Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 31 December 2017

GOODBYE 2017 : පරණ අවුරුද්ද කොහොමද?



මේ ලිපිය පලවෙනකොට 2017 අවුරුද්ද ගෙවිලා අවසන් වෙන්න පැය කිහිපයක් පමණක්  තියේවි. 2017 අවුරුද්ද කොහොම ගෙවුනද කියන එකේ ප්‍රත්‍යාවලෝකනයක් කරන ගමන් 2018 අවුරුද්දේ දේශපාලන, ආර්ථික, ශ්‍රම වෙළඳපොල හා සමාජීය තත්ව කොහොම වෙයිද කියලා හිතන්න කාලය ඇවිත්.

2017 ප්‍රත්‍යාවලෝකනය

2017 අවුරුද්ද දේශපාලන වශයෙන් ගත්තම එතරම් වැදගත් කිසිවක් සිදු නොවුනු අවුරුද්දක්. පොහොය දෙකක් ගෙවිලා, ආණ්ඩුව පෙරලෙයි කියලා හිතුවත්, ඉක්මණටම ඒක වෙසක් පෝය දෙකක් වුනා. ඒවගේම මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලන වශයෙන් දියවෙලා ගිය වසරක් විධියටත් 2017 හිතන්න පුලුවන්. මහින්ද මහත්තයාට අවුරුද්ද පටන් ගන්න කොට තිබුණු ප්‍රභාව අවුරුද්ද ගෙවන කොට නැතිවෙලා ගිහින්.

ඒකෙ වගකීම ගන්න ඕනෑ එතුමාමයි. හිටපු රාජ්‍ය නායකයෙක් විධියට වගේම හැමෝම දිනන්න බෑ කියපු යුද්ධයක් දිනන්න නායකත්වය දිලා දැවැන්ත ජාතික නායකයෙක් වුනු එතුමා වගකීමෙන්,  ප්‍රවේසමෙන්, ඉවසීමෙන් වැඩ කරන්නේ නැතුව මුරලිදරන් වගේ බැට් කරන්න යාම එතුමාගේම වටිනාකම අඩුවෙන්න හේතුවෙලා. එතුමාට බලය ගන්න තියෙන හදිස්සිය, ජනතාවට නෑ කියලා ඔප්පුවෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. මේකෙන් කියන්නේ නෑ මහින්ද මහත්තයා ඊලඟ චන්දවලදී විශාල සාධකයක් නොවේ කියලා. ඒත් එතුමා හිතන තරම් ඉක්මණට ආණ්ඩුව වැටෙන්නේවත්, ආණ්ඩු වට්ටන්න ජනතාව බෙල්ල කඩාගෙන ට්‍රයි කරන්නේ නැති බවත් 2017 වසර තුල ඔප්පුවුනා කියලා මට හිතෙනවා.

මහින්ද මහත්තයාගේ උදව්වක් නැතුවම වුනත්, 2017 අවුරුද්දෙ රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් අතේ තියෙන තුවක්කුවෙන් තමුන්ගෙම කකුල් වලට වෙඩි තියාගෙන තියාගෙන ගියා කියලා හිතෙන තරම ළදරු දේශපාලනයක නිරතවුනා කියලා කියන්න පුලුවන්. රවී කරුණානායක මුදල් ඇමතිකමෙන් පන්න ගත්ත එකනම් ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක්.  එයා කරන තරමක් කෙරුවේ ආණ්ඩුවට බැනුම් අස්සන, ආර්ථිකමය වශයෙන් වැඩකට නැති දේවල්. ආණ්ඩුව මුලු හදින්ම ඒකාබද්ධයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ ඒ උදව්ව කරලා දුන්නට. එයාලගෙ විවේචන නැතිනම් රවී මේ බජට් එකත් හොඳට අනලා ආණ්ඩුව "n" වැනි වතාවටත් හොම්බෙන් යවලා.





මුදල් ඇමතිකම් කරලා කිසිම පලපුරුද්දක් නැතත්, මංගල සමරවීර ඊට වඩා බොහෝ සෙයින් ප්‍රායෝගිකව හිතන්න පුලුවන් මනුස්සයෙක් බව එයාගෙ මංගල අයවැයෙන් පෙන්නුවා කියලා මට හිතෙනවා.

බොහෝ පැතිවලින් ෆේල් වගේ පෙනුනත් ආණ්ඩුව ජයග්‍රහණ කිහිපයක්ම ලබලා තියෙනවා. එකක් තමයි කඩාවැටෙන්නේ නැතුව කොහොම හරි ආණ්ඩුව ගෙනයාම. 

මේක සිනහවට කාරණයක් කරගන්න එපා.

රටක් විධියට ඒක වැදගත් වෙන්නේ සාධාරණ මැතිවරණයකින් බලයට පත්වෙන රජයකට, ඔවුන්ට ජනතාව ලබලා දුන්න කාළය ආණ්ඩු කිරීමේ අයිතිය තියෙනවා කියන පදනම මත. එහෙම නැතිනම් චන්ද තියලා ආණ්ඩු පත්කරගන්න එක විහිලුවක් වෙනවා. විරුද්ධවාදීන් කැකෝ ගැහුවට, පාරවල් බ්ලොක් කරාට, පාද යාත්‍රා තිබ්බට චන්දෙන් පත්වුනු ආණ්ඩුවක්, සිය නියමිත කාලසීමාව අවසන් කරන්න ඉස්සෙල්ලා දාලා යන්න අවශ්‍ය නෑ. ජනතාවට තව අවුරුදු 2කින් අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න අවස්ථාව එනවා. 

මේක ජයග්‍රහණයක් වෙන්නේ දේශපාලන ස්ථාවරත්වය කියන දේ නිසාමත් නෙමෙයි, ආර්ථික වශයෙනුත් නියමිත කාලෙට ඉස්සෙල්ලා චන්ද තියන්නට සිදුවීම, චන්දෙන් පත්වෙන ආණ්ඩු ලේසියෙන් පන්නලා දාන්න පුලුවන් වීම ඉතාමත් භයානකයි. දේශපාලන ස්ථාවරත්වය රටක ආර්ථිකයට ඉතාමත් වැදගත්. ව්‍යාපාරිකයින්ට වැදගත් වෙන්නේ කොයි ආණ්ඩුව බලයේ ඉන්නවද කියන එකට වඩා ආණ්ඩුවක් පත්වුනාම නියමිත කාලෙ වෙනකන් ඒ ආණ්ඩුව තියෙයි කියලා සිතාගෙන සිය ව්‍යාපාරික සැළසුම් සකස් කරගන්න ලැබීම. 

අවුරුද්දෙන් දෙකෙන් ආණ්ඩු වෙනස්වීම ව්‍යාපාරික සැලසුම් වලට, දේශීය ආයෝජන වලට විදේශීය ආයෝජන වලට දැඩි ලෙස බලපානවා. ආණ්ඩුවක් වැටුනම ඊලඟ ආණ්ඩුව එනකන් අස්ථාවරයි. ඒ ගන්ධබ්බ කාලේ හැම ව්‍යාපාරයක්ම තමන්ගේ ආයෝජන නවත්වලා බලාගෙන ඉන්නවා, සැළසුම් නවත්වනවා. නව බඳවාගැනීම් අත්හිටුවනවා. මේ ඇත්ත ලංකාවේ බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ.

තිබුණ ආණ්ඩුව කඩා වැටිලා තව ආණ්ඩුවක් ආවත්, ස්ථාවර ආණ්ඩුවක් පත්වෙයිද? බහුතරය නැති වැට උඩ එකක් වෙයිද? ඒකත් වැටෙයිද? වට්ටයිද? කියන ගැටලුව තියෙනවා. ආණ්ඩුවක් වට්ටන්න ඇතිකරන්න ඕනෑ සමාජයික කැළඹීම, වර්ජන, වීදි සටන් ආර්ථිකයකට කෝටි ගණන් පාඩු කරන දෙයක්. ඒකෙ පාඩුව ව්‍යාපාරිකයන්ට විතරයි කියලා හිතන මිනිස්සු ලංකාවේ බහුතරයක් ඉන්නෙ. ඒත් ව්‍යාපාරවලට වදිනවා කියන්නේ හැමෝටම වදිනවා කියන එක. රටක් පවතින්නේ, දියුණු වෙන්නේ ව්‍යාපාර නිසා මිසක් ආණ්ඩු නිසා නෙමෙයි. මේ ඇත්ත තේරුම් ගන්න ලංකාවේ බහුතර ජනතාවට තව අවුරුදු 20ක්වත් යයි.

ඒවගේම ආණ්ඩුව ප්‍රභල වෘත්තිය සමිති වලට සිය සීමාවන් කියලා දෙන්න සමත්වෙලා තියෙනවා. සැලසුම් සහගතව හෝ ආණ්ඩුවට වර්ජන පාලනය කරන්න සැලැස්මක් නැති නිසාම පාලනයකින් තොරව අරගෙන ගිය වර්ජන, වර්ජකයින් මිනිස්සුන්ගෙන් ගුටි කන තත්වෙට ගෙන එන්නට ආණ්ඩුව සමත්වුනා. තව අවුරුද්දක් වත් යනකන් දොස්තර මහත්තුරුන්ට මහා වැඩ වර්ජන කරන්න හම්බුවෙන්නේ නෑ. තෙල් මහත්තුරුන්ටත් එහෙමයි. තෙල් නෑ කියන්නේ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැතිවුනාට වඩා අමාරු දරාගන්න බැරි දෙයක් කියලා 2017 අවුරුද්දෙ ඔප්පුවුනා. 

තෙල් බෙදාගන්ඩ බැරි ආණ්ඩුවක් බලය බෙදන්නේ කොහොමද කියලා තෙල් පෝලිමේ ඉන්න ගමන් සවුන්ඩ් බයිට් දීලා ආතල් ගත්තට, තෙල් නැතිවුනාම ගුටි කන්ඩ වෙන්නේ ආණ්ඩුවට නෙමෙයි කියලා පෙන්වන්න මේ ආණ්ඩුව සමත්වෙලා තියෙනවා.

ඒවගේම රටක් ඉදිරියට යන්නට ආණ්ඩුවක ප්‍රතිපත්ති වැදගත් වුනත්, ඇත්තටම ලංකාවේ ආර්ථිකයට ආණ්ඩුවකට කරන්න පුලුවන් ලොකුම සේවය අනවශ්‍ය ගැටලු ඇති නොකර ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර කරන්න ඉඩදීලා ආණ්ඩුව පැත්තකට වෙන එක කියලත් 2017 අවුරුද්දේදී රනිල්-මෛත්‍රී රජය ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා.

මේ ප්‍රතිපත්තිය නිවැරදියි කියන එකට එකම එක උදාහරණයක් විධියට 1996දී චන්ද්‍රිකා ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවක් පෙන්වන්න පුලුවන්. කොළඹ වරායේ SAGT නැතිනම් ස්වුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් කියන කන්ටේනර් ගොඩබෑමේ හා ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපෘතිය ජෝන් කීල්ස්-පී ඇන්ඩ් ඕ සමාගම් ඒකබද්ධයට ලබාදීම ඒ ප්‍රතිපත්තිමය තීන්දුවයි. ඒ කාලේ මේ ව්‍යාපෘතිය හැඳින්වුවෙත් වරාය කුණුකොල්ලෙට විකුණන, දේශිය සම්පත් විකුණන් කන, ආර්ථික මර්මස්ථානයක් දෙමළ කෙන් බාලේන්ද්‍රන්ගේ JKH කොම්පැණියට විකුණන්ඩ යන ව්‍යාපෘතියක් විධියට.

