Related Posts Plugin for WordPress, Blogger...

Friday, 28 August 2015

වසර 2600ක් පැරණි ඊජිප්තු මමියකින් සොයාගැනුනු විශ්මිත විකලාංග-වෛද්‍ය තාක්ශණය | Amazing orthopedic technology found in 2600 year old Egyptian mummy


1971දී කැලිෆෝනියාවේ රෝසිකෘෂන් ඊජිප්තු කෞතුකාගාරයට ගලින් කරනලද පැරණි ඊජිප්තු මිනී දෙනක් (sarcophagus) හෙවත් මමිකෘත කරනලද මිනී සුරක්ශිතව තබන්නට නිර්මාණය කරන ශෛලමය මිනී පෙට්ටියක් ලැබුණා. මෙය ලැබෙන විට, එයතුල මමියක් තිබෙන බව එය එවා තිබූ ඊජිප්තු රජය හෝ රෝසිකෘෂන් කෞතුකාගාරයේ අධිපතීන් දැනගෙන සිටියේ නෑ. කෞතුකාගාරයට එය ලැබුණු පසු සිදුකරන ලද පරීක්ශාකිරීම් වලදී එය තුල මමියක් තිබෙන බව සොයාගත් අතර මෙම මමියේ කාල නිර්ණ හා වෙනත් රසායණික පරීක්ශණ වලදී එය වසර 2600ක් පැරණි බවත්, එම මමීකෘත කොට තිබූ පිලිවෙල අනුව එය ඊජිප්තු සමාජයේ උසස් යැයි සම්මත පූජක කුළයේ යුසර්මොන්ටු නම් පූජකයාගේ මමිය බව තහවුරු වුනා.

යුසර්මොන්ටු නම් පැරණි ඊජිප්තු පූජකයාගේ මමීකෘත සිරුර
කාළ්ය මෙසේ ගෙවී ගිය අතර 1995 අමෙරිකාවේ යූටා ප්‍රාන්තයේ බ්‍රිඝම් යන්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විල්ෆ්‍රඩ් ග්‍රෙග්, රෝසිකෲෂන් කෞතුකාගාරයේ පැවැත්වීමට කටයුතු යොදාගෙන සිටි දේශණයකට අවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා යුසර්මොන්ටුගේ මමිය X-රේ පරීක්ශාවකට බඳුන්කලා.

මෙම X-රේ ඡායාරූප පරීක්ශාකල මහාචාර්ය ග්‍රෙග් ඇතුලු පිරිසට සිය දෙනෙත් අදහා ගන්නට බැරිවුනු දසුනක් මමියේ දණහිස ප්‍රදේශයෙන් ගන්නා ලද X-රේ ඡායාරූපවල සටහන්වී තිබුණා. එනම් එක් දණහිසක් හරහා ගමන් කොට තිබූ යකඩ ඇණයක්. මෙය කෙතරම් අභව්‍යද යත් මහාචාර්ය වරයා ඇතුලු පිරිස එය මෑත කාළයේදී දණහිසින් කැඩීගිය කකුල නැවැත සවිකිරීම සඳහා යොදන්නට ඇති බව නිගමණය කලා.


කෙසේවෙතත් මෙම සිද්ධිය, පෞරාණික ඊජිප්තු සිශ්ඨාචාරය පිලිබඳව පර්යේෂණ කරන්නන් අතර යම් ආන්දෝලනයක් ඇති කල අතර, මෙම ඇණය කුමන කලකදී දණහිසට ඇතුලු කරන ලද්දක්ද යන්න සොයාබැලීම සඳහා මහාචාර්ය ග්‍රෙග් සමගින් විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචර්ඩ් ජැක්සන් හා විකිරණ විශේෂඥ ආචාර්ය බෲස් මැක්ලිෆ් එකතුවුනා.

මමියේ දණහිසේ විදින ලද කුඩා සිදුරක් මගින් කැමරාවක් ඇතුලුකොට පරීක්ශා කරන ලද අතර ඇණයේ සාම්පල හා එම අස්ථිවල සාම්පලද රැගෙන පරීක්ශා කලා. මෙම පරීක්ශණ වලදී ලැබුණු එක් නිගමණයක් වූයේ මෙම ඇණය නූතන එකක් නොව ඉතා පැරණි එකක් බවයි. එහෙත් එය මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටියදී ඇතුලු කරන ලද්දක් නොව, ඔහු මියගිය පසු මමිකෘත ක්‍රීඉමේදී සිදුවූ යම් අස්ථි බිඳීයාමකින් පසු මමීකෘත කරන්වුන් විසින් මීට වසර 2600කට පමණ පෙර ඇතුලු කරන ලද එකක් බවට නිගමණය වුනා.

ඒ අනුව මොවුන්ට ඇතිවූ පලමු ගැටලුව නම්, මියගිය පුද්ගලයෙකුගේ කැඩුණු අස්ථියක් සකස් කිරීමට මෙතරම් වෙහෙසවී, ශල්‍යකර්මයක් කොට ඇණයක් ඇතුලු කරන ලදදේ ඇයි යන්නයි. එයට ඊජිතු සිශ්ඨාචාරය පිලිබඳ විශේෂඥයින් ලබාදුන් පිලිතුර වන්නේ ඊජිප්තු වැසියන් මරණින් මතු ජීවිතයක් පිලිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කල බවත්, මියගිය පසු ඉතා සීරුවෙන් මමීකෘත කිරීමේ අරමුණ මිය ගිය තැනැත්තා මලවුන්ගේ ලෝකයට යනවිට ඔහුගේ සිරුර අංගසම්පූර්ණව තිබිය යුතු බවත්ය. ඒ අනුව, මෙම උසස් කුළයේ ඊජිතු ප්‍රභූවරයා මියගිය පසු වුවත් ජීවත්ව සිටියදී මෙන්ම ඉතා සීරුවෙන් ඔහුගේ බිඳීගිය දණහිස, එකල තිබූ හොඳම අස්ථි නැවත සකස් කිරීමේ තාක්ශණය යොදා නැවත සකස්කරන්නට වූ බව අනුමාන කෙරෙනවා.

මෙම ඇණයේ ස්වභාවය හා එය නිර්මාණය කොට ඇති ආකාරය පරීක්ශාකල නූතන විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්, එය නූතනයේ බිඳීගිය අස්ථි නැවත සවීකරීම සඳහා යොදාගන්නා යකඩ ඇණවලට ඉතාමත්ම සමාන බව පවසනවා. ඇණයෙ සියුම් කෙළවර දඟර ආකාරයට (cork-screw) නිර්මාණය කොට ඇත්තේ අස්ථිය තුල හොඳින් සවිවීම සඳහායි. එමෙන්ම, මෙම ඇණයේ අනෙක් කෙළවරෙහි තුන් පැත්තකට විහිදෙන කුඩා අඬු නිර්මාණය කොට තිබුණා. නූතනයේ භාවිතා කරන අස්ථි සවිකරණ ඇණද එක් කෙළවරක් අස්ථියේ හොඳින් සිරවීම සඳහා දඟරාකාරයටද, අනෙක් කෙළවරින්, ඇවිදීමේදී ඇණය එහා මෙහා යෑම වැලැක්වීමට කුඩා අඬුමෙන් විහිදී යන ආකාරයට නිර්මාණය කොට තිබෙනවා.

මීට වසර 2600කට පෙර විසූ ඊජිප්තු සිශ්ඨාචාරය විසින් නිර්මාණය කරන ලද්දක් නූතන නිර්මාණයකට මෙතරන්ම සමානවීමෙන් එකල වෛද්‍ය තාක්ශණය මොනතරම් දියුණුවක් ලබාති බෙන්නට ඇතිද?

විවෘත මනසකින් මේ අපූර්ව සොයාගැනීම පිලිබඳව විචාරණයක යෙදෙන ඊජිප්තු සිශ්ඨාචාරය පිලිබඳව විශේෂඥයින්, මෙම මමියට සවිකරණ ලද ඇණය, එකල කැඩුම් බිඳුම් ශෛල්‍ය කර්ම සඳහා සාමාන්‍යයෙන් භාවිතාකරන ඇණයක් විය හැකි බවට අනුමාන කරනවා. මියගිය පුද්ගලයාගේ මමිය ජීවතුන් අතර සිටි ආකාරයට හැකිතාක් සමානව සැකසිය යුතු නිසා, එය මිමිකෘත කලවුන්, ශල්‍යකර්ම සඳහා යොදාගන්නා ඇණයක්ම යොදාගෙන මමියේ දණහිස සකසන්නට ඇති. ඒ අනුව, මීට වසර 2600කට පෙර ඉතා දියුණු විද්‍ය හා ශල්‍යකර්ම විද්‍යාවක් ඊජිප්තු සිශ්ඨාචාරයට තිබෙන්නට ඇති බව ඔවුන් පවසනවා.


Tuesday, 25 August 2015

තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දැවැන්ත යුධ රථ ධාවනය කල අතිශය පෞරාණික දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණාද??

