Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 26 January 2017

1973 දී ශ්‍රී ලංකාව තිබුනේ මෙහෙමයි

1970 දශකයේ ලංකාවේ ගමක දරුවන්. මෙයාල හැමෝද දැන් අවුරුදු 45-50 වයසේ තලතුනා අය. 
1973 ලංකාව තිබුණේ මෙහෙමයි කියලා පෙන්වන, දුර්ලභ වර්ණ ඡායාරූප වගයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා. විවිධ වෙබ් අඩවිවල, ට්විටර් පණිවුඩ වල වගේම මෙම ඡායාරූප එකතුකරලා හදපු යූ ටියුබ් වීඩියෝත් දැන් තියෙනවා. ඒ වුනත්, මෙම ඡායාරූප අන්තර්ජාලයට එකතුකරපු අය මෙම ඡායාරූපවල පලමු අයිතිකරු පිලිබඳව හෝ මෙම ඡායාරූපවලින් පෙන්වන, 70 දශකයේ ලංකාවේ ආර්ථික හා සමාජී කරුණු පිලිබඳව උනන්දුවක් දක්වලා නැති බව පෙනෙනවා. මේ සටහනේ අරමුණ ඒ පිලිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමයි.

මේ ඡායාරූප ගත්තේ කවුද?

ඡායාරූප ගොන්නේ තිබෙන ඡායාරූප කිහිපයක් මෙම ඡායාරූප ගන්නට ඇත්තේ කවුදැයි යන්නට ඉඟි ලබාදෙනවා. ලංකාවට පැමිණි සුදු ජාතික යුවලක් මෙම ඡායාරූප ගන්නට ඇතිබව සිතාගත හැක්කේ මේ ඡායාරූපයෙන් මෙහි. සංචාරක මගපෙන්වන්නා හා ඡායාරූප ගත් සංචාරකයාගේ බිරිඳ පෙනී සිටින බව සිතාගත හැකියි. ඔවුන් ගේ කාර් රථයේ "TOURIST CAR" යනුවෙන්ද "CEYLON HOTELS CORPORATION" යනුවෙන්ද සටහන් කොට තිබෙන බව පේනවා.

Sri Lanka in the 70's
මෙම ඡායාරූපය මහනුවර ආසන්නයේදී ගන්නා ලද එකක් බව පැවසෙනවා.
මෙම ඡායාරූප දක්වා තිබුනු reporter.lk වෙබ් අඩවියේ, මෙම ඡායාරූප වල මුල් අයිතිකරු ස්කොට්ලන්ත ජාතික ඩන්කන් නැමැත්තෙකු බවත්, ඒවා ඊමේල් මගින් පාඨකයෙකු විසින් එවා තිබුණු බවත් සටහන් කොට තිබෙනවා.

මෙම ඡායාරූප දක්වා තිබුනු තවත් වෙබ් අඩවියක් වන newslanka.net අඩවියේ, මෙම ඡායාරූප තිස්ස මඩවල නැමැත්තෙකුට අයත් බව දක්වා තිබෙනවා.

1973 කාළයේ ශ්‍රී ලංකාව

දේශපාලනය

1970 දශකයේ ලංකාව අදට වඩා බොහෝ වෙනස් ස්වරූපයක් ගත්තා. ඒ වන විට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණු රජය බලයට පත්වී තිබුණා. සමගි පෙරමුණු රජය 1970 බලයට පත්වූ අතර ඉන් වසරක් යන්නට පෙර රෝහණ විජේවීරගේ නායකත්වයෙන් 1971 අප්‍රේල් කැරැළ්ල සිදුවී මහා විනාශයක් වූවා. තරුණ තරුණියන් දහස් ගණනක් මිය ගොස්, තවත් දහස් ගණනක් පුනරුත්තාපන කඳවුරුවලට ගාල් වී සිටියා.

1973 වනවිට දකුණ සාමකාමීව තිබුණත් උතුරුකරයේ දමිළ තරුණයන් අතර බෙදුම්වාදී අදහස් මෝරමින් තිබුණා. ද්‍රවිඩ සන්නද්ධ අරගලයේ ආරම්භක ලක්ෂයක් ලෙස සැලකෙන යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා මහතාව ඝාතනය කරන්නේ මෙම ඡායාරූප ගත් 1973ට වසර දෙකකට පසු, එනම් 1975 ජූලි මාසයේදීයි.

ආර්ථිකය

සමගි පෙරමුණු රජය, එහි මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ ස්වයංපෝෂිත, සමාජවාදී, මධ්‍යගත සැළසුම් ආර්ථිකයක් වෙත යොමු කරනවා. ආනයන අඩුකොට, දේශීය නිශ්පාදනය ඉහල නැංවීමට හා ආනයන ආදේශක නිපදවීමට වැඩි බරක් දෙන දෙන ලද අතර හැකිතාක් විදේශ විනිමය ආරක්ෂාකර ගනිමින් රට ණයබරින් මුදවා ගැනීමද ඉලක්කයක් වුනා. එමෙන්ම පුද්ගලික ව්‍යාපාර හා වතු විශාල ලෙස රජයට පවරාගත් අතර ඒවා රාජ්‍ය සංස්ථා බවට පත් කෙරුනේ ජනතාවට හා රටට අත්‍යාවශ්‍ය දෑ අඩුමිලට සැපයිමට හා පෞද්ගලික ව්‍යාපාරිකයින් ජනතාව සූරාකන බවට ඇති සමාජවාදී න්‍යාය මත පිහිටලයි.

තෙල් සංස්ථාව (1961දී පිහිටුවන ලද අතර 1971දී තෙල් වෙළඳාමේ ඒකාධිකාරිය හිමිකරගන්නා ලදී), හෝටල් සංස්ථාව, රක්ෂණ සංස්ථාව, වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, පොහොර සංස්ථාව, පිඟන් සංස්ථාව ආදී වශයෙන් රාජ්‍ය සංස්ථා ආරම්භකරන ලද අතර ආනයන-අපනයන-නිෂ්පාදන-වෙළඳාම ආදී සියලු ආර්ථික කර්තව්‍යයන් රජයේ පාලනයෙන් සිදුවිය.

මෙහි එක් අහිතකර ප්‍රථිපලයක්වූයේ මෙරට ආයෝජනය කරමින් ව්‍යාපාර පවත්වාගෙන ගිය විදේශික ආයෝජකයින්ගේ ව්‍යාපාර (උදාහරණයක් ලෙස බොහෝ කාළයක සිට ලංකාවේ තෙල් ආනයනය හා වෙළඳාම සිදුකල බහුජාතික සමාගම් වන ශෙල්, එසෝ හා කැල්ටෙක්ස් සතුවූ තෙල් ව්‍යාපාර)  රජයට පවරාගැනීම නිසා ලංකාවෙන් විදෙස් ආයෝජකයින් ඉවත්වූ අතර අලුත් විදෙස් ආයෝජන පැමිණීම ඇණහිටියේය. එමෙන්ම ලංකාවේ ව්‍යාපාර කරමින් සිටි විදේශිකයින්ද සිය ව්‍යාපාර විකුණාදමා ලංකාවෙන් පිටවිය.

අකාර්යක්ෂම රාජ්‍ය සංස්ථා, අක්‍රමිකතා හා නිළධාරීවාදය නිසා මෙම ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වන්නට වූ අතර අගහිඟකම් පැතිරෙන්නට විය. විදෙස් විනිමය අඩුවීම නිසා ආනයන සීග්‍ර ලෙස පහත වැටුනු අතර එදිනෙදා ජීවිතයට අවශ්‍ය හාල්, පිටි, සීනි, කරවල, සිමෙන්ති, බයිසිකල් ටයර්, ටෝච් බැටරි, රෙදිපිලි දැඩි ලෙස හිඟවන්නට වූ අතර මේ සියල්ලම අලෙවිය හා බෙදාහැරීම දැඩිලෙස සීමා කරන සළාක ක්‍රමයක් ඇති කරන්නට සිදුවුනා.

ඊට අමතරව හාල් පොලු, මිරිස් පොලු ලෙස හැඳින්වූ මාර්ග බාධක දමා පාරේ යන බස් මගීන්ගේ බෑග් මලු පවා පරීක්ෂාකොට ඒවායේ හාල්, වියළි මිරිස් ආදී දැඩි ලෙස සීමා කොට ඇති භාණ්ඩ ගෙනියනවාදැයි සෙවූ බව පැවසුවොත් ඔබ සමහර විට  "මේ ලංකාවේ ඔහොම වුනාදැයි?" පුදුමයෙන් අසන්නට පුලුවන්.

පාන් මිලදීගැනීමට පාන් පෝලිම්, හාල් මිලදී ගැනීමට හාල් පෝලිම්, කිරිපිටි සඳහා කිරිපිටිපෝලිම් ආදී සියගණනක් පෝලිම් වල රස්තියාදුවීමට එකල ලාංකිකයින්ට සිදුවුනා. මාගේ දෙමව්පියන් පවසන ආකාරයට එක පාන් ගෙඩියකට සීමා කොට තිබූ සලාකයට පාන් ගැනීම සඳහා පාන්දර 5.00ට පාන් පෝලිමට එකතුවීමට සිදුවුනු අවාසනාවන්ත යුගයක් 1973-1976 කාළය වනවිට බිහිව තිබුණා.


ආහාර දෙපාර්තමේන්තුව හා චාමර්ස් ධාන්‍යාගාරය

Sri Lanka in the 70's
චාර්මස් ධාන්‍යාගාරය හා ඊට එපිටින්වූ කොළඹ වරාය 1970 ගණන්වල දිස්වූ ආකාරය.
සහල් මළු 500,000 ගබඩාකල හැකි ලෙස ඉදිවුනු චාමර්ස් ධාන්‍යාගාරය ඉදිකරන්න පටන්ගත්තේ 1914දී. මේ වැඩේට නිමිත්ත වුනා කියන්නේ ඒකාලේ පැතිරෙන්න පටන්ගත් මහාමාරිය නම් මීයන්ගෙන් බෝවෙන රෝගය. මීයන්ගෙන් ආරක්ෂා කරගත හැකි විධියට ධාන්‍ය ගබඩාකරන්න තමයි චාමර්ස් ධාන්‍යාගාරය තනලා තියෙන්නේ.

