Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 30 November 2017

PREDICTIONS : බාබු කාලයිල්ගේ සුනාමි අණාවැකිය


බාබු කාලයිල් කේරලයේ වාසය කරන භෞතික විද්‍යාඥයෙකු බව පැවසෙනවා. මෑතකදී ඔහු විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින් දෙසැම්බර් 31වැනිදාට පෙර ඉන්දිය සාගරයේ මහා සුනාම ව්‍යසනයක් ඇතිවන බවත්, ඉන් ඉන්දියාව, ලංකාව වැනි දකුණු ඉන්දීය රටවලට මහත් ව්‍යසනයක් සිදුවන බවත් අනාවැකියක් පවසා සිටියා. ඔහු සඳහන් කල අන්දමට ඔහු මේ සොයා ගැනීම සිදුකර ඇත්තේ ESP හෙවත් Extra Sensory Perception නම් පැරාමනෝවිද්‍යාත්මක (parapsychology) හැකියාව  භාවිතා කරගෙන බවයි ඔහුගේ ලිපියේ පවසන්නේ.

බාබු කලයිල්ගේ මේ අණාවැකිය පිලිගත නොහැකි බව ඉන්දියානු භූ විද්‍යාඥයින් පවසන අතර අණාවැකියක් නම් අඩුම ගණනේ නිවැරදි දිනවකවානු පැවසිය යුතු බවයි. එසේ නොමැතිව දෙසැම්බර් 31 වන තෙක් බාබු පවසන සුනාමි විපත සිදුවන රටවල් 11හේම වෙරළාසන්න ජනයා ඉවත්කර තබාගෙන සිටිය යුතුය. එය කල හැක්කක්ද?

මීට අමතරව, බාබුගේ පෙර අණාවැකි ගැනද බාබුගේ අලුත්ම අණාවැකිය උපුටා දක්වන වෙබ් අඩවි පවසන්නේ ඒවා නිවැරදි බව ඔප්පුවී ඇති බවයි. බාබු ගේ මේ සත්‍යවූ අණාවැකි ගැන ලංකා HIT ගොසිප් වෙබ් අඩවියේ පලව ඇති ලිපියකින් උපුටාගත් අණාවැකි කිහිපයක් ගෙන ඒවායේ සත්‍යාසත්‍ය භාවය විමසා බලමු.

බාබුගේ අණාවැකිය

ආලෝක වර්ෂ 50කට එහා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් ඇතැයි කලායිල් ප්‍රකාශ කළේ 1998 වසරේදීය.
කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්යන්ග්යෝ 2004 වර්ෂයේ එවැන්නක් ඇති බව විද්‍යාත්මක සාධක සහිතව සොයාගත්තේ ය.
අප සොයාගත් දේ

නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂ ව්‍යාපෘතියේ වෙබ් අඩවියට අනුව අප දන්නා ආකාරයේ ජීවය පැවතිය හැකි (habitable) පලමු  ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ 2011 වසරේදීය. ඒ පෘථිවියට ආලෝක වර්ෂ 22ක් ඈතින් ඇති ලෙස නම් කල ග්‍රහලෝකයකි. එවැනි ග්‍රහලෝක 13ක් මේ වනවිට සොයාගෙන ඇති අතර තවත් ග්‍රහලෝක 40ක් පමණ ජීවය පැවැතිය හැකි, මව් සූර්යායාගේ සිට ද්‍රවජලය පැවතිය හැකි ප්‍රදේශයේ (Goldilocks zone) හි ඇති බව සොයාගෙන ඇත.  පෘථිවියට විශාලත්වයෙන් සමාන, එමෙන්ම මව් සූර්යයාගේ සිට ජීවය පැවතිය හැකි ගෝල්ඩිලොක්ස් කළාපයේ පවතින පලමු ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ 2015දී මිස 2004දී නොවේ. එය පෘථිවියේ සිට ආලෝක වර්ශ 561ක් ඈති පිහිටා ඇත.

බාබුගේ අණාවැකිය

අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට 2001 වසරේ අගෝස්තු 2 වැනිදා ඔහු නැවත වරක් අනාවැකියක් කියූ අතර හංගේරියානු විද්යන්ගයන් පිරිසක් ඊට මාස කිහිපයකට පසු ඒ බව තොරතුරු සමඟ වාර්තා කළහ.

අප සොයාගත් දේ

අඟහරුවාමත අතීතයේදී මහා ගංගා තිබූ බවට පලමු සාක්ෂිය ලබා දුන්නේ 1971දී ඇමරිකානුවන් යැවූ මැරිනර් 1 යානයේන් ලැබූ ඡායාරූප සමගයි. මාර්ස් ඔඩෙසි නම් අඟහරුවා වටා කක්ෂගතව තිබෙන පර්යේෂණ යානය සිය නියුට්‍රෝණ හා ගැමා ස්ප්ක්ට්‍රෝමීටර් උපකරණ මගින් අඟහරු පෘෂ්ඨය මත හයිඩ්‍රජන අණු විශාල ලෙස පැතිරී ඇති බවත් මේ හයිඩ්‍රජන් අණු අඟහරු පෘෂ්ඨයේ ඇති අයිස් ස්ඵටිකවල ඇති බවත් තහවුරුවී තිබෙනවා. මේ පර්යේෂණ වාර්තා පලවී ඇත්තේ 2001 වසරේ නොව 2004 වසරේදීයි. 

2011දී නාසා ආයතනයේ දත්ත ඇසුරෙන් පර්යේෂණ වල නිරතුවූ නේපාල ජාතික විශ්වවිද්‍යාල සිසුවෙකු අඟහරුවාගේ සමහර ප්‍රදේශවල ග්‍රීෂ්ම කාලයට වෑස්සෙන ජලය වැනි ද්‍රාවණයක් පිලිබඳ ඡායාරූප තොරතුරු සොයා ගත්තා. දැන් තහවුරුවී ඇති අන්දමට මෙලෙස වෑස්සෙන්නේ අධිසාන්ද්‍ර ලවණ ද්‍රාවණයක්. මෙහි ජලයද අඩංගුවිය හැකි බවටයි අනුමාන වෙන්නේ.

මීට අමතරව අඟහරුවාගේ ධ්‍රැව අයිස් තට්ටුවල මිදුනු කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව මිදුන ජලයද අඩංගුවන බව විශ්වාස කෙරෙනවා.2017 වසරේදී අඟහරුවාගේ පෘෂ්ඨයේ පස් තට්ටුවලට යටින් මිදුනු අයිස් තට්ටු තිබිය හැකි බවට සාධක හමුවී තිබෙනවා.

බාබුගේ අණාවැකිය

සෙනසුරුගේ චන්ද්‍රයන් 10ක් අතරින් එකක් වන ටයිටන් හි විදුලි කෙටීම් සිදුවන බව ඔහු 2004 වසරේ ඔක්තෝම්බර් මස ප්‍රකාශ කර තිබු අතර 2005 ජනවාරි 16 වැනිදා එය තහවුරු විය.

අප සොයාගත් දේ

විකිපීඩියාවේ "Climate of Titan" ලිපියට අනුව ටයිටන් චන්ද්‍රයා මත අකුණු ගැසීම් දකින්නට නැත. එහෙත් එවැනි අකුණු ගැසීම සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනාවැකි පලකරනවා.


අපි කියන්නේ බාබු මහත්තයා හොරෙක් හෝ වංචාකාරයෙක් කියා නොවයි. අපහැදිලි අනාවැකි වලින් කල හැකි දෙයක් නැති බව හා ගතහැකි ප්‍රයෝජනයක් නැති බවයි. 

ඒවගේම ෆේස් බුකියේ හා බ්ලොග්වල ඉන්න අයට කියන්නේ, කුණාටුවක් ආපු පලියට මේ වගේ අණාවැකි වලට බයවෙලා කළබල වෙන්න එපා කියලයි. කුණාටුවකයි, සුනාමියකයි වෙනස දන්නවානේ



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

WEATHER : සුළි කුණාටුවේ ගමන්මග මෙන්න!!


පසුගිය අඟහරුවාදා සිට ලංකාවේ දකුණු වෙරළට ඈතින් ඉන්දියානු සාගරයේ වර්ධනය වෙමින් තිබූ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්, එය ලංකාව වෙතින් බස්නාහිර දෙසට ගමන් කරමින් සිටින බවත් වාර්තා වෙනවා.

"ඔකී" ලෙස නම් කොට ඇති මේ සුළි කුණාටුව  ගාල්ලට කිලෝමීටර් 240ක් වයඹ දෙසින් ස්ථානගතවී ඇති බවයි කාළගුණ වෙබ් අඩවි පවසන්නේ. බටහිරට බර වයඹ දෙසට ගමන්කරමින් ඇති මෙහි අනුමාන ගමන්මග ඉහත සජීවීකරණයේ දැක්වෙනවා.


ඔකී කුණාටුව මේ වනවිට වඩාත් ප්‍රභලවී ඇති බැවින් ඉදිරි පැය 24 තුල අතිවිශාල වර්ෂාපතනයක් හා තද සුළං බලාපොරොත්තු විය හැකියි. 

කෙසේ වෙතත් එම කුණාටුව ඇතිකරන අඩුපීඩන පද්ධතිය  පැයට කිලෝමීටර් 38ක පමණ වේගයකින් අරාබි මුහුද දෙසට ගමන්කරමින් සිටිනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

FILM : මාවල් සිනමා විශ්වයේ අලුත්ම සිත්තම : Avengers - Infinity War


වෝල්ට් ඩිස්නි සමාගමට අයත් මාවල් චිත්‍රාගාරය ඔවුන්ගේ අලුත්ම ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ පලමු ට්‍රෙලරය පසුගිය බදාදා එලිදැක්වූවා. අයන් මෑන්,  කැප්ටන් ඇමරිකා, තෝර්, ඇවෙන්ජර්ස්, ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, බ්ලැක් පැන්තර් (2018 පෙබ. 9 UK / පෙබ 16 USA) ආදී ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ගණනාවක සිදුවීම් දාම, චරිත හා කථාවස්තූන් එකම හූයකින් බැඳ තබන මාවල් සිනමා විශ්වය (Marvel Cinematic Universe) චිත්‍රපට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මෙන්ම කතාබහට බඳුන්වූ ප්‍රබන්ධමය ඇස්බැන්දුම ලෙස හඳුන්වන්න පුලුවන්.

මේ සිනමා විශ්වයේ අතුරුකතා සිනමාලෝකය පමණක් නොව රූපවාහිණී ලෝකයත් ජය අරන්. කැප්ටන් ඇමරිකා, අයන් මෑන් හා ඇවෙන්ජර්ස් කථා මාලාවල එන ඇමරිකන් ආරක්ෂක ඒජන්සිය වන S.H.I.E.L.D ඒජන්සියේ චරිත වටා ගෙතුනු "Agents of SHIELD" මාවල් විශ්වයේ පලමුවෙන්ම ජනප්‍රියවූ රූපවාහිණී කතාමාලාවයි. මීට අමතරව කැප්ටන් ඇමරිකා (ස්ටීව් රොජර්ස්) ගේ පෙම්වතියවූ පෙගී කාටර්ගේ චරිතය වටා එතුනු ඒජන්ට් කාටර් , අයන් ෆිස්ට්, ජෙසිකා ජෝන්ස්, ඩෙෆෙන්ඩර්ස්, ඉන්හියුමන්ස්, ලූක් කේජ්, ද පනිෂර්, ඩෙයාඩෙවිල් ආදී රූපවාහිණී කතාමාලා රැසක් මාවල් සිනමා විශ්වය තවත් ඔපමට්ටම් කරනවා.

මාවල් සිනමා විශ්වයේ 19වැනි චිත්‍රපටය හා ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ තුන්වෙන චිත්‍රපටය ලෙසයි ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය ඉදිරිපත් වෙන්නේ. මාවල් කොමික්ස් චිත්‍රකතා චරිත මත පදනම්ව නිර්මාණය වන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ සොයුරන් දෙදෙනාය. 2018 මැයි 4 වැනිදා එලිදැක්වීමට නියමිත මේ චිත්‍රපටය ඉන්ෆිනිටි වෝ පලමු කොටස වන අතර දෙවැනි කොටස 2019 මැයි 3 වැනිදා එලිදැක්වීමට නියමිතය.

Avengers : Infinity War කතාවස්තුව 
(Spoiler Alert !!!)

කැප්ටන් ඇමරිකා : සිවිල් වෝ චිත්‍රපටය අවසන් වනවිට ඇවෙන්ජර්ස් කණ්ඩායම දැඩි මතබේධ නිසා වෙන්වී, විසිරී ගොස් සිටිනවා. මේ අතර ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි, දෙවැනි කොටසේ ඇතිවූ සිදුවීම් දාමයන්වල ප්‍රථිපලයක් හා කැප්ටන් ඇමරිකා :  සිවිල් වෝ හා ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රෝන් කථාවස්තූන්වල සිදුවිලි දාමයන්ද නිසා ඇතිවන තත්වයන් හේතුවෙන් ඈත පිටසක්වල අඳුරු කළාපයක බලය පතුරුවාගෙන සිටින තේනෝස් නම් කුරිරු පිටසක්වල නායකයාට සිය බලය මුලුමහත් විශ්වය පුරාම පතුරුවාගැනීමට යම් අවස්ථාවක් උදාවනවා.

ඇවෙන්ජර්ස් පලමු චිත්‍රපටයේ නිව්යෝර්ක් නගරය ආක්‍රමණය කල චිටෞරී නම් පිටසක්වල ආක්‍රමණික හමුදාවේ අසහාය නායකයා වන තේනෝස්  ඇස්ගාර්ඩ් හි රජුවන ඕඩින්ගේ හදාගත් පුත්‍රයා වන ලෝකී සමගද සබඳතාවයක් ඇත. ලෝකීට ඇති සුපිරි අධි-මානසික ශක්තිය ඔහු ලබාගත්තේ ඇස්ගාර්ඩ් වෙතින් පිටුවහල් කිරීමෙන් පසු තේනොස් යටතේ ඔහුගේ රාජධානියේදීය. ඇවෙන්ජර්ස් පලමු චිත්‍රපටයේදී ටෙසරැක්ට් නම් සුපිරි බළශක්ති ප්‍රභවය ලබාදෙන පොරොන්දුව මත පෘථිවිය ආක්‍රමණය කිරීම සඳහා චිටෞරී හමුදාව මෙන්ම අධි බලැති හෙල්ලද ලෝකීට ලැබුනේ තේනෝස්ගේ අනුග්‍රහය යටතේය.

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටවල එන ගැමෝරා (කොළපැහැති සමක් ඇති පිටසක්වල යුවතිය) හා යාන්ත්‍රික අවයව ඇති නෙබියුලා සොයුරියන් වන අතර තේනෝස් ඔවුන්ව සිය දියණියන් ලෙස හදාගෙන, ඝාතකයන් ලෙස පුහුණු කර ඇත. ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි දෙවන චිත්‍රපටය අවසන්වන විට ගැමෝරා හා නෙබියුලා තේනෝස්ගේ ග්‍රහණයෙන් මිදී, ඔහුට විරුද්ධව එක්ව සිටී.

තේනෝස්ගේ එකම අරමුණ විශ්වයේ බලසම්පන්නම වස්තූන්වල ඉන්ෆිනිටි ස්ටෝන්ස් නම් මැණික් හය තමා සතුකර ගැනීමයි. සෑම ඉන්ෆිනිටි ස්ටෝන් මැණිකකටම ඊටම ආවේණික අසහාය බලයක් ඇති අතර ජනප්‍රවාදයේ හැටියට ඉන්ෆිනිට මැණික් තමන් සතුකරගන්නාට විශ්වයේම බලය හිමිවේ.

ඉන්ෆිනිටි මැණික් තමන් සතුකරගැනීම සඳහා තේනෝස් දියත්කරන මහා මෙහෙයුමත්, එය අසාර්ථක කිරීම සඳහා ඇවෙන්ජර්ස් කණ්ඩායම හා ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කණ්ඩායම එක්ව සිදුකරන සටනත් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයේ මුල්කොටසේදී විදහා දැක්වේ.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .  ________________________________________________________________________

Tuesday, 28 November 2017

ARE U SERIOUS ? නාසා ඩ්‍රෝන් රේස් එක : Human Pilot vs. AI Pilot

සාමාන්‍යයෙන් නාසා ආයතනය කරන්නේ බොහෝම බරපතල වැඩ. අභ්‍යවකාෂ යානා නිර්මාණය, චන්ද්‍රිකා නිර්මාණය, ග්‍රහලෝක ගවේෂන චාරිකා සැලසුම් කිරීම වගේ බොහොම සීරියස් වැඩ කරන නාසා ආයතනය ලඟදී ඩ්‍රෝන් රේස් එකක් පැවැත්වූවා. මේ ඩ්‍රෝන් රේස් එකේ ඩ්‍රෝන පදවපු පයිලට්ලා දෙන්නාගෙන් එක් අයෙක් ලෝකයේ දක්ෂම ඩ්‍රෝන් රෙසින් චැම්පියන් කෙනෙක් වෙන කෙන් ලූ. අනෙකා නාසා ආයතනය නිර්මාණය කරපු කෘත්‍රිම බුද්ධි පයිලට් කෙනෙක්.

හැමදෑම සීරියස් වැඩ කරන නාසා ආයතනය මේ ඩ්‍රෝන් රේස් එකත් බොහොම සීරියස් රීසර්ච් ප්‍රොජෙක්ට් එකක්, නැතිනම් පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක අංගයක් කියලයි කියන්නේ. ඔවුන් කියන විධියට මේ ඩ්‍රෝන් රේස් එකේ AI පයිලට් අවුරුදු දෙකක පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රථිපලයක්. නාසා ආයතනය ඩ්‍රෝන් පයිලට්ලා නිර්මාණය කරන්නේ ඇත්තටම පෘථිවියේ රේස් යන්න නෙමෙයි. ඔවුන්ගේ අරමුණ නුදුරු අනාගතයේදීම අඟහරු ලෝකයට ඩ්‍රෝන් යානාවක් යවලා එය අඟහරු පොලවට ආසන්නයේ පියාසර කරවමින් මෙතෙක් ලබාගත නොහැකිව තිබූ ගුවන් ඡායාරූප හා වීඩියෝ ඡායාරූප ලබාගන්න.

රේස් එක පවත්වපු පියාසර පථය


ඒ විධියට අඟහරු ලෝකයේ පියාසර කරවන ඩ්‍රෝන් එකක් පෘථිවියේ ඉන්න ඩ්‍රෝන් පයිලට් කෙනෙකුට පියාසර කරන්න බෑ. පෘථිවියේ ඉඳන් අඟහරු වෙත යන රේඩියෝ සංඥා ආසන්නම අවස්ථාවේත් විනාඩි 4ක් ගතවෙලයි අඟහරු වෙත යන්නේ. ඒ කියන්නේ පෘථිවියේ ඉන්න ඩ්‍රෝන් නියමුවා විධානයක් යවලා විනාඩි 4කින් තමයි යානය එය ක්‍රියාත්මක කරන්නේ.

ඒ නිසා බොහොම ස්වාධීනව හා ඉතා නිවැරදිව භාදක මගහරවාගෙන පියාසර කල හැකි කෘත්‍රිම බුද්ධි ඩ්‍රෝන් පයිලට් මෘදුකාංගයක් නාසා ආයතනයේ ඉදිරි අඟහරු ගවේෂණ කටයුතු සඳහා වැදගත් වෙනවා. අවුරුදු දෙකක් මහන්සිවෙලා හදපු AI ඩ්‍රෝන් පයිලට්, ලෝකේ හොඳම  මිනිස් ඩ්‍රෝන් පයිලට් කෙනෙක් එක්ක අධිවේගී ඩ්‍රෝන් රේස් එකකට යොමු කරන්න නාසා ඩ්‍රෝන් AI කණ්ඩායම කටයුතු කලේ ඔවුන්ගේ නිර්මාණය සැබෑ ලෝකයේ කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා හොයලා බලන්න.

නාසා ඩ්‍රෝන් පයිලට් බොහෝම හොඳින්, වේගය හා ආරක්ෂාව යන අන්ත දෙකම කළමණාකරණය කරගෙන රේස් එක නිම කලත් අවසාන ප්‍රථිපලය බැලුවාම නම් මිනිස් නියමුවා ජය අරගෙන. නාසා AI ටීම් එක කියන්නේ එයාලගේ ඩ්‍රෝන් පයිලට් තවමත් "work in progress" ප්‍රොජෙක්ට් එකක් කියලයි.










__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Monday, 27 November 2017

BUSINESS : ඉස්සර ගොඩක් ජනප්‍රියවුනු, දැන් පේන්නවත් නැති ජපන් වෙළඳනාම


ජපන් බඩු ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමත් සමගයි. ආර්ථිකය විවෘතවී ආනයන සීමා අහෝසිකර පසු ජපානයේ ලෝක ප්‍රකට සන්නාම ලංකාවේ වෙළඳපොල ආක්‍රමණය කලා. ටොයෝටා, නිසාන්, මිට්සුබිෂි, සෝනි, ටොෂීබා, හිතාචී වගේ ලොව ජයගත් වාහන හා ඉලෙක්ට්‍රොණික භාණ්ඩ සන්නාම උසස් තත්වයේ දේවල් හිමිකර ගන්න කැමති අයගේ පලමු තේරීම වුනා. 

1980ව මුල් භාගයේ ලංකාවේ කාන්තාවන්ට මැද පෙරදිග ගෘහසේවයේ රැකියා දොරටු විවරවීමත් ජපන් සන්නාම ලංකාවේ ජනප්‍රිය වෙන්න තව හේතුවක් වුනා. විදෙස් ශ්‍රමිකයින් ලංකාවට එනකොට ඒ රටවලින් මිළදීගත් හෝ ලංකාවේ තීරුබදු වෙළඳසැල්වලින් මිළදීගත් ජපන් ටී.වී, ටූ-ඉන් වන් - ත්‍රී ඉන් වන් කැසට් රේඩියෝ වගේ ඒවා ගම්මානවල නිවෙස් වලටත් යන්න පටන් ගත්තා. මේ ජපන් සන්නාම ලංකාවට ආනයනය කල දේශීය ඒජන්තයින් වන යුනිවෝකර්ස් (නැෂනල් හා පැනසොනික්), සීඩ්ල්ස් (සෝනි ) වගේ සමාගම් ගුවන්විදුලිය හා පුවත්පත් හරහා මේ සන්නාම දැඩි ලෙස ප්‍රවර්ධනය කලා. 

මේ කාලයේම වගේ තවත් ඉලෙක්ට්‍රොණික භාණ්ඩ අලෙවිකරුවන් පිරිසක් වේගයෙන් නැගී ආවා. ඔවුන්ද නිරන්තරයෙන්ම ජපන් සන්නාම සහිත ඉලෙක්ට්‍රොණික භාණ්ඩ විකිණූ සිය සාප්පු ප්‍රවර්ධනය කලා. නෙතිකුමාර පවුලට අයත් යුනියන් පෙදෙසේ සලාකා ට්‍රේඩ් සෙන්ටර්, මංගල ට්‍රේඩ් සෙන්ටර් වගේ සාප්පු ගුවන්විදුලියේ තොරතෝංචියක් නැතුව දැන්වීම් පලකලා.

කොහොම වුනත් දැන් නම් ජපන් සන්නාමවලට කණකොකා හඬලා. ටොයෝටා, නිසාන්, සෝනි, කැනන් වගේ සන්නාම කිහිපයක් හැරෙන්නට කලක් ලෝක ප්‍රකටවූත්, දැවැන්ත සමාගම් බවට පත්ව තිබූ ජපන් සන්නාම දැන් දකින්නටත් නෑ. සමහර සන්නාමවල අයිතිය ජපානයෙන් ගිලිහිලා ඇමරිකන්, චීන හා වෙනත් රටවල සමාගම් වලට ගිහින්.  කාර්මික ලෝකයතුල 1970 සිට 1990 දශකයේ මැදභාගය වනතෙක්ම බැබලුනු ජපන් තාරකා දැන් මිලිනවෙලා තියෙන්නේ ජපානයේ ආර්තික පසුබෑම හා ඒ සමගාමීව කොරියානු, තායිවාන හා චීන සන්නාමවල උද්ගමනයත් සමගයි.

කලක් ඉලෙක්ට්‍රොණික තාක්ෂණයේ කිරුළු පැලඳ සිටි, එහෙත් දැන් ඒ කිරුළු අහිමිවී සිටින ජපන් සන්නාම කිහිපයක ඉතිහාසයත්, ඒවාවල දැන් තත්වයත් හොයා බලන්නයි මේ ලිපියේ වෑයම.

Sanyo

1947දී ටොෂියෝ අයූ විසින් ආරම්භකරන ලද සැන්යෝ සමාගමේ මුල්ම නිෂ්පාදනය බයිසිකල් ලාම්පු වූවා. ටොෂියෝගේ මස්සිනා වූයේ සුප්‍රකට මට්සුෂිටා (පැනසොනික්) සමාගම ආරම්භකල කොනොසුකේ මට්සුෂිටායි. සැන්යෝ යනු ජපන් භාශාවෙන් සාගර තුනක් යන්නයි. මේ නම සමාගමේ සන්නාමය ලෙස තෝරාගන්නට හේතුව සමාගමේ ප්‍රාරම්භක ටොෂියෝගේ දිගුකාලීන සැළැස්මවූ අත්ලාන්තික්, පැසිෆික් හා ඉන්දියානු සාගර වලින් වටවූ මුළු ලෝකයේම සිය නිෂ්පාදන අලෙවිකිරීමේ දැක්මයි. 1970 වන විට ටොෂියෝගේ මේ දැක්ම සාක්ෂාත් කරගැනීමට සැන්යෝ සමාගම සමත්වූ අතර ඒ වනවිට ඉලෙක්ට්‍රොණික හා විදුලි ගෘහ උපකරණ වෙළඳපොලේ ප්‍රභල තරඟකරුවෙකු බවට පත්ව සිටියා.

කෙසේවෙතත් 1990ව දශකයේදී ජපානයේ ඇතිවූ දැඩි ආර්ථික අවපාතය මෙන්ම ඩොලරයට සාපේෂව ජපන් යෙන් අගය දැඩි ලෙස වැඩිවීමත් නිසා අපනයන දුර්වල වන්නට පටන් ගත්තා. එමෙන්ම කොරියානු ගෝල්ස්ටාර් (දැන් එල්.ජී) හා සැම්සුන්ග් සමාගම් අඩු මිලට ඉහල තත්වයේ ඉලෙක්ට්‍රොණික උපකරණ එලිදැක්වීම හේතුවෙන් මිළ අධික සැන්යෝ වැනි ජපන් සන්නාම පසු බසින්නට වන්නට පටන්ගත්තා. 2009දී සැන්යෝ සමාගම පැනසොනික් සමාගම (මට්සුෂිටා) මගින් මිළදි ගත්තා.

JVC

දැන් අභාවයට ගිහින් වගේ පෙනන තවත් සුපිරි ජපන් සන්නාමයක් තමයි JVC. 1927දී වයිනල් තැටි ධාවක (record players) නිෂ්පාදනයෙන් ඇරඹුනු JVC සමාගම වඩාත්ම ජනප්‍රිය වුනේ වීඩියෝ කැමරා හා වීඩියෝ කැසට් රෙකොඩර් සඳහායි. ඔවුන්ගේ වෘත්තීය මට්ටමයේ වීඩියෝ කැමරා හා වීඩියෝ සංස්කරණ උපකරණ ලොව පුරාම ජනප්‍රිය වුනා. 

1953 දී පැනසොනික් සමාගම JVC සමාගම මිළදී ගත් අතර එතැන් පටන් වීඩියෝ තාක්ෂණය දියුණු කිරීම හා ඩිජිටල් සංයුක්ත තැටි තාක්ෂණය දියුණු කිරීමට JVC සමාගම කැපවුනා. අදවන විට JVC සමාගම  ජපානයේ කෙන්වුඩ් සමාගම හා බද්ධව JVC-Kenwood ලෙස වෙළඳපොලට එක්වී සිටියත් එදා තරම් ජනප්‍රියත්වයක් නෑ.





Technics

JVC වගේ මට්සුෂිටා සමාගමට අයිතිය තිබුණු තවත් ලෝක ප්‍රකට සන්නාමයක් ටෙක්නික්ස්. මේ සන්නාමය වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා තිබුනේ ඉතාමත් ඉහල තත්වයේ HiFi ස්ටීරියෝ උපකරණ වලට. මට්සුෂිටා සමාගම සිය ගෘහ උපකරණ සන්නාම වන නැෂනල් හා පැනසොනික් උපකරණවලට වඩා වැඩි මිලකට, ඉහලම තත්වයේ සංගීතමය නිෂ්පාදන ඉදිරිපත් කරන්නට ටෙක්නික්ස් සන්නාමය නිර්මාණය කලේ 1965දී. Amplifiers, Receivers, FM Tuners, Tape decks, CD players, Speakers ආදී සංගීත ලෝලීන් හා වෘත්තියමය සංගීත නිෂ්පාදකයින් වෙනුවෙන් නිර්මාණය වුනු ටෙක්නික්ස් බඩු මිලෙන් වැඩිවුනත් තත්වයෙන් ඉතාම උසස් වුනා. 

ලංකාව වගේ රටවල නම් ටෙක්නික්ස් භාණ්ඩ මිළදී ගන්නට පුලුවන් තැනක් නෑ. ටෙක්නික්ස් වෙබ් අඩ්වියට අනුව නම් යුරෝපයේ, කැනඩාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්නික්ස් සන්නාමයෙන් ඉදිරිපත් කරන ඉතා ඉහල තත්වයේ ඉලෙක්ට්‍රොණික උපකරණ මිළදීගන්නට පුලුවන්.


National

නැෂනල් කියන්නේ කාලයක් ලංකාවේ ජනප්‍රියම ජපන් ඉලෙක්ට්‍රොණික භාණ්ඩ සන්නාමය යයි කිව්වොත් වරදක් නෑ. ඒවගේම පලමුවෙන්ම ලෝකය ජයගත් ජපන් ඉලෙක්ට්‍රොණික හා විදුලි උපකරණ සන්නාමය වුනෙත් නැෂනල් සන්නාමයයි.   යුනිවෝකර්ස් නම් සමාගම විසින් ආනයනය කරපු නැෂනල් , ජපන් මට්සුෂිටා සමාගමේ මුල්ම සන්නාමය වුනත් පසුව පැනසොනික් සන්නාමය අතිශයින් ජනප්‍රිය වීම නිසා 1980ව දශකයේ මුල්භාගයේදීම නැෂනල් සන්නාමය යුරෝපයේ, ඇමරිකාවේ හා ඔස්ටේලියාවේ වෙළඳපොලවල් වලින් ඉවත්කර ගත්තා.  නැෂනල් නාමය 1988න් පසු භාවිතයට නොගැනුනු අතර ඒ වෙනුවට පැනසොනික් සන්නාමය ලොව පුරා භාවිතයට ගැනුනා. ලංකාවේ කලක් ජනප්‍රියම ටෙලිවිෂන්, රයිස් කුකර් හා ටූ-ඉන්-වන් හා ත්‍රී-ඉන්-වන් කැසට් රේඩියෝ සන්නාමය වුනේ නැෂනල්.

Sharp

1912දී අරම්භවුනු ෂාප් සමාගම ජපානයේ ඉලෙක්ට්‍රොණික කර්මාණ්තයේ දැවැන්ත සමාගමක් වූවා. මුලින් ලුහු කාර්මික භාණ්ඩ නිපදවූ ෂාප් සමාගම 1925දී රේඩියෝ යන්ත්‍රයක් ජපන් වෙළඬපොලට ඉදිරිපත් කරමින් ඉලෙක්ට්‍රොණික කර්මාණ්තයට පිවිසුනා. 1953 තරම් ඈතක සිට රූපවාහිණී නිෂ්පාදනය කරන්නට පටන් ගත් ශාප් සමාගම 1964දී ලොව ප්‍රථම ට්‍රාන්සිස්ටර් ඉලෙක්ට්‍රොණික කැල්කියුලේටරය නිර්මාණය කලා. 1973දි ලොව පලමු LCD තිරය සහිත කැල්කියුලේටරයක් හඳුන්වාදුන් ෂාප් සමාගම අදටත් ලොව ප්‍රමුඛ පෙලේ LCD හා LED රූපවාහිණී තිර නිෂ්පාදකයෙක්. ඒවගේම ලෝකයට පලමු වරට කැමරාවක් සහිත ජංගම දුරකථනයක් (camera phone) ඉදිරිපත් කලේත් ෂාප් සමාගමයි.

අනෙකුත් ජපන් දැවැන්තයන් මෙන්ම ෂාප් සමාගමත් ජපානයේ ආර්ථික පසුබැස්ම, අපනයනවලට අහිතකර අධි-වටිනාකම් යෙන් අගය හා කොරියානු, චීන හා තායිවාන සමාගම් වල දැඩි තරඟය නිසා කෙමෙන් කෙමෙන් පසු බසින්නට පටන් ගත්තා. වසර ගණනාවක් පාඩු ලබමින් පවත්වාගෙන ගිය ෂාප් සමාගම 2016 වසරේදී තායිවානයේ ෆොක්ස්කොන් සමාගම විසින් මිළට ගත්තා.

මීට අමතරව NEC (ඉලෙක්ට්‍රොණික උපකරණ හා පරිගණක), Seiko (අතිශයින්ම ජනප්‍රිය ජපන් අත් ඔරලෝසු ), Aiwa (ඉලෙක්ට්‍රොණික සංගීත ප්‍රතිවාදන භාණ්ඩ) , TDK (කැසට් හා වීඩියෝ ටේප්), TEAC (වෘත්තීය මට්ටමේ සංගීත පටිගතකිරීමේ හා ප්‍රතිවාදනය කිරීමේ භාණ්ඩ ), Minolta (කැමරා, වීඩියෝ කැමරා හා ඡායාපිටපත් යන්ත්‍ර) , Pioneer (ඉලෙක්ට්‍රොණික සංගීත ප්‍රතිවාදන භාණ්ඩ), Konica ( කැමරා හා සේයා පට) යන සමාගම්ද කලක් ලොව පුරා ඉහලම තත්වයේ භාණ්ඩ සඳහා නමක් දිනාගෙන සිටියත් අද දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Sunday, 26 November 2017

ARE U SERIOUS? අපායේ නෙවේ - Sucks Coffee / Butt Rental / Nasty Buffet

ස්ටාර් බක්ස් කොෆී සක්ස් කොෆී වුන හැටි



ඩිනාස්ටි බුෆේ නාස්ටි බුෆේ වෙලා




ෆැට් ඇන්ඩ් ඊසි සිල්ලර බඩු සාප්පුව




ෆොටෝ සෙන්ටර් එක කක්කි (poo) සෙන්ටර් එක වුන හැටි




කාර් කුළියට දෙන තැනක්.....වෙන මුකුත් හිතන්ඩ එපා...






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

SOCIAL : ලිංගිකත්වයේ අලුත්ම මානය Digisexual Intimacy

Humans රූපවාහිනී විද්‍යාප්‍රබන්ධ කතාමාලාවේ කතානායිකාව වන Anita නම් කෘතිම බුද්ධි රොබෝවරිය. නිවසේ මෙහෙකාරියක් මෙන් සේවයකරන ඇය ගෙහිමියාට අවශ්‍ය විටක ක්‍රියාත්මක කරගත හැකි Adult Mode ක්‍රියාකාරිත්වයකින්ද යුතුයි.
මිනිසුන් හා මානවරූපී රොබෝවරුන් අතර ඇතිවන සෘංගාරාත්මක සබඳතා පිලිබඳව ලියවුනු ප්‍රබන්ධ විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ එමට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම සෘංගාරාත්මක චිත්‍රකතා  (erotic comics)  මෙම ප්‍රබන්ධ වර්ගය කරලියට ගෙන එන්නට සෑහෙන දායකත්වයක් දැරුවා.

ඉතාලි ජාතික පෝලෝ සෙපෙරි විසින් නිර්මාණය කරන ලද අතිශය සෘංගාරාත්මක ඩෲනා (Druuna: Paolo Serpieri) චිත්‍රකතා මාලාවේ සමහර ප්‍රබන්ධ යන්ත්‍ර හා මානව-යාන්ත්‍රික දෙමුහුනුන් සමග ලිංගික ක්‍රියාවල නිරතවන නිරතවීම පාදක කොට ලියා තිබෙනවා.  මහා විනාශයකට පසු බිහිවුනු අපූර්ව ලෝකයක (post-apocalyptic future) සැරිසරන අතිශය රූමත් යුවතියක වන ඩෲනා මුහුන පාන විවිධ විවිධාකාර අකරතැබ්බ පාදක කොට නිමැවී ඇති මේ සෘංගාරාත්මක චිත්‍රකතා ඉතාමත් සරාගීවන අතර සෑම කථාංගයකම ප්‍රධාන අරමුණ කෙසේ හෝ ඩෲනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් ලිංගික ක්‍රියාවකට යොමු කිරීමයි. ඒ නිසා සෙපෙරිගේ ඩෲනා කථාමාලා soft-core porn ලෙසද විචාරකයින් හඳුන්වනවා.

ඇපල්සීඩ් කතාමාලාවේ මානවරූපි
බයෝඩ්‍රොයිඩ්
රොබෝ සෙබළිය හිටෝමී.
එමෙන්ම ජපන් චිත්‍රකතා සම්ප්‍රදාය වන මැන්ගා සම්ප්‍රදායට අනුව ජපන් ජාතික මසමූනේ ෂිරෝ (Masamune Shirow) විසින් ලියන ලද ඇපල්සීඩ් චිත්‍රකතා මාලාවද විශේෂයි. 

සයිබර්පන්ක් (cyberpunk) හා මෙඛා (mecha) යන චිත්‍රකතා ප්‍රබේධ දෙක මිශ්‍රකොට ලියන ලද ඇපල්සීඩ් ප්‍රබන්ධ මාලාවට පාදක වන්නේ මහා විනාශයකට පසු පෘථිවියේ බිහිවන ඔලිම්පස් නම් නගරයක්. 

මේ නගරවාසීන්ගෙන් විශාල පිරිසක් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මගින් සිය කාය ශක්තිය හා හැකියාවන් වැඩිකරගෙන තිබෙනවා. මීට අමතරව බයෝඩ්‍රොයිඩ්ස් ලෙස හඳුන්වන මිනිස් රුවම ඇති රොබෝ ජනගහණයක්ද මෙහි වාසය කරනවා. 

ඇපල්සීඩ් කතාමාලාවේ යම් යම් කතාංගවල රෝබෝ / දෙමුහුන් මිනිස්-රොබෝ ඇන්ඩ්‍රොයිඩයින් සමග ඇතිවන සෘංගාරාත්මක සබඳතා දකින්නට තිබෙනවා. 

මෙහි ප්‍රධාන චරිතකයට පණපොවන හිටෝමී, රූමත් මානවරූපී රොබෝවරියක් වන ඇය ඔලිම්පස් නගරය ආරක්ෂාකරන E.S.A.W.T නම් පොලිස් කොමාන්ඩෝ ඒකකයේ සෙබළියක්. ඇයට පෙම්වතෙකු සිටින අතර යොෂිට්සුනේ නම් ඔහු මිනිස් තරුණයෙක්.

චිත්‍රකතා හා කාටූන් රූපවාහිණී කතාමාලා (විශේෂයෙන් ජපන් ඇනිමේ කාටූන්) අතර සිරවී සිටි මිනිස් / රොබෝ සෘංගාරත්මක සබඳතා හා ලිංගික සබඳතා ප්‍රධාන ධාරාවේ රූපවාහිණී කතාමාලාවලට ඇතුලුවුනේ මෑතකදී පටන්.  2011දී ආරම්භවුනු බ්‍රිතාන්‍ය රූපවාහිණී විද්‍යාප්‍රබන්ධ කතාමාලාවක් වන බ්ලැක් මිරර් මාලාවේ දෙවන කාර්තුවේ (Season 2) එක් කථාංගයක්වූ "Be Right Back" මිනිස් හා මානවරූපී රොබෝවරයෙකු අතර ලිංගික සබඳතා තිරයට ගෙන ආවා.

මාතා (හේලි ඇට්වෙල්) හා ඈෂ් (ඩොම්නල් ග්ලීසන්) තවමත් විවාහ නොවූ, එහෙත් එක්ව ජීවත්වන යුවලක්. දිනක් ඈෂ් රිය අණතුරකින් මිය යන අතර ඔහුගේ අවමගුලෙන් පසු මාතා තමන් ඈෂ් අතින් ගැබිණියක වී ඇති බව දැන ගන්නවා. සිය පෙම්වතා නැති සොවින් තැවෙන ඇයගේ පිහිටට එන්නේ කෘත්‍රිම බුද්ධි මානව රූපී රොබෝවන් බිහිකරන සමාගමක්. ඔවුන් ඈෂ් හා හැම අතින්ම සමාන රොබෝවෙක් ඇය වෙත එවන අතර ඈෂ් මුලු ජීවිතකාලය පුරාම අන්තර්ජාලයේ හා සමාජජාලවල තබන ලද සටහන්, ඡායාරූප හා වීඩියෝ ආධාරයෙන් ඔහුගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් ඒ අයුරින්ම පෙන්වනවා.
මාතා හා ඈෂ්ගේ රුවගත් ඇන්ඩ්‍රොයිඩයා - Be right back : බ්ලැක් මිරර්
සෑම ආකරයෙකින්ම පිරිමි මානවයෙකුගේ වෙස් ගන්නා ඈෂ්ගේ අනුරූ ඇන්ඩ්‍රොයිඩයා සිය පෙම්වතාම යයි සිතාගන්නා මාතා ඔහු සමග ලිංගිකව එක්වනවා. විවිධාකාර හැලහැප්පිලි සිදුවූවත් ඈෂ් ඇන්ඩ්‍රොයිඩයා හා මාතා එක්ව ඈෂ්ට දාව මාතාට උපන් දියණිය හදාවඩාගන්නා ආකාරය කතාමාලාවේ අවසානයේ පෙන්වනවා.

Westworld දැන් දෙවන කාර්තුවේ පසුවන මානවරූපී කෘත්‍රිම බුද්ධි රොබෝවන් හා මිනිසුන් අතර ලිංගික ක්‍රියා හා වෙනත් සබඳතා වටා ගෙතී ඇති කතාමාලාවක්. කතාමාලාවේ මූලික හරය ලිංගිකත්වය නොවන අතර කෘත්‍රිම බුද්ධි රොබෝවන් සවිඥාණය ලබාගැනීම හා සිය නිර්මාතෲවරුන් හා පාලකයින් වන මිනිසුන්ට එරෙහිව නැගීසිටීමේ වෑයමක් දක්වනවා.

කෙසේවෙතත් වෙස්ට්වර්ල්ඩ් නමින් හැඳින්වෙන්නේ 1800 ගණන්වල ඇමරිකානු නගරයක් අනුරුවකට තැනූ කෘත්‍රිම නගරයක්. එහි වැසියන් ලෙස හැසිරෙන මානව රූපී, කෘත්‍රිම බුද්ධි රොබෝවන්. මේ නගරයට පිවිසෙන පුද්ගලයින්ට සිය සිතැඟි පරිදි එම රොබෝ වැසියන් අපයෝජනයට, කෲර වධහිංසා පැමිණවීමට හෝ මරා දැමීමට, කාන්තාවන් දූෂණය කිරීමට ඉඩ ඇති අතර තමන්ගේ සිත තුල ඇති ඔනෑම කාමුක හෝ වෙනත් විකෘති ආශාවක් තෘප්තිමක් කරගැනීමට ඉඩ ඇති ස්ථානයක්.

Digisexual Intimacy

චිත්‍රකතාවල, කාටූන්වල හා රූපවාහිණී කතාමාලාවල දැක්වෙන මානවරූපී රොබෝවන් හා මානවයින් අතර ලිංගික සබඳතා සැබෑ ලෝකයටත් දැන් කාන්දුවෙන්න පටන් අරන්. වේගයෙන් දියුණුවන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, මිනිසුන් සමග සාමාන්‍ය කතාබහක් පවත්වාගෙන යා හැකි ඇපල් සිරී, ඇමසන් ඇලෙක්සා, මයික්‍රෝසොෆ්ට් කෝටානා වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දැන් තුන්වන ලෝකයේ වැසියන්ගේත් සාක්කුවල.

මේ දැවැන්ත කෘත්‍රිම බුද්ධි විප්ලවයේ ඊලඟ පිම්ම ලෙස මිනිසුන් හා සෘංගාරාත්මක හා ලිංගික සබඳතා පවත්වාගෙන යා හැකි රොබෝ සහකාරියන් හා සහකරුවන්. දැනටමත් රූමත් කාන්තාවන් මෙන් දිස්වෙන, කතාබහ කල හැකි, අසන පැනවලට පිලිතුරු දියහැකි මෙන්ම පුරුෂයෙකුට ලිංගික සංසර්ගය සිදුකිරීම සඳහා කාන්තා ලිංගික අවයව ඇති රොබෝවන් වෙළඳපොලට ඇවිත්. මේ සමහර රොබෝ ලිංගික සහකාරියන් යම් යම් ස්පර්ෂයන් හඳුනාගෙන ඒවාටද ප්‍රතිචාර දක්වන බව නිෂ්පාදකයින් පවසනවා.

රොබෝ ලිංගික සහකාරියන් නිෂ්පාදනය කරන Abyss Creations සමාගමේ ප්‍රධාන විධායක ඔවුන්ගේ එක් නිෂ්පාදනයක් වන RealDolls රොබෝවෙකු සමග.




























Pleasure-bots ලෙස විද්‍යාර්ථීන් හඳුන්වන මේ රොබෝ ලිංගික සහකරුවන්/සහකාරිය නිෂ්පාදන කර්මාණ්තය ඉතා ඉක්මණින් ඩොලර් බිලියන ගණනක කර්මාණ්තයක් වනු ඇතැයි පැවසෙනවා. එමෙන්ම ඉතා නුදුරේදීම ඉතාමත් තාත්වික ලෙස මානවරූපී හැසිරීම් පෙන්වීමේ හැකියාවන් ලබාගන්නා මේ ප්ලෙෂර් බොට් සෙක්ස් රොබෝවන් සිය සහකරුවන් / සහකාරියන් ලෙස තෝරා ගැනීමට බොහෝ පුද්ගලයින් පෙළබිය හැකි බවත් ඒ අනුව මානව සබඳතා දැඩි ලෙස පලුදුවිය හැකි බවටත් විචාරකයින් හා පර්යේෂකයින් බිය පලකරනවා.


තම තමාට කැමති ආකාරයකට, කැමති රුවකින්, පෞරුෂත්වයකින් හා හැසිරීම රටාවකින් සෙක්ස් බොට් කෙනෙකු නිර්මාණය කරගැනීමට හැකිවන නිසාත්, මිනිස් සහකරුවන්/සහකාරියන් අකමැති ඕනෑම ලිංගික හැසිරීමක් සිදුකිරීමට හෝ ආශාවක් තෘප්තිමත් කිරීමට ඇති හැකියාවත්, මිනිස් පෙම්වතුන්/පෙම්වතියන් බලාපොරොත්තුවන වෙනත් සමාජ හා පෞද්ගලික අවශ්‍යතා නොමැති නිසාත් ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් මිනිස් පෙම්වතුන්ට පෙම්වතියන්ට වඩා රොබෝවරුන්ට ප්‍රිය වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

Digisexual Intimacy - මිනිස් සහකරුවන්ට/සහකාරියන්ට වඩා ඩිජිටල් මානවරූපී යන්ත්‍රයක් සමග ලිංගිකව හැසිරීමට කැමතිවීම, එවැනි යන්ත්‍ර නිසා ලිංගික ආශාවන් ජනතවීම ඩිජිසෙක්ෂුවල් ඉන්ටිමසි ලෙස හඳුන්වන අතර හෙටේරෝ සෙක්ෂුවල් (විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය), හෝමෝසෙක්ෂුවල් (සමරිසි ආකර්ෂණය) ආදී ලිංගික ආකර්ෂණ ප්‍රබේධ අතරට ඉතා නොදුරේදීම ඩිජිසෙක්ෂුවල් ආකර්ෂණයද එකතුවනු ඇතැයි සමාජ විද්‍යාඥයින් අනාවැකි පලකරනවා. 

බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අතර මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකදී, සිය රුචි අරුචිකම් හෙලිකල කාන්තාවන් අතරින් 30%ක් රොබෝ සහකරුවෙකු සමග ලිංගිකව හැසිරීමට කැමැත්ත දක්වා තිබෙනවා. දැනටමත් දකුණු කොරියාවේ, ජපානයේ හා ස්පාඤ්ඤයේ සෙක්ස් ඩෝල් රොබෝවරියන් පමණක් සිටින ගණිකා නිවාස ඇතිවී තිබෙනවා. නුදුරේදීම බ්‍රිතාන්‍යයේද එවැනි ගණිකා නිවාසයක් ඇරඹීමේ සූදානමක් තිබෙන බවයි වාර්තාවන්නේ. 

නුදුරු අනාගතයේදී වෙනත් බොහෝ රැකියාවන් මෙන්ම ලෝකයේ පැරණිම රැකියාවද රොබෝවරුන් උදුරාගනු ඇති. ආරක්ෂාව, සිතැඟි ලෙස ආශාවන් තෘප්තිමත් කරගැනීම මෙන්ම මුදලට කාන්තාවක් හා එක්වීමේදී ඇතිවන මානසික වද්‍යතාව (guilt) සිත්පිත් නැති යන්ත්‍රයක් සමග එක්වීමේදී ඇති නොවීමද මෙයට හේතුව වන්නට පුලුවන්.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Saturday, 25 November 2017

MILITARY AIRCRAFT : J-31 Gyrfalcon


J-31 ගර්ෆැල්කන්, චීනයෙන් එලිබසින අලුත්ම ස්ටෙල්ත් ප්‍රහාරක යානාවයි. චීනයේ පලමු ස්ටෙල්ත් යානය වන චෙන්ග්ඩු J-20 යානයට වඩා කුඩා වන මෙය 5වැනි පරම්පරාවේ තාක්ෂණයෙන් ගෙන් යුතු යානාවක් බවයි පැවසෙන්නේ. ෂෙන්යැන්ග් ගුවන්යානා නිෂ්පාදන සමාගම නිර්මාණය කර ඇති මෙය දැන් අවසන් පරීක්ෂණ පියාසැරිවල නිරතවන අතර 2018-2019 වර්ෂවලදී චීන ගුවන් හමුදාවට හා නවික හමුදා ගුවන් ඒකකවලට අනුයුක්ත වනු ඇති.

L Band හා Ku Band සංඛ්‍යාතවල රේඩාර් වලින් සැඟව යාහැකි J-31 යානයේ ස්ටෙල්ත් හැකියාවන් එය නිර්මාණය කර ඇති ආකාරය හා යානයට ආලේපකරන රේඩාර් අවශෝෂක තීන්තවලින් ලැබෙන බවට අනුමාන කරනවා.

ඇමරිකන් ගුවන් හා නාවුක හමුදාවල F-15 Eagle, F-16 Fighting Falcon, හා F/A-18E/F Super Hornet යානාවලට සමාන ප්‍රහාරක හැකියාවන් ඇති මෙය ආසියාවේ අවි තරඟයකට මුළපුරනු ඇති බවට විචාරකයින් බිය පලකරනවා.

  • Crew: one (pilot)
  • Length: 17.3 m (56 ft 9 in) 
  • Wingspan: 11.5 m (37 ft 9 in)
  • Height: 4.8 m (15 ft 9 in)
  • Wing area: 40 m2 (430 sq ft) 
  • Max takeoff weight: 28,000 kg (61,729 lb) 
  • Powerplant: 2 × RD-93 afterburning turbofans, 85 kN (19,000 lbf) thrust each
  • Powerplant: 2 × WS-13 afterburning turbofans (projected upgrade)
  • Maximum speed: 2,200 km/h (1,367 mph; 1,188 kn)
  • Maximum speed: Mach 1.8
  • Combat range: 1,250 km (777 mi; 675 nmi) on internal fuel, or 2,000 kilometres (1,200 mi) with external tanks

Missiles:
Air-to-air missiles: - 12 x medium-range
Air-to-ground missiles - 8 x supersonic

Bombs
8 × 500 kg deep-penetration bombs
30 x smaller bombs




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Friday, 24 November 2017

BREAKING NEWS : අතුරුදහන්වූ ආජටිනා සබ්මැරීනය පුපුරා ගිහින්??



පසුගිය 15වැනිදා අතුරුදහන්වූ ආජන්ටිනා සබ්මැරීනයෙන් පණිවුඩ ඇණහිටීමෙන් පසු ඒ ප්‍රදේශයේ මුහුද යටින් ඇසුනු ශබ්දය පිපුරුම් ශබ්දයක් විය හැකි බව දැන් ආජන්ටිනා නාවික හමුදාව පවසනවා. මේ ශබ්දය ඇමරිකන් නාවික හමුදාවේ මුහුදු නිරීක්ෂණ සංවේදක හා ජාත්‍යන්තර න්‍යෂ්ඨික පර්යේෂණ නිරීක්ෂණ ආයතනයක සංවේදකවලට හසුවී තිබෙනවා.

කලින් ලැබුණු වාර්තාවල මේ ශබ්දය ස්වාභාවික හේතූන් මට ඇතිවූවක් බවට විශ්වාස කෙරුනත් එය වඩාත් සූක්ෂම විශ්ලේෂණය කිරීමේදී පිපිරුම් ශබ්දයක් විය හැකි බවට ඇති අනුමානය වැඩිවී තියෙනවා. සබ්මැරීනය අතුරුදහන්වීමට පෙර ලැබුණු පණිවුඩ වල සබ්මැරීනයේ බැටරිවල දෝශයක් ඇති බවට  නාවිකයින් වාර්තාකොට තිබූ බවයි පැවසෙන්නේ.

මේ ශබ්දය, සබ්මැරීනය අවසන්වරට සන්නිවේදනය කල ස්ථානීය දත්ත ලැබුණු ප්‍රදේශයට සැතපුම් 30 පමණ ඈතින් ඇසුනු බවයි වාර්තා වෙන්නේ. 1985දී දියත්කල මේ යාත්‍රාව 2014 වසරේදී ඩොලර් මිලියන 12ක් වියදමකින් පූර්ණලෙස අලුත්වැඩියා කල බවයි ආජන්ටීනියානු නාවික හමුදාව පවසන්නේ.



ලොව පුරා න්‍යෂ්ඨික පිපුරුම් නිරීක්ෂණයට සවිකල සංවේදක ජාලයකට හිමිකම් කියන, ඔස්ට්‍රියාවේ, වියෙනා නුවර මූලස්ථානය කරගත්  The Comprehensive Nuclear-Test-Ban Treaty Organization ආයතනයේ සංවේදක වලට මේ අත්භූත පිපුරුම් ශබ්දය හසුවුනේ නොවැම්බර් 15 වැනිදා ග්‍රිනිච් වේලාවෙන් පාන්දර 1.15ට පමණ. මීටර් 300ක් ගැඹුරින් යාත්‍රා කිරීමට තනා ඇති මෙම යාත්‍රාවේ එන්ජින් හා වෙනත් යන්ත්‍ර අක්‍රියවීම නිසා එය සාගර පතුලට කිඳා බසින්නට පටන්ගත්තා නම්, අධික ජල පීඩනය නිසා තදින් තෙරපන ලද හිස් බියර් කෑන් එකක් මෙන් හැකිලී යන්නට (implode) ඉඩ ඇති බවත් මෙය සංවේදක වලට පිපුරුම් ශබ්දයක් මෙන් ඇසිය හැකි බවත් ඇමරිකන් නාවික හමුදාව පවසනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

BUSINESS : ලංකාවටත් බෝකරන්න හදන Black Friday ෂොපිං මේනියාව

ලංකාවේ daraz.lk ඊ-කොමර්ස් වෙළඳ අඩවිය බ්ලැක් ෆ්‍රයිඩේ ඩිස්කවුන්ට් ගැන ඔවුන්ගේ අඩවියේ දාලා තියෙන බැනර් ඇඩ් එක.

සමහර විට ඔබ බ්ලැක් ෆ්‍රයිඩේ ගැන අහලා නැතුව ඇති. බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ තෑන්ක්ස්ගිවින් නිවාඩුව එන බ්‍රහස්පතින්දාට පස්සේ එන සිකුරාදා. මේකත් තෑන්ක්ස්ගිවින් වගේම ඇමරිකන් සංකල්පයක්. හැබැයි තෑන්ක්ස්ගිවින් වගේ නෙමෙයි බ්ලැක්ෆ්‍රයිඩේ ඇමරිකාවට වගේම බ්‍රිතාන්‍යය, කැනඩාව, යුරෝපය හා ඔස්ට්‍රේලියාවටත් වැදගත් දවසක්.

බ්ලැක්ෆ්‍රයිඩේ තමයි නත්තල් හා අලුත් අවුරුදු සාප්පුසවාරි සීසන් එක නිළ වශයෙන් පටන් ගන්න දවස. එදාට අතිවිශාල ලෙස ඩිස්කවුන්ට් හා වෙනත් උත්තේජක ලබාදීලා නිවාඩුවේ ගෙදර ඉන්න අය සාප්පුවලට ඇදලා ගන්න වෙළඳ සමාගම් උත්සහ කරනවා.

බ්ලැක්ෆ්‍රයිඩේ වෙළඳ ප්‍රචාරක සංකල්පය ආරම්භවුනේ ඇමරිකාවෙන්. ඒ 1952 අවුරුද්දේ ඉඳලා. මෙදාට සාප්පු සංකීර්ණ උදෙන්ම විවෘත කරනවා.Target, Kohl's, Macy's, Best Buy, Bealls වගේ සමහර සාප්පු පාන්දර 12 ඉඳන් ඇරලා සාප්පු සවාරි යන්නන් පිලිගන්නවා. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල රජයේ කාර්යාල හා පාසැල් තෑන්ක්ස්ගිවින් නිවාඩුව සිකුරාදටත් දෙනවා. එතකොට දවස් 4ක දිග සතිඅන්තයක් ලැබෙන නිසා හිතේ හැටියට සාප්පු යන්න ඇමරිකන් ජනයාට ඉඩ ලැබෙනවා. 50%ක් තරම් ඩිස්කවුන්ට් ලැබන නිසා බොහෝ දෙනෙක් අලුත් අවුරුද්දට, නත්තලට බඩු ගන්නට බ්ලැක්ෆ්‍රයිඩේ වෙනකන් බලාගෙන ඉන්නවා.

බ්ලැක්ෆ්‍රයිඩේ සේල් එකක සුපිරි ඩිස්කවුන්ට් දීලා තිබුණු 40" ටෙලිවිෂන් මිළදීගන්න පොරකන ඇමරිකන් පාරිභෝගිකයින්.
දැන් දැන් වොල්මාර්ට් වගේ සුපිරි වෙළඳසැල් ජාල තෑන්ක්ස්ගිවින් නිවාඩු දවසේ හවස 5 වෙනකොට විවෘත කරන්න පුරුදුවෙලා. ඒවා සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා වරුවක් දිගටම විවෘතකරලා තියෙනවා. එක්කෙනෙක් කරනකොට තරඟකාරීන් කොපිකරන නිසා ඒ පුරුද්ද දැන් ඇමරිකාව පුරා පැතිරෙමින් තියෙනවා.

2017 බ්ලැක්ෆ්‍රයිඩේ මහා සේල් එක බ්‍රිතාන්‍යයේ සමාගම් වලටත් බොහොම වැදගත් බවට වාර්තා වෙනවා. ඇමසන්.කොම් මගින් ලැබෙන ප්‍රභල තරඟයට මුහුණ දෙන්න මේ අවුරුද්දේ බොහෝ බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම 40%ක් 50%ක් තරම් වට්ටම් තෝරාගත් භාණ්ඩ සඳහා දෙන්න තීරණය කරලා.

මේ බ්ලැක්ෆ්‍රයිඩේ සෙල් තියෙන සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දිනවල පවුම් බිලියන 8ක ආදායමක් තියෙයි කියලා බ්‍රිතාන්‍ය සමාගම් බලාපොරොත්තු වෙනවා.

බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත "2017 බ්‍රිතාන්‍ය බ්ලැක්ෆ්‍රයිඩේ" ගැන දාපු මුල් පිටුවේ සිරස්තලය.
බ්‍රිතාන්‍යයේ සමාගම් 2017 බ්ලැක්ෆ්‍රයිඩේ වෙනුවෙන් දීලා තියෙන වට්ටම් වලින් සමහරක්.
බ්ලැක්ෆ්‍රයිඩේ කියන යෙදුම ඇමරිකාවේ ෆිලඩෙල්පියා ප්‍රාන්තයෙන් බිහිවුනා කියලයි කියන්නේ. තෑන්ක්ස්ගිවින් සැමරුමෙන් පස්සේ දහස් ගණන් ජනයා නිවාඩුවේ සාප්පු යන නිසා පාරවල් මගීන්ගෙන් හා වාහනවලින් පිරිලා ඉතිරිලා යනවා. ඒ නිසා අණතුරු හා සන්ඩුසරුවල් ඇතිවීම වැඩිවෙනවා. බොහොමයක් රන්ඩු පාකින් තැන් අල්ලගන්න ගිහින් ඇතිවෙන ඒවා. සමහර වෙලාවට සාප්පු ඇතුලෙත් දැඩි ඉල්ලුමක් ඇති විශාල ඩිස්කවුන්ට් භාණ්ඩ බෙදාගන්න ගිහිල්ලා කෙහෙවලු පැටලෙනවා. ඒ නිසා මුලින්ම බ්ලැක් ෆ්‍රයිඩේ යෙදුම කරදරකාරී සිකුරාදාව හෙවත් බ්ලැක්ෆ්‍රයිඩේ ලෙස ෆිලඩෙපියාවේ පොලිස් හා හදිසි සේවා අංශ හැඳින්වුවා කියලයි කියන්නේ.

මේ සෘණාත්මක ප්‍රතිරූපය ධනාත්මක කලේ ඇමරිකන් වෙළඳ සමාගම්. ඔවුන් කරදරකාරී නිසා කළු සිකුරාදා ලෙස හඳුන්වපු මේ සිකුරාදාව ලාභ ලැබිය හැකි සිකුරාදා ලෙස අර්ථදක්වන්න පටන්ගත්තා. සමාගම් වල වාර්ශික ගිණුම් වාර්තා "බ්ලැක්"  ලෙස හඳුන්වන්නේ ඒවා ලාභ ලබනවානම්. පාඩුනම් ගිණුම් "රෙඩ්" ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස "the firm is in the red" කියන්නේ සමාගම පාඩුලබනවා කියන එක. ඒ අනුව සමාගම්වලට ලාභ ලැබිය හැකි සිකුරාදා හා පාරිභෝගිකයින්ට වාසි වෙන සිකුරාදා බ්ලැක්ෆ්‍රයිඩේ වුනා.



ලංකාවෙත් දැන් දැන් බ්ලැක් ෆ්‍රයිඩේ ඩිස්කවුන්ට් ගැන අහන්න ලැබෙනවා. ඉස්සෙල්ලම බ්ලැක්ෆ්‍රයිඩේ ගැන කතාවුනේ 2016 අවුරුද්දේ. ඩේලි.එෆ්.ටී පුවත්පත ලංකාවේ බ්ලැක්ෆ්‍රයිඩේ සූදානම ගැන වාර්තාවක් ඉදිරිපත්කලේ ඒ අවුරුද්දේ. මේ වෑයමේ පෙරමුණේ ඉන්නේ ඔන්ලයින් ශොපින් සමාගම්.

සිංගර්, සොෆ්ට්ලොජික් වගේ රටපුරා වෙළඳ ජාල තියෙන සමාගම් පවා දෙසැම්බර් පලමුවන සතියේ ඉඳන් පටන්න ගන්න නත්තල් සැරසිලි හා ඩිස්කවුන්ට් දැන් දැන් බ්ලැක්ෆ්‍රයිඩේ හා සමපාතව පටන්  අරගෙන බව පේනවා. එත් තාමත් බ්ලැක්ෆ්‍රයිඩේ සංකල්පය මුල්බැහැගෙන නෑ වගේ පේන්නේ.

ලංකාවේ සොෆ්ට්ලොජික් සමාගමේ mysoftlogic.lk ඊකොමර්ස් අඩවිය හා WOW ඊකොමර්ස් අඩවිය බ්ලැක්ෆ්‍රයිඩේ වලට ලොකු ලොකු ඩිස්කවුන්ට් දාලා තියෙන බව පේනවා. හැබැයි ඔවුන්ගේ තරඟකාරීන් වෙන mydeal.lk, singersl.com  වගේ ඊකොමර්ස් අඩ්වි බ්ලැක් ෆ්‍රයිඩේ ප්‍රවර්ධන වැඩසටහන් ඉදිරිපත්කරලා නෑ.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...