රුසියාවේ මොස්කව් නුවර ස්වභාවික විද්‍යා පර්යේෂණ ආයතනයේ භූවිද්‍යාඥයෙකු වන ආචාර්ය ඇලෙක්සැන්ඩර් කොයිටිපින් හා තවත් පර්යේෂණ සහයකයින් තිදෙනෙකු තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දක්නට ලැබෙන අත්භූත භුසටහන් පිලිබඳව කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව ඒවා මීට වසර මිලියන 12/14 කාලයකට පෙර පෘථිවියේ විසූ (හෝ පිටසක්වලින් මෙහි පැමිණ පදිංචිවූ) අතිශය දියුණු සිශ්ඨාචාරයක වැසියන් රෝද හෝ කැටපිලර් ට්‍රැක් වැනි උපක්‍රමයක් මතින් ධාවනයවූ, විශාල බරකින් යුතු, යුධ ටැංකි වැනි රථ ධාවනයෙන් ඇතිවූ බවට කල්පිතයක් ගොඩනගනවා.

තෙත්වූ හෝ මඩවූ යමහල්-අලු (volcanic ash) මතින් මෙම රථ ගමන් කිරීම නිසා මේ සටහන් ඇතිවී ඇති බව ආචාර්ය ඇලෙක්සැන්ඩර් පවසනවා. මෙම සිදුවීම වසර මිලියන 12/14කට පෙර සිදුවූ නිසා එය මානව සිෂ්ඨාචාරයක් විය නොහැකි බවත් ඈත අතීතයේ පෘථිවියේ හටගෙන දියුණුවේ හිණිපෙත්තට ගියත් වෙනත් ජීවී කොට්ඨාශයක් හෝ පෘථිවියට පැමිණ සැරිසැරූ පිටසක්වල ජීවීන් විශේෂයක් මෙම සටහන් තබන්නට ඇතැයි ඔහු අනුමාන කරනවා.

ආචාර්ය ඇලෙක්සැන්ඩර් පවසන අන්දමට තෙත යමහල් අලු මත වසර මිලියන ගණනකට පෙර තබන ලද ඩයිනසෝර පා සටහන් විශාල ප්‍රමාණයක් ලොව විවිධ ස්ථාන වලින් හමුවී ඇති අතර, එවැනි සටහන් වසර මිලියන ගණනක් සුරැකී තිබීමේ ක්‍රියාවලිය විද්‍යාත්මකව තහවුරුවී තිබෙනවා.

"මේ රෝද සටහන් සුරැකී තිබෙන්නේත්, වසර මිලියන ගණනකට පෙර තබන ලද ඩයිනසෝර පාසටහන් සුරැකී තිබෙන ආකාරයටමයි...." - ආචාර්ය ඇලෙක්සැන්ඩර් කොයිපිටින්


ආචාර්ය ඇලෙක්සැන්ඩර් පවසන අන්දමට මෙම රෝද සටහන, මානව ඉතිහාසයට පෙර ඇරඹි දියුණු ශිෂ්ඨාචාරයක් පිලිබඳව ලොව පුරා තැන් තැන්වලින් හමුවන විවිධ සාක්ශිවලට එකතුකල හැකි තවත් එක් සාක්ශියක්. මෙම රෝද සටහන් පැහැදිලිවම කෘත්‍රිම ආකාරයට සිදුවී ඇති අතර, මෙවැනි භූ සටහන්වල වයස නිර්ණය කිරීමේ ක්‍රියාවලිය විද්‍යාත්මකව පැහැදිලියි. ඩයිනසෝර පා සටහන්වල වසය මනින ක්‍රමයටමයි මේ රෝද සටහන් වල වයස මැනිය යුත්තේ.

පැහැදිලිවම කෘතිම ක්‍රියාවලියකින් සටහන් වී ඇති මේවා පෞරාණික, සමහරවිට මානව නොවන සිශ්ඨාචාරයක ක්‍රියාකාරකම් වලින් සිදුවුනා යැයි පිලිගන්නට ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයින් අකමැතියි. මෙයට එක් හේතුවක් නම්, මෙවැනි අදහස් වලට අනුග්‍රහදක්වන විද්‍යාඥයින්ගේ වෘත්තීයමය විශ්වාසනීයත්වය (professional credibility) පිලිබඳව ඔවුන් සේවය කරන විශ්වවිද්‍යාල හා ඔව්න්ගේ සහෘදයන් (colleagues) ප්‍රශ්ණකිරීමට පටන් ගැනීමයි. එමෙන්ම එවැනි විද්‍යාඥයින් පිලිබඳව ප්‍රධාන ධාරාවේ ජනමධ්‍ය වාර්තාකරන සිදුකරන්නේද අත්භූත දේ පිලිගන්නා වෘත්තීයමය භාවයන් මිදුනු විපරීතයින් මෙන්. ඒ නිසා තමයි විද්‍යාත්මක සාක්ශි ඇතිවිට පවා ඔවුන් මේවැනි කල්පිතවල නැඹුරු නොවෙන්නේ.




COMMENTS

මේවා සාමාන්‍යයෙන් මාධ්‍යවල අවධානය ගන්න කරන සංදර්ශන වෙන්න ඕනි..නැත්තං ඉතිං ඕව හරිනං පිලිගත් විද්‍යාඥ ගොල්ල කැමති වෙන්න ඕනි නේ. on තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දැවැන්ත යුධ රථ ධාවනය කල අතිශය පෞරාණික දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණාද??




Monday, 24 August 2015

ලන්ඩනයේ නිමැවෙන ආකාස පිහිණුම් තටාකය



ලන්ඩනයේ තේම්ස් නදිය අසල ප්‍රදේශයක ඉදිකිරීමට සැළසුම් කරන සුපිරි නිවාස සංකීර්ණයක අඩි 115ක් ඉහල අහසේ පිහිණුම් තටාකයක් ඉදිකිරීමට එහි ගෘහ නිර්මාණ ශිල්පීන් සැළසුම් කරමින් සිටිනවා. Sky Pool ලෙස හඳුන්වන මෙය අඩි 25ක් දිග වන අතර සම්පූර්ණයෙන්ම අධි-ශක්ති වීදුරු වලින් ඉදිකිරීමට සැළසුම් කෙරෙනවා. මෙම නිවාස සංකීර්ණය ගොඩනැගිලි දෙකක ආකාරයට ඉදිකෙරන අතර ආකාස පිහිණුම් තටාකය මෙම ගොඩනැගිලි දෙක යාකරමින් අඩි 115ක් ඉහලින් ඉදිකෙරෙනු ඇති.

2018 දී ගැනුම් කරුවනට මෙම සංකීර්ණයේ නිවාසවල පදිංචියට යාමට පුලුවන් වනු ඇතැයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බැලිමෝර් සමූහ ව්‍යාපාරය පවසනවා.


මඤ්ඤොක්කා - බිල් ගේට්ස් කියන ආකාරයට ලොව ප්‍රයෝජනවත්ම ආහාරමය ශාඛය | Cassava - The World's Most Interesting Vegetable : Bill Gates


පසුගිය දිනක මට මයික්‍රෝසොෆ්ට් නිර්මාතෲ බිල් ගේට්ස් මහතාගේ පෞද්ගලික බ්ලොග් අඩවිය වන "ගේට්ස්-නෝට්ස්" අඩවියට පිවිසීමේ අවස්ථාව අහම්බෙන් මෙන් ලැබුණා. මීට පෙර එම අඩවියට පිවිස නොතිබු නිසාත්, ඔහු ගැන විශාල ගෞරවයක් තිබෙන නිසාත් මම එම අඩවියේ බොහෝ ලිපිවල ආරම්භය හෝ කියවන්නට උත්සහ කලා. ගේට්ස්-නෝට්ස් බ්ලොගය පිරී තිබුනේ බිල් ගේට්ස් හා ඔහුගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස් විසින් ආරම්භකරන ලද බිල් ඇන්ඩ් මෙලින්ඩා පදනම විසින් සිදුකරන විවිධ ක්‍රියාකාරකම් මෙන්ම නූතන ලෝකයේ දරිද්‍රතාවය පිටුදැකිය හැකි විවිධ තාක්ශණයන් විස්තර කෙරෙන ලිපිවලින්.

මේ අතරින් ඔහු 2014 ඔක්තෝම්බර් 22 ලියන ලද මඤ්ඤොක්කා පිලිබඳ කෙටි ලිපිය මා සිත්ගත්තා. ඔහු එම ලිපියෙන් මඤ්ඤොක්කා තුන්වන ලෝකයේ සමහර රටවල්වලට කොතරම් වැදගත් දැයි පෙන්වාදුන්නා.

ඔහු පවසන අන්දමට මඤ්ඤොක්කා නියඟයට ඔරොත්තුදෙන අතර  නිසරු පසෙහිද හොඳින් වැඩේ. එමෙන්ම බොහෝ කාලයක් මඤ්ඤොක්කා අල නොගලවා පොලොවේ තිබෙන්නට හරින්නට හැකිවීමෙන් නියඟය සමග අප්‍රිකානු රටවල් වෙලාගන්නා එන සාගතයටද හොඳ විසඳුමකි.

2011දී ටැන්සානියාවේ කල සංචාරයකදී, ටැන්සානියානු ගොවීන් උදය, දවල් හා රාත්‍රී ආහාරවේල් තුනට විවිධ අයුරින් සකස්කරන ලද මඤ්ඤොක්කා යොදාගන්න ආකාරය අධ්‍යයනය කලේය. මඤ්ඤොක්කා පිලිබඳව ඔහුගේ උනන්දුව වැඩිවන්නට පටන්ගෙන ඇත්තේ ඒ සමගය.