මීට දශක කිහිපයකට කලින් ආණ්ඩුවේ හාල් ස්ටෝරුව කියලා හඳුන්වපු චාමර්ස් ධාන්‍යාගාරය පිහිටලා තිබුනේ කොටුවේ ලෝක වෙළඳ පොලට ඉස්සරහායින් ඕල්කට් මාවතෙයි. එක පෙළට පදික වේදිකාව ආසන්නයෙන් හදලා තියෙන කැසට් කඩවල්, ෆොන් කඩවල්, විවිධ වෙළඳ කුටි තියෙන්නේත් මේ මම කියන චාමර්ස් ධාන්‍යාගාර භූමියේ  ඕල්කට් මාවත පැත්තේ මායිමේ. දැන් අවුරුදු කිහිපයකට ඉස්සරින් අන්තිමට ඉතුරුවෙලා තිබ්බ ගොඩනැගිලි කිහිපයත් කඩා දමලා මුඩුබිමක් බවට පත් කරපු මේ භූමිය  ඕල්කට් මාවත උඩින් කොටුව දුම්රියපල පැත්තට පාර මාරුවෙන්න හදාපු යකඩ මගි පාලම උඩට ගියාම බලාගන්න පුළුවන්.

චාමර්ස් ධාන්‍යාගාරය (Charmers Granary) 1916 මැයි 11 වෙනිදා විවෘත කෙරුණා. චාමර්ස් ධාන්‍යාගාරයට චාමර්ස් කියලා නම දාලා තියෙන්නේ මේකාලේ රට පාලනය කරපු රොබට් චාමර්ස් ආණ්ඩුකාරයායට ගෞරවයක් වෙන්න.

70 දශකයේ සමගි පෙරමුණු ආණ්ඪුව කාලේ ආහාර දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් පිහිටවුනේ රටේ සහල් ආනයනය, ගබඩාකිරීම හා බෙදාහැරීම පාලනය කරන්න. මේ දෙපාර්තමේන්තුවට චාර්මස් ධාන්‍යාගාරය පැවරුනු අතර 1980 දශකයේ මුල් කාලයේ මේ ලේඛකයාත් කුඩා දරුවෙක් විධියට චාමර්ස් ධාන්‍යාගාරයට කිහිපවතාවක් ගිහින් තිබෙන්නේ මගේ පියා එකල ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කල නිසා. දැවැන්ත ගබඩා වගේම සහල් පටවාගත් ලොරියක්, ලොරිය පිටින්ම කිරන්න පුලුවන් විශාල "weigh bridge" තරාදිය මම දැක ගත්තේ මේ ගමන් වලදී.

පෞද්ගලික ව්‍යාපාර

පෞද්ගලික ව්‍යාපාර බොහෝ සෙයින් අඩපණවූ කාළයකි 70 දශකය. ආදායම් ලැබූ ව්‍යාපාරික අවස්ථා රජයට පවරාගැනීම, ආනයන සීමා, විදෙස් විණිමය හිඟකම, අමතර කොටස්, උපකරණ, අමුද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතා, බැංකු ණය හා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුව මෙන්ම රජයේ නිළධාරිවාදය හේතුකොට ගෙනද පෞද්ගලික ව්‍යාපාර කිරීම බොහෝ අපහසු වුනා.

වතු ආර්ථිකය හා දැඩිලෙස සම්බන්ධවූ බ්‍රවුන්ස්, බවර්, කොළඹ කොමර්ෂල් කොම්පැණිය, කේව්ස්, හන්ටර්ස්, වෝකර්ස්, හේලීස් වැනි සමාගම් විශාල අර්බුධ වලට බඳුන්වූ අතර ඒවායින් සමහර සමාගම් නැවතත් හිස ඔසවා ගැනීමට සමත්වූවත් වෝකර්ස්, විටෝල්ස් වැනි සමාගම් අදවන විට වෙනත් සමූහ ව්‍යාපාරවල කොටස් බවට පත්වී තිබෙන්නේ 1970 ගණවල සිදුවූ ඇදවැටීමෙන් යලි නැගිටීමට නොහැකිවූ නිසා වන්නට ඇති. කොළඹ කොමර්ෂල් කොම්පැණිය රජයට පවරාගත් අතර මේ වනවිට වැසීගොස් තිබෙනවා. සුප්‍රකට තේ අපනයන සමාගමක් වූ කේව්ස් සමාගමද වැසී ගොස් ඇති අතර බොහෝ අපහසුතාවයන් මැද ක්‍රියාත්මකවූ බ්‍රවුන්ස් වැනි සමාගම් දැන් යලිත් දියුණුවී තිබෙනවා.


සන්නිවේදනය හා සමාජ සබඳතා

Sri Lanka in the 70's

රූපවාහිණී සේවාවක් නොතිබූ මේ යුගයේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොණික මාධ්‍යය වූයේ රජයේ ගුවන්විදුලියයි. ස්වදේශීය සේවය, වෙළඳ සේවය හා ප්‍රාදේශීය සේවා මගින් රටටම තොරතුරු සැපයූයේ ගුවන් විදුලියයි. එවක ආනයන සීමා හා ආර්ථික අහේනිය නිසා ගුවන්විදුලි යන්ත්‍රද සීමිත වූ අතර ගම්වල ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණේ ප්‍රභූ ගෙවල්වල පමණකි. ප්‍රවෘත්ති ඇසීමට හා පෝදා බණ ඇසීමට මෙන්ම විශේෂ අවස්ථාවලදී විස්තර ප්‍රචාර ඇසීමට ගම්මුන් මෙම ප්‍රභූ ගෙදරට රැස්වෙන යුගයක් වුනා.

පුවත්පත් ගණනාවක් තිබූ අතර දැන් ප්‍රකාශය නැවතී ඇති "දවස", "රිවිරැස (ඉරිදා)", "The Sun" , "Weekend Sun" ආදී පුවත්පත් මෙන්ම ලේක් හවුස් පුවත්පත් ජනප්‍රිය වුනා. සමගි පෙරමුණු රජයට පක්ෂපාතීවූ "ඇත්ත" පත්තරේ හා එක්සත් ජාතික පක්ෂයේ "සියරට" පුවත්පතද ඉතා ජනප්‍රිය වුනා.

දුරකථන ඉතා හිඟවූ අතර නිවසේ දුරකථනයක් තිබුණේ ඉහල ප්‍රභූන්, ධනවත් ව්‍යාපාරිකයින්, උසස් රජයේ නිළධාරීන්ට පමණකි. සෙසු ජනතාව දුරකථන ඇමතුමක් ගැනීම සඳහා තැපැල් කාර්යාලයට ගොස් අංකය ලබාදී ඇමතුම සම්බන්ධකර දෙන තෙක් රැඳී සිටිය යුතුවුනා.

හදිසි පණිවුඩ යැවීමට ඉතා ජනප්‍රියම ක්‍රමය වූයේ ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පණිවුඩ සේවාවයි.

රටේ විවිධ ප්‍රදේශවල රැකියාවේ, ඉගැණුමේ යෙදෙන හෝ පදිංචිවී සිටින නෑදෑ හිතවතුන්, දූදරුවන්, සැමියා/බිරිඳ සමග සබඳතා පවත්වීමට බහුලව යොදා ගත්තේ තැපැල් සේවය හරහා ලියුම් හා තැපැල් පත් යැවීමයි.

සිය පෙම්වතාගෙන්, පෙම්වතියගෙන් හසුනක් රැගත් ලිපියක් එනතෙක්, දිනගනන් මගබලාගෙන සිටීම හා තැපැල් පියුම්ගේ සීනු හඬ ඇසුනු සැණින් කරමින් සිටි සියල්ල අතහැර ගේට්ටුව වෙත දිව යාම එකල තරුණ පෙම්වතුන්ගේ/පෙම්වතියන්ගේ උදය වරුවේ ප්‍රධාන කර්තව්‍යය වූ බව මේ කාළයේ තුරුණුවියේ පසුවූවන් දැන් සිහිපත් කරන්නේ මහත් ආස්වාදයෙන්.

රථවාහන හා ප්‍රවාහණය

එකල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ලංගම බස් රථයි. මෙම ඡායාරූප පෙලෙහි එකල ලංගමයේ බස් රථ වැඩි ප්‍රමාණයක් අයත්වූ පැරණි බොඩිය සහිත ලේලන්ඩ් බස් රථ දැකගත හැකිය.

Sri Lanka in the 70's
ඡායාරූපයේ අංක 135 කැළණිය බස් රථය ලේලන්ඩ් කොමට් වර්ගයට අයිතියි. මේවා ලංගමට අරගෙන තියෙන්නේ 1967දී. බොඩිය වේරහැර ලංගම වැඩපොලේදී සවිකරලා තියෙනවා. මේ විස්තර අරගත්තේ අන්තර්ජාලයේ ලංගම බස් විශේෂඥයා වෙන උත්පල දිල්හාන් අතාවුදගෙන්. එයාගේ බ්ලොග් අඩවියේ ලින්කුවක් ලිපියේ අන්තිමට තියෙනවා.

Sri Lanka in the 70's
කැළණිය පන්සල ලඟ වුඩ්ලන්ඩ්ස් අයිස්ක්‍රීම් සමාගමේ අයිස් ක්‍රීම් වෑන්. ඒකාලේ ලංකාවේ තිබුණු හොඳම අයිස්ක්‍රීම් සන්නාමය තමයි වුඩ්ලන්ඩ්ස්. පස්සෙ කාලෙක නැත්තටම නැතිවුනු වුඩ්ලන්ඩ්ස් අයිස්ක්‍රීම් දැන් ආයෙත් වෙළඳපොලට ඇවිල්ලා.

කැළණිය පන්සල ලඟ අරගෙන තියෙන මේ ඡායාරූපයෙන් පේන්නේ එකල බොහොම ජනප්‍රිය වාණිජ කටයුතු වලට යොදාගත් වෑන් රථ මාදිලියක්. වුඩ්ලන්ස් අයික්‍රීම් සමාගම ඒකාලේ හැම ප්‍රසිද්ධ ස්ථානයකටම, පොදු උත්සව අවස්ථාවලට එයාලගෙ අයිස්ක්‍රීම් වෑන්, හා ලොරි පිටත්කර හරිනවා. වටේමට ලයිට් දාලා, ඩක ඩක ඩක ගාමින් මහ සද්දෙට ජෙනරේටරේ වැඩකරන වුඩ්ලන්ඩ් අයික්‍රීම් වෑන් එකක් හරි ලොරියක් හරි දැක්කම ඒකාලේ පුංචි උන් වෙච්ච අපිට පිස්සු වගේ.

එන්ගලන්තෙ මොරිස් මෝටර් සමාගමේ නිපදවපු මේ වෑන් මාදිලිය "Morris Commercial J2" කියලා හැඳින්වුනා. කැත මූනක් තියෙන මේ වෑන් රථය එන්ගලන්තේ හා ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වුනු අතර 1956 ඉඳන් 1967 මෙම වාහන මාදිලිය නිපදවුනු බව තමයි කියවෙන්නේ.

