Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 30 April 2016

Science Quick Bites : ඇමරිකන් යුධ හමුදාවට නුදුරු අනාගතයේ ලැබෙන යුධ රථ තාක්ශණය - Ground X-Vehicle Technology (GXV-T)



 Ground X-Vehicle Technology (GXV-T) යනු අමෙරිකානු හමුදාවන්ට සතුරු ප්‍රහාරවලින් ආරක්ශාවී, අනාරක්ශිත ප්‍රදේශ හරහා ගමන්කල හැකි යුධ රථ හා යුධ ටැංකි නිර්මාණය සඳහා අවශ්‍ය නවතම තාක්ශණය නිර්මාණය කරගැනීමේ වැඩසටහනකි. සුප්‍රකට ඩාර්පා ආයතනය විසින් මෙහෙයවන මෙම වැඩසටහනේ ඉලක්ක වන්නේ අමෙරිකානු හමුදාවන් ඉරාකයේදී හා ඇෆ්ඝනිස්ථානයේදී මෙහෙයුම් වලදී මුහණදීමට සිදුවූ බිහිසුණු ජීවිත හානි අවම කරගැනීමයි.

මෙම රටවල් දෙක ආක්‍රමණය කල අමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදාවල සෙබල ජිවිත ඉතා වැඩි ප්‍රතිශතයක් විනාශවූයේ යුධ ගැටුම් වලදී නොව අනාරක්ශිත ප්‍රදේෂ හරහා ගමන් ක්‍රිරීමේදී එල්ලවූ ආර්.පී.ජී රොකට් ප්‍රහාර, බිම්බෝම්බ හා වෙනත් මර උගුල් වලට හසුවීමෙනි. යුධ රථ තුල ගමන් ගැනීමේදී අවට සිදුවන දෑ පිලිබඳ අවධානය (situational awareness) ඉතා අවම වන අතර මෙම වාසියෙන් ප්‍රයෝජන ගත් ඇෆ්ඝන් හා ඉරාක සටන්කාමීන් අමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදාවලට ජීවිත රැසක් අහිමි කලා.

දැනට යුධ රථ ආරකශා කිරීම සඳහා ඇති එකම ක්‍රමය රථයේ බඳට ඉතා ඝණ වානේ තහඩු ඇල්ලීම වන අතර මෙමගින් ලැබෙන ආරක්ශාව එතරම් සාර්ථක නොවන්නේ නූතන යුධරථ නාශක රොකට් අවි ඉතා බලසම්පන්න, සන්නාහ සිදුරුකල හැකි (Armour Piercing) තාක්ශණයෙන් නිර්මාණය කොට ඇති බැවිනි. මෙවැනි අවි ඉතා සුලබ අතර එතරම් මූල්‍ය ශක්තියක් නොමැති ප්‍රාදේශීය සටන්කාමීන් සතුව පවා මෙම අවි පවතිනවා.

ඝණකම් තහඩු සවිකිරීමෙන් වන තවත් අවාසියක් නම් රථයේ බර ඉතා විශාල ලෙස වැඩිවීම නිසා එයට ගමන් කල හැකි ප්‍රදේෂ සීමාවනවා පමණක් නොව, ඒවා යුධ බිම වෙත ප්‍රවාහණයද ඉතා විශාල වියදමක් දැරිය යුතු මෙහෙයුමක් වනවා.



ඩාර්පා GXV-T වැඩසටහන මෙම ගැටලුව සඳහා තාක්ශණික විසඳුම් සෙවීම සඳහා ඇතිකොට තිබෙනවා.
මෙහි තාක්ශණික අරමුණු ලෙස ඩාර්පා ආයතනය හා අමෙරිකානු යුධ හමුදාව ලබාදී ඇති ඉලක්ක වන්නේ;

1] යුධ රථවල බර 50% අඩු කිරීමට හැකි තාක්ශණයන් නිර්මාණය

2] රථය පැදවීම හා ආරක්ශාකිරීම සඳහා අවශ්‍ය සෙබළ ප්‍රමාණය 50% අඩුකිරීම - එනම් රථය පැදවීම හා අවි ක්‍රියාත්මක කල හැකි කෘත්‍රිම බුද්ධි තාක්ශණය නිර්මාණය

3] දැනට යුධ රථවල සාමාන්‍ය වේගයට වඩා දෙගුණයක් වේගයෙන් ධාවනය කල හැකි රථ නිපදවීම

4] ඕනෑම දුශ්කර භූමි ප්‍රදේශයක ගමන් කිරීමට හැකි රථ නිපදවීම

5] රථය සතුරන් හට හඳුනාගත හැකි දෘශ්‍ය, අධෝරක්ත හා ඉලෙක්ට්‍රොනික ආකාර පරාජයකල හැකි ස්ටෙල්ත් තාක්ශණයන් නිපදවීම.




'
'


'
'


__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Science Quick Bites : වසර 150,000කට පෙර මිය ගිය පැරණිතම නියැන්ඩර්තාල් මානවයෙකුගේ සැබෑ රුව දැකගන්න!


හඳුනාගන්න! ඇල්ටමූරා නි‍යැන්ඩර්තාල් මානවයා!

 ඇලටමූරා යනු දකුණු ඉතාලියේ කඳුකර ප්‍රදේශයකි. 1993දී ගල්ගුහා පිරික්සීම විනෝදාංශයක් කරගත් කණ්ඩායමකට මෙම ප්‍රදේශයේ හුණුගල් ගුහාවක තිබූ ඉපැරණි අස්ථි කොටස් කිහිපයක් දැකගන්නට ලැබුණි. මේ පිලිබඳව බළධාරීන් දැනුවත්වූ පසු ඔවුන් මානව-පුරාවිද්‍යාඥයින් මේ පිලිබඳව දැනුවත් කරන ලදී. ඉතාලියේ විශ්වවිද්‍යාල කිහිපයක පුරාවිද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් මෙම අස්ථි පිලිබඳව පර්යේෂණ ආරම්භ කල අතර වසර ගණනාවක් පූරාම මෙම අධ්‍යයනයන් සිදුකරන ලද්දේ ඒවා පවතින හුණුගල් ගුහාවේම වන අතර ඒවා ඉවත්කරගැනීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

කෙසේ වෙතත් 2010දී පර්යේෂකයින් මෙම අස්ථිවලින් කුඩා කොටසක් වෙන්කරගෙන විද්‍යාගාර වෙත ගෙනයාමට අවසර ලබාගත් අතර එම අස්ථි කොටසින් හමුවූ ඩී.එන්.ඒ සාම්පල හා මයිටොකොන්ඩ්‍රියා ආධාරයෙන් එම අස්ථි මීට වසර 150,000කට පෙර මෙම හුණුගල් ගුහාවේ විවරයක් තුලට වැටී සිරවී මිය ගිය නියැන්ඩර්තාල් මානවකයෙකුගේ බව තහවුරු විය.


වසර 150,000ක ඇවෑමෙන් හුණුගල් ගුහාවේ බිත්තිවලට සවිවූ ඇල්ටමූරා නියැන්ඩර්තාලයාගේ අස්ථි දැන් පෙනෙන ආකාරය
දැනට ලැබී ඇති පැරණිම නියැන්ඩර්තාල් ඩී.එන්.ඒ වන මේ මානවයාගේ ඩී.එන්.ඒ ඇසුරින් නියැන්ඩර්තාල් මානවයාගේ පරිණාමය පිලිබඳව වැදගත් තොරතුරු හෙලිවී ඇත. මෙම නියැන්ඩර්තාල් මානවයා, ඉපැරණි නියැන්ඩර්වරයෙකු වන අතර කොට, මහත සිරුරකින්, විශාල හිසකින් මෙන්ම ප්‍රමාණයෙන් විශාල නාසයකින්ද යුතුවූ බව එම අස්ථි ඉතා සූක්ෂමව අධ්‍යයනය කිරීමෙන් හා ඒවායේ පරිමාණයන් මැනගැනීමෙන් පසු තහවුරු වී ඇත. එමෙන්ම මෙම නියැන්ඩර් මානවයාගේ සමහර ගතිලක්ෂණ ඊට පෙර ජීවත්වූ පෞරාණික මානවයෙකු වන හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස් මානවයාගෙන් දකින්නට ලැබුණු ලක්ශණ තිබෙන බව පෙනී ගොස් තිබෙනවා.

එනම් මොහු නූතන නියැන්ඩර් වරයෙකු, එනම් කාලාන්තරය්ක් තිස්සේ නූතන මානවයන් හා මුහුවී යම් පමණකට නූතන මානව දේහ ලක්ශණ ඇත්තෙකු නොව, හෝමෝ සැපියන් පහලවීමට පෙර සිටි මානව ගෝත්‍ර හා මුහුවී ඔවුන්ගේ ගති ලක්ශණ ලබාගත් මානවයෙකි.


හුණුගල් බිත්ති වලට තදින් කාවැදී සවීවී ඇති මෙම අස්ථි එම ස්ථානයෙන් ඉවත්කරගැනීමට උත්සහ නොකොට, ඒවා ඒ ආකාරයෙන්ම තිබියදී මානවයාගේ හැඩරුව පිලිබඳව දත්ත ලබාගැනීම සඳහා ඉතාලියේ විශ්වවිද්‍යාල දෙකක හා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක පුරාවිද්‍යා අංශ ඒකාබද්ධ ව්‍යාපෘතියක් දියත්කල අතර නිවැරදි මිනුම් ගැනීම සඳහා ලේසර් ස්කෑනින් තාක්ශණයද ෆෝටෝග්‍රැමටරි නම් නවීන ඡායාරූපකරණ තාක්ශණයද යොදාගන්නා ලදී. එම මිනුම් හා ඡායාරූප සමග මානවයාගේ ඩී.එන්.ඒ මගින් ලැබූ තොරතුරුද යොදාගෙන ඔහු ජීවතුන් අතර සිටි කාළයේ කෙසේ සිටින්නට ඇතිදැයි ඉතා විද්‍යාත්මකව ඔහුගේ රුව ප්‍රතිනිර්මාණය කොට ඇත.
 

