Related Posts Plugin for WordPress, Blogger...

Monday, 30 October 2017

SOCIAL : මොකක්ද මේ හැලොවීන් කියන්නේ? ඇයි එදාට වට්ටක්කා ලන්තෑරුම් පත්තුකරන්නේ?

ජැක්-ඕ-ලැන්ටර්න් ලෙස හඳුන්වන ලන්තෑරුම් වර්ගය
හැලොවීන් (Halloween) කියන වචනේ හැදිලා තියෙන්නේ "All Hallow's Evening" යන යෙදුම කෙටිකරලා. බෝහෝ රටවල් හැලොවීන් සමරන්නේ ඔක්තෝම්බර් මාසේ 31 වැනිදා එනම් හෙට. ඔක්තෝම්බර් 31 වැනිදා කියන්නේ සමහර ක්‍රිස්තියානි ඇදහිලිවල සියලු සාන්තුවරුන් "All Hallows" සැමරුම පටන්ගන්නා දිනයේ සවස් භාගයයි. එදිනම මළවුන් ඇදහීමද සිදුකරනවා. හැලොවීන් සැමරුමේ අවතාර, හොල්මන්, භූතාත්ම ආදිය පිලිඹිඹු වන්නේ මේ නිසායි.

හැලොවීන් සැමරුම සිදුවන්නේ සරත් සෘතුව, නැතිනම් අස්වනු නෙළාගෙන අවසන්ව ශීත සෘතුව ආරම්භවීමට සූදානම් වෙමින්, ගස්වල කොළ හැලෙමින් කාළගුණය ශීතල වන්නට පටන්ගන්නා අවධියයි. හැලොවීන් ආරම්භය කෙල්ටික් නම් පුරාණ  යුරෝපීය ගෝත්‍රයක් විසින් සිදුකල අස්වනු නෙළාගෙන අවසන්වීමේ උත්සව චාරිත්‍රයක් වියහැකි බවයි ඉතිහාසඥයින්ගේ විශ්වාසය.

යකඩ යුගයේ මධ්‍යතන යුගයේ (medieval) විසූ කෙල්ටික් වරුන්ගෙන් පැවත ආ, අස්වැන්නෙන් පසු මළවුන් අදහා ස්තූති කිරීම ආදී ඇදහිලි ක්‍රම, කිතුදහම යුරෝපයේ පැතිරවූ මිෂනාරීන් පූජකයින් විසින් කිතුදහමට එකතුකරගෙන එය හැලොවීන් ලෙස සාන්තුවරුන් සැමරීමේ උත්සවයක් ලෙසට අනුවර්තනය කර ගත් බවයි සැලකෙන්නේ.

හැලොවීන් සැමරුම සමගින් බැඳී ඇති වට්ටක්කා ගෙඩි වලින් සාදන බියකරු මුහුණු මෙන් පෙනෙන ජැක්-ඕ-ලැන්ටර්න් ලෙස හඳුන්වන ලන්තෑරුම් වර්ගය බිහිවූ ආකාරය පිලිබඳවද ඇත්තේ රසවත් යුරෝපීය ජනකතාවක්.

ඔක්තෝම්බර් මාසය යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වට්ටක්කා පලදාව ලැබෙන කාලය වීමද මීට රුකුලක් වන්නට ඉඩ තිබෙනවා. ජනප්‍රවාදයේ හැටියට ජැක්-ඕ-ලැන්ටර්න් ලන්තෑරුම් පත්තු කරන්නේ ජැක් නැමැත්තෙකුගේ පුරාවෘත්තයක් සිහිකිරීමටලු.

බටහිර යුරෝපය පුරා විවිධ අනුවර්තනවලින් පැතිරී ඇති ලන්තෑරුම් ජැක්ගේ පුරාවෘත්තයට අනුව ජැක් යනු ඉතා අළස එහෙත් කපටි නුවණක් ඇති කම්මල්කරුවෙක්. මහන්සිවී කම්මල්වැඩ කිරීමෙන් ජීවිකාව සරිකරගන්නවා වෙනුවට ජැක් මිනිසුන් රවටමින්, ඔවුන් සතු දෑ කපටිකමින් කඩාවඩා ගනිමින් ජීවත්වූ කෛරාටිකයෙක් වුනා.

