Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 30 August 2017

NORTH KOREA : තිරය ඇරියා විතරයි!! ඊලඟ එක ගුවාම් දූපතට - කිම් ජොංග් අන්

ජපානයට ඉහලින් පියාසරකල බැලිස්ටික් මිසයිලයේ ගුවන්ගත කිරීම සජීවීව නරඹන කිම් ජොංග් අන්
ජපානයට ඉහලින් පියාසර කරමින් කිලෝමීටර් 1700ක් දුර ගමන්කල හවාසොංග් 12 මිසයිලය විදීම තිරය ඇරීමක් (curtain raiser) පමණක් බව සාර්ථක ගුවන්ගත කිරීමෙන් පසු සිය ජේශ්ඨ නිළධාරීන් සමග ප්‍රීතියෙන් විනෝදවුනු කිම් ජොන්ග් අන් පවසා සිටියා.

මෙම මිසයිලය ජපානයට ඉහලින් පියාසර කරවූයේ 1910දී ජපානය බලහත් කාරයෙන් කොරියාව මත පැටවූ ජපාන-කොරියානු පාවාදීමේ ගිවිසුමට වසර 107 සපිරෙන දා බව පැවසූ උතුරු කොරියානු මාධ්‍ය මෙම ගිවිසුමට මුවාවී මුලු මහත් කොරියාවම සිය කොළණියක් කරගන්නට ජපානය සමත්වූබවද මතක් කොට සිටියා.













NORTH KOREAN MILITARY POWER STATISTICS


North Korea - Military Manpower

සක්‍රීය යුධ භට පිරිස - 700,000
සක්‍රීය හමුදා සංචිතය (Active Reserves) - 4,500,000
යුධ සේවයට කැඳවිය හැකි, යුධ පුහුණුව ඇති සිවිල් ජනයා - 10,000,000

Military Hardware - Land Forces


යුධ ටැංකි - 4200
සන්නද්ධ ප්‍රහාරක රථ - 4100
සංචාරක කාළතුවක්කු (Self-propelled guns) - 2250
ඇදගෙන යා යුතු කාළතුවක්කු - 4300
මල්ටි බැරල් රොකට් පද්ධති - 2400

Air Power

සටන්වදින යානා (fighter / interceptor) - 458
ප්‍රහාරක යානා (attack aircraft) - 572
ප්‍රවාහණ යානා (transporter) - 100
හෙලිකොප්ටර් - 202

ප්‍රහාරක හෙලිකොප්ටර් - 20

Naval Power

යුධ නෞකා - 5
සබ්මැරීන - 70
වෙරළාරක්ෂක යාත්‍රා - 211
මුහුදු බෝම්බ අතුරන යාත්‍රා - 23

Rocket Forces

KN 1 – කෙටිදුර නෞකා නාෂක කෲස් මිසයිලය. කි.මී 160ක ප්‍රහාරක පරාසය.

KN 2 ටොච්කා – කෙටිදුර, ඝණ ඉන්ධන දහනය කරන, ඉතා නිවැරදිව ඉලක්කය ගතහැකි ජංගම මිසයිලයකි.

Hwasong 5 - ද්‍රව ඉන්ධන දහනය කරන ස්කඩ් මිසයිල මාදිලියේ ජංගම මිසයිලයකි. ප්‍රහාරක පරාසය කි.මී 330. මෙවැනි මිසයිල පද්ධති 150-200 පමණ ඇතැයි සැළකේ.

Hwasong 6 – ස්කඩ් මාදිලියේ නවීකරණය කල ජංගම මිසයිල පද්ධතියකි. ප්‍රහාරක පරාසය කි.මී 550+. කිලෝ 600ක පිපුරුම් හිසක් ගෙනයා හැකිය. මෙවැනි මිසයිල 400ක් පමණ ඇත.

Hwasong 7 – හ්වාසොංග් 6 මිසයිලයේ වැඩි දියුණුවකි. ප්‍රහාරක පරාසය කි.මී 800+. මෙවැනි මිසයිල 150ක් පමණ උතුරු කොරියාව සතුව ඇත.

Rodong 1 – තවත් දියුණුකල ස්කඩ් අනුවර්තනයකි. ද්‍රව ඉන්ධන දහනය කරන ජංගම මිසයිලයකි. ප්‍රහාරක පරාසය 1,300+ කි.මී. කිලෝග්‍රෑම් 650ක පිපුරුම් හිසක් ගෙනයා හැකිය.

Hwasong 10 - නවීකරණය කරන ලද සෝවියට් ආර්-27 සබ්මැරීන මගින් විදින බැලිස්ටික් මිසයිලයකි. කිලෝමීටර් 3000+ ප්‍රහාරක පරාසයක් ඇත. මෙවැනි මිසයිල 50ක් පමණ උතුරු කොරියාව සතුව ඇත.

Pukkuksong 1 - චීන සබ්මැරීන නාෂක මිසයිලයක වැඩිදියුණුවකි. දිගුදුර මිසයිලයක් බවට විශ්වාස කරයි. වැඩිදුර තොරතුරු නැත.



සවිස්තර සටහන

North Korean Air Defense Systems

උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ශිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන් සෙබළුන් දිවා රෑ මෙම රේඩාර් තිර නිරීක්ශණය කරමින් සිටී. එමෙන්ම උතුරු කොරියාව සතුව 15000කට අධික උරහිස මත තබාගෙන විදින ගුවන් යානා නාශක මිසයිල පද්ධති සංඛ්‍යාවක් ඇත.

අමෙරිකානු වාර්තා අනුව සියලුම උතුරු කොරියානු රේඩාර් හා ගුවන්යානා නාශක මිසයිල පද්ධති ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන ශක්තිමත් බංකර තුල ස්ථානගත කොට ඇති අත උතුරු කොරියානු ගුවන් හමුදාවේ සියළුම යානා සඳහාද බෝම්බ ප්‍රහාරවලට ඔරොත්තු දෙන හැඟර සපයා ඇත. එමෙන්ම උතුරු කොරියාව සතුව විශාල භූගත ගුවන් කඳවුරු දෙකක්ද ඇතැයි සැළකේ. මේ අනුව උතුරු කොරියාව විදේශ ආක්‍රමණයක් සිදු කිරීම ඉතාමත් අපහසු රට ලෙස සැළකේ.

Korean People's Army

Korean People's Army හෙවත් කොරියානු ජනතා යුධහමුදාව ලෙස හැඳින්වෙන උතුරු කොරියානු යුධ යන්ත්‍රය කොටස් කිහිපයකට බෙදා පරිපාළණය කරනු ලැබේ.

1. කොරියානු ජනතා ගොඩබිම් හමුදාව (Korean People's Army Ground Force)
2. කොරියානු ජනතා නාවික හමුදාව (Korean People's Navy)
3. කොරියානු ජනතා ගුවන් හමුදාව (Korean People's Air Force)
4. උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces)
5. උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය (North Korean Special Operations Force)
6. ගොවි-කම්කරු රතු හමුදාව (Worker-Peasant Red Guards)

Korean People's Army Ground Force


භට පිරිස් ශක්තිය : මිලියනයක භට පිරිසක් කොරියානු ගොඩබිම් හමුදාවේ නිත්‍ය සේවයේ නියුතු බව ඇස්තමේන්තු කොට ඇත.

යුධ ටැංකි : 4000+ අතර ප්‍රමාණයක්. සෝවියට් නිර්මාණ වන මෙම යුධ ටැංකි අතර ටී-55, ටී-59, ටී-62 යන කාණ්ඩවල ප්‍රධාන යුධ ටැංකි (Main Battle Tank) මෙන්ම දියගොඩ් දෙකෙහිම ගමන් කල හැකි ඇම්ෆීබියස් වර්ගයේ පීටී-76 හා පීටී-85 යුධ ටැංකි ගණනාවක්ද ඇත. එමෙන්ම රුසියානු ටී-62 යුධ ටැංකිය ඇසුරින් උතුරු කොරියාවේ දේශීය නිර්මාණ ලෙස හැඳින්වෙන චොන්මා-හෝ ප්‍රධාන යුධ ටැංකි 1000ක්ද රුසියානු ටී-80 හා ටී-90 යුධ ටැංකි තාක්ශණය හා චීන ටී-88 යුධ ටැංකි තාක්ශණය ඇසුරින් උතුරුකොරියාව විසින් නිර්මාණය කරන ලද පොක්පන්ග්-හෝ ප්‍රධාන යුධ ටැංකි 300ක් පමණද සේවයේ යොදවා ඇත.


සන්නද්ධ භට ප්‍රවාහන රථ (Armored Personnel Carriers) : උතුරු කොරියානු ගොඩබිම් හමුදාව සතුව දහස් ගණනක් සන්නද්ධ භට ප්‍රවාහන රථ ඇති අතර මේවා අතුරින් බොහොමයක් පැරණි සෝවියට් නිර්මාණ හෝ එම තාක්ශණය ඇසුරින් වැඩිදියුණු කරන ලද උතුරු කොරියානු නිර්මාණ වේ.

ගුවන් ආරක්ශක පද්ධති : උතුරු කොරියානු ගොඩබිම් හමුදාව සතුව SA-7, SA-17, SA-19 යන උරහිසෙහි රඳවාගෙන විදිය හැකි අධෝරක්ත සංවේදක ආධාරයෙන් ඉලක්කය සොයාගන්නා ගුවන් යානා නාශක මිසයිල පද්ධති (shoulder-fired infrared anti-aircraft missile) සියගණක් ඇත.

Korean People's Navy




උතුරු කොරියානු නාවික හමුදාව green water navy හෙවත් වෙරලාසන්න මෙහෙයුම් සඳහා හැකියාවන් ඇති නාවික හමුදාවකි. ඔවුන්ගේ බොහෝ මෙහෙයුම් වෙරළේ සිට කිලෝමීටර් 50ක උපරිම දුරකින් සිදුවේ. ගැඹුරු මුහුදේ සැතපුම් දහස් ගණනක් ඈතට මෙහෙයුම් සිදුකල හැකි නාවික හමුදා blue water navy ලෙස හඳුන්වයි.

