Related Posts Plugin for WordPress, Blogger...

Friday, 26 April 2013

බොස්ටන් ත්‍රස්තවාදීන් ගැන කලින් සොයාගන්න බැරිවුනාට අපිට දොස් කියන්න එපා! : අමෙරිකානු ජාතික රහස් ඔත්තුසේවා සමූහයේ අධ්‍යක්ශක ජේම්ස් ක්ලැපර්...

ජේම්ස් ක්ලැපර් ජනපති ඔබාමා සමග සී.අයි.ඒ මූලස්ථානයේදී - 2011 (Photo Credit : CIA)
බොස්ටන් බෝම්බයෙන් පසු නැවතත් FBI, CIA, NSA, DIA වැනි අමෙරිකානු ඔත්තුසේවාවන්  වෙත අමෙරිකානු ජනතාවගෙන් මෙන්ම කොන්ග්‍රස් මණ්ඩළයෙන්ද දැඩි පීඩනයක් එල්ලවෙමින් තිබේ.

කලක් රහස් ඔත්තුසේවා පිලිබඳව සෙනෙට් මණ්ඩල සභාවේ (select committee on intelligence) නියෝජිතයෙකු වූන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් අමෙරිකානු ඔත්තුසේවා වලට පොදුවේ චෝදනා කරමින් කියාසිටියේ "අපි රැඩිකල් මුස්ලිම් වරුන් සමග යුද්ධයක් කරන අතරේ අමෙරිකාවේ ඔත්තුසේවා සිය වගකීම් හරිහැරි ඉටුකරලා තියනවද කියන එක ගැටළුවක්.." බවයි.

2011දී තමන් ටමර්ලන් සරනයෙෆ්ගෙන් රුසියානු රජයේ ඉල්ලීමකට අනුව ප්‍රශ්ණ කල බවත්, එහිදී රුසියානුවන් චෝදනාකල ආකාරයට ටමර්ලන් රැඩිකල් මුස්ලිම් අන්තවාදී අදහස් නොදරන බව තමන්හට අවබෝධවූයෙන් ඔහු ගැන වැඩිදුරත් සෙවීම අතහැර දැමූ  බවත් පිලිගත්තා.

අද (25/04) වොශිංටන් පෝස්ට් පුවත්පත වාර්තාකරන අන්දමට එෆ්.බී.අයි ආයතනය ටමර්ලින් සරනයෙෆ් ප්‍රශ්ණකිරීමෙන් මාස කිහිපයකට පසු සරනයෙෆ්ගේ තොරතුරු "Terrorist Identities Data Environment" නම් ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු පුද්ගලයන්ගේ දත්ත ගබඩාවට සී.අයි.ඒ සංවිධානයේ ඉල්ලීම අනුව ඇතුලුකරනු ලැබූ බව හෙලිකර සිටිනවා.

ඒ ටමර්ලන් පිලිබඳව 2011 තරම් ඈත කාළයේදී සිටම සී.අයි.ඒ සංවිධානයට සැකයක් ඇතිවී තිබුණු බැවින්. එපමනක් නොව, 2012 ජනවාරි මාසයේදී ටමර්ලන් සරන්යෙෆ් රුසියාවේ ඩගේස්ථාන් ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව යනවිට, ඔහුගේ නම අමෙරිකානු ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුවේ අවධානය යොමුකලයුතු පුද්ගලයින්ගේ රතු ලයිස්තුවේ සටහන් වුනා.

එලෙස රතු ලයිස්තුවේ සටහන් වුනු ටමර්ලන්, රැඩිකල් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාතමක වන ඩගෙස්ථානයේ මාස 6ක්  ගතකොට ආපසු පැමිණිවිට ඒ මාස 6තුල ඔහු ඩගෙස්ථානයේ සිදුකලේ කුමක්ද, හමුවුනේ කවුරුන්ද,  ජීවත්වුනේ කා සමගද යනාදී වැදගත් කරුණු කිසිවක් සොයා බලන්නට ස්වේදේශාරක්ශක දෙපාර්ථමේන්තුව, එෆ්.බී.අයි ආයතනය, සී.අයි.ඒ ආයතනය වැනි දුසිම් ගණනක් අමෙරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන, මහජනයාගේ ආරක්ශාව පිලිබඳව වගකිවයුතු ආයතන අසමත්වී ඇතැයි අමෙරිකානු කොන්ග්‍රස් සභිකයින්, සෙනේට් සභිකයින් මෙන්ම මහජනතාවත් චෝදනා කරනවා.

මේ චෝදනාවලට පිලිතුරුදෙන අමෙරිකානු රහස් ඔත්තුසේවා සමූහයේ අධ්‍යක්ශක ජේම්ස් ක්ලැපර් සඳහන් කරන්නේ, අමෙරිකානු ඔත්තුසේවා හා ආරක්ශක අංශවලට චෝදනා කරන්නට පෙර, එම ආයතනවලට අමෙරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු, පෞද්ගලික ක්‍රියාකාරකම්, අන්තර්ජාලයේ සිදුකරන ක්‍රියාකාරකම් පිලිබඳව රහසින් සොයා බලන්නට, තොරතුරු එක් රැස් කරන්නට ඉඩදෙන්නට අමෙරිකානු ජනතාව සූදානම්ද නැද්ද යන්න පිලිබඳව තීරණය කලයුතු බවයි.

ටමර්ලන් හා ඔහුගේ බාල සොයුරු zශෝකාර් බෝම්බ නිපදවමින් සිටියාද නැද්ද පිලිබඳව කලින් දැන ගන්නටනම් ඉතා බරපතල ලෙස ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස ඔවුන්ගේ දුරකථන ඇමතුම්, ඊමේල් පණිවුඩ, සමාජ-ජාලවල තබන සටහන්, ඔවුන් යන එන තැන්, මිලදීගන්නා දේවල් මෙන්ම ඔවුන් ඇසුරු කරන පුද්ගලයින් පිලිබඳවත් සොයා බලන්නට සිදුවන බවයි. දැනට ඇති පුද්ගලිකත්ව නීති (privacy laws) වලට අනුව මෙවැනි තොරතුරු සොයාබැලීමක් සිදු නොකල හැකිබව ප්‍රකාශකරන ජේම්ස් ක්ලැපර්, තමා යටතේ ඇති සියලුම ඔත්තුසේවා රටේ නීතියට ගරුකරමින්, නීති නොකඩා හැකි උපරිමයෙන් ක්‍රියාත්මක වූ බව සඳහන් කරනවා.

එහෙත් මෙම පැහැදිලි කිරීම් ප්‍රතික්ශේප කරන ස්වදේශාරක්ශාව පිලිබඳව කොන්ග්‍රස් මණ්ඩල අධීක්ෂණ කමිටුවේ වත්මන් සභාපතිදූරය හොබවන, කොන්ග්‍රස් සභික මයිකල් මැකෝල් පවසන්නේ අමෙරිකානු ඔත්තුසේවා හා ස්වදේශාරක්ශක දෙපාර්ථමේතුව හා ඒ යටතේ ඇති ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් හා වැදගත් තොරතුරු බෙදාහැරීමේ නිසි වැඩපිලිවෙලක් 2001 නිව්යෝර්ක් ප්‍රහාරයෙන් වසර 12ක් ගතවී ඇතත් තවමත් නොමැති බවයි.

උදාහරණයක් ලෙස ටමර්ලන් අමෙරිකාවෙන් ඩගෙස්තාන් වෙත නික්මයනවිට ඔහු අවධානයෙන් සිටියයුතු පුද්ගලයෙකු ලෙස අමෙරිකානු ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුවට අයත් ආගමන-විගමන හා දේශසීම පිලිබඳ ඒජනසිය (Immigration & Border Control Agency) ඔහුගේ නම හා විස්තර රතු ලයිස්තුවට ඇතුලත් කරනු ලැබුවා. එහෙත් ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුව මෙම තොරතුරු එෆ්.බී.අයි ආයතනයට, සී.අයි.ඒ ආයතනයට හෝ ත්‍රස්තක්‍රියා වැලැක්වීමේ කාර්යංශයට දැනුම් දී තිබුණේ නෑ.

කොන්ග්‍රස් සභික මැකෝල් චෝදනා කරන්නේ ස්වදේශාරක්ශක දෙපාර්ථමේන්තුව මෙම තොරතුරු සී.අයි.ඒ සංවිධානයට දැන්වූවානම් එම සංවිධානයේ රුසියානු කාර්යංශයේ ඔත්තුකරුවන් හට ටමර්ලන් ඩගෙස්තානයේ කුමක් කරන්නේදැයි සොයාබලන්නට තිබූ බවයි. එමෙන්ම ටමර්ලන් මාස 6කට පසු සියරට පැමිනි විගස එෆ්.බී.අයි ආයතනයට ඔහුව ප්‍රශ්ණකරන්නටත්, ඔහුගේ ක්‍රියාකාරකම් පිලිබඳව සෙවිල්ලෙන් සිටින්නටත් හැකියාව තිබුණු බවයි.