වරක් ගම්මානයකට වැදී, ගම්මුන්ගේ වටිනා දෑ සොරාගෙන පලායමින් සිටි ජැක් ඉදිරියට පැමිණි සාතන්, ඔහු දැන් මියයායුතු බව දන්වා සිටියා. සිය කපටි නුවණ මෙහෙයවූ ජැක්, සාතන්ට පවසා සිටියේ ඔහු පසුපස හඹා එන ගම්මුන් නිතරම දෙවියන් අදහන, සාතන්ව පිලිකෙව් කරන්නන් බවත්, ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට අවස්ථාවක් සළසාදිය හැකි බවත්ය.

කපටි ජැක් සාතන්ට පවසා සිටියේ ඔහුට රිදී කාසියක් බවට පත්විය හැකිනම් (සාතන්ට ඕනෑම හැඩයක්, වේෂයක් ගත හැකිය) තමන්ට ගම්මුන්ගෙන් සොරාගත් දේවලට ගාස්තුව ලෙස එය දිය හැකි බවත්, ගම්මුන්ගේ අතට පත්වූ වහාම අතුරුදහන් වන ලෙසත්ය. එවිට රිදී කාසිය සොරාගත්තායයි එකිනෙකාට චෝදනා කරමින් ගම්මුන් ගහ මරාගනු ඇතැයි පැවසූ ජැක්, දෙවියන්ට ගරුකරන ගම්මුන්ට එය හොඳ දඬුවමක් වනු ඇතැයි ද පැවසූවා.

යෝජනාව පිලිගත් සාතන් රිදීකාසියක් බවට හැරී ජැක්ගේ සාක්කුවට පැන්නා. එහෙත් සාතන්ගේ අවාසනාවට ජැක්ගේ සාක්කුවේ ඔහු ගම්මුන්ගෙන් සොරා ගත් පූජනීය කුරුසියක්වූ අතර එය නිසා සාක්කුවට පැනගත් සාතන්ගේ බලය අහෝසිවී ඔහු කාසියක් ලෙසම ජැක්ගේ සාක්කුවේ හිරවුනා.

හැලොවීන් සැරසිළි
තමන්ව නිදහස් කරන ලෙස බැගෑපත්වූ සාතන්ව නිදහස් කිරීමට ජැක් එකඟවුනේ යලි කිසි දිනක තමාගේ ආත්මය ලබා නොගන්නා බවට සාතන්ගෙන් පොරොන්දුවක් අරගෙනයි. වයස්ගතවී මියගිය ජැක්ට ඔහු කල පවුකාරකම් නිසා දෙව්ලොව වරම් අහිමිවූ අතර ඔහුගේ ආත්මය කිසිදා ලබා නොගන්නා බවට වූ පොරොන්දුව නිසා සාතන් ඔහුව අපායෙන්ද පන්නාගත්තා. සාදාකල් අඳුරෙන් වැසී ඇති දෙව් ලොවත් පරලොවත් අතර අතරමංවූ ජැක් සිය නිවසට යන පාර සොයාගන්නේ කෙසේදැයි සාතන්ගෙන් ඇසූ විට සාතන් අපායේ සදාකල් දැල්වෙන හේඩීස්ගේ ගිණි මැළයෙන් සදාකල් නොනිමෙන අඟුරු කැටයක් ජැක් වෙත විසිකලා.

මේ අඟුරු කැටය වට්ටක්කා ගෙඩියක් හාරා එය තුලට දමාගත් ජැක්, එයින් ලන්තෑරුමක් සාදාගෙන තමන්ව බාරගන්නා තැනක් සොයමින් ලෝකය පුරාම ඉබාගාතේ ඇවිදින්නට වුනා. ලන්තෑරුමක් අරගෙන ඇවිදින ජැක් හෙවත් ජැක් ඔෆ් ද ලැන්ටර්න් පසුව ජැක්-ඕ-ලැන්ටර්න් වූ බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ. මළවුන්ගේ රාත්‍රියවන හැලොවීන් රාත්‍රියේ ඉබාගාතේ ඇවිදින ජැක්ට පාර පෙන්වීම සඳහා ජැක්ගේ ලන්තෑරුම වැනි වට්ටක්කා ලන්තෑරුම් සෑම නිවසකම දල්වනවා.