උතුරු කොරියානු නාවුක හමුදාව නැගෙනහිර හා බටහිර නාවික හමුදා (east coast fleet and west coast fleet) වශයෙන් බෙදා ඇති අතර නැගෙනහිර නාවික හමුදාවට බටහිර නාවික හමුදාවට යුද්ධයකදී සහය දීමේ හැකියාවක් නැත. මීට හේතුව එසේ කිරීමට නම් දකුණු කොරියානු මුහුදු සීමාවෙන් කොරියානු අර්ධද්වීපය වටා ගමන් කල යුතු බැවිනි.  විවිධ වර්ගයේ නාවුක යාත්‍රා 708ක් හා සබ්මැරීන 30ක් සක්‍රිය සේවයේ නියුක්තවේ.

භට පිරිස් ශක්තිය : 146,000 ක පමණ නාවිකයින් පිරිසක් කොරියානු ජනතා නාවික හමුදාවේ සේවය කරන බවට ඇස්තමේන්තු කොට ඇත.

සබ්මැරීන : ඩීසල්-ඉලෙක්ට්‍රික් වර්ගයේ සබ්මැරීන හා කුඩා මිජට් වර්ගයේ සබ්මැරීන වලින් සමන්විතය. මේ අතරින් උතුරු කොරියාවේ නිර්මාණය කරන ලද සැන්ග්-යෝ කාණ්ඩයේ ප්‍රහාරක සබ්මැරීන (Sang-yo class attack submarine) 40ක්ද, යෝනෝ කාණ්ඩයේ කුඩා සබ්මැරීන (Yono class midget submarine) 10ක්ද, රෝමියෝ කාණ්ඩයේ සබ්මැරීන 20ක්ද, සෝවියට් රුසියාවෙන් ආනයනය කොට චීනයේ ආධාර ඇතුව වැඩිදියුණු හා නඩත්තු කටයුතු සිදුකරනවිශ්කි කාණ්ඩයේ (Whiskey class)සබ්මැරීන 4ක්ද ඇත.

ආරක්ශක නෞකා (frigates): සෝවියට් දේශයෙන් ලබාගත් ක්‍රිවාක් කාණ්ඩයේ ආරක්ශක නෞකා 1ක් හෝ 2ක් සේවයේ නියුතුය. පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයකින් ගමන්කල හැකි ක්‍රිවාක් කාණ්ඩයේ නෞකාවල යුධ නැව් විනාශකල හැකි මිසයිල, ගුවන්යානා නාශක මිසයිල, සබ්මැරීන නාශක මිසයිල හා අධිබල මැශින් තුවක්කු ගෙනයා හැකිය. සතුරු යාත්‍රා හඳුනා ගැනීම සඳහා රේඩාර් පද්ධති හා සබ්මැරීන හඳුනාගැනීම සඳහා සෝනාර් පද්ධති වලින්ද සම්න්විතය. සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා සබ්මැරීන නාශක හෙලිකොප්ටර් යානා ගෙනයාමේ හැකියාවද ක්‍රිවාක් කාණ්ඩයේ යුධ නෞකාවලට ඇත. මීට අමතරව උතුරු කොරියාවේ නිර්මාණය කල නැජින් කාණ්ඩයේ සැහැල්ලු ආරක්ශක නෞකා (light frigate) 3ක් පමණද සේවයේ යෙදවේ. මෙම සැහැල්ලු ආරක්ශක නෞකාවලටද නෞකා නාශක මිසයිල, සබ්මැරීන නාශක ටෝර්පිඩෝ හා අධිබල මැශින් තුවක්කු ගෙනයා හැකිය. රේඩාර් හා සෝනාර් පද්ධතිවලින් සමන්විතය.

අධිවේගී නාවික යාත්‍රා (corvettes) : සබ්මැරීන නාශක මෙහෙයුම් සඳහා යොදාගත හැකි උතුරු කොරියාවේ නිශ්පාදිත සැරිවොන් කාණ්ඩයේ අධිවේගී නාවික යාත්‍රා 5ක් ඇති අතර මෙම යාත්‍රා සතුව අධිබල මැශින් තුවක්කු, සබ්මැරීන විනාශ කිරීම සඳහා යොදාගන්නා බෝම්බ විශේෂයක් වන ඩෙප්ත්-චාජර්ස් පද්ධති වලින් සමන්විතය. මෙය 1960 ගණන්වල සෝවියට් නිර්මාණයක් ඇසුරින් නිපදවා ඇති බව යුධ විශ්ලේෂකයින් පවසයි. එමෙන්ම සෝවියට් දේශයෙන් ලබාගත් ට්‍රියල් කාණ්ඩයේ යාත්‍රා දෙක්ද ඔවුන් සතුවේ.

ටෝර්පිඩෝ හා මිසයිල ප්‍රහාරක යාත්‍රා : කුඩා නාවික යාත්‍රා ගණයට වැටෙන මෙම යාත්‍රා කාණ්ඩ ගණනාවක් උතුරු කොරියාව සතුව ඇත. ගණනින් 250ක් පමණ වන මෙම යාත්‍රාවලට නෞකා නාශක මිසයිල හා සබ්මැරීන නාශක ටෝර්පිඩෝ නම් දිය යටින් යන මිසයිල ගෙනයා හැකිය.

සන්නද්ධ ප්‍රහාරක බෝට්ටු (gun boats) : මෙවැනි අධිවේගී සන්නද්ධ යාත්‍රා සියයකට අධික සංඛයාවක් සේවයේ යොදවා ඇත.

භටපිරිස් හා සන්නද්ධ රථ ප්‍රවාහන යාත්‍රා (landing crafts) : විවිධ කාණ්ඩවල ප්‍රවාහණ යාත්‍රා 500+ ප්‍රමාණයක් උතුරු කොරියාව සතු අතර ඕනෑම ස්ථානයකට භටපිරිස් හා සන්නද්ධ රථ හෝ යුධ ටැංකි ප්‍රවාහනය සඳහා මේවා යොදාගත හැක.

Korean People's Air Force




උතුරු කොරියානු ගුවන් හමුදාව භටයින් හා සෙසු නිළයන් 110,000 සමන්විත වන අතර ගුවන්යානා 1600කින් සන්නද්ධය. මෙම ගුවන් යානා බොහොමයක් සෝවියට් හෝ චීන නිශ්පාදනවේ.

ප්‍රහාරක හා සටන්වදින ගුවන් යානා : උතුරු කොරියානු ගුවන් හමුදාව සතු නවීනතම යානය මිග් 29 ප්‍රහාරක යානයයි. මෙවැනි යානා 40ක් උතුරු කොරියානු ගුවන් හමුදාව සතු අතර උතුරු කොරියාවේ අගනුවර වන පියෝන්ග්යෑන්ග් නුවර ගුවන් අවකාශය ආරක්ශාකිරීම මිග්-29 යානාවල මූලිකම රාජකාරිඅයි. මීට අමතරව තුන්වන පරම්පරාවේ මිග්-23 යානා 56ක්ද උතුරු කොරියාව සතුව ඇත. බටහිර යුධ විශ්ලේශකයින් පවසන අන්දමට ගණයේ රේඩාර් පද්ධතියකින් සමන්විත, ඉතා පහසුවෙන් මෙහෙයවිය හැකි මෙම යානා පියාසර කරන දක්ශ නියමුවෙකු හට නවීන යානා වලට වුව ඉතා හොඳ සටනක් දිය හැකි බව පවසයි. මීට අමතරව චීනයේ නිශ්පාදිත F-5, F-6 හා F-7 සුපර්සොනික් ප්‍රහාරක යානාද ඔවුන් සතුවේ. මෙම යානා සියල්ලම රුසියානු මිග් යානාවල පිටපත් වන අතර සුපර් සොනික් හැකියාව ඇති දිවා කල මෙහෙයුම් කල හැකි යානාවේ. F-5 යානා 100ක්ද, F-6 යානා 98ක්ද, F-7 යානා 40ක්ද සක්‍රිය සේවයේ නියුතුය. උතුරු කොරියාව සතුව වැඩියෙන්ම ඇති යානා වර්ගය මිග් 21 යානාවයි. මෙවැනි යානා 150කට අධික සංඛයාවක් සක්‍රිය සේවයේ නියුතුය.

බෝම්බ හෙලන යානා : ඉල්යුශින් 28 යානා හා එහි චීන පිටපතක් වන H-5 යානා 80කට අධික ගණනක් සක්‍රිය සේවයේ නියුතුය. දිගුදුර බෝම්බ හෙලන යානාවක් වන H-5 යානයට කිලෝ 3000ක බෝම්බ තොගයක් රැගෙන කිලෝමීටර් 2500ක් පියාසර කල හැකිය. මෙම යානාවේ දුර්වලතා වන්නේ එහි මන්දගාමී වේගයත් (පැ.කි.900) හා අඩු පියාසර උසත්ය (මීටර් 13,000). මේ දුර්වලතා නිසා මෙම යානා ගුවන්යානා නාශක මිසයිලවලට ගොදුරුවීමේ සම්භාවිතාවය ඉතා ඉහල බව පැවසේ.

පාබල හමුදා සහයක ගොඩබිම් ප්‍රහාරක යානා (ground support attack aircraft) : උතුරු කොරියාව සතුව සුක්හොයි Su-25 ගොඩබිම් ප්‍රහාරක යානා 35ක් පමණ ඇති අතර 1980 දශකයේ නිර්මාණය වූ මෙම යානාවට ඉතා හොඳ සටන් ඉතිහාසයක් ඇත. Su-25 යානා සෝවියට් හමුදාව විසින් ඇෆ්ඝනිස්ථානයේ මුජහිඩීන් සටන්කාමීන්ට එරෙහිව විශාල ලෙස යොදාගන්නා ලදී. මිට අමතරව පැරණි සෝවියට් නිර්මාණයක් වන Su-7 යානා 20ක් පමණද සක්‍රිය සේවයේ නියුතුය.

ප්‍රහාරක හෙලිකොප්ටර් : එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරය උතුරු කොරියාව සතු ප්‍රභලතම ප්‍රහාරක හෙලිකොප්ටරයයි. මෙවැනි යානා 24ක් ගුවන් හමුදාව සතුව ඇත. මීට අමතරව පැරණි සෝවියට් නිර්මාණ වන එම්.අයි. 2 කුඩා ප්‍රහාරක හෙලිකොප්ටර 140ක් හා එම්.අයි 14 හෙලිකොප්ටර් 10ක්ද ඇත. මීට අමතරව අමෙරිකාවේ නිර්මාණයක් වන MD-500 කුඩා හෙලිකොප්ටර් 87ක්ද උතුරු කොරියාව සතුවේ. සිවිල් ප්‍රවාහන සේවා සඳහා නිමවා ඇති මෙම යානා උතුරු කොරියාව මගින් බටහිර ජර්මනිය හරහා ගෙන්වා ගන්නා ලද අතර දැන් ඒවා සැහැල්ලු සන්නද්ධ ප්‍රහාරක හෙලිකොප්ටර් බවට අනුවර්තනය කරගෙන ඇත.