මේ සියල්ලටම අමතරව 2011 සැප්තැම්බර් මාසයේදී යලිත් රුසියානු ඔත්තුසේවය වන FSB ආයතනය ටමර්ලන් සරනයෙෆ් පිලිබඳව සොයා බලන ලෙස ඉල්ලීමක් සිදුකොට තිබෙනවා. රුසියානු ඔත්තුසේවා 2011 වසරතුලදී දෙවතාවක් ටමර්ලන් ගැන සොයාබලන ලෙස ඉල්ලා සිටියත් ඒ පිලිබඳව එතරම් උනන්දුවක් නොගත් එෆ්.බී.අයි ආයතනය, 2012දී ඉස්ලාම් භක්තිකයෙකු වුනු ටමර්ලන්, සිය බිරිඳ හා කුඩා දියණිය අමෙරිකාවේ තනිකොට දමා රැඩිකල් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මකවන ඩගෙස්ථානයේ මාස 6ක් වැනි දීර්ඝකාලයක් ගතකොට පැමිණිය ඒ පිලිබඳව සොයා බලන්නට පවා කිසිදු උනන්දුවක් නොදැක්වූ බවට අමෙරිකානු ජනතාව, විශේෂයෙන්ම බොස්ටන් බෝම්බයෙන් විපතට පත්වූවන් හා ඔවුන්ගේ ඤාතීන් චෝදනා කරනවා.

එහෙත් ජේම්ස් ක්ලැපර් මෙම චෝදනා ප්‍රතික්ශේප කරමින් කියා සිටින්නේ අමෙරිකානු ජනතාව දැඩිලෙස සිය පෞද්ගලික ජීවිතය හා රහස්‍ය භාවය ආරකශාකර ගන්නා ගමන්ම ටමරලන් වැනි පුද්ගලයින්ගේ සියලු ක්‍රියා පිලිබඳව සෙවිල්ලෙන් සිටින්නට අසමත්වූ බව චෝදනා කිරීම ඉතා අසාධාරණ බවයි. මුස්ලිම් වූවත් ටමර්ලන් හා ඔහුගේ සොයුරා අමෙරිකානු පුරවැසියන් බව අමතක නොකල යුතුයැයි ඔහු කියා සිටිනවා. අමෙරිකානුවන් රජයේ ඔත්තුසේවාවලට තම පෞද්ගලික ජීවිතය පිලිබඳව සොයා බැලීමට හා ර්හසේ තොරතුරු රැස්කරන්නට නීත්‍යානුකූල අවසරය ලබාදෙන්නේනම් අනාගතයේ ටමර්ලන් වැනි අමෙරිකානු පුරවැසි ත්‍රස්තවාදීන් කලින්ම හඳුනාගැනීමේ හැකියාව වැඩිවනු ඇතැයි ඔහු පවසනවා.




Thursday, 25 April 2013

මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ දේශණාවට සමපාත වෙමින් පවතී!


ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු  Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.

මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්‍යාත්මකව පර්යේශණ පවත්වයි.

හදවත නැවතී, මොළය අක්‍රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්‍යාගාරයේදී නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්‍රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්‍රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්‍යවිද්‍යාව දැරූ මතය දැන් වෙනස් වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්‍රකෘති තත්වයට පත්ව සිටින්නේය.

මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්‍රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්‍යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්‍රියව සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ දත්ත ඉතා විද්‍යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.

මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව මොළය අක්‍රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්‍රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.

මොළය අක්‍රියවීමෙන් සිත මියයන්නේ නෑ...!

ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්‍රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස් සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඔක්සිජන් ලැබී මොළය නැවත ක්‍රියාත්මකවූ විගස මෙම විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා..



Wednesday, 24 April 2013

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී කැමරාවට හසුවුනු දුර්ලභ තල්මස් සටන!


පසුගිය අප්‍රියෙල් 18 දින උදය කාළයේ ෂෝන් හයින්රික්ස්, සිය සිය සගයින් කිහිපදෙනෙකු කැටුව ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළට සැතපුම් 10ක් පමණ ඈතින් කුඩා බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියා. සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු, පරිසරවේදියෙකු හා වෘත්තීය චිත්‍රපට හා ඡායාරූප ශිල්පියෙකුද වන හයින්රික්ස් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ මිරිස්සට ඈත මුහුදේ දක්නට ලැබෙන දුර්ලභ නිල් තල්මසුන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහායි.

සිද්ධිය විස්තරකරන ෂෝන්...

සෙමින් යාත්‍රාකරමින් සිටි අපට ඈත ක්ශිතිජයේ මුහුද කැළඹෙමින් තිබෙනවා පෙනුනා...ඒ නිසා මාත් මගේ සගයාත් බෝට්ටුව ඒ පැත්තට හැරෙව්වේ වෙන්නේ මොනවද කියලා බලන්න...

අපි ලංවෙනකොට දැක්කා ඕර්කා නැතිනම් killer whale ලෙස හඳුන්වන තල්මසුන් විශේෂයේ  පස් දෙනෙකු පමණ sperm whale ලෙස හඳුන්වන දැවැන්ත තල්මසුන් සය දෙනෙකුගේ කණ්ඩායමකට පහරදෙනවා...

Killer Whale ලෙස හැඳින්වූවත් සැබැවින්ම කිලර්-වේල් නැතිනම් ඕර්කා අයිතිවන්නේ ඩොල්ෆින් කුළයට. ඩොල්ෆින් කුළයේ විශාලම සත්වයා ඕර්කා නැතිනම් කිලර් වේල්. ඔවුන් අතිශයින්ම බුද්ධිමත්, කණ්ඩායමක් ලෙස සැළසුම් කොට දඩයමේ යන, මිනී මෝරුන්ට පවා පහරදී දඩයම් කරන සත්ව විශේෂයක්...

මෙය දැකපු වහාම මට තේරුම් ගියා ජීවිතේ එක්ම වතාවක් පමණක් දැකගත හැකි දුර්ලභ සිද්ධියක් අපි දකිමින් ඉන්නේ කියලා. ඔර්කා දඩයම් කරන ආකාරය ඡායාරූපයට නගා ඇති අවස්ථා ඉතා විරලයි, ඒ ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ දඩයම් කරන නිසා. ඕර්කා දැවැන්ත තල්මසුන් රංචුවකට පහරදෙන ආකාරය මා දන්නා විධියට කවදාක්වත් ඡායාරූපයට නැගිලා නෑ...

ඒ නිසා මම මගේ under-water කැමරාව අරගෙන, බෝට්ටුවේ පාලනය මගේ සගයාට දීලා හෙමින් සීරුවේ වතුරට බැස්සා. ආයෙත් කවදාක්වත් මේවගේ දුර්ලභ සිද්ධිය ඇස නොගැටෙන නිසා කොහොම හරි හොඳ ඡායාරූප ටිකක් ගන්න එක මගේ එකම අරමුණ වුනා....

ඔර්කා පස්දෙනෙක් ස්පර්ම් වේල් තල්මසුන් සයදෙනෙකුගේ කණ්ඩායමකට පහර දෙමින් සිටියා. අතිවිශාල ස්පර්ම් වේල් තල්මසුන්ට ප්‍රතිප්‍රහාර දෙන්නට පුලුවන් කමක් තිබුනේ නෑ. ඔවුන් සය දෙනාම එකට ගුලිවෙලා එක් විශාල පර්වතයක් වගේ මුහුද මැද සිටියා. ඔර්කා පස් දෙනා ඔවුන් වටේ පිහිනමින් විටින් විට පහර දුන්නා. ප්‍රහාරය පැය භාගයක් පමණ පැවතුනා. ඔර්කා දත් පහරවල් වැදී තල්මසුන්ගේ සම ඉරී ඔවුන් වටා මුහුදු ලේ විලක් වෙමින් තිබුණා....

මට හිතන විධියට ඕර්කා ප්‍රහාරයේ අරමුණ වෙලා තිබුණේ  තල්මස් රංචුවේ ඉන්න කුඩා තල්මස් පැටියෙකුව වැඩිහිටි තල්මස් රංචුවෙන් වෙන් කරගන්න. ඒත් ඒ අරමුණ ඉටුවුනාද කියන එක පැහැදිලි වුනේ නෑ...