ජැක් ලන්තෑරුම් තැනීමට අමතරව මළවුන්, අවතාර මෙන් ඇඳුම්වලින් සැරසී සාදවලට යාම, ට්‍රික්-ඕ-ට්‍රීට් හෙවත් නිවෙස් වලට ගොස් දොරට තට්ටු කර රසකැවිලි ඉල්ලා ගැනීම, අපාගේ හේඩීස්ගේ ගිණිමැළය සිහිවීමට ගිණිමැළ පත්තු කිරීම, අන් අය බිය වද්දන කවටකම් කිරීම ආදීය විවිධ රටවල ළමයින් විසින් සිදුකරනවා.

ආගමික කටයුතුවලට නැඹුරු යුරෝපීය  වැඩිහිටියන් හැලොවීන් දින සවස දේවස්ථානවලට ගොස් දෙවියන් යැදීම, මියගිය ඥාතීන්ගේ සොහොන්වල ඔවුන් සිහිකොට ඉටිපන්දම් පත්තු කිරීම ආදිය සිදුකරනවා.

හැලොවීන් රාත්‍රියේ භූතාත්ම ඇඳුම්වලින් සැරසී රසකැවිලි එකතුකරමින් යන ලමයි.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Sunday, 29 October 2017

ARE U SERIOUS? : ටර්මිනේටර් වගේ බයික් පදින යමහා Motobot රොබෝ

පසුගිය සතියේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වුනු Consumer Electronics Show (CES) ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේදී සුප්‍රකට යමහා සමාගම අලුත් වැඩක් පෙන්නුවා.ඒ ප්‍රදර්ශණයට පැමිණි සිටි නරඹන්නන්ට සිය අලුත්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හඳුන්වා දීමෙන්.

Motobot ලෙස හඳුන්වාදුන් මේ කෘත්‍රිම බුද්ධි රොබෝවා මිනිස් යතුරු පැදි ධාවකයෙකු ආකාරයට නිමවා තිබූ අතර සාමාන්‍ය මෝටර් බයිසිකලයක් පාදයෙන් ගියර් මාරුකරමින්, දකුණතින් ඇක්සලරේටරය හා වමතින් ක්ලචය ක්‍රියාත්මක කරමින්, බයිසිකලයේ සමබරතාවය රඳවාගනිමින් යමහා YZF-R1M  මෝටර් බයිසිකලයක් පදවාගෙන ගියේ නරඹන්නන් ආශ්වාදයට පත්කරමින්.

යමහා සමාගම මේ රොබෝවා නිර්මාණය සඳහා තාක්ෂණික පාර්ශවකරුවා ලෙස ඇමරිකාවේ Stanford Research Institute (SRI) ආයතනය සම්බන්ධකරගෙන තිබුණා. යමහා සමාගම පවසන අන්දමට මේ තාක්ෂණය ආධාරයෙන් යමහා මෝටර් බයිසිකල් පරික්ෂාවට බඳුන්කිරීමට බලාපොරොත්තු වනවා. 

එමෙන්ම යමහා ප්‍රකාශකයෙකු පැවසුවේ තව වසර 2-3කින් මොටෝබොට් රොබෝවා, මෝටර් බයිසිකල් ධාවන ශූර වැලෙන්ටිනෝ රොසී සමග කරට කර මෝටර් බයිසිකල් ධාවන තරඟයක යෙදිය හැකි ආකාරයට දියුණු කරන බවයි.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Friday, 27 October 2017

CONSPIRACY THEORY : කෙනඩි රහස් වාර්තා එලියට - කේ.ජී.බී "Department 13" ඝාතන ඒකකය සම්බන්ධද?

<> කෙනඩි ඝාතනයට මාස දෙකකට පෙර ඔස්වල්ඩ් මෙක්සිකෝවට ගියේ ඇයි? කේ.ජී.බී ඔත්තු සේවයේ ඝාතන සිදුකිරීමට කුප්‍රකට "13වැනි දෙපාර්තමේන්තුවේ" ඒජන්තයෙකු හමුවුනාද?

<> තනි මිනිහෙකුට ඇමරිකන් ජනාධිපති මරන්න ලැබෙන්න තරම් ඇමරිකන් ආරක්ෂක අංශ දුර්වල නෑ, ඔය වැඩේ ලොකු කුමණ්ත්‍රණයක් වෙන්නම ඕනෑ - සෝවියට් නායක නිකිටා කෘෂ්චෙෆ්

<> ඔස්වල්ව අත් අඩංගුවට ගන්නට ගොස් වෙඩිකෑ ඩලාස් පොලීසියේ ඔෆිසර් ටිපිට් කෙනඩිගේ නියම මිනීමරුවාද? නැතිනම් කෙනඩි මැරූ ඔස්වල්ඩ්ව මරන්නට කුමණ්ත්‍රණකරුවන් යෙදවූ ඉත්තාද? මරන්න කලින් ඔස්වල්ඩ් ඉස්සරවුනාද?

