Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 23 April 2014

මැලේසියන් යානාව අතුරුදහන් වූයේ කළු මෙහෙයුමකින්? සිදුවූ දේ අමෙරිකාව දන්නවා??


“all right, goodnight.......” මැලේසියානු ගුවන් සේවයට අයත්වූ, මගීන් 227ක් රැගෙන චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබූ අති නවීන බෝයිං 777 යානයේ නියමු කුටියෙන් ලැබුණු අවසන් පණිවුඩයයි ඒ.

මෙම පණිවුඩය මැලේසියානු වේලාවෙන් අළුයම 1.21ට ලැබුණු අතර එම පණිවුඩය ලබාදුන්නේ මැලේසියානු ගුවන්ගමන් පාළණ මධ්‍යස්ථානයෙන් (air traffic control) යානය මැලේසියානු ගුවන්සීමාවෙන් ඉවතට යමින් පවතින බවත්, යානයේ ගමන් මග නිරීක්ශණය වියට්නාමයේ ගුවන්ගමන් පාළණ මධ්‍යස්ථානය වෙත බාරදුන් බවටත් කල දැනුම් දීමට පිලිතුරක් ලෙසයි. ඉන් පසු කිසිදු පණිවුඩයක් යානයෙන් නොලැබුණු අතර. මෙම කෙටි පිලිතුර ලබාදුන්නේ කවුරුන්ද යන්න පිලිබඳවද ගැටලුවක් ඇත. එය නියමුවා විසින් ලබාදුන්නාද, උප නියමුවා විසින් සිදුකලාද නැතහොත් ඒ වනවිටත් නියමු කුටියේ සිටි වෙනත් පුද්ගලයෙකු ලබාදුන්නාද යන්න පිලිබඳව දැඩි සැකයක් විමර්ශකයන් තුල පවතී.


මෙම සැකයට හේතුව වන්නේ ඒවන විටත්, නියමුවා, උප නියමුවා හෝ වෙනත් පුද්ගලයෙකු (පුද්ගලයින්) යානයේ පණිවුඩ හුවමාරු උපකරණ ක්‍රමක්‍රමයෙන් ක්‍රියාවිරහිත කරමින් පැවැති බව දැන් තහවුරු වී ඇති බැවිනි. මෙලෙස රේඩියෝ පණිවුඩ උපකරණ හා යානයේ තොරතුරු පාලන මධ්‍යස්ථාන රේඩාර්වලට ස්වයංක්‍රීයව ලබාදෙන ට්‍රාන්ස්පොන්ඩර් උපකරණය ක්‍රියාවිරහිත කිරීම, අති නවීන යානයක් වූ බෝයිං 777 යානයේ සංකීර්ණ තාක්ශණික උපකරණ හා ඒවා ක්‍රියාත්මක වන පිලිවෙල පිලිබඳව හසල දැනුමක් ඇති අයෙකු විසින් පමණක් සිදුකල හැකි, පියවර ගණනාවකින් යුතු ඉතා සූක්ශ්ම ක්‍රියාවලියකි.

මෙබැවින් යානයේ අභිරහස් අතුරුදහන්වීම යානයේ නියමුවන් (හෝ අඩුම වශයෙන් එක් නියමුවෙකුගේ) පූර්ණ අනුදැනුම මත සිදුවන්නට ඇති බවට සැක කෙරෙන බැවින් මේ වනවිටත් මැලේසියානු පොලීසිය මෙම නියමුවන්ගේ නිවෙස් පරික්ශාකොට ඔවුන්ගේ පරිගණක හා වෙන්ත පෞද්ගලික දේපොල තම භාරයට ගෙන ඇත. නියමුවන් ස්ව කැමැත්තෙන් මේ ක්‍රියාවලිය සිදු නොකලා නම්, ඒ වනවිට නියමු කුටිය අත්පත් කරගෙන සිටි යම් පුදගලයින්ගේ තර්ජන මත සිදුකලා විය හැකි වුවත් සාමාන්‍යයෙන් යානයක් පැහැර ගැනීමකට බඳුන්වන විට ඒ පිලිබඳව රහසින්  පාලන මධ්‍යස්ථාන වෙත දැනුම් දිය හැකි හදිසි පණිවුඩ උපක්‍රමය ක්‍රියාත්මක කරවීමට ඔවුන්ට හොඳාකාරවම ඉඩ තිබූ බව ගුවන් විශේෂඥයින් පවසති. බොත්තමක් එබීම වැනි සරල ක්‍රියාවකින් මේ පණිවුඩය ලබාදීමට ඔවුනට හැකියාව තිබුනත් එසේ සිදු නොවුනි.

