Related Posts Plugin for WordPress, Blogger...

Friday, 30 December 2016

GoPro ඇක්ෂන් කැමරා ඡායාරූප







__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 29 December 2016

Can we build a Death Star? | ස්ටාර් වෝස් චිත්‍රපටවල එන මාරක Death Star අවියක් හදන්න පුලුවන්ද?


දැන් තිරගතවන Rogue One: A Star Wars Story චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙන්නේ ඩෙත් ස්ටාර් කියන සුපිරි අවියේ නිර්මාණය හා එය විනාශ කිරීමට හැකිවන ලෙස එහි සැළසුම් සූක්ෂ්මලෙස සොරා ගැනීමේ වෑයමක්. 

ඩෙත් ස්ටාර් අවිය ග්‍රහලෝකයක් පුපුරුවා දැමීමට තරම් ප්‍රභල දැවැන්ත අභ්‍යවකාශගත අවියක්. එය, ස්ටාර් වෝස් චිත්‍රපටවල දැක්වෙන ආකාරයට ඈත අතීතයේ, ඉතා ඈතින් පිහිටි චක්‍රවාටයක (Long time ago, in a galaxy far far away...) බලය පතුරුවාගෙන නිර්දය ලෙස එම චක්‍රවාටය පාලනය කරන කුරිරු අධිරාජ්‍යයක බලපරාක්‍රමය වැඩි කරන තවත් එක් නිර්මාණයක්. 

සියලුම ස්ටාර් වෝස් කථා තුලින් දිවෙන සම්බන්ධක හූය (connecting thread) වන්නේ මෙම කුරුරු අධිරාජ්‍යයට විරුද්ධව සටන්වදින නිර්භීත කැරලිකරුවන්ගේ ක්‍රියාදාමයන්.

Death Star අවියේ නිර්මාණ පසුබිම හා එහි ප්‍රහාරක හැකියාවන්





























චක්‍රවාට අධිරාජ්‍යයේ (Galactic Empire) පාළකයින් විසින් DS-1 Orbital Battle Station හඳුන්වන ඩෙත් ස්ටාර් අවිය කිලෝමීටර් 160ක විෂ්කම්භයක් ඇති දැවැන්ත අභ්‍යවකාශ ආයුධයක්. එය බලගැන්වෙන්නේ "Hyper-matter reactor" නමින් හඳුන්වන න්‍යෂ්ඨික විලයන බලාගාරයකින්. චක්‍රවාට අධිරාජ්‍යයේ සුපිරි " Imperial-class Star Destroyer" අභ්‍යවකාශ යානා බලගැන්වෙන්නේද මෙම හයිපර්-මැටර් රියැක්ටර් එන්ජින් මගින්මයි. මෙහි ප්‍රධාන අවිය වන්නේ සුපිරි ලේසර් කිරණ විදිනයක්. 
TIE Star Fighter
සුපිරි අවියක් මෙන්ම අතිවිශාල අභ්‍යවකාශ යුධ කඳවුරක්ද වන මෙය තුල යුධ භටයින් 400,000කට පමණ නවාතැන් දිය හැකි අතර එහි ආරක්ෂාව හා ප්‍රහාරක මෙහෙයුම් සඳහා අධිවේගී TIE Star Fighter (TIE = Twin Ion Engine) නම් කුඩා ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක්ද රඳවා තබාගත හැකියි. එමෙන්ම මෙහි ආරක්ෂාව සඳහා විශාල ලේසර් කාළතුවක්කු (heavy laser cannon) 15,000ක්ද සවිකොට තිබෙනවා. 

ඩෙත් ස්ටාර් අවියේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු සඳහා 1,800,000 අතිවිශාල සේවක-සේවිකාවන් පිරිසක්ද අවශ්‍යවන අතර (යුධ භටයින් 400,000 අමතරව) මොවුන් සඳහා ස්ථිර වාසස්ථාන, ආහාර පාණ, සෞඛ්‍ය සේවා මෙන්ම පිරිසිදු වාතාශ්‍රය ලබාදීමේ ක්‍රමවේදයන්ද මෙහි ඇතුලත්කොට තිබෙනවා.

එමෙන්ම මෙම යෝධ අවිය චක්‍රවාටයේ ඕනෑම තැනකට ආලෝකයේ වේගයෙන් ගෙනයාහැකි හැකි හයිපර්-ඩ්‍රයිව් තාක්ෂණය අඩංගු එන්ජින් පද්ධතියක්ද සවිකොට තිබෙනවා. 

ඩෙත් ස්ටාර් අවියේ නිර්මාණ පසුබිම වන්නේ "Tarkin Initiative" නමින් හැඳින්වෙන රහසිගත ව්‍යාපෘතියක්. එහි නිර්මාතෲවරයා වන්නේ චක්‍රවාට අධිරාජ්‍යයේ අද්මිරාල්වරයෙකු වන විල්හෆ් ටාර්කින්. අධිරාජ්‍යයේ බලය පැතිරවීමට සුපිරි අවි නිර්මාණය මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පැවසෙනවා. ඩෙත් ස්ටාර් අවිය නිර්මාණය හා නිෂ්පාදනය භාරව තිබෙන "Advanced Weapons Research Division" ආයතනයේ නියාමකවරයා ලෙස සිටින්නේද අද්මිරාල් විල්හෆ් ටාර්කින් වන අතර ඕර්සෝන් ක්‍රෙනික් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයා වනවා.

ඩෙත් ස්ටාර් අවියේ ප්‍රධාන ලේසර් කිරණ ප්‍රහාරකයේ නිර්මාණකරුවා වන්නේ ගේලන් අර්සෝ නම්වූ අති දක්ෂ විද්‍යාඥයෙක්. කලක් චක්‍රවාට අධිරාජ්‍යයේ ප්‍රධාන විද්‍යාඥයෙකු වූ ඔහු, අධිරාජ්‍යයේ කුරිරු ක්‍රියාකාරකම් ගැන කළකිරී සිය බිරිය ලයිරා හා කුඩා දියණිය (ජින්) සමග ලාමූ නැමති ජනශූන්‍ය ග්‍රහලෝකයකට පලාගොස් එහි සැඟව සිටියත්, ඩෙත් ස්ටාර් ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක හා කලක් ගේලන්ගේ මිතුරෙකු වූ කමාන්ඩර් ඕසොන් ක්‍රෙනික් ඔහු සොයාගෙන නැවත බලහත්කාරයෙන් ඩෙත් ස්ටාර් ව්‍යාපෘතිය සඳහා රැගෙන යනවා. මෙහිදී ඇතිවන ගැටුමේදී ඔහුගේ බිරිඳ ලයිරා මිය යන අතර කුඩා දියණිය ජින් තනිවෙනවා. 

Rouge One: A Star Wars Story චිත්‍රපටයේ කතානායිකාව වන්නේ ගේලන් අර්සෝගේ දියණිය ජින් අර්සෝය. ජින්, සිය පියාගෙන ලැබුණු පණිවුඩයකට අනුව ඩෙත් ස්ටාර් අවිය විනාශකල හැකි ක්‍රමවේදයක් සොයාගත හැකි එහි සැළසුම් සොරගැනීමේ වික්‍රමය රෝග් වන් චිත්‍රපටයෙන් පිලිඹිඹු කරනවා.

Death Star එකක් ඇත්තටම හදන්න පුලුවන්ද?