මිරිස්සට ඔබ්බෙන් සිදුවුනු තල්මස් සටනේ කෙටි වීඩියෝවක් හයින්රික්ස් ගේ සගයෙකු යූ ටියුබ් අඩවියට එකතුකොට තිබුණා...


Video ඩවුන්ලෝඩ් මල්ලිලා වෙනුවෙන්ම හදපු අලුත්ම Torch වෙබ් බ්‍රව්සරය


ටෝර්ච් මීඩියා නැමති සමාගමක් මගින් නිර්මාණය කොට ඇති නවතම ටෝර්ච් බ්‍රව්සරය ගූගල් ක්‍රෝමියම් මුදෘකාංග රාමුව උපයෝගීකරගෙන නිර්මාණය කොට ඇති   , පරිගණකයේ ප්‍රොසෙසරයට එතරම් බරක් නොදෙන කුඩා බ්‍රව්සරයකි. ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය ආකාරයටම නිර්මාණය කොට ඇති මෙය ඒආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා පමණක් නොව ඔබගේ ගූගල් ගිණුමට සම්බන්ධවී ඔබගේ ක්‍රෝම් බ්‍රවුසරයේ බුක්මාර්ක්ස් හා සෙටින්ග්ස් සියල්ලම යාවත්කාලීන කරගත හැකි ලෙස නිපදවා ඇත.

ටෝර්ච් බ්‍රව්සරය ගූගල් ක්‍රෝම් හෝ ෆයර්-ෆොක්ස් බ්‍රව්සරවලට වඩා ඇති පහසුකම් ...

මා ටෝර්ච් බ්‍රව්සරය අත්හදා බලන්නට පෙළඹවූ වැදගත්ම හේතුව වන්නේ ටෝර්ච් නිර්මාපකයින් එම බ්‍රව්සරය තුලින්ම, වෙනත් ආධාරක (plugins) නොමැතිව බාගත කල හැකි බව දක්වා තිබීමයි. මෑතක සිට රූපවාහිනී කථාමාලා (tv series) මෙන්ම චිත්‍රපට ටොරන්ට් ආධාරයෙන් බාගත කරගෙන නරඹනවා වෙනුවට ඒවා ස්ට්‍රීම් මීඩියා (streaming media) ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීම පටන්ගත් මට එලෙස ඔන්ලයින් නරඹන සමහර චිත්‍රපට හා රූපවාහිනි කථාංග ඩවුන්ලෝඩ් කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක් හටගෙන තිබුණි.

අලුත් ඒවා පයරට්-බේ (piratebay) වැනි ටොරන්ට් සෙවුම් යන්ත්‍ර මගින් පහසුවෙන් සොයාගත හැකි වුවත්, මා වඩාත් ප්‍රියකරන පැරණි චිත්‍රපට හා රූපවාහිනී කථාමාලා එලෙස ලබාගත නොහැකිවන්නේ ඒවැනි පැරණි ඒවා බීජනය-කරන්නන් (seeders) හීඟවීම නිසා එවැනි ටොර්‍රෙන්ට් බාගත නොහැකිවන බැවිනි.

අන්තර්ජාලයේ නොමිලයේ ලැබෙන විවිධ ස්ට්‍රීමින් මීඩියා ඩවුන්ලෝඩර් අත්හදා බැලුවත් එම මෘදුකාංග වලින් ලැබෙන ප්‍රයෝජනයට වඩා එම මෘදුකාංග මගින් රහසින් එකතු කරන වෙනත් මෘදුකාංග, ටූල්බාර් මෙන්ම බ්‍රව්සරයේ හෝම්-පේජ් ආදිය වෙනස් කිරීම මහත් හිරිහැරයක් බැවින් එය අතහැර දැම්මෙමි.

Torch බ්‍රව්සරය මේ ගැටලුව ඉතා ප්‍රසන්න ආකාරයට විසඳා තිබුණි. බ්‍රව්සරයටම බද්ධකොට ස්ට්‍රීමින් මීඩියා ඩවුන්ලෝඩරයක් එහි ඇති අතර ඇඩ්‍රස්-බාර් (address-bar) එකට දකුණු පසින් මීඩියා ලෙස ඇති කුඩා බොත්තම, බ්‍රව්සරය ස්ට්‍රීමින් වීඩියෝවක් දර්ශණය කරන්නට පටන්ගත් විට සජීවනය (animate) වන අතර එවිට එය ක්ලික් කිරීමෙන් වෙනත් කිසිදු ක්‍රියාදාමයකින් තොරව වීඩියෝ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරයට බාගත වේ (රූපය බලන්න) දැනට මා මෙය යූටියුම් හා අන්තර්ජාල චිත්‍රපට සේවාවවන් දෙකක අත්හදා බලා ඇති අතර මේ වනවිටනම් එය හිතුවාටත් වඩා හොඳින් ක්‍රියාත්මකවේ.

Firefox බ්‍රව්සරය මගින් add-on එකක් එකතුකර ගැනීමෙන් යූටියුබ් වීඩියෝ ඉතා පහසුවෙන් බාගත කරගත හැකි බවද පැවැසිය යුතුය. එහෙත් සෑම ස්ට්‍රීමින් වීඩියෝ අඩවියකින්ම බාගත කිරීම කල නොහැකිවීම බාධාවකි. ඔබ ෆයර්ෆොක්ස් භාවිතාකරන්නෙක් නම් හා ඔබට වැඩියෙන්ම අවශ්‍යවන්නේ යූ ටියුබ් වීඩියෝ බාගත කරගැනීමට නම්, ඒ සඳහා මේ බ්‍රව්සරය භාවිතා කරනවාට වඩා ෆයර්ෆොක් ඇඩ්-ඔන් එකක් මගින් ගැටලුව විසඳාගත හැකිය.


මෙලෙසම වෙනත් ටොරන්ට් මෘදුකාංග නොමැතිව බ්‍රව්සරය තුලින්ම ටොරන්ට් බාගත කරගත හැකිබව පැවසේ. මා එය අත්හදා බලානැත. ඔබට ටෝර්ච් බ්‍රව්සරය බාගත කිරීමට අවශ්‍යනම් http://www.torchbrowser.com/ වෙත පිවිසෙන්න.

Tuesday, 23 April 2013

බොස්ටන් Pressure Cooker බෝම්බය - දළ සටහනක් (අනුග්‍රහය USAToday / Popular Science)


ප්‍රෙෂර් කුකරයක් භාවිතයෙන් බෝම්බයක් තනාගන්නා ආකාරය පිලිබඳව විස්තර හා රූපසටහන් අල්ඛයිඩාවේ නිළ ඉංග්‍රීසි ප්‍රකාශණයක් වන "ඉන්ස්පයර්" සඟරාවේ විස්තර හා රූපසටහන් බගින් දක්වා ඇති නමුදු, බොහෝ දෙනා විශ්වාස කරන පරිදි හෝ සමහර පුවත්පත් මගින් වාර්තාකරන ආකාරයට ප්‍රෙෂර් කුකර් බෝම්බය අල්ඛයිඩා නිර්මාණයක් නම් නොවේ.

ප්‍රෙෂර් කුකරයකින් බෝම්බයක් තනා ගන්නා ආකාරය මුල්වරට විස්තර කොට තිබුනේ "Anarchist's Cookbook" නම්වූ විවිධ පුපුරණ ද්‍රව්‍ය හා ඒවායින් බෝම්බ වැනිදෑ තනාගන්නා ආකාරය විස්තරකල අත්පොතෙනි. විලියම් පවෙල් නැමත්තෙකු විසින් රචනා කරන ලද මේ අත්පොත මුල්වරට අමෙරිකාවේදී නිකුත්වූයේ 1971 වසරේදීයි. ඔහු අමෙරිකානු යුධහමුදා සෙබළෙකු වන අතර වියට්නාම් යුද්ධයේ සටන් වැදුනු යුධ අත්දැකීම් ඇති පුද්ගලයෙකි.


අමෙරිකාවේ ආයතනය නිකුත්කල වාර්තාවක් අනුව ප්‍රෙෂර් කුකර් බෝම්බ ඉන්දියාවේ හා නේපාලයේ මාඕවාදී කැරලිකරුවන්, කාශ්මීර සටන්කාමීන්, පාකිස්තානයේ හා ඇල්ජීරියාවේ සටන්කාමීන්ද භාවිතා කොට ඇති අතර මේ අතර අල්ඛයිඩාව බිහිවීමට වසර ගණනාවකට පෙරද මෙවැනි බෝම්බ භාවිතාවී ඇත.


Thursday, 18 April 2013

බොස්ටන් මැරතන් ප්‍රහාරය : බෝම්බයේ නිර්මාණය ගැන තොරතුරු කියන දුමාරය....


බොස්ටන් මැරතන් ප්‍රහාරය සිදුවී දැන් දින තුනකි. තවමත් ප්‍රහාරය සිදුකලේ කවුරුන්ද, මොන අරමුණක් සඳහාද යන්න පිලිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති බවත් කිසිවෙකුත් අත්-අඩංගුවට ගෙන නැති බවටත් එෆ්.බී.අයි ආයතනයේ නිළ ප්‍රකාශය බව නිරන්තරව යාවත්කාලීන වන CNN.com ප්‍රවෘත්ති සේවාවේ වෙබ් අඩවිය සනාත කරයි. අද (18, බ්‍රහස්පතින්දා) දිවයින පුවත්පතෙහි පලකොට ඇති "බොස්‌ටන් බෝම්බය අල්කයිඩා වැඩක්‌ බව සනාථයි" යන කීර්ති වර්ණකුළසූරියගේ වාර්තාව සාවද්‍යය.

බෝම්බ පිපුරුම අසල ගොඩනැගිල්ලක වහලයක තිබී ප්‍රෙෂර් කුකරයක පියනක් සමුවී ඇත. එය රැගෙන ආ බැක්-පැක් වර්ගයේ බෑගයෙහි සුන්බුන්ද හමුවී තිබේ. ප්‍රෙෂර් කුකර් වැනි උපකරණ බෝම්ම සෑදීම සඳහා උපයෝගී කරගත හැකි බැවින් කල්පනාකාරී වන ලෙස එෆ්.බී.අයි ආයතනය පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ජනතාවට හා පොලීසිය ඇතුලු ආරක්ශක අංශවලට අවවාදයක් නිකුත් කලේය. මෙයට හේතුව අල්ඛයිඩා සංවිධානයේ නිළ සඟරාව වන "ඉන්ස්පයර්-Inspire" සඟරාව මෙවැනි බෝම්බයක් නිවසේදීම නිර්මාණය කරගත හැකි ආකාරය පිලිබඳව පියවරන් පියවර උපදෙස් හා රූපසටහන් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුවය. එහෙත් ප්‍රෙෂර් කුකර් බෝම්බවල නිර්මාපකයා අල්ඛයිඩාව නොවේ. "Improvised Explosive Devices-IED" ලෙස හඳුන්වන මෙවැනි බෝම්බ ඉරාකයේ හා ඇෆ්ඝනිස්ථානයේ සටන්කාමීන් අමෙරිකානු හමුදාවලට විරුද්ධව බහුල්ව යොදාගෙන ඇත. අල්ඛයිඩාවේ සන්නිවේදන අංශය ඉතා පහසුවෙන් සකසාගත හැකි මෙවැනි බෝම්බයක් නිපදවාගත හැකි ආකාරය පිලිබඳව අත්පොතක් පළකලා පමණකි.

මෙම අත්පොත නිකුත් කිරීම අල්ඛයිඩාවේ අලුත්ම සංකල්පයක් වන "Do it yourself terrorism" හෙවත් තනි පුද්ගලයෙකු තනිවම සැළසුම් කොට එල්ල කරන ත්‍රස්ත ප්‍රහාර සංකල්පය දිරිගැන්වීම සඳහා කරන ලද බව අමෙරිකානු හා බ්‍රිතාන්‍ය ත්‍රස්ත විශේෂඥයින් පවසයි. නිරන්තර අමෙරිකානු ප්‍රහාර හා බාධා කිරීම නිසා අල්ඛයිඩාවට 9/11 වැනි දැවැන්ත ත්‍රස්ත ප්‍රහාර සංවිධානය කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ හැකියාව ගිලිහී ඇත. එබැවින් අල්ඛයිඩාව දැන් ලොව පුරා අමෙරිකානු හා බටහිර විරෝධීන් හට තනියම කුඩා ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන ලෙස ආරාධනා කොට ඇත.

ත්‍රස්ත ප්‍රහාර සැළසුම් කිරීම, ඒ සඳහා ඔත්තු බැලීම, ආරක්ශක අංශවල සැකයට පාත්‍ර නොවී කටයුතු ක්‍රීම, පහසුවෙන් වෙළඳපොලේ මිළදීගත හැකි රසායණික වලින් පුපුරණ  ද්‍රව්‍ය තැනීම, ඒවා බෝම්බයක් ලෙස එකලස් කිරීම, බෝම්ම පුපුරවා හැරිය හැකි ඩෙටොනේටර් උපක්‍රම පිලිබඳ විස්තර අඩංගු අත්පොත් සියගණනක් මෙන්ම උපදෙස් අඩංගු යූ-ටියුබ් වීඩියෝ සියගණනක් අන්තර්ජාලයට මුදා හැර ඇත. මේ සියල්ලේම අරමුණ ලොව පුරා වෙසෙන අමෙරිකාව හා බටහිර ජාතීන් පිලිබඳව වෛරයෙන් පසුවන පුද්ගලයින් හට සිය වෛරය පිරිමසා ගැනීම සඳහා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පෙළඹවීම හා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමයි.

අමෙරිකානු ආරක්ශක අංශවලින් අල්ඛයිඩා ඇතුලු මුස්ලිම් සටන්කාමීන් හට එල්ලවන නවතම තර්ජනය වන නියමු රහිත ඩ්‍රෝන යානාවලින් ආරක්ශාවන ආකාරය පිලිබඳව අල්ඛයිඩාව සකස්කල උපදෙස් පත්‍රිකාව ලොවට හෙලිවුනේ මේ මෑතකදීය. ඒ පිලිබඳව අප පලකල ලිපිය මෙතනින් කියවන්න.

බොස්ටන් බෝම්බය (සැබැවින්ම ස්ථාන දෙකක පිපිරුණු බෝම්බ දෙකකි) සකස්කොට තිබුණා යයි සැකකෙරෙන ප්‍රෙෂර් කුකරය හා අල්ඛයිඩාව සම්බන්ධ වන්නේ (දැනට වාර්තාවී ඇති පරිදි) මෙතැනදී පමණකි. බොස්ටන් බෝම්බය ප්‍රෙෂර් කුකරයක තනා තිබූ පලියට එය අල්ඛයිඩාවට බැරකිරීම නොමගයාමකි. අමෙරිකාව පවා තවමත් එලෙස කොට නැත. එෆ්.බී.අයි ආයතනය දැනට සැක කරන්නේ අමෙරිකාව තුල ක්‍රියාත්මක වන යම් අමෙරිකානුවන්ගේ සංවිධානයක් හෝ යම් අමෙරිකානු පුද්ගලයෙකු අල්ඛයිඩාවේ වෙබ් අඩවිවලින් බාගත කරගත් උපදෙස් අත්පොත් ඇසුරින් මෙම ප්‍රෙෂර් කුකර් බෝම්බ නිර්මාණය කොට ඇති බවය. දැනට ඇති තත්වයේ නිවැරදි වාර්තාව මෙයයි.

බොස්ටන් බෝම්බ දුමාරයෙන් බෝම්බ විශේෂඥයින් හට ලැබී ඇති තොරතුරු.

බොස්ටන් බෝම්බ පුපුරා යන මොහොතේම ගන්නා ලද දසදහස් ගණනක් ඡායාරූපවල එම බෝම්බය පිපිරීමෙන් විසිර යන දුම් වලාව පැහැදිලිව සටහන් වී ඇත. බෝම්බයක් පිපිරෙන විට පැතිරෙන දුමාරයෙන් එම බෝම්බය තනන්නට යොදාගත් පුපුරණ ද්‍රව්‍ය පිලිබඳව තොරතුරු හෙලිවන බව පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින් පවසයි. බොස්ටන් බෝම්බ දුමාරය සුදු පැහැති දුමාරයකි. විශේෂඥයින්ට අනුව මෙවැනි සුදු පැහැති දුමාර පිටවන්නේ අඩුබල පුපුරණ ද්‍රව්‍ය භාවිතා කොට එය නිර්මාණය කොට ඇති විටදීය. ටී.එන්.ටී, ආර්.ඩී.එක්ස්, සෙම්ටෙක්ස් වැනි අධිබල පුපුරණ ද්‍රව්‍ය පිපිරීයාමේදී පැතිරෙන්නේ කළු පැහැති හෝ තද අළු පැහැ දුමාරයක් බව ඔවුන් පවසයි. ඒ අනුව බොස්ටන් බෝම්බය රතිඤ්ඤා වෙඩි බෙහෙත්, ගිණිකූරු වල හිස් සූරා එකතුකරගන්නා වෙඩි බෙහෙත් වැනි පහසුවෙන් සොයාගත හැකි අඩු බල පුපුරණ ද්‍රව‍ය වලින් නිමවා ඇති බව ඔවුන් අනුමාන කරයි.

රතිඤ්ඤා වෙඩි බෙහෙත් සැබැවින්ම ගිණිගත් විට පුපුරා නොයයි. රතිඤ්ඤා කරලක් කපා එය තුල ඇති වෙඩි බෙහෙත් වලට ගිණිපුළුඟක් දැමීමෙන් ඔබටම මෙය තහවුරු කරගත හැකියි. මෙවැනි වෙඩිබෙහෙත් තද සුදු දුමාරයකින් පිලිස්සී යයි. මෙවැනි ද්‍රව්‍ය වලින් බෝම්බයක් තනන විට ප්‍රෂර් කුකරයක් වැනි ශක්තිමත් තදින් වැසිය හැකි බඳුනක් අවශ්‍ය වන්නේ මෙම ද්‍රව්‍ය මගින් පිපුරුම ඇති කිරීමට නම් එම ද්‍රව්‍ය එවැනි බඳුනක් තුල ගිණිගැනීමට සැලැස්වීමේන් බඳුන තුල ක්ශණිකව දැඩි පීඩනයක් ඇති කලයුතු බැවිනි. වෙඩි බෙහෙත් ගිණිදැල්වෙන විට බඳුන තුල ඇතිවන අධික පීඩනය නිසා එය පුපුරා යයි. මෙවැනි වෙඩි බෙහෙත් ගෙදර සාදාගන්නා බෝම්බ ලෙස හැඩගස්වන්නේ එලෙස බව එෆ්.බී.අයි පර්යේශකයින් පවසති.

බොස්ටන් ප්‍රහාරකයා යොදාගෙන ඇත්තේද මෙම මූලධර්මයය. ඔහු අල්ඛයිඩාද නැතහොත් 1995දී අමෙරිකාවේ ඔක්ලොහෝමා නගරයේදී රජයේ ගොඩනැගිල්ලක් මුලුමනින්ම පුපුරවා හල ට්‍රක් බෝම්බය නිර්මාණය කල තිමති මැග්වේ හෝ 1996 ඇට්ලැන්ටා ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතරතුර ඔලිම්පික් උද්‍යානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙද්දී නිවසේ සෑදූ බෝම්බයක් පුපුරවා හැරි එරික් රූඩෝල්ෆ් වැනි අමෙරිකානු ත්‍රස්තවාදියෙකුද ඉතා ඉක්මණින් හෙලිවන ඇත.


WARNING!!! - DON'T TRY THIS AT HOME!!!


නිවසේදී බෝම්බ සාදන ආකාරය පිලිබඳව උපදෙස් හා වීඩියෝ අන්තර්ජාලය පුරාවට ඇත. එහෙත් මෙවැනි භයානක අත්හදා බැලීම් සිදුනොකරන ලෙස පාඨකයින්ට කෙරෙන අවවාදයි මේ.

මෙවැනි අත්හදා බැලී වැරදී ගියහොත් පිපිරීම් සිදුවී ඇස්, අත්පා විනාශවී යාම සිදුවිය හැකියි, බරපතල පිලිස්සීම් සිදුවිය හැකියි. අවුරුදු කාලයේ රතිඤ්ඤා නිසා රෝහල්ගත වල සංඛ්‍යාව මෙම අවවාදය නිවැරදි බව කියාපායි.

එබැවින් මෙවැනි අවදානම් ක්‍රියා වලට නොපෙලඹෙන්න. අකාළයේ අබ්බගාතයෙකු, අන්ධයෙකු වීමට මගපාදා නොගන්න.

ටෙරන්ස් කේ ආරච්චි - කතෘ, විද්‍යා ගවේෂණ 

Thursday, 11 April 2013

උතුරු කොරියානු හමුදා ශක්තිය : කෙටි වාර්තාවක්



North Korean Air Defense Systems

උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ශිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන් සෙබළුන් දිවා රෑ මෙම රේඩාර් තිර නිරීක්ශණය කරමින් සිටී. එමෙන්ම උතුරු කොරියාව සතුව 15000කට අධික උරහිස මත තබාගෙන විදින ගුවන් යානා නාශක මිසයිල පද්ධති සංඛ්‍යාවක් ඇත.

අමෙරිකානු වාර්තා අනුව සියලුම උතුරු කොරියානු රේඩාර් හා ගුවන්යානා නාශක මිසයිල පද්ධති ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන ශක්තිමත් බංකර තුල ස්ථානගත කොට ඇති අත උතුරු කොරියානු ගුවන් හමුදාවේ සියළුම යානා සඳහාද බෝම්බ ප්‍රහාරවලට ඔරොත්තු දෙන හැඟර සපයා ඇත. එමෙන්ම උතුරු කොරියාව සතුව විශාල භූගත ගුවන් කඳවුරු දෙකක්ද ඇතැයි සැළකේ. මේ අනුව උතුරු කොරියාව විදේශ ආක්‍රමණයක් සිදු කිරීම ඉතාමත් අපහසු රට ලෙස සැළකේ.

Korean People's Army

Korean People's Army හෙවත් කොරියානු ජනතා යුධහමුදාව ලෙස හැඳින්වෙන උතුරු කොරියානු යුධ යන්ත්‍රය කොටස් කිහිපයකට බෙදා පරිපාළණය කරනු ලැබේ.

1. කොරියානු ජනතා ගොඩබිම් හමුදාව (Korean People's Army Ground Force)
2. කොරියානු ජනතා නාවික හමුදාව (Korean People's Navy)
3. කොරියානු ජනතා ගුවන් හමුදාව (Korean People's Air Force)
4. උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces)
5. උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය (North Korean Special Operations Force)
6. ගොවි-කම්කරු රතු හමුදාව (Worker-Peasant Red Guards)

Korean People's Army Ground Force


භට පිරිස් ශක්තිය : මිලියනයක භට පිරිසක් කොරියානු ගොඩබිම් හමුදාවේ නිත්‍ය සේවයේ නියුතු බව ඇස්තමේන්තු කොට ඇත.

යුධ ටැංකි : 4500-5000ක් අතර ප්‍රමාණයක්. සෝවියට් නිර්මාණ වන මෙම යුධ ටැංකි අතර ටී-55, ටී-59, ටී-62 යන කාණ්ඩවල ප්‍රධාන යුධ ටැංකි (Main Battle Tank) මෙන්ම දියගොඩ් දෙකෙහිම ගමන් කල හැකි ඇම්ෆීබියස් වර්ගයේ පීටී-76 හා පීටී-85 යුධ ටැංකි ගණනාවක්ද ඇත. එමෙන්ම රුසියානු ටී-62 යුධ ටැංකිය ඇසුරින් උතුරු කොරියාවේ දේශීය නිර්මාණ ලෙස හැඳින්වෙන චොන්මා-හෝ ප්‍රධාන යුධ ටැංකි 1000ක්ද රුසියානු ටී-80 හා ටී-90 යුධ ටැංකි තාක්ශණය හා චීන ටී-88 යුධ ටැංකි තාක්ශණය ඇසුරින් උතුරුකොරියාව විසින් නිර්මාණය කරන ලද පොක්පන්ග්-හෝ ප්‍රධාන යුධ ටැංකි 300ක් පමණද සේවයේ යොදවා ඇත.


සන්නද්ධ භට ප්‍රවාහන රථ (Armored Personnel Carriers) : උතුරු කොරියානු ගොඩබිම් හමුදාව සතුව දහස් ගණනක් සන්නද්ධ භට ප්‍රවාහන රථ ඇති අතර මේවා අතුරින් බොහොමයක් පැරණි සෝවියට් නිර්මාණ හෝ එම තාක්ශණය ඇසුරින් වැඩිදියුණු කරන ලද උතුරු කොරියානු නිර්මාණ වේ.

ගුවන් ආරක්ශක පද්ධති : උතුරු කොරියානු ගොඩබිම් හමුදාව සතුව SA-7, SA-17, SA-19 යන උරහිසෙහි රඳවාගෙන විදිය හැකි අධෝරක්ත සංවේදක ආධාරයෙන් ඉලක්කය සොයාගන්නා ගුවන් යානා නාශක මිසයිල පද්ධති (shoulder-fired infrared anti-aircraft missile) සියගණක් ඇත.

Korean People's Navy




උතුරු කොරියානු නාවික හමුදාව green water navy හෙවත් වෙරලාසන්න මෙහෙයුම් සඳහා හැකියාවන් ඇති නාවික හමුදාවකි. ඔවුන්ගේ බොහෝ මෙහෙයුම් වෙරළේ සිට කිලෝමීටර් 50ක උපරිම දුරකින් සිදුවේ. ගැඹුරු මුහුදේ සැතපුම් දහස් ගණනක් ඈතට මෙහෙයුම් සිදුකල හැකි නාවික හමුදා blue water navy ලෙස හඳුන්වයි.

උතුරු කොරියානු නාවුක හමුදාව නැගෙනහිර හා බටහිර නාවික හමුදා (east coast fleet & west coast fleet) වශයෙන් බෙදා ඇති අතර නැගෙනහිර නාවික හමුදාවට බටහිර නාවික හමුදාවට යුද්ධයකදී සහය දීමේ හැකියාවක් නැත. මීට හේතුව එසේ කිරීමට නම් දකුණු කොරියානු මුහුදු සීමාවෙන් කොරියානු අර්ධද්වීපය වටා ගමන් කල යුතු බැවිනි.  විවිධ වර්ගයේ නාවුක යාත්‍රා 708ක් හා සබ්මැරීන 30ක් සක්‍රිය සේවයේ නියුක්තවේ.

භට පිරිස් ශක්තිය : 146,000 ක පමණ නාවිකයින් පිරිසක් කොරියානු ජනතා නාවික හමුදාවේ සේවය කරන බවට ඇස්තමේන්තු කොට ඇත.

සබ්මැරීන : ඩීසල්-ඉලෙක්ට්‍රික් වර්ගයේ සබ්මැරීන හා කුඩා මිජට් වර්ගයේ සබ්මැරීන වලින් සමන්විතය. මේ අතරින් උතුරු කොරියාවේ නිර්මාණය කරන ලද සැන්ග්-යෝ කාණ්ඩයේ ප්‍රහාරක සබ්මැරීන (Sang-yo class attack submarine) 40ක්ද, යෝනෝ කාණ්ඩයේ කුඩා සබ්මැරීන (Yono class midget submarine) 10ක්ද, රෝමියෝ කාණ්ඩයේ සබ්මැරීන 20ක්ද, සෝවියට් රුසියාවෙන් ආනයනය කොට චීනයේ ආධාර ඇතුව වැඩිදියුණු හා නඩත්තු කටයුතු සිදුකරනවිශ්කි කාණ්ඩයේ (Whiskey class)සබ්මැරීන 4ක්ද ඇත.

ආරක්ශක නෞකා (frigates): සෝවියට් දේශයෙන් ලබාගත් ක්‍රිවාක් කාණ්ඩයේ ආරක්ශක නෞකා 1ක් හෝ 2ක් සේවයේ නියුතුය. පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයකින් ගමන්කල හැකි ක්‍රිවාක් කාණ්ඩයේ නෞකාවල යුධ නැව් විනාශකල හැකි මිසයිල, ගුවන්යානා නාශක මිසයිල, සබ්මැරීන නාශක මිසයිල හා අධිබල මැශින් තුවක්කු ගෙනයා හැකිය. සතුරු යාත්‍රා හඳුනා ගැනීම සඳහා රේඩාර් පද්ධති හා සබ්මැරීන හඳුනාගැනීම සඳහා සෝනාර් පද්ධති වලින්ද සම්න්විතය. සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා සබ්මැරීන නාශක හෙලිකොප්ටර් යානා ගෙනයාමේ හැකියාවද ක්‍රිවාක් කාණ්ඩයේ යුධ නෞකාවලට ඇත. මීට අමතරව උතුරු කොරියාවේ නිර්මාණය කල නැජින් කාණ්ඩයේ සැහැල්ලු ආරක්ශක නෞකා (light frigate) 3ක් පමණද සේවයේ යෙදවේ. මෙම සැහැල්ලු ආරක්ශක නෞකාවලටද නෞකා නාශක මිසයිල, සබ්මැරීන නාශක ටෝර්පිඩෝ හා අධිබල මැශින් තුවක්කු ගෙනයා හැකිය. රේඩාර් හා සෝනාර් පද්ධතිවලින් සමන්විතය.

අධිවේගී නාවික යාත්‍රා (corvettes) : සබ්මැරීන නාශක මෙහෙයුම් සඳහා යොදාගත හැකි උතුරු කොරියාවේ නිශ්පාදිත සැරිවොන් කාණ්ඩයේ අධිවේගී නාවික යාත්‍රා 5ක් ඇති අතර මෙම යාත්‍රා සතුව අධිබල මැශින් තුවක්කු, සබ්මැරීන විනාශ කිරීම සඳහා යොදාගන්නා බෝම්බ විශේෂයක් වන ඩෙප්ත්-චාජර්ස් පද්ධති වලින් සමන්විතය. මෙය 1960 ගණන්වල සෝවියට් නිර්මාණයක් ඇසුරින් නිපදවා ඇති බව යුධ විශ්ලේෂකයින් පවසයි. එමෙන්ම සෝවියට් දේශයෙන් ලබාගත් ට්‍රියල් කාණ්ඩයේ යාත්‍රා දෙක්ද ඔවුන් සතුවේ.

ටෝර්පිඩෝ හා මිසයිල ප්‍රහාරක යාත්‍රා : කුඩා නාවික යාත්‍රා ගණයට වැටෙන මෙම යාත්‍රා කාණ්ඩ ගණනාවක් උතුරු කොරියාව සතුව ඇත. ගණනින් 250ක් පමණ වන මෙම යාත්‍රාවලට නෞකා නාශක මිසයිල හා සබ්මැරීන නාශක ටෝර්පිඩෝ නම් දිය යටින් යන මිසයිල ගෙනයා හැකිය.

සන්නද්ධ ප්‍රහාරක බෝට්ටු (gun boats) : මෙවැනි අධිවේගී සන්නද්ධ යාත්‍රා සියයකට අධික සංඛයාවක් සේවයේ යොදවා ඇත.

භටපිරිස් හා සන්නද්ධ රථ ප්‍රවාහන යාත්‍රා (landing crafts) : විවිධ කාණ්ඩවල ප්‍රවාහණ යාත්‍රා 500+ ප්‍රමාණයක් උතුරු කොරියාව සතු අතර ඕනෑම ස්ථානයකට භටපිරිස් හා සන්නද්ධ රථ හෝ යුධ ටැංකි ප්‍රවාහනය සඳහා මේවා යොදාගත හැක.

Korean People's Air Force




උතුරු කොරියානු ගුවන් හමුදාව භටයින් හා සෙසු නිළයන් 110,000 සමන්විත වන අතර ගුවන්යානා 1600කින් සන්නද්ධය. මෙම ගුවන් යානා බොහොමයක් සෝවියට් හෝ චීන නිශ්පාදනවේ.

ප්‍රහාරක හා සටන්වදින ගුවන් යානා : උතුරු කොරියානු ගුවන් හමුදාව සතු නවීනතම යානය මිග් 29 ප්‍රහාරක යානයයි. මෙවැනි යානා 40ක් උතුරු කොරියානු ගුවන් හමුදාව සතු අතර උතුරු කොරියාවේ අගනුවර වන පියෝන්ග්යෑන්ග් නුවර ගුවන් අවකාශය ආරක්ශාකිරීම මිග්-29 යානාවල මූලිකම රාජකාරිඅයි. මීට අමතරව තුන්වන පරම්පරාවේ මිග්-23 යානා 56ක්ද උතුරු කොරියාව සතුව ඇත. බටහිර යුධ විශ්ලේශකයින් පවසන අන්දමට ගණයේ රේඩාර් පද්ධතියකින් සමන්විත, ඉතා පහසුවෙන් මෙහෙයවිය හැකි මෙම යානා පියාසර කරන දක්ශ නියමුවෙකු හට නවීන යානා වලට වුව ඉතා හොඳ සටනක් දිය හැකි බව පවසයි. මීට අමතරව චීනයේ නිශ්පාදිත F-5, F-6 හා F-7 සුපර්සොනික් ප්‍රහාරක යානාද ඔවුන් සතුවේ. මෙම යානා සියල්ලම රුසියානු මිග් යානාවල පිටපත් වන අතර සුපර් සොනික් හැකියාව ඇති දිවා කල මෙහෙයුම් කල හැකි යානාවේ. F-5 යානා 100ක්ද, F-6 යානා 98ක්ද, F-7 යානා 40ක්ද සක්‍රිය සේවයේ නියුතුය. උතුරු කොරියාව සතුව වැඩියෙන්ම ඇති යානා වර්ගය මිග් 21 යානාවයි. මෙවැනි යානා 150කට අධික සංඛයාවක් සක්‍රිය සේවයේ නියුතුය.

බෝම්බ හෙලන යානා : ඉල්යුශින් 28 යානා හා එහි චීන පිටපතක් වන H-5 යානා 80කට අධික ගණනක් සක්‍රිය සේවයේ නියුතුය. දිගුදුර බෝම්බ හෙලන යානාවක් වන H-5 යානයට කිලෝ 3000ක බෝම්බ තොගයක් රැගෙන කිලෝමීටර් 2500ක් පියාසර කල හැකිය. මෙම යානාවේ දුර්වලතා වන්නේ එහි මන්දගාමී වේගයත් (පැ.කි.900) හා අඩු පියාසර උසත්ය (මීටර් 13,000). මේ දුර්වලතා නිසා මෙම යානා ගුවන්යානා නාශක මිසයිලවලට ගොදුරුවීමේ සම්භාවිතාවය ඉතා ඉහල බව පැවසේ.

පාබල හමුදා සහයක ගොඩබිම් ප්‍රහාරක යානා (ground support attack aircraft) : උතුරු කොරියාව සතුව සුක්හොයි Su-25 ගොඩබිම් ප්‍රහාරක යානා 35ක් පමණ ඇති අතර 1980 දශකයේ නිර්මාණය වූ මෙම යානාවට ඉතා හොඳ සටන් ඉතිහාසයක් ඇත. Su-25 යානා සෝවියට් හමුදාව විසින් ඇෆ්ඝනිස්ථානයේ මුජහිඩීන් සටන්කාමීන්ට එරෙහිව විශාල ලෙස යොදාගන්නා ලදී. මිට අමතරව පැරණි සෝවියට් නිර්මාණයක් වන Su-7 යානා 20ක් පමණද සක්‍රිය සේවයේ නියුතුය.

ප්‍රහාරක හෙලිකොප්ටර් : එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරය උතුරු කොරියාව සතු ප්‍රභලතම ප්‍රහාරක හෙලිකොප්ටරයයි. මෙවැනි යානා 24ක් ගුවන් හමුදාව සතුව ඇත. මීට අමතරව පැරණි සෝවියට් නිර්මාණ වන එම්.අයි. 2 කුඩා ප්‍රහාරක හෙලිකොප්ටර 140ක් හා එම්.අයි 14 හෙලිකොප්ටර් 10ක්ද ඇත. මීට අමතරව අමෙරිකාවේ නිර්මාණයක් වන MD-500 කුඩා හෙලිකොප්ටර් 87ක්ද උතුරු කොරියාව සතුවේ. සිවිල් ප්‍රවාහන සේවා සඳහා නිමවා ඇති මෙම යානා උතුරු කොරියාව මගින් බටහිර ජර්මනිය හරහා ගෙන්වා ගන්නා ලද අතර දැන් ඒවා සැහැල්ලු සන්නද්ධ ප්‍රහාරක හෙලිකොප්ටර් බවට අනුවර්තනය කරගෙන ඇත.

විශේෂ බළකා ප්‍රවාහන යානා : උතුරු කොරියානු විශේෂ බළකාය මගින් ඇන්ටනොෆ් ඒ.එන්-2 වර්ගයේ ප්‍රවාහන යානා 300ක් භාවිතා කරයි. ඉතා නිහඬව ක්‍රියාත්මක වන මෙම යානයට කිලෝමීටර් 850ක පරාසයක මෙහෙයුම් සිදුකල හැකි නිසාත් ඉතා පහතින් පියාසර කල හැකි බැවිනුත් උතුරු කොරියානු විශේෂ බළකායට කොමාන්ඩෝ සෙබළුන් දහස් ගණනක් රහසේම දකුණු කොරියානු භූමියට ගොඩබැස්විය හැකි වනු ඇත.

North Korean Strategic Rocket Forces 


උතුරු කොරියානු උපායමාර්ගික රොකට් බළකාය උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල පද්ධති භාරව සිටිනා හමුදා ඛණ්ඩයයි. විවිධ වර්ගයේ බැලිස්ටික් මිසයිල 1000ක් පමණ මෙම බළකාය සතුව ඇත.

කෙටිදුර බැලිස්ටික් මිසයිල (ප්‍රහාර පරාසය100Km-500Km) : උතුරු කොරියාව සතුව හ්වාසොන්ග්-5 හා හ්වාසොන්ග්-6 ලෙස නම් කල කෙටිදුර බැලිස්ටික් මිසයිල වර්ග දෙකක් ඇත. මේවා රුසියානු ස්කඩ් මිසයිලවල දේශීය නිශ්පාදන ලෙස හඳුනාගෙන ඇත. ජංගම ප්‍රවාහන රථවල ඕනෑම තැනකට ගෙනගොස් ඉක්මණින් දියත්කල හැකි ලෙස සකස්කොට ඇති මෙම මිසයිල හඳුනාගෙන විනාශ කිරීම ඉතා දුශ්කරය.

මධ්‍යදුර බැලිස්ටික් මිසයිල (ප්‍රහාර පරාසය 900Km-2500Km) : උතුරු කොරියාව සතුව රොඩොන්ග්-1 හා ටේපොඩොන්ග්-1 ලෙස හඳුන්වන මධ්‍යදුර බැලිස්ටික් මිසයිල වර්ග දෙකක් ඇත. රොඩොංග්-1 ස්කඩ් B හා ස්කඩ් C මාදිලියේ සෝවියට් කෙටිදුර මිසයිල තාක්ශණය ප්‍රතී-ඉන්ජිනේරුකරණය කොට නැවත වැඩිදියුණු කොට එහි ප්‍රහාරක පරාසය විශාල ලෙස ඉහලදමා ඇත. මෙය උතුරු කොරියානු රොකට් තාක්ශණයේ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකිය. රොඩොංග්-1 මිසයිලයේ පරාසය කිලෝමීටර් 900-1300 අතර වේ. කෙසේ වෙතත් මෙම මිසයිලයේ ඉලක්කයට වැදීමේ නිරවද්‍යතාවය ඉතා පහල මට්ටමක පවතිඅන බව පැවසේ. එමෙන්ම දියත් කිරීමට පෙර ඉන්ධන පිරවීම සිදුකල යුතු නිසා ප්‍රහාරයකට සූදානම් කිරීමට විශාල කාළයක් ගතවන අතර ජංගම මිසයිලයක් නොවේ. ටේපොඩොන්ග්-1 සක්‍රිය සේවයේ පවතින මිසයිලයක් නොව, උතුරු කොරියානු රොකට් තාක්ශණ පර්යේශණ සඳහා නිර්මාණය කරන ලද අදියර තුනකින් යුතු විශාල රොකට්ටුවකි. මෙහි ප්‍රහාර පරාසය කිලෝමීටර් 2500කි.

අන්තර්මහදිවීපික බැලිස්ටික් මිසයිල (ප්‍රහාරක පරාසය කිලෝමීටර් 4000-6000): උතුරු කොරියාව සතුව ටේපොඩොන්ග්-2 ලෙස හැඳින්වෙන අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඇති අතර එවැනි මිසයිල 2ක් හෝ 3ක් සක්‍රිය සේවයේ ඇති බවට බටහිර ඔත්තු සේවා සැක කරයි. කිලෝමීටර් 6000ක් උපරිම ප්‍රහාරක පරාසයක් ඇති මෙය දැනට එක් වතාවක් පමණක් දියත් කොට ඇති අතර එම පිරික්සුම් පියාසැරිය අසාර්ථක වූයේ මිනිත්තු 2කට පමණ පසු මිසයිලයේ රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වූ බැවිනි.

North Korean Special Operations Force

උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය භටයින් 180,000 සැදුම්ලත් ලොව විශාලතම විශේෂ මෙහෙයුම් බළකායයි. මෙම බළකායේ අරමුණ දකුණු කොරියානු භූමියට ඇතුලුවී ඔත්තුබැලීම, දකුණු කොරියානු යුධ හා සිවිල් මර්මස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් සිදුකිරීම, පාබල හමුදාවලට සහය දීම වැනි කරුණුයි. මේ සඳහා ගුවන් (airborne), ඔත්තුසේවා (reconnaissance), නාවුක මෙහෙයුම් (maritime) පාබල සේනාංක (infantry) ආදී සේනාංක වලින් මෙම බළකාය සමන්විතය. උතුරු කොරියානු සබ්මැරීන මගින් හා ප්‍රවාහණ යාත්‍රා මගින් දහස් ගණනක් විශේෂ බළකා සෙබළුන් දකුණු කොරියානු වෙරළවලට ගොඩ බැස්විය හැකි අතර ගුවන් බළකාය සතු ඇන්ටනොෆ් යානා මගින් තවත් දහස් ගණක් දේශසීමාවෙන් කිලෝමීඅටර් සියගණනක් දකුණු කොරිආව තුලට භටයින් ගොසබැස්විය හැකිය.

Worker-Peasant Red Guards

සාමාජිකයින් මිලියන 3.5කින් සමන්විත ගොවි-කම්කරු රතු හමුදාව ලොව විශාලතම සිවිල් ආරක්ශක සේවයයි. මෙහි සාමාජිකයින් අවි පුහුණුව ලබා ඇති අතර සැහැල්ලු අවි, ආර්.පී.ජී අවි, මෝටාර් හා යුධ ටැංකි නාශක අවි අවලින් සන්නද්ධය.

උතුරට මුහුණ දීමට දකුණේ සූදානම....

උතුරු කොරියානු මිසයිල ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා දකුණු කොරියානු ත්‍රිවිධ හමුදා සීරුවෙන් සිටී. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු කොරියාවේ කුන්සාන් ගුවන් කඳවුරේ ධාවන පථයේ මොහොතකින් ගුවන්ගත කිරීම සඳහා සූදානම් කොට තිබෙන දකුණු කොරියානු F-16 ෆයිටිං ෆෝල්කන් ජෙට් ප්‍රහාරක යානා සියගණනකි. මෙලෙස දකුණු කොරියාව පුරා ඇති සියළුම යුධ, ගුවන් හා නාවුක කඳවුරු සීරුවෙන් තබා ඇත......




දකුණු කොරියානු යුධ ටැංකි මුහුදින් ගොඩබැසීමේ අභ්‍යාසයක යෙදෙමින්....




දකුණු කොරියානු විශේෂ බළකා සෙබළුන් උතුරු කොරියානු දේශසීමව අසල මුර සංචාරයේ යෙදෙමින්.....



 දැන් සියල්ල ඇත්තේ උතුරු කොරියානු කොළු නායකයා අතය...

Wednesday, 10 April 2013

අමෙරිකාව උතුරු කොරියාවට පහරදීමට සූදානම්වේ! ස්ටෙල්ත් ප්‍රහාරක යානා, ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා දැනටමත් දකුණු කොරියානු කඳවුරුවල!

F-22 Raptor in Osan Airbase, South Korea


යම් හෙයකින් උතුරු කොරියාවේ නායකත්වය ඔවුන් දැනට තර්ජනය කරමින් සිටිනා ආකාරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කල හොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු ත්‍රිවිධ හමුදාව නිහඬව සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ.

දැනටමත් අමෙරිකාවේ නවතම F-22 රැප්ටර් ප්‍රහාරක යානා දකුණු කොරියාවේ ඕසාන් ගුවන් කඳවුරේ ස්ථානගත කොට ඇති අතර ජපානයේ අමෙරිකානු ගුවන් කඳවුරක් වන කැඩීනා ගුවන් කඳවුරෙහිද මේවන විටත් පුහුණුවීම පියාසැරි වල නිරතවෙන බව යුධ පුවත් වාර්තා පවසයි.

එමෙන්ම ස්ටෙල්ත් බෝම්බ ප්‍රහාරක යානාවක් වන B-2 යානා ගණනාවක් හා දැවැන්ත බෝම්බ ප්‍රහාරක යානාවක් වන B-52 දිගුදුර බෝම්බ ප්‍රහාරක යානා මේවන විටත් කොරියානු අර්ධද්වීපය ඉහලින් දකුණු කොරියානු ගුවන් හමුදාව හා එක්ව පුහුණුවීම් පියාසැරිවල නිරතවෙයි.

මේ අතර උත්තර ධ්‍රැවය ඉහලින් අමෙරිකාවට එල්ලවිය හැකි උතුරු කොරියානු මිසයිල විනාශකොට දැමීම සඳහා ඇලස්කානු මුහුදු තීරය වෙත මිසයිල විනාශකල හැකි යුධ නැව් (missile interceptors) 14ක් යැවීමට අමෙරිකානු ආරක්ශක ලේකම්වරයා කටයුතු කොට තිබේ.

ගුවන් ආරක්ශක තොරතුරු විශ්ලේෂණ සඟරාවක් The Aviationist වන පවසන ආකාරයට F-22 යානා උතුරු කොරියාවේ රේඩාර් හා ගුවන් ආරක්ශණ පද්ධති විනාශ කිරීම සඳහාත් ස්ටෙල්ත් හැකියාව නොමැති B-52 බෝම්බ හෙලන යානා වලට ආරක්ශාව සැපයිම සඳහාත් උපයෝගී කරගනු ඇත.

වාර්තාවන ආකාරයට උතුරු කොරියාවේ ලාබාළ ආඥාදායක කිම් ජන්ග් අන් අමෙරිකාවේ ස්ථාන කිහිපයකට බැලිස්ටික් මිසයිල එල්ල කිරීම සඳහා අවසර ලබාදී ඇත. මෙම ස්ථාන නම් අමෙරිකානු ප්‍රාන්තයක් වන පැසිෆික් සාගරයේ හවායි දූපතේ අගනුවර වන හොනලුලු නගරය (සුප්‍රකට පර්ල් හාබර් නම් අමෙරිකානු නාවික කඳවුර මෙහි පිහිටා ඇත), කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ නුවර (සැන් ඩියේගෝහි දැවැන්ත අමෙරිකානු නාවික කඳවුරු කිහිපයක් පිහිටා ඇත ), අමෙරිකාවේ අගනුවර වන වොශිංටන් හා ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයයි.

උතුරු කොරියාවේ අමෙරිකානු ඉලක්ක...
සිය ජෙනරාල් වරුන් දෙපසින් තබාගත් කොරියානු නායකයා අමෙරිකානු ප්‍රහාර සැලැස්ම පරීක්ශා කරන ආකාරය පහත ඡායාරූපයේ දැක්වේ. මෙම ලාබාල නායකයා දෙපසින් සිටිනා ජෙනරාල්වරු, අමෙරිකානු මහද්වීපය තෙක් දීර්ඝ ගමනක යෙදිය හැකි අන්තර්-මහද්වීපික බැලිස්ටික් මිසයිල උතුරු කොරියාව සතුව නැතිබව ඔහුගෙන් වසංකොට ඇති බව නිසැකය.


මේ අතර අමෙරිකානු ස්ටෙල්ත් ප්‍රහාරක යානාවලට මුහුණදී ඒවා පලවා හැරීමට උතුරු කොරියාව භාවිතා කිරීමට අපේක්ශා කරන ප්‍රහාරක යානා පුහුණු අභ්‍යාසයක ඡායාරූප උතුරු කොරියානු රාජ්‍ය පුවත් ඒජන්සිය විසින් නිකුත් කොට ඇත. තුරු කොරියානු නායකයා ඉදිරියේ පැවැත්වුනු මෙම පුහුණුවීම සඳහා සහභාගි වූයේ 1959 වසරේ සෝවියට් රුසියානු ගුවන්හමුදාවට එක්වුනු මිග්-21 ප්‍රහාරක යානයකි. තුන්වැනි ලෝකයේ රටවල් ගණනාවක් තවමත් මෙම යානා භාවිතා කරතත් රුසියානු මිග් සමාගම මෙම යානා නිශ්පාදනය නවතා දැන් දශක ගණනාවක් ඉක්ම ගොසිනි. පහත ඡායාරූපවල කිම් ජන්ග් අන් ඉතා සාඩම්බරයෙන් මිග්-21 යානාවක් ගුවන්ගත වන ආකාරය නරඹනු දැකිය හැකිය.

F-22 හා සසඳන විට ෆුට්-සයිකල් කටුවක් වන් මේ උතුරු කොරියන් මිග්-21 යානාවලට වැරදීමකින් හෝ F-22 යානයක් බිම හෙලාගත හැකිවුව හොත්, සියලු ගැටලු වලට අධිතාක්ශණ ශෝට්-කට් සොයනා අමෙරිකානු හමුදා ලොකු-ලොක්කන් හට ගෙලවැළලාගෙන මියැදෙන්නට සිදුවනු ඇත....




Tuesday, 9 April 2013

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!


තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.

කතෘ සටහන:

බුදු බණ වෙනුවට වෛරය වපුරන බොරු බණ දෙසන රටක වසන මට මෙය ඉමහත් අස්වැසිල්ලකි. තිලෝගුරු බුදුපියාණන් දෙසූ ආකාරයට මනස දියුණු කොටගෙන විස්කම් කෙරුම් සිදුකරන බුදු හිමියන්ගේ සැබෑ අනුගාමිකයින් මෙරට නැතත් තිබ්බතයේ හෝ සිටින බව ඇසීම සතුටකි.

තිබ්බතයේ ලමා වරුන් සැබෑ බුදු දහම අදහන්නේ නැති බවත් ඔවුන් ප්‍රගුණ කරන්නේ මහායාන ධර්මය බවත්, පිරිසිදු බුදු දහම ඇත්තේ ලංකාවේ පමණක් බවත් බොදු තලේබානුවන් පවසන්නට පුලුවන. මට ඔවුන් හට කීමට ඇත්තේ "බුදු සරණයි-ඔහොම යන්න"  පමණකි.

Related Posts Plugin for WordPress, Blogger...