Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 29 October 2015

අනුරපුර රාජධාණියෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ ඉතිහාසය


සතුන් හා ගස්වැල්වල ආරක්ශාවට පැරණි රජවරුන් පැනවූ විවිධ  රාජාඥා අපගේ පෞරාණික ඉතිහාසය සටහන් කොට ඇති විවිධ ලියවිලිවල විස්තර කොට ඇත. මින් 4වැනි සියවසේ ලි‍යැවුනු දීපවංශය, 5වැනි සියවසේ ලියැවීම ඇරඹුණු මහාවංශය හා එහි දිගුව වන චූලවංශයේද සටහන් වී ඇත. එමෙන්ම ලංකාවේ ශිලා ලේඛණ අඩංගුකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1904 සිට විටින් විට ප්‍රකාශයට පත්කරන එපිග්‍රැෆියා සිලනිකා (Epigraphia Zeylanica) ග්‍රන්ථමාලාවද මේ සඳහා අපමණ සාක්ශි සපයනවා. එමෙන්ම ෆා-හියන්, රොබර්ට් නොක්ස් වැනි ශ්‍රී ලංකාවේ වාසය කරමින් සටහන් තැබූ විදේශිකයින්ගේ ලේඛනද වැදගත් තොරතුරු සපයනවා.

මේ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු අතර පැරණි රජවරුන් සතුන් මැරීම තහනම් කරමින් පැනවූ ආඥා හා එම ආඥා කඩකරන්නවුන්ට දිය යුතු දඬුවම්, රාජාඅඥා මගින් අභයභූමි ප්‍රකාශයට පත්කිරීම් ආදිය පිලිබඳ වැදගත් තොරතුරු වනවා.

ශ්‍රී ලංකාවේ ඉපැරණි අභයභූමි

ශ්‍රී ලංකාවේ රජවරු විවිධ රාජාඥා මගින් රටේ යම් යම් ප්‍රදේශ අභයභූමි ලෙස ප්‍රකාශයට පත්කලා. මෙම අභයභූමි පිලිබඳව විවිධ සෙල්ලිපිවල සඳහන් වී ඇති අතර එම භූමි ප්‍රදේශ තුල වාසයකරන සියලු සතුන් හා ගහකොල ආරක්ශාකල යුතුබවට නියෝග කෙරුනා. පැරණි සිංහල රජවරුන්ගේ මෙම අභයභූමි සංකල්පය නූතනයේ රක්ශිත වනාන්තර හෝ දැඩි රක්ශිත සංකල්පයට බොහෝ සෙයින් සමානයි. එම භූමිවලට නිශ්චිත සීමා මායිම් ප්‍රකාශයට පත්කොට තිබූ අතර සිටින සතුන්ගේ ආරක්ශාව රජු සිය භාරයට ගෙන තිබූනා. එම සතුන්ට ගහකොලවලට හානි කරන්නන්ට දඬුවම් පැමිණවුනා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අභයභූමිය දේවානම්පියතිස්ස මහරජතුමා විසින් ක්‍රි.පූ 240දී පමණ ප්‍රකාශයට පත්කල අතර එය අනුරාධපුරයේ මහාමේඝවන (මහමෙව්නා) නම් රාජකීය උයනයි. රජු විසින් සඟසතුකොට පූජාකරන ලද මහමෙව්නා උයන, අභයභූමියක් ලෙස වසර 2300ක පමණ අඛණ්ඩ ඉතිහාසයක් ඇති එකම අභයභූමිය වනවා. 1937දී බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව බලාත්මක කල වනසත්ව හා වෘක්ශලතා පණත යටතේ 1938දී මහමෙව්නා අභයභූමියේ සීමා මායිම් පුලුල්කොට මුලු අනුරාධපුර පූජාභූමිය හා වර්තමාන අනුරාධපුර නගර ප්‍රදේශයද ඇතුලත්ව අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත්කරන තෙක්ම කි.පූ 240දී දේවානම්පියතිස්ස මහරජතුමා පැනවූ මහමෙව්නා අභයභූමි රාජාඥාව ක්‍රියාත්මක වුනා.  අදටත් අනුරාධපුර නගරය පවා සතුන් මැරීම තහනම් අභයභූමියක් වනවා.

ක්‍රි.ව 277 – 304 කාලය තුල රජකම් කල මහසෙන් රජුවිසින් ජේතවනාරාමයට පූජාකරන ලද නන්දන වනය (ජෝතිය වන ) අනුරාධපුරයේ තවත් ඉපැරණි අභයභූමියක් ලෙස ගැනෙනවා. 1938දී අනුරාධපුර අභයභූමි ප්‍රදේශය ප්‍රකාශයට පත්කිරීමේදී මහසෙන් රජු ඇතිකල නන්දන වනයද  එයට ඇතුලත් කරගනු ලැබුවා.
නූතන නීතිමය අර්ථදැක්වීමට අනුව අභයභූමියක් (sanctuary) වන-රක්ශිතයකින් (nature reserve) හෝ වනෝද්‍යානයකින් (national park) වෙනස්වනවා. අභයභූමියක සතුන්මැරීම, කැලෑ කැපීම තහනම් වුවත් මහජනතාවට එය තුල ජීවත්වීමේ අයිතිය තිබෙනවා. රක්ශිත වනාන්තර සියලු මිනිස් ක්‍රියාකාරකම් තහනම් ප්‍රදෙශ වන අතර වනෝද්‍යාන, විනෝදාස්වාදය සඳහා සතුන් නැරඹීම සඳහා පමණක් දැඩි පාලනයකින් යුතුව මහජනතාවට ඇතුලුවිය හැකි ප්‍රදේශ ලෙස වනසංරක්ශණ පනත්වල විස්තර කෙරෙනවා.
පොලොන්නරු රාජධානියේද අභයභූමි ගණනාවක් තිබූ අතර, ඒ අතරින් චිත්තලතා වනය හා දීප උයන ප්‍රධානයි. මහා පරාක්‍රමබාහු නරතියන් හා නිශ්ශංකමල්ල රජු, පොලොන්නරුවේ අභයභූමි ඇතිකල නරපතියන් අතර ප්‍රධාන තැනක් ගන්නවා.

1187-1196 පොලොන්නරුවේ රජකල නිශ්ශංක මල්ල රජතුමා, සිය රාජධානිය තුල අභයභූමි ප්‍රකාශයට පත්කොට තිබුණ බව ඔහු කරවූ අනුරාධපුරයේ නිශ්ශංක මල්ල සෙල්ලිපියේ සඳහන් වනවා. එම සෙල්ලිපියේ අභයභූමි සීමා විස්තර කොට තිබූ අතර එහි සතා-සීපාවාට හානිකරන්නවුන්ට දෙන දඬුවම්ද විස්තරකොට තිබුණා. එපමණක් නොව නිශ්ශංක මල්ල රජු එම අභයභූමි පාලනයට හා ආරක්ශාවට රාජපුරුෂයින් පත්කොට තිබූ අතර රාජ්‍ය භාණ්ඩාගාරය මගින් ඔවුනට වේතන ගෙවනු ලැබුවා.

එපමණක් නොව නිශ්ශංක මල්ල රජු විසින් පොලොන්නරුවේ හා අනුරාධපුරයේ මහා වැව් දොලහක මසුන් මැරීම තහනම් කොට එම වැව් මත්ස්‍ය අභයභූමි බවට ප්‍රකාශකොට තිබෙනවා. මේ අනුව ලොව ප්‍රථම ජලජ අභයභූමි වන්නේ ශ්‍රී ලංකාවේ නිශ්ශංක මල්ල රජ සමයේ ප්‍රකාශයට පත්කල මහා වැව් අභයභූමි විය යුතුයි.

සතුන් ආරක්ශාකිරීම සඳහා තවත් සුවිශේෂී පියවරක් ගත් නිශ්ශංක මල්ල රජු දඩයක්කරුවන්, මසුන් මරන්නන්, කුරුල්ලන් දඩයම් කරන්නන් හට වස්තුව ලබාදී ඔවුන් එම රැකියාවලින් මුදවන්නට ක්‍රියා කල බව නිශ්ශංක මල්ල සෙල්ලිපියේ දැක්වෙනවා.

ෆා හියන් දුටු ශ්‍රී ලංකාවේ ආරණ්‍ය අභයභූමි

5වැනි ශතවර්ශයේ ලක්දිව වසර කිහිපයක් සංචාරය කල ෆා හියන් නම් චීන භික්ෂු පඬිවරයා, මහාවිහාරය, අභයගිරිය හා මිහින්තලා ආරණ්‍යසේනාසන විශාල අභයභූමි ලෙස ආරක්ශාකොට තිබූ බව ඔහුගේ චාරිකා සටහන්වල ලියා තිබෙනවා. ඔහුට අනුව එවක අභයගිරි ආරණ්‍යසේනාසනයේ භික්ෂූන් 5000කුත්, මහාවිහාරයේ 3000කුත් මිහින්තලා ආරණ්‍යසේනාසනයේ 2000 ආදීවශයෙන් අතිවිශාල සංඝයාවහසේනමක් වැඩසය කොට ඇති අතර උන්වහසේලා පාරිභෝජනය කල ප්‍රදේශ දැඩි රක්ශිත සංකල්පයට අනුව ආරක්ශාකොට තිබෙනවා. විශාල ගිහි සේවක සංඛ්‍යාවක් මේ ආරණ්‍යවල රාජකාරිකටයුතු වල යෙදී ඇති අතර ඒ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියපැහැදම් කොට තිබෙනවා.

සතරවැනි මහින්ද රජතුමා විසින් ලියවන ලද සෙල්ලිපියක මිහින්තලා ආරණ්‍යසේනාසනයේ රාජකාරි සඳහා 2000 ගිහි සේවක පිරිසක් යෙදවූ බවත් ඔවුන්ගේ රාජකාරි අතර එම අභයභූමිය දැඩි රක්ශිතයක් ලෙස ආරක්ශාකිරීමද වූ බවත් සටහන් වනවා. පැරණි මිහින්තලා රක්ශිත වනය තුල ගස් කැපීම පමණක් නොව ගස්වලින් මල් කැඩීම පවා තහනම් කොට ඇති බවත් එම සෙල්ලිපිය උපුටා දැක්වෙන එපිග්‍රැෆියා සිලනිකා පළමුවැනි වෙළුමේ සඳහන් වනවා.

මිහින්තලාව අභයභූමියක් ලෙස ප්‍රකාශකරන ලද්දේ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් ක්‍රි.පූ. 247දී වන අතර රිටිගල ආරණ්‍යසේනාසනය සුල්ලතිස්ස රජුවිසින් ක්‍රි.පූ 187දී ඇතිකරන ලදී. සිතුල්පව්ව ආරණ්‍යසේනාසනය කාවන්තිස්ස මහරජතුමා විසින් ක්‍රි.පූ 130දී පමණ ස්ථාපනය කරන ලද්දක්. මෙහි සංඝයාවහන්සේ 3000ක් වැඩසිටි බව පැරණි ලේඛනවල වාර්තාවනවා.

මහාවැව් රොන් මඩින් ආරක්ශා කිරීමට ජලාධාර ප්‍රදේශ රක්ශිත බවට පත්කල අපේ හෙළ රජදරුවෝ.

රොන්මඩ තැම්පත්වීමෙන් වාරිකර්මාණ්ත ඉක්මණින් පල රහිතවන බව අවබෝධකරගත් අපේ පැරණි රජදරුවන් හා හෙළ වාරිකර්මාණ්ත ඉන්ජිනේරුවන් වැව් පෝෂක ප්‍රදේශවල ගස් කැපීම හා වගාකිරීම තහනම් කොට ඒවා රක්ශිත වනාන්තර බවට පත්කලේ ඉතා ඈත අතීතයේදීයි.

උදාහරණයක් ලෙස රිටිගල ආරණ්‍යසේනාසන අභයභූමිය ගතහැකියි. මුලු වියලි කලාපයේම වැඩිම වර්ෂාපතනය ලැබෙන (දෙසැම්බර්-පෙබරවාරි, මිලිමීටර් 125ක් පමණ) මෙම ප්‍රදේශය සංඝයාවහන්සේට පූජාකොට රක්ශිතයක් ලෙස ආරක්ශාකිරීමට පැරණි රජදරුවන් ක්‍රියාකලේ හුදෙක් බුදුදහම පෝෂණය කිරීමට පමණක් නොව, ඊට වඩා ඥාණාන්විතව රටවැසියාගෙන් මෙම වටිනා භූමි ප්‍රදේශය ආරක්ශාකරගෙන එමගින් වියලිකලාපයේ වැව් කර්මාණ්ත ආරක්ශාකර ගැනීම උදසාද බවට තර්ක කල හැකියි. බුදුදහම පෝෂණය කරන අතරම ඒ අනුග්‍රහයෙන් අනාගත පරපුර සඳහා රටේ ස්වභාවික සම්පත් රැකදීමට ඒ උතුම් හෙළ නායකයින් ක්‍රියාකල ආකාරය අද නායකයන්ට මහඟු ආදර්ශයකි. අදත් රිටිගල ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ශ්‍රී ලංකාවේ දැඩි රක්ශිත ලෙස වර්ගකර ඇති වනාන්තර වලින් එකක් වන්නේ මේ නිසා නොවේද?

සටහන:

මේ ලිපිය සම්පාදනය කිරීමේදී ප්‍රධාන මූලාශ්‍රය ලෙස, එස්.ඩී සපරමාදු මහතා රචනාකොට, තිසර ප්‍රකාශකයෝ විසින් 2006දී පලකරන ලද "Sri Lanka, A Wild Life Interlude - Volume I" ග්‍රන්ථය භාවිතා කරන ලදී.

WTF-1190F උල්කාපාතය ලංකාවට කඩා වැටෙයිද?


මොකක්ද මේ උල්කාපාතය? - මේ උල්කාපාතය කොහොම ඇතිවුනාද කියලා විද්‍යාඥයින් හරියටම කියන්න දන්නේ නෑ කියලයි වාර්තාවන්නේ. මේක මීට කලින් සඳවටා කක්ශගතවෙලා තිබිලා තියෙනවා. මේ ඔක්තෝම්බර් මාසයේ, ඇමරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන Catalina Sky Survey නම්වූ උල්කාපාත හා අභ්‍යවකාශ අපද්‍රව්‍ය (meteors and space junk) හඳුනාගන්න යොදවාගෙන තිබෙන දුරේක්ශයකින් තමයි මේක පෘථිවිය දෙසට එනවා කියලා හඳුනාගෙන තියෙන්නේ.

විද්‍යාඥයින් අනුමාණ කරනවා මේ වස්තුව ඇපලෝ සඳ ගවේෂණ මෙහෙයුමකදී ඉවත්වුනු රොකට්ටුවක කැබැල්ලක් වෙන්න ඇති කියලා.

කොච්චර විශාලද? මීටර් 2, නැතිනම් අඩි 7ක් විතර විශාලත්වයෙන් යුතුයි කියලයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය කියන්නේ.

මොකක්ද මේ දීලා තියෙන නම? මේකට කියලා දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් මොකක්ද කියලා හිතාගන්න බැරි දෙයකට කියන WTF? (What The F*ck?) යන අර්ථයෙන් කියලා බ්‍රිතාන්‍යයේ ඩ්‍රේලි මේල් පුවත්පත කියනවා. මේ වගේ තවත් හඳුනාගන්න බැරිවස්තූන් වලටත් WTF කේතය දෙන නිසා ලංකාව පැත්තට එන මේ වස්තුවWTF-1190F කේතයෙන් මේක හඳුන්වනවාලු. (බොරු නෙමෙයි, ඇත්ත)

ඇත්තට කොහෙටද මේක වැටෙන්නේ? - ලංකාවේ සමහර පත්තර දැන් මේක පත්තර විකුණගන්න දෙයියෝ දුන්න දෙයක් වගේ සළකගෙන මේක විකුණාගෙන කන්න හදන බව පේනවා. මේක කඩාවැටෙනවා කියන්නේ ලංකාවේ දකුණුදිග වෙරලතීරයෙන් කිලෝමීටර් 60ක් විතර ඈත සාගරයට කියලයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය කියන්නේ.

Image Courtesy of Dailymail.co.uk 
ලංකා භූමියට වැටුනොත් හානියක් වෙයිද? මේකෙ විශාලත්වය මීටර් 2ක් කියලා හොඳින් තහවුරුවෙලා තියෙනවා. දුරේක්ශවලින්, රේඩාර් වලින් සෑහෙන දවසක් නිරීක්ශණය කරලා මේ බව තහවුරු කරගෙන තියෙනවා.

ඒවගේම රේඩාර් හා මයික්‍රෝවේව් තරංග මේකට යොමුකරලා ලැබෙන දත්තවලින් තහවුරුවෙලා තියෙනවා මෙම වස්තුව ඝණත්වයෙන් බොහොම අඩුයි කියලා. ඒවගේම විද්‍යාඥයින් කියන විධියට මේ වස්තුවෙන් විශාල ප්‍රතිශතයක් ඒක පොලොවට ලංවෙන්න ඉස්සෙල්ලා වායුගෝලීයේ ඝර්ෂණයෙන් දැවී යනවා. එය බොහෝ කුඩා උල්කාපාතවලට පොද් දෙයක්.

ඒ නිසා, බැරිවෙලාවත් පොලොවට කඩාගෙන වැටුනොත් ජීවිත හානි, දේපොල හානි වෙන්න ඉඩක් නෑ කියලයි ඔවුන් සහතික කරන්නේ.



Monday, 26 October 2015

මාකෙළි ඇල්ල

මාකෙළි ඇල්ල - Image Copyright : Terence K Arachchi
මධ්‍යම කඳුකරයේ දිය ඇලි හා සම සුන්දරත්වයේ ලා සැලකිය හැකි කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇල්ලක් පිළිබඳවයි.මෙය "මාකෙළි ඇල්ල" වේ.ඔබ පාහියන්ගල සංචාරයේ යෙදෙන්නෙක් නම් ඔබට මෙම දිය ඇල්ල නැරඹීමේ අවස්ථාව පහසුවෙන් උදාකරගත හැක. බුලත්සිංහල හරහා බුලත්සිංහල -පරගොඩ මාර්ගයේ පරගොඩ පසු කරමින් මෝල්කාව හන්දියට පැමිණ කෙලින් කන්ද ප්‍රදේශයට ගමන්කිරීමේදී මෙම දිය ඇල්ල නැරඹිය හැක.නැතිනම් කොළඹ මාර්ගයේ අගලවත්තට ගොස් කුකුළේ ගඟ ව්‍යාපෘතියටත් පැමිණි පසු, කුකුළේ ගඟ සිට කිලෝ මීටර 3ක් පමණ තරම් දුරින් පිහිටි මාකෙළි ඇල්ලට පහසුවෙන්ම ලඟා වෙන්නට පුළුවන්.

නෙළුකැටිය රක්ෂිත වනාන්තරය හරහා ගලා බසින මාකෙළි දොළ තමයි මෙම ස්ථානයේදී මාකෙළි ඇල්ල බවට පරිවර්තනය වෙන්නෙ. ඇල්ල පිහිටි ප්‍රදේශයට කිට්ටු වෙනකොට අවතීර්ණ වෙන්නෙ ජනගහණය ශුණ්‍යහරිත වර්ණ පලාතකට. ඇල්ල බලන්න යන සංචාරකයන් ඇරුණහම වෙනත් වාහනයක් ඒ මාර්ගයේ නොයන තරම්. පාර දෙපැත්තෙම හරිත වර්ණ ගහකොළ වලින් සැරසුන පරිසරය සිසිල් සුවදායක බවක් ගේනවා.  සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සවිකල පුවරුවක මාකෙළි ඇල්ල පිලිබඳව විස්තර සඳහන් වනවා. පුරාවෘත්තවල දැක්වෙන ආකාරයට මාකෙළි ඇල්ල පිහිටි පාලින්ද නුවර, වීදිය බණ්ඩාර කුමරු ප්‍රාදේශිය පාලකයෙකු ලෙස ඔටුණු පැළඳි නුවරක්.


මීටර 21 පමණ උසින් යුතු දිය ඇල්ලෙන් කඩා හැලෙන සුදු පැහැති පැහැදිලි ජල ධාරාව ඇල්ල පහලට වැටී අවට සිටින්නන්ගේ ඇඟට ජල බිඳු ඉසිමින් ගලා යන හැටි කෙතරම් වෙලා බලා හිටියත් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම දිය ඇල්ල බලන්නට සකසා ඇති ස්ථානයෙන් ටිකක් එහාට ගියහම නාන්න සුදුසු තැනකුත් හමු වෙනවා.

IMG_4906.JPG


IMG_4893.JPG


DSCN0001 (2).JPG
මාකෙළි ඇල්ල - Image Copyright : Terence K Arachchi

දිය ඇල්ලේ සුන්දරත්වය වගේම එහි ඇති අනතුරුදායක බවත් ඉතාම ඉහළයි. මේ වන විට මෙම ස්ථානයේදී ජීවිත තිස් ගණනක් බිලි ගෙන ඇති බැවින් සංචාරකයන් තම පරෙස්සම ගැන කල්පනාවෙන් සිටීම වැදගත්.ඒ වගේම ඉතාම සුන්දර පරිසරයක් වන මාකෙළි ඇල්ල අවට රක්ෂිතය අප විසින් ගෙනයන පොලිතින් ආදී අපද්‍රව්‍ය තැන තැන දමා අපවිත්‍ර නොකිරීමටත් අප වගබලා යුතුමයි.

උසින් 21m ක් පමණ වන මෙම දිය ඇල්ල මඳක් දුර සිට නරඹන්නෙකුට මනාලියකගේ වේලයක් ආකාරයෙන් දිස්වේ.මෙම දිය ඇල්ල ආශ්‍රිත පෙදෙස අතීතයේදී පවා ගිරි දුර්ග,ජල දුර්ග වලින් සමන්විත පෙදෙසක් වූ බැවින් එවක යුධමය අවස්ථා වලදී ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස භාවිත කර ඇත. මෙම දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂිත පෙදෙස වර්ග කිලෝමීටර 11 කට හිමිකම් කියයි.මෙම ප්‍රදේශයට නිරිත දිග මෝසම මගින් තද වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය 4000mm පමණ වේ.



Tuesday, 20 October 2015

Star Wars Episode VII: The Force Awakens

Official Star Wars VII Poster
ස්ටාර්-වෝස් (තාරකා යුද්ධ ) චිත්‍රපටමාලාවේ 7වැනි දිගහැරුම ලබන දෙසැම්බර් 18 වැනිදා නත්තල් නිවාඩු සමයේදී එලිදැක්වීමට චිත්‍රපටයේ නිශ්පාදකයා වන ලූකස් ෆිල්ම් සමාගම හා එහි මව් සමාගම වන ඩිස්නි චිත්‍රපට සමාගම තීරණය කොට තිබෙනවා. සුප්‍රකට අධ්‍යක්ශක ජේ. ජේ ඇබ්‍රැම්ස් විසින් අධ්‍යක්ශණය කරන ලද ෆෝර්ස් අවේකන්ස් චිත්‍රපටයේ තිර රචනයේ මුල් පිටපත මයිකල් ආර්න්ඩ් විසින් රචනාකරන ලද අතර ජේ. ජේ ඇබ්‍රැම්ස් හා ලෝරන්ස් කැස්ඩැන් විසින් අවසන් පිටපත සකස් කරන ලදී.

ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ සයවන දිගහැරුම වූ, 1983දී තිරගතවුනු "රිටර්න් ඔෆ් ද ජෙඩායි" චිත්‍රපටයේ කාළවකවානුවට වසර 30කට පසු කාලයක වන සිදුවීම් "ද ෆොර්ස් අවේකන්ස්" චිත්‍රපටයේ දිහැරෙයි. ස්ටාර් වෝස් චිත්‍රපට 6කින් යුතුවීමට නිමාණය කරන ලද නමුත්, එය එතරම් ජනප්‍රිය නොවේයයි ජෝර්ජ් ලූකස් ඇතුලු නිශ්පාදකයින් සිතූ බැවින් අවසාන චිත්‍රපට තුන වන Star Wars Episode IV: A New Hope (1977) , Star Wars Episode V: Empire Strikes Back (1980), Star Wars Episode VI, Return of the Jedi 
(1983) එලිදැක්වීමට තීරණය කලා.

අතිශයින්ම සාර්ථවෙමින් බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලූ මෙම චිත්‍රපට ත්‍රිත්වයේ කලින් අතහැර දැමුනු මුල් චිත්‍රපට තුන, එනම් Star Wars Episode I: The Phantom Menace (1999), Star Wars Episode II: Attack of the Clones (2002), Star Wars Episode III: Revenge of the Sith (2005) එලි දැක්වුනු අතර, මේ වසරේදී එලි දැක්වෙන Star Wars Episode VII: The Force Awakens චිත්‍රපටය, ස්ටාර් වෝර්ස් චිත්‍රපටමාලාවේ අලුත්ම කථා ත්‍රිත්වයේ පලමු දිගහැරුමයි.

1983දී එපිසෝඩ්ස් 4, 5 හා 6 හි ප්‍රධාන චරිතවලට පණපෙවූ මාර්ක් හැමිල් (ලූක් ස්කයිවෝකර්), කෑරී ෆිෂර් (ලූක් ස්කයිවෝකර්ගේ නැගෙණිය වන ප්‍රින්සස් ලේයා), හැරිසන් ෆෝඩ් (හාන් සෝලෝ) මෙන්ම හාන් සෝලෝගේ සගයා මෙන්ම ඔහුගේ මිලෙනියම් ෆෝල්කන් අභ්‍යවකාශ යානයේ සහයක නියමුවාද වන, වූකී නම් රණකාමී වානර ගෝත්‍රයේ සාමාජිකයෙකු වන චිව්බාකා මෙන්ම ලූක් ස්කයිවෝකර්ගේ සුවච කීකරු රෝබෝ සගයන් වන R2D2 හා C3PO ද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 

ඊට අමතරව තවත් අලුත් චරිත ගණනවක්ද මෙම චිත්‍රටයේදී ප්‍රේක්ශකයින්ට හඳුන්වාදෙනවා. ඉන් ප්‍රධාන වන්නේ මෙම සිනමා ත්‍රිත්වයේ දුෂ්ඨයා වන කයිලෝ රෙන්. Knights of Ren නැමති ඉපැරණි නයිට්වරුන්ගේ ගෝත්‍රයකින් පැවත එන කයිලෝ රෙන් අති දක්ශ සටන්කාමියෙකු වන අතර ඔහුගේ අරමුණ වන්නේ ජෙඩායි නයිට්වරුන් විනාශකොට ඩාර්ත් වේඩර් හා ඔහුගේ ස්වාමියාවන ශීව් පැල්පටීන් අධිරාජ්‍යයාගේ පරාජයෙන් විනාශවී ගිය අභ්‍යවකාශ අධිරාජ්‍යය (Galactic Empire) නැවතත් ගොඩනැගීමයි.

"කයිලෝ රෙන්"
තවත් ප්‍රධාන චරිතයක් වන්නේ ඩේසි රිඩ්ලි විසින් නිරූපණය කරන "රේ" නම් චරිතයයි. ජාකූ නම් කාන්තාර ග්‍රහලෝකයක ජීවත්වන ඇය කඩාවැටුනු අභ්‍යවකාශ යානාවල කැබලි එකතුකර විකුණා සිය ජීවිකාව ගෙනයනවා. ජීවිතකාළය පුරාම දුක්-කම්කටොලු ගහණ ජීවිතයක් ගතකල රේ ඉතා ජවසම්පන්න තරුණියක් වන අතර ජාකු ග්‍රහලෝකයේ අබලි ද්‍රව්‍ය වෙළඳාම පාලණය කරන සටකපට වෙළඳුන් හා ගණුදෙනු කිරීමට හැකි නුවණක්කාරියක්ද වනවා. ජාකූ ග්‍රහලෝකයේ අබලි ද්‍රව්‍ය එකතුකරන්නියක් ලෙස සිටි ඇය චක්‍රවාටයේ නිදහස වෙනුවෙන් සටන්කරන සටන්කාමි සෙබලියක් බවට පත්වන ආකාරය ෆෝර්ස් අවේකන්ස් චිත්‍රපටයෙන් ඔබට දැකගත හැකියි.

ජාකු ග්‍රහලෝකයේ අබලි ද්‍රව්‍ය එකතුකරන්නියක් වන "රේ"

කලක් අධිරාජ්‍යයේ ස්ටෝම් ටෲපර් සෙබලෙකුව සිටි "ෆින්" අධිරාජ්‍යයට විරුද්ධව සටන්වදින සටන්කාමියෙකු බවට පත්වෙයි.

Monday, 19 October 2015

මෙගලිතික යුගයට අයත් ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමියෙන් වසර 2600 ක් පැරණි සොහොනක් හමුවෙයි



දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී ඉපැරණි සොහොන් කොත් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. විශේෂත්වයක් වන්නේ මෙම සොහොන් කොත් විජයාගමනයටත් පෙර නැතහොත් වසර 2600 කට පෙර ගොඩනැගූ ඒවා වීමයි. අතීතයේ සුසාන භූමි ආශ්‍රිතව පැවති සංස්කෘතිය සම්බන්ධයෙන් සාධක රැසක් මෙම ඉපැරණි සොහොන් භූමියෙන් හමුව තිබේ. 

බුදුදහම ලංකාවට පැමිණීමට පෙර සිටි මිනිසුන් මරණින් පසු ජීවිතයක් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කර ඇති බව මෙම සොහොන්කොත් ඇසුරින් සනාථ වන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 

මෙවැනි සොහොන් කොත් විශාල ප්‍රමාණයක් එකම ස්ථානයකින් හමුවීම ද විශේෂත්වයක් බව ඔහු පවසිය. 

මෙම සුසාන භූමියෙන් මේ වනවිට සොහොන් කොත් 42 ක් සොයාගෙන ඇති අතර මියගිය පුද්ගලයා ජීවත්ව සිටියදී ඇළුම් කළ භාණ්ඩ මැටි භාජනවල දමා ඔවුන්ගේ සොහොන් තුළ වළදමා ඇති බව පෙනී යයි.

මෙතෙක් එකම ස්ථානයකින් හමුවූ වැඩිම සොහොන් ගර්භ බරණි සහ මුට්ටි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඉබ්බන්කටුව මහා ශිලා සුසානයේ කරන ලද කැණීම්වලදී හමුවී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රියන්ත ගුණවර්ධනගේ මගපෙන්වීම යටතේ එකී අරමුදලේ දඹුල්ල කළමනාකරු අජිත් ජයසුන්දර යටතේ මෙම කැණීම් කටයුතු සිදු කෙරේ.

දැනට සිදුකර ඇති කැණීම්වලදී සොහොන් ගර්භ 42 ක් සහ බරණි සහ හට්ටි 20 ක් පමණ මතුකරගෙන තිබේ. මෙම බරණි හා මුට්ටි පශ්චාත් විශ්ලේෂණ කටයුතු සදහා රසායනාගාර පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.

ක්‍රි.පූ.6 වන සියවසෙහි විජයාවතරණයත් සමග සිංහල ජාතිය ආරම්භවූ බවට සැලකුණද, ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් බිම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන බැව් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මීට පෙර මෙම සුසානයේ කැණීම් සිදුකර ඇත්තේ 1982 වසරේදීය.

එම කැණීම්වලදී ප්‍රථමවරට සොහොන් ගර්භ 19 ක් සොයැගැනුණු අතර, සිදු කළ කාබන් පරීක්ෂණවලදී ඒවා වසර 2500 කට වඩා පැරණි මෙගලිතික යුගයට අයත් බවට විද්වතුන් විසින් අනාවරණය කරනු ලැබිණ.



ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය

ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි.

දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

ක්‍රි. පූ. 6 වන සියවසේහි විජයාවතරණයත් සමග සිංහල ජාතිය ආරම්භ වූ බවට සැලකුණද, ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් කොත් මගින් සිතා ගත හැකි බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

මිනිසෙකු මිය යැමෙන් පසු ඔහු ආදාහනය කර ලබා ගත් අළු, මැටි බඳුන්වල තැන්පත් කිරීමට තරම් ඉහළ මට්‌ටමක මිනිස්‌ සමාජයක්‌ එකල සිටි බැව් හෙලිවී ඇත.

මෙගලිතික යුගය ලෙස මානව විද්‍යඥයන් විසින් හඳුන්වනු ලබන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ යුගයයි.

ඉබ්බන්කටුවේ මෙගලිතික සොහොන්බිමට සමාන සොහොන් කොත් අනුරාධපුර ගෙඩිගේ, පොන්පරිප්පු කන්දරෝදේ යන ස්‌ථානවල කරන ලද කැනීම්වලදී හමුවී තිබේ.

විජය පැමිණෙන්නට පෙර යක්‍ෂ, නාග, රාක්‍ෂ ආදී කණ්‌ඩායම් මෙහි සිටි බව ඔප්පු කිරීමට මේ සොහොන් බිම් කදිම සාක්‍ෂියක්‌ යෑයි කියති.

මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථමවරට හඳුනාගන්නා ලද්දේ 1970 වසරේදී වන අතර එහි මූලික පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා විසිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩ සටහන යටතේ මෙම ස්‌ථානය පර්යේෂණයට ලක්‌වූයේ 1982 වසරේ දීය.

මෙම ප්‍රදේශය සොහොන් බිමක්‌ බැව් නොදත් ගම්වාසින් මෙහි නිවාස ඉදිකර පදිංචිවී සිටින අතර, බොහෝ දෙනෙක්‌ නොදැණුවත්කම නිසා මෙම පිටියේ සොහොන් ගල් නිවෙස්‌වලට ගෙන ගොස්‌ විවිධ කාර්යයන් සඳහා පාවිච්චි කර ඇත.

"මෙම ඉඩම්වල අපි බලෙන් පදිංචිවූයේ නැහැ. හිටපු අමාත්‍යවරයෙකු වූ ටී. බී. තෙන්නකෝන් මහතායි. අපට මේ බිම් කොටස්‌ ලබාදුන්නේ. ඒ 1970 ගණන්වල ඒ කාලයේ මෙතන ඓතිහාසික සොහොන් බිමක්‌ හඳුනාගෙන තිබුණෙ නැහැ. අපි දැනට අවුරුදු හතලිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම ඉඩමේ පදිංචිව සිටිනවා.

අපිට මේ ඉඩම් කට්‌ටි සඳහා මේ වනතුරු ඔප්පු හෝ බලපත්‍ර ලබාදී නැහැ.

මෙම ඓතිහාසික භූමිය සංරක්‍ෂණය කිරීම ගැන අපේ විරුද්ධත්වයක්‌ නැහැ. එහෙත් අපිටයි අපේ දරුවන්ටයි යන්න තැනක්‌ තියෙන්න ඕනෑ".

මේ භූමිය ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ අක්‌කර 300 ක්‌ විශාල දඹුළුඔය වත්ත පිහිටා තිබෙනවා. එම ඉඩමේ අක්‌කර 200 ක්‌ පමණ කිසිදු වැඩකට නොගෙන තිබෙනවා. එම වත්තෙත් අපිට බිම් කොටස්‌ ලබා දෙන ලෙස වසර ගණනාවක්‌ තිස්‌සේ අපි රජයෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් මේ දක්‌වා අපට කිසිදු සහනයක්‌ සැලසුනේ නැහැ.

අපි දැනට ජීවත්වන්නේ පුරාවිද්‍යා නිලධාරින්ගේ විවිධ තර්ජන මැද්දේ. ඒ නිසා මෙම දැවෙන ප්‍රශ්නයට වහා විසදුමක්‌ ලබා දිය යුතුයි.

ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය වටා පදිංචිව සිටින පිරිස වෙනුවෙන් අදහස්‌ දැක්‌වූ ඩබ්ලිව්. ජී. තෙන්නකෝන් බණ්‌ඩා නමැති සය දරු පියකු එසේ පැවසීය.

ඉබ්බන්කටුව සුසාන භූමිය හෙක්‌ටෙයාර් 10 ක පමණ පැතිරී තිබෙන අතර, එදා මෙහි 40,000 කට අධික ජනවාස සංඛ්‍යාවක්‌ තිබුණු බවට ඓතිහාසික සාධක මගින් සනාථ වී තිබේ.

මෙම ඓතිහාසික සුසාන භූමිය පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සිය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

"කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳ ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුව සොහොන් බිමෙනි. එකම පවුලක හෝ එකම කුලයක කිහිප දෙනකුගේ භෂ්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති සොහොන් "කළ ගෙඩි" භාවිත කරමිනි. එක්‌ කාමරයක්‌ ඇති සොහොන්, කාමර දෙකක්‌ ඇති සොහොන් මෙන්ම කාමර කිහිපයක්‌ ඇති සොහොන්ද මෙම සුසාන භූමියේ දැකගත හැකියි. කාමර කිහිපයක්‌ සහිත ලොකු සුසාන ගෙවල් ඉහළ පන්තියේ ඒවා විය හැකිය.

"යම්කිසි රටක ජනතාවගේ සංස්‌කෘතික තත්ත්වයන් නිසි පරිදි අවබෝධ කර ගත හැක්‌කේ ඔවුන්ගේ සුසාන තුළින් යයි පැවසීම සාධාරණය. එවකට සමාජයේ තත්ත්වය මැනැවින් අවබෝධ කර ගත හැක්‌කේ ඒ සමාජයේ මිනිසුන් මිහිදන් කළ ස්‌ථාන හා ඒ වටාපිටාව මගිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ඉතා පුළුල්, සමීක්‍ෂණ, ගවේෂණ හා පර්යේෂණවලට භාජනය වූ ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හෙළිවන විසිතුරු ඉතිහාසය රාමායණයේ වාල්මිකී මුනිවරයා සඳහන් කර ඇති අති ශ්‍රේෂ්ට සිංහල සමාජය නොවේද?

මෙම සොහොන් බිමේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ බඳුන්වල තිබුණු අක්‍ෂර කියවා බැලූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ අක්‍ෂර ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හරජපා ශිෂ්ටාචාරයෙන් සොයා ගත් මැටි පුවරුවල අක්‍ෂරවලට සමීප බවක්‌ දක්‌නට ඇති බවයි.

කුරුණෑගල - දඹුල්ල මහා මාර්ගය ඔස්‌සේ දිනකට දෙස්‌ විදෙස්‌ සංචාරකයන් දහස්‌ ගණනක්‌ උතුරු හා නැගෙනහිර පළාත් කරා ගමන් කළද, එම මාර්ගය ආසන්නයේම පිහිටි මෙම ඓතිහාසික සුසාන භූමිය බොහෝ දෙනකුගේ අවධානයට ලක්‌ නොවීම කණගාටුවට කරුණකි.

මෙම තත්ත්වය උද්ගතවී ඇත්තේ මෙම ස්‌ථානය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් ප්‍රචාරයක්‌ ලබාදීම සඳහා වගකිවයුතු අංශ කිසිදු පියවරක්‌ ගෙන නොමැති බැවිනි. අඩුම වශයෙන් මෙම ඓතිහාසික ස්‌ථානය පිළිබඳව විස්‌තර ඇතුළත් පුවරුවක්‌ මහා මාර්ගය අසල ප්‍රදර්ශනය කරන්නේ නම් බොහෝ දෙනා එය නැරඹීමට උනන්දුවක්‌ දක්‌වනු ඇත.

මෙම සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සංස්‌කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුව තිබේ.

Source : http://www.divaina.com/2010/07/25/feature15.html

Saturday, 17 October 2015

What to do for the traffic gridlock in Colombo? - A citizen's thoughts | අධික වාහන තදබදයට කුමක් කලයුතුද? - පුරවැසි සටහනක්


"ශ්‍රී ලංකා රථවාහන පොලීසිය මහාමාර්ගවල අයිතිකරුවන් ලෙස රඟපාන නිවට භූමිකාවෙන් වහා නෙරපාදැමිය යුතුය. මහාමාර්ගවල අයිතිකරුවන් වන්නේ බදුගෙවන මහජනතාව මිස අඩු-උගත්කමක් හා අතිමාන්නයක් ඇති යුනිෆෝමය ඇඳගත්විට නූගත් මුඩුක්කු චන්ඩින් මෙන් හැසිරෙන ට්‍රැෆික් පොලීසිය නොවේ"

අධික රථවාහන තදබදය අද අපරටේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා. ඊයේ පෙරෙදා ශ්‍රී ලංකා ට්‍රැෆික් පොලීසිය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කල අඥාණ රථවාහන ධාවන සැලැස්ම, පොලිසියේ වෙනත් අඥාණ සැළසුම් මෙන්ම ලත් තැනම ලොප්වුයේ ට්‍රැෆික් වැඩිවීම නිසාය. ශ්‍රී ලංකා පොලීසියට් දැවැන්ත බුද්ධිහීනතාවයකින් පෙලෙන බව පැහැදිලිවම පෙනේ.

නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා නූගත් දෙශපාලකයින්ගේ අතවැස්සන්වීමට සිදුවීම නිසා උගත් තරුණ තරුණියන් පොලිස් සේවයේ රැකියාවක් ගැන සිතන්නේ නැත. පසුගිය කාළයේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට විවිධ අංශවල උගත්කම් ඇති, විදෙස් උපාධි පවා ඇති තරුණයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන්ම බැඳුනු අතර, ඔවුන්ගෙන් නිසි සේවය ලබාගැනීමට එම හමුදා සමත්විය. ඔවුන්ගේ සමත්කමත්, පොලිසියේ අසමත්කමටත් ප්‍රධාන හේතුවක් වන්නේ පොලිසියේ මොළේ ඇති අයගේ හිඟකමය.
 
උගත් දක්ශ තරුණ තරුණියන් පොලීසියට බැඳුනත් කටයුතුකරන්නට සිදුවන්නේ අඩු උගත්කමකින් යුතු දූශිත උසස් නිළධාරීන් සමග නිසා ඔවුන් වැඩිකල් නොගොස්ම ඉච්ඡාභංගත්වයට පැමිණ සේවයෙන් පලායනු ඇත. මෙනිසා ශ්‍රී ලංකා පොලීසියට බුද්ධිමත්ව කල්පනාකොට, ගැටලුවක සියලු මාන විමසාබලා, සියලු කරුණු ආවරණයවන පරිදී තීන්දුගැනීමේ හැකියාවක් නැත.

උගත් දක්ශ තරුණ තරුණියන් මෙවැනි ආයතන සංස්කෘතියක් (corporate culture) ඇති ශ්‍රී ලංකා පොලීසියට බැඳෙන්නට සිහිනෙන්වත් සිතයිද? Source : Facebook.com
කෙසේවෙතත් මෙය පොලීසිය පිලිබඳව විවරණයක් නොව, රථවාහන තදබදය සඳහා යම් ප්‍රායෝගික යෝජනා සාකච්ඡාවකි. 

මෙහිදී ප්‍රධාන ඇල්මැති පාර්ශව (stakeholders) කිහිපයක් හඳුනාගත හැකිය. පොදු ප්‍රවාහනසේවා භාවිතා කරන මහජනතාව, පුද්ගලික රථවාහන පදවන මහජනතාව, ත්‍රීවීලර් ඇතුලු කුලීරථ කරුවන්, බස් රියැදුරන්, ලොරි හා වෙනත් වාණිජ වාහන පදවන්නන්, ආණ්ඩුව හා විපක්ශයයි. මෙහිදී ආණ්ඩුව හා විපක්ශය විශේෂයෙන් නිර්වචනය කරන්නේ මෙම ලිපිය පවතින ආණ්ඩුවට පක්ශ හෝ විපක්ශ ලෙස හඳුනාගැනීමෙන් වැළකීම සඳහාය.

විපක්ශය යනු අද විපක්ශයට වැටී තිබෙන රාජපක්ශ මහතා හා ඔහුගේ හිතේසිවන්තයින් නොව, පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ශයේ නොවන කාණ්ඩයයි. දැන් ආණ්ඩු කරන්නේ කලින් සිටි විපක්ශයයි. එනම් විපක්ශය යනු, මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹිදා සිට ආණ්ඩුවෙන් පිට සිටි බහුතරය නැති කණ්ඩායමය. ඒ අනුව ආණ්ඩුව වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ශයයි. කලින් එය රාජපක්ශලාගේ වූ අතර දැන් එය මෛත්‍රී/රනිල් සතුය.
m
අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා කුමක් කල යුතුද?

1] මිනිසුන් වාහන ගැනීම අඩුකිරීමට අධික බදු පැනවිය යුතුද?

උත්තරය - කිසිසේත්ම නැත යන්නයි. මෙම විසඳුම බුද්ධිමත් විසඳුමක් නොව, ශ්‍රී ලංකා පොලීසිය ගන්නා තීන්දුමෙන් විෂම තීන්දුවකි.

කාරයක්, වෑන් රථයක් හෝ මෝටර් බයිසිකලයක් යනු සුඛෝපභෝගී භාණ්ඩ නොව, නූතන ලෝකයේ ජිවත්වන මිනිසුන් හට අත්‍යාවශ්‍ය රූපවාහිණිය, දුරකථනය, පරිගණකය මෙන්ම මෙවලමකි. සෑම පුරවැසියෙකුටම සාධාරණ මිලකට තමන් කැමති ආකාරයේ රූපවාහිණියක්, දුරකථනයක්, පරිගණකයක්, ඇඳුම් ආයිත්තම් ගැනීමට අයිතිය හා නිදහස ඇතුවාසේම ඔවුනට වාහනයක් ගැනීමේ අයිතිය, එය පැදවීමේ අයිතිය තිබිය යුතුය. 

මෙම අයිතිය විරුද්ධ වන්නේ මෝඩ පැලැස්තර දේශපාලකයින් හා අනුන් වාහනයක් ගන්නවාට අකමැති කුහකයින්ය. මම මාගේ වාහනය පදවාගෙන අද උදෑසන වැඩට යනවා මෙන් ඕනෑම කෙනෙකුට තමන්ටම වාහනයක් ගෙන එය පදවාගෙන වැඩට හෝ වේන ඕනෑම තැනකට යමට අයිතිය තිබිය යුතුය.

එම අයිතිය නැතිකරන නැතහොත් අසාධාරණ කෘත්‍රිම බාධක දමා එම අයිතිය ධනවතුන්ට පමණක් සීමා කරන්නට (ධනවතුන් 1000% ප්‍රතිශතයක් හෝ බදුගෙවා තමන් කැමති වාහන මිලිදී ගනු ඇත) උත්සහ කරන්නේ කයින් විසි එක්වැනි ශතවර්ශයේ ජීවත් වුවත් සිතුවිලි හා ආකල්පවලින් වැඩවසම් යුගයේ දිවිගෙවන්නන් බව මාගේ හැඟීමයි.

2] වාහන සිමා කරන්නේ නැතුව, ඉක්මණින් තදබදය අඩුකරන්නේ කොහොමද?

උත්තරය - සරල විසඳුම් කිහිපයකින් තදබදය යම් ආකාරයකට කළමණාකරණය කල හැකිය. 

එහෙත් ඒ සඳහා ආණ්ඩුවට දේශපාලන කශේරුකාවක් තිබිය යුතු අතර විපක්ශයේ සුපුරුදු විරෝධතාවලට මෙන්ම වෙනත් වෙළඳ සංගම්වල විරෝධයට හා බලපෑම්වලට යටත් නොවී ක්‍රියාත්මක වීමට හා විවේචනවලට පැහැදිලි ලෙස පිලිතුරු දීමට හැකියාව ඇතිවුන් මෙම සැළසුම්වල ප්‍රවර්ධකයින් ලෙස පත්කල යුතුය. (රාජපක්ශ රජය මෙය ඉතා හොඳින් කලබව කිව යුතුය )

පලමුවැනි යෝජනාව  - කන්ටේනර්, ලොරි වෙනත් බරවාහන හා ඉඩම් වාහන උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා හා සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහමාර්ගවලින් ඉවත්කල යුතුය. මෙවැනි විශාල වාහන මන්දගාමී වන අතර විශාල ඉඩක් ගැනීම නිසා මහාමාර්ග තදබදය වැඩිවේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ධාවනය වන බොහොමයක් බරවාහන නිසි නඩත්තුවක් නොමැති අබල දුබල ඒවාවේ.

එමෙන්ම බොහෝ බරවාහන රියැදුරන් පිටුපසින් එන සැහැල්ලු වාහන ඉස්සර කරගෙන යෑම වලක්වා කෙසේ හෝ ඒවා තමන් පිටුපසින් ධාවනය කිරීමට සිදුවන ලෙස හෝ ඉතාමත් අණතුරු දායක ලෙස ඉස්සර කිරීමට පෙළඹෙන ලෙස මග අවුරාගෙන ගමන් කරමින් මහා කාළකණ්නි සතුටක් ලබන බව මා බොහෝ වර අත්දැක තිබේ. මෙය භයානක මානසික රෝගයක් වන අතර මෙම කාළකණ්නි රෝගය නිසා ඉස්සර කිරීමේදී ඉදිරියෙන් එන වානයක ගැටී අණතුරට පත්වන වාහන ප්‍රමාණය විශාලය. මරණීය අණතුරු වැඩිවශයෙන් සිදුවන්නේද බර වාහන ඉස්සර කිරීමේදී බව මගේ හැඟීමයි.

බොහෝ රටවල් තදබදය ඇති කාළවේලාවන් තුලදී (rush hours) මෙම නීතිය ඉතා සාර්ථකව සාර්ථකව ක්‍රියාත්මක කිරීම මීට දශක කිහිපයකටම පෙර සිට කලද ලංකාවේ ලොරි මුදලාලිලාගේ මාෆියාව මෙන්ම විවිධ වාණිජ සංගම්ද මෙයට විරුද්ධවන්නේ ලොරි රියැදුරන්ට ගෙවීමට සිදුවන අතිකාල දීමනා සඳහා වන අමතර වියදම අඩුකර ගැනීමටය. රටට මොනවාවුවද කෙසේහෝ කීයක් හරි ඉතුරු කරගැනීම මොවුන්ගේ අරමුණය.  එබැවින් ලෝක සම්මත මෙම සරල නීතිය ක්‍රියාත්මක කරගැනීමට ශ්‍රී ලංකාවේ රජයකට ඉතා ශක්තිමත් දේශපාලන කශේරුකාවක් අත්‍යාවශ්‍යය.

දෙවැනි යෝජනාව - ඉතා සැළසුම් සහගතව එක් අතකට පමණක් රථවාහන ධාවනය සිදුකරන ආකාරයට ධාවන තීරු වෙනස් කිරීම. මෙය පොලිසියට කිසිසේත් භාර නොදිය යුතු අතර එය මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම අංශයේ විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු අතර තීන්දු ගැනීම ඔවුන්ට භාර කල යුතුය. සකස්කල එම සැළසුම් අකුරටම ක්‍රියාත්මක කිරීම පොලීසියේ වගකීම වන අතර අත්තනෝමතික ලෙස මෙම සැළසුම් වෙනස් කිරීමේ බලය පොලීසියට නොදිය යුතුය. 


උදාහරණයක් ලෙස බත්තරමුල්ල කඩුවෙල මාර්ගයේ පොල්දූව පාලම (දියත උයන අසල නව පාලම) සිට කොස්වත්ත හන්දිය දක්වා මාර්ගය කඩුවෙල දෙසට එක් අතකට ධාවනයට සලස්වා කඩුවෙල සිට බත්තරමුල්ල/රාජගිරිය දෙසට එන වාහන කොස්වත්ත හන්දියෙන් (ඔඩෙල් හන්දිය) පාර්ලිමේන්තු පාර ඔස්සේ පොල්දූව පාලමවෙත පැමිණීමට සැළස්විය හැකිය. එවිට කොස්වත්ත හන්දියේ හා බත්තර මුල්ල හන්දියේ උදේ පාන්දර හා සවස ඇතිවන අධික තදබදය අවම කරගත හැකිය.මෙය එක් සරල උදාහරණයක් පමණකි.

තෙවැනි යෝජනාව - නිතිපතා, උදයේ 6.00 සිට රාත්‍රී 8.00 පමණවන තෙක් කොළඹ ප්‍රධාන මාවත්වල නිරන්තරයෙන් සැරිසරමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන්, තදබදය ඇතිවන ලෙස වාහන නවත්වා යන රියැදුරන් මෙන්ම මන්දගාමීව කොටමින් ධාවනය වන බස් රථ රියැදුරන් අල්ලා නඩු දැමිය හැකි ට්‍රැෆික් පොලිස් මුර සංචාර සේවයක්  (highway patrol service) ඇතිකල යූතුය. මේ සඳහා සවිස්තර සැළසුමක් නිර්මාණය කොට ආවරණය කල යුතු මාර්ග තීරණය කොට අවශ්‍ය සම්පත් (නිළධාරීන්, බයිසිකල්, ඉන්ධන ) ලබාදිය යුතුය.

දැන් ට්‍රැෆික් පොලීසිය සිදුකරන, තැන් තැන් වල සැඳවී සිටිමින් වැරදිකරුවන් හොයන නිවට ක්‍රියාමාර්ගයෙන් වහාම ඔවුන්  ඉවත් කල යුතුය. ට්‍රැෆික් පොලීසිය යනු එක් තැනකට සීමාකල යුතු සම්පතක් නොවේ. ඔවුන් සෑම විටම සංචරණයේ යෙදෙමින් රාජකාරිය කල යුතුය.

සිවුවැනි යෝජනාව - නිතරම මාර්ගනීති උල්ලංඝනය වන ස්ථානවල, තදබදය ඇති හංදිවල කැමරා සවිකොට එම කැමරාවල සටහන්වන මාර්ගනීති උල්ලංඝණය කරන රියැදුරන් සියලුම දෙනාට නඩු පැවරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුය. එවිට එක් තැනක සැඟවී සිටිමින් කරන ඇල්ලීම්වලින් ට්‍රැෆික් පොලිස් නිළධාරීන් පහසුවෙන් නිදහස් කල හැකි අතර නීත්‍යානුකූල සාක්ශි සහිතව වරදකරුවන් කෙලින්ම උසාවියට ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය හැකිය.

පස්වැනි යෝජනාව - ටැෆික් පොලීසිය මහාමාර්ගවල අයිතිකරුවන් ලෙස රඟපාන නිවට භූමිකාවෙන් වහා නෙරපාදැමිය යුතුය. මහාමාර්ගවල අයිතිකරුවන් වන්නේ බදුගෙවන මහජනතාව මිස අඩු-උගත්කමක් හා අතිමාන්නයක් ඇති ට්‍රැෆික් පොලීසිය නොවේ. මෙයද දැඩි දේශපාලන කශේරුකාවකින් ක්‍රියාත්මක කලයුතු විසඳුමකි.  ඒ මන්ද යත්, මෙම නියෝගය ආපසු හරවාගැනීමට ට්‍රැෆික් පොලීසිය දැමිය හැකි උප්පර වැට්ටි සියල්ලම දමනු ඇත. සැඟව සිට ඇල්ලීම ට්‍රැෆික් පොලීස් මහතුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයබව නොදන්නේ පොලිස්පතිතුමා පමණක් බව මට විශ්වාසය.


සයවැනි යෝජනාව - ලංකාවේ කාර්යාල හා පාසැල් ආරම්භවන වේලාවන් රථවාහන තදබදය කළමණාකරණය කරගත හැකි ආකාරයට වෙනස් කල යුතුය. උදාහරණයක් ලෙස දැන් පාසැල් පටන්ගන්නේ 7.30ටය. රැකියා ස්ථාන උදෑසන 8.00 සිට 9.00 දක්වා හිතූ හිතූ වේලාවල්වලට ආරම්භවේ. සේවකයින්ගේ පැය 8 රාජකාරි වේලාව, කෑම පැය, වේ විවේකය යනාදිය සාප්පු හා කාර්යාල සේවක පනතේ () දක්වා ඇතත් ඒ පිලිබඳව නිසි අවධානයක් යොමු නොවීම නිසා විවිධ ආයතන ප්‍රධානීන් තමන්ට කැමති ලෙස ඒවා නිර්වචනය කරගෙන සිටී.

මෙය වහා වෙනස් කල යුතුය. සෑම කාර්යාලයක්ම සේවා මුරයේ ආරම්භය පෙරවරු 8.30 සිදු නොකල යුතු බවට ආඥාවක් පැනවිය යුතුය. කාර්යාල 8.00 පටන් ගැනීමත් පාසැල් 7.30ට පටන් ගැනීමත් නිසා පාසැල් සිසුන් ගෙනයන දසදහස් ගණන් පාසැල් වෑන් රථවැනි වාහන වලට 8.00 වැඩට යන සේවක සේවිකාවන් ලක්ශ ගණනක් ගෙනයන වාහන දසදහස් ගණනක්ද එකම වේලාවට පාහේ කොළඹට ඇතුලුවීමට උත්සහ කරයි.

පාසැල් ආරම්භ වේලාව හා කාර්යාල ආරම්භ වේලාව අතර අඩුම ගණනේ පැයක වත් පරතරයක් පවත්වා ගතහොත් පාසැල් සිසුන් ගෙනයන වාහන පාසැල්වලට ලඟාවූපසු කාර්යාල සේවකයින්ට සිය වාහන මහාමාර්ගයට ගැනීමට හැකිවීමෙන්, වාහන තදබදය කළමණාකරණය කරගත හැකිය.

මේවා ඉතා සරල, සුළු ප්‍රාග්ධනයක් වැයවන, ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කල හැකි විසඳුම්ය. මීට අමතරව පොදු ප්‍රවාහනය දියුණු කිරීම වැනි මැදකාලීන ව්‍යාපෘතිද ක්‍රියාත්මක කල යුතුය.

Thursday, 15 October 2015

වසරේ හොඳම වනජීවී ඡායාරූප ශිල්පියා | Wildlife photographer of the year

ලොව ප්‍රධාන පෙළේ ඡායාරූප තරගාවලියක් වන 'වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා' (Wildlife Photographer of the Year) ඡායාරූප තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඊයේ (13) ප්‍රකාශයට පත් කර තිබේ. කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වූ එම තරගාවලියේ ජයග්‍රාහකයින් තේරීම ජාත්‍යන්තර විනිශ්චයකරුවන් පිරිසක් විසින් සිදු කරන ලදී.සම්මාන ප්‍රධානය ඊයේ ලන්ඩන් නුවර London Natural History Museum කෞතුගාරයේදී පැවැත්විණි
 
එහිදී කැනඩාවේ ආධුනික ඡායාරූප ශිල්පියෙකු වන ඩොන් ගුටොස්කි 2015 වසරේ හොඳම වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර විය. 

A Tale of Two Foxes - Don Gutoski
දිවි රැකගන්නට යෙදෙන සටනේදී මැරුණු ආක්ටික් හිවලෙකුගේ මස් ආහාරයට ගන්නා රතු හිවලෙකුගෙ රුවක් දිස්වන ඩොන්ගේ ඡායාරූපය ඉහතින් දිස්වේ.  මෙම ඡායාරූපය කැනේඩියානු ආක්ටික් ප්‍රදේශයක් වන උතුරු හඩ්සන් බොක්ක ප්‍රදේශයේදී කාචයට හසුකරගෙන ඇත. මෙහි දැක්වෙන සිවලුන් දෙදෙනා කැනේඩියානු රතු සිවලා (Canadian Red Fox) ලෙස හැඳින්වෙන ප්‍රමාණයෙන් විශාල සිවලෙකු හා ආක්ටික් සිවලා (Arctic Fox) හැඳින්වෙන සුදුපැහැති ප්‍රමාණයෙක් කුඩා සිවලෙකි. හඩ්සන් බොක්කද අයත්වන මැනිටෝබා ප්‍රාන්තයේ වැපස්ක් ජාතික වනෝද්‍යාන ප්‍රදේශයේදී කැනේඩියානු රතු සිවලාගේ හා ආක්ටික් සිවලාගේ වාසභූමි සීමා එකිනෙක හමුවන අතර මෙම ප්‍රදේශයේදී සිවලුන් දෙදෙනා අතර ගැටුමින් ආක්ටික් සිවලා පරාජයට පත්විය.

නැෂනල් ජියෝග්‍රෆික් සඟරාවේ ස්වභාවික විද්‍යා ව්‍යාපෘති අධ්‍යක්ශකවරයෙකු හා ඡායාරූප තරඟයේ විනිසුරුවරියක වන කැතී මෝරාන් මහත්මිය, මෙම ඡායාරූපය ගෝලීය උණුසුම්කරණය පිලිබඳවද වැදගත් පණිවුඩයක් දෙන බව පවසනවා. උත්තරධ්‍රැවාසන්න ප්‍රදේශවල උණුසුම ක්‍රමයෙන් වැඩිවන නිසා සාමාන්‍යයෙන් ධ්‍රැවාසන්න ප්‍රදේශවල සැරිසැරීමට අකමැති රතු සිවලුන් සිය දඩයම් සීමා වඩාත් උතුරුදෙසට ව්‍යාපත කරගෙන තිබෙනවා. ඒ අනුවයි ඔවුන් දැඩි ශීතල ධ්‍රැව ප්‍රදේශවල වසන ආක්ටික් සිවලුන්ගේ දඩයම් සීමා ආක්‍රමණය කරමින් තිබෙන්නේ. ඒ අනුව ඉදිරියේදී මෙවැනි සත්ව කොට්ඨාශ අතර ගැටුම් වැඩිවන්නට ඉඩ තිබෙන බව ඇය පවසනවා.

දියයට ඡායාරූපකරණයේ සම්මානය ඔස්ට්‍රේලියානු ජාතික මයිකල් ඇව් හට පිරිනැමුනු අතර. එය දකුණු අප්‍රිකාණු වෙරලට ඔබ්බෙන් බ්‍රයිඩ් තල්මසෙකු (Bryde's Whale) සාඩින් මසුන් දඩයමෙහි යෙදෙන ආකාරය දැක්වෙන දුර්ලභ ඡායාරූපයකි.


ජොනතන් ජේගෝ, ප්‍රංශය - Flight of the scarlet ibis - අවුරුදු 15-17 වයස්කාණ්ඩයේ ජයග්‍රාහක. බ්‍රසීලයේ ලෙන්කොයි දූපතට ඔබ්බෙන් බෝට්ටුවක යාත්‍රාකරමින් සිටියදී මෙම ඡායාරූපය ගෙන ඇත.


අමීර් බෙන්-ඩෝෆ්, ඊශ්‍රායලය - Red-footed falcons - කුරුළු ඡායාරූප කාණ්ඩයේ ජයග්‍රාහක. රතුපා උකුස්සා ලෙස හැඳින්වෙන මෙම දකුණු යුරෝපීය උකුස්සන් සෑමවිටම තිදෙනෙකුගේ රැළක් ලෙස හැසිරේ. එක් රැළක පිරිමි සතෙකු හා ගැහැණු සතුන් දෙදෙනෙකු සිටී.
 



කිලෝ 950ක් බර ලෝකේ ලොකුම වට්ටක්කා ගෙඩිය | The Science of growing Giant Pumpkins - යෝධ වට්ටක්කා වැවීමේ විද්‍යාව

ලොකුම ලොකු වට්ටක්කා වැවීම හා ඒවා වාර්ෂික යෝධ වට්ටක්කා තරඟවලට ඉදිරිපත් කොට ජයගැනීමට උත්සහ කිරීම අමෙරිකාවේ හා යුරෝපයේ ගොවීන්ගේ විනෝදාංශයක්. මේ දැවැන්ත වට්ටක්කා ප්‍රදර්ශණය කිරීමට හා ඒවායේ බර කිරා ලොකුම වට්ටක්කාව වැවූ ගොවියාට තෑගි පිරිනැමීමේ උත්සව, මේ දවස්වල, ඒකියන්නේ ගිම්හාන සෘතුව අවසන් වෙලා, අස්වන නෙළන සිසිර සෘතුව කාලයේ පැවැත්වීම සිරිතක් වෙලා තිබෙනවා.

එන්.බී.සී පුවත්සේවය වාර්තාකරන අන්දමට මෙම යෝධ වට්ටක්කා ගෙඩිය වවලා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ තරුණ ගොවි මහත්තයෙකු වෙන තිස් හැවිරිදි බෙනී මෙයර් විසින්.

මීට කලින් ලොකුම වට්ටකාව වැවීමේ සම්මානය හිමිවෙලා තියෙන්නේ කැලිෆෝනියාවේ ටිම් මැතීසන් හා සූසන් මැතීසන් කියන ගොවි යුවල විසිනුයි. බෙනී මෙයර් ගොවි මහත්තයාගේ මේ යෝධ වට්ටක්කාව නොවැම්බර් 2 වෙනකන් මහජන ප්‍රදර්ශණයට තියන බව යෝධ වට්ටක්කා උත්සවයේ සංවිධායකවරු මාධ්‍යවලට පවසලා තියෙනවා. නොවැම්බර් 2වැනිදා මේ වට්ටක්කාව කපලා අහල ගම් ගොඩකට සෑහෙන යෝධ වට්ටක්කා සුප් එකක් හදන්න එයාලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වට්ටක්කාවේ ඇටවලට, යෝධ වට්ටක්කා වවන්නට ආශාවක් දක්වන අයගෙන් ලොකු ඉල්ලුමක් ඇතිවෙන නිසා ඒවා වෙන්දේසි කරන්නත් බලාපොරොත්තු වෙනවලු.

The Science of growing Giant Pumpkins - යෝධ වට්ටක්කා වැවීමේ විද්‍යාව


අමෙරිකාවේ හා යුරෝපයේ වවනු ලබන යෝධ වට්ටක්කා ප්‍රබේධය ඩිල්ස් ඇට්ලැන්ටික් ජයන්ට් පම්ප්කින් (Dill's Atlantic Giant Pumpkin) ලෙස හැඳින්වෙනවා. යෝධ වට්ටක්කා වවා තෑගි දිනාගත් ගොවි රජවරුන් පවසන්නේ වට්ටක්කා ගෙඩියක් ටොන් එකක බරකට ලොකු කරගැනීම සෑහෙන ලෙස වෙහෙස මහන්සිවිය යුතු, එහෙත් ඉතා තෘප්තියක් ලබාදෙන කියලයි.

විශාලම වට්ටකා ගෙඩිය තේරීමේ තරඟ පැවැත්වීම හා ඒ සඳහා සුපිරි වෙළඳසැල්, පොහොර හා වෙනත් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ සමාගම් අනුග්‍රහය දැක්වීමත් නිසා විශාල මුදල් ත්‍යාග පිරිනැමීමට පටන් ගැනීමත් සමගම විශාලම වට්ටක්කාව වවා ජයග්‍රාහකයවීමේ තරඟයක් ගොවීන් අතර ඇතිවුනා. මීට වසර 50කට පෙර වුවද, යෝධ වට්ටක්කා ගෙඩියක් මෙතරම් විශාල නොවුවත්, මෙම තරඟකාරීත්වයක් සමග ගොවීන් ලොකුම වට්ටක්කාවල බීජ ලබාගෙන, ඒවා වරණාත්මක ප්‍රජනනය (selective breeding), කෘත්‍රිම පරාග සංසේචනය වැනි උපක්‍රම හරහා වසරින් වසර විශාල වට්ටක්කා ගෙඩිවල විශාලත්වය වර්ධනය කරගනු ලැබුවා. අදවන විට මෙට්‍රික් ටොන් එකක වට්ටක්කාවක් දක්වා මෙම යෝධ වට්ටක්කා ප්‍රබේධය දියුණුවූයේ එලෙසයි.

උතුරු අර්ධගෝලයේ ගොවීන්, සිය ගොවිතැන් කටයුතු පටන්ගන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ඒ අනුව වට්ටකා වැවීමද අප්‍රේල් මාසයේ ආරම්භවන අතර ඔක්තෝම්බර්, නොවැම්බර් වනවිට එම වට්ටක්කා හොඳින් මෝරා නෙලාගතයුතු උපරිම විශාලත්වයට පත්වෙනවා. සාමාන්‍යයෙන් යෝධ වට්ටක්කා ප්‍රබේධයේ ගෙඩි ඉතාම ඉක්මණින් විශාල වනවා. දිනකට කිලෝග්‍රෑම් 10-20ත් අතර ප්‍රමාණයකින් එම ගෙඩියක බර වැඩිවනවා කිව්වොත් ඔබ පුදුම වෙයි.

යෝධ වට්ටක්කා වැවීමට කැපවන ගොවීන් දිනකට පැය 8ක් පමණ ගොවිබිමේ කාළය ගත කරණ අතර, රාත්‍රී කාලයේ එම ගෙඩි උණුසුම්ව තැබීම සඳහා බ්ලැන්කට් වලින් වසා තබනවා.

කෙසේවෙතත් මෙම ගොවීන් බොහෝ දෙනෙකු, මෙම ගෙඩි විශාල කරගැනීම සඳහා කෘත්‍රිම පොහොර භාවිතා කරන්නේ අඩුවෙන්. ඒ වෙනුවට ඉවතලන තේ හෝ කෝපිකුඩු, උක්පැණි මණ්ඩි (molasses), මාළු වෙළඳසැල්වලින් ඉවතලන මත්ස්‍යකොටස්, මුහුදු ශාක හා ගෙවතුවලින් කපා ඉවත්කරන තණකොළ බෙහෙවින් යොදනවා.  එමෙන්ම බොහෝ ගොවීන් Mycorrhiza නම් දිලීරයක් භාවිතාකරනවා. මෙම දිලීරය වට්ටක්කා පැලයේ මුල් සමග සහවී (symbiotic) පැලෑටියට පෝෂණ කොටස් උරාගැනීමට උදවුවනවා.  එමෙන්ම Azospirillum නම් බැක්ටීරියාක්වක්ද පසට එකතුකරන අතර එම බැක්ටීරියාව මගින් පසෙහි පැලෑටියට උරාගත හැකි නයිට්‍රජන් ප්‍රමාණය වැඩිකරනවා.


මේ අතර, අමෙරිකාවේ, කැලිෆෝනියාවේ හාෆ් මූන් බේ ප්‍රදේයේ පැවැත්වුනු තවත් යෝධ වට්ටක්කා ප්‍රදර්ශණයක ඡායරූප බලාගන්න ඔබට පුලුවන්. මේ ප්‍රදර්ශයේදී බරම වට්ටක්කාව වවපු ගොවියාට ඩොලර් 30,000ක තෑග්ගක් ලැබුණා.










Wednesday, 14 October 2015

කොපි කරන්න හපන් චීනා Range Rover Evoque එකෙත් ලාබ කොපියක් හදලා!!!

චීනාගේ කොපි කිරීමේ හපන්කම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඕනෑම දෙයක්, ඒ විධියටම කොපිකරලා, අඩු ගාණට විකුණන්නට චීනුන් දක්වන්නේ උපන් හපන් කමක්. ලෝකේ ජනප්‍රියම සන්නාම බොහොමයකම ලාබ (බාල ) චීන කොපි චීනයේ වගේම ලෝකේ බොහෝ දියුණුවෙන රටවලටත් යවන්න චීන්නු හරිම හපන්නු. ලස්සනට කොපි කරපු අයිෆෝන්, අයිපෑඩ්, නිකොන්/කැනන් වගේ මිල අධික කැමරා විතරක් නෙමෙයි මැක්ඩොනල්ඩ්, KFC වගේ අවන්හල් වල පවා කොපි චීනයේ තියෙනවා.

චීනාගේ අලුත්ම කොපිය වෙන්නේ ලෑන්ඩ් රෝවර් සමාගමේ රේන්ජ් රෝවර් ඉවෝක් ජීප් රථයයි. 2014 ගුවැන්ග්ෂොව් මෝටර් රථ ප්‍රදර්ශණයේදී මුල්වරට එලිදැක්වුනු ලැන්ඩ්වින්ඩ් X7 රථයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලෑන්ඩ් රෝවර් සමාගම පියවර ගත්තත් එම වැඩපිලිවෙල අතරමග නතරවුනේ චීන බුද්ධිමය දේපොල නීතිය මගින් වාහනයක හැඩය රෝ ඇතුලත/පිටත නිර්මාණය බුද්ධිමය දේපොලක් ලෙස පිලිනොගැනීම නිසයි. මේනිසා ස්ටර්ලින් පවුම් 40,000කට මිලකොට ඇති තම රථයේ බාල කාබන් කොපියක් ස්ටර්ලින් පවුන් 14,000කට විකිණෙනු බලාසිටීම හැර වෙනදෙයක් කල නොහැකි බව ජගුවාර්-ලෑන්ඩ් රෝවර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා පවසනවා.










 චීනාගේ තවත් කොපි

 iPhone 6 Copy

Original iPhone 6 Plus and 6                                                                Chinese copy







COMMENTS

හෆොයි! දැන් ඉතින් දෙයක් ගත්තොත් ඒක "Made in China" නෙ.... on කොපි කරන්න හපන් චීනා Range Rover Evoque එකෙත් ලාබ කොපියක් හදලා!!!



Monday, 5 October 2015

පිරිමි ළමුන් වැඩිදුර ඉගෙනීම අතහැර දැමීමේ ජාතික ගැටලුව විසදන්නේ කෙසේද?


ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණදීමට ඇති අනේක විධ ගැටලු අතර, තවමත් රජයේ මෙන්ම වෙනත් ඇල්මැති පාර්ශවයන්ගේ (stakeholders) අවධානයට යොමු නොවූ විශාල ගැටලුවක් මෝදුවෙමින් පවතී. එනම් ශ්‍රී ලංකාවේ තරුණ පිරිමි දරුවන් උසස් අධ්‍යාපන අවස්ථා මගහරවා ගනිමින් කුමක් හෝ රැකියාවක් කොට හම්බකිරීමේ මානසිකත්වයකට යොමුවීමයි. 

මේ අනුව පිරිමි දරුවන් උසස් අධ්‍යාපනය හැදෑරීම  මගහරිමින් ඉන්නා අතර ගැහැණු දරුවන් අතර උසස් අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවය වේගයෙන් ඉහල යමින් තිබේ. ඕනෑම රටක උසස් අධ්‍යාපනයේ හිනිපෙත්ත වන විශ්වවිද්‍යාලවල ගැහැණු පිරීම් ප්‍රතිශත සලකා බැලීමේදී මෙම ප්‍රවණතාවය ඉතා පැහැදැලිව පෙනේ. ශ්‍රී ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල පාඨමාළාවල ගැහැණි පිරිමි අනුපාතය 55% ට 45% වේ. එනම් ඉන්ජිනේරු පීඨ හැරුණවිට අන් බොහෝ පීඨවල කාන්තා නියෝජනය ඉතා ඉහල ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්, ලෝකයේ වෙනත් රටවල කාන්තාවන් හා සසඳන විට ඉතා ඉහල දියුණුවක් අත්පත්කරගෙන ඇත. මෙය සැබැවින්ම සතුටට කාරණයකි. එහෙත් ගැටලුව ඇත්තේ කාන්තාවන් සීග්‍රයෙන් උසස් අධ්‍යාපනය සඳහා යොමුවෙද්දී, පිරිම දරුවන් වේගයෙන් (අපට පෙනෙන ආකාරයට ) උසස් අධ්‍යාපනයෙන් ඈත්වෙමින් සිටීමයි.

පිරිමි දරුවන් උසස් අධ්‍යාපනයෙන් ඈත්වීමෙන් ඇතිවෙන සමාජ ආර්ථික ගැටළු මොනවාද?

1] ඉතා සරලම උදාහරණයකින් පටන් ගතහොත් උගත් ගැහැණු දරුවෙකුට, සම-අධ්‍යාපනයක් ඇති, එනම් ගැළපෙන ආවාහ-විවාහයක් කරගැනීම කෙමෙන් කෙමෙන් අපහසු වෙමින් පවතී. 

ඉහල අධ්‍යාපනයක් ලබා, වෙනස් ආකාරයක චින්තන ක්‍රමයකට හුරුවූ ගැහැණු දරුවෙකු, එතරම් අධ්‍යාපනය නොලැබූ පිරිමියෙකු හා විවාහයේදී අදහස් හා ආකල්ප නොගැලපීමේ ගැටලුව නිසා විවාහ දෙදරායෑම, එමගින් දරුවන් දැඩි මානසික පීඩාවකට බඳුන්වීම යනාදී බරපතල ගැටලු ඇතිවේ. 

විවාහයන් දෙදරායෑම නිසා කාන්තාවන් තනිවීම, විශේෂයෙන් දරුවන් සමග තනිවීම එම කාන්තාවන් මෙන්ම දරුවන්ද අපයෝජනයට බඳුන්වීමේ අවස්ථා වැඩිකරයි.

2] පවුල් ජීවිතයකදී උගත් බිරිඳ ඉහල වැටුපක් ගනිද්දී එතරම් උගත් කමක් නැති සැමියා අඩු වැටුපක් ගැනීමේදී පවුල් සංස්ථාවේ පිරිමියාට හිමිවන ස්ථානය අහිමිවීම නිසා ඇතිවන ගැටලු හෙවත් ආදායම් පරතරය නිසා ඇතිවන ගැටලු. මෙහිදී ඉහල වැටුපක්, උසස් නිළයක් දරන බිරිඳ හා ඇයගේ ඉහල සමාජතත්වය  හා පිලිගැනීම පිරිමියාට, තමාට සිදුවන මදිපුංචිකමක් ලෙස අවබෝධවීමට හැකි අතර ඒ අනුව අමනාපකම්, එදිරිවාදිකම් හා වෛරී හැඟීම් දක්වා වර්ධනය විය හැකිය. 

3] එතරම් අධ්‍යාපනයක් නොලබන පිරිමින් පියවරුන් බවට පත්වීමෙන් පසු, ඔවුන්ගේ පිරිමි දරුවන්ද පියාගේ ආභාෂය ලබමින්, ඉගෙනුමට උනන්දු නොවීමේ ප්‍රවණතාවය හා උගත්කමෙහි වටිනාකම නොසලකන පියවරුන් තම පිරිමි දරුවන් ඉගෙනීමට උනන්දු නොකිරීමෙන්, පිරිමි දරුවන් උසස් අධ්‍යාපනය නොලැබීම තාත්තාගෙන් පුතාට උරුම වන විශම චක්‍රයක් බවට පත්වීමේ හැකියාව.

4] ඉහල අධ්‍යාපනයක් නොමැති නිසා, ඉහල ආදායමක්, හොඳ රැකියාවක් කොට ආදායම් ඉපදවාගැනීමේ අවස්ථා අහිමිවන පිරිමි දරුවන් ඉක්මණින් පොහොසත්විය හැකි යැයි සිතන නීති විරෝධී උපක්‍රම වෙත විශාල වශයෙන් යොමුවීමේ ප්‍රවණතාවය. මත්ද්‍රව්‍ය, නිතිවිරෝධී මත්පැන් ජාවාරම, හොරකම් කිරීම, මංකොල්ල කෑම් වල යෙදෙන බොහෝ දෙනා වැඩිදුර අධ්‍යාපනය නොලැබූ තරුණ පිරිමින් බව බැලූබැල්මට පෙනේ.

5] අඩු අධ්‍යාපනයක් අතැතිව ඉක්මණින් පොහොසත් වන්නට ඉතාලිය, ජපානය, කොරියාව වැනි රටවලට කෙසේහෝ දිවි පරදුවට තබා පැනීමට තැත්කිරීම, අධ්‍යාපන අවස්ථා හිතාමතාම මගහරවාගෙන, අතමිට මිළමුදල් නොමැතිව ඉච්ඡාභංගත්වයට පත්වූ පිරිමි තරුණයන්ගේ තවත් උත්සාහයකි. මෙම හීනයට රැවටී, ජාවාරම්කරුවන්ට ලක්ශ ගණනින් ගෙවා මෙරට මෙන්ම පිටරටද, මහමූදේද අතරමංවූ තරුණ ජීවිතවල ගණන පිලිබඳව නිස සංඛ්‍යාලේඛන නොමැත.

රටක් නිසිලෙස සංවර්ධනය වීමට, කාන්තා හා පුරුෂ පාර්ශව දෙකම සමබර ලෙස ඉහලට ඉගනගෙන රටේ සංවර්ධනයට දායක විය යුතුය. උගත් ගැහැණුන් හා නූගත් පිරිමින් සිටින සමාජයක්, උගත් පිරිමින් හා නූගත් ගැහැණුන් සිටින සමාජයක් තරමටම පසුගාමීය, අසමබරය. 

පිරිමි දරුවන් පාසැල් තුල රඳවාගැනීම, ඔවුන් අධ්‍යාපනයට උනන්දුකරවීම පිලිබඳව ජාතික ප්‍රතිපත්තියක් පිලිබඳව සිතීම හෝ ආරම්භ කිරීමට කාළයයි මේ.

COMMENTS

1-1 of 1
ඉතා කඩිනමින් අධ්‍යාපනඥයන් වගේම අනෙකුත් විද්වතුන්ගේ සැලකිල්ල යොමු විය යුතු ගැටළුකි. ගැටළුව හොඳින් හඳුනාගැනීමේ වෑයම අතහැර සරළ ලෙස බැසගන්නා නිගමන මත පිළියම් යොදන්ට යාමෙන් විසඳිය නොහැකි බව පෙනියනවා. මෙසේ පිරිමි දරුවන් ගිලි හි යාමේ ප්‍රධාන හේතුව හෝ හේතු නිවැරදිව හඳුනා ගැනීම පිණිස පර්යේෂණ වහාම අවශ්‍ය කර තිබෙන බව පෙනීයනවා .මේ සම්බන්ධ කිසියම් අදහසක් සමාජ ගත කිරීමට ගත් වෑයම මහත්සේ අගය කරමි 


ඉක්මනින් පොහොසත් වියයුතුය, මොනවා නැතත් සල්ලි තිබිය යුතුය, යන්න, සමාජ හරයක් ලෙස, අද්‍යතන තරුණ පරපුර දැඩි අරමුණක් සෙ සැලකීම, ගැටලුවකි. ඒ තත්වය නිර්මාණය වූයේ විවෘත ආර්ථික සංකල්පය තුළයි. අද තරුණයාට යටත්පිරිසෙයින් අලුත් මෝටර් බයිසිකලයක්වත් නැත්නම් තරුණියන්ගේ අවධානය යොමු නොවේ. ඒ නිසයි කොරියාව බැරිනම් අපායට හෝ ගොස් මුදල් හොයන්නේ. කාලීනව ඇතිවන සමාජ තත්වයන් මත, විවාහය පිලිබඳ නිර්ණායක වෙනස් වෙයි. 1988 - 89 කාලයේදී පටන් ත්රිවිද්ද හමුදා පුද්ගලයන් කෙරෙහි තරුණියන් තුළ වූ ආකර්ෂණය මම හොඳින් නිරීක්‍ෂණය කර ඇත්තෙමි. මෙම ආකර්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස යන්තමින් සාමාන්‍ය පෙළ දක්වා උගත් කෝප්‍රල් වැනි කනිෂ්ඨ හමුදා නිලයක සිටින සමහර අයවලුන්ට උපාධිධාරී ගුරුවරියන් විවාහ කරගැනීමට අවස්ථාව ලැබුණා. උසස් පෙළ විෂයයන් තුනක් පමණක් සමත් කපිතන් වැනි නිලයක සිටිය අයවලුන්, ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය, ඉංජිනේරු, අධිකරණ විනිසුරු, වැනි ක්‍ෂේත්‍ර වල රැකියාවේ නියුතු කාන්තාවන් සමග විවාහ වුණා. කෙසේ වෙතක් මේ කාන්තාවන්ට තම සැමියා තමන් සිතන තරම් උගත් නොවන බව වැටහෙන්නේ පමා වෙලයි. කෙසේ වෙතත් මා හිතනවා, අනාගතයේදී, මෙවැනි විවාහ, ඇත්තවශයෙන්ම දැනට on පිරිමි ළමුන් වැඩිදුර ඉගෙනීම අතහැර දැමීමේ ජාතික ගැටලුව විසදන්නේ කෙසේද?

හොඳ ලිපියක්. බොහෝ කරුනු සමග මාත් එකඟයි. හැබැයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඒ තරම් සාර්ථක නැති බවකුත් පෙනෙන්නට තියෙනව. on පිරිමි ළමුන් වැඩිදුර ඉගෙනීම අතහැර දැමීමේ ජාතික ගැටලුව විසදන්නේ කෙසේද?


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහශ්‍ර සංවර්ධන ඉලක්ක - ශ්‍රී ලංකාවේ ප්‍රගති වාර්තාව | United Nations Milenium Development Goals - Sri Lanka Report Card

මිලෙනියම් ඩිවෙලොප්මන්ට් ගෝල්ස් හෙවත් සහශ්‍ර සංවර්ධන ඉලක්ක, වසර 2000දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ සහශ්‍ර සමුලුවේදී සම්මත කරගත්, ලෝකයේ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් විසින් පිලිගත් සමාජ සංවර්ධන ඉලක්ක 8කි.

2015 වනවිට ශාක්සාත් කරගැනීමේ අරමුණ ඇතිව වසර 2000දී එකඟවුනු එම සහශ්‍ර සංවර්ධන ඉලක්ක නම්;

1. කුසගිණ්න හා දැඩි දුප්පත්කම ලොවින් තුරන් කිරීම
2. ලොව සියලුම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සහතික කිරීම
3. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම
4. ළදරු මරණ පහත හෙලීම
5. HIV, මැලේරියා වැනි රෝග තුරන් කිරීම
6. පාරිසරික තිරසාර පැවැත්ම තහවුරු කිරීම
7. මාතෘ සෞඛ්‍යය දියුණු කිරීම
8. සංවර්ධනය සඳහා සහයෝගීතාවය වර්ධනය කර ගැනීම

මේ දෙදහස් පහලොස්වැනි වසරයි. සහශ්‍ර සංවර්ධන ඉලක්ක ලඟාකරගැනීමට ශ්‍රී ලංකාව කොතෙක් දුරට සමත්වී ඇත්ද? 

වාර්තාවට අනුව, ලංකාවට අදාලවන සහශ්‍ර ඉලක්ක සබැඳි උප ඉලක්ක 44න් 13ක් සම්පූර්ණයෙන්ම සපුරාගැනීමට අප රට සමත්වී ඇත. මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වා තිබෙනවා.

  • 1990/91 කාලයේ 22.6%වූ උග්‍ර දරිද්‍රතාවය 6.7% (2012/2013) දක්වා අඩුකර ගැනීමට ලංකාව සමත්වී ඇත. දරුණු යුද්ධයකට මුහුණ දෙන ගමන්ම මෙවැනි ඉලක්කයක් සපුරා ගැනීමට ඉතා විශාල ජයග්‍රහණයකි.

  • 1993දී 8% වූ රැකියා විරහිත භාවය 2012/2013 වනවිට 3.9% දක්වා අඩුකර ගත හැකිවිය. එහෙත් කාන්තාවන් අතර රැකියා විරහිත භාවය පිරිමින්ට වඩා දෙගුණයක් බව වාර්තාවී ඇත. එය අප රට ජයගත යුතු තවත් අභියෝගයකි. 

  • ලංකාවේ ආහාර නිශ්පාදනය ජනගහනයේ වර්ධනයට සාපේක්ශව ඉහල දමාගැනීමට හැකිවී ඇත. මෙය ජයග්‍රහණයක් වුවද ළමා මන්දපෝෂණය ප්‍රභල ගැටලුවකි. සෑම දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණයෙන් පෙලෙන අතර ජනගහණයෙන් 50%කට දිනකට ලැබිය යුතු කැලරි ප්‍රමාණය නොලැබෙන බව සටහන්වී ඇත. මේවා ඉතා ඉක්මණින් ජයගත යුතු අභියෝග ලෙස සැලකිය හැකිය.
  • පාසැල් යන වයසේ සියලුම දරුවන් (99%) පාසැල් යැවීමට ලංකාවේ දෙමව්පියන් සමත්වීම ඉතා විශාල ජයග්‍රහණයකි. කෙසේ වෙතත් පිරිමි දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව හෝ සාමාන්‍ය පෙල සමත්වී හෝ සාමාන්‍යපෙල සමත්වීමට පෙර පාසැල් හැරයාමේ ප්‍රවණතාවය ඉහල ගොස් ඇත. උසස්පෙළ හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සළකනවිට ලංකාවේ ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය ඉතාවිශාල ලෙස ඉහල ගොස් ඇති අතර පිරිමි ළමුන් උසස් අධ්‍යාපනය මගහැර සිටීම අනාගතයේදී ඉතා විශාල සමාජ ගැටළුවලට තුඩුදිය හැකි බව අධ්‍යාපනඥයින් හා සමාජ විද්‍යාඥයින් පවසනවා.
  • ළදරු මරණ සංඛ්‍යාව අඩුකරගත හැකිවීමද අප රට ලබාඇති සුවිශාල ජයග්‍රහණයකි. 1991දී සෑම උපත් 1000කටම 17.7 ළදරු මරණ සංඛ්‍යාවක් තිබූ අතර එය 9.4 දක්වා අඩුකරගත හැකිවී ඇත. එමන්ම ලංකාවේ සියලුම දරු උපත් සිදුවන්නේ වෛද්‍යවරයෙකු හෝ මාතෘ හා ගර්ඹ්හණී පුහුණුව ලැබූ සෞඛ්‍ය සේවකයින්ගේ අධීක්ශණය යටතේ වීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැළකේ. 1991දී වසර 5ට අඩු දරුවන්ගේ මරණ ප්‍රතිශතය 11.3% වූ අතර එය 2% දක්වා අඩුකර ගත හැකිවීමද රටක් හැටියට අප ආඩම්බර වියහැකි තත්වයකි.
  • 1991දී උපත් 100,000ට 92ක් වූ මාතෲ මරණ සංඛ්‍යාව 33ක් දක්වා අඩුකරගෙන දැයේ මව්වරුන් දරු උපතේදී සිදුවන සංකූලතා නිසා මියයෑම විශාල ලෙස අඩුකර ගැනීමට හැකිවී ඇත. සියලුම දරු උපත් වෛද්‍ය හෝ පුහුණු සෞඛ්‍යසේවකයින්ගේ අධීක්ශණය යටතේ සිදුවීම මෙම මරණ අඩුවීමටද හේතුවකි.
  • HIV ආසාදිතයින්ගේ ගණන ක්‍රමයෙන් වැඩිවුවද වෙනත් රටවල් හා සසඳනවිට ඉතා අඩුමට්ටමක තබාගැනීමට අපට හැකිවී ඇත. එමෙන්ම මැලේරියාව සහමුලින්ම තුරන් කිරීමටද හැකිවී ඇත. 2012 සිට මැලේරියා රෝගියෙකු මෙරටින් වාර්තාවී නොමැත.

  • 1990දී රටේ ජනගහණයෙන් 32%කට සෞඛ්‍යාරක්ශිත පාණීය ජලය නොලැබුණු අතර 2012/2013 වනවිට ජනගහණයෙන් 90%කට සෞඛ්‍යාරක්ශිත පාණීය ජලය ලැබේ.

Source: http://nalakagunawardene.com/2015/10/01/from-mdgs-to-sdgs-well-done-sri-lanka-but-mind-the-gaps/
Related Posts Plugin for WordPress, Blogger...