මෑතකදී සිදුකල ගණනය කිරීමකට අනුව ඩෙත් ස්ටාර් අවියක් තැනීමට අවශ්‍ය වානේ වලට පමණක් ඩොලර් 852,000,000,000,000,000ක ඇස්තමේන්තුවක් ලබාදී තිබෙනවා. ඒ වර්තමාන මිළගණන් අනුවයි. එමන්ම වර්තමාන ලෝක වානේ නිෂ්පාදන ධාරිතාවයට අනුව ඩෙත් ස්ටාර් අවියක් නිමැවීමට අවශ්‍ය වානේ සපයා ගැනීමට අවුරුදු 833,315ක් ගතවනවා. කෙසේ වෙතත් ඩෙත් ස්ටාර් අවියක් තනන්නට හැකි තාරකා සංචරණයට හැකියාව ඇති සුපිරි ශිෂ්ඨාචාරයකට මෙම ඉලක්කම් විශාල අභියෝගයක් නොවනු ඇතැයි පැවසෙනවා.

එමන්ම මෙවැනි අවියක් ක්‍රියාත්මකවීම සඳහා බලය ලබාදිය හැකි සුපිරි බල ප්‍රභවයන්ද අවශ්‍යයි. ඩෙත් ස්ටාර් අවිය බලගැන්වෙන්නේ ප්‍රබන්ධමය හයිපර් මැටර් රියැක්ටර් නම් න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරකයකින්. 

මිනිසා තවමත් ප්‍රායෝගිකව බලය ලබාදිය හැකි න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරකයක් නිපදවා නැතත් ඒ දිනය වැඩි ඈතක නොවන බව මෑතකදී න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරක පර්යේෂණ වලින් ලැබූ ජයග්‍රහණ පිලිබඳ වාර්තාවලින් පෙනෙනවා.

Death Star වැනි සුපිරි සිනමා අවි අමෙරිකානු හමුදා හා බුද්ධි අංශ අධ්‍යයනය කරන බව ඔබ දන්නවාද?

ඩෙත් ස්ටාර් යනු ජෝර්ජ් ලූකස් යන සුපිරි සිනමාකරුවාගේ මනෝමයේ හටගත්, අපට වඩා වසර දහස්ගණනක් ඉදිරියට දියුණු තාක්ෂණයක් ඇති, චක්‍රවාටයක් පුරා පැතිර තිබෙන ශිෂ්ඨාචාරයක නිර්මාණයක් වුවත්, එය සැබැවින්ම කල හැකිද, නොහැකිද යන්න පිලිබඳව විවිධ වාද විවාද පවතිනවා. 

හොලිවුඩය අමෙරිකානු හා වෙනත් බටහිර රටවල යුධ තාක්ෂණය හා අනාගත අවි පිලිබඳ කල්පිත සිය ප්‍රබන්ධ නිර්මාණය සඳහා යොදාගන්නවා මෙන්ම, අමෙරිකානු මෙන්ම වෙනත් දියුණු බටහිර ජාතීන් හොලිවුඩ් නිර්මාණ හා වෙනත් ප්‍රබන්ධ නිර්මාණ කරුවන්ගේ කල්පිතයන් සිය සැළසුම් වලට යොදාගන්නා බව ප්‍රසිද්ධ රහසක්. මේ කණ්ඩායම් දෙකම අන්‍යෝන‍ය ලෙස අදහස් පෝෂණය සිදුකරගන්නවා.

උදාහරණයක් ලෙස 2013 දී එලිදැක්වුනු සොම්බී වෛරස් ආසාදනයක් නිසා ලොව පුරා පැතිරුණ ව්‍යසනයක් පිලිබඳ කථාවස්තුවක් රැගත් World War Z චිත්‍රපටය, ලෝක ව්‍යාප්ත ආසාදනයක් පැතිරෙන ආකාරය හා එය පාලනය කිරීම සඳහා සහනසේවා හා ආරක්ෂක සේවාවන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා පාදක කරගත් බව පැවසුවොත් ඔබ පුදුම වන්නට පුලුවන්.

මේ අඩිපාරේ යමින් අදවන විටත් අමෙරිකානු යුධ සැළසුම්කරුවන් හා යුධමය කල්පිත නිර්මාණය කරන බුද්ධි මණ්ඩල, ඩෙත් ස්ටාර් වැනි සුපිරි අවි වල ශක්‍යතාවය පිලිබඳ විවිධ පර්යේෂණ සිදුකොට තිබෙනවා. 

ඔවුන්ගේ අවධානයට බඳුන්වන තවත් වැදගත් කරුණක් වන්නේ ඩෙත් ස්ටාර් සුපිරි අවියේ විනාශය. 1977දී තිරගත්වුනු පලමු ස්ටාර් වෝස් චිත්‍රපටයේ පිලිඹිමු කරන ඩෙත් ස්ටාර් අවියේ විනාශය සිදුකරන්නේ "ලූක් සකයි-වෝකර්" නම් තරුණ ප්‍රහාරක යානා නියමුවෙක් වික්‍රමාන්විත මෙහෙයුමක්. ඩෙත් ස්ටාර් අවියේ දුර්වලම ස්ථානය පිලිබඳ තොරතුරු සොයාගන්න ඔවුන් එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉන් සුපිරි ඩෙත් ස්ටාර් අවිය පුපුරා විනාශ වනවා. (රෝග් වන් චිත්‍රපටයෙන් පෙන්වන්නේ එම සැලසුම් ලැබෙන ආකාරයයි - එනම් 1977දී තිරගතවූ Star Wars: A New Hope චිත්‍රපටයේ පසුබිම් කතාවයි )


මෙහිදී පර්යේෂකයින්ගේ අවධානය යොමුව තිබෙන්නේ දැවැන්ත අවිආයුධ හා යුධ කඳවුරු විනාශ කිරීමට කුඩා ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ඇති හැකියාව හා එම තර්ජනයන් අවමකරගත හැකි ක්‍රමවේදයන් පිලිබඳවයි. ලොව පුරා ඇති අමෙරිකානු යුධ කඳවුරු මෙන්ම මහමුහුදේ ගමන් කරන පාවෙන ගුවන් කඳවුරු වැනි ගුවන්යානා ගෙනයන නෞකා ආරක්ෂාකර ගැනීම මෙම අධ්‍යයන වලින් ඔවුන් බලාපොරොත්තු වනවා.


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ඕලන්ද කෞතුකාගාරය


ශ්‍රී ලංකාවේ ඕලන්ද යටත් විජිත අවදිය පිළිබඳව (1658 - 1796) ගවේෂණය කරන්නෙකුට කොළඹ පිටකොටුවේ, කුමාර වීදියේ පිහිටුවා ඇති ඕලන්ද කෞතුකාගාරය කදිම පර්යේෂණාගාරයකි.

17 වැනි සියවසේ අග භාගයේ (1692 - 1696) ඕලන්ද ආණ්‌ඩුකාර තෝමස්‌ වෑන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සිය නිල කාලය අවසන් වීමත් සමඟ ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (V.O.C සමාගම) වෙත විකුණන ලදුව සමාගම විසින් අනත්දරු නිවාසයක්‌ හා දෙව්සත්හලක්‌ ලෙස ලංකාවේ ඕලන්ද පාලන කාල පරිච්ඡේදය අවසානය තෙක්‌ම (1796 දක්‌වා) පවත්වා ගෙන ගොස්‌ ඇත. අනතුරුව බ්‍රිතාන්‍යය පාලන සමයේදී මෙම ගොඩනැඟිල්ල හමුදා රෝහලක්‌, යුධායුධ ගබඩාවක්‌, පොලිස්‌ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ද අවසානයේ පිටකොටුවේ තැපැල් කාර්යාලය හා විදුලි සන්දේශ මධ්‍යස්‌ථානයේ කොටසක්‌ ලෙස ද මෙම ගොඩනැඟිල්ල පවත්වාගෙන ගොස්‌ තිබේ. පසුකාලීනව මෙම ගොඩනැඟිල්ලේ කෞතුක වටිනාකම සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් අතර 1982 ජුලි 10 වැනි දින සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ "යුග කෞතුකාගාරයක්‌" වශයෙන් හා එළිමහන් කෞතුකාගාරයක්‌ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.

