Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 31 May 2016

තවමත් හෙලිනොවුනු ස්ටෝන්හෙන්ජ් අභිරහස


දකුණු එංගලන්තයේ එන්ගලන්තයේ විල්ට්ෂයර්හි පිහිටි යෝධ ශෛලමය ඉදිකිරීම Stonehenge නමින් හැඳින්වෙන අතර එහි තේරුම ‘‘එල්ලෙන ගල්‘‘ යන්නයි. මෙම අසාමාන්‍ය ඉදිකිරීමේ කුමන අරමුණක් සඳහා ඉදිකලාද යන්න තවමත් නොවිසදුනු අභිරහසක්ව පවතී. කෙසේ වෙතත් බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ මෙය පුදපූජා පැවැත්වූ ස්ථානයක් හා සොල්ස්ටිස් හෙවත් සූර්යනිවෘත්තිය යන තාරකා විද්‍යාත්මක සිදුවීම ඇතිවන වකවානු නිවැරදිව දැන ගැනීම සඳහා ශිලායුගයේ ජෝතිශ්‍යවේදීන් භාවිතාකල යම් ආකරයක යෝධ සූර්ය කැලැන්ඩරයක් හෙවත් දින දර්ශණයක් බවයි.

සොල්ස්ටිස් හෙවත් සූර්යනිවෘත්තිය යන සංසිද්ධිය වසරකට දෙවතාවක් ජූනි හා දෙසැම්බර් සිදුවන අතර ජූනි මාසයේදී එය ග්‍රීස්ම සූර්යනිවෘත්තිය වන අතර එදින වසරේ වැඩිම කාලයක් සූර්යාලෝකය වැටෙන දිනය වනවා. දෙසැම්බරයේ සිසිර සූර්යනිවෘත්තිය සිදුවන අතර එය වසරේ අඩුම කාළයක් සූර්යාලෝකය වැටෙන දිනය වනවා.

සමකය ආසන්නයේ ඝර්ම කලාපීය රටක් වන ලංකාවට මේ දින එතරම් වැදගත් නැතත් උතුරු අර්ධගෝලයේ සෘතු වෙනස්වල දේශගුණ පවතින රටවල මෙය ඉතා වැදගත් දිනයන් වනවා. ග්‍රීස්ම සූර්යනිවෘත්තියෙන් පසු සූර්යාලෝකය වැටෙන පැය ගණන අඩුවෙමින් නැවතත් ශීත සෘතුව කරා එළඹෙන අතර සිසිර සූර්යනිවෘත්තියෙන් පසු ශීත කාළයේ දරුණුම අවස්ථාව පසුවූ බව සනිටුහන් වනවා.  වසර 5000ක් පමණ පැරණි යැයි අනුමාන කෙරෙන, නවශිලා යුගයේ නිර්මාණයක් වන මෙය අදියර කිහිපයකින්, වසර ගණනාවක් පුරාවට ඉදිකෙරෙමින් පවතින්නට ඇතිබව පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා.

(C) Wikimedia Commons






මෙම ඉදිකිරීම වටා කවාකාර යාර සීයක් පමණ විශ්කම්භයකින් යුත් අගලක් වේ. ගල් කුළුණ සිටුවා ඇත්තේ ඒ ඇතුළත, හතර බැගින් ළං ළංව  සිටිනා සේය. එහි පිටත ගල්කණු පේලි දෙක  වක්‍රාකාරය. අතුළත පේලිය අශ්වලාඩමක හැඩය ගනී. ඒ මැද ඇතතේ අඩි 16x4 ප්‍රමාණයෙන් යුත්, කිරිගරුඬ ගල් පුවරුවකි. එහි හැඩය අණ්ඩාකාරය. මෙය පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නේ අල්තාර ගල ලෙසිනි.

බාහිර ගල් කුළුණු පෙළ අඩි 18ක් උසැතිය. එම යෝධ ගල්කුළුණු හිස්, එකිනෙකට යාකර  ඇත්තේ ගල් පුවරුවලිනි. එම පුවරුවල හාරා ඇති රවුම් සිදුරු, කුලුණු හිස්වලින් නෙරා සිටින සේ කොටා ඇති කොටස්වලට මනාව වද්දා තිබේ. මෙම හරස් ගල්පුවරු සුළු වශයෙන් හෝ නොසෙල්වෙන ලෙස  සම්බන්ධ කර ඇත. කිසිදු උපකරණයක සහාය නොමැතිව මේවා අඩි 12 ක් උසට එසවීමටත්, එක මට්ටමට නිවැරදිව තැබීමටත් සමත්වූවෝ කවුරුන්ද?   මෙම ඉදිකිරීමෙහි ඇති උසම කුළුණු, අඩි 20ක් උසය. ඉන් දෙකක් අශ්වලාඩම මැද සිටුවා ඇත. ඒ මත අඩි 15ක් දිග හරස් ගල පුවරුවක් වේ. වසරකට වරක් යෙදෙන එක් දිනයකදී අල්තාර පුවරුවේ සිට රවුම් කුළුණු පේලි යුගලයෙහි කුළුණු හා බාහිර කුළුණ දෙක අතරින් එබී බලා, සුවිශාල ගල් පුවරුව මතින් සූර්යයා නැගෙන අයුරු දැකිය හැකිය.

ස්ටෝන්හෙන්ජ් සිහිවටනය නිර්මාණය කරන්නට සිදුවූ නිවැරදිම හේතුව තවමත් හෙලිවී නැතත් සූර්යනිවෘත්ති මතයට අමතරව ස්ටෝන්හෙන්ජ් පිලිබඳව තවත් මතයන් තිබෙනවා. ඉන් එකක් නම් ස්ටෝන්හෙන්ජ් යනු නවශිලා යුගයේ හා ලෝකඩ යුගයේ බ්‍රිතාන්‍ය උසස් කුළවල ප්‍රභූන්ගේ භූමදාන ප්‍රදේශයක් වූ බවයි. එම ප්‍රදේශය අවටින් සියගණනක් මිනිස් අස්ථි හමුවී තිබේ. එමෙන්ම ස්ටෝන්හෙන්ජ් ස්මාරකය දක්ශ ආයුර්වේද වෛද්‍යවරුන් හා ලෙඩ සුවකරන්නන් විසූ ස්ථානයක් බවටද විශ්වාස කෙරෙන අතර මෙම ස්ථානයට ඉතා දුරබැහැර ප්‍රදේශවලින් විවිධ රෝගීන් පැමිණි බව අවට වළදමා ඇති මිනිස් ඇටසැකිලි පරීක්ශාවෙන් තහවුරුවී තිබෙනවා.