එනම් එක්කෝ මේ නියමුවන් (හෝ එක් අයෙකුවත්) පැහැරගැනීමට සෘජුවම සම්බන්ධ විය යුතුය, නැතහොත් යානයේ නියමු කුටිය අත්පත් කරගත් තැනැත්තා (හෝ පිරිස) බෝයිං 777 යානය පිලිබඳව හසල දැනුමක් ඇති අයවලුන් බැවින් නියමුන් මෙම පැහැරගැනීම දැනුන් දීමේ රහස් පණිවුඩ යැවීම මුලින්ම වැලැක්වූවා වන්නටද පුලුවන, එසේත් නැතිනම් ඒ වනවිටත් නියමුවන් දෙදෙනාම මරාදමා හෝ නියමු කුටියෙන් ඉවත්කොට මෙම තැනැත්තන් යානයේ පාලනය තමන් සතුකරගත්තා විය යුතුය. කෙසේ සිදුවූවත් මෙයනම් සිවිල් ගුවන් ඉතිහාසයේ තවත් දැවැන්තම අභිරහසකි.

1.21ට යානයේ නියමු කුටියෙන් ලැබුනු "ඕල් රයිට්, ගුඩ් නයිට්" පණිවුඩය ලැබුණු මොහොත හා ඊට පෙරත්, පසුත් සිදුවූවා යැයි සැක කෙරෙන මෙන්ම තහවුරුවී ඇති කරුණු අනුව, යානයේ පාලනය අවසන් පණිවුඩයට පැයකට පමණ පෙර නියමුවන්ගෙන් ගිලිහුනු බව විශ්වාස කල හැකිය. ඉතාමත් සූක්ශම ලෙස, යානයේ නියමුවන්ට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විය හැකිවන පරිද්දෙන් යානයේ පාලනය තමන් සතුකර ගැනීමට මොවුන් සමත්වී ඇත.

යානය මැලේසියානු ගුවන් සීමාවෙන් ඉවත්වන මොහොත වනවිටම, යානයේ තොරතුරු ස්වයංක්‍රීයව විකාශය කරන ට්‍රාන්ස්පොන්ඩරය මෙන්ම එය හදිසියේ ක්‍රියා විරහිත වුවහොත් ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වීමට නිර්මාණය කොට ඇති අතුරු ට්‍රාන්ස්පොන්ඩරයද (back-up transponder) ක්‍රියාවිරහිත කරනු ලැබුණි. මෙලෙස ට්‍රාන්ස්පොන්ඩර් ක්‍රියාවිරහිත කිරීම සිදුකල අවස්ථාව පවා ඉතා සූක්ශ්ම ලෙස සැළසුම් කොට, නිශ්චිත මොහොතකදී සිදුකල බව ගුවන් විශේෂඥයින් මත පලකරයි.

එයට හේතුව නම් ට්‍රාන්ස්පොන්ඩර ක්‍රියාවිරහිත කලේ යානය පිලිබඳව වගකීම මැලේසියාවෙන්, වියට්නාමයට පැවරෙන අවස්ථාව තුලදීය. එනම් මැලේසියානු ගුවන්ගමන් පාලක වරුන් යානය පිලිබඳව ඇති අවධානය අඩුකොට වෙනත් ගුවන්යානා පිලිබඳ සැළකිලිමත් වන මොහොතයි. එමෙන්ම එම අවස්ථාව වන විට වියට්නාම් ගුවන්ගමන් පාලක වරුන් මෙම යානය තමන් භාරයට ලැබෙන බවට මැලේසියානුවන් මගින් දැනුවත්ව තිබුනත් එම යානය ඔවුන්ගේ රේඩාර් තිරවල සටහන් වන්නට පෙර අවස්ථාවයි. එම මොහොතේදී ට්‍රාන්ස්පොන්ඩර් ක්‍රියාවිරහිත කිරීම මගින් වියට්නාම් රේඩාර්වල යානයේ අනඥතාවය සළකුණු කෙරෙන දත්ත සටහන් නොවූ අතර එම මොහොත යානයේ ගමන් මග වෙනස් කිරීමට පැහැරගත්තවුන් යොදාගැනීම ඔවුන්ගේ සැළසුම් වල සූක්ශ්මභාවය මොනවට හෙලිකරයි.

ට්‍රාන්ස්පොන්ඩර් හා අනෙකුත් පණිවුඩ හුවමාරු උපකරණ ක්‍රියාවිරහිත කල මොවුන්, පියාසර සැලැස්මට අනුව යානය වියට්නාමය දෙසට පියාසර කරවනා වෙනුවට නැවතත් මැලේසියාව දෙසට හරවා මැලේසියානු අර්ධද්වීපය උඩින් පියාසර කලබවට සාක්ශි ලැබී ඇති අතර ඉන් පසු එය ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් දෙසට පියාසර කල බව විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් යානය පණිවුඩ හුවමාරු නැවතීමෙන් පසුවද පැය 5ක් හෝ 6 එක දිගටම පියාසැරියේ යෙදී ඇති බවට දත්ත චන්ද්‍රිකා හරහා ලැබී තිබේ.