ටැන්සානියාවේ මඤ්ඤොක්කා වලට ඇති ප්‍රධානම ගැටලුව මැසි වර්ගයක් විසින් පතුරුවන වෛරසයක් මගින් මඤ්ඤොක්කා අලය කුණුවීමට පටන් ගැනීමයි. මෙම රෝගය නිසා ටැන්සානියාවේ දිලිඳු පවුල්වලට සිය ආහාරය සඳහා වගාකරන මඤ්ඤොක්කාවල අස්වැන්න ප්‍රමාණවත් නොවීමෙන් ඔවුනට අපහසුවෙන් හම්බකර ගන්නා මුදල් අමතර අහාර මිලදීගැනීම සඳහා වැයවීමෙන් ඔවුන් තවත් දිලිඳුවේ.

මෙම ගැටලුව විසඳීම සඳහා බිල් හා මෙලින්ඩා පදනමේ මූල්‍ය ආධාරයෙන් අප්‍රිකාවේ, අමෙරිකාවේ හා වෙනත් රටවල පර්යේෂණ පවත්වාගෙන යන බව බිල් ගේට්ස් පවසයි.

බිල් හා මෙලින්ඩා ගේට්ස් ටැන්සානියාවේදී
මඤ්ඤොක්කා ගැන තවදුරටත්

බිල් ගේට්ස්ගේ උනන්දුව නිසාම, මෙම සරල, නිතර දෙවේලේ හමුවන ශාකය ගැන තවදුරටත් කියවා තොරතුරු රැස්කරන්නට මට සිතුනා. ඉන් තොරතුරු බිඳක් පහත සටහන් වනවා.

කසාවා, මැනියොක් හා ටැපියෝකා ලෙස විවිධ රටවල හඳුන්වන මඤ්ඤොක්කා දකුණු අමෙරිකාවේ උපත ලැබූ ශාඛයක් වනවා. වී හා බඩ ඉරිඟු වලට පසුව තුන්වන ලෝකයේ බොහෝ ජනයා සිය කාබොහයිඩ්‍රේට් අවශ්‍යතා සපුරාගන්නේ මඤ්ඤොක්කා ආධාරයෙන් බව විකිපීඩියා පවසනවා. මඤ්ඤොක්කා ආධාරයෙන් කුසපුරවා ගන්නා ජනගහනය මිලියන 500ක් බවට ගණන් බැලෙනවා. නිසරු පසෙහි හොඳින් වැඩීමත්, නියඟයට ඔරොත්තුදීමත් නිසා මඤ්ඤොක්කා වල වැදගත්කම තවත් වැඩිවෙනවා.

වසර 10,000කට පමණ පෙර බ්‍රසීලයේ ආදිවාසීන් මඤ්ඤොක්කා වගාකරන්නට පටන්ගන්නට ඇතිබව අනුමාන කෙරෙනවා. දකුණු හා මධ්‍යම අමෙරිකානු ආදිවාසීන් වන ඉන්කාවරුන්, ඇස්ටෙක් වරුන්, ඔල්මෙක්වරුන් මඤ්ඤොක්කා වගාකල බවට පරාග දත්ත සාක්ශි දරණවා.

මඤ්ඤොක්කා අප්‍රිකාවට හඳුන්වාදෙන ලද්දේ බ්‍රසීලයෙන් ඒවා අප්‍රිකාවට රැගෙන ගිය පෘතෘග්‍රීසි වෙළෙන්දන් විසින් 16 වැනි ශතවර්ශයේදීයි. සමහරවිට ලංකාවට මඤ්ඤොක්කා හඳුන්වා දෙන්නට ඇත්තේද ලංකාව යටත්කරගෙන සිටි පෘතෘග්‍රීසීන් විසින් වන්නට ඇති. මධ්‍යම හා දකුණු අමෙරිකාව ආක්‍රමණය කොට යටත්කර ගත් ඔවුන් මඤ්ඤොක්කා ලෝව පුරා ව්‍යාප්තකරන්නට ඇති.

ලොව වාර්ශික මඤ්ඤොක්කා  නිශ්පාදනය ටොන් මිලියන 250ක් පමණ වන අතර ප්‍රධාන මඤ්ඤොක්කා  අපනයනකරු වන්නේ නයිජීරියාවයි. තායිලන්තය වියලි මඤ්ඤොක්කා  පෙති අපනයනයෙන් මුල්තැන ගන්නවා.

උක්ගස හා සීනි බීට් පැලෑටියට පසු වැඩිම කාබොහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇති ආහාරය වන්නේ මඤ්ඤොක්කා  අලයයි. මඤ්ඤොක්කා අල පසතුල නරක්නොවී සෑහෙන කාලයක් තිබෙන්නට හරින්නට පුලුවන් බැවින් එය ඉතා වැදගත් ආහාර සංචිතයක් ලෙස බොහෝ අප්‍රිකානු රටවල ගොවීන් යොදාගන්නවා.

COMMENTS

අැත්ත තමා.......... අපි ළග නිතර දෙවේලේ අැති දේවල අගය අපි දන්නැති තරම්.. on මඤ්ඤොක්කා - බිල් ගේට්ස් කියන ආකාරයට ලොව ප්‍රයෝජනවත්ම ආහාරමය ශාඛය | Cassava - The World's Most Interesting Vegetable : Bill Gates


ශ්‍රී ලංකාවට ආවේණික බාඳුරා හෙවත් Pitcher Plant | Nepenthes distillatoria

නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය කෘමීන්   අල්ලා   ගැනීමට   සකස්   වුවකි  ශ්‍රී ලංකාවේ  සිංහරාජ  වනාන්තරය සහ   සමනල කන්ද   යන  ස්ථාන  වල පැතීරි ඇති  බාඳුරා ශාකයේ ඇති මල් පැණි වල ඇති සුවදවත් බව නිසා කෘමීන් බාඳුරා පුෂ්පයට ආකර්ශනය වේ.සමහර බාඳුරා පුෂ්ප සෙ.මී.02 ත් සෙ.මී.50 ත් අතර දිගකින  පිහිටා ඇත. මෙම මලට බාඳුරා යන නම ලැබී ඇත්තේ  එහි ඇති ජෝගුවක (pitcher) හැඩැති කෘමි උගුල නිසාය. මෙම උගුල බොහෝ දෙනා "බඳුරා මල" ලෙස හැඳින්වූවද එය සැබැවින්ම මලක් නොවේ. බඳුරා මල සාමාන්‍ය මලක් ආකාරයට දිස්වේ.

කෘමීන් එම මලට ආකර්ශණය වී එය තුලට ගොස් බාඳුරා කෙණ්ඩියෙහි පතුලේ ඇති මල් පණි බී එන්නට සැරසෙන විට එහි බිත්ති ලිස්සන සුළු නිසා ආපසු එලියට එන්නට නොහැකිව සිරවේ. එවිට නැවතත් කෘමියා මලේ පතුලටම වැටී මරණයට පත්වේ. එවිට මෙම කෘමීන් ජීර්නය කර ශාකයට අවශ්‍ය පොෂ්‍ය පදාර්ථ ලබාගනී. මෙවැනි ශාක මාංශ භක්ෂක ශාක(CARNIVOROUS) ලෙසද හදුන්වනු ලැබේ.

කොළ පැහැති හෝ රතුපැහැති ශාක විශේෂ දෙකක් තෙත් කලාපයේ සිංහරාජය, කන්නෙළිය වැනි වැසි වනාන්තරයන්හි දී හමු‍වෙයි. රෝස පැහැති වූ විශේෂයක් මුතුරාජවෙල ප‍්‍රදේශයේ ඇත. බාඳුරා කෙණ්ඩියේ පියන විවර වීමට පෙර එහි ඇති ද්‍රාවණය කක්කල් කැස්සට ද වඳ බව නැති කිරීමටද ගනිතියි කියති.

ශ්‍රී ලංකාවට ආවේණික වූ බඳුරා ශාකය පිලිබඳව මුල්වරට විස්තරයක් ලියන ලද්දේ ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යවරයෙකුවූ තෝමල් බාතොලින් විසින් 1677දීය. ඔහු එය "මිරැන්ඩා හර්බා - අපූර්ව පැලෑටිය" ලෙස හඳුන්වයි.  1680දී ඕලන්ද ජාතික වෙළෙන්දෙකු හා ස්වභාවික විද්‍යා උද්යෝගියෙකුවූ  ජේකොබ් බ්‍රෙයිනි මෙම ශාකය "බාඳුරා සින්ගලෙන්සියම්" ලෙස හඳුන්වාදී ඇත. 

බාඳුරා ශාකයේ ස්වභාවික හැසිරීම මුල්වරට පැහැදිලිව විස්තරකරන ලද්දේ 1683දී ස්වීඩන ජාතික වෛද්‍යවරයෙකු හා ස්වභාවිකවිද්‍යාඥයෙකු වූ හර්මන් නික්ලස් ග්‍රිම් විසිනි. ඔහු එය "ප්ලාන්ටා මිරබිලිස් ඩිස්ටිලටොරියා - විශ්මිත ආසවන හැකියාවක් ඇති පැලෑටිය" ලෙස හඳුන්වන ලදී. 