මෙම රුව ප්‍රතිනිර්මාණය කිරීමේ භාරදූර කාර්යය නෙදර්ලන්තයේ ඇඩ්‍රී කෙනිස් හා ඇල්ෆොන්සෝ කෙනිස් යන සොයුරන් දෙදෙනාට පවරන අතර. ප්‍රාග්-ඓතිහාසික මානවයින්ගේ රූ සොබා ප්‍රතිනිර්මාණය කිරීමේ විශේෂඥයින් වන ඔවුන් දෙදෙනා, ඇල්ෆ්ස් කඳුකරයේ අයිස් තට්ටුවක් මතදි හමුවූ ඔට්සි නම් මානවයාගේ රුව ප්‍රතිනිර්මාණයටද දායක විය.

සබැඳි ලිපි - තඹ යුගයේ මියගොස් පරිගණක යුගයේදී මරණ පරීක්ශණයට ලක්වුනු හිම මිනිසා : Ice Man Ötzi
 
__________________________________________________________________________ .  


POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Science Quick Bites : නුදුරු අනාගතයේදීම කෘත්‍රිම බුද්ධි සහයක (AI Assistants) තාක්ෂණය විසින් ස්මාර්ට්ෆෝන් අභාවයට යවනු ඇති - සූන්දර් පිචායි, ගූගල් ප්‍රධාන විධායක නිළධාරී

 
ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සූන්දර් පිචායි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති අමෙරිකානු පරිගණක විශේෂඥයෙකි

මෑතකදී පටන් ඇපල් සමාගමේ ප්‍රධානම වෙළඳ භාණ්ඩයවන අයි-ෆෝනයේ වෙළඳාම අඩුවෙමින් ඇති අතර ඒ අනුව ස්මාර්ට්ෆෝන නැමති උපාංගයේ ජීවන චක්‍රය (product life cycle) උපරිමයට පැමිණ ඇති බවත්, මින් ඉදිරියට ලොව පුරා ස්මාර්ට්ෆෝන විකිණුම් අඩුවෙමින් යනු ඇති බවටත් අණාවැකි පලකරනවා.

 මේ අතර ගූගල් සමාගමේ "Founder's Letter" ලෙසින් හඳුන්වන වාර්ශික විග්‍රහයේ අදහස් පළකරන ගූගල් ප්‍රධාන විධායක සූන්දර් පිචායි, නුදුරු අනාගතයේදී දැන් අප "device" හෙවත් උපාංගය ලෙස හඳුන්වන උපකරණ වර්ගය අභවයට ගොස් ඒ වෙනුවට ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සැනෙන් ඉටුකරදීමට සූදානම් කෘත්‍රිම බුද්ධි සහයකයින් නිර්මාණය වනු ඇති බව පවසනවා.

දැනටමත් ඔබගේ සාක්කුවේ ගෙනයන ස්මාර්ට්ෆෝනයේ කෘත්‍රිම බුද්ධි සහයකයෙකු සිටින බව ඔහු මතක් කරනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝනවල ගූගල් වොයිස් ලෙසත්, ඇපල් ෆෝනවල සිරී ලෙසත්, මයික්‍රෝසොෆ්ට් ෆෝනවල කෝටානා ලෙසත් හඬුන්වන වැඩසටහන් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ගණයට වැටෙනවා.

"Founder's Letter" යනු ගූගල් සමාගමේ සමාරම්භකයින් දෙදෙනා වන ලැරී පේජ් හා සර්ගේ බ්‍රින් සිය සමාගමේ කොටස් හිමියන් හා ඇල්මැතිපාර්ශව (stakeholders) වෙත සිය සමාගමේ ඉදිරි සැළසුම් හා පසුගිය වසරේ වැදගත් සිදුවීම් විග්‍රහ කරමින් ලියන, තොරතුරු තාක්ශණ ලෝකයේ වැදගත්ම බහුලව පරිශීලණය වන වාර්තාවක් වනවා.

එහි දැක්වෙන ආකාරයට ඉදිරි වසර කිහිපයේදී ඩිවයිසස් ලෙස අප හඳුන්ව්න ස්මාර්ට්ෆෝනය, ටැබ්ලටය හෝ ලැප්ටොප් පරිගණකය වෙනුවට කෘත්‍රිම බුද්ධි සහයකයින් යන සංකල්පය ඉදිරියට එනු ඇත. දැනටමත් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයක් කරන ගූගල් සමාගම මිනිසාගේ ජීවිතය පහසු හා ආරක්ශාකරි කරන කෘත්‍රිම බුද්ධි නිර්මාණයේ ඉදිරියෙන් සිටී.

Chinese Go ලෙස හැඳින්වෙන ක්‍රීඩාව චෙස් ක්‍රීඩාවටත් වඩා සංකීර්ණ වන අතර වසර 2500කට පමණ පෙර පැරණි චීනයේ උපත ලැබූ බුද්ධියට හා උපක්‍රමශීලිත්වයට මුල්තැන ලැබෙන ක්‍රීඩාවකි. දැනට මෙම ක්‍රීඩාවේ ලෝක ශූරයා වන්නේ දකුණු කොරියාවේ ලී සෙඩෝල් ක්‍රීඩකයා වන අතර ගූගල් සමාගම නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් වන "AphaGo DeepMind" වැඩසටහන මෙම ක්‍රීඩකයාව පරාජය කොට ජය ලැබීමට සමත්විය.

ලී සෙඩෝල් මිනිස් ශූරයා හා ඇල්ෆාගෝ ඩීප් මයින්ඩ් යන්ත්‍රය අතර Chinese Go තරඟය - වට 5කින් යුතුවූ තරඟයේ වට හතරක් ජයගන්නට ඩීප්මයින්ඩ් යන්ත්‍රය සමත්විය.
සමාරම්භකයින්ගේ ලිපියට ඌණපූරණ සපයන සූන්ඩර් පිචායි සඳහන් කරන අන්දමට ගූගල් සෙවුම් සේවාව තවත් ඉදිරියට ගෙන යාම සඳහා කෘත්‍රිම බුද්ධිය හා ඉගෙනුම ලබන යන්ත්‍ර (learning machines) යන පරිගණක තාක්ශණ තවත් දියුණු කිරීමට ගූගල් කැපවී සිටී. සරල උදාහරණයක් ලෙස ඔබ ගූගල් සිතියම් සේවාවෙන් යම් ව්‍යාපාරික ස්ථානයකට යන මාර්ගය සොයන විට, ඔබ විමසුවත් නැතත් එම ව්‍යාපාරික ස්ථානය විවෘත කර ඇති කාල සීමාව, එය වෙනත් නගරයක හෝ රටක ඇතිනම් එම ප්‍රදේශයේ කාළගුණය, මාර්ග තදබදය වැනි තොරතුරුද ලබාදෙමින් ඔබට සහයවීමට ගූගල් සෙවුම් සේවාව උත්සහ දරයි. එමෙන්ම ඔබගේ පැරණි සෙවුම්, විනෝදාංශ, කැමති අකමැති දෑ මතක තබාගෙන සිටින ගූගල් එම තොරතුරු ආධාරයෙන්ද ඔබට වඩාත් ගැලපෙන දෑ සොයාදෙන්නට උත්සහ කරයි.

එමෙන්ම ගූගල් සමාගම ගූගල් කාර් ලෙස හැඳින්වෙන කෘත්‍රිම බුද්ධියෙන් යුතු රියැදුරු රහිත වාහනයක් නිර්මාණය කරමින් පවතිනවා. ලොව පුරාම දැඩි ගැටලුවක්ව ඇති වාහන තදබදය, රිය අණතුරු නිසා සිදුවන තුවාල, ජීවිත හා දේපොල හානි, වාහනවල පාලනය කෘත්‍රිම බුද්ධි රියැදුරෙකුට භාරදීමෙන් අවම කරගත හැකි බව ගූගල් විශ්වාස කරනවා.

දැනටමත් රියැදුරෙකු රහිතව මහාමාර්ගවල සැතපුම් මිලියනයක් පමණ ධාවනය කොට ඇති ගූගල් කාරයේ කෘත්‍රිම බුද්ධිය හා සංවේදක කොතරම් සූක්ෂම්ද යත් පාර අයිනේ ගමන් කරන බයිසිකල් කරුවෙකු අතින් දෙන සංඥා තේරුම් ගෙන නිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සතුකරගෙන සිටින බව එම ව්‍යාපෘතිය අධ්‍යයනය කොට ඇති විචාරකයින් පවසනවා.

ගූගල් කෘත්‍රිම බුද්ධි පරිගණකය ධාවනය කරන අනුවර්තනය කරන ලද ටොයෝටා ලෙක්සස් රථයක්
2015දී පර්යේෂණ කටයුතු සඳහා ගූගල් විසින්ම නිර්මාණය කරන ලද ගූගල් කාර් රථය

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  


GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Science Quick Bites : අඟහරුගේ 360 Panorama දර්ශණ - අනුග්‍රහය කිව්රියෝසිටි රෝබෝ ගවේෂක





ඉහත පැනෝරාමා වීඩියෝව නැරඹීම සඳහා වීඩියෝවේ "PLAY " සළකුණ ක්ලික් කරන්න. කැමති දිශාවක් නැරඹීම සඳහා කර්සරය ( hand symbol) වීඩීයෝව මත වමට හෝ දකුණට ගෙනයන්න (Press Left Mouse Button and drag cursor left or right).  Zoom කිරීම සඳහා මවිසයේ රෝදය (mouse wheel forward) ඉදිරියට කරකවන්න.

අඟහරුගේ නෞක්ලුෆ්ට් සානුව මත සිට ගන්නා ලදී!