අතුරුදහන්වූ පසුත් පැය 5ක් පුරාවට චන්ද්‍රිකා හරහා පණිවුඩ එවූ යානයේ SATCOM යන්ත්‍රය


යානයේ පාළණය තමන් සතුකරගත් අයවළුන් එහි පරිගණක විවිධ රේඩාර් මධ්‍යස්ථාන හා යානයේ අධිතාක්ශණික උපාංග සිය භාවිතය හා නඩත්තු අවශ්‍යතා පිලිබඳ තොරතුරු ස්වයංක්‍රීයව ඒවා නිශ්පාදනය කල සමාගම්වල නඩත්තු දත්ත රැස්කරන පරිගණක ජාල හා සම්බන්ධවීම සිදුකරන දත්ත සම්බන්ධතාවය (data-link) කපා හැරියේය. මෙය සිදුකිරීම සඳහා යම් කිසිවෙකු යානයේ නියමු කුටිය අසලින් යානයේ පහත තට්ටුවේ බඩුගෙනයන කොටසේ  සවිකොට තිබෙන පැන්නුම් ස්විච් (breaker switches) නිවා දැමිය යුතු බව මෙම අති නවීන බෝයිං 777 යානයේ තාක්ශණික ක්‍රියාකාරිත්වයන් හොඳින් දන්නා 777 පියාසර කරවන ගුවන් නියමුවන් මෙන්ම බෝයිං සමාගමේ ඉන්ජිනේරුවන්ද පවසති. එම කොටසට බැසීම සඳහා කුඩා දොරටුව (hatch) ඇත්තේ යානයේ නියමු කුටිය අසල, පලමුවන පංතියේ මගීන් සඳහා ආහාර පිලියල කරන කොටසේය. එනම් යානයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව ඉතා ඉහල දැනුමක් ඇති පුද්ගලයින් මෙය සිදුකොට ඇත.

යානයේ දත්ත සබඳතාවය කඩා දැමුවද, එහි තිබෙන චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු උපකරණය (SATCOM) ක්‍රියාත්මක වෙමින් තිබු බැවින් එය පැයකට එක්වරක් පමණ ඉලෙක්ට්‍රොනික ස්පන්ධ (handshake ping) චන්ද්‍රිකා වෙත යවා තිබේ. ඒවැනි ස්පන්ධ 5ක් ලැබී ඇති බැවින් නියමුවන් (හෝ වෙනයම් කණ්ඩායමක් ) යානය තමන් සතුකොට ගෙන සන්නිවේදන කපා හැරීමේ පසුව යානය තවත් පැය 5ක් පියාසර කොට ඇති බව තහවුරුවී ඇත.

යානයේ ගමන්ගත් අධිතාක්ශණික ඉන්ජිනේරුවන් 20 දෙනා සතුකරගැනීමට උතුරු කොරියාව කළු මෙහෙයුමක් දියත් කලාද?

මෙම යානයේ ගමන්ගත් මගීන් අතර අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තය මූලස්ථානය කොටගත් ෆ්‍රීස්කේල් සෙමිකන්ඩක්ටර් (Freescale Semiconductor) නම් සමාගමේ ඉන්ජිනේරුවන් 20දෙනෙකු ගමන් කොට ඇත. ඔවුන්ගෙන් 12 දෙනෙකු එම සමාගමේ චීනයේ ස්ථාපිත නිශ්පාදන අංශයට අනුබද්ධව සේවයකොට ඇති අතර අනෙක් 8දෙනා මැලේසියානු නිශ්පාදන අංශයට අනුබද්ධව සේවය කලවුන් බව එම සමාගමේ පුවත්පත් නිවේදනයේ සඳහන්වේ.

තතු දන්නවුන් පවසන අන්දමට ෆ්‍රීස්කේල් සමාගම සාමාන්‍ය සිලිකන් චිපයන් නිපදවන සමාගමක් නොව අධිතාක්ශණික යුධමය වශයෙන් වැදගත් නිර්මාණ බිහිකොට ඇති පෙන්ටගනයේ රහසිගත සැපැයුම් සමාගමකි. එක් වාර්තාවකට අනුව ෆ්‍රීස්කේල් සමාගම ගුවන් යානයක් රේඩාර්වලින් සමුපූර්ණයෙන්ම අතුරුදහන්කල හැකි ප්‍රාවරණ තාක්ශණයක් (cloaking technology) බිහිකොට ඇත. මෙම තාක්ශණය යුධමය වශයෙන් ඉතා වැදගත්වන බැවින් එම සමාගමේ ඉන්ජිනේරුවන් රැසක් ගමන්ගත් මෙම යානය පැහැරගැනීමට උතුරු කොරියාව සිය ඔත්තුසේවා හරහා ක්‍රියාකල බව පැවසෙනවා.

මේ පිලිබඳව සියළු තොරතුරු අමෙරිකානු රහස් ඔත්තුසේවා දන්නා නමුත් එම තොරතුරු හෙලිවීම අමෙරිකාවේ කීර්තිනාමයට හානියක් මෙන්ම අමෙරිකාවේ අධිතාක්ශණික හැකියාවන් පිලිබඳව තොරතුරු හෙලිකිරීඅක්ද සිදුවිය හැකි බැවින් ඔවුන් නිහඬව සිටිනා බව සැක කෙරෙනවා.

