Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 31 July 2016

හෝර්ටන් තැන්නේ කෑම්ප් එකක ඉමු? | Lets do camping at Horton Plains?

Camp site 2 - Horton Plains National Park
ගොඩක් අය කැමති දෙයක් තමයි මේ camping කියන්නේ. එත් මේ පිළිබද විස්තර නම් ටිකක් හොයා ගන්න අමාරුයි ගොඩක් අයට. ඒ අයට දැනගන්න මූලික දේ තමයි මම මේ දාන්නේ. අනිත් අයත් දන්න දේවල් එකතු කරන්න.

මුලින්ම මෙහෙමයි, හෝටන් තැන්නේ Camping Site 3ක් තියනවා. මේ තුනෙන් එකකට තමයි අපිට යන්න වෙන්නේ. මේ camp site තුනම තියෙන්නේ Horton Plains visitor center එකෙන් 750m වගේ දුරින්. අනිත් park වල වගේ නෙමෙයි මෙහෙදී අපිට වාහනයකින් යන්න බැහැ camp site එක ලගට. අනික හවස 6න් පස්සේ ඇතුලේ ඇවිදින්න බැහැ.  හොදට මතක ඇතුව ඕනි කරන ඔක්කොම බඩු අරගෙන යන්න එක පාරම. 

Horton Plains කෑම්පින්ග් සඳහා ගෙනයා යුතු දේවල්

1] කෑම්පින්ග් ටෙන්ට් - හොඳ ශක්තිමත්, දැඩි සුලඟට ඔරොත්තු දෙන ඒවා විය යුතුමයි.

2] හැමට වැහි කබා - හෝර්ටන්තැන්නේ කාළගුණය අවිනිශ්චිතයි

3] ශීතලට අඳින්න උණුසුම් ඇඳුම් - දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි රෑට අධික ශීතල. මාර්තු, අප්‍රේල්, මැයි එතරම් නෑ, ඒත් පාන්දර ශීතල හා තුහින.

4] කෑම්පින්ග් ස්ටෝව් එකක් - හැබැයි හොඳ ආරක්ශිත එකක්. ඒ කියන්නේ කෑම්පින්ග් සඳහාම හදපු, දැල්ල නිරාවරණය නොවන ආරක්ශිත උදුනක් වෙන්න ඕනෑ.

5] ඉවුම් පිහුම් සඳහා සාස්පාන් හා කෑම පිඟන් හා කෝප්ප

6] ජලය - ලීටර් 5 ලොකු බෝතල් 2-3

7] බැටරි ලන්තෑරුම් - රාත්‍රී ආලෝකය සඳහා හොඳින් චාර්ජ් කරන ලද බැටරි ලන්තෑරුම් කිහිපයක්.

8] ප්‍රථමාධාර පෙට්ටිය - සුළු කැපුම් හා තුවාල සඳහා සැව්ලෝන් දියර, පුලුන් හා ප්ලාස්ටර්, සුළු තැලීම් උලුක්කුවීම් සඳහා වින්ටොජිනෝ වැනි ආලේපයක් හා බැන්ඩේජ් කිහිපයක්, වේදනා නාෂක පෙති. දියවැඩියා හෝ අධික රුධිර පීඩනය ඇති අය යනවානම් ඒ අයට ඇති තරම් ඖෂධ හා සීනී හා රුධිරපීඩන පරික්ශාකරන යන්ත්‍ර. 

9] කැමරා හා ෆෝන් ආරක්ශාකර ගැනීම සඳහා සීල් කල හැකි පොලිතීන් ෆීසර් බෑග් (freezer bags) හෝ වෙනත් waterproof ආවරණ.

අවදානමට පෙර සූදානම කියලා හිතාගෙන ඕනෑකරන හැමදේම ගෙනියන්න. කොළඹ ඉඳන් උස්සගෙන එන්න අනවශ්‍ය, සුලභ දේවල් නුවර එළිය ටවුමෙන් ගන්න


Camp Site බූක් කරන්නේ මෙහෙමයි.

0112888585 මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලගේ විස්තර කියල booking එක දාන්න ඕනි. මතක ඇතුව මේක ඔයාලා යන්න මාසෙකට වත් කලින් කරන්න. මේ නම්බර් එක Department of Wildlife Baththaramulla. පොඩි ගානක් අය කරනවා. 

මෙන්න මෙහෙමයි camp site ගැන විස්තර

හැම site එකේම toilet එකක් තියනවා. ලොකු tent දෙකකට වගේ ඉඩ තියනවා. හැබයි 10 දෙනෙකුට විතරයි එයාල ඉන්න දෙන්නේ එක site එකක. මෙන්න මේක නම් හොදට මතක තියා ගන්න. Horton plains තද සීතලයි රෑට. (specially JAN/FEB). July/August තද හුලං. මේ කාලේ සමහර වෙලාවට tent එක බේරගන්න මාර ගේමක් දෙන්න ඕනි. කෑම්පින්ග් වලට කෝඩුකාරයෝ නම් මේ කාලේ මග හරින එක වඩාත් සුදුසුයි.