විශේෂ බළකා ප්‍රවාහන යානා : උතුරු කොරියානු විශේෂ බළකාය මගින් ඇන්ටනොෆ් ඒ.එන්-2 වර්ගයේ ප්‍රවාහන යානා 300ක් භාවිතා කරයි. ඉතා නිහඬව ක්‍රියාත්මක වන මෙම යානයට කිලෝමීටර් 850ක පරාසයක මෙහෙයුම් සිදුකල හැකි නිසාත් ඉතා පහතින් පියාසර කල හැකි බැවිනුත් උතුරු කොරියානු විශේෂ බළකායට කොමාන්ඩෝ සෙබළුන් දහස් ගණනක් රහසේම දකුණු කොරියානු භූමියට ගොඩබැස්විය හැකි වනු ඇත.

North Korean Strategic Rocket Forces 








උතුරු කොරියානු උපායමාර්ගික රොකට් බළකාය උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල පද්ධති භාරව සිටිනා හමුදා ඛණ්ඩයයි. විවිධ වර්ගයේ බැලිස්ටික් මිසයිල 1000ක් පමණ මෙම බළකාය සතුව ඇත.

කෙටිදුර බැලිස්ටික් මිසයිල (ප්‍රහාර පරාසය100Km-500Km) : උතුරු කොරියාව සතුව හ්වාසොන්ග්-5 හා හ්වාසොන්ග්-6 ලෙස නම් කල කෙටිදුර බැලිස්ටික් මිසයිල වර්ග දෙකක් ඇත. මේවා රුසියානු ස්කඩ් මිසයිලවල දේශීය නිශ්පාදන ලෙස හඳුනාගෙන ඇත. ජංගම ප්‍රවාහන රථවල ඕනෑම තැනකට ගෙනගොස් ඉක්මණින් දියත්කල හැකි ලෙස සකස්කොට ඇති මෙම මිසයිල හඳුනාගෙන විනාශ කිරීම ඉතා දුශ්කරය.

මධ්‍යදුර බැලිස්ටික් මිසයිල (ප්‍රහාර පරාසය 900Km-2500Km) : උතුරු කොරියාව සතුව රොඩොන්ග්-1 හා ටේපොඩොන්ග්-1 ලෙස හඳුන්වන මධ්‍යදුර බැලිස්ටික් මිසයිල වර්ග දෙකක් ඇත. රොඩොංග්-1 ස්කඩ් B හා ස්කඩ් C මාදිලියේ සෝවියට් කෙටිදුර මිසයිල තාක්ශණය ප්‍රතී-ඉන්ජිනේරුකරණය කොට නැවත වැඩිදියුණු කොට එහි ප්‍රහාරක පරාසය විශාල ලෙස ඉහලදමා ඇත. මෙය උතුරු කොරියානු රොකට් තාක්ශණයේ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකිය. රොඩොංග්-1 මිසයිලයේ පරාසය කිලෝමීටර් 900-1300 අතර වේ. කෙසේ වෙතත් මෙම මිසයිලයේ ඉලක්කයට වැදීමේ නිරවද්‍යතාවය ඉතා පහල මට්ටමක පවතිඅන බව පැවසේ. එමෙන්ම දියත් කිරීමට පෙර ඉන්ධන පිරවීම සිදුකල යුතු නිසා ප්‍රහාරයකට සූදානම් කිරීමට විශාල කාළයක් ගතවන අතර ජංගම මිසයිලයක් නොවේ. ටේපොඩොන්ග්-1 සක්‍රිය සේවයේ පවතින මිසයිලයක් නොව, උතුරු කොරියානු රොකට් තාක්ශණ පර්යේශණ සඳහා නිර්මාණය කරන ලද අදියර තුනකින් යුතු විශාල රොකට්ටුවකි. මෙහි ප්‍රහාර පරාසය කිලෝමීටර් 2500කි.

අන්තර්මහදිවීපික බැලිස්ටික් මිසයිල (ප්‍රහාරක පරාසය කිලෝමීටර් 4000-6000): උතුරු කොරියාව සතුව ටේපොඩොන්ග්-2 ලෙස හැඳින්වෙන අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඇති අතර එවැනි මිසයිල 2ක් හෝ 3ක් සක්‍රිය සේවයේ ඇති බවට බටහිර ඔත්තු සේවා සැක කරයි. කිලෝමීටර් 6000ක් උපරිම ප්‍රහාරක පරාසයක් ඇති මෙය දැනට එක් වතාවක් පමණක් දියත් කොට ඇති අතර එම පිරික්සුම් පියාසැරිය අසාර්ථක වූයේ මිනිත්තු 2කට පමණ පසු මිසයිලයේ රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වූ බැවිනි.

North Korean Special Operations Force

උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය භටයින් 180,000 සැදුම්ලත් ලොව විශාලතම විශේෂ මෙහෙයුම් බළකායයි. මෙම බළකායේ අරමුණ දකුණු කොරියානු භූමියට ඇතුලුවී ඔත්තුබැලීම, දකුණු කොරියානු යුධ හා සිවිල් මර්මස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් සිදුකිරීම, පාබල හමුදාවලට සහය දීම වැනි කරුණුයි. මේ සඳහා ගුවන් (airborne), ඔත්තුසේවා (reconnaissance), නාවුක මෙහෙයුම් (maritime) පාබල සේනාංක (infantry) ආදී සේනාංක වලින් මෙම බළකාය සමන්විතය. උතුරු කොරියානු සබ්මැරීන මගින් හා ප්‍රවාහණ යාත්‍රා මගින් දහස් ගණනක් විශේෂ බළකා සෙබළුන් දකුණු කොරියානු වෙරළවලට ගොඩ බැස්විය හැකි අතර ගුවන් බළකාය සතු ඇන්ටනොෆ් යානා මගින් තවත් දහස් ගණක් දේශසීමාවෙන් කිලෝමීඅටර් සියගණනක් දකුණු කොරිආව තුලට භටයින් ගොසබැස්විය හැකිය.

Worker-Peasant Red Guards

සාමාජිකයින් මිලියන 3.5කින් සමන්විත ගොවි-කම්කරු රතු හමුදාව ලොව විශාලතම සිවිල් ආරක්ශක සේවයයි. මෙහි සාමාජිකයින් අවි පුහුණුව ලබා ඇති අතර සැහැල්ලු අවි, ආර්.පී.ජී අවි, මෝටාර් හා යුධ ටැංකි නාශක අවි අවලින් සන්නද්ධය.

උතුරට මුහුණ දීමට දකුණේ සූදානම....

උතුරු කොරියානු මිසයිල ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා දකුණු කොරියානු ත්‍රිවිධ හමුදා සීරුවෙන් සිටී. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු කොරියාවේ කුන්සාන් ගුවන් කඳවුරේ ධාවන පථයේ මොහොතකින් ගුවන්ගත කිරීම සඳහා සූදානම් කොට තිබෙන දකුණු කොරියානු F-16 ෆයිටිං ෆෝල්කන් ජෙට් ප්‍රහාරක යානා සියගණනකි. මෙලෙස දකුණු කොරියාව පුරා ඇති සියළුම යුධ, ගුවන් හා නාවුක කඳවුරු සීරුවෙන් තබා ඇත......



දකුණු කොරියානු යුධ ටැංකි මුහුදින් ගොඩබැසීමේ අභ්‍යාසයක යෙදෙමින්....




දකුණු කොරියානු විශේෂ බළකා සෙබළුන් උතුරු කොරියානු දේශසීමව අසල මුර සංචාරයේ යෙදෙමින්.....



 දැන් සියල්ල ඇත්තේ උතුරු කොරියානු කොළු නායකයා අතය...



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Friday, 18 August 2017

EDUCATION : එන්ගලන්තෙ AL රිසල්ට් ඇවිල්ලා. නංගිලා මල්ලිලා සෙට්වෙලා (සමහර අය කට්වෙලා)

හොඳ උසස් පෙල ප්‍රථිපල සතුට සමරන්නට එකතුවුනු පාසැල් මිතුරන්
එක්සත් රාජධානියේ උසස් පෙල ප්‍රතිපල ඊයේ (17 August) නිකුත් වුනා. එහි රජයේ පාසැල් වල සිසුන් උසස් පෙල විභාගයට පෙනී සිටීම සඳහා විභාග මණ්ඩල 7කින් (Examination Boards) එකක් තෝරා ගත හැකි වනවා. මේ විභාග මණ්ඩල 7නම්;

AQA (Assessment and Qualifications Alliance)
CIE (University of Cambridge International Examinations)
CCEA (Council for the Curriculum, Examinations & Assessment)
Edexcel (University of London Exam Council, No owned by Pearson Corp of USA)
ICAAE (International Curriculum and Assessment Agency Examinations)
OCR (Oxford, Cambridge and RSA Examinations)
WJEC (Welsh Joint Education Committee)

මේ විභාග මණ්ඩල 7ටම විශාල විෂයන් ගණනක් සඳහා තම තමන්ගේම විෂය නිර්දේෂ ඇති අතර, එම විෂය නිර්දේෂ සකස් කිරීමේදී එක්සත් රාජධානියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියාමනයන් හා එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා අවශ්‍ය කුසලතා පිලිබඳව එම විශ්වවිද්‍යාලවලින් ලැබෙන නිර්දේශ සලකා බලනවා.

විශ්වවිද්‍යාල වල Ranking අනුව වෙනස්වන ඇතුලත්වීමේ සුදුසුකම්

විශ්වවිද්‍යාල වලට ඇතුලුවීම සඳහා සුදුසුකම් ලැබීමට තිබිය යුතු ප්‍රථිපල විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට මෙන්ම පාඨමාලාවෙන් පාඨමාලාවට වෙනස් වෙනවා. ඉතා ඉහල ශ්‍රේණිගත කිරීම් වල සිටින විශ්වවිද්‍යාලවල (Higher Ranking) පාඨමාලා වලට ඇතුලත්වීම සඳහා දැඩි ඉල්ලුමක් ඇති බැවින් ඉහල ප්‍රතිපල ලබාගත යුතු වනවා.