Sri Lanka in the 70's

1970 දශකයේ මුල් කාලේ කියන්නේ ජපන් කාර් ගැන කවුරුවත් අහලාවත් නැති යුගයක්. ඒ කාලේ ලෝකෙ ලොකුම වාහන කර්මාණ්ත තිබුනේ ඇමරිකාවේ, එන්ගලන්තේ, ප්‍රංශයේ, ඉතාලියේ හා ජර්මනියේයි.

මේ ඡායාරූපයේ පෙන්වන්නේ ඒකාලේ බොහොම ජනප්‍රිය වුනු වාහනයක්. වෛද්‍යවරු, ධනවතුන්, වතුපිටි ඉඩ කඩම් ඇති කුළවතුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වාහන මිළදී ගත්ත්ටා.

මේ කාර් රථය  ප්‍රංශයේ පර්ජෝ සමාගමේ පර්ජෝ 404 සැලූන් රථයයි. ලොවපුරාම අතිශයින් ජනප්‍රිය වුනු පර්ජෝ 404 මාදිලිය 1960 ඉඳන් 1975 වෙනකම් නිෂ්පාදනය වෙලා තියෙන අතර මේකාලේ 404 කාර් මිලියන 2.8ක් ලොව පුරාම නිපදවලා තියෙනවා. ප්‍රංශයට අමතරව දකුණු අප්‍රිකාවේ, ඔස්ට්‍රිලියාවේ, ආජන්ටිනාවේ, චිලී රටේ, බෙල්ජියමේ, කැනඩාවේ, නවසීලන්තයේ, මැලේසියාවේ හා අයර්ලන්තයේ පර්ජෝ 404 කාර් නිපදවලා තියෙනවා.

ඝාතනය වුනු යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහත්තයත් ඝාතනය වුනු කෝවිල වෙත ගිහින් තියෙන්නේ ඔහුට පක්ෂ සාමාජිකයින් සම්මාදම් වෙලා අරන්දීලා තිබුණු පර්ජෝ 404 කාර් රථයෙන් කියලා වාර්තා වෙනවා.

Sri Lanka in 1973: Flickr Slideshow

Sri Lanka - Images from the 70s


SLTB BUS BLOG : http://sltbbus.blogspot.com/
http://www.newslanka.net/pics_of_sri_lanka_from_1973.html



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Friday, 20 January 2017

ට්‍රම්පච්චි ලොව බලවත්ම මිනිසා වෙයි | What can you expect from President Donald Trump?


තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව බලවත්ම මිනිසා වී නැත. තව පැය කිහිපයකින් වොෂින්ටනයට හිරු උදාවන අතර අමෙරිකාවට සහ ලොවට අලුත් නායකයෙක් බිහිවෙයි. රොනල්ඩ්රීගන් ගෙන් පසු, අමරිකාවේ බිහිවූ වයස්ගතම මෙන්ම අත්දැකීම් අඩුම, එමෙන්ම මතබේධකාරී ලෙස අමෙරිකානු ජනයා පෙර නොවූ විරූ ආකාරයෙන් විරසක කල නායකයෙක් ඇතිනම් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් වේ.

විචාරකයින් පවසන ආකාරයට, අමෙරිකාවේ බහුතර දේශපාලන දේහය (body politic) මෙන්ම බලසපන්න ජනමාධ්‍ය හා ව්‍යාපාරික බලවතුන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිලෙස පිලිකුල් කරයි. 

මේ වනවිටත් ඔහු ඇමරිකාවේ බලසම්පන්න සමාගම්වලට විරුද්ධව යුධ ප්‍රකාශකොට ඇති අතර ඔහුගේ දැඩි බලපෑම හමුවේ දැවැන්ත ෆෝඩ් කාර් සමාගම මැක්සිකෝවේ අරඹන්නට සැළසුම්කල ඩොලර් බිලියන 1ක ආයෝජනයක් සහිත කාර් ෆැක්ටරියක සැළසුම් අවලංගුකොට ඒ වෙනුවට ඇමරිකාවේ එම ෆැක්ටරිය ආරම්භ කිරීමට තීරණය කොට ඇත.


ට්‍රම්ගේ දේශපාලන දැක්මට හොඳ උදාහරණයක් වන්නේ ඔහු බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන දක්වන ආකල්පයයි. ඔහු ප්‍රකාෂ කරන්නේ දූෂිත යුරෝපා හවුලෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යය තීරණය කිරීම ඉතාම බුද්ධිමත් පියවරක් බවයි. මෙය වෙනත් ලෝක නායකයින් ඒ පිලිබඳව දක්වන ආකල්පයට හාත්පසින්ම වෙනස් ආකල්පයකි. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පරිදි යුරෝපා හවුල යනු ජර්මනියේ වහල් කල්ලියකි.

එමෙන්ම සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත් කෙලපිඩක්සේ ඉවතලන ට්‍රම්ප් කෙලින්ම ජර්මනියේ චාන්සලර් ඇන්ජලා මර්කෙල්ට චෝදනා කරන්නේ යුරෝපයට මිලියන ගණනක් සරණාගතයින් එන්නට දොරටු විවර කිරීමට ගත් තීරණය යුරෝපයට මහත් ව්‍යසනයක් ඇතිකල මෝඩ තීරණයක් බවයි.

එපමණක් නොව ට්‍රම්ප් ප්‍රසිද්ධියේම ගෝලීය උණුසුම්කරණය මිත්‍යාවක් බවත්, එයින් ඇමරිකාවට අතිවිශාල ව්‍යාපාරික පාඩුවක් මෙන්ම තරඟකාරිත්වයට බාධාවක් බව පවසන අතර අමෙරිකානු නිෂ්පාදකයින් හට පරිසරදූෂණය සඳහා පනවා ඇති දැඩි සීමා ඉවත්කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

මෙන්ම අමෙරිකාවේ අක්කර මිලියන ගණනක් වන ජාතික වනෝද්‍යානවල හා වන රක්ෂිතවල අලුතින් තෙල් ගවේෂණයටද ඉඩදෙන්නට බලාපොරොත්තුවේ. මේ මගින් අමෙරිකාව මැදපෙරදිග තෙල් වලින් යැපීම අඩුකොට අමෙරිකාවේ ඉන්ධන සුරක්ෂිතතාවය තහවුරු කිරීමට පියවර ගනු ඇතැයි සැලකේ. 

එමෙන්ම ට්‍රම්ප් අමරිකානු ව්‍යාපාරවලට අවාසිලෙස චීනය විසින් සිය සමාගම් වලට ලබාදෙන සහනවලට විරුද්ධව දැඩිලෙස ප්‍රතික්‍රියා දැක්වීමට පොරොන්දුවී ඇත. මෙවැනි චීන අපනයන සඳහා 45% බදු පනවන බවට ට්‍රම්ප් දැනටමත් චීනයට තර්ජනය කොට ඇත.

ව්‍යාපාර සඳහා ඇති 37%වන ආදායම් බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩුකොට, පරිසර සංරක්ෂණ නීති, තෙල් කැණීමේ හා ප්‍රවාහණ නීති ඉවත් කිරීමෙන් මෙන්ම අමෙරිකානු ව්‍යාපාරවලට දියුණුවට බාධා ඇතිකරන විවිධ අණපණත් අතිවිශාල ප්‍රමාණයක් ට්‍රම්ප්ගේ රජය යටතේ අවලංගුකොට අමරිකානු ව්‍යාපාරවලට අතීතයේදී මෙන් ලොව ජයගැනීමට අවස්ථා උදාකරදීමට ඔහු පොරොන්දු වී ඇත. 

එමපමණක් නොව දැනට අබලන් වෙමින් අති අමෙරිකාවේ මහාමාර්ග, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොලවල් හා වෙනත් යටිතල පහසුකම් දියුණුකිරීම වෙනුවෙන් ඩොලර් ට්‍රිලියනයක් (බිලියනයxබිලියනය) වියදම් කිරීමටද ඔහු බලාපොරොත්තුවේ.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Monday, 16 January 2017

Do you own/operate a drone? එසේනම් ඔබ සිවිල් ගුවන්සේවා අධිකාරියේ (CAA) නවතම drone නියාමන ගැන දැනුවත් විය යුතුමයි!

අද (16/01/2017) මව්බිම පත්තරේ මුල් පිටුවේ ප්‍රමුඛ පුවත
ඩ්‍රෝන යානා මිලෙන් අඩුවීම හා ක්‍රියාකාරිත්වය පහසුවීමත් සමග ලංකාව පුරා ඩ්‍රෝන යානා එනම් නියමු රහිත දුරස්ථ පාලක ගුවන් යානා භාවිතය ඉහල ගොස් තිබෙනවා. බොහෝ මාධ්‍ය ආයතනය සිය ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා ඩ්‍රෝන යානා භාවිතා කරන අතර වෙළඳ දැන්වීම් හා වාර්තා චිත්‍රපට නිර්මාණයටද HD කැමරා සවිකල ඩ්‍රෝනයානා බහුලව යොදා ගන්නට පටන් අරගෙන. 

ඒවගේම විවිධ දේශපාලන පක්ෂ පවා සිය උද්ගෝෂණ හා වෙනත් දේශපාලන ක්‍රියාදාමයන් පටිගතකිරීම හා ප්‍රචාරණය සඳහා ඩ්‍රෝන යානා භාවිතා කරන්නට උනන්දුවෙනවා. මේ නිසාම ඩ්‍රෝන යානා මිළදීගැනීම, විකිණීම, සන්තකයේ තබාගැනිම හා විශේෂයෙන්ම පියාසර කරවීම සඳහා නියාමන  ප්‍රකාශයට පත්කරන්නට ශ්‍රී ලංකාවේ ගුවන්ගැබෙහි නිළ නියාමන අයිතිය සතුවන සිවිල් ගුවන්සේවා අධිකාරියට සිදුවෙලා.

සිවිල් ගුවන්සේවා අධිකාරිය මේ අරගෙන තියෙන පියවරයන් ඩ්‍රෝන භාවිතා කරන්නන්ගේ කණස්සල්ලට හේතුවන්නට පුලුවන් වුනත් නිසි පුහුණුවක්, වගකීමක් හෝ අවබෝධයක් නොමැතිව ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නට යාමෙන් සිදුවිය හැකි හානි මෙන්ම නීතිමය ගැටලුවලට හොඳම උදාහරණය ඊයේ අනුරාධපුරයේ රුවන්වැළිසෑය අභියසින් වාර්තාවුනා. 