අනිත් එක, ටෙන්ට් අරගෙන යන්න ඕනි අපිම. කෑම්ප් සයිට් එකේ ඒවා නෑ. වයිල්ඩ් ලයිෆ් එකෙන් වත්, හෝර්ටන් තැන්නේ හරි නුවර එළියන් හරි කුළියට හෝ මිලට ගන්ඩ බෑ. ඒ නිසා කොළඹින්ම අරගෙන යන්න ඕනෑ. කොළඹ camping හා outdoor excursion බඩු බාහිරාදිය විකුණන තැනකින් ගන්න පුලුවන්. නැතිනම් Amazon.com, Ebay  වලින් ගෙන්න ගන්න පුලුවන්. නැතිනම් රට යන/රට ඉන්න, කෑම්පින්ග් බඩු ගැන දන්න කෙනෙකුට කියලා මෙහෙට එවාගන්නත් පුලුවන්. මතක ඇතිව fly sheet තියන හොද ටෙන්ට් අරගෙන යන්න. මොකද හැම වෙලාවේම වගේ පොඩි වැසි, හුලං තියනවා. 

ගිනි දල්වන්න (open fire) බැහැ. කෑම රත් කර ගන්න, උයාගන්න ගෑස් කෑම්පින්ග් ස්ටෝව් එකක් පාවිච්චි කරන්න පුලුවන්, හැබැයි බොහොම පරිස්සමෙන්. හෝර්ටන් තැන්නේ පායන කාලෙට ඉක්මණනට කැලෑගිණි ඇතිවෙනවා. ගෑස් ලිප පත්තුකරපු ගිණිකූර පවා පරිස්සමට නිවා දමන්න ඕනෑ. මේ උපදෙස් දැඩි ලෙස පිලිපදින්න. 

Note: කියනදේ අහන්නේ නැති, හැමදේම විහිලුවකට ගන්න පණ්ඩිතයින් මේවගේ ගමන් එක්කගෙන නොයනවානම් හැමෝටම හොඳයි. මොකද ඔය පණ්ඩිතයෝ හා බොරු වීරයෝ නිසා හැමෝම අමාරුවෙ වැටිලා, පොලීසි උසාවි යන්නත්, දඩ ගෙවන්නත් වෙන්න පුලුවන්.

උයන්න එහෙම බැරි නම් Horton Plains වල මුලදීම හම්බ වෙන canteen එකට කියල කෑම ටික හදා ගන්න පුළුවන්. ඒත් ඉතින් camp කරන්න යනවා නම් අපිම කෑම ටික හදන්න එක තමයි fun. මට හොඳටම මතකයි, අපි කෑම්පින්ග් ගියම, හදිසියට, අඩුපාඩුත් ඇතිව හදාගන්න කෑමට ටික, ගෙදරදි උයලා කනවට වඩා හරිම රස බව.

හවස 6න් පස්සේ නම් එළියේ ඇවිදින්න එපා. 

NO BBQ in Horton Plains! - බාබකිව් දාන්න බෑ, ඒනිසා බාබකිව් උදුන් උස්සාගෙන යන්න එපා. අවසර නෑ. සමහර ජාතික වනෝද්‍යානවල පුලුවන්. මට මතකයි අපි වස්ගමුවේ කෑම්පින්ග් ගිය වෙලාවෙ, රෑ හොඳ බාබකිව් එකක් දැම්මා. ට්‍රැකර් මහත්තයා කිව්වා කිසි ගැටලුවක් නෑ කියලා. එහෙම අවසර තියෙන තැන්වල විතරක් ඒවා කරන්න.

හෝර්ටන් තැන්න ලංකා කොටියාගේ (Lanka Leopard / Panthera pardus kotiya) වාසභූමියක්

අනිත් එක තමයි camp site 1 and 2 පැත්තට කොටියා එනවා පාන්දරට. Horton Plains වල කොටියා දකින්න මාර වාසනාවක් තියෙන්න ඕනි. ඌ හරිම ලස්සනයි. යාල/විල්පත්තු වගේ උෂ්ණාධික පැතිවල ඉන්න කොටියන්ට වඩා පුෂ්ඨිමත්, ලෝම ඝණයි, සීතලට වුනු අනුවර්තනයක් මම හිතන්නේ. ඒ උනාට camp site වල ඉදලා කොටියා බලන්න බැහැ. දකින්න වෙන්නේ අඩි පාරවල් විතරයි. කොටියා බලන්න ඕනි නම් හවසට Far Inn Bungalow (ඒ කියන්නේ දැන් හෝර්ටන් තැන්නේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය) තියෙන පැත්තේ ඇවිදලා බලන්න.
Note : කොටියාද? දිවියාද?

කොටියා යනු ටයිගර් ලෙසත් දිවියා යනු ලෙපර්ඩ් ලෙසත් ලංකාවේ මුල්බැසගත් වැරදි වැටහීම් නිසා මෙම සටහන තබන්නට සිතුනා. 
ටයිගර් යනු කොටියා නොව ව්‍යාග්‍රයායි. ලෙපර්ඩ් ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන සත්වයා ලංකාවේ නියම භාවිතය අනුව කොටියා විය යුතුය. තවමත් පත්තර හා රූපවාහිණී නාලිකා මෙම වැරැද්ද නිවැරදි නොකර කොටියා යනු ටයිගර් ලෙසත්, ලංකාවේ විශාලම බිළාලයා දිවියා හෙවත් ලෙපර්ඩ් ලෙසත් නම් කරමින් මහජනතාව මෙන්ම පාසැල් දරුවන්ද නොමග යවයි.
ලංකාවේ ඉන්න විශාලම බිළාලයා (බළල් පවුලේ සත්වයා) වන්නේ කොටියා හෙවත් ශ්‍රී ලන්කන් ලෙපර්ඩ්වේලංකා කොටියාගේ විද්‍යාත්මක නාමය පැන්තෙරා පාර්ඩුස් කොටියා (Panthera Pardus Kotiya ) ලෙස ලොව සත්වවිද්‍යාඥයින් අතර නිළවශයෙන් පිලිගෙන ඇත.
දිවියා යනු, ලංකාවේ වසන කොටියාට වඩා කුඩා (නිවෙස් බළලුන්ට වඩා විශාල) සතුන් වේ. දිවියන් වර්ග දෙකක් හා එක් වල් බළල් වර්ගයක් ලංකාවේ ඇත. 
* හඳුන් දිවියා  - Fishing Cat (Prionailurus viverrinus)