වෛද්‍යවීද්‍යාලවලට ඇතුලත්වීමට බලාපොරොත්තුවන සිසු-සිසුවියන්ට අවම A සාමාර්ථ තුනක් තිබිය යුතුවන අතර උසස් පෙලට අමතරව සුදුසුකම් සැපිරීමේ විභාගයකටද පෙනී සිටිය යුතු වනවා. වෛද්‍ය විද්‍යාල 12ක් මේ සුදුසුකම් සැපිරීමේ විභාගය ලෙස UK Clinical Aptitude Test (UKCAT) නිර්දේශ කරන අතර වෛද්‍ය විද්‍යාල 7ක් Bio Medical Admissions Test (BMAT) විභාගය නිර්දේශ කරනවා.

සිසුවාගේ ඉගෙනීමේ කුසලතාව හා අපේක්ෂිත ප්‍රතිපල අනුව ගැලපෙන විශ්වවිද්‍යාල තෝරා ගැනීමේ ක්‍රමවේදය

එක්සත් රාජධානියේ සියලුම විශ්වවිද්‍යාල සඳහා පොදු අයදුම් ක්‍රමයක් බිහිකර තිබෙන අතර University Common Application System හෙවත් UCAS ලෙස හඳුන්වන මෙහි අයදුම් පත් අන්තර්ජාලය ඔස්සේ, තමන් ඉගෙන ගන්නා පාසැල තුලින් යොමුකල යුතුයි. මෙලෙස විශ්වවිද්‍යාල වලට අයදුම් කිරීම උසස් පෙල දෙවන වසරේ පාසැල් පැවැත්වෙන අතරේ සිදුකල යුතු අතර, උසස් පෙල විභාගයට පෙර එම කටයුතු අවසන් කලයුතු වෙනවා. සෑම සිසුවෙකුටම තමන් කැමති විශ්ව විද්‍යාල තුනකට අයදුම් කල හැකියි.

විභාගයටත් පෙර අයදුම් කරන නිසා සිසු සිසුවියන්ට තමාගේ අධ්‍යයන හැකියාවන් වලට අනුව හා ලබාගත හැකිවෙතයි සිතන ප්‍රථිපල වලට අනුව ගැලපෙන විශ්වවිද්‍යාල තෝරා ගත යුතුවනවා. මේ කටයුත්තේදී සිසුනට (හා දෙමව්පියන්ට) මග පෙන්වීමට හා උපදෙස් දීමට පාසැලේ ජ්‍යේශ්ඨ ගුරුවරයෙකු  පත්කොට සිටිනවා. 

තමන්ට නොගැලපෙන තරමේ ඉහල ප්‍රතිපල අවශ්‍ය විශ්වවිද්‍යාල වලට අයදුම් කරන සිසු-සිසුවියන්ට, එම ප්‍රතිපල ලබාගත නොහැකි වුවහොත් විශ්වවිද්‍යාල වරම් අහිමිවීම ඉඩ තිබෙන නිසා හැම සිසුවෙක්ම ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීමේ විසුලු ප්‍රයත්න දකින්නට ඇත්තේ නෑ. තමන්ගේ ඉගැනීමේ හැකියාවට ගැලපෙන උසස්පෙල ප්‍රතිපල ඉල්ලා සිටින විශ්වවිද්‍යාල තුනකට අයදුම් කොට එම ප්‍රතිපල ලබාගැනීමට උත්සහ කිරීම බොහෝ එක්සත් රාජධානි උසස්පෙල සිසුන්ගේ උත්සාහය වනවා.

උසස්පෙලින් පසු ගෙදර බබා නොවී වැඩිහිටියන් මෙන් හැසිරෙන්නට, විනෝද වන්නට අවසර

උසස්පෙලින් වයස 18 සපුරන එක්ස්ත් රාජධානි දරුවන් තවදුරත් ගෙදර බබාලා මෙන් තබා ගැනීමට එරට දෙමව්පියන් මෙන්ම වැඩිහිටි පරම්පරාවද සූදානම් නෑ. වගකීම් සහිත වැඩිහිටියන් ලෙසයි ඔවුන් සැලකෙන්නේ. බහුතරයක් මේ නිදහස වගකීමෙන් බුක්ති විඳන අතර සුලුතරයක් මත්පැන්, මත්ද්‍රව්‍ය, අනවශ්‍ය ගැබ් ගැනීම්, නීති විරෝධී කටයුතු ආදී සමාජ උවදුරුවල ගොදුරු බවට පත්වෙනවා.

ඊයේ රාත්‍රී සමාජශාලා හා අවන්හල් වෙත රොක්වුනු උසස්පෙල ප්‍රතිපල ලාභීන් සිය ජය පරාජය සැමරූ අයුරු, පුවත්පත් වල සටහන්වූයේ මෙසේයි.



දුව - අම්මේ!!! මං පාස්!! 
අම්මා
- ඇත්තද?... හරි ශෝක්...හැබැයි දුවට ටිකක් වැඩියි වගේ නේද?
සතුට(ට) වැඩි වෙච්චි තවත් යූ.කේ නංගියෙක්
මෙයා දැන් ඩොක්ට!!

පංතියේ පිස්සියෝ සෙට් එකටත් රිසල්ට් ඇවිල්ලා....... බඩු බනිස් වගේ!
මේ පිස්සියෝ නම් ගොඩ වගේ....
කැම්පස් ගිහිල්ල ෆැෂන් ඩිසයිනින් කරන්න ඉන්න කට්ටිය.....
පව් නංගියා අඬනවා....කඳුලු පිහපන් කොල්ලො බලන් ඉන්නෙ නැතුව... ලංකාවෙ එකෙක් ඔතන හිටියනං...
දුකට සැපට දෙකටම යාළුවෝ....
රිසල්ට් අවුල් වුනාට කමක් නෑ......පීසා කෑල්ලක් කාලා..... අයින් වෙලා පයින් යමු පුතී...










__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

MEMORIAL : රේ විජේවර්ධන - අදින් සත් වසරකට පෙර අපෙන් සමුගත් සුපිරි ඉන්ජිනේරුවා


ෆිලිප් රේවත විජේවර්ධන - නැතිනම් දන්නා අය රේ විජේවර්ධන කියලා හඳුන්වන, හිතවතුන් "රේ" යන ආදර නාමයෙන් ආමන්ත්‍රණය කල, ලක්මව බිහිකල අති දක්ෂ පුතෙකු, මීට වසර 7කට පෙර, 2010 අගෝස්තු 18 වැනිදා නිහඬවම අවසන් ගමන් ගියා.

රේ විජේවර්ධන වැඩියෙන්ම කතාබහට ලක්වුනේ ඔහු 1955දී හරිත විප්ලවයට රුකුලක් ලෙසින් නිර්මාණය කල, රෝද දෙකේ අත්ට්‍රැක්ටරය නිසා. අදටත් මේවා "ලෑන්ඩ් මාස්ටර්" ලෙස හඳුන්වන්නේ, රේ නිර්මාණය කල ඒ යන්ත්‍රය නිෂ්පාදනය කරන්නට එන්ගලන්තයේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට පේටන්ට් බලපත්‍ර අවසරය  ලබාදුන් නිසා.

ලෑන්ඩ් මාස්ටරය නිසා තම කුඩා කුඹුර අස්වද්දාගන්නට, අස්වැන්න කපා, පාගා ගන්නට දහදුක් විඳින ගොයි මහත්තුරුන් කී දහසකගේ කටුක ජීවිතයට සහනයක් වුනාද? අද ලෑන්ඩ්මාස්ටරයකුයි, අමතර උපාංග ටිකයි කුලියට අරගෙන පවුලේ අයටම තම කුඹුර අස්වද්දා ගන්නට පුලුවන් වෙලා තියෙන්නේ රේ විජේවර්ධනගේ නිර්මාණයට පින්සිදු වන්නට කියා කිවහොත් වරදක් නැතැයි සිතනවා.

රේ විජේවර්ධනගේ පවුල් පසුබිම

රේ ලංකාවේ ධනවත්, වගේම දේශපාලනික හා ව්‍යාපාරික ලෝකයේ ප්‍රභල පවුල්වලට ලේ නෑකම් දක්වන්නෙක්. රේ ගේ පියාවූ දොන් එඩ්මන්ඩ් විජේවර්ධන සුප්‍රකට ලේක්හවුස් පුවත්පත් සමූහය ආරම්භකල ඩී ආර් විජේවර්ධනගේ සොයුරාවූ අතර මව කොරින් ඇමැන්ඩා ජෙනින්ග්ස් යටත් විජිත ලංකාවේ ධනවත් ප්‍රභූපවුලක තැනැත්තියක් වූවාය. මව හා පියා යන දෙදෙනාම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් වුනා.

1949දී ඔහු සීලා ද මෙල් මෙනෙවිය සමග විවාහවූ අතර ඇය ලංකාවේ පලමුවෙන්ම නයිට් පදවිය (CBE) ලැබූ ශ්‍රී ලාංකිකයාවූද, H L De Mel සමාගම් සමූහයේ හිමිකරුවූද  සර් හෙන්රි ද මෙල් ගේ සොයුරාගේ දියණිය වුනා. සුප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන හා හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන රේ විජේවර්ධනගේ ලඟම ඥාතීන් වූවා. අනෝමා, රොෂ්නී හා මැන්ඩී යන දියණියන් තිදෙනෙක් ලැබූ වාසනාවන්ත පියෙකු වූ රේ අවුරුදු 85ක් ආයු වැලඳූවා.

අධ්‍යාපනය

කොළම ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ රේ, පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පීටර්හවුස් අධ්‍යයන පීඨයට ඇතුලත්ව යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව, ගගන ඉන්ජිනේරු විද්‍යාව හා කෘෂිකාර්මික ඉන්ජිනේරු විද්‍යාව යන ඉන්ජිනේරු විද්‍යා අංශ තුනම හදාරා පස්චාත් උපාධි දිනාගත්තා. උපාධි දිනාගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ ඉන්ජිනේරු කවුන්සිලයේ හා ලංකා ඉන්ජිනේරු කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගෙන වරලත් ඉන්ජිනේරුවෙකු ලෙස ලියාපදිංචිවූවා. පසුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරික කලමණාකරණය පිලිබඳව ඩිප්ලෝමාවක්ද ඔහු දිනාගත්තා.

