Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 30 October 2014

චීනය ඇන්ටාක්ටිකාවේ ගවේෂණ පුලුල් කරයි...

ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් ඉදිරියට යමින් සිටින චීනය සිය ධනය භාවිතා කරමින් මෙතෙක් ධනවත් රටවල් වලට පමණක් සීමාව තිබූ බොහෝ ගවේෂණ, පර්යේෂණ හා ක්‍රියාකාරකම් වලින් විශාල ප්‍රගතියක් අතපත් කරගනිමින් සිටී.  ලොව වේගවත්ම සුපිරි පරිගණක නිර්මාණය කිරීමේ තරඟයෙන් චීනය ඉදිරියෙන් සිටින අතර, අමෙරිකාව, ජපානය, ජර්මනිය වැනි රටවල් වලට බලවත් අභියෝගයක්ව සිටී.

අභ්‍යවකාශයට මිනිසුන් යවා ගෙන්වාගත හැකි තුන්වැනි රට බවටද පත්වී සිටින චීනය දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් සිටී. අමෙරිකාවේ F-22 හා රුසියාවේ සුක්හොයි T-50 ස්ටෙල්ත් යානා වලට සමකල හැකි ස්ටෙල්ත් ප්‍රහාරක යානා නිර්මාණය කරමින් සිටිනා චීනය සිය නවතම ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන චෙන්ග්ඩු J-20 යානයේ පරීක්ශණ පියාසැරි ආරම්භ කලේ 2011 වසරේදීය. 2017 වනවිට එම යානය චීන ගුවන් හමුදාවට අනුයුක්ත කරගනු ඇත.

බටහිර රටවල් හා රුසියාවට පමණක් සීමාව තිබූ තවත් අංශයක වේගවත් දියුණුවක් චීනය අත්පත් කරගනිමින් සිටී. ඒ ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශවල ගවේෂණයයි. චීන ධැවාශ්‍රිත ප්‍රදේශ ගවේශණායතය (Polar Research Institute of China) 1989 වසරේදී පිහිටුවන ලද අතර මේ වනවිට ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධස්ථාන සතරක්ද, ආක්ටික් ප්‍රදේශයේ එක් පර්යේෂණ මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති අතර ශූ-ලොන්ග් (Xue Long) හෙවත් හිම මකරා නම් විශාල අයිස් කඩන නෞකාවකින්ද සන්නද්ධය.


අපේ‍්‍රල් මසදී හිම මකරා නෞකාව චීනය විසින් ඇන්ටාක්ටිකාවේ සිදුකළ 30වන ගවේෂණය සම්පූර්ණ කලේය. 1994දී යුක්‍රේනයෙන් ලබාගත් මෙම නෞකාවට අඩි 4ක් ඝණ හිම තට්ටුවක් කඩාගෙන ඉදිරියට යා හැකියි. කාර්යමණ්ඩලයට අමතරව පර්යේෂකයින් 128 දෙනෙකුට මාස ගණනාවක් ජීවත්වෙමින් පර්යේෂණ සිදුකිරීමේ පහසුකම් මෙම නෞකාවේ ඇති අතර වර්ග අඩි 1100ක් විශාල පර්යේෂණගාර හා විද්‍යාගාර මෙහි තිබේ.

බටහිර ඇන්ටාක්ටිකාවේ කින්ග් ජෝර්ජ් අයිලන්ඩ් හි "ග්‍රේට් වෝල්' පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ලාස්මාන් කඳුවැටිය අසල ශොන්ග්ෂෑන් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත. මීට අමතරව නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඩෝම් ආර්ගස් ප්‍රදේශයේ කුන්ලුන් පර්යේෂණ මධ්‍යස්ථානය ක්‍රියාත්මකවේ. සතරවන මධ්‍යස්ථානය වන ටායිශාන් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ප්‍රින්සස් එලිසබෙත් ලෑන්ඩ් නම් ප්‍රදේශයේයි.