* දිවියා - Jungle Cat (Felis chaus)
* වල් බළලා - Rusty Spotted Cat (Prionailursus rubiginous)
Don't take anything plastic into the National Park and Don't leave anything behind except your foot prints

ලොකුම දේ තමයි, Camping ඉවර වෙලා ආපහු එනකොට ඔයා ගෙනිච්ච ඔක්කොම ආපහු අරගෙන එන්න. කිසිම දෙයක් එහෙ ඉතුරු කරලා ඇවිත් ඒ සුන්දර පරිසරය විනාස කරන්න එපා. 

මේක හොඳින් හිතට ගන්න. අපේ අය යන යන තැන ඉවරයිනෙ. කෑම කෑවොත් එතන බත් පැකට් ඉතුරු දාලා යනවා. බල්ලන්ට කන්ඩ කියලා දානපාරමිතාව පුරනවා වගේ පෙන්නලා ලේසියට විසි කරලා යනවා. ඊට පස්සෙ පැත්තම ගඳගහනවා. හැම තැනම පිළුනු බත්, ප්ලාස්ටික් බීම බෝතල්, අරක්කු බෝතල්, බියර් කෑන්. පලාතම ඉවරයි.

මතක තියාගන්න, හෝර්ටන් තැන්න ඇතුලට, විසිකරන ප්ලාස්ටික් දවටන ඇති බිස්කට් පැකට්, ලන්ච් ෂීට්, ප්ලාස්ටික් වතුර බෝතල් (ඒ කියන්නේ පානිය ජල බෝතල්), ප්ලාස්ටික් පැණි බීම බෝතල්, මත්පැන්, සිගරට්, ලයිටර් වගේ දේවල් ගෙනියන්ඩ දෙන්නේ නෑ. ගමන් මලු පරීක්ශා කරනවා. ප්ලාස්ටික් කෑම පෙට්ටි, ප්ලාසිට්ක් ජල බෝතල් (ඉස්කෝලෙ ගෙනියන වතුර බෝතල්), තර්මෝස් උණුවතුර බෝතල් ගෙනියන්න පුලුවන්.

බිස්කට්, රටකජු, මුරුක්කු, බයිට් වගේ පැකට් කරනලද ඉක්මන් කෑම (packeted snacks), ගෙනියනවා නම් ඒවායේ ප්ලාස්ටික් හා වෙනත් දවටන ඉවත් කරලා ඒවා කෑම පෙට්ටිවලට දාගෙන ගෙනියන්න. වතුර හා පැණි බීමත් ඉස්කෝලේ ගෙනියන වතුර බෝතල් වගේ නැවත නැවත් භාවිතයට ගන්න ප්ලාස්ටික් බෝතල් වලට දාගන්න. එතකොට ඔයාලටත් ලේසියි, උද්‍යාන පාලකවරුන්ටත් ලේසියි.

මේවගේ දවටන ඉවත්කරන්න කියලා ඔවුන් ඉල්ලුවහම, ගෙනියන්න දෙන්න බෑ කිව්වහම උද්‍යාන පාලකවරුන් සමග ගැටුම් ඇතිකර ගන්න, රණ්ඩුවෙන්න යන්න, නීති කතාකරන්න යන්න එපා. මත්පැන් හා බියර් ගෙනියාම තහනම්, ඒ වගේම බීමතින් සිටිනවා නම් ඇතුලට ගන්නෙත් නෑ.

Horton Plains Camping Photos courtesy of Dinesh Deckker - Hot linked through Lakdasun.org. Source: http://trips.lakdasun.org/horton-plains-camping-at-camp-site-3.htm








Special Thanks to following sources;

1] Camping in Horton plains(කදවුරු බැදීම - හෝටන් තැන්න) Elakiri.com / Sri Lankan Travel

2] Horton Plains Camping at Camp Site 3 (Lakdasun Trip Reports)

3] Wildlife Department Camp Sites - Horton Plains National Park (Lakdasun Forums)

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Saturday, 30 July 2016

රතු දත්ත ලේඛනයට ගිය පතන් කුකුළා අපට අහිමි වෙයි ද?



පතන් කුකුළාට බොහෝ නම් තිබේ. ඒ අනුව පතන් වටුවා, උස්සා වටුවා, පුල්ලි වටුවා, මානා වටුවා, මානා කුකුළා, මල් වටුවා සහ කලා වටුවා කියා ද මේ පක්ෂියා හඳුනා ගනියි. කෙටි පළල් හොටය අගින් මඳක් පහළට නැවී තිබේ. හොඳින් වැඩුණු පාද ශක්තිමත් ය. පියාපත් පළල් ය. එහෙත් කෙටි ය. වලිගය ද කෙටි ය. ගැහැනු සහ පිරිමි සතුන් වර්ණ වෙනස්කම් සහිත ය. කෙසේ වෙතත් දෙදෙනාගේ ම හොට ළා දුඹුරු පැහැති ය. පාද අඳුරු වර්ණයක් ගනියි.

පතන් කුකුළන් ජීවත් වන්නේ පතන් බිම්වල ය. පතන් බිම් වශයෙන් හැඳින්වෙන්නේ උස් තෘණ වැඩෙන විවෘත තැනිතලා බිම් ය. එහෙම වුණත් සහජයෙන් ම කුලෑටි පක්ෂියෝ කොටසක් වන මොවුන් දැකගැනීම පහසු නැතැයි පැවැසේ.

නිරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන අන්දමට බොහෝ විට මොවුහු යුගල වශයෙන්, තෘණ පඳුරු අතර එහා මෙහා යමින් ආහාර සොයමින් කාලය ගෙවති. කලබලයක දී වේගයෙන් ඉවතට දිව යති. පියාසලන්නේ කෙටි දුරකි. තටු සැලීම වේගවත් ය. ඉන් ශබ්ද නැ‍ඟෙයි. මොවුන්ට “උස්සා වටුවා” යැයි කීමට ද එය හේතුවකි. ඒ ඇවිදින අතරවාරයේදී ගෙල සෙමෙන් ඉහළට ඔසවා අවට පරීක්ෂා කිරීමේ පුරුද්ද නිසා ය. ඇතැම් විටෙක දී වටහාගත නොහැකි කලබලයක් හමුවේ ගෙල, ශරීරයත් සමඟින් ම ඉහළට ඇදී වඩාත් කලබලකාරී ලෙසින් අවට බලා හැකිතාක් වේගයෙන් එතැන අත්හැර පලා යාම මොවුන්ගේ සිරිත යි.


පක්ෂි නිරීක්ෂණ වාර්තාවට අනුව පතන් කුකුළන්ගේ පිරිමි පාර්ශ්වය උදෑසනදීත් සවස් කාලයන් හිදීත් එක දිගට තියුණු ස්වරයකින් හඬනු ඇසිය හැකි ය. ඒ හැඬීම වෙනුවෙන් උන් තෝරා ගන්නේ යම් උස් ස්ථානයකි. එය ලී කොටයක් හුබහක් වැනි උස් තැනක් වීමට ඉඩ තිබේ. ඈතට ඇසෙන මේ හඬට ප්‍රතිචාර දැක්වීමට සෙසු පිරිමි සත්තු ද ඉදිරිපත් වෙති. ඇතැම් විට මේ හඬ දිඟු වෙලාවක් තුළ අඛණ්ඩව පවතී. ඒ කාලය තුළ මේ පක්ෂීන්ව හොඳින් දැක බලා ගැනීමේ අවස්ථාව ද උදා වෙයි.

පතන් කුකුළා ක්‍රියාශීලි පක්ෂියෙකි. නිතර ම එහා මෙහා යමින් ආහාර සෙවීමේ යෙදෙන මොවුහු තෘණ බීජ, ධාන්‍ය වර්ග, ශාක කොටස් පමණක් නොව, කුහුඹුවන් හා වේයන් ද ආහාරයට ගනිති. නිරීක්ෂණ වාර්තාව ඒ ගැන මෙසේ ද පවසයි.

“සාමාන්‍යයෙන් එළිමහනේ ගැවසීමට අකැමැති ආවරණයක් සහිත තැන්වල ද ඇතැම් විට එළිමහනේ ද ගැවසෙනු දක්නට ලැබේ. කලබලකාරී නොවන මාර්ගවලට ද ඉඳහිට පැමිණෙනු දැකගත හැකි විය.



පතන් කුකුළු කැදැල්ලක් ගැන මුල් වරට වාර්තා වෙන්නේ 1972 වසරේ ජූලි මාසයේ දී ය. ප්‍රදේශය ගල්ඔය ජාතික වනෝද්‍යානයේ හේනබැද්ද ය. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සේවය කළ ෂර්ලි පෙරේරා මහතාට හමුවුණු මේ කැදැල්ලේ ක්‍රීම් පැහැති බිත්තර දෙකක් තිබී ඇත. ඉන් පසු මෙතෙක් වාර්තාගත වී ඇති එකම කැදැල්ල වශයෙන් සටහන් වන්නේ 2000 වසරේ ජුනි මස දී ලංකා කුරුලු සංගමයේ කිත්සිරි ගුණවර්ධන සහ උදිත හෙට්ටිගේ යන අය විසින් නිරීක්ෂණය කරන්නට යෙදුණු ගිනි ගැනීමක් හේතුවෙන් අත්හැර දමා තිබූ පතන් කුකුළු කූඩුව යි. ඒ තුළ ද ක්‍රීම් පැහැති බිත්තර තිබිණි.

තව ද කඳුකරයේ ගිනිකොන හා දක්ෂිණ කලාපවලින් ද පතන් කුකුළා දුර්ලභ පක්ෂි විශේෂයක් බවට පත් ව සිටියි. 1953 වර්ෂය වන විටත් මේ පක්ෂීන් ඌව කඳුකරයේ තෘණ බිම්වලත් විරල වූ බව පිලිප්ස් මහතා නිරීක්ෂණය කොට ඇත. එහෙත් පහතරට බිබිලේ හා නිල්ගල යන ප්‍රදේශවල සුලබව දැකිය හැකි බවක් ද ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත් පතන් කුකුළා යම් යම් ප්‍රදේශවලින් තුරන් ව යෑමේ අවදානමක් පවතී යන්න ද ඔහු අවධාරණයෙන් යුතුව සටහන් කොට තිබේ

වාර්තාවන්හි සඳහන් නොවුණත් මේ පක්ෂීන් 1970 – 1980 දශකවලදී පදියතලාවේදීත්, බිබිලේ හා පදියතලාව – මහියංගණය අතර ඇති මාර්ගය දෙපසත් ඇති අරළු, බුළු, නෙල්ලි, පැඟිරි, මානා ආශ්‍රිත පරිසර පද්ධතියේ දී තමාට දැක ගැනීමට හැකි වූයේ යැයි ජගත් ගුණවර්ධන මහතා පවසයි. තව ද 1970 දක්වා කාලය වන තෙක් ඔවුන් ඇතැම් විට මහියංගණය හා පදියතලාව අතර ප්‍රධාන මාර්ගයේ සැරිසරනවා ද දැක තිබේ. ඒ ගැන ඔහු මෙසේ ද පවසයි.

පතන් කුකුළා දහනව වන සියවසේ දී මෙරට පුළුල් තෘණ භූමි කලාපයක ජීවත් වූ බවත් 1880 දී ප්‍රකාශිත ග්‍රන්ථයකට අනුව නුවරඑළිය, කඳපොළ, හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ, උඩුපුස්සැල්ලාව, බිබිලේ සිට වැල්ලවාය දක්වාත් අනිත් පසින් හල්දුම්මුල්ල තෙක් ද ඔවුන් ඒ ආකාරයට ව්‍යාප්තව සිටියේ යැයි සඳහන් ය. මේ අපූර්ව පක්ෂි විශේෂය රට තුළ දුර්ලභ වීමට පටන්ගෙන ඇත්තේ අද ඊයේ සිට නොව, එක්දාස් නවසිය හතළිස් ගණන්වල සිටම ය. ඒ බව තහවුරු කරමින් සිසිලි ලශින්ටන් 1949 දී ලියු ග්‍රන්ථයකින්, වැලිමඩ හා එරබැද්ද ප්‍රදේශවල අතීතයේ සුලබව සිටි මේ පක්ෂියා ඒ වන විට එකී ප්‍රදේශවලින් තුරන් ව ගොස් ඇති බව පවසයි.


“මේ වන විට පතන් වටුවාගේ සමස්ත ව්‍යාප්තිය ගල්ඔය ජාතික වනෝද්‍යානයේ බටහිර කොටස හා ඊට යාබදව ඇති අරළු බුළු නෙල්ලි සහිත පතන් බිම්වලට සීමා වී ඇති බැව් පසුගිය දශක තුන පුරා ලැබුණු වාර්තාවලින් පෙනී යයි. ඒ පරිසරයේ ඇති ප්‍රධාන තෘණ විශේෂය වන පැඟිරි මානා මේ පක්ෂියාට අවශ්‍ය පරිසර තත්ත්වයන් හා රැකවරණය දී ඇත.” එසේ වුණත් ඇතැම් ප්‍රදේශවල දී වියළි කාලවල දී මේ පැඟිරි මානා ගිනි තැබීම නිසා පක්ෂීන් හා බිත්තර විනාශයට පත් වීමත්, පසුව පැඟිරි මානා පරදා ඉලුක් වැඩී යෑම නිසා මේ පක්ෂීන් දෙයාකාරයකින් වඳ වීම සිදු වන්නේ යැයි ඔහු පවසයි. ඉළුක් උසින් අඩු ය. ඝනට වැඩෙයි. ආහාරයට ගත හැකි තරමේ විශාල බීජ ඒවායේ නැත.

ඒ නිසා ඉලුක් මඟින් පතන් කුකුළන්ගේ අවශ්‍යතා සම්පූර්ණ නොවේ. මෙය ද අදාළ පක්ෂීන් වඳ වී යෑමට හේතුවක් ලෙසින් හඳුනාගෙන තිබේ.

මෙවැනි අවස්ථා සිද්ධි ගණනක් හමුවේ පතන් කුකුළා වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙසින් යොමු වූ පක්ෂියකු ලෙසින් 2007 ප්‍රකාශිත රතු දත්ත ලේඛනයට ඇතුළු කිරීමට පරිසර අමාත්‍යාංශයට සිදු විය. ඉන් පසු වසරවලදීත් මේ තත්ත්වයේ වෙනසක් නොවීය.

“වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සංශෝධනය වූ 2009 අංක 22 දරන පනත අනුව මේ පක්ෂියා දැඩි ලෙස ආරක්ෂිත පක්ෂියෙකු වී ඇත. එහෙත් එම ප්‍රතිපාදනයන් හි සම්පූර්ණ වාසිය පතන් වටුවාට නොලැබෙන්නේ ඔවුන් වර්තමානයේ විනාශයට ප්‍රධාන හේතුව අතීතයේ දී මෙන් දඩයම නොව පරිසර විනාශය හා හායනය වීම නිසා ය.”

මේ අනුව පතන් කුකුළා හෙවත් පතන් වටුවා ගේ අවසන් නිජබිම නිල්ගල ප්‍රදේශය බවට පත් ව තිබේ. ඒ ස්ථානය ද රැක ගැනීමට අප අසමත් වුවහොත් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික මේ පක්ෂි, උප විශේෂය ලෝකයෙන් ම වඳ වී යෑමේ අවදානම මඟ හරවා ගැනීමට නුපුළුවන. 1953 දී අප අත්හැර ගිය ඩබ්ලිව්. ඩබ්ලිව්. ඒ. ෆිලිප්ස් මහතා ඒ අවදානම ගැන සිය කනස්සල්ල පල කරමින් පවසා ඇත්තේ ‍මේ පක්ෂියා රැක ගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන වඳ වී යෑමට ඉඩ හැරීම විද්‍යාවටත්, පරිසරයටත්, අනාගත පරපුරටත් සිදු කරන්නා වූ ඛේදවාචකයක් විය හැකි බව යි. පක්ෂි නිරීක්ෂක – නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කරන අන්දමට ඉහත අනතුරු හැඟවීම සිදු කොට වසර 65 කටත් වඩා කාලයක් ගෙවී ඇතත් ඒ තත්ත්වය වඩ වඩාත් අවදානම් තත්ත්වයකට මිස යහපත් තැනකට යාමක් දැකිය නොහැකිය.


Source :
නිල්ගලට කොටු වී රතු දත්ත ලේඛනයට ගිය පතන් කුකුළා අපට අහිමි වෙයි ද? - බී. කේ. එම්. එස්. ආරියවංශ
Photo Credit : Credit for all photographs included here are attributed whoever they are attributed to in the original article cited above. 

__________________________________________________________________________ 
Creative Commons License 
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   
__________________________________________________________________________

කුමන ජාතික වනෝද්‍යානය | Kumana National Park

කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්‍යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්‍යානය 1885 සිට 2003 මාර්තු දක්වා වසා තිබුනි.මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.

කුඹුක්කන් ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.

උද්‍යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්‍රැත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු"), Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ"), Chloroxylon swietenia ("බුරුත"),සහ Salvadora persica වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක්‍රමණික ලැහැබ Typha angustifolia වන අතර ආක්‍රමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක්‍රමණය ක‍ර ගෙන ඇත්තේ Terminalia arjuna ශාඛයයි. Ludwigia spp., Nelumbo nucifera , Nymphaea pubescens, Aponogeton  spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.

කුමන ජාතිකඋද්‍යානය ඇතුලත්වම පිහිටන ප‍රිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප‍්රකාශයට පත් ක‍රන ලදී. ශ‍්රී ලංකාවී ප‍්රධානතම වාස භූමියක් සහ අභිජනන ප‍්රදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්‍යානයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප‍්රදේශයට සංක‍්රමණය වේ.

කුමනේදී දැකිය හැකි ඉතා දුර්ලභ පක්ෂීන්

දුර්ලබ විශේෂයන් වන Black-necked Stork (අලි-මානාවා), Lesser Adjutant (හීන් බහුරු මානාවා), Eurasian Spoonbill (යුරාසියා හැඳිඅලවා) සහ Great Thick-knee (මහ ගොළුකිරළා) යන පක්ෂීන් කුමනේදී දැකගත හැකිය. උද්‍යානයට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.

අලි-මානාවා -Black-necked Stork  
හීන් බහුරු මානාවා - Lesser Adjutant
යුරාසියා හැඳිඅලවා - Eurasian Spoonbill
මහ ගොළුකිරළා Great Thick Knee / Stone Curlew
තිලාපියා සහ ගල් මාලු නිත‍රදැකිය හැකි මත්ස්යයන් අත‍ර වේ.උද්‍යානයේ වාසය ක‍රන උරගයන් අත‍ර කිඹුලන් සහ කැස්බෑවන් නිත‍ර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.

Kumana Trip Report | by Rochana Uyanage - www.facebook.com/trekwings


අපි ඔන්න ගියා තවත් ලංකාවෙ අභය භූමියක් බලන්න. මේ පාර නම් ටිකක් දුරයි. කුමන ජාතික උද්‍යානය. අයිති වෙන්නෙ අම්පාර දිස්ත්‍රික්කයට  අපි ගියෙ ගාල්ලෙ ඉදන්

ආසන්න වශයෙන්කි ලොමීටර් 350ක් වගෙ තියෙනවා. පුද්ගලික වාහනයක් ගියෙ ! අපිට තෙල් ගියා රු 6500ක වගේ ගිහින් එන්නම.

ගමන් මාර්ගය වුනෙ

ගාල්ල > මාතර > හම්බන්තොට > වීරවිල >තනමල්විල > වැල්ලවාය >බුත්තල >මොණරාගල > සියඹලාන්ඩුව >ලාහුගල > පොතුවිල් > අරුගම්බේ > පානම 

ලාහුගල හරියෙ පාරට අලි එනවා එක නිසා කල්පනාවෙන් අපිට නම් සෙට් උනෙ නැ අපි ලාහුගල පහු කරනකොට රැ 12ත් පැනලා. පානම ඉදං යන්න වෙන්නෙ සෆාරි ජීප් එකක..

රු.6000ක් වගේ ගානක් ගන්නවා ජීප් එකට. උදෙ 5.30 වෙනකොට පිටත් වෙනවා පානමින්. 4WD ජිප් එකක් නම් හොදයි. දැන් ඔක්කොම මහෙන්ඩ්‍රා අරගෙන  වැලි වැඩි උනත් හිර වෙනවා. කැලෙට යනකොට මොනවා හරි කන්න අරන් යන්න . එ හරියෙ පොඩි කඩ තියෙනවා එ උනාට උදෙ පාන්දරම ඇරලා නෑ. එක නිසා කලින් ගන්න.

කවුරු හරි බස් එකක යන්න හිතන් ඉන්නවා නම් කොළඹින් හවස 7ට පානම CTB බස් එකක් තියෙනවා. එකෙ එන එක ලෙසියි, එක බස් එකයි නැතිනම් අම්බලන්ගොඩින් අම්පාර බස් එක තියෙනාවා හවස 6 ට ඒකෙ ඇවිත් මඟින් බැහලා එන්න වෙන්නෙ

Kumana Trip Photos : Photo Credit - Rochana Uyanage @ Trekwings















ගල් අමුන කියන කැම්ප් සයිට් එක



මුහුදු මහා විහාරය



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 28 July 2016

ලිප්ටන් සීට් බලන්න ගියෙමු | Lipton Seat, Poonagala

Image Copyright : tcgunarathena
ලිප්ටන් සීට් කියන තැන පිහිටලා තියෙන්නේ හපුතලේ නගරය ආසන්නයේ පිහිටි පුනාගල කියන කන්දේ මීටර් 1950 කට වඩා උස කදුමුදුනක. ඇත්තටම මේක පිහිටලා තියෙන්නේ පෞද්ගලික ඉඩමක ඒ ඉඩමේ අයිතිය දැනට තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාවට, එහෙම වුනාට ඕනෙම කෙනෙක්ට මෙතන බලන්න යන්න පුළුවන්. මෙතනට මේ නම හැදිලා තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාව මුලින්ම අයිතිවෙලා තිබුන සර් තෝමස් ලිප්ටන් කියන කෙනා පුරුද්දක් විදියට මෙතනට ගිහින් තියනවා වටපිටාවේ සුන්දරත්වය බලන්න එම කාරණය නිසා දැනටත් මෙතන ලිප්ටන් සීට් කියලා හදුන්වනවා. 

සොඳුරු බවින් නැහැවෙන මේ කඳු මුදුනේ ඔහු අසුනක්‌ පිළියෙල කර ඇත්තේ උදෑසනත් සන්ධ්‍යා කාලයේත් කඳුවැටියේ පහළින් දිස්‌වන සොබා සෞන්දර්යේ මිහිර විඳින්නයි.

ලිප්ටන් තෝමස්‌ ඉංග්‍රීසි ජාතිකයෙක්‌. 1848 මැයි 10 වැනි දා බ්‍රිතාන්‍යයේ ග්ලාස්‌ගොහි උපන් ලිප්ටන්ගේ කුඩා කාලය එතරම් සැපවත් එකක්‌ වෙලා නැහැ. ඔහුගේ දෙමාපියන් බොහෝ ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳි අය. ඔවුනට ග්ලාස්‌ගොහි කුඩා වෙළෙඳසලක්‌ තිබුණා. එහි අලෙවි කළේ හැම් බටර් හා බිත්තරයි. මේ නිසා ලිප්ටන්ට කුඩා කාලයේදීම නොයෙක්‌ රැකියාවල නියුතු වෙන්නට සිදුවුණා. 

1864 දී ඔහු නැවක කැබින් බෝයි කෙනෙකු ලෙස සේවය කළ අතර අනතුරුව ගණකාධිකාරවරයෙකු, පොත් තබන්නෙකු, ගෙන් ගෙට ගොස්‌ භාණ්‌ඩ අලෙවිකරුවකු ලෙස සේවය කළා. ඉන්පසු නිව්යෝක්‌හි සහකාර තේ පරීක්‌ෂකවරයකු ලෙස ද වැඩ කළා.

1890 දී ලිප්ටන් ලංකාවට පැමිණෙන්අනේ වතු අධිකාරිවරයකු වූ ෙ-ම්ස්‌ ටේලර්ගේ ව්‍යාපාර කටයුත්තක්‌ සඳහායි. ඒ බ්‍රිතාන්‍ය පාලන සමයේදීයි. ලංකාවේ තේ වැවිලි ව්‍යාපාරය හා සම්බන්ධ වූ ඔහු, ලිප්ටන් වර්ගයේ තේ ලංකාවට හඳුන්වා දෙමින් දඹේතැන්න ස්‌ටේට්‌ ඪපැඑඑබබ් Eස්ඒඑඑස් නම් දැවැන්ත තේ වතුයාය හා කර්මාන්ත ශාලාව ආරම්භ කළා. ඔහු මේ සඳහා පූනගල කඳු යායෙන් අක්‌කර 925 ක භූමියක්‌ ලබා ගත්තා. ඔහු තෝරා ගත්තේ පූනගල කඳු යායේ ඉතා සුන්දර බිම් පෙදෙසක්‌. කඳුයායේ මුදුනට ඔබ ළඟා වුවොත් ඔබ තවත් ලෝකාන්තයකට පැමිණියාක්‌ මෙන් ඔබට දැනේවි.

පූනගල කඳු මුදුන පිහිටා ඇත්තේ මුහුදු මට්‌ටමේ සිට අඩි 6000 ක තරම් උසකින්. එය අංශක 360 ක දර්ශනතලයකින් යුක්‌තයි. මේ කඳු මුදුන දුටු ලිප්ටන් එහි ඇති මායාකාරී මනස්‌කාන්ත දර්ශනයෙන් වශී වී ගියා. එම දර්ශනයට ඇළුම් කළ ඔහු විවේකයේදී එහි සිට එය නැරඹීමට අසුනක්‌ පිළියෙල කළා. එයට ලිප්ටන් අසුන Lipton Seat යයි නම් කළා

හරි දැන් සමහරු බලනවා ඇති මොකද්ද මේකේ තියෙන විශේෂය කියලා මොකද මම තාම ඒක කිවුවේ නැහැනේ. මෙන්න මේකයි මෙතන තියන වැදගත්කම, ලංකාවේ පිහිටි පළාත් නවයෙන් පළාත් පහක් එකවර දකින්න පුළුවන් ලංකාවේ පිහිටි එකම ස්ථානය විදියට මෙතන සලකනවා. එහෙම දකින්න පුළුවන් පළාත් තමයි ඌව පළාත, දකුණු පළාත, සබරගමුව පළාත, මධ්‍යමපළාත සහ නැගෙනහිර පළාත කියන්නේ. ඒ වගේම මෙතන ඉදන් පටපිටවේ දකින සුන්දරත්වය දෙවෙනි වන්නේ හෝර්ටන් තැන්නේ පිහිටි ලෝකාන්තය අවට සුන්දරත්වයට විතරක් කියල විශ්වාස කරනවා. 

මම කියපු හැම දෙයක්ම හොදට දකින්නනම් වර්ෂාව නැති ටිකක් උණුසුම් කාලගුණයක් තියෙන දවසක උදැසන නවයට ප්‍රථම මෙම ස්ථානයට ලගා වෙන්න ඕනේ, එතකොට තමයි මම කියපු ඒ සුන්දරත්වය දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම හොදට මතක තියාගන්න අධික මීදුම සහ අධික අකුණු ගැසීම් පවතින දවස්වලට මෙම ස්ථානයට යෑමෙන් වැලකි සිටින්න. මොකද මිදුමට මාර්ගයේ ඉදිරිය නොපෙනීම නිසා අනතුරු විය හැකියි. අකුණු ගැසීම නිසා මෙම ස්ථානයේදී විදේශ සංචාරකයන් යුවලක් මියගොස් තියෙනවා.

හරි අපි දැන් බලමු කොහොමද ලිප්ටන් සීට් යන්නේ කියලා ඇත්තටම මෙතෙන්ට යන්න මාර්ග කීපයක්ම තියෙනවා නමුත් ලේසිම ක්‍රමය තමයි හපුතලේ ඉදන් පිටරත්මලේ, දබේතැන්න හරහා ලිප්ටන් සීට් එකට ලගාවෙන එක. මෙතැනදී මුලින්ම කියන්න ඕනේ මේ මාර්ගය වුනත් ලේසි කිවුවට ඉතාමත් හොද කල්පනාවකින් නොගියොත් ඉතාම අවදානම් ගමනක් තමයි හපුතලේ ඉදන් තියෙන්නේ. 

හපුතලේ නගරයේ ඉදන් ලිප්ටන් සීට් එකට සම්පුර්ණ දුර කිලෝමීටර් 15ක් තියනවා. ඒ වගේම මේකේ කිලෝමීටර් 9ක් විතර දුරට යනකන් ඒ කියන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාව ලගට යනකන් බස් වැඩ කරනවා. ඔයාලා බස් එකේ යන්න හිතාගෙන ඉන්නවනම් ඉතුරු කිලෝමීටර් 6 යන්න දබේතැන්න තේ කර්මාන්තශාලාව ලගින් ත්‍රිරෝද රථයක් කුලියට ගන්න පුළුවන් එහෙම නැත්තන් ඒ දුර පයින්ම යන්නත් පුළුවන් වටපිටාවේ සුන්දරත්වය නරබමින්. 

හපුතලේ නගරයේ ඉදන්ම වුනත් වාහනයක් හයර් එකට අරගෙන යන්න පුළුවන්. නමුත් තමන්ගේම වාහනේක යන්න බලාපොරොත්තු වෙනවනම් ඉතාමත් හොද ඉවසීමක් සහ හොද පළපුරුද්දක් තියෙන රියදුරු මහතකු සමග යන්න මතක තියාගන්න. ඒ වගේම බස් රථ වගේ ප්‍රමාණයෙන් විශාල වාහන වලටත් යන්න අමාරුයි මොකද අවසාන කිලෝමීටර් 6 මාර්ගය ඉතාම පටු සහා විශාල බැවුමක් සමග පවතින වැලමිට වංගු පිහිටා තිබෙනවා. ඒ වගේම මාර්ගයේ ස්ථාන කීපයක් හැරුණු විට වාහන දෙකකට හුවමාරු වීමේ හැකියාවක් නැහැ.

මෙහි ඇති සියළු ඡායාරූප Elakiri.com හි tcgunarathena සොයුරා පලකල ලිපියකින් උපුටා ගන්නා ලද අතර සියලු හිමිකම් හා වගකීම් ඔහු සතුය

ගමන් පටන් ගන්නකොටම තිබුන මේ කෝවිලට ගිහින් පඩුරක් දාලා දෙවියන් බුදුන් සිහිකරගෙන තමයි අපි ගමන ගියේ (Photo Credit: tcgunarathena)




සර් තෝමස් ලිප්ටන්ගේ හදපු අනුරුවක් (Photo Credit: tcgunarathena)

අපි දැන් බලමු ලිප්ටන් සීට් එකේ ඉදන් වටපිටාව.











Sources :

1] http://www.elakiri.com/forum/showthread.php?t=1753340

2] http://www.divaina.com/2015/08/23/nimna05.html

__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...