බාඳුරා ශාකය ශ්‍රී ලංකාවෙහි පමණක් දක්නට ලැබෙන මෙරටට ආවේණික ශාකයකි.


මෑතකදී අප විසින් සිංහරාජයේ සිදුකරන ලද සංචාරයකදී ගන්නා ලද බාඳුරා ශාකයක ඡායාරූප

COMMENTS


Sunday, 23 August 2015

අභ්‍යවකාශයේ වවන ලද එලවළු කෑමට ගත් පලමු දවස!

අභ්‍යවකාශයේ වවන ලද රතු ගෝවා

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශේෂ හරිතාගාරයක වවන ලද "red lettuce" හෙවත් රතු ගෝවා ලෙස හඳුන්වන එලවලු වර්ගයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් විසින් ආහාරයට ගැනීම මේ නොබොදා සිදුවුනා. 

පසුගිය වසරේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන ආ බීජවලින් වගාකෙරුනු දෙවන වගාව මෙය වන අතර, පලමු වගාවේ අස්වැන්න මිනිස් ආහාරයට සුදුසුදැයි විමසීමේ පර්යේෂණ සඳහා පෘථිවියට ගෙන එනු ලැබුවා. එම පර්යේෂණ ප්‍රථිපලවලින් පසු දෙවැනි වගාව ආරම්භකල අතර එහි අස්වැන්න මේ නොබෝදා සලාදයක් ලෙස නිමවා ආහාරයට ගන්නට මධ්‍යස්ථානයේ ගගනගාමීන් කටයුතුකලා. 

අභ්‍යවකාශයේ වවන ලද රතු ගෝවා ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ට්විටර් හරහා විකාශණය කෙරුනා.
මෙම රතු ගෝවා වගාව, විශේෂ හරිතාගාරයක රතු හා නිල් ආලෝකයේ ආධාරයෙන් වවනු ලැබූවා. කොළ පැහැති පැලෑටි ප්‍රභාසංස්ලේෂණය සඳහා උපකාරා කරගන්නේ හිරු එළියේ අඩංගු නිල් හා රතු ආලෝකය පමණයි. මෙම ආලෝකය පමණක් යෙදීමෙන්, ඉතා සාර්ථකව ඕනෑම ශාකයක් වගාකල හැකිබව පෘථිවිය මත මෙන්ම අභ්‍යවකාශයේද සිදුකරනල ලද පර්යේෂණවලින් ඔප්පුවී තිබෙනවා. පස් වෙනුවට මෙම පැලෑටි හයිඩ්‍රෝෆොනික් ආකාරයට පෝෂක ද්‍රවයක් මත මුල් ඇදෙමින් වැවෙන්නට සැලස්වා තිබෙනවා.

මෙම පර්යේෂණයේ සාර්ථකත්වය මත අනාගතයේ අඟහරුවා වෙත යන මිනිස් ගගනගාමීන්ට සිය යානයේ වැවෙන නැවුම් එලවලු ආහාරයට ගැනීමේ හැකියාව ඇතිබව ඔප්පුකොට තිබෙනවා. එමෙන්ම ඉතා දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලදී ගගනගාමීන්ගේ මානසික සුවය සඳහාද මෙම කෘත්‍රිම එලවලු වගාවන් උපකාරීවනු ඇති. එළවලු වැවිම, මල්වැවීම වැනි ස්වභාවධර්මය හා ඉතා ලඟ ක්‍රියාකාරකම් මානසික සුවය වැඩිකොට මානසික ආතතිය, අවපීඩනය වැනි ආබාධ අඩුකිරීමට හේතුවන බව පර්යේෂණවලින් හෙලිවී තිබෙනවා.

Thursday, 20 August 2015

ටොමියා මොළකාරයා


ඔබ සුරතල් බලුපැටියෙකු ඇති කරනවානම්, ඔබගේ නිවසේ ආදරයට හෝ ආරක්ශාවට බල්ලන් ඇතිදැඩි වනවානම් මේ කියන්නට යන දේ ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.

ජපානයේ ක්යෝටෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුවෝ ෆුජිටා විසින් මෙහෙයවන ලද පර්යේෂණයකට අනුව නිවෙස්වල ඇතිකරන සුනඛයින්ට මිනිසුන් අතර  ඇති අන්තර් පුද්ගල සබඳතා පිලිබඳව හැඟීමක් ඇතිබව හෙලිවී තිබෙනවා. මෙම පර්යේෂණයට අනුව, සුනඛයෙකු, සිය ස්වාමියාට අගෞරව වන ලෙස හැසිරෙන හෝ ස්වාමියා දෙස අවඥාවෙන් සලකන පුද්ගලයින් සිතාමතාම මගහරින්නටත්, ඔවුන් උත්සහ කලද ඔවුන් සමග කුළුපග නොවී හැසිරෙන බවට දත්ත ලැබී තිබෙනවා.

මෙම පර්යේෂණයේදී පර්යේශණයට බඳුන්වූ සුනඛයන් ගේ අයිතිකරුවන් හා අනෙක් පුද්ගලයන් අතර දැඩි වචන හුවමාරු හෝ වෙනත් ආකාරයක ගැටුමක් සිදුවී නොමැතිවන ලෙස පරියේෂණය නිර්මාණය කොට තිබෙන අතර, ස්වාමියා හා අනෙක් පුද්ගලයා අතර ඇති නොහොඳ නෝක්කඩුව මුහුණේ, ඉරියව් හා අංගලක්ශණ (body langugage) මගින් පමණක් පෙනෙන්නට තිබුණා. සාමාන්‍යයෙන් සිත් අමනාපකම් ඇති දෙදෙනෙකු හැසිරෙන ආකාරය දුටු පමණින් ඔවුන් අතර විරසකයක් ඇති බව මිනිසුන්ට තේරුම් ගියද, එම හැකියාව සුනඛයින්ටද ඇති බව පර්යේෂණාත්මකව හෙලිවූයේ මෙමගින්.

Social eavesdropping ලෙස සමාජවිද්‍යාඥයින් හඳුන්වන හැකියාව, මානවයින්ට ඇති සුවිශේෂ සමාජමය හැකියාවන්ගෙන් එකක්. වෙනත් මිනිසුන් දෙදෙනෙකු අතර සිදුවන අන්තර්පුද්ගල ක්‍රියාකාරකමකට ඝෘජුවම සම්බන්ධ නොවෙමින්, ඈතකින් සිටිමින්, අර පුද්ගලයින් දදෙනා අතර ඇති සමාජ සබඳතාවයන් පිලිබඳව නිගමනට එළඹීමේ හැකියාව ඇත්තේ වසර මිලියන ගණනාවක් තිස්සේ සමාජ හැකියාවන් දියුණු කරගනිමින් පරිණාමයවූ හෝමෝ සැපියන්වරුන්ට පමනයි. වෙනත් වානරයින්ට (උදා: චිම්පන්සීන්) හා දියුණු ක්ශීරපායි සතුන්ට (අලි ඇතුන්, ඩොල්ෆින්, තල්මසුන්) මෙවැනි අන්තර් සම්බන්ධතා තිබුණද, තම වර්ගයේ නොවන වෙනත් වර්ගයක සතෙකුගේ ඉරියව් අධ්‍යයනයකරමින් ඔවුන්ගේ සිතැඟි හා හැසිරීම් තේරුම් ගැනීමේ අපූර්ව හැකියාව සුන්ඛයින්ට ලැබෙන්නට ඇත්තේ ඔවුන්ද මිනිසා හා සමාන්තරව පරිණාමය වෙමින්, මිනිසාට ඉතාම කිට්ටුවෙන් ජීවත් වන නිසා වන්නට ඇතැයි විද්‍යාඥයින් අනුමාන කරනවා.

පර්යේෂණ නිගමන කෙසේවෙතත්, නිවසේ ඇති කරන බල්ලා නුරුස්සන, නිතරම බුරන කඩා පනින මිනිසුන් පිලිබඳව අවධානයෙන් ඉන්නා ලෙසත්, ඔවුන් වැඩිය විශ්වාස නොකරන ලෙසත්, වැඩිහිටියන් නොමැති අවස්ථාවල ඔවුන් නිවසර වැද්ද නොගන්නා ලෙසත් අපේ ගෙවල්වල ආච්චිලා සීයලා නිතරම අවවාද කරන්නේ ගෙදර ඇතිකරන බල්ලාට පවුලේ සැබෑ හිතවතුන් හා හිත යටින් ඉරිසියා කරන, නපුරක් කරන්නට ඉටාගෙන සිටින අය තෝරා බේරා ගන්නට හැකියාව ඇති බව පැරැණ්නන් දැනගෙන සිටි නිසා වන්නට ඇති. අපේ වැඩිහිටියන් මේ හැකියාව විස්තරකලේ කලේ බල්ලාගේ ඉව කියලයි.

විද්‍යාත්මකව ඉව කියන්නේ ගඳසුවඳ දැනගැනීමේ හැකියාව වුනත් මේ පර්යේෂණ ප්‍රථිපලවලින්, බල්ලාගේ ඉව, ඊට වඩා ගොඩාක් ගැඹුරු, සංකීර්ණ හැකියාවක් බවට අනුමාන කරන්න පුලුවන්.