රුවන්වැලි මහසෑය අභියස සිදුකෙරුණු පිංකමක් ගුවනින් වීඩියෝගත කරන්නට තැත්කල පුද්ගලයෙකු අතින් යානයේ පාලනය ගිලිහීයාම නිසා එය චෛත්‍ය රාජයාගේ කොත්කැරැල්ලේ ගැටිලා. මෙයින් කොතෙහි ඇති චූඩා මාණික්‍යයට හානිවී ඇතිදැයි සොයාබලන්නට පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව කැඳවන්නට සිදුවෙලා. ඩ්‍රෝනය පියාසරකල තැනැත්තා ලක්ෂ 50ක ශරීර ඇප මත නිදහස් කරලා තියෙන්නේ වාර්තාව ලැබෙන තෙක්. කොත් කැරැල්ලට හානිවී ඇතිනම් එම ඩ්‍රෝනය පියාසරක කල තැනැත්තාට ඇතිවිය හැකි නීතිමය ගැටලු හිතාගැනීමටත් අපහසුයි.

මේ වගේ ගැටලු මෙන්ම ඩ්‍රෝන යානා මගින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට සිදුවිය හැකි බරපතල හානි හේතුවෙන් සිවිල් ගුවන් අධිකාරිය ඩ්‍රෝන යානා භාවිතය නියාමනය කරන්නට ගත්ත පියවර ඉතාමත් කාළෝචිතයි කියලා අප විශ්වාසකරනවා.

පසුගිය ජනවාරි 10වැනිදා ප්‍රකාශයට පත්කල සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඩ්‍රෝන යානා නියාමන ඉතාමත් සංෂිප්ත ලෙස මෙහි දක්වා තිබෙනවා. සිවිල් ගුවන්සේවා අධිකාරිය නිකුත්කල සම්පූර්ණ නියාමන පත්‍රිකාව මෙතනින් බාගත හැකියි.

1. අදාලත්වය

Section 80 of the Civil Aviation Act No.14 of 2010 and Article 8 මගින් සිවිල් ගුවන්සේවා අධිකාරියට ලබාදී ඇති බලතල යටතේ නිකුත්කර ඇති මෙම නියාමන අදාල වන්නේ; ශ්‍රී ලංකාවට අයත් ගුවන්සීමාවේ පියාසර කරවන දුරස්ථ නියමුවෙකු මගින් ක්‍රියාත්මක යානා (remotely piloted aircraft), පාලන වයරයක් මගින් පාලනය කරවන ආකෘති ගුවන්යානා (ontrol line model aircraft), නිදහසේ පියාසර කරවිය හැකි ආකෘති ගුවන්යානා හා ඩ්‍රෝන යානා (free flight model aircraft or droneසඳහාය.

2. ඩ්‍රෝන හා දුරස්ථපාලක යානා පියාසර කරවන්න අවසර ලබාගැනීම.

A. ඩ්‍රෝන/දුරස්ථ නියමු යානා පියාසර කරවීමට, නිර්මාණය හා නිෂ්පාදනය සඳහා නිසි දැනුමක් හා පුහුණුවක් ඇති පුද්ගලයින් හා ආයතන ලෙස සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් පිලිගන්නා පුද්ගලයින් හා ආයතනවලට පහත සඳහන් ඩ්‍රෝන ක්‍රියාකාරකම් සඳහා අවසර ලබාගත හැකිය.

(i) ඩ්‍රෝන/දුරස්ථ නියමු ගුවන්යානා පියාසරකරවීම සඳහා නියමු අවසර 

(ii) දුරස්ථ නියමු ගුවන්යානා පියාසරකරවීම පුහුණු කරවීම සඳහා අවසර ලබාදීම

(iii) ඩ්‍රෝනයානා පියාසර කරවීම පිලිබඳව Notice To Airmen (NOTAM) දැනුම් දීමක් සඳහා අවසර දීම

(iv) ඩ්‍රෝන/දුරස්ථ නියමු ගුවන්යානා නිර්මාණය හා වෙනස්කිරීම සිදුකිරීමට අවසර දීම.

(v) ඩ්‍රෝන/දුරස්ථ නියමු ගුවන්යානා නිර්මාණය/නිෂ්පාදන කටයුතු අධීක්ෂණයකින් පසු අවසර දීම.

(vi) ඩ්‍රෝන/දුරස්ථ නියමු ගුවන්යානා පියාසර කරවීමට අවසරදීම

B ඉහත සඳහන් කල කරුණුවලට අමතරව, වෙනත් සඳහා ඩ්‍රෝනයානා මෙහෙයුම් සඳහා අධ්‍යක්ෂක ජෙනරාගෙන් අවසර පැතීමට හැකියාව ඇති අතර, එම අවසර ලබාදීම සළකාබැලීමට හැකිය.

C ඩ්‍රෝන/දුරස්ථ නියමු ගුවන්යානා පියාසර කරවීමට, නිර්මාණයට, නිෂ්පාදනයට හා වෙනස්කම් කිරීමට, නියමු පුහුණුවට හා නඩත්තුවට බලයලත් පුද්ගලයින් හා බලයලත් ආයතන බවට පත්වීමට බලාපොරොත්තු වන්නන්, ඒ සඳහා නියමිත අයදුම්පත පුරවා, තමන්ගේ සුදුසුකම් හා පුහුණුව පිලිබඳව විස්තරද සහිතව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂකවරයා වෙත යොමුකල යුතුය. 

3. බර අනුව ඩ්‍රෝන/දුරස්ථ නියමු ගුවන්යානා වර්ගීකරණය

මෙම නියාමන ක්‍රියාත්මක කරවීම සඳහා ඩ්‍රෝන/දුරස්ථ පාලන ගුවන්යානා, ඒවායේ බර අනුව වර්ගීකරණය කොට ඇත.










4. ඩ්‍රෝන කාණ්ඩ අනුව මෙහෙයුම් සීමා

CATEGORY - A

A කාණ්ඩයේ ඩ්‍රෝන යානාවක් පියාසරකරවීම සඳහා අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් මේ කාණ්ඩය සඳහාම විශේෂ අවසරයක් ලබාගත යුතු අතර නියමුවන් සහිත සාමාන්‍ය ගුවන්යානා පියසැරිය සඳහා බලපවත්වන සියලුම නීතිරීති පිලිපැදිය යුතුය.

CATEGORY - B

මෙම කාණ්ඩයේ යානා පියාසැරිය හා මෙහෙයුම් සඳහා මෙම නියාමන ප්‍රකාශයේ අඩංගු සියලුම නියාමන බලපැවෙත්වෙන අතර, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් බලයලත් පුද්ගලයෙක් හෝ බලයලත් ආයතනයක් ලෙස නම්කල පුද්ගලයින් හා ආයතනවලට නිෂ්පාදනය, පියාසරකරවීම හා නඩත්තුව සිදුකල හැකිය.

CATEGORY - C

කැමරා, අධෝරක්ත සංවේදක හා වෙනත් දත්ත ග්‍රහණය හා ගබඩාකරගත හැකි උපක්‍රම නොමැති, බහිර යමක් ගෙනයා හැකි උපක්‍රම සවිකොට නොමැති, පිටස්තර පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හෝ දේපලවලට හානියක් සිදු නොවිය හැකි C කාණ්ඩයේ (බර ග්‍රෑම් 200 - ග්‍රෑම් 1000) ඩ්‍රෝන යානා, එම යානා විකිණීම/කුළියටදීම සඳහා අවසරත් වෙළඳ ආයතනවල කොන්දේසිවලට යටත්ව භාවිතාකල හැකිය. කැමරා සවිකර ඇති ඩ්‍රෝන සඳහා මෙම නියාමන කොන්දේසිය වලංගු නැත. 

CATEGORY - D

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගෙන් අවසර නොමැතිව මෙම කාණ්ඩයේ යානා අඩි 150 අඩු උසකින්, පෞද්ගලික දේපලක් ඇතුලත හෝ ඩ්‍රෝනයානා පියාසරකිරීමට අවසර ඇති පොදු අවකාෂවල පියාසරකරවිය හැකිය.

මෙම කරුණු වලට අමතරව සිවිල් ගුවන්සේවා ඩ්‍රෝන නියාමන පත්‍රිකාවේ අයිතම අංක 5 සිට අංක 31 දක්වා ඩ්‍රෝන පියාසැරිය, නඩත්තුව, විකිණීම සඳහා තවත් නියාමන විධිවිධාන දක්වා ඇති අතර, දැනට ඩ්‍රෝන යානා සතු පුද්ගලයින් හා ආයතන මෙම නියාමන සියල්ලම පැහැදිලිව කියවා තේරුම්ගෙන අවශ්‍ය අවසරයන් ලබාගත යුතුය.

DOWNLOAD:

Requirements for Operation of Pilotless Aircraft (Unmanned Aerial Vehicles Unmanned Aircraft Systems /Remotely Piloted Aircraft/Drones)

http://www.caa.lk/images/stories/pdf/implementing_standards/sn053.pdf



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Sunday, 15 January 2017

TIME MAGAZINE TOP 10 PHOTOS OF THE YEAR 2016 | ටයිම් සඟරාවේ 2016 වසරේ හොඳම ඡායාරූප 10ය


2016 වසර ඡායාරූප ට්‍රිලියන 2.5 (ට්‍රිලියනය = බිලියනය x බිලියනය ) කැමරා කාචවල සටහන්වී අන්තර්ජාලයට එකතුවූ වසරක් ලෙස සැළකේ. මෙම ඡායාරූප ට්‍රිලියන ගණනින් අතිවිශාල ප්‍රමාණයක් ජංගම දුරකථනවල සටහන් කරගත් සෙල්ෆී ඡායාරූප වුවත්, තවත් අතිවිශාල ඡායාරූප ප්‍රමාණයක් වසරේ ඉතා වැදගත් සිදුවීම් සදාකාලයටම සටහන් කරගෙන තිබුණි.

ටයිම් සඟරාවේ සියගණනක් ඡායාරූප ශිල්පීන් හා වාර්තාකරුවන් ලොව සියලුම වැදගත් සිදුවීම් ආවරණය කරන අතර මේ ඡායාරූප ශිල්පීන් ටයිම් මූලස්ථානය වෙත එවන දසදහස් ගණන් ඡායාරූපවලින් තෝරාගත් ඡායාරූප 100 වසරේ වැදගත්ම ඡායාරූප 100 ලෙස එලිදක්වයි. මෙයිනුත් තවත් 10ක් තෝරා ගන්නා අතර මේ එලිදැක්වෙන්නේ එම ඡායාරූප 10යි. මෙම ඡායාරූප වැදගත්වන්නේ ඒවායේ කළාත්මක භාවය හෝ ශිල්පීය දක්ෂතාවය නිසා නොව එම ඡායාරූපවල සටහන්වන ඉතා වැදගත් කරුණු නිසාවෙනි.