ඕලන්ද ගෘහ නිර්මාණ ලක්‍ෂණ කදිමට පෙන්නුම් කෙරෙන කොළඹ නගරයේ දැනට ඉතිරිව ඇති පැරැණිතම දෙමහල් ගොඩනැඟිල්ල ලෙස සැලකෙන මෙම කෞතුකාගාර ගොඩනැඟිල්ල අගනා කෞතුක වස්‌තුවකි. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ අනිවාර්යය අංග ලක්‍ෂණ වන ළිඳ සහිත විශාල මැද මිදුල, දැව සොල්දරය, විශාල දොර උළුවහු, අඩි 3 1/2 පමණ පළල බිත්ති, විශාල ඉස්‌තෝප්පු සහ අඩ රවුම් උළු සෙවිළි කළ දැඩි හැඩ සහිත වහළය යන ලක්‍ෂණ වලින් මෙම ගොඩනැඟිල්ල සමන්විත වේ. පුළුල් බිත්ති සහ දොර ජනෙල් ස්‌ථානගත කර ඇති ආකාරය හේතුවෙන් පිටත අධික ශබ්දය ගොඩනැඟිල්ල තුළට නොදැනෙන අතර දැඩි නිහඬ බවක්‌ ඇතුළත ර¹ පවතී.

ඕලන්ද කෞතුකාගාරයේ මැද මිදුල හා ලිඳ එකල ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයේ අනන්‍ය ලක්ෂණයකි
ඕලන්ද කෞතුකාගාරයේ ඇතුළත සැකැස්‌ම පිළිබඳව සලකා බැලීමේදී මහල් දෙකකින් සමන්විත වේ. ඉහළ සහ පහළ මහලයේ, මැදිරි සංකීර්ණ ගණනාවක්‌ දැකිය හැකිය. පහළ මාලයේ ප්‍රවිෂ්ට ස්‌ථානයේ ඕලන්ද ජාතිකයන් ලංකාව සමඟ සබඳතා ගොඩනගා ගත් ආකාරය දැක්‌වෙන සිතුවම් රැසකින් සමන්විත වේ. ඒ අතර ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඕලන්ද රාජ්‍ය නියෝජිතයා වූ අද්මිරාල් ජෝරිස්‌ වෑන් ස්‌පිල් බර්ජන් එවකට කන්ද උඩරට රජු වූ ෂ විමලධර්මසූරිය රජු මුණ ගැසීම, පෘතුගීසීන්ගෙන් කොළඹ කොටුව මුදා ගැනීමට නායකත්වය සැපයූ ජෙරාඩ් හල්ෆ් කන්ද උඩරට රජු මුණගැසීම යනාදී සිතුවම් වැදගත් වේ.

ලන්දේසි හමුදාව (ලස්කිරිඤ්ඤ හමුදාව) භාවිත කළ අවි ආයුධ මැදිරිය පහළ මාලයේ වැදගත්ම මැදිරියක්‌ වේ. ලන්දේසි යුගයේ භාවිත කළ කාලතුවක්‌කු සහ කඩු කස්‌තාන සහ සෙසු අවි ආයුධ මෙම යුගයේ භාවිත කළ ආයුධ අතර ප්‍රධාන වේ. මෙම අවි ආයුධ මගින් ඔවුන් සතුව පැවැති යුද ශක්‌තිය සහ එහි තාක්‍ෂණය හඳුනාගත හැකිය.

ලන්දේසීන් පෙරදිග රටවල් යටත් කර ගැනීමේ ප්‍රධාන අභිලාශය වූයේ වෙළෙඳ ඒකාධිකාරය ඔවුන් සතු කර ගැනීමයි. එහිදී ඔවුන් සතුව පැවැති නාවුක ශක්‌තිය ප්‍රබල සාධකයක්‌ වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි යාන්ත්‍රික නැව් නොතිබුණු 17 - 18 වැනි සියවස්‌වල ඔවුහු දියුණු රුවල් නැව් උපයෝගී කර ගෙන සාමුද්‍රික කටයුතුවල යෙදුණාහ. ඕලන්ද කෞතුකාගාරයේ පහළ මහළයේ ප්‍රදර්ශනයට තබා ඇති ඕලන්ද රුවල් නැවක ආකෘතිය මගින් එකල ඔවුන් භාවිත කළ රුවල් නැව් පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත හැකි වේ. එපමණක්‌ නොව ඕලන්දක්‌කාරයන් එකල භාවිත කළ නාවුක ගමන් මාර්ග සහ ඒ ඔස්‌සේ යුරෝපයට රැගෙන ගිය වෙළෙඳ ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට හැකි වේ.

ඉතිහාස යුගයන් පිළිබඳව ගවේෂණයේදී වැදගත් අධ්‍යන විෂයකි ආර්ථික ක්‍රියාකාරීත්වය. ලන්දේසි යුගයේ ආර්ථික කටයුතු ගවේෂණය කරන්නෙකුට ඕලන්ද කෞතුකාගාරය විශ්වසනීය මූලාශ්‍රයකි. එහි කාසි සහ මුදල් මැදිරිය එකල අර්ථ ක්‍රමය පිළිබඳව මෙන්ම වර්තමාන ලාංකිකයන් වහරන වදන් රැසක නිශ්චිත අදහස්‌ ද නිරවුල් කරගත හැකිය. එනම් වර්තමානයේ පවා ලාංකිකයන් මුදල් නැති බව ඇඟවීම සඳහා භාවිත කරන වචන වන "තුට්‌ටුවක්‌වත් නෑ", "තඹ දොයිතුවක්‌වත් නෑ" වැනි වචන අපේ ජන වහරට පිවිසෙන්නට ඇත්තේ ලන්දේසි යුගයෙන් පසුව විය හැකිය. මන්දයත් ලන්දේසි යුගයේ භාවිත කළ කාසි අතර පණම්, තුට්‌ටු දෙක, ඕලන්ද තඹ දොයිතු කාසි, අගුටු මස්‌ස. නාගපට්‌ටම් වැනි කාසි ඇතුළත් වූ බැවිනි. ඕලන්ද කෞතුකාගාරයේ කාසි හා මුදල් මැදිරිය එම යුගය අධ්‍යනය කරන්නෙකුට මඟහැර යා නොහැකි අධ්‍යයන වැඩ බිමකි.

ශ්‍රී ලංකාවේ ඕලන්ද පාලන යුගයේ උඩරට රාජධානියේ පැවැති සංස්‌කෘතිය හා කලා ශිල්ප පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගත හැකි පරිදි රිදියෙන් හා පබළුවලින් නිර්මිත ආභරණ ආදී කලා භාණ්‌ඩ රැසක්‌ ද ජාතික ඇඳුමින් සැරසුනු ඕලන්ද ජාතිකයන් යුවළකගේ අනුරුවක්‌ මගින් ලන්දේසීන් එකල භාවිත කළ ඇඳුම් ආයිත්තම් පිළිබඳව ද මනා අවබෝධයක්‌ ලබා ගත හැකිය. එසේම වර්තමාන ලාංකික ඇඳුම් විලාසිතා කෙරෙහි ඕලන්ද ඇඳුම් ආයිත්තම් කෙතරම් බලපා ඇද්දැයි ගවේෂණය කරන්නෙකුට යටත් විජිත ව්‍යාපෘතියේ ප්‍රබලත්වය හා එහි සංස්‌කෘතික ආධිපත්‍යය පිළිබඳව අවබෝධයක්‌ ලබාගත හැකි වේ.