යානය දුරස්ථපාළකයක් මගින් cyberjack ප්‍රහාරයක් එල්ලකොට ගොඩබිම සිට පැහැරගත්තාද?

මුළුමනින්ම පරිගණක මගින් පාළණයවන බෝයිං 777 වැනි යානා, අවැසි තාක්ශණය සතුවූවන්ට ගොඩබිම සිට පැහැරගෙන තමන්සතු කරගත හැකිබව අන්තර්ජාලයේ කුමණ්ත්‍රණ මතවාද (conspiracy theories) සාකච්ඡාකරන වෙබ් අඩවිවල හුවමාරුවන මතයක්. ඉරාණය මෑතකදී අමරිකානු ඩ්‍රෝනයානයක් සයිබර් ප්‍රහාරයක් මගින් ගොඩබස්වාගත් ආකාරයට යම් අධිතාක්ශණික ත්‍රස්තවාදී කල්ලියක් හෝ වෙනත් බුද්ධි අංශයක් මෙසේ සිදුකරන්නට ඇතැයි පැවසෙනවා.

විදෙස් රටක රජයක් විසින් යානයට අත්වූ ඉරණම මැලේසියානු රජය වෙත පැහැදිලි කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිවක් සිදුකිරීමට ඔවුන් අපොහොසත් බව පවසා තිබේ. පසුගියදා ඔහු ගුවන් යානය සොයන කණ්ඩායම් වෙත පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ සත්‍යය හෙළිදරව් වුවහොත් ඇතැම් දේවල් සම්පූර්ණයෙන් කඩාකප්පල් විය හැකි අතර ලෝක ආර්ථිකයටද බරපතල බලපෑමක් එල්ලවනු ඇති බවයි. මතියස් චෑන් පවසන කඩාකප්පල් විය හැකි දේවල් යනු වාණිජ ගුවන් යානා විය හැකි බව ජීන් චිප් ටැටම්ගේ අදහසයි.

හිටපු විශේෂ හමුදා ගුවන් සංග‍්‍රාම මෙහෙයවන්නෙක් වන ටැටම් ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ අණ මත ක‍්‍රියාත්මකවූ ඉතා වැදගත් මෙහෙයුම් හසුරුවා ඇත්තෙකු බවද පැවසේ. දැනට අහසේ පියාසර කරන  ඕනෑම ගුවන්යානයක් දුරස්ථ පාලක භාවිතාවෙන් පැහැරගත හැකිබව හෙළිවුවහොත් ගුවන්සේවා ක්‍ෂේත‍්‍රයේ දැඩි කැළඹීමක් ඇතිවනු ඇති බව ඔවුන් දෙදෙනා විසින් ඉගි කර තිබේ.

මේ අතර මාධ්‍යවේදීන්ගේ සහ ගවේෂකයන්ගේ අවධානය දකුණු ඉන්දීය සාගරය වෙත කැඳවූ ඉන්මාර්සැට් චන්ද්‍රිකා සමාගමේ ප‍්‍රධානතම හිමිකරුවන හාර්බින්ගර් කැපිටල් සමාගම අයත්වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ට බවද වාර්තා වේ. මේ අතර එම යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී නැතැයි පවසන සෙවීමේ මෙහෙයුම්වල නිරත වූවන් එම යානය කුමන හෝ ස්ථානයකට ගොඩබස්වා ඇතැයි නිගමනය කර තිබේ.

අමෙරිකාවේ රහස් ඔත්තුසේවාද මේ පිලිබඳව දැනුවත් බවද, එහෙත් නිහඬව සිටින බවද පැවසෙනවා.





Monday, 21 April 2014

ටෙක්සාස් අහසේ හඳුනානොගත් ආකාශ වස්තුවක්

Images by Steve Douglass and Dean Muskett


ත්‍රිකෝණාකාර හැඩැති ආකාශ වස්තුවක් ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇමරිල්ලෝ ප‍්‍රදේශයේදී නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ. ස්ටීව් ඩග්ලස් හා ඩීන් මස්කට් යන ඡායාරූප ශිල්පීන් දෙදෙනා විසින් කැමරා කාචයට හසුකරගෙන ඇති අතර පසුව එය වඩා පැහැදිලිව පෙනෙන ලෙස සංස්කරණය කර මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ. 

සාමාන්‍ය ගුවන් යානායල හැඩයට වඩා බෙහෙවින් වෙනස් ති‍්‍රකෝණාකාර හැඩයක් ගත් මෙම යානය මිනිස් නිර්මාණයක් මිස පිටසක්වළ යානයක් නොවන බවද මේ පිලිබඳව සංවාදයකට එක්වුනු UFO පර්යේෂකයින් සඳහන් කොට තිබේ. බැලූ බැල්මට මෙම යානය ඩ්‍රෝන යානයකට වඩා විශාල බව එයින් නිකුත්වන වාශ්ප ධාරාව (vapour contrail) අධ්‍යයනය කිරීමෙන් අනුමාන කල හැකි බව ඔවුන් පවසයි. 