කෘෂිකර්මාණ්තයට සිදුකල දායකත්වය.

කලින් කලට දැඩි නියං හා අවාභාවික ආපදා නිසා ආසියාතික හා අප්‍රිකා රටවල් දහස් ගණන් කුසගින්නේ මියයන දුර්භික්ෂ නිමා කිරීම සඳහා 1950 ගණන්වලදී හරිත විප්ලවය ලෙසින් හඳුන්වන ලෝක ව්‍යාප්ත වැඩපිලිවෙලක් ආරම්භවුනා. වී ආදී ධාන්‍යවල අස්වැන්න වැඩිකොට, වගා භූමිප්‍රමාණය වැඩිකිරීමේ තාක්ෂණයන් දියුණු කිරීම හා ගොවි ජනයාට සම්ප්‍රේෂණය කිරීමේ මහා පරිමාණ වැඩ පිලිවෙලක් වූ හරිත විප්ලවය මැක්සිකෝව, අග්නිදිග ආසියාව හා ඉන්දියාව රටවල ඉමහත් උද්යෝගයෙන් ක්‍රියාත්මකවූ අතර ශ්‍රී ලංකාවද මෙම වැඩ පිලිවෙලේ ඉදිරියෙන්ම සිටියා.

රේ හැදූ අත්ට්‍රැක්ටරය
කුඩා කට්ටිවල ගොවිතැන් කරන ආසියාතික ගොවීන්ටද බටහිර රටවල ගොවි අස්වැන්න අධික ලෙස වැඩි කල යාන්ත්‍රික විප්ලවයේ ප්‍රතිපල ලබාදීමට කුඩා ට්‍රැක්ටරයක් නිපදවීමේ උත්සයක් රේ සිය ඉන්ජිනේරු හා කෘෂිකාර්මික දැනුම යොදාගෙන ඇරඹූ අතර එහි ප්‍රතිපලයක් ලෙස  රෝද දෙකේ  අත් ට්‍රැක්ටරය නිර්මාණය වුනා.

එම ට්‍රැක්ටරය නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍යයේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට නීතිමය අයිතිය ලබාදුන් අතර අදටත් රෝද දෙකේ අත්ට්‍රැක්ටරය ලෑන්ඩ්මාස්ටර් එක ලෙස හඳුන්වන්නේ ලංකාවට පලමුවෙන්ම ගෙන ආ අත්ට්‍රැක්ටර් ලෑන්ඩ්මාස්ටර් සන්නාමයෙන් පැමිණි නිසාය.

රේ සිය නිර්මාණය අග්නිදිග ආසියාවට හඳුන්වාදෙමින්
1970 ගණන්වලදී රේ විජේවර්ධන එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන හා ලෝක බැංකුවේ ඝර්මකලාපීය කෘෂිකර්මාණ්තය පිලිබඳව විශේෂඥයෙකු ලෙස සිය දායකත්වය ලබාදුන් අතර 1973-1974 කාලයේදී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටි Mechanization and Automation Research Centre (MARDI) ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරු තනතුර ඉසිලුවා. 1975-1980 කාලයේ නයිජීරියාවේ International Institute of Tropical Agriculture (IITA) ආයතනයේ කෘෂිකර්මාණ්ත ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව ප්‍රධානියා ලෙස කටයුතුකලා.

1950 ගණන්වල සිට 1980 පමණ වන තෙක්ම කෘෂිකර්මාණ්තයේ පලදාව වැඩි කිරීමට කුඩා යන්ත්‍ර හඳුන්වාදීමට මහත් මෙහෙයක් කල රේ පසුව සිය අවධානය තිරසාර (sustainable) හා සංරක්ෂණ (conservation) කෘෂිකර්මාණ්තය වෙත යොමුකලා. හරිත විප්ලවය සාර්ථකව ජයග්‍රහණය කලත් ඉන් ඇතිවූ අතුරු ප්‍රතිපලවූ අධික පොහොර භාවිතය හා අධික කෘමි/වල් නාෂක භාවිතය නිසා ගොවි ප්‍රජාවට, පරිසරයට මෙන්ම පාරිභෝජන ජනතාවටද ඇතිවී ඇති හානිය අත්දැකීමෙන් දැක්ක රේ, සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම නවීන ආකාරයට හඳුන්වා දෙන්නට උත්සහ කලා.

1980 ගණන්වලදී රේ විජේවර්ධන, ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත සමග එක්ව "Conservation Farming for Small Farmers in the Humid Tropics" නම් පොතක් පලකලා. ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම වල ඇති පරිසර හිතකාමී බව හා ඒ සාම්ප්‍රදායික ක්‍රම නූතන කෘෂිකර්මාණ්තයට යොදාගත හැකි ආකාරය පිලිබඳව ගවේෂණයක් මෙන්ම රූපසටහන් අතිවිශාල ප්‍රමාණයක් සමග ඇති අත්පොතක් ලෙසද භාවිතාකල හැකි පරිදි ලියා තිබෙනවා.

ආනත කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය - Sloping Agricultural Land Technology (SALT)

ලොව පුරා ඝර්මකලාපීය රටවල සාම්ප්‍රදායික ගොවීන් ඇසුරු කරමින් ඔවුන් නව ගොවිතැන් ක්‍රම වලට හුරුකරන්නට උත්සහ කල රේ විජේවර්ධන කල් යත්ම සාම්ප්‍රදායික ගොවිතැන්වල පරිසර හිතකාමී බව හා තිරසාරත්වය පිලිබඳව අවබෝධකර ගත්තා. මින් එක් වැදගත් අවබෝධයක් නම් ඝර්මකලාපීර රටවල කෘෂිකාර්මික පස සේදීයාම / හුලඟට ගසාගෙන යාම වැලැක්වීමේ වැදගත් කමයි.

මේ සඳහා රුක් ආවරණ යෙදිය හැකි ක්‍රම පිලිබඳව අධ්‍යයනය කල ඔහු පිලිපීනයේදී 1970 ගණන්වලදී වැඩිදියුණුකල, කඳුකර ප්‍රදේශවල භාවිතාකල හැකි Sloping Agricultural Land Technology (SALT) උපක්‍රමය ප්‍රවර්ධනය කරන්නට වෙහෙසුනා.

වේගයෙන් වර්ධනය වන, පසට නයිට්‍රජන් එකතුකරන රනිල කුලයේ ශාඛ කඳුවැටිවල වැවීමෙන් මේ අරමුණ සාර්ථක කරගත හැකි බව පිලිපීනයේ අත්දැකීම් වලින් පෙනීගොස් තිබුණු අතර රේ, එම තාක්ෂණය ලංකාවේ හා වෙනත් රටවල අනුවර්තනය කරගත හැකි ආකාරය අධ්‍යයනය කරමින් එම සරල තාක්ෂණය ප්‍රවර්ධනය කරන්නට පටන් ගත්තා.

ජාත්‍යන්තර වගකීම් වලින් මිදී 1980 ගණන්වලදී ලංකාවට පැමිණි රේ විජේවර්ධන පූර්ණකාලීනව සෝල්ට් තාක්ෂණය ලංකාවේ කඳුකර ගොවි බිම්වලට හඳුන්වාදීමට වෙහෙසුනා.මුලින් මේ ප්‍රදේශවල දුම්කොල වගාකල ලංකා දුම්කොල සමාගම සමග කටයුතු කල රේ විජේවර්ධන, පසුව එම තාක්ෂණය තේවතු සමාගම්වලටද හඳුන්වාදෙන්නට කටයුතුකලා. දුම්කොල සමාගමේ ගරු උපදේශක තනතුරක් දරමින් කුඩා දුම්කොල ගොවීන්ට සෝල්ට් තාක්ෂණය අනුව අඩු වියදමකින් පස සංරක්ෂණය කරගත හැකි ආකාරය කියාදුන් රේ ගේ වෑයම නිසා 1997දී ලංකා දුම්කොල සමාගම ලංකාවේ පස සංරක්ෂණ කටයුතු සඳහා වූ දායකත්වය අගැයිමට Worldaware Award for Sustainable Development සම්මානය දිනාගත්තා. මේ සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාකලේ රේ විජේවර්ධන මහතායි.

සෝල්ට් තාක්ෂණයෙන් පස සුරැකීම සඳහා රනිල කුළයේ ශාකයක් වන ගිනිසීරියා / වැටහිරියා / ඇල්බීසියා යන නම් වලින් හැඳින්වූ Gliricidia sepium ලංකාව තුල ප්‍රවර්ධනය කරන්නට රේ කටයුතුකලා. වේගයෙන් වැඩෙන ගිනිසීරියා ගසේ අතු හා කොල පාංශු ආවරණයක් මෙන්ම පොහොරක් ලෙසත් යොදාගත හැකියි.

දැඩි ලෙස පාංශු ඛාදනයට බඳුන්වූ උඩුදුම්බර, හඟුරන්කෙත දඩයම්පොල ග්‍රාමයේ රේ විජේවර්ධන සිය ගිනිසීරියා ව්‍යාපෘතිය 1989දී ඇරඹූ අතර වසර තුනක් යනවිට එම ප්‍රදේශයේ ගොවිබිම්වල පාංශු තත්වය (soil quality) විශාල ලෙස වර්ධනය වූවා. රේ ගේ කෘෂිකාර්මික ඥාණයට සී.ටී.සී සමාගමේ මූල්‍ය ශක්තිය මුහුවී ගිනිසීරියා පැල මහා පරිමාණයෙන් රෝපණය කොට ගොවීන් අතර බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ඇරඹුනා. ගිනිසීරියා පැල සෝල්ට් තක්ෂණයට අනුව වගාබිම්වල රෝපණය කිරීම සඳහා දුම්කොළ සමාගම ගොවීන්ට දිරිදීමනාවක්ද ලබාදුන්නා.