මෙම ඡායාරූප සියල්ලම ගෙන ඇත්තේ 2012 අගෝස්තු අඟහරුමතට ගොඩ බැසීමෙන් පසු  කිව්රියෝසිටි රෝවරය සැපත්වුනු උසම ස්ථානය වන, නෞක්ලුෆ්ට් සානුව ලෙස විද්‍යාඥයින් නම් කොට ඇති ස්ථානයක සිටයි.

නෞක්ලුෆ්ට් සානුව, අඟහරු ග්‍රහයා මත ඇති භූගෝලීය ලක්ශණ පෙන්වන නැමීබියාවේ නෞක්ලුෆ්ට් කඳුකර ප්‍රදේශය වෙනුවෙන් නම් කොට ඇත.

A ලෙස සටහන් කොට ඇති කුඩා ශිඛරය රෝවරයේ සිට කිලෝමීටර් 29ක් පමණ ඈතින් ඇති අතර අඟහරු මුහුදු මට්ටමේ සිට මීටර් 1600ක් උසය.


B ලෙස සටහන් කොට ඇති කුඩා ශිඛරය රෝවරයේ සිට කිලෝමීටර් 28ක් පමණ ඈතින් ඇති අතර අඟහරු මුහුදු මට්ටමේ සිට මීටර් 1200ක් උසය.

C ලෙස සටහන් කොට ඇති කුඩා ශිඛරය රෝවරයේ සිට කිලෝමීටර් 45ක් පමණ ඈතින් ඇති අතර අඟහරු මුහුදු මට්ටමේ සිට මීටර් 1900ක් උසය.





Namib Dune : නැමීබ් වැළිකන්ද අසල - කිව් රියෝසිටි රොබෝවා නැමීබ් වැළිකන්දේ සිදුකරන පර්යේෂණ පෘථිවියෙන් එපිට ග්‍රහලෝකයක වැළිකන්දක් පර්යේෂණයට බඳුන්කරන පලමු වතාව වනවා.

Namib Dune : නැමීබ් වැළිකන්ද





ඇවිද්ද පය දහස්වටී......

2012 අගෝස්තුවේ සිට වසර 4කට වැඩි කාළයක් අඟහරුවාගේ කර්කෂ පොලොවේ කරක්ගැසීම නිසා කිව්රියෝසිටිගේ රෝදවලට සිදුවී ඇති හානි....




__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Wednesday, 27 April 2016

ECTA නිසා වැසෙන ලංකාවේ කර්මාන්ත 20ක් කියන්න පුලුවන්ද?


 ලංකා නිවුස් වෙබ් වෙතින් උපුටාගන්නා ලදී

කාලයක පටන් රටේ ආර්ථිකයට අදාළව බොහෝ දෙනකුගේ අවධානයක් යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත ECTA ගිවිසුම පිළිබඳවය. ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ මත ගැළපීම් බොහෝය. ඒ තුළ පිරිසකට ECTA මාරාන්තිකය. තවත් පිරිසකට රටේ ආර්ථිකය අරබයා සුවිශේෂී ය. කෙසේ වුවත් පක්ෂ විපක්ෂ මත ගැටීම් හමුවේ ECTA පිළිබඳ සංවාදය පෝෂණය වීම අපට අනුව නම් යහපත්ය.

ඒ මත ගැටුම් මත රටට වඩාත් හොඳ දේ දිනා ගැනීමට අවස්ථාව සලසා ගැනීම වෙනුවෙන් ජන මනස සකස් කර ගන්නට ඉඩකඩ ඇති වන නිසාය. මෙවර සත්හඬ ව්‍යාපාරික අවකාශය වෙනුවෙන් මේ ඉඩකඩ වෙන් කරන්නට අප තීරණය කළේ ද ඒ පදනමින්ය.

ඒ වෙනුවෙන් මෙවර අප සම්මුඛ වූයේ ආර්ථික විශ්ලේෂකයකු මෙන්ම විනිමය සහ සුරැකුම්පත් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස් ලෝලිත අබේසිංහ මහතා සමඟය.

ECTA ගිවිසුමේ අහිතකර ලක්ෂණ ගැන විවේචන වැහි වහින පසුබිමේ අපි කැමැතියි ඔබෙන් දැනගන්න ECTA තුළ හිතකර ලක්ෂණ ඇත්තේම නැද්ද යන්න?

පළමුවෙන් අපට අසන්නට ලැබෙන කාරණයක් තමයි මිල අඩු ඉන්දීය භාණ්ඩ අපේ වෙළෙඳපොළ අත්පත් කර ගනී කියන භීතිකාව. ඒ තුළ අපේ කර්මාන්ත වැහෙයි, අපේ නිෂ්පාදකයන් අසරණ වෙයි සහ රට ඉන්දීය භාණ්ඩවල කොලනියක් වෙයි කියලා මැසිවිලි නැගීමක් ඒ තුළ අහන්න ලැබෙනවා. මෙතන දී මේ අය අමතක කරන කාරණයක් තමයි, ඉන්දියාව විවෘත කර ගන්න හදන වෙළෙඳපොළ සහ අපට විවෘත වන වෙළෙඳපොළ අතර වන වෙනස. මේ පන්නයේ ගිවිසුමක් හරහා ඉන්දියාවට විවෘත වෙන්නෙ මිලියන 22 ක වෙළෙඳපොළක්. නමුත් අපට බිලියන 1.3 ක වෙළෙඳපොළක් විවෘත වෙනවා. එහෙම කිව්වත් සමහරු කියනවා ඉන්දියාවට අපනයන සිදු කිරීමේ දී ගැටලූ මතු වෙනවා කියලා. ඒත් ඒක ද්විතීයික කාරණයක්. රටවල් දෙකම එකඟ වීම තුළයි ගිවිසුම නිර්මාණය වෙන්නෙ. ඒ මිස මේක ඉන්දියාව අප මත පටවන ගිවිසුමක් නෙවෙයි.

ඒ නිසයි මං මූලික තර්කයක් ලෙස මතු කරන්නෙ, බිලියන 1.3 ක වෙළෙඳපොළකට අපට භාණ්ඩ සපයන්න අවස්ථාව ලැබෙන විට අපි ඇයි මිලියන 22ක වෙළෙඳපොළක ව්‍යාපාර ආයතන කිහිපයක වෙළෙඳ පංගුව ගැන සිතමින් බිලියන 1.3 වෙළෙඳපොළ ප්‍රතික්ෂේප කරන්නෙ කියන කාරණය.

ඒ වගේම මං ඔය ECTA විරෝධයේ සිටින විද්වතුන් කියන අයගෙන් අහලා තියන තවත් කාරණයක් තියෙනවා. එය මං මෙතනදීත් මතු කරන්න කැමැතියි. ඒ තමයි මිනිත්තු 5ක කාලයක් අරගෙන ECTA නිසා අනතුරට ලක් වෙන අපේ කර්මාන්ත 20ක් කියන්න කියලා.

අද වෙනකන් මට එහෙම කියන්න පුළුවන් කෙනෙක් හමුවෙලා නෑ. නමුත් අපේ බිස්කට්, සපත්තු වගේ ඉතා සුළු කර්මාන්ත කිහිපයක් වෙත උපරිම 10ක් පමණ කර්මාන්ත පරත මාණයකට සුළු අවදානමක් තියෙනවා.

ඒත් මෙතන දී බලන්න ඕන කාරණය තමයි අපි නිදහස් වෙළෙඳපොළක් තුළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති නම් අනුගමනය කරන් නිෂ්පාදකයන්ට හැකි වෙන්න ඕන පිටරට නිෂ්පාදකයන් සමඟ තරග කරලා තරගකාරී මිලකට නිෂ්පාදන වෙළෙඳපොළට එවන්න. එතැන දී අපිට භාණ්ඩයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් එන්න විදිහක් නෑනෙ. අපිට ප්‍රශ්නයක් එන්නෙ මිල ගණන් සැසඳීමේ දී විතරයි. නමුත් එය පවා සමනය කරගත හැකි අවස්ථා ඕන තරම් තිබෙනවා.

විශේෂයෙන් සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල ඒ වෙනුවෙන් වන නිදර්ශන සහ අත්දැකීම් ඕන තරම් තිබෙනවා. ඒ හරහා දැනට පවතින කුඩා පරිමාණයේ නිෂ්පාදන කර්මාන්ත වෙනුවට ගෝලීය පරිමාණයේ සැපයුම් සිදු කළ හැකි නිෂ්පාදකයන් බිහිකර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් මේ අවස්ථාව පැහැර හැරලා අපි ළිං මැඩියෝ වගේ බයෙන් හැකිළිලා ඉන්න හදන තත්ත්වය අනුමත කරගන්න පුළුවන්ද කියලයි බලන්න ඕන.

ඔබ භාණ්ඩ අංශය ගැන පැහැදිලි කළා. නමුත් ECTA හරහා සේවා අංශයත් විවෘත වෙන බව කියවෙනවා. සේවා ආර්ථිකය විවෘත කිරීම තුළ රටට යම් තර්ජනයක් ඇති වන බවට නැගෙන විවේචනය ප්‍රතික්ෂේප කරනවද?

දැනට සමහරු ඔය කාරණා මතු කරන්නෙ මුළුමනින්ම හිතළුවක් ලෙස අරගෙන. ඒ තුළ ඔළුවට එන හැමදේම කියවමින් සිටිනවා. නමුත් ඕවා අවබෝධ කර ගන්න ඕන ලෝක ආර්ථික අත්දැකීම් පදනම් කරගෙනයි. දැන් බලන්න හොංකොං රට නැවත චීනයට පැවරුණා කියලා මුළු චීනයම ගිහින් හොංකොංවල පදිංචි වුණාද? නැෆ්ටා ගිවිසුම තුළ මුළු මෙක්සිකෝවම ගිහින් එක්සත් ජනපදයේ නැවතුණාද? නැහැ. මුළු මෙක්සිකෝවම ගිහින් කැනඩාවේ නැවතුණාද? නැහැ.

ඔතනදි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇතුළුව ජීවන මට්ටම ඉන්දියාවට වඩා ඉහළයි. ඒ නිසා ප්‍රවණතාවක් මතු වෙන්න පුළුවන් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් වෙනුවෙන් ඉන්දියාවෙන් යම් ප්‍රමාණයක් අප රටට විතැන් වෙන්න. නමුත් එය තීරණය වෙන්නෙ ඉල්ලූම සහ සැපයුම මත.

අපි කැමැතියි තවදුරටත් ඒ කාරණය පැහැදිලි කරනවා නම්?

මං උදාහරණ දෙකකින් ඔය සේවා අංශයේ ඇති විය හැකි තර්ජනය සහ එහි ස්වභාවය පැහැදිලි කරන්නම්. එකක් තමයි දැනටමත් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවක හිඟයක් තිබෙනවා. ඇඟලූම් ක්ෂේත්‍රයේ සේවක හිඟයක් තිබෙනවා. පෞද්ගලික ආරක්ෂක සේවා, වතු කම්කරු ආදී ලෙසින් ක්ෂේත්‍ර කිහිපයකම සේවක හිඟයක් තිබෙනවා. ඒ නිසාම ඒ තුළ ශ්‍රමයේ මිලත් ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසාම මුල ඉඳලම ලංකාවට වාසිදායක තත්ත්වයක් තිබූ කර්මාන්ත ගණනාවක් තර්ජනයට ලක්ව තිබෙනවා. දැන් බලන්න මාස්, බ්‍රැන්ඩෙක්ස් වාගේ ආයතන මේ වෙනකොට අපේ ශ්‍රමිකයන් නැති නිසා බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවල්වලට ආයතන විතැන් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගමන්වලිනුත් කර්මාන්තවලට සුගතියක් තමයි අත්වෙන්නේ.

ඔබ මේ ප්‍රශ්නය දිගටම මතු කරන්නෙ සේවා ආර්ථිකය විවෘත කිරීම අපට අවදානමක්ද සහ එම අවදානම ගන්න අපි බිය විය යුතුද යන කාරණය මතු කරගන්න. මං මේ විදිහට කියන්නම්,

දැන් ඔය ඉන්දීය දත් දොස්තරලා ලංකාවට ඇවිත් පාරේ ඉඳගෙන දත් ගලවනවා වගේ කතා යන්නේ. ඒක මේ කාරණය තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්. 

ඔතනදි අහන්නෙ ලංකාවේ දත් දොස්තර මෙහෙ දී රුපියල් 1000ක් අරගෙන ගලවන දත ඉන්දියාවේ දත් දොස්තර මෙහෙ ඇවිත් රුපියල් 200 ට ගැලෙව්වොත් මෙහෙ දත් දොස්තරට මොකද වෙන්නෙ කියලනෙ.

ඔතනදි වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්. ලෝකයේ ඕනම රටක ඒ රටේ වැටුප් තීරණය වෙන්න ප්‍රධානම නිර්ණායකයක් වෙන්නෙ ඒ රටේ ජීවන වියදම. ඒ මත තමයි වැටුප තීරණය වෙන්නෙ.

දැන් ඔතනදි බලන්න ඕන කාරණය තමයි ඉන්දියාවෙන් එන දත් දොස්තර රුපියල් 200ට දතක් ගලවලා එයාට මෙහෙ තියෙන ජීවන වියදම දරාගන්න පුළුවන්ද කියන කාරණය.

මොකද එයා එන්නෙ ජීවන මට්ටම උසස් කරගන්න. ඉතින් එයාට ඒ බලාපොරොත්තු වන මට්ටමට නිවසක්, වාහනයක් වගේ දේවල් අවශ්‍ය වෙනවා. අන්තර්ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කරන්න, කන්න බොන්න මේ සේරම කරන්න වෙන්නෙ මුදලට. ඉතින් එයාලගේ සේවාවේ අගය තීරණය වෙන්නෙ මේ සේරම එකතු වුණහම නේද?

තවත් සමහරු කියන කතාවක් තමයි ශ්‍රම සූරාකන කඳවුරු තනලා, මේ අයගේ ඒ වියදම් ව්‍යවසායකයන් දරමින් කටයුතු කරයි කියලා. එහෙම කරන්න පුළුවන්. ඒත් ඒ විදිහෙ ශ්‍රම කඳවුරු ව්‍යවසායකයන් බිහි කර ගන්නෙ පදනමක් ඇතුවයි. ව්‍යවසායකයකු එතනට යන්නේ තමන්ට ඒ ශ්‍රමය සපයා ගන්න බල කෙරී ඇති නිසා. දැන් බලන්න මැදපෙරදිග තියෙන්නෙ ඒ වගේ ක්‍රමයක්. එහෙ සමහර සේවා වෙනුවෙන් ශ්‍රමිකයන් හිඟයි. ඒ නිසා ඒ අය ශ්‍රම කඳවුරු පවත්වාගෙන යනවා. ඒ මිස මෙහෙ තියන ශ්‍රමය වෙනුවෙන් කඳවුරු හදාගෙන මොකට නඩත්තු කරන්නද?

ඒ විතරක් නෙවෙයි තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවා වෙනුවෙන් එක ආයතනයක් සේවකයන් 3000ක් වගේ විශාල ප්‍රමාණයක් ඉල්ලන පසුබිමක් ඇති වුණොත් අපිට ඉන්නවද ඒ වෙනුවෙන් සපයන්න ශ්‍රමිකයන්? නෑ. ඉතින් එහෙම පිරිසක් මෙහෙ ආවත් ඒ අය නැවත වියදම් කරන්නෙ මේ රට තුළම නේද? විශේෂයෙන් ඍජු ආයෝජන මේ හරහා අපට ලැබෙන වාසි අප අත්හරින පදනම් තවදුරටත් වලංගුද කියලා මෙතැන දී අහන්න ඕන.

ඔබ අනුමාන කරන ලෙස මේ ECTA විරෝධයේ මූලික පදනම මොකක්ද? ආර්ථික මානයන්ගෙන් එහා ගිය විරෝධයක් අපට මේ තුළ පෙනෙන්නට තිබෙනවා.

ඇත්තටම මං හිතන්නෙත් තාර්කික සහ සැබෑ අනතුරකට වඩා සාම්පරෙන්දායික ඉන්දියානු විරෝධය තමයි මෙතන තිබෙන්නෙ. ඉතිහාසය පුරාම අපි ජානගත කරගෙන සිටිනවා ඉන්දියාව අපට හතුරුකම් කළා, කෙනෙහිලිකම් කළා කියලා. එය දේශපාලනික වශයෙන් බොහෝ දුර ගොස් තිබෙනවා. අපේ ඉතිහාස කතාවම කියන්නෙ අපිව ඉන්දියාව ආකරපා මණය කරනවා, අපේ රජවරු ඔවුන් පලවා හැර රට බේරා ගත්තා කියලා. අපි දිගින් දිගටම අමතක කරනවා මේ තත්ත්වය කියන්නෙ දූපත් රාජ්යහයකට ආවේණික ලක්ෂණයක් බව.

මෙවැනි ගිවිසුමක් වෙත එළඹීම මෙරට ජාත්යෙන්තර ආර්ථික සහ දේශපාලන සම්බන්ධතාවලට මොන විදිහට බලපෑමක් සිදු කරයිද?

දේශපාලන තලයේ දී සිදු විය හැකි බලපෑමක් ලෙස මා දකින කාරණයක් තමයි ඉන්දියාවට අහිතකර දේශපාලන සංස්ථාවක් රට තුළ බිහි වීමට අවස්ථාවක් නොලැබීම. ඒ හැර ආර්ථික වශයෙන් සැලකීමේ දී මගේ විගර රටහය වෙන්නෙ මෙවැනි ගිවිසුම් හරහා රටට අත්වෙන ආර්ථික හානිවලට වඩා ආර්ථික පරෙන්තිලාභ වැඩියි කියන එකයි.

ඒ කොහොමද?

පැහැදිලිවම මේ හරහා මෙරට ග්‍රාමීය සහ ගෘහස්ථ ආර්ථිකය ඉදිරි පිම්මක් පනිනවා. ඒ නව ආර්ථික අවස්ථා උදාවීම තුළ. මොකද දැනට අපේ රටේ විශාල කර්මාන්තශාලා ගොඩනගලා වැඩක් නෑ. ඒ ඊට අවශ්යන වෙළෙඳපොළක් අප රට සතුව නැති නිසා. නමුත් දැවැන්ත ඉන්දීය වෙළෙඳපොළ ඉලක්ක කර මේ රටේ දැවැන්ත කර්මාන්තශාලා හැදුනොත් අපේ මිනිසුන්ට ඒ හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා.

සිලිකන් මෙට්ල් ප්ලාන්ට් එකක් මේ රටේ හදන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි? ඒ තමයි අපි රටක් ලෙස විදුලිය වෙනුවෙන් විශාල පිරිවැයක් දරමින් සිටීම. ඒ මොකද? අපේ වෙළෙඳපොළ විශාල නොවීම. ඉතින් ඒ තුළ අපට තවත් කර්මාන්තයක් අහිමි වෙනවා පමණක් නොවෙයි, අපේ විදුලිබල කර්මාන්තය ලෝකයේ එකම කර්මාන්තය බවට පත්ව සිටින්නේ තමන්ගේ නිෂ්පාදනය අඩුවෙන් පරිභෝජනය කරන්න, එහෙම අඩුවෙන් පරිභෝජනය කරලා තෑගි දිනන්න කියන. දැන් බලන්න අපි රටක් ලෙස දැවැන්ත බලශක්ති නිෂ්පාදනාගාර තැනුවොත් අපිට ඒක අපනයනය කරන්නත් පුළුවන්.

ඒ වගේම අද වන විට ලොව දැවැන්ත ආයතන ආනයනයේ දී කරන ඉල්ලීමක් තිබෙනවා ගොඩබිමකින් යාබද නොවූ යාබද රාජ්යවයකින් අදාළ නිෂ්පාදිතයේ කොටසක් සපයන්න කියලා. අද එය ආනයනය තුළ ලෝක පර අ වණතාවක් බවට පත්ව තිබෙන්නක්. ඒ මොකද යම් සුවිශේෂී තත්ත්වයක් මතු වුවහොත් සැපයුම බිඳ නොවැටී පවත්වා ගැනීමට. ඒ අර්ථයෙනුත් මේ පන්නයේ ගිවිසුම් අපේ රටට අනාගත ආර්ථික හැඩගැසීම්වලට අදාළවත් වාසිදායකයි.


අපි මේ පසුබිමේ තේරුම්ගත යුත්ත තමයි, ඇත්තටම ඉන්දියාව කියන විශාල වෙළෙඳපොළට අවශ්යප අපේ රටෙන් භාණ්ඩ ගන්න. ඒ මිසක් අපි එයාලට සාපේක්ෂව ඉතා කුඩා වෙළෙඳපොළක්. වඩාත් සරලව කියනවා නම් ඉන්දීය වෙළෙඳපොළ මත අපි යැපෙන්න වෙන තත්ත්වයකුයි ඉන්දියාවට අවශ්යෙ. ඒ තුළ ඉන්දීය දේශපාලන සහ ආර්ථික අපේක්ෂා තිබෙනවා. අනෙක් අතට ඉන්දියාව සමඟ අප ගිවිසුම්ගත වීමත් සමඟ අපි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟත් ගිවිසුමකට යන්න අවස්ථාව ලැබෙනවා. එය අනිවාර්යයක්. 
මොකද ඒ ඉන්දියානු භාණ්ඩ හෝ ලංකා භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ හෝ අපනයනය කිරීමේ අපේක්ෂාවක් නෙවෙයි. එය පැහැදිලිවම චීනය මත යැපෙන එක්සත් ජනපද වෙළෙඳපොළ ආරක්ෂා කරගන්න. මෙතන දී ලංකාව වැදගත් වෙන්නෙ ඉන්දියාව සහ ඇමෙරිකාව අතර වන විශාල ආර්ථික හිමි බලවතුන්ගේ සංකීර්ණ සහ කල් ඇදීයන ගිවිසුමකට වඩා ලංකාව වැනි අතරමැදි රටක් හරහා වෙළෙඳ සම්බන්ධතා වඩාත් පහසුවෙන් ඇතිකර ගන්නට හැකි වීම නිසා. ඇත්තටම ලංකාව කියන්නෙ මේ දකුණු ආසියානු ආර්ථිකයේ දොර. 
ඒ දොර අපි රටේ අභිලාශ තේරුම් ගෙන සහ කලාපයේ සහ ගෝලීය තත්ත්වයන් අවබෝධ කරගෙන විවර කර තැබීම තුළ රටට අත්කර ගත හැකි වාසි අති විශාලයි. නිකමට හිතන්න ඇමෙරිකා හෝ යුරෝපා වෙළෙඳපොළක් සහ ඉන්දීය වෙළෙඳපොළ වැනි අතිවිශාල වෙළෙඳපොළ ගනුදෙනු අතර අතරමැදි රටක් වීම තුළ එක් ඩොලරයකින් සත ගණනක් රටට ආවත් ඒ සත ගාණ ආපේ ආර්ථිකය තුළ කොපමණ පෙරළියක් සිදු කරයිද කියලා.
ඒ අය කියන්නෙ සමස්ත රටට ආරාධනා කරන්නෙ චීනයත් එක්ක ගමන යමු කියලා. ඉන්දියාවෙන් එදා කාපු පරිප්පු විතරක් නෙවෙයි චීන ණය නිසා අද කන පරිප්පුවත් මේ අයට අමතක වෙලා. ඒ වගේම පටු දේශපාලන ස්ථාවරයන් හමුවේ ඒ සැබෑව සඟවන්න මේ අය කටයුතු කරමින් සිටිනවා. මේ සමහර අයට ඒ තත්ත්වය හිතාගන්නවත් බෑ. ඒකයි මේ විරෝධයේ තියෙන අතාර්කික ඝෝෂාව.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .

  FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Tuesday, 26 April 2016

අමෙරිකාව හා රුසියාව හිට්ලර්ගේ නට්සි ජර්මනියෙන් ලබාගත් යුධ තාක්ශණය.

ඔපරේෂන් පේපර් ක්ලිප් - යුධ අපරාධ වලට සම්බන්ධ නට්සි විද්‍යාඥයින් හා ඔවුන්ගේ තාක්ශණික දැනුම ලබාගැනීම සඳහා ඔවුන් රහසේ අමෙරිකාවට ගෙන ආ මෙහෙයුම

දෙවන ලෝක යුධ සමයේදී අමෙරිකානු විදෙස් ඔත්තුසේවාව ලෙස ක්‍රියාකලේ OSS ආයතනයයි. OSS හෙවත් Office of Strategic Services සී.අයි.ඒ සංවිධානයේ පූර්වගාමී ආයතනය වනවා. දෙවන ලෝක යුධ සමයේදී නට්සි ජර්මනියේ ඔත්තු සේවා සඳහා පිහිටවුනු මෙම ආයතනය යුද්ධයෙන් අනතුරුව පරාජිත නට්සි ජර්මනියේ විද්‍යාඥයින් විසින් හිට්ලර්ගේ යුධ යන්ත්‍රය සඳහා නිමවා තිබුණු අපූර්ව යුධ තාක්ශණයන් හා එම තාක්ශණයන් නිමැවූ විද්‍යාඥයින් මෙන්ම ඔවුන්ගේ පර්යේෂණාගාර පවා අමෙරිකාව වෙත පටවා යැවීමට දැවැන්ත කාර්යභාරයක් ඉටුකලා.

නීල් ආම්ස්ට්‍රෝං සඳ වෙත ගෙනගිය දැවැන්ත සැටර්න් 5 රොකට්ටුව නිර්මාණය කල, ඊට වසර 25කට පෙර හිට්ලර්ගේ උමතු යුධ සැළසුම් සඳහා ලන්ඩනය සුන්බුන් කල ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය වන V2 රොකට්ටුව නිර්මාණය කල වර්නර් වොන් බ්‍රෝන් හා ඔහුගේ සහයක විද්‍යාඥයින් හා රොකට් විශේෂඥයින් නට්සීන් ගේ යුධ අපරාද සඳහා දඬුවම් කිරීමට පිහිටුවා තිබූ නියුරම්බර්ග් යුද්ධාදිකරණයට හසුනොවන ලෙස සඟවාගෙන අමෙරිකාවට ගෙන ආවේද ඕ.එස්.එස් ආයතනයයි.

Operation Paperclip හෙවත් ඇමිණුම් කටු මෙහෙයුම ලෙස හැඳින්වුනු මෙම මෙහෙයුම හරහා දරුණු ගණයේ යුධ අපරාධවලට සම්බන්ධවුනු නට්සි විද්‍යාඥයින් පවා ඔවුන්ගේ යුධ අපරාද පිලිබඳව තොරතුරු සඟවා රහසින් අමෙරිකාව ගෙන ආ ලද්දේ ඔවුන්ගේ පර්යේශණ හා නව නිර්මාණ හැකියාවන් අමෙරිකාවට ලබාගැනීම සඳහායි.

ජර්මනිය පසු බැස ගිය සෑම ප්‍රදේශයකටම ඉතා ඉක්මණින් පැමිණි OSS නියෝජිතයින්, එම ප්‍රදේශවල තිබූ සියලුම නට්සි ජර්මන් පර්යේෂණාගාර, විද්‍යාගාර හා යුධ මෙහෙයුම් සඳහා විවිධ දෑ නිපදවූ කර්මාණ්තශාලා තමන් යටතට ගෙන, ඒවායේ තිබූ, අමෙරිකානු තාක්ශණය දියුණු කල හැකි සියලුම උපකරණ හා ද්‍රව්‍ය අමෙරිකාවට පැටවූවා. එමෙන්ම ජර්මනියේ කීර්තිමත් විද්‍යාඥයින් හා තාක්ශණ ශිල්පීන්ගේ නම් හා ඡායාරූප යුධ සිරකරුවන් රඳවා තබාගත් සියලුම කඳවුරු වෙතට ඔවුන් විසින් යවා තිබූ අතර එම ලයිස්තුවල සිටින පුද්ගලයින් යටත්වී සිටීනම් වහාම දන්වන ලෙස එම කඳවුරු භාර නිළධාරීන්ට නියෝග යවා තිබුණා.

අමෙරිකාව මෙන්ම සෝවියට් දේශයත් මෙවැනිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා. ඔවුන් අල්ලාගත් ජර්මන් ප්‍රදේශ පීරූ සෝවියට් නිළධාරීන් වැදගත් යයි හැඟෙන සියල්ල මොස්කව් නුවරට පටවා යැව්වා.

ගමන් කරන ඉලක්කයකට නිවැරදිව පහරදිය හැකි නියෙමු බෝම්බ තාක්ශණය - Guided bomb technology that can accurately hit a moving target

නට්සි විද්‍යාඥයින් නිපදවූ ෆ්‍රිට්ස්-එක්ස් (Fritz X) නම් ලොව ප්‍රථම රැහැන් රහිත නියෙමු බෝම්බය
1943දී ජර්මානු ගුවන්හමුදාව නිපදවූ ෆ්‍රිට්ස් එක්ස් බෝම්බය ලොව පලමු රැහැන් රහිතව ගමන් කරන ඉලක්කයකට එල්ල කල හැකි බෝම්බය වනවා. ගුවන් යානයෙන් බෝම්බය නිදහස් කල පසු යානයේ සිටින මෙහෙයවන්නෙකුට බෝම්බය රේඩියෝ සංඥා ආධාරයෙන් ඉලක්කය වෙත යැවිය හැකි වූවා.

ජර්මන් නාවික හමුදාවද 1943 වනවිට සිය යූ-බෝට් සබ්මැරීන වලට නියෙමු ටෝර්පිඩෝ බෝම්බයක් හඳුන්වාදී තිබුණා. Zaunkoenig ලෙස නම්කොට ඇති මෙය සෝනාර් නම් ශබ්ද තරංග ආධාරයෙන් ඉලක්කය සොයාගන්නා ටෝර්පිඩෝවක් වූවා.

දිගුදුර බැලිස්ටික් මිසයිල තාක්ශණය

V2 ලොව පලමු බැලිස්ටික් මිසයිලය - 1943

දෙවන ලෝක යුද්ධයේදී, සියලුම පාර්ශව කෙටි දුර රොකට් අවි භාවිතා කලද, ඉතා ඈත ඇති ඉලක්කයක් වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා තාක්ශණය නිර්මාණය කිරීමේ අදහස ඇතිවූයේ ජර්මානුවන්ට පමණකි. ඒ සඳහා ඔවුන් නිර්මාණය කල රොකට්ටුව වන්නේ සුප්‍රකට V2 රොකට්ටුවයි. මෙය ලොව පලමු බැලිස්ටික් මිසයිලය ලෙස පිලිගැනෙන අතර මෙවැනි රොකට්ටු දහස් ගණනක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සුන්බුන් ගොඩක් කිරීමට දායක වූවා. මීට අමතරව රොකට් එන්ජිමක් ආධාරයෙන් ගුවන්යානයක් මෙන් ඉලක්කය වෙත පියාසර කරන V1 ගුවන්යානා බෝම්බය ලොව පලමු කෲස් මිසයිලය ලෙස පිලිගැනෙනවා.

V1 නට්සි ජර්මන් කෲස් මිසයිලය - 1944
 මෙම අවි දෙකම නිර්මාණය කල වර්න්හර් වොන් බ්‍රෝන් හා ඔහුගේ දක්ශම රොකට් ඉන්ජිනේරුවන් කණ්ඩායම OSS ආයතනයේ පේපර්ක්ලිප් මෙහෙයුම හරහා අමෙරිකාවට පැමිණ ඇමරිකන් ආරක්ශක දෙපාර්තමේන්තුවට හා නාසා ආයතනයට රොකට් නිර්මාණය ආරම්භකලා.


ලෝකයේ පලමු යුධ හෙලිකොප්ටරය - Flettner Fl 282


1942 වසරේදී හඳුන්වාදුන් ෆ්ලෙට්නර් කොලිබ්‍රි හෙලිකොප්ටරය ලොව පලමුවෙන්ම යුධසේවා සඳහා අනුයුක්ත කරගන්නා ලද ප්‍රායෝගික හෙලිකොප්ටරය ලෙස පිලිගන්නවා. ඔත්තු බැලීම, නෞකාවලින් ගොඩබිමට භාණ්ඩ ප්‍රවාහණය, සතුරු හමුදාවල ස්ථානගතවීම් නිරීක්ශණය වැනි රාජකාරි මෙම හෙලිකොප්ටරයට පැවරුනා. එමෙන්ම ජර්මන් නාවික හමුදාව මෙම හෙලිකොප්ටර් සතුරු සබ්මැරීන නිරීක්ශණය සඳහා යෙදවීමේ සූදානමක් තිබුණා.

යුධ බිමේදී මෙම හෙලිකොප්ටරයේ වටිනාකම තහවුරුවීම නිසා 1944දී නට්සි ජර්මන් ගුවන් හමුදාව මෙම හෙලිකොප්ටර් 1000ක් නිශ්පාදනය සඳහා ඇණවුමක් නිකුත්කලා. කෙසේවෙතත් මෙම යානා වලින් වැඩිකොටසක් නිශ්පාදනය කිරීමට සැලසුම්කොට තිබූ මියුනික් නුවර BMW ගුවන්යානා කර්මාණ්තශාලාව ගුවන් ආක්‍රමණයකින් විනාශවීයාම නිසා ෆ්ලෙට්නර් කොලිබ්‍රි හෙලිකොප්ටරය මහාපරිමාණයෙන් නිශ්පාදනය කිරීම ඇණහිටියා.

මෙම හෙලිකොප්ටරය නිර්මාණය කල ඇන්ටන් ෆෙලෙට්නර් 1945දී ඇමරිකාවේ පදිංචියට ගොස් එහි ගුවන්යානා සමාගමක් වූ කාමන් එයාක්‍රෆ්ට් සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරු තනතුරට පත්වූවා.

Messerschmitt Me 262 - ලෝකයේ පලමු ජෙට් ප්‍රහාරක යානය 


පලමුවෙන්ම ප්‍රහාරක මෙහෙයුම් සඳහා යොදාගත් ප්‍රායෝගික ජෙට් ප්‍රහාරක යානාව වන්නේ නට්සි ගුවන්හමුදාවේ මෙසර්ෂ්මිට් 262 යානයයි. අධික වේගයෙන් පියසැරීමේ හැකියාව නිසා මෙසර්ෂ්මිට් යානා මිත්‍ර හමුදාවල බෝම්බ ප්‍රහාරක යානා සමූහවලට විශාල හානියක් සිදුකිරීමට සමත්වුනා.

යුද්ධය අවසන් වෙත්දී මෙසර්ෂ්මිට් යානා විශාල සංඛ්‍යාවක් ජර්මනියේ විවිධ ගුවන් පථවල අතහැර දමා තිබූ අතර අමෙරිකානු, සෝවියට් හා බ්‍රිත්‍යාන්‍ය හමුදා ඒවා සිය රටවල්වලට පටවා හැරියා.  

රාත්‍රියට පෙනුම ලබාදෙන නයිට් විෂන් - Zielgerät 1229 (Vampir)

1944දී නට්සි ස්නයිපර් බළකායට ලබාදුන් සීල්ගෙරාට් 1229 (රහස් කේතය: වැම්පීර්) අධෝරක්ත නයිට්විෂන් උපකරණය. මෙය ස්ටර්ම්ගෙවර් 44 ඇසෝල්ට් රයිෆලයට සවිකිරීම සඳහා නිර්මාණය කොට තිබුණි




__________________________________________________________________________ .  


POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Sunday, 24 April 2016

ඩ්‍රයිවර් නැති චීන යූටොන්ග් බස් එක හා තවත් ප්‍රබන්ධ නොවන විද්‍යා කතා.


ජර්මානුවන්ගේ Audi A7 Robo Car

ජර්මානු සුඛෝපභෝගී කාර් සමාගමක් වන අව්ඩි මෑතකදී සිය A7 මාදිලියේ රොබෝ කාරය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ලාස් වේගාස් නුවර දක්වා සැතපුම් 500ක දුරක් ස්වයංක්‍රීය ධාවනයේ යෙදුනා.


Audi Piloted Driving ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ අධිවේගී මාර්ගවල (expressways) රියදුරාගේ ආධාරයක් නොමැතිව ස්වයංක්‍රීයව ධාවන පථයේ ගමන් කිරීම, ඉස්සර කිරීම, වේගයෙන් යන වාහනවලට ඉඩදීම, මාර්ග සංඥාවලදී නැවැත්වීම හා ගමන් කිරීම යනාදී ක්‍රියාකාරකම් තනිවම සිදුකල හැකියි. කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය අනුව රෝබෝ වාහන අත්හදා බලන සෑම අවස්ථාවකදීම, හදිසියකදී වාහනයේ පාලනය භාරගත හැකි මිනිස් රියදුරෙකු සෑමවිටම රියැදුරු අසුනේ සිටිය යුතුයි. 

එහෙත් ඉදිරි වසර කිහිපය තුල තාක්ශණය තහවුරු වූ පසු රියැදුරෙකු නොමැතිව තනිවම පාරේ ගමන් කල හැකි හෝ දරුවන් පාසලට ඇරලවා ආපසු නිවෙසට පැමිණිය හැකි රොබෝ වාහන සඳහා අවසර ලැබෙනු ඇති.

ගමන් කරන ධාවන තීරුවෙන් අනෙක් ධාවන තීරුවට මාරුවෙද්දී රොබෝ A7 කාරය ඒ පිලිබඳව රියැදුරා දැනුවත් කරන ආකාරය

A7 කාරයට සිය ධාවන පරිසරය පිලිබඳව දත්ත ලබාගැනීම සඳහා එය තුල රේඩාර් යන්ත්‍ර 6ක්, කැමරා තුනක් හා ලේසර් කිරණ විදීම මගින් බාධක හඳුනාගන්නා LIDAR උපකරණ දෙකක් සවිකොට ඇත. මෙම සංවේදක මගින් ලැබෙන දත්ත කාරයේ පිටුපස ඩිකියේ (car boot) සවිකොට ඇති කෘත්‍රිම බුද්ධි පරිගණක පද්ධතියකට යොමුකෙරෙන අතර එය මගින් කාරය මෙහෙයවයි.

ඩිකිය තුල ඇති A7 කාරයේ කෘත්‍රිම බුද්ධි පරිගණක පද්ධතිය

PC මාදිලියේ පරිගණක පද්ධති 8කින් බලගැන්වෙන විශාල පද්ධතියකින් A7 කාරයේ කෘත්‍රිම බුද්ධි පරිගණකය සමන්විත වන අතර තව අවුරුදු දෙකකින් පමණ මෙම විශාල කෘත්‍රිම බුද්ධි පාලන පද්ධතිය අයිපෑඩ් එකක් තරමට කුඩා වනු ඇත. zFAS (zentrale Fahrerassistenzsteuergerät) ලෙස අව්ඩි සමාගම හඳුන්වන මෙම පරිගණක පද්ධතිය දශක ගණනාවක කෘත්‍රිම බුද්ධි පර්යේෂණයන්ගේ ප්‍රථිපලයකි.





 
චීනුන්ගේ යූටොන්ග් රොබෝ බස් එක



රොබෝකාර් තාක්ශණය පිලිබඳව මහජන උනන්දුව වැඩිවෙමින් ඇතත් බොහෝ රටවල, විශේෂයෙන්ම ජනාකීර්ණ නගරවල පොදු ප්‍රවාහණසේවා මෙන්ම විශාල ප්‍රවාහණ සමාගම් වැඩි උනන්දුවක් දක්වන්නේ නාගරික බස් සේවා හා භාණ්ඩ ප්‍රවාහණ ට්‍රක් රථ රොබෝ තාක්ශණයට අනුගත කරගැනීමයි.

බස් හා ට්‍රක් රථ අණතුරු නිසා අමෙරිකාවේ පමණක් වසරකට ඩොලර් බිලියන 8ක පමණ අලාභයක් සිදුවන අතර විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවේ. අධික වෙහෙසට පත් රියැදුරන්, දුරකථන ඇමතුමක් හෝ සිගරට්ටුවක් දැල්වීමට යාම නිසා අවධානය බිඳගත් රියැදුරන් නිසා මෙම ට්‍රක් හා බස් අණතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිදුවේ.

අණතුරු අවම කරගැනීම මෙන්ම රියැදුරු වේතන හා දීමනා ඉතුරුකර ගැනීමට හැකිවීමත්, සේවයට නොපැමිණීමෙන් සිදුවන අමතර පාඩු පිලිබඳ ගැටලු ඇති නොවීමත් නිසා දියුණු රටවල නාගරික බස් සේවා දැවැන්ත ප්‍රවාහණ සමාගම් රොබෝ රියැදුරන් සිය සේවක මණ්ඩලයට බඳවාගත හැකිවන දිනය වනතෙක් පුල පුලා බලා සිටී.

ශ්‍රී ලංකාවේ කාළකණ්නි පෞද්ගලික බස් සේවාව 2050දීවත් රොබෝ රියදුරන්ගෙන් සමන්වනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Saturday, 23 April 2016

Science Quick Bites - ගුවනින් බැලූවිට මිකී මවුස්ගේ හිස මෙන් පෙනෙන ඩිස්නි සූර්යකෝෂ විදුලි බලාගාරය


අක්කර විස්සක් පුරා සූර්යකෝෂ 48,000කින් තනා ඇති මෙය ෆ්ලොරිඩාවේ වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට් නම් ඩිස්නි නිවාඩු නිකේතනයට විදුලිය නිපදවීම සඳහා තනා ඇත. සුප්‍රකට ඩිස්නිලන්තයට වඩා විශාල වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට් නිවාඩු නිකේතනය හා විශ්මිත උද්‍යානය 1982දී විවෘත කරන ලදී. 

මෙගාවොට් 5ක විදුලිබලයක් ජනනය කල හැකි මෙම සූර්යකෝෂ බලාගාරය අමෙරිකාවේ විශාලතම සූර්යබලාගාර නිර්මාණ සමාගම වන ඩියුක් එනර්ජි සමාගම මගින් නිර්මාණය කොට පසුගිය අප්‍රේල් 13 වැනිදා විදුලි ජනන කටයුතු අරඹන ලදී.

වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් නිවාඩු නිකේතනය හා විෂ්මලන්තයට ඇතුලුවන ප්‍රධාන පිවිසුම.


__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Friday, 22 April 2016

Science Quick Bites - DF 41 : කිලෝමීටර් 15,000ක් ඈත ඉලක්ක 10කට න්‍යෂ්ඨික බෝම්බ 10ක් මුදාහල හැකි චීන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය.

DF 41 මිසයිලය හා එය ප්‍රවාහණය කරන Transporter Erector Launcher (TAL) යුධ රථය

Dongfeng-41 (DF-41) යනු චීනය විසින් අවසන් පියාසර අත්හදාබැලීම් සිදුකරගෙන යන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයකි. මෙයට කිලෝමීටර් 15,000ක් දුරක් මක් 25ක වේගයෙන් (ශබ්දයේ වේගය මෙන් 25ගුණයක වේගය) පියාසර කල හැකි අතර මෙගාටොන් 1ක න්‍යෂ්ඨික බෝම්බයක් හෝ කිලෝටොන් 20 න්‍යෂ්ටික බෝම්බ 10ක් වෙනස් ඉලක්ක 10කට මුදහල හැකිය.

චීන රජය සතු සමාගමක් වන  China Academy of Launch Vehicle Technology (CALT) විසින් නිශ්පාදනය කරන මෙහි නිර්මාණ කටයුතු ඇරඹුනේ 1986දී වන අතර ප්‍රථම පරීක්ශණ පියාසැරිය (test flight) 2012 ජූලි 24වැනිදා සිදුවූ අතර 7වැනි පරීක්ශණ පියාසැරිය 2016 අප්‍රේල් මස මුල්සතියේ දිනක සිදුකල බවට වාර්තාවේ.

අදියර තුනකින් ක්‍රියාත්මක වන ඝණ රොකට් ඉන්ධනවලින් බලගැන්වෙන DF-41 දිගින් අඩි 69ක් වන අතර පලල අඩි 7කි. ඉලක්කය වෙත ලඟාවන සාමාන්‍ය වේගය 30,626 km/h වන අතර අවස්ථීතික පාලන පද්ධතියකින් (inertial guidance system) හා චීනය සතු GPS පද්ධතිය වන බෙයිඩූ චන්ද්‍රිකා පද්ධතිය මගින් ඉලක්කය වෙත යායුතු ගමන්මග සොයාගනී.

Multiple Independently targetable Reentry Vehicle (MIRV) හැකියාව ඇති DF-41 මිසයිලයට අභ්‍යවකාශය අද්දර පියාසර කරමින් ඉලක්කගත රට (උදාහරණයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය) වෙත ලඟාවූ පසු කිලෝටොන් 20 න්‍යෂ්ඨික බෝම්බ 10ක් අඩංගු කුඩා රොකට්ටු 10ක් මුදාහරියි. මෙම රොකට්ටු 10ට වෙනස් ඉලක්ක 10ක් වෙත ස්වයංක්‍රීයව පියාසර කොට න්‍යශ්ඨික බෝම්බ පුපුරුවා හැරීමේ හැකියාව ඇත.


බ්‍රිතාන්‍යයේ මිරර් පුවත්පත සඳහන් කරන ආකාරයට ලොව ඉතාමත් බලසම්පන්න බැලිස්ටික් මිසයිලයක් වන DF-41ට ගුවන්ගතවී විනාඩි 30කින් බ්‍රිතාන්‍යයට ලඟාවී ලන්ඩන් නගරය න්‍යෂ්ඨික බෝම්බ 10කින් සම්පූර්ණයෙන්ම විනාශකොට දැමිය හැකිය.


__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Science Quick Bites - චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මුල් අදිරයර 2018දී පෘථිවි කක්ෂයට


"ටියන්ගොංග් අභ්‍යවකාශ මධ්‍යස්ථානය"
අභ්‍යවකාශ තරණයේදී අමෙරිකාව හා රුසියාව සමග කරට කර සිටීමට දැවැන්ත ප්‍රයත්නයක නිරත වන චීනය මේ වනවිට දේශීය චීන තාක්ශණයෙන් නිමැවූ රොකට්ටු හා අභ්‍යවකාශ යානා ආධාරයෙන් අභ්‍යවකාශගාමීන් උඩුගුවනට යවා ආපසු නිරුපද්‍රිතව ගෙන්වාගෙන ඇති අතර සඳමතට රොබෝ ගවේෂණ යානාවක් ගොඩබස්වා තිබේ. එමෙන්ම දැනට අමෙරිකාව පෙරමුනේ සිටින නැවත නැවත භාවිතකල හැකි රොකට් තාක්ශණයද තමන් සතුකරගැනීම සඳහා නැවත ප්‍රයෝජනයට ගතහැකි රොකට්ටු නිර්මාණය කරමින් සිටී.

එපමණක් නොව නුදුරු අනාගතයේදී අමෙරිකානු හබල් දුරේක්ෂයට සමාන අභ්‍යවකාශ දුරේක්ශයක් ගුවනගත කිරීමටද චීන අභ්‍යවකාශ ඒජන්සිය බලාපොරොත්තු වනවා. චීන අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ඊලඟ ඉලක්කය වන්නේ තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනගා ගැනීමයි. චීන ජනාධිපති සී ජින්පිංග්, චීනය අභ්‍යවකාශ බලවතෙකු බවට පත්වීම ජාතික ප්‍රමුඛතාවයක් බවට ප්‍රකාශකොට ඇත.

චීනය තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරගැනීමට දැඩි අධිශ්ඨානයකින් ක්‍රියාකරන්නට පටන්ගත්තේ 2011දී අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) චීනයට තහනම් කිරීමත් සමගයි. යුධ චීන තාක්ශණය වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය දැනුම උකහාගැනීමට චීනය සිය ගගනගාමීන් යොදවනු ඇතැයි බිය පලකල ඇමරිකන් කොන්ග්‍රස් මණ්ඩලය අමෙරිකානු අභ්‍යවකාශ තාක්ශණය භාවිතාවන සියලුම ස්ථාන චීනයට තහනම් කිරීමට තීරනය කලා. ඒ අනුව මැලේසියාව වැනි කුඩා රටවල ගගනගාමීන්ට පවා ISS මධ්‍යස්ථානයේ දොර ඇරෙද්දී චීනයට එය තරයේ වසා දැමුනා.



Tianhe-1 ලෙස හඳුන්වනු ලබන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පලමු අදියර හෙවත් පාදක මොඩියුලය (core module) 2018දී ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. පාදක මොඩියුලය හා සම්බන්ධ කිරීමට පර්යේෂණාගාර සහිත මොඩියුල දෙකක් (experiment modules) අවස්ථා දෙකකදී ගුවන්ගත කෙරෙනු ඇති අතර මේ සියල්ල එකට බද්ධවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2022 වනවිට ඉදිකෙරී අවසන්වනු ඇත. සෝවියට් දේශයේ අවසාන කාලයේ ගුවන්ගත කල මීර් අභ්‍යවකාශ යානයට සමාන ඉඩ ප්‍රමානයකින් චීන ටියන්ගොංග් මධ්‍යස්ථානය නිර්මානය වන බව තතුදත් ආරංචි මාර්ග පවසනවා.

චීනයේ ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය වන Beijing Aerospace Command and Control Center මගින් මෙම මධ්‍යස්ථානයේ පාලන කටයුතු සිදුවනු ඇති.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Science Quick Bites - ඉන්ධන කාර්යක්ශමතා දත්ත වෙනස් කොට වැඩි කාර්යක්ශමතාවයක් පෙන්වා පාරිභෝගිකයින් රැවටූ සමාගම් අතරට ජපානයේ මිට්සුබිෂි සමාගමද එකතුවේ!!

මිට්සුබිෂි සමාගම, නිසාන් සමාගම වෙනුවෙන් නිපදවූ "ඩේස් රූක්ස්" මෝටර් රථය මිට්සුබිෂි සමාගම දත්ත වෙනස් කල එක් මාදිලියකි.
 විවිධ උපක්‍රම මගින් කාර්යක්ෂමතා දත්ත වෙනස්කල අපකීර්තිමත් මෝටර් රථ සමාගම් අතරට ජපානයේ මිට්සුබිෂි සමාගමද එකතුවේ. මෙම දත්ත වෙනස් කොට කාර්යක්ශමතාවය වැඩි බව පෙන්වූ මෝටර් රථ බොහොමයක් කුඩා කාර් රථ නිපදවීම සඳහා මිට්සුබිෂි සමාගම හා නිසාන් සමාගම ආරම්භකල ඒකාබද්ධ ව්‍යාපෘතියකට අනුව මිට්සුබිෂී සමාගම, නිසාන් සමාගම වෙනුවෙන් නිර්මාණය කොට නිෂ්පාදනය කල මෝටර් රථ 468,000ක් අයත් බව වාර්තාවේ. මීට අමතරව මිට්සුබිෂි සමාගම අලෙවිකරන මාදිලි දෙකකට අයත් වාහන 157,000ක් පමණද මෙම කාණ්ඩයට ඇතුලත්ව ඇත.

නිසාන් සමාගම ජපානයේ අලෙවිකරන Nissan's Dayz, Dayz Roox මාදිලි දෙකටද මිට්සුබිෂි සමාගම අලෙවිකරන ek Wagon, eK Space මාදිලි දෙකද නිශ්පාදනය හා විකිණීම මේ හේතුවෙන් නවතාදමා ඇත.



Kei car, K-car, kei jidōsha ලෙස ජපානයේ විකිණෙන කුඩා මෝටර් රථ කාණ්ඩය එහි ඉතා ජනප්‍රිය අතර ලංකාවේද ජනප්‍රිය සුසුකි වැගන් ආර් ස්ටින්ග්-රේ කාරයද මේම කේ-කාර් ගණයට අයත්ය. කේ ජිදෝෂා ලෙස ජපන් භාශාවෙන් හඳුන්වන මෙම වාහන සැහැල්ලු කාර් ගණයට අයත්  වන අතර සුසුකි සමාගමේ වැගන් ආර් මාදිලිය ජනප්‍රිය වෙත්ම එම වෙළඳපොලෙන් කොටසක් ලබාගැනීම සඳහා නිසාන් හා මිට්සුබිෂි සමාගම් 2013දී ගිවිසුමක් අත්සන් කල අතර මෙම වාහන නිෂ්පාදනය කිරීමේ වගකීම මිට්සුබිෂි සමාගමට පැවරින. නිසාන් සමාගමේ ඩේස් මාදිලිත් මිට්සුබිෂි සමාගමේ ඊ.කේ මාදිලිත් ජපාන වෙළඳපොලට පිවිසුනේ ඒ අන්දමටයි.

මිට්සුබිෂි සමාගම මෙම වාහන වල කාර්යක්ශමතා දත්ත වෙනස් කොට ඇති බව අනාවරණය වුයේ නිසාන් සමාගමේ අභ්‍යන්තර තත්වපාලන ඒකක එම වාහන පරීක්ශාවට බඳුන්කල පසුවයි. මිට්සුබිෂී සමාගම සපයා ඇති කාර්යක්ශමතා දත්ත හා තමන්ගේ පරීක්ශණ දත්ත නොගැලපෙන බව වටහාගත් නිසාන් සමාගම ඒ පිලිබඳව පරීක්ශාකරන ලෙස මිට්සුබිෂී සමාගමේ පාලන අධිකාරියට දැනුන් දීමත් සමග මිට්සුබිෂී සමාගම සිදුකල අභ්‍යන්තර විගණනයකදී සත්‍යය හෙලිවී ඇත.

මිට්සුබිෂී ඉන්ජිනේරුවන් මෙම වාහන කාර්යක්ශමතා සඳහා සිදුකරන පරීක්ශණ වලදී ඒ සඳහා ජපාන රාජ්‍ය තත්වපාලන අධිකාරිය ලබාදී ඇති නියාමන නොසලකා හැර වඩාත් හොඳ ප්‍රථිපල ලබාගැනීම සඳහා වාහනවල බර හැකිතාක් අඩුකොට, ටයරවල පීඩනය නියමිත ප්‍රමාණයට වඩා වැඩිකොට පරීක්ශණ පවත්වා ඇති බව හෙලිවී ඇත.

පසුගිය 20වැනි බදාදා ටෝකියෝවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මිට්සුබිෂී සමාගමේ සභාපති ටෙට්සුරිඕ අයිකාවා මහතා, මෙය හිතාමතා මිට්සුබිෂි සේවකයින් පිරිසක් සිදුකොට ඇති බව පිලිගත් අතර ඔවුන් එසේ නිසාන් සමාගම හා පාරිභෝගිකයින් රවටන්නට උත්සහ කලේ කුමන හේතුවක් නිසාදැයි සොයාබලමින් සිටින බව පවසා සිටියේය.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Thursday, 21 April 2016

Science Quick Bites - උණු කෝපිවලින් ස්මාර්ට්ෆෝනයක් පැය භාගයක් චාර්ජ් කරගත හැකි තරමේ විදුලි බලයක් නිපදවන ජෝගුවක් නිර්මාණය කල 18 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවිය.

ෆෝන් චාර්ජ් කලහැකි කෝපි ජෝගුවේ ක්‍රියාකාරිත්වය පෙන්වන 18හැවිරිදි ඈන් මැකොසින්ස්කි.
කැනේඩියානු ජාතික ඈන් මැකොසින්ස්කි 18 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකි. පියා පෝලන්ත ජාතිකයෙකු වන අතර මව පිලිපීන කාන්තාවකි. කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ උපන් ඇය කුඩා කලසිටම අලුත් අලුත් දේ අත්හදා බලන්නට උපන් හපන්කම් ඇත්තියක් විය.

ඇයගේ ප්‍රථම ජයග්‍රාහී නිර්මාණය වූයේ අතේ උණුසුමෙන් පමණක් ක්‍රියාත්මක වන, LED විදුලි පන්දමකි. වැඩි උණුසුම හා අඩු උණුසුම අතර තාප වෙනස ආධාරයෙන් විදුලිය ජනනය කල හැකි ඉලෙක්ට්‍රොණික, තාප-විද්‍යුත් උත්පාදකයක් (thermoelectric generator) ආධාරයෙන් මෙය ක්‍රියාත්මක වන අතර එය සෑම වසරකම ගූගල් සමාගම සංවිධානය කරන "Google Science Fair" නම් පාසැල් සිසු සිසුවියන්ගේ නවෝත්පාදන නිර්මාණ ප්‍රදර්ශණයේදී 2013 (කැනඩා ප්‍රදර්ශනයේ) ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

 එම වසරේ සිට සෑම වසරකම නව නිර්මාණයක් කොට විවිධ නවෝත්පාද තරඟ වලදී ප්‍රථම ස්ථානය හෝ වෙනයම් දිනුමක් ලබාගැනීමට සමත්වූ දක්ශ නොවෝත්පාදක නිර්මාණ කාරියක් වන ඈන්ගේ අලුත්ම නිර්මාණය උණු කෝපි වත්කල විට එම උණුසුමෙන් ස්මාර්ට් ෆෝනයක් පැය භාගයක් චාර්ජ් කරගත හැකි කෝපි ජෝගුවක් (coffee mug) නිර්මාණය කිරීමයි.

 
පරිසර හිතකාමී නවෝත්පාදන නිර්මාණය සඳහා තරුණ තරුණියන් දිරිමත් කිරීමට කැනඩාවේ ෂෙල් පෙට්‍රෝලියම් සමාගම පිරිනමන The Quest Climate Grant නම් නවෝත්පාදන තරඟය සඳහා මෙම නිර්මානය ඉදිරිපත් කල ඇන්ගේ නිර්මාණය තරඟ තීරකයින් විසින් හොඳම නිර්මාණ 7න් එකක් ලෙස තෝරා ගත්තා. මෙලෙස තෝරා ගැනෙන නවෝත්පාදන නිර්මාණ 7ටම, එම නිර්මාණ තවදුරටත් සංවර්ධනය කොට වෙළඳපොල වෙත ඉදිරිපත් කිරීම සඳහා ඩොලර් 50,000 බැගින් ප්‍රදානයන් ලබාදෙන අතර ඒ අනුව ඈන් දැනටමත් තම නිර්මානය වැඩිදියුණු කොට වෙළඳපොලට එවිම සඳහා පර්යේෂණ හා මූල්‍ය දායකත්වයන් ලබාදෙන ලෙස අනෙකුත් තරුන නිර්මාපකයින්ට හා ආයෝජකයින්ට ආරාධනා කොට තිබෙනවා.

මේ වනවිට ඈන් මැකොසින්ස්කි දිනා ඇති වීවිධ නවෝත්පාදන තරඟ (විකිපීඩියා)

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .


CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .


 __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
Related Posts Plugin for WordPress, Blogger...