Comments

අැත්තට ම මේ ලක්ෂණය බල්ලන් තුළ තියෙනවා අැති... ස්වාමියා තරහා පුද්ගලයින් ඉන්නා තැනකට බල්ලා කවදාවත් යන්නෑ,,. වැඩිපුරම තරහා ඒ ගෙදර ඉන්නා බල්ලන් සමගයි..... අැත්ත.. on ටොමියා මොළකාරයා

on 22/08/15
අගනා පර්යේෂණයක් on ටොමියා මොළකාරයා






















ගූගල් නම වෙනස් කරගනී; මව් සමාගම දැන් "ඇල්ෆබට්" | Google Inc. changes name to "Alphabet"

පහුගිය සති දෙක තුනේම වැඩ ගොඩ ගැහිලා තිබුණා. අලුතින් පටන්ගන්න විශ්වවිද්‍යාල පාඨමාලාවක විෂය නිර්දේෂයේ වැඩ අවසන්කරන්න දින නියමකරලා තිබුණ නිසා නියමිත දිනේට වැඩේ අවසන් කරලා UGC එකට විශය නිර්දේශය යවන්න වෙහෙසුන හින්දා ලිපියක් ලියන්නත් බැරිවුනා. ඒ අස්සේ මුලු ලංකාවම චන්ද උණුසුමින් ඔද්දල්වෙලා අලියාද අප්පචිද කියලා වාදකරමින් ඉන්න අතරේ දන්නෙම නැතුව තාක්ශණික ලෝකයේ ලොකු පෙරලියක් වෙලා.

ඒ තමයි ලෝක ප්‍රකට ගූගල් සමාගම, සිය ව්‍යාපාරික නාමය වෙනස් කරන්න තීරණය කරපු එක. මෙතක් කල්, ගූගල් සමූහයේ සියලුම ව්‍යාපාර "ගූගල්" සන්නාමය යටතේ ක්‍රියාත්මක වුනා. ඒත් පසුගිය ඉරිදා ගූගල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ගේ මව් සමාගම් නාමය වෙනස් කරනවා කියලයි. ඒ අනුව ගූගල් සමූහය "ඇල්ෆබට්" කියලා අලුත් මව් සමාගමක් යටතට පත්වෙලා.

Google සන්නාමය යටතේ ගූගල් සෙවුම් යන්ත්‍රය, එය හා අනුබද්ධ දැන්වීම් ව්‍යාපාරය, ඇන්ඩ්‍රොයිඩ්, යූටියුබ්, බ්ලොගර්, ජීමේල් වගේ සේවාවන් ගොනු කරලා. ගූගල් සමාගමේ අනෙකුත් සියලුම නවෝත්පාදන ව්‍යාපෘති, ඒ කියන්නේ ගූගල් රෝබෝ කාර් ව්‍යාපෘතිය, ගූගල් ජීව් විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති වැනි ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ඇල්ෆබට් සමාගම යටතේ ක්‍රියාත්මක කරන්නට තීරණය වෙලා. ඇල්ෆබට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී තනතුර (CEO) හා අධිපති තනතුර (President) ගූගල් නිර්මාතෲවරුන් වන ලැරී පේජ් හා සර්ගෙයි බ්‍රින් දරණ බව පුවත්පත් නිවේදනයේ සඳහන් වනවා.

මේ අතර ගූගල් සන්නාමය යටතේ ක්‍රියාත්මකවන සේවා සමූහය සඳහා ප්‍රධාන විධායක (CEO) ලෙස ගූගල් සමගමේ වසර 11ක අත්දැකීම ඇති, ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් ව්‍යාපෘතිය සාර්ථක කරගෙන අද ලෝකයේ ජනප්‍රියම බ්‍රව්සරය බවට ක්‍රෝම් බ්‍රව්සරය ස්ථානගතකල ඉන්දියානු සම්භවයක් ඇති (Chennai, Tamilnadu) සුන්දර් පිචායි (Sundar Pichai) නම්කෙරුනා. සුන්දර් පිචායි ගූගල් සමාගමේ ඉන්ජිනේරුවන් අතර වගේම ආයෝජක ප්‍රජාව අතරත් ජනප්‍රියයි. ඉතා හොඳ නායකයෙකු වගේම, සුහදශීලී, කණ්ඩායම් හැඟීමක් ඇති පුද්ගලයෙකු ලෙසත්, ඒවගේම අතිදක්ශ පරිගණක ඉන්ජිනේරුවෙකු ලෙසත් සුන්දර් ගූගල් සමාගම තුල ප්‍රසිද්ධයි.

ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි
ගූගල් සිය අලුත් සමාගම් සන්නාමය ලෙස "Alphabet" තෝරාගත්තේ හේතු දෙකක් නිසා කියලා සර්ගෙයි බ්‍රින් පවසනවා. එකක් තමයි ඇල්ෆබට් හෙවත් අක්ෂරමාලාව (ආකරාදිය), මිනිස් සංහතිය විසින් සිදුකරන ලද ඉතා වැදගත්ම නිර්මාණයක් වීම. සියලුම මිනිස් ඥාණය කේතගත වෙලා තියෙන්නේ ඇල්ෆබ්ට් හෙවත් අක්ශරමාලාව ආධාරයෙන්. සියලුම මිනිස් ඥාණය ගූගල් සෙවුම් යන්ත්‍රය ආධාරයෙන් ඔබගේ පරිගණක තිරයට නැතිනම් ස්මාර්ට් ෆෝන් තිරය මතට ගෙන ඒම සිය දැක්ම හෙවත් "vision" ලෙස ඉදිරිපත් කරන ගූගල් සමාගම එම නම සිය සමාගම් සමූහය හඳුන්වන්නටද යොදාගත්තා කියලා බ්‍රින් පවසනවා. ඒවගේම "Alpha" යන්නෙන් ව්‍යාපාරික ආයෝජන ක්ෂේස්ත්‍රයේ "ආයෝජන ප්‍රතිලාභය - return on investment " හඳුන්වනවා. ඒ අනුව "Alpha-bet" යනු, ගූගල් සමාගමේ ආයෝජනයෙන් ඉහල ප්‍රතිලාබ ලැබිය හැකි බෙට් එකක් හෙවත් ලංසුවක් ලෙස ගන්න පුලුවන් බවත් බ්‍රින් පවසනවා.

මෙම ප්‍රතිසංවිධානයට අමෙරිකානු ආලෝජක ප්‍රජාව හෙවත් Wall Street එක දැක්වුයේ ඉහල ප්‍රසාදයක්. ඒ මගින් ගූගල් සමාගමට සිය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට හැකිබව ඔවුන් විශ්වාසය පලකරනවා. මෙම ප්‍රතිසංවිධාන නිවේදනයෙන් පසු ගූගල් සමාගමේ කොටස් වටිනාකම ඩොලර් බිලියන 5කින් ඉහල ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ගූගල් සමාගමට විශාල අභියෝග රැසක් තිබෙන බව ව්‍යාපාරික විශ්ලේෂකයින් පවසනවා. ගූගල් සමාගමේ බිලියන ගණනක් ආදායම ($66 billion in revenues in 2014) ලැබෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය හා යූටියුබ් හරහා ලැබෙන දැන්වීම් ආදායම් වලින්. මෙම ආදායම් මාර්ගයෙන් ඔබ්බට වෙනත් ආදායම් මාර්ග උපදවා ගන්න ගූගල් සමාගම තවමත් අසමත් වෙලා තිබෙනවා. ගූගල් සමාගමේ අතිශය සාර්ථක ව්‍යාපෘති වලින් පවා ආදායමක් උපදවා ගන්න තවමත් බැරිවෙලා තියෙනවා. උදාහරණයක් විධියට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය අද ස්මාර්ට්ෆෝන් වැඩිම ගණනක් තුල (78% - source: Statcounter) දිවෙන මෙහෙයුම් පද්ධතියයි. ඒත් ඇන්ඩ්‍රොයිඩ් නොමිලේ දෙන නිසා, එය හරහා ආදායමක් ලබාගැනීමේ උපක්‍රමයක් සොයාගන්න ගූගල්ට තවම හැකිවෙලා නෑ.


තවත් සාර්ථක ව්‍යාපෘතියක් වුනු ක්‍රෝම් බ්‍රව්සරය අද අතිශයින්ම ජනප්‍රිය වුනත් ඒ මගින් ගූගල් සමාගමට ලැබෙන අමතර ආදායමක් නෑ. ඒවගේම ගූගල් සමාගම ලැප්ටොප් පරිගණක සඳහා හඳුන්වාදුන් ක්‍රෝමියම් මෙහෙයුම් පද්ධතිය සහිත ක්‍රෝම්-බුක් ලැප්ටොප්, ප්‍රධාන ධාරාවේ ලැප්ටොප් හා නෙට්බුක් මිලදීගන්නන් විසින් ප්‍රතික්ශේප කරලා තිබෙනවා. ගූගල් ඩ්‍රයිව්, ගූගල් ඩොක්ස් වගේ සේවා ජනප්‍රිය වුනත්, ඒවා වලිනුත් ආදායම් ගන්නේ කොහොමද කියන එක තෝරාගන්න ගූගල් සමාගමට නොහැකිවෙලා තියෙනවා.