ලන්දේසි යුගයේ යුද කටයුතු සඳහා උපයෝගී කර ගත් තුවක්‌කු,කලාකිරිඤ්ඤා, කිරිච්චි ආදී උපකරණ, එකල පාරිහාරික භාණ්‌ඩ වන ගිරය, දුම් පයිප්පය, දුම්කුඩු කිල්ලෝට, අලංකාර මෝස්‌තරවලින් යුත් V.O.C පිඟන්, වයින් වීදුරු, මුළුතැන්ගෙයි උපකරණ වැනි එම යුගය නිරූපිත කෞතුක භාණ්‌ඩ රැසකින් සමන්විත වීම හේතුවෙන් ඕලන්ද කෞතුකාගාරයේ අධ්‍යාපනික වැදගත්කම වැඩි වේ.

මහල් දෙකකින් සමන්විත ඕලන්ද කෞතුකාගාරයේ ඉහළ මහළ ප්‍රදර්ශන මැදිරි කිහිපයකින් සමන්විත වේ. ඒ අතර විශාලම සහ වැදගත්ම මැදිරිය ලෙස ලන්දේසි යුගයේ ගෘහ භාණ්‌ඩ ඒකරාශී කර ඇති මැදිරි හැඳින්විය හැකිය. වර්තමාන ලාංකිකයන්ගේ නිවෙස්‌වල ආලින්ද සරසන "කවිච්චිය" ලන්දේසි යුගයෙන් අපට ලැබුණක්‌ බව බොහෝ විට ඔබ නොදන්නවා ඇති. විවිධ හැඩ රටාවන් අනුව, විවිධ කැටයම් අලංකාර සහිතව නිර්මාණය කර ඇති "කවිච්චි" කිහිපයක්‌ ඕලන්ද කෞතුකාගාරයේ ඉහළ මහලේ ප්‍රදර්ශනයට තබා තිබේ. මේ සෑම කවිච්චියකම ඇඳි පුටුවකම මැදට වන්නට හෝ ඇන්දට යටින් පිහිටි ප්‍රදේශයේ හෝ දැකිය හැකි පොදු සංකේතයක්‌ වේ. එනම් සිප්පිකටු කිහිපයක්‌ කවාකාරව තැබූ කල දැකිය හැකි ආකාරයේ සංකේතයකි. වර්තමාන අපේ ගෘහභාණ්‌ඩ සරසන නයිපෙන ලාංඡනය ආදේශ වන්නට ඇත්තේ ලන්දේසි ජාතිකයන් යෙදූ මෙම සිප්පිකටු ලාංඡනයට වියහැකි බව ඕලන්ද කෞතුකාගාරයේ අධිකාරිවරයාගේ අදහසයි.

ඒ සඳහා වඩා ව්ශ්වසනීය සාධකයක්‌ ලෙස ඔහු පෙන්වා දෙන්නේ සාමුද්‍රිත කටයුතු සඳහා දැඩි රුචියක්‌ සහ ශූරබවක්‌ පෑ ඕලන්දක්‌කාරයන්ට සිප්පිකටුව නිරන්තර මුන ගැසෙන භාණ්‌ඩයක්‌ වූ බැවින් එය අවිඥානගතව ඔවුන්ගේ පාරිභාරික භාණ්‌ඩ අලංකරණය සඳහා ද පිවිසෙන්නට ඇති බවය.

අප මෙම සටහන ආරම්භයේදී ඕලන්ද යුගය වර්තමාන ලාංකික ඉතිහාසයේ හැඩරුව කෙරෙහි බොහෝ සේ බලපා ඇති බව සඳහන් කළෙමු. මෙතෙක්‌ සඳහන් කළ ඕලන්ද පාලනය සමයෙන් අපට ලැබුණු දෑ අමතක කෙරුවද, ඔවුන්ගෙන් අපට ලැබුණු අමතක කළ නොහැකි දායාදයක්‌ පවතී. ඒ අන් කිසිවක්‌ නොව මුද්‍රණ තාක්‍ෂණයයි. ලන්දේසි බල ව්‍යාප්තිය සඳහා අවශ්‍ය මෙවලමක්‌ ලෙස මුද්‍රණ යන්ත්‍රය මෙරටට හඳුන්වා දුන්නද, පසුකාලීනව අවසාන යටත් විජිත පාලකයන් වූ බ්‍රිතාන්‍යයන් පලවාහැරීම සඳහා දියත් කෙරුණු නිදහස්‌ අරගලයේ ප්‍රමුඛ භූමිකාවක්‌ නිරූපණය කළ "සිංහල පුවත්පත්" බලවේගය ගොඩනැඟෙන්නේ ලන්දේසි ජාතිකයන් ලංකාවට හඳුන්වා දුන් මුද්‍රණ යන්ත්‍රයේ සහ මුද්‍රණ තාක්‍ෂණයේ දිගුවක්‌ ලෙසටය.

ඕලන්ද කෞතුකාගාරයේ ඉහළ මහලේ පිහිටි ප්‍රදර්ශන මැදිරි අතර ඕලන්ද යුගයේ මුද්‍රණ තාක්‍ෂණය සහ අංග ඇතුළත් මැදිරිය සුවිශේෂ වැදගත්කමක්‌ දරයි. මුද්‍රණද්වාරයෙන් පිට වූ මුල්ම සිංහල ග්‍රන්ථයේ මුල් පිටුවේ පිටපතක්‌, (1737) ඕලන්ද තොම්බුවල පිටපත්, සිංහල රජවරුන් සහ ඕලන්ද ආණ්‌ඩුකාරවරු අතර හුවමාරු වූ ලිපි (උදා - D.V. ඩෙම්බර්ග් ආණ්‌ඩුකාරයා සහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු අතර 1736 දී හුවමාරු වූ ලිපිය) සහ ඕලන්දයින් ඉංග්‍රිසි ජාතිකයන්ට මුහුදුබඩ ප්‍රදේශ පවරා දීමේ ගිවිසුමේ පිටපත් ආදී වූ ඓතිහාසික ලේඛන රැසක්‌ මෙම මැදිරිය තුළ දී දැක ගත හැකිය. ලංකාවේ රජු සහ ඕලන්ද පාලකයන් අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සහ අධිරාජ්‍යවාදීන්ගේ කූඨ උපාය උපක්‍රම හඳුනා ගැනීමේදී ඔවුන්ගේ ලේඛන බෙහෙවින් වැදගත් වේ. එපමණක්‌ නොව එම යුගේ උපයුක්‌ත භාෂාව සහ එහි ව්‍යාකරණය වාග් විද්‍යා දෘෂ්ඨ§කෝණයෙන් ඉතිහාසය අධ්‍යයනය කරන්නෙකුට මනා මූලාශ්‍ර වේ.

ඕලන්ද යුගයේ පරිපාලන කටයුතු සඳහා භාවිත කළ සිතියම් රැසක්‌ ද, මෙම මැදිරිය තුළ දී දැකිය හැක. ඒ අතර කොළඹ, ගාල්ල, යාපනය, කළුතර, මාතර වැනි ප්‍රදේශවල සිතියම් වැදගත් වේ.