 
Source: Sri Life
__________________________________________________________________________ . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR   

CONTACT    : terence.arachchi@gmail.com

GOOGLE +   : About Me

FACEBOOK : www.facebook.com/terence.arachchi   __________________________________________________________________________

Sunday, 29 May 2016

ISIS තස්තවාදීන් හඹායන්නට බ්‍රිතාන්‍ය කොමාන්ඩෝ බළකායන්ට ලැබෙන High Speed Quad Boat

Image Copyright: (C) Daily Mail, UK
බ්‍රිතාන්‍යයේ විශේෂ කොමාන්ඩෝ බළකායක් වන විශේෂ යාත්‍රා බළකායට (Special Boat Service) දිය-ගොඩ දෙකෙහිම අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් හඹායාම සඳහා අලුත්ම අධිවේගී කුඩා බෝට්ටුවක් හඳුන්වාදී අතර මේ නොබෝදා එම අධිවේගී බෝට්ටුවේ අත්හදා බැලීම් සිදුවුන බව වාර්තාවනවා.

දියෙහි හා ගොඩබිමෙහි වේගයෙන් ගමන්කල හැකි මෙය ප්‍රවාහන ගුවන්යානයකින් අවශ්‍ය ඉලක්කය අසල මුහුදට පැරිෂූට් ආධාරයෙන් ගොඩබස්වන අතර දිය මතට පත්වූ වහාම මෙයට පැයට නාවික සැතපුම් 45ක එනම් පැයට කිලෝමීටර් 80ක අධික වේගයකින් ගමන් කිරීම ඇරඹිය හැකියි. වේගයෙන් වෙරළ කරා ඇදෙන මෙය වෙරළට පැමිණි වහාම හැකිලී ඇති රෝද 4ක් දිගහැරී යලිත් ගමන අරඹනවා. ඒ අනුව කොමාන්ඩෝ භටයින්ට ඉතාමත් වේගයෙන් සිය ඉලක්ක කරා ලඟාවී සතුරන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක ප්‍රහාර එල්ලකල හැකියි.

මෙහි ආයුධ ලෙස අධිබල මැෂින්තුවක්කුවක් සවිකර තිබෙන අතර දැනට භටයින් දෙදෙනෙකුට ගමන්කල හැකි මාදිලියක් අත්හදාබලන අතර ඉතා ඉක්මණින් භටයින් 8 දෙනෙකු ප්‍රවහණය කල හැකි මාදිලියක් හඳුන්වා දෙන්නට නියමිතයි.


__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

පාර ජලයන් යටවී ඇතිවිටදී වාහනයක් පදවන ඔබ කලයුත්තේ කුමක්ද?


ආයෙත් වහිනවා... පාරවල් ආයෙත් යටවෙලා. ඊයේ තුන්මුල්ල හන්දිය වතුරෙන් යටවෙලා වාහන නැවතිලා තිබුණා. ගමන් කරන පාරේ තැනක් ජලයෙන් යටවෙලා තියෙනකොට කරන්න ඕනේ මොකක්ද?

මේ උපදෙස් අරගත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඔටෝමොබයිල් ඇසෝසියේෂන් (AA) වෙබ් අඩවියෙන් හා තවත් වෙබ් අඩවි කිහිපයකින්.

වැදගත්ම උපදෙස - වාහනේ වතුරට නොදා ඉන්න

ජලයෙන් යටවුන පාරක් දැක්කම කරන්න ඕනෑ පලමුවෙනි දේ තමයි කොහොම හරි යන්ඩ පුලුවන්ද කියලා බලන්නේ නැතුව, තමන්ගෙත්, තම වාහනයෙත් ආරක්ශාව ගැන හිතලා විකල්ප මාර්ගයක් සොයා ගන්න එක.

අනෙක් වාහන යනවා කියලා තමුන්ගේ වාහනය වතුරට දාලා අමාරුවේ වැටෙන්න එපා. වෙන විකල්ප පාරක් නැතිවුනත් වතුරට වාහනේ දාන්න ඉස්සෙල්ලා හොඳින් සැළකිලිමත් වියයුතු දේවල් තියෙනවා.


ඔබගේ වාහනය කාර් එකක් හෝ කුඩා වෑන් රථයක් නම් සාමාන්‍යයෙන් අඟල් 6කට වැඩි නිසල ජලයට බැස්සුවොත් වාහනය පාවෙන්න පුලුවන්! 

වාහනය බර නිසා රෝද පොලව තදින් බදාගෙන ඉඳියි කියලා හිතන්න එපා. ගලාගෙන යන ජලය නම් තවත් භයානකයි. මේක බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. වාහනය විශාලයි, බරයි කියලා වතුරට බැස්සුවොත් උඩුකුරු තෙරපුම කියන විද්‍යාත්මක සංසිද්ධිය නිසා වාහනය පාවෙන්න බලනවා. එතකොට රෝද පොලවට බැදීම (ට්‍රැක්ෂන්) නැතිවෙලා වාහනය පාලනයෙන් ගිලිහෙනවා. අඩිය 2ක් ගැඹුර ජලය පික්-අප්, ජීප් වගේ වාහනයක් වුනත් ජලයේ පාකරවන්න සමත්.

ගැඹුර අඩුවුනත් වේගයෙන් ගලන ජලය භයානකයි. 

වේගයෙන් ගලන ජලයෙන් වාහනය මත හරස් අතට යෙදෙන බලය, එහි වේගය වගේ හතර ගුණයක් බව මතක තබා ගන්න.

ජලයේ ගමන් කරනකොට වේගයෙන් යන්න එපා. 