සන්ඩේ ලීඩර් කතෲ ලසන්ත වික්‍රමතුංග මහත්තයා මේ ව්‍යාපෘතියට ගහන්න පුලුවන් හැම විධියටම ගැහුවා. මේ දැවැන්ත විදෙස් ආයෝජන ව්‍යාපෘතිය භාරව හිටපු එවක BOI සභාපති තිලාන් විජේසිංහ මහතාටයි, මනෝ නානායක්කාර මහතාටයි පෞද්ගලික ජීවිත පවා ඇදගෙන Sunday Leader මඩ ගැහුවා. ඒත් ව්‍යාපෘතිය සිද්ධ වුනා. 

1999 අවුරුද්දේ අත්සන් කරපු මේ ගිවිසුමෙන් අවුරුදු 16කට පස්සේ බැලුවම SAGT ව්‍යාපෘතිය වරාය අධිකාරියට පිරිවැයක් නැතුව ඩොලර් මිලියන ගණනක ආදායමක් ලබාදීලා. වරායේ මෙහෙයුම් වලින් ඉතාම කාර්යක්ෂම අංශය බවට SAGT පත්වෙලා තියෙනවා පමණක් නොවේ වගේම මහා විශාල නැව් පවා ඇතුලුකල හැකි ආසියාවේ වරායන් කිහිපයෙන් එකක් බවට කොළඹ වරාය පත්කරන්නත් මේ ව්‍යාපෘතිය සමත්වෙලා තියෙනවා. හැමෝම බැණපු චන්ද්‍රිකා නෝනාගේ ඒ ප්‍රතිපත්තිමය තීරණය රටට වාසිදායක වූ බව දැන් ඔප්පුවෙලා.

ඔය ව්‍යාපෘතිය ආණ්ඩුවෙන් කරන්නට ගියා නම් කෝටි ගණන් වැඩිපුර වියදම් කරලා, කොමිස් ගිලලා රටේ මිනිස්සු තව ණය කරනවා විතරක් නෙමෙයි වරාය වෘත්තීය සමිති බයියලා ඔය ටර්මිනල් එක ආසියාවේ අකාර්යක්ෂමම කන්ටේනර් මෙහෙයුම් ව්‍යාපෘතිය බවටත් පත් කරනවා.

ඒ විතරක් නෙමෙයි උද්ධමනය, විනිමය අනුපාත, විදෙස් ආයෝජන වගේම රටක දියුණුවට හා ජන ජීවිතය සැපවත් වීමට ව්‍යාපාර ක්ෂේස්ත්‍රයේ වර්ධනය වැදගත්. බිස්නස් කොන්ෆිඩන්ස් හෙවත් ව්‍යාපාරිකයින් ඉදිරිය පිලිබඳව දක්වන විශ්වාසවන්ත භාවය යහපාලන ආණ්ඩුවේ වැනෙන ප්‍රතිපත්ති නිසා කඩා වැටිලා. රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දරදඬුවුනත් ඔවුන් නිස්චිත ප්‍රතිපත්තියක හිටියා. ඒවගේම දැන් නරි නාඩගම් නටන, වාතයක් ගියත් වර්ජන තර්ජන දාන වෘත්තීය සමිති ඒකාලේ බොහෝම කීකරුව ලඟට වැටෙන දෙයක් කාලා නිදාගෙන හිටියා.

ඒ නිසා ව්‍යාපාරිකයින්ට නිසි සැලසුමකට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ ලැබුණා. ඕනෑම බිස්නස් එකක් කර ගන්න, අවසර ගන්න, කොන්ත්‍රාත් ලබාගන්න කතාකරන්න ඕනෑ කාටද?, ලබාදිය යුතු ප්‍රතිශතය කුමක්ද? කියන එක පැහැදිලිව තිබුණා. ඒ නිසා දිය යුතු අයට කුට්ටිය දීලා වෙන කරදරයක් නැතුව බිස්නස් කරන්න පුලුවන් වුනා. ඒ නිසා ඒකාලේ බිස්නස් කොන්ෆිඩන්ස් බොහෝම ඉහලින් තිබුණා. ඒත් 2016/2017 කාලේ ආණ්ඩුව ඔන්න වැටෙයි මෙන්න පෙරලෙයි වගේ තිබුණ නිසාත්, පසුගිය රජය පටන් ගත්ත දැවැන්ත ව්‍යාපෘති සමහර ඒවා මෝඩකම නිසා අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙනුත් බිස්නස් කොන්ෆිඩන්ස් හොඳටම වැටුනා.

ඒවගේම එදත් අදත් රට කාළකන්නි කරන වෘත්තීය සමිති ව්‍යාපාර හා අන්තරේ ටාසන්ලාගේ කෙලවරක් නැති නාඩගම්, පාරවල් වැහිලි හා උද්ගෝසන නිසා මිනිස්සුන්ට බිස්නස් කරන එක එපාවෙන්න ගත්තා. හැම දෙයක්ම අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙනකොට, තීරණ පරක්කු වෙනකොට, ගත්ත තීරණ ආපහු හැරවෙන කොට, 10%ක් අහවලාට දීලා සැනසිල්ලේ බිස්නස් කරන්න තිබ්බානම් කොච්චර හොඳ දැයි රටේ ව්‍යාපාරිකයින්ට හිතෙන්න වුනා.

වෘත්තීය සමිති රට කාළකණ්නි කරනවා කියන කතාවට කාට හරි තරහක් ඇති වෙනවානම්, එක උදාහරණයක් පෙන්වන්නම්. මේ උදාහරණ ලංකාව වගේ 1948 ඉඳන් තාමත් සංවර්ධනය වන රටකින් නෙමෙයි. සංවර්ධිත රාජ්‍යයක් වෙන එක්සත් රාජධානියෙන්.

ලෝකයේ මහා පරිමාණයෙන් කාර් හදන්න පටන් ගත දවසේ ඉඳලාම ලෝකයේ වාහන කර්මාණ්තයේ අංක 2 නැතිනම් 3 මට්ටමේ හිටියේ මහා බ්‍රිතාන්‍යය. ලේලන්ඩ්, මොරිස්, රෝවර් කියන දැවැන්ත සමාගම් මුලු ලෝකෙටම කාර් විතරක් නෙමෙයි වෑන්, ට්‍රක්, පොඩි ලොරි, ලොකු ලොරි වගේ හැම ජාතියක්ම හැදුවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නැතිවෙලා අවුරුදු 25ක් ගතවුනු 1975 වෙනකොටත් ලෝකේ බ්‍රිතාන්‍ය ආභාෂය තිබූ හැම රටකම පාරවල් වල දිව්වේ බ්‍රිතාන්‍යයේ හදපු වාහන, නැතිනම් බ්‍රිතාන්‍ය සමාගම් වලින් ලයිසන් අරගෙන ඒ රටවල් වල හදපු වාහන.

සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ බ්‍රිතාන්‍ය වාහන කර්මාණ්තය කඩා වැටුනේ ජපන් තරඟයට මුහුණ දෙන්න බැරුව කියලා. ඒත් එහෙම නම් ජර්මනියේ, ඉතාලියේ, ප්‍රංශයේ කාර් සමාගම් ඒ විධියට බංකොලොත් වෙන්න ඕනෑ. එහෙම වුනේ බ්‍රිතාන්‍යයේ විතරයි.

මේ විනාශයට හේතුව ජපන්නු නෙමෙයි.  බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වය දරපු, බ්‍රිතාන්‍ය වාහන කර්මාණ්තයේ සේවක වෘත්තීය සමිති සන්ධානවල අසහාය නායක "ඩෙරෙක් රොබින්සන්"

1970 දශකයේ බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයේ කම්කරු සටන් වලට නායකත්වය දීපු ඩෙරෙක් රොබින්සන් වැඩ වර්ජන 500කට වඩා මෙහෙයවලා තියෙනවා. රොබින්සන්ගේ මහා වැඩවර්ජන නිසා කෙලින්ම බ්‍රිතාන්‍ය රථවාහන කර්මාණ්තයට සිදුවුනු පාඩුව පවුම් මිලියන 200කට අධිකයි කියලා ගණන් බලලා තියෙනවා. මේ මිනිහා බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයේ මිනිස් පැය ලක්ෂ ගණනක් නිකරුනේ නාස්තිකලා. සමාගම් සතු කෝටි ගණන් වටින ස්ථාවර වත්කම්, යන්ත්‍ර සූත්‍ර සමහර වෙලාවට සති ගණන් ඇදුනු වැඩ වර්ජන නිසා ආදායම් උපදවෙන්නේ නැතුව ක්ෂයවෙමින් ගියා. 

ඩෙරෙක්ගේ මහා කම්කරු සටන් වල අවසාන ප්‍රතිපලය මොකක්ද?

> මොරිස් මයිනර් කාර් 1,368,291ක අලෙවි වාර්තාවක් තිබ්බ මොරිස් සමාගම 1984දී බංකොලොත් වුනා. දැන් මොරිස් සන්නාමය අයිති චීනෙ SAIC සමාගමට.

> ලේලන්ඩ්, ඔස්ටින්, ලෑන්ඩ් රෝවර්, ට්‍රයම්ප් වගේ ජනප්‍රිය සන්නාමවල අයිතිකාර "බ්‍රිටිෂ් ලේලන්ඩ්" සමාගම 1986දී බංකොලොත් වුනා. අද ලේලන්ඩ් කියන සුපිරි බ්‍රිතාන්‍ය සන්නාමය වාහනයක රැඳිලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ මූන්ජල් පවුලට අයත් "හින්දූජා" කියන සමූහ ව්‍යාපාරයට අයිති අෂෝක් ලේලන්ඩ් කොම්පැණිය නිසා. 1954දී ඇතිකරගත් ගිවිසුමකට අනුව තාමත් අෂෝක් ලේලන්ඩ් සන්නාමය පවතිනවා.

> රෝවර් සමාගම අවුරුදු ගණන් පාඩු ලබලා 2000වසරේදී වහලා දැම්මා.

> බ්‍රිතාන්‍යයේ බංකොලොත් MINI සන්නාමය අද ජර්මනියේ BMW සමාගමට විකුණලා. ඔවුන් MINI බොහෝම සාර්ථක වාහන මාදිලියක් බවට පත්කරලා. 

> බ්‍රිතාන්‍ය රැජිනගේ ප්‍රියතම වාහනයක් වන Land Rover වගේම සුපිරි Jaguar සමාගමත් අද අයිති ඉන්දියාවේ ටාටා සමාගමට. Land Rover හා Jaguar අද ටාටා යටතේ කෝටි ගණන් ලාභ ලබනවා.