දඩයම්පොල ලැබූ සාර්ථකත්වය මත මුලු මහත් කඳුකරයේම දුම්කොළ ගොවීන් සෝල්ට් තාක්ෂණයට අනුවර්තනය වී සිය ගොවිබිවල ගිනිසීරියා වගාකරමින් පස සංරක්ෂණයට දායකවුනා. 1989දීම රේ විජේවර්ධන තේ පර්යේෂණ ආයතනයේ සභාපති බවට පත්කරන ලද අතර ඒ අනුව සෝල්ට් තාක්ෂණය තේ කර්මාණ්තය තුලටද ව්‍යාප්තකරන්නට රේ විජේවර්ධනට හැකිවුනා.

පුණර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට රේ විජේවර්ධනගේ දායකත්වය


ලංකාව අතිවිශාල ලෙස බොරතෙල් ආණනය කරමින් විදුලි ජනනය සඳහා පවා බොරතෙල් මත යැපෙන්නට සිදුවෙනු ඇතැයි අනාවැකි පලකල රේ ලංකාවේ බළශක්ති සුරක්ෂිතතාවයට (අනාගතයේ බළශක්තිය ලබාගැනීමේ හැකියාව සුරැකීම) අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීමට මහත් වෙහෙසක් ගත්තා. පුණර්ජනනීය බලශක්තිය සූර්ය බලය, සුලං බලය හා ජීව-ද්‍රව්‍ය බළශක්තිය (bio-mass energy) ආදී විවිධ බළශක්ති ප්‍රභව භාවිතාකරමින් ශ්‍රී ලංකාවේ බළශක්ති ප්‍රභව විවිධාංගීකරණයට බන්ඳුන්විය යුතු බවයි ඔහුගේ යෝජනව වූයේ. අනවශ්‍ය ලෙස ජලවිදුලිය මත යැපීම භයානක බව ඔහු පෙන්වා දුන්නා.

කුඩා ජලවිදුලි බළාගාර (mini hydro-electric plants) තවත් ඔහු කැපවීමෙන් ප්‍රවර්ධනය කල ව්‍යාපෘතියක්. එමගින් තේ වතු ආදී කර්මාණ්තශාලාවලට ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්ධිවී විදුලිය ජනනය කරගෙන පිරිවැය අඩුකරගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.

ඩෙන්ඩ්‍රෝ බළශක්ති ව්‍යාපෘතිය

ඩෙන්ඩ්‍රෝ බළශක්ති ව්‍යාපෘතිය නමින් පුණර්ජනනීය බළශක්ති ව්‍යාපෘතියක් ආරම්භකල රේ, එම බළශක්තිය නිපදවීම සඳහා වේගයෙන් වැවෙන ශාක යොදාගත හැකි බව  පර්යේෂණාත්මකව තහවුරු කලා. එම  වෙනත් කෘෂිකාර්මික වගා සඳහා යොදාහත නොහැකි බිම්වල මේ ශාක වාණිජමය ලෙස වගාකොට ගැමි ජනතාවට ආදායම් මාර්ගයක් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

රනිල කුළයේ ගිරිසීලියා ශාක කොටස් දහනයෙන් බළශක්තිය නිපදවන 4 kW බලාගාරයක් නිර්මාණය කල රේ, එය කාක්කපල්ලියේ පිහිටි සිය පොල් වත්තේ පිහිටුවා, වත්තේම වවාගත් ගිරිසීලියා ශාකවලින් ක්‍රියාත්මක කරවූවා. එම කුඩා ඩෙන්ඩ්‍රෝ බළාගාරය වසර ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මකකරවිමින් සිය කල්පිතයේ ප්‍රායෝගිකත්වය ඔප්පුකලා. මෙමගින් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවූ ගම්මාන වලට විදුලිය ලබාදීමට යෝජනා කල රේ, එම බලාගාරවලට අවශ්‍ය ගිරීසීලියා, එම ගම්මානවලම වවාගැනීමට හැකි බවද පෙන්වා දුන්නා. පසුව ඔහු කිලෝවොට් 35ක ගිරිසීලියා දහන ඩෙන්ඩ්‍රෝ බලාගාරයක් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ අනුග්‍රහයෙන් ඉදිකල අතර එය තවමත් ක්‍රියාත්මක බවයි වාර්තාවෙන්නේ.

මේ සාර්තකත්වයෙන් පසුව ලංකා ට්‍රාන්ස්ෆෝමර් හා ලංකා දුම්කොළ සමාගම්වල දායකත්වයෙන් නුවර එලිය, වළපනේ මෙගාවොට් 1ක ඩෙන්ඩ්‍රෝ බළාගාරයක් පිහිටවන්නට ක්‍රියාකලා. 2009දී ත්‍රිකුණාමළයේදී මෙගාවොට් 10ක ඩෙන්ඩ්‍රෝ බළාගාරයක් පිහිටුවන්නට රේගේ උත්සහයයෙන් හැකිවූ අතර එය හොඳින් ක්‍රියාත්මකවන බවයි පැවසෙන්නේ.

රේ විජේවර්ධන නැමති ප්‍රායෝගික චින්තකයා ( Ray, the thinker and tinkerer)

රේ විජේවර්ධනගේ දස්කම් විස්කම් මෙතෙක් වේලා කියැවූ ඔබට ඔහු ප්‍රායෝගික චින්තකයෙක් බව අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැතැයි සිතනවා. රේ සෑම විටම වැදගත් ලෙස සැළකූයේ න්‍යායයන් නොව, ප්‍රායෝගිකත්වයයි.

රේ වරක් පැවසූ අන්දමට, ලංකාව මෙන්ම වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික පර්යේෂණ මෙන්ම වෙනත් පර්යේෂණවල ප්‍රතිපල හා ප්‍රතිලාභ ගොවියාට හා ජනයාට කාන්දුවන්නට කල්ගත වන්නේත්, බොහෝවිට එම පර්යේෂණ, විද්වත් පර්යේෂණ පලකරන සඟරාවලට සීමා වන්නේත් අපගේ පර්යේෂකයින් බොහෝ දෙනෙකු ප්‍රායෝගිකව එම කාර්යයන්ගේ නිරත නොවීමයි. කෘෂිකර්ම පර්යේෂකයින් බොහෝ දෙදෙනෙකුට තමන්ගේම කියා එළවළු වගාවක් හෝ නොමැතිකල, සපත්තු ගලවා කුඹුරට, ගොවිපොලට නොබසින කල, ඔවුන්ගේ පර්යේෂණ, ලියවලි වලට පමණක් සීමාවීමේ ඉඩකඩ ඇති බවයි රේ පැවසූවේ.

"මා බොහෝ වරක් උත්සාහකර තිබෙනවා මා ඇසුරු කල උගත් කෘෂිකාර්මික විශේෂඥයින්ට මාත් සමග කුඹුරකට බැස, මීහරක් බානක් යොදාගෙන කුඹුරක් සීසාන්නට උනන්දුකරන්නට.. එහෙත් කිසි දිනක ඔවුන් කැමතිවුනේ නෑ මී හරකුන් සමග මඩේ එරෙන්නට. එහෙත් ඉතින් එහෙම කරන්නේ නැතිව කොහොමද කෘෂිකර්මාණ්තය සංවර්ධනය කරන්නේ? ගොවියෙක් හරක්බානක් එක්ක විඳින දුක දන්නේ නැතිව, ගොවි බිම්වලට ටැක්ටර් දමන්නට යාමෙන් වෙන්නේ ලාබ මී හරකා වෙනුවට වියදම් අධික ට්‍රැක්ටරේ ආදේශවීම විතරයි. එය කෘෂිකර්මාණ්තය යාන්ත්‍රිකකරණය නෙමෙයි."

ඇත්තටම ඇයි පාරම්පරිකවම අපේ (හා ලෝකයේ වෙනත්) වී ගොවීන් කුඹුර සීසාන්නේ? මඩ කරන්නේ?

තමන්ගෙන්ම මේ ප්‍රශ්ණය අසාගත් රේ, ඒ පිලිබඳව කල අධ්‍යයනයකින් පසුව ඔහුට පෙනීගියේ ඝර්මකළාපයේ වී ගොවීන් කුඹුරක් සීසාන්නේ වෙනත් කිසි හේතුවක් නිසා නොව, කුඹුරක වල්පැල පාලනයට හොඳම සාම්ප්‍රදායික ක්‍රමය කුඹුර සීසාලා, පස පෙරළන එක වීමයි. "එහෙමනම් විසඳන්න ඕනෑ වඩාත් හොඳින් කුඹුරක් සීසාන්නේ කොහොමද කියන ප්‍රශ්ණය නෙමෙයි. විසඳන්න ඕනෑ, වඩාත් කාර්යක්ෂමව වල් නසන්න පුලුවන් කොහොමද කියන ගැටලුවයි..."

තමාගේම ගුවන්යානා සාදා ගුවන සැරිසැරූ ගගන යාත්‍රිකයා

රේ, තමන් නිර්මාණය කල ගුවන්යානය සමගම බොල්ගොඩ වැවේදී 
තරුණයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ගගනවිද්‍යාව හැදෑරූ රේ විජේවර්ධනට බ්‍රිතාන්‍යයෙන් බිහිවූ කීර්තිමත්ම ගුවන්යානා නිර්මාපකයාවූ සර් ජෙෆ්‍රි ඩී හැවිලන්ඩ් යටතේ අභ්‍යාසලාභියෙකු ලෙස ගුවන්යානා ඉන්ජිනේරු තාක්ෂණය ඉගෙන ගන්නට වාසනාව ලැබුනා. ඩි හැවිලන්ඩ් දෙවන ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදාවට නිර්මාණය කල De Havilland Mosquito - Fighter/Bomber  යානය එකල ලොව හොඳම යුධ ගුවන්යානය බවට පිලිගැනුනා. එමෙන්ම හැවිලන්ඩ් නිර්මාණය කල De Havilland Comet Jetliner මගී ප්‍රවාහන යානය ලොව පලමු  මගී ප්‍රවාහණ ජෙට් ගුවන්යානය ලෙස වාණිජ ගුවන්සේවාවලට එක්වුනා.

හැවිලන්ඩ් වැනි ලෝක පූජිත ගගනයාත්‍රා නිර්මාපකයෙකු සෙවනේ ගගනවිද්‍යාව උගත් රේ, සිය ජීවිතයේ බොහෝ කාලයක් විනෝදාංශයක් ලෙස සිදුකලේ ගුවන්යානා නිර්මාණය හා එලෙස නිර්මාණය කල යානා තමන්ම පියාසර කිරීමයි. වසර 50ක් තිස්සේම ගුවන්යානා පියාසර කල රේ විජේවර්ධන වරක් පැවසූවේ කෘෂිකර්මාණ්තය මාගේ ජීවිකාව වුවත් මා ජීවත්වන්නේ ගුවන්යානා පියාසර කරන්නට කියායි.