මේක අපේ රටේ අය කරන ලොකු වැරැද්දක්. වේගයෙන් වතුරට දාලා මෙලෝ සිහියක් නැතුව වේගයෙන් යනවා. වාහනයක් වතුරට දාන්න ඕනෑ හෙමින්. මැනුවල් නම් 1 වැනි ගියරයේ, ඔටෝමැටික් නම් කන්දක වගේ යනකොට භාවිතා කරන අඩු-වේග-වැඩි-ජවය දෙන ගියරයක් (e.g. L ) තෝරාගන්න.

වාහනයේ එන්ජිම රේස් කරගෙන යන්න. එතකොට දුම් බටයෙන් ජලය ඇතුලට යන එක වලකිනවා. හැබැයි වේගයෙන් යනකොට ඇතිවෙන විශාල ජල රැල්ලෙන් එන්ජිමට වතුර යන්න පුලුවන්. ඒ නිසා රැළි නොනැගෙන්න හෙමින් - එහෙත් එන්ජිම රේස් කරමින් සැර දමමින් ගමන් කරන්න.

එක වේගයකින් යන්න. වතුර මැදට ආවහම බයවෙලා වාහනය නවත්තන්න හදන්න එපා. වතුරට දැම්මා නම් නොනවත්වා අනෙක් කෙලවරට යන්න. හැබැයි මතක තබා ගන්න - අඟල් 6කට වැඩි ගැඹුරු ජලය කාර් එකක හෝ වෑන් එකක වායු අවශෝෂකය (air intake) තුලට ගමන් කිරීමේ හැකියාව වැඩියි.

වාහනය පාවෙලා යන්න හදනවා වගේ තේරෙනවා නම්...

කළබල වෙලා වේගය වැඩි කරන්න එපා. වාහනයේ දොර ඇරලා ඇතුලට වතුර එන්න දෙන්න. එතකොට අර කලින් කිව්ව, වාහනය වතුරේ පා කරවන උඩුකුරු තෙරපුම අඩුවෙනවා. මේකෙන් වාහනේ ඇතුලත විනාශ වෙයි. ඒත් වාහනයත් එක්කම ගහගෙන යනවාට වඩා ඒක හොඳයි නෙ.

වතුරෙන් ගොඩ් ආපු ගමන් වාහනයේ වේගය වැඩි කරලා යන්න එපා. ඒ වෙනකොට ඔබගේ වාහනයේ බ්‍රේක් පෑඩ් තෙමිලා බ්‍රේක් වදින්නේ නෑ. 

හෙමින් යන ගමන් හෙමින් හෙමින් බ්‍රේක් පැඩලය පාගමින්, එහි තෙත ගතිය අඩුකරගන්න උත්සහ කරන්න. ඔබ සාමාන්‍ය වේගයෙන් යා යුත්තේ නැවතත් නියමාකාරයට තිරිංග ක්‍රියාත්මක වන්නට ගත්විට පමණයි.

ඉතා වැදගත් - පාරේ ඇති විදුලි කම්බි ජලයෙන් යටවෙලා තියෙන හරියෙන් බිමට වැටිලා තියෙනවා නම් වාහනය වතුරට දාන්න එපා. ජලය විදුලිය සන්නයනය කරනවා. 

ඔබගේ වාහනයට විදුලි සැර වැදිලා එහි ඉලෙක්ට්‍රොණික උපාංග විනාශවෙන්න පුලුවන්. එමෙන්ම ඔබටත්, වාහනයේ යන අනෙක් අයටත් විදුලි සැර වැදෙන්න පුලුවන්.




__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________


Saturday, 28 May 2016

මුස්ලිම් කාන්තාවන්ට රියපදවන්නටත් තහනම් සෞදි අරාබියට ඩොලර් මිලියන 200ක අති නවීන ගුවන්යානයක් මගීන් 300ක් සමග පදවාගෙන ගොස් ගොඩබැස්වූ මුස්ලිම් කාන්තා ගුවන් නියමුවන් තිදෙනා!!

රාජකීය බෲනායි ගුවන් සේවයේ කපිතාන් ෂරීෆා හෂීම් (වමේ), ජ්‍යේෂ්ඨ පියාසර නිළධාරී නාදියා ඛෂෙයිම් (මැද), පියාසර නිළධාරී සරියානා නෝදින් (දකුණේ) ඔවුන්ගේ ඓතිහාසික පියාසැරියට පෙර සිය බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් ගුවන්යානයේ නියමු මැදිරියේ
බෲනායි රාජකීය ගුවන්සේවය මෙම පියාසැරිය සංවිධානය කලේ බෲනායි ජාතික දිනය සඳහා වන සැමරුමක් වශයෙන්. ධනවත් මුස්ලිම් රාජ්‍යයක් වන බෲනායි රාජ්‍යය සිය රටේ කාන්තාවන්ට දී ඇති අයිතිවාසිකම් හා වගකීම් ලොව හමුවේ විදහාදැක්වීම මෙම පියාසැරියේ අරමුණ වුනා.

කෙසේ වෙතත් අවාසනාව වන්නේ මෙම දිරිය කාන්තාවන් තිදෙනාට මගී ජීවිත 300ක වගකීම ගැනීමට හා ඩොලර් මිලියන 200ක් වටිනා අති නවීන අධිතාක්ශණික ගුවන් යානයක් බෲනායි සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇති සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොලට පියාසර කරවාගෙන යන්නට අවශ්‍ය පුහුණුව, අවසරය හා සහයෝගය ලබාදීම බෲනායි රාජ්‍යය මෙන්ම ජාත්‍යන්තර නීති රාමුව ලබාදුන්නත් ඔවුන් ගොඩ බසින ලද සෞදි අරාබිය කාන්තාවන්ට කාරයක් පැදවීම පවා තහනම් රටක් වීමයි.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

SpaceX Falcon 9 - සුපිරි ලෑන්ඩිං වීඩියෝව



ස්පේස් එක්ස් සමාගම තුන්වැනි වරටත් සිය ෆැල්කන් 9 රොකට්ටුවක් අත්ලාන්තික් සාගරයේ ඇති පාවෙන පර්යන්තයක් මතට සාර්ථකව ගොඩබස්සන්නට සමත්වූවා. මෙවර ස්පේස් එක්ස් ෆැල්කන් 9 රොකට්ටුව උඩුගුවනට ගියේ තායිලනතයේ චන්ද්‍රිකා සන්නිවේදන සමාගමක් වන තායිකොම් සමාගම වෙනුවෙන් තායිකොම් 8 සන්නිවේදන චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර් 35,786 ඈතින් කක්ශයේ රැඳවීම සඳහාය.