<> "තව ටිකකින් ලොකු නිව්ස් එකක් දැනගන්න ඇමරිකන් ඇම්බසිය අමතන්න ...!!" කියලා කෙනඩිට වෙඩි තියන්න විනාඩි විසිපහකට ඉස්සෙල්ලා ලන්ඩන් පත්තර කන්තෝරුවකට ලැබුණු අභිරහස් ඇමතුම දුන්නේ කවුද?

<> කෙනඩි මරන්න සතියකට කලින් ඔස්වල්ඩ් හා ටිපිට් ජැක් රූබිව හමුවෙන්න ගිය බවට සාක්කි. තුන්දෙනාම අන්ත දක්ෂිණාංශික "ජෝන් බර්ච් සමාජයේ" සාමාජිකයින් බව හෙලිවලා. ඔස්වල්ඩ් ටිපිට්ව මැරුවා, ජැක් රූබි ඔස්වල්ඩ්ව මැරුවා. රූබි පිලිකාවකින් මැරුනා.

ජනාධිපති ජෝන් කෙනඩි දුරසිට වෙඩිතබා මරාදැමූ බවට චෝදනා ලැබූ ලී හාවි ඔස්වල්ඩ් අත් අඩංගුවට පත්වීමෙන් පසු...1963 නොවැම්බර් 22
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයෙන් ජෝන් එෆ් කෙනඩිගේ අභිරහස් ඝාතනයට අදාල මෙතෙක් කල් රාජ්‍ය රහස් යටතේ ආරක්ෂාකර තිබූ වාර්තා 2800ක් ඊයේ අන්තර්ජාලයට එක්වුනා. එහෙත් තවත් ලිපිගොනු ගණනාවක් මාස හයක් යනතෙක් ආරක්ෂිතව තැබීමට සිදුවන බව ට්‍රම්ප් පවසා සිටියා. සී.අයි.ඒ හා එෆ්.බි.අයි ආයතනවල ඉල්ලීම මත එසේ කල බවත්, මේ මාස හය තුල එම ලිපිගොනු පිරික්සා ඒවාවල ඇති, තවමත් ඇමරිකන් රාජ්‍ය ආරක්ෂාවට අණතුරුදායක තොරතුරු කපා හැරීමට ඔවුන්ට නියෝගකල බවත්, ඉන්පසු එම ලිපිගොනුද ඇමරිකන් ජනතාව වෙත නිකුත්කරන බව ට්‍රම්ප් පැවසුවා.

නිකුත්කොට ඇති ලිපිගොනු වලින් හෙලිවන අපූරු තොරතුරු

1] සෝවියට් දේශය දැඩි භීතියට

කෙනඩි ඝාතනය තමන් පිට පැටවෙතැයි සෝවියට් රජය දැඩිලෙස බියපත්වී සිටි බව හෙලිවී තිබෙනවා. ලී හාවි ඔස්වල්ඩ් වසර ගණනාවක් ඇමරිකන් පුරවැසිභාවය අතහැර සෝවියට් රුසියාවේ ජීවත්වී, එහිදී රුසියන් කාන්තාවක් හා විවාහවී තිබෙනවා. මේ නිසා කෙනඩි මැරවීමට ඔස්වල්ඩ් පෙලබූ බවට සැකසිතී ඇමරිකාව තමන්ට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ලකරතැයි ඔවුන් බියපත්වී ඇමරිකන් පරීක්ෂණවලට සියලු සහය ලබාදීමට තීරණය කොට තිබෙනවා.

2] සැකය ඩලාස් නගරයේ පොලීසියවෙත එල්ලවී තිබුණා.

කෙනඩි ඝාතනය කලේ ලී හාවී ඔස්වල්ඩ් බව නිල පිලිගැනීම වුනත් මේ ඝාතනයට ඩලාස් නගර පොලීසිය සම්බන්ධවී ඇති බවට දැඩි සැක පැවතී තිබෙනවා. එමෙන්ම සෝවියට් කේ.ජී.බී ඔත්තුසේවයද එලෙස වාර්තාකොට තිබෙනවා.