> රෝල්ස් රොයිස් - සුපිරි ධනවතුන් වෙනුවෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රෞඩ නිෂ්පාදනය අද අයිති වෙලා තියෙන්නේ ජර්මනියි BMW සමාගමට.

> බෙන්ට්ලි -  තවත් සුපිරි, අති සුඛෝපභෝගී කාර් හදපු ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සමාගමක්. දැන් අයිති ජර්මනියේ වොක්ස්වැගන් සමාගමට

බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයට වෙලා තියෙන විනාශය පේනවා නේද?

බ්‍රිතාන්‍ය වාහන සමාගම්වල හා ඒ සමාගම්වල සැපයුම් සමාගම් වල වැඩකරපු දස දහස් ගණනකට රස්සාවල් නැතුව ගියා. ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය නිෂ්පාදන ආර්ථිකයට මරු පහරක් වැදුනා. කොහොමද ඩෙරෙක් රොබින්සන් ගේ මන රන්ජන වැඩ වර්ජන බ්‍රිතාන්‍යයේ මහා වාහන කර්මාණ්තයට අත්කරලා දීපු සෙතේ? මිනිහෙකුට රටකට මීට වඩා විනාශයක් කරන්න පුලුවන්ද?

ඇටකටු කුඩුවෙන්න ගහන්නේ නැති ආණ්ඩුවක් බලයේ හිටපු හැම කාලෙකම වගේම 2017 අවුරුද්දේත් ලංකාවේ වෘත්තිය සමිති මේ වගේම විනාශයක් කරන්න අර ඇද්දා.  මිනිස්සුන්ගේ විරෝධය නැතිනම් මේ විනාශකාරී ක්‍රියාවලිය තවත් ඇදගෙන යන්න ඔවුන් බොහොම කැමතියි. එහෙත් මහජන කෝපය කියන සීමාව ඔවුන්ව කොටුකරා කියලා කියන්න පුලුවන්. ආණ්ඩුවෙන් ගහනවා වගේ නෙමෙයි මිනිස්සු ගහනකොට.

ලංකාවේ මිනිස්සු සීමාන්තික ඉවසීමෙන් බැහැර වෙලා හැම දේටම සීමාවක් තියෙනවා කියලා විවිධ ආකාරවලින් දැනුම් දුන්න අවුරුද්දක් 2017. ඉස්සරනම් මිනිස්සු මේ විධිය දැනුන් දීම් කලේ ආණ්ඩුවලට විතරයි.

සමාජ ජාල හැම මනුස්සයෙකුගේම සාක්කුවට රිංගලා නිරන්තරයෙන් යාවත්කාලීන කරනවා. ඉස්සර ජාතික නාලිකාව, සිරස, දෙරණ, හිරු ආණ්ඩුවට ඕනෑ දේ, නැතිනම් ටීවී චැනල් මුදලාලිලාට ඕනෑ දේ විතරක් රටටම කාණ්දු කරුවාට දැන් එහෙම බෑ. මිනිස්සු ඉක්මණටම ඇත්ත දැන ගන්නවා. ඇත්ත පැතිරෙනවා. අකුරු ටිකක් යවනවා වගේම වේගයෙන් ඡායාරූප, වීඩියෝ මිනිස්සුන්ගේ සාක්කුවට යනවා.

සිරසේ මීඩියා සීරෝලා ටයි කෝට් ඇඳගෙන බැඳුම්කරේ ගැන විතරක් පට්ට ගැහුවට මිනිස්සු සිරසෙ මහාරාජකීය බොස්ලා ගෑවිලා ඉන්න සංඛ්‍යාත මගඩිය වගේම කබල් රුසියන් ගෙපාර්ඩ් නැව් මගඩිය ගැනත් ෆේස්බුක් එකෙන් දැන ගන්නවා. ඒවා ගැන වැඩි විස්තර තියෙන බ්ලොග් පෝස්ට් ගැනත් ෆේස්බුක් එකෙන්ම දැන ගන්නවා. බස් එකේදී, කෝච්චියේදී ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න අතරේම ඒවා ෆෝන් එකෙන් කියවනවා. දැනුවත් වෙනවා.

චැනල් කාරයෝ, පත්තර කාරයෝ හංගලා ගහන, කොලේ වහලා ගහන ගැහිලි, ඒකපාර්ශවීය අදහස් පලකිරීම් වෙනුවට 2017 අවුරුද්ද වඩාත් පාරදෘෂ්‍ය ලෙස තොරතුරු විහිදෙන්න පටන්ගත් අවුරුද්දක් නිසා පරණ සෙල්ලම් කල්පනාවෙන් කරන්න කියලා අවවාදයක් කෙරුවොත් හොඳයි කියලා හිතනවා. ජන ජීවිතය අවුල් කරන්නට අර අඳින්නන් හොඳට සිහියට ගන්නට ඕනෑ මිනිස්සුන් ඇත්ත දැනගෙන ඉක්මණට ප්‍රතික්‍රියා කරන, විරෝධය දක්වන තැනකට 2017දී රට ප්‍රවේශවෙලා තියෙන බව.

වෘත්තිය සමිතිවලට, ශිෂ්‍ය සංගම්වලට කාදමන්නට ඕනෑ තරම් කාළය තිබුණත් එදිනෙදා ජීවත් වෙන්න වෙර දරන මිනිස්සුන්ට එහෙම නාස්ති කරන්න කාළයක් නෑ.  පාන්දර හතරේ ඉඳන් නැගිටගෙන උයලා, පාර්සල් බැඳලා කෑම පැකට් 100ක් දාගෙන ත්‍රීවිලර් එකෙන් ඒවා කඩවලට දාන්න දුවන මිනිහාට පැට්‍රෝල් ටිකක් ගහගන්න බැරි වෙලා, බෝඩ් උස්ස ගත්ත බහුබූතයෝ ටිකක් හින්දා පාර වහලා ඒ මනුස්සයාට කෑම ටික වෙලාවට කඩවලට දාගන්න බැරි වුනොත්, ඒ මනුස්සයා මොකද කරන්නේ? කෑම පැකට් සීය ගෙදර අරගෙන ගිහිල්ලා කන්නද? පහු වෙනිදට කෑම උයන්න බඩු ගන්නේ ණයටද?

2017 කියන්නේ ඒ කෑම පැකට් මනුස්සයාටත් තමුන්ගේ විරෝධය නිසි තැනට එල්ල කරන  අවස්ථාව ලැබෙන්න පටන්ගත් අවුරුද්ද. ඒ විරෝධය පාරවල් වහගෙන නටන මීමුන්ට විරෝධය දක්වන පෝස්ට් එකකට දාන ලයික් එකක් වගේ සුලු එකක් වෙන්න පුලුවන්. ඒත් බුකියේ ඇල්ගොරිදම් වලට අනුව ලයික් වැඩිවෙනකොට පෝස්ට් එක පැතිරෙනවා, තව තව අයගේ ටයිම් ලයින් වල පෙනෙන්නට පටන් ගන්නවා . දිගටම ලය්ක් වුනොත් වයිරල් වෙනවා. බස් එකේ කෝච්චියේ යන මිනිහාගේ තරහ, කේන්තිය, විරෝධය සමාජ ජාල හරහා වයිරල් වෙලා ජනගත වෙන්නේ ඒ විධියට. 2017 අවුරුද්ද සාමාන්‍ය මිනිහාගේ විරෝධය වයිරල් වෙන හැටි හොඳටම දකින්න ලැබුණු අවුරුද්දක්

ඒවගේම විරෝධය දක්වන්නට ඉක්මණට මිනිස්සු එක් තැනකට ගෙන්වන්නට පුලුවන් අවස්ථාව ඕනෑම කෙනෙකුට තියෙනවා. මිනිස්සු බලගැන්විලා තියෙනවා.

ඉස්සර මේ බලය තිබුණේ සංවිධානාත්මක දේශපාලන පක්ෂවලට විතරයි. එක රැයකින් රටපුරා එකම පෝස්ටරයක් අලවන්න හැකියාව තිබුණේ JVP එකට විතරයි. ඒත් දැන් ඒ සුපිරි හැකියාව නිෂ්ක්‍රිය වෙලා. දැන් හැමෝමට පුලුවන් උදේ නැගිට්ට ගමන් කියවන්න පණිවුඩයක් රටටම යවන්න.

ඒ පණිවුඩ වලින් නැති පැට්‍රෝල් පෝලිම් ඇති කරන්න වගේම පැට්‍රෝල් පෝලිම්, කෝච්චි බස්, ඉස්පිරිතාල ස්ට්‍රයික් ඇති කරමින් මිනිස්සුන්ට අනවශ්‍ය ලෙස වද දෙන්නන්ට අමතක නොවන ගේමක් ඕගනයිස් කරන එකත් බොහොම ලේසියෙන් පුලුවන්.

මහින්ද මහත්තයා පෝට් සිටිය හදන්නට හිටවපු සමරු පලකෙ ගලවලා ලොරියක දාගත්ත හැටි මිනිස්සු දැක්කෙ සමාජ ජාල වලින්. ඒවගේම  ප්‍රයිවට් කැම්පස් වහන්නම ඉපදිලා ඉන්නවා වගේ පෙන්නන අන්තරේ කමාන්ඩර්ලාගේ පවුලේ ලේ නෑයෝ ප්‍රයිවට් කැම්පස් සමග තියෙන ආත්මීය බැඳීම මිනිස්සු දැන ගත්තෙත් සමාජ ජාලවලින්. ඒ මහත්තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීලා STF කොල්ලන්ට කුණු හරුපෙන් බනිද්දිත් උන් ආයුධත් අතේ තියාගෙන සිනාමුසු මුහුණින් ඒ අපහාස ඉවසාගෙන ඉන්නවා දැක්කෙත් සමාජ ජාලවලින්මයි. STF කොල්ලන්ට මීට පස්සේ ප්‍රතිකාර නෑ කියලා ළාමක ඩොකෙක් ඇනගත්තේත් බුකි අවකාශයේමයි.

මේ නිසා හැංගි හැංගි බඳින වෙස්මූණු ගැලවිලා, රෙදිත් කැඩිලා යට ඇඳුමෙන් දුවන්න සිද්දවෙන්න ඕනෑ කරන්නේ එකම එක ෆේස්බුක් ෆොටෝ එකක් වයිරල් වෙන එක විතරයි කියන එක 2017දී රටක් විධියට අපි ඉගෙන ගත්ත පාඩමක් කියලා හිතන්න පුලුවන්. මේ නිසා ආණ්ඩුවට වගේම වෙන මොන පාර්ශවයකටත් කොලේ වහලා මිනිස්සු රවට්ටන්න පුලුවන් කමක් නෑ. 2018 එලි පත්තේ ඉන්න මේ මොහොතේ හැමෝම මේක වටහා ගන්නවානම් හොඳයි.








__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 28 December 2017

SOCIAL : නිතර සෙල්ෆි ගන්නෙ බලාගෙන - "සෙෆ්යිටිස්" මානසික රෝගය හැදෙන්න පුලුවන්!

උන්මාදයක් ලෙස සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙස නවතම පර්යේෂණ පත්‍රිකාවක් මගින් හඳුනාගෙන තිබෙනවා. මනෝවිද්‍යාඥයින් දෙදෙනෙකු විසින් International Journal of Mental Health and Addiction මනෝවිද්‍යාත්මක පර්යේෂණ සඟරාවට ඉදිරිපත් කරන ලද මේ පර්යේෂණ පත්‍රිකාව, උන්මාදයක් ලෙස සෙල්ෆි ගැනීමට පුද්ගලයින් පොළඹවන සාධක හඳුනාගෙන තිබෙනවා. 


An Exploratory Study of ‘Selfitis’ and the Development of the Selfitis Behavior Scale ලෙස නම්කොට ඇති මෙම පර්යේෂණ පත්‍රිකාවට අනුව තැනක් නොතැනක් නොබලා සෙල්ෆි ගනිමින් ඒවා සමාජ ජාලවල ඇතුලත් කරන්නේ පහත හේතූන් නිසායි.

i. පාරිසරික සාධක - තමන් හැසිරෙන පරිසරය වඩාත් හොඳින් ග්‍රහණය කරගැනීමට සෙල්ෆි උපකාර වෙනවා යයි සිතීම.

ii. සමාජීය තරඟකාරිත්වය - විවිධ ඉරියව්වලින් සෙල්ෆි ගැනීමෙන් තම සගයින්ට, මිතුරන්ට වඩා කැපී පෙනී, විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය කරගත හැකිවේ යයි සිතීම. සමාජ තත්වය හා මිතුරන් අතර පිලිගැනීම වැඩිකරගනිමින් ජනප්‍රිය වීමට ඇති ආශාව.

iii. අන් අයගේ අවධානය දිනාගැනීම - සෙල්ෆි රැගෙන බෙදාහැරීමෙන් අන් අයගේ අවධානය තමන්වෙත දිනාගැනීමේ දැඩි උවමනාව.
iv. මනෝභාවය (moods) වෙනස්කරගැනීමට - සෙල්ෆ් ගැනීම මගින් ආතතිය අඩුකරගෙන තෘප්තිමත් මනෝභාවයක් ඇතිකර ගැනීමට උත්සහ කිරීම. සෙල්ෆි ගැනීමෙන් මානසික සතුට වැඩිවෙන බවට ඇදහීම.

v. ආත්ම විශ්වාසය වැඩිකර ගැනීම - සෙල්ෆි ගැනීමෙන් ආත්ම විශ්වාසය වැඩිවෙන බවට ඇති විශ්වාසය. තමා ගැන ධනාත්මක සිතුවිලි ඇතිකර ගැනීමට සෙල්ෆි ඉවහල්වීම.තමන් ගන්නා සෙල්ෆි තමන්ම නැරඹීමෙන් ආත්ම විශ්වාස වැඩිවීමේ හැඟීමක් ඇතිවීම.

vi. සාමානයයන් (peers) සමග සමානුරූපතාව ඇතිකර ගැනීමට - නිතර නිතර සෙල්ෆි ගැනීමෙන් හා කණ්ඩායම් සෙල්ෆි වලට පෙනීසිටීමෙන් තමන් තම සාමානයයන් කණ්ඩායමේ පිලිගැනීමට ලක්වෙන බවට ඇති විශ්වාසය.

මෙලෙස සෙල්ෆි ගන්නන් අතර සෙල්ෆයිටිස් උන්මාදය වැලඳී ඇති ආකාරය අනුව 34%  සීමාසන්න සෙල්ෆයිටිස් (borderline selfitis) පුද්ගලයින් වන අතර, 40.5% තීව්‍ර සෙල්ෆයිටිස් (acute selfitis) රෝගයෙන් පීඩා විඳී. 25.5% දුස්සාධ්‍ය (chornic) සෙල්ෆයිටිස් වලින් පීඩා විඳින බව පර්යේෂණ වලදී හෙලිවී තිබේ.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

NUTRITION : මුරුංගා : හිතාගන්න බැරිතරම් ගුණදායක සුපිරි දේශීය ආහාරය

මේ ලිපිය උපුටාගත්තේ විශ්ම ලෝකය වෙබ් අඩවියෙන්. ඉතා වැදගත් කරුණු තියෙන නිසා තවත් අමතර කරුණු ටිකක් එකතු කරලා මෙහි ඇතුලත් කලා.

මුරුංගා (Moringa Oleifera)  කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්. අපිට මතකයි අපි පොඩි කාලෙ ඉඳල අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලූම් හෝ හොදි වරින් වර අපේ ආහාර වේලට එක් කළා. ඒ වගේ ම මඤ්ඤොක්කා තම්බනකොට මුරුංගා කොළ ටිකකුත් මුට්ටියට දානවා, යම් විසක් ඇත්නම් එය නැති කරන්න කියල. මුරුංගා කියන්නේ බෙහෙත් ඖෂධයක් කියලත් අපි දැනගෙන හිටියා. ඒ නිසා බඩේ අමාරුවට බොන තැම්බුං හොද්දට මුරුංගා පොතු කෑල්ලකුත් දානවා.

මුරුංගාවල සුපිරි ගුණ


ලංකාවේ අපි මේ විදිහට අවුරුදු දහස් ගණනක් තිස්සේ මුරුංගා ගැන දැනගෙන හිටියා.
ලපටි මුරුංගා කරල් ග්‍රෑම් 100ක පෝෂ්‍ය පදාර්ථ
ඉන්දියාවෙත් එහෙමයි. ඒත්, මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැවෙන ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ලබා දෙන, ලෙඩ රෝග බොහෝ ගණනක් සුව කළ හැකි, බොහෝ සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්ය සුපිරි ආහාරයක් (Multi – purpose super – food with endless health benefits) බව අප දැන සිටියා ද? සමහරවිට නෑ. අනුමානයක් නෑ අපේ මුතුන්මිත්තෝ නම් අවුරුදු දහස් ගණනකට පෙර මේ ගැන දැනගෙන ඉන්න ඇති.

ඉන්දියානු ආයුර්වේද වෙදකමට අනුව මුරුංගාවලින් ලෙඩ 300කට වැඩි ගණනක් සුව කළ හැකි බව කියවෙනවා. ඒ විතරක් නො වෙයි. මුරුංගා මන්දපෝෂණය නැති කිරීමට උපකාර වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන් බහුල ව ඇති බවයි පැවසෙන්නෙ. ඒ වගේ ම මස් මාළු ආදියෙන් ලැබෙන ශරීරයට අත්‍යවශ්‍ය යයි කියන ඇමයිනෝ අම්ල වර්ග සියල්ල ම වාගේ මුරුංගාවල තිබෙන බවයි කියවෙන්නේ.

මුරුංගා යනු මස් මාළු ආදියට විකල්පයක් ලෙස ගත හැකි ආහාරයක් බවත් කියැවෙනවා. මේ තත්ත්වය වෙනත් කිසිම ශාක එළවළුවක නැති බව ද සොයා ගෙන තිබෙනවා. නොමිලයේ ම වාගේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ලබා දෙන විස්මිත ආහාරයක් තමයි මුරුංගා. දැන් දැන් බටහිර රටවල් මුරුංගා යනු ලෝකයේ ආශ්චර්යවත් ම ගස (Miracle Tree)  ලෙස හඳුන්වන්නේ මේ කරුණු නිස යි.









මුරුංගා කොළ නොයෙක් ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. අමුකොළ යුෂ පානය කරන්න පුළුවන්. කොළ මැල්ලූම්, ව්‍යංජන හෝ හොදි ලෙස සකසා ගන්න පුළුවන්. ඕනෑම ව්‍යංජනයකට අමු කොළ දමන්න පුළුවන්. ඒ වගේ ම කොළ වේලා කුඩුකර වතුරේ දිය කර පානයක් ලෙස හෝ තේ ලෙස හෝ කෑම වර්ගවලට එක්කර ගන්න හෝ පුළුවන්. මුරුංගා මල් සහ කරල් ද ව්‍යංජන ලෙස පිළියෙල කර ගන්නා බව අපි දැනටමත් දන්නවා.

ඒ වගේ ම වියළි මුරුංගා කරල්වල ඇට තෙලෙන් බැද කෑමට ගන්න පුළුවන්. මුරුංගා ඇටයෙන් ලබාගන්නා තෙල් කෑම පිසීමට ගත හැකිවා පමණක් නෙවෙයි, එය රූපලාවණ්‍ය කටයුතු සහ සමේ ආලේපයක් ලෙස ද පාවිච්චි කරන්න පුළුවන්. එපමණක් නො වෙයි. මුරුංගා ඇටයේ පොත්ත කුඩුකර දැමීමෙන් ජලය පිරිසිදු කර ගත හැකි යි. ඒ විස්මිත හැකියාව මුරුංගා ඇටය සතු යි. මුරුංගා මුල් හෝ පොතු නම් ආහාරයට ගැනීමෙන් වළකින ලෙයසි උපදෙස් ලැබෙන්නෙ.

මුරුංගා කොළ ග්‍රෑම් 100ක පෝෂ්‍ය පදාර්ථ


මුරුංගා ගස නියඟයට ඔරොත්තු දෙනවා. රටවල් කාන්තාරකරණය වීමෙන් වළකාලනවා. මුරුංගා ගසට රසායනික පොහොර අවශ්‍ය නැහැ. කෘමිනාශක අවශ්‍ය නැහැ. අමතර සාත්තු අවශ්‍ය නැහැ. ඕනෑම නිසරු පොළවක වැවෙන මේ ගසේ මුල්, පොතු, කොළ, කරල්, ඇට ආදි සෑම කොටසක් ම විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනෙනවා. මේ ආහාරය මන්දපෝෂණය දුරු කරනවා. ගස දිරා පොළවට වැටුණු පසු එම පස ද සාරවත් කරනවා. බහුල වශයෙන් වගා කිරීමෙන් රැකියා නියුක්තිය වැඩිකර ගන්නත්, ආදායම් වැඩිකර ගන්නත් පුළුවන්. ඒ වගේ ම රටට විදේශ විනිමය උපයා ගන්නත් පුළුවන්.

මුරුංගා ගසේ උපත උතුරු ඉන්දියාවෙ කියලයි කියන්නෙ. දැන් නම් ඉන්දියාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් ඝර්ම කලාපීය රටවල මුරුංගා වැවෙනවා, වගා කරනවා. එනම්, ආසියාවේ, අප‍්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ බොහෝ රටවල මෙය වගා කරනු ලබනවා. පුදුමයකට මෙන් මුරුංගා වැවෙන්නේ මන්දපෝෂණයෙන් දැඩි ලෙස පීඩාවිඳින ඝර්ම කලාපීය රටවලමයි. තමන්ගේ ගෙවත්තේ තිබෙන මේ පෝෂණීය රන් ආකරය ගැන දැන සිටින්නේ නම් මෙය තව දුරටත් තුන්වන ලෝකයේ දැවෙන ප‍්‍රශ්නයක් නො වෙනු ඇති.

මුරුංගා ගස ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ශ‍්‍රී ලාංකික අපි ද එහි උරුමකරුවෝ වෙනවා. එය අපේ මිල කළ නො හැකි දේශීය සම්පතක්. අපි එය තව දුරටත් දියුණු කළ යුතු වෙනවා. වැඩි වැඩියෙන් වගා කළ යුතු වෙනවා. වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතු වෙනවා. ඒ සඳහා දිරිගැන්විය යුතු වෙනවා. අනුබල දියයුතු වෙනවා. එයින් විවිධ නිෂ්පාදන සාදා දේශීය වගේ ම විදේශීය වෙළඳ පොළට යොමු කිරීමට ව්‍යවසායකයන් ඉදිරිපත් විය යුතු වෙනවා. පර්යේෂණ ආයතන මඟින් කරුණු සොයාබලා මහජනයාව දැනුවත් කළ යුතු වෙනවා. ඒ කටයුතු එලෙස සිදු කිරීමට අදාළ සෑම දෙනාට ම සිත් පහළ වේවා!

Source : Wishmalokaya.com




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Wednesday, 27 December 2017

UFO & EXTRATERRESTRIALS : පිටසක්වලයින්ගේ ආගමනය මානව වර්ගයාගේ අවසානයයි!


රිඩ්ලි ස්කොට් හොලිවුඩයේ නමක් දිනාගත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙන්. මෑතකදී ඒලියන්:කොවෙනන්ට් චිත්‍රපටයත්, ද මාෂන් (The Martian) හා බ්ලේඩ් රනර් චිත්‍රපටත් අධ්‍යක්ෂණය කල රිඩ්ලි ස්කොට්, 1979දී තිරගතවුනු පලමු ඒලියන් චිත්‍රපටයේත් අධ්‍යක්ෂක වරයා වනවා. ඒවගේම 2000 වසරේ තිරගතවුනු "ද ග්ලැඩියේටර්" චිත්‍රපටය ස්කොට්ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ සම්මාන පිට සම්මාන දිනූ චිත්‍රපටයක්.

මෑතකදී ස්කයි නිවුස් රූපවාහිණී නාලිකාව හා සම්මුඛ සාකඡ්ඡාවකට එක් වුනු රිඩ්ලි, තමන් විශ්වයේ බුද්ධිමත්, දියුණු තාක්ෂණයක් ඇති පිටසක්වලයින් සිටින බව විශ්වාස කරන්නෙක් බව පවසා සිටියා. ඔහු පවසන අන්දමට යම් දිනක ආකාශයේ දැවැන්ත පිටසක්වල අභ්‍යවකාශ යානයක් දිස්වුවහොත්, කල හැකි එකම දෙය සැඟවී සිටීම පමණක් බවයි.



රිඩ්ලි ස්කොට් පමණක් නොව, ස්ටීවන් හෝකින්ස් වැනි නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයින් පවා පිටසක්වලයින් මෙලොවට පැමිණීම මහා විනාශයක් විය හැකි අවස්ථාවක් බව පවසා තිබෙනවා. ස්ටීවන් හෝකින්ස් පවසන අන්දමට තාරකා ගමන්කල හැකි අතිශය දියුණු තාක්ෂණයන් නිර්මාණය කරගෙන සිටින පිටසක්වලයින් මෙලොවට පැමිණීම, යුරෝපීයයන් ඇමරිකානු මහාද්වීපවලට ගොඩබැසගත් පසු ඇතිවූ මහා විනාශයට සමාන කරනවා. 

තුවක්කුව, යකඩ හා වානේ නිර්මාණය, නවීන යුධ ශිල්ප හා කර්මාණ්ත තාක්ෂණයෙන් අතිවිශාල දියුණුවකින් සිටි යුරෝපීයයන් ස්වදේශික ඇමරිකානුවන් ලක්ෂ ගණනින් මරාදැම්මා. තවත් ලක්ෂ ගණනක් යුරෝපීයයන් විසින් ගෙන ආ, ස්වදේශික ඇමරිකානුවන්ට ප්‍රතිශක්තිය නැති රෝග වලට ගොදුරුවී විනාශවී ගියා. වසර දහස් ගණනක් පැවති ශිෂ්ඨාචාර වසර 100කට අඩු කාළයකදී අතුගෑවී ගියා.

මානවයාට වඩා තාක්ෂණයෙන් වසර 100ක් ඉදිරියෙන් සිටින පිටසක්වලයින් වුවත්, මානවයින් ඉතා නොදියුණු වනචාරීන් ලෙස සලකා ඉතා කුරිරු ලෙස මර්ධනය කරන්නට, යටත් කර ගන්නට ඉඩ තිබෙනවා. 

ET, Encounters of the Third Kind වැනි චිත්‍රපටවල හුවා දැක්වෙන, සානුකම්පික, මානව දියුණුවට අතදිය හැකි පිටසක්වල ජිවී වර්ගවලට වඩා, ආක්‍රමණකාරී, විනාශකාරී, දියුණු වෙන්නට උත්සහකරන බුද්ධිමත් ජීවීන් තමන්ගේ අනාගත සතුරන් ලෙස සළකා විනාශකර දමන්නට උත්සහ කරන පිටිසක්වල ජිවීන් සිටීමේ සම්භාවිතාවය ඉතා වැඩි බවයි මොවුන් පවසන්නේ. ඒ අනුව "Independence Day" , "Battle for Los Angeles" වැනි චිත්‍රපට වඩාත් තාත්විකව මානවයා හා පිටසක්වලයින් අතර පලමු හමුවීම (first contact) පිලිඹිඹු කරන බව ඔවුන් පවසනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

SOCIAL : ස්ටීව් ජෝබ්ස් ගෙන් ජීවිතයට ඔවදන්


මේ ආමණ්ත්‍රණය;

පිස්සන් යයි අනෙක් අය සිතන්නන්, නොගැලපෙන්නන්, කැරලි ගසන්නන්, කරදර කාරයින්, සතරැස් කොටුවල සිරවුනු වටකුරු හැඩැත්තන් හා වෙනස් ලෙසින් සිතන්නන් වෙනුවෙනි...

ඔවුන් නීති රෙකුලාසි වලට අකමැතිය, සම්ප්‍රදායේ සිරවී සිටීමට අකමැතිය.... ඔබට ඔවුන් උපුටා දැක්විය හැකිය, පාරට්ටුකල හැකිය, ගැරහිය හැකිය, එහෙත් ඔබට කිසි විටෙකත් ඔවුන් නොතකා සිටිය නොහැකිය.... 

ඒ ඔවුන් වෙනස් කරන්නන් බැවිනි.... 

ඔවුන් මිනිස් වර්ගයා ඉදිරියට තල්ලු කරයි... සමහරුන්ට ඔවුන් පෙනෙන්නේ උමතු වූවන් ලෙසිනි, එහෙත් අපටනම් පෙනෙන්නේ ඔවුන් ප්‍රතිභාවන්තයින් ලෙසිනි.  

ඒ මක්නිසාද යත්, ලෝකය වෙනස් කරන්නේ, තමන්ට එසේ කල හැකියයි සිතන, උමතු යයි අනෙක් අය සිතන ප්‍රතිභාවන්තයින් විසින් බව අප දන්නා නිසාය.......






කනත්තේ මිහිදන්වී සිටින ධනවත්ම පුද්ගලයා වීමට මට අවශ්‍ය නැත. රාත්‍රී නින්දට යනවිට, අප විශිෂ්ඨ යමක් සිදුකලා යන සිතුවිල්ලෙන් සැනසීම මට ඊට වඩා වැදගත්ය...






"නිර්මාණයකිරීම" අමුතුම වචනයකි. බොහෝදෙනා සිතන්නේ නිර්මාණය යනු, යමක් ඇසට පෙනෙන ආකාරය කියායි. එහෙත් ගැඹුරින් බැලූකල නිර්මාණය යනු පෙනුම නොව, යමක් ක්‍රියාත්මකවන ආකාරයයි...






ජීවතය අකාරුණිකය, සමහර අවස්ථාවලදී ඔබට දැඩි පසුබෑම්, අසාධාරණකම් සිදුවිය හැකිය. විශ්වාසය අත් නොහරින්න..










ඔබට ජීවිතයේ වැඩිකොටසක් ඔබගේ ජීවිකාව වෙනුවෙන් ගතකරන්නට සිදුවේ.. එබැවින් තෘප්තිය ලබගත හැකි එකම මාර්ගය හොඳින් වැඩ කිරීමයි. හොඳින් වැඩ කිරීමට නම්, ඔබ ඔබගේ වෘත්තියට කැපවී, එය ආදරයෙන් සිදුකලය යුතුය. 





ඔබට ආදරයෙන්, කැපවීමෙන් කලහැකි දෙයක් තවමත් නොලැබුණි නම්, අතෘප්තිමත් වෘත්තියක හෝ රැකියාවක නතර නොවන්න, ඔබට තෘප්තිය ලැබිය හැකි වෘත්තියක්, ජීවිකාවක් සොයා යන්න. හදවත හා බැඳී ඇති සියළුදේ මෙන්ම, ඔබට සතුටෙන් කලහැකි යමක් ලැබුණුවිට ඒ බව ඔබ හදවතට දැනෙනු ඇත...





නිර්මාණශීලීත්වය යනු අන් අයට නොපෙනන සංදර්භයන් දැකීමට ඇති හැකියාවයි. ඔබ නිර්මාණශීලී නවෝත්පාදකයෙකුගෙන්, ඔහු සිය නිර්මාණය කෙසේ කලේදැයි ඇසුවහොත්, ඔහුට යම් වරදකාරී හැඟීමක් ඇතිවේ. එසේ වන්නේ සැබැවිම ඔහු එය සිතාමතා සැළසුම් කොට කල නිර්මාණයක් නොවන බැවිනි. අන් අයට නොපෙනෙන යමක් ඔහු දැක ඇත, ඔහු නව නිර්මාණයේ පාදම එයයි.



අලුත් දෑ නිමවන සමහර අවස්ථාවලදී ඔබ අතින් වැරදීම් සිදුවීම ස්වභාවිකයි. පසු තැවෙන්න එපා. ඔබ කලයුත්තේ වැරැද්ද පිලිගෙන ඔබගේ අනෙකුත් නව නිමැවුම් වැඩිදියුණු කිරීමට උත්සහ කිරීමයි.


ඔබට ඔබගේ ගැනුම් කරුවන්ගෙන් අසා අලුත් දෑ නිර්මාණය කල නොහැකියි. ඔබ ඔවුන්ගෙන් විමසා ඔවුන් කැමතියයි කියන දෙයක් නිමවා අවසන්වූවිට ඔබගේ ගැනුම් කරුවන් වෙනත් යමක් ඉල්ලනු ඇත.



ඇත්තෙන්ම ඇපල් සමාගම යනු කුමක්ද? ඇපල් සමාගම යනු රාමුවෙන් පිටතින් සිතමින් පරිගණක මගින් ලෝකය වෙනස් කල හැකි දෑ නිර්මාණය  කරන, සැබෑ වෙනසක් ඇති කරන දෑ නිර්මාණය කරන්නට උත්සහ කරන පිරිසක් සිටින තැනකි. ඔවුන්ගේ අරමුණ යම් වැඩක් කල හැකි පරිගණක නිර්මාණය කිරීම නොවේ.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

CARS : ජීප් පිස්සන්ට පමණයි! - ලෝකේ පලමුවැනි SUV එක

SUV ස්පෝට්ස් යුටිලිටි වෙහිකල් කියන වාහන මාදිලිය නිර්මාණය වෙන්නේ ඇමරිකාවේ. ලංකාවේ අපි මේවාට කියන්නෙත් ජීප් කියලා. එහෙම වෙන්න හේතු විදියට හමුදාවේ, පොලීසියේ තිබුණු ජීප් රථ වලට සමාන හැඩ හුරුකමක් මේවාට තියෙන නිසාත් වෙන්දේසි වලින් ගත්ත හමුදා/පොලිස් ජීප් හොඳට හදලා ඈත ගමන් යන්න පුලුවන් විධියට හදාගන්න අපේ ඇත්තෝ බොහොම දක්ෂ වුනු නිසාත් කියලා හිතන්න පුලුවන්.




ස්පෝර්ට්ස් යුටිලිටි වෙහිකල් මාදිලියේ ඉතිහාසය තරමක් සංකීර්ණයි. එහෙම වෙන්න හේතුව SUV එකක් කියන්නේ මොන විධියේ වාහනයකටද කියන එක ගැන එකඟතාවයක් නැතිවීම. සමහර විචාරකයින්ට අනුව දිග වීල් බේස් එකක් සහිත,  4x4 ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තියෙන, 6 දෙනෙකුට විතර යන්න පුලුවන්, ස්ටේෂන් වැගන් ආකාරයෙන් පසුපස බූට් එක (ඩිකිය)  බඩු ගෙනියන්න පුලුවන් විධියට ආවරණය කරලා හදලා තියෙන වාහන SUV වෙනවා. 

ඒ ආකාරයෙන් SUV අර්ථ දැක්වූවොත් 1935දී හඳුන්වලා දුන්න Chevrolet Carryall Suburban වාහනය ඇමරිකාවෙත්, 1938දී රුසියාවේ නිර්මාණය කල GAZ-61 වාහනයත් ලෝකෙ පැරණිම SUV විධියට හඳුන්වලා දෙන්න පුලුවන්.

Chevrolet Carryall Suburban (1935, USA)

රුසියන් GAZ 61  (1938, 4×4)
1946දී විලිස් ජීප් සමාගම (ජීප් සන්නාමයේ නිර්මාතෲ) හඳුන්වලාදීපු විලිස් Jeep Station Wagon මාදිලිය 1946 ඉඳන් 1981 වෙනතෙක්ම ලෝකයේ රටවල් ගණනාවක නිෂ්පාදනය වුනු බොහෝම ජනප්‍රිය SUV එකක්.

Willis Jeep Station Wagon (1946)
SUV කියන වාහන මාදිලියට දෙන්න පුලුවන් තවත් අර්ථදැක්වීමක් වෙන්නේ;

"දිග වීල් බේස් එකක් සහිත,  4x4 ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තියෙන, 6 දෙනෙකුට විතර යන්න පුලුවන්, ස්ටේෂන් වැගන් ආකාරයෙන් පසුපස බූට් එක (ඩිකිය)  බඩු ගෙනියන්න පුලුවන් විධියට ආවරණය කරලා හදලා තියෙන, සැලූන් කාර් රථයක් වගේ සුවපහසුවෙන් මගීන් ගෙන යන්න පුලුවන්; එහෙත් කැලෑබද පෙදෙස් වල, රළු පාරවල්වල, 4 x 4 වාහන වලට විතරක් යන්න පුලුවන් පැතිවලත් අපහසුවකින් තොරව යන්න පුලුවන් වාහන මාදිලියක්"

කෙටියන් කියනවා නම් කාර් එකක තියෙන සැප ගන්න ගමන් ඕෆ් රෝඩ් වාහනයකින් ගන්න පුලුවන් ත්‍රිල් එක ගන්න පුලුවන් වාහනයක් තමයි SUV කියලා හඳුන්වන්නේ.  මේ අර්ථ දැක්වීමට අනුව ලෝකෙ පලමුවෙනි SUV එක විධියට ගන්න පුලුවන් වෙන්නේ 1962දී හඳුන්වාදීපු ජීප් වැගනියර් වාහනය බවයි ලෝකයේ පිලිගැනීම.

Jeep Wagoneer
1960 ගණන් වෙනකොට ඇමරිකාවේ වගේම කැනඩාව, ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව, බ්‍රසීලය වගේ අතිවිශාල භූමි ප්‍රදේශයන් ඇති රටවල ජනප්‍රිය වෙලා තිබුණු  4x4 වාහන ශක්තිමත්, ඕනෑ තැනක යන්න පුලුවන් වාහන වුනත්, ඒවායේ සුවපහසුව බොහෝම අඩුවෙන් තිබුණේ. ඒවා හදලා තිබුණේ ඈත පලාත්වල ජීවත් වෙන, රළු ජීවිත ගතකරන, දුෂ්කර රැකියා කරන අයගේ එදිනෙදා ජීවිතයට වාහනයකින් ලැබෙන්න ඕනෙ ප්‍රයෝජන ලබාදෙන, බොහොම විශ්වාස වන්තව ක්‍රියාත්මක වෙන වාහන විධියට. මේ වගේ අය සුව පහසුව ගැන එතරම් උනන්දුවුන අය නෙමෙයි.

විලිස් ජීප් සන්නාමයේ මුල් අයිතිකාර සමාගම වූ Willys-Overland Motors සමාගම, මේ රළු ජීවිතවලට නිර්මාණය කරලා තියෙන වාහන වල ඇති ආරක්ෂාව, විශ්වාසවන්ත භාවය හා ක්‍රියා හැකියාවන් ඒ විධියටම තියෙන, ඒත් නගරයේ රැකියාවන් කරන, සුවපහසුව ගමන් බිමන් යන්න කැමති අයට සුදුසු වාහනයක් හැදුවොත් තම ආදායම වැඩිකරන ගන්න පුලුවන් කියලා කල්පනා කරලා තමයි වැගනියර් මාදිලිය හඳුන්වලා දුන්නේ.

වාහනය මාකට් එකට හඳුන්වලා දුන්නේ උදේ හවස වැඩට යන්න වගේම දරුපවුලත් එක්ක නිවාඩුවකට යනකොට ගෙනියන බෝට්ටුව, කෑම්පින් යන්න ඕනෑ කූඩාරම් බඩු කට්ටල, බාබකිව් කට්ටල වගේ දේවල් අරගෙන කාර් එකකට යන්න බැරි සුන්දර එහෙත් දුෂ්කර ඈත පලාත්වල ඇවිදින්න යන්න හොඳම වාහනයක් විධියට.


ජීප් වැගනියර් වාහනය නිර්මාණය කරන්න විලිස් සමාගම, 1960 ගණන්වල දක්ෂ කාර්මික නිර්මාණකරුවෙකු (industrial designer) ලෙස නමක් දිනාගෙන සිටි බෲක් ස්ටීවන්ස් බඳවා ගත්තා. ඔහු නිර්මාණය කරපු වැගනියර් මාදිලියේ පලමු වාහනය 1962 අවුරුද්දේ අලෙවි වුනා. සුව පහසු ඉඩක් ඇති, බොහොම සිත්ගන්නා සුලු අප්-හෝස්ට්‍රි හා ඇතුලත නිර්මාණයක් සමග එලි දැක්වුනු වැගනියර් වාහනයේ එකල සුවපහසු සිඩෑන් කාර්වල තිබූ සියලුම පහසුකම් තිබුණා. ඒවගේම වාහනේ පිටත නිර්මාණයත් බොහොම සිත්ගන්නා සුලු විධියට කරන්න බෲක් ස්ටීවන්ස් සමත්වුනා.




නගරයේ එදිනෙදා ධාවනය සුදුසු වෙන සිත්ගන්නා සුළු බාහිර නිමාවත්, සුවපහසු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත අභ්‍යන්තර නිමාවත්, ශක්තිමත් වානේ බඳ, බඩු ගෙනියන හුඩ් රැක්, අමතර ලාම්පු, බලසම්පන්න එන්ජිම හා 4 x 4 ට්‍රාන්ස්මිෂන් එක නිසා ජීප් වැගනියර් මාදිලිය outdoor lifestyle එකට කැමති, නගරයේ ජීවත්වෙමින් රැකියා කරන, නිවාඩුවට ඈත පලාත්වල ඇවිදින්න, සංචාරය කරන්න යන පුද්ගලයින් අතර ඉතාමත් ජනප්‍රිය වුනා. ඒ අනුව නූතන ලක්ෂරි SUV වාහන වල පූර්ව ප්‍රාප්තිකයා විධියට ජීප් වැගනියර් වාහනය හඳුනාගන්න පුලුවන්. 

විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - මිෂන් ඉන් ඇෆ්ඝනිස්ථාන්




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Tuesday, 26 December 2017

HAPPY NEW YEAR 2018 : රස්සාවෙන් අස්වෙලා අලුත් එකක් හොයාගන්න හිතනවද? එහෙනම් හදිසි නොවී මේ ප්‍රශ්ණ තමුන්ගෙන්ම අහලා ඉන්න!


දැන් කරන රස්සාව ගැන තෘප්තියක් නැති, එහෙමත් නැතිනම් ආයතනය තමුන්ට හරියට සලකන්නේ නෑ කියලා හිතන අය අලුත් අවුරුද්දේ කොහොම හරි වඩා හොඳ රස්සාවක් හොයා ගන්නවා කියලා අලුත් අවුරුදු රෙසොලූෂන් එකක් අරගෙන ඇති.

සේවකයින්ට සළකන්න දන්නේ නැති, උද්දඡ්ච මැනේජර්ලා, බොස්ලා ඉන්න තැන් වලින් අයින් වෙලා යන එක හොඳයි. එයාලා පාඩමක් ඉගෙන ගන්නේ ප්‍රයිවට් බස් එකක මිනිස්සු නගිනවා බහිනවා වගේ නිතරම හිටපු අය අස්වෙලා ගිහින් අලුත් අලුත් අය වැඩට ගන්න වෙනකොට. 

මේ ලිපිය ලියන්න හිතුනේ බිස්නස් ඉන්සයිඩර් ව්‍යාපාරික සඟරාවේ පලවෙලා තිබුණ ලිපියක් කියවීමෙන් පස්සෙයි. නත්තල් නිවාඩුවේ ගෙදර ඉන්න ගමන් අලුත් අවුරුද්දේ කරන්න යන දේවල් සැලසුම් කරන ඔබට, රැකියාව ගැන තීරණයක් ගනිද්දි මේ කරුණු වැදගත් වෙයි කියලා හිතනවා. කරුණු දෙකක් ගැන කතා කරන්නයි බලාපොරොත්තුව.

1] මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව වැඩිකල් නොරැඳිය යුතු සමාගම් හඳුනාගන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලා කතාකරමු.

2] දෙවනුව බිස්නස් ඉන්සයිඩර් සඟරාව කියන විධියට රස්සාවෙන් අස්වෙන්න ඕනෙද නැද්ද කියලා තීන්දුවක් ගන්නකොට තමුන්ගෙන්ම අහගන්න ඕනෑ වැදගත් ප්‍රශ්ණ 5ක් ගැන විස්තර දැනගනිමු




විද්‍යා ගවේෂණගේ අත්දැකීම් වලට අනුව - වැඩිකල් නොරැඳිය යුතු සමාගම් 

1] පහලින් ඉන්න සේවකයන් ගැන තැකීමක් නැති, ඔවුන් මෝඩයින්, කම්මැලියන් ලෙස සිතන නොහික්මුණු, උද්දඡ, මැනේජර්ලා ඉන්න සමාගම්. 

මොවුන් හැසිරෙන්නේ එයලා සියල්ල දන්න, සුපිරි හැකියාව ඇති, සුපර් මෑන්ලා නැතිනම් වොන්ඩර් වුමන්ලා විධියට. මේ මැනේජර්ලා මෙහෙම හැසිරෙන්නේ එයාලට උඩින් ඉන්න සීනියර් එක්සෙකටිව්ලා නැතිනම්  ඩිරෙක්ටර්ලා මේ හැසිරීම් වලට අනුබල දෙන නිසා, නැතිනම් දැන දැන අහක බලාගෙන ඉන්න නිසා. 

මේ ලක්ෂණ පෙන්වන්නේ ඔබ රිපෝට් කරන මැනේජර් පමණක් වෙන්න පුලුවන්, සමහර විට හැම මැනේජර් කෙනෙක්ම එහෙම වෙන්නත් පුලුවන්. 

මේවගේ සමාගම් වල දිගටම ඉන්න එක හොඳනෑ. තමුන්ගේ ආත්ම ගෞරවයට හානිකරන, ගරහන තැන් වල ඉන්න එපා. එහෙම ඉන්න කොට තමුනුත් ඒ කාළකන්නි ගතිවලට ඇබ්බැහි වෙන්න පුලුවන්, ඒවගේම තමුන්ගේ හැකියාවන් හා වටිනාකම් ගැන තමුන්ට ඇති ආත්ම විශ්වාසය කඩා වැටෙන්න පුලුවන්.

2] ආයතනයේ ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වය නිතර වැරදි තීන්දු, තීරණ හා උපායමාර්ග ගන්නා අතර, ඒවායින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබීමේ හා සිදුවන මූල්‍ය හා වෙනත් පාඩු වල වගකීම සැමවිටම පහලින් සිටින දෙවෙනි තුන්වෙනි පෙල කළමණාකරුවන් හා සේවක සේවිකාවන් මත පටවන සමාගම්.

මේවගේ සමාගම්වල ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වය හා අධ්‍යක්ෂක මණ්ඩළය හැමවිටම කියන්නේ එයාලාගේ උපායමාර්ග හා තීන්දුවල වැරැද්දක් නැති බවත්, අපේක්ෂිත ප්‍රථිපල නොලැබෙන්නේ එම තීන්දු හා උපායමාර්ග පහලින් සිටින අය නිවැරදිව ක්‍රියාත්මක නොකිරීම නිසා බවත්.

ඔබ සේවය කරන්නේත් මේවගේ සමාගමටකට නම් වැඩිකල් ඉන්න එපා. කවදාක්වත් දියුණු වෙන්නේ නැති, හොඳ පඩියක්, ලොකු බෝනස් එකක්, උසස්වීමක් ලබාගන්න බැරි, කොච්චර වැඩ කරත් හොඳක් අහගන්න නැති මේ වගේ තැන් සෝදාපාලුවෙලා යන්න ඉස්සෙල්ලා පැනගන්න.

3] සේවකයින්ට ලුණු කැඳ බෙදමින්, ලොකු ලොකු පිඟන්වලට බුරියානි බෙදාගෙන තනිවම කන අධ්‍යක්ෂක මණ්ඩල හා ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වයක් සිටින සමාගම්.

සේවකයින්ට ගෙවන්නේ අඩුපඩි. වැටුප් වර්ධක හා වෙනත් දීමනා ඉල්ලුවම එයාලා මීටින් ගොඩක් තියලා, ඩිරෙක්ටර් බෝඩ් එකෙත් ඩිස්කස් කරලා අන්තිමට කියන්නේ වැඩි වැටුප් දෙන්න ආයතනයේ ආදායම මදි, ආදායමට සාපේක්ෂව පිරිවැය වැඩියි, අලෙවිය මදි වගේ කතා.

හැබැයි එහෙම කියන කොට එයාලා පිලිගන්නේ නෑ, අලෙවිය වැඩි කරන්න, ලාභය වැඩි කරන්න, පිරිවැය අඩු කරන්න, ආයතනය වර්ධනය කරන්නට උපායමාර්ග හා සැලසුම් හදලා, සේවකයින් මෙහෙයවන එක එයාලාගේ මුඛ්‍ය වගකීම කියලා. ආයතනයේ වැරදි සියල්ලටම වග කියන්න ඕනෑ සේවකයින් බව නොකියා කියමින්, පුලුවන් තරමට තමයි දෙන්නේ කියලා පෙන්වනවා. 

හැබැයි සේවකයින්ට එහෙම සලකන ගමන්ම;

i. අධ්‍යක්ෂක මණ්ඩලයේ / ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වයේ අය හැමෝම මාසෙකට දෙකකට සැරයක් රට යනවා. ගුවන් ටිකට්, හෝටල් බිල්, ගමන් වියදම් කොම්පැණියෙන් අරගන්නවා. එහෙම රට ගියා කියලා ආයතනයට අලුතෙන් අරගෙන එන ගැනුම් කරුවන්, අලුත් තාක්ෂණය, අලුත් දැනුම, අලුත් ආයෝජන කියලා දෙයක් නෑ. සමහර වෙලාවට රට යන්නේ පවුල් පිටින්. බිල් කොම්පැණියෙන්.

ii. අධ්‍යක්ශක මණ්ඩලයට, ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වයට අලුත් අලුත් කාර් ලැබෙනවා. අවුරුදු දෙකකට තුනකට වතාවක් වාහන මාරු කරනවා. වාහන ලීසින්, සර්විස්, රෙපයාර්, ඩ්‍රයිවර්ලාගේ පඩි කොම්පැණියෙන් ගෙවනවා.

iii. කොම්පැණියෙ ඩිරෙක්ටර්ලට, ලොකුම එක්සෙකටිව්ලට කොළඹ තියෙන ලොකු ලොකු ක්ලබ්වල, වෙළඳ සංගම්වල, ඩිරෙක්ටර්ස් ඇසෝසියේෂන් වල, ට්‍රේඩ් ඇසෝසියේෂන් වල සමාජිකත්වය තියෙනවා. ඒවාට අවුරුද්දකට රු.75,000 ඉඳන් 150,000 වෙනකන් සාමාජික ගාස්තු කොම්පැණියෙන් ගෙවනවා. ඒවා වල කනබොන කොටත්, කොන්ෆරන්ස් තියෙනකොටත් බිල එන්නේ කොම්පැණියටමයි. හැබැයි ඒ කිසිම දේකින් කොම්පැණියට වාසියක්, ලාබයක් එන්නේ නෑ. බිල් ගෙවනවා විතරයි.

iv. ලොකු ලොක්කන්ගේ ගෙවල් කුලී, ළමයින්ගේ ඉන්ටර්නැෂනල් ස්කූල් ෆීස්, ගෙදර ලයිට් බිල්,වතුර බිල්, ටෙලිෆෝන් ඉන්ටර්නෙට් බිල්, ජිම් එකේ, ස්විමින් පූල් එකේ ගාස්තු පවා ගෙවන්නේ කොම්පැණියෙන්. ඒවාට කියන්නේ ඩිරෙක්ටර්ලට, සීනියර් එක්සෙකටිව්ලට සමාගමෙන් ලබාදෙන "ෆින්ජ් බෙනිෆිට්ස් - අමතර වාසි/පහසුකම්" කියලයි. හැබැයි ඉතින් ප්‍රොෆෙෂනල් විභාගයක් කරන කොල්ලෙක් කෙල්ලෙක් එක්සෑම් ෆීස් ගෙවාගන්න පොඩි උදව්වක් ඉල්ලුවොත්............ඉල්ලලම බලන්නකෝ...

ඔබ සේවය කරන්නේත් මේවගේ සමාගමටකට නම් වැඩිකල් ඉන්න එපා.  මේ සමාගම් වල ලොකු ලොක්කෝ ජීවත්වෙන්නේ සමාගමේ සාරය උරාගන්න විතරයි. සමාගම දියුණු කරන්න, ආයෝජනය කරන්න, උඩට ගන්නන්න එයාලට උවමනාවක් නෑ. එයාලගේ බිල් ගෙවාගන්න තරම් ආදායමක් ආවහම එයාලට හොඳටම ඇති. ඉක්මණට හොඳ තැනක් හොයාගෙන අස්වෙලා යන්න.

Business Insider සඟරාවට අනුව රස්සාවෙන් අස්වෙන්න තීරණය කරන්න ඉස්සෙල්ලා තමුන්ගෙන්ම අසාගන්න ඕනෑ ප්‍රශ්ණ 5ක්

1] දැනට ඔබ මුහුණ දෙන ගැටලුව තාවකාලික එකක්ද, නැතිනම් දීර්ඝකාලීන එකක්ද කියන එක?

ඕනෑම රැකියාවක, වෘත්තියක කාලෙන් කාලෙට එක එක ගැටලු පැන නැගිනවා. ඒවා සමහර වෙලාවට දැඩි ආතතියක් ගෙන එනවා. දැඩි පීඩනයක් එල්ල වෙනවා. ඉහල නිළධාරීන් සමගත් අනවබෝධ ඇතිවෙන්න පුලුවන්. ඒත් ඔබ සිතිය යුත්තේ මේ සිදුවීම් අවසානයක් දකින්නට පුලුවන් ඒවාද නැතිනම් අවුරුදු ගණනාවක් පැවතිය හැකි ඒවාද කියන එක.

2] ගැටලුව ආයතනයේ කළමණාකාරිත්වයේ ආකල්ප, කර්මාණ්තයට සිදුවී ඇති පසුබෑම වැනි යමක් නිසා ඇතිවීද? එසේත් නැතිනම් වැඩකිරීමට අපහසු කළමණාකරුවන් හෝ කණ්ඩායම් සාමාජිකයින් වැනි පහසුවෙන් වෙනස් කල නොහැකි දේවල් නිසා ඇතිවී ඇත්ද?

මෙවැනි අවස්ථාවලදී සෘණාත්මක බලපෑම දීර්ඝකාලීන වෙන්න පුලුවන්. 

අධ්‍යක්ෂක මණ්ඩලය වැරදි තීන්දු ගන්න, ආයෝජනය නොකරන, ඉදිරි දැක්මක් නැති අයවලුන්ගෙන් සමන්විත නම්, එහෙමත් නැති නම් ඔබගේ කර්මාණ්තය (industry) දැන් කඩාවැටීගෙන යනවානම් තව දුරටත් රැඳී සිටීම ගැන හිතා බලන්න.

ඒවගේම වෙනස් කරන්න අපහසු දේවල් තමයි ඔබ සේවය කල යුතු කළමණාකරු නැතිනම් කණ්ඩායමේ සාමාජිකයින්. 

මෙයාලාව වෙනස් කරන එක බොහෝම අමාරුයි. මැනේජර් කෙනෙක් කොතරම් වැරදි කෙරුවත් ගොඩක් සමාගම් වල මැනේජර් කෙනෙක් වෙනස් වන්නේ කලාතුරකින්. ඒවගේම ටීම් මෙම්බර්ලා. වැඩ කරන්න අමාරු, මහා ගෝතකරුම වගේ ටීම් මෙම්බර්ලා වුනත් අයින් කරන්න බෑ. හරියට කල් ගතවෙන, පැමිණිල්ල කරන කෙනාට වැඩියෙන් ලෙඩ වැටෙන දේවල් ඕවා.

ඒකට හේතුව මොකක්ද දන්නවාද? චාටර් මැනේජර්ලා, චාටර් ටීම් මෙම්බර්ලා අරගන්න සමාගමේ වෙනත් කිසිම දෙපාර්තමේන්තුවක්, ටීම් එකක්, බ්‍රාන්ච් එකක් කැමති නෑ. ලේබර් ලෝ එක අනුව අස්කරන්නත් බැරි නිසා ඔහෙ තියාගෙන ඉන්නවා. ඉතින් ඔබට වැඩ කරන්න වෙලා තියෙන්නේ අපහසු මැනේජර්ලා, ටීම් මෙම්බර්ලා එක්ක නම් යන එක හොඳයි

3] ඔබට ලැබී ඇති කාර්යසාධන ඉලක්ක ලඟාකර ගැනීමට අපහසු, අතාත්වික ඒවාද?

එසේනම්, අතාත්වික ඉලක්ක හඹාගොස් අසාර්ථක සේවකයෙක් යන ලේබලය අලවාගන්නවාට වඩා සාධනීය කාර්යසාධන ඉලක්ක ලබාදෙන සමාගමකට එක්වෙන්න.

4] ඔබගේ පෞද්ගලික වටිනාකම්, ආයතනයේ වටිනාකම් හා සැසඳෙන්නේ නැති අවස්ථාවක් උදාවී ඇත්ද?

සමහරවිට ආයතනය සිය වටිනාකම් හා ක්‍රියාපිලිවෙත් වෙනස් කරගැනීම නිසා මෙතෙක් කල් ඔබගේ පෞද්ගලික වටිනාකම් හා ආයතනයේ වටිනාකම් අතර තිබූ සමපාතවීම අහෝසිවීමට පුලුවන. එසේ නොමැතිනම් යම් කිසි සිදුවීමක් හෝ සිදුවීම් දාමයක් නිසා ඔබගේ පෞද්ගලික වටිනාකම් වෙනස්වී යාමෙන් එය ආයතනයේ වටිනාකම් හා නොපෑහෙන බවක් ඇතිවී තියෙන්න පුලුවන්.

වටිනාකම් නොපෑහීම සේවය කිරීමේදී ඉතාමත් පීඩාකාරී බවක් ඇතිකරයි. 

උදාහරණයක් ලෙස ඔබ සමානාත්වතාවය හා ස්ත්‍රී පක්ෂයට සාධාරණව හා ගෞරවණීය සැලකීම පෞද්ගලික වටිනාකමක් ලෙස ඇති පුද්ගලයෙකු විය හැකිය. සමාගමේ සිදුවූ කළමණාකාරිත්ව වෙනසක් නිසා දැන් පත්වී ඇති ජේෂ්ඨ විධායකයින් ස්ත්‍රී පක්ෂයට අවමන් කරන, ගරු නොකරන, සමානාත්මතාවය වෙනුවට වෙන්කොට සැලකීම ප්‍රගුණ කරන්නට පටන්ගත්තේනම් ඔබට ඒ ආයතනයේ සේවය කිරීම ඉතාමත් අපහසු වනු ඇත.

5] විකල්ප තිබේද? ඒ මොනවාද?

ආයතනය තුල වෙනත් දෙපාර්තමේන්තු, සහෝදර සමාගම් හා ශාඛා තිබෙන්නට පුලුවන. ඒවා තුල ඔබට සරිලන ඇබෑර්තු තිබෙන්නටද පුලුවන. එසේනම් අභ්‍යන්තර මාරුවක් ඉල්ලාගෙන ආයතනයේම සිටිමින් ඔබට ගැටලුකාරී වන පරිසරයෙන් මිදීමට හැකිවේ. මෙය අවදානම අතින් අවම අවදානමක් ගෙනදේ.

වෙනත් ආයතනවල ඔබට සරිලන ඇබෑර්තු තිබේද? ඔවුන්ගේ පඩිනඩි හා සැළකුම් කෙසේද? ඔවුන් බලාපොරොත්තුවන අන්දමේ කාර්යසාධනයක් ඔබට ලබාදිය හැකිද? ඔවුන්ගේ ආයතන සංස්කෘතියට හැඩ ගැසීමට ඔබට පුලුවන්ද? මේවා සොයා බලන්න. විශේෂයෙන්ම ඔබ ඉලක්ක කරන ආයතනයේ දැනට සේවය කරන්නන් හෝ සේවය කොට ඉවත්ව ගිය අයගෙන තොරතුරු දැන ගන්න.


මම මුලින් මගේ අත්දැකීමෙන් කියූ කරුණුත්, මේ කාරණා 5ත් ගැන හොඳට හිතලා බලලා, පරිස්සමෙන්, කළබල නොවී රැකියාව ගැන තීන්දුවක් ගන්න.

රැකියා ඇබෑර්තු ගැන සොයා බලන්න ඕනෑනම් ටොප් ජොබ්ස් වෙබ් අඩවියේ රැකියා විශාල ප්‍රමාණයක ඇබෑර්තු තියෙනවා. ගොඩක් ආයතන තමන්ගේ ඇබෑර්තු ටොප් ජොබ්ස් වෙබ් අඩවියේ ප්‍රචාරය කරන්න පටන් අරගෙන.


සැ.යු: ටොප් ජොබ්ස් අඩවිය හා මා අතර කිසිදු සබඳතාවයක් නොමැත.

I wish successful  job hunting for all of you looking for new jobs in 2018!!!



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Monday, 25 December 2017

HISTORY : නත්තල් කැරොල් වල ඉතිහාසය


නත්තල ලංවෙන කොට ඒ බව හැමෝටම මතක් කරන්නේ ගුවන් විදුලියෙන්, රූපවාහිණියෙන් ඇහෙන නත්තල් කැරොල්. කතෝලික ජනයා ජීවත් වන පලාත්වල නත්තල් රාත්‍රියේ හා ඒ ආසන්න දිනවල කැරොල් ගීතිකා ගායනා සජීවීවම අසන්න පුලුවන්. බොහෝ පෞද්ගලික සමාගම්වලත්, අවුරුද්දේ අන්තිමට පවත්වන නත්තල් සාදයේදී සමාගමේ සේවක සේවිකාවන් එකතුවෙලා නත්තල් කැරොල් කියන එක සම්ප්‍රදායක් වෙලා. 

ඉතින් මේ නත්තල් කැරොල් වල ඉතිහාසය පොඩ්ඩක් විමසලා බලන්නයි සූදානම.

මුලින්ම කැරොල් ගායනා ගැන වාර්තාවෙලා තියෙන්නේ 4වැනි ශතවර්ශයේ රෝමයෙන්. ලතින් භාශාවෙන් ලියැවුනු දේව භක්ති ගායනා රෝමයේ සිදුකරලා තියෙනවා. 9වැනි හා 10වැනි ශතවර්ශවල උතුරු යුරෝපීය තාපසාරාමවල දේව භක්තිය, කිතු උපත පිලිබඳව කාව්‍යයන් ගායනා කරලා තියෙනවා. 12 වැනි ශතවර්ශයේ පැරීසියේ ජීවත්වූ වන සාන්ත වික්ටර්හි ඇඩම් පියතුමා එකල ජනප්‍රිය ගීතවල තනු යොදලා කිතුබැති ගීත නිර්මාණය කරලා තියෙනවා. නූතන කැරොල් සම්ප්‍රදායේ ගැයෙන ගීතවල ආරම්භය මේ විධියට වුනා කියලයි හිතන්නේ.

13වැනි ශතවර්ශයේදී ප්‍රංශයේ, ඉතාලියේ හා ජර්මනියේ, දේශීය භාෂාවලින් ලියැවුනු ජනප්‍රිය බැතිගී ප්‍රවර්ධනය වෙලා තියෙනවා. මේ සඳහා ඇසිසියේ ශාන්ත ෆ්‍රාන්සිස් කියන කිතු පූජකවරයා මුල්වෙලා තියෙනවා.


ක්‍රිස්මස් කැරොල් නැතිනම් නත්තල් බැතිගී මුල් වරට ඉංග්‍රීසි භාශාවෙන් ලියවිලා තියෙන්නේ 1426දී ජෝන් අව්ඩ්ලේ කියන පියතුමාගේ මූලිකත්වයෙන්. එතුමා කිතු බැතිගී 25ක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා, ඒවා ගෙයින් ගෙට යන කණ්ඩායමක් මගින් ගායනා කරවලා තියෙනවා.

අද ජනප්‍රිය වෙලා තියෙන කැරොල් ගීතවල ආරම්භක ගීත, 1582දී මුද්‍රණයවුනු Piae Cantiones නම් පොතේ අඩංගුවෙලා තියෙනවා. මධ්‍යතන යුගයේ ලතින් භාශාවෙන් මුද්‍රණය කොට ඇති මේ පොතෙහි ඇති ගීතවල ඉංග්‍රීසි පරිවර්තන අදත් ගායනා කෙරෙන බවයි කියැවෙන්නේ.

ඇන්ග්ලිකන්, බැප්ටිස්ට්, ප්‍රොටෙස්ටන්ට්, අඩ්වෙන්ටිස්ට්, ලූතරන්, පෙන්ටකොස්ටල් වැනි ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායවල ආරම්භයත් සමග කැරොල් ගායනා ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නේ ඒ නිකායන් දේව භක්තිය වැඩි දියුණු කරන්න සංගීතය උපයෝගී කරගන්නට උනන්දුවුනු නිසාලු.

19වැනි ශතවර්ශයේදී මුද්‍රණ තාක්ෂණය දියුණු වෙලා, පොත්පත් සුලභ වෙන්න පටන් ගත්තට පස්සේ පලවුනු නත්තල් ගීතිකා පොත්, කැරොල් ගීත සම්ප්‍රදාය තවත් ජනප්‍රිය කරන්න හේතු වුනා. 1871දී පලකල "Christmas Carols, New and Old" පොත වික්ටෝරියානු යුගයේ බ්‍රිතාන්‍යයේ නත්තල් කැරොල් සම්ප්‍රදාය දියුණු මට්ටමකට ගෙන එන්නට බොහෝ සෙයින් දායක වුනා කියලා කියනවා.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුනාට පස්සේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායන් ලංකාවේ ස්ථාපිත වෙලා, බ්‍රිතාන්‍ය කැරොල් සම්ප්‍රදායන් ලංකාවේ ස්ථාපිත වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.

බෞද්ධයන් වෙසක් එකට, පොසොන් එකට ගායනා කරන වෙසක් බැතිගී නත්තල් කැරොල් ආභාශයෙන් ඇතිවුනු එකක් කියලා පොත පතෙහි සඳහන් වෙනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...