චීනයේ ඇන්ටාක්ටික් ගවේෂණ කටයුතු හා ඒවායේ කඩිනම් ව්‍යාප්තිය පිලිබඳ අධයනයක් සිදුකල ඔස්ට්‍රේලියානු රජයට අයත් උපායමාර්ගික ප්‍රතිපත්ති සැකසුම් ආයතනය පවසන ආකාරයට චීනයට ඇන්ටාක්ටිකාවේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන පහසුවෙන් යුධමය කටයුතු සඳහා අනුවර්තනය කරගත හැකියි. උදාහරණයක් ලෙස නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ශොන්ග්ෂෑන් පර්යේෂණ මධ්‍යස්ථානය ධැවීය කක්ෂ වල කක්ශගතකොට තිබෙන ඔත්තු බලන චන්ද්‍රිකා (polar orbit spy satellites) සමග පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා සුදුසුම ස්ථානයක් බව ඔවුන් පවසනවා.

අයිස් දියවී ගිය ග්‍රීෂ්ම  සෘතුවේදී ශොන්ග් ෂෑන් ඇන්ටාක්ටික් මධ්‍යස්ථානය දිස්වෙන අයුරු.
ඔස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාවට ආසන්නයේම ඇති විශාලතම සංවර්ධිත රාජ්‍යය වන අතර ඇන්ටාක්ටිකාවේ මුහුදු ප්‍රදේශ හා එහි ඇති ස්වභාවික සම්පත් රැසකට අයිතිවාසිකම් කියනවා. දැනට ඇන්ටාක්ටිකාවේ සිදුවන ගවේෂණ හා සංචාරක ව්‍යාපෘති විශාල ප්‍රමාණයකට පහසුකම් සපයන්නේ ඔස්ට්‍රේලියාවට අයත් ටැස්මේනියා දූපතේ ඇති හෝබාර්ට් වරාය හා ගුවන් තොටුපොල මගිනුයි. මෙමගින් වාර්ශිකව විශාල ආදායමක් ඔස්ට්‍රේලියානු රජය උපයා ගන්නවා. චීනයේ ඇන්ටාක්ටිකා ක්‍රියාකාරකම් ගැන ඔස්ට්‍රේලියාව මෙතරම් උනන්දුවක් දක්වන්නට හේතුව එයයි.

මේ අතර ඔස්ට්‍රේලියාව තවත් තිගැස්මට භාජනය කල හැකි පුවතක් වාර්තාවනවා. චීනය ඇන්ටාක්ටිකාවේ ගුවන් පථයක් ඉදිකිරීමට සැසෙන බව එම වාර්තාවයි.  බෙයිජිං ඊවිනින් නිවුස් පවසන අන්දමට මෙම ගුවන් පථය නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ප‍්‍රිඞ්ස් ලාර්ස්මන් කඳුවැටි ප‍්‍රදේශයේ පිහිටා ඇති ඇන්ටාක්ටික් සොන්ග්ෂෑන් මධ්‍යස්ථානය අසල ඉදිකරනු ඇති.

යෝජිත ගුවන් පථය චීනය සතුව ඇන්ටාක්ටිකාවේ ඇති මධ්‍යස්ථාන 4 සඳහා සහයදීමට නියමිතව තිබේ. ඇන්ටාක්ටිකාවේ ගවේෂකයන්ට මුහුදු මාර්ගයෙන් ගමනාගමනය කරන්නට සිදුවී තිබීම විද්‍යාත්මක පර්යේෂණයන් සීමාවීමට ප‍්‍රධාන හේතුවක් බව චීනය පවසන අතර මෙම ගුවන් පථය මගින් එම අපහසුව අවම කරගැනීමට බලපොරොත්තු වෙනෙවා.

ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවාගෙන සිටින රටවල් හා ඒවායේ පිහිටුම


Wednesday, 22 October 2014

එබෝලා වෛරසය ඇමරිකානු ජෛව අවියක්???

බටහිර අප‍්‍රිකාවෙන් මතුවූ මාරාන්තික එබෝලා වෛරසය ඇමරිකාව විසින් නිෂ්පාදිත ජෛව අවියක් (Bio Weapon) බව ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.

ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය ෆ‍්‍රැන්සිස් ඒ. බොයිල් පවසන්නේ එබෝලා වෛරසය බටහිර අප‍්‍රිකාව තුළ පැතිර ගියේ සෞඛ්‍ය පහසුකම්, ඖෂධ ආදියේ හිගතාවයක් නිසා බව කීම හුදු ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් බවයි.

එය බටහිර අප‍්‍රිකාවේ නිශ්චිත කලාපයක් තුළ පමණක් පැතිරගිය බවත් ඇමරිකානු වසංගත පාලන මධ්‍යස්ථානය විසින් පිහිටුවා ඇති ජෛව අවි පර්යේෂණාගාර වල පිහිටීම වසංගතය පැතිරගිය ප‍්‍රදේශය හා සබැඳියාවක් දක්වන බවත් ඔහුගේ අදහසයි.

මෙවර පැතිර යන එබෝලා වෛරසය මෙතෙක් හඳුනාගෙන ඇති එබෝලා කාණ්ඩ 5න් වඩා මාරාන්තික සයරේ-එබෝලා වන අතර එය 1976දී මුලින්ම වසංගතයක් ලෙස පැතිරගිය පසු ඇමරිකානු පර්යේෂණාගාර විසින් ලබාගන්නට ඇතැයි මහාචාර්ය බොයිල් පවසා තිබේ.

ලයිබීරියානු විශ්වවිද්‍යාලයේ හා ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිරිල් බ්‍රොඩරික් පවසා ඇත්තේ එබෝලා වෛරසය පැතිරයාම පිළිබඳ සැබෑ තොරතුරු පෙන්ටගනය හා වසංගත පාලන මධ්‍යස්ථානය දන්නා හෙයින් ඔවුන් ඒ පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන බවයි.

එය ජෛව අවි අත්හදා බැලීමක් හෝ පර්යේෂණාගාරයකින් කාන්දු වීමක් හෝ විය හැකි බවද ඔහු පවසා තිබේ.


ටර්බෝ චාජර් තුනක්ම ඇති එන්ජිමක් වොල්වෝ සමාගම නිර්මාණය කරයි!!!

ටර්බෝචාජරයක කොම්ප්‍රෙසරයේ ඇති අවරපෙත්ත
ටර්බෝචාජර් තාක්ශණය සරලව.....

ටර්බෝ යනු අලුත් තාක්ශණයක් නොව පැරණි තාක්ශණයකි. ටර්බෝ චාජරයේ ඇති සම්පීඩකය මගින් වාතය සම්පීඩනය කොට සිලින්ඩරවලට ඇතුලු කරනු ලැබේ. එවිට සිලින්ඩර තුලට වැඩි වායු ප්‍රමාණයක් ඇතුලුවන අතර එවිට සිලින්ඩරය තුල නොදැවී ඉතිරිවන ඉන්ධන අවම වන අතර කුඩා එන්ජිමකින් වැඩි බලයක් ලබාදෙයි. ටර්බෝ චාජරයේ කොම්ප්‍රෙසරයේ ඇති අවර පෙත්ත (compressor fan) කරකැවෙන්නේ එන්ජිමෙන් පිටවන අධික උණුසුමෙන් යුතු විමෝචක වායු (exhaust gasses) ටර්බයින් ෆෑනයක් හරහා යැවීමෙනි. ඒ අනුව ටර්බෝ චාජරය ක්‍රියාත්මක වීමට අමතර බලයක් අවශ්‍ය නොවේ.

ටර්බෝ චාජර්වල ඇති ප්‍රධාන දුබලතා දෙකකි. එකක් නම් ටර්බෝ චාජරයේ කොම්ප්‍රෙසරය මගින් සම්පීඩිත වාතය සිලින්ඩර වෙත ඇතුලු කිරීමට මද වෙලාවක් ගතවීමයි. විශේෂයෙන්ම එන්ජිම අඩු වේගවලි න් ගමන්කිරීමේදී කොම්ප්‍රෙසරය අඩුවේගයෙන් කරකැවීමෙන් මෙම ගැටලුව ඇතිවේ. Turbo Lag ලෙස මෙය හඳුන්වයි. ටර්බෝ චාජරයක් ඇති වාහනයක ඇක්සලරේටරය පාගන මොහොතේම එන්ජිම බලය ලබාදෙන්නට අපොහොසත් වන්නේ මේ නිසාවෙනි. ඇක්සලරේටරය වේගයෙන් පාගා ස්වල්ප මොහොතකින් එන්ජිමේ වේගය වැඩිවෙන බව රියැදුරාට දැනෙයි.