අමෙරිකාවේ අපූර්ව ගුවන්යානා නිර්මාණ ව්‍යාපෘති හෙවත් කළු ගුවන්යානා ව්‍යාපෘති (Black Aircraft Projects) ගණනාවක්ම ක්‍රියාත්මක වන බව පවසන ඔවුන් මෙය එවැනි අතිශය රහසිගත කළු ගුවන්යානයක පරීක්ශණ පියාසැරියක් විය හැකි බව පවසති. දැනටමත් බෝයිං සමාගම හා ලොක්-හීඩ් සමාගම මෙවැනි පියාඹන අත්තටු හැඩැති යානා (Blended Wing Body) නිර්මාණය කොට ඇති අතර මෙයින් B-2 ස්ටෙල්ත් බෝම්බ ප්‍රහාරක යානය ප්‍රධානය. 

මෙම හඳුනානොගත් අභිරහස් යානාවට සමාන්තරව තවත් යානා දෙකක් පියාසර කොට ඇති අතර එම යානා තුන අතර හුවමාරුවූවා යයි සැක කෙරෙන රේඩියෝ පණිවුඩ හසු කරගැනීමට ටෙක්සස් ප්‍රාන්තයේ සිට එය නිරීක්ශණය කල ස්ටීව් ඩග්ලස් සමත්වී තිබේ. 





Monday, 14 April 2014

හෙළ කෘෂි ශිෂ්ටාචාරය ඇරඹීමට වසර දහස්ගණනකට පෙර හෝර්ටන් තැන්නේ වී වගාකල අපේ බලංගොඩ මී මුත්තෝ...


අප පාසැලේදී උගෙන ඇති ආකාරයට හෙළ කෘෂිකර්මාණ්තය හා ඊට සබැඳි වාරිකරිමාන්තය බිහිවූයේ විජයාවතරණයත් සමග පහලවූ හෙළ රාජ්‍ය වංශය සමගින්ය. පණ්ඩුකාභය රජතුමා අභය වැව (බසවක්කුළම), ජය වැව, ගාමිණී වැව ලෙසින් වාරිකර්මාණ්ත තුනක් බිහිකල බවත් හෙල වාරිකර්මාණ්තයේ ආදිකතෲ ලෙස හැඳින්විය හැකි බවත් විකිපීඩියා විශ්වකෝෂය සඳහන් කරයි.  පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437-367 ) මහාවංශයට අනුව ආර්යයන් පැමිණීමෙන් පසු ලංකාවෙහි 6 වන රජුය. ඉතිහාසඥයන්ට අනුව ඔහු ආර්යයන් හා ස්වදෙශිකයින් (යක්ඛ,දේව,නාග,රාක්ෂ ) අතර මතභෙද නැති කර, රට එක් සෙසත් කළ මුල්ම නියම ශ්‍රී ලාංකික රජතුමාය. මෙලෙස ඇරඹුණු කෘෂි-වාරි ශිෂ්ටාචාරය මහින්දාගමනයත් සමගම දැවැන්ත ඉදිරි පිම්මක් පැන දියුණුවේ හිනිපෙත්තේ වැජබිනි. උදාහරණයක් ලෙස පළමුවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී (ක්‍රි.ව.1153 – 1186) පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.පළමුවන පරාක්‍රමබාහු නිරිඳුන්ගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි. අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය (විකිපීඩියා).

පණ්ඩුකාභය රජු විසින් කරවන ලද අභයවැව (බසවක්කුලම ) ලක්දිව ප්‍රථම වාරි කර්මාණ්තය ලෙස පිලිගැනේ (Image Credit: Ministry of Irrigation Website).