80 දශකයේ අවසානයේ ඊළාම් යුද්ධය දරුණුවූ පසු රජය පැනවූ රටතුල සිවිල් ගුවන්යානා පියාසැරි තහනම් කිරීමේ නියෝගය නිසා රේගේ ප්‍රියතම විනෝදාංශයට නැවතීමේ ලකුණ වැටුනා.

රේ, ගෙදර ගරාජයේ හදාගත් තවත් සැහැල්ලු ගුවන්යානයකින් බොල්ගොඩ වැවේ පියාසැරියකට සූදානම් වෙමින්.
දක්ෂ ගුවන් නියමුවෙකු වූ රේ විජේවර්ධනට ගුවන්යානා වර්ග තුනක් සඳහා ගුවන් නියමු බළපත්‍ර තිබුණා. අචල පියාපත් ගුවන්යානා (fixed wing aircraft), හෙලිකොප්ටර් හා ගයිරෝකොප්ටර් නම් කුඩා පියාසර යන්ත්‍ර පියාසර කිරීමට ඔහුට අවසර තිබුණා.

රේ විජේවර්ධන ගෙදර හදාගත් ලිහිණියා

රේ විජේවර්ධන සිය නිවසේ විශාල වැඩපොලක් නිර්මාණය කරගෙන සිටි අතර එහි විවිධ වර්ගයේ ගුවන්යානා ගණනාවක් නිෂ්පාදනය කලා කිවහොත්, රේ නැමති අරුම පුදුම හැකියාවන් ඇති මිනිසා ගැන නොදන්නා අය පුදුම වනවා. පහල ඡායාරූපයේ තියෙන්නේ රේ විජේවර්ධන සිය නිවසේම තනාගත් ආසන දෙකේ ගුවන්යානයයි. "ලිහිණියා" යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ ගුවන්යානයෙන් 1980 ගණන්වල ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ විද්‍යා උපදේශකවූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, එතුමා පර්යේෂණ කල මහනුවර මූලික අධ්‍යයන ආයතනයට රගෙන ගොස් ආපසු කොළඹට ගෙන ආවා.

Image Credit : raywijewardene.net
1980ව දශකයේ මුල, රේ විජේවර්ධනගේ ගෙදර වැඩපොලේ ගොඩනැගෙමින් පවතින ලිහිණියා Image Credit : raywijewardene.net

හුරතලේට ගෙදර හදාගත් සූටික්කා


රේ විජේවර්ධනගේ නිවසේ බිහිකොට තිබූ දේශීය ගුවන්යානා කර්මාණ්තශාලාවේ බිහිවුනේ ගුවන්යානා විතරක් නෙමෙයි. පුංචි හෙලිකොප්ටර් යානාත් එකේ බිහිවෙලා තියෙනවා. මේ තියෙන්නේ රේ ගෙදර හදපු සූටික්කා හෙලිකොප්ටරේ. ඡායාරූප raywijewardene.net අයිතිය සතුයි.

රේ විජේවර්ධනගේ පලපුරුදු නියමුදෑතින් මෙහෙයවීමෙන් ගුවනට එසවෙන සූටික්කා
පලමු ගුවන්ගමනට පෙර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වෙතින් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබාගන්නා සූටික්කා. සැදැහැවත් බෞද්ධයෙකුවූ රේ විජේවර්ධන, මේ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය තමන්ගේ සබෑ රක්ෂණ ආවරණය බව වරක් පවසා සිටියා.

අදින් සත්වසකට පෙර අපෙන් සමුගත් රේ..... ඔබට සුබ ගමන්!

ලක් මවගේ සාඩම්බර පුතුන් දෙදෙනෙක් - රෝද දෙකේ ට්‍රැක්ටරය නිර්මාණය කල රේ විජේවර්ධන හා සන්නිවේදන චන්ද්‍රිකා කල්පිතය නිර්මාණය කල ආතර් සී ක්ලාර්ක් - (C) http://www.raywijewardene.net





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 17 August 2017

HISTORY : නැව් නවයක ප්‍රංශ ආක්‍රමණික හමුදාවක් සමග ලංකාවට පැමිණි ද ලැනරෝල් පරපුර!

දෙවන රාජසිංහ රජු 
ලේඛන කලාවේ විශිෂ්ඨයෙකු වූ වී.ඩී.ද ලැනරෝල් ගත්කතුවරයා ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. 1894 දී කැලණි නදිය අසබඩ වු කඩුවෙල බෝම්රිය ගම්මානයේදී උපත ලබූ වී.ඩී ද ලැනරෝල්, මුලික අධ්‍යාපනය බොම්රිය විද්‍යාලයෙන්ද ඉන් පසුව කොළඹ ද්විභාෂා විද්‍යාලයෙන්ද ලබා  උප ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබුවේය.

මුනිදාස කුමාරතුංග මහතාගේ ඇසුර ලැබීමත් සමග සිංහල භාෂාව පිළිබඳ දැඩි කැපවීමක් ඇති කරත් ද ලැනරෝල් කවි නිර්මාණයට පිවිසුනා. ඔහුගේ ප්‍රථම කාව්‍ය නිර්මාණය වුයේ “කවි කළබ” යි. බේරුවල මස්සල පාසැලේ සේවය කරන කාලය තුලදී බේරුවල නගරය පිළිබඳ කරන ලද “මලව් සංදස” බෙහෙවින් ජනප්‍රිය වුනා. බේරුවල පාසලෙන් ඉදුරුවේ ගෝනගල විද්‍යාලයට විදුහල්පතිවරයෙකු ලෙස පත් වුන අතර කවි ලිවීම දිගටම කරගෙන ගියා. ගුරුසේවයෙන් ඉවත්වුනු ලැනරෝල් පසුව සමාජ සේවයට අවතීර්ණ වී “ලංකා තරුන හඩ” නැමති පුවත්පත් කතුවරයා ලෙස කටයුතු කලා

ළමා පොත් ගණනාවක්ද, නවකතා කිහිපයක්ද ජාතියට දායාදකල වී.ඩී ද ලැනරෝල් වියතා සිළුමිණ, දිණමිණ හා සිංහල ජාතිය ආදී පුවත්පත්වලට දායකවෙමින් ලංකාවේ පුවත්පත් කළාවද පෝෂණය කලා.

ලැනරෝල් පරපුර ගැන ලිපියක් ලියන්න හිතුනේ ඇයි?

මේ දවස්වල ටිකක් රාජකාරි අඩු නිසා විවේකයට කරන වැඩ ටිකක් කරගන්න පුලුවන් වෙලා තියෙනවා. බ්ලොග් ලිවීමට අමතරව මගේ තවත් එක් ප්‍රියතම විනෝදාංශයක් වන්නේ ලංකාව ගැන, විශේෂයෙන් යටත් විජිතසමයේ ලංකාව ගැන ලියවුනු පොත් කියවීම. මේ වගේ පොත් රැසක් අන්තර්ජාලයේ "INTERNET ARCHIVE : https://archive.org/" කියන වෙබ් අඩවියෙන් නොමිලේ බාගතකරගන්න පුලුවන්. ලංකාවේ ඕලන්ද පාලන යුගය ගැන ලියැවුනු වැදගත් පොතක් මට මේ අඩවියගෙන් බාගතකරගන්න පුලුවන් වුනා.

"Ceylon and the Hollanders, 1658-1796 by Pieris, P. E. (Paulus Edward)" නම්වූ මේ පොත පලකරලා තියෙන්නේ 1918 වසරේදී. ලේඛකයා පෝලස් එඩ්වර්ඩ් පීරිස් නම්වූ ශ්‍රී ලාංකික ප්‍රභූවරයෙක්. ලංකා සිවිල් සේවයේ ජේශ්ඨ නිළධාරියෙකු වුනු ඔහු රාජකීය ආසියාතික සමාජයේ, ලංකා පර්ෂදයේ උපසභාපති ධූරයද හෙබවූ විද්වතෙක්. මුද්‍රිත මූලාශ්‍ර, ප්‍රභූවරුන්ගේ දිනපොත් මෙන්ම, එකල ජීවත්වුනු, ඕලන්ද යුගය ගැන අධ්‍යයනය කල විද්වතුන් සමග සිදුකල සාකච්ඡාද මූලාශ්‍රකරගෙන මෙම පොත ලියූ බව කතුවරයා පවසනවා.

ඕලන්දයින් (ලන්දේසීන්) පලවාහරින්නට ප්‍රංශය සමග ගිවිසුම් ගැසූ දෙවන රාජසිංහ රජු
+
මෙම පොතෙහි දෙවැනි පරිච්ඡේදයේ, 18-20 පිටුවල, ඕලන්ද පාලනය ලංකාව තුල ස්ථාවර වෙමින් පැවති 1670 ගණන්වල රජකල දෙවන රාජසිංහ රජු, ඕලන්දක්කාරයින්ගේ කල්කිරියාව පාලනය කරන්නට ප්‍රංශය සමග ඇතිකරගත් රහසිගත එකඟතාවයක් ගැන රසවත් විස්තරයක් ගෙන එනවා.

මේ එකඟතාවයට අනුව, ප්‍රංශ අද්මිරාල් ජේකොබ් බ්ලැකේ ඩී ලා හේ (Jacob Blaquet de la Haye) නැමැත්තාගේ නායකත්වයෙන් යාත්‍රාකල විශාල ප්‍රංශ නාවික බළඇණියක් ත්‍රිකුණාමළයට පැමිණෙනවා. කාළතුවක්කු 251 හා නාවිකයින් 2250ක් රැගත් දැවැන්ත නෞකා 9ක් ඩි ලා හේ ත්‍රිකුණාමළයට රැගෙන ආවා. ඒ 1672 වසරේ මාර්තුවේදී. මෙලස ත්‍රිකුණාමළයට කඩාවැදුනු ප්‍රංශ නාවුක ඇණිය ත්‍රිකුණාමළ වරායේ ඇති කුඩා දූපතක් අත්පත්කර ගත්තා.