අනෙක් ගැටලුව නම් එන්ජිම වේගයෙන් ක්‍රියාතමක වීමේදී කොම්ප්‍රෙසරය අධික ලෙස රත්වීම නිසා ඉන් සිලින්ඩර් තුලට ලබාදෙන වාතයද අධික ලෙස රත්වී ඇතුලුවීමයි. මෙය ගැටළුවක් වන්නේ මෙලෙස වාතය අධික ලෙස රත්වීම නිසා ප්‍රසාරණය වීම හේතුවෙනි. අධික ලෙස රත්වී ප්‍රසාරණය වන වාතය වැඩි පරිමාවක් ගනී එබැවින් ටර්බෝචාජරය හරහා සිලින්ඩර තුලට ඇතුළුකරන වාතයේ පරිමාව ටර්බෝ චාජරය රත්වන්නට රත්වන්නට අඩුවේ. එවිට ටර්බෝචාජරය මගින් ලාබාදෙන අමතර බලය ක්‍රමයෙන් අඩුවේ. 

මෙම රත්වීම මගහැරීම සඳහා "Inter-Cooler" නම් තාක්ශණයක් යොදාගනී. මෙය සරල තාක්ශණයක් වන අතර ලංකාවේ මෙම තාක්ශණය පොදු ජනවහරට එක්වූයේ "Montero Intercooler" වැනි ජීප් රථවල නිශ්පාදකයා එය වාහනයේ අලුත් තාක්ශණයක් ලෙස උලුප්පා දැක්වූ බැවින් වුවත් ඉන්ටර්කූලර් තාක්ශණයේ මූලික සංකල්ප 1910 තරම් පැරණිය. 1910දී ඉන්ජර්සොල් රෑන්ඩ් (Ingersoll Rand) සමාගම සිය air compressor වල මෙම තාක්ශණයේ පැරණි සැකසුමක් ඉදිරිපත්කොට තිබුණි.

ඉන්ටර්කූලරයක් යනු සැබවින්ම heat exchanger එකකි. ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරයෙන් පිටවන සම්පීඩිත හා අධිකලෙස රත්වූ වාතය සිලින්ඩර වෙතට ඇතුළු කිරීමට පෙර සිසිල්කිරීම ඉන්ටර්කූලරයක් මගින් සිදුවේ. මෙලෙස සිසිල්වීම නිසා සම්පීඩිත වාතයේ ඝණත්වය වැඩිවී පරිමාව අඩුවීමෙන් වැඩි වාතය ප්‍රමාණයක් සිලින්ඩර තුලට නොකඩවා ඇතුලුකල හැකිය.

Volvo Three Turbocharger Concept Engine
l
ටර්බෝ චාජර් දෙකක් ඇති "Twin-Turbo" වර්ගයේ වාහන දැනටමත් වෙළඳපොලේ ඇත. වොල්වෝ සමාගම මින් තවත් ඔබ්බට ගොස් ටර්බෝ චාජර් තුනක් සම්බන්ධකොට එන්ජිමක් නිර්මාණය කොට ඇත්තේ ටර්බෝචාජර් එන්ජින්වල සහජ දුර්වලතාවය වන "turbo lag" නැතිකර දැමීමේ අරමුණින් බව පැවසේ. මෙහිදී ටර්බෝචාජර් දෙකක් එන්ජිමට වාතය ගෙන යන අතර තුන්වන ටර්බෝචාජරය මගින් එන්ජිමට සම්බන්ධ ටර්බෝචාජර දෙකට වාතය ලබාදෙයි. මේ අනුව එන්ජිම අඩු RPM වලින් ක්‍රියාත්මකවීමේදී ඇති "turbo lag" දුර්වලතාවය නැතිවී යයි. 

එමෙන්ම මෙම තුන්වන ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වන්නේ විදුලි මෝටරයක් මගිනි. එන්ජිම RPM 3300 වනතෙක් මෙම තුන්වන ටර්බෝචාජරය ක්‍රියාත්මක වන අතර ඉන්පසු එය ක්‍රියාවිරහිතවේ. ලීටර් 2ක ධාරිතාවයකින් යුතු මෙම එන්ජිම අශ්වබල 450ක සුපිරි ජවයක් ලබාදීමට සමත්වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ජවයක් ලබාගැනීමට ලීටර් 5ක, V8 වර්ගයේ විශාල එන්ජිමක් ඇවැසිය.




අපේ වායුගෝලය - උඩ සිට පහලට

Oap-atmosphere2-100707-02
Source: OurAmazingPlanet.com: Infographic: Earth's Atmosphere Top to Bottom

පෘථිවියේ උතුර දකුණ මාරුවෙයි


වසර 800,000කට පෙර පෘථිවියේ උත්තර් ධ්‍රැවය පිහිටියේ ඇන්ටාක්ටිකාවේය. දක්ශිණ ධ්‍රැවය ආක්ටික් සාගරයේ විය. පසුව එය නැවතත් අද ආකාරයට මාරුවිය. මෙම මාරුවීම කලින් කලට සිදුවෙන බව විද්‍යාඥයින් කාළයක සිටම දැන සිටියහ. පෘථිවියේ චුම්භක ධ‍්‍රැව මාරු වීම මෙතෙක් සිටියාට වඩා වේගයෙන් සිදුවිය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කාලයක් පෘථිවි භූ චුම්භක ක්‍ෂේත‍්‍රය සමාන ප‍්‍රබලතාවයකින් යුක්තව ක‍්‍රියාත්මක වන අතර පසුව එය දුර්වල වී ගොස් ධ‍්‍රැව මාරුවීම සිදුවන බව පැවසේ.  මින් පෙර විද්‍යාඥයින් සිතා සිටියේ ඒ සඳහා වසර 1000ක පමණ කාලයක් ගතවිය හැකි බවයි.

කෙසේවෙතත් එය වසර 100ක් පමණ කාලයක් තුළ සිදුවිය හැකි බව කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් පවසා තිබේ.

මේ සඳහා ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායම ඉතාලියේ සල්මෝනා ද්‍රෝණි ප‍්‍රදේශයේ ඇති ඉපැරණි විලක අවසාදිත කොටස් පිරික්සා ඇත.  එහි චුම්භක සංවේදී ඛනිජ වර්ග ඇති අතර පෘථිවියේ චුම්භක ක්‍ෂේත‍්‍ර බල රේඛා එම අවසාදිත තුළ සටහන් ව ඇතැයි වාර්තා වේ.

චුම්භක ධ‍්‍රැව වෙනස් වීමට අදාළ රේඛා සටහන් මින් වසර 786000ට පෙර සටහන්ව ඇතැයි විද්‍යාඥයින් විසින් අනාවරණය කර ඇති අතර ඒ අසල වෙනත් රේඛා සටහන් නොමැති වීම විසින් මෙය ඉතා වේගවත්ව සිදුවන්නට ඇති බව ඔවුන්ගේ අදහසයි.

මේ වන විට පෘථිවි චුම්භක ක්‍ෂේත‍්‍රය දශකයක් තුළ 5%ක පමණ වේගයකින් දුර්වල වෙමින් ඇති අතර යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අනුව තවත් වසර 2000කින් පමණ මීළග ධ‍්‍රැව මාරුව සිදුවනු ඇත.

මෙම සංසිද්ධිය මිනිස් වර්ගයාට බලපානු ඇති ආකාරය පිළිබඳව වැඩිදුර අධ්‍යනය කළ යුතුව ඇති බව භූ කාලනිර්ණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක පෝල් රෙනේ පවසා තිබේ.

Friday, 17 October 2014

ඇමරිකන් GPS වෙනුවට ඉන්දියාවෙන් IRNSS

 

ඉන්දියාව විසින් GPS පද්ධතියට විකල්පයක් ලෙස IRNSS (Indian Regional Navigation Satellite System) නම් වූ දේශීයව නිෂ්පාදනය කළ නව ස්ථානීය පිහිටුම් සොයා ගැනීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබේ. චන්ද්‍රිකා 7ක් සහ භූමියේ පිහිටි මධ්‍යස්ථාන දෙකකින් සමන්විත වන නව පද්ධතියෙන් ඉන්දියාව ආශ්‍රිත කලාපය සම්පූර්ණයෙන්ම ආවරණය කළ හැකි බව ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කර තිබේ.
සේවාව සිවිල් ජනතාව සඳහා සාමාන්‍ය සේවාවක්ද, යුධමය භාවිතයන් සඳහා රහස්‍යමය "මිලිටරි සේවාවක්ද" සපයනු ඇත. බැංගලෝරයේ පිහිටි ඉන්දියානු අභ්‍යවකාශ ආයතනයේ ISRO Deep Space Network මධ්‍යස්ථානයේ මෙම චන්ද්‍රිකා පද්ධතියේ මෙහෙයුම් කේන්ද්‍රය ස්ථාපනය කොට තිබේ. ඉන්දියානු අර්ධද්වීපය පුරා පැතිරුණු පාලන මධ්‍යස්ථාන 21ක් මගින් මෙම චන්ද්‍රිකාවල කක්ශයන් ගණනය කරමින් ඒවා එම කක්ශයන්වල රඳවාගැනීම සඳහා අවශ්‍ය ගණනය නිරීක්ශණය හා ගණනය කිරීම් (tracking and orbit calculation) සිදුකරයි.

මෙම සේවාව මගින් ඉන්දියානු භූමි ප්‍රදේශය තුල මීටර් 10කට අඩු නිරවද්‍යතාවයකින් (absolute position accuracy of better than 10 meters) යුතුව ස්ථානගත කිරීම් සිදුකල හැකි අතර, ඉන්දියානු අර්ධද්වීපය අවට කිලෝමීටර් 1500 කලාපය තුල මීටර් 20ක නිරවද්‍යතාවයකින් යුතුවද ස්ථානගත කිරීම් සිදුකල හැක.

මෙම සේවාව ගොඩ නැගීම සඳහා අවශ්‍ය චන්ද්‍රිකා, පාලන මධ්‍යස්ථාන, අධිතාක්ශණික උපකරණ යනාදී සියල්ලම මෙන්ම චන්ද්‍රිකා උඩුගුවනට යවන රොකට්ටුද පූර්ණ වශයෙන් ඉන්දියාවේ නිර්මාණය කොට නිශ්පාදනය කිරීමට තීරණය කොට ඇත.

 මේ වන විට පද්ධතියට අවශ්‍ය චන්ද්‍රිකා 7න් 3ක් කක්ෂගත කර ඇති අතර 2015 වන විට ඉතිරි සියළු යටිතල පහසුකම්ද සම්පූර්ණ කිරීමෙන් පසුව IRNSS පද්ධතිය පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් වේ. ඇමරිකාව හමුදා විසින් පාලනය කරනු ලබන GPS පද්ධතියේ තොරතුරු හා නිරවද්‍යතාවය ඇමරිකාවට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම නිසා ඉන්දියාව මෙන්ම රුසියාව චීනය හා යුරෝපා සංගමයද GPSපද්ධතියට විකල්ප වෙනත් පද්ධති කිහිපයක් ස්ථාපිත කර ඇත.

Wednesday, 8 October 2014

වින්ඩෝස් 10 (ස්ටාර්ට් මෙනුව යලි පැමිණෙයි!)


පසුගිය අඟහරුවාදා මයික්‍රෝසොෆ්ට් සමාගම සිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණයේ තාක්ශණික පූර්වාදර්ශණයක් (technical preview) ලොවට එලිදැක්වූවා. වින්ඩෝස් 10 ලෙස හඳුන්වාදුන් මෙය දැනට භාවිතාකරන්නන්ගේ නොසතුටට හේතුවී ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ ඇති දුර්වලතා මගහරවමින්, එහි ඇති හොඳ ගතිලක්ශණ වැඩිදියුණු කරමින් මෙහෙයුම් පද්ධති ලෝකයේ මයික්‍රෝසොෆ්ට් ආධිපත්‍යය තවදුරටත් රඳවාගන්නට කෙරුණු උත්සහයක් බවට විචාරකයින් පෙන්වා දෙනවා.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන්ගේ නොමද උදහසට බඳුන්කරවූ එක් වෙනස්කමක් වූයේ වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය මෙගින් හඳුන්වාදී වින්ඩෝස් භාවිතාකරන්නන් හට නැතුවම බැරිවුනු ස්ටාර්ට් බොත්තම යලි කැඳවීමයි. එමෙන්ම භාවිතාකරන්නන් ව්‍යාකූල කරවූ මෙට්‍රෝ ටයිල් ආකාරයේ ඇප් විවෘත වන ආකාරය හා ක්‍රියාකරන ආකාරයද වෙනස් කොට තිබෙනවා.

වින්ඩෝස් 10 ස්ටාර්ට් බොත්තම එබූ විට ඔබට හුරුපුරුදු ස්ටාර්ට් මෙනුව දිස්වෙන අතර ඊට දකුණු පසින් මෙට්‍රෝ ටයිල් ආකාරයේ කුඩා ඇප්ස් කිහිපයක් දැකගත හැකියි. ප්‍රවෘත්ති, ඊමේල්, සමාජ-ජාල සබඳතා හා ඔබගේ ප්‍රියතම ඇප්ස් මෙම කොටසට එකතුකරගත හැකිවනවා.
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ තවත් වැදගත් නවාංගයක් වන්නේ "virtual desktop" ගණනාවක් නිර්මාණය කරගැනීමේ හැකියාවයි. ඇපල් මැකින්ටොෂ් හා ලීනක්ස් වැනි මෙහෙයුම් පද්ධතිවල ඇති මෙම පහසුකම වින්ඩෝස් 10 සංස්කරණයත් සමග වින්ඩෝස් භාවිතාකරන්නන් හටද ලැබෙනවා. වර්චුවල් ඩෙස්ක්ටොප් යනු ඔබට හුරුපුරුදු වින්ඩෝස් ඩෙස්ක්ටොප් එක මෙන් කිහිපයක් නිර්මාණය කරගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස ඔබගේ ලැප්ටොප් එක රැකියාවේදී හා නිවසේදී භාවිතා කරන්නේ නම් රැකියාවේ භාවිතාකරන ඇප්ලිකේෂන්ස්, ඇප්ස් හා ලිපිගොනු සඳහා වෙනම  ඩෙස්ක්ටොප් එකකුත්, නිවසේදී භාවිතාකරන ඔබගේ ගේම්ස්, මියුසික් ඇප්ස්, වීඩියෝ හා මියුසික් ගොනු තබාගත හැකි වෙනම ඩෙස්ක්ටොප් එකකුත් ලෙස ඩෙස්ක්ටොප් දෙකක් පහසුවෙන් සකසාගත හැකියි. ඔබ භාවිතා කරන වින්ඩෝස් 7, විස්ටා හෝ XP සංස්කරණවල මෙය සිදුකිරීමටනම් ඔබ මේ සඳහා හා වෙනම් යූසර් ලොග්-ඉන් (user log-in) දෙකක් සකසා ගෙන රැකියාවේ හා නිවසේ කටයුතු එම ලොග්-ඉන් තුල තබාගත යුතු වෙනවා. මෙය කරදර කාරී වන්නේ එක් ලොග්-ඉන් එකක සිට තවත් ලොග්-ඉන් එකක් කරා මාරුවීමේදී ගතවන කාලය හා අපහසුතායි. එහෙත් වර්චුවල් ඩෙස්ක්ටොප් තාක්ශණයේදී ක්ශණයකින් එක් ඩෙස්ක්ටොප් එකක සිට තව ඩෙස්ක්ටොප් එකකට මාරුවිය හැකියි.


Related Posts Plugin for WordPress, Blogger...