3] කේ.ජී.බී සැකය කෙනඩිගේම උප-ජනාධිපති ලින්ඩන් ජොන්සන් වෙතත්

මෙම ඝාතනය ගැන කෙනඩිගේ උප ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් දැනසිටි බව හෝ, ඔහුගේ උවමනාවට සිදුවූ එකක් බව කේ.ජී.බී ඔත්තු සේවය විශ්වාස කොට තිබෙන බව සෝවියට් දේශයේ ක්‍රියාත්මකවූ ඇමරිකන් ඔත්තු කරුවන් වාර්තාකොට තිබෙනවා.

4] අන්ත දක්ෂිණාශික කෙනඩි විරෝධීන් ඝාතනය සිදුකරන්නට ඇති.

සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විශ්වාස කල පරිදි මේ ඝාතනය පිටුපස ලින්ඩන් ජොන්සන් සිටි අතර ඔහුට පක්ෂපාත අන්ත දක්ෂිණාංශිකයින් මෙය සිදුකොට තිබෙනවා. ඩලාස් පොලීසියද මෙයට සහයදී තිබෙන අතර ඒ සියල්ල ඉතා සූක්ෂ්ම ලෙස යටගසා තිබෙනවා.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ARE U SERIOUS? : මෙන්න.............. ලෝක ප්‍රකට කවලං විෂ්කි!!!

කවලං විෂ්කි කියන්නේ ඇත්තම විෂ්කි වර්ගයක්. මේවා නිෂ්පාදනය වෙන්නේ තායිවානයේ කවලං ඉස්කාගාරයෙන්.

මේ ස්කාගාරයට "කවලං" කියන අපූරු නම වැටිලා තියෙන්නේ, තායිවානයේ ආදීවාසී ජනකොට්ටාශයක් වන  "කවලං" ජනයා පාරම්පරිකව වාසය කරන ප්‍රදේශයේ පිහිටා ඇති නිසායි.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 26 October 2017

AMAZING ENGINEERING : පැයට කිලෝමීටර් 1600ක වේගෙන් යන කාර් එක???

Bloodhound SSC - ලෝකයේ වේගවත්ම ගොඩබිම් වාහනය ලෙස වාර්තාව දිනා ගැනීමේ උත්සහයක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල මේ කාර් එක මේ ලඟදී එන්ගලන්තයේ කෝන්වෝල් ගුවන් තොටුපොලේ ධාවන පථයකදී පලමු අත්හදා බැලීමේ ධාවනයක නිරතවුනා.

මේ සුපිරි කාර් එකේ රියැදුරු අසුනේ සිටියේ බ්‍රිතාන්‍ය ගුවන්හමුදාවේ වින්ග් කමාන්ඩර් ඇන්ඩි ග්‍රීන්. කමාන්ඩර් ඇන්ඩි ග්‍රීන් මේ වනවිටත් ලෝකයේ වේගවත්ම ගොඩබිම් වාහනය ධාවනය කල පුද්ගලයා ලෙස ගිනස් වාර්තාපොතේ සටහන් වෙනවා. ඇන්ඩි ග්‍රීන් මේ වික්‍රමය කලේ 1997දී Thrust SSC නැමති ජෙට් එන්ජින් දෙකකින් බල ගැන්වුන කාර් එක පැයට කිලෝමීටර් 1,228 වේගයෙන් ධාවනය කරමින්.

Bloodhound SSC සුපර්සොනික් කාර් එක නිර්මාණය කරන්නේත් 1997දී වාර්තා තැබූ ත්‍රස්ට් SSC කාර් එක හදපු සුපිරි ඉන්ජිනේරු කණ්ඩායම විසින්මයි. පැයට කිලෝමීටර් 1600ක්, එනම් පැයට හැතැප්ම 1000ක සුපිරි වේගය ලඟාකර ගන්න මේ කාර් එකට එන්ජින් තුනක් ලබා දීලා තියෙනවා.

