Related Posts Plugin for WordPress, Blogger...

Friday, 29 May 2015

නූතන දිවියට සමාන දිවියක් ගතකල ලෝකඩ යුගයේ තරුණිය!

ඇය ජීවත්වුනේ වසර 3500කට පෙරය. ජීවත්වුනු ප්‍රදේශය ඩෙන්මාර්කයේ එග්ට්වෙඩ් ප්‍රදේශයයි. එනිසාම ඇයට එග්ට්වෙඩ් යුවතිය යන නම පටබැඳී ඇත.

1921දී ඇය මිහිදන් කල ස්ථානය සොයාගන්නා ලද අතර කාළනිර්ණයට අනුව ඇය ක්‍රිස්තුපූර්ව 1370දී මියගිය බවට අනුමාන කරනවා. මිය යනවිට වයස 16-18 වසරේ සිටි ඇය සිය තඹපැහැ කොන්ඩය හොඳින් කපා සකසා ගත්බවට සාක්ශි ඇයගේ ඉතුරුවූ කෙස් රොදවලින් සනාතවිය. එපමණක් නොව ඇයගේ නියපොතුද මනාව කපා සකසා තිබී ඇත. අඩි පහයි අඟල් තුනක් උසවූ ඇය සිහින් සිරුරකින් හෙබි සුන්දර එකියක් වන්නට ඇත.

මෙවැනි ඈත අතීතයේ ජීවත්වුනු තරුණියන් ගෙයින් පිටට නොගිය, අඩුවයසින් දරුවන් හැදූ, කටුක ජීවිත ගතකලවුන් බවට විශ්වාස කරන්නට අද දියුණුවී සිටින අප සමාජය පුරුදුවී ඇත.

එහෙත් එග්ට්වෙඩ් ලඳ මිහිදන් කරන ලද ස්ථානයෙන් ලැබුණු තොරතුරු හා ඇයගේ සිරුරු කොටස් විශ්ලේෂණය කිරීමෙන් ලද තොරතුරු අනුව, වයස 18 තරම් ලාබාල වයසේ සිටි මෙම යුවතිය ඩෙන්මාර්කයේ බොහෝ ප්‍රදේශවල සංචාරය කල, සුවපහසු දිවියක් ගතකල ඇත්තියක් බව හෙලිවී ඇත.

ඇය ඩෙන්මාර්කයේදී මියගොස් මිහිදන් කලත්, ඇය ඉපදී නිරිතදිග ජර්මනියේ, සුප්‍රකට කලු වනාන්තරය (Black Forest) ආසන්නයේ ප්‍රදේශයකදී බව පර්යේෂණවලින් හෙලිවී ඇත. ඩෙන්මාර්කයේ ඇය අවසාන කාළයේ ජීවත්වූ ප්‍රදේශයේ සිට ජර්මනියේ කළු වනාන්තර ප්‍රදේශයට කිලෝමීටර් 800ක් පමණ දුරය. ඇයගේ දත්, ඇට හා කෙස් වල තැන්පත්වී ඇති ස්ට්‍රොන්ටියම් මූලද්‍යවයේ අංශුමාත්‍ර ප්‍රමාණ (trace amounts) අනුව ඇය කිහිපවතාවක් සිය උපන් බිමවූ නිරිතදිග ජර්මනියත්, ඩෙන්මාර්කයත් අතර සංචාරය කොට ඇති බව හෙලිවී ඇත.

එග්ට්වෙඩ් යුවතිය මිහිදන් කොට තිබූ ලී කොටයකින් තැනූ මංජුසාව
එපමණක් නොව ඇය ඩෙන්මාර්කයේ මිහිදන් කොට තිබුණද, මිහිදන් කරනවිට ඇය ඇඟලාගෙන තිබූ ඇඳුම (ඡායාරූපය බලන්න) වියන ලද ලොම්, ජර්මනියේ කළු වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන බැටළු වර්ගයකින් ලබාගෙන ඇති බව තහවුරුවී තිබෙනවා.

ඇය හැඳ සිටි ඇඳුමේ නිර්මාණය පවා අද කාළයට වුවත් ගැලපෙන එකක් බව ඔබටද පැහැදිලියි.

මෙම නවතම විද්‍යාත්මක තහවුරුවීම් අනුව ලෝකඩ යුගයේ ජනජීවිතය, අන්තර්-ජනකොටස් අතර සබඳතා පිලිබඳව අලුතින් සිතන්නට වී තිබෙන බව පර්යේෂකයින් පවසනවා. දැනට ඇති අදහස් අනුව, ලෝකඩ යුගයේ මිනිසා එතරම් ඈත සංචරණය නොකල, සිය නිවස ආසන්නයේ ප්‍රදේශවල ගැවසුනු, සීමිත අත්දැකීම් ඇති මිනිසුන්වූවා. කාන්තාවන්ගේ තත්වය ඊටත් වඩා සීමිත නිදහසක් තිබූ, නිවසට කොටුවූ එකක් බවට විශ්වාස කෙරෙනවා.

එහෙත් මෙම ලාබාල යුවතිය සිය කෙටි ජීවිතයේ දෙතුන් වතාවක් කිලෝමීටර් 800ක් වැනි දුර ප්‍රමාණයක් ගමන් කිරීමම එකල ජනජීවිතය, අප හිතනවාට වඩා සමකමීවූ, ආරක්ශිතවූ මෙන්ම සැපපහසූ බව සිතන්නට පුලුවන්. කිලෝමීටර් 800ක් වැනි විශාල දුරක්, ආහාරපාන, ගමන් මග ආරක්ශාව, රාත්‍රියට නවතින ස්ථානවලදී ලැබෙන ආරක්ශාව,වගේම පැහැදිලි ගමන්මාර්ග හා යම් ආකාරයට සංවිධානාත්මක ප්‍රවාහණ ව්‍යුහයක් නැති කාළයක සිදුකල නොහැකි බවයි විශේෂඥ මතය.

විශේෂයෙන්ම දීර්ඝ ගමන්වලදී ළාබාල ලාබාල යුවතියකගේ ආරක්ශාව සැලසීම අද කාලයේ වුවත් ගැටලුවක්.

ඒ අනුව, අප සිතනවාට වඩා ලෝකඩ යුගයේ ජනජීවිතය, සංකීර්ණවූත්, සාමකාමී මෙන්ම යම් ආකාරයක සමෘධිමත් වන්නට බොහෝ ඉඩ තිබෙනවා.




Tuesday, 26 May 2015

රථවාහන ලොවේ යුග පුරුෂයෝ - 1

කාර් නැතිනම් මෝටර් රථ අපට නැතුවම බැරි දෙයක්. වැඩට යන්න, විනෝද වෙන්න, වැඩ රාජකාරි කරගන්න වාහනයක් තියෙන එක කොයිතරම් වටිනවද? ර්ථ වාහන ලෝකය දැන් කොතරම් දියුණු වෙලාද කියනවනම් අද දියුණු රටවල සාකච්ඡා වෙන්නේ රියදුරන් නැති, රොබෝ කාර් මහාමාර්ගවලට අනුයුක්ත කරන්නේ කොහොමද කියලා.
රොබෝ කාර් මහා පරිමාණයෙන් වීදිගත කලයුත්තේ ඇයි?
පොඩි කාර්, ලොකු කාර්, සුපිරි වේග කාර්, සුපිරි සුඛෝපභෝගී කාර්, ඉලෙක්ටික් කාර්, හයිබ්‍රිඩ් කාර්, හයිඩ්‍රජන් කාර්.....අද ලෝකය කාර්වලින් පිරිල.
Toyota Mirai - 2014 දෙසැම්බරයේදී වෙළඳපොලට එන ටොයොටා හයිඩ්‍රජන් කාරය
Ceylon Motor Show 2015 - BMICH (8-10 May)
කාර් නැතිනම් පෞද්ගලික මෝටර් රථ නිසා මිනිසුන්ගේ ජනජීවිතය කොතරම් වෙනස් වෙලාද? මේ වෙනස, නැතිනම් විප්ලවය ඇති කරන්න වෙහෙස මහන්සිවුනු, ධනය, ශ්‍රමය කැපකල යුග පුරුශයන් කිහිප දෙනෙක් ගැන කතාකරන්නයි මේ සැරසෙන්නේ. ඉස්සෙල්ලම ඒ අය අඳුනගෙන ඉමු;
  • ගොට්ලිබ් ඩේම්ලර්
  • කාල් බෙන්ස් 
  • විලියම් මොරිස්
ගොට්ලිබ් ඩේම්ලර් (Gottlieb Daimler)

1834 ජර්මනියේ උපතලැබූ ගොට්ලිබ් විල්හෙල්ම් ඩේම්ලර් ඉන්ජිනේරුවෙකු, කාර්මික නිර්මාණකරුවෙකු වගේම ව්‍යවසායකයෙකුද වුනා. අද අප අන්තර්දරන එන්ජිම (ඉන්ටර්නල් කම්බස්චන් එන්ජින්) කියලා හඳුන්වන,  මෝටර් රථ ප්‍රායෝගික වාහන බවට පත්කරන්නට ඉවහල්වුනු එන්ජින් වර්ගය පිලිබඳව පර්යේෂණ පවත්වපු පුරෝගාමියකු විධියට ඩේම්ලර් පිලිගැනෙනවා. ඔහු විසින් නිර්මාණය කල පෙට්‍රෝල් එන්ජිම, පෙට්‍රෝල් එන්ජින්වල පූරෝගාමී නිර්මාණය ලෙස සැලකෙනවා.

1872 දී ඩේම්ලර් ජර්මනියේ කොලෝන් නුවර මෝටර් රථ සමාගමකර බැඳුනු අතර ඔහු සමග ඔහුගේ මිතුරු විල්හෙල්ම් මේබැක්ද එම සමාගමට එක්වුනා. ඒ වනවිට එම සමාගමේ නිකොලස් ඔටෝ (Nikolaus Otto) නම්වූ තවත් මෝටර් රථ ලොවේ පුරෝගාමියෙකු සේවය කලා. එකල නිකොලස් ඔටෝ එම සමාගමේ තාක්ශණික අධ්‍යක්ශකවරයා වූ අතර ඩේම්ලර්ද සම තාක්ශණික අධ්‍යක්ශක ලෙස පත්වූවා. ඩේම්ලර් හා ඔටෝ පෙට්‍රෝල් එන්ජින් තාක්ශණය සංවර්ධනය කිරීමේ නිරතවුනු අතර මේබැක් ප්‍රධාන නිර්මාපක (Chief Designer) තනතුරට පත්වෙමින් ඔවුන් දෙපලට සහය දුන්නා.

1976දී නිකලස් ඔටෝ ෆෝ ස්ට්‍රෝක් සයිකල් (Four Stroke Cycle) තාක්ශණය හෙවත් සිවුපහර චක්‍ර තාක්ශණය නම්වූ නව පෙට්‍රෝල් එන්ජින් තාක්ශණයක් නිර්මාණය කලා. අද සමහර කුඩා මෝටර් සයිකල හැරුනුවිට සියලුම මෝටර් රථ එන්ජින් ක්‍රියාත්මක වන්නේ නිකොලස් ඔටෝ නිර්මාණය කල සිවුපහර තාක්ශණයට අනුවයි.

1877දී ඔටෝ සිය සිවුපහර චක්‍ර තාක්ශණයට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට උත්සහ කලත් එය අසාර්ථකවුනේ එවැනි පර්යේෂණ සිදුකල වෙනත් නිර්මාපකයින් ඔටෝ වෙත එම පේටන්ට් බලපත්‍රය ලබාදීමට විරුද්ධවීම නිසයි. මේ අතර ඔටෝ, ඩේම්ලර් හා මේබැක් යන තිදෙනාම නොදැනුවත්ව එකල ජර්මනියේම  මාන්හයිම් ප්‍රදේශයේ සිට පර්යේෂණ කටයුතු කල කාල් බෙන්ස් ද්විපහර චක්‍ර (Two Stroke Cycle) තාක්ශණය නම් සමාන තාක්ශණයකට පේටන්ට් බලපත්‍රයක් 1879දී ලබාගත්තා.

1885දී ගොට්ලිබ් ඩේම්ලර්, සිය ව්‍යාපාරික සගයා මෙන්ම පර්යේෂණ සගයාද වුනු විල්හෙල්ම් මේබැක් සමග එක්ව ඕනෑම රථයකට සවිකල හැකි අන්තර් දරන එන්ජින් පිලිබඳව පර්යේෂණ සිදුකල අතර ඔවුන් නිර්මාණය කල මුල්කාලීන පෙට්‍රෝල් එන්ජිමක් සාර්තකව බයිසිකලයකට සවිකොට ධාවනයේ යෙදුනු අතර එය ලොව ප්‍රථම අන්තර් දහන එන්ජිමක් සහිත මෝටර් සයිකලය ලෙස පිලිගැනෙනවා. එම වසරේදීම ඔවුන්, පෙට්‍රෝල් ඉන්ධන වාතය හා මුසුකරන කාබියුරේටරය නිපදවූ අතර ස්පාර්ක්-ප්ලග් හා කොයිල් ඉග්නිෂන් වැනි තාක්ශණයන් පිලිබඳවද පර්යේෂණ සිදුකලා.

1890දී ඩේම්ලර් හා මේබැක්, ඩේම්ලර් මෝටර් රථ සමාගම ආරම්භකල අතර ඔවුන් සිය මුල්ම රථය 1892දී අලෙවිකලා.  1894දී ඩේම්ලර්, ඔහුගේ පුත්‍රයා වූ පෝල් හා මේබැක් එක්ව ෆීනික්ස් නම් අන්තර්දහන එන්ජිමක් නිර්මාණය කල අතර එය සිලින්ඩර් හතරේ සිවුපහර ඉන්ජිමක්වූ අතර එකල නවීන තාක්ශණයන් ලෙස සැලකුණු තාක්ශණයන් රැසක් එක් කොට තිබුණා.

1900දී ගොට්ලිබ් ඩේම්ලර් මියගිය අතර 1927දී ඔවුන්ගේ මෝටර් රථ සමාගම කාල් බෙන්ස්ගේ බෙන්ස් සමාගම හා ඒකාබද්ධ කරන ලද අතර එම ඒකාබද්ධ සමාගම ඩේම්ලර් බෙන්ස් සමාගම ලෙස හැඳින්වුනා.

කාල් බෙන්ස් 

1844දී ජර්මනියේ මුල්බර්ග් ප්‍රදේශයේ උපන් කාල් බෙන්ස් අන්තර්දහන එන්ජිමකින් බලගැන්වෙන මෝටර් රථයක් පලමුවරට නිර්මාණය කල පුද්ගලයා ලෙස නිළ වශයෙන් පිලිගැනේ. අන්තර්දහන මෝටර් රථ එන්ජිම සඳහා කාල් බෙන්ස්ට 1879දී පේටන්ට් බලපත්‍රයක් හිමිවූ අතර එම පේටන්ට් බලපත්‍රය මගින් මෝටර් රථයක සවිකිරීම සඳහා අන්තර්දහන එන්ජිමක් නිර්මාණය කිරීමේ සියලුම ක්‍රමවේද ආවරණය කෙරිනි. එමෙන්ම 1886දී ඔහු නිර්මාණය කල මෝටර් රථය සඳහා ඔහුට පේටන්ට් බලපත්‍රයක් හිමිවීම මගින් මෝටර් රථ තාක්ශණය නිළ අයිතිකරුවා බවට කාල් බෙන්ස් පත්විය.

සාමාන්‍ය පවුලක උපන් කාල් බෙන්ස්ගේ පියා දුම්රිය තාක්ශණික නිළධාරියෙකු වුනු අතර බෙන්ස්ට වසර 2ක් පමණ වනවිට ඔහු හදිසි අණතුරකින් මියගියේය. පියා මිය යාමෙන් පසු බෙන්ස් පවුලට දැඩි ආර්ථික අහේනි කාලයක් උදාවූ අතර උත්සහවන්ත කාන්තාවක්වූ බෙන්ස්ගේ මව ජොසෆීන් බෙන්ස්, දුශ්කරතා මධ්‍යයේ කෙසේහෝ සිය පුත්‍රයාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සහකලාය.

ඉගෙනීමට දක්ශයෙකු වුනු බෙන්ස් වයස 15දී කාල්ශෲ විශ්වවිද්‍යාලයට (University of Karlsruhe) ඇතුලත්කර ගැනීමේ පරීක්ශණ විභාගයෙන් සමත්වූ අතර ඉන්ජිනේරු පීඨයට ඔහුව බඳවාගන්නා ලදී. එම විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාවේදී උපාධියක් දිනාගන්නාවිට ඔහුගේ වයස අවුරුදු 19කි.

1864 වසරේදී උපාධිය දිනාගත් ඔහු වසර කිහිපයක් විවිධ ආයතනවල සේවයකල අතර ඔහුගේ සිහිනය වූයේ තමාගේම සමාගමක් ආරම්භ කිරීමයි. 1871 වසරේදී ඕගස්ට් රිටර් නම්වූ ව්‍යාපාරික සගයෙකු සමග යකඩ තහඩු නිශ්පාදනය කිරීමේ කම්හල ඇරඹි නමුත් රිටර්ගේ අවිධිමත් වැඩකටයුතු නිසා ව්‍යාපාරයේ ණය බර අධිකවූ අතර ණයහිමියන් විසින් කම්හලේ යන්ත්‍රසූත්‍ර සීල් තබන ලදී. මෙහිදී ඔහුගේ පිහිටට ආවේ ඔහුගේ බිරිඳවන බර්තා බෙන්ස්ය. ඇය සිය දෑවැද්දට දෙමව්පියන්ගෙන් ලැබුණු මුදල් ආයෝජනය කොට ඕගස්ට් රිටර්ට මුදල් ගෙවා ඔහුගේ ව්‍යාපාරයේ කොටස මිළදී ගත් අතර ඒ අනුව එම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කාල් බෙන්ස් හා බර්තා බෙන්ස් අතට පත්විය.

බෙන්ස් පෙට්‍රෝල් එන්ජින් පිලිබඳ පර්යේශණ පැවැත්වූයේ මෙම කම්හල තුලදීය. 1878දී ඔහු විශ්වාසදායි ලෙස ක්‍රියාත්මකවන, කාර්යක්ශම ද්විපහර අන්තර්දහන පෙට්‍රෝල් එන්ජිමක් නිර්මාණය කල අතර 1879දී එයට පේටන්ට් බලපත්‍රයක් හිමිවිය.ඉන්පසු ස්පාර්ක්-ප්ලග් හා බැටරි පද්ධතියකින් පෙට්‍රෝල් එන්ජිමක් පණගැන්වීමේ පද්ධතියක් (ignition system) නිර්මාණය කල ඔහු එයටද පේටන්ට් බලපත්‍රයක් දිනාගත්තේය. ඉන් නොනැවතුනු ඔහු අන්තර්දහන එන්ජිමට පෙට්‍රෝල් ඉන්ධන කාර්යක්ශමව ලබාදෙන කාබියුරේටර නිර්මාණය කොට එයටද පේටන්ට් බලපත්‍රයක් ලබාගත්තේය. එපමණක් නොව ක්ලච් පද්ධතිය, ගියර පද්ධතිය හා ජලයෙන් සිසිල්වන රේඩියේටර් පද්ධතියක්ද නිර්මාණය කොට මේ සියල්ලටම පේටන්ට් බලපත්‍ර දිනාගත්තේය.

ගොට්ලිබ් ඩේම්ලර්, විල්හෙල්ම් මේබැක් වැන්නවුන් මෝටර් රථයේ වැඩිදියුණුවට අතිවිශාල සේවාවක් ඉටුකලද මෝටර් රථයේ නිර්මාපකයා ලෙස කාල් බෙන්ස්ව පිලිගැනීමට බඳුන්වන්නේ ප්‍රායෝගික අන්තර්දහන එන්ජිමක් සහිත මෝටර් රථයක් නිශ්පාදනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය තාක්ශණයන් විශාල ප්‍රමාණයක් ඔහු බිහිකල බැවිනි.

1886දී පේටන්ට් බලපත්‍රය හිමිවූ බෙන්ස්ගේ මෝටර් රථය 1888 වනවිට වඩාත් වැඩි දියුණුවට පත්කල බෙන්ස් එය "බෙන්ස් පේටන්ට් මෝටර්වගන් - Benz Patent Motorwagen" ලෙස අලෙවිකරන්නට පටන්ගත්තේය.තම ස්වාමිපුරුෂයා නිර්මාණය කල මෝටර් රථය දුරගමන් සඳහා සාර්ථකව යොදාගත හැකිබව පෙන්වා එහි අලෙවිය ඉහලදැමීමට සිතාගත් බර්තා බෙන්ස් 1888 අගෝස්තු 5වැනිදා සිය සැමියාටත් නොපවසා සිය පුතුන් දෙදෙනාද සමග බෙන්ස් පේටන්ට් මෝටර්වගන් රථයකින් ඔවුන්ගේ නිවස පිහිටි මාන්හයිම් නුවර සිට කිලෝ මීටර් 106ක් දුරින් පිහිටි ෆොර්ස්හයිම් නුවර ජීවත්වුනු සිය මව බැලීම සඳහා පිටත්වූවාය. එකල අද මෙන් පෙට්‍රෝල් තෙල් විකිණූ ඉන්ධන හල් නොතිබූ අතර පෙට්‍රෝල් තෙල් තුවාල පවිත්‍රකරන පවිත්‍රකාරකයක් ලෙස ෆාමසිවල අලෙවි කරන ලදී. දිරිය කාන්තාවක් වූ බර්තා, සිය පුතුන් දෙදෙනාගේද සහය ඇතුව අතර මගදී හටගත් විවිධ කාර්මික දෝෂද පිලිසකර කරගෙන, අතර මග ෆාමසිවල නවත්වමින් පෙට්‍රෝල් තෙල් මිලටගෙන ඉන්ධන පුරවා ගනිමින් සවස් වනවිට සිය මවගේ නිවසට ලඟාවූ අතර ඇය සිය සාර්ථක ගමන් පිලිබඳව ටෙලිග්‍රෑමයක් මගින් සිය සැමියාව දැනුවත් කලේ මවගේ නිවසට පැමිණීමෙන් අණතුරුවය.

1888දී බර්තා බෙන්ස් සිදුකල මෙම ගමන මෝටර් රථයක් මගින් සිදුකල ලොව ප්‍රථම දුර ගමන (first long distance automobile trip) ලෙස පිලිගැනෙන අතර ජර්මනියේ සෑම වසර දෙකකටම වරක් මෙම ඓතිහාසික අවස්ථාව සමරන්නේ ඇය ගමන්ගත් මාර්ගයේ පැරණි මෝටර් රථ රැලියක් පවත්වමිනි. 2008දී ජර්මන් රජය ඇය ගමන්ගත් කිලෝමීටර් 106 මාර්ගය "බර්තා බෙන්ස් සිහිවටන ගමන්මාර්ගය - Bertha Benz Memorial Route" ලෙස නම්කරන ලද්දේ මෙම දිරිය කාන්තාව ජර්මනියේ මෝටර් රථ කර්මාණ්තය මෙන්ම මිනිසාගේ කාර්මික දියුණුව සඳහා ඉටුකල සේවය සැමරීම සඳහාය.

1895දී බෙන්ස් ලොව ප්‍රථම ට්‍රක් රථය නිර්මාණය කරන ලද අතර එම ට්‍රක් රථ මිලට ගත් එක් සමාගමක් එහි දුම්රිය පෙට්ටියක මෙන් ආසන සවිකොට ලොව ප්‍රථම බස් රථය නිර්මාණය කරනලද බව පැවසේ.
1899වන විට බෙන්ස් පවුලේ කර්මාණ්තශාලාව විශාල කරන්නට සිදුවූ අතර පවුලේ සමාගමක් වූ එය පොදු සමාගමක් බවට හරවා නව ආයෝජකයින් බඳවාගන්නා ලදී. 1899දී බෙන්ස් සමාගම මෝටර් රථ 572ක් නිශ්පාදනය කරන ලදී.

1883 සිට 1926 දක්වා බෙන්ස් කාර් සමාගම Benz & Cie ලෙස හැඳින්වුනි. ඔවුන්ගේ ප්‍රධානම තරඟකරුවා වූයේ ගොට්ලිබ් ඩේම්ලර් හා විල්හෙල්ම් මේබැක් 1890දී ආරම්භ කරන ලද ඩේම්ලර් මෝටර් සමාගමයි.1920 ගණන්වන විට ප්‍රථම ලෝක යුද්ධයෙන් පරාජයට පත්වූ ජර්මනිය දැඩි ආර්ථික අවපාතයකට මුහුණදී සිටි අතර මෝටර් රථ කර්මාන්තය කඩා වැටුනි. මෙයට පිලියමක් වශයෙන් බෙන්ස් ඇන්ඩ් සී සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය හා ඩේම්ලර් මෝටර් සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය සාකච්ඡාකොට සමාගම් දෙක ඒකාබද්ධකොට 1926දී ඩේම්ලර් බෙන්ස් සමාගම නිර්මාණය විය. මේ වනවිට ගොට්ලිබ් ඩේම්ලර් මියගොස් සිටි අතර කාල් බෙන්ස් 1929 වනතෙක් ආයු වැළදූ අතර ඒකාබද්ධ සමාගමේ ගරු අධ්‍යක්ශකවරයෙකු ලෙස සේවය කලේය.

සර් විලියම් මොරිස්

1877දී උපන් විලියම් මොරිස් බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාන්තයේ පතාක යෝධයෙකි. මොරිස් මෝටර් රථ සමාගම ආරම්භකල විලියම් මොරිස්ගේ සමාගමේ ප්‍රධාන නිර්මාණය මොරිස් මයිනර් රථයයි. වයස 15දී පාසැල් අධ්‍යාපනය අවසන්කල මොරිස් බයිකල් අලුත්වැඩියා කරන වින්කලයක රැකියාව ආරම්භ කලේය. ඉතා මහින්සිවී වැඩකල මොරිස් මාස 9ක් රැකියාව කිරීමෙන් පසු සිය හාම්පුතාගෙන් ලැබෙන වේතනය පිලිබඳව නොසතුටට පත්ව සිය නිවස පිටුපස තමාගේම බයිසිකල් වින්කලයක් ආරම්භ කලේය. එම ව්‍යාපාරය ඉක්මණින් සාර්ථකවූ අතර මොරිස් ඔහු ජීවත්වුනු ඔක්ස්ෆෝඩ් නගරයේ ප්‍රධාන විදියේ බයිසිකල් සාප්පුවක් ආරම්භකල අතර එහි බයිසිකල් අලුත්වැඩියාව මෙන්ම බයිසිකල් එකල්ස් කිරීමද ඇරඹිනි. ඔහු සිය බයිසිකලය "The Morris" ලෙස හඳුන්වන ලදී. තමන් නිපැදවූ බයිසිකල් රැගෙන බයිසිකල් රේස් වලට සහභාගීවූ මොරිස් කලක් ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේ සියලු තරඟ ජයගෙන බයිසිකල් ශූරයා ලෙසද නමක් දිනාගෙන සිටියේය.

1901දී මෝටර් බයිසිකල් නිශ්පාදනයට අතගැසූ මොරිස් ඔහු විසින්ම නිර්මාණය කරන ලද "Morris Motor Cycle" නම් මෝටර් බයිසිකලය නිශ්පාදනය සඳහා මෙන්ම කාර් රථ විකිණීම, සේවා සැපයිම හා අලුත්වැඩියා කිරීම සඳහා ඔක්ස්ෆර්හි ලෝන්ග්වෝල් වීදියේ ගොඩනැගිල්ලක් මිලදී ගන්නා ලදී. 1902 වනවිට මොරිස්ගේ මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරයද අතිශයින් සාර්ථකවූ අතර එවකට බ්‍රිතාන්‍යයේ අලෙවිවූ " Arrol-Johnston, Belsize, Humber, Hupmobile, Singer, Standard, Wolseley" වැනි මෝටර් රථ සන්නාම සඳහා ඔක්ස්ෆෝර්ඩ් පෙදෙසේ නිළ ඒජන්තයා ලෙස මොරිස්ගේ සමාගම කටයුතු කලේය. 1910 වනවිට මොරිස් සිය ව්‍යාපාරය සඳහා තවත් විශාල ගොඩනැගිල්ලක් තනවන ලද අතර ඔහු එය "The Morris Garage" ලෙස හඳුන්වන ලදී.

1912දී මොරිස් සිය ප්‍රථම මෝටර් රථය නිර්මාණය කල නමුත් පලමුවන ලෝක යුද්ධය ආරම්භවීම නිසා කාර් නිශ්පාදනය නවතාදමා බ්‍රිතාන්‍ය හමුදාවට අවශ්‍ය යුද්ධෝපකරණ නිශපාදනය කෙරිනි. නැවතත් 1919දී කාර් නිශ්පාදනය යලි ඇරඹි අතර 1925 වනවිට මොරිස් සමාගම වසරකට කාර් 56,000ක් නිශ්පාදනය කරමින් පැවතිනි. මේ වනවිට ධනපතියෙකුව සිටි විලියම් මොරිස් 1927දී ඔහුගේ තරඟකාරී සමාගමක්වූ Wolseley Motors Limited සමාගම මිලටගත්තේ ස්ටර්ලිං පවුම් 730,000 ගෙවමින්. අද වටිනාකම අනුව මෙය පවුම් මිලියන ගණනක ආයෝජනයකි.

මොරිස් මිලදීගන්නාවිට වූල්සෙලි සමාගම අශ්වබල 8ක ධාරිතාවය ඇති මෝටර් රථයක් නිශ්පාදනය කිරීමට සූදානමින් සිටි අතර විලියම් මොරිස් එම රථය "මොරිස් මයිනර්" ලෙස නම් කොට 1928දී වෙළඳපොලට එවීය. මෙය අප කවුරුත් දන්නා මොරිස් මයිනර් මාදිලිය නොව 1928 සිට 1934 දක්වා නිශ්පාදනය කල පැරණි මාදිලියකි. 

මොරිස් සිය රථවාහන වල එන්ජින් සඳහා අමෙරිකානු නිර්මාණ යොදාගත් අතර එම එන්ජින් බ්‍රිතාන්‍යයේ නිශ්පාදන අයිතිය ඔහු සතුවිය. ඔහු එන්ජින් නිශ්පාදනය වෙනත් සමාගමකට කොන්ත්‍රාත් පදනම මත ලබාදුන් අතර පසුව එම සමාගම මිලටගෙන එය "මොරිස් එන්ජින් සමාගම" ලෙස නම් කරන ලදී.

1938දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වනවිට විලියම් මොරිස්ගේ ව්‍යාපාර දියුණුවේ හිනිපෙත්තට නැග තිබූ අතර ඔහුගේ ව්‍යාපාර ඥාණය හා දක්ශකම මෙන්ම ඔහු සිදුකල විවිධ ප්‍රධාන හා පුණ්‍යකටයුතු සලකා බලා බ්‍රිතාන්‍ය මහ රැජින ඔහුව, ඔහුගේ ගම් ප්‍රදේශය වන නෆීල්ඩ් ප්‍රදෙශයේ සාමිවරයා (Lord of Nuffield) ලෙස නම්බුනාමයක් ලබාදෙන ලදී.

මොරිස් මෝටර් රථ සමාගමේ ජනප්‍රියම වාහනය වූයේ 1948දී අලුත් නිමාවකින් හඳුන්වාදුන් මොරිස් මයිනර් රථයයි (1948 model). එය බ්‍රිතාන්‍යයේ නිශ්පාදනය කල වාහන වලින් පලමුවෙන්ම මිලියනයක අලෙවි වාර්තාවක් තැබීමට හැකිවූ රථය ලෙස ඉතිහාස ගත වනවා. "Economy Car" හෙවත් සාමන්‍ය මහජනයාට මිලදීගත හැකි, අඩු මිල, පිරිමැසුම්දායක රථයක් ලෙස හඳුන්වාදුන් මොරිස් මයිනර් රථය 1971දී නිශ්පාදනය නවතා දමනවිට 1,300,000ක අලෙවි වාර්තාවක් තබා තිබුණා.

1948දී හඳුන්වාදුන් මුල්ම මයිනර් මාදිලිය MM (1948) ලෙස හැඳින්වෙනවා. 1952දී වැඩිදියුණු කල Series II (1952) මාදිලිය හඳුන්වාදුන් අතර 1956සිට 1972 දක්වා අලෙවි වූ මාදිලිය Minor 1000 Series ලෙස හඳුන්වනවා.

Morris Minor MM Series (1948-1952)
Morris Minor Series II (1952-1956)

Morris Minor 1000 (1956-1972)

බ්‍රිතාන්‍යයේ, ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ මොරිස් මයිනර් රථ නිශ්පාදනය කල අතර අවසන් මොරිස් මයිනර් රථය නවසීලන්තයේ මොරිස් කර්මාන්තශාලාවෙන් පිටවගියේ 1974දී.

මොරිස් සමාගමේ තවත් අපූර්ව නිර්මාණයක් වූයේ 1959දී නිමැවුනු මිනි මයිනර් රථයයි. මෙය වසර 2000දක්වා අඛන්ඩව නිශ්පාදනය වූවා. මිනි මයිනර් රථය පිලිබඳ වැඩි විස්තර අපගේ "The Ceylon Motor Show - 2015" ලිපියේ දක්වා තිබෙනවා.

Mini Minor - 1959
අතිශය සාර්ථක වූ රථවාහන  ව්‍යාපාරවලින් උපයාගත් ධනස්කන්ධයෙන් වැඩි කොටසක් විවිධ පුන්‍යායතන හා අධ්‍යාපනායතන වලට ලබාදීමට විලියම් මොරිස් කටයුතුකලා. බර්මින්හැම් විශ්වවිද්‍යාලයට විශාල ප්‍රධානයක් සිදුකල ඔහු පෙනහලු ආබාධ හා හදිසි අණතුරු වලට බඳුන්වූ පුදගලයින්ගේ දිවි ගලවාගැනීමට උපකාරීවන යකඩ පෙණහල්ල (artificial respirator) නම් උපකරණය බ්‍රිතාන්‍යයේ පමණක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ඕනෑම රටක රෝහලකින් ඉල්ලීමක් කලවිට නොමිලේ ලබදුන්නා. එවැනි යන්ත්‍ර 1700ක් පමණ බෙදාදුන් බව පැවසෙනව.

1943දී පවුම් මිලියන 10ක් යොදමින් අධ්‍යාපනය හා සමජ සංවර්ධන කටයුතු වෙනුවෙන් නෆීල්ඩ් පදනම් ආරම්භ කලා. එපමනක් නොව ඔහු ජීවත්වුනු ඔස්ක්ෆර්ඩ් ප්‍රදේශයේ නෆීල්ඩ් කොලෙජ් නම් උසස් අධ්‍යාපන ආයතනයක්ද ඔහු ආරම්භ කල. එපමණක් නොව ඔහු විසින් ප්‍රදාන ලබාදුන් කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය හා ලන්ඩනයේ ගයි මහා රෝහල ඔහු සිහිවීම සඳහා ගොඩනැගිලි නම් කොට තිබෙන අතර සදම්ප්ටන් විශ්වවිද්‍යාලය ඔහුගේ නාමය සුරැකීමට රංගශාලාවක් නම්කොට තිබෙනවා.

වයස 85ක් ආයුවැලඳු සර් විලියම් මොරිස් 1965දී මිය ගිය අතර ආදාහනය කල ඔහුගේ දේහයේ භශ්මාවශේෂ නෆීල්ඩ් දේවමන්දිර භූමියේ ඔහුගේ බිරිඳගේ සොහොන අසල තැම්පත්කොට තිබෙනවා.

Thursday, 21 May 2015

අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු - 2

අධිතාක්ශණික ලොවේ සිටුවරු බොහෝය. මොවුන්ගෙන් වැඩිදෙනා ජන්මයෙන් අමෙරිකානුවන් වන අතර අන් අය සංක්‍රමණික අමෙරිකානුවෝය. වැඩි දෙනෙකු ධන කුවේරයන් වූයේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකන් නිම්නයට පැමිණි පසුවයි.

අපගේ කලින් ලිපියේ අධිතාක්ශණික ලෝකයේ අප්‍රකට සිටුවරුන් කිහිපදෙනෙකු ඔබට හඳුන්වා දුන්නා. මෙම ලිපියෙන් ඔවුනටත් වඩා අප්‍රකට සිටුවරුන් කිහිප පොලක් මෙන්ම ඔවුන්ගේ ජීවිත කතාන්තරද දැනගන්න....


අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු - 2

අද අප හඳුනාගන්නට යන්නේ අසූව දශකයේ හා අනූව දශකයේ පරිගණක ලොවේ දැවැන්තයන් වූ, එකල පරිගණක ලොවේ අනාගත වක්තෲන් ලෙසද සැලකුනු පරිගණක ලොවේ දැවැන්ත චරිත කිහිපයක් ගැනයි. එම දැවැන්ත චරිත හා ඔවුන්ගේ පරිගණක තාක්ශණයට ඔවුන් ලබාදුන් සුප්‍රකට දායකත්වයන් පහත දැක්වෙනවා.

ලීනස් ටෝවාල්ඩ්ස් - ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෲ
ලැරී එලිසන් - ඔරැකල් සමාගමේ නිර්මාතෲ
ස්කොට් මැක්නීලී - සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ ප්‍රධාන විධායක
මාර්ක් අන්ඩ්‍රීසන් - වෙබ් බ්‍රවසරයේ සම නිර්මාතෲ හා නෙට්ස්කේප් සමාගමේ ආදිකතෲ

මෙම පුද්ගලයන්ගෙන් ලීනස් ටෝවාල්ඩ්ස් පින්ලන්ත ජාතික තරුණයෙකු වන අතර අනෙකුන් අමෙරිකානුවන් වනවා. ඔවුන්ගේ වෘත්තීයමය පසුබිම් පරිගණක තාක්ශණය හා බැඳුනත් ඔවුන් සියල්ල එකට ගෙන සාකච්ඡා කරන්නට පදනම වූයේ ඔවුන් සියලුදෙනාම එකට එක්කල එක්තරා පොදු හූයක් නැතිනම් කොමන් ත්‍රෙඩ් (common thread) එකක් නිසා. එනම් ඔවුන් සියලු දෙන එකට එක්කල පොදු දැක්මක් වූයේ මයික්‍රෝසොෆ්ට් සමාගම හා ඔවුන්ගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙත මෙම පුද්ගලයන්ගේ තිබූ දැඩි අකමැත්තත්, අසූව දශකය හා අනූව දශක කාලය තුල මයික්‍රෝසොෆ්ට් සමාගම හා ඉන්ටෙල් සමාගම එක්ව ඒවනවිට නිර්මාණය කොට තිබූ වින්ඩෝස්+ඉන්ටෙල් හෙවත් වින්ටෙල් ලෙස හැඳින්වූ මෘදුකාංග දෘඩාංග සමාගම් දෙකෙහි සන්ධානයට හා එම සන්ධානය එවක දැවැන්ත ලෙස වර්ධනය වෙමින් තිබූ Personal Computer (PC) හෙවත් මයික්‍රෝකොම්පියුටර් කර්මාණ්තය මේ සමාගම් දෙක දැඩි ලෙස ග්‍රහණය කරගෙන සිටි ආකාරයත් පිලිබඳව ඔවුන් පලකල දැඩි අකමැත්තයි.

මොවුන්ගේ මෙම අප්‍රසන්න භාවය හා ඒවන විටත් තරුණ ප්‍රකෝටිපතියෙකු වූ බිල් ගේට්ස්ට වෙත තිබූ අකමැත්ත විවිධාකාරයෙන් එලිදැක්වුනා. ඔරැකල් සමාගමේ ලැරී එලිසන් වැන්නවුන් ප්‍රසිද්ධියේම මයික්‍රෝසොෆ්ට් සමාගම හා බිල් ගේට්ස්ව අවඥාවට බඳුන්කල අතර ප්‍රසිද්ධ සම්මන්ත්‍රණවලදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දොස් විශ්ලේෂණය කරමින් වින්ඩෝස් විරෝධී ගැලරිය කුල්මත් කලා. එමෙන්ම වින්ඩෝස් ආධිපත්‍යය විනාශකිරීමට ව්‍යාපාරික වශයෙන් කලහැකි සියල්ල  කලා. වින්ඩෝස් වලට ප්‍රභල අභියෝගයක් ලෙස සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම මෙහෙයුම් පද්ධතියක් හා නොබැඳුනු (operating system independant) බලසම්පන්න ජාවා පරිගණක භාශාව නිර්මාණය කලවිට එහි දියුණුවට ආයෝජනය කරමින් ජාවා ප්‍රවර්ධනයට බොහෝ උපකාර කලා.  මිළ අධික මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් වෙනුවට ලීන්ස් ටෝවාල්ඩ්ස් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිමවා නොමිලයේ ඉදිරිපත්කල විට එය ජනප්‍රිය කරවීමට ලැරී එලිසන්ගේ ඔරැකල් සමාගම, ස්කොට් මැක්නීලිගේ සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම මෙන්ම වින්ඩෝස් හා බද්ධ වෛරයෙන් (එහෙත් එකල තමන්ගේ ව්‍යාපාරික කඩාවැටීම නිසා නිහඬව සිටි) අයි.බී.එම් සමාගම අතිවිශාල මෙහෙයක් ඉටුකලා.

ලීනස් ටෝවාල්ඩ්ස් 

මොවු අතරින් එවකට ලාබාලයා වූයේ ලීනස් ටෝවාල්ඩ්ස්ය. පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා සමයේදී ලීනස් මාස ගණනාවක් සිය කාමරයෙන් එලි නොබැස, පීසා හා පෙප්සි කෝලා මත පමණක් යැපෙමින් ලීනක්ස් මෙහෙයුම් පද්ධතියේ අරටුව හෙවත් ලිනක් කර්නලය නිර්මාණය කොට ඉදිරිපත් කලා. මයික්‍රෝසොෆ්ට් සමාගම සිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට අවසර දෙනවිට (end user license) ඉතා දැඩි කොන්දේසි මත එය ලබාදුන්නා.

එනම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට කිසිදු ආකාරයක වෙනස්කමක් වැඩිදියුණු කිරීමක් පමණක් නොව දෝශ නිවාරණ ප්‍රතිකාරයක් පවා සිදු නොකොට ඒ ආකාරයෙන්ම භාවිතා කල යුතුය යන කොන්දේසි වලට ඕනෑම වින්ඩෝස් පාරිභෝගිකයෙකු යටත් වුනා. මෙය පෞද්ගලික පාරිභෝගිකයින්ට (personal users) ගැටලුවක් නොවුනත් විශාල සමාගම්වල පරිගණක ජාල, සමාගමේ අවශ්‍යතා සඳහා වෙනස්කරගන්නට අවශ්‍යවූ  විට ඒවා සිදුකරගත නොහැකිවීම බොහෝ සමාගම්වල තොරතුරු තාක්ශණ ප්‍රධානීන්ට බලවත් හිසරදයක් වූ අතර ඔවුන් වින්ඩෝස් හා එක්ව සිටියේ වෙන විකල්පයක් නොමැති බැවිනුයි. එහෙත් ලිනක්ස් කරලියට පැමිණිවිට බොහෝ බහුජාතික සමාගම්වල තොරතුරු තාක්ශණ ප්‍රධානීන් එය වැලඳගත්තේ ලිනක්ස් නිර්මාතෲ ලීනස් ටෝවාල්ඩ්ස් ලිනක්ස් භාවිතාකරන්නන් වෙත පනවා තිබූ ලිහිල් කොන්දේසි නිසයි.

ඔහුගේ කොන්දේසි අනුව ලිනක්ස් නොමිලේ ලැබෙන අතර එය මුදලට අලෙවිකිරීම තහනම්. එමෙන්ම ඕනෑම කෙනෙකුට ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තම අවශ්‍යතා අනුව වෙනස්කල හැකි අතර මෙම වෙනස්කම් කිරීමේ ප්‍රධාන කොන්දේසි වූයේ එම වෙනස්කම් සියල්ලන්ටම ප්‍රයෝජනයට ගත හැකිලෙස අන්තර්ජාලයට මුදා හැරීමයි. එමෙන්ම වෙනස්කම් සිදුකල ලිනක්ස් මෙහෙයුම් පද්ධති ස්වනිර්මාණ ලෙස මුදලට අලෙවිකිරීම තහනම් වූවා. මෙම ලිහිල් කොන්දේසිවල අරමුණ වූයේ ලීනක්ස් ඉදිරියටත් පිරිවැයක් නොමැති මෙහෙයුම් පද්ධතියක් ලෙස සැමට ලබාගැනීමට හැකිවීම තහවුරු කිරීමටත්, එමෙන්ම ලිනක්ස් වලට සිදුකරන වෙනස්කම් හා වැඩිදියුණුකිරීම් නොමිලේ අන්තර්ජාලයට මුදාහැරීමට බලකිරීමෙන් එය නිරන්තරයෙන් දියුණුවෙමින් පරිණාමය වන හා යාවත්කාලීනවන මෙහෙයුම් පද්ධතියක් බවට පත්කිරීමයි.

ලැරී එලිසන්, ස්කොට් මැක්නීලි වැනි මයික්‍රෝසොෆ්ට් විරෝධී සන්ධානයේ කසකරුවන්, ලිනක්ස් යනු මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් හි අවසානයේ ආරම්භය ලෙස විස්තර කලා. ඒ මීට අවුරුදු 20කට පමණ පෙර.

අදවනවිට ලැරී එලිසන්ලාගේ සිහිනය සැබෑ නොවූවත් අයි.බී.එම්, ඔරැකල් සන් මයික්‍රෝසිස්ටම්ස් වැනි සමාගම් වල සහයෝගය මත ලිනක්ස්, මයික්‍රෝසොෆ්ට් ආධිපත්‍යයට දැවැන්ත අභියෝගයක් එල්ලකලා. අද ලිනක්ස් ඩෙස්ක්ටොප් පරිගණක භාවිත කරන්නන් අතර ජනප්‍රිය නොවූවත් ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත සමාගම්වල පරිගණක ජාල විශාල ප්‍රමාණයක් අද ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වනවා. ඒ අනුව මයික්‍රෝසොෆ්ට් සමාගමට විශාල ආදායම් ප්‍රමාණයක් අහිමිවූ අතර අන්තර්ජාලයේ විස්තාරණයත් සමග අති විශාල ලෙස වැඩිවුනු සර්වර් අලෙවිය හා බැඳුනු මුදෘකාංග ආදායමෙන් විශාල ප්‍රතිශතයක් ඔවුනට අහිමිවී තිබෙනවා. මේ වෙනස කොතරම්ද යත් මේ වසරේ අගභාගය වනවිට වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය එලිදැක්වෙන අතර මයික්‍රෝසොෆ්ට් සමාගම දැනටමත් නිවේදනය කරඇති ආකාරයට ඕනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණකවලට (සොරෙන් ගත් වින්ඩෝස් හොර කොපි වලට පවා) වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොමිලයේ ලැබෙනු ඇති. ඒ අනුව මෙහෙයුම් පද්ධති නොමිලේ ලැබිය යුතුය යන ලීනස් ටෝවාල්ඩ්ස්ගේ දැක්ම, ඔහු බලාපොරොත්තු වූ ආකාරයට නොවුනත් වෙනස් ආකාරයකින් හෝ ඉටුවී තිබෙනවා.

ලැරී එලිසන්

ඔරැකල් මෘදුකාංග සමාගමේ නිර්මාතෲ මෙන්ම සභාපති හා ප්‍රධාන විධායක නිළධාරි ලෙස දශක ගණනාවක් තිස්සේ කටයුතු කරනවා. ඔවුන්ගේ ප්‍රධානම මෘදුකාංගය වන්නේ Oracle Database Management Syatem නැමති දත්ත ගබඩා හා දත්ත අවශ්‍ය ආකාරයට පෙරා සකසා ඉදිරිපත්කල හැකි දත්ත ගබඩා කළමණාකරන මෘදුකාංගයයි. පරිගණක මගින් කටයුතු සිදුකරන සමාගම් වලට නැතුවම බැරි මෘදුකාංගයක් වන මෙය ඔරැකල් සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය වනවා. මෙය කොතරම් ලාභදායිද යත් කලක් ලොව ලාභදායිම මෘදුකාංග සමාගම වුයේ ලැරී එලිසන්ගේ ඔරැකල් සමාගමයි.

එහෙත් අදවන විට ඔරැකල් සමාගමේ ලාභ අඩුවී ඇති අතර කොතෙක් ගැටලු තිබුණද මයික්‍රෝසොෆ්ට් සමාගම 2014 වසරේදීද ඔරැකල් සමාගමට වඩා දෙගුණයක් ලාභ උපයා තිබෙනවා. ඔරැකල් සමාගමට ලාභ අහිමි කරන ලද්දේ ලැරී එලිසන් දශකයක් පමණ වට්ටන්නට උත්සහ කල මයික්‍රෝසොෆ්ට් සමාගම නිසා නොව වෙනත් සමාගම් නිසායි. ජර්මනියේ සැප් මෘදුකාංග සමාගම (SAP) අතිශයින් ලාභදායි සමාගම් සම්පත් කළමණාකරණ (Enterprise Resources Management) මෘදුකාංග වෙළඳපොල අල්ලාගෙන ඇති අතර පිරිස් පාලනය, වෙළඳ සේවක පාලනය වැනි තවත් ලාභදායි අංශ Salesforce.com වැනි අලුත් සමාගම මගින් සතුකරගෙන තිබෙනවා.

ඒ අනුව මයික්‍රෝසොෆ්ට් වට්ටන්නට වෙහෙසවූ ලැරී එලිසන් ඒ වෙනුවට සිය සමාගම ප්‍රවර්ධනය කරගන්නට එම ශ්‍රමය කැපකලානම් සමහරවිට එදා මෙන්ම මයික්‍රෝසොෆ්ට් සමාගමට වඩා අදත් ඔරැකල් සමාගම වැඩි ලාභ උපයාගන්නට ඉඩ තිබුණා.

ස්කොට් මැක්නීලී 

ස්කොට් මැක්නීලි මයික්‍රෝසොෆ්ට් විරෝධී සන්ධානයේ දැවැන්ත චරිතයක් වූවා. ඔහු හා අනෙකුත් තිදෙනා අතර ඇති ප්‍රධාන වෙනස්කමක් නම් ස්කොට් මැක්නීලි පරිගණක විශේෂඥයෙකු හෝ මෘදුකාංග නිර්මාණකරුවෙකු නොවීමයි. ඔහු වෘත්තියෙන් කළමණාකරුවෙක්. එහෙත් සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම ආරම්භ කිරීමටත් එය ප්‍රවර්ධනය කිරීමටත්, සමාගමේ අවසානය තෙක් එහි ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කරන්නටත් ස්කොට් මැක්නීලි සමත්වුනා.

Sun Microsystems සමාගමේ ප්‍රධාන නිශ්පාදනය වූයේ Sun Workstation නම්වූ අධිබල පරිගණක පද්ධතියයි. IBM PowerPC නම් බලසම්පන්න ප්‍රොසෙසර මාදිලිය මගින් බලගැන්වුනු එහි මෙහෙයුම් පද්ධතිය වූයේ SunSPARC නම්වූ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කොට ගත් මෙහෙයුම් පද්ධතියයි. ඉතා බලසම්පන්න වූ එම මෙහෙයුම් පද්ධතිය multi-tasking හෙවත් සමාන්තර ක්‍රියාදාම ගණනාවක් හොඳින් කළමණාකරණය කල හැකි, ඒ අනුව පරිගණකයේ බලය, භාවිතා කරන්නන් (multiple users) හෝ උපයෝගීතා මෘදුකාංග (application software) කිහිපයක් අතර බෙදාහැරීම මගින් ඉතා කාර්යක්ශම සේවාවක් ලබාදිය හැකි යන්ත්‍රයක් වූවා.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හා ඉන්ටෙල් ප්‍රොසෙසර් මගින් ක්‍රියාත්මකවන මන්දගාමී Windows PC වලට වඩා ඉතා බලසම්පන්නවූ සන් වර්ක්ස්ටේෂන් පරිගණක පද්ධති කලක් ඉන්ජිනේරු, ගගනවිද්‍යා, ගෘගනිර්මාණ ශිල්පය, සජීවීකරණය, විද්‍යාත්මක විශ්ලේෂණ වැනි විශාල ගණන බලයක් අවශ්‍ය කටයුතු සිදුකරන සමාගම්වල ප්‍රියතම පරිගණක පද්ධතිය වූවා. එපමණක් නොව සන් වර්ක්ස්ටේෂන් ආකෘතියෙන්ම නිමැවුනු සන් සර්වර් (Sun Server Systems) පද්ධති එකල විශාල සමාගම්වල පරිගණක ජාල හා අන්තර්ජාල සේවා සපයන සර්වර් ජාලවලට නැතුවම බැරිවූවා.

එමෙන්ම සුප්‍රකට ජාවා පරිගණක භාශාව නිර්මාණය කලේත් සන් සමාගමේ මෘදුකාංග අංශයේ සමාජිකයින් පිරිසක්. ජාවා භාශාව අද ඇති තත්වයට ජනප්‍රිය කරවන්නට සන් සමාගමත්, එහි ස්කොට් මැක්නීලිත් දැවැන්ත කාර්යභාරයක් ඉටුකලා.

පරිගණක භාවිතය පිලිබඳ ස්කොට් මැක්නීලිගේ දර්ශණයට අනුව අවසාන භාවිතාකරන්නන් හට (end user) වින්ඩෝස් වැනි විශාල මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මකවන, ඉන්ටෙල් ප්‍රොසෙසර් යොදා නිර්මාණය කොට ඇති,  ඒ නිසාම මිලෙන් වැඩි PC එකක් ලබාදීම සම්පත් අපතේ යැවීමක්.

ස්කොට් මැක්නීලිගේ අදහස වුනේ සමාගමක පරිගණක ජාලයේ දත්ත සැකසුම් බලය (data processing power) එහි පරිගණක ජාලයේ සර්වර් වෙත පැවරිය යුතු බවයි. ඕනෑම බරපතල රාජකාරියක් ඉතා ඉක්මණින් ඉටුකරදීමේ බලය සර්වරය සතුයි. සර්වරයට එම කාර්යයන් පැවරීම, හා ඒවා ඉටුවූ පසු ප්‍රතිපල ලබාගැනීම සඳහා භාවිතා කරන්නන්හට (end users) අඩුබල ටර්මිනල් ලබාදිය යුතුයි. ස්කොට් මැක්නීලි මෙම අඩු බල පරිගණක "thin client" ලෙස හැඳින්වූවා. එනම් ඔහුගේ යෝජනාව වූයේ ආයතනයක පරිගණක භාවිතය "client-server network" ආකාරයට සිදුවිය යුතු බවයි. එනම් ආයතනයේ පරිගණක ජාලයේ සර්වර්තුල සියලු මෘදුකාංග හා දත්ත ගබඩා තිබෙන අතර එම මෘදුකාංග හා දත්ත  භාවිත කරන්නන් සර්වරය හා සම්බන්ධවීමට අඩුමිල තින්-ක්ලයන්ට් පරිගණක භාවිතා කරනවා. මැක්නීලිට අනුව පරිගණක භාවිතය සඳහා වූ මෙම ආකෘතිය කාර්යක්ශම මෙන්ම සම්පත් භාවිතයද අඩු කරනවා. මෙම දැක්ම අලෙවිකරණය සඳහා ඔවුන් භාවිතා කල යෙදුම "Network is the Computer" යන්නයි.

කල්පිතයක් ලෙස මෙය ඉතා හොඳවුවත් එය ඉදිරිපත්වූ 1990 දශකයේ පරිගණක ජාල ගොඩනැගීම අදමෙන් පහසුවූයේ නෑ. අද කාර්යාලීය පරිගණක ජාල, නොමිලයේ ලැබෙන අන්තර්ජාල TCP-IP දත්ත සම්ප්‍රේෂණ සම්මුති වන භාවිතයෙන් සිදුකලත් අසූව අනූව දශකයේදී පරිගණක ජාල නිර්මාණය කිරීමට සිදුවූයේ මිල අධික Novell Netware වැනි පරිගණක ජාල දත්ත සම්ප්‍රේෂණ හා ජාල කළමණාකරණ මෘදුකාංග මගින්. මේවා භාවිතය සඳහා Novell මෘදුකාංග පිලිබඳ විශේෂඥ දැනුමක් තිබිය යුතුවූ අතර ජාල ගොඩ නැගීම මෙන්ම නඩත්තු කිරීමද වෙහෙසකර වූවා.

මැක්නීලිගේ සන් සමාගමට මෙම ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා අඩු පිරිවැය විසඳුම් (cost effective solutions) නොතිබූ අතර පරිගණක ජාල ගොඩ නැගීම පහසුවූයේ ලිනක්ස් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අන්තර්ජාල TCP-IP Protocols පාදක කරගෙන ජාල ගොඩනැගීමේ පහසුකම් වැඩිදියුණු කලපසුවයි. එහෙත් ඒ වනවිට සන් මයික්‍රෝසිස්ටම් සමාගමේ කොටස් හිමියන්  එය දිගින් දිගටම පාඩු ලැබීම නිසා විකුණාදමා තිබුණා.

මාර්ක් අන්ඩ්‍රීසන්

මාර්ක් අන්ඩ්‍රීසන් වෙබ් බ්‍රව්සරයේ සම නිර්මාතෲ ලෙස හැඳින්වෙනවා. එකල NCSA හෙවත් National Center for Supercomputing Applications නම් අමෙරිකානු සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ සේවයකල මාක් අන්ඩ්‍රීසන් NCSA Mosaic නම් වෙබ් බ්‍රව්සරය නිර්මාණයට දායක වුනා. එකල ලොව එකම වෙබ් බ්‍රව්සරය වූයේ Mosaic බ්‍රව්සරයයි.

අන්තර්ජාලය පොදු ජනයාවෙත ගෙනයාම සඳහා අන්ඩ්‍රීසන්ගේ බ්‍රව්සරය ඉමහත් දායකත්වයක් සැපයූ අතර එනිසාම ඔහු එකල පරිගණක ලෝකයේ දිදුලන තරුවක් බවට පත්වූවා.

Mosaic බ්‍රව්සරයේ නිර්මාණ අයිතිය ඔහු සතුවූ බැවින්, පරිගණක විශේෂඥයෙකු හා ව්‍යවසායකයෙකුවූ ජේම්ස් ක්ලාර්ක් හා ජේම්ස් බාර්ක්ස්ඩේල් සමගසමග එම බ්‍රව්සරය වාණිජ වශයෙන් අලෙවිකිරීමට නෙට්ස්කේප් නම් සමාගමක් බිහිකලා. ඒ 1994 වසරේදී. ඔවුන් ඉදිරිපත්කල බ්‍රව්සරය නෙට්ස්කේප් නැවිගේටර් ලෙස හැඳින්වුනු අතර එය මොසැයික් බ්‍රව්සරය මත පදනම්වූවා. නැවිගේටර් බ්‍රව්සරය ආකාර දෙකකින් ඉදිරිපත්වූ අතර එකක් නොමිලේ ලැබෙන, පෞද්ගලික භාවිතය සඳහා නිර්මාණය කොට තිබුණා. කාර්යාලීය හා ව්‍යාපාර කටයුතු සඳහා විවිධ අමතර අංග සමග වාණිජ සංස්කරණයක් ඉදිරිපත් කොට තිබුණා.

එවක නෙට්ස්කේප් සමාගම අතිශයින්ම ජනප්‍රිය මෙන්ම ලාභදායි වූ අතර එකල ගූගල් සමාගම ආරම්භකොට තිබුනේවත් නෑ.

යාහූ එවකට ජනප්‍රිය වෙමින් පැවතුනු අතර වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය වූයේ  අද බොහෝ දෙනෙකු අසාවත් නැති "AltaVista" නම් සෙවුම් යන්ත්‍රයයි. 1995 පමණ අන්තර්ජාලයට මුලින්ම පිවිසුනු මාද මුල්වරට භාවිතාකලේ ඕල්ටා-විස්ටා සෙවුම් යන්ත්‍රයයි. මා ඒ පිලිබඳව දැනුවත්වූයේ මට මතක පරිද්දෙන් යම් පරිගණක සඟරාවක තිබූ ලිපියක් මගිනුයි. මා අන්තර්ජාලයට පිවිසුනු නෙට් කැෆේ එකේ පරිගණකවල මාර්ක් අන්ඩ්‍රීසන්ගේ නෙට්ස්කේප් නැවිගේටර් පලමු සංස්කරණය ස්ථාපනය කොට තිබුණා.


1995වනවිට නෙට්ස්කේප් සමාගම අන්තර්ජාල බ්‍රව්සර් වෙළඳපොලේ 90%ක පංගුවක් අයිතිකරගෙන සිටි අතර එම සමාගමේ ප්‍රථම කොටස් නිකුතුව (Initial Public Offering -IPO) අතිශයින් සාර්ථකවී මාර්ක් අන්ඩ්‍රීසන් හා අනෙක් ආදි කතෲන් දෙදෙනා එක් රැයින් කෝටිපතියන් බවට පත්වුනා. මේ වනවිට මයික්‍රෝසොෆ්ට් සමාගම සිය වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය නිකුත්කොට තිබූ නමුත් ඔවුනට බ්‍රවුසර් තාක්ශණය තිබුනේ නෑ.

නෙට්ස්කේප් සමාගමේ සාර්ථකත්වයත්, අන්තර්ජාලයේ වැදගත්කමත් අවබෝධකරගත් මයික්‍රෝසොෆ්ට් සමාගම තමන්ගේම බ්‍රව්සරයක් නිර්මාණය කිරීමට කල්ගතවන බැවින් ස්පයිග්ලාස් නම් කුඩා සමාගමක් සතුව තිබූ බ්‍රව්සර් තාක්ශණය මිලදීගත්තා. 1996දී මෙම බ්‍රව්සර් තාක්ශණය අඩංගුකොට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 1.0 හඳුන්වාදී නෙට්ස්කේප් සමාගමේ ආධිපත්‍යයට අභියෝග කලා. නෙට්ස්කේප් සමාගමත් මයික්‍රෝසොෆ්ට් සමාගමත් තරඟයට මෙන් සිය බ්‍රව්සර් යාවත්කාලීන කරමින් අලුත් සංස්කරණ ඉදිරිපත් කල අතර අවසානයේ මූල්‍යමය ශක්තිය හා අතිවිශාල පරිගණක ඉන්ජිනේරුවන් සංඛ්යාවක් යොදවා වැඩිදියුණු කිරීමේ හැකියාව මත මයික්‍රෝසොෆ්ට් සමාගම ජය ලැබූ අතර 1999 වසරේදී අන්ඩ්‍රීසන් නෙට්ස්කේප් සමාගම අන්තර්ජාල සේවා දැවැන්තයෙකු වූ AOL සමාගමට  ඩොලර් බිලියන 4.2කට විකුණා දැමුවා.

AOL නෙට්ස්කේප් සමාගම විකුණාදැමීමට පෙර අන්ඩ්‍රීසන් නෙට්ස්කේප් බ්‍රව්සරයේ පාදක කේත (source code) මොසිල්ලා පදනම (Mozilla Foundation) ලෙස නම්කල ලාභ නොලබන සංවිධානයක් බිහිකොට එයට ලබාදුන්නා. ඔහුගේ අරමුණවූයේ නොමිලේ ලැබෙන බ්‍රව්සරයක් ලෙස නෙට්ස්කේප් නොනැසී තබාගැනීමටයි. එහෙත් මොසිල්ලා පදනම නෙට්ස්කේප් කේත භාවිතාකරනු වෙනුවට අලුතින්ම බ්‍රව්සරයක් නිර්මාණය කරනලද අතර අද ඔබ භාවිතා කරන ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ආරම්භය එලෙස සනිටුහන්වුනා.

2009 වසරේදී අන්ඩ්‍රීසන් සිය ව්‍යාපාරික සගයෙකුවූ ඇන්තනි හොරොවිට්ස් සමග ඒකාබද්ධව නම් මූල්‍ය සමාගමක් ආරභකල අතර නැගී එන අධිතාක්ශණික සමාගම්වලට උපදෙස්දීම හා ප්‍රාග්ධනය සැපැයිම ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු වූවා. ට්විටර්, ෆේස්බුක්, ස්කයිප් හා සින්ගා ඔවුන් ආයෝජනය කල මෙන්ම විශේෂඥ උපදේශණ ලබාදුන් සමාගම් අතර වනවා.

2012 වසරේදී ටයිම් සඟරාව ලෝකයේ ඉහලම බලපරාක්‍රමයක් ඇති මිනිසුන් සියදෙනා අතරට අන්ඩ්‍රීසන්  එක්කලා (Times 100 most influential people). 2013 වසරේදී බ්‍රිතාන්‍යය එලිසබත් මහරැජින ප්‍රදානය කරන ඉන්ජිනේරු තාක්ශණයේ දියුණුව වෙනුවෙන් ප්‍රධානය කරන ත්‍යාගයක් හඳුන්වාදුන් ( Queen Elizabeth Prize for Engineering) අතර එහි මුල්ල ත්‍යාග ප්‍රධානයේදී අන්තර්ජාලය වෙනුවෙන් නම් කරන ලද ත්‍යාලාභීන් 5දෙනා ගෙන් එක් අයෙකු ලෙස අන්ඩ්‍රීසන් තෝරාගෙන තිබුනා.

Monday, 18 May 2015

අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවරු හඳුනාගන්න

අධිතාක්ශණික ලෝකය ගැන කතාකරන විට මයික්‍රෝසොෆ්ට් හි බිල් ගේට්ස්, ඇපල් සමාගමේ ස්ටීව් ජෝබ්ස්, ගූගල් සමාගමේ ලැරී පේජ් ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් නූතන අධිතාක්ශණය, අද තත්වයට ගෙන එන්නට මහත් වැරවෑයම්ක් දැරූ, දැවැන්ත සමාගම් ගොඩනැගූ, සුපිරි තාක්ශණයන් බිහිකරන්නට මුල්ගල් තැබූ තවත් බොහෝ දෙනෙකු සිටිනවා. ඔවුන් වැඩිදෙනෙකු අදටත් ජීවත් වන අතර සමරුන් විශ්‍රාම සුවය විඳිතත්, තවත් සමහරුන් නිහඬව තාක්ශණික ලොව තම යුතුකම් ඉටුකරමින් සිටිනවා.

ස්ටීව් ජෝබ්ස් නම් සුප්‍රකට සුපිරි මිනිසා පිටුපසින් සිටිමින්, ඔහු නිර්මාණය කරන්නට දායක වුනු අයි-ෆෝන්, අයි-පෑඩ්, අයි-පොඩ් ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් නිමවන්නට මෙන් ඇපල් සමාගමට සුපිරි ලාභයක් එනලෙස දශලක්ශ ගණනින් නිපදවන්නට අවශ්‍ය සැපයුම් දාමය නිර්මාණය කල, ඔහුගෙන් පසු ඇපල් සමාගමේ අනාගතය භාරගත් ටිම් කුක් තවමත් අප්‍රකටය.  එපමණක් නොව, ඇපල් සමාගමේ පලමුවැනි නිර්මාණය වන "Apple I" පුද්ගලික් පරිගණකය තනිවම නිර්මාණය කල, එමෙන්ම ඇපල් සමාගම අරම්භවූ කාලයේ එහි "ඉන්ජිනේරු මොළය" වූ ස්ටීව් ජෝබ්ස්ගේ හිත මිතුරු ස්ටීව් වොස්නියැක් ගැන ඔබ අසා තිබේද?

ඇමසන්.කොම් ගැන නොදන්නා කෙනෙක් නැතත්, ඇමසන් ගොඩනැගූ ජෙෆ් බෙසෝස් නම් කාල්පනික ව්‍යවසයකයා (visionary entrepreneur) ගැන් දන්නේ ස්වල්ප දෙනෙකි. එමෙන්ම ඉන්ටෙල් සමාගම ගැන නොදන්න කෙනෙකු නැතත් ඉන්ටෙල් සමාගම ලොව පරිගණක තක්ශණයේ දැවැන්තයෙකු ලෙසට ගොඩනැගූ ඇන්ඩෲ ග්‍රෝව් ගන දන්නෝ විරලය.

ස්ටීව් වොස්නියැක් - ඇපල් I පරිගණකයේ නිර්මාතෲ හා ඇපල් සමාගමේ සම-ප්‍රාරම්භක


ස්ටීව් වොස්නියැක් කැලිෆෝනියාවේ සැන් හෝසේ (San Jose - pronunciation San Ho-zay) කෝරළයේ උපත ලැබීය. ඒ 1950 වසරේදීය.

1971දී එවකට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පලමුවන වසරේ සිසුවෙකු වූ ස්ටීව් වොස්නියැක්ට, හෝම්ස්ටඩ් හයිස්කූල් උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටි ස්ටීව් ජෝබ්ස්ව හඳුනාගන්නට ලැබුණි. ඒ අන්‍යෝන්‍ය මිතුරෙකුගේ මාර්ගයෙනි.

කෙසේ වෙතත් ජෝබ්ස් හා වොස්නියැක් කළණ මිතුරන් බවට පත්වූයේ දෙදෙනාම හිව්ලට් පැකාර්ඩ් සමාගමේ (අද HP සමාගම) ග්‍රීෂ්ම නිවාඩු කාළයේ කෙටිකාලීන රැකියාවල නිරතව සිටියදීය.

1975 ජූනි මාසය වනවිට ස්ටීව් වොස්නියැක් ඇපල් පරිගණකයට පාදකවූ කුඩා පරිගණයකයක් නිර්මාණය කරමින් සිටි අතර ඔහු හා ජෝබ්ස් සාමාජිකයින්වූ හෝම්බෲ පරිගණක සමාජයේ සාමජිකයින්හට ප්‍රදර්ශණය කිරීම සඳහ නිර්මාණය කෙරිනි. 1975 ජූනි මාසයේ 29වැනිදා වොස්නියැක් සිය පරිගණකය හෝම්බෲ සාමාජිකයින්ට පෙන්වූ අතර, විකිපීඩියාවට අනුව කුඩා පරිගණකයක් මගින් සාමාන්‍ය ටෙලිවිශන් යන්ත්‍රයක් මොනිටරය ලෙස භාවිතාකොට ක්‍රියාත්මකවූ පලමු අවස්ථාව එයයි. ඒ අනුව ස්ටීව් වොස්නියැක් ටෙලිවිශනයක් පරිගණක මොනිටරයක් ලෙස භාවිතාකල පලමුවැන්නායි.

1976දී ස්ටීව් වොස්නියැක්, ඔහුව ලෝක ප්‍රකට කල නිර්මාණය සිදුකලේය. එනම් ඇපල් සමාගමේ පලමුවැනි නිර්මාණය වන ඇපල් 1 පරිගණකයේ මදර්බෝඩ් ඇතුලුව සියලුම හාඩ්වෙයාර් මෙන්ම එහි ඔපරේටින් සිස්ටම් එක පවා තනිවම නිර්මාණය කොට ස්ටීව් ජෝබ්ස්ට පෙන්වන ලදී. ඔවුන් එය වාණිජමය වශයෙන් විකිණීමට තීරණය කලේ ව්‍යාපාරික මනසක් තිබූ ස්ටීව් ජෝබ්ස්ගේ අදහසකට අනුවය.  ඇපල් සමාගම ආරභ කිරීමට ප්‍රාග්ධනය වූ ඩොලර් 1300 සොයා ගැනීමට ස්ටීව් ජෝබ්ස් සිය පරණ වොක්ස්වාගන් වෑන් රථය විකුණා දැමූ අතර වොස්නියැක් සිය විද්‍යාත්මක කැල්කියුලේටරය ඇතුලු පුද්ගලික භාණ්ඩ රැසක් විකුණාදැමීය.

1976 අප්‍රේල් පලමුවැනිදා ඇපල් සමාගම බිහිවූ අතර ස්ටීව් වොස්නියැක් එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රධානියා විය. ඇපල් සමාගමේ දෙවැනි නිශ්පාදනය වූ ඇපල් 2 පරිගණකය නිර්මාණය කලේද ස්ටීව් වොස්නියැක් විසිනි. ඇපල් 2 එවක අලෙවි වාර්තා බිඳදැමූ අතර අදටත් එය ලොව වැඩියෙන්ම අලෙවිවූ පුද්ගලික පරිගණක අතර පවතී.

1981දී වොස්නියැක් සිය කුඩා ගුවන්යානය ගුවන්ගත කිරීමට යද්දී එය කඩාවැටුනු අතර ඔහු ඉන් බරපතල තුවාල ලැබීය. පූර්ණ සුවය ලැබූ පසු නැවතත් ඇපල් සමාගමට එක්වුවද සීග්‍රයෙන් විශාලවෙමින් යන සමාගමේ කළමණකාරි රාජකාරිවල නිරතවීමට ඇති අකමැත්තත්, ස්ටීව් ජෝබ්ස්ගේ නායකත්ව රටාවට ඇති අකමැත්තත් නිසා සමාගමේ කටයුතුවලින් ටිකෙන් ටික ඈත්වූ වොස්නියැක් 1987දී ඇපල් සමාගම සමග තිබූ සියළු සබඳතා අවසන් කලේය.

කෙසේවෙතත් ඇපල් සමාගම සිය ආදි කතෘවරයාව අත් නොහැරිය අතර රාජකාරි නොකලද ඇපල් සමාගම අදටත් ස්ටීව් වොස්නියැක්ට  වසරකට ඩොලර් 120,000ක දීමනාවක් ගෙවන අතර ඔහු ඇපල් සමාගමේ කොටස් හිමියෙකුද වේ.  ඇපල් සමාගමේ කටයුතු වලින් ඉවත්වූ පසු වොස්නියැක් පරිගණක තාක්ශණය පිලිබඳ දේශකයෙකු ලෙස හා විශේෂඥ උපදේශකයෙකු ලෙසද ක්‍රියා කරයි. එමන්ම සමාගම් කිහිපයක අධ්‍යක්ශක මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු අධිතාක්ශණික සමාගම් ගණනාවක් ආරම්භකොට ඇත.

එපමණක් නොව සිරතක් ලෙස ඔහු ඇපල් සමාගමේ අලුත් නිමැයුමක් වෙළඳපොලට නිකුත් කරන සෑම අවස්ථාවකම එය නිකුත්කරන පලමුදිනයේම සිය නිවසට ආසන්නම ඇපල් අලෙවි සැලට ගොස් ඇපල් රසිකයින් සමගම පෝලිමේ සිට අලුත්ම ඇපල් නිශ්පාදනය මිලට ගනී.

ටිම් කුක් - ඇපල් ප්‍රධාන විධායක නිළධාරී


54 හැවිරිදි ටිම් කුක් ඇපල් සමාගමට බැඳුනේ 1998දීය. ඒ ස්ටීව් ජෝබ්ස්ගේ පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි. ඇපල් සමාගමේ ලෝක ව්‍යාපත මෙහෙයුම් කටයුතු භාරව කටයුතුකල ඔහු ඇපල් සමාගමේ අයිෆෝන්, අයිපෑඩ් වැනි නිර්මාණ ඉතා ඉහල ප්‍රමිතියකින් චීනය වැනි පිරිවැර අඩු රටවල නිශ්පාදනය කිරීම හා එම නිශ්පාදන සඳහ අවශ්‍ය දහසකුත් එකක් අධිතාක්ශණික උපාංග සැපයෙන සැපයුම් දාමය (supply chain) නිර්මාණය කල තැනැත්තා ලෙස හැඳින්වේ.

1960දී අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ උපන් ටිම් ඇමරිකාවේ ඕබර්න් හා ඩියුක් සරසවිවල උපාධිධාරියෙකි. 2007දී ඇපල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී (Chief Operating Officer ) ලෙස උසස්වීමක් ලද ටිම්, එවක රෝගීව සිටි ඇපල් නිර්මාතෲ ස්ටීව් ජෝබ්ස් වෛද්‍යප්‍රතිකාර සඳහ නිවාඩු ගන්නා අවස්ථාවලදී වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී ලෙසද පත්විය.

ඇපල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස ඇපල් සමාගමේ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසා දැමූ ඔහු, ඒ වෙනුවට චීනයේ සිට ක්‍රියාත්මකවන තායිවාන සමාගමක් වන ෆොක්ස්කොන් (Foxconn) සමාගමට ඇපල් නිර්මාණ නිශ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව පැවරීය. ටිම් කුක්ගේ අධීක්ශණය යටතේ සුපිරි ප්‍රමිතියකින් හා අඩු පිරිවැයකින් යුතුව නිශ්පාදන කටයුතු කරගැනීමට හැකිවීම නිසා ඇපල් සමාගම අමෙරිකාවේ ඉහලම ලාභයක් ලබන සමාගමක් බවට පත්විය.

උත්සන්නවන රෝගීතත්වය නිසා 2011 අගෝස්තු මාසයේදී ස්ටීව් ජෝබ්ස් ඇපල් සමාගමේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර ඉන් සති කිහිපයකට පසුව ටිම් කුක් ජෝබ්ස් දැරූ ඇපල් ප්‍රධාන විධායක නිළධාරී තනතුරට පත්විය. වසරකට ඩොලර් මිලියන 9.22ක වැටුපක් ලබන ටිම් කුක්ගේ පෞද්ගලික වත්කම ඩොලර් මිලියන 785ක් ලෙස ඇස්තමේන්තු කොට තිබේ.

ජෙෆ් බෙසොස් - ඇමසන්.කොම් නිර්මාතෲ, සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී

51 හැවිරිදි ජෙෆ් බෙසොස් ඇමසන්.කොම් සමාගම ආරම්භකලේ 1994 වසරේදීය. නූතන විද්යුත් වෙළඳාමේ (electronic commerce) නිර්මාතෲවරයෙකු ලෙස සැළකෙන බෙසෝස් අන්තර්ජාලය හරහා වෙළඳාම්කල හැකි සමාගමක් නිර්මාණය කොට එය දැවැන්ත සමාගමක් බවට පත්කල පලමුවැන්නා ලෙස ඉතිහාසගතවී ඇත.

ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ උපත ලැබූ බෙසෝස් ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිගණක විද්‍යාව පිලිබඳව ගෞරව උපාධියක් දිනාසිටී.

1994 වනවිට ඇමරිකාවේ වෝල් ස්ට්‍රීහි දැවැන්ත ආයෝජන සමාගමක පරිගණක විශේෂඥයෙකු ලෙස ඉහල වැටුපක් ලබමින් සේවය කල බෙසෝස් ඒ සියල්ල හැරදමා ව්‍යාපාරික ලෝකයට අත පෙවුවේ අන්තර්ජාලය පිලිබඳව ඔහුට කියවන්නට ලැබුනු තොරතුරු පදනම් කරගෙනය. 1994 තරම් ඈත කාලයේ, එනම් අමෙරිකාව වැනි රටවල පවා සාමාන්‍ය වැසියන් සිය රැහැන් දුරකථනය පරිගණකයේ මොඩෙම් නම් උපාංගයට සවිකොට දුරකථන වයර ආධාරයෙන් ඉතා මන්දගාමී අන්තර්ජාල සේවා ලබාගන්නා කාලයේදී පවා, අනාගතයේ අන්තර්ජාලයේ දියුණුව පිලිබඳවත්, ව්‍යාපාරික අවස්ථා පිලිබඳවත් බෙසෝස්ට පැහැදිලි අවබෝධයක් තිබුණි.

අදවන විට ඇමසන් ලොව විශාලතම සමාගම් වලින් එකක් වන අතර 2014 වසරේ සමස්ත ආදයම ඩොලර් බිලියන 88කි. බෙසෝස්ගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 40 ඉක්මවන බව වාර්තාවේ. ඔහු අද අමෙරිකාවේ සිටින ධනවත්ම බිලියනපතියන්ගෙන් 15වැනි ධනවතාය. 1999දී ටයිම් සඟරාව "වසරේ වැදගත්ම පුද්ගලයා - Time Man of the Year" ලෙස නම්කල බෙසෝස් 2008 වසරේදී අමෙරිකානු සඟරාවක් වන "US News & World Report" සඟරාව මගින් අමෙරිකාවේ සිටින දක්ශතම ව්‍යාපාරික නායකයෙකු ලෙස සම්මානයට පාත්‍රකලේය.

මුලින්ම පොත් හා CD තැටි වෙළඳාම ආරම්භකල ඇමසන් අද වනවිට එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ, ඉතා අඩුමිලට, ඉතාමත් ඉක්මණින් පාරිභෝගිකයින් වෙත යැවීම පිලිබඳව නමක් දිනාගෙන ඇත. ඊට අමතරව ඇමසන් සමගම, පොත් ප්‍රකාශකයින් විසින් අත්පිටපත් ප්‍රතික්ශේප කරන නවක ලේඛකයින්ට අතදීම සඳහා ඉලෙක්ට්‍රොණික පොත් (e-book) පලකිරීමේ සේවාවක්ද අරඹා ඇත. ඔනෑම අයෙකුට ඉතා සහන කොන්දේසි යටතේ ඇමසන් ඊ-බුක් සන්නාමයෙන් සිය පොත් ඉලෙක්ට්‍රොණික පොත් ලෙස පලකරවගත හැකිය.  මෙම ඊ-බුක් ව්‍යාපාරය තවත් වැඩිදියුණු කිරීම සඳහා ඇමසන් සමාගම තමන්ගේම ඊ-බුක් රීඩරයක් (e-book reader) කින්ඩල් (Kindle) යන නමින් හඳුන්වාදී ඇති අතර අද එය ලොව ජනප්‍රියම ඊ-බුක් කියවනයයි. එපමණක් නොව අදවනවිට ඇමසන් ලොව විශාලතම "cloud computing" සේවා ලබාදෙන සමාගමක් ලෙසද නමක් දිනාගෙන ඇත.

ඇන්ඩෘ ග්‍රෝව් - ඉන්ටෙල් සමාගමේ හිටපු සභාපති හා හිටපු  ප්‍රධාන විධායක නිළධාරී

1968දී සංගෘහිත පරිපථ ලොවට හඳුන්වාදුන් රොබර්ට් නොයිස් හා ගෝර්ඩන් මුවර් සමග ඉන්ටෙල් සමාගම ආරම්භකිරීමට දායකවුනු ඇන්ඩෲ ග්‍රෝව් 1979දී එහි අධ්‍යක්ශකවරයෙකුද, 1987දී එහි ප්‍රධාන විධායක නිළධාරියාද 1997වසරේදී එහි සභාපතිවරයා ලෙසද පත්විය. 1968 ආරම්භක වසරේදී ඩොලර් 2672ක් තරම් සොච්චම් ආදායමක් ලැබූ ඉන්ටෙල් සමාගම පරිගණක ලොවේ පතාක යෝධයෙකු ලෙසට වර්ධනය වූයේ 1979 වසරේ සිටම විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් ඇන්ඩෲ ග්‍රෝව් එයට ලබාදුන් නායකත්වය නිසාමය.

1997දී ඇන්ඩෲ සභාපති පදවිය පත්වනවිට ඩොලර් බිලියන 20ක් වූ ඉන්ටෙල් සමාගමේ ආදායම 2014දී ඩොලර් බිලියන 55 දක්වා වර්ධනය වී ඇත.

1970 දශකයේ අගභාගය වනවිට DRAM මෙමරි චිප් නිශ්පාදනයේ යෙදී සිටි ඉන්ටෙල් සමාගම පරිගණක ප්‍රොසෙසර් නිර්මාණය වෙත යොමුවීයේ ඇන්ඩෲ ග්‍රෝව් ගේ මගපෙන්වීමෙනි. හිතාචි, ටොශීබා වැනි ජපන් සමාගම් ඉන්ටෙල් සමාගමට වඩා අඩුමිලකට DRAM මෙමරි චිප් නිශ්පාදනය කරමින් වෙළඳපොල අල්ලාගන්නා බව තේරුම්ගත් ඇන්ඩෲ, ජපනුන්හට නිර්මාණය කිරීමට තාක්ශණය නොමැතිවුනු ප්‍රොසෙසර් නිර්මාණයෙන් ඉන්ටෙල් සමාගමට ඉදිරියට ආහැකි බව වටහ ගත්තේය.

1976 වනවිට අයි.බී.එම් සමාගම සිය විප්ලවීය IBM PC පෞද්ගලික පරිගණකය හඳුන්වාදීමට සූදානම් වෙමින් සිටි අතර එම කාලයේම මයික්‍රෝසොෆ්ට් නම් කුඩා මෘදුකාංග සමාගමක නිර්මාතෲ වූ බිල් ගේට්ස් නැමති තරුණයා, සගයන් කිහිපදෙනෙකු සමග අයි.බී.එම්  PC පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වූ MS-DOS පරිගණක මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරමින් සිටියහ. වාර්තා පිට වාර්තා තබමින් අලෙවි වුනු අයි.බී.එම් PC පරිගණකයට ඉන්ටෙල් ප්‍රොසෙසර් පමණක් භාවිතාකරන්නට අයි.බී.එම් සමාගම එකඟකරවා ගත්තේ එවක ඉන්ටෙල් නිශ්පාදන අධ්‍යක්ශකවරයා වූ ඇන්ඩෲ ග්‍රෝව් විසින්ය.

අයි.බී.එම් පුද්ගලික පරිගණකය ලොව ජනප්‍රියම පරිගණකය වනවිට, ඉන්ටෙල් සමාගමද එයට සමගාමීව විශාල වර්ධනයක් ලැබීය. ඇන්ඩෲ ග්‍රෝව්ගේ නායකත්වය යටතේ ඉන්ටෙල් සමාගම සේවකයින් 64,000ක් සේවය කරන, වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 197ක්වන දැවැන්ත අධිතාක්ශණික සමාගමක් බවට පත්විය.

සැමවිටම සිය ඉන්ජිනේරුවන්ට හා කළමණාකරුවන්ට නිර්මාණශීලීව සිතන්නට යොමුකල ඇන්ඩෲ නිරන්තර අත්හදාබැලීම් හා නවනිර්මාණ සිදුකරීමට අතහිත දෙන සංස්කෘතියක් ඉන්ටෙල් සමාගම තුල බිහිකලේය. එමෙන්ම නිරන්තරයෙන් වෙනස්වීමටත්, වෙනස්වීම එකම ස්ථිරදෙය ලෙස සැලකීමට ඇන්ඩෲ නිතරම සිය සේවකයින්ට උපදෙස් දුන්නේ නිරන්තරයෙන් වෙනස්වන පරිගණක ලෝකයේ ඉදිරියාමේ එකම මග එය බැවිනි.




Saturday, 16 May 2015

නේපාල භූමිකම්පා විපත හා ලංකාවට භූමිකම්පා/සුනාමි අවදානම් කතාබහ අස්සේ හොර විද්‍යාඥයෝ යලිත් වැඩ අල්ලති.


නේපාලයේ සිදුවූ දැවැන්ත භූකම්පණය හා ඊට පසු ඇතිවූ ප්‍රභල පසු-කම්පණයත් නිසා දකුණු ආසියාතිකරයේ විශේෂයෙන්ම ලංකාවට බලපෑහැකි භූ කම්පණ පිලිබඳ විවිධ කථාබහ හා විද්වත් සංවාද මේ දිනවල පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල දකින්නට ලැබෙනව.

මින් බොහෝ සංවාද හරවත් විද්වත් සංවාද අතරට ගැනිය හැකියි. ඒ අතරට මේ ඉරිදා (මැයි 17) මව්බිම පුවත්පතේ මහාචාර්ය සී.බී දිසානායකයන් සමග ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් පලවී ඇත. මහාචාර්ය සී.බී දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයෙකු වන අතර මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ශවරයාද වේ. එතුමාගේ ශාස්ත්‍රීය පරිචය පිලිබඳව සංශිප්ත සටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා පීඨයේ වෙබ් පුටුවක දැක්වේ. එතුමා ලංකාවේ විද්‍යා අධ්‍යපනයට හ විද්‍යා ක්ශේස්ත්‍රයට සිදුකරන ලද සේවාව අගැයිම පිණිස "විද්‍යා ජෝති" සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය විද්‍යාඥයෙකුද වනවා.

මහාචාර්ය සී.බී දිසානායක විදුදරයානන්ගේ සාකච්ඡාව සංශිප්තව සටහන් කරන්නේ නම්; ලංකාව ඉන්දු-ඔස්ට්‍රේලියානු තලයේ (Indo-Australian plate) මධ්‍යයේ පිහිටි නිසා ලංකාවට විශාල භූමිකම්පා අණතුරු සිදුවිය නොහැකි බවට ප්‍රධන ධාරවේ භූවිද්‍යාඥයින් පලකරන මතය මහාචාර්යතුමා ප්‍රතික්ශේප කරයි. ඔහු පවසන අන්දමට, ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණවලදී ලංකාව ආසන්නයේ සිට ඉන්දුනීසියාව දක්වා නව භූතලයක් නිර්මාණය වෙමින් තිබෙන බව තහවුරුවී තිබෙනවා. මෙම භූතලයේ නිර්මාණයවීමේ ක්‍රියාවලියේදී විශාල භූ චලන සිදුවිය හැකි බවත් එමගින් ලංකාවේ නැගෙනහිර හා ගිණිකොන දිග ප්‍රදේශවලට සුනාමි අණතුරක් ඇති බවත් ඔහු අණතුරු අඟවනවා. මෑත දිනයකදී බදුල්ලේ ඇතිවූ නාය යෑමද භූ චලනයක් නිසා වන්නට ඇතිබවට ඔහු අනුමාන කරනව.

ඉතිහාස කරුණු ගෙනහැර දක්වන මහාචාර්ය දිසානායක, 1614දී, මෙරට පෘතුග්‍රීසි පාලනයට නතුව තිබියදී ලංකාවට දරුණු භූමිකම්පාවක් ඇතිවූ බව පවසනව. මේ පිලිබඳව ලිඛිත සටහන් ලංකාවේ නොමැති වුවත් පෘතුගාලයේ ආරක්ශාවී ඇති ලේඛණවලට අනුව, ලංකාවේ සිදුවූ දරුණු භූමිකම්පාව පිලිබඳව මෙහි පෘතුග්‍රීසි පාලකයින් විසින් පෘතුගාලයට සවිස්තරාත්මකව වාර්තා යවා තිබෙනවා.

සාකච්ඡාව අවසන් කරමින් මහාචාර්ය තුමා පවසන ඉතා වටින අදහස් දකුණු පස ඇති උපුටාදැක්වීමේ සටහන් වෙනවා. ඔහු පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ ලංකාවට භූමිකම්පා අණතුරක් ඇති නමුත්, එය සිදුවන දින වකවානු කියන්නට හැකි තාක්ශණයක් තවමත් බිහිවී නැති බවත් සිදුකල හැක්කේ සූදානමින් සිටීම බවත් පවසනවා.

විද්‍යාජෝති සම්මානයෙන් හා තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නම් විශිෂ්ඨ සරසවියෙන් භූ විද්‍යාව පිලිබඳව ආචාර්ය උපාධියක් ලැබූ මහාචාර්යවරයෙකු පැහැදිලිවම, භූ චලන පිලිබඳ අනවැකි කිව නොහැකි බව පවසන විද්වත් සාකච්ඡාවක් පලවන ලිපියක, එම ලිපියේ හරය මඩ කරන්නටදෝ මෙන්, මවුබිම සංස්කාරකවරුන් තවත් "භූ විද්‍යා පර්යේෂකයෙකු" ලෙස හඳුන්වාදෙන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක්ද එම විද්වත් ලිපියට ඔබ්බවා තිබෙනවා.


සම්පූර්ණ නම පලකොට තිබූ නිසා එම පුද්ගලයා පිලිබඳව යම් සොයා බැලීමක් කරන්නට ගූගල් පිරික්සුම් ගණනාවක් සිදුකලද ඔහු කුමන ආකරයක භූවිද්‍යා පර්යේෂකයෙකුද, ඔහු භූවිද්‍යාව පිලිබඳව උපාධිය ලබාගත්තේ කුමන විශ්වවිද්‍යාලයෙන්ද, ඔහුගේ පරියේෂණ හෝ පර්යේෂණ පත්‍රිකා පලවී ඇත්තේ කුමන ශාස්ත්‍රීය ප්‍රකාශනවලද යන්න පිලිබඳවත් සොයාගැනීමට නොහැකිවිය.

මෙම ලිපිය සම්පාදනය කල හා එය සංස්ක්කරණය කල උගත් මාධ්‍යවේදීන් මෙම පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම් හා ඔහු කරනා ප්‍රකාශ / අනාවැකි සිදුකිරීමට තරම් ඔහුට මෙම විශය පිලිබඳව පරිචයක් ඇතිදැයි සොයා බැලුවාද යන්න පිලිබඳව බරපතල සැකයක් විචාර බුද්ධියෙන් ඔහු ප්‍රකාශකරන කරුණු සලකා බලන විට ඇතිවේ.

ඔහුගේ ප්‍රකාශ හ අණාවැකි සැකෙවින් මෙසේය;

1] නේපාලයේ භූමිකම්පාව පිලිබඳව 2001දී ඔහු අණාවැකි පලකලේය. ඒවා මාධ්‍යවලද පලවිය (කුමන මාධ්‍යවලට, දිනය කවදාද යන්න පැහැදිලි නැත - නැතිනම් ඒ පිලිබඳව සොයාබැලීමක් කල හැකිව තිබුණි)

2] ඉදිරි මාස තුනේදී ඉන්දියාවේ තවත් භූකම්පන තුනක් ඇතිවනව. ඒ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 300ක් ඈතින්. ජීවිත හානි සිදුවනවා.

3] ඉන් පසු උදාවන මාස තුනේ ලංකාවේ භූ කම්පණ දෙකක් වනවා. එහි ලක්ශණ මට පර්යේෂණ කරද්දී හමුවුනා.

ඉන්පසු මෙම "භූවිද්‍යා පර්යේෂකයා" තමා පර්යේෂණය සිදුකල අකාරය ඉතා මනරම්ව විස්තර කෙරෙනවා. මෙය මේ රටේ විද්‍යාඥයින්ට මෙන්ම විද්‍යාව හදාරන දහස්ගණන් සිසුසිසුවියන්ට මහානර්ඝ පාඩමක් වනු ඇති. 

1] පිදුරුතලාගල කන්දෙයි ඉන්දියාවේ හිමාල කන්දෙයි පස් සාම්පල් ගත්තා

2] ඒවාට කෙමිකල් ජාති තුනක් මිශ්‍රකලා

3] වෛද්‍යවරුන් භාවිතා කරන වෙද නලාවක් අරගෙනයි පර්යේෂණය සිදුකලේ

4] පාන්දර 1-3 අතර කාලයේ පරික්ශාකරද්දී පස් සාම්පල් වලින් ඝෝෂාවක් ආවා

කොතරම් සිම්පල්ද? කෝටි ගණන් වියදම් කරමින් කවදා කොයි මොහොතේදී කැලිෆෝනියාව සුන්නද්ධූලිවී යන්නට දැවැන්තම භූමිකම්පාව (කැලිෆෝනියා වැසියන් මෙය The Big One යනුවෙන් හඳුන්වයි ) ඇතිවේදැයි දිවාරෑ පර්යේෂණ කරන ඇමරිකානු භූවිද්‍යා සමීක්ශණායතනයත් (United States Geological Survey), හැමදෑම භූමිකම්පා ඇතිවන ජපානයේ භූවිද්‍යා ආයතනයටත් (Geological Survey of Japan), ඉන්දියාවේ භූවිද්‍යා කට්ටියටත් දැන් ඉතින් බයවෙන්නට දෙයක් නැත. පස් සාම්පල් දෙකක් අරගෙන, කෙමිකල් දෙකක් මික්ස් කරලා පාන්දර එකට දෙකට වෙදනලාවක් තිබ්බානම් ද බිග් වන්, ස්මෝල් වන් ඔය ඔක්කොම එන වෙලාවල් දැනගන්නට පුලුවන. පේරාදේණියේ අපේ මහාචාර්යතුමා දන්න කෙහෙල්මලක් නැතිබව දැන් පැහැදිලිය.

කෙසේවෙතත් මැදියම් රැයේ ශබ්ද නෑසිය යුතු තැන්වලින් ශබ්ද ඇසෙන්නේ නම්, එය භූමිකම්පාවක අනාවැකියක්ද නැතහොත් මානසික රෝගයක ලක්ශණයක්දැයි සිතා බැලිය යුතුමය.

සැබවින්ම මෙම කතා කියවන විට මේ රටේ සමහර දේවල් ගැන ඇතිවෙන්නේ මහත් දුකකි. මේවා කියවන පාසැල් දරුවන් සමහර විට පේරාදෙණියේ ආචාර්යතුමා කියනදේට වඩා මේ පුද්ගලයා කියනදේවල් විශ්වාස කරන්නට ඉඩ තිබේ. මහාචාර්යවරය කරන්නට බැරියයි කියන අනාවැකි මොහු මහත් විශ්වාසයෙන් කරන බැවිනි. දරුවන්ට වඩා වැඩිහිටියන් මේවා විශ්වාස කරනු ඇත.

ව්‍යාජ විද්‍යාඥයින්ට (pseudo-scientists), දෙවියන්ගේ උපදෙස් මත විද්‍යාත්මක පරියේෂණ කරන්නන්ට, දෙවියන්ගේ වට්ටෝරුවලින් කැඳ සාදා ලොකු ගණන්වලට විකුණන ජාවාරම්කාරයින්ට, සාස්තර කාරයන්ට, මන්තර කාරයින්ට අද මේ රටේ ඇත්තේ පුදුම පිලිගැනීමකි. යක්ශ දෝෂයක් යවන්නට යයි කියමින් එක් තිරිසන් යකැදුරෙකු පාසැල් දැරියකගේ කකුල් දෙකම රත්වූ යකඩයකින් පුලුස්සා ඇත. ඒ දරුවාට අද ඇවිදින්නට බැරිය. ගුරුවරයෙකු පහරක් ගැසූවිට ගුරුවරුන් රිමාන්ඩ් කරන රටේ මේ තිරිසන් යකැදුරා මෙන්ම ඒ මාන්සික රෝගියාට තම අසරණ දරුවා ගේ කකුල් පුච්චන්නට ඉඩදී බලාසිටි අමන දෙමව්පියන්ද අද තවමත් නිදැල්ලේය.

පොලීසියට ඕවා බලන්නට වෙලාවක් නැත. ළමාරක්ශක අධිකාරියද ගුරුවරයෙකු ළමයෙකුට ගැසුවොත් දුවගෙන ගොස් ගුරුවරයා/ගුරුවරියට නඩු දමයි (ආචාර්යවරයෙකු වන මම දරුවන්ට ශාරීරික හා මානසික දඬුවම් දීම තරයේ ප්‍රතික්ශේප කරන බව මෙහි සටහන් කරතබමි) එහෙත් මේවා ගැන පත්තර වලින් හෝ දැනගෙන හොයා බලන්නට සීත කාමරවල ඉන්නා ළමා අධිකාරියේ විශේෂඥයින්ට වෙලාවක් නැත. පැමිණිල්ලක් එන්ටම ඕනෑය. ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිමින් ඩොලර් ගෙන්නා ගන්න ඇන්.ජී.ඕ නඩයටද උවමනාවක් නැත. ඩොලර් කුට්ටියක් ගෙන්නා ගන්නට පුලුවන් ප්‍රොජෙක්ට් එකක් නොවෙයිනේ අසරණ දරුවෙකු අබ්බගාතයෙකු කල උමතු මන්තරකාරයෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන්නට යෑම. අර දරුවා සදාකාලික අබ්බගාතයෙකු වනු ඇත. උමතු කට්ටඩියා තව ටික කාලයක් වහන්වී සිට උණුහුම පහවගිය පසු යලිත් කට්ටඩිකමේ නිරතවනු ඇත.

ව්‍යාජ විද්‍යාඥයින්ද එසේය. මීට කලින් 2004 වසරේ සුනාමිය පැමිණි විටද හිමාල කන්දේ පස්, පිදුරුතලාගල කන්දේ පස් පරික්ශාකොට තවත් සුනාමියක් එනබව මාධ්‍යවලට පවස රටම බියවැද්දූ පර්යේශකයෙකු ගැනද යාන්තමට මතකයක් ඇත. ඒ පර්යේශකය හා මේ පර්යේශකයා දෙදෙනෙකුද, එක්කෙනුකුද යන්න දන්නේ ඔහු පමණකි.

Friday, 15 May 2015

රොබෝ කාර් මහා පරිමාණයෙන් වීදිගත කලයුත්තේ ඇයි? . . . . .

ගූගල් සමාගම නිර්මාණය කල රොබෝ කාරය සමග ඡායාරූපයකට පෙනී සිටින ගූගල් සමාගමේ සභාපති එරික් ශ්මිඩ් (සිටගෙන), ගූගල් සමාගමේ සම-නිර්මාතෲවරුන් වන ලැරී පේජ් (ඉදිරිපස අසුනේ) හා සර්ගෙයි බ්‍රින් (පසුපස අසුනේ)
රොබෝ කාර් යනු මොනවාද?

Autonomous car, driverless car  නැතිනම් self-driving car කියලත් හඳුන්වන රොබෝ කාර් රථයක් කියන්නේ කිසිදු මිනිස් රියැදුරෙකුගේ සහයක් නොමැතිව හෝ වාහනය තුල කිසිවෙකුත් නොමැතිව සාමාන්‍ය මහා මාර්ගයක සියලුම මාර්ග නීති අනුගමනය කරමින් ගමන් කිරීම, රථය ගාල් කිරීම වැනි සියලුම කටයුතු ස්වයංක්‍රීයව සිදුකල හැකි යම් ආකරයක කෘත්‍රිම බුද්ධියකින් පාලනය වන මෝටර් රථයකි.

නිසාන්, ටොයෝටා, අව්ඩි, වොක්ස්වගන්, මර්සඩීස් වැනි දැවැන්ත මෝටර් රථ සමාගම් මෙන්ම ගූගල් වැනි අධිතාක්ශණික සමාගම්ද රියදුරන් රහිත රොබෝ කාර් නිර්මාණය කිරීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් ආයෝජනය කොට තිබෙනවා. ගූගල් සමාගම පසුගිය වසර කිහිපය තුල කෘත්‍රිම බුද්ධිය හා රොබෝ තාක්ශණයේ ඉදිරියෙන් සිටින සමාගම් මිළදීගැනීම සඳහා සිදුකල අයෝජන ඩොලර් බිලියන ගණනක්. මේසා දැවැන්ත ධනස්කන්ධයක් ආයෝජනය කරමින් රොබෝ කාර් හා වෙනත් රියදුරන් රහිත රථවාහන නිර්මාණයට මෙම සමාගම් අතගසා තිබෙන්නේ රොබෝවන් මෙහෙයවන රථ මගින් රටක අර්ථිකට මෙන්ම මහජන ආරක්ශාවට ලැබෙනු ඇතැයි උපකල්පණය කරන අතිවිශාල ප්‍රථිලාභ හේතුවෙන්.

රොබෝ රියදුරෙකු මෙහෙයවන අව්ඩි A7 කාරය

රොබෝ වාහන වීදිගත කිරීම මගින් ලැබෙනු ඇතැයි සැලකෙන ප්‍රතිලාභ

1] මිනිස් රියදුරන් මෙන් නීති කඩ නොකිරීම, ඉතා තියුණු සංවේදක හා මිනිසුන්ට වඩා අතිශය වේගයෙන් ප්‍රතික්‍රියාකල හැකි බැවින් වාහන අණතුරු, තුවාල, මරණ හා දේපොල අලාභහානි හා රක්ශණ වන්දි වියදම් විශාල ලෙස අඩුකරගත හැකිවීම.

2] ගමන්කරන සියලුදෙනාටම රථය මෙහෙයවීමේ කටයුතු වලින් බැහැරව ගමන අත්විඳීමට ඉඩ ලැබීම හා රථයේ ගමන් කරන අතර පලදායි වැඩක නිරතවීමේ හැකියාව.

3] රථවාහන තදබදය අවම කරගැනීමට හැකිවීම - රොබෝ රියදුරන් සියලු මාර්ග නීතිරීති වලට අනුකූලව ධාවනය, මහාමාර්ගයේ තත්වය, වාහන තදබද පිලිබඳ තොරතුරු හා කාළගුණය පිලිබඳව නිරන්තරයෙන් යාවත්කාලිනවී ප්‍රතික්‍රියා කිරීමට ඇති හැකියාව, අතිනවීන ඩිජිටල් සිතියම් හා චන්ද්‍රිකා තාක්ශණය අධාරයෙන් වාහන තදබදය අඩු මාවත් භාවිත කරමින් ගමන්කිරීමට ඇති හැකියාව වැනි කරුණු මෙයට පාදකවේ.

4] වේගසීමා ඉහල දැමීමට හැකිවීමෙන් ගමන් ඉක්මණින් අවසන්කරගත හැකිවීම.

5] කුඩා දරුවන්, මහලුවියැති පුද්ගලයින්, රෝගීන්, අන්ධ හෝ වෙනත් ආබාධ ඇත්තවුන් ආරක්ශාකාරීව හා නිවැරදිව අදාල ස්ථානවලට ගෙනගොස් ඇරලවීම හා නැවත නිවසට ගෙනවිත් ඇරලවීමට හැකිවීම නිසා ඔවුන්ගේ භාරකරුවන්ට වෙනත් පලදායි වැඩවල හෝ රැකියාවල නිරතවීමේ හැකියාවෙන් ලැබෙන ආර්ථික හා සාමාජීය ප්‍රතිලාභ.

6] රථවාහන ගාල්කිරීමේ ඉඩ පිලිබඳ ඇති අතිවිශාල ගැටලුව නිරාකරණය කරගැනීමට හැකිවීම - රොබෝ වාහනයකට සිය මගීන් බස්සවා ඈතින් ඇති රථගාලකට තනිවම ගොස් ගාල්විය හැකි අතර අවශ්‍ය වේලාවට නැවත පැමිණ මගීන් නග්ගවා ගත හැකිය. මෙය කෙතරම් ප්‍රයෝජනවත්දැයි ඔබම සිතා බලන්න. එමෙන්ම රොබෝ වාහන වල ඇති කැමරා හා සූක්ශම සංවේදක ආධාරයෙන් ඉතා ලඟින් වාහන ගාල්කිරීමේ හැකියාව නිසා රථගාල්වල වැඩිපුර රථ ගාල්කල හැකිවීමෙන් ඇතිවන වාසියද ඇතුලත්ය.

7] රොබෝ වාහනවලට තනිවම ගමනක් පිටත්ව ගොස් මගියෙකු නග්ගවාගෙන පැමිණීමට හැකිවීම, තනිවම සේවා හා අලුත්වැඩියා ස්ථානවෙත ගොස් එම එම කටයුතු කරගැනීමට හැකිවීම වැනි කරණු නිසා වාහන අයිතිකරුවන්ට හා විශාල ලෙස වාහන භාවිතාකරන සමාගම්වලට විශාල ආර්ථික ප්‍රථිලාභ ලැබේ.

8] මහාමාර්ග හැසිරවීමට යෙදිය යුතු අතිවිශාල රථවාහන පොලිස් සේනාව අවමකරගත හැකිවීමේන් විශාල ධනස්කන්ධයක් රටක පොලිසියට ඉතුරුවනු ඇත.

9] නිවැරදිලෙස හා නිමිත වේගයන්හි ධාවනය, තදබදය අවම හෝ කෙටිම මාවත් භාවිත කිරීමට ඇති හැකියාව නිසා විශාල ඉන්ධන ඉතුරුවක් සිදුවන අතර ඉන් රටක ඉන්ධන ආනයන පිරිවැය විශාලලෙස අඩුකරගත හැකිවීම.

10] කලට වේලාවට සේවාවන් හා නඩත්තු කටයුතු සිදුකිරීම මෙන්ම රථයේ කාර්මික තත්වය පිලිබඳව මිනිස් රියදුරෙකුට වඩා රොබෝ රියදුරාට දත්ත ලැබෙන නිසා වාහනයේ නඩත්තු වියදම් හා හදිසි අණතුරු අවම කරගැනීමට ඇති හැකියාව.

වසර 2020, 2035 හා 2045

2020 වසර අමෙරිකාව හා යුරෝපයේ ජර්මනිය, ස්වීඩනය මෙන්ම ජපානය වැනි අධිතාක්ශණික රටවල්වල රොබෝ වාහන මංමාවත්වල දකින්නට ලැබෙන වසර ලෙස අනාවැකි පලවේ. මුලින්ම කුලීරථ සමාගම්, මගී ප්‍රවාහණ බස් සමාගම්, කෙටි දුර ශටල් සේවා සපයන සමාගම් (උදා: කාර්යාල සේවක ප්‍රවාහණය), භාණ්ඩ ප්‍රවාහණ ට්‍රක්-රථ සමාගම් වැනි ප්‍රවාහණසේවා ව්‍යාපාර රොබෝ රියදුරන් මුලින්ම භාවිතයට ගන්නා සමාගම් වනු ඇත. එසේවීමට හේතුව රොබෝ රියදුරන් භාවිතයෙන් ඔවුනට ඍජු ආර්ථික ප්‍රථිලාභ තිබීමයි.

2035 වනවිට සංවර්ධිත රටවල පාරිභෝගිකයින්ට සාමාන්‍ය මෝටර් රථ මිලදීගන්නා ආකාරයට රොබෝ කාර් මිලදීගත හැකිවනු ඇතැයි මැකින්සි සමාගම නිකුත්කල වාර්තාවක දැක්වේ. එහෙත් වොල්වෝ, මර්සඩීස්, ටොයෝටා වැනි සමාගම්, 2035ට පෙර රොබෝ රථ සාමාන්‍ය භාවිතයට එක්වනු ඇතැයි අනාවැකි පලකරයි. අධිතාක්ශණික වාහන නිශ්පාදනයේ දැවැන්තයෙකුවන, මර්සඩීස්, බී.එම්.ඩබ්ලිව්, අවුඩි, පෝෂේ (Porche) වැනි සමාගම්වන මව් රටවන ජර්මනිය 2016 වනවිට රොබෝකාර් සඳහා සාමන්‍ය මහාමාර්ගවල ඉඩ ලබාදීමට තීරණය කොට ඇත. මීට අනුරූපව මර්සඩීස් සමාගම "ඔටෝ-භාන් පයිලට්" නම් කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවෙකුට පැදවිය හැකි රථ හඳුන්වාදීමට කටයුතු කරමින් සිටී.

2045 වනවිට සංවර්ධිත රටවල්ව වාහනවලින් 80%-90% රොබෝ වාහන වනු ඇත. සැබැවින්ම 2045 වනවිට රොබෝ රියදුරු පහසුකම නැති රථයක් මිළදී ගැනීම අද එම රටවල ඔටෝමැටික් ගියර් නොමැති මැනුවල් ගියර් වාහනයක් මිළදීගැනීම මෙන්ම විරල කරුණක්විය හැකිය. එපණක් නොව වාහන නිර්මාණය හා භාවිතයද විශාල වෙනස්කම් වලට භාජනයවනු ඇත. අද ලංකාවේ පවා සැමියාට එක් වාහනයක් හා බිරිඳට තවත් වාහනයක් අවශ්‍යවී ඇත්තේ එම දෙපොලට එකම වාහනයකින් සියලු කටයුතු කරගැනීමේ ප්‍රායෝගික අපහසුව නිසයි. එහෙත් රොබෝ වාහනයක් තිබේ නම් සැමියාව වැඩට ගෙනගොස් බස්වා නැවත නිවසට පැමින බිරිඳව සාප්පු සවාරියක් ගෙනයමේ හැකියාව තනි රථයකට ලැබේ. ඒ අනුව බටහිර රටවල අද සාමන්‍ය දෙයක්ව ඇති වාහන දෙකතුනක් ඇති නිවෙස් ප්‍රමාණය 2045 වනවිට අඩුවනු ඇත.






Thursday, 14 May 2015

යුරෝපා ගවේෂණයට සැරසෙන රොබෝ ආඳා!

යුරෝපා යනු 1610දී ගැලීලියෝ ගැලලි සිය දුරේක්ශය මගින් නිරීක්ශණය කොට සොයාගත් බ්‍රහස්පතී ග්‍රහයාගේ විශාල චන්ද්‍රයෙකි. සෞරග්‍රහමණ්ඩලයේ චන්ද්‍රයන් අතරින් සයවැනි විශාලම චන්ද්‍රයා වන යුරෝපා සිලිකේට් පාශාණවලින් සැදුම්ලත්, පෘශ්ඨය අයිස් වලින් වැසුනු ග්‍රහයෙකි. ඉතා තුනී වායුගෝලය අණුක ඔක්සිජන් වලින් සමන්විත වන අතර එහි අයිස් පෘශ්ඨයේ ඇති සුමට බවත්, ආවාට රහිතවීමත් නිසා, එම අයිස් තට්ටුව යටින් ජලය සහිත සාගරයක් ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරති. මෙම සාගරය ජලයෙන් සැදුම්ලත් බවට ඇති විද්‍යාත්මක සාක්ශි නිසා, සෞරග්‍රමණ්ඩලයේ ජීවය පැවැතිය හැකියයි විශ්වාස කරන ග්‍රහලෝක අතරින් ප්‍රධාන තැනක් යුරෝපා ග්‍රහයාට හිමිවේ.

දැනට නාසා ආයතනය සැළසුම් කරමින් තිබෙන ආකාරයට යුරෝපා චන්ද්‍රයාගේ ජීවය ඇතිදැයි සොයාබැලීමට අදියර කිහිපයකින් යුතු අභ්‍යවකාශ මෙහෙයුමක් දියත්කල යුතුවේ. ප්‍රථම පියවර වන්නේ යුරෝපා මතට න්‍යශ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන විශාල මව් යානයක් ගොඩ බැස්වීමයි. හිරුගෙන් ඉතා ඈතින් පිහිට ඇති බැවින් යුරෝපා චන්ද්‍රයා මතට වැටෙන සූර්යාලෝකය ඉතා මදවීම හේතුවෙන් සූර්යකෝශ මගින් බලය ලබාගැනීම ඉතා අපහසු බව පැවසේ. එබැවින් යුරෝපා මත ගොඩබසින යානයක් න්‍යශ්ඨික බලයෙන් දීර්ඝකාලයක් ක්‍රියාත්මකවිය හැකි විශාල න්‍යශ්ඨික ප්‍රතික්‍රියාකාරයක් සහිත යානයක් විය යුතුය.

මෙම මව් යානය, යුරෝපා මත ගමන්කල හැකි රෝවරයක් හෝ ඊට සමාන ප්‍රවාහන යානයක් ගෙන යායුතු අතර එය යුරෝපා අයිස් තට්ටුව මත ගමන්කරමින්, අයිස් තට්ටුවේ පැලුම් ඇති ස්ථාන සොයා බලනු ඇත. එම පැලුම් අතරින් යුරෝපා සාගරය තුලට රොබෝ ආඳන් මුදා හැරීම මෙහෙයුමේ ප්‍රධාන තාක්ශණික අභියෝගයයි. සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 160 දරුණු ශීතලක් යුරෝපා මත පවතින බවට ගණන්බලා ඇති අතර මෙවැනි දැඩි ශීතල කාළගුණයක වසර කිහිපයක් දෝශ රහිතව ක්‍රියාත්මක විය හැකි යන්ත්‍ර නිපැදවීම අති විශාල තාක්ශණික ගැටලු මතුකොට ඇත.

යුරෝපා අයිස් පෘෂ්ඨය නාසා ග්‍රැෆික් නිර්මාණයකට අනුව
රොබෝ ආඳා

යුරෝපාගේ අයිස් තට්ටුව යටැති සාගරය ගවේශණය සඳහා කෝනෙල් සරසවිය ආඳෙකුගේ හැඩය හා පිහිණුම් රටාව ඇති රෝබෝ යන්ත්‍රයක් පිලිබඳ යෝජනාවක් ඉදිරිපත් කොට ඇති අතර එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයට නාසා ආයතනය මගින් ඩොලර් 100,000ක් ප්‍රදානයක් ලබාදී ඇත. එම පර්යේෂණවල සාර්ථකත්වය මත තවත් මුදල් ප්‍රදාන ලබාදෙනු ඇත.


සම මෙන් ඇදෙන, සුනම්‍ය පොලිමර් සිරුරකින් සමන්විත වන මෙම රොබෝ ආඳාගේ පිටත පෘශ්ඨයේ ආලෝකය විහිදුවන ලුමිනස් රසායණිකයක් ආලේප කිරීමට බලාපොරොත්තුවන අතර මෙම ආලෝකය මගින් රොබෝවාගේ කැමරාවලට අවට පරිසරය ඡායාරූපකරණය කල හැකියයි බලාපොරොත්තු වේ.එපමණක් නොව, එම රොබෝවාට බලය ලබාගැනීමට බලාපොරොත්තුවන්නේ යුරෝපාගේ චුම්බක ක්ශේස්ත්‍රය ආධාරයෙනි. බලය ජනනය කිරීමට බැටරි හෝ වෙනත් ජනන උපක්‍රමයක් රැගෙන යාමේ අපහසුව නිසා මෙවැනි නව ආකාරයකට බලය ලබාගැනිමේ ආකාරයන් යෝජනා වී ඇත.

Wednesday, 13 May 2015

ප්‍රෝටීනවලින් අනූන පළගැටි බැදුම!


එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food & Agricultural Organisation - FAO) නිකුත්කල වාර්තාවකට අනුව දැනට ලොව ජනගහනය බිලියන 7ක් වන අතර 2050දී එය බිලියන 9ක් දක්වා වැඩිවිය හැකියි. මෙම බිලියන 7න් එක් බිලියනයක් පමණ දිනපතා කුසගින්නේ ගතකරනවා. තවත් අතිවිශාල ප්‍රමාණයක් දිනකට ලැබිය යුතු ප්‍රෝටීන ප්‍රමාණය හෝ කැලරි ප්‍රමාණය ලැබෙන්නේ නෑ.

මෙම වාර්තාවට අනුව, දිනෙන්දින වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර, විශේෂයෙන්ම ප්‍රෝටීන් නිශ්පාදනය විශාල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙනවා. කුකුළන්, ගවයින් හා ඌරන් දැනට ලොව විශාලම සත්ව ප්‍රෝටීන ප්‍රභව වන අතර මෙම සතුන් ඇතිකිරීම පරිසරයට අතිවිශාල හානියක් සිදුකරන අතර දැනටත් හරිතාගාර සංසිද්ධිය (greenhouse effect) සඳහා විශාල දායකත්වයක් දෙන මීතේන් වායුව වැඩියෙන්ම වායුගෝලයට මුදාහැරෙන්නේ මස් හා කිරී පිණිස ඇතිකරන ගවයන්ගෙන්.

එමෙන්ම ගවයන්, ඌරන් හා කුකුළන් ලබාදෙන අහාර, ප්‍රෝටීන බවට හැරවීමේදී ඉතා අකාර්යක්ශම වනවා. උදාහරණයක් ලෙස ගවමස් කිලෝවක් නිපැදවීම සඳහ ගව අහාර කිලෝ 5-7 අතර ප්‍රමාණයක් වැය වනවා. එමෙන්ම ඌරුමස් කිලෝවක් නිපදවීමට ආහාර කිලෝ 3-4ක් පමණ අවශ්‍යවනවා. කුකුළන් සඳහා මෙය කුකුල්මස් කිලෝවකට ආහාර කිලෝග්‍රෑම් 2-3 අතර වනවා. එහෙත් ප්‍රෝටීන අතින් හරක්මස් හා ඌරුමස් වලට වඩා කුකුලුමස්වල ප්‍රෝටීන ප්‍රමාණය අඩුයි. කුකුලුමස් ග්‍රෑම් 100කින් ප්‍රෝටීන ග්‍රෑම් 18ක් පමණ ලැබෙන අතර මෙය ඌරුමස් සඳහා ග්‍රෑම් 25කුත්, හරක්මස් සඳහා ග්‍රෑම් 36කුත් වනවා.

එමෙන්ම ගවමස් කිලෝවක් නිපැදවීම සඳහා ජලය ලීටර් 15,000ක් පමණ වැයවන බවට ගණන්බලා තිබෙනවා. ලොව පුරාම වියලි, නියඟ කාළගුණය පැතිරෙමින් පවතින වකවානුවක මෙවැනි ජල පාරිබෝජනයන් විශාල නාස්තින් ලෙස පරිසර සංවිධාන නම් කරනවා.

බැදපු පළගැටි හා බැදපු පටපණු පිලවුන්
ලොව වැඩිවන ජනගහනයට අවශ්‍ය ප්‍රෝටීන ලබාදීම සඳහා යෝජනාවක් ලෙස ලෝක ආහාර හා කෘශිකර්ම වැඩසටහන කෘමිසතුන් ආහාරයට ගැනීමට යෝජනා කරනවා. දැනටමත් අමෙරිකාව වැනි රටවල මේ සඳහා විශාල වශයෙන් පර්යේෂණ මෙන්ම මිනිසුන්ගේ ආකාල්ප වෙනස් කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන්ද ක්‍රියාතමක වනවා. පළගැටියන් වැනි කෘමි සතුන් අධික ප්‍රෝටීන හා හිතකර මේධ අම්ල මෙන්ම විටමින් හා ඛණිජලවණ වලින්ද පොහොසත් බව පර්යේෂණ වලින් හෙලිවී තිබෙනවා. එමෙන්ම එම සතුන් වගාකිරීම, ඉතා අඩු වියදමක්, අඩු ඉඩක් හා අඩු පරිසර හානියකින් සිදුකල හැකියි.

පළගැටියන් ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වලදී පළගැටියන් ග්‍රෑම් 100ක ප්‍රෝටීන ග්‍රෑම් 20-30 පමණ ප්‍රමාණයක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම මොවුන් ඉතා ප්‍රණීත ලෙස  පිසගත හැකිබවත්, ආහරයේදී කිසිදු අප්‍රසන්න රසයක් නොමැති බවත් සොයාගෙන තිබෙනවා.


එපමණක් නොව, මස් පිණිස ඇතිකරන සතුන්ගේ සිරුරේ බරින් ආහාරය සඳහා යොදාගත හැකි ප්‍රතිශතය අතින්ද පළගැටියන් ඉදිරියෙන් සිටිනවා. පළගැටියෙකුගේ සිරුරේ බරින් 80% ආහාර සඳහා යොදාගත හැකි අතර, ගවයකුගේ සිරුරේ බරින් 60%ම ආහාරයට ගත නොහැකි ඇට, සම් වැනි ද්‍රව්‍යවන අතර ප්‍රයෝජනයට ගත හැක්කේ 40%ක් පමණයි.


නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට රැකියා අහිමිකල හැකි නිර්වින්දක රොබෝ මැශිම

මහාන්ත්‍රයේ (colon) ස්කෑන් පරීක්ශාවක් සඳහා මෙම කාන්තාව නිර්වින්දනය කරන ලද්දේ මෙම යන්ත්‍රය මගිනි.
බහුජාතික ඖශධ හා වෛද්‍ය තාක්ශණ සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිර්මාණය කරන ලද "සිඩසිස් - Sedasys" නම් නිර්වින්දක රොබෝවාට අමෙරිකානු ආහාර හා ඖශධ පාලන අධිකාරිය (Food & Drug Administration) මගින් රෝහල්වල භාවිත සඳහා අවසර ලබාදී තිබෙනවා. දැනට අමෙරිකාවේ රෝහල් හතරක භාවිතය ආරම්භ කොට ඇති අතර දැනට සංකූල නොවන, සරල නිර්වින්දන කාර්යන් සඳහා පමණක් අවසර ලැබී ඇති බවයි වාර්තාවන්නේ. එවැනි අවස්ථාවලදී පවා හදිසි සංකූලතාවලදී ඉක්මණින් ගෙනවාගත හැකි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහල තුල සිටින අවස්ථාවලදී පමණයි යන්ත්‍රය භාවිතා කිරීමට FDA අවසරය ලැබී තිබෙන්නේ.

ප්‍රොපොෆොල් නම් නිර්වින්දක ඖශධය එන්නත්කොට රෝගියෙකු නිර්වින්දනය කිරීමට හැකි ලෙස මෙම යන්ත්‍රය නිර්මාණය කොට ඇති අතර, සෙමින් එන්නත ලබාදෙන අතරේදී රෝගියාගේ රුධිරපීඩනය, රුධිර ඔක්සිජන් ප්‍රමාණය, හෘද ස්පන්ධනය වැනි අත්‍යාවශ්‍ය දත්ත නිරන්තරයෙන් සුපිරික්සමින්, එම දත්ත ආරක්ශිත පරාසවල (safe parameters) පවතින බවට තහවුරු කරගන්නවා. යම් ආකාරයකින් මෙම දත්ත අන්තරායකාරී පරාසවලට යොමුවන්නේ නම් එවිට ඖශධ මාත්‍රාව අඩුකිරීමට හෝ එන්නත් කිරීම නවතාදමා අණතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට යන්ත්‍රයේ ප්‍රෝග්‍රෑම් කොට තිබෙනවා.


වොශින්ටන් පෝස්ට් පුවත්පත වාර්තාකරන අන්දමට මෙවැනි යන්ත්‍ර භාවිතා කිරීම රෝහල්වලට මෙන්ම රෝගීන්ටත් ඉතා ලාභදායි වනවා. එක් රෝගියෙකු නිර්වින්දනය කිරීම සඳහා නිර්වින්දන වෛදවරයෙකු යොදාගැනීමේදී අමෙරිකානු ඩොලර් 2000ක් පමණ වැයවන අතර මෙම යන්ත්‍රය මගින් එය ඩොලර් 150-200 දක්වා සුවිශාල ලෙස අඩුකොට තිබෙනවා.


මෙම යන්ත්‍රයට අමෙරිකානු නිර්වින්දන විශේෂඥයින්ගේ සංසදය කලක් දැඩි විරෝධය පලකලද දැන් ඔවුන් එම ස්ථාවරය වෙනස් කොට, යන්ත්‍රයේ භාවිතය දැඩි නියාමනයන්ට යටත් කොට භාවිතා කිරීමට විරුද්ධ නොවීමට එකඟවී තිබෙනවා. නිර්වින්දන විශේෂඥයින් පවසන අන්දමට මෙම යන්ත්‍රයට,  වසර ගණනාවක් පුහුණුවීම් හා අද්දැකීම් ඇති නිර්වින්දන විශේෂඥයෙකු සතු වෘත්තීමය දැනුම හා පලපුරුද්ද නොමැති බැවින් සංකීර්ණ ශල්‍යකර්මවලදී නිර්වින්දන කටයුතු සඳහා යොදාගත නොහැකියි.

Tuesday, 12 May 2015

2015 මාර්තුවේ දිස්වුනු දශයකයේ දර්ශණීයම පූර්ණ සූර්යග්‍රහණය


2015 මාර්තු 20වැනිදා දිස්වුනු මෙම සූර්යග්‍රහණය, උත්තර ද්‍රැවාශිත ප්‍රදේශවලට ඉතා හොඳින් දර්ශණය වුනා. මෙය වඩාත්ම හොඳින් දිස්වුනු නෝර්වේ රටට උතුරින් ආක්ටික් සාගරයේ පිහිටි ස්වල්බාඩ් දූපතට අතිවිශාල ජනකායක් එක් රොක්වී සිටි අතර ඔවුන් අතරින් සමහරක් අමෙරිකාව, කැනඩාව වැනි රටවල් වලින් මෙම සූර්යග්‍රහණය දැක බලාගැනීම සඳහාම පැමිණ සිටියා.



මාර්තු 20වැනිදා පෙරවරු 8.39ට ඇරඹි සූර්යග්‍රහණය 10.48 දක්වා පැවති අතර පෙරවරු 10.11ට ස්ව්ල්බාඩ් දූපත ඝණ අඳුරින් වෙලාගත් පූර්ණ ග්‍රහණය සිදුවූ බව වාර්තාවනවා.  දූපත විනාඩි දෙකකට මදක් වැඩි කාළයක් ඝණ අඳුරින් වැසීතිබූ අතර එම අවස්ථාවේදී හිරුවටා ඇති කොරෝනා නැමති රැස් වළල්ල ඉතා පැහැදිලිව දිස්වුනු ආකාරය ඡායරූපවල සටහන්වී තිබෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය දියත්කල ප්‍රෝබා-2 සූර්ය නිරීක්ශණ චන්ද්‍රිකාව, මෙම සූර්යග්‍රහණය සිය කැමරාවට හසුකරගත් ආකාරය
ලොව කොතැනකහෝ මෙවැනි පූර්ණ සූර්යග්‍රහණ ඇතිවන සෑම අවස්ථාවක් නිරික්ශණය කිරීම සඳහා එම ස්ථානවලට යාමට සැදී පැහැදී සිටින පිරිසක් යුරෝපීය හා අමෙරිකානු රටවල සිටින අතර ඔවුන් "eclipse chasers" හෙවත් සූර්යග්‍රහණ ලුහුබඳින්නන් ලෙස හඳුන්වනවා. මෙම සූර්යග්‍රහණ ලුහුබඳින්නන්, ඉතා පැහැදිලිව සූර්යග්‍රහණයක් දකින්නට ලැබුණහොත් එම අවස්ථාව සැමරීම සඳහා ශැම්පේන් පානය කිරීමේ චාර්ත්‍රයක්ද සිදුකරන බවට පැවසෙනවා. පූර්ණ සූර්යග්‍රහණයෙන් ස්වල්බාඩ් දූපත අඳුරුවී ගිය වහාම ඔල්වරසන් දෙමින් අත්පුඩි තැලූ මෙම සූර්යග්‍රහණ ලුහුබඳින්නන්, එම අවස්ථාවේදීද ශැම්පේන් බෝතල් විවරකරමින් සව්දිය පිරූබව ස්වල්බාඩ් දූපතෙහි සිටි පුවත්පත් වාර්තාකරුවන් වාර්තාකොට සිටියා.


මීට පෙර පූර්ණ සූර්යග්‍රහණයක් 2012 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවට දිස්වුනු අතර මීලඳ පූර්ණ සූර්යග්‍රහණය 2016දී ඉන්දුනීසියාවට දිස්වෙනු ඇතැයි නාසා ආයතනය පවසනවා.



Monday, 11 May 2015

Ceylon Motor Show 2015 - BMICH (8-10 May)

Ceylon Motor Traders Association සහ Classic Car Club of Ceylon ඒකාබද්ධව සංවිධානය කරන "සිලෝන් මෝටර් ෂෝ 2015" රථවාහන ප්‍රදර්ශණය පසුගිය මැයි 8 වැනිදා ආරම්භවුනා. මෙම මෝටර් රථ ප්‍රධාන අංශ තුනකින් සමන්විත වුනා. එනම්

[1] ක්ලැසික් කාර් හෙවත් ඉපැරණි මෝටර් රථ ප්‍රදර්ශණය
[2] නවීන මෝටර් රථ ප්‍රදර්ශණය හා
[3] වාණිජ වාහන ප්‍රදර්ශනයයි.

මෙයින් පැරණි වාහන ප්‍රදර්ශණය හැමෝගේම සිත් ඇදගන්නට සමත්වූ අතර දෙවැනිව වැඩියෙන්ම ජන ආකර්ශණය තිබුනේ බ්‍රිතාන්‍ය හා ජර්මන් සුඛෝපභෝගී මෝටර් රථ අංශයටයි. දැන් ඉන්දියාවේ ටාටා සමාගමේ අයිතියට පත්ව තිබෙන "ජැගුවර්" හා "ලෑන්ඩ් රෝවර්" වැඩිදෙනාගේ, විශේෂයෙන්ම තරුණ පරපුරේ ආකර්ශණයට බදුන්වී තිබුණා.  එමෙන්ම 1960 ගණන්වල ඉතා ජනප්‍රියවූ,  සුප්‍රකට බ්‍රිතාන්‍ය නිර්මාණයක් වූ මිනි මයිනර් රථ මාදිලිය මිනි කූපර් ලෙස නැවත හඳුන්වාදී ඇති අතර, මෙම රථ එකතුවද බොහෝ දෙනෙකුගේ අගැයිමට බඳුන්වුනා.

The MINI

මිනි (හෙවත් කුඩා) ලෙස හැඳින්වෙන රථමාදිලිය බ්‍රිතාන්‍යයේ "බ්‍රිටිෂ් මෝටර්ස් කෝපරේෂන් - BMC" සමාගමේ නිර්මාණයකි. මෙය බ්‍රිතාන්‍යයේ නම්දැරූ රථවාහන ඉන්ජිනේරුවෙකුවන සර් ඇලෙක්සැන්ඩර් ඉසිගෝනී විසින් නිර්මාණය කරන ලද්දකි. කාර් රථවල එන්ජිම හරස් අතට (transverse) තබා නිර්මාණය කල පලමුවැන්වන්නේ සර් ඇලෙක්සැන්ඩර්ය. මෙම නිර්මාණය ලොවපුරා සියලුම කාර් නිශ්පාදකයින් දැන් අනුගමනය කරති.

1959දී නිර්මාණය වූ මිනි රථය 1960 දශකයේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම මෝටර් රථය වූ අතර එහි අයිතිය 2000 වසර වනතෙක්ම බ්‍රිතාන්‍යයේ සමාගම් කිහිපයක් අතර හුවමාරු විය. එහි අවසන් බ්‍රිතාන්‍ය අයිතිකරුවාවූයේ රෝවර් සමාගමයි (මෙය ලෑන්ඩ් රෝවර් සමාගම හා සම්බන්ධයක් නොමැත ). බංකොලොත් රෝවර් සමාගම ජර්මනියේ BMW සමාගම මිළදී ගන්නා ලද අතර, මිනි සන්නාමය නැවතත් ජනප්‍රිය කරවීමට BMW සමාගම දැවැන්ත උත්සහයක් ගන්නා ලදී.  බී.ම්.ඩබ්ලිව් සමාගම සතු අතිනවීන තාක්ශණයද මුහුකොට නව මුහුණුවරකින් වසර 2000න් පසු මිනි සන්නාමය ලොවට හඳුන්වාදෙන ලදී.

Ceylon Motor Show 2015 ප්‍රදර්ශණයේදී, මිනි කූපර් රථ මාදිලි තුනක් දක්වා තිබුණි. ඒ "මිනි කූපර්", " මිනි කන්ට්‍රිමන්" හා "මිනි කැබ්‍රියෝ" යන මාදිලි තුනයි.

Mini Cooper @ Ceylon Motor Show (Photos by Terence Kahapola Arachchi)



Mini Countryman




Mini Cabrio Convertible




Jaguar XF



Jaguar F-Type Convertible



Audi A6



Ceylon Motor Show 2015 හි අධිවිබේධන ඡායාරූප නැරඹීම සඳහා අපගේ ෆ්ලිකර් ඡායාරූප ඇල්බමය වෙත යන්න... 

මෙම Flickr ඇල්බමය තුල ඉහත ඡායාරූප වලට අමතරව එම මාදිලිවලම තවත් ඡායාරූප රාශියක් මෙන්ම, මෙහි අඩංගු නොකල, පහත වාහන මාදිලිවල ඡායාරූපද නැරඹිය හැකිය.

1] Audi A3
2] Chrysler Jeep Wrangler
3] Land Rover Defender
4] Land Rover Discovery Sport
5] Range Rover
6] BMW i8 Plug-in Hybrid

Click here to visit the photo album













Related Posts Plugin for WordPress, Blogger...