එම චන්ද්‍රිකාව සාර්ථකව කක්ශයේ රැඳවූ ෆැල්කන් 9 රොකට්ටුව, ස්පේස් එක්ස් සමාගමට අයත් රොබෝ නියමුවෙකු මගින් මෙහෙයවන පාවෙන පර්යන්තය මතට ගොඩ බැස්සුවා. ස්පේස් එක්ස් autonomous spaceport drone ship ලෙස හඳුන්වන මෙම පාවෙන රොකට් ගොඩබැස්වීමේ පර්යන්ත දෙකක් තිබෙනවා. මෙම රොකට්ටුව ගොඩ බැස්වූයේ අත්ලන්තික් සාගරයේ ස්ථානගත කල ඩ්‍රෝන පර්යන්තයටයි. මෙය "Of Course I Still Love You" ලෙස නම් කොට ඇති අතර  අනෙක් ඩ්‍රෝන පර්යන්තය "Just Read The Instructions" ලෙස නම් කොට ඇති අතර එය පැසිෆික් සාගරයේ සිදුවන රොකට් ගොඩබැස්වීමකදී භාවිතා කිරීමට අමෙරිකාවේ පැසිෆික් වෙරළේ ස්ථානගත කොට තිබෙනවා.

අත්ලාන්තික් සාගරයේ ගමන්කරන "ඔෆ් කෝස් අයි ස්ටිල් ලව් යූ" ඩ්‍රෝන පර්යන්තය.
පැසිෆික් සාගරයේ තොටුපොලක නැංගුරම් ලා තිබෙන "ජස්ට් රීඩ් ද ඉන්ස්ට්‍රක්ෂන්ස්" ඩ්‍රෝන පර්යන්තය.

මෙම ඩ්‍රෝන පර්යන්ත දෙකට ලබාදී ඇති අසාමාන්‍ය නම් දෙක, ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක් විසින් ඔහුගේ ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ද රචකයා වන ස්කොට්ලන්ත ජාතික ඉයෙන් බෑන්ක්ස් හට ගෞරවයක් ලෙසයි. "ජස්ට් රීඩ් ද ඉන්ස්ට්‍රක්ෂන්ස්" හා "ඔෆ් කෝස් අයි ස්ටිල් ලව් යූ" යනු ඉයෙන් බෑන්ක්ස් විසින් රචිත "The Player of Games" නම් විද්‍යා ප්‍රබන්ධයේ විස්තර කෙරෙන අති විශාල අභ්‍යවකාශ යානා දෙකකි.
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

කෘත්‍රිම ආලෝකය මගින් වන පරිසර දූෂණය හා අන්තර්ජාතික "කළුවර අහස" ව්‍යාපෘතිය.

ආලෝක දූෂණය (Light pollution, photo-pollution, luminous pollution) කියන්නේ මොකක්ද?

ආලෝක දූෂණය, නැතිනම් ලයිට් පොලූෂන් කියන්නේ ප්‍රභල කෘත්‍රිම ආලෝකය වගේම අනවශ්‍ය දිශාවලට විහිදෙන කෘත්‍රිම ආලෝකය නිසා සිදුවන පරිසර දූෂණයට. රාත්‍රී කාළයේ විහිදෙන අධික කෘත්‍රිම ආලෝකය නිසා ඇතිවන ගැටලු සමහරක් නම්, මිනිසාද ඇතුලු ජීවීන්ගේ ජීවන චර්යාවට, විශේෂයෙන්ම නින්දට ප්‍රභල කෘත්‍රිම ආලෝකය නිසා ඇතිවන බාධාවන් මෙන්ම ස්වභාවික පරිසරයේ ආලොක තත්වය වෙනස්වීමද ඇතුලත් වනවා.

කෘත්‍රිම ආලෝකය විශාල වශයෙන් නිකුත්වීම නිසා මෙම ආලෝකය පරාවර්තනයවී අහසට යොමුවීම මගින් ස්කයි ග්ලෝ හෙවත් ආකාසය දිලිසීම යන සංසිද්ධිය ඇතිවනවා. එමගින් රාත්‍රීකාළයේ සුන්දරත්වය විනාශවී යන අතර මෙම ස්කයි ග්ලෝ සංසිද්ධිය නිසා අපට රාත්‍රී අහසේ දකින්නට ලැබෙන්නේ ග්‍රහතාරකාවලින් ස්වල්පයක් පමණයි.


ඉහත ඡායාරූප දෙකෙන්, රාත්‍රියේ කෘත්‍රිම ආලෝකය නිසා ඇතිවන ස්කයි ග්ලෝ සංසිද්ධියෙන් රාත්‍රී අහසේ පෙනෙන ග්‍රහතාරකා අතර වෙනස පෙන්වනවා.

පලමුවන ඡායාරූපයේ පෙනෙන්නේ ඈත පිටිසර ගමක රාත්‍රී අහසයි. ලඟපාතක ස්කයි ග්ලෝ සංසිද්ධිය ඇතිකලහැකි කෘත්‍රිම ආලෝකයෙන් නැහැවෙන විශාල නගරයක් නොමැති නිසා අතිවිශාල ග්‍රහතාරකා ප්‍රමාණයක් මෙන්ම ක්ශීරපථයද පැහැදිලිව දැකගන්නට පුලුවන්.

දෙවන ඡායාරූපය ආලෝක දූෂණය බහුල නාගරික ප්‍රදේෂයක රාත්‍රී අහස පෙනෙන ආකාරයයි. අහසේ ග්‍රහතාරකා ඉතා සුලුප්‍රමාණයක් පමණක් දකින්නට ලැබෙන්නේ ස්කයි ග්ලෝ සංසිද්ධිය නිසා පොලොවේ කෘත්‍රිම ආලෝකය අහසට පරාවර්තනයවී එම කෘත්‍රිම ආලෝකය නිසා දුබල තාරකා ආලෝකය සැඟවීයාම හේතුවෙනුයි.