තුර්කි හමුදා කුමන්ත්‍රණකරුවන් මහජනයාට යටත්වූ අයුරු


පසුගිය ජූලිමාසයේ තුර්කියේ ඇතිවූ හමුදා කුමණ්ත්‍රණය පරාජයවීමෙන් පසු, එයට සහභාගීවූ සෙබලුන් ඉස්තාන්බුල් නුවර බොස්ෆෝරස් පාලම අසලදී තුර්කි පුරුවැසි බලවේගයට යටත්වූ අයුරු.

ඓතිහාසික කියුබානු සංචාරය සඳහා ජනපති ඔබාමාගේ එයාෆෝස් වන් යානය හවානා නුවරට ගොඩබසින අයුරු.


2016 මාර්තුවේ බැරැක් ඔබාමා වසර 100කට පසු කියුබාවට පය ගැසූ පලමු ඇමරිකානු ජනපතිවරයා වූවා. 1959දී ෆිදෙල් කැස්ත්‍රෝ නම් තරුණ විප්ලවවාදියා අමෙරිකානු ගැති පාලනය නෙරපාදමා, කියුබාවේ ඇමරිකානු ආයෝජන (සීනි හා දුම්කොල කර්මාණ්තය) ජනසතු කිරීමෙන් පසු රටවල් දෙක දැඩිලෙස විරසක වුනා. ඉන්පසු ජනාධිපති ජෝන් කෙනඩිගේ පාලන කාළයේ එනම් 1961 වසරේදී සී.අයි.ඒ සංවිධානය "Bay of Pigs Invasion" ලෙස හැඳින්වෙන නීති විරෝධී යුධ ආක්‍රමණයක් සිදුකල අතර එයට සහභාගීවූ කැස්ත්‍රෝ විරෝධී කියුබානුවන් විශාල පිරිසක් අමෙරිකානු භටයින් 100කට වැඩි ගණනක් මියගොස් අමෙරිකානු B29 බෝම්බ ප්‍රහාරක යානා 4ක් හා නෞකා දෙකක් විනාශ වුනා. ඔබාමාගේ කියුබානු සංචාරය ඓතිහාසික එකක් වන්නේ මෙම පසුබිම උඩයි.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ උසේන් බෝල්ට් 


2016 රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 අවසාන පූර්ව තරඟයකදී ඉදිරියෙන් සිටින උසේන් බෝල්ට් කැමරාව දෙස බලා සිනාසෙන්නට තරම් තරඟය පිලිබඳව විශ්වාසයකින් සිටි අයුරු.

යුවතියකගේ අධිෂ්ඨානය


ඡායාරූපයේ දැක්වෙන යුවතිය අමෙරිකානු ජාතික අයේෂියා එවෑන්ස්ය. කළු ජාතිකයෙකු පොලිස් වෙඩිපහරින් මියයාමට විරෝධය දැක්වීමට පැමිණි පිරිස අතර 28 හැවිරිදි ඉවාන්ස් ද වූ අතර අන් අය කැරලි මර්ධන හමුදාව ඉදිරියේ පසු බසිද්දී ඉවෑන් නිර්භයව ඉදිරියට ගොස් සිය විරෝධය ප්‍රකාශකොට අත් අඩංගුවට පත්වූවාය.

අභ්‍යවකාශයට පෙනුනු හිමකුණාටුව


ISS අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මේ ඡායාරූපය ගන්නා ලද්දේ අභ්‍යවකාශගාමී ස්කොට් කෙලී විසිනි. 2016 ජනවාරියේ ඇමරිකානු නැගෙනහිර වෙරළට පැමිණි දැවැන්ත හිම කුණාටුව අභ්‍යවකාශයට පෙනෙන තරමටද දැවැන්ත එකක් විය.

සිරියාවේ විලාපය


සිරියාවේ ඇලෙප්පෝ නුවරට එල්ලවුනු ගුවන් ප්‍රහාරයකින් මියගිය සොහොයුරා වෙනුවෙන් හඬාවැලපෙන සිරියානු දරුවෙක්. ඔහුගේ පියාද ගුවන් ප්‍රහාරයකින් මියගොස් සිටි අතර එදිනම ඔහුගේ මවද ගුවන් ප්‍රහාරයකින් මිය ගියාය.

පිලිපීනයේ ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේගේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයේ ගොදුරක්


පිලිපීනයේ ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ සිය ජනපති සටනේදී පිලිපීනය වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය වලට විරුද්ධව යුධ කරන බවට පොරොන්දුවූ අතර විශාල ජනවරමකින් ජනපති විය. දැන් ඔහුගේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය මහා ජන ඝාතනයක් බවට පෙරලී ඇත. පිලිපීනය පුරාම පොලීසිය මෙන්ම රජයේ සහයකයින්ද මත්ද්‍රව්‍ය චෝදනා ඇති ඕනෑම අයෙකු මරාදමන්නට පටන්ගෙන ඇති අතර මේ වනවිට 2000කට අධික සංඛ්‍යාවක් මරාදමා ඇත. මත් ද්‍රව්‍ය විරෝධී යුද්ධයේ ගොදුරු බවට පත්වන්නේ බොහෝවිට අහිංසකයින් බවට විදෙස් ජනමාධ්‍ය හා රාජ්‍යයන් ප්‍රකාශ කරන අතර මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස ගොදුරක් වූ තරුණයෙකු වෙනුවෙන් පවුලේ සාමාජිකයින් හඬාවැලපෙන ආකාරයයි.

මුහුදේ අතරමංවූ සරණාගතයින්


සරණාගතයන් 220ක් සිටි මේ බෝට්ටුවේ ගමනේ වෙහෙසට මීයගියවුන්ද ගණනාවක් සිටියේය. මේ අවස්ථාවේ සහයට ඉදිරිපත්වූ ස්පාඥ්ඥ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයින්ට මෙම සරණාගතයින්ට ජීවිතාරක්ෂක කබා සැපයීම පවා අපහසුවූයේ ඒවනවිටත් ජීවිතාරක්ෂක කබා 2500කට අධික සංඛ්‍යාවක් වෙනත් බෝට්ටුවල පැමිණි සරණාගතයන්ට ලබාදී කබා අවසන්වී ඇති බැවිනි. කුඩා දරුවන් සිටින මාපියන් සිය දරුවන් ඔසවාගෙන සිටියේ දැඩිලෙස පීඩාවට පත්වී සිටි සිය දරුවන් ඉක්මණින් බේරා ගනීවී යන බලාපොරොත්තුවෙනි.

කෑම පෝලිමේ සිටින සරණාගතයින්


වැහි කබා වලින් සැරසුණු සරණාගතයින් ආහාර සලාක පෝලිමට එකතුවී සිටින අයුරු දුඛිත චිත්‍රයක් මවාපායි.

ට්‍රම්පච්චිගේ ආගමනය



ඉතා අපහසු චන්ද සටනකින් පසු ජයගත් ට්‍රම්ප්, සිය මැතිවරණ ප්‍රචාණ වැඩසටහනේ එක් දිනකදී තමා වටා රොක්වුනු ජනකාය ඇමතීමට පුටුවකට නැගි අයුරු.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Saturday, 14 January 2017

FAKE NEWS: අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතා නියමය (E=MC2) ප්‍රතික්ෂේප කරමින් බර්න් විශ්වවිද්‍යාලය ඔහුට එවූ ඓතිහාසික ලිපිය.


මේ දිනවල අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆේස්බුකියේ සැරිසරන තොරතුරකි පහත දැක්වෙන්නේ...
ලෝකය වෙනස් කරමින් අද්විතීය මත ඉදිරිපත් කළ විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් වටහාගත නොහැකි වූ සමාජය ඔවුන් පිස්සන් හෝ සිහින දකින්නන් ලෙස සලකා බැහැර කළ අවස්ථා විද්‍යා ඉතිහාසයේ සුලභව හමුවෙයි.
ගැලීලියෝ ගැලීලි, විලියම් හාවි වැන්නන්ට එකල සමාජය පරිභව කළ බව අපි අසා ඇත්තෙමු.
මේ අතර, 20 වන සියවසේ මහා ප්‍රාඥයා ලෙස පිළිගැනෙන අයින්ස්ටයින් ද මෙම පීඩාවට පත්ව ඇති බව ඇසුවහොත් ඔබ මවිතයට පත් වනු ඇත.
ආචාර්ය උපාධියක් වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ ක්වොන්ටම් නියමයට (E = mc2) අදාළ පර්යේෂණ වාර්තාව මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී තිබේ.
පසු කලෙක ලෝකය මවිත කළ ඒ මහා නියමය පිළිගත නොහැකි බව දන්වමින් ඇල්බර්ට් අයින්ස්ටයින්ට යැවූ ලිපියෙහි සඳහන් කර ඇත්තේ, එම නියමය යථාර්ථවාදී භෞතික විද්‍යාත්මක අදහසක් නොව හුදු නිර්මාණයක් බව ය.
(Source: http://newsfirst.lk/sinhala/2016/05/85216/)

මෙම ලිපිය ව්‍යාජ ලෙස සැකසූ එකක් (forgery) බව බර්න් විශ්වවිද්‍යාලයේ ලේඛණාරක්ෂක තනතුර හොබවන Niklaus Bütikofer පවසනවා. ඔහුගේ විශ්ලේෂණයට අනුව මෙහි නිර්මාපකයා, පැරණි ලෙස පෙණෙන කඩදාසිය් හා පැරණි යතුරුලියන ලද අකුරු විශ්වසනීය ලෙස පෙනෙන ආකාරයට යොදාගත්තද, එතරම් පැරණි ලේඛන ව්‍යාජලෙස සැකසීමේ දක්ෂයෙකු නොවනවා. මෙම ව්‍යාජ ලේඛන සකසන්නා සිදුකොට ඇති වැරදි කිහිපයක් නිකොලාස් බූටිකෝෆර් පෙන්වා දෙනවා...

1] දක්වා ඇති දිනය එනම් 1907 ජූනි 6 වැනිදා වනවිටත් බර්න් විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීඨය ලෙස පීඨයක් නොතිබුණි. එවක ඉතිහාසය, දර්ශණවාදය හා ස්වභාවික විද්‍යා අංශ එකම පීඨයක් ලෙස පැවතුනු සමයකි.

2] ලිපියේ අත්සන තබා ඇති විල්හෙල්ම් හයින්රික් යන නම ඇති පීඨාධිපතිවරයෙකු (Dean of Faculty) තබා කථිකාචාර්යවරෙයෙකු හෝ බර්න් විශ්වවිද්‍යාලයේ සේවය කොට නොමැත.

3] ජර්මනියේ උල්ම් (Ulm) ප්‍රදේශයේ උපත ලැබූ, චතුර ලෙස ජර්මන් භාශාව හැසිරවූ ජර්මන් ජාතිකයෙකු වූ අයින්ස්ටයින් වෙත ජර්මනියේ විශ්වවිද්‍යාලයක් වෙතින් ඉංග්‍රීසි භාශාවෙන් ලිපියක් යැවීම සිදුවිය නොහැක්කකි. බොහෝදුරට ව්‍යාජ ලේඛණය සකස්කල තැනැත්තා ජර්මානුවෙකු විය නොහැකිය.

4] බර්න් විශ්වවිද්‍යාලයේ ලිපිනය ලෙස යොදා ඇති Sidlerstrasse නම් මාවතට ඒ නම ලැබුණේ 1931 පසුවයි. ඊට පෙර, එනම් මෙම ලිපියේ දාතම ඇති කාලයේ මෙම මාවත Sternwartsstrasse ලෙස හැඳින්වුනි.


__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 2කට වඩා ඉහලින් මුදුන ඇති ලංකවේ කඳු



ලංකාවෙ උසම කඳු ලස්යිතුවක් හා ඒවා නැගපු අය ලියාතැබූ විස්තර හා ඡායාරූප තියෙන අපූරු ලිපියක් මට ලක්දසුන් සංචාරක විස්තර ෆෝරමයේ තිබිලා හමුවුනා. ලංකාවේ තැන් තැන්වල ඇවිදින්න ආස, කූඩාරම් අටවාගෙන රෑ ගතකරන්න, ඡායාරූප ගන්න, ස්වභාව සෞන්දර්‍යය විඳින්න ආස අයට ඒවගේ තැන් ගැන විස්තර, ගමන් මග තොරතුරු වගේම පරෙස්සම් වෙන්න ඕනෑ අවස්තා ගැනත් විස්තර වාර්තා තියෙන ලක්දසුන් සමාජ අඩවිය ඇවිදින්න ආස අයට විශ්වකෝෂයක් වගේ.

කඳු ගැන මේ ලිපිය සංස්කරණය කරලා තියෙන්නේ ලක්දසුන් ෆෝරමයේ ජේශ්ඨ සාමාජිකයෙකු වන රන්ෂාන් මහතා. එයාගේ ලිපිය හා ඒ ලිපියට සංචාරක තොරතුරු වාර්තා (trip report) එකතුකරපු ලක්දසුන් සාමාජිකයෝ හැමෝම මේ ලිපියේ තොරතුරු දාකයින් ලෙස එකතුකර ගන්නවා.

මීටර් 500කට වඩා උසින් වැඩි කඳු 101ක් තිබෙන අතර මීටර් 1000කට වඩා උසින් වැඩි කඳු 78කුත්, මීටර් 1500කට වඩා උසින් වැඩි කඳු 47කුත් මෙම ලිපියේ හඳුනාගෙන තිබෙනවා. මීටර් 2000කට, එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 2ක් උසින් කඳු මුදුන පිහිටා තිබෙන කඳු 16කුත් ලංකාවේ තිබෙන බව සටහන්.

මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 2කට වඩා ඉහලින් මුදුන ඇති ලංකවේ කඳු


1   Piduruthalagala පිදුරුතලාගල



පිදුරුතලාගල කඳු මුදුනේ ඇති ස්මාරකය. මෙහි උඩ North East West South දිශා සතර සටහන් කොට ඇත
ලංකාවේ උසම කන්ද වන මෙය අධි ආරක්ෂිත කලාපයක් බැවින් අවසර නැතුව ඇතුලුවීම තහනම් ප්‍රදේශයකි. නුවර එලිය නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටා ඇත. මග සොයාගැනීම ඉතා පහසුය
  
2   Kirigalpoththa  කිරිගල්පොත්ත  - 2388m   




කිරිගල්පොත්ත කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m (7,835 ft) කි. කිරිගල්පොත්ත කඳුවැටිය මහජනයාට විවෘතව පවතින ශ්‍රී ලංකාවේ උසම ස්ථානය සේ සැළකේ. (ශ්‍රී ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගල කන්ද හමුදා කටයුතු වෙනුවෙන් යොදාගෙන ඇති බැවින් ඇතුළුවීම සීමාසහිත වේ).

කිරිගල්පොත්තට යන මාර්ගය ආරම්භ වන්නේ හෝර්ටන් තැන්නේ ලෝකාන්තය වෙත යන මාවත ආරම්භවන ස්ථානයෙන්මය (World's End Trail Head).





3 Thotupola තොටුපොල කන්ද - 2357m















තොටුපොල කන්ද ශ්‍රී ලංකාවේ තෙවැනියට උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,357 m (7,733 ft) කි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල පිහිටා තිබේ.

තොටුපොල කන්දට ලඟාවන මාර්ගය ආරම්භ වන්නේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පට්ටිපොල මාර්ගයෙන් ඇති පිවිසුමේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරකිනි.



    
4   Kudahagala කුඩහගල කන්ද - 2320m

කුඩහගල කන්ද 4වැනියට උසම කන්ද ලෙස මිනින්දෝර් දෙපාර්තමේන්තුව පලකරන ජාතික සිතියම් පොතෙහි (Survey Department National Atlas) දක්වා ඇතත් එම කන්ද පිලිබඳ තොරතුරු හෝ ඡායාරූප අන්තර්ජාලයේ නොමැත.
    
5   Adam's Peak සමනල කන්ද  - 2243m



ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.

ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
    
6   Kikilimana   කිකිලියාමාන කන්ද - 2237m  



පිදුරුතලාගල කන්දට බටහිරින් පිහිටා ඇති මෙහි උස මීටර් 2240කි. නුවරඑළිය - මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව මෙම කන්ද පිහිටා ඇත. ‍මහවැලි ග‍ඟෙහි අතු ගංගාවක් වන ‍රම්බොඩ ඔය ආරම්භ වන්නේ කිකිලියාමන කන්දෙනි. මෙම කඳු වැටිය ආශ්‍රීතව ඉහළ කඳුකර තෙත් කලාපීය වනාන්තර දැකිය හැකියි.

 7   Great Western  ග්‍රේට් වෙස්ටර්න්  - 2212m 



ග්‍රේට් වෙස්ටර්න් යනු විදෙස්‌ රටක ස්‌ථානයක්‌ කියා ඔබ සිතනවා ඇත. නමුත් මේ සැබැවින්ම ලංකාවේ පිහිටි සුන්දර කුඩා ගම් පියසක නමකි. තලවකැලේ හා රදැල්ල අතර පිහිටි මෙම ගම්මානය උඩරට දුම්රිය මාර්ගයේ හරි අපූරු තෝතැන්නකි. 



නානුඔය නම් මහවැලි ගඟේ අතු ගංගාව ඇරඹෙන්නේ මෙම ප්‍රදේශයේ පතාක යෝධයෙකු සේ නැඟී සිටින ලංකාවේ හත්වැනි උසම කන්ද වන ගේ්‍රට්‌ වෙස්‌ටර්න් කන්දෙනි. මීටර් 2212 ක්‌ පමණ උසැති මෙම කන්ද පිහිටියේ ග්‍රේට්‌ වෙස්‌ටර්න් දුම්රිය ස්‌ථානයට පිටුපසිනි. හැටන් නුවරඑළිය මාර්ගයේ යන ඔබට මෙම සුවිසල් කන්ද දැකිය හැකිය.
   
8   Hakgala  හක්ගල කන්ද - 2169m  



නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇති හක්ගල කන්ද, හක්ගල දැඩි රක්ෂිත ප්‍රදේශයට අයත්ය. සුප්‍රකට හක්ගල උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ හක්ගල කන්දේ වයඹදිග බෑවුම් ප්‍රදේශයේය.



හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ පවතින අධි ආරක්ෂිත වනාන්තර ත්‍රිත්වය අතුරින් තෙත් කලාපය තුල පිහිටන, දැඩි ස්වභාව රක්ෂිතයකි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සත්ව සහ ශාක විශේෂ ගණනාවක් මෙම මේඝ වනාන්තරයෙහි දැකගත හැකිය. 1938 වසරේ පෙබරවාරි 25 වන දින, දැඩි ස්වභාව රක්ෂිතයක් ලෙස හක්ගල දැඩි රක්ෂිතය නම් කලේ එහි ඇති වටිනාකම එදා මෙරට පාලනය කල බ්‍රිතාන්‍යයන් පවා අවබෝධ කරගෙන සිටි නිසාය.

9   Conical Hill කොනිකල් හිල්  - 2166m 


Photo Credit: https://www.facebook.com/SobasiriSL
ලංකාවේ නව වැනි තැනට උස කන්ද,කොනිකල් හිල්. කන්ද උඩට ගියාම පිදුරුතලාගල, හක්ගල කන්ද, උද රදැල්ල, ග්‍රේට් වෙස්ටර්න් කන්ද, කිකිලියමාන කන්ද සහ සිංගල් ට්‍රී කන්ද හොදට දකින්න පුළුවන්. කන්දේ ඇල රක්ෂිතය අවටින් මීපිලිමාන ඔස්සේ මේ කන්ද නගින්න යන්න පුළුවන්. පිහියක් එහෙම අරගෙන කුඩල්ලන්ටත් පිලියමක් කරගෙනම මේ කන්ද නගින්න බලාගෙන යන්න, වෙස්ස දවස් වලටනම් කන්ද නගින එක ටිකක් අමාරුයි, මොකද ගොඩක්ම කැලෙන් යන්න තියෙන නිසා.




10   One Tree Hill  වන් ට්‍රී හිල්  - 2100m   

ශ්‍රී ලංකාවේ දස වැනි (සමහර වාර්තා වලට අනුව නව වැනි )උසම කඳු මුදුන වන වන "ට්‍රී හිල්" නුවර එළිය නගරයේ පිහිටා ඇත. නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් වන මෙහි අහස පැහැදිලි දිනෙක පිදුරුතලාගල කඳු පන්තිය, ශ්‍රීපාදය, හග්ගල, ග්‍රෙගරි වැව, නුවර එළිය නගරය මෙන්ම හොර්ටන්තැන්නද දැකගත හැකිය. තුරඟ තරඟ පිටිය ඉදිරිපසින් ආරම්භ වන "සින්ගල් ට්‍රී" පාරේ පයින් යන්නෙකුට පැයකට අඩු කාලයකදී මුදුනට ලඟා විය හැකිය. 

මීටර් 2000ට වඩා උසිනි මුදුන පිහිටි කඳු තව 6ක් ලංකාවේ තියෙනවා. ඒ මේවා;

11   Mahakudagala    - 2096m    
12   Waterfall Point    - 2073m    
13   Namunukula    - 2036m   
14   Gommoli Kanda    - 2034m   
15   Uda Radella    - 2027m  
16   Elbedda            - 2016m 

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Tuesday, 10 January 2017

කඩදාසියක් මෙන් බිත්තියක අලවා තැබිය හැකි තරම් තුනී LG Wallpaper TV


අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවත්වුන CES 2017 නැමති 2017 ප්‍රථම ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේදී කාඩ් බෝට් එකක් තරම් තුනී බිත්තියක අලවාතැබිය හැකි LED රූපවාහිණියක් LG සමාගම හඳුන්වාදී තිබෙනවා. අඟල් 65ක අතිවිශාල තිරයකින් යුතු මෙම රූපවාහිණියේ ඝණකම මිලිමීටර් 2.57ක් ලෙස වාර්තාවනවා.


Wi-Fi, HDMI ports, 4K video යන පහසුකම් වලින් යුතු මෙම ඉතා තුනී රූපවාහිණිය නුදුරේදීම වෙළඳපොලට එවන බවයි එල්.ජී සමාගම කියන්නේ.





__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Saturday, 7 January 2017

ලබන ජනවාරි 11 වැනිදා ජලය පිරීම ඇරඹෙන මොරගහකන්ද




මොරගහකන්ද ඉතිහාසය

අඹන් ගඟ සහ කළු ගඟ මිටියාවත් කේන්ද්‍ර කරගත් මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘති ප්‍රදේශය වර්තමානයේ මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් වෙයි. මේ ප්‍රදේශය ඈත අතීතයේ දී හඳුන්වා ඇත්තේ, 'මාතල දනව්ව' යනුවෙනි. මාතල දනව්වේ විසූ ජනයා ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ දී පැමිණි පිරිස්‌ බැව් මාතලේ කඩඉම් පොතේ සඳහන් වෙයි. රාජාවලියට අනුව ක්‍රි.ව. 175- 190 අතර කාලසීමාවේ දී විසූ ගජබාහු රජු සොළී දේශයට ගොස්‌ රැගෙන ආ සූවිසි දහසක්‌ සෙනග මාතල දනව්වේ පදිංචි කරවා ඇත. මාතල දනව්ව වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ, වලගම්බා රාජ්‍ය සමයේ අළු ලෙන් විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසු ව ය. 

අඹන් ගඟ මිටියාවත කේන්ද්‍ර කර ඉදි වන ප්‍රදේශයේ අතීතයේ දී ඉතා ම සමෘද්ධිමත් ජනතාවක්‌ විසූ බව පුරාවිද්‍යාත්මක සාධක පෙන්වා දෙයි. සී. ඩබ්ලිව්. නිකලස්‌ මහතා විසින් සම්පාදනය කරන ලද Historical Topography of Ancient and Medieval Ceylon ග්‍රන්ථයේ වත්මන් මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ තොරතුරු රාශියක්‌ හමු වෙයි. මෙහි සඳහන් අන්දමට අම්බවානරට්‌ඨ සහ අලිසැරරට්‌ඨ යනුවෙන් එදා හැඳින්වූ ප්‍රදේශය අද ඉදි වන මොරගහකන්ද ජලාශයට යට වන ප්‍රදේශය වෙයි. වත්මන් මේ ප්‍රද්ශයේ 'අඹන' නම් ගම් පියසක්‌ වෙයි. අම්බවානරට්‌ඨ නම් ගම් ප්‍රදේශය මැදින් ගලා ගිය බැවින් මේ ගඟට අඹන්ගඟ නම ලැබෙන්නට ඇතැ'යි සිතිය හැකි ය. අතීත වංශ කතාවලට අනුව එදා අලිග්‍රාම අද අලගමුව ලෙස හඳුනාගෙන ඇත. එදා මන්තිකවාපී නම් ප්‍රදේශය අද කිරිමැටිය යනුවෙන් ද හැඳින්වේ. අද තලාගොඩ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අතීතයේ දී හඳුන්වා ඇත්තේ, තලාන්ථලී යනුවෙනි. 

භූගෝලීය ලක්ෂණ

මොරගහකන්ද ජලාශය ඉදි වන අඹන් ගඟ මිටියාවත සුවිශේෂී භූගෝලීය කලාපයක්‌ ලෙස හඳුනාගෙන ඇත. ප්‍රාග් කේම්බී්‍රය යුගයට අයත් උස්‌ බිම් ශ්‍රේණියේ පාෂාණවලින් ද අඹන් ගඟ මිටියාවත සමන්විත ය. මේ ව්‍යාපෘතියට අයත් ප්‍රදේශයේ සාමාන්‍ය උස අඩි 1000කට වඩා වැඩි වනු ඇත. එහෙත්, මේ සාමාන්‍ය උස ඉක්‌මවා යන ප්‍රදේශ ද ඇත. ඒ අනුව මොරගහකන්ද අඩි 1276ක්‌ ද, හේරත්ගෙදර අඩි 1651ක්‌ ද, තෙළඹු ගඟ ඇල්ල අඩි 1954ක්‌ ද යනාදී වශයෙන් මේ ව්‍යාපෘතියට අයත් උස්‌ වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. 

භූ විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණවලට අනුව මේ ප්‍රදේශය කොන්ඩලයිට්‌, චානෝකයිට්‌ සහ නයිෂ් යන පාෂාණවලින් සමන්විත බැව් අනාවරණය වී ඇත. මේ ප්‍රදේශයේ ජලවහනය අඹන්ගඟ කේන්ද්‍ර කරගෙන සිදු වෙයි. නිරිතදිග සිට ඊසානදිග යන දිශා ඔස්‌සේ ගලා යන අඹන් ගඟ වර්ග සැතපුම් 573ක පෝෂක ප්‍රදේශයක්‌ ආවරණය කරයි. සැතපුම් 77ක්‌ දුර ගෙවා ගලා යන අඹන්ගඟට අතු ඔය හෙවත් අතු ගංගා රාශියක්‌ එකතු වෙයි. නාලන්ද ඔය, සුදු ගඟ, මාතලේ කළු ගඟ, පල්ලේගම කළු ගඟ, කඩරාන ගඟ, කොත්ගම ඔය, හීරටි ඔය, වීරගොල්ල ඔය, අත්තනකඩවල ඔය සහ රදාවාඩියේ ඔය යනාදිය අඹන් ගෙ`ග් ප්‍රධාන අතු ගංගා වෙයි. මෙහි සඳහන් මාතලේ කළු ගඟ යනු, නකල්ස්‌ කඳුවැටියෙන් උපත ලබන ගංගාවකි. මෙහි ජලය ඉතා ම පිරිසිදු බැවින් කළු පැහැයෙන් දිස්‌ වෙයි. එබැවින් කළු ගඟ යන නම පටබැඳී ඇත. මොරගහකන්ද ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500-2000ත් අතර ප්‍රමාණයක්‌ වෙයි. ඊසානදිග මෝසම් කාලයේ දී මේ ප්‍රදේශයට වැඩි වර්ෂාවක්‌ ලැබෙයි. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 25ත් 28ත් අතර ප්‍රමාණයකි. 

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අතීත කතාව

මෙවන් ඉතිහාසයක්‌ හා සෞම්‍ය දේශගුණික රටාවක්‌ තිබෙන පරිසරයක මහවැලි මහ සැලැස්‌මේ අවසන් ජලාශය ලෙස සැලකෙන මොරගහකන්ද - කළුගඟ ජලාශය මේ දිනවල ඉදි වෙමින් පවතී. වර්ෂ 1970 දශකයේ මෛත්‍රීපාල සේනානායක මහතා මහවැලි විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ මේ ව්‍යාපෘතියේ ප්‍රථම ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස්‌ කෙරුණි. ඉන් පසු දෙවැනි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස්‌ වන්නේ, ගාමිණී දිසානායක මහතා මහවැලි ඇමැති ලෙස කටයුතු කරන සමයේ දී ය. ඉන්පසු තුන්වැනි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක්‌ ද සකස්‌ කෙරෙයි. ඒ 1998-99 කාලසීමාවල මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති ලෙස කටයුතු කරන සමයේ දී ය. මේ අයුරින් කල්ගත වූ මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට වසර 40ක පමණ කාලයක්‌ ගත වූ තැන වසර 2007 ජනවාරි 25 වැනි දින මෙහි නැවත වැඩ ආරම්භ කෙරිණි. 

ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් සිව්වැනි තැන ගන්නා මේ ජලාශයේ සුවිශේෂී ලක්‍ෂණය වන්නේ, මෙහි වැඩි ජල ධාරිතාවක්‌ අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්‌ත්‍රික්‌කවල ගොවි ජනතාව ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා සහ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට යෙදවීමයි. කෘෂිකර්මාන්තයට මුල් තැනක්‌ දෙමින් ඉතිරි වන ජලයෙන් මෙගාවොට්‌ 35ක පමණ කුඩා විදුලි බලාගාරයක්‌ ඉදි කෙරෙයි. ඒ ජාතික විදුලිබල පද්ධතියේ අවශ්‍යතාව සඳහා ය. 

ප්‍රධාන අරමුණු

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක්‌ වෙයි. මේ අරමුණු අතර මහවැලි H.M/H, H,D1D2 සහ G යන කලාපවල කලාවැව, හුරුළු වැව, නාච්චදූව වැව, නුවර වැව, කන්තලේ වැව, කවුඩුල්ල වැව, පරාක්‍රම සමුද්‍රය සහ ඇළහැර යන ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල ජල අවශ්‍යතා සැපයීම සහ මිරිදිය ධීවර කර්මාන්තය සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු රැසකට මේ වාරි ජලය ප්‍රයෝජනයට ගනී. 

ඉතා ම සංකීර්ණ ජලාශ ව්‍යාපෘතියක්‌ වන මෙහි ප්‍රධාන ඉදි කිරීම් අතර අඹන්ගඟ හරස්‌ කර ඉදි කෙරෙන මොරගහකන්ද ජලාශයත් කළු ගඟ හරස්‌ කර ඉදි කෙරෙන පල්ලේගම ජලාශය, පල්ලේගම මොරගහකන්ද හැරවුම් ඇළ උමං මඟ, දෙවැනි බෝවතැන්න උමං මඟ, හුරුළු වැව පෝෂක ඇළ පුළුල් කිරීම හා නවීකරණය කිරීම මෙන් ම මහකනදරාව සිට මහතැන්කැටිය දක්‌වා සැපයුම් ඇළ දීර්ඝ කිරීම යනාදිය ද වෙයි. 

මොරගහකන්ද ජලාශය


මොරගහකන්ද ජලාශය අඹන් ගඟ හරස්‌ කර ඉදි කෙරෙයි. මෙය ප්‍රධාන වේල්ලකින් සහ සැදලි වේලි දෙකකින් සමන්විත ය. ප්‍රධාන වේල්ල දිගින් මීටර් 463ක්‌ සහ උසින් මීටර් 65ක්‌ වෙයි. කොන්ක්‍රීට්‌වලින් ඉදි කෙරෙන මේ වේල්ල මීටර් 8ක පළලකින් යුක්‌ත ය. 

සැදලි වේලි (Saddle Dam) දෙකෙන් පළමු වේල්ල ගල්පුරවා නිර්මාණය කෙරෙයි. මෙය දිගින් මීටර් 361ක්‌ සහ උසින් මීටර් 42ක්‌ වෙයි. දෙවැනි සැදලි වේල්ල පස්‌ පුරවා නිම කර ඇති අතර උසින් මීටර් 21කි. දිගින් මීටර් 374කි.  

මෙහි ප්‍රධාන වේල්ල සහ සැදැලි වේලි දෙක ඉදි වීමෙන් නිර්මාණය වුණු මොරගහකන්ද ජලාශයේ ජලයෙන් වර්ග කිලෝමීටර් 29.5ක භූමි ප්‍රමාණයක්‌ වැසී යනු ඇත. මෙහි මුළු ජල ධාරිතාව ඝන මීටර් දශ ලක්‍ෂ 569.9කි.

කළුගඟ / පල්ලේගම ජලාශය 

පල්ලේගම ප්‍රදේශය හරහා ගලා බසින කළු ගඟ හරස්‌ කර පල්ලේගම ජලාශය ඉදි කෙරෙයි. මෙය ද, ප්‍රධාන වේල්ලකින් හා සැදලි වේලි දෙකකින් සමන්විත වෙයි. මෙහි ප්‍රධාන වේල්ල උසින් මීටර් 57ක්‌ ද, දිගින් මීටර් 546ක්‌ ද වෙයි. පළමු සැදලි වේල්ල පස්‌ පුරවා නිර්මාණය කෙරෙන අතර දිගින් මිටර් 65ක්‌ හා උසින් මීටර් 8ක්‌ වෙයි. පල්ලේගම ජලාශය වර්ග කිලෝමීටර් 8.4ක්‌ පුරා පැතිරෙන අතර එහි මුළු ජල ධාරිතාව ඝන මීටර් දශලක්‍ෂ 265.6කි. 

හුරුළු වැව පෝෂක ඇළ 

මොරගහකන්ද ජලාශය ඉදි කිරීමෙන් බෝවතැන්න ජලාශය ඔස්‌සේ නිකුත් කෙරෙන අතිරේක ජල ධාරිතාව රජරට ප්‍රදේශයට බෙදාහරින්නේ, හුරුළුවැව පෝෂිත ඇළ මාර්ගයෙනි. එබැවින් හුරුළුවැව පෝෂිත ඇළමාර්ග සංවර්ධනය මොරගහකන්ද ව්‍යාපෘතියට අයත් වෙයි. 

මොරගහකන්ද ජලාශය පෝෂණය කිරීමට පල්ලේගම ජලාශයෙන් ජලය සැපයෙන්නේ, පල්ලේගම මොරගහකන්ද හැරවුම් ඇළ සහ උමං මඟ ඔස්‌සේ ය. පල්ලේගම ජලාශයෙන් මුදාහරින ජලය කිලෝමීටර් 9.8ක්‌ දිග ඇළ මාර්ගයකින් ගමන් කර අනතුරුව උමං මඟකට යොමු වෙයි. කිලෝමීටර් 3.2ක්‌ දිගින් හා විෂ්කම්භය මීටර් 3.3කින් යුත් උමං මඟ ඔස්‌සේ තත්පරයට ඝනමීටර් 15ක ජල ධාරිතාවක්‌ ගලා ගොස්‌ මොරගහකන්ද ජලාශය පෝෂණය කරයි. 

යාන් ඔය සිට මහතැන්කැටිය වැව දක්‌වා වූ ඇළ මාර්ගය සහ ඒරු වැව සිට කනදරා ඔය දක්‌වා ඇළ මාර්ගය සංවර්ධනය කිරීම ද මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර මෙමඟින් මහවැලි 1/H කලාපයට අවශ්‍ය ජලය සැපයීම ද සිදු කෙරේ.

ප්‍රතිලාභ 

වසර 2017 දී සාදා නිම කිරීමට නියමිත මේ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ රැසක්‌ මහජනයාටත්, පරිසරයටත් ලැබීමට නියමිත ය. මොරගහකන්ද ජලාධාර ප්‍රදේශයේ ගංගා ඇළ දොළ රක්‍ෂිතයෙන් හෙක්‌ටයාර් 1365ක පමණ නැවත වන වගා ඇති කිරීම, මොරගහකන්ද ජලාශය වටා මීටර් 100ක රක්‍ෂිත ප්‍රදේශයක්‌ වෙන් කිරීම හා එහි හෙක්‌ටයාර් 650ක නැවත වන වගා කිරීම, මින්නේරිය, ගිරිතලේ ස්‌වාභාවික රක්‍ෂිතය සහ වස්‌ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක්‌ වෙන් කිරීම, ගම්මාන ආශ්‍රිත ව පිහිටි වගාබිම් වටා විදුලිවැට ඉදි කිරීම, අතහැර දමන ලද වැව් 04ක්‌ නැවත පිළිසකර කිරීම, මින්නේරිය, ගිරිතලේ සහ වස්‌ගමුව ජාතික වනෝද්‍යාන තුළ සත්ත්ව වාසභූමි සංවර්ධනය කිරීම වැනි ප්‍රතිලාභ ස්‌වාභාවික පරිසරය වෙනුවෙන් ලබා දෙයි. ගම්වැසියන් ගේ අවශ්‍යතා සඳහා මොරගහකන්ද ජලාශයේ වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 4700ක්‌ දක්‌වා වර්ධනය කිරීමත් සිදු කෙරෙන අතර කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම ද සිදු කෙරේ. ජාතික අවශ්‍යතාව අනුව මෙගාවොට්‌ 27ක විදුලිබල නිෂ්පාදනයක්‌ මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර පාරිසරික සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ද කටයුතු සැලැසීමක්‌ මෙමඟින් සිදු කෙරේ. 

මේ ව්‍යාපෘතියේ මූලික ඉංජිනේරුමය ඉදිකිරීම්වලින් අනතුරු ව පළමු අදියරේ දී අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ යන දිස්‌ත්‍රික්‌කවල හෙක්‌ටයාර් 82000කට වඩා වැඩි ප්‍රමාණයකට සරිලන ජල ධාරිතාවක්‌ වසරේ යල හා මහ කන්න දෙක වගා කිරීමට ලබා දීමක්‌ ද සිදු වේ. මෙයට අමතර ව හෙක්‌ටයාර 500ක පමණ කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක්‌ අලුතින් සංවර්ධනය කෙරේ. 

දෙවැනි අදියර යටතේ උතුරු මැද පළාත් ඇළ මාර්ග මඟින් උතුරු මැද හා උතුරු පළාත්වල පිහිටි ගංගා ද්‍රෝණි 8කින් හෙක්‌ටයාර 135189ක්‌ වගා කිරීම සඳහා යල හා මහ කන්න යන දෙකට ම ජලය සපයනු ඇත.  මොරගහකන්ද ජලාශයට තලාගොඩ, කඩවත, කබරව, කෝන්ගහවෙල යනා දී ප්‍රධාන ගම් රාශියක්‌ යට වෙනවා. මේ ජලාශයට යට වන ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 12ක්‌ අයත් වෙනවා. 

මේ යටතේ පවුල් 1770ක්‌ පමණ අවතැන් වෙනවා. මේ පවුල් අතර පාරම්පරික පදිංචිකරුවන් වගේ ම අනවසර පදිංචිකරුවන් පවා ඉන්නවා. මේ අය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙනයි සිටින්නේ. ඒත් මේ සියලු දෙනාට ගොඩින් අක්‌කර භාගයක්‌ සහ මඩින් අක්‌කර එක හමාරක්‌ බැගින් ලබා දෙනවා. මේ අය ගෙන් සියයට තිහක්‌ වැනි ප්‍රමාණයක්‌ ඒ කියන්නේ, පවුල් හාර සීයකට ආසන්න ප්‍රමාණයක්‌ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචියට යන්න කැමැති වෙලා ඉන්නවා. ඉතිරි ප්‍රමාණය කන්දපිටවල වැවත්, තෝරපිටිය වැවත් ආශ්‍රිත ව ඉදි කෙරෙන ගම්මානවල පදිංචි කරවනවා. මේ වැව් දෙකට ම ජලය ලබා දෙන්නේ, කළුගඟ හරහා එන පිටාර ඇළෙන්. තෝරපිටිය වැව යටතේ පවුල් 584ක්‌ සහ ඉතිරි පවුල් 626 කන්දපිටවල වැව යටතේ ඉදි කරන ගම්මානයේ පදිංචි කරවීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල හා මොරගහකන්ද ජලාශ දෙක යා කරන ඇළ මාර්ගය, උමං මාර්ගය හා ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදි කිරීම සඳහා චීන රජයේ සංවර්ධන අරමුදල මඟින් මූල්‍යාධාර ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. කළුගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු සඳහා කුවේට්‌ සංවර්ධන අරමුදල, සෞදි සංවර්ධන අරමුදල හා ඔපෙක්‌ ජාත්‍යන්තර අරමුදලින් මූල්‍යාධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. 

මෙහි තිබෙන ප්‍රධාන ලක්‍ෂණයක්‌ තමයි, මේ ඉදිකිරීම් නිසා කැපෙන ගස්‌ වෙනුවට, ප්‍රදේශයට සරිලන ගස්‌ වර්ග ඊට වඩා වැඩි ප්‍රමාණයක්‌ සිටුවීමට සැලසුම් කර තිබීම. පරිසර හිතකාමී බව මිනිසුන් වෙනුවෙන් පමණක්‌ නො වෙයි, සතුන් වෙනුවෙනුත් 

රැක දීම අවශ්‍යයි. මිනිසුන් ගේ පානීය ජල අවශ්‍යතා සඳහා මහවැව් කිහිපයක්‌ පිළිසකර කරනවා වගේ ම, වන සතුන් ගේ පානීය ජල අවශ්‍යතා සඳහා කුඩා වැව් වනාන්තරය තුළ ඉදි කිරීමටත්, අලි-මිනිස්‌ ගැටුම වැළැක්‌වීම සඳහා අලිමංකඩ ඉදි කර ගම්මාන ආරක්‍ෂා කිරීම පිණිස විදුලි වැටක්‌ ද ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා. මොරගහකන්ද ජලාශයට යට වන පල්ලේගම නගරය වෙනුවට නව පල්ලේගම නගරයක්‌ සියලු ම පහසුකම් ද සහිත ව ඉදි කරන්නත් සැලසුම් කර තිබෙනවා."

අමල් උඩවත්ත http://www.vidusara.com/2012/03/21/feature1.html







_________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...