ඒවගේම, මෑතකදී හඳුන්වල දුන්, ගූගල් ප්ලස් සමාජ ජාලය අසාර්ථක ව්‍යාපෘතියක් වෙලා. ෆේස්බුක් ජාලයට අභියෝගයක් ලෙස ඉදිරිපත් කල එම ජාලයේ අභියෝගය සාර්ථකව ජයගන්න ෆේස්බුක් සමාගමට හැකිවෙලා. ඒ වගේම මහත් බලාපොරොත්තු තබාගෙන සිටි "ගූගල් ග්ලාස්" ව්‍යාපෘතිය සිය නිර්මාණය වෙළඳපොලට ඉදිරිපත් කරන්නත් ඉස්සෙල්ලාම අසාර්ථක වෙලා දැන් වෙළඳපොලට ඉදිරිපත් නොකරන්න තීරණය වෙලා. දැන් ගූගල් සමාගම ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරන ගූගල් රොබෝ කාර් ව්‍යාපෘතිය, බැලූන් ආධාරයෙන් ලොව පුරා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා ලබාදෙන්නට සැළසුම් කරන ව්‍යාපෘති වලිනුත් ආදායමක් ගන්නට පුලුවන් වේවිදැයි යන සැකය බොහෝ තාක්ශණික විශ්ලේෂකයින් අතර තිබෙනවා.

COMMENTS

එල ලිපියක්, කලින් ගොඩක් දේවල් නැවත්තුවා වගේ ඔහොම හැම දේම නවත්වලා දැම්මොත් තමයි වැඩේ. on ගූගල් නම වෙනස් කරගනී; මව් සමාගම දැන් "ඇල්ෆබට්" | Google Inc. changes name to "Alphabet"
on 19/08/15

Tuesday, 4 August 2015

ආදි මානවයන්ගේ නිවහන වූ පාහියන්ගල සංචාරය

බුලත්සිංහල සිට පාහියන්ගලට යන මාර්ගය
පාහියන්ගල ආදිමානවයින්ගේ නිවහනවූ දැවැන්ත ගල්ගුහාව හා  පුරාවිද්‍යා කැණීම් බිම සංචාරය කිරීමට තිබූ මහත් ආශාවක් සපුරාගැනීමට පසුගිය දිග සති අන්ත නිවාඩුවේදී හැකිවුනා. එම ආශාව මල් පලගන්වා ගැනීමට උපකාරීවුනු, එම සංචාරය සංවිධානය කිරීමට මූලිකවූ අපගේ විශ්වවිද්‍යාලයේ උපකුළපති තැම්පත් මහාචාර්ය කොලින් පීරිස් මහතාටත් අපගේ ලේඛකාධිකාරී උපාලි අතුකෝරාළ මහතාටත් තුති පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. එම ඓතිහාසික ස්ථානයේ හොඳ ඡායාරූප ටිකක් ගෙන, එහි මතකසටහන් සදාකාලිකව රඳවාගැනීමේ අරමුණද ඉටුකරගන්නට හැකිවීම තවත් සතුටට කරුණක්.

පාහියන්ගල ඈතට දිස්වන ආකාරය
කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ගම්මානයේ පිහිටි පාහියන්ගල ගල් ලෙන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ ඉහළින්ය. තනි කළුගලක ස්වාභාවිකව සැකැසී ඇති මේ ගුහාව සැබැවින්ම සොබාදහමේ විස්මිත නිර්මාණයකි. ගුහාවේ විවරය (කට) අඩි 150ක පමණ උසකින් යුක්තය. එහි පළල අඩි 175ක් පමණ වේ. ගුහාව අඩි 280ක් පමණ ඇතුළට විහිදේ.  ශ්‍රී ලංකාවෙන් හමුවන විශාලම ස්වාභාවික ලෙන වන මෙය තුල එකවර 3000ක පමණ ජනකායකට නැවතිය හැකි තරම් විශාල බව අපට දැනගන්නට ලැබුණා.

පාහියන්ගල ප්‍රධාන ගල්ලෙන හා එහි පිහිටි ප්‍රධාන කැණීම් ස්ථානය
පාහියන්ගල ප්‍රධාන ගල්ලෙන හා එහි පිහිටි ප්‍රධාන කැණීම් ස්ථානය පිටතින් බැලූවිට පෙනෙන ආකාරය
 1986-1987 දී හා 2008-2009 දී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මේ ලෙනෙහි ඉතිහාසය අවුරුදු 38,000ක් දක්වා විහිදී යන බව හෙළි වී තිබේ. දකුණු ආසියාවේ නූතන මිනිසා පිළිබඳ පැරැණිතම මානව සාධක හමුවූ ස්ථානයක් ලෙස පාහියන්ගල ලෙන වැදගත්කමක් උසුලනවා. රතු වර්ණ ගුරුගල් ආලේපිත ප්‍රාග් ඓතිහාසික මානව කපාල කොටස් පාහියන්ගල ලෙනෙන් හමුවී තිබෙනවා.  එම මානව ඇටසැකිලි මිනිසා මියගිය පසු භූමිදානය කොට පසුකාලීනව මානව සැකිල්ලෙහි ගුරුගල් ආලේප කොට තැන්පත් කළ බව විශ්වාස කළ හැකි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙසේ ගුරුගල් ආලේප කොට තැන්පත් කිරීම අතීත මානවයාගේ චාරිත්‍රයක් (සංස්කෘතික ලක්ෂණයක්) වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. ප්‍රාග් ඓතිහාසික මානවයා නිෂ්පාදනය කර භාවිතයට ගත් ශිලා මෙවලම්, ආහාරයට ගත් සත්ත්ව හා ශාක ශේෂද කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව පාහියන්ගල යනු අපගේ ආදිතම මුතුන් මිත්තන් වාසය කළ ස්ථානයක් ලෙස ස්ථීරවම ප්‍රකාශ කළ හැකි අතර එය සියැසින් දැකගන්නට ලැබීම භාග්‍යයක් කොට සළකන්නේ අපගේ පාත්‍රවර්ගයා පිලිබඳව මැකිය නොහැකි සාක්ශි සටහන් මේ ලෙන තුලින් හමුවන බැවිනුයි. හොමෝ සාපියන් සාපියන් හෙවත් නූතන මානවයා පිළිබඳ පැරණිම සාක්ෂි මෙතෙක් හමු වී ඇත්තේ ලංකාවෙන් බවට විශ්වාස කෙරෙනවා. ඩබ්ලිව්. එච්. විජේපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා 1986/87 වසරවල කරන ලද කැණීමේදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව ඇටසැකිලි හතරක් පාහියන්ගලදී හමු වී තිබිණි. එම මානව ඇටසැකිලි අදින් වසර 5500 සිට 26500 දක්වා කාල පරාසයන් අතර වූ බව වාර්තා ගත වී ඇත. 1986 දී පාහියන් ලෙන කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව පස් තට්ටු 8 ක් ලෙස හඳුනාගෙන කැණීම් කළ අතර පිහිටිගල දක්වා කැණීම සිදුකෙරුණා.

ලංකාවේ පැරණිම මානව සාධක හමුවී ඇත්තේ යාපනයේ මයික්කායි ප්‍රදේශයෙනි. එතැනින් හමුවූ ගල් ආයුධ වසර ලක්ෂ 8 ක් පැරණියි. ලංකාවේ මානව ඉතිහාසය වසර ලක්ෂ විස්ස (20) ඉක්මවිය හැකිබවට පුරාවිද්‍යාඥයින් අනුමාන කරනවා. පාහියන් ලෙන් සංකීර්ණයේ ප්‍රධාන ගල්ලෙනින් එපිට, කුඩා උප-ලෙනෙහි කල කැණීම්වලින් හමුවූ සම්පූර්ණ මානව සැකිල්ල අදින් වසර 37000 කට වඩා පැරණි යැයි අනුමාණ කෙරෙන අතර 2012දී එය වැඩිදුර පර්යේෂණ සඳහා එන්ගලන්තයට යවනු ලැබුවා. එසේ අනුමාණ කළ හැක්කේ මීට පෙර කළ කැණීමකදී වසර 37000 ට කාබන් 14 ට කාල නිර්ණය කළ මට්ටමෙන් මේ සම්පූර්ණ සැකිල්ල ලැබුණු නිසායි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී පාහියන්ගලදී සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.  නව කාල නිර්ණ වාර්තාවක් සඳහා කළ කැණීමේදී හමුවූ මානව ඇටසැකිල්ල පාහියන් ලෙනෙන් හමුවූ එකම සම්පූර්ණ මානව ඇටසැකිල්ලයි. වළක් තුළ තැන්පත් කිරීමක් නොවන මේ මානව ඇටසැකිල්ල පොළොව මතුපිට තැන්පත් වීමකි. ගල් ලෙනේ මතුපිට මට්ටමේ සිට මීටර් 1 සෙන්ටිමීටර් 40 පමණ ගැඹුරින් හමු වූ මෙම මානව ඇටසැකිල්ල කාන්තා ඇටසැකිල්ලක් වන බවට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා අනුමාණ කෙරෙන අතර වැඩිදුර පර්යේෂණ මගින් මෙය තහවුරු කරගනු ඇත.