ඕලන්ද කෞතුකාගාරයේ ප්‍රදර්ශිත භාණ්‌ඩ අතර වැදගත් තොරතුරු රැසක්‌ හෙළිදරව් කෙරෙන භාණ්‌ඩ මැදිරියකි සොහොන් ස්‌මාරක එකතුව. වර්තමාන කොළඹ කොටුව පොලිස්‌ ස්‌ථානය පිහිටි බිම ලන්දේසි යුගයේ ඔවුන්ගේ සොහොන් බිම ලෙස භාවිත කර තිබුණු අතර මෑත කාලීන ඉදිකිරීම් වලදී මෙම සොහොන් ස්‌මාරක හමු වී ඇත. එම යුගයට අයත් විවිධ හැඩයෙන් යුත් සොහොන් ස්‌මාරක 25 පමණ මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එම සෑම සොහොන් ස්‌මාරකයකම ඉහළ මුදුනේ මිනී ඔළුව සහ ඇටකටු යුගල නෙළා ඇති ආකාරය පොදු ලක්‍ෂණයක්‌ සේ දැකිය හැකිය. මෙම සොහොන් ස්‌මාරක සියල්ලේම තැන්පත් කර ඇති පුද්ගලයාගේ නම සහ වයස සටහන් කර තිබෙන අතර එක්‌ සොහොන් ස්‌මාරකයක්‌ හැරෙන්නට සෙසු සියල්ල ඕලන්ද ජාතිකයන්ට අයත් බව හඳුනාගත හැකිය. අංක 25 සොහොන් ස්‌මාරකයේ සඳහන්ව ඇත්තේ අතපත්තු මුදළිඳු දොන් මිගෙල් සමරකෝන් (1724 නොවැම්බර් 20) ලෙස සිංහල ජාතිකයකුගේ නමකි. මෙය එකල පැවැති සමාජ ධූරාවලියේ බලරටාවන් හඳුනා ගැනීමට මනා සාධකයකි. මීට අමතරව ඕලන්ද කෞතුකාගාරයේ එක්‌ පරිශ්‍රයක්‌ තුළ නෙදර්ලන්ත ආදි ශිෂ්‍යයන්ගේ ලංකා සංගම් ශාඛාව ද ඔවුන්ගේ පුස්‌තකාලයක්‌ ද පිහිටුවා ඇත.

යටත් විජිත ජාතියකගේ නෂ්ඨාවශේෂ නැරඹීම යනු හුදු පරාධීන, නිවට නියාලු ක්‍රියාවකැයි අන්ධ, ජාති භක්‌තිකයකු කියනු නිසැකය. එහෙත් මඟ හැර යා නොහැකි සත්‍යයක්‌ තිබේ. එනම් වර්තමානය යනු අතීතයේ නිමැවුමක්‌ සහ දිගුවක්‌ වන බවයි. එසේ නම් අතීත යටත් විජිතකරණයේ දෘශ්‍යමාන නෂ්ඨාවශේෂයන් මනැසින් ගවේෂණය කළ යුත්තේ වර්තමාන අදෘශ්‍යමාන යටත්වජිතකරණය හඳුනාගැනීමේ යතුරක්‌ ලෙසිනි.

විශේෂ ස්‌තුතිය - ඕලන්ද කෞතුකාගාරයේ අධිකාරි R. V. A. සුනිල් අබේරත්න මහතා


විචිත්‍ර වනිගනෙත්ති


Source: http://www.divaina.com/2011/02/13/siya07.html


__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ගොඩවාය පුරාණ වරාය අසලින් හමුවූ රෝම නැවේ නටඹුන් වලින් හෙලිවන පැරණි ලංකාවේ අපනයන කර්මාණ්ත



ගොඩවාය යනු අම්බලන්තොටත් හම්බන්තොටත් අතර පිහිටි වෙරළබඩ කුඩා ගම්මානයකි. අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටි මෙම ස්ථානයේ සුළං පරිවහනයෙන් නිර්මාණය වූ වැලි වැටිවලින් යුක්ත වූ වෙරළ තීරය හා වලවේ ගඟේ පැරැණි මුව‍ෙදාර ප්‍රදේශයද ඉතා වැදගත් වූ භූ දර්ශන වේ.

ගොඩවාය පිළිබඳ අවධානය මෑත කාලීනව වැඩිපුර යොමුවීමට විහාරස්ථානය හා ඒ අවටින් හමු වූ පුරාවිද්‍යාත්මක සාධක හේතු වී ඇත. එම සොයා ගැනීම් ගොඩවාය පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් නව මානයක් කරා ගෙන යෑමට සමත් වී තිබේ. ගොඩවාය විහාරස්ථානය ආශි්‍රතව දශකයක පමණ කාලයක් පුරා සිදුකෙරෙන පුරාවිද්‍යාත්මක කැණීම් මේ අතර ප්‍රධාන වේ. ගොඩවාය, ගෝඨපබ්බත, ගොඩපවත වැනි නම්වලින් හඳුන්වන මෙම පැරැණි විහාරස්ථානයට එම නම් ලැබීමට හේතු වී ඇත්තේ ගෝලාකාර ගල් පර්වත මත ඉදිවුණු කුඩා චෛත්‍යයි 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ පර්යේෂණ ආයතනයක් ඒකාබද්ධව සිදුකෙරෙන මෙම පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් තුළින් ක්‍රි.ව. 1-2 සියවස තුළ ගොඩවාය ආශි්‍රතව සක්‍රියව පැවැති වෙළෙඳ වරාය පිළිබඳව නව තොරතුරු රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙම අධ්‍යයනයන් හා පර්යේෂණ උච්චතම ස්ථානයට පත්වෙමින් තිබියදී තවත් අපූර්වතම සොයා ගැනීම් දෙකක් වාර්තා විය. 

ඉන් පළමුවැන්න 2008 වර්ෂයේදී එම විහාර භූමියේම පසෙකින් සොයා ගනු ලැබූ ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂයන්ය. දෙවැන්න වන්නේ ගොඩවායත්, හම්බන්තොටත් අතර මුහුදින් හමු වූ මෙතෙක් ලංකාවෙන් සොයාගත් පැරැණිම දැව යාත්‍රාව පිළිබඳ සමුද්‍ර පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්ය.

ගොඩවාය වරායේ අයබදු ගෝඨපබ්බත විහාරයට

මෙම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම සනාථ කරන ප්‍රධාන සාධකය වන්නේ 1 වැනි ගජබාහු රජු විසින් පිහිටි ගලේ කොටා ඇති සෙල් ලිපියකි. 20 වැනි සියවසේ මුල් භාගයේ හඳුනාගත් හා ප්‍රකාශයට පත් කර ඇති සෙල් ලිපි දෙකක් අතුරින් කුඩා ලිපිය කියැවීමට අපහසු විනාශයට පත්වූ එකක් වූ අතර, දෙවැනි සෙල් ලිපිය මෙම විහාරස්ථානය පිළිබඳව අපූර්ව තොරතුරක් හෙළිකරයි. එනම් ගොඩවායෙහි වූ වෙළෙඳ වරායෙන් ලබා ගන්නා අය බදු මෙම විහාරස්ථානයට පූජා කරන බවය.

ඉහත සඳහන් කළ සෙල්ලිපිය 1 ගජබාහු රජුගේ බව පිළිගනු ලැබේ. එමෙන්ම ශිලා ලිපියෙහි ඇති අක්ෂර අනුවද එය ක්‍රි.ව. 1-2 සියවස අතර බවට හඳුනාගනු ලැබේ. මීට අමතරව ගොඩවාය ප්‍රදේශයේ හා වලවේ ගඟ අවට පෞද්ගලික ඉඩම් හා කුඹුරුවලින් හමුවූ විවිධ වර්ගයේ කාසි විශේෂයෙන්ම රෝම කාසි මෙහි පැවැති වරාය හා ජලාශි්‍රත වෙළෙඳ මාර්ගය පිළිබඳව සාධක සපයයි. 