ඉන්පසු අද්මිරාල් ඩී ලා හේ, රාජසිංහ රජුවෙත දූතයන් යවන අතර ප්‍රංශයින්ගේ පැමිණීමෙන් ප්‍රීතියට පත් දෙවන රාජසිංහ රජු, ඕලන්දක්කාරයින්ට පාඩමක් උගන්වන්නට මුළු ත්‍රිකුණාමළ බොක්කම ප්‍රංශයට තෑගිකරනවා. ඒ සඳහා වන රාජසිංහ-ඩි ලා හේ ගිවිසුම 1672 මැයි 28 වැනිදා දාතම දැරූ බව සඳහන් වෙනවා. ඒ වනවිට ඕලන්දක්කාරයින් ත්‍රිකුණාමළයේ ඇතුලු වරාය වන කොඩ්ඩියාර් බොක්කේ තිබූ සිය බලකොටුව ගිණිතබා පලාගොස් තිබුණා.

ප්‍රාංශුවන් සමග එක්ව ලන්දේසීන් පලවා හරින්නට දෙවන රාජසිංහ රජු දැරූ තැත අසාර්ථක වෙයි.

මෙකල ඕලන්ද නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම (VOC) වෙනුවෙන් ලංකාව පාලනය කලේ රීජ්ක්ලොෆ් වැන් ගෝන් (Rijcklof van Goens - Governor of Zeylan) විසින්. වැන් ගෝන් සේවයකල ඕලන්ද නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමේ ප්‍රාදේශීය මූලස්ථානය එකල බැටාවියා ලෙස හැඳින්වූ (නූතන ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවර) බළකොටුවේ වූ අතර බැටාවියාවෙන් ලැබූ අණ පරිදි ඉන්දියාවේ ඕලන්ද බළකොටුවලින් එවනු අමතර භට පිරිස්ද හා නැව් සමග වෑන් ගෝන් ප්‍රංශයින් පලවා හරින්නට උත්සහා කලා. රාජසිංහගේ හමුදා ප්‍රංශයින්ගේ සහයට පැමිණි නමුත් ප්‍රංශය හා ඕලන්දය අතර ඇතිකරගෙන තිබූ සාම ගිවිසුමක් නිසා අද්මිරාල් ඩී ලා හේ කෙලින්ම ඕලන්ද නැව් වලට හෝ බළකොට වලට පහරදෙන්න මැළිකමක් දැක්වූවා.

මේ උදාසීනකම නිසා ඉක්මණින්ම ලන්දේසීන් පලවාහරින්නට හැකිවේයයි දෙවන රාජසිංහගේ බලාපොරොත්තු බිඳවැටෙන්නට වූ අතර වැන් ගෝන් ගේ නාවික බළඇණිය නිරන්තරයෙන්ම රාජසිංහ රජුගේ සැපයුම් මාර්ග හරහා 2250ක් නැවියන් සිටි ඩි ලාගේ ගේ නාවික බළඇණියට ගෙන යන ආහාර හා සැපයුම් නවත්වන්නට උත්සහ කලා. ඒ නිසා වැඩිකල් නොගොස්ම ඩි ලා හේගේ බළඇණියට ආහාර අහේණියක් හටගත් අතර දරුණු උණරෝගයක්ද නැවියන් අතර පැතිරෙන්නට වුනා.

එමෙන්ම වැන් ගෝන් හැකි සෑම විටම ප්‍රංශ නෞකාවලට පහරදුන් අතර සැපයුම් ලබාගෙන එන්නට ඉන්දියාව දෙසට යැවූ ඩී ලා හේගේ නැව් දෙකක් වැන් ගෝන්ගේ VOC නාවික හමුදාව යටතට පත්වුනා. වැන් ගෝන්ගේ ප්‍රහාර, ආහාර අහේණිය හා උණ රෝගය නිසා විශාල ලෙස ප්‍රංශ නැවියන් මිය යන්නට වූ බැවින් ඩි ලා හේ, කොඩ්ඩියාර් බොක්කේ 100ක භට පිරිසක් නවත්වා, රාජසිංහ රජුවෙත තවත් දූත පිරිසක් යවා, 1672 ජූලි 9 වැනිදා නැවත නො එන්නටම පිටත්ව ගියා.

රාජසිංහ රජුවෙත ගිය ප්‍රංශ ප්‍රභූ දූතයා - සිටුවර ඩි ලා නෙරෝල් (Count de la Nerolle)

යුරෝපයේ ධනවත්ම රටක් වූ ප්‍රංශයේ බළවත් ප්‍රභූවරයෙකු වූ ඩි ලා නෙරෝල්, තමාට අද්මිරාල්වරයා ලබාදුන් රාජකාරිය ඉතා නොරුස්නා අයුරින් භාරගත් බවයි වාර්තා වන්නේ. යුරෝපයේ මහා රජමාළිගාවල ගැවසුනු තමන්ට කුඩා රටක නොවැදගත් රජෙක් වෙත දූතයෙකු මෙන් යන්නට සිදුවුනා යන කෝපය ඔහුතුල තිබුණා. ඔහු එම දූත මෙහෙවර පිළිකුල් කල බව එම දූත ගමනේදී ඩි ලා නෙරෝල් හැසිරුනු ආකාරයෙන් පෙනී යනවා.

රජුගේ අතවැසියන් හා රාජ පුරුෂයින්ගේ ආරක්ෂාව යටතේ කොඩ්ඩියාර් සිට ඩි ලා නෙරෝල් අසුපිටින් ගියා. එකල දෙවන රාජසිංහ සෙංකඩගල රජමාළිගාව අතරහැර දමා තිබුණේ කිහිප වතාවක්ම ඔහුගේ පාලනයට එරෙහිව පැතිරුණු කැරළි හා ඝාතනය කිරීමේ උත්සාහයන් නිසායි. මේ නිසා රජු හඟුරන්කෙත මාළිගාවේ වාසය කලා.

හඟුරන්කෙත රජමාළිගාව අසලට පැමිණි ඩි ලා නෙරෝල් එකල රාජ්‍යතාන්ත්‍රික සාම්ප්‍රදායන්ට අනුව අසුපිටින් බැස පයින් මාළිගා පරිශ්‍රයට ඇතුලුවිය විය යුතු වුනා. මේ සම්ප්‍රදාය මායිම් නොකල ඩි ලා නෙරෝල් අසුපිට නැගීම මාළිගා පරිශ්‍රයට යන්නට උත්සහකලා. රජුගේ රාජ පුරුෂයින් හා අමාත්‍යවරුන් කෙතෙක් ඇටවිලි කරත් අසුපිටින් නොබැස්ස ආඩම්බරකාර ඩි ල නෙරෝල් අසුපිටින්ම මාළිගා පරිශ්‍රයට ගියේ රාජපුරුෂයින් දැඩි ලෙස අපහසුතාවයට පත්කරමින්.

දෙවන රාජසිංහ, ඩි ලා නෙරෝල් සිරගත කරයි

ඩි ලා නෙරෝල් පෙන්වූ අවඥාසහගත, උද්ධච්ඡ හැසිරීම සැළවුනු නමුත්, ඒ පිලිබඳව එතරම් තැකීමක් නොකල දෙවන රාජසිංහ තමන්ව බැහැදැක දූත මෙහෙවර ඉටුකිරීමට ඔහුට මාළිගාවට පැමිණෙන ලෙස දන්වා යැවුවා.

සාමාන්‍යයෙන් විදෙස් රාජ්‍ය දූතයෙකුට රජු විසින් පිලිගන්වන සියලුම චාරිත්‍ර ඉටුකරමින් ඩි ලා නෙරෝල් මාළිගාව වෙත කැඳවාගෙන ගියද, රජු පැමිණෙන්නට ප්‍රමාදවූවායයි පවසමින් ඩි ලා නෙරෝල් ආපසු හැරී සිය වාසස්ථානයට ගියා. මේ තුඡ්ඡ හැසිරීමෙන් දැඩි ලෙස කිපුණු දෙවන රාජසිංහ, පෙරදිග රජවරුන්ට නිසි ගෞරව දක්වන්නට නොදන්නා මේ උද්ධච්ඡ යුරෝපීයයාට යස පාඩමක් උගන්වන්නට සිතා, ඩි ලා නෙරෝල් හා ඔහුගේ ප්‍රංශ පිරිවරටම යකඩ මාංචු දමා සිරකරන ලෙස අණකලා.

මසක් පමණ විලංගුවල දුක්විඳි ඩි ලා නෙරෝල්ගේ සහ-පිරිවර තම ස්වාමියාගේ නොපනත් හැසිරීම නිසා තමන්ද නිරපරාදේ දුක් විඳින බවත්, ඔහුගෙන් තමන් වෙන්කොට සළකණ ලෙසත් රජුට බැගෑපත්ව ආයාචනා කලා. මේ ආයාචනාවට කන්දුන් රාජසිංහ රජු, ඩි ලා නෙරෝල්ගේ පිරිවර නිදහස් කොට රාජ්‍ය සේවයට බඳවා ගත්තා. අසුන්ගැන දැනුමක් ඇති ප්‍රංශයන් තිදෙනෙකු රජුගේ රාජකීය අසුන් බලාගන්නට පත්කල අතර අනෙක් අයට වෙනත් රාජකාරි පවරා, නිදහසේ රටතුල වෙසෙන්නට  අවසර දුන්නා. මොවුන් බොහෝ දෙනෙක් කාළයාගේ ඇවෑමෙන් සිංහල කාන්තාවන් විවාහකරගෙන මෙහිම පැළපදියන් වුනා.

සය මසකට අධික කාළයක් විලංගු පිට සිරබත් කෑ ඩි ලා නෙරෝල්ට සමාව දුන් රජු ඔහුට රාජමාලිගාවේ මොහොට්ටාල (රාජකීය ලේකම්) තනතුරක් ලබාදී රජමාළිගාවේ ප්‍රභූවරයෙකුගේ දියණියක් විවාහ කර දුන්නා.

මූලාශ්‍ර වලට අනුව ලංකාවේ ද ලැනරෝල් පරම්පරාව ඇරඹුනේ මේ දෙපලෙගෙන් බවයි පැවසෙන්නේ.

ඌණ පූරණ, දොස් නිදොස් පෙන්වා දෙන්න, කොමෙන්ටුවක් කොටා යන්න....




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...