ලංකාවෙන් මෙතෙක් සොයාගත් පැරණිතම මානව ඇටසැකිල්ල සොයාගත් පාහින්ගල ලෙන් සංකීර්ණයේ උප-ලෙනහි (sub-cave) ඡායාරූප




ලංකාවෙන් මෙතෙක් සොයාගත් පැරණිතම මානව ඇටසැකිල්ල සොයාගත් පාහින්ගල ලෙන් සංකීර්ණයේ උප-ලෙන ප්‍රදේශයේ පරිදර්ශන ඡායාරූපය (Panaromic Photograph)

Click on the photograph to enlarge. (c) Terence K Arachchi, 2015


පුරා විද්‍යාඥ ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ සතුන් පුළුස්සා කෑ ගිනිමැල රැසක අඟුරු පාහියන් ලෙනෙහි දක්නට ඇති බවයි. ඒ අනුව, ගින්දර හිලෑකරගෙන සිය ආරක්ශාවට හා ආහාර පිසීමට යොදාගත්, යම් ආකාරයක සාමූහික සමාජීය ජීවිතයක් ගතකරන්නට අපගේ මීමුත්තන් සමත්ව තිබෙනවා.මේ ප්‍රදේශයේ සිටි අතීත මානවයා ආහාරයට ගත් සතුන් 800 කගේ පමණ අවශේෂ ලෙන කැනීමේදී හමුවූ බව ප්‍රකාශ කළ දිසානායක මහතා ඒ අතර කටුස්සා ගේ අවශේෂ ද අලි පැටවකු ගේ දතක් ද බංගලාදේශ ව්‍යාඝ්‍රයකුගේ අස්ථි කොටසක් ද ගවරා ගේ දතක් ද රයිනෝසිරස් ගේ ඇඟිල්ලක කොටසක් ද වන බව ප්‍රකාශ කරනවා. අමතරව ගොළුබෙලි කටු සහ මුහුදු බෙලි කටු ද වෙයි. මෙයින් මේ මානවයා සිය ආහාරය පිණිස ගොළුබෙල්ලන් මෙන්ම මුහුදු බෙල්ලන් ගත් බැව් පැහැදිලි වෙයි. එසේ නම් මුහුදට බොහෝ ඈතින් සිටියත්
ඔහු මුහුද සමග සමීප සම්බන්ධතා පවත්වමින් ජීවත් වූ අනුමාණ කල හැකියි. මේ ගල්ලෙනේ ජීවත්වන අතරම සැතපුම් සියයක් පමණ ඈතින් ඇති මුහුදට ගොස් මසුන් මරාගෙන ආවා යන්න ප්‍රායෝගික නොවන බවට උපකල්පණය කලහොත් මෙහි ජීවත්වූ මානවයින්ට මුහුදු ආහාර ලැබුණේ කෙසේද යන්න පිලිබඳව ගැටළුවක් පැණනගිනවා. එසේවන්නේ ඔවුන් මුහුද සමග සම්බන්ධතා පැවැත්වූ සමකාළීන මානවයින් සමග යම් ආකාරයට භාණ්ඩ හුවමාරු කරගත් වෙළඳ සබඳතා දැක්වූවේද යන්නත් සළකන්නට පුලුවන්. එසේනම් ඔවුන් මස් පුච්චාකන නොදියුණු ගෝත්‍රිකයින්ට වඩා දියුණු වෙළඳාම/භාණ්ඩ හුවමාරුව/භාණ්ඩ වටිනාකම් පිලිබඳව යම් දැනුමක් ඇති දියුණු ගෝත්‍රයක් වූ බවට අනුමාණ කරන්නට පුලුවන්.







මෙයට අමතරව අංකුට්‌ටා, ගං ආරා, ලෙහෙල්ලා වැනි මිරිදිය මත්ස්‍ය විශේෂවල අස්‌ථි කැබැලි හමු වීමෙන් ඉඟි කෙරෙන්නේ පාහියන්ගල මානවයා මිරිදිය ධීවර කටයුතුවල නිරත වූවා ද යන්න ය. කැකුණ ඇට සහ බැදි දෙල් ඇට වල පිළිස්‌සූ කැබැලි ද මේ අතර වේ. මෙමගින් පාහියන්ගල මානවයා ශාක විශේෂ ආහාරයට ගත් බැව් පැහැදිලි ය. කැකුණ ඇට පිළිස්‌සීම රාත්‍රී ආලෝකය ලබා ගැනීමට උපක්‍රමයක්‌ ලෙස යොදා ගත්තා ද? සතුන් දඩයම් යෙදුණු බවට ඉඟි කෙරෙන සාක්‌ෂියක්‌ වන්නේ සත්ත්ව අස්‌ථිවලින් හා ශාක කොටස්‌ ආධාරයෙන් තනාගත් කුඩා ආයුධ කැබැලි හමු වීමයි.  ඒවා මඟින් මේ වන විට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතික ලක්ෂණ, ආහාර පුරුදු, සිරිත් විරිත්, ඒ කාලයේ තිබුණු දේශගුණික රටාවන්, වෘක්ෂ ප්‍රජාව, ඉපැරණි සත්ත්ව ප්‍රජාව ගැන වගේම ඉපැරණි මෙවලම් ගැනත් තොරතුරු රැසක්  දැනගන්න හැකිව තිබෙණවා ඒ අනුව මෙම බළන්ගොඩ මානවයා වටා ගෙතුණු කතා ප්‍රවෘත්තියේ සමස්ත යටගියාව, ඔහුගේ සංස්කෘතිය, සමාජිය තාක්ෂණික භෞතික පරිසරය පිළිබඳ සමස්තය අනාවරණය කර ගැනීම ට මහත් රුකුලක් ලැබී තිබෙනවා.

Panoramic Photographs of Pahiyangala Main Excavation Site



ලංකාවේ ආදිමානවයින් පිලිබඳ ගවේෂණ

මානවයන් පිළිබඳ ඉතිහාසය සොයා යැම එතරම් පහසු නැත. එය ඒ තරමට ම දුෂ්කර ය. අතීත මානව තොරතුරු සොයා කරන කැණීම්වලින් හමු වන ෆොසිල හා ෆොසිල නො වන ද්‍රව්‍යවලින් හෙළි වන අතීතය ද බෙහෙවින් කුතුහලය දනවන සුලු ය. අදින් වසර 80000කට පමණ පෙර අප්‍රිකානු මහාද්වීපයෙන් ඇරඹි මානව සංක්‍රමණය යුරෝපයටත්, එතැනින් ආසියාවටත් සිදු වූ බැව් පුරාවිද්‍යාඥයන් ගේ මතය වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික උරුමය පර්යේෂණ කිරීමේ විශේෂ වැඩසටහනක්‌ වර්ෂ 1968 සිට ආරම්භ කර තිබෙනවා.ලොව ප්‍රචලිත නො වූවත් ශ්‍රී ලංකා මානව ඉතිහාසය වඩාත් ඈතකට විහිදී යන බවක්‌ බුන්දල පතිරාජවෙල සහ යාල කලාප අංක 2 යන ප්‍රදේශවලින් හමු වූ ගල් ආයුධවලින් පෙන්වා දෙයි.   වසර 2011 සහ 2012 තුළ කරන කැණීම් ප්‍රාග් ඵෙතිහාසික උරුමය සෙවීමේ වැඩසටහනේ හය වැනි පියවරයි. වර්ෂ 1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගල් ලෙන්වල කැණීම් සිදු කළා. විශේෂයනේ බටදොඹ ලෙන, කෑගල්ලේ අලුලෙන සහ බුලත්සිංහල පාහියන්ගල යන මේ ලෙන් කැණීම්වල ප්‍රධාන අරමුණ තමයි ප්‍රාග් ඵෙතිහාසික තොරතුරු යාවත්කාලීන කිරීම. නිදසුනක්‌ ලෙස ගත්තොත් මේ පාහියන්ගල කැණීම් කළේ වර්ෂ 1986 දී, එවකට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයෙකු වූ ආචාර්ය ඩබ්ලිව්. විඡේපාල මහත්මයයි. එතුමා මේ ගල් ලෙනේ අදින් වසර 37000 සිට වසර 4000 දක්‌වා කාල පරාසවලට අයත් ජනාවාස පස්‌ තට්‌ටු 4ක්‌ හඳුනා ගත්තා. නූතන කැණීම්වලට ඉතා ම දියුණු කැණීම් ශිල්ප ක්‍රම භාවිත කළා. මේ දියුණු ශිල්ප ක්‍රම භාවිත කර ජනාවාස පස්‌ තට්‌ටු සිය ගණනක්‌ බෙදා වෙන් කළා. මෙහි ප්‍රධාන අරමුණ තමයි කාල නිර්ණ දත්ත ලබා ගැනීම. මෙහි දී කෙරෙන්නේ පස්‌ තට්‌ටු වෙන් කර ඒ ඒ තට්‌ටුවලින් ලබා ගත් නියෑදි පර්යේෂණයට ලක්‌ කිරීම. දකුණු ආසියාවේ නවීන මානවයන් ගේ පෞරාණික තොරතුරු හමු වන්නේ ශ්‍රී ලංකාවෙන්. විශේෂයෙන් කළුතර දිස්‌ත්‍රික්‌කය, කෑගල්ල දිස්‌ත්‍රික්‌කය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කය ආශ්‍රිතව තිබෙන ප්‍රධාන ගල් ලෙන්වලින්

හුංගම මිණිඇතිලිය ප්‍රදේශයේ කළ කැණීමකින් හමු වූ ප්‍රාග් මානව අස්‌ථි සහ බෙලිකටු නිධි වලින් ප්‍රාග් ඵෙතිහාසික ජනාවාසවල තොරතුරු හෙළි වෙයි. මේ බෙලිකටු නිධිය පිළිබඳව කළ විශ්ලේෂණවල දී එය වසර 6000ක්‌ පමණ පැරැණි බැව් අනාවරණය විය. මේ නිධිය ආශ්‍රිතව හමු වූ මානවයා මැණික්‌හාමි යනුවෙන් නම් කෙරිණි.  මේ බෙලිකටු නිධිවලින් ප්‍රාග් ඵෙතිහාසික මානවයා ගේ ක්‍රියාකාරකම් රැසක්‌ අනාවරණය වෙයි. එනම් මානවයා ගේ යෑපීම් රටාව, පරිසරය ජයගැනීම, පාරිසරික භාණ්‌ඩවලට අවතීර්ණ වීම සහ ඔවුන් භාවිත කළ තාක්‌ෂණ ක්‍රමවේද වැනි කරුණු රැසක්‌ අනාවරණය වෙයි. වෙරළාසන්නව විසූ මානවයන් ගේ යෑපීම් රටාව මූලික වශයෙන් මුහුද හා කලපු ආශ්‍රිතව සිදු කෙරුණු අතර තෙත් කලාපීය ප්‍රදේශවල ගල් ලෙන්වල විසූ මානවයන් ඝර්මකලාපීය වනාන්තර මත යෑපීමක්‌ සිදු කළ බැව් ද, අනාවරණය වන අතර ම මුහුද හා ආශ්‍රිත සම්පත් ද පරිභෝජනය කළ බැව් අනාවරණය වෙයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 500ක පමණ ඉහළින් පිහිටි කුරුවිට වලාදුරේ පිහිටි බටදොඹලෙන ලොව ප්‍රචලිත වූයේ නූතන මානවයාට අයත් පැරැණි ම සාධක එහි තිබී හමු වූ බැවිනි. අදින් දශක 6කට පමණ පෙර මෙරට ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ පී. ඊ. පී. දැරණියගලයන් විසින් හා ඉන්පසුව ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන පුරාවිද්‍යාඥයන් විසින් මේ ලෙන ආශ්‍රිතව වරින් වර කරන ලද කැණීම්වලින් අදින් වසර 37000කට පමණ පෙර සිට මේ ලෙන මධ්‍ය ශිලා යුගයට අයත් ආදි මානවයන් පරිහරණය කළ බවට තහවුරු විය. මේ ගුහාව ආශ්‍රිතව කළ කැණීම්වලින් ආදි මානව සැකිලි කොටස්‌වලට අමතරව ඔවුන් පරිහරණය කළ එනම් දඩයම් කර පුළුස්‌සා ආහාරයට ගත් සත්ත්ව අවශේෂ, ගොළු බෙලි කටු, වල් දෙල් හා කැකුණ ඇට යනාදී ද්‍රව්‍ය රාශියක්‌ හමු වෙයි. මේ ගුහාවෙන් හමු වන බොහෝ දේ අතර මධ්‍ය ශිලා යුගයට අයත් ජ්‍යාමිතික හැඩයෙන් යුත් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (microliths) විශේෂ තැනක්‌ ගනී. මේ අතර සත්ත්ව අස්‌ථිවලින් නිර්මාණය කළ ආයුධ, ගිනි ඇවිලීම සඳහා භාවිත කළ ශිලා මෙවලම් ද ප්‍රධාන වෙයි. මෙසේ හමු වූ බලංගොඩ මානව සැකිලි කොටස්‌ විශ්ලේෂණය කිරීමෙන් බලංගොඩ මානවයා ගේ භෞතික ස්‌වරූපය පිළිබඳව යම් දල අදහසක්‌ මෙසේ පෙන්වා දිය හැකි ය. පිරිමි මානවයන් අඩි 5 අඟල් 6 සිට අඩි 5 අඟල් 8ක්‌ දක්‌වාත්, ගැහැනුන් අඩි 5 අඟල් 1/2 සිට අඩි 5 අඟල් 4 දක්‌වාත් උසින් යුක්‌ත විය. පිරිමින් ගේ කපාල ධාරිතාව ඝන සෙ.මි 1589.72ක්‌ ද, ගැහැනුන් ගේ කපාල ධාරිතාව ඝන සෙ.මී 919.66ක්‌ ද වෙයි. හිස්‌ කබලේ අස්‌ථි ඝනකමින් යුක්‌ත ය. තල්ල විශාල ය පළල් ය. යටි හනුව ශක්‌තිමත් ය. දත් ප්‍රමාණයෙන් විශාල ය.

අලු ලෙන

කෑගල්ලට ආසන්නව පිහිටි අත්තනගොඩ ගම් පියසේ පිහිටි අලුගල්ගෙය හෙවත් අලුලෙන ද, ප්‍රාග් ඵෙතිහාසික මානවයන් ගේ වැදගත් සාක්‌ෂි රැසක්‌ විදහාපාන්නකි. වසර 1954 දී පුරා විද්‍යාඥ පී. ඊ. පී. දැරණියගලයන් විසින් කරන ලද කැණීම්වලින් පාෂාණමය ආයුධ හා මානව අස්‌ථි රැසක්‌ සොයා ගැනීමට හැකි විය. මෙහි දී හොඳින් සංරක්‍ෂණය නො වුණු මානව සැකිලි කොටස්‌ රැසක්‌ සොයා ගැනීමට හැකි විය. මෙයට අමතරව ගොළුබෙලි කටු, මොලුස්‌කාවන් ගේ අස්‌ථි, උරගයන්ගේ අස්‌ථි කොටස්‌ මෙන්ම මී හරකා, වඳුරා, ලේනා, යන සත්ත්ව විශේෂ රැසක ගේ අස්‌ථි ද හඳුනා ගැනීමට හැකි වී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සත්ත්ව විශේෂ සියල්ල ම අද වන විට මෙරටින් වඳ වී ගොස්‌ සිටීම ය.

අලවල මානවයා

ශ්‍රී ලාංකීය ආදි මානව ජනාවාසවල ඉතිහාසයට ඉතා ම වටිනාකමක්‌ එක්‌ කරමින් හා බස්‌නාහිර පළාතට ද එවන් වටිනාකමක්‌ දෙමින් වසර 2008 දෙසැම්බර් මස සිට 2009 අප්‍රේල් දක්‌වා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් කරන ලද කැණීම්වලින් අලවල පොත්ගුල් ලෙන ප්‍රාග්ඵෙතිහාසික ස්‌ථානයක්‌ බවට තහවුරු විය. බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මේ අලවල ලෙන සියනෑ කෝරලේ උඩගහ පත්තුවට අයත් වෙයි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 500ක්‌ පමණ උසින් පිහිටි මේ අලවල ලෙනෙන් හමු වූ මානව අස්‌ථි දිරා ගිය ස්‌වරූපයක්‌ පෙන්නුම් කළේ ය. මේ මානව අස්‌ථි අතර හිස්‌ කබලේ කොටස්‌ 26ක්‌, යටි හණු කොටස්‌ 2ක්‌, කෘන්තක දත් 2ක්‌, රදනක දත් 2ක්‌, දිගු අස්‌ථි කැබැලි 7ක්‌, දණිස්‌ කටු 2ක්‌, පර්ශු 3ක්‌, ශ්‍රොඅණි කොටස්‌ 1ක්‌ සහ කොඳු ඇට 2ක්‌ හඳුනා ගැනීමට හැකි විය. මෙයට අමතරව ලෙහෙල්ලා, මස්‌පෙතියා, අංකුට්‌ටා, හුංගා, මගුරා වැනි මත්ස්‍යයන් ගේ අස්‌ථි කැබැලි රැසක්‌ ද දඩයම් කළ සත්ත්ව විශේෂ රැසක ගේ අස්‌ථි කොටස්‌ ද හමු විය. මේ සත්ත්ව විශේෂ අතර වඳුරන්, වැලි මුවන්, මී මින්නන්, වල් ඌරන් ද වෙයි. කුරුවිට බටදොඹ ලෙනේ වර්ෂ 1982 කළ කැණීම්වල හතර වැනි ස්‌ථරයෙන් අදින් වසර 13500කට අයත් හා පස්‌ වැනි ස්‌ථරයෙන් අදින් වසර 17000කට අයත් ව්‍යාඝ්‍රයන් ගේ අවශේෂ 4ක්‌ හමු වී ඇත. වර්ෂ 2009 මුල් භාගයේ දී පාහියන්ගල කැණීම්වලින් 80 වැනි ස්‌ථරයේ තිබී වසර 20000ක්‌ පැරැණි ව්‍යාඝ්‍ර ශේෂ දෙකක්‌ හමු වී ඇත.

Related Posts Plugin for WordPress, Blogger...