විජයාවතරණයට පෙර ලක්දිව යක්ෂ, නාග, දේව රාක්ෂ යන ස්වදේශීය ගෝත්‍ර 4ක් පැවති බව සඳහන් වන අතර ඔවුන් කෘශිකර්මාණ්තයේ නිරත වන්නට ඇති බව නිසැක නමුත් ඒ පිලිබඳව පුරාවිද්‍යාත්මක තොරතුරුසොයාගැනීම අපහසුය. කෙසේ වෙතත් විජයගේ පිරිසට කුවේණිය හමුවූයේ ඇය කපු කටිමින් සිටිනා විටදී බව ජනප්‍රවාදයේ සඳහන්වන අතර කපු නූල්වලින් කපුරෙදි නිර්මාණය කරගැනීමේ තාක්ශණය පැරණි හෙළ ස්වදේශීන් සතූවූයේ නම් ඔවුන්ද යම් ආකාරයක දියුණු සමාජයක ජීවත්වූවන් බවට තර්ක කිරීම සාධාරණය. සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ සමයේ, එනම් මීට වසර 2600කට පෙර ලක්දිවට ගොඩබට විජය පැමිණෙන විටත් කපු කර්මාණ්තය ස්ථාපනයවූ කෘෂි ශිෂ්ටාචාරයක් තිබූ බවට සැක නැත. විජය මෙහි පැමිණෙන විට ලක්දිව විසූ යක්ශ, රාක්ශ, නාග, දේව යන මානව ගෝත්‍ර කවුරුන්ද, කොහි සිට පැමිණියාද, කතාකල භාශාව කුමක්ද යනාදී තොරතුරු නැතත් මොවුන්ගෙන් එක් ගෝත්‍රයක් හෝ සමහරවිට ගෝත්‍ර කිහිපයක් අප අද බලංගොඩ මානවයා ලෙස හඳුන්වන හෝමෝසැපියන් බලන්ගොඩන්සිස් (Homosapiens balangodensis) මානවයා විය හැකිය. බලන්ංගොඩ මානවයා පිලිබඳ තොරතුරු බටදොඹ ලෙන, ෆාහියන් ලෙන, බෙලි ලෙන, බූන්දල ප්‍රදේශවල සිදුකල කැනීම් වලින් හමුවී ඇත. එමෙන්ම බලංගොඩ මානවයා විසූ බවට සළකුණු දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මතුවී ඇත. ඔහු ආහාරයට ගත් සතුන්ගේ කොටස්, පාශාණිභූතවූ පළතුරු හා ශාක කොටස් (වල් කෙසෙල් වර්ග, වල්දෙල් ඇට, කැලෑ ධාන්‍ය වර්ග ) හමුවූ ඇති අතර සරළ ගල් ආයුධද හමුවී ඇත.

එපමණක් නොව බලංගොඩ මානවයා සුන්දර හෝර්ටන් තැන්නේ දඩයමේ යෙදුනු බවටද පුරාවිද්‍යාඥයින් සාක්ශි සොයාගෙන තිබේ. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයෙන් බලංගොඩ මිනිසා භාවිතා කලා යයි සැක කෙරෙන කුඩා ගල් ආයුධ (microlith stone tools) හමුවී ඇත. මේ පිලිබඳව මට දැනගන්නට ලැබුණේ පසුගිය සතියේ පාසැල් නිවාඩුව ආරම්භවීමත් සමග දරුවන් සමග හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ කල සංචාරය අතරතුරේදීය. ලෝක උරුමයක් ලෙස නම් කට ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ලෝකාන්ත මංපෙතෙහි (worlds end trail) පිවිසුමේ පිහිටා ඇති අලුතින් නවීකරණය කරන ලද සංචාරක තොරතුරු මධ්‍යස්ථානය හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයාගේ ක්‍රියාකාරකම් පිලිබඳව මුල්ම තොරතුරු මට ලබාදුන්නේය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය
අද මේ තොරතුරු මධ්‍යස්ථානය පිහිටි නිවස්නය යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගේ ප්‍රියතම දඩකෙළි බිමක් වූ හෝර්ටන් තැන්නේ  දඩකෙලියේ යාම සඳහා පෙර සූදානම් නිවස්නයක් (hunting lodge) ලෙස 1900 වසරේදී ගොඩනගන ලද්දේ තෝමස් ෆාර් (Thomas Farr) නම් බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෙකි. තෝමස් ෆාර් එකල මහ එලිය ලෙස හැඳින්වූ මෙම අපූර්ව භූමිය සොයාගත් පලමු යුරෝපීයයා වන අතර ඔහු එකල ලක්දිව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හෝර්ටන් සාමිවරයාට ගෞරව පිණිස හෝර්ටන් තැන්න නමින් නම් කල බව පැවසේ.  පසුව මේ දඩකෙලි නිවස්නය, දඩ කෙලියේ යන ප්‍රභූන්ගේ සා-පවස නිවන අවන්හලක් හා ගිමන්හලක් ලෙසට අනුවර්තනය කෙරිනි. එය Farr Inn ලෙස නම් තබා තිබුණි.  අද තෝමස් ෆාර්ගේ "ෆාර් ඉන්" හන්ටින් ලොජ් එක දෙස් විදෙස් සංචාරකයින්ට හෝර්ටන් තැන්නේ අපූර්වත්ව්ය පිලිබඳව තොරතුරු රැසක් බෙදා දෙන දැනුම් උල්පතකි. ඔබ හෝර්ටන් තැන්නේ සංචාරයට යන්නේ නම් පලමුව මේ තොරතුරු මධ්‍යස්ථානයට පිවිසෙන්නට අමතක නොකරන්න.

