Related Posts Plugin for WordPress, Blogger...

Friday, 30 September 2016

ලෝක ළමා දිනය | ලංකාව හොඳ නෑ - අපේ රටේ ළමයි පිටරට පටවමු

හොඳම දේ දරුවන්ට! කවුදෝ විද්වතෙක් කියා ඇත (මතක විධියට ලෙනින් විය යුතුය). යෝජනාව සර්ව සාධාරණය. දරුවා යනු අනාගත පුරවැසියාය. අනාගත බදු ගෙවන්නාය. අනාගත පාළකයා මෙන්ම පාළිතයාය. අනාගත ආදායම් උපද්දවන්නාය, අනාගත නවෝත්පාදකයාය, අනාගත ගුරුවරයාය. ඒ අනුව දරුවන්ට හොඳමදේ දෙනවා යනු අනාගත පරපුර රැකගැනීම තුලින් අනාගත වැඩිහිටියා තෘප්තිමත්, විනයවත්, ආදර්ශමත් පුර්වැසියෙකු කිරීමය. ඒ අනුව බලන කල, හෙට තවත් ලෝක ළමාදිනයක් සැමරීමට සූදානම් වන ලංකාවේ ළමා පරපුරේ වර්තමානය හා අනාගතය කෙසේද යයි විවරණය කර බලමු.

ලංකාවේ දරුවන්ට අනාගතයක් නැද්ද?

ලංකාවේ සමහර උගත් දෙමව්පියන් පවා විශ්වාසකරන අන්දමට ලංකාවේ දරුවන්ට අනාගතයක් නැත. සමහරුන් මෙය අන්ත දේශපාලන කෝණයකින් බලයි. අහවලුන් බලයේ නැති නිසා යලිත් කොටින්ට තම්බින්ට නටන්ට ලැබී ඉඩ ඇත. ලඟදීම ඉන්දියාවේ සාගත පරපුර වෙළඳ ගිවිසුම් හරහා ලංකාවට කඩා වදිනු ඇත. සියලු රැකියා තුට්ටුවට දෙකට වැඩකරන ඉන්දියානු ආර්ථික සරණාගතයින්ටය. අපේ ළමයි ගෙදර වේලෙනු ඇත. 

තවත් සමහර දෙමව්පියන්ගේ දැක්මට අනුව මෙහි සිටීමෙන් දරුවන්ට පලක් නැත. උගතාට තැනක් නැත. උගත්කමට සරිලන රැකියා නැත. හොඳම දේ දරුවා රටින් යැවීමයි. උගත්, ඉතා බුද්ධිමත් දෙමව්පියන් පවා මෙසේ සිතයි. උදාහරණයක් ලෙස මෑතකදී මට එක්තරා පියෙක් හා කතාකිරීමට අවස්ථාවක් උදාවිය. ඔහු වෘත්තියෙන් ඉන්ජිනෙරුවෙකි. රජයේ රැකියාවක් කරයි. ලංකාවේ ඉංජිනේරු පීඨ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 4න් (මොරටුව, පේරාදෙණිය, රුහුණ, යාපනය) එකකින් බිහිවුනු යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකි. ඔහු කතාකලේ දැඩි කළකිරීමකිනි. මේ රටේ අනාගතයක් නෑ. කොහොම හරි ළමයව පිටරටකට යවන්න ඕනෑ. 

ඔහු ඉන්ජිනේරුවෙකු වුවද ඔහු සිය දියණිය යොමුකොට ඇත්තේ වාණිජ්‍යය හැදෑරීමටයි (ඇය ඉතා දක්ශ සිසුවියකි එබැවින් ඇයට අපහසුවකින් තොරව ඉන්ජිනේරු විද්‍යාව හැදෑරීමට අවශ්‍ය උසස්පෙල ගණිතය, භෞතික විද්‍යාව ආදියෙන් ඉහලින් සමත්වීමට හැකියාව ඇති බව මම පෞද්ගලිකව දනිමි ). ඔහුගේ තර්කය අනුව ලංකාවේ ඉන්ජිනේරුවෙකුවී වැඩක් නැත. ඊට වඩා කොමර්ස් කිරීමෙන් අනාගතයක් හදාගත හැක.

ලොව පුරා දියුණු රටවල රජයන් පවා, දරුවන් STEM විෂයන් (Science, Technology, Engineering, Mathematics) ලෙස හඳුන්වන තාක්ශණික විෂයන්ට යොමු කිරීමට බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරති. ලංකාවේද උසස්පෙල සඳහා තාක්ශණික විශයන් හඳුන්වාදෙමින් මේ සඳහා සාධනීය පියවර රැගෙන ඇත. ඒ හා සමගාමීව රජයේ විශ්වවිද්‍යාලවලද තාක්ශණික පාඨමාලා පුලුල් කිරීමට, නව තාක්ශණික පාඨමාලා ආරම්භ කිරීමට විවිධ වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක වෙමින් පවතී. 

තාක්ශණික පාඨමාලාවලට හා තාක්ශණ ප්‍රවර්ධනයට වැඩි බරක් දෙන SLIIT (Sri Lanka Instititue of Information Technology), SLIATE (Sri Lanka Institute of Advanced Technological Education), SLINTEC (Sri Lanka Institute of Nano Technology), Kotalawala Defence University, ආදී ව්‍යාපෘතිද මේ හා බැඳී තිබේ. එහෙත් මේ උගත් ඉන්ජිනේරු පියා සිය දක්ශ දියණියව යොමුකරන්නේ චාර්ටඩ් එකවුන්ටන්සි වෙතයි.

ලංකාවේ දරුවන්ගේ අනාගතය එතරම්ම අඳුරුද?

ලංකාවේ ළමා අපචාර හා වදබන්ධන

ළමාරක්ෂක අධිකාරියට අනුව පසුගිය වසරේ පමණක් ළමා අපචාර 10,000ක් පිලිබඳව පැමිණිලි ලැබී ඇත. ඒ අනුව තවමත් පැමිණිලි නොකරණ ලද, කිසිවෙකුත් (ළමයා හා අපරාධකරුවා හැරෙන්නට) නොදන්නා අපචාර කොතරම් තිබිය හැකිද? මේ අතරින් වැඩිම ප්‍රමාණයක් පැමිණිලි දරුවන්ට කෲර ලෙස සැළකීම පිලිබඳවය. බොහෝ විත්තිකරුවන් සිංහල බෞද්ධ උපාසකයින්ය. (මමද සිංහල බෞද්ධයෙකු වෙමි ). දූෂණය කිරීම හා බරපතල ලිංගික අපයෝජන පැමිණිලි 1000කට වැඩිය.

UNICEF/ILO වාර්තාවකට අනුව ලංකාවේ ළමා ගණිකාවන් 40,000ක් සේවයේ නිරතව සිටී. මොවුන්ගෙන් විශාල පිරිසක් පිරිමි දරුවන් වන අතර දේශීය මෙන්ම විදේශිකයින්ට ලිංගික ශ්‍රමය සපයයි. එමෙන්ම යාචකයින් ලෙස යොදවා ඇති වීථි දරුවන් 300,000ද ලංකාවේ සිටී.