රෝම කාසි හා පුරාණ නැංගුරම හා ජැටිය

කැණීම් මඟින් වූ මැටි බඳුන් අවශේෂ විශාල ප්‍රමාණයක් හා පබළු වර්ග, නිල මුද්‍රා වර්ග හා කාසි හමු වී ඇත.
ගොඩවාය ධීවර ගම්මානය ඉදිරිපිට වෙරළේ කලින් කලට මතුවන ගල් කණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් කළ කැණීම්ද විශේෂිත වේ. එමඟින් වෙරළේ එක පෙළට පිහිටුවා තිබූ ගල් කුලුනු කිහිපයක් සහිත ඉදිකිරීමක කොටසක් හමුවිය. විහාරස්ථානයේ ඇති අවශේෂවලට සමකාලීන ලක්ෂණ සහිත එම ගල් කුලුනු ඇතැම් විද්වතුන් හඳුන්වන පරිදි පැරැණි ජැටියක් වැනි කොටසක් හෝ සමුද්‍රාශි්‍රත යම් කිසි ඉදිකිරීමක කොටසක් ලෙස හඳුනාගත හැකිය. 1995 දී කරන ලද මෙම කැණීම්ද ගොඩවාය ආශි්‍රත වූ සමුද්‍රිත වෙළෙදාම හා වරාය පිළිබඳ වැදගත් සාධකයක් විය.

2004 වසරේදී ගොඩවාය අවට මුහුදින් තවත් වැදගත් සාධකයක් මතුවිය. ධීවරයන් විසින් ගොඩගන්නා ලද තනි කළුගලෙන් කරන ලද බරැති මෙම ගල් නැංගුරම තුන්හුලස් හැඩයේ පැරැණි නැංගුරමක් විය. ලෝහයෙන් කරන ලද නැංගුරම් භාවිතයට පෙර විශේෂයෙන්ම යටත් විජිත යුගයට පෙර භාවිත වූ මෙම නැංගුරම් වර්ගයට සමාන තවත් නැංගුරම් කිහිපයක්ම ගාල්ල වරායෙන්ද ලැබී තිබේ.

තුන්හුලස් ගල් නැංගුරම, මුදුබත්වූ නැවෙන් හමුවූ ගල් බංකුව, මැටි බඳුන් හා ගල් බංකුවේ කැටයම් - ඡායාරූප අයිතිය: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව































ගොඩවාය වෙරළින් හමුවූ ගල්කණු - මේවා ගොඩවාය වරායේ ජැටියේ කොටස් බවට අනුමාන කෙරේ: ඡායාරූප අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

























වසර 2000ක් පැරණි මුහුදුබත්වූ රෝම නැව

මෙම මුහුදුබත්වූ නෞකාවේ නටඹුන් 2003 වසරේදී ධීවරයින් විසින් සොයාගනු ලදුව පුරාවිද්‍යා බළධාරීන් දැනුවත් කරන ලදී. එම ධීවරයින් විසින් සොයාගත් නෞකාව වැටී අසල තිබූ ශෛලමය බංකුවද පුරාවිද්‍යා බළධාරීන්ට භාරකරන ලදී.

2008දී සාමුද්‍රික පුරාවිද්‍යා අංශය මෙහි මූලික මිනුම් හා ඡායාරූප ගනුලැබූ අතර රේඩියෝ කාබන් කාළනිර්ණය සඳහා දැව සාම්පලද ලබාගන්නා ලදී. විධිමත් පර්යේෂණ ආරම්භවූයේ 2010 වසරේදීය. 2012-2013 වසරවලදී අමෙරිකානු, ප්‍රංශ, තුර්කි හා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා සිසුසිසුවියන්ද පර්යේෂණ කටයුතුවල දායකවූ අතර ඒ අනුව ගොඩවාය පෞරාණික නෞකාව පිලිබඳ පර්යේෂණ ජාත්‍යන්තර සහයෝගීතාවය අනුව සිදුවන්නට පටන්ගත්තේය.


ගොඩවාය නැවෙන් හෙලිවන පැරණි ලංකාවේ අපනයන

වලවේ ගං මෝයට නුදුරුව හමුවූ මෙම නෞකාව රෝම නෞකාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගොඩවාය නැවෙන් යකඩ කැබලි (iron ingots) හමුවී ඇති අතර මෙම යකඩ කැබලි ලංකාවෙන් අපනයනය කරන ලද ඒවාද යන්න තවමත් තහවුරුවී නැතත් ලංකාවේ සමනලවැව ආශ්‍රිතව ක්‍රි.ව 1/2 කාලයේ යපස් වලින් යකඩ නිෂ්පාදනය කල ලෝහ උණුකිරීමේ කම්හල්වල නටබුන් හමුවීම නිසා ලංකාව තුල එකල යපස් වලින් යකඩ නිපදවීමේ තාක්ෂණය තිබූ බව තහවුරුවී තිබෙනවා.

කෙසේවෙතත් ලංකාවෙන් (හා ඉන්දියාවෙන්) ගෙනගිය යකඩවලින් සුප්‍රකට දමස්කස් වානේ නිපදවූ බවට පුරාවෘත පැතිර තිබෙනවා.


මෙම නෞකාවෙන් ඇඹරුම් ගලක්ද හමුවී ඇති අතර එහි කොටා ඇති සළකුණු වලට සමාණ සළකුණු තිස්සමහාරාමයේ යටාලතිස්ස වෙහෙර අසල කැණීම් වලින්ද හමුවී තිබෙන බැවින් ලංකාවෙන් ශෛලමය උපකරණ අපනයනය කරන්නට ඇතැයි අනුමාන කල හැකියි.

එමෙන්ම නෞකාවෙන් හමුවූ මුල්ම කෞතුක භාණ්ඩය වූ ශෛලමය බංකුවේ කොටා ඇති සළකුණු වලට සමාන සළකුණු ඇති ශෛලමය පුවරු යටාල වෙහෙරෙන්ද හමුවී ඇති බැව්න් ලංකාවෙන් උසස් තත්වයේ ශෛලමය උපකරණ අපනයනය වූ බව සිතිය හැකියි.

Sources:

1] http://www.emirates247.com/news/sri-lanka/lanka-s-titanic-ancient-ship-found-near-godavaya-2013-01-15-1.491166

2] http://nauticalarch.org/projects/godavaya-ancient-shipwreck-excavation/

3] http://www.archaeology.lk/668

4] https://en.wikipedia.org/wiki/Godavaya







__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Wednesday, 28 December 2016

ෆා හි එන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය | Fa Hsien's travel notes of Sri Lanka

ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය

A RECORD OF BUDDHISTIC KINGDOMS


Being an Account by the Chinese Monk Fa-Hsien  of his Travels in India and Ceylon (A.D. 399-414) in Search of the Buddhist Books of Discipline Translated and annotated with a Corean recension of the Chinese text

BY JAMES LEGGE

ක්‍රිස්තු වර්ෂ 399-414 අතර කාළයේ ලංකාවේ හා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල චාරිකා කල චීන ජාතික ෆා සී යෙන් භික්ෂුව විසින් ලියන ලදුව, බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ලෙග් විසින් පරිවර්තනය කරන ලද "A RECORD OF BUDDHISTIC KINGDOMS" පොතෙහි ලංකාව පිලිබඳව විස්තර අඩංගු පරිච්ඡේද 37, පරිච්ඡේද 38 හා පරිච්ඡේද 39 පරිවර්තනයකි.

මෙහි පරිවර්තන අයිතිය "ටෙරන්ස් කහපොල ආරච්චි" වන මා සතුය. උපුටා ගැනීම "Creative Commons Attribution 4.0 International License" කතෲ අයිති නියාමනයන්ට අනුව සිදුවිය යුතුය.
---------------------------------------------------------------------------------


A RECORD OF BUDDHISTIC KINGDOMS


Being an Account by the Chinese Monk Fa-Hsien  of his Travels in India and Ceylon (A.D. 399-414)

CHAPTER XXXVII

TO CHAMPA AND TAMALIPTI. STAY AND LABOURS THERE FOR THREE YEARS. TAKES SHIP TO SINGHALA, OR CEYLON

චම්පා රාජධානියේ (නූතන චම්පානගර් විය යුතුය)බෞද්ධ සිද්ධස්ථානවල චාරිකා කල මා ඉන් පසු විශාල වරායක් සහිත තමලිප්ටි නගරයට ලඟාවුනේය. මෙහි විශාල ආරණ්‍ය සේනාසන 22ක් ඇති අතර විශාල භික්ෂු පිරිසක් ඒවායේ මහණදම් පුරයි. මෙහි වසර 3ක් නැවතී, ඉන්දියානු සංචාරයේදී ලබාගත් පුස්ථක චීනබසට හැරවීමේ කාර්යයේ නිරතවුනේය. 