අධික ආලෝක දූෂණයක් ඇති ප්‍රදේශ - මෙම චන්ද්‍රිකා ඡායාරූපය සකසා ඇත්තේ චන්ද්‍රිකා මගින් පෘථිවියේ රාත්‍රීකාළයේ ගත් ඡායාරූප සියගණනක් එකතු කරමිනි.





කළුවර අහස ව්‍යාපාරය -  Dark Sky Movement

කළුවර අහස ව්‍යාපාරය යනු ආලෝක දූෂණයෙන් පරිසරය බේරාගෙන, අධික කෘත්‍රිම ආලෝකයත්, එමනිසා වැයවෙන අධික විදුලිබලය හා ඒවා නිපදවීමෙන් ඇතිවන පරිසර හානියත් අවමකිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා රජයන් දැනුවත් කරමින් පීඩන කණ්ඩායමක් (pressure group) ලෙස කටයුතු කිරීම අරමුණ කරගත් ව්‍යාපාරයකි.

මෙම ව්‍යාපාරයේ ආභාශයෙන් 1988දී International Dark-Sky Association නම් ජාත්‍යන්තර සංවිධානයක් අමෙරිකාවේ පිහිටවූ අතර මේ සඳහා මූලිකත්වය ගත්තේ තාරකාවිද්‍යාඥ දෙපොලක් වන David Crawford හා Tim Hunter ය. කෘත්‍රිම ආලෝක දූෂණය අඩුකරමින්, සැබෑ රාත්‍රී කළුවර ඇති ප්‍රදේශ බිහිකිරීම හා රාත්‍රියේ සැබෑ සුන්දරත්වය ජනතාවට විඳීමට සැළැස්වීම සඳහා මොවුන් ක්‍රියාත්මක වූ අතර මොවුන්ගේ (මෙන්ම වෙනත් විද්වතුන්ගේ හා Campaign for Dark Skies වැනි සංවිධානවල ) වෑයමේ ප්‍රථිපලයක් ලෙස 2006දී ලොව ප්‍රථම කළුවර අහස උද්‍යානය (International Dark Sky Park) ලෙස ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ "Natural Bridges National Monument" ස්වභාවික ස්මාරක ප්‍රදේශය නම් කරන ලදී. ඒ අනුව මෙම ප්‍රදේශය ආශ්‍රිතව රාත්‍රී අහසේ ස්භාවික කළුවර අඩුවන කෘත්‍රිම ආලෝක ප්‍රභව ඇති නගර ඇති කිරීම, කර්මාන්තශාලා හා වෙනත් ව්‍යාපෘති ඇති කිරීම නීතියෙන් තහනම් කොට ඇත.

මේ අනුව යමින් කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, නැමීබියාව, හා ප්‍රංශය කළුවර ආකාශ උද්‍යාන නම් කොට ඇත. විකිපීඩියාවේ පෙන්වන මෙම කළුවර ආකාශ උද්‍යාන ලයිස්තුව පහත දැක්වේ.



මහජනයාට සංචාරය කල හැකි මෙම උද්‍යානවලට අමතරව, කළුවර ආකාශ රක්ශිත ප්‍රදේශ කිහිපයක්ද විවිධ රටවල්වලින් ස්ථාපනය කොට ඇත.

 

__________________________________________________________________________.  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

සුන්දර ස්කොට්ලන්තය - ඡායාරූප එකතුව #5



ආර්ගයිල් වන උයන, ට්‍රොසැක්ස් ජාතික වනෝද්‍යානය, දකුණු ස්කොට්ලන්තය.



13වැනි ශතවර්ෂයට අයත් උර්කුහාර්ට් මාලිගාවේ (Urquhart Castle) නටබුන්. පසුබිමින් පෙනෙන්නේ සුප්‍රකට ලොක් නෙස් (Loch Ness) විලයි. මෙම මාලිගාව හා ලොක් නෙස් විල කඳුකර ස්කොට්ලන්තයේ පිහිටා ඇත.



එක්සත් රාජධානියට අයත් විශාලතම මිරිදිය විල වන ලොක් ලොමොන්ඩ් විල ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශයේ (Scottish Highlands) පිහිටා ඇත.



ස්කොට්ලන්තයේ ස්වදේෂීය භාශාව වන ගේලික් (Gaelic) භාශාවෙන් "ලොක්" යන වචනය "විල" හෝ "ජලාශය" යන තේරුම දෙයි. මේ අනුව ස්කොට්ලන්තයේ සියලුම විල් ලොක් යන පදයෙන් පටන් ගැනේ. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ස්කොට්ලන්ත කඳුකර ප්‍රදේශවල ඇති තවත් සුන්දර විලක් වන "ලොක් ආර්කයිග්" විලයි.



ස්කොට්ලන්තයේ ෆයිෆ් ප්‍රදේශයේ පිහිටා ඇති වසර 700ක් පැරණි ස්විල්කන් ගල් පාලම. ස්කොට්ලන්ත එඬේරුන් විසින් බැටලුවන් එතර කරගැනීම සඳහා සෑදූ මෙය දැන් ස්කොට්ලන්තයේ "සෙන්ට් ඇන්ඩෲස් ලින්ක්ස්" ගොල්ෆ් පිටියේ පිහිටා ඇත. සෙන්ට් ඇන්ඩෲස් ලින්ක්ස් ගොල්ෆ් පිටිය ගොල්ෆ් ක්‍රීඩාවේ උපන් බිම ලෙස සැළකේ.  මෙහි ගොල්ෆ් ක්‍රීඩාවේ ඉතිහාසය 15වැනි ශතවර්ෂය දක්වා ඈතට දිවෙයි.



ලොක් ටමෙල්, පර්ත්ෂයර් කෝරළය, ස්කොට්ලන්තය



1179දී නිළවශයෙන් නගරයක් ලෙස පිලිගැනුනු ඇබර්ඩීන් නගරය, ස්කොට්ලන්තයේ තුන්වන ජනාකීර්ණම නගරයයි. මේ ඡායාරූපයේ පෙනෙන්නේ "Old Aberdeen" ලෙස හඳුන්වන පැරණි ඇබර්ඩීන් නගරයේ මාවතකි. පැරණි ඇබර්ඩීන් නගරය තුල පිහිටා ඇති වැදගත්ම ආයතනය වන්නේ ස්කොට්ලන්තයේ පැරණිතම විශ්වවිද්‍යාලයක් වන 1495 ආරම්භවූ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයයි.



The Dunmore Pineapple ලෙස හැඳින්වෙන අන්නාසි ගෙඩියක් හැඩැති මේ ගොඩනැගිල්ල  කරවන ලද්දේ ඩන්මෝර්හි 4වැනි අර්ල්වරයා ලෙස නිළලත් ස්කොට්ලන්ත ධනවත් රදලයෙකු වූ ජෝන් මරී විසින් 1791දී ය. මෙහි ඇති විශේෂත්වය නම් මෙම ගොඩනැගිල්ලේ එක් කොටසක "හොට් හවුස්" ලෙසින් හඳුන්වන උණුසුම් කරන ලද ප්‍රදේශයක අන්නාසි හා වෙනත් ඝර්මකලාපීය පළතුරු වැවිය හැකි ලෙස සකස්කොට තිබූ බැවිනි. එකල ඉතා දුර්ලභ පළතුරක්වූ අන්නාසි, ධනවත් බවේ මූර්තියක් ලෙස සැළකිනි.



සාන්ත කිල්ඩා දූපත්. ස්කොට්ලන්තයේ ඉතාම දුශ්කර ප්‍රදේශයක් වන මෙම දූපත් ස්කොට්ලන්තයට උතුරින් අත්ලාන්තික් සාගරයේ පිහිටුවා ඇත. 1930න් පසු මෙම දූපත්වල ස්ථිර ජනාවාස නැතත් වසර 2000කට පමණ පෙරසිට ජනාවාස තිබූ බවට සාක්ශි ඇත. නවශිලා යුගයට අයත් ගල් ආයුධ හා මැටි භාණ්ඩ හමුවී ඇත.



ටලා ජලාශය, ට්වීඩ්ස්මර්, ස්කොට්ලන්තය.



ෆොර්ත් නදිය අසබඩ පිහිටි වොලස් ස්මාරකය. මෙම ස්මාරකය ස්කොට්ලන්ත ජනයාගේ නිදහස හා ජන්ම උරුමය සැමරීම පිණිස කරනලද නිර්මාණයකි. විලියම් වොලස් නම් ස්කොට්ලන්ත විරුවා සිහිවීම සඳහා මෙයට වොලස් ස්මාරකය ලෙස නම් තබා ඇත. ස්කොට්ලන්තය ආක්‍රමණය කොට යටත්කරගෙන සිටි ඉංග්‍රීසීන්ගෙන් නිදහස්වීම සඳහා සිදුකල ස්කොට්ලන්ත නිදහස් අරගලයේ විරුවෙකු වන විලියම් වොලස්, ඇන්ඩෲ මොරේ නම් තවත් සටන්කාමියෙකු සමග එක්ව ඉංග්‍රීසි හමුදා පරදවා 1297දී ජය ලැබීය. කෙසේ වෙතත් 1305දී විලියම් වොලස් ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ නගරය අසල කල සටනකදී ඉංග්‍රීසි හමුදා වලට අසුවූ අතර එන්ගලන්තයේ පලමු එඩ්වර්ඩ් රජු, විලියම් වොලස් එල්ලා මරණ ලදී.



මධ්‍යම ස්කොට්ලන්තයේ සුන්දර විලක් වන ලොක් ලිවෙන්. මෙම විලෙහි මැද ඇති දූපතක ස්කොට්ලන්තයේ වීරවරියක් ලෙස සැලකෙන මේරී රැජින ඇයගේ සතුරන් විසින් වර්ෂ 1567දී සිරකොට තැබූ මාලිගයේ නටබුන් තවමත් දකින්නට හැකිය. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ලොක් ලිවෙන් මාලිගයයි.

ස්කොට්ලන්තයේ මේරි රැජින සිරකොට තැබූ ලොක් ලිවෙන් මාලිගය













මෙල්රෝස් රොක්ස්බර්ග්ෂයර්හි ශාන්ත මේරි ක්‍රිස්තියානි තාපසාරාමය (abbey). ගොතික් ගෘහනිර්මාණ ශෛලියට නිමවා ඇති මෙය 1136දී පිහිටුවන ලද්දකි. ස්කොට්ලන්තයේ දෙවන ඇලෙක්සැන්ඩර් රජු හා වෙනත් රජවරුන් හා ප්‍රභූවරුන්ගේ දේහ මෙහි මිහිදන් කොට තිබේ.




ඈත උතුරු ස්කොට්ලන්තයේ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටා ඇති ඩන්කන්ස්බි ස්ටැක්ස් ලෙස හඳුන්වන ස්වභාවික ගල් කඳු.




කඳුකර ස්කොට්ලන්තයේ ඇපල්ක්‍රොස් කෝරළයේ සුන්දර ප්‍රදේශයක ගැමි නිවසක්




ෆයිව් සිස්ටර්ස් ඔෆ් කින්ටේල් හෙවත් කින්ටේල්හි සොයුරියන් පස්දෙනා ලෙස හඳුන්වන කඳු මුදුන් පහ කඳුකර ස්කොට්ලන්තයේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකි.




ශාන්ත ඇන්ඩෲ ආසන දෙව්මැදුර, ස්කොට්ලන්තයේ, ෆයිෆ් කෝරළයේ ඇති රෝමානු කතෝලික දෙව්මැදුරකි. මෙය 1158 පිහිටුවන ලද අතර මෙය මධ්‍යතන යුගයේ (Medieval Period) ස්කොට්ලන්ත කතෝලික ධර්මයේ මූලස්ථානයක් විය. ශාන්ත ඇන්ඩෲ මුනිතුමාගේ සිරුරේ අස්ථි කොටස් මෙම දෙව්මැදුරේ නිදන්කොට ඇතිබව පුරාවෘත්තවල සඳහන්වේ. 16වැනි ශතවර්ශයේ සිදුවූ කොට්ලන්තයේ ආගමික ප්‍රතිශෝධනයෙන් (Scottish Reformation) පසුව ස්කොට්ලන්තය පාප් වහන්සේගේ පාලනයේ ඇති රෝමානු කතෝලික ශාසනයෙන් ඉවත්ව ප්‍රෙස්බිටේරියන් ක්‍රිස්තියානි සසුන පිහිටුවා ගැනීමෙන් පසුව ගරාවැටී නටබුන් විය.




කඳුකර ස්කොට්ලන්තයේ අයිලීන් ඩොනන් පෞරාණික මාලිගාව. 13 වැනි ශතවර්ශයේ පිහිටුවන ලද මෙය ස්කොට්ලන්තයේ ප්‍රභූ වංශ දෙකක් වන මැකෙන්සී වංශය හා ඔවුන්ගේ මිත්‍ර මැක්‍රේ වංශයේ බළකොටුවක් විය. මෙය පිහිටුවා ඇති කින්ලි නම් ප්‍රදේශය ස්කොට්ලන්තයේ ඉතාම සුන්දර ප්‍රදේශයකි.




සන්ඩර්ලන්ඩ්හි ඩන්රොබින් මාළිගය. සන්ඩර්ලන්ඩ් කෝරළයේ ප්‍රභූවරයා වන අර්ල් ඔෆ් සන්ඩර්ලන්ඩ් වාසය කරන මාළිගාව වන මෙය 1845දී ඉදිකිරීම් අවසන් කරන ලද මාළිගයකි. කෙසේ වෙතත් මෙම භූමියේම ප්‍රභූ පවුල්වල නිවාස හා මාලිගා 12වැනි ශතවර්ශයේ සිටම පැවතුනු අතර ඒවායේ නටඹුන් මත මෙම මාළිගාව නිමවා ඇත.




ස්කොට්ලන්තයේ පර්ත්ෂයර් දිස්ත්‍රික්කයේ ඩ්‍රමන්ඩ් මාළිගයේ මල් උයන.












ඩ්‍රමන්ඩ් මාළිගයේ ගුවන් ඡායාරූපයක්





ගැළොවේ වන උද්‍යානයේ (Galloway Forest Park) රාත්‍රී කාළයේ ඡායාරූපයක්. මෙම වන උද්‍යානය ආලෝක දුෂණය අවම, එනම් කෘත්‍රිම ආලෝකයෙන් තොර "ඩාක් ස්කයි" හෙවත් "අඳුරු රාත්‍රී" නම් අන්තර්ජාතික ව්‍යාපෘතියට අයත්වේ. මෙහි අරමුණ, කෘත්‍රිම ආලෝකයෙන් රාත්‍රිය ආලෝකමත් වීම නිසා අපට නොපෙනෙන රාත්‍රී අහසේ සුන්දරත්වය විඳීමට අවස්ථාව ජනතාවට ලබාදීමයි. මෙම වනෝද්‍යානය තුල ස්කොට්ලන්ත ආකාශවස්තු දුරේක්ශයක්ද පිහිටුවා ඇත.






සාන්ත කිල්ඩා දූපත, උතුරු ස්කොට්ලන්තය. මෙම දූපත ලෝක උරුම ප්‍රදේශයක් වන අතර ඉපැරණි මානව ජනාවාසවල නටඹුන් දකින්නට හැකිය.



__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Friday, 27 May 2016

ඇමරිකන් විශේෂ බළකාවලට ලඟදීම ලැබෙන Stealth Bikes

SilentHawk Special Forces Stealth Bike
SilentHawk  හා  Nightmare යනු ලඟදීම අමෙරිකානු විශේෂ බළකාවෙත අනුයුක්ත කිරීමට නියමිත ස්ටෙල්ත් බයික් නමින් හඳුන්වන නිහඬව ක්‍රියාත්මකවිය හැකි ට්‍රේල් බයික් ගණයේ මෝටර් සයිකල් මාදිලි දෙකකි. සතුරු ප්‍රදේශවලදී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මකවන  මේවා ඉතාමත් නිහඬව විශේෂ බළකා සෙබලුන්ට සිය ඉලක්කවෙත ලඟාවීමට ඉඩ සලසයි.

මෙහෙයුම් ප්‍රදේශවලින් ඈත පෙදෙස්වල ධාවනයේදී මේවාට ඩීසල්, පෙට්‍රෝල්, ජෙට් යානාවලට යොදාගන්නා පැරෆින් තෙල් පමණක් නොව ඉහුම් පිහුම් වලට යොදාගන්න සෝයා තෙල් හෝ එළවලු තෙල් ආදියෙන් වුවද ධාවනය කල හැකි ලෙස එන්ජිම නිමවා ඇත. ඒ අනුව යුධබිමකදී හෝ සතුරු අඩවියක්දී සොයා ගත හැකි ඕනෑම තෙල්වර්ගයක් යොදාගෙන ධාවනය කිරීමට හැකිවේ.

අතිනවීන hybrid multi-fuel හැකියාව ඇති බහු-ඉන්ධන, හයිබ්‍රිඩ් එන්ජින් තාක්ශණයෙන් නිමවා ඇති මෙම මෝටර්සයිකල් එන්ජින් ධාවනයේදී බැටරිය චාර්ජ් වන නිසා බැටරි බැසයාමේ අවදානම ඉතා අඩුවේ.

Nightmare Special Forces Stealth Bike
බැටරි බලයෙන් කිලෝමීටර් 80ක් ධාවනය කල හැකි මෙම මෝටර්සයිකල් වලට මාර්ග නොමැති ඉතා දුශ්කර ලඳුකැලෑ වල වුවද පැයට කිලෝමීටර් 88ක දළ වේගයකින් ධාවනය කල හැකිය. එමන්ම මෙම මෝටර්බයික්වල හයිබ්‍රිඩ් එන්ජිම ගලවා ඉවත්කොට තනිකරම බැටරියෙන් පමණක් ධාවනය කල හැකි ලෙස සකසා ඇති. එහි වාසිය වන්නේ එන්ජිම බර අඩුවන නිසා අමතර බඩුබාහිරාදිය හෝ අවිආයුධ ගෙනයා හැකි වීමයි.