අනෙක් රටවල තත්වය

USA

Crimes Against Children research Centre (CCRC) හා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩළයට වගකියන Government Accountability Office (GAO) ආයතනයට අනුව අමෙරිකා එක්සත් ජනපදය තුල 600,000 සිට මිලියන 2.4ක තරමේ බාළ වයස්කාරයින් පිරිසක් ගණිකාවෘත්තියේ නිරතවෙයි. මෙයින් 300,000ක් පමණ පිරිමි දරුවන් වෙයි. (Sources 1, 2)

Australia

ශ්‍රී ලාංකිකයින් පදිංචිවීමට වඩාත්ම ප්‍රියකරන විදෙස් රට වන ඔස්ට්‍රේලියාවේ රජයේ සංඛ්‍යා ලේඛනවලට (source) අනුව වසරකට දරුවන් 40,000ක් පමණ (ලංකාවේ ගාණ මෙන් 4ගුණයක්) අපයෝජනයට බඳුන්වන අතර මෙයින් 5500ක් ලිංගික අපයෝජන වන අතර 16,000ක් දරුවන්ට මානසික වදබන්ධන දීම සම්බන්ධයෙන් වන අතර 11,000ක් දරුවන් සිය දෙම්ව්පියන්ගේ රැකවරණ අහිමිව තනිවම, අනාරක්ශිතව, බොහෝවිට නිරාහාරව සිය නිවෙස්වල තනිවී සිටී. එමෙන්ව වසරකට දරුවන් 9000කට පමණ විවිධ ශාරීරික වද්බන්ධන පැමිණවීම් වාර්තාවේ. මේ සියල්ල සිදුවන ඔස්ට්‍රිලියාවේ ජනගහණය මිලියන 23කි. (ලංකාව මිලියන 21ක ජනකායක් සිටින ඔස්ට්‍රේලියාවට සාපේක්ශව ඉතා දුප්පත් රටකි )

UK

එක්සත් රාජධානියේ රජයට අනුබද්ධ National Society for the Prevention of Cruelty to Children (NSPCC) ඒජන්සියට අනුව එක්සස්ත් රාජධානියේ සෑම දරුවන් 5දෙනෙකුගෙන් එක් දරුවෙක් යම් ආකාරයක බරපතල අව-සැළකීම්වලට (severe maltreatment) භාජනය වී ඇත. එමෙන්ම වසරකට දරුවන් 360,000ක් පමණ බරපතල අපයෝජනයන්ට ලක්වීමේ අවදානමෙන් (high risk of abuse) පසුවේ. මේ සියලු අපචාර නිවසේ සිදුවන අපචාර හෙවත් ලෙස සටහන්වී ඇත. එනම් එක්සත් රාජධානියේ බොහෝ දරුවන්ට සිය නිවස තර්ජනාත්මක පරිසරයකි. (source)

ඒ අනුව හෙට ලෝක ළමාදිනය සමරන ඇමරිකානු, ඔස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය ළමුන්ගේ තත්වය අපේ ළමයින්ගේ තත්වයට වඩා හොඳ යයි කියන්නේ කෙසේද? අපේ දෙමව්පියන් ලංකාව හොඳනෑ කියමින් සිය දරුවන්ව පටවන්නේ මෙවැනි තත්වයක් ඇති රටවලටය.

ලංකාවේ දරුවන්ගේ අනාගතය ගැන සතුටුවිය හැකිද?

ලංකාවේ දරුවන්ටද විවිධ අපයෝජන තර්ජන තිබේ. මධ්‍යම පන්තියේ පවුල්වල දරුවන්ට වෑන් අංකල්ලාගෙන්, ත්‍රී වීලර් අංකල්ලාගෙන්, ටියුෂන් සර්ලාගෙන්, ගෙදර රෙපයාර් කරන්නට එන බාස් අංකල්ලාගෙන්ද, අසනීපවලට තෙල් මතුරන්ට එන කට්ටඩි අංකල්ලාගෙන් මෙන්ම අම්මිගේ බෝයිෆ්‍රෙන්ඩ් අංකල්ගෙන්ද අපයෝජන තර්ජන ඇත. ඒවා පුවත්පත් වල දිනපතා වාර්තාවේ. ගම්වල සිටින දරුවන්ට ගමේ අහල පහල මාමලාගෙන්/සීයලාගෙන්, කඩේ මුදලාලි මාමලාගෙන්ද, අම්මා / අක්කා බලන්නට එන මාමලාගෙන්ද තර්ජන ඇත. සමහරවිට නැන්දලාගෙන්ද නැතුවා නොවේ.

කෙසේ වෙතත් බටහිර රටවල ඇති සර්ව-පිත්තල ලෝකය, තාක්ශණික විප්ලවය මෙහි නැතිවුනාට ලංකාව යනු දරුවන්ගේ අනාගතය නැති කරන, දරුවන්ට අනාගතයක් නැති රටක් නොවේ. 

රටක් ලෙස අප ශක්ති පමණින් අපගේ දරුවන් රැකගන්න බව මට පෙනෙන දෙයකි. තවමත් අපේ දෙමව්පියන් සිය ජීවිතයම කැප කරන්නේ දරුවන් වෙනුවෙනි. දරුවන් මහරෑ තනිකොට දමා පෙම්වතා/පෙම්වතිය සමග ක්ලබ් යන අම්මලා තාත්තලා මෙහි ඉන්නේ අල්ප ප්‍රමාණයකි. ඔවුන්ද විනාශවී ගිය පවුල් ජීවිතයක් නිසා එම තත්වයට වැටුනාවූ අයවලුන් විය යුතුය.

ඒබැවින් අපේ සමහර ඇත්තලා සුරපුරයන්, ඩිස්නිලන්තයන් හා සමාන යයි සිතන බටහිර රටවල ජීවත්වන දරුවන්ට වඩා ලංකාවේ දරුවන්ගේ අනාගතය සුරක්ශිතය යන්න මගේ අවංක හැඟීමයි.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 29 September 2016

වසර 3,000ක් පැරැණි මූල ඓතිහාසික යුගයේ සොහොන් බිමක් දෙවලපොළෙන් හමුවෙයි

2-(1)

මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද  මහා විද්‍යාල භූමියේ සිදු කළ කැණිමකදී සොයා ගත් බව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කටුගම්පොළ මහතා ඊයේ 28 පැවසීය.

දෙවලපොළ පාසල් බිමේ ඉපැරණි සුසාන භූමියක් පැවති බවට ගම්වාසීන්  අතර පැවති තොරතුරක් මත කරනු ලැබූ දැනුම් දීමක් අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල අවසරය ඇතිව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පළ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ මූල්‍යමය අනුග්‍රහය මත මෙම කැණීම් කටයුතු ආරම්භ කළේ පසුගිය 15 වැනිදාය.

කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාරය චන්දිම බෝගහවත්ත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මෙම කැණීම් කටයුතුවල යෙදී ඇත.

දෙවලපොළ පාසලට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ කොටසක් මෙසේ කැණීම්වලට ලක් කිරීමේදී මැටි කුටීරවලින් නිමැවූ සුසාන භූම්ය පොළොව මට්ටම ආසන්නයේදීම හමුවී ඇත. පොළොවේ ඔරුවක් හැඩය ඇතිව මැටි ගසා සාදන ලද  බරණි තුළ මැටි මුට්ටි කිහිපයක අළු දමා තැන්පත් කර තිබියදී හමුවී තිබේ. කීප දෙනෙකුගේ දේහයන් දැවීමෙන් පසු ඉතිරිවූ අළු මෙම මුට්ටි තුළ ඇති බව විශ්වාස කෙරේ.

මෙවැනි සුසාන භූමි දැකිය හැකි වන්නේ තෙත් කලාපයේ හා අන්තර් සංක්‍රාන්තික මධ්‍ය කලාපයේ බව ආචාර්ය මංගල කටුගම්පොළ මහතා සඳහන් කළේය. මෙවැනි සුසාන භූමි උඩරංචමඩම, කලෝටුවාව  ප්‍රදේශයන්ගෙන් සොයා ගෙන ඇති බවත් ගස්පේ ප්‍රදේශයේ ඇති බවට වාර්තා වී ඇති බවත් කටුගම්පොළ මහතා කීය. දැනට හමුවී ඇති කොටස් භෞතික ලක්ෂණ අනුව වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන කළ හැකි යැයිද මෙම පර්යේෂණය තුළින් විධිමත් කාල නිර්ණයක් තීරණය කිරීම, හමුවී ඇති අවශේෂ කොටස්වලින් එදා ජනතාව ජීවත්වූ අන්දම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික ලක්ෂණ හා සමාජීය පසුබිම හෙළිකරගැනීමට හැකි වෙතැයිද කටුගම්පොළ මහතා සඳහන් කළේය.

ලැබී ඇති අඟුරු සාම්පල් විශ්ලේෂණය කිරීමෙන් කාල නිර්ණය කිරීමත් වළං කටුවලින් එදා මිනිසා ගේ සංස්කෘතික හා සාමාජීය ලක්ෂණ අනාවරණය කර ගැනීමටත් ඔවුන්ගේ අවමගුල් චාරිත්‍ර පිළිබඳව හෙළි කර ගැනීමටත් අපේක්ෂා කෙරෙන අතර තවදුරටත් කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

__________________________________________________________________________

  Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

කැඩුණු ඇටකටු වෑල්ඩිං කරන්න 3D Print කරපු කෘතිම ඇට

________________________________________

අනුරාධපුර පැත්තේ ඉන්නවා කියන වෑල්ඩිං වෙදා කැඩිච්ච ඇටකටු වෑල්ඩිං කරනවා වගේ හදලා දෙනවා කියල හුඟ දෙනෙක් කියනවා. උන්නැහෙ ඒ වැඩේ කොහොම කරනවාද කියලා දන්නේ එයාම විතරයි. ඒ වගේම වෑල්ඩිං වෙදතුමා ලඟට ගිහිල්ලා වැඩේ හරිගිය අය ගැන ආරංචිවෙනවා මිසක් වැඩේ වන වෙලා ආන්ඩුවෙ ඉස්පිරිතාලේ විකලාං අංශයේ දීර්ඝකාලීන නේවාසික රෝගීන් වුනු අය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.

ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයෙනුත් මේ වගේම ඇටකටු වෑල්ඩිං වැඩක් ආරංචි වෙනවා. මෙතනදි වෙන්නේ ත්‍රිමාණ මුද්‍රණ ක්‍රමයට අස්ථි බිඳීම් හා උපතින් විකෘති ලෙස අස්ථි පිහිටීම් ඇතිව උපදින අයට අලුත් අස්ථි කොටස් නිපදවීම.

මේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්, මිනිස්/සත්ව අස්ථි නිර්මාණය වී ඇති කැල්සියම් ෆොස්පේට් හා කැල්සියම් කාබනේට් හා කොලෑජන් නම් ප්‍රෝටීනයට බොහොම සමාන, ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකට දමා ත්‍රිමාණ හැඩයකට මුද්‍රණය කල හැකි ද්‍රව්‍යයක් නිපදවා තියෙනවා. මේ ද්‍රව්‍යය ආධාරයෙන් ඕනෑම විකලාංග සැත්කමකට අවශ්‍ය ආකාරයේ අස්ථි කොටස් ඉතා ඉක්මණින් මුද්‍රණය කරගන්න පුලුවන්.

Science Translational Medicine කියන සඟරාවට ලිපියක් සපයන මොවුන් හදිසි අණතුරුවලට බඳුන්වුනු සතුන්ට මෙම ත්‍රිමාණ මුද්‍රිත අස්ථි කොටස් බද්ධ කරලා සිදුකරපු පර්යේෂණ කිහිපයක ප්‍රථිපල විස්තර කර තිබුණා. ඔවුන් පවසන අන්දමට මෙම කෘත්‍රිම මුද්‍රණ ද්‍රව්‍යයෙන් මුද්‍රණය කරපු ඇට ඉතා ඉක්මණින් සිරුරේ ඇට හා හාවෙලා පටක වර්ධනයට උපකාරී වෙන බව නිරීක්ශණය කර තිබෙනවා. 

මිනිස් ඇට මෙන්ම ඉතා ශක්තිමත්, එහෙත් කම්පණය දරාගත හැකි, වගේම සැහැල්ලු මේ ද්‍රව්‍යය විවිධ විකලාංග රෝග සහිතව ඉපදෙන දරුවන්... උදාහරණයක් විධියට කොඳු ඇට පෙලෙහි ආබාධ ඇතුව, කකුලක් කොට, නැතහොත් අතක හෝ කකුලට අස්ථි වර්ධනය වී නොමැතිව ඉපදෙන දරුවන්ට සම්පූර්ණ සුවය ඉක්මණින් ලබාදීමට මෙම කෘත්‍රිම අස්ථි වට හැකියාව තියෙනවා.

__________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Tuesday, 27 September 2016

Northrop Grumman B-21 Raider ඇමරිකාවේ අලුත්ම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය

ඇමරිකන් ගුවන් හමුදාවේ Long Range Strike Bomber (LRS-B) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල නවතම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයේ තොරතුරු නොබෝදා නිළවශයෙන් හෙලිවුනා. 

B-21 රේඩර් (ආක්‍රමණිකයා) ලෙසින් නම් තබා ඇති මෙම යානය අතිවිශාල බෝම්බ ප්‍රමාණයක් ගෙනයා හැකි "Heavy Bomber" ගණයට අයත්. දැනට අමෙරිකාවට ඇති ප්‍රධාන "Heavy Bomber" ගණයේ බෝම්බ හෙලන යානය වන්නේ දැවැන්ත B-52 යානයයි. 

2020 පමණ වනවිට විශ්‍රාම ගැන්වීමට නියමිත B-52 යානයට ආදේශකයක් ලෙස නිර්මාණය කර ඇති B-21 දැඩි ලෙස ආරක්ශිත සතුරු ගුවන්කලාපවලට ඇතුලුවී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සමත් ස්ටෙල්ත් තාක්ශණයෙන් යුතුබව අමෙරිකන් ගුවන් හමුදාව පවසනවා. 

එකක්  ඩොලර් මිලියන 550 බැගින්, මෙවැනි යානා 100ක් ලබාගැනීමට අමෙරිකානු ගුවන් හමුදාව බලාපොරොත්තු වනවා. නියමුවන් සහිතව මෙන්ම නියමුවන් රහිතවද මෙහෙයුම් වල නිරතවිය හැකි B-21 යානය, අති නවීන තාක්ශණයෙන් අගතැන්පත් යානයක්.

අමෙරිකාවේ තවත් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් වන B-2 Spirit යානය නිර්මාණය කල නෝත්රොප් ගෘම්මාන් සමාගම, මෙම යානයේද නිර්මාපකයා වනවා.

දැනට ක්‍රියාන්විත සේවයේ යෙදවිය හැකි ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා ඇත්තේ අමෙරිකාවට පමණයි. 

රුසියාව PAK-DA ව්‍යාපෘතිය යටතේ Tupolev PAK-DA නමින් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් නිර්මාණය කරමින් පවතිනවා. එහි ප්‍රගතිය පිලිබඳ නිළ වාර්තා නැතත් 2025 වනවිට එම යානය ක්‍රියාන්විත සේවයට එකතුකල හැකිබව රුසියානු ආරංචිමාර්ග පවසනවා. රුසියානු ගුවන්හමුදාවේ heavy bomber යානය වන Tupolev Tu-160 Blackjack යානයට ආදේශකයක් ලෙසයි PAK DA යානය නිර්මාණය වන්නේ

මේ අතර චීන ගුවන් හමුදාවද Xian H-20ලෙසින් නම් කොට ඇති stealth heavy bomber යානයක් නිර්මාණය කරමින් පවතිනවා. චීන ගුවන් හමුදාවේ Xian H-6 බෝම්බ හෙලන යානයට ආදේශකයක් ලෙසයි මෙය නිර්මාණය වන්නේ.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Monday, 26 September 2016

ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම Rolls Royce Wraith කාර් රථය දැන් වරායේ

ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා. Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.මේ සුපිරි කාර් රථය ලංකාවට ගෙනවිත් තිබෙන්නේ මෙල්වා ආයතනයේ හිමිකරු විසින් බව වාර්තාවේ.

Rolls Royce Wraith 

මාදිලිය :  දොර දෙකේ, කූපේ මාදිලිය
වර්ගය : ග්‍රෑන්ඩ් ටුවරර්
පාදක මාදිලිය : BMW F01
එන්ජිම : ලීටර් 6.5, V12 ට්වින් ටර්බෝ (බී.එම්.ඩබලිව් සමාගම නිර්මාණය කර ඇත )
ගියර පද්ධතිය : වේග 8ක, ස්වයංක්‍රීය ගියර පද්ධතිය
තාර බර : ටොන් 2.4
නිෂ්පාදනය : බ්‍රිතාන්‍යයේ ගුඩ්වුඩ් කර්මාණ්තශාලාව
මිල : බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් £235,416 සිට ඉහලට

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Sunday, 25 September 2016

ඩිජිටල් කැන්වසයේ මැවුනු ෆොටෝෂොප් සිහින | Photoshopped Dreams on Digital Canvas

චිත්‍රයේ නම : Mistress Lili (පාලිකා ලිලී)
නිර්මාණය කලේ : රෙබෙකා පුඑබ්ලා, ස්පාඤ්ඤය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, 3D මැක්ස්, මෙන්ටල් රේ, සීබ්‍රෂ් (ZBrush)

චිත්‍රයේ නම : Barbarian Warrier (රෞද්‍ර රණකාමියා)
නිර්මාණය කලේ : සිල්වියා ෆියුසෙට්ටී, ඉතාලිය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, පෝසර් (Poser), සොෆ්ට්ඉමෙජ්  XSI

චිත්‍රයේ නම : Sniper (වෙඩික්කාරී)
නිර්මාණය කලේ : මඩීනා චියෝනිඩී, නෙදර්ලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, මායා

චිත්‍රයේ නම : Mistress Of Dragons (මකර ස්වාමිදුව)

නිර්මාණය කලේ : ඩැනියෙල් සෙරා, ඉතාලිය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, මායා, සීබ්‍රෂ් (ZBrush)

චිත්‍රයේ නම : Combat Suit (සටන් ඇඳුම )

නිර්මාණය කලේ : පැට්‍රික් ඔලෙජ්නිසැක්, පෝලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : Golden Rose (රන් සෙව්වන්දිය )

නිර්මාණය කලේ : යැන්ග් ෆැන්, එක්සත් ජනපදය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : Desolation Angel (වියෝගයේ සුරදූතිකාව)
නිර්මාණය කලේ : ගොන්ග් චෙන්ග්, තායිවානය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : RoboTarRT12 (රොබෝ සෙබලිය)
නිර්මාණය කලේ : ඇනටොලියි සිඩොරොෆ්
භාවිතාකල මෘදුකාංග : මායා, ෆොටෝශොප්, සීබ්‍රෂ් (ZBrush)

චිත්‍රයේ නම : Super Keffieh (සුපිරි කාන්තාර සටන්කරුවා)
නිර්මාණය කලේ : නිවාන්හ් චන්තාරා, කැනඩාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : Hera (හේරා දෙවඟන)
නිර්මාණය කලේ : සුතිවත් දෙචැකැම්ෆූ, තායිලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : The Fiddler: Destroy (විනාශකාරී බටනලා වයන්නා)
නිර්මාණය කලේ : ඩොනල්ඩ් බ්‍රැඩ්ෆර්ඩ්, නවසීලන්තය
භාවිතාකල මෘදුකාංග : මායා 3D, ෆොටෝශොප්

චිත්‍රයේ නම : Rouge Hacker (ඉබාගාතේ යන හැකරුවා )
නිර්මාණය කලේ : ජෝර්න් හූරී, එන්ගලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : Police Enforcer (නීතිය සුරකින්නා)
නිර්මාණය කලේ : ජෝර්න් හූරී, එන්ගලන්තය
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : Proteos (ප්‍රොටියෝස් යනු ග්‍රීක දේව කථාවල කියැවෙන මුහුදු දෙවියෙකි, ඔහුට සිතැඟි පරිදි සිය රූපය වෙනස්කරගත හැකිය )
නිර්මාණය කලේ : මැක්සිම් රෙවින්, රුසියාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : Future Trooper (අනාගත යුධ සෙබළා)
නිර්මාණය කලේ : ජොන්සන් ටින්ග්, මැලේසියාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : War Reporter (යුධ පුවත් වාර්තාකාරිනී)
නිර්මාණය කලේ : බෙන් ලෝ, කැනඩාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

චිත්‍රයේ නම : Infiltration Operation (කාන්දුකරණ මෙහෙයුම)
නිර්මාණය කලේ : පාර්ක් ජොන්ග් වොන්, කොරියාව
භාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ටොන් 3000ක් බර නැවක් එසවිය හැකි ලෝකෙ ලොකුම සෝපනය චීනයේ!!!

චීනයේ ත්‍රී ගෝර්ජස් වේලි (Three Gorges Dam) ව්‍යාපෘතිය ලෝකයේ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතියක්. යැන්ට්සි නදිය හරස් කොට ඉදිකෙරුණු දැවැන්ත වේල්ලකින් මෙගාවොට් 22,500ක විදුලිබලයක් නිපැදවෙන අතර යැන්ට්සි නදිය පිටාර ගැලීමේ වාර්ෂිකව ඇතිවන විනාශකාරී ජලගැලීම් පාලනය කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණු වුනා. සුවිසල් ව්‍යාපෘතියක් වුනු මෙම ජලාශ ව්‍යාපෘතිය මගින් මිලියන 1.3 ජනයාගේ වාසභූමි ජලයෙන් යටවුනු අතර ඔවුන්ට වෙනත් වාසස්ථාන සොයාදීමට සිදුවුනා.

කිලෝමීටර් 6300ක් දිගැති යැන්ට්සි නදිය ආසියාවේ දිගම ගංගාව වන අතර ලෝකයේ තුන්වැනි දිගම ගංගාව වනවා. විශාල නෞකා ගමන්කරන මෙම නදියේ ත්‍රී ගෝර්ජස් වේල්ල ඉදිකිරීමෙන් අනතුරුව වේල්ල පසුකර යාමට නෞකාවලට විශාල අමතර දුරක් වෙනත් අතු ගංගා හා නෞකා ඇලවල්වලින් ගමන් කරන්නට සිදුවුනා.

මේ සඳහා ගතවන අමතර කාලය හා වියදම විශාල නිසයි, චීන ඉන්ජිනෙරුවන් මෙම නෞකා වේල්ල තෙක් ඔසවා ජලාශයට මුදාහැරිය හැකි (මෙන්ම අනෙක් පසට ජලාශයෙන්, වේල්ල යට ඇති ගංගාවට) අති දැවැන්ත සෝපානයක් නිර්මාණය කලේ. 

ලෝකයේ ලොකුම සෝපානය ලෙස සැලකෙන මෙය ටොන් 15,500ක් බර අතර ටොන් 3000ක් බර නැවක් ඉහලට එසවිය හැකියි. සැබැවින්ම නෞකා ගෙනයා හැකි අතිවිශාල ජලතටාකයක් මෙන් පෙනන මෙයට නෞකාවක් ඇතුලු කල පසු, එය, ජලතටාකයත් සමගම ඉහලට ඔසවනවා.

නෞකාවක් ඉහලට ඔසවා මුදා හැරීමට විනාඩි 40ක පමණ කාලයක් ගතවනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Saturday, 24 September 2016

අයිෆෝන් 7 හොඳම වැඩකෑලි | Best of iPhone 7

එකක් වගේ වැඩකරන කැමරා දෙකක්!

මේ කැමරා දෙකක පද්ධතිය ලැබෙන්නේ අයිෆෝන් 7+ මාදිලිය මිලදී ගන්නා අයටයි. වයිඩ් ඈන්ගල් (විශාල වපරිසයක් හසුකරගත හැකි) කැමරාවකුත් දුර ඇතිදෑ ඡායාරූපගතකල හැකි ටෙලිෆොටෝ මාදිලියේ ලෙන්ස ඇති කැමරාවකුත් ලෙසින් මෙම පද්ධතිය සකස්කොට ඇත. 

කැමරා දෙකම මෙගාපික්සල් 12 විබේධනයෙන් ඡායාරූප ගන්න අතර භාවිතා කරන්නා තෝරාගන්නා සීරුමාරු අනුව මෙහෙයුම් පද්ධතිය මගින් ඡායාරූපය ගත යුත්තේ මොන කැමරාවෙන්දැයි තීරණය කරයි. 

එමෙන්ම අයිෆෝන් 7 කැමරාව මද ආලෝකයේ හොඳ ඡායාරූප ගැනීම සඳහා විශේෂ පහසුකම් ලබාදී ඇත. එමෙන්ම DSLR කැමරාවල ඇති පහසුකමක් වන F අගය අඩු කිරීමෙන් පසුබිම බොඳවූ (shallow depth of field) ඡායාරූප ලබාගැනීමේ හැකියාව ලබාදී ඇත. 

Water Proof iPhone 7

via GIPHY

ඇපල් සමාගමේ ප්‍රකාශයෙකුට අනුව අයිෆෝන් 7 ජලමුද්‍රා තබා ඇති අතර අඩි 3ක් පමණ ජලයේ විනාඩි කිහිපයක් ගිලී තිබුනත් ක්‍රියාකාරිත්වයට බාධාවක් නොවේ. කෙසේ වෙතත් ෆෝනය ඉක්මණින් ජලයෙන් ඉවතටගෙන පිසදාන ලෙස ඇපල් සමාගම අවවාද කරන අතර ජලයට වැටී පැය 5ක් යනතෙක් බැටරි ආරෝපණය (recharge) නොකරන ලෙසද අවවාද කරයි.

3.5mm හෙඩ්ෆෝන් ජැක් සිදුර නැති පලමු ස්මාර්ට් ෆෝනය

ඇපල් සමාගම අයිෆෝන් 7 ෆෝනයෙන් හෙඩ්ෆෝන් ජැක් එක ඉවත්කොට ඇත. ඒ අනුව සාමාන්‍ය හෙඩ්ෆෝන් ආධාරයෙන් සංගීතයට සවන්දීමට අයිෆෝන් 7 භාවිතා කරන්නන්ට නොහැකිය. ඒ වෙනුවට Lightning port නැමති කනෙක්ටරයට හෙඩ්ෆෝන් සවිකල හැකිය.මීට අමතරව "එයාර් පොඩ්" නැමති රැහැන් රහිත හෙඩ්ෆෝන් යුගලක්ද ලැබේ.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

මහා පොත් ප්‍රදර්ශණය 2016 - බැලුවෙමි, ඇවිද්දෙමි, පොත් නොගත්තෙමි

මහා පොත් ප්‍රදර්ශණය 2016 සැප්තැම්බර් 16 ඇරඹී 25 එනම් හෙට (ඉරිදා) අවසන් වෙයි. පොත් ලැදි, කියවීම ලැදි දරුවන්, දෙමව්පියන්, සාහිත්‍යලෝලීන් හා නවකතා ප්‍රේමින් මෙන්ම ලේඛකයා වැනි විද්‍යාව, තාක්ශණය, ව්‍යාපාර, සත්වලෝකය, ඉතිහාසය ආදී වෙනත් විෂයන් ගන උනන්දුවක් දක්වන්නන්ද සැප්තැම්බරයේ උදාවෙන  මහා පොත් උළෙල උදාවනතෙක් පුලපුලා සිටිති. 

පොත් ප්‍රදර්ශණ භූමියේ පැය කිහිපයක් සැරිසැරූ මෙන්ම ඒ අසලින් රාජකාරි කටයුතු සඳහා වෙනත් දිනවලදී ගමනකල  මට  මිලියන ගණනක් ජනතාව මේ උලෙලට දිනපතා පැමිණිබව පෙනුනි. 

මළපොතේ අකුරකට ආසාවක් නැතිව රස්තියාදුවට පැමිණෙන කොල්ලන් කෙල්ලන් නිසා වැඩිවන තදබදය.

සෑම පොත් උළෙලකදී මෙන්ම බන්ණ්ඩාරණායක ශාලාවේ පැවැත්වෙන ඕනෑම ප්‍රදර්ශණයකට පැමිණි එතන තදබදය වැඩිකරන, එහි සිදුවෙන කිසිදු කටයුත්තකට ආශාවක්, උනන්දුවක්, හැඟීමක් නැති රස්තියාදුකාර රොත්ත මෙවරත් පොත් උළෙලේ තදබදය වැඩිකොට තිබුණි.

බෑග්මළු පිටේ එල්ලාගෙන, අත්වැල් අල්ලගෙන, අඩියෙන් අඩිය සෙල්ෆි ගසමින්, සෑම පොත් කුටියකටම රිංගන මේ රස්තියාදුකාර නඩය තදබදය වැඩිකිරීම නිසා ආසාවට පොතක් පෙරලාගෙන ටිකක් බලන්නට උත්සහ කරන දරුවන්, දෙමව්පියන්, පාඨකයින් අපහසුවට පත්වෙනු මම හොඳින් දැක්කෙමි.

මෙම රොඩ්ඩන් මෙහි රිංගීම වැලැක්වීමට යම් උපායක් යෙදවීම ගැන සංවිධායකයින් සිතා බැලිය යුතුය. එක් උපායක් වන්නේ රුපියල් 250ක්-500ක් වැනි ඇතුල්වීමේ ගාස්තුවක් එක් අයෙකුගෙන් හෝ එක් පවුලකින් අයකිරීමයි. 

මෙය අධික මුදලක් බැවින් පොත් ලෝලීන්ට අසාධාරණයක් වීම වැලැක්වීම සඳහා මිල්දී ගන්නා ඕනෑම පොතක් හෝ වෙනත් ලිපිද්‍රව්‍යයක් වෙනුවෙන් ගෙවීම සඳහා එම ටිකට් පත භාවිතා කිරීමට ඉඩ දිය යුතුය. උදාහරණයක් ලෙස රු.500ක් දී ඇතුලට යන පවුලක් රු. 300කට ශිෂ්‍යත්ව පොතක් ගන්නවානම් එයට ගෙවීම සඳහා මෙම රු.500 ටිකට්පත ඉදිරිපත් කල හැකි අතර, ටිකට්පත ලබාගෙන ඉතිරි රු.200 ආපසු ලබාදීමට කටයුතු කල යුතුය.

එවිට නූඩුල්ස් කා සෙල්ෆි ගැසීමත්, හැකිනම් පොතක්, පෑණක් හොරකම් කිරීමටත් හිතාගෙන බොරුවට මෙහි රිංගන රස්තියාදුකාර නඩ ඇතුලුවීම වලක්වා පොතක්, පෑණක්, පැන්සලක්, සඟරාවක් ගන්නට එන අයට ඉඩ ලැබේ. 

කොකාකෝලා සිල්ලර වෙළඳුන්ගේ  තක්කඩිකම් මෙවරත්

භූමිය තුල සිසිල්බීම අලෙවිකරන කොකාකෝලා කාරයින්ගේ තක්කඩිකම් වෙනදා මෙන් මෙවරත් දකින්නට තිබුණි. ප්ලාස්ක්ටික් බෝතලයක් රු.50 ගණනේ කොකාකෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට් හා ජින්ජර් බියර් තිබෙන බවට බෝඩ් එල්ලාගෙන සිටියද ගන්නට ගියවිට එහි සිටි නොහික්මුණු තක්කඩින් කියා සිටින්නේ ප්ලාස්ටික් බෝතල් දැන් ඉවර බවත් රු.70 ගණනේ කෝප්පයට කොකා කෝලා ගත හැකි බවත්ය. එපමණක් නොව, එවැනි එක් කඩයක සිටි එකෙකු කියා සිටියේ රු.50/- ප්ලාස්ටික් බෝතල් ගෙනාවේ නැති බවයි. ගෙනාවේ නැතිවුනාට තිබහට එන මිනිසුන් රවටන්නට බෝඩ් එක එල්ලාගෙන සිටී.

මොවුන්ගේ මෙම තක්කඩිකම් වලට ඉඩ ලැබී ඇත්තේ මේ කිසිවකට වචනයක් වත් නොකියන අපේ මෝඩ මිනිසුන් නිසාය.

මීට කලින් වතාවකද බණ්ඩාරනායක භූමියේ කොකාකෝලා ස්ටෝලයකින් ප්ලාස්ටික් බෝතලයක් ගෙන, එය මා දියණියන් දෙදෙනා සමග බෙදාගැනීමට බීලා විසිකරන කෝප්පයක් ඉල්ලූ විට මෙම කොකාකෝලා මඩුවේ සිටි නූගත් තක්කඩියා කිව්වේ කෝප්ප දෙන්නේ කෝප්පයට කොකාකෝලා ගන්නවා නම් පමණක් බවයි. 

ගෙදරින් ගෙනාපු වතුර බෝතලේ බොන්නට කෝප්පයක් ඉල්ලුවානම් කමක් නැත. බඩුවක් ගත්ත පසුවත් නිකම් දෙන කෝප්පයට පාට් දැමූ ඌව අල්ලා පොලොවේ ගැසීමට තරම් කෝපයක් ඇති වුවද, කෝපය මුවින් පමණක් පිටකරමින්, "ඉගෙන ගත්ත නැති රස්තියාදු කාරයෝ ඔහොම තමයි ළමයිනේ..විසි කරන කෝප්පෙටත් පාට් දානවා..." යනුවෙන් හයියෙන් ඇහෙන්නට කියා මා දියණියන් දෙදෙනා සමග එතනින් ඉවත් වීමි.

සමාජ වගකීම් ගැන කයිවාරු ගසන කොකාකෝලා වැනි සමාගම් තම භාණ්ඩ විකුණන මිනිසුන් එම සමාජ වගකීම් කෙසේ වෙතත් අඩුම තරමේ හික්මීමකින්, ප්‍රසන්න ලෙස පාරිභෝගිකයාට සළකනවාදැයි සොයා බැලිය යුතුය. 

CIM (UK) මාර්කටින් ඩිප්ලෝමා තියෙන හැත්ත බුරුත්තක් මාකටින් මැනේජර්ලා, බ්‍රෑන්ඩ් මැනේජර්ලා, සේල්ස් මැනේජර්ලා, ඒරියා මැනේජර්ලා ඉන්න කොකාකෝලා වැනි සමාගම් වලට මෙය අපහසු කටයුත්තක් නොවිය යුතුය.

"ජෙයා බුක් සෙන්ටර්" පේව්මන්ට් සයිස් බුක් ස්ටෝල්

සුප්‍රකට "ජෙයා බුක් සෙන්ටර්" එක මෙවරත් ඔවුන්ගේ පදිකවේදිකා මාදිලියේ පොත් කුටියම ඉදිරිපත් කර තිබුණි. අඩි 10ක්වත් පලල නැති මෙම කුටියේ දෙපැත්තේත්, මැද්දේත් පොත් රාක්ක අඩුක්කර තිබෙන්නේ පොත් බලන්නේ කියවන්නේ මීයන් යයි සිතාගෙනද? 

හැරෙන්නවත් ඉඩ නැත. එකෙක් පොතක්  බලන විට ඔහු පසුකරගෙන යන්නට අනිකා පොත බලා ඉවරවෙන තුරු සිටිය යුතුය.  හැම වසරකම කිසිම වෙනසක් නැතුව මෙම පේමන්ට් කුටිය ඉදිරිපත් කරන්නේ ඇයි? ජෙයා අයිතිකාරයා කිසිදාක තම පොත් ඉස්ටෝලයට ඇවිත් තමුන්ගේ පොත් ගන්නට එන මිනිස්සුන්ට සිදුවන අපහසුව දැක නැතිද? 

No Parking ප්‍රදර්ශනේ

පාර්කින් ඇත්තේ පර්මිට් ඇති අයටය. ඒ කියන්නේ පොත් මුදලාලිලාගේ වාහනවලටය. පොත් ගන්නට එන මිනිස්සුන්ට මොනවා වුනත් කමක් නැත. 

මෙම ආකාල්පය පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ මෙන්ම ලාංකේය ව්‍යාපාරික ක්ශේස්ත්‍රයේ බොහෝ අයවලුන්ගේ පරමාදර්ශය නැතහොත් දැක්ම බව පෙනේ. 

* 4G බ්‍රෝඩ්බෑන්ඩ් කියමින් හන්දියක් ගානේ අලෙවිකරන අන්තර්ජාල සබඳතාවල බොහෝවිට 3G වේගයවත් නැත. 

* ගෙදර යන ගමන් බඩු ගන්නට එන්න කියන සුපර්මාකට් වල ඇතුලට යනවිට දැනෙන ගඳ ඇතුලේ ඉන්න මැනේජර්ලාට නොදැනේ. ගෙදර යන ගමන් සබන් කෑල්ලක්, සීනි ටිකක්, එළවලු දෙකක් අරගෙන එලියට බහින්නට පැය කාළක්වත් පෝලිමේ සිටිය යුතුය. ඊට වඩා බොහෝ ඉක්මණට හන්දියේ මුදලාලිගේ කඩයෙන් ගත හැකිය.

* ජනමාධ්‍යය යයි කියමින් මහා කයිවාරු ගසන රූපවාහිණී හා පත්තර කරන්නේ එක්කෝ කඩේ යන එකය, නැතිනම් කාගේ හෝ කුණුරෙදි අපුල්ලන එකය. ඊට අමතරව ඉතුරු ටික නිකම්ම නිකන් ගොසිප්ය.  ඉරිදා පත්තරවල දැන්වීම් ටික විසිකලවිට කියවන්නට තියෙන්නේ එපමණක්ම නේද?

පොත් සල්පිලේ අනාගතය

ඉතිහාසයේ වැඩිම පොත් විකුණුනු සල්පිල ලෙස කයිවාරු ඇසේ. එය ඇත්තකි. නිවී යාමට පෙර පහන් දීප්තිමත්ව දැල්වේ.

පොත් ගන්නට එන මිනිසුන් ගැන සත පහක හෝ තැකීමක් නොමැතිව සංවිධානය කොට ඇති මෙවර පොත් සල්පිල ගියවසරේ වැරදි කිසිවක් හදා නොගෙන, අලුත් වැරදි ගණනාවක් එකතුකරමින් පැවැත්වේ. 

ලබන වසර වනවිට වැරදි හා ගැටලු තවත් වැඩිවනු ඇති අතර, නුදුරු අනාගතයේදීම මහා පොත් කරුමය බවට පත්වී මහජනයා මෙය වර්ජනය කරන තැනට පැමිණෙනු ඇත.

__________________________________________________________________________ 
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Wednesday, 21 September 2016

මැමත් ඇතුන්, රයිනෝසිරස්, හිපපොටේමස් හා සිංහයින් ශ්‍රී ලංකාවේ ජීවත්වුනු ප්ලයිස්ටෝසීන යුගය

Source: Thithmuwa Magazine (Young Zoologists Association), 2012, Page 16
ප්ලයිටෝසීන යුගය යනු කුමක්ද?

ප්ලයිටෝසීන යුගය යනු මීට වසර මිලියන 2.5කට පෙර ආරම්භවී, වසර 11,000කට පමණ පෙර අයිස් යුගය සමග අවසන්වූ කාළපරිච්ඡේදයට ලබාදී ඇති නමයි. මෙම ප්ලයිස්ටෝසීන් යුගය අවසන්වන විට, මානව ඉතිහාසයේ පූරා-ශිලා යුගය (paleolithic) ලෙසින් හඳුන්වන යුගයද අවසන්විය.

පෘථිවියේ ඉතිහාසය හා ජීවයේ ඉතිහාසය අනුව විද්‍යාඥයින් මෙම යුග බෙදා ඇති ආකාරය රූපසටහනේ දැක්වේ.

රත්නපුරයෙන් හමුවූ ප්ලයිස්ටෝසීන ෆොසිල

ප්ලයිටෝසීන කාළවකවානුව තුල ජීවත්වූ සතුන්ගේ ෆොසිල හා අස්ථි වැඩියෙන්ම හමුවී ඇත්තේ රත්නපුර ආදී ප්‍රදේශවල මැණික් පතල් වලිනි. මෙලෙස රත්නපුර ප්‍රදේශයෙන් වැඩිවශයෙන් ෆොසිල හමුවී ඇති නිසා මෙම සත්වයින්ට "රත්නපුර සත්ව සංහතිය" යන නාමය ලබාදී ඇත.

Hexaprotodon Sihaleyus නමින් හඳුන්වන, වඳවීගිය හිපපොටේමස් වර්ගය, Rhinoceros kangvena හා Rhinoceros Sinhaleys යන රයිනෝසිර්ස් දෙවර්ගයේද දත් හා අස්ථිකැබලි හමුවී ඇත. මොවුන් මීට වසර 80,000 පමණ පෙර රත්නපුර ප්‍රදේශයේ වැසිවනාන්තර වල ජීවත්ව සිට ඇත.

Source: Thithmuwa Magazine (Young Zoologists Association), 2012, Page 16
පුරා-ජීවවිද්‍යාඥයින්ගේ මතය අනුව මෙම කාළයේදී අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා ප්‍රදේශය විශාල වගුරුබිමක් ව පැවති අතර එහි මේ රයිනෝසිරස් හා හිපපොටේමස් වර්ග ජීවත්ව ඇත.1938දී කුරුවිට ඒදණ්ඩ වෙල්යායෙන් සිංහයෙකුගේ දත් හමුවූ අතර 1943දී කුරුවිට මැණික් පතලකින් තවත් සිංහ දත් හමුවී ඇත. අස්ථි හමුනොවූවත්, මෙම දත් විශ්ලේෂණය කිරීමේදී මෙම සිංහයා වර්තමාන ඉන්දියානු සිංහයාට ඉතා ලඟ නෑකමක් දකවන සිංහ වර්ගයක් ලෙස තහවුරු වී ඇත. මේ අතර කුරුවිට බටඳොඹ ලෙණෙන් වසර් 16,000ක් පැරණි ව්‍යාග්‍ර (Tiger) අස්ථිකොටස් කිහිපයක් හමුවී ඇති අතර ඒ අනුව බටඳොඹ ලෙනෙහි ජීවත්වූ  බලංගොඩ මානවයින් මෙම ව්‍යාග්‍රයාව දඩයම් කරන්නට ඇතැයි උපකල්පණය කල හැකිය.

මේ යුගයේදී හෝර්ටන් තැන්න, ශ්‍රී පාද මහා වනාන්තරය හා සිංහරාජය එකට යාවුනු මහා වනානතර ප්‍රදේශයක් වූ අතර එහි මෙම ව්‍යාග්‍රයින් හා සිංහයින් දඩයම් කරමින් ජීවත් වන්නට ඇත.

රොබර්ට් නොක්ස්ගේ වාර්තාවලට අනුව 1600-1700 වනතෙක්ම නුවර පලාතේ විසූ ගවරා හෙවත් ආසියානු බයිසන්.

ලංකාව තුල මෑතක් වනතෙක්ම ජීවත්වූ ප්ලියිස්ටෝසීන යුගයේ සත්වයෙකු වන්නේ ගවරා හෙවත් ආසියානු බයිසන් (Bos gurus sinhaleyus) නම් විශාල ගව වර්ගයයි. රොබර්ට් නොක්ස්ගේ ((1659 සිට 1678 දක්වා කාළය) ලියවිලි වලට අනුව ගවරුන් ලෙස සිංහලයින් හැඳින්වුනු විශාල ගවයින් වර්ගයක් නුවර පලාතේ ජීවත්ව සිටිනවා ඔහු දැක ඇත. 

අසා ඇත. නොක්ස්ගේ පොතෙහි 21 වැනි පිටුවේ ලෙසින් ඔහු මෙම සත්වයා පිලිබඳව ලියා ඇත. හරකෙකු හා සමාන බවත් පිටෙහි උස් වැටියක් (ridge) ඇති බවත් පාද සතරම සුදු පැහැ බවත් ඔහු ලියා ඇත.  ගූගල් බුක්ස් සේවය තුලින් හමුවූ නොක්ස්ගේ පොතෙහි එම කොටසේ ඡායාරූපය පහත දැක්වේ.

ගෞර් හෙවත් ආසියානු බයිසන් නම් දුර්ලභ සතෙකු ආසියාවේ සමහර රටවල තවමත් ජීවත්වේ. මෙම සතා පිලිබඳව ඇති විකිපීඩියා ලිපියේ, ජර්මනියේ මියුනික් සත්වෝද්‍යානයේ ජීවත්වන ගෞර් හෙවත් ආසියානු බයිසන් සත්වයාගේ ඡායාරූපය බලන්න. මෙම සතාගේ හැඩරුවත්, නොක්ස් කරන විස්තරයත් කදිමට ගැළපෙනවා නේද?

ගවරා - Gaur - Munich Zoo, (C) Wikimedia
ඒ අනුව රොබර්ට් නොක්ස්, දැන් වඳවී සිටින ගවරයා හැබැහින් දැක ඇති බව පැහැදිලියි නේද? ඔහු ගවරයෙකු දුටුවේ රජුගේ සත්ව ගාලේදී බව ඔහු ලියා තිබේ. බොහෝ විට මේ කාලය වන විටත් ලංකාව තුල ගවරයා දුර්ලභ සතෙකු වන්නට ඇත.  එමෙන්ම, ගවරා මෑතක් වන තෙක් සිංහල ජන ජීවිතයට යම් ආකාරයකින් සම්බන්ධවූ බව සිතිය හැකි  ගවරවිල, ගවරතැන්න, ගවර එලිය, ගවර ගිරිය, ගවර මඩින්න ආදී ග්‍රාම නම් තවමත් ව්‍යවහාරයේ පවතී.

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Tuesday, 20 September 2016

උණුදිය උල්පත් ඇතිවන්නේ කෙසේද? | How do hot water springs form?

ලංකාවේ උණු වතුර ළිං 10ක් විතර තියෙනවා. ඒවා නම්;

  • ගෝමරන්කඩවල (ත්‍රිකුණාමලය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 42
  • කින්නියා (ත්‍රිකුණාමලය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 42
  • නෙළුම්වැව (මනම්පිටිය)  - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 63
  • මුතුගල්වෙල (මාදුරු ඔය ජාතික උද්‍යානය තුල) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: නොදනී
  • කපුරැල්ල - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 55
  • මහඔය - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 56
  • මරන්ගල (පදියතලාව) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 44
  • වහාව (අම්පාර) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: නොදනී
  • කිවුලෙගම (ජයන්ති වැව අම්පාර) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 34
  • මදුනාගල (මහපැලැස්ස - හම්බන්තොට)  - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 44

මේවායින් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ කින්නියාවේ උණුවතුර ලිං. යුද්ධයේ අවසානයත් සමග ආයෙත් මේ උණුවතුර ලිං බලන්න යන්න අවස්ථාව උදාවෙලා. එවැනි ගමණකදී ලේඛකයා ගත්ත කින්නියා උණුවතුර ලිංවල ඡායාරූප ඇල්බමයක් මේ ලිපියේ තියෙනවා.

නැගෙනහිර සංචාරයේදී උණුවතුර ලිං බැලුවට පස්සේ මේවා ගැන විස්තර හොයන්න ලේඛකයාට හිතුනා. ගූගල් සෙවුමකදී ලංකාවේ උණුවතුර ලිං ගැන ලියවුනු පර්යේෂණ පත්‍රිකා දෙකක් හමුවුනා. එකක් කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සම්පාදනය කරපු පත්‍රිකාවක්. අනෙක රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශයට පත්වුනු පත්‍රිකාවක්. මේ දෙකම වැඩි අවධානයක් යොමුකරලා තිබුණේ කින්නියා හා මදුනාගල (මහපැලැස්ස ) උණුදිය ලිං වලට. ඒවගේම සඳරුවන් ලොකුහේවා ගේ “ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත්” පොතේ තොරතුරුත් වැදගත් වුනා.

උණුදිය උල්පත් හටගන්නා ආකාරය

ලෝකය පුරා විවිධ රටවල උණුදිය උල්පත් ඇති අතර මින් එක්සත් ජනපදය, කැනඩාව, අයිස්ලන්තිය, ඉතාලිය, ජපානය හා නවසීලන්තය ප්‍රධාන වනවා. අමෙරිකාවේ යෙලෝ ස්ටෝන් ජාතික වනෝද්‍යානයේ ඇති "ඔල්ඩ් ෆේත්ෆුල්" ලෙස හැඳින්වෙන, වතුර මලක් මෙන් ඉහලට උණු ජලය හා හුමාලය විදින හුමාල උල්පත ලෝක ප්‍රකට වනවා.

අමෙරිකාවේ යෙලෝ ස්ටෝන් ජාතික වනෝද්‍යානයේ ඇති "ඔල්ඩ් ෆේත්ෆුල්" ලෙස හැඳින්වෙන, වතුර මලක් මෙන් ඉහලට උණු ජලය හා හුමාලය විදින හුමාල උල්පත (geyser)  
පොලොවේ මතුපිට ආසන්නයේ ඇති මැග්මා හෝ මැග්මා නිසා දැඩි ලෙස උණුසුම්වන පාශාණ අතරින් ගමන් ගන්නා භූගත ජලය, රත්වීම නිසා ඝණත්වය අඩුවීමෙන් උණුදිය ලෙස ඉහලට පැමිණෙනවා. ඒ අනුව උණුදිය උල්පත් ඇතිවීම සඳහා කාරණා කිහිපයක් එකට සමපාත විය යුතුයි. 

[1] පොලොවේ මතුපිට ආසන්නයේ මැග්මා (උණුවී දියාරුවන පාශාණ - මේවා ලාවා ලෙස හැඳින්වෙනවා) තිබීම හෝ එම මැග්මා නිසා දැඩිලෙස රත්වූ පාශාණ තිබීම. - එනම් තාප මූලාශ්‍රයක් තිබීම

[2] මේ මැග්මා හෝ රත්වූ පාශාණ තුලින් ගලායා හැකි භූගත ජල සංචිතයක් තිබීම (aquifer) - එනම් ජල මූලාශ්‍රයක් තිබීම

[3] එම ජලයට උල්පතක් ලෙස පොලොව තුලින් ඉහලට පැමිණීමේ මාර්ගයක් සැකසී සිතිබීම යන කරුණුයි. - එනම් රත්වූ ජලයට පොලොව මතුපිටට පැමිණීමට මාර්ගයක් තිබීම

මෙම කරුණු සම්පූර්ණවූ විට, උණුදිය උල්පතක් හෝ ගීසර් (geyser) ලෙස හැඳින්වෙන හුමාල උල්පතක් ඇතිවනවා.

ලංකාවේ උණුදිය උල්පත් හටගන්නා ප්‍රදේශවල භූගෝලීය ස්වභාවය

ලංකා පොලවේ සැකැස්ම අධ්‍යයනය කල භූ-විද්‍යාඥයින්, ලක් පොලොවේ පාශාණ සැකැස්ම  අනුව කොටස් 4කට බෙදා තිබෙනවා. නිරිත සිට ඊසාන දෙසට දිවෙන ආකාරයට පිහිටා ඇති මෙම පාශාණ සැකැස්ම [1] මයෝසීන යුගයට අයත් හුණුගල් [2] වන්නි සංකීර්ණයට අයත් පාශාණ [3] හයිලන්ඩ් (උස්බිම්) සංකීර්ණය [4]  විජයන් සංකීර්ණය හා [5] මහනුවර ප්‍රදේශයට අයත් කඩුගන්නාව සංකීර්ණයයි.

ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් එකක් හැර සියල්ල ස්ථානගතව ඇත්තේ නැ‍ඟෙනහිර පළාතේ ය. මාදුනාගල දකුණු පළාතට අයත් වෙතත්. “ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත්” නමින් පොතක් කරන සඳරුවන් ලොකුහේවා පෙන්වා දෙන ආකාරයට භූ විද්‍යානුකූලව මෙම උණුදිය උල්පත් පිහිටා ඇත්තේ හයිලන්ඩ් සංකීර්ණය හා ඊට මායිම් ව පිහිටි නැගෙනහිර විජයානු සංකීර්ණය නම් භූ කාණ්ඩයන් දෙක එක්වන මායිම ඔස්සේ ය. සිතියම බැලීමෙන් ඔබට මෙය තහවුරුකරගන්න පුලුවන්.

උණුදිය උල්පත්වලින් එන ජලය බොහෝවිට භාෂ්මික (base) වන අතර ආම්ලික උණුදිය උල්පත්ද ඇත. කින්නියා හා මදුනාගල උණුදිය උල්පත් දෙකම දල භාෂ්මික ගුණයක් පෙන්වන බව pH පර්යේෂණවලින් සනාතවී තියෙනවා

කින්නියා උණු දිය උල්පතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 යි, එතකොට මදුනාගල සෙල්සියස් අංශක 44 යි, මහඔය 56 යි මේ විදිහට ගත්තම වැඩිම උෂ්ණත්වය තියෙන උණු දිය උල්පත තියෙන්නේ පොළොන්නරුවේ මනම්පිටියේ. මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 63ක් වනවා. මේ උණුදිය උල්පත පිහිටලා තියෙන්නේ මනම්පිටිය නෙළුම් වැවේ. 

වැව මැද්දේ දුපතක තියෙන මේ උණු වතුර ලිඳ හොයාගෙන අඩි 100 ක් ගැඹුරට කොන්ක්‍රීට් නල දාලා මේක ළිදක් විදිහට හදන්න මහවැලි අධිකාරිය විශාල වෙහෙසක් අරං තියෙනවා. විද්‍යාඥයෝ කියන්නේ මේ උණුදිය කිලෝමීටර් 2ක පමණ ගැඹුරක ඉඳලා එනවා කියලා. ඒ වගේම මේ ළිදේ ජලය තප්පරයට ලීටරයක් උණනවා කියලත් කියනවා. කොහොම වුනත් මතයක් තියෙනවා මේ උණු දිය උල්පතේ තියෙන සල්ෆර් ලවණ ඉතා ගුණදායකයි කියලා විශ්වාසයක් තියෙනවා.,මේවා නිසා චර්ම රෝග වගේම වාත රෝග නිවාරණය වෙනවා කියලා.

උණුදිය උල්පත් හා සබැඳි ඉතිහාසය හා පුරාවෘත

Hot Water Springs of Kinniya - Sri Lanka
කින්නියා උණුදිය උල්පත් - ඡායාරූප ඇල්බමය - Image Credits : Terence Kahapola Arachchi, Sept 2016
ලෝකයේ උණු දිය උල්පත් සම්බන්ධයෙන්,විවිධ කතාන්දර ඇත.විස්වාසයෝද ඇති අතර දේව විස්වාද ආගමික සමාජ විශ්වාසද දැකිය හැකිය. සම ආදි රෝග දුරුවෙන බවත්, ග‍්‍රහ අපට දුරුවෙන බවත්, කලගුණාගුණ දුරුවෙන බවත්,ආයුෂ වර්ණය හා වැඩි ආයුෂ ලබන්නටද මෙය හේතුවන බව පිළිගැනීමය.යක්ෂ භූත සුරඟන විස්වාද ලොව රට රටවල සමාජ තොරතුරු ගවේෂණය කිරිමෙන් දැකිය හැකිය. කින්නියාවේ ඇති උණුදිය උල්පත් 7න්ම නෑම, එහි පැමිණෙන බොහෝ දෙනෙකුගේ සිරිතයි. විශේෂයෙන්ම දමිළ ජනතාව මෙම චාරිත්‍රය අකුරටම ඉටු කරයි. එමන්ම කින්නියා උණුදිය උල්පත් රාවණා රජු හා සම්බන්ධ ජනප්‍රවාදයක් හා බැඳී පවතින අතර එම උණුදිය උල්පත් අස්ල ඇති පුවරුවක මෙම පුරාවෘතය විස්තර කරයි.

ජනප්‍රවාදයට අනුව රාවණා රජ්ජුරුවන්ගේ අම්මාට කුෂ්ඨ රෝගයක් වැළඳී තිබේ. අම්මාගේ කුෂ්ඨයට පිළියම් සොයා වෙහෙසෙන රාවණාට දිනක් සිහිනයක් දක්නට ලැබේ. සිහිනයෙන් කියැවුණු තැනට පැමිණ උල්පත සොයා ගත් රාවණා රජු ළිඳක් බඳවා, එතැන ම දේවාලයක් ඉඳිකොට උල්පතේ උණුදියෙන් අම්මා නෑවී ය. ඇගේ කුෂ්ඨ රෝගය ඉක්මනින් ම සුව වීලු. එතැන් පටන් උණුදිය ළිඳ හා දෙවොල පූජනීයත්වයට පත් වීලු.

කින්නියා උණුදිය උල්පත් පිළිබඳව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයාව සිටි වෛද්‍ය ජෝන් ඩේවි සිය ග්‍රන්ථයේ අගනා විස්තරයක් සපයයි. ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න 1967 දී ඩේවි දුටු ලංකාව නමින් කළ පරිවර්තනයේ මෙම විස්තර දැකිය හැක.

ඩේවි කින්නියාවට ගියේ 1817 ඔක්තෝබර් 19 වනදා දේවගැති ජෝර්ජ් බිසට් සමඟ ය. ඩේවි යන විට ද එහි උණු ළිං හත ගඩොළු බැම්මෙන් බැඳ තිබිණි. වටේ ට බඳින ලද උස් ගඩොළු තාප්පය අඩි 36 ක් දිග හා අඩි 16 ක් පළල බව ඩේවි කියයි. ඔහු එක් එක් ළිඳේ උෂ්ණත්වය අද මෙන් සෙල්සියස් වලින් නො ව ෆැරන්හයිට්වලින් මැන දක්වයි. එසේ ම ළිංවල ගැඹුර හා පළල වෙන වෙන ම මනිමින් විස්තර දක්වයි. ජෝන් ඩේවිගේ නිරීක්ෂණයට අනුව සියලුම ළිංවල උෂ්ණත්වය ඔහු මුලින් ම උෂ්ණත්වය මැනීමෙන් පැය තුනකට පසු වෙනස්වුනා කියලා ඔහු වාර්තාකරලා තියෙනවා.