(තමලිප්ටි නගරය යනු නූතන බටහිර බෙංගාලයේ කල්කටා නුවර අසලින් ගලාබසින හූග්ලි නදිය මුහුදට වැටෙන තැන පිහිටි විශාල වරායක් සහිත වෙළඳ නගරයක් විය යුතුය. ඓතිහාසික වාර්තා අනුව ඉන්දියාවත්, ලංකාවත් අතර වෙළඳ සබඳතාවල කේන්ද්‍රස්ථානයක් බවට මෙම වරාය පත්ව තිබුණි)



වසර තුනක් තමලිප්ටි නගරයේ ගතකල ෆා සි යෙන් ශීත සෘතුව ආරම්භයේ විශාල වෙළඳ නෞකාවක නැගී සිංහල දේශය බලා යාත්‍රා කලේය. තමලිප්ටියේ සිට යොදුන් 700ක් ඈතින් පිහිටි සිංහල දේශයට ලඟාවීමට දින 14ක් ගතවිය. විශාල දූපතක් වූ මෙය නැගෙනහිර සිට බටහිරට යොදුන් පනහකුත්, උතුරේ සිට දකුණට යොදුන් තිහකුත් විශාලත්වයෙන් යුතුය. 

මෙම දිවයින වටා කුඩා දූපත් ගණනාවක් ඇති අතර අනර්ඝ මුතු මේවායින් ලැබේ. රටෙහි රජු මේ මුතු ගොඩගැනීම රාජ පාලනයට යටත්කරගෙන ඇති අතර ලැබෙන මුතුකැට දහයකින් තුනක් බදු ලෙස රජුට ගෙවිය යුතුය.

(යොදුනක් යනු කිලෝමීටර් 14ක දුරක් බව විකිපීඩියාවේ දැක්වේ. ඒ අනුව ෆා සී යෙන්ගේ යාත්‍රාව ගමන්කොට ඇති දුර කිලෝමීටර් 8000ක් පමණ වේ. එහෙත් බටහිර බෙංගාලයේ හුග්ලි නදියේ මෝයකටෙහි සිට ත්‍රිකුණාමල වරායට ඇති දුර කිලෝමීටර් 1800 ගණකි - සිතියම බලන්න. ඒ අනුව එක්කෝ ෆා සී යෙන් ගේ භාවිතයට අනුව Yu-Yen යන්න යොදුන ලෙස ගැනීම පරිවර්තන දෝශයකි. 

මෙහි ෆා සී යෙන් සිය විස්තරයේ "රජු" ලෙස හඳුන්වන්නේ ක්‍රි.ව 410-432 අතර අනුරාධපුරයේ රජකල මහානාම රජු විය යුතුය. ඔහුගේ පාලන කාලය ඉතා සාමකාමි, සමෘධිමත් කාලයක් විය.


නැතහොත් ෆා සී යෙන්ට ලැබුණු තොරතුරු වැරදි විය යුතුය. එසේම ෆා සී යෙන් ලංකාවේ දිග පලලද පටලවා සටහන් කොට ඇතිවා පමණක් නොව එයද සැබෑවට වඩා විශාල ලෙස සටහන් කොට තිබේ. කෙසේ වෙතත් මේ සටහන් තබන විට ෆා සී යෙන් භික්ෂුව වයස 75ත් ඉක්මවා සිටි අතර මෙය ලියන ලද්දේ මීට වසර 1600කට පමණ පෙර බවද අප අවබෝධකරගත යුතුය. 

තමන්ට වෙළඳුන්ගෙන් අසන්නට ලැබූ විස්තර ඔහු සටහන් කරන්නට ඇති අතර ඒවායේ නිරවද්‍යභාවය ගැන එතරම් උනන්දු නොවන්නට ඇත්තේ ඔහුගේ ගමනේ අරමුණ බුද්ධ ධර්මය අඩංගු ග්‍රන්ථ චීනයට ගෙන යාම මිස දේශගවේෂණය නොවූ නිසා වන්නට ඇත.)

CHAPTER XXXVIII

AT CEYLON. RISE OF THE KINGDOM. FEATS OF BUDDHA. TOPES AND MONASTERIES. STATUE OF BUDDHA IN JADE. BO TREE. FESTIVAL OF BUDDHA'S TOOTH.

ඈත අතීතයේදී මෙම දිවයිනේ මිනිසුන් නොසිටි අතර නාගයින් හා භූතාත්ම පමණක් වාසය කොට ඇත. මොවුන් සමග වෙළඳුන් වෙළඳාම් කල අතර මෙම වෙළඳාම් සිදුවුනේ නාගයින් හෝ භූතාත්ම වෙළඳුන් හා හමුවීමෙන් නොවේ. නාගයින් හා භූතාත්ම තමන්ට විකිණීමට ඇති දෑ හා ඒවායේ මිළගණන්ද දක්වා සැඟව සිටින අතර එම මිළ තබා වෙළඳුන් බඩු රැගෙන ගියහ. කෙසේ වෙතත් කලක් යන විට මේ රටෙහි ඉතා හිතකර දේශගුණය හා සෞම්‍ය පරිසරය නිසා බොහෝ වෙළඳුන් මෙහි පැමිණ පැළපදියම් වූහ.

මෙලෙස අතිවිශාල වෙළඳ ප්‍රජාවක් පදිංචිවූ මේ දූපත සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත්වී ඇත. දේශගුණය ඉතා හිතකර අතර ශීත හා ග්‍රීෂ්ම සෘතු අතර වැඩි වෙනසක් නැත. වසරේ සෑම කාළයකම ඉතා හොඳින් ගහකොල වැඩේ. එනිසාම නිශ්චිත වගා කාලයක් නැති අතර රටවැසියන් කැමති කැමති කාලයට ගොවිතැන් කරති.

නාගයින් දමනය කිරීම සඳහා ගෞතම බුදුන් මෙරටට පැමිණ ඇති අතර, උන් වහන්සේ නාගයින්ට තම බළපරාක්‍රමය පෙන්වීම සඳහා එක් පයක් නාගයින්ගේ අගනගරයේද අනෙක් පය සමනොල කන්ද මුදුනේද තබා පෙලහරක් පෑහ. ඉන් නාගයින් බුදුන්ගේ අසමසම බලය අවබෝධකර ගත්හ. නාගයින්ගේ නගරයේ බුදු පාසටහන පිහිටි තැන රියන් 400ක් උස ස්ථූපයක් ගොඩ නගන ලදී (HERBEET A. GILES සිදුකල පරිවර්තනයේ මේ ස්ථූපය අඩි 400ක් උස බව දක්වා ඇත).

මෙම ස්ථූපය "Wu wei shan - no fear hill  - බිය නොමැති කන්ද" ලෙස ෆා සී යෙන් හඳුන්වයි. මෙම සුවිසල් ස්ථූපය අභයගිරි චෛත්‍යය විය යුත්තේ එම ස්ථූපය අසල අභයගිරි නම් සුවිසල් ආරණ්‍යයක් ඇති බවද ඔහු සඳහන් කොට ඇති නිසා මෙන්ම බිය නොමැති කන්ද, යනු අභයගිරි (මරණ බිය නොමැති කන්ද) ලෙස පහසුවෙන් අර්ථදක්වා ගත හැකි නිසාය.

