Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 16 April 2011

Sauropods : The World's largest Dinosaurs


ඩයිනසෝරයින් යන නම ඇසෙනවිට අප මතකයට නැගෙන්නේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ "ජුරාසික් පාක්" චිත්‍රපටයේ දුශ්ඨයාගේ භූමිකාව ඉදිරිපත් කරන භයංකාර ටයිරැනසෝර්-රෙක්ස් ඩයිනසෝරයායි. ටයිරැනසෝර්-රෙක්ස් දැවැන්තයෙකු වූවත් ඊටත් වඩා දැවැන්ත, ටයිරැනසෝරයන් පවා මගහැර යන්නට ඇති යෝධ ඩයිනසෝරයින් ගණයක් මෙසෝසොයික යුගයේ සිට ජුරාසික් යුගය වනතෙක් වසර මිලියන 140ක් ලොව රජකලා. ඒ "සෝරොපොඩ්" (sauropod) ගණයට අයත් ඩයිනසෝරයින්.

සෝරෝපොඩ් යන්නෙහි තේරුම "උරග පාද ඇත්තා" යන්නයි. අමෙරිකානු පාෂාණීය ධාතු විද්‍යාව පිලිබඳ විද්‍යාඥයෙකු (paleontologist) වුනු ඔත්නීල් චාර්ල්ස් මාර්ශ් නැමැත්තා 1878දී මේ ඩයිනසෝර වර්ගයේ පාශාණිභූත වුනු ඇටකටු සොයාගෙන  ඔහුට නිරීක්ශණය වුනු ලක්ශණ අනුව මේ නාමකරණය සිදුකලා. ශාක භක්ශකයින් වුනු සෝරොපොඩයින් ඉතා දිගු බෙල්ලක් ඇති සිවුපාවුන් වන අතර ලෝව මෙතෙක් පහල වුනු දැවැන්තම සත්වයින් අතරට සෝරපෝඩයින් ඇතුලත් වෙනවා. ජිරාෆ් සත්වයින්ට වඩා බෙල්ල දිගුවූ සෝරොපොඩයින්හට ඉතා දිගු වලගයක්ද තිබුණා. සෝරෝපොඩයින් අතරින් විශාලතමයා ආජන්ටිනෝසෝරස් නම් දැවැන්තයායි.
ආජන්ටිනෝසෝරස් හා සෝරෝපොඩ් පවුලේ අනෙක් දැවැන්ත සාමාජිකයින්
ආජන්ටිනෝසෝරස්
ආජන්ටිනෝසෝරස්
මධ්‍යම ක්‍රිටෑසියස් යුගයේ එනම් වසර මිලියන් 85කට පෙර දැන් ආජන්ටිනාව ලෙස හඳුන්වන ප්‍රදේශයේ ආජන්ටිනෝසෝරස් ජීවත්වී ඇත. ආජන්ටොනෝසෝරසයාගේ ෆොසිල මුල්වරට සොයාගනු ලැබුවේ 1993දී ගුලිලර්මෝ හෙරෙඩියා නම් ගවේශකයා විසිනි. ක්‍රිටෑසියස් යුගය ලෙස හඳුන්වන ප්‍රාග් ඓතිහාසික යුගයේ මධ්‍යකාලයේ මේ සත්වයා ජීවත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රිටෑසියස් යුගය යනු මීට වසර මිලියන 145කට පෙර ඇරඹී වසර මිලියන 65කට පෙර අවසන් වුනු ඩයිනෝසරයන් පෘථිවියේ ආධිපත්‍යය මෙහෙයවූ කාලයයි. දිගින් මීටර් 60ක් පමණත් බරින් ටොන් 120-130ක් පමනත් වන මේ දැවැන්තයා මීට වසර මිලියන 85කට පමණ පෙර ඈත අතීතයේ පොලොව වෙවුලුම්කවමින් ගමන් කරන්නට ඇත.

බෘහත්කයෝසෝරස්

බෘහත්කයෝසෝරස් යනු දකුණු ඉන්දියාවේ කෙලවරේ ඒ කියන්න්නේ තමිල්නාඩුවේ තිරුචිරප්පලි දිස්ත්‍රික්කයෙන් හමුවුනු ඩයිනසෝරයෙක්. (සිතියම බලන්න).
ක්‍රෙටෑසියස් යුගයේ ජීවත්වුනු බෘත්කායෝසෝරස් ගේ නමෙහි තේරුම විශාල ශරීරයක් ඇත්තා යන්නයි. මොවුන්ද අතිවිශාල සෝරොපොඩ් ගණයට අයත්වුනු අතර ශාක භක්ශකයින් වුනා. බෘත්කායෝසෝරස්ගේ ෆොසිල ඉතා විරල වන අතර විද්‍යාඥයින්හට සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවී නැහැ. මේ නිසා මේ සත්වයාගේ විශාලත්වය ගණනය කිරීම පිලිබඳව විශාල විවාදයක් ෆොසිල විද්‍යාඥයින් අතර ඇතිවී තිබෙනවා. සමහර විද්‍යාඥයින් බෘත්කායෝසෝරස් ආජන්ටිනෝසෝරස්ටත් වඩා විශාල බව පවසන අතර දැනට ඇති පොදු එකඟතාවය වන්නේ බෘත්කායෝසෝරස් දිගින් දෙවැනි විශාලම ඩයිනසෝරයා බවයි. එහෙත් බර අනුව නම් බෘත්කායාසෝරස් බරින් වැඩිම ඩයිනසෝරයා බව පොදු මතයයි.
බෘත්කායෝසෝරස්-සිත්තරෙකුගේ ඇසින්

බෘත්කායෝසෝරස්
ඒ අනුව බෘත්කායාසෝරස් දිගින් මීටර් 40ක් පමණත්, බරින් ටොන් 200ක් පමණත්  වන්නට ඇතැයි සිතනවා. මේ සත්වයාගේ බර කොපමණ විශාලදැයි ඔබට අනුමාණ කරගැනීමට අවශ්‍යනම් දැනට ලොව ජීවත් වන විශාලම සත්වයා වන්නේ අප්‍රිකානු ඇතාය (ආසියානු ඇතුන් ප්‍රමාණයෙන් අප්‍රිකානු ඇතුන්ට වඩා කුඩාය). අප්‍රිකානු ඇතෙකුගේ සාමාන්‍ය බර ටොන් 6කි! ඒඅනුව බෘත්කායෝසෝරස් අප්‍රිකානු ඇතුන් 33දෙනෙකුගේ  බරට සමානය!

ඩිප්ලොඩෝකස් හැලෝරම් (සයිසිමෝසෝරස්)

ඩිප්ලෝඩෝකස් හැලෝරම් හෙවත් සයිසිමෝසෝරස් මීට අවුරුදු මිලියන 150කට පෙර ජුරාසික යුගයේ අවසානයේ (එනම් ක්‍රෙටෑසියස් යුගයේ ආරම්භයට පෙර ) උතුරු අමෙරිකාවේ බටහිර ප්‍රදේශ එනම් අමෙරිකා එකසත් ජනපදයේ කොළරාඩෝ, වයෝමිං, මොන්ටානා, යූටා වැනි ප්‍රදේශ වලින් ෆොසිල හමුවුනු ඩයිනසෝරයෙකි. සොරෝපොඩ් ගණයට අයත් සත්වයෙකු ලෙස සැලකෙන මොහුද සොරෝපොඩ් පවුලේ තවත් දැවැන්ත සාමාජිකයෙකි.ඩිප්ලෝඩෝකස් වර්ග ගණනාවක් උතුරමෙරිකාවෙන් හුමුවී ඇති අතර මොවුන් අතරඉන් විශාලතමයා ඩිප්ලෝඩෝකස් හැලෝරම් වේ.

මේ සත්වයාගේ ෆොසිල 1877දී මුල්වරට සොයාගන්නා ලද අතර එකල සොයා ගැනුනු දැවැන්තම ඩයිනසෝරයා මොහු බැවින් සයිසෙමෝසෝරස් හෙවත් පොලොව සොලවමින් ගමන්කරන්නා ලෙස නම් තබන ලදී. පසුකාලිනව මොහුටත් වඩා විශාල මෙන්ම බරින් වැඩි ඩයිනසෝරයින් සොයාගත් බැවින් දැන් සයිසෙමෝසෝරස් නාමය එතරම් භාවිතා නොවේ.
ඩිප්ලෝඩෝකස් හැලෝරම් හෙවත් සයිසිමෝසෝරස්
දිගු බෙල්ලක්, ඉතා දිගු කසයක් වැනි වලගයකින්ද, කුඩා හිසකින්ද සමන්විත වුනු ඩිප්ලෝඩෝකස්ගේ ඉදිරිපස පාද පසුපස පාදවලට වඩා කොට වු බැවින් මොහු සිය බෙල්ල පොලවට සමාන්තරව තබාගෙන ගමන්කරන්නට ඇතිබවට අනුමාන කෙරේ. ටොන් 30ක් පමණ බරවූ මේ සත්වයාගේ දිග අඩි මීටර් 40-50ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරෙන් අතර උස මීටර් 5-6ත් අතර වන්නට ඇතැයි සැලකේ. අනෙක් සෝරොපොඩයන් මෙන්ම ශාක භක්ශකයින් වුනු ඩිප්ලෝඩෝකස් සිය සෝරොපොඩ් ඥාතීන් මෙන්ම බිත්තර මගින් පැටවුන් බිහිකර ඇත.

සුපර්සෝරස්

සුපර්සෝරස් යන්නෙහි තේරුම සුපිරි උරගයා යන්නයි. දිගින් හා බරින් එතරම් විශාල නොවුනත් සුපර්සෝරස් සිය බෙල්ල කෙලින් තබාගත්විට ඔහුගේ හිස පිහිටියේ පොලවට අඩි 60ක් ඉහලිනි. එනම් මේ ඩයිනසෝරයාට වැඩුනු පොල් ගසක කරටියට ඉහලින් බැලිය හැකියි! මීටර් 35පමණ දිගට වැඩෙන්නට ඇතැයි සැලකෙන සුපර්සෝරස් ටොන් 35-40 අතර බරින් යුක්තවන්නට ඇතයි සැලකේ. ශාක භක්ශකයෙකු වුනු සුපර්සෝරස් බිත්තර මගින් පැටවුන් බිහිකර ඇති අතර ජුරාසික යුගයේ අවසාන භාගයේ ජීවත්වන්නට ඇත.

සුපර්සෝරස්
සුපර්සෝරසයාගේ විශේෂත්වය නම් ඔවුන්ගේ ෆොසිලීකරණය වුනු බිත්තර වෙනත් ඩයිනසෝරයන්ගේ මෙන් කූඩුතුල නොව එක පෙලට සරල රේඛාවක තැබුවාමෙන් දිස්වීමයි. විද්‍යාඥයින් අනුමාන කරන්නේ සුපර්සෝරසයි ගමනේ යෙදෙමින්ම බිත්තරලන් සත්වකොට්ඨාශයක් බවයි. ඒ අනුව කුඩා සුපර්සෝරස පැටවුන්හට උපතේදීම මවු සෙනෙහසක් නොලැබෙන්නට ඇත.


ෆුවියැංගසෝරස් 

තායිලන්තයෙන් හමුවුනු ෆුවියංගසෝරස් ක්‍රිටෑසියස් යුගයේ ආරම්භයේ එනම් වසර මිලියන 120-130කට පමණ කලින් ජීවත්වී ඇති සෝරෝපොඩ් ගණයට අයත් ඩයිනසෝරයෙකි. අඩි හැත්තෑපහක් පමණ දිග හා ටොන් පනහක් පමණ බරවන්නට ඇති මේ ඩයිනසෝරයා ශාක භක්ශකයෙකි.මෙම සත්වයාට ෆුවියැංගසෝරස් යනුවෙන් නම්තබා ඇත්තේ ඔවුන්ගේ ෆොසිල තායිලන්තයේ ෆු වියෑංග් කඳුකර ප්‍රදේශයෙන් මුල්වරට හමුවුනු නිසාය.

ෆුවියංගසෝරස්
තායිලන්තයේ සිරින්දෝන් කෞතුකාගරයේ ප්‍රදර්ශණයට තබාඇති ෆුවියැංගසෝරස් ෆොසිල

ජිරාෆ්ටයිටන් 

ජිරාෆ්ටයිටන් යනු අප්‍රිකාවෙන් හමුවුනු, ජිරාෆයෙකුගේ මෙන් දිගු මෙන්ම ඝණ මාංශපේෂි වලින් සමන්විතවුනු බෙල්ලක් සහිත ජිරාෆ්ටයිටන් සෝරෝපොඩ් ගණයට අයත් ඩයිනසෝරයෙකි. ජිරාෆ්ටයිටන් කලක් ලොව විශාලතම ඩයිනසෝරයා ලෙස කිරුල හෙබවූවේය.අඩි 80ක් පමණ දිග හා ටොන් 30ක් පමණ බරකින් යුක්ත වන්නට ඇති ජිරාෆ්ටයිටන් ජුරාසික යුගයේ අවසාන භාගයේදී අප්‍රිකානු මහාද්වීපයේ ව්‍යාප්තවී සිට ඇත.






Thursday, 14 April 2011

ඕලන්දයේ විද්‍යාගරයක බිහිවෙන අනාගතයේ ගොවිපොල

හිරු එළිය නොමැතිව රතු-නිළ් ආලෝකයේ වැවෙන මාළුමිරිස් පැළ
අදවන විට ලෝකය උග්‍ර ආහාර අර්බුදයක එලිපත්තට පිවිසෙමින් තිබේ. ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් දැනටමත් මන්දපෝෂණයෙන් පෙලෙන අතර කාළගුණික විපර්යාස හා ස්වභාවික ව්‍යසනයන් නිසා පලදාව අඩුවෙමින් පවතින අතර පෙර නොවූ විරූ ලෙස ආහාරද්‍රව්‍ය වල මිලගණන් ඉහල යමින් පවතී. මේ අතරම ලොව බොහෝ රටවල් නියඟයෙන් පීඩාවිඳින අතර තවත් රටවල්වල නිරන්තර ජලගැලීම් නිසා වගාවන් විනාශවී යයි. අද බිලියන 6.8වන ලෝක ජනගහනය 2050වන විට බිලියන 9 දක්වා ඉහල යාහැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන්බලා තිබේ. මේ වැඩිවන ජනගහනයට, ජලය හිඟ, පලදාව අඩු වගාබිම් වලින් ආහාර සපයන්නේ කෙසේද? වැඩිවන ජනගහනය සඳහා ආහාර සැපයිමට තවතවත් වනාන්තර කපාදමමින් වගාබිම් පුලුල් කළයුතු අතර පරිසරයට විනාශකාරී කෘත්‍රිම පොහොර හා රසායණික වල්නාශක හා කෘමිණාශක භාවිතය ඉහල දැමිය යුතු වෙනවා. ඒ වගේම ජල හිඟය විසඳුමක් නොමැති ගැටලුවක්.ඉතාම නුදුරු අනාගතයේදී ලෝකයේ බොහෝ රටවල්වලට මුහුණපෑමට සිදුවන බරපතල ගැටලුවකි මෙය.

මේ ගැටලුවට පිලියමක් තමන් සොයාගෙන ඇතිබව ඕලන්දයේ පෞද්ගලික පර්යේශණ ආයතනයක් වන ප්ලාන්ට්ලැබ් ආයතනය පවසයි.

"අප ජීවත් වන ලෝකය ආරක්ශාකර ගැනීමටත්, වැඩිවන ජනගහනයට සෑහෙන ලෙස ආහාර නිශ්පාදනය කරගැනීමටත් අපට අපගේ වගාක්‍රම වෙනස්කරගන්නට වෙනවා..."ප්ලාන්ට් ලැබ් ආයතනයේ ප්‍රධාන පර්යේශකයෙකු වන ගර්ට්ජන් මීවුස් පවසයි.

ගර්ට්ජන් හා තවත් ඕලන්ද ජීව ඉන්ජිනේරුවන් දෙදෙනෙකු අප සැම අසා ඇති "ග්‍රීන් හවුස්" නම් වගා සංකල්පය තවත් එක් පියවරක් ඉදිරියට ගෙනගොස් තිබෙනවා. ඔවුන්ගේ විද්‍යාගාරය තුල සාමාන්‍ය සූර්යාලෝකයද නොමැතිව සරුසාරව වැවෙන වගාබිමක් නිර්මාණය වී තිබෙනවා.

Plant Lab ගෘහස්ථ පැල තවානක්
 මේ වගාබිම ආලෝකමත් වන්නේ ඉතා කාර්යක්ශම LED විදුලි බුබුලුවලින්. LED විදුලිබුබුලක් පැය 50,000ක් එනම් නොකඩවා වසර 5ක් එකදිගට දැල්විය හැකිවන අතර CFL බල්බවලට වඩා බලශක්තිය ඉතිරිකරනවා. එමෙන්ම මෙම විදුලිබුබුලු වලින් නිකුත්වන්නේ සාමාන්‍ය සුදු ආලෝකය නොව පැලෑටි වර්ධනය සඳහා අවශ්‍ය රතු හා නිල් ආලෝකය පමනයි. රතු හා නිල් ආලෝකය පමණක් නිකුත්කරන LED බල්බ සුදු ආලෝකය නිකුත් කරන LED බල්බ වලටත් වඩා බලශක්තිය ඉතුරු කරනවා.

"ඇත්තටම පැලෑටි වැවීමට හිරු එලිය අවශ්‍ය නෑ. පැලෑටි වැවීමට අවශ්‍යවන්නේ නිල් හා රතු තරංග ආයාම වල ආලෝකය පමණයි. ඒ විතරක් නොවෙයි සූර්‍යාලෝකය වැඩිපුර ලැබීම පැලෑටිවල වර්ධනය බාල කරනවා. අපේ ගෘහස්ථ ගොවිපොලේ ආලෝකය ලබාදෙන්නේ පැලෑටි වලට අවශ්‍ය නියම ප්‍රමාණයට පමනයි..' ප්ලාන්ට් ලැබ් ප්‍රධාන ජීව ඉන්ජිනේරු ගර්ට්ජන් මිවුස් පවසනවා.

ජීව ඉංජිනේරු ගර්ජන්ට් මීවුස්
ප්ලාන්ට් ලැබ් විද්‍යාගාරයේ එක් ගෘහස්ථ වගාබිමක මාළුමිරිස්, ස්ට්‍රෝබෙරි හා කෙසෙල් ගස් නිල් හා රතු ආලෝකයෙන් නැහැවෙමින් සරුසාරව වැඩී ඇති අතර පලෑටි වවා ඇති තැටිවලට ඉතා ක්‍රමාණුකූලව හෙමින් ජලය කාන්දුවීමට සකස්කොට තිබෙනවා. මෙහි උශ්ණත්වය සෑම විටම නොවෙනස්ව පවතින ලෙස පරිගණකයක් මගින් පාලනය කරන අතර දිවා රාත්‍රී චක්‍රය ඇඟවීම සඳහා පැය 10-12 අතර කාළයක් බල්බ නිවී පැලෑටි අඳුරේ තැබෙනවා.

ජලය, නිල්/රතු ආලෝකය හා උශ්ණත්වය නියමාකාරයට පාළණය කලවිට බෝග වර්ග ඉතාම කාර්යක්ශම ලෙස වැවෙනවා. මේ නිසා පැලෑටිවලට මල්, ගෙඩි, කරල් හා අල වැනි මිනිසාට ප්‍රයෝජනවත් කොටස් වර්ධනය කිරීම ඉක්මණට කරන්නට පුලුවන් හරියටම බ්‍රොයිලර් කුකුල් ගොවිපොලවල් වල නියමාකාරයට කළමණාකරණය කල බ්‍රොයිලර් කුකුලන් දින 45 ඇතුලත නියම බරට වැඩෙනවා වගේ. දැනට ගොවීන් බෝග වගාකරන ක්‍රම ඉස්සර බ්‍රොයිලර් ක්‍රමය ප්‍රචලිතවීමට පෙර කුකුලන් ඇති කිරීම වගේ. පැලෑටි වල ශක්තිය නිරපරාදේ පරිසරයට ඔරොත්තු දෙන්නට වැයවී ප්‍රයෝජනවත් අල, කරල්, ගෙඩි නිශ්පාදනය අඩුවෙනවා. ගෘහස්ථවගාබිම් වල මේ සියලු සාධක හොඳින් පාලණය වන නිසා පැලෑටි කාර්යක්ශමව වැඩී පළදාව ඉක්මණින් ලැබෙනවා.

ප්ලාන්ට් ලැබ් ගෘහස්ථ වගාබිම්වල බෝග සඳහා ජලය ඉතා අඩුවෙන් වැය වෙනවා. සාමාන්‍යයෙන් බෝගයක් සඳහා අවශ්‍යකරන ජල ප්‍රමාණයට වඩා 75% අඩු ජලප්‍රමාණයකින් ඔවුන් වැඩි පලදාවක් ලබාගෙන තිබෙනවා.උදාහරණයක් විධියට ඉතා හොඳින් ජල කළමණාකරණයක් තිබෙන ඊශ්‍රායලයේ වගාබිමක තක්කාලි කිලෝවක් වැවීම සඳහා ලීටර් 60ක පමණ ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහෙත් ප්ලාන්ට් ලැබ් වගාබිමේ තක්කාලි කිලෝවක පලදාවක් ලබාගැනීමට වැය වන්නේ ලීටර් 15ක් පමණයි.

Friday, 8 April 2011

Strategic Rocket Forces : රුසියානු ෆෙඩරේෂණයේ උපායමාර්ගික රොකට් බලකාය

උපායමාර්ගික රොකට් බලකායේ 50වැනි සංවස්තරය වෙනුවෙන් නිකුත්කල සමරු මුද්දරය.

උපායමාර්ගික රොකට් බලකායේ ආරම්භය

රුසියානු උපායමාර්ගික රොකට් බලකාය රුසියානු ෆෙඩරේශණයට අයත් න්‍යශ්ඨික බෝම්බ ගෙනයා හැකි  අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (Inter Continental Ballistic Missile - ICBM) මෙහෙයවීම භාරව තිබෙන බලකායයි. සෝවියට් දේශය රොකට්ටු බලකාය ආරම්භ වුනේ රොකට් ප්‍රචාලනය පිලිබඳව අධ්‍යයනය කිරීමටත්, එය අවියක් ලෙස යොදාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහාත් රෙජිමේන්තුවක් අනුයුක්ත කිරීමෙනි. ඒ 1946 වසරේ ජූලි මාසයේදීයි. මේ බලකාය 92වැනි විශේෂ බ්‍රිගේඩය ලෙස නම් කෙරුණා.

1947 ඔක්තෝම්බර් මාසයේදී මෙම නව බ්‍රිගේඩය නාසි ජර්මනියෙන් අල්වාගත් V-2 රොකට් සැලසුම් වලට අනුව සෝවියට් දේශය තුලදී නිශ්පාදනය කෙරුනු රොකට්ටුවක් මුල්වරට සාර්ථකව අත්හදා බැලූ අතර එය R-1 ලෙස නම් කොට තිබුණා. එය සොවියට් උපායමාර්ගික රොකට් බලකායේ පලමු රොකට් ගුවන් ගත කිරීමයි. මේ ගුවන්ගත කිරීම සිදුවුනේ කසාක්ස්ථානයට නුදුරින් පිහිටි කපුස්ටින් යාර් (Kapustin Yar) නම් ප්‍රදේශයේදීය. සෝවියට් රොකට් හා මිසයිල පර්යේශණ වැඩිවශයෙන් සිදුවුනේ කපුස්ටින් යාර් ප්‍රදේශයේ වන අතර එය 1950 ගණන් වනවිට අතිශය රහසිගත රොකට් හා මිසයිල අත්හදා බැලීමේ  සංකීර්ණයක් බවට පරිවර්තනය වී තිබුණා. 1952 වසරේදී R-2 බැලිස්ටික් මිසයිලයේ අත්හදා බැලීම් කටයුතු ආරම්භවී තිබුණු අතර එන්ම අත්හදා බැලීම්ද කපුස්ටින් යාර් සංකීර්ණයේදී සිදුවුනා. 

1959 වනවිට සෝවියට් රොකට් විද්‍යාඥයින් කිලෝමීටර් 1000කට වඩා ඈතට අධිබල පිපුරුම් ඒකකයක් (explosive warhead) රැගෙනයා හැකි අන්තර් මහදිවීපික වර්ගයේ මිසයිල ගණනාවක් නිර්මාණය කොට තිබුණු අතර 1959 වසරේ දෙසැම්බර් 17වැනිදා නිළවශයෙන් උපායමාර්ගික සෝවියට් රොකට්ටු බලකාය බිහිවුනා. මේ බලකායේ මෙහෙයුම් විධානය වූයේ සතුරු රටවල්වල න්‍යෂ්ඨික අවි ගබඩා හා නිශ්පාදන සංකීර්ණ, යුධ කඳවුරු හා යුධමය වශයෙන් වැදගත් වන යටිතල පහසුක විනාශකිරිම හා සතුරු රටවල්වල කාර්මික සංකීර්ණ අඩපන කිරීමයි. මේ අරමුණු මුදුන් පමුණුවාගැනීම සඳහා කිලෝමීටර් 1000කට වඩා ඈතට පියාසර කරවිය හැකි සියලුම රොකට් හා මිසයිල අවි වල පාලනය උපායමාර්ගික රොකට්ටු බලකායට පැවරුනා.

කපුස්ටින් යාර් රොකට්  පර්යේශ අංගනය - සෝවියට් බැලිටික් මිසයිල හා රොකට් තාක්ශණ තිඹිරිගෙය 



කපුස්ටින් යාර් මිසයිල පර්යේශණ මධ්‍යස්ථානය 1951 වන විට දහස් ගණනක් විද්‍යාඥයින් සේවය කරන ස්ථානයක් බවට පත්වුනු අතර මේ විද්‍යාඥයින්ට හා ඔවුන්ගේ පවුල් වලට වාසය කිරීම සඳහා අංග සම්පූර්ණ නගරයක් ඉදිකෙරුණා. කපුස්ටින් යාර් පර්යේශණ මධ්‍යස්ථානය අසල ඉදිකෙරුණු මේ නගරය ස්නැමෙන්ස්ක් (Znamensk) ලෙස හැඳින්වුනු අතර මෙහි රහසිගත පර්යේශණ සිදුවුනු නිසා නිළ සෝවියට් සිතියම්වල මේ නගරය සළකුණු කොට තිබුණේ නැතුවා පමණක් නොව සෝවියට් පුරවැසියන්ට පවා මෙම නගරය තහනම් කළාපයක් වුනා.

 R-7 සෙමියොර්කා - ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය

1957දී නිපැදවුනු R-7 රොකට්ටුව සෝවියට් රොකට් තාක්ශණයේ නව විප්ලවයක් ඇතිකලා. සෝවයට් දේශය නිපදවූ ප්‍රථම අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලය මෙයවන අතර එය උපායමාර්ගික රොකට්ටු බලකායට අනුයුක්ත කෙරුනා. 
මිසයිලයක් ලෙස ඉතා බලසම්පන්න වුවත් R-7 රොකට්ටුවේ ස්වර්ණමය යුගය ඇරඹුනේ මිසයිලයක් ලෙස නොව අභ්‍යවකාශයට චන්ද්‍රිකා හා මිනිසුන් ගෙනයන ප්‍රවාහන රොකට්ටුවක් ලෙස එය අනුවර්තනය කර ගැනීමෙනුයි. ස්පුට්නික් 1 චන්ද්‍රිකාව උඩුගුවනට ගෙනගියේත්, ගගාරින් උඩුගුවනට ගෙනගියේත් අනුවර්තනය කරනු ලැබූ R-7 රොකට්ටු වලින්.
අභ්‍යවකාශ ගමන්වලට යොදාගත් R-7 රොකට් මාදිලි | ගගාරින් අභ්‍යවකාශ ගතවුනේ වොස්ටොක් ලෙස හැඳින්වුනු 1960දී නිර්මිත R-7 අනුවර්තනය මගිනුයි.


සෝවියට් / රුසියානු බැලිස්ටික් මිසයිල පෙරෙට්ටුව



 වර්තමාන රුසියානු බැලිස්ටික් මිසයිල පිලිබඳ තාක්ශණික තොරතුරු

R-36M Voyevoda / SS-18 SATAN

R-36 / SS-18
 ආර්-36එම් "වොයෙවේදා" ලෙස රුසියානුවන් හඳුන්වන මේ මිසයිලය නේටෝ සංවිධානය හඳුන්වන්නේ එස්.එස්-18 "සාතන්" යන අනුවර්ත නාමයෙනුයි. සෝවියට් රොකට් බලකායට 1967දී හඳුන්වාදුන් මේ මිසයිලය දැන් වඩාත් වැඩිදියුණුකොට, බලසම්පන්න කොට තිබෙනවා. අදියර දෙකක රොකට් එන්ජිමකින් ගුවන්ගත වන මේ මිසයිලයට independently targetable වර්ගයේ වෙනවෙනම් ඉලක්ක වලට යොමුකල හැකි පිපුරුම් ඒකක 10ක් දක්වා ගෙන යාහැකි ලෙස නිමවා තිබෙනවා. භූගත කොන්ක්‍රීට් මිසයිල සයිලෝවක රඳවා තිබෙන ආර්-36එම් "වොයෙවේදා" මිසයිලය ගුවන් ගත කරන්නේ "cold launch" ලෙස හැඳින්වෙන මිසයිල ගුවන්ගත කිරීමේඋපක්‍රමයක් ආධාරයෙන්. මෙහිදී සිදුවන්නේ මිසයිලය සම්පීඩිත වායුවක් ආධාරයෙන් සයිලෝවෙන් ඉවතට විදීමයි. මිසයිලය සයිලෝවෙන් ඉහලට එසවුනු වහාම රොකට්ටුවේ පලමුව අධියර දැල්වී මිසයිලය ගමන ආරම්භ කරනවා.


UR-100N / SS-19 Stilleto

රුසියානු රොකට් බලකාය යූ.ආර්100එන් ලෙස හඳුන්වන මේ මිසයිලය නේටෝ සංවිධානය හඳුන්වන්නේ එස්.එස්-19 ස්ටිලෙටෝ ලෙසයි. රුසියානු රොකට් බලකාය සතුව මෙවැනි බැලිස්ටික් මිසයිල 136ක් තිබෙන අතර ඒවා 2030 වනතෙක් සේවයේ රඳවාගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. දිගින් අඩි අසූවක් වන මෙම මිසයිලය අදියර දෙකක රොකට්ටුවකින් බලගැන්වෙනවා.මේ මිසයිලය independently targetable වර්ගයේ වෙනවෙනම් ඉලක්ක වලට යොමුකල හැකි පිපුරුම් ඒකක 6ක් දක්වා ගෙන යාහැකි ලෙස නිමවා තිබෙනවා.

RT-23 / SS-24 SCALPEL


නේටෝ සංවිධානය එස්.එස්-24 ස්කැල්පෙල් ලෙස හඳුන්වන ආර්.ටී-23 බැලිස්ටික් මිසයිලයේ ඇති විශේෂත්වය එය සාම්ප්‍රදායික භූගත සයිලෝ වල මෙන්ම විශේෂිත දුම් රියක ප්‍රවාහණය කොට දුම් රිය මතින්ම දියත්කල හැකි ලෙස මාදිලි දෙකකින් නිර්මාණය කොට තිබීමයි. හෙවත් දුම් රියකින් දියත් කිරීමේ හැකියාවේ ඇති වැදගත් කම නම් මිසයිල සතුරු ප්‍රහාර වලින් ආරක්ශාකර ගැනීමට එහා මෙහා ගෙනයාමට හැකිවීමයි.වෙනවෙනම් ඉලක්ක වලට යොමුකල හැකි පිපුරුම් ඒකක 6ක් දක්වා ගෙන යාහැකි ලෙස නිමවා ඇති ආර්.ටී-23 බැලිස්ටික් මිසයිලය කිලෝමීටර් 10,000ක් ඈත ඉලක්කයක් වෙත යැවිය හැකි පියාසර පරාසයක් ඇති අතර දැනට රුසියානු රොකට් බලකාය සතුව ඇති ඉතා බලසම්පන්න මිසයිලයක් වනවා.

RT-2PM / SS-25 SICKLE 

SS-25 Sickle ICBM on its mobile launcher



Road mobile හෙවත් සාමාන්‍ය මහාමාර්ගවල ගෙනයාහැකි ට්‍රක් රථමතින් දියත්කල හැකි ලෙස නිමවා ඇති RT-2PM හෙවත් නේටෝ සංවිධානය එස්.එස්-25 සිකල් ලෙස හඳුන්වන මිසයිලය එක් පිපුරුම් ඒකකයක් කිලෝමීටර් 10,000 ඈතකට ගෙනයාහැකි බලසම්පන්න බැලිස්ටික් මිසයිලයකි. මහාමාර්ගවල ගෙනයාහැකි නිසා පහසුවෙන් සතුරු ප්‍රහාර වලින් බේරාගත හැකි මෙම මිසයිලක් විදීමෙන් පසු තවත් මිසයිලක් ඉක්මණින් reload කොටගෙන නැවත් ප්‍රහාර එල්ලකල හැකි ලෙස සකසා ඇත.

RT-2UTTH:Topol-M / SS-27  Stalin

එස්.එස්-25 මිසයිල වඩා වැඩිදියුණු කිරීමකි ටොපොල්-එම් හෙවත් එස්.එස්.27 බැලිස්ටික් මිසයිලය. Road mobile launcher මගින් දියත් කල හැකි ටොපොල් මිසයිලයේ හැකියාවන් එස්.එස්-25 මිසයිලයට බොහෝ සමානය. අදියර තුනක ඝණ ඉන්ධන රොකට්ටුවකින් බලගැන්වෙන එස්.එස්-27 මිසයිලය කිලෝටොන් 550ක පිපුරුම් බලයක් (explosive yield) ඇති න්‍යශ්ඨික බෝම්බයක් ගෙනයයි.

RS-24 "Yars"

2010 වසරේදී සේවයට එක්වුනු ආර්.එස්-24 යාර්ස් බැලිස්ටික් මිසයිලය රුසියානු රොකට් බලකායේ නවතම රොකට්ටුවයි. අනාගතයේදී එස්.එස්.25 හා එස්.එස්.-27 මිසයිල පද්ධති වෙනුවට ආර්.එස්-24 යාර්ස් මිසයිලය යොදවනු ඇත. දැනට මේ මිසයිලය පිලිබඳව හෙලිවී ඇති තොරතුරු ඉතා අල්පය.





Thursday, 7 April 2011

රොකට්ටුවක් පෘථිවි කක්ශයට යැවූ පෞද්ගලික සමාගම : SpaceX

 
 FALCON 1


කෝටිපති අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වුනු, සුප්‍රකට PayPal අන්තර්ජාල ගණුදෙනු පහසුකම් සැපයිමේ සමාගමේ නිර්මාතෘ එලොන් මස්ක් විසින් 2002දී ආරම්භ කරන ලද SpaceX සමාගමේ අරමුණ ලෙස දැක්වෙන්නේ නාසා ආයතනයට වඩා ලාභදායි ලෙස උඩු ගුවනට චන්ද්‍රිකා ගෙනයා හැකි රොකට්ටුවක් නිර්මාණය කොට  ගුවන්ගත කිරීමයි. ඉතා දැවැන්ත අභියෝගයක් වුනු මෙය 2008දී ෆෝල්කන් 1 නම් රොකට්ටුවක් සාර්ථකව පෘථිවිය වටා කක්ශගත කිරීමෙනුයි. ෆෝල්කන් 1 පෞද්ගලික සමාගමක් විසින් පෞද්ගලික අරමුදල් පමණක් භාවිතයට ගෙන සම්පූර්ණයෙන්ම සිය ඉන්ජිනේරුවන් ලවා නිර්මාණය කොට පෘථිවිය වටා කක්ශගත කරනලද පලමුවන අභ්‍යවකාශ වස්තුව වනවා. ෆෝල්කන් 1 අභ්‍යවකාශ යානය කිලෝ 165ක බරකින් යුතු චන්ද්‍රිකාවක් හා සමාන (payload mass simulator) වස්තුවක් කක්ශගත කලා.


FALCON 9



SpaceX සමාගම සිය දෙවැනි ජයග්‍රණය ලැබුවේ 2010 වසරේ ජූනි 4වැනිදා ෆෝල්කන් 1ට වඩා අඩි 100ක් දිගින් වැඩි ෆෝල්කන් 9 නැමති විශාල රොකට්ටුව ගුවන්ගත කොට සාර්ථකව කක්ශගත කිරීමෙනුයි. මෙයට පහල පෘථිවි කක්ශයට කිලෝ ග්‍රෑම් 10,450ක් බරක් රැගෙනයා හැකි අතර එය නාසා ආයතනය භාවිතා කරන ඇට්ලස්, ඩෙල්ටා හා ටයිටන් රොකට්ටුවලට වඩා අඩු වියදමකින් යුතු වනවා.


FALCON HEAVY LIFT ROCKET


 ෆෝල්කන් 1 හා ෆෝල්කන් 9 රොකට් සාර්ථකව අත්හදා බලා රොකට් තාක්ශනයේ නමක් දිනාගත් ස්පේස්-එක්ස් ආයතනය 2011 අප්‍රේල් මස නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ තමන් මෙතෙක් ලැබූ අත්දැකීම් උපයෝගී කොටගෙන අභ්‍යවකාශ ශටලයට වඩා දෙගුණයක බර පරමාණයක් (එනම් ටොන් 53ක් පමණ) උඩුගුවනට ගෙනයා හැකි දැවැන්ත රොකට්ටුවක් තම සමාගම නිර්මාණය කරමින් තිබෙන බවයි. ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකර් ලෙස හැඳින්වෙන මෙය රොකට් එන්ජින් 27කින් හා බූස්ටර් රොකට් දෙකකින් සමන්විත දැවැන්ත යන්ත්‍රයක් වනවා.



ස්පේස්-එක්ස් ආයතනය පවසන අන්දමට ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකට්ටුව අභ්‍යවකාශයට උපකරන හා මිනුසුන් ගෙනයාමේ ලාබදායිම ක්‍රමය වනු ඇති. ඔවුන්ගේ ගණනය කිරීම් අනුව ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකට්ටුවට කිලෝ ග්‍රෑම් 1ක බරක් උඩුගුවනට ගෙනයාමට වැයවන්නේ අමෙරිකානු ඩොලර් 2200ක් පමණ මුදලක්. නාසා  ශටල් යානයක් මගින් උඩුගුවනට කිලෝ ග්‍රෑමයක බරක් යැවීමට ඩොලර් 22,000 පමණ විශාල මුදලක් වැයවනවා.

සමාගම පවසන අන්දමට ඔවුන් ඩ්‍රැගන් නමින් හඳුවන කක්ශගත කල හැකි මොඩියුලයක් (orbiting cargo module) නිර්මාණය කොට ඇති අතර එය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට බඩුබාහිරාදිය ගෙනයාමට සකස්කොට ඇත. දැනටමත් නාසා ආයතනය 2011 ජූනියෙන් පසු ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට බඩුබාහිරාදිය ගෙනයාම සඳහා ඩොලර් බිලියන 1.6ක කොන්ත්‍රාත්තුවක් ස්පේස්-එක්ස් සමාගමට ලබාදී ඇත. ඩ්‍රැගන් මොඩියුලය ගගනගාමීන් ගෙනයාම සඳහා පහසුවෙන් අනුවර්තනය කරගත හැකි අතර ඒ අනුව අනාගතයේදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් යැවීම සඳහාද මේ රොකට්ටුව භාවිතාකල හැකිය. නාසා ආයතනයෙන් ලැබුනු ඩොලර් බිලියන 1.6 කොන්ත්‍රාත්තුවට අමතරව වෙනත් රටවල් හා අමෙරිකාවේම වෙනත් ආයතන සඳහා චන්ද්‍රිකා කක්ශගත කිරීමට ඩොලර් බිලියන් 2.5ක කොන්ත්‍රාත්තුද ස්පේස්-එක්ස් සමාගමට ලැබී ඇත.


සිරස් අතට සිටුවූ විට අඩි 227 උසින් යුතු ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකට්ටුව ඉන්ධන  පිරවූවිට කිලෝග්‍රෑම් මිලියන 1.4ක් පමන බරින් යුතුවේ.

Crysis විද්‍යාප්‍රබන්ධ පරිගණක ක්‍රීඩාව

ක්‍රයිසිස් 1 හා ක්‍රයිසිස් 2 සංස්කරණවල DVD කවරය
ක්‍රයිසිස් යනු ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර මූලස්ථානය කරගත් ක්‍රයිටෙක් සමාගම විසින් නිර්මාණය කොට අමෙරිකාවේ සුප්‍රකට පරිගණක ක්‍රීඩා එලිදක්වන සමාගමක් වන ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් සමාගම මගින් පරිගණක ක්‍රීඩාලෝලීන්ට හඳුන්වාදුන් අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවකි. මෙහි නවතම සංස්කරණය වන ක්‍රයිසිස් 2 ඉකුත් මාර්තු 11වැනිදා (11/03/2011) ලොවට හඳුන්වාදුනි.

මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් පරිගණක, සෝනි ප්ලේස්ටේශන් පරිගණක ක්‍රීඩා යන්ත්‍රය හා මයික්‍රොව්සොෆ්ට් එක්ස්බොක්ස් පරිගණක ක්‍රිඩා යන්ත්‍රය සඳහා හඳුන්වාදී ඇති මෙම ක්‍රීඩාව first-person shooter ගණයට අයත් වන අතර විද්‍යා ප්‍රබන්ධයක් වටා වටා ගෙතී ඇත. එක් ක්‍රීඩකයෙකුට තනිවම පරිගණකයට විරුද්ධව ක්‍රීඩාකල හැකි single player mode මෙන්ම පරිගණක ක්‍රීඩා ජාල හරහා පුද්ගලයින් 32කුට එකවර සම්බන්ධවෙමින් සමූහ ලෙස ක්‍රීඩාකල හැකි multi-player mode  මෙම ක්‍රීඩාව සතුය.


 ක්‍රයිසිස් ක්‍රිඩාව පදනම්වී ඇති කථාවස්තුව මෙසේයි. වසර 2020දී අමෙරිකානු සිවිල් පුරාවිද්‍යාඥ්යින් කණ්ඩායමක් පිලිපීනය අසල පිහිටා ඇති ලින්ග්ශාන් දූපත් නම් කල්පිත දූපතක් ගවේශණය කරද්දී පිටසක්වල ජීවීන්ගේ යැයි සැලකිය හැකි මෙවලමක් (artifact) සොයාගනී. මොවුන් මෙම සොයාගැනීම පිලිබඳව අමෙරිකානු රජයට දැනුම් දෙන අතර අමෙරිකාඣ්නු ආරක්ශක දෙපාර්ථමේන්තුව පස්දෙනෙකුගෙන් යුතු ඩෙල්ටා-ෆෝස් කොමාන්ඩෝ බල ඇණියක් ලින්ග්ශාන් දූපත්වලට පිටත්කොට හරියි. ඒ හා සමගම දූපතේ ඇති පිටසක්වල තාක්ශණය පිලිබඳව සිය ඔත්තුකරුවන් මාර්ගයෙන් දැනගන්නා උතුරු කොරියාව දූපත අල්වාගැනීම සඳහා ජෙනරාල් ක්යොන්ග් ගේ නායකත්වයෙන් යුතු බල ඇණියක් කඩාවදී. කොමාන්ඩෝ කණ්ඩායමට නාඳුන පියාසර වස්තූන් ගගින් පහර දෙනු ලබන අතර ඔවුන් උතුරු කොරියානු හමුදා බල ඇණිවලටද පහරදෙයි.
 

දූපතෙහි පර්යේශණවල නියුතු අමෙරිකානු විද්‍යාඥ ආචාර්‍ය රොසෙන්තාල් කොමාණ්ඩෝ කණ්ඩායමේ නායකයාවන ප්‍රොෆෙට් යන කේත නාමයන් හඳුවන හමුදා නිළධාරිආ හට මෙවැනිම පිටසක්වල තාක්ශණයෙන් නිපැයූ වස්තූන් රුසියාවේ සයිබීරියාවෙන් මෙන්ම ඇෆ්ඝනිස්ථානයෙන්ද හමුවී ඇති බව පවසයි....
ක්‍රීඩාවේ අරමුණ පිටසක්වල ජීවීන් හා උතුරු කොරියානු හමුදවන් පරදා පිටසක්වල තාක්ශණයෙන් යුතු වස්තූන් අමෙරිකාව වෙත ගෙනයාමයි.



Wednesday, 6 April 2011

Cray CX1 - ඩෙස්ක්ටොප් සුපිරි පරිගණකය!


සුපිරි පරිගණක ගැන කතාකරන විට ඔබට මතක් වන්නේ අධි ශීතකරණයක් තරම් දැඩි ශීතලකින් යුතු  කාමරයක තැබූ, විශාල වානේ කැබිනෙට්ටු කිහිපයක් මෙන් දිස්වෙන, ඩොලර් මිලියන ගණනින් මිල කරෙන, අමෙරිකාව, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය වැනි රටවල් වල රජයට අයත් පර්යේශණාගාරව හෝ ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාවල පමණක් දකින්නට ලැබෙන සුපිරිවේගයෙන් ක්‍රියාත්මක වන පරිගණක විශේෂයකි. මෑතක් වනතුරු තත්වය එසේවුවත්, දැන් ලෝක ප්‍රකට ක්‍රේ සුපිරි පරිගණක සමාගම (Cray Supercomputers Inc.) ඩෙස්ක්ටොප් පරිගණකයක් මෙන් දිස්වෙන, විශාලත්වයෙන් හා භාවිතයේ පහසුව අතින් ඒ හා සමානම වන එහෙත් මිල අධික දැවැන්ත සුපිරි පරිගණක මෙන්ම  අධිවේගී ගණක හැකියාව (High Performance Computing -HPC) ඇති පරිගණකයක් හඳුන්වාදී තිබෙනවා.

ක්‍රේ සුපිරි පරිගණක සමාගමේ නිර්මාතෘවරයා වන්නේ ලෝක ප්‍රකට සුපිරි පරිගණක නිර්මාණ ඉන්ජිනේරුවෙකු හා සුපිරි පරිගණක කර්මාණ්තයේ පියා ලෙස හැඳින්වෙන සෙයිමර් ක්‍රේ (Seymour Cray). ඔහු විසින් නිර්මාණය කරණ ලද ක්‍රේ සුපිරි පරිගණක ලොව බලසම්පන්නම සුපිරි පරිගණක අතරට ගැනුනා. අද සෙයිමෝර් ක්‍රේ ජීවතුන් අතර නැතත් ඔහු බිහිකල සමාගම අදටත් සුපිරි පරිගණක ලෝකයේ දැවැන්තයෙකු වෙනවා. ඔවුන්ගේ නවතම හඳුන්වාදීම වන්නේ  CX1 ඩෙස්ක්ටොප් සුපිරි පරිගණකයයි.

ප්‍රොසෙසර් ගණනාවක් ගණනාවක් සමග සමාන්තරව ක්‍රියාකල හැකි, බලසම්පන්න ඉන්ටෙල් සියොන් ප්‍රොසෙසර් (Intel Xeon) වලින් බල ගැන්වෙන CX1 ඩෙස්ක්ටොප් සුපිරි පරිගණකය නිමවා ඇත්තේ සිය පර්යේශණ කටයුතු හා දත්ත සැකසුම්, සංකීර්ණ ගණත ගැටලු විසඳීම් සඳහා අධි බල පරිගණක සහය අවශ්‍ය, එහෙත් එවැනි පරිගණක භාවිතයට අවස්ථාවක් නොලැබෙන විද්‍යාඥයින්, ඉංජිනේරුවන් හා පර්යේශකයින් සඳහායි.

පරිගණකය යොදාගැනීමට බලාපොරොත්තුවන උපයෝගයට (type of use/application) අනුව CX1 පරිගණක ගැනුම්කරුගේ ඉල්ලීම අනුව තනාගැනීමේ හා configure කර ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව පරිගණකයට යොදන්නේ මොන මාදිලියේ සියොන් ප්‍රොසසරද, මතකය ගිගාබයිට් කොපමණද, හාඩ් ඩිස්ක්වල ධාරිතාවය කොපමණද යන කරුණු තීරණය කරනු ලැබේ. CX1 යන්ත්‍රයක් තුල ඉන්ටෙල් සියොන් ඩුවල් කෝර් හෝ ක්වඩ් කෝර් ප්‍රොසෙසර් 16 තිබේ. මේ අනුව ක්වඩ් කෝඩ් ප්‍රොසෙසර් යෙදූ CX1 යන්ත්‍රයක් සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් හා සසඳන කල අවම වශයෙන්  100ගුණයක් බලසම්පන්න වනු ඇත.

Intel Xeon Quad Core Processor

මෙහෙයුම් පද්ධතිය ලෙස CX1 පරිගණකය සමග Windows HPC Server 2008 R2 ලෙස හැඳින්වෙන අධිබල සුපිරි පරිගණක සඳහාම නිමැවුනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලබාදෙන අතර, ලීනක්ස් (Linux) භාවිතයට ප්‍රියකරණ ගැනුම් කරුවන්හට රෙඩ් හැට් එන්ටර්ප්‍රයිස් ලීනක්ස් (RedHat Enterprise Linux)මෙහෙයුම් පද්ධතිය ලබාදෙනු ලැබේ.

සාමාන්‍යයෙන් CX1 පරිගණකයට ගිගබයිට් 512ක මතකයකුත් ටෙරාබයිට් 4 (ගිගබයිට් 4000) හාඩ් ඩිස්ක් ධාරිතාවකුත් ඇත. ආරම්භක මිල ඩොලර් 25,000ක් පමණ වන අතර උපරිම ගණන හැකියාවන්ගෙන් යුතු CX1 යන්ත්‍රයක් ඩොලර් 60,000ක පමණ ලබාගත හැකිය. සාමාන්‍ය ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක මිල හා සසඳන විට මෙය අති විශාල මුදලක් වුනත්, සුපිරි පරිගණකවල මිල ගණන් සසඳන විට මෙය ඉතා සුලු මුදලකි.

CX1 සුපිරි පරිගණකයේ ගණක වේගය

පරිගණකයක හෝ ගණක යන්ත්‍රයක (කැල්කියුලේටරයක) ගණක වේගය මණිනු ලබන්නේ එයට තත්පරයකදී සිදුකල හැකි ඉපිලෙන ලක්ෂ්‍ය ගණිතකර්ම (Floating Point Mathematical Operations per Second - FLOPS) ගණන අනුවයි. එකතුකිරීම, අඩුකිරීම, වැඩිකිරීම, බෙදීම හා ආසන්න අගයට ගැනීම (වටැයිම-rounding) සාමාන්‍යයයෙන් ඉපිලෙන ලක්ෂ්‍ය ගණිතකර්ම ලෙස සැලකේ. සාමාන්‍ය කැල්කියුලේටරයක් FLOPS 10ක වේගයෙන් ක්‍රියාකරයි. එනම් තත්පරයකදී ඉපිලෙන ලක්ශ්‍ය ගණනය කිරීම් 10ක් එයට සිදුකල හැකිය.

Types of FLOP measurements for Computers
මේ අනුව මෙගා-ෆ්ලොප් එකක වේගයෙන් ක්‍රියාකරන පරිගනකයක් තත්පරයකට ගණිතකර්ම මිලියනයක් (1,000,000) සිදුකරයි. ගිගා-ෆ්ලොප් එකක වේගයෙන් ක්‍රියාකරණ පරිගණකයක් තත්පරයකට ගණිතකර්ම බිලියනයක් (1,000,000,000) සිදුකරයි.

සියොන් ක්වඩ් කෝර් ප්‍රොසෙසර් 16ක CX-1 ඩෙස්ක්ටොප් සුපිරි පරිගනකයේ උපරිම වේගය ගිගා ෆ්ලොප් 768ක් බවට ගණනය කොට ඇත.

දැනට ලෝකයේ විගවත්ම සුපිරිපරිගණකය ලෙස ගැනෙන්නේ චීනයේ ආරක්ශක තාක්ශනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාලය (Chinese National University of Defense Technology - NUDT) විසින් නිර්මාණය කරන ලද ටියාන්හේ-1 සුපිරි පරිගණකයයි. මෙය චීනයේ ටියන්ජින් නුවර පිහිටි ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති අතර එය ඛණිජතෙල් ගවේශණය හා ගුවන්යානා තාක්ශණය පිලිබඳ පර්යේශණ සඳහා යොදාගනු ලැබේ.  එයට පෙටා-ෆ්ලොප් 2.56ක උපරිම වේගයක් ඇත.

දෙවැනි වේගවත්ම සුපිරි පරිගණයක වන්නේ ක්‍රේ සුපිරි පරිගණක සමාගම නිර්මාණයකල Cray XT5 මාදිලියේ සුපිරි පරිගණකයයි. මෙය අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවට අයත් ඕක්-රිජ් ජාතික පරියේශණායතනයේ සේවයට යොදවා ඇති අතර මෙයට පෙටා-ෆ්ලොප් 1.75 ක වේගයක් ඇති අතර ප්‍රොසෙසර් 224,256 එක සමාන්තරව ක්‍රියාත්මකකරවන දැවැන්තයෙකි.

තෙවන වේගවත්ම සුපිරි පරිගණකයද චීන නිර්මාණයක් වෙන අතර නෙබියුලා ලෙස හැඳින්වෙන මෙය චීනයේ ශෙන්සෙන් නුවර ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙයි. එහි උපරිම වේගය පෙටා-ෆ්ලොප් 1.27කි.

ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණක 500ක් ලැයිස්තුවක් www.top500.org නම් වෙබ් අඩවිය මගින් පවත්වාගෙන යයි. අමෙරිකානු හා ජර්මන් විද්‍යාඥයින් සතර දෙනෙකු විසින් වසරකට දෙවතාවක් අලුත් කරන මේ ලැයිස්තුවේ වේගවත්ම සුපිරි පරිගණක 500ම විස්තර හා වේග දත්ත සටහන් වෙයි. මෙම ලයිස්තුවට අනුව ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණක 500 අයිති රටවල් මෙසේය.



Wednesday, 2 March 2011

Apollo 18 - There's a reason we've never gone back to the moon

ඇපලෝ 18 චිත්‍රපටයේ පෝස්ටරය
අමෙරිකාව හඳට යැවුනු අවසාන මෙහෙයුම වන්නේ 1972 දෙසැම්බර් 17 දියත් කෙරුණු ඇපලෝ 17 මෙහෙයුමයි. එවකට දරුණුව ඇවිලෙමින් තිබූ වියට්නාම් යුද්ධයට ප්‍රකෝටි ගණනින් මුදල් විනාශ වුනු නිසාත්, මැදපෙරදිග අර්බුධ නිසා තෙල්මිල අධික ලෙස ඉහල ගොස් අමෙරිකාව දැඩි ආර්ථික අර්බුධයක ගිලී තිබුණු නිසාත් ඇපලෝ මෙහෙයුම් වලට ප්‍රතිපාදන කපා හැරීම නිසා නාසා ආයතනය ඇපලෝ සඳ ගමන් ව්‍යාපෘතිය නවතා දැම්මා.


එහෙත් ඇත්තටම සඳ ගමණ් නැවතුනේ මුදල් නොමැති කම නිසාද?


මේ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයට අනුව ඇපලෝ 18 නමින් තවත් එක් මෙහෙයුමක් අමෙරිකන් ආරක්ශක දෙපාර්ථමේන්තුවේ අනුග්‍රහයෙන් රහසිගතව සිදුවුනා.


චිත්‍රපටයේ  කථාවස්තුවට පදනම් වන විවිධ කුමණ්ත්‍රණ ජවනිකා රාශියක් ලොව පුරා පැතිරී තිබෙනවා. මේ කුමණ්ත්‍රණ අතර ; 


ඇපලෝ 15,16 හා 17 මෙහෙයුම් වලින් සඳට ගිය ගගනගාමින් එහි තිබූ පිටසක්වලයින්ගේ යානා හා ඔවුන් විසින් නිර්මාණය කරණු ලැබූ ගොඩ නැගිලි වැනි වස්තූන් දැක තිබෙන බව පැවසෙන අතර නාසා ආයතනය මෙම සොයාගැනීම් සඟවාගෙන සිටිනා බවත් පැවසෙනවා. නාසා ආයතනය ඇපලෝ සඳ මෙහෙයුම් නවතා දැමුවේ තවත් සඳගමන් වාර පැවැත්වූවොත් මේ රහස් හෙලිවීම වලක්වාලිය නොහැකි බවට විශ්වාස කල නිසා මේ කුමණ්ත්‍රණ පිලිබඳ විශ්වාස කරන්නන් පවසනවා. ඊටත් අමතරව සඳ මත සිටින පිටසක්වලයින් ඇපලෝ ගගනගාමීන්ට තර්ජනය කල බවට විශ්වාසයකුත් තිබෙනවා.

මේ අතර 1976දී සඳේ අඳුරු ප්‍රදේශයට*අමෙරිකන් හා සෝවියට් එකාබද්ධ සඳ ගමණක්  ඇපලෝ 20 නමින් සිදුවුනු බවත් සඳෙහි අඳුරු ප්‍රදේශයේ ආවාටයක් අසල තිබී වසර බිලියන ගණනක් පැරණි අති විශාල පිටසක්වල යානයක් ඔවුන්ට හමුවූ බවත් පැවසෙනවා.

*(මේ ප්‍රදේශ සැබැවින්ම අඳුරු නැත, එහෙත් එම පෙදෙස කිසිදාක පෘථිවියට නොපෙනෙන්නේ සඳ සිය අක්ශය වටා භ්‍රමණයත් එය පෘථිවිය වටා යන්නට ගන්නා කාළයත් එක හා සමාන බැවිනි)



චිත්‍රපටයේ කථාවස්තුවට අනුව ඇපලෝ 18 සඳගාමීන් දෙදෙනා 1973 දෙසැම්බර් මත රහසිගත රොකට් ගුවන්ගත කිරීමකින් සඳ බලා පිටත්ව ගොස් ඇති අතර එහි ගොඩ බැස කෙටි කාළයකින් සඳමත ඒ වනවිටත් සිටි පිටසක්වලයින් විසින් සොයා ගත් බවත් පිටසක්වලයින් විසින් ඔවුන් දෙදෙනා මරා දැමූ බවත් පැවසෙනවා. 

ඇපලෝ 18 චිත්‍රපටයේ තවත් පූර්ව-ප්‍රචාරක පෝස්ටරයක්

Friday, 25 February 2011

Space Shuttle Discovery - 27 වසරක සේවාවේ අවසන් පියාසැරිය [ Final flight to space after 27 years of service ]


ඩිස්කවරි අභ්‍යවකාශ ශටලය 2011 පෙබරවාරි 25, අමෙරිකානු වෙලාවෙන් පස්වරු 4.53 කෙනඩි තුඩුවෙන් උඩුගුවන වෙත අවසන් වතාවට නික්ම ගිය ආකාරය
STS-133 ලෙස නම් කොට ඇති ඩිස්කවරි යානයේ අවසන් පියාසැරිය නාසා ආයතනයේ ස්වර්ණමය යුගයේ අවසන් පියවරයන් සනිටුහන් කරනවා. අධික වියදම හා ආරක්ශාව (safety) පිලිබඳ ඇති ගැටලු නිසා ශටල් ව්‍යාපෘතිය නවතා දැමීමට අමෙරිකානු රජය නාසා ආයතනයට නියෝග කොට තිබෙනවා. මේ නියෝගයේ ප්‍රථිපලයක් ලෙසයි 27 වසරක් විවිධ පර්යේශණයන් සඳහා අභ්‍යවකාශගාමින් උඩුගුවන වෙත ගෙනගොස නැවත නිරුපද්‍රිතව ආපසු රැගෙන ආ ඩිස්කවරි යානයට විශ්‍රාම දිවියට එළබෙන්නට සිදුවී ඇත්තේ.

STS-131 අවසන් ඩිස්කවරි පියාසැරියේ ගගනගාමීන් පෙනීසිටින සමූහ ඡායාරූපය හා ඔවුන්ගේ මෙහෙයුම් ලාංඡනය.
මේ පියාසැරියේදී ඩිස්කවරි යානය මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට තවත් එක් වැදගත් කොටසක් රැගෙන යනවා. ඊට අමතරව "රොබෝනෝට්" නම් මිනිස් හැඩරුව ඇති රොබෝ ගගනගාමියෙකුද ඩිස්කවරි යානය මගින් උඩුගුවනට ගෙන යනවා.

[1] අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමට ගෙනයන මොඩියුලය ඩිස්කවරි ශටලයේ රඳවා ඇති ආකාරය   [2] අභ්‍යවකාශයට යන පලමු රොබොවා - රොබෝනෝට්   [3] ඩිස්කවරි මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අලුතින් එක් කරන කොටස් පෙන්වන රූපය

ඩිස්කවරි ශටල් යානයේ වැදගත් සිදුවීම්

* ඩිස්කවරි යානයේ ඉදිකිරීම් කටයුතු 1979 අගෝස්තු 27වැනිදා කැලිෆෝනියාවේදී ඇරඹුනු අතර 1983දී යානය නිමවා අවසන් විය

* යානයේ පලමු පියාසැරිය 1984 අගෝස්තු 30වැනිදා සිදුවුනු අතර එය STS-41D යන කේත නාමයෙන් හඳුන්වන ලදී.



*  ඩිස්කවරි යානයේ පලමු පියාසැරිය සිදුවූ 1984දී එය නාසා ආයතනය සතු වුනු 3වැනි ශටලය වූ අතර ඊට පෙර නිපැදවූ කොලොම්බියා හා චැලෙන්ජර් යානා ඒවනවිට සාර්ථකව අභ්‍යවකාශ චාරිකාවල යෙදෙමින් තිබුණි.

* 1990 අප්‍රියෙල් 24දින STS-31 ලෙස නම් කෙරුනු අභ්‍යවකාශ චාරිකාවකදී ඩිස්කවරි යානය හබල් අභ්‍යවකාශ දුරේක්ශය උඩුගුවනට ගෙනගොස් සාර්ථවකව කක්ශගත කලේය.

* 1995 පෙබරවාරි 3වැනිදා STS-63 ලෙස නම් කෙරුනු ඩිස්කවරි ශටල් මෙහෙයුමකදී ප්‍රථම වතාවට කාන්තාවක් ශටල් යානයේ නියමුවරිය (shuttle pilot) ලෙස කටයුතු කරමින් වාර්තා පොතට එක්වූ වාය. මේ මෙහෙයුමේදී රුසියානු මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග ඩිස්කවරි යානය සාර්ථකව සම්බන්ධවිය.


* ඩිස්කවරි යානය අභ්‍යවකාශ චාරිකාවල යෙදුනු මුලු වාර ගණන 38

* එය අභ්‍යවකාශයේ ගතකල මුලු කාළය  පැය 8441 විනාඩි 51

* සියළු චාරිකාවලදී එය පෘථිවිය වටා ගමන්කල වාර ගණන 5628

* ඩිස්කවරි යානයෙන් උඩුගුවනට ගිය ගගනගාමීන් ගණන 246

* මේ සියලු ගමන් වාරවලදී ඩිස්කවරි යානය ගමන් කල මුලු දුර සැතපුම් වලින් නම් 142,917,535
. ඩිස්කවරි යානය චන්ද්‍රයා වෙත පියාසර කළහැකි යානයක් නම් එය ගමන්කල මේ දුර ප්‍රමාණය චන්ද්‍රයාවෙත 288 වතාවක් පියාසර කොට ආපසු පැමිණීමට තරම් වන දුර ප්‍රමාණයකි.

* ඩිස්කවරි යානය අභ්‍යවකාශයේදී සාමාන්‍යයෙන් ගමන් කරන වේගය පැයට සැතපුම් 17,400ක් හෙවත් ශබ්දයේ වේගය මෙන් 25 ගුණයක වේගයකිනි. එනම් වෙඩි උණ්ඩයකට වඩා පස් ගුණයක වේගයකින් ඩිස්කවරි යානය අභ්‍යවකාශයේදී පෘථිවිය වටා ගමන්කරයි.

ඩිස්කවරි යානය කල සේවාව සැමරීමට නාසා ආයතනය එය පියාසර කල සියලු අභ්‍යවකාශ චාරිකාවල මෙහෙයුම් ලාංඡනද (mission patchs) ඇතුලත් කොට නිර්මාණය කරන ලද සැමරුම් ඡායාරූපය
නිශ්පාදන කටයුතු අවසන් වීමෙන් පසු ඩිස්කවරි යානය කැලිෆෝනියාවේ සිට ෆ්ලොරිඩාවේ කෙනඩි තුඩුව දක්වා ගුවන් මගින් ගෙන ආ අයුරු.
ඩිස්කවරි යානය සිය මංගල පියාසැරියට නික්ම යන ආකාරය - 30th August 1984


මෙහෙයුමක් අවසන් කළ ඩිස්කවරි යානය ආපසු ගොඩබසින ආකාරය

ඩිස්කවරි යානයේ අවසන් ශටල් ගමනට පුහුණු වන ගගනගාමී කණ්ඩායම විනෝදයෙන් සිටින මොහොතක්

ඩිස්කවරි යානය තුල අවසන් මෙහෙයුමට පුහුණු වෙමින්....
රොබෝනෝට් රොබෝ ගගනගාමියා හා ඩිස්කවරි යානයේ අවසන් ගගනගාමින් කණ්ඩායම.

Related Posts Plugin for WordPress, Blogger...