1] යුරෝෆයිටර් ටයිෆූන් ප්‍රහාරක යානාවකින් ලබාගත් යුරෝජෙට් ටර්බෝෆෑන් ජෙට් එන්ජිම

2] ස්වීඩනයේ නැමෝ සමාගම නිර්මාණය කල හයිබ්‍රිඩ් රොකට් එන්ජිම

3] ජගුවර් V8 සුපර්චාර්ජ් එන්ජිම (රොකට් එන්ජිමේ ඉන්ධන පොම්පය ධාවනය කිරීම සඳහා)

යුරෝෆයිටර් ජෙට් එන්ජිම මගින් කාරය පැයට කිලෝමීටර් 500කට ආසන්න වේගයකට ගෙන එනු ලබන අතර ඉන් පසුව හයිබ්‍රිඩ් රොකට් එන්ජිම මගින් කාරය පැයට කිලෝමීටර් 1600යේ සීමාව පසුකර රැගෙන යනු ඇතැයි නිර්මාණකරුවන් විශ්වාස කරනවා.

දැනට මූලික ධාවන පරීක්ෂණ සිදු කරන අතර 2020දී දකුණු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශයකදී පැයට කිලෝමීටර් 1600යේ ගිනස් වාර්තාව පිහිටුවීමේ උත්සහයන් සිදුවනු ඇතැයි සංවිධායකයින් පවසනවා.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

AUTOMOBILE TECHNOLOGY : ඉන්දියාවේ හදලා ජපානෙට යවන ඇමරිකන් JEEP එක

ලංකාවේ අපි Off Road හැකියාව තියෙන 4x4 වාහන පොදුවේ ජීප් කියලා හැඳින්වුවාට ඇත්තටම Jeep කියන්නේ ඇමරිකාවේ ක්‍රයිස්ලර් මෝටර් රථ සමාගමේ 4x4 වාහන සන්නාමය. මේ වෙනකොට ඇමරිකාවේ ක්‍රයිස්ලර් සමාගම ඉතාලියේ ෆියට් සමාගමත් එක්ක ඒකාබද්ධවෙලා Fiat Chrysler Automobile (FCA) කියන නමින් පෙනීසිටිනවා.

උඩ ෆොටෝ එකේ පෙන්වන්නේ compact SUV කියන මාදිලියට අයත් JEEP Compass  වාහනය. මෙම වාහනය නිපදවෙන්නේ ඉන්දියාවේ. 65%ක්ම ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොටස් යොදාගෙන පූනේ නගරයේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කරන ජීප් කොම්පස් කර්මාන්තශාලාවට ඩොලර් මිලියන 250ක් ආයෝජනය කල බවයි ෆියට්-ක්‍රයිස්ලර් සමාගම පවසන්නේ. ගිය සතියේ මේ ජීප් 600ක් ජපානයට හා ඔස්ට්‍රේලියාවට අපනයනය කල බව සමාගම පවසනවා.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

PHOTOGRAPHY : 2017 නැෂනල් ජියෝග්‍රැෆික් ස්වභාව සෞන්දර්ය ඡායාරූප තරඟය

2017 National Geographic Nature Photographer of the Year 2017 

නැෂනල් ජියෝග්‍රැෆික් ස්වභාව සෞන්දර්ය ඡායාරූප තරඟය සඳහා ඡායාරූප භාරගැනීම ඇරඹූ බව නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් අඩවිය වාර්තාකරනවා.

2017 නොවැම්බර් 17 වැනිදා වනතෙක් මෙම අයදුම් පත් භාරගන්නා බවයි සඟරාව පවසන්නේ. Wildlife, landscapes, aerials, and underwater යන කාණ්ඩ සතරට ඡායාරූප ඉදිරිපත් කල හැකිය.

තරඟ කොන්දේසි හා ඇතුලත්වීමේ තොරතුරු මෙතනින් ලබාගත හැකිය. http://photography.nationalgeographic.com/nature-photographer-of-the-year-2017/rules

මේ වනවිට තරඟයට ඉදිරිපත්කොට ඇති ඡායාරූප කිහිපයක්.....

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

MILITARY TECHNOLOGY : කැලැෂ්නිකොෆ් රුසියන් හමුදාවට හදන බයික් එක

47 - රයිෆලයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් රුසියානු අවි සමාගම දැන් හමුදාවට හා පොලීසියට බයික් හදන්න පටන් අරගෙන. මෑතකදී පැවැත්වුනු යුධ අවි හා උපකරණ ප්‍රදර්ශණයකදී කැලැෂ්නිකොෆ් මේ බයික් මුල්වරට හඳුන්වාදුන් බව තමයි වාර්තා වෙන්නේ. හමුදාවට හදන නිසා තාක්ෂණික තොරතුරු ප්‍රසිද්ධකරලා නෑ.