එපමණක් නොව මෙම මෝටර්සයිකල් වල බැටරියෙන් සන්නිවේදන උපකරණ බලගැන්විය හැකිලෙස බලය පිටතට ලබාගැනීමේ පහසුකම් සකසා ඇත.
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .

  GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

මාවනැල්ලේ කීඩාරම් මල [photos]



 
 

 කීඩාරම් මල ලෙස හඳුන්වන මලක් මාවනැල්ල ප්‍රදේශයේ පිපී ඇති බවට හිරු නිවුස් වාර්තා කරනවා. මෙම මල අධික දුර්ගන්ධයක් පිට කරන, මීමැස්සන් වෙනුවට නිලමැස්සන් ආකර්ශණය කරගන්නා මලක් බව පැවසෙනවා.

Carrion flowers නැතිනම් corpse flowers ගණයට අයත්වන මෙම මල් වර්ගය පරාගණය වන්නේ මැස්සන් ආධාරයෙන් හා කුණුවන මස් සුවඳට ඇදෙන වෙනත් කෘමීන් ගෙන. අග්ණිදිග ආසියාවේ වැවෙන රැෆ්ලෙසියා මලද මෙවැනිම මල් වර්ගයක්. ලොව විශාලම මල වන්නේද රැෆ්ලේසියා මලයි.
 __________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Monday, 23 May 2016

සුන්දර ඔස්ට්‍රේලියාව - ඡායාරූප එකතුව #4




වයින්ග්ලාස් බේ, ෆ්‍රේසින්ට් ජාතික වනෝද්‍යානය, ටැස්මේනියාව, ඔස්ට්‍රේලියාව.



ඇඩ්මිරල්ස් ආර්ච් ස්වභාවික ආරුක්කුව, කැනගරු දූපත, ෆ්ලින්ඩර්ස් චේස් ජාතික වනෝද්‍යානය, දකුණු ඔස්ට්‍රේලියාව.




ටැස්මේනියාවේ සරත් සෘතුවේදී ගස් කොලන් කහපැහැ ගැන්වී ඇති ආකාරය, ටැස්මේනියා දූපත, ඔස්ට්‍රේලියාව.



පියාඹිය නොහැකි ඊමූ පක්ෂීන්, බටහිර ඔස්ට්‍රේලියාව. ඊමූ ඔස්ට්‍රේලියාවට ආවේණික වන අතර උසින් ගත්කල ලොව දෙවන විශාලතම පක්ෂියාවේ.



සරත් සෘතුවේ වර්ණවත්වී ඇති ගහකොළ, මැසිඩොන් රේන්ජස් ප්‍රදේශය, වික්ටෝරියා ප්‍රාන්තය, ඔස්ට්‍රේලියාව.



බීච්වර්ත් දොරුව (Beechworth Gorge), බීච්වර්ත් ඓතිහාසික උද්‍යානය, වික්ටෝරියා ප්‍රාන්තය, ඔස්ට්‍රේලියාව



බ්ලූ මවුන්ටන්ස් කඳුවැටිය, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය, ඔස්ට්‍රේලියාව




ෆ්‍රේසර් දූපත ලොව විශාලතම වැලි දූපතයි (sand island). කිලෝමීටර් 120ක වටප්‍රමාණයෙන් යුතු මෙය ක්වීන්ස්ලන්තයේ ජනප්‍රිය නිවාඩු නිකේතනයකි. නැගෙනහිර ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් පිහිටා ඇත.




කැස්බෑවුන් සමග සෙල්ෆියක් ගන්නා කිමිදුම්කරුවෙක්, මහා භාධක කොරල් පරය, ක්වීන්ස්ලන්තය, ඔස්ට්‍රේලියාව.




මරී ගංගා ප්‍රදේශය (Murry River Region), වික්ටෝරියා, ඔස්ට්‍රේලියාව




ෆ්‍රිල් නෙක් ලිසර්ඩ් නැතහොත් ෆ්‍රිල්ඩ් ඩ්‍රැගන් ලෙස හඳුන්වන තලගොයි (iguania) වර්ගයට  අයත් උරගයා. බියපත්වූ විට කරවටා ෆ්‍රිල් එකක් ලෙස පෙනන කොටස විදහා දක්වන්නේ සතුරන් බිය ගැන්වීමටය. අඩි 2ක් 2.5ක් දිගට වැඩේ. උතුරු ක්වීන්ස්ලන්තය, ඔස්ට්‍රේලියාව.



රතු කැන්ගරුවන්, බටහිර ඔස්ට්‍රේලියාව




දකුණු ඔස්ට්‍රේලියාවේ, බැරෝසා දිස්ත්‍රික්කයේ, සෙපෙල්ට්ස්ෆීල්ඩ් ප්‍රදේශය ඔස්ට්‍රේලියාවේ හොඳම මිදි වැවෙන ප්‍රදේශය ලෙස ප්‍රසිද්ධය. මෙහි වතු අතරින් දිවෙන, රටඉඳිගස් වැවූ මාවත් සංචාරකයින්ගේ සිත් දිනාගනී.




ක්වීන්ස්ලන්තයේ සන්ෂයින් කෝස්ට් ප්‍රදේශයේ රාත්‍රී අහස.



විට්සන්ඩේ දූපත් ලෙස හැඳින්වෙන මෙම වැළිපර ක්වීන්ස්ලන්තයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් දකින්නට ලැබේ. මෙම වැළිපර වලින් එපිට ලෝකප්‍රකට මහා භාධක කොරල් පරය පිහිටා ඇත.




ගිබ් නදිය, බටහිර ඔස්ට්‍රේලියාවේ ජනශූන්‍ය ප්‍රදේශ හරහා ගලාබසින ගංගාවකි.





ට්වයිලයිට් බීච් වෙරළතීරය, එස්පෙරන්ස්, බටහිර ඔස්ට්‍රේලියාව
























........................හම්ප් බැක් තල්මසුන්, හර්වී බේ, ටැස්මේනියාව









_____________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
Related Posts Plugin for WordPress, Blogger...