ට්ලැබ් ආයතනය පවසයි.

"අප ජීවත් වන ලෝකය ආරක්ශාකර ගැනීමටත්, වැඩිවන ජනගහනයට සෑහෙන ලෙස ආහාර නිශ්පාදනය කරගැනීමටත් අපට අපගේ වගාක්‍රම වෙනස්කරගන්නට වෙනවා..."ප්ලාන්ට් ලැබ් ආයතනයේ ප්‍රධාන පර්යේශකයෙකු වන ගර්ට්ජන් මීවුස් පවසයි.

ගර්ට්ජන් හා තවත් ඕලන්ද ජීව ඉන්ජිනේරුවන් දෙදෙනෙකු අප සැම අසා ඇති "ග්‍රීන් හවුස්" නම් වගා සංකල්පය තවත් එක් පියවරක් ඉදිරියට ගෙනගොස් තිබෙනවා. ඔවුන්ගේ විද්‍යාගාරය තුල සාමාන්‍ය සූර්යාලෝකයද නොමැතිව සරුසාරව වැවෙන වගාබිමක් නිර්මාණය වී තිබෙනවා.

Plant Lab ගෘහස්ථ පැල තවානක්
 මේ වගාබිම ආලෝකමත් වන්නේ ඉතා කාර්යක්ශම LED විදුලි බුබුලුවලින්. LED විදුලිබුබුලක් පැය 50,000ක් එනම් නොකඩවා වසර 5ක් එකදිගට දැල්විය හැකිවන අතර CFL බල්බවලට වඩා බලශක්තිය ඉතිරිකරනවා. එමෙන්ම මෙම විදුලිබුබුලු වලින් නිකුත්වන්නේ සාමාන්‍ය සුදු ආලෝකය නොව පැලෑටි වර්ධනය සඳහා අවශ්‍ය රතු හා නිල් ආලෝකය පමනයි. රතු හා නිල් ආලෝකය පමණක් නිකුත්කරන LED බල්බ සුදු ආලෝකය නිකුත් කරන LED බල්බ වලටත් වඩා බලශක්තිය ඉතුරු කරනවා.

"ඇත්තටම පැලෑටි වැවීමට හිරු එලිය අවශ්‍ය නෑ. පැලෑටි වැවීමට අවශ්‍යවන්නේ නිල් හා රතු තරංග ආයාම වල ආලෝකය පමණයි. ඒ විතරක් නොවෙයි සූර්‍යාලෝකය වැඩිපුර ලැබීම පැලෑටිවල වර්ධනය බාල කරනවා. අපේ ගෘහස්ථ ගොවිපොලේ ආලෝකය ලබාදෙන්නේ පැලෑටි වලට අවශ්‍ය නියම ප්‍රමාණයට පමනයි..' ප්ලාන්ට් ලැබ් ප්‍රධාන ජීව ඉන්ජිනේරු ගර්ට්ජන් මිවුස් පවසනවා.

ජීව ඉංජිනේරු ගර්ජන්ට් මීවුස්
ප්ලාන්ට් ලැබ් විද්‍යාගාරයේ එක් ගෘහස්ථ වගාබිමක මාළුමිරිස්, ස්ට්‍රෝබෙරි හා කෙසෙල් ගස් නිල් හා රතු ආලෝකයෙන් නැහැවෙමින් සරුසාරව වැඩී ඇති අතර පලෑටි වවා ඇති තැටිවලට ඉතා ක්‍රමාණුකූලව හෙමින් ජලය කාන්දුවීමට සකස්කොට තිබෙනවා. මෙහි උශ්ණත්වය සෑම විටම නොවෙනස්ව පවතින ලෙස පරිගණකයක් මගින් පාලනය කරන අතර දිවා රාත්‍රී චක්‍රය ඇඟවීම සඳහා පැය 10-12 අතර කාළයක් බල්බ නිවී පැලෑටි අඳුරේ තැබෙනවා.

ජලය, නිල්/රතු ආලෝකය හා උශ්ණත්වය නියමාකාරයට පාළණය කලවිට බෝග වර්ග ඉතාම කාර්යක්ශම ලෙස වැවෙනවා. මේ නිසා පැලෑටිවලට මල්, ගෙඩි, කරල් හා අල වැනි මිනිසාට ප්‍රයෝජනවත් කොටස් වර්ධනය කිරීම ඉක්මණට කරන්නට පුලුවන් හරියටම බ්‍රොයිලර් කුකුල් ගොවිපොලවල් වල නියමාකාරයට කළමණාකරණය කල බ්‍රොයිලර් කුකුලන් දින 45 ඇතුලත නියම බරට වැඩෙනවා වගේ. දැනට ගොවීන් බෝග වගාකරන ක්‍රම ඉස්සර බ්‍රොයිලර් ක්‍රමය ප්‍රචලිතවීමට පෙර කුකුලන් ඇති කිරීම වගේ. පැලෑටි වල ශක්තිය නිරපරාදේ පරිසරයට ඔරොත්තු දෙන්නට වැයවී ප්‍රයෝජනවත් අල, කරල්, ගෙඩි නිශ්පාදනය අඩුවෙනවා. ගෘහස්ථවගාබිම් වල මේ සියලු සාධක හොඳින් පාලණය වන නිසා පැලෑටි කාර්යක්ශමව වැඩී පළදාව ඉක්මණින් ලැබෙනවා.

ප්ලාන්ට් ලැබ් ගෘහස්ථ වගාබිම්වල බෝග සඳහා ජලය ඉතා අඩුවෙන් වැය වෙනවා. සාමාන්‍යයෙන් බෝගයක් සඳහා අවශ්‍යකරන ජල ප්‍රමාණයට වඩා 75% අඩු ජලප්‍රමාණයකින් ඔවුන් වැඩි පලදාවක් ලබාගෙන තිබෙනවා.උදාහරණයක් විධියට ඉතා හොඳින් ජල කළමණාකරණයක් තිබෙන ඊශ්‍රායලයේ වගාබිමක තක්කාලි කිලෝවක් වැවීම සඳහා ලීටර් 60ක පමණ ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහෙත් ප්ලාන්ට් ලැබ් වගාබිමේ තක්කාලි කිලෝවක පලදාවක් ලබාගැනීමට වැය වන්නේ ලීටර් 15ක් පමණයි.

Related Posts Plugin for WordPress, Blogger...