බලංගොඩ මානවයා හා හෝර්ටන් තැන්නේ විසූ බවත්, දඩයමේ ගිය බවත් තොරතුරු මධ්‍යස්ථානයේ විස්තර පුවරුව කියවන තෙක් මම නොදැන සිටි අතර ලෝකාන්ත මංපෙතෙහි සුන්දරත්වය විඳිමින් සැරිසරන අතරතුරම අපගේ ආදි මීමුත්තා වන බලංගොඩ මානවයා මේ සුන්දර තණබිමේ දඩයමේ යෙදෙන්නට ඇති ආකාරය සිතින් මවාගන්නට උත්සහ කලෙමි. ඕලු මුවන් (barking deer), ගෝනුන් (sambur), වල් හරකුන් (wild cattle) වැනි දඩයමට සුදුසු සතුන් එකල මෙහි විශාල වශයෙන් සිටින්නට ඇති අතර අපේ බලන්ගොඩ මී මුත්තන් සිය සරල ගල් ආයුධ අතැතිව මේ සතුන් හඹා උස් තණපඳුරු, කටු පඳුරු අතරින් දිවයන ආකාරය සිතින් මවාගන්නට හෝර්ටන් තැන්නේ සැරිසරන්නට යන ඔබටද අපහසු නොවනු ඇත.

හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා පිලිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට ඇතිවූ කුතුහලය නිසාම නවාතැන් පොලට පැමිණි වහාම හෝර්ටන් තැන්නේ මානව ජනාවාස පිලිබඳව ගූගල් සෙවුමක් දියත් කලෙමි. මෙහි ප්‍රථිපලයක් ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා 2006 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුනු ඉපැරණි කෘෂිකර්මාණ්තය පිලිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වූ "First Farmers in Global Perspective" සම්මන්ත්‍රණයට ඉදිරිපත් කල පර්යේෂණ නිබන්ධනයක් කියවන්නට ලැබුණි.

ශිෂ්‍ය පිරිසක් සමග ක්ෂේත්‍ර ක්‍රියාකාරකමක් සිදුකරන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිළක (Image Credit: Asiff Hussain, Sunday Times, 23/10/2011)
"The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka" ලෙස නම්කොට තිබූ මෙම පර්යේෂණ නිබන්ධනය හෝර්ටන් තැන්නේ දඩයම් කරමින් සිටි අපේ බලංගොඩ මී මුත්තන් දඩයමට අමතරව ගොවිතැන් කිරීමද අරඹමින් සිරිලක පලමු ගොවීන් බවට පරිවර්තනය වෙමින් සිටි බව විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරයි. පර්යේෂණ නිබන්ධනයේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රේමතිලක මෙලෙස පවසයි "The attempt of this paper is to give an account on the early evidence of agriculture in the form of palaeo-ecological findings in the Horton Plains, central Sri Lanka, and its links to climate change and archaeology..."

සිරිලක බලංගොඩ මානවයා වසර 31,000කට පෙර සිටම ශිලා ආයුධ නිර්මාණයක කරගැනීමේ තාක්ශණය බිහිකොට ගෙන තිබූ බව ආචාර්ය ප්‍රේමතිලක තවත් පර්යේෂකයින් ගණනාවකගේ පර්යේෂණ නිබන්ධන උපුටා දක්වමින් පෙන්වා දෙයි. බලංගොඩ මානවයාගේ ගල් ආයුධ හෝර්ටන් තැන්නෙන් හමුවී ඇත. අපේ මීමුත්තන් ගල් ආයුධ නිර්මාණය කරගත්තේ යුරෝපයේ ගල් යුගයේ මිනිසා ආයුධ නිර්මාණය කරගැනීමට සෑහෙන කාලයකට පෙර බවද එහි සඳහන් වේ. එමෙන්ම ආචාර්ය ශීරාන් දැරණියගල මහතාගේ පර්යේෂණයක් උපුටාදක්වන ප්‍රේමතිලක, ඒ කාලය වනවිට බලංගොඩ මානවයා බල්ලන් හීලෑ කරගෙන සිටි බවට සාක්ශද ලැබී ඇතැයි සඳහන් කරයි.  හෝර්ටන් තැන්නේ තමන් සිදුකල පර්යේෂණයේ ප්‍රථිපල සාරාංශගත කරන ආචාර්ය ප්‍රේමතිලක, හෝර්ටන් තැන්නේ පස් සාම්පල වලින් ලැබුණු පාෂාණිභූත පරාග (මල් රේණු ) රේඩියෝ-කාබන් ක්‍රමයට කාළනිර්ණය කිරීමෙන්  එම පරාග ක්‍රි.පූ 5000 (මීට වසර 7000කට පෙර) කාළයට අයත් බව සනාතවී ඇති අතර ඒ අනුව හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා ගිණිතබා පස සකස්කොට සිදුකරන හේන් ගොවිතැන් ක්‍රමයට (slash & burn cultivation) බෝග වගාකොට ඇති බවත් මෙම බෝගවල පරාග අතර පැරණි කැලෑ සහල්වලට (wild rice) අයත් පරාගද විශාල ලෙස හමුවූ බැවින් බලංගොඩ මානවයා මීට වසර 7000කට පෙර හෝර්ටන් තැන්නේ හේන් ගොවිතැන් ක්‍රමයට වීවගාවේ යෙදෙන්නටද ඇතැයි අනුමාන කලහැකි බව පවසයි. මීට පෙර වී වගාව, යකඩ නිශ්පාදනය හා අශ්වයින් හා වෙනත් ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම පිලිබඳව සාක්ශි හමුවී ඇත්තේ ක්‍රි.පූ 900 නම් මීට වසර 2900කට පමණ පෙර අනුරාධපුරයෙනි.

ආචාර්ය ප්‍රේමතිළක හෝර්ටන් තැන්නේ සිදුකල පර්යේෂණයේ විස්තර


Figure Credit: "The emergence of early agriculture in the Horton Plains,central Sri Lanka: linked to late Pleistocene and early Holocene climatic changes", R Premathilake, Page 5
සාම්පල ලබාගත් ස්ථානය: රූපසටහනේ පෙන්වන ස්ථානයේ පිහිටි මඩ ගොහොරුවකිනි (mire).

සාම්පල ප්‍රමාණය හා යොදාගත් උපක්‍රමය: සාම්පල 36ක් ලබාගත් අතර මේවා සෙන්ටිමීටර් 5ක විශ්කම්භයකින් යුතු රුසියාවේ නිශ්පාදිත පස් සාම්පල ලබාගැනීමේ උපකරණයක් භාවිතා කරණ ලදී (Russian peat corer).

සාම්පල විශ්ලේෂණය : ලබාගත් සාම්පල; පරාග, බීජාණු, ඓන්ද්‍රිය කාබන් (organic carbon), ස්ථාවර කාබන් (ඓන්ද්‍රීය නොවන කාබන්) හා ඛණිජමය ගුණයන් සොයා බැලීමේ විශ්ලේෂ්ණයන් හට බඳුන්කොට ඇත. එමෙන්ම ඒවායින් ලැබුණු කාබණික ද්‍රව්‍ය රේඩියෝ-කාබන් කාළ නිර්ණයන්ට භාජනය කරන ලදී.

රේඩියෝ කාබන් කාළ නිර්ණය: ලබාගත් පස් සාම්පල වලින් කොටස් 14ක් කාබන් කාළ නිර්ණය සඳහා ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ ඇන්ග්ස්ට්‍රෝම් පර්යේෂණාගාරයට (Ångström Laboratory, Uppsala University, Sweden) යවන ලදී.

පර්යේෂණ ප්‍රථිපල වලින් එළඹිය හැකි නිගමන:

[1] ලැබී ඇති පාශාණිභූත පරාග හා වෙනත් ඓන්ද්‍රීය ශාක කොටස් වලින් ලැබෙන සාක්ශි අනුව ක්‍රි.පූ 15,000-14,000 (අදින් වසර 16,000-17,000ට පෙර කාළයේ) හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයින් බාර්ලි හා ඕට්ස් යන ධානය වගාකිරීම ආරම්භ කල බවට සාක්ශි තිබේ.

[2] එම කාළයේදී හෝ ඊට පසු කාළවකවානු වලදී සතුන් ගාල්කොට තබාගෙන ඇති කොට ඇති බවට සාක්ශි හමුවී ඇත.

[3] ධාන්‍ය වගා සඳහා කැළෑව ගිණිතබා හෙළිපෙහෙලි කල බවට කාබනික සාක්ශි සටහන්වී ඇත.

[4] ක්‍රි.පූ. 11,000 වනවිට හෝර්ටන් තැන්නේ ආදි මානවයින් වඩාත් විස්තීරණ ලෙස ගොවිතැන් කිරීමට පටන්ගත් බව ලැබී ඇති කාබණික, පරාග හා නයිට්‍රජන් සංයුතිය අනුව නිගමනය කරගෙන ඇත.

[5] ක්‍රි.පූ.8000-7000 කාළය වන විට බාර්ලි හා ඕට්ස් වගාව අදාල පරාග ගහණය අඩුවෙමින් ඇති අතර වී වගාවේදී දැකිය හැකි පරාග ගහණය මේ කාලයේදී වේගයෙන් ඉහල යන්නට පටන් ගෙන ඇත. ඒ අනුව කාළගුණික වෙනස් වීම අනුව හෝර්ටන් තැන්නේ බළංගොඩ මී මුත්තා බාර්ලි හා ඕට්ස් වෙනුවට කැළෑ වී වර්ග වගා කරන්නට පටන්ගෙන ඇති බව නිගමනය කල හැකිය. Oryza eichingeri, Oryza nivara, Oryza rhizomatis යන කැලෑ වී වර්ගවල පරාග හමුවී ඇත.

මූලාශ්‍ර:

[1] The emergence of early agriculture in the Horton Plains,central Sri Lanka: linked to late Pleistocene and earlyHolocene climatic changes. - R Premathilake (read the original paper here)

[2] From wild grass to golden grain: How rice cultivation in Sri Lanka may have been linked to Stone Age man - Asiff Hussein (Sunday Times, 23/10/2011) (link here)







Related Posts Plugin for WordPress, Blogger...