අභයගිරි ආරණ්‍යයේ භික්ෂුන්වහන්සේ 5000ක් වැඩ විසූ බව ෆා සී යෙන් ලියා තබා ඇත. අභයගිරි විහාරයේ පිලිම ගෙය තුල කොළපැහැ පළිඟුවලින් (සර්පන්ටයින් නම් තද කොළපැහැ පාෂාණය)  නිමැවූ විශාල බුදුපිලිමයක් විය. අඩි විස්සක් පමණ උසවූ මෙම පිළිමයේ සුරත මත මිළකළ නොහැකි තරම් වටිනා විශාල මුතුකැටයක් තබා ඇත.

මෙම පිලිමගෙය තුලදී වරක් සේද වටාපතක් පළිඟු බුදුපිලිමයට පිලිගන්නවන චීන ජාතික වෙළෙන්දෙක් ෆා සී යෙන්ට හමුවිය. තම රට වැසියෙකු මෙම දුරු රටෙහි දැකීමෙන් තම සිත තුල දැඩි ප්‍රීතියක් ඇතිවූ බව ෆා සී යෙන් සටහන් කොට ඇතත් චීන වෙළෙන්දා පිලිබඳව විස්තරයක් නොමැත. 

(කෙසේ වෙතත් ෆා සී යෙන් චීන වෙළෙන්දෙකු හමුවූ බවට පැවසීම සත්‍යයක් බව, අනුරාධපුරයෙන් චීන කාසි හමුවීමෙන් තහවුරු වේ., චීන වෙළඳුන් එකල ලංකාව වෙත විශාල ලෙස වෙලඳාම සඳහා පැමිණි බව මෙම චීන කාසි තහවුරු කරයි.)

ලංකාවේ රජු මධ්‍යම ඉන්දියාවෙන් ගෙන්වන ලද පූජනීය බෝ පැළයක් නගර මධ්‍යයේ සිටුවා ඇති අතර එය දැන් ඉතා විශාල ලෙස වැඩී ඇත. මෙම බෝ ගසේ සෙවන යට විහාර මන්දිරයක්ද ඇති අතර එය තුල ගෞතම බුදුන්ගේ හිඳි පිලිමයක් ඇත. බෞද්ධ භික්ෂූන් හා සාමාන්‍ය ජනතාව වැළ නොකැඩී මෙම බෝධි වෘක්ෂය වැඳපුදා ගැනීමට පැමිණෙති.

එමෙන්ම නගරයේ බුදුන්ගේ දන්ත ධාතුව තැම්පත් කල විහාරයක්ද ඇත. රජු සිල්වත් ජීවිතයක් ගත කරන අතර රටවාසීන්ද ඉතා භක්තිමත් පිරිසකි. මෙම රාජ්‍යය පිහිටවූ දා සිටම කිසිදු අහේනියක්, දුර්භික්ෂයක් හෝ කැරළි කෝළාහාලයක් හටගෙන නොමැති අතර රටවැසියන් සුඛිත-මුදිත ජීවිත ගත කරති.

නගරයේ වෙහෙර විහාරවල භාණ්ඩාගාරවල පරිත්‍යාග ලෙස ලැබුණු රන් රිදී මුතු මැණික් වලින් පිරී ඇති බව පැවසේ. 

එක් රජෙකු (රජු කවුදැයි සඳහන් කොට නොමැත ) දිනක් මෙවැනි සඟ-සතු භාණ්ඩාගාරයකට ඇතුලුවූ අතර එහි හාත්පස දිස්වූ මහානර්ඝ වස්තුව දැක දැඩිලෙස ලෝභ සිත් ඔහුට පහලවූ බව පැවසේ. කෙසේ හෝ මෙම වස්තුව තමන් සතුකරගත යුතු බවට රජුට සිතුන මුත්, දින තුනකට පසු තමන් කරගන්නට හැදූ අකුසලය පිලිබඳව බලවත් ලෙස කම්පාවී තමන්ගේ අකුසල සිතුවිල්ල පිලිබඳව භික්ෂූන් වහන්සේට පවසා උන්වහන්සේලාගේ දෙපා මත හිස තබා සමාව ගත් බව පැවසෙනවා.

සංඝ භාණ්ඩාගාරවල ඇති මහානර්ඝ වස්තූන් දැකීමෙන් ඕනෑම අයෙකුට දැඩි ලෝභ සිතුවිලි පහලවන බව අවබෝධ කරගත් රජු, භික්ෂූන් වහන්සේ හමුවී සංඝාඥාවක් පමුණුව වන ලෙස ඉල්ලා සිටියා. එම සංඝාඥාව අනුව කිසිදු රජෙකුට සඟසතු භාණ්ඩාගාර වලට ඇතුලුවීම තහනම් කලයුතු අතර භික්ෂුවක් වුවද උපසම්පදාවෙන් සතලිස් වසරක් යනතුරු සංඝ භාණ්ඩාගාරවලට ඇතුලුවීම තහනම් කලයුතු වනවා.

ඉහල නිළතල දරන්නන්, ධනවත් වෙළෙන්දන් මෙන්ම අරාබි/පර්සියානු සම්භවයක් ඇති ධනවත් වෙළෙන්දන්ද නගරයේ වාසය කරති. ඔවුන්ගේ නිවාස ඉතා අලංකාරය. නගරයේ ප්‍රධාන වීථි හා අතුරු මාර්ග ඉතා හොඳින් සකසා නඩත්තු කොට තිබේ.

නගරයේ ප්‍රධාන වීථි සතරෙහිම ධර්මශාලා පිහිටුවා ඇති අතර සෑම මසකම 8වැනි, 14වැනි හා 15වැනි දිනවල මෙම ධර්මශාලාවල ධර්මාසන පිහිටුවා දහම් දෙසන අතර එම දහම් ඇසීම සඳහා ගිහිපැවැදි විශාල පිරිස් පැමිණේ.

සිංහල රාජ්‍යය පුරාම 60,000ක පමණ භික්ෂු පිරිසක් වාසය කරන බව පැවසෙනවා. මෙම භික්ෂූන් සඳහා රාජ්‍ය භාණ්ඩාගාරවලින් දන් භාණ්ඩ පිරිනැමෙන අතර රජු විසින් නගරයේ තැන් තැන් වල තවත් භික්ෂූන් 5000කට දිනපතා දන් පිලියෙල කරන දානශාලා ඇතිකොට තිබෙනවා.

සෑම වසරකම තුන්වැනි මාසයේ දන්ත ධාතුව ප්‍රදර්ශණය කරන අතර ඊට දින දහයකට පෙර අලංකාර ඇතෙකු පිට නැගි අණබෙරකරුවෙකු බෝධිසත්වයානන් වහන්සේ බුදුවීම සඳහා සිදුකරන ලද ඇස් ඉස් මස් දන්දීම පිලිබඳව අණබෙර ගසමින් නගරවාසීන්ට ඇසෙන්නට කියවනු ලැබේ. ඉන් පසු බුද්ධ දේශනාව හා බුද්ධ පරිනිර්වාණය පිලිබඳවද විස්තරයක් කියවනු ලබන අතර දින 10කින් බුදුන්ගේ පූජනීයවූ දන්තධාතුව අභයගිරියේදී ප්‍රදර්ශණය කරනබවත්, පින් කැමති අය මේ සඳහා වීථි මංමාවත් පිරිසිදුකොට අලංකාර සැරසිලි වලින් සරසා දළදා වඳින්නට යන පිරිස් සඳහා මල් හා සුවඳ කුඩු සැපැයීමට ස්ථාන සකස් කරන ලෙස නගරවාසීