Related Posts Plugin for WordPress, Blogger...

Friday, 30 August 2013

අමෙරිකාව සිරියාවට එරෙහිව කෲස් මිසයිල ප්‍රහාර සැළසුම් කරයි : මොනවද මේ කෲස් මිසයිල?

ටොමාහෝක් කෲස් මිසයිලය| එක්සත් ජනපද නාවික හමුදාව
සිරියානු ජනාධිපති අසාඩ්ගේ රජය රසායණික අවි භාවිතාකල බවට ලැබෙන සාක්ශි වැඩිවීමත් සමගම ඔබාමා රජය සිරියාවට පහරදෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී. අමෙරිකානු ආරක්ශක ලේකම් චක් හේගල් පවසන ආකාරයට, ජනාධිපතිවරයා අණදෙන ඕනෑම මොහොතක සිරියාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකිරීමට සියලු අමෙරිකානු හමුදා සූදානමින් සිටී. මේවන විට කෲස් මිසයිල ප්‍රහාර එල්ලකල හැකි USS Gravely, USS Ramage, USS Barry and USS Mahan  යන ඩිස්ට්‍රෝයර් වර්ගයේ අමෙරිකානු යුධ නැව් සිරියාව අසල ස්ථානගත කොට ඇත. එමෙන්ම ගල්ෆ් මුහුදේ දැවැන්ත අමෙරිකානු ගුවන්යානා ගෙනයන නෞකා වන USS Nimitz හා USS Harry S Truman ස්ථානගත කොට ඇති අතර මේවායින් ගුවන්ගතවන යානාවලට පැය කිහිපයකින් සිරියාවට ප්‍රහාර එල්ලකල හැකිය.(සිතියම බලන්න)

සිරියාවට ප්‍රහාර එල්ලකිරීමට සූදානම් අමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා : Graphic Credit - BBC News
මෙම ප්‍රහාරවල වැඩි බරක් යුධනැව් වලින් ගුවන්ගත කරන කෲස් මිසයිලවලින් ගනු ඇතැයි යුධ විශ්ලේෂකයින් පවසනවා.

මොනවද මේ කෲස් මිසයිල?


කෲස් මිසයිලයක් යනු, ඉතා ඈත පිහිටි ඉලක්කයකට පහරදිය හැකි (1500+ Km), අධික වේගයෙන් ගමන්ගන්නා, දියත් කල පසු මිනිස් පාලනයකින් තොරව ස්වයංක්‍රීයව පියාසර කරන මිසයිලයකි. මෙය සතුරු රේඩාර් වලින් සැඟව යාම සඳහා ඉතා පහතින්, පොලොවට සමාන්තරව පියාසර කරයි. කිලෝග්‍රෑම් 500ක් (ටොන් භාගයක්) පමණ බරැති ඉතා ප්‍රභල පිපුරුම් හිසක් (war-head) රැගෙන පියාසරකරන මෙම මිසයිල නිරවද්‍යතාවයෙන් ඉහලය. කෲස් මිසයිලය සිය ගමන්මග සොයාගන්නේ ජී.පී.එස් තාක්ශණය හා පියාසර කරන ප්‍රදේශයේ භූවිශමතා හඳුනාගෙන ඒවා, කලින් ලබාදෙන ලද සිතියමක් හා සංසංදනය කිරීම (terrain contour matching - TERCOM) යන මූලික ක්‍රම දෙක මගිනි.


ඉතා ඈතින් තිබෙන ඉලක්කවලට ගමන්කල යුතු නිසා කෲස් මිසයිල සාමාන්‍ය මිසයිල මෙන් රොකට් එන්ජින් භාවිතා නොකරන අතර රොකට් එන්ජින් භාවිතා කරන්නේ මිසයිලය දියත් කරන මොහොතේ එය අධික වේගයකින් ගුවන්ගත කිරීම සඳහා පමණකි. ඉන් අනතුරුව පියාසර කිරීම සඳහා බලය ජෙට් එන්ජිමකින් ලබාදෙයි

Image Credit : http://www.stuff.co.nz/

කෲස් මිසයිල ඉතිහාසය

මුල්වරට කෲස් මිසයිලයක් නිර්මාණය කොට එය සාර්ථකව ප්‍රහාර සඳහා භාවිතා කරන්නේ හිට්ලර්ගේ නට්සි ජර්මනියයි. දෙවන ලෝක යුධ සමයේ අවසාන භාගයේ නිර්මාණය වූ V-1 (Vergeltung-1 : ජර්මන් තේරුම - පලවිපාකය - යන්නයි). එවකට ජර්මනිය යටත්කොට ගෙන සිටි ප්‍රංශයේ උතුරු වෙරළ ප්‍රදේශයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ලවුනු අතර V-1 කෲස් මිසයිල 9,521 මෙම කාළය තුලදී නට්සීන් විසින් බ්‍රිතාන්‍යය වෙත එල්ල කරන ලදී.


ප්‍රහාරයක් සඳහා V-1 මිසයිලයක් ලෝන්චරය වෙත රැගෙන යන නට්සි සෙබළුන් | Image Credit - Wikimedia Commons
ලන්ඩනයට වැටුනු, එහෙත් පුපුරා නොගිය නට්සි V-1 මිසයිලයක් බ්‍රිතාන්‍යයේ London Imperial War Museum කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අයුරු.  | Image Credit - Wikimedia Commons


පාහියන්ගලින් හමුවූ ඇටසැකිල්ල වසර 12,000ක් පැරැණියි

Photos Courtsy : Lankadeepa |අලුතින්ම මතුවූ මිනිස් සැකිල්ල

මේ වසර මුල බුලත්සිංහල පාහියන්ගල ගල් ලෙනේ සිදුකළ පුරාවිද්‍යා කැණීමේදී සොයාගත් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඇටසැකිල්ල අවුරුදු 10,000ත් 12,000ත් අතර කාලයට අයත් බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කාලීන රසායනාගාරය දන්වා තිබේ.

මෙරට ප්‍රාග් ඓතිහාසික කැණීමකදී සොයාගත් අංග සම්පූර්ණ මානව ඇට සැකිල්ල පාහියන්ගලින් හමුවූ අතර එය වැඩිදුර ඇගැයීම හා සංරක්‍ෂණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියට යවනු ලැබීය.

ලෝක ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය ටොම් හිග් හැම් මහතා විසින් මේ කාලනිර්ණ පර්යේෂණ මෙහෙය වන ලදී. අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් ඩේට්න් ටෙක්නික් නම්  නවතම තාක්‍ෂණය මේ ඇටසැකිල්ලේ කාලනිර්ණය සඳහා ඔක්ස්ෆර්ඩ් කාලීන රසායනාගාරය යොදා ගෙන තිබේ. වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවැසුවේ පාහියන්ගල ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීමේදී හමුවූ මේ ඇට සැකිල්ල ඉතා දුර්වල තත්ත්වයක පැවැති බවය.

දැනට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදුකරන පර්යේෂණ නිමවූ පසු එය තහවුරු කොට සංරක්‍ෂණය සඳහා කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට බාරදීමට නියමිතය.

මෙයට ප්‍රථමයෙන් කුරුවිට බට‍ෙදාළ ලෙන, බළන්ගොඩ, බෙල්ලන්බැඳි පැලැස්ස, කෑගල්ල, අලු ලෙන ආදී ස්ථානයන්හි සිදුකළ ආදී ස්ථානයන්හි සිදුකළ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලදී වසර 13,000 සිට 27,000 දක්වා ගැනෙන මානව අවශේෂ සොයාගෙන ඇතත් දැනට අප සතුව පවතින අංග සම්පූර්ණ ආදි මානව ඇටසැකිල්ල වන්නේ පාහියන්ගල මානව ඇට සැකිල්ල බවද ආචාර්ය නිමල් පෙරේරා පැවැසීය.

නවීන මානවයා පිළිබඳව සාකච්ඡා කරනවිට අවුරුදු
ලක්ෂයකට පෙර නවීන මානවයා අප්‍රිකාවේ නැඟෙනහිරින් බිහිවී දැනට අවුරුදු 80,000කට පෙර සීනායි අර්ධද්වීපය හරහා කොටසක් යුරෝපයටත් තවත් කොටසක් ආසියාව හරහා ඕස්ට්‍රේලියාව දක්වාත් විහිද ගිය බව තහවුරු කරගෙන තිබේ.

මෙහිදී වඩා වැදගත් වන දකුණු පිවිසුම් මාර්ගය අරාබි වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාවට, ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත.

1986 දී පාහියන් ලෙන කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව පස් තට්ටු 8 ක් ලෙස හඳුනාගෙන කැණීම් කළ අතර පිහිටිගල දක්වා කැණීම සිදුවිය.

2012 මේ සිදුකරන ලද කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව ඉතා සියුම් ලෙස පස් තට්ටු 131 කට ලෙස වෙන් කරගෙන පස් තට්ටු සියල්ලෙදීම හමුවූ අගුරු කාල නිර්ණය සඳහා යැවීමට කටයුතු කොට ඇති බව කැණීම් බාර ඬලධාරියා ලෙස කටයුතු කරන විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී එල්. බී. මෙල් මහතා ප්‍රකාශ කර සිටියේය.


නව කාල නිර්ණ වාර්තාවක් සඳහා කළ කැණීමේදී මෙවර හමුවූ මානව ඇටසැකිල්ල පාහියන් ලෙනෙන් හමුවූ එකම සම්පූර්ණ මානව ඇටසැකිල්ලයි. වළක් තුළ තැන්පත් කිරීමක් නොවන මේ මානව ඇටසැකිල්ල පොළොව මතුපිට තැන්පත් වීමකි. ගල් ලෙනේ මතුපිට මට්ටමේ සිට මීටර් 1 සෙන්ටිමීටර් 40 පමණ ගැඹුරින් හමු වූ මෙම මානව ඇටසැකිල්ලේ හිස 2010 - 11 පාහියන් ලෙන කැණීමේදී දක්න ලැබුණ බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරිහු ප්‍රකාශ කරති. විශ්ව කීර්තිධර ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයකු වන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා මානව ඇටසැකිල්ල කාන්තා ඇටසැකිල්ලක් වන බවට අදහස් ප්‍රකාශ කොට ඇත.

මානව සැකිල්ල නිරීක්ෂණය කළ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා සහ වර්තමාන පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇටසැකිල්ලේ දත් ගෙවී යාම අස්ථිවල ඝණත්වය, වැඩීමේ ස්වභාවය අනුව මෙම සැකිල්ල වයස අවුරුදු 20 ක පමණ අයකුගේ බව තීරණය කර ඇත. මේ පුද්ගලයා අඩු වයසින් මිය යාම පිළිබඳව තොරතුරු ද විමර්ශනයට බලාපොරොත්තු වන බව කැණීම් බාර නිලධාරී ද මෙල් මහතා ප්‍රකාශ කරයි.

මානව සැකිල්ලෙහි උකුළු ප්‍රදේශය හා පපුව ප්‍රදේශය මත ඇති ගල් දෙක පිළිබඳව පුරාවිද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත. මියගිය තැනැත්තා සිරුර මතට ගල් අතහැරීම හේතුවෙන් මිය ගියා ද? චාරිත්‍රයක් ලෙස මිය ගියාට පසු සිරුර මත ගල් තැන්පත් කළා ද? එසේත් නැත්නම් පසුකාලීනව එතැන ජනාවාසයක් බවට පත්වීමේදී සිරුර මත ගල් තබා ළිපක් ලෙස භාවිත කළා ද යන්න පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන් සොයා බලනු ඇත.

ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ සතුන් පුළුස්සා කෑ ගිනිමැල රැසක් පාහියන් ලෙනෙහි දක්නට ඇති බවයි. මේ ප්‍රදේශයේ සිටි අතීත මානවයා ආහාරයට ගත් සතුන් 800 කගේ පමණ අවශේෂ ලෙන කැනීමේදී හමුවූ බව ප්‍රකාශ කළ දිසානායක මහතා ඒ අතර කටුස්සා ගේ අවශේෂ ද අලි පැටවකු ගේ දතක් ද බංගලාදේශ ව්‍යාඝ්‍රයකුගේ අස්ථි කොටසක් ද ගවරා ගේ දතක් ද රයිනෝසිරස් ගේ ඇඟිල්ලක කොටසක් ද වන බව ප්‍රකාශ කරයි.

බුලත්සිංහල පාහියන් ලෙනේහි අද වැතිර නිදන්නේ හෝමෝ සාපියන් සාපියන් හෙවත් නූතන මානවයාගේ ආදිතම මිත්තනියකි. ඇගේ ඇටසැකිල්ල තැන්පත් වී ඇති ආකාරය අනුව නිරුපද්‍රිතව එතැනින් ඉවත් කිරීමේ හැකියාවක් නැති බව කැණීම් භාර නිලධාරියා පවසයි. ඊට හේතු වී ඇත්තේ ඇගේ සැකිල්ලට යටින් ඇති පසෙහි වැලි ගතිය වැඩිවීම සහ ඊට යටින් ඇති ගල හා පස් තට්ටුව අතර ඉඩ ප්‍රමාණය අවම වීමයි. හුංගම විණිඇතිලියෙ ‘මැණික් හාමි’ නිරුපද්‍රිතව අපි ගත්තට පාහියන් ගල සැකිල්ල නිරුපද්‍රිතව ගන්න අප සතු තාක්ෂණය මදි. නමුත් අපට දැනුම තියෙනවා. සැකිල්ල නිරුපද්‍රිතව තිබෙන ස්ථානයෙන් ඉවත්කර ගැනීමට අපි යුරෝපීයන්ගේ සහය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට සැකිල්ල පිළිබඳව පර්යේෂණ කිරිමටත් ආරාධනා කරන්න අදහස් කරනවා. ඉන් අපට විශාල ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. ඉන් ප්‍රධාන වන්නේ යුරෝපීයන් මැදිහත් වීම හේතුකොට ගෙන ලැබෙන ප්‍රතිචාර හා ප්‍රචාරය. දැනටමත් ලෝකයේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අවධානය පාහියන්ගල ලෙනට යොමු වෙලා. ඒ නිසා අපේ දේශයේ ඓතිහාසික අගයක් හමුවූ සම්පූර්ණ සැකිල්ලේ ඓතිහාසික අගයත් ඉහළ යනවා” යි ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවැසීය.

එම පර්යේෂණ බිම කැණීමේදී අපේ අතීත ඥාති සමූහයා ආහාරයට ගත් සත්ත්ව හා ශාක අවශේෂ හමුවූ බවත් ගස් බෙල්ලන් ගේ කටු සහ අළු ද වල් දෙල් ඇටි කෙසෙල්, ගින්දර දැල්වීමට යොදාගත් කැකුණ ඇට කටුස්සා, ඉත්තෑවා, හබන් කුකුළා, වලි කුකුළා, තලගොයා හා සර්ප විශේෂයන්ගේ අස්ථි කොටස් පිඹුරා, හෝතඹුවා, වඳුරා, අලියා, ගවරා, දිය බෙල්ලන්, හා මිරිදිය මසුන්ගේ අවශේෂ කොටස් ද මේ ස්ථානයෙන් හමු වී ඇති බව දකුණු පළාත් පුරාවිද්‍යා කැණිම් නිලධාරී එස්. එම්. සුසන්ත මහතා පැවැසීය.

මධ්‍ය ශිලා යුගයට අයත් ජා්‍යාමිතික හැඩයෙන් යුත් ශිලා මෙවලම් සතුන්ගේ ඇට භාවිතයෙන් සකසා ගත් උල් ආයුධ ද හමු වී තිබේ.

මේ ආදි මිත්තනිය වැතිර සිටින ගල් ලෙන පාහියන් ප්‍රධාන ගල් ලෙනට ආසන්න කුඩා ගල් ගෙයක් වන බව පවසන සෙනරත් දිසානායක මහතා එතැනින් හමු වූ ලුණු බෙල්ලා අවුරුදු 37000 කට ඈත අතීතයේ මානවයා මුහුද සමඟ ගනුදෙනු කළ බවට ද ලුණු භාවිත කළ බවට ද සාක්ෂි දරන බව ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයෙන් තොරව පවතිද්දී පාහියන් ලෙන ප්‍රධාන ගුහාවේ මතුපිට පස් තට්ටුව අඩි තුනක් පමණ ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පැවැසු සෙනරත් දිසානායක මහතා එසේ ඉවත් කළ පස් තිබෙන තැන හඳුනාගෙන ඇති බවත් එම පස් පුරාවිද්‍යාත්මක කැණීමකට ලක්කොට සැකය තහවුරු කරගන්නා බවත් ඇතැම් විට එතැනින් වැදගත් සාක්ෂි සපයා ගත හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය. එම ප්‍රධාන ගල් ගුහාවේ දැනට පිහිටි පොළොවේ සිට අඩි 18 යට දී ඇඹරුම් ගලක් පමණක් හමු වී ඇත. ඉන් යට පස් තට්ටුව පිළිබඳව අවධානය යොමු කිරීමට පුරාවිද්‍යා කැණීම් අංශය බලාපොරොත්තු වේ.

වත්මන් කැණීමේදී හමුවූ පූර්ණ මානව සැකිල්ල ඉවත් කිරීමෙන් පසු එතැනින් යට පස් තට්ටුව කැණීමට අවධානය යොමු කරන බව පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කැණීම හේතු කොටගෙන ලංකාවේ නවීන මානවයා ගේ හෙවත් හෝමෝ සාපියන් සාපියන් ගේ ඉතිහාසය තවත් ඈතට දිව යනු ඇතැයි පැවැසීය.

මේ යොවුන් අතීත මිත්තනිය දැක බලා ගැනීමට අප බොහෝ පි‍්‍රය කළ ද යුරෝපීය පුරාවිද්‍යාඥයන් ලංකාවට පැමිණෙන තෙක් ඇය වටා බැම්මක් බැඳ ඈ වැලි අතුරා වසා දැමීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ශිරාන් දැරණියගල මහාචාර්ය වරයා ඇතුළු පිරිස අදහස් කළේය.

http://www.sundaytimes.lk/120624/uploads/Pahiyangala-Graphic.jpg
මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ පාහියන්ගල ප්‍රාග් ඓතිහාසික කැණීම් ව්‍යාපෘතිය භාර නිලධාරී, වෙදගේ මංජුල චානක ඔෂාන් මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“මේක 2007 ඉඳන් අඛණ්ඩව පැවතගෙන එන ව්‍යාපෘතියක්. අපේ කැණීම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මූලික අභිප්‍රාය වුණේ දැනට ලෝකයේ ඇති නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් පාහියන්ගල පර්යේෂණ කැණීම් මධ්‍යස්ථානය ඉතා හොඳ කාල නිර්ණයකට ලක්කර මෙම ස්ථානය ලෝකයේ ඉහළම ස්ථානයකට රැගෙන ඒමයි. එතුමාගේ උපදෙස් හා අදහස් අනුව කළ මේ පර්යේෂණවලින් අපිට මේ සුවිශේෂී ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම ඉතා හොඳින් ආරක්ෂා වෙච්ච මානව සැකිල්ලක්.

මෙම සැකිල්ලට අමතරව වසර 30,000 කටත් වඩා පැරණි වූ ප්‍රාග් ඓතිහාසික මානව හා සත්ත්ව කොටස් අපිට හමු වී තිබෙනවා. ඒවා මඟින් මේ වන විට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතික ලක්ෂණ, ආහාර පුරුදු, සිරිත් විරිත්, ඒ කාලයේ තිබුණු දේශගුණික රටාවන්, වෘක්ෂ ප්‍රජාව, ඉපැරණි සත්ත්ව ප්‍රජාව ගැන වගේම ඉපැරණි මෙවලම් ගැනත් තොරතුරු රැසක් අපිට දැනගන්න හැකි වුණා.”
පැරැණි ම පස්‌ තට්‌ටුවල කාලය වර්ෂ 1986 කැණීම්වලට අනුව වසර 37000ක්‌ තරම් ඈතකට යනවා. මේ නූතන කැණීම්වලින් වසර 37000කට වඩා ඈතකට යන පස්‌ තට්‌ටු හඳුනා ගන්න ලැබේ වි. මේ පර්යේෂණවලින් මේ ගල් ලෙන වසර 37000කට වඩා පැරැණි යෑයි තීරණය වුණොත් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙනට පාහියන්ගල සමාන වේ වි. මෙතෙක්‌ කරපු පර්යේෂණවලින් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙන තමයි පැරැණි ම ගල් ලෙන ලෙස හඳුනාගෙන තිබෙන්නේ. වසර 2005 කරපු පර්යේෂණවලට අනුව කුරුවිට බටදොඹ ලෙන පාහියන්ගල ලෙනට සමකාලීන වෙනවා. එම ගල් ලෙනේ ආදිතම පස්‌ තට්‌ටු අදින් වසර 37000ත් වසර 12000ත් දක්‌වා තරම් ඈත කාලයකට දිව යනවා. බටදොඹ ලෙනෙන් හමු වුණ මේ කාල පරාසයට අයත් පස්‌ තට්‌ටු පාහියන්ගලට බෙහෙවින් සමානයි. 

පාහියන්ගල පහතරට තෙත් කලාපයේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ මුහුද ආශ්‍රිතව පිහිටි මුහුදට වඩාත් සමීප ප්‍රදේශයක්‌. මේ මානවයන් ගේ ජීවන රටාවෙන් හා ඒ අවට සාධකවලින් පැහැදිලි වන දෙයක්‌ තමයි අදින් වසර 40000කට පෙර පහත රට ප්‍රදේශයේ ඝර්ම කලාපීය වර්ෂා වනාන්තර තිබුණු බව. ඒ බැව් මේ කැණීම්වලින් පැහැදිලි වෙනවා. මෙයින් පැහැදිලි වන තවත් දෙයක්‌ තමයි මේ මානවයා ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල තිබුණු අභියෝග ජයගෙන ජීවත් වූ අයෙක්‌ බව. ඒ බව මේ ගල් ලෙන්වලින් අපිට කියා දෙනවා. මොකද ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල යෑපීම් ධාරිතාව ඉතා ම අඩු මට්‌ටමකයි පවතින්නේ. නවීන මානවයා මේ වනාන්තරවල ජීවත් වූවා යෑයි කියන්නේ ඔවුන් අභියෝග ජයගත්තා කියන එකයි. එසේ නම් මේ මානවයා ඝර්ම කලාපීය වනාන්තරවල අභියෝග ජය ගෙන කිසියම් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් සිය ජීවන රටාව ගෙන ගිය අයකු බව පහැදිලියි.

Source Articles;

1. http://www.mawbima.lk/34-34042-news-detail.html
2. http://www.silumina.lk/2012/06/24/_art.asp?fn=af1206241

Wednesday, 28 August 2013

අපේ සැඟවුණු තාක්ශණය : පැරණි සිහළුන් ටොන් 100ක් බර ගලකින් පිළිමයක් නෙලා එය කෙලින් සිටවූයේ කෙසේද?


වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක්‌ පමණ ගමන් කළ තැන්හි හමුවන "මාළිගාවිල" පුදබිමට ඇතුළුවිය හැකිය.

මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්‌කාක වංසයෙහි උපන් මහා තිස්‌සගේ සහ සංඝසිවා බිසවගේ දෙටු පුත්‍රයා වන අග්ගබෝධි රජතුමන් විසින් බව මහවංශයෙහි සඳහන්ය . ඒ මතුද නොව එහිම සඳහන් පරිදි ආරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම්වලින් හඳුන්වා ඇත්තේ ද මෙකී විහාරයම බවත් කියෑවේ. එමෙන්ම මාළිගාවිලට ප්‍රසිද්ධියක්‌ ගෙන දෙන්නා වූ මාළිගාවිල හිටි පිළිමය හා ඊට මදක්‌ එපිටින් පිහිටා ඇති යෝද බෝධි සත්ත්ව ප්‍රතිමාව පුරාතණයේ එකම ආරාම සංකීර්ණයක්‌ වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. මාළිගාවිල හිටි පිළිමය උසින් අඩි 34 කි. එහි උරහිස්‌ අතර පළල අඩි 10 ක්‌ පමණ වේ. හුණු ගලින් නිමවා ඇති මෙම සුවිසල් පිළිමය වෙනත් ස්‌ථානයකදී නිම කිරීමෙන් පසු දැනට පිහිටුවා ඇති ස්‌ථානයට ගෙනැවිත් ඊටම සරිලන ආසනයක ප්‍රතිෂ්ඨාපනය කිරීමම එකල ශ්‍රී ලාංකිකයන් සතු වූ විස්‌මිත හැකියාවත් ඉස්‌මතු කරන්නක්‌ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි.

මාළිගාවිල ඒ අවට ප්‍රදේශයේ කොතැනකවත් මේ සා විශාල පිළිමයක්‌ නෙළීමට හැකි තරමේ හෝ වෙනත් කාර්යයකට යොදා ගත හැකි අන්දමේ ගල් කඳු හෝ ගල් කැටයක්‌ සොයා ගැනීමට නැත. මේ හේතුව නිසාම එකල විසූ ජනයා අතරත් පසුකාලීනවත්, මෙය සෘද්ධියෙන් මෙන් නිමවන ලද්දක්‌ බවට විශ්වාසයක්‌ ගොඩනැඟී තිබිණි. මහාවංශයෙහි පවා එය සනිටුහන්ව ඇත්තේ එපරිද්දෙනි. එහෙත් ඒ දවස ශ්‍රී ලාංකිකයන් සතුව පැවැති උසස්‌ ශිල්පීය ඥනය හා ශක්‌ති සම්පන්න බව මොනවට පැහැදිලි කරන සාක්‍ෂියක්‌ ලෙස මෙය දැක්‌විය හැකි බව මුලින් කී මත බැහැර කරන ඉතිහාසඥයන් පවසති.

1934 දී මහැදුරු පරණවිතාන ශූරීන් මේ ප්‍රදේශයට පැමිණි කළ බිමට ඇද වැටී පසින් යට වී තිබූ මාළිගාවිල පිළිමයත් දඹේගොඩ පිළිමයත් දකින්නට ලැබිණි යෑයි කියෑවේ. ඒ වනවිටත් පිළිමයන් කැබැලිවලට කැඩී තිබුණු බවක්‌ ද පැවැසේ.

පසු කලෙකදී මෙම ප්‍රතිමාව අග්ගබෝධි රජතුමා විසින් නිම කරන ලද විලාශයෙන්ම වත්මන් පරපුරට දැක ගැනීමට හැකි අයුරින් ස්‌ථාපනය කිරීමෙහි විශිෂ්ට මෙහෙවර ඉටු කළේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශිෂ්ට උත්සාහයෙනි. කැඩී බිඳී ගොස්‌ තිබූ කැබිලි නව තාක්‍ෂණය ඔස්‌සේ එකලස්‌ කරනලද නමුත් ඒ සා විශාල පිළිමයක්‌ නැවත ඔසවා ස්‌ථාපනය කිරීම අපහසු කටයුත්තකි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු යෝධ දොඹකර යන්ත්‍ර ඒ සඳහා මාළිගාවිලට ගෙන යැමට ප්‍රධාන මාර්ගයේ සිට නව මාර්ගයක්‌ තනන්නට ද සිදුවිණි. ඒ දවස කැඩී බිඳී තිබූ සුවිසල් ප්‍රතිමාව අද දවසේ එදා මෙන් නැඟී සිටින්නේ කිසිදු ඇද පලුද්දක්‌ නොමැතිවය. වෙනකක්‌ තබා ඒ දවස කළ පිරිද්දීම් පවා ඉතා සමීපයට යන්නෙකුට හැර දැකගත නොහැකිය. ප්‍රතිමාවේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී විශිෂ්ට දායකත්වයක්‌ දක්‌වා ඇත්තේ මාපලගම විපුලසාර හිමියන් ය. 

ඉහත දැක්වෙන්නේ 2009 වසරේදී දිවයින පුවත්පතේ මීවිත අතිරේකයේ මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව හා එහි ප්‍රතිසංසකරණය පිලිබඳව දැක්වූ විස්තරයකි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වෙබ්ඩවියෙහිද, මාළිගාවිල ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කොට නැවත සිටුවීමේ මහා කර්තව්‍යය පිළිබඳව විස්තරයක් හා ඡායාරූප ඇතුලත්කොට ඇත. එම වෙබ් අඩවියට අනුව, ඉන්ජිනේරු සංස්ථාව සාර්ථකව නිමකල දැවැන්ත ව්‍යාපෘති වලින් එකකි මාළිගාවිල පිළිමය නැවත සිටුවීම.

Photo credit : Sri Lanka Engineering Corporation
මේ සඳහා පලමු උත්සාහය දරා ඇත්තේ 1974 වසරේදී වන අතර එය අසාර්ථක වූයේ එතරම් අතිවිශාල බරක් එසවිය හැකි දොඹකර එම ස්ථානයට ගෙනයාමේ අපහසුව/ලංකාව තුල සොයාගැනීමේ අපහසුව නිසාය. දළ ඇස්තමේන්තුවලට අනුව හිස පමණක් ටොන් 50ක බරකින් යුතුවිය. මුළු පිලිමය ටොන් 100ක් බර බව සඳහන් වුවද එය ඉතා දළ ඇස්තමේතුවක් බවත් හිස පමණක් ටොන් 50ක් නම්, සම්පූර්ණ පිලිමය ටොන් 100කට වඩා විශාල බරකින් යුතුවිය බව ලේඛකයාගේ මතයයි.

මාළිගාවිල ප්‍රතිමාව පිලිබඳ වැදගත් දත්ත කිහිපයක් සාරාංශ ලෙස බලමු...

1. පිළිමය නෙළා ඇත්තේ තනි හිරිගල් කුට්ටියකිනි

2. දළ ඇස්තමේන්තු අනුව එහි බර ටොන් 100 ඉක්මවයි

3. පිළිමය නෙළීමට ඇවැසි එතරම් විශාල හිරිගල් පර්වත එම ප්‍රදේශයේ නැත.

4. එනම් පැරණි හෙළයා මේ අති දැවැන්ත හිරිගල් පර්වතය වෙනත් තැනකින් කපා මෙතැනට ගෙනැවිත් සිටුවා පිළිමය නෙළා ඇත.

5. පිළිම කර්මාන්තය කරවා ඇත්තේ 7වැනි සියවසේ (මීට වසර 1400කට පෙර ) රුහුණු රටෙහි රජකල අග්ගබෝධි නම් බළසම්පන්න ප්‍රාදේශීය රජෙකු විසිනි.

සාකච්ඡාව

1. ප්‍රාදේශීය රජෙකුට මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදුකල හැකිනම් ඉන් පැරණි හෙළයා පිලිබඳව ගම්‍යවන කරුණු මොනවාද?

* මෙවැනි සංකීර්ණ ව්‍යාපෘති සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ශණික ඥාණය රටතුල හොඳින් මුළ් බැසගෙන තිබිය යුතුය - එනම් පැරණි හෙළ ඉංජිනේරු ශිල්පය හොඳින් ව්‍යාප්තව තිබිය යුතුය, එවා උගන්වන ශික්ශණායතන, උගත් ශිල්ප ප්‍රගුණ කිරීමට විශාල ව්‍යාපෘති හා ඒවායේ බරපැන දැරීමට ධනවත්, නැණවත් පාළකයින් සිටිය යුතුය.

* මෙවැනි ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට අතිවිශාල ධන සම්භාරයක් ඇවැසිය - ප්‍රාදේශීය රජෙකුට එවැනි ප්‍රාග්ධනයක් යෙදවිය හැකිව තිබුණානම් එදා රුහුණු රාජ්‍යය  කෘෂි/ අභ්‍යන්තර වෙළඳ/ අපනයන වෙළඳ ආර්ථිකයකින් අතිශයින්ම සමෘධිමත්ව සිටියා විය යුතුය. දිළිඳු යටත් වැසියන් පාළණය කරන ප්‍රාදේශීය රජෙකුට මෙවැනි ආයෝජනයක් කිසිසේත් සිදුකල නොහැකිය.

* එපමණක් නොව, රුහුණු රට මෙන්ම රටෙහි අනෙකුත් සියලු ප්‍රාදේශීය රාජ්‍යයන්ද සමෘධිමත් රාජ්‍යයන් විය යුතුමය. කළාව, තාක්ශණය, ශිළ්පීය ඥාණය දියුණු වන්නේ ආර්ථික වශයෙන් සමෘධිමත් රාජ්‍යයන් තුල මිස දුගී රටවල්වල නොව - අද බටහිර තාක්ශණයේ දියුණුවේ රහසද ඔවුන්ගේ ආර්ථික සමෘධියයි.


2. මෙවැනි ව්‍යාපෘතියකට ඇවැසි තාක්ශණය හා ශිල්පීය දැනුම (සරල විශ්ලේෂණයකි)

* ටොන් 100ක් බල ගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් නොකැඩී ප්‍රවාහණය කිරීමට ඇවැසි ප්‍රවාහණ තාක්ශණය (transportation technology) කොතරම් දියුණු එකක් වූයේදැයි සිතා ගැනීමට පවා නොහැකිය. 

* මෙවැනි ගල් පර්වතයක් කෙලින් සිටුවා ප්‍රවාහණය කල නොහැකිය. එනම් එය කපා, දික් අතට තබා ප්‍රවාහණය කොට, නැවත කෙළින් සිටුවා පිළිමය නෙළු බවට උපකළ්පණය කල හැකිය. මේ සඳහා කොතරම් දියුණු යාන්ත්‍රික ඉංජිනේරු තාක්ශණයක් (mechanical engineering) පැරණි හෙළයා සතුවූවාද?
  1. ටොන් 100ක ගලක් කෙලින් සිටුවන්නට ඇවැසි දොඹකර තාක්ශණය? 
  2. ඒ සඳහා භාවිතා කල කඹ කොතරම් ශක්තිමත් විය යුතුද? 
  3. ඔසවා කෙලින් කරන්නට ඇවැසි බළය ලබාදුන්නේ කුමණ ආකාරයක යන්ත්‍රයකින්ද?
  4. යන්ත්‍රයේ (හෝ මිනිස් ශ්‍රමයේ ) බළය වැඩිකිරීමට, පාළණය කිරීමට හා සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය ලීවර හා කප්පි පද්ධති (pulley system) වැනි ඉන්ජිනේරු ශිල්ප තාක්ශණය පැරණි හෙළයා ඉතා හොඳින් ප්‍රගුණ කොට තිබුණා විය යුතු නොවේද?

* මෙවැනි අතිශය සංකීර්ණ ව්‍යාපෘතියක් කළමණාකරණය කිරීමට දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් සිටිය යුතුමය - පැරණි හෙළයන් දක්ශ ව්‍යාපෘති කළමණාකරුවන් (project managers) හා සැළසුම්කරුව්න් (project planners) සිටි බවට රටපුරා විහිදී ඇති විහාර දහස් ගණනක් කර්මාණ්තවලින් තහවුරු නොවේද?

* මාළිගාවිල සංකීර්ණය නිර්මාණය කරන්නට ඇත්තේ කොතරම් දක්ශ වාස්තු විද්‍යාඥයින් (architects) විසින්ද? එවැන්නන් හෙළයන් අතර හිඟ නොවන්නට ඇත්තේ අනෙක් ශිල්ප මෙන්ම වාස්තු විද්‍යාව හදාරන්නටද පැරණි හෙළ තාක්ශණික සිප්හල් (technical colleges) තිබූ නිසා වන්නට බැරිද?

* පැරණි හෙළ වාස්තු විද්‍යාඥයින් හට මෙවැනි හපන්කම් කරන්නට නම් ඔවුන් හා වැඩකල හැකි දක්ශ මිනින්දෝරුවන් (surveyers) හා අපටම ආවේනික ඉතා නිවැරදි මිනුම් තාක්ශණයක් (survey technology) තිබිය යුතුම නොවේද? අදටත් කුඩා ගෙපැලක් තනන්නට පෙරද මුලින්ම සිදුකරන්නේ මිනින්දෝරුවෙකු ගෙන්වා ඉඩම මැන මිනින්දෝරු සැලැස්ම අනුමත කරගැනීම නොවේද? අද මෙන්ම එදාද එසේමය

* මේසා විශාල ඉදිකිරීම් කර්මාණ්තයක් සාර්ථකව නිමකිරීමට ඉන්ජිනේරු හා අනුබන්ධ තාක්ශණයන් දියුණුව තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඕනෑම ඉන්ජිනේරු ව්‍යාපෘතියක සාර්ථකත්වයේ එක් පාදමක් වන්නේ සාර්ථක මූල්‍ය කළමණාකරණයයි (finance management). මෙවැනි ඉදිකිරීමක් සැළසුම් කිරීමේදී මුලින්ම සිදුවන්නේ BOQ එකක් හෙවත් Bill of Quantities එනම් ව්‍යාපෘතියට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය (උදා: ගල්, වැළි, පස්, ගඩොල්) යනාදියෙහි හා අවශ්‍ය මිනිස් සම්පත් (කම්කරුවාගේ සිට සියලුම වර්ගයේ තාක්ශණික ශිල්පීන් දක්වාම )ඉතා විස්තරාත්මක අය්තම ලැයිස්තුවක් සකසා හැකිතාක් නිවැරදිව සෑම අයිතමයකටම බරපැන ඇස්තමේන්තු කිරීමයි.

* ව්‍යාපෘති සැළසුම්කරුවන් මෙය (BOQ) ගණුදෙනුකරුවාට (මේ අවස්ථාවේදී එම ගණුදෙනු කරුවා ප්‍රාදේශීය රජෙකු විය) ලබාදෙන අතර අනුමැතියෙන් පසු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ. එසේ වෙන්කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම, වියදම් පාළනය, සිය ගණනක් සැපැයුම්කරුවන්හට ගෙවීම, දහස් ගණනක් ශ්‍රමිකයන් හට ගෙවීම, එම ගෙවීම් ලේඛනගත කොට රජුට (හෝ රජුගේ භාණ්ඩාගාරිකට) ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිදුවන්නට ඇත. මෙවැනි විශාල ව්‍යාපෘතියක සොරකම් වංචා සිදුවීමට ඇති ඉඩකඩ විශාල නිසා ඒවා වැලැක්වීම සඳහා සංකීර්ණ මූල්‍ය කළමණාකරන උපක්‍රම භාවිතාකරන්නට ඇත.  

* මේ සියලුම තාක්ශණයන්ගේ මූලික පාදම කුමක්ද? - උත්තරය ගණිතය යන්නයි. හොඳින් දියුණුවූ ගණිතමය ඥාණයක් නොමැතිව මේ කිසිවක් සිදුකල නොහැකිය. සකල විධ ඉන්ජිනේරු ශිල්පයන් හා මූල්‍ය කළමණාකරණය එකට බැඳ තබන පොදු සාධකය වන්නේ ගණිතයයි. ආදි හෙළයා අතර ඉතා දක්ශ ගණිතඥයින් බොහෝ සිටින්නට ඇත.

පැරණි හෙළයාගේ සැඟවුණු තාක්ශණය හා ආර්ථික සමෘධිය

රුවන්වැලි සෑයේ සිට, ජේතවනාරාමය, අභයගිරිය, ලෝවාමහා ප්‍රාසාදය, අවුකන පිළිමය, ගල්විහාරය හා මාළිගාවිල සංකීර්ණය දක්වා ඇති සියළු හෙළ සිවිල් ඉන්ජිනේරු කර්මාණ්තයන් කිසිවක් නූතනයේ mathematics, architecture, mechanical engineering, project management, project planning, surveying, finance management (මෙම ලැයිස්තුවට තව බොහෝ තාක්ශණයන් ඇතුලත්විය යුතු බව සළකන්න) ලෙස හඳුන්වන තාක්ශණයන් හොඳින් ප්‍රගුණ නොකල ජාතියකට සිදුකල නොහැකිය. ගණිතය, විද්‍යා-තාක්ශණය මෙන්ම සකළවිධ කළාවන්ද දියුණු වන්නට නම් ඒ ජාතිය ධනවත්/සමෘධිමත් ජාතියක් විය යුතුමය. 

එනම් ආදි හෙළය ඉතා සමෘධිමත්, ටොන් 100ක හිරිගල් කුට්ටියක් සැතපුම් ගණනාවක් ගෙනගොස් සිටුවා පිලිම නෙලා රෝහලක්ද සහිතව මහා විහාර කර්මාණ්තයකයකට (එනම් ලාභ නොලබන අලෞකික ව්‍යාපෘතියකට) මුදල් කන්දරාවක් යෙදවිය හැකි තරමේ ධනවත් ප්‍රාදේශීය රජුන් සිටි රටකි.

~ // ~

ප.ලි - 

එහෙව් ඉතිහාසයක් ඇති අපේ සිංහල ජාතිය අද ගැහැණියකට නිදහසේ ජීවත්වන්නට බැරි, පියා (නැතහොත් සුළු පියා හෝ මවගේ සොර මිනිහා) ළදරුවන් දූශණය කරන, වාහනයේ ෆිනෑන්ස් ගෙවන්නට බිරිඳ ගණිකා වෘත්තියේ යොදවන පාපතරයින්ගෙන් පිරි නිවට රටක් බවට පත්වූයේ කෙසේද? - කෙසේවුවත් වරද දෙමළාගේ හෝ තම්බියාගේ හෝ ක්‍රිස්තියානිකාරයාගේ හෝ බටහිර සුද්දන්ගේ නොවන බව පමණක් කියමි.


COMMENTS

අද ඉඳන් හරි රටේ දරුවන්ගේ ආකල්ප හදන්නෙ නැත්නම් මේ රට ඉවරයි.. ඉන්න උං වැඩක් නැ.. අනාගත පරපුර හරි හදන්න ඕනා.. ඒවා කරලා හම්බ කරන්න බෑනෙ... ඒ නිසා අපි ණයට හයිවේ... නැව් නැති වරාය.. ප්ලේන් නැත් ගුවන්තොටුපොල හදනවා - Kanishka | කණියා

ඒකනේ බං වැඩේ..., අපට විශිෂ්ඨ අතීතයක් තිබුණා.. ණයට අරගෙන යංතං එදාවේල කන වර්තමානයකුත් තියෙනවා. අනාගතය....!!! 
පෙදරේරුවා නොහොත් මේසන් බාස්

=)) BBC documentary එකක් තියෙනව story of mathematics කියල. ඒක download කරගෙන බලන්න. එකනොට ඔය මෝඩ අදහස් හදාගත්තැහැකි
රජිව් සිරිවර්ධන
රජීව් සිරිවර්ධනට පිලිතුරු :
මම සිරිතක් ලෙස කොමෙන්ටු වලට ප්‍රතිචාර නොදක්වමි. කොමෙන්ටු දමන්නාගේ අදහස්වලට ගරුකරමින් ඒවා පොස්ට් කරමි. 
එහෙත් රජීව සිරිවර්ධන මහතා ගේ අදහස අනුව අපේ අදහස් මෝඩ අදහස්ය. ඒ කියන්නේ පැරණි සිංහලයා විශ්ෂ්ඨ ඥාණයකින් යුතු, තාක්ශණයෙන් දියුණු, සමෘධිමත් ආර්ථිකයකට හිමිකම් කියුවා යන්න මෝඩ අදහසකි. 
සිවර්ධන මහතාගේ යෝජනාව වන්නේ බී.බී.සියේ ඩොකියුමෙට්‍රියක් ඩවුන්ලෝඩ් කරගෙන බැලීමෙන් මට "ගණිතයේ ආරම්භය හා විකාශණය" පිලිබඳව දැනගත හැකි බවය. ඒ අනුව පැරණි සිංහළයාගේ තාක්ශණික, විද්‍යා-ගණිත දැනුම ගැන මා ගොඩනගන මෝඩ තර්කය වෙනස්කරගත හැකිය.. ඩොකියුමෙන්ට්‍රිය බලා නැතිබැවින්, බලන්නේ නැතිව ඒ ගැන යමක් නොකියමි. බැලූ පසු කිවයුතු දෙයක් ඇත්නම් රටටම ඇහෙන්නට කියනන්ට බලාපොරොත්තුවෙමි. 
ඒහෙත්;  
රජීව මහතා කියනා විධියට සුද්දාගේ ඩොකියුමෙන්ට්‍රියේ කතාව හරියට ඇත. සියල්ල දන්නේ සුද්දන්ය. සුද්දා අපේ රට අල්ලාගෙන කෝච්චි පාරවල් දාලා, වරායවල් හදලා, තේ රබර් පොල් වවලා දුන්නේ නැත්නම් අපි තවමත් කොළ අතු ඇඳගෙන ගස් බඩගානවාය. 
රජීව් සිරිවර්ධන වැනි අඳබාල මහතුන් ගතින් මෙන්ම සිතින්ද දීනය; සුදුහම, තඹ කොණ්ඩය, කඩදාසියෙන් පිසදමන පස්චාත්භාගය යනාදිය ඔබ වැන්නවුන්ට මහානර්ඝ බව අපි දනිමු.
සුද්දා, හෙවත් යුරෝපීය කොකේසියන් මිනිසා "අඳුරු යුගය - dark ages -middle ages " ලෙස හැඳින්වුනු ක්‍රි.ව. 500 සිට 1000 දක්වා කාළයේ එකිනෙකා මරාගනිමින්, මහළු කාන්තාවන් මන්ත්‍රකාරියන්, පිසාචයින් (vampires) ලෙස චෝදනාකොට, මහමග නඩු අසා, වරදකරුවන් කොට, කනුවල බැඳ පණපිටින් පුළුස්සමින් ම්ලේඡ්චයින් ලෙස සිටි කාලයේ අපේ එවුන් ටොන් 100-200 ගල් කඳු ගෙනයමින්, ආරාම රෝහල්, මහා දාගැබ්, වැව් තනමින් එකල දැනසිටි ලෝකයම (known world) සමග වෙළහෙලඳාම් කරමින් දියුණු මිනිසුන් ලෙස ජීවත් වූවා යන්න නුඹ වැන්නවුන්ට ඇදහිය නොහැකි බව අපි දනිමු. 
අපි ඔබ වැන්නවුන් ගැන කණගාටුවෙමු. 
ප.ලි - 
මේ ලේඛකයාට සුද්දන් සමග කිසිදු වෛරයක් හෝ ගැටළුවක් නැත. මේ බ්ලොගය පිරී ඇත්තේ සුද්දන්ගේ තාක්ශණික බලමහිමය විස්තර කරන ලිපිවලින්ය.එමෙන්ම සුද්දන්ගේ රටවල මෙන්ම ආසියාතිකරයේ රටවලත් ජීවත්වී ඇති නිසා සුද්දන් මෙන්ම කල්ලන් හා දුඹුරන් ගැනත් දැනුමැත්තෙක් වෙමි. උන් සියල්ලම ගැන මට ඇත්තේ ගෞරවයකි.  
මා ගෞරව නොකරන්නේ පංචස්කන්ධය මෙහේ තියාගෙන, මෙහාට ගරහමින් සුද්දන් උඩදාන කළු-සුද්දන්ට පමණකි.

ලඟදී මමත් අනුරාධපුරේ ගියා. රාත්‍රී 7 විතර අභයගිරි විහාර භූමියේ ඉදගෙන අභයගිරි විහාර සංකීර්ණය සිතියමක් තියාගෙන කල්පනා කලෙත් මේ ටිකම තමයි. ගුවනින් බලද්දි පෙනෙන ජ්‍යාමිතික හැඩතල ගැන හිතද්දිත් පුදුමයි. මේ ලිපිය පුරාම කියවෙන්නේ මේ දේවල් බලන කෙනෙක්ගේ හිතේ ඇතිවෙන පොදු හැඟීම. ස්තුතියි. මේ ලිපිය මේ බ්ලොග් අඩවියේ මම කැමතිම ලිපි වලින් එකක්
බුද්ධි


කමෙන්ට් දාන්නේ නැති උනාට ඔබේ ලිපි නිතර කියවනවා.අලුත් තාක්ෂණික තොරතුරු ගැන දන ගන්න හුගත් වැදගත් ලිපි සමුදායක්. මේ ලිපි හැම එකකටම වඩා වටින්නේ උඩින් දාලා තියෙන කමෙන්ටුවට දීපු උත්තරේ...:-) ඔබට බුදු සරණයි...!!!







































Friday, 23 August 2013

බිත්තියක් වුව ක්ශණයකින් touch screen surface බවට පත්කල හැකි තාක්ශණයක් බිහිවෙයි!

කැලිෆෝනියාවේ රාජ්‍ය බහුතාක්ශණික විශ්වවිද්‍යාලයේ touch surface තාක්ශණය අත්හදා බැලෙන අයුරු.

ඔබද මා මෙන්ම නිතරම ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්නෙක් නම් තිරයේ වැටෙන ස්ලයිඩ් මාරු කිරීම අයිපෑඩයක මෙන් අතින් කල හැකිනම් කෙතරම් අගේදැයි සිතා ඇතුවාට සැක නැත? වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වන මට එලෙස සිතෙන වාර අනන්තය. ස්ලයිඩ් මාරු කිරීම, ස්ලයිඩ් එක මත පැහැදිලි කිරීම් සඳහා අතින් හෝ ස්ටයිලස් එකකින් රූපසටහනක් හෝ කටු සටහනක් ඇඳීමේ හැකියාව ඇත්නම් මාගේ දේශන වඩාත් පහසුවෙන් මෙන්ම සිසුනට උගැනීම තවත් පහසුවෙන ආකාරයට කල හැකිය.

මේ සඳහා ස්මාර්ට්-බෝඩ් නම් තාක්ශණයක් ඇති අතර, එම ස්මාර්ට් බෝඩ් එක ස්පර්ශ සංවේදී පෘශ්ඨයකින් යුතුය. එය මතට ප්‍රසෙන්ටේශණයක් ප්‍රක්ශේපණය කලවිට, එම පෘශ්ඨය ස්පර්ශ සංවේදී බැවින් ප්‍රසෙන්ටේශණය මෙහෙයවීම හා සටහන් ඇඳීම පරිගණකයට අත නොතබා කල හැකිය. විදෙස් රටක ඉගැන්වීම කරද්දී මෙවැනි ස්මාර්ට් බෝඩ් භාවිතා කිරීමේ අවස්ථාව මට ලැබුණත්, පෞද්ගලිකව මා ස්මාර්ට්-බෝඩ් භාවිතයට අකමැති වූයේ එය ඉතා කරදරකාරී මෙන්ම, මිලෙන් ඉතා අධික, ගෙවන මිලට එතරම් උපයෝගීතාවයක් ලබා නොදෙන උපකරණයක් බැවිනි. එය භාවිතා කල හැක්කේද ස්මාර්ට්බෝඩ් එකක් සවිකල දේශණ ශාලාවකදී පමණකි.

එහෙත් දැන් ඕනෑම තැනක් ස්මාර්ට් ටච් ස්ක්‍රීන් පෘශ්ඨයක් කල හැකි තාක්ශණයක් බිහිවී ඇතිබව ඇසීම සතුටට කරුණක් වූ බැවින්, විස්තරයක් ගෙන එන්නට සිත්වුනි.

කැලිෆෝනියාවෙන් ලැබෙන වාර්තා අනුව Ubi Interactive නම් සමාගම සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක් හරහා ඕනෑම පෘශ්ඨයක් ස්පර්ශ සංවේදී පෘශ්ඨයක් බවට පත්කල හැකි මෘදුකාංගයක් බිහිකර ඇත. එම සමාගමේ පැහැදිලි කිරීම්වලට අනුව, ප්‍රොජෙක්ටරයකින් දසුනක් ප්‍රක්ෂේපණය කල හැකි ඕනෑම පෘශ්ඨයක් (බිත්තියක්, ප්‍රොජෙක්ටර් තිරයක්, මේසයක්) සර්ශ සංවේදී පෘශ්ඨයක් බවට පත්කොට එයට අයිපෑඩ් (හෝ වෙනත් ටැබ්ලට්/ස්මාර්ට්ෆෝන් යන්ත්‍රයක ) ටච්-ස්ක්‍රීන් තිරයක ක්‍රියාකාරිත්වය ලබාදීම සඳහා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මෘදුකාංගය දිවෙන වින්ඩෝස් 7 හෝ 8 පරිගණයකයක්, සාමාන්‍ය ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා මයික්‍රෝසොෆ්ට් X බොක්ස් ක්‍රීඩා යන්ත්‍රයට සවිකරන කිනෙක්ට් සෙන්සරයක් පමණකි.

මයික්‍රොසොෆ්ට් X බොක්ස් පරිඝණක ක්‍රීඩා යන්ත්‍රයට සවිකරන කිනෙක්ට් සෙන්සරය.
මෙය මගින් ත්‍රිමාණ අවකාශයේ භාවිතා කරන්නා සිදුකරන චලන හඳුනාගෙන එම චලනවල දත්ත පරිගණකයට ලබාදේ. ක්‍රීඩා කරන්නා සිය දෑත් මෙහෙයවන ආකාරය නිරීක්ශණය කරන මෙම සෙන්සරය එම චලන X බොක්ස් යන්ත්‍රයට ලබාදී ක්‍රීඩකයාට උවමනා ආකාරයට ක්‍රීඩාව මෙහෙයවීමේ හැකියාව ලබාදෙයි.
මෙම සෙන්සරය, පරිගණකය හරහා යූබී සමාගමේ මෘදුකාංගය හා සම්බන්ධ කලවිට, එය ප්‍රක්ෂේපණ තිරය මත භාවිතා කරන්නාගේ දෑත් සිදුකරන චලන නිරීක්ශණය කොට, එම දත්ත මෘදුකාංගයට ලබාදෙන අතර, එයට අනුරූපව පවර්-පොයින්ට් ප්‍රසෙන්ටේශන් එක ක්‍රියාකරවීමට මෘදුකාංගය සමත්වෙයි. ඒ අනුව භාවිතා කරන්නාට සිය බිත්තිය ස්පර්ශ සංවේදී තිරයක් ලෙස ක්‍රියා කරන බව හැඟේ.

Ubi Interactive සමාගම මෙම මෘදුකාංගය හා පද්ධතිය නිර්මාණය කොට ඇත්තේ මයික්‍රෝසොෆ්ට් සමාගම වෙනුවෙනි.

Thursday, 22 August 2013

වසර 3000කට පෙර ශ්‍රී ලංකාවෙන් කුරුඳු ගෙන ගිය මධ්‍යධරණී ෆිනීශියන්වරු

ෆීනිශියන්වරුන් ගොඩනැගූ ලෝකඩ යුගයේ සිශ්ඨාචාරයක් වන ටෙල් ඩෝර් සිශ්ඨාචාරයේ නගරයක නටබුන්. මෙම ප්‍රදේශය නූතන ඊශ්‍රායලයේ පිහිටා තිබේ.
Credit: Photo by Lang Gito, CC Attribution 2.0 Generic


අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රසිද්ධවූයේ ලොව හොඳම කුරුඳු සඳහාය. ශ්‍රී ලංකාව හා මධ්‍යධරණී මුහුදේ ටෙල් ඩෝර් ප්‍රදේශයේ (නූතන ඊශ්‍රායලය ) මුල්බැසගත් ෆීනීෂියන් සිශ්ඨාචාරයක වෙළඳුන් ලොව හොඳම කුරුඳු සොයා මීට වසර 3000කට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇති බවට සාධක බව එම පුරාවිද්‍යා ප්‍රදේශයෙන් හමුවී තිබේ. ටෙල් ඩෝර් ප්‍රදේශයේ සිශ්ඨාචාරය ඇරඹුනේ ලෝකඩ යුගයේ, එනම් මීට වසර 3000කට පෙර බව විද්වත් මතයයි. මධ්‍යධරණී මුහුදට මුහුණලා පිහිටි මෙම ප්‍රදේශයේ එකල ඉතා වැදගත් නාවික තොටුපොලක් තිබූ අතර ටෙල් ඩෝර් සිශ්ඨාචාරයේ නිර්මාපකයින් අති දක්ශ මුහුදු යාත්‍රිකයින් වන ෆීනීශියන්වරුන් බව විශ්වාස කෙරේ.

Journal Mediterranean Archaeology and Archaeometry පුරාවිද්‍යා ශාස්ත්‍රීය සඟරාවට නිබන්ධනයක් ඉදිරිපත් කරන Weizmann Institute of Science, Tel Aviv University,  University of Haifa විශ්වවිද්‍යාලවල      පර්යේශකයින් පිරිසක් ටෙල් ඩෝර් ප්‍රදේශයේ නාගරික ප්‍රදේශයක් නටබුන් අතුරින් සොයාගන්නා ලද මැටි බඳුන් විශ්ලේෂණය කිරීමේදී මේ අනුමානයට සාක්ශි සොයාගෙන ඇත.

මෙම මැටිබඳුන් රසායණික විශ්ලේශණයකට බඳුන් කිරීමේදී ඒවා වසර 3000ක් පැරණි බවත් ඒවායේ ඉස්තරම් වරගයේ කුරුඳු ගබඩාකොට තිබූ බවත් සොයාගෙන ඇත. එම භාජනතුලින් සිනමැල්ඩිහයිඩ් (cinnamaldehyde) නම් රසායණිකය හමුවී ඇත. මෙම භාජන තුල කුරුඳු ගබඩාකොට තිබීමේදී කුරුඳුවලට එහි රසය හා සුවඳ දෙන රසායණිකය වන සිනමැල්ඩිහයිඩ් උරාගෙන තිබේ. මේ කුරුඳු ඉස්තරම්ම තත්වයේ ඒවා බවත්, ඊශ්‍රායලයට ආසන්නයේ ඇති අප්‍රිකානු රටවලද කුරුඳු ඇතත් එම කුරුඳු ශ්‍රී ලංකාවෙන් හා දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශවලින් ලැබෙන කුරුඳු වලට වඩා තත්වයෙන් බාල බවත් පවසන පර්යේෂකයෝ වසර 3000කට පෙර ශ්‍රී ලංකාව වැනි ඉස්තරම් කුරුඳු හමුවන රටවල් සමග මෙම ශිෂ්ඨාචාරය වෙලඳ ගණුදෙනු සිදුකරන්නට ඇතැයි අනුමාන කරති.

Source : Evidence of 3,000-Year-Old Cinnamon Trade Found in Israel

Wednesday, 21 August 2013

උතුරු කොරියාව දේශීයව නිර්මාණය කලබව කියන ස්මාර්ට්ෆෝනයක් හඳුන්වාදෙයි!!!

උතුරු කොරියානු ස්මාර්ට්ෆෝනය ලෙස මාධ්‍යයට ඉදිරිපත්කල දුරකථනයේ ඡායාරූපය - බැලූබැල්මට මෙය ඇන්ඩ්‍රොයිඩ් OS එකකින් බලගැන්වෙන බව පෙනේ.. 


තම රට තුල නිෂ්පාදනය කළ පළමු ස්මාර්ට් දුරකතනය වෙළද පොලට නිකුත් කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිදු කරන ලද කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකාවකදී මෙම නවතම ස්මාර්ට් දුරකතනය ඔහුට පිලිගන්වන ලදැයි වාර්තා වේ.

අරිරැංග් නමින් නම් කර ඇති මෙම ස්මාර්ට් දුරකතනය නිපදවීම,උතුරු කොරියානු ජනතාවට තම රටේ නිෂ්පාදන කෙරෙහි නැඹුරුතාවයක් ඇති කිරීමේ තීරණාත්මක කඩඉමක් වනු ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය පවසයි.

කෙසේවෙතත් සැම්සුන්ග්, එල්.ජී වැනි තාක්ශණික දැවැන්තයින් සිටිනා දකුණු කොරියානු වාර්තාවලට අනුව මෙය උතුරු කොරියාවේ සම්පූර්ණයෙන්ම නිපදවන ලද දේශීය උතුරු කොරියානු නිමැවුමක් නොව, චීනයේ කොන්ත්‍රාත් ක්‍රමයට නිශ්පාදනයන් සිදුකරන සමාගමක් හරහා ගෙන්වාගත් එකක් එනම් බාල චීන නිශ්පාදනයක් මෙන් මෙන් පෙනෙන බවයි.

සීයා, තාත්තා හා පුතා අනුපිලිවෙලින් රාජ්‍ය බලය හොබවූ/හොබවන උතුරු කොරියාවේ දැඩි කොමියුනිස්ට් ආර්ථික ප්‍රතිපත්ති නිසා තවමත් ගොන් කරත්ත යුගයේ සිටින රටකි. න්‍යශ්ඨික බෝම්බ, මිසයිල හා රොකට තනන බව සත්‍ය වුවත් ඒ බොහොමයක් තාක්ශණය පවා රුසියාවෙන් හා චීනයෙන් ලබාගෙන, ජනතාව බඩගින්නේ තබමින් දුකසේ දියුණු කරගත් තාක්ශණයන්ය. ඒවා වුවද බටහිර තාක්ශණය හා සසඳන විට යල්පැන ගිය තාක්ශණ වේ. එවැනි පසුගාමී ආර්ථිකයක් හිමි රටක් එක්වරම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය කලහැකි ජංගම දුරකථනයක් දේශීයව නිපැයුවායි විශ්වාස කිරීම උතුරු කොරියානු ජනතාවට පමණක් සිදුකල හැකි දෙයකි.

ස්මාර්ට්ෆෝන් ගණයේ ජංගම දුරකථනයක් නිමැවීම සඳහා අවශ්‍යය ප්‍රොසෙසරය, ස්පර්ශ සංවේදී වීදුරුව, LED තිරය, ෆ්ලෑශ් මෙමරි, 2G/3G හඬ හා දත්ත සම්ප්‍රේෂණ පරිපථ, සෙන්සර්, GPS පරිපථ යනාදී සියගණනක් අධිතාක්ශණික උපාංග නිපදවීමට අවශ්‍ය තාක්ශණය මෙන්ම නිශ්පාදන හැකියාව උතුරු කොරියාව කෙසේ ලබාගත්තාදැයි ඔවුන් විස්තර කරන්නේ නැත. කියන්නේ තමන් ස්මාර්ට්ෆෝනයක් නිපදවූවා යන්න පමණකි. ස්මාර්ට්ෆෝනයක් කෙසේවෙතත් ටැලිෆෝනයක් හෝ කිසිදා දැක නැති අහිංසක උතුරු කොරියානු වැසියන් නම් මෙවැනි සුරංගනා තාක්ශණික ජයග්‍රහණ විශ්වාස කරනු ඇත.

කලක සිට මෙවැනි අධිතාක්ශණික විජ්ජා පෙන්වීමට ඉරාණයද පුරුදු වී සිටියි. ඉරාණයේ ඉස්ලාමීය තාක්ශණය හිටි අඩියේ ස්ටෙල්ත් ප්‍රහාරක යානා, ස්වය්ංක්‍රීය ඩ්‍රෝන යානා, සන්නිවේදන චන්ද්‍රිකා පමණක් නොව, වඳුරෙකු උඩුගුවනට ගෙනයා හැකි අභ්‍යකාශ යානාද පහල කරයි.

පහත සේයාරූ වලින් පෙනෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජන්ග් අන්, උතුරු කොරියානු ස්මාර්ට්ෆෝන් ෆැක්ටරියේ නිරීක්ශණ චාරිකාවක නිරතවන ආකාරයයි. සිනාවට කාරණය නම් ඔහු ෆැක්ටරිය තුල සිටින්නේ ෆැක්ටරි මැනේජර්ලා, ඉන්ජිනියර්ලා, ප්‍රඩක්ට් ඩිසයිනර්ලා, ප්‍රෝගැමර්ලා වටකරගෙන නොව හමුදා කඳවුරකදී මෙන් ජෙනරාල්ලා වටකරගෙනය.

එක්කෝ උතුරු කොරියාවේ ස්මාර්ට්ෆෝන් හදන්නට දන්නේ ජෙනරාල්ලාය, නැතිනම් ජෙනරාල්ලා ස්මාර්ට්ෆෝන් හදන ආකාරය ජනාධිපති-කොළුවාගෙන් ඉගෙනගන්නවාය. කලක් ස්විට්සර්ලන්තයේ පාසැලක ඉගෙනගත් කිම් ජන්ග් උන් ජනාධිපතිතුමා සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළ පැමිණි විද්වතෙකු බව උතුරු කොරියානු මාධ්‍ය නිරන්තරයෙන් කියා සිටින්නේය. එබැවින් මේ උතුරු කොරියානු ස්මාර්ට්ෆෝනයද එතුමාගේ සංකල්පයක් අනුව, එතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව, එතුමාගේ ජෙනරාල්ලා නිශ්පාදනය කල එකක් විය යුතුය.





COMMENTS



ඔබතුමාට උතුරු කොරියාව සමග පෞද්ගලික අවුලක් තියනවද? නැත්තම් ඇමරිකාවට කඩේ යන බ්ලොග් එකක් හෝ වෙබ් සයිට් එකකින් ගත්ත පරිවර්තනයක්ද ? Predeep Asanka

ප්‍රදීප් අසංක මහතානෙනි;
 1] මට උතුරු කොරියාව සමග අවුලක් තිබීමට මා දකුණු කොරියාණුවෙකු හෝ අමෙරිකානුවෙකු යයි ඔබ සිතනවාද?
 2] අමෙරිකාවට කඩේයන බ්ලොගයකින් ගත් එකක්ද? යනුවෙන් අසන්නේ මෙම ලිපියේ කොතැනක හෝ අමෙරිකාව ගෑවී තිබේද? ලිපියේ කතා කරන්නේ ස්මාර්ට්ෆෝන් ලෝකයේ දැවැන්තයින් වන දකුණු කොරියානුවෙන් ගේ අදහස් බව ලිපිය කියවා බැලුවානම් නුඹට තේරුම් යන්නට ඉඩ තිබුණි.
උතුරු කොරියාවට මෙවැනි නිශ්පාදයනක් කිරීමට තරම් තාක්ශණික දැනුමක් තිබිය නොහැකි බවට මම ගොඩ නගන තර්කය බිඳහෙලීමට ඔබට කරුණු තිබේද?




National Geographic Traveler - ඡායාරූප තරඟය 2013


සෑම වසරකම පැවැත්වෙන නැෂනල් ජියෝග්‍රැෆික් සමාජයේ (National Geographic Society) නැට්ජියෝ ට්‍රැවලර් සඟරාව (National Geographic Traveler) මගින් මෙහෙයවන "නැට්ජියෝ ට්‍රැවලර් ඡායාරූප තරඟය" මෙවරත් පැවැත්වින. 2013 අප්‍රේල් මස පලමුවැනිදා ඇරඹුනු මේ තරඟයේ ඡායාරූප භාරගැනීම ජූනි 30 වැනිදායින් අවසන් විය. මේ කාළය තුල 15,500කට අධික ඡායාරූප සංඛ්‍යාවක් තරඟය වෙත ඉදිරිපත්කල අතර මේ ඡායාරූප (1) Travel Portraits, (2) Outdoor Scenes; (3) Sense of Place; and (4) Spontaneous Moments ලෙස කාණ්ඩ 4කට වර්ගීකරණය කොට නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ විධායක ඡායාරූපකරණ අධ්‍යක්ශකවරුන් හා තවත් සම්මානලාභී ඡායාරූප ශිල්පීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් අගැයිමට බඳුන්කොට ජයග්‍රාහකයින් තෝරන ලදී.

 මෙහිදී අගැයිමට බඳුන්වුනු ඡායාරූප කිහිපයක් ඔබගේ රසවින්දනය වෙනුවෙන් ඉදිරිපත් කරමු...

සැ:යු: මේ සියළු ඡායාරූපවල අයිතිය නැෂනල් ජියෝග්‍රැෆික් සමාජය සතුය. (Note: National Geographic Society is the copyright owner of all photographs shown here.)

[1]

ඡායාරූපය : මහා බාධක කොරල්පරය අසල, නැගෙනහිර ඔස්ට්‍රේලියාව
ඡායාරූප ශිල්පියා : ක්‍රිස්ටියන් රොත්

[2]

ඡායාරූපය : සහරා කාන්තාරයේ ජීවත්වන ෆෙනෙක් නම්වූ කාන්තාර හිවල් පැටවෙකු (The fennec, or desert fox)
ඡායාරූප ශිල්පියා : ෆ්‍රැන්සිස්කෝ මින්ගොරන්ස්

[3]

ඡායාරූපය : දකුණු අයිස්ලන්තයේ දර්ශණයක්
ඡායාරූප ශිල්පියා : ෆ්ලොරින් සුකෝ

[4]

ඡායාරූපය : ලොඩියන් (jellyfish) රෑනක් සමග පිහිණන කිමිදුම්කාරිය, බහාමාස් දිවයින්, දකුණු ඉන්දීය කොදෙව් දූපත්
ඡායාරූප ශිල්පියා : චියාන් චොන්ග්

[5]


ඡායාරූපය : දින කිහිපයක් වයසැති ජෙන්ටූ පෙන්ග්වින් පැටවුන්, ඇන්ටාක්ටිකාව.ඡායාරූප ශිල්පියා : රිචර්ඩ් සිඩ්ලි

[6]

ඡායාරූපය : ඔස්ට්‍රේලියාවේ කැරිජිනී ජාතික වනෝද්‍යානය මෙවැනි ගල් පොකුණු (rock pools) හා ගිරිදුර්ග වලට ප්‍රසිද්ධය.
ඡායාරූප ශිල්පියා : ඉග්නේෂියෝ පැලසියෝස්

[7]

ඡායාරූපය : මෙම කුඩා දැරිය සිය පියාව දකින්නේ සත් මසකට පසුවය. අමෙරිකානු නාවික හමුදා නිළධාරියෙකුවූ ඔහු පර්සියානු ගල්ෆ් කළාපයේ සත් මසක නාවික මෙහෙයුමකින් පසුව පැමිණි මොහොත, සැන් ඩියේගෝ නුවර, කැලිෆෝනියාව
ඡායාරූප ශිල්පියා : අමීර් ඇබ්‍රමොවික්

[8]

ඡායාරූපය : සංචාරකයින්ගේ වාහන හොඳින් හුරුපුරුදු මේ චීටාවන් කාචයට හසුවූයේ කෙන්යාවේ මසායි-මාරා ජාතික වනෝද්‍යානයේදීය.
ඡායාරූප ශිල්පියා : යනායි බොන්හේ

[9]

ඡායාරූපය : ධාන්‍යයකට සමවැදී මෙන් පියානෝ වාදනයට සවන්දෙන කුඩා දැරිය, ක්වීන්ස්ටවුන්, නවසීලන්තය
ඡායාරූප ශිල්පියා : නිකොලා සෙමර්නික්

[10]

ඡායාරූපය : සැඟවසිටීමේ දක්ශයෙකු වන Eastern Screech Owl බකමූණා, ඔකිෆෙනෝකී වගුරුබිම, ජෝර්ජියා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූප ශිල්පියා : ග්‍රැහැම් මැක්ජෝර්ජ්

හඳුනාගන්න : Jet Fighters [Past, Present & Future]



ප්‍රහාරක හා සටන්වදින යානා යනු මොනවාද? (What are fighter planes?)

ප්‍රහාරක අවියක් ලෙස ගුවන් යානා භාවිතය ඇරඹුනේ 1914 සිට 1918 දක්වා පැවතුන ප්‍රථම ලෝක මහා සංග්‍රාමය සමයේදීයි. මුලින්ම සතුරු කඳවුරු වල ඡායාරූප ගැනීම සඳහා ගුවන් යානා යොදාගැනුනු අතර යුධය දරුණු වත්ම සතුරු පෙරමුණු වලට බෝම්බ හෙලීම සඳහා ගුවන් යානා අනුවර්තනය කරගන්නා ලදී. ඊලඟ පියවර වුනේ බෝම්බ හෙලන යානා පලවා හැරීමට හා විනාශ කරදැමීමට මැශින් තුවක්කු සවිකරගත් ගුවන් යානා පිටත් කර හැරීමයි. මෙලෙස මැශින් තුවක්කු සවිකරගත් යානා මුල්ම සටන් වදින යානා (fighter aircraft) බවට පිලිගැනුනා.

මැශින් තුවක්කුවක් සවිකරන ලද ජර්මන් යුධ ගුවන් යානයක් - ප්‍රථම ලෝක මහා සංග්‍රාමය

එහෙත් මේ කාලයේ යුධ කටයුතු සඳ භාවිතා කෙරුණේ සාමානය ගමන් බිමන් වල යොදාගන්නා ගුවන් යානාමයි. ඒවා ඉතා පහසුවෙන් බිම හෙලිය හැකි, අඩු වේගයෙන් පියාසර කරන යානා වුනා. යුධ අවියක් ලෙස ගුවන් යානා දියුණු කිරීම ඇරඹුනේ ජර්මනියේ ආඥාදායකයා ලෙස හිට්ලර් බලයට පත්වීමෙන් පසුවයි. මෙසර්ශ්මිට්, හයින්කෙල්, ඩෝනියර්, ජුන්කර්ස් වැනි අති දක්ශ ගුවන්යානා නිර්මාණකරුවන් හිට්ලර්ගේ ගුවන් හමුදාවට අති විශිෂ්ඨ ප්‍රහාරක යානා, සටන්වදින යානා, හා බෝම්බ හෙලන යානා නිර්මාණය කර දුන්නා. මේ අනුව ප්‍රහාරක හා සටන්වදින යානාවල නිළ ආරම්භය ලෙස ගැනෙන්නේ දෙවන ලෝක යුධ සමය හා ආසන්න පස්චාත් යුධ සමයයි.

Messerschmitt Bf 109 - ජර්මන් මෙසර්ශ්මිට් ප්‍රහාරක යානාවක් - දෙවන ලෝක මහා සංග්‍රාමය
RAF Spitfire - බ්‍රිතාන්‍ය රාජකීය ගුවන්හමුදාවේ ස්පිට්ෆයර් ප්‍රහාරක යානය - දෙවන ලෝක සංග්‍රාමය

පරම්පරාව (generation) අනුව ප්‍රහාරක යානා වර්ගීකරණය

Generation 1: Jet propulsion - (mid-1940s to mid-1950s)

පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා බිහිවුනේ දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන්වෙමින් පවතින අවදියේයි. මෙම යානාවල ඇති විශේශත්වය ඒවා අවරපෙති වලින් නොව ජෙට් එන්ජින් වලින් බලගැන්වීමයි (Jet Propulsion). මේ නිසා මෙම යානාවල වේගය අවරපෙති යානා වලට වඩා බෙහෙවින් අධික වුනා. ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක යානාවන් වන්නේ හිට්ලර්ගේ මෙසර්ශ්මිට් 262 ප්‍රහාරක යානාවයි. ජෙට් බලයෙන් පියාසර කිරීමට අමතරව රේඩාර් වැනි නවීන උපකරන මේ යානාවල අඩංගුවුනේ නෑ. තාක්ශණය එතරම් දියුණු නොවීම මෙයට හේතුවයි. මැශින් තුවක්කු හා ප්‍රාථමක  වර්ගයේ රොකට්ටු මේ යානාවල ප්‍රධාන ආයුධ වුනා.

පලමුවන පරම්පරාවේ ප්‍රහාරක යානා ලයිස්තුව (විකිපීඩියා විශ්වකෝශයෙනි )

දෙවන පරම්පරාවේ යානා නිර්මාණයත් සමග ජෙට් ප්‍රහාරක යානා වල ස්වර්ණමය යුගය ඇරඹෙයි


Generation 2: (mid-1950s to early 1960s)
1950 දශකයේ මැද භාගයේ සිට 1960 දශකයේ අවසානය දක්වා නිර්මාණය වුනු ප්‍රහාරක හා සටන්වදින යානා දෙවන පරම්පරාවේ යානා ලෙස සලකනවා. පලමුවන පරම්පරාවේ යානා නිර්මාණයට දෙවන ලෝක මහා සංග්‍රාමයේ ගුවන් සටන් වලදී  උගත් පාඩම් මහත් සේ උපකාරී වූවාසේම දෙවන පරම්පරාවේ යානා කොරියානු යුද්ධයේදී සිදුවුනු ගුවන් සටන් වලදී ලබාගත් අත්දැකීම් වලින් වැඩිදියුණු වුනා.

වේගයෙන් වැඩි දියුණු වෙන ජෙට් එන්ජින් තාක්ශණය නිසා මේ ප්‍රහාරක යානා තව තවත් වේගත්වූ අතර යානයේ වේගය ක්ශණිකව වැඩි කරන ආෆ්ටර්බර්නර් (after-burner) තාක්ශණය හඳුන්වාදුන්නේ දෙවැනි පරම්පරාවල යානායි. එමෙන්ම වායුගතිවිද්‍යාවේ (aerodynamics) නවතම සොයාගැනීම් නිසා මෙම යානා පසුපසට විහිදෙන අත්තටු (swept wing) හා ඩෙල්ටා හැඩැති අත්තටු (delta wing) සහිතව නිර්මාණය වුනා. අධික වේගයෙන් පියාසර කරන මේ යානාවල පෘශ්ඨයන් වායු ඝර්ශණය (air-friction) නිසා දැඩි ලෙස රත්වී ඇදවීයාම වැලැක්වීමට නව මිශ්‍රලෝහ නිර්මාණය කෙරුණා.

මේ අතරම 1954දී සිලිකන් ට්‍රාන්සිස්ටරය නිපැදවීමත් සමගම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහත් විප්ලවයක් වූ අතර සිලිකන් ඉලෙක්ට්‍රොනික තාක්ශණය ප්‍රහාරක යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධති විශාල ලෙස වැඩිදියුණු වුනා. මෙහි එක් ප්‍රථිපලයක් වුනේ ඉතා බලසම්පන්න එහෙත් ප්‍රමාණයෙන් කුඩා රේඩාර් යන්ත්‍ර ප්‍රහාරක යානා වලට සවිකිරීමට හැකිවීමයි. මේ අනුව දෙවැනි පරම්පරාවේ යානා වලට දෘශ්‍ය මායිමෙන් එහා (beyond visual range tracking) ගමන් ගන්නා සතුරුයානා පිලිබඳව නියමුවා දැනුවත් කිරීමට හැකිවුනා.  ඒ අතරම ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ දියුණුව සමගම දෙවන පරම්පරාවේ යානාවලට අධෝරක්ත ආලෝකය මගින් සතුරු යානා සොයාගත හැකි හීට් සීකින් (heat seeking) වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල හා රේඩාර් මගින් ඉලක්කය සොයාගන්නා රේඩාර් හෝමිං (radar homing) වර්ගයේ බලසම්පන්න මිසයිල වලින් සන්නද්ධ වූවා.

Soviet Air Force : MiG 15

RAF - English Electric Lightening (Swept Wing Fighter)

මහා බ්‍රිතාන්‍යයේ ඉන්ග්ලිශ් ඉලෙක්ට්‍රික් ලයිට්නින්, සෝවියට් දේශයේ මිග් 15 හා මිග් 17 මෙන්ම අමෙරිකානු F-86 දෙවන පරම්පාරාවේ ප්‍රහාරක යානා අතරින් වඩාත් භාවිතයට ගැනුනු යානා වනවා.

Generation 3: Supersonic speed; pulse radar; able to shoot at targets beyond visual range (mid 1960s to the 1970s )

තුන්වැනි පරම්පරාවේ යානාවල ප්‍රධානම ලක්ශණය වන්නේ ශබ්දයේ වේගය ඉක්මවා (supersonic) පියාසර කිරීමේ හැකියාවයි. මීට අමතරව බලසම්පන්න රේඩාර් හා ඉතා නිවැරදිව ඉලක්කය සොයාගත හැකි මිසයිල නිසා දෘශ්‍යමානයෙන් එපිට ඇති සතුරු යානා බිම හෙලීමේ හැකියාව (beyond visual range combat) මෙම යානාවලට ලැබී තිබුණා. එමෙන්ම එම යානාවල නියමුවන්ට නවීන ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ උපකාර ලැබීම නිසා ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කරමින් සටන් වැදිමේ හැකියාව ලැබුනා. ඉලෙක්ට්‍රොනික පරිගණක ප්‍රහාරක යානාවල නියමු සහයකයන් ලෙස හදුන්වාදුන්නේ තුන්වන පරම්පරාවේ ප්‍රහාරක යානා මගිනුයි.

මීට අමතරව මෙම යානා වලට ඉලෙක්ට්‍රොනික් කවුන්ටර්-මෙශර්ස් (electronic counter-measures) නම් නවතම තාක්ශණයක් හඳුන්වා දී තිබුණා. කවුන්ටර්-මෙශර් යනු යම් ප්‍රහාරයක් වලක්වාගැනීම සඳහා සතුරු යානා හා මිසයිලවල රේඩාර් හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නොමග යැවිය හැකි ප්‍රති-ප්‍රයෝග වලටයි. මේ තාක්ශණය මගින් සතුරු යානාවලට හා ඒවායේ මිසයිල වලට යානය හඳුනාගැනීමට අපහසු වන ලෙස විවිධ ඉලෙක්ට්‍රොනික ප්‍රයෝග උපයෝගීකරගත්තා. මෙම ප්‍රයෝග මගින් සතුරු රේඩාර් කිරණ නිශේධනය කිරීම, මිසයිලවල රේඩාර් යන්ත්‍ර නොමග යැවිය හැකි බලසම්පන්න රේඩාර් තරංග මිසයිල වෙත යොමු කිරීම වැනි ප්‍රයෝග ඇතුලත් වුනා.

USAF F- 4 Phantom

Mikoyan MiG 21

තුන්වන පරම්පරාවේ යානා වලින් වඩාත්ම ප්‍රචලිත යානා වන්නේ අමෙරිකානු F-4 ෆැන්ටම් යානාව හා සෝවියට් දේශයේ මිකොයාන් නිර්මාණ බියුරෝව නිර්මාණය කල මිග් 21 යානයයි.

Generation 4:  (1970 to mid-1990s)

හතරවන පරම්පරාවේ යානාවලට දියුණු ඉලෙක්ට්‍රොනික තාක්ශණයේ මහිමයෙන් හා දියුණු ජෙට් එන්ජින් තාක්ශණයෙන් විප්ලවකාරී හැකියාවන් ලබාදී තිබුණා. හතරවන පරම්පරාවේ යානාවලින් ඉමහත් ප්‍රචලිත යානා හඳුනාගමු.

අමෙරිකා එක්සත් ජනපදය;
  • F-16 ෆයිටින් ෆෝල්කන් (ගුවන් හමුදාව)
  • F-15 ඊගල් (ගුවන් හමුදාව )
  • F-14 ටොම් කැට් (නාවික හමුදාව - ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
  • F-18/A හෝනට් (නාවික හමුදාව හා මැරීන් බලකාය- ගුවන් යානා ගෙනයන නෞකාවලින් ගුවන්ගතවෙන යානාවකි )
General Dynamics F-16 Fighting Falcon : United States Air Force

McDonnell Douglas F-15 Eagle : United States Air Force

Northrop Grumman F-14 Tomcat : United States Navy

  යුරෝපය;
  • ප්‍රංශයේ ඩැසෝල්ට් මිරාජ් 2000
  • ප්‍රංශයේ ඩැසෝල්ට් රෆාලේ
  • ස්වීඩනයේ සාබ් 37 විගන්
  • මහා බ්‍රිතාන්‍යයේ පැනවියා ටෝනේඩෝ F2 හා F3
  • යුරෝපා සංගමයේ යුරෝෆයිටර් ටයිෆූන්
Dassault Mirage 2000 : French Air Force

Saab 37 Viggen : Swedish Air Force
Eurofighter Typhoon : Royal Air Force, Luftwaffe, Italian Air Force, Spanish Air Force

සෝවියට් දේශය (1997 වනතෙක්)

  • මිකොයාන් මිග් 29 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • මිකොයාන් මිග් 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • සුක්හොයි එස්.යූ 27 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
  • සුක්හොයි එස්.යූ 33 (නාවික හමුදා සේවාව සඳහා)
  • සුක්හොයි එස්.යූ 34 (සටන් වදින හා බෝම්බ හෙලන මෙහෙයුම් සඳහා)
  • සුක්හොයි එස්.යූ 35 (බහුකාර්ය ප්‍රහාරක යානාව)
ඉහත දැක්වෙන යානා සියල්ලටම නව තාක්ශණයේ මහිමයෙන් විවිධවූ සටන් හැකියාවන් ලැබී ඇති අතර මෙම හැකියාවන් විවිධ තාක්ශණික යෙදුම්වලින් හැඳින්වේ. හතරවන පරම්පරාවේ යානා සතු මෙම තාක්ශණයන්ගෙන් හා හැකියාවන් (capabilities) සමහරක් හඳුනාගමු.

High maneuverability

මැනුවරබිලිටි යනු සටන් උපක්‍රම සඳහා යානාව ඉතා පහසුවෙන් හැසිරවීමේ හැකියාවයි. ශබ්දයේ වේගයෙන් පියාසර කරමින් සටන්වදින මේ යානාවල අධික වේගය පවත්වාගනිමින්ම ඔබ මොබ හරවමින් පියාසරකිරීම ඇති හැකියාව මෙලෙස හඳුන්වනවා. මෙම යානාවල ඇති පරිගණක මගින් නියමුවාට යානය පාලනය කිරීම පහසුකරවන අතර යානය නියමු පාලනයෙන් මිදීමට ඇති අවස්ථා අවම කරනවා.
Look-down/shoot-down capability

ලුක් ඩවුන්/ශූට් ඩවුන් හැකියාව යනු ප්‍රහාරක යානයකට ඈත ක්ශිතිජයට එපිටින් යානයට නොපෙනී, පෘථිවි ගෝලයේ නැම්මට මුවාවී පියාසර කරන සතුරු යානා හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ හැකියාවයි. හතරවැනි පරම්පරාවේ ප්‍රහාරක යානා වලට සවිකර ඇති ඩොප්ලර් වර්ගයේ ත්‍රිමාණ රේඩාර් උපකරණය එහි පරිගණකයට ක්ශිතිජයට එපිටින් පියාසර කරන යානා හඳුනාගැනීමට උපකාරී වෙයි. මෙම යානා හඳුනාගැනීමෙන් පසු, යානයේ පරිගණකය මගින් යානයේ ඇති Fire & Forget වර්ගයේ මිසයිලයකට එම සතුරු යානාවේ තොරතුරු ලබාදෙන අතර නියමු අණින් මුදා හැරෙන මිසයිලය, යානයේ පරිගනකයේ ආධාරයක් නොමැතිව තනිවම සතුරු යානය සොයාගෙන ගොස් එය බිම හෙලයි. නවීන පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ශණය මගින් මෙම විස්මිත හපන්කම් සතරවන පරම්පරාවේ යානාවලට ලබාදී තිබේ.
Reduced radar and heat signature technologies

ගුවන් යානා තාක්ශණ පාරිභාශික පදමාලාවේ "සිග්නේචර්" ලෙස හඳුන්වන්නේ ගුවන් යානයක් රේඩාර් හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාවයි. ඉහල සිග්නේචර් එකක් නැතිනම් ඡායාවක් ලබාදෙන යානා සතුරු රේඩාර් යන්ත්‍ර මගින් හෝ සතෘ මිසයිලවල අධෝරක්ත සංවේදක මගින් පහසුවෙන් හඳුනාගනී. රිඩියුස්ඩ් සිග්නේචර් තාක්ශණය යනු ගුවන් යානයක් රේඩාර් යන්ත්‍රයකට හෝ අධෝරක්ත සංවේදකයකට ලබාදෙන ඡායාව හැකිතාක් අඩු කිරීමයි. මෙය රේඩාර් වලට නොපෙනී යාඅ හැකි ස්ටෙල්ත් හැකියාවට වඩා අඩු හැකියාවක් වුවත් සතුරු ප්‍රහාරවලින් ගැලවී මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා නියමුවාට යම් ඉස්පාසුවක් ලබාදෙයි.
Supercruise, 

සුපර්කෲස් යනු අතිශය දියුණු ජෙට් එන්ජින් තාක්ශණයකි. මේ තාක්ශණය මගින් ප්‍රහාරක යානාවකට මුලු පියාසර කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ලබාදෙයි. සාමාන්‍ය ජෙට් ප්‍රහාරක යානාවක් සුපර්සොනික් වේගයෙන් ගමන් කරන්නේ එය ඉලක්කයට ලඟාවූ විට ඉක්මණින් ප්‍රහාරය එල්ලකොට පලායාමට හෝ සතුරු ප්‍රහාරයක් එල්ලවූ විට ඉන් ගැලවීම සඳහායි. සාමාන්‍ය ජෙට් එන්ජින් සුපර්සොනික් වේගයෙන් ගමන් කරනවිට අධික ලෙස ඉන්ධන දහනය කරන අතර මේ නිසා එහි මෙහෙයුම් පරාසය සීමාසහිත වෙයි. 
සුපර්කෲස් හැකියාව ඇති හතරවන පරම්පරාවේ ප්‍රහාරක යානා වලට මුලු මෙහෙයුම් කාලය පුරාම සුපර්සොනික් වේගයෙන් ගමන්කල හැකි අතර ඉන් යානයේ මෙහෙයුම් පරාසය අඩුවීමක් නොවේ. සුපර්කෲස් හැකියාව නවීනතම තාක්ශණයක් වන අතර මෙම තාක්ශණය 4 වැනි පරම්පරාවේ යානා නිර්මාණය කරනවිට ඒවාට ලබාදී තිබූ තාක්ශණයක් නොව ඉතා මෑතකදී නවීකරණය කරමින් සුපර්කෲස් එන්ජින් සවිකොට 4වැනි පරම්පරාවේ යානා වලට අලුත ලබාදී ඇති හැකියාවකි. සාමාන්‍යයෙන් සුපර්කෲස් 5වැනි පරම්පරාවේ යානා වල හැකියාවකි.
Head-up displays (HUD), 

හඩ් යන කෙටි නමින් හැඳින්වෙන හෙඩ්-අප් ඩිස්ප්ලේ යනු නියමූවාට ඉතාම වැදගත් වෙන තොරතුරු නියමුවාගේ මුහුණට තිරස්ව ඉදිරියෙන් ඇති පාරදෘශ්‍ය තිරයක් මත දැක්වීමේ තාක්ශණයයි. මේ අනුව නියමුවාට යානයේ ඩෑශ් බෝඩ් එක හෙවත් ප්‍රධාන පැනලය දෙස නොබලා හිස කෙලින් තබාගෙන යානයේ වේගය, සතුරු යානා හා අවි ආයුධ, ඉන්ධන තත්වය, වේගය, ගමන් කරන උස වැනි තොරතුරු ලබාගතහැකිය. අධික වේගයෙ පියාසරකරමින් සටන්වදිද්දී උපකරණ පුවරුව දෙස බැලීමෙන් නියමුවාගේ අවධානය මොහොතකට හෝ බිඳ වැටීම HUD තිරය මගින් වලක්වාලයි.
ප්‍රහාරක යානයක HUD තිරය. මෙය පාරදෘශ්‍යවන අතරම පැහැදිලිව යානයේ වැදගත් තොරතුරු පෙන්වයි.
Hands On Throttle-And-Stick (HOTAS) controls

හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය යනු ප්‍රහාරක යානය සියලුම ප්‍රධාන පාලන ස්විච්, යානය හැසිරවීම, වේගය අඩුවැඩි කිරීම මිසයිල මුදාහැරීම වැනි සියලුම ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ස්වීච හා බොත්තම් අඩංගු පාලන යශ්ඨියකටයි (control stick). මේ අනුව නියමුවාට සිය දෑත යානයේ විවිධ තැන්වල ඇති බොත්තම් හා ස්විච වෙතට ගෙනයමින් සිය අවධානය බිඳ ගැනීමට සිදුවන්නේ නැත. වැදගත් සියලුම ක්‍රියාකාරකම් සිය දෑත් රඳාවගෙන පාලන යශ්ඨිය මත ඇත.

හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ උපක්‍රමය නිර්මාණ නිර්මාණය කොට ඇත්තේ නියමුවාට අවධානය බිඳ නොදමාගෙන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදීම සඳහාය.
රුසියානු සුක්හොයි Su-35 යානයේ හෑන්ඩ්ස් ඕන් ත්‍රොටල් ඇන්ඩ් ස්ටික් පාලණ යශ්ඨිය

Generation 5 : (2005 to the present)

ප්‍රහාරක ජෙට් යානා පරිනාමයේ පස්වැනි පිම්ම ආරම්භ වුනේ 2005 වසර අගභාගයේදී ලොක්හීඩ්-මාටින් හා බෝයිං සමාගම් ඒකාබද්ධව ඉතා රහසිගතව නිර්මාණය කල F-22 Raptor ස්ටෙල්ත් ප්‍රහාරක යානය ලොවට හඳුන්වාදීමෙන් පසුවයි. සැම අතින්ම විප්ලවීය ලෙස වැඩිදියුණු කොට තිබුණු F-22 යානය පූර්ණ වශයෙන්ම රේඩාර් වලට නොපෙනෙන, අධෝරක්ත සංවේදක වලට පවා හඳුනාගැනීමට අපහසුවන තරමට ජෙට් එන්ජින් වලින් නිකුත් වන අධික ලෙස ගිණියම්වූ සම්පීඩිත වාතය සිසිල් කොට පිටතට යවන, මුලුමනින්ම පරිගණක මගින් පාලනය වන විශ්මිත යානයක් වනවා. මේ යානය පැදවීම සැබැවින්ම නවීන පරිගණක ක්‍රීඩාවක නිරතවීමට සමානයයි නියමුවන් පවසන තරමටම යානය අති නවීන පරිගණක තාකශණයෙන් පුරවා තිබෙනවා.

Lockheed-Martin/Boeing F-22 Raptor on a training mission


F-22 යානය හඳුන්වාදී වසරක් යන්නටත් මත්තෙන් අමෙරිකාව තවත් නවතම 5වැනි පරම්පරාවේ ප්‍රහාරක හා සටන් වදින යානයක් හඳුන්වාදුන්නා. ලොක්හීඩ්-මාටින් සමාගම මගින් නිර්මාණය කළ මේ යානය F-35  Lightening ලෙස හඳුන්වා තිබෙනවා. මේ  යානය ස්ටෙල්ත් යානයක් වන අතර එය මාදිලි තුනකින් නිපදවා තිබෙනවා. මෙම යානා මාදිලි තුනම එකට ගත්විට එය ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් (Joint Strike Fighter - JSF) ලෙස හඳුන්වනවා.

* F-35A, conventional take off and landing (CTOL) variant. [සාමාන්‍ය ගුවන් යානයක් මෙන් දිගු ධාවන පථයකින් ඉහල නැග්ගවීමේ හා පහලට බැස්ස්විය හැකි මාදිලිය]

* F-35B, short-take off and vertical-landing (STOVL) variant. [ඉතා කෙටි ධාවන පථයකින් ඉහල නැග්ගවිය හැකි හා ධාවන පථයක් නොමැතිව සිරස් අතට හෙලිකොප්ටරයක් මෙන් බිමට බැස්සවිය හැකි මාදිලිය]

* F-35C, aircraft carrier-based variant. (CV) [ගුවන්යානා ගෙනියන නෞකා මතින් ඉහල නැග්ගවීමට හා එම නෞකා මතට ගොඩ බැස්සවීමට නිර්මාණය කල මාදිලිය]




පස්වැනි පරම්පරාවේ යානාවලට 4වැනි පරම්පරාවේ යානාවල ඇති සියලුම හැකියාවන් ඉතා වැඩිදියුණු ආකාරයකින් ඇති අතර ඊට අමතරව පූර්ණ ස්ටෙල්ත් හැකියාව, සුපර්කෲස් පියාසැරියේ යෙදීමේ හැකියාව, පූර්ණලෙසම පරිගණක මගින් පාලනයවන-නියමු රාජකාරි ඉතා පහසුකරවන ලෙස නිර්මාණයකොට තිබීම, චන්ද්‍රිකා හා අවට පියාසර කරන වෙනත් හිතවත් යානාවල (friendly aircraft) පරිගණක සමග ස්වයංක්‍රීයව දත්ත හුවමාරු කරගැනීම මෙන්ම සතුරු යානා පිලිබඳව එකිනෙකාව ස්යංක්‍රීයව දැනුවත් කරගනිමින් ප්‍රහාර සම්බන්ධීකරණය කරගත හැකිය. මේ අනුව පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා පියාසරකරණ පරිගණක ජාල මෙන් ක්‍රියාකරයි. මෙම හැකියාව යුධ තාක්ශන පාරිභාශික යෙදුම් විශ්වකෝශ network-centric combat environment හෙවත් පරිගණක ජාල මූලික සටන් පෙරමුණු ලෙස හඳුන්වයි.

මෙම යානා සතුව ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිෂේශී එන්ජින් තාක්ශණයද අඩංගුකොට ඇත. ත්‍රස් වෙක්ටරින් යනු ජෙට් එන්ජිමක නැසින්නෙන් පිටවන අධි සම්පීඩිත වාතය කෙලින්ම පිටුපසට යොමු නොකට අවශ්‍ය අතටකට යොමු කිරීමේ හැකියාවයි.

ත්‍රස්ට් වෙක්ටරින් තාක්ශණය නිසා සුපර්සොනික් වේගයෙන් පියාසර කරන අතරම යානය ඉතා පහසුවෙන් ඒ මේ අත හැරවීම හා පෙරලීම සිදුකල හැකිය (මෙය දල වශයෙන් මෝටර් රථයක පවර් ස්ටියරිං මගින් වාහනයේ හැරවීම හා මෙහෙයවීම පහසු කරනවාට සමානය, පවර් ස්ටියරිං ඇති වාහනයක් ඉතා පහසුවෙන් හැරවිය හැකි අතර, පවර් ස්ටියරින් නොමැති වාහන හැරවීමේදී රියදුරාට සිය දෑතේ සවිය ඉතා වැදගත් වේ )

අමෙරිකාවේ F-22 හා F-35 යානාවලට රුසියාවෙන් හා චීනයෙන් ප්‍රතිමල්ලවයින්

2005වසරේදී F-22 හා 2006 වසරේදී F-35 යානා හඳුන්වාදීමෙන් පසු පූර්ණ ස්ටෙල්ත් හැකියාව ඇති, ත්‍රස්ට් වෙක්ටරිං හා පූර්ණකාලීන සුපර්කෲස් පියාසැරියේ යෙදිය හැකි පස්වෙනි පරම්පරාවේ  ප්‍රහාරක/සටන්වදින යානා සතුවුනේ අමෙරිකා එකසත් ජනපදයට පමණයි. මේ අනුව අමෙරිකානු ගුවන් හමුදාවට ඉතා විශාල උපක්‍රමීය වාසියක් (strategic advantage) ලැබී තිබුණ. බටහිර යුධ විශේෂඥයින්ගේ ගණන් ඇස්තමේතු වලට අනුව රුසියාවට හෝ චීනයට මෙවැනි යානා නිර්මාණය කිරීමට 2020 පමණවන තෙක් නොහැකි බවට ප්‍රකාශවී තිබුණා. එහෙත් මේ අනාවැකි පුස්සක් කරමින් 2010 ජනවාරි මස රුසියාවේ Sukhoi සමාගම ස්ටෙල්ත් තාක්ශණය සහිත ත්‍රස්ට් වෙක්ටරිං හැකියාවද ඇතැයි සැළකෙන ප්‍රහාරක යානාවක් අත්හදා බැලුවා. Sukhoi  T-50 යනුවෙන් හඳුන්වාදුන් මේ යානාව නියම ස්ටෙල්ත් හැකියාව ඇති F-22 යානාවට හොඳ අභියෝගයක් එල්ල කල හැකි යානාවක් බව පිලිගැනීම අමෙරිකානුවන් මුලින් ප්‍රතික්ශේප කලත් දැන් හෙලිවෙමින් පවතතින තොරතුරු අනුව මේ යානය F-22 යානය හොඳ සටනක් දිය හැකි බලසම්පන්න යානයක් බව පිලිගතයුතුව තිබෙනවා. T-50 යානය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය රුසියානුවන් හඳුන්වන්නේ Perspektivny   Aviatsionny Kompleks - Frontovoy Aviatsii හෙවත් PAK-FA යනුවෙනි. මෙහි දල තේරුම පෙරමුණු ගුවන් සටන් සඳහා නිර්මාණය කරන අනාගත ගුවන් සැළස්ම යන්නයි.


රුසියානු T-50 ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා T-50 පිලිබඳව පලවුනු Sukhoi T-50 : Russian Stealth Fighter ලිපිය කියවන්න


පස්වැනි පරම්පරාවේ චීන සටන්කාමියා Chengdu J-XX

2011 ජනවාරි මස රුසියානුවන් සිය 5වැනි පරම්පරාවේ ස්ටෙල්ත් යානය ඉදිරිපත් කිරීමෙන් පසු කිසිවෙක් නොසිතූපරිද්දෙන් චීනයද 2010 වසරේම දෙසැම්බර් මස මෙතෙක් කල් අතිශය රහසිගතව දියුණු කරමින් තිබූ ස්ටෙල්ත් යානයක් ලොවට හෙලිකලා. ශෙන්ග්ඩූ J-XX ලෙස හඳුන්වනු ලබන මේ යානය ඉතාමත් ඉදිරියෙන් තිබෙන ස්ටෙල්ත් යානයක් බව එම යානයේ පරීක්ශණ පියාසැරි දැක්වෙන වීඩියෝ පරික්ශාකල බටහිර ගුවන් විශේෂඥයින් පවසනවා. ඇතැමුන් පවසන්නේ එය රුසියානුවන්ගේ T-50 යානයටත් වඩා ඉදිරියෙන් තිබෙන බවයි. කෙසේ වෙතත් J-XX යානයේ හැකියාවන් පිලිබඳව තොරතුරු කිසිවක් මේ ලියන මොහොත වෙනතෙක් හෙලිවී නෑ.

Chengdu J-XX ස්ටෙල්ත් යානයේ ග්‍රැෆික් චිත්‍රයක්

පරීක්ශණ පියාසැරියකට සූදානම් වෙන J-XX

මිකොයාන් මිග් ගුවන්යානා සමාගම


~ End ~


6 වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා ගැන කියවන්න

6th Generation Strike Fighter
දැනට පිලිගෙන ඇති අන්දමට 6වැනි පරම්පරාවේ යානා වසර 2020-2025 අතර   කාළය තුල එළි දැක්වෙන බවට අනාවැකි පලකොට තිබෙනවා. දැනටමත් බෝයිං සමාගම F/A XX යනුවෙන් කේතගත කරනලද 6වැනි පරම්පරාවේ යානාවක සංකල්පිතයක් හඳුන්වාදී තිබෙනවා. එහෙත් 6වැනි පරම්පරාවේ යානා නිපැදවීම පිලිබඳව දැනට කෙරෙන පර්යේශණවලට හා අත්හදා බැලීමේ යානා ගැන සාඛච්ඡා කිරීමට පෙර 6වැනි පරම්පරාවේ යානාවක තිබිය හැකි හැකියාවන් (capabilities) පිලිබඳව  යම් අදහසක් ලබාගෙන සිටිමු.

Capabilities of a 6th Generation Fighter Aircraft

1. No human pilot - An advanced computer with Artificial Intelligence (AI) will pilot the aircraft :ගගනවිද්‍යා විශේෂඥයින් අනාවැකි පලකරන අන්දමට 6වැනි පරම්පරාවේ යානා ස්වාධීනව පියාසරකරමින් මෙහෙයුමක් දියත්කොට ආපසු පැමිණිය හැකි කෘත්‍රිම බුද්ධියකින් යුතු යානා වනු ඇති. බොහෝවිට මෙම යානාවල නියමුවන් සටන් බිමින් ඉතා ඈත බන්කරයක සිටිමින් යානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරනු ඇති අතර ප්‍රහාර එල්ලකිරීමේදී පමණක් යානයට මිසයිල විදීමට හෝ බෝම්බ හෙලීමට අවසරදීම ඔවුන්ගේ රාජකාරිය වනු ඇත. දැනටමත් MQ9 රීපර් නියමු රහිත යානය මෙවැනි යානයකි. එහෙත් 6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල වෙනස මේවාට තනිවම සතුරු යානා සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ හැකියාව තිබීමයි. රීපර් වැනි යානා සටන් වදින යානා නොව සැඟවී ඔත්තු බලමින් ඉලක්කය දුටුවුට ප්‍රහාර එල්ලකොට පලායන යානාවේ. 6වැනි පරම්පරාවේ යානාවල කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක  මිනිස් නියමුවෙකුට වඩා දක්ශලෙසත් ඉතා නිවැරදි ලෙසත් සටන් වදිනු ඇතයි අනාවැකි පැවසේ.

මිනිස් නියමුවන් රහිතවීමේ තවත් වාසියක් නම් මිනිස් සිරුරට ඔරොත්තු නොදෙන තරමේ අධික ත්වරණ වලට හා ගුරුත්ව බලවලට (G Forces) ලක්වන අන්දමෙන් යානය මෙහෙයවීමේ හැකියාවයි. ඉතා අධික අත්වරණ ( acceleration) වලදී හා අධික ගුරුත්ව බලවලදී නියමුවාගේ මොලයට රුධිර ගමනඅඩාල වී ඔහු සිහි නැතිවීමට හෝ මොලයේ සියුම් ලේ නහර පුපුරා ඔහු මිය යාමට හෝ  ඉඩ තිබේ.

2. Two model concept - A 6th generation fighter will come as a dual model concept, one model is AI piloted model and other with human pilots : 6වැනි පරම්පරාවේ යානා නිර්මාණය පිලිබඳව තිබෙන තවත් සංකල්පයකට අනුව මේ යානා මාදිලි දෙකකින් නිර්මාණය වනු ඇත. එක් මාදිලියක් කෘත්‍රිම බුද්ධිය සහිත, ස්වාධීනව පියාසර කරමින් සටන් වැදිය හැකි යානාවේ. දෙවන මාදිලිය නියමුවන් සහිත මාදිලියයි. නියමුවන් සහිත යානා පරමාණු බෝම්බ වැනි රෝබෝවෙකුට වගකීම දිය නොහැකි මහත් විනාශකාරී අවිආයුධ රැගෙන යන යානා වනු ඇති අතර රොබෝ යානා මිනිස් නියමුවන් සහිත යානාවලට ආරක්ශාව සපයමින් ඒවා ඉලක්කය වෙත ගෙනවාමට උපකාරී වනු ඇත අතර සතුරු යානා සමග සටන් වැදීම, මිසයිල ප්‍රහාරවලින් මිනිස් යානා ආරක්ශාකිරීම, සතුරු රේඩාර් හා ආරක්ශක ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම වැනි රාජකාරි සිදුකරනු ඇත.

3. Engines will be powered by alternative fuels such as methane or hydrogen : 

ෆොසිල ඉන්ධන හිඟවෙමින් පවතින නිසාත් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳව කෙරෙන පර්යේෂණ වේගයෙන් ඉදිරියට යන බැවිනුත් 2020-2025 කාළය තුලදී එලිදැක්වෙන 6වැනි පරම්පරාවේ සමහර ප්‍රහාරක යානා හෝ අඩුම ගණනේ විශාල බෝම්බ හෙලන යානා හයිඩ්‍රජන් හෝ මීතේන් වැනි විකල්ප බලශක්තිවලින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

4. Blended wing design :

 බ්ලෙන්ඩඩ් වින්ග් ඩිසයින් යනු මුලු යානාවම අත් තටු පුරා පැතිරුණු ආකාරයෙන් නිර්මාණය කිරීමයි. මෙවැනි යානාවලට පිටුපස වලිග කොටස (rudder) හෝ ඉදිරිපසින් තිබෙන කුඩා අත්තටු (canards) හෝ නොමැත.. මෙවැනි යානාවකට දැනට දිය හැකි හොඳම උදාහරණය B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවයි. අනාගතයේ සියලුම ප්‍රහාරක යානා මේ අන්දමට නිර්මාණය වනු ඇතැයි සැලකෙන්නේ මෙම යානාවලට රේඩාර්වලින් සැඟවී ගමන් කිරීමට ඇති හැකියාව නිසයි.


5. 3D thrust vectoring engines : 

3D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණයට අනුව එන්ජිමෙන් නිකුත්වෙන සම්පීඩිත වාතය  එන්ජිම පිහිටුවා ඇති අක්ශයට සාපේක්ශව ඕනෑම අතකට යොමුකල හැක. ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය නිසා ප්‍රහාරක යානා යානය හැරවීමට යොදාගන්නා රඩර් හෙවත් වලිග කොටස නොමැතිව නිමාණය කල හැකි අතර ඉතාවේගයෙන් හැරවීම සිදුකල හැකිය. දැනට 5වැනි පරම්පරාවේ යානාවලට 2D ත්‍රස්ට් වෙක්ටරිං එනම් එන්ජිමේ පීඩනය ද්විමානව එනම් උඩට හෝ පහතට යොමුකරවමින් පියාසර කිරිමේ හැකියාව ඇත. F-22, F-35, සුක්හොයි Su-37 මෙවැනි 2D ත්‍රස්ට් වෙක්ටරිං තාක්ශණය අඩංගුකල යානාවේ. 

දැනට ත්‍රිමාණ ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ මට්ටමේ ඇති අතර බෝයිං/මෙසර්ශ්මිට් X-31 ත්‍රස්ට් වෙක්ටරිං පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතිය හා නාසා ආයතනයේ F-15 ACTIVE (Advanced Control Technology for Integrated VEhicle) ව්‍යාපෘතිය මේ පිලිබන්දව පර්යේශණ පවත්වයි.

Boeing/Messerschmidt X-31 3D Thrust Vectoring Experimental Aircraft


6. Rear-facing radar 

6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල අනිවාර්‍යයෙන්ම අඩංගුවෙතැයි බලාපොරොත්තුවෙන තවත් අංගයක් නම් පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකි. සාමාන්‍යයෙන් ගුවන්යානයක රේඩාර් යන්ත්‍රය නියමුකුටියට ඉදිරියෙන් යානයේ නාසය කොටසේ (nosecone) පිහිටා ඇත.  පිටුපස දෙසට යොමුවී ඇති රේඩාර් යන්ත්‍රයකින් යානය පසුපසින් හඹා එන සතුරු යානා හා මිසයිල හඳුනාගෙන ආරක්ශක පියවර ගැනීමට නියමුවාට හා යානයේ පරිගණකවලට පහසුවෙනවා.

Main Radar of Sukhoi Su-35

7. Helmet Mounted Display Systems & Sensory Fusion

6වැනි පරම්පරාවේ යානාවලට 4/5වැනි පරම්පරාවේ යානාවල ඇති HUDතිරය වෙනුවට හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ සිස්ටම් (Helmet Mounted Display System) හෙවත් නියමු හෙල්මටයට ඇතුලත් කරනලද දර්ශණ පද්ධතියකින් සමන්විත වනු ඇත. මෙවැනි දර්ශණ පද්ධති නියමු රාජකාරි පහසුකරන අතර යානයේ ඇති සියලුම කැමරා, රේඩාර් හා අනෙකුත් සංවේදක වලින් ලැබෙන තොරතුරු සංකලිත කොට හෙල්මටයේ වයිසර් (helmet visor) මත ප්‍රක්ශේපණය කොට පෙන්වනු ඇත. මෙලෙස සියලු සංවේදක වලින් ලැබන තොරතුරු එකට සංකලිත කොට දැක්වීම sensory fusion ලෙස හඳුන්වයි. Sensory Fusion 6වැනි පරම්පරාවේ යානාවල විශේෂිත හැකියාවකි.

මේ අනුව නියමුවාට රාත්‍රීකාලයේ නයිට් විශන් පහසුකම ලැබෙන අතර, දිවා, රාත්‍රී හෝ ඕනෑම කාළගුණ තත්වයක් යටතේ හෙල්මටයේ ඇති සංවේදක මගින් නියමුවාගේ දෑස් යොමුවන ස්ථාන පිලිබඳව අවධානයෙන් සිට (eye tracking) එම ස්ථානයට අදාල වැදගත් තොරතුරු ක්ශණිකව තිරය මත දිස් කරනු ඇත. උදාහරණයක් ලෙස නියමුවා තිරයේ දිස්වෙන සතුරු යානාවක් පෙන්වන අයිකනය (icon) දෙස දෑස් යොමුකල විට එම යානය පිලිබඳ පූර්ණ තොරතුරු එනම් පියාසර වේගය, පියාසර උස, තිබෙන දුර පිලිබඳව තොරතුරු HMDS පද්ධතිය මගින් තිරයේ දිස් කරන අතර යානයේ මිසයිල පවා එම සතුරු යානය වෙත එල්ලකොට නියමු අණ ලැබෙනතුරු කල්බලයි.

8. Flight Management Systems with artificial intelligence (AI) 

6වැනි පරම්පරාවේ යානාවලට කෘත්‍රිම බුද්ධියෙන් යුතු පියාසැරි හා ප්‍රහාර පාලන පද්ධති (flight & fire control systems) අඩංගුවනු ඇතැයි අනුමාන කෙරේ. මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට මිනිස් නියමුවෙකු තරම්ම ස්වාධීනව කටයුතු කල නොහැකි වුනත්, යානයේ පාලන කටයුතු, සතුරු යානා, මිසයිල ගැන අවධානයෙන් සිටීම, යානයෙන් නිකුත්කරන මිසයිලවලට මගපෙන්වීම, සතුරු රේඩාර් හා ඉලෙක්ට්‍රොනික පද්ධති අඩපන කිරීම, අවට පියාසරකරන මිතුරු යානා, නියමු රහිත යානා හා චන්ද්‍රිකා සමග සම්බන්ධවී යුධ බිමේ තොරතුරු හුවමාරු කරගැනීම වැනි කටයුතු නියමුවාගේ මැදිහත්වීමකින් තොරව සිදුකල හැකිය.

9. Whole skin 360 degree radar 

දැනට අනුමාන කරන අන්දමට සමහර 6වැනි පරම්පරවේ යානාවල මුලු පිටත පෘශ්ඨයම රේඩාර් ඇන්ටෙනාවක් මෙන් ක්‍රියාකරනු ඇත. මෙහි ඇති වාසිය යානයට අංශක 360ක වපරිසයක සිදුවන දෑ පිලිබඳව තොරතුරු ග්‍රහණය කරගැනීමට හැකිවීමයි. මෙය ගුවන් සටන් වලදී විශාල උපක්‍රමීය වාසියක් ලබාදෙයි.

එහෙත් මෙවැනි සැකැස්මක අවාසි කිහිපයකුත් ඇත. පලමුවැන්න නම් සතුරු වෙඩිප්‍රහාරයක් යානයට එල්ලවුවහොත් රේඩාර් ඇන්ටෙනාව අබලන්වී යානාව ලෙහෙසියෙන් සතුරු ඉලක්කයක් බවට පත්වීමයි. දෙවැන්නනම් රේඩාර් ඇන්ටෙනාවේ අලුත්වැඩියාවන් කිරීමට යානයේ පිටත පෘශ්ඨය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කිරීමට සිදුවීමයි. මෙය කාලය හා ශ්‍රමය අධික ලෙස වැයවෙන කටයුත්තකි.

10. Mach 5-10 super-cruise speeds with combined turbo-jet/scramjet engines

දැනට F-22 හා F-35 යානාවලට මක් 2.5-3.0 අතර උපරිම වේගයක් එනම් ශබ්දයේ වේගය මෙන් 2.5-3.0 අතර උපරිම වේගයක් ඇත. 6වැනි පරම්පරාවේ යානාවලට මක් 5 සිට ඉහලට උපරිම වේග තිබිය හැකි බවට අනාවැකි පලවෙයි. මෙවැනි වේගයන් සාමාන්‍ය ටර්බෝ ජෙට් එන්ජින් වලින් ලබාගත නොහැකිය. මේ සඳහා ස්ක්‍රැම් ජෙට් (supersonic combustion ramjet) වැනි නවීන ජෙට් එන්ජින් අවශ්‍යවේ.

ස්ක්‍රැම් ජෙට් එන්ජිමක ඇති විශේෂත්වය නම් එය ක්‍රියාත්මක වීම සඳහා එන්ජිමට ඇතුලුවන වාතය සුපර්සොනික් වේගයෙන් ඇතුලුවිය යුතුවීමයි. මේ සඳහා එන්ජිම සවිකල යානය ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන්කරමින් පැවතිය යුතුය. ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට ධාවනපථයේ නිසලව තිබෙන යානයක් ගුවන්ගත කිරීමේ හැකියාව නොමැත. එහෙත් ශබ්දයේ වේගයෙන් යන යානාවකට ශබ්දයේ වේගයමෙන් 5ගුණයේ සිට 25ගුණය දක්වා වේගයක් ලබාදීම ස්ක්‍රැම් ජෙට් එන්ජිමකට කල හැකිය.

දැනට ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ලබාගෙන ඇති උපරිම වේගය මක් 9.2 හෙවත් ශබ්දයේ වේගයමෙන් 9.2ගුණයකි. නාසා ආයතනයේ X-43 නියමු රහිත පර්යේශණ ස්ක්‍රැම් ජෙට් යානය මෙම වාර්තාව තබා ඇත. X-43 යානයට ආරම්භක වේගය ලබාදී ඇත්තේ රොකට් බූස්ටරයක් ආධාරයෙනි. මීට අමතරව බෝයිං සමාගමේ X-51 ස්ක්‍රැම් ජෙට් යානය මක් 6ක වේගයක් වාර්තාකොට ඇත.

ඒ අනුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ප්‍රායෝගිකව ප්‍රහාරක යානයකට ඇතුලත් කිරීම සඳහා ඇති භාදකය නම් යානයට මූලික සුපර්සොනික් වේගය ලබාගන්නේ කෙසේද යන ගැටලුවයි. මෙයට විසඳුමක් ලෙස සංයුක්ත ටර්බෝජෙට්/ස්ක්‍රැම් ජෙට් වර්ගයේ ජෙට් එන්ජින් පිලිබඳව පර්යේශණ පැවැත්වෙන බව දැනගන්නට ලැබේ. මෙහිදී එන්ජිම මුලින් ටර්බෝ-ජෙට් එන්ජිමක් ලෙස ක්‍රියාකරමින් නිසලව තිබෙන යානය ගුවන්ගත කොට සුපර්සොනික් වේගය ලබාදෙයි. ඉන් අනතුරුව එය ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් මෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගනී.

12. Active Optical Camouflage

ඇක්ටිව් ඔප්ටිකල් කැමොෆ්ලෑජ් යනු යානය සතුරු ඇස් වලින් වසන් කිරීමේ සක්‍රීය උපක්‍රම අඩංගු වීමයි. සක්‍රීය කැමෝෆ්ලෑජ් උපක්‍රම සඳහා හොඳම උදාහරනය කටුස්සා සිය පරිසරයේ හැඩයට පැහැය වෙනස් කරගැනීමයි.

ස්වභාව ධර්මය කටුස්සාට පරිසරයේ හැඩයට අනුව පාට වෙනස්කරගෙන සැඟවී සිටිමේ අවස්ථාව ලබා දී ඇති අතර මිනිසා ඊටත් වඩා ඉදිරියට ගිය, එනම් සැබැවින්ම ඇසට යම් වස්තුවක් ඇසට නොපෙනන ආකාරයට ආලෝකය එය තුලින් විනිවිද යන්නාසේ පෙනෙන ආකාරයේ නිපැවුම් දැනටමත් කරතිබෙනවා.

මින් වඩාත්ම ප්‍රචලිත වන්නේ ටෝකියෝ විද්‍යාලයේ පර්යේශකයින් නිර්මාණ්ය කොට ඇති ""invisible cloak හෙවත් අඳින්නාට විනිවිදභාවය ලබාදෙන කබායයි.


ඡායාරූපයේ පෙනෙන්නේ තවමත් පර්යේශණ මට්ටමේ තිබෙන මේ කබාය ඇඳගත් පුද්ගලයේකුගේ සිරුර හරහා ඔහුගේ පිටුපසින් එන පුද්ගලයින්ගේ හැඩරූ පෙනෙන ආකාරයයි. මෙය තවත් වැඩිදියුණු කලවිට අනාගත විශේශ බලකා සෙබලුන් හට හා 6වැනි පරම්පරාවේ යානාවලට 80%-90% අතර ප්‍රමාණයේ විනිවිදභාවයක් ලබාදිය හැකිබව පැවසෙනවා.


6th Generation Aircraft Projects

6වැනි පරම්පරාවේ ගුවන්යානා නිපැදවීමේ ව්‍යාපෘති ගණනාවක් අමෙරිකා එක්සත් ජනපදය තුල සිදුවෙනවා. මෙම ව්‍යාපෘති සියල්ලම පාහේ ප්‍රධාන ආයතන තුනක් හරහා ක්‍රියාතමක වෙනවා. 1] අමෙරිකානු ගුවන් හමුදාව 2] නාසා ආයතනය 3] ඩාර්පා (Defense Advanced Research Projects Agency - DARPA) ආයතනය. මෙම ආයතන තුනයි. මෙම ආයතන හරහා ක්‍රියාත්මකවෙන ව්‍යාපෘති කිහිපයක් ගැන දැනගනිමු.

* DARPA Falcon Project

ඩාර්පා ෆෝල්කන් ව්‍යාපෘතිය හයිපර් සොනික් වේගයෙන් ගමන්කල හැකි යානාවක් නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතියකි. මෙය අමෙරිකානු ගුවන් හමුදාව හා සිදුකෙරෙන හවුල් ව්‍යාපෘතියක් වන අතර මේ ව්‍යාපෘතිය මගින් නිර්මාණය කල නවතම පර්යේශණ යානය Falcon HTV-2 හෙවත් Hypersonic Test Vehicle - 2 යන්නයි.

HTV-2 යානය 2010 අප්‍රේල් 22 මුල්වරට ගුවන්ගත කරන ලද අතර එම පර්යේශණ පියාසැරිය අසාර්ථක විය. තවත් HTV -2 පියාසැරි කිහිපයක් 2011 වසර සඳහා සැලසුම්කොට ඇත.

මීට අමතරව HTV-3X යනුවෙන් තවත් ෆෝල්කන් පර්යේශණ ගුවන්යානයක් නිර්මාණය කෙරෙමින් පවතින බව දැනගන්නට ලැබේ. ඉතා අධික වේගයක් ඇති HTV යානා ව්‍යාපෘතියේ අවසාන අරමුණ අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන්පථයකින් ගුවන්ගතවී පැය දෙකක් ඇතුලත ලෝකයේ ඕනෑම රටක්වෙත ලඟාවී ප්‍රහාරයක් එල්ලකොට නැවත අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් කඳවුරකට ගොඩබැස්සවිය හැකි යානයක් නිපදවීමයි.


* Boeing X-51 Waverider

එකසත් ජනපද ගුවන් හමුදාව, ඩාර්පා ආයතනය, නාසා ආයතනය හා බෝයිං ගුවන්යානා සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරන X-51 වේව් රයිඩර් ව්‍යාපෘතිය තවත් හයිපර්සොනික් ගුවන්යානා පර්යේෂණ ව්‍යාපෘතියකි. 2010 මැයි 26 වැනිදා X-51 යානයක් රොබෝ නියමුවෙකුගේ පාලනය යටතේ ශබ්දයේ වේගයමෙන් 6ගුණයක වේගයකින් පියාසරකොට වාර්තාවක් පිහිටවූයේය.

මෙම යානා වේව්-රයිඩර් නම් විශේෂ වායුගතිවිද්‍යාත්මක (aerodynamic) සිද්ධාන්තය මගින් සිය පියාසර හැකියාව (lift) උපරිම කරගනී. ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් ගුවන්යානයක් සුපර්සොනික් හෝ ඊට වඩා වේගවත් හයිපර්සොනික් වේගයෙන් පියාසරකරන විට අධිකවේගයෙන් යන යානය හා වාතය හා ගැටීමේදී බාධකයක් හටගනී. ශබ්දයේ වේගය ඉක්මවන්නට තැත්කරන ගුවන්යානාවක් ඉදිරියෙන් හටගන්නා සවුන්ඩ් බැරියර් ලෙස හඳුන්වන මෙම බාධකය බිඳගෙන ශබ්දයේ වේගය ලබාගත යුතු අතර යානය මෙම වායු භාධකය බිඳගෙන ඉදිරියට ඇදෙන විට පිපුරුම් ශබ්දයක් ඇසේ. මෙම පිපුරුම් ශබ්දය සොනික්-බූම් ලෙස හඳුන්වයි. සොනික් බූම් යනු සැබැවින්ම පිපුරුමක් නොව ගුවන් යානය වායු-භාදකය බිඳින විට ඇතිවන ප්‍රභල කම්පන තරංගයකි.

වේව් රයිඩර් යානා මෙම කම්පණ තරංග ආධාරයෙන් ගුවනේ රැඳී සිටිය හැකිවෙන ලෙස නිමවා ඇති යානා වර්ගයකි. කම්පණ තරංග ආධාරයෙන් ගමන් කරන බැවින් ඒවාට වේව්-රයිඩර් යන නාමය ලබාදී ඇත.

* Aurora (අව්රෝරා)

අව්රෝරා යානය සිත්තරෙකුගේ ඇසින්


අව්රෝරා යනුවෙන් ගගනවිද්‍යාලෝලීන් හා පර්යේශකයින් නම්කොට ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සතුව ඇතැයි සැකකෙරෙන, එහෙත් අමෙරිකානු රජය හා ගුවන් හමුදාව තමන් සතුව නැතැයි දැඩිලෙස ප්‍රකාශකරන ගුවන් යානයකි. ශබ්දයේ වේගය මෙන් 3 ගුණයක වේගයෙන් පියාසරකල හැකි, SR-71 බ්ලැක් බර්ඩ් ඔත්තු බලන යානය විශ්‍රාම ගැන්වීමෙ පසුව එයට ආදේශකයක් ලෙස නිර්මාණය කර ඇතැයි සැලකෙන මේ යානය මක් 6-8 දක්වා වේගයකින්  පියාසර කල හැකි හයිපර් සොනික් වර්ගයේ යානයක් බව පැවසේ.

 එහෙත් මෙවැනි යානයක් අමෙරිකාව සතුව ඇතැයි තවමත් නිශ්චිත ලෙසම සනාථවී නැතත් මෙවැනි යානයක අත්හදා බැලීමේ පියාසර බවට සැලැකිය හැකි අත්භූත යානා දර්ශණයවීම් ගණනාවක් ගැන තොරතුරු අමෙරිකාවෙන් වාර්තාවෙනවා.


* Ayaks (Soviet Union / Russia)

අයැක්ස් යනු සෝවියට් දේශය සමයේදී ආරම්භ කර තවමත් දියුණුකරමින් පවතිනා විප්ලවීය ප්‍රවාලන පද්ධතියක් ඇති ගුවන් යානයකි. ලැබෙන තොරතුරු වලට අනුව පොලවට කිලෝමීටර් 50ක් පමණ ඉහලින් හයිපර්සොනික් වේගයෙන් පියාසරක කල හැකි මෙම යානාවට අධිකවේගයෙන් යාමට අවශ්‍ය අමතර ජවය මැග්නීටෝ හයිඩ්‍රෝඩයිනැමික් ජෙනරේටර් නම් උපකරණයක් හරහා එන්ජිමට ඇතුලුවන අයනීකරනයවුනු වාතය (පොලවට කිලෝමීටර් 50ක් පමණ ඉහලින් ඇති වායුගෝලයේ වාතය බොහෝ සෙයින් අයනීකරණයවී ඇත) සම්පීඩනය කොට ඉන්ධන සමග දහනය කොට ලබාගනී.

අයක්ස් ව්‍යාපෘතියේ එන්ජින් තවමත් නිර්මාණය කෙරෙමින් පවතින නිසා පියාසරකල හැකි පර්යේශන යානාවක් තවමත් නිමවා නොමැත.





බෝයිං F/A XX 6වැනි පරම්පරාවේ ප්‍රහාරක හා සටන්වදින යානාව යනු තවමත් නිර්මාණ මට්ටමේ පවතින වසර 2020-2025 කාලපරාසය තුල අමෙරිකානු ගුවන් හා නාවික බලකා සඳහා අනුයුක්ත කරගැනීමට සැළසුම් කර ඇති අති නවීන යුධ ගුවන්යානාවකි. මේ යානයේ නාමය තුල XX යනුවෙන් සඳහන් කොට ඇත්තේ එය තවමත් පර්යේශණ මට්ටමේ හෙවත් experimental තත්වයේ පවතින බැවිනි. F/A යනුවෙන් සඳහන් කොට ඇත්තේ Fighter/Attack හෙවත් ප්‍රහාරක/සටන්වදින යන යානයේ කාර්‍යභාරය ඇඟවීමටයි.
Related Posts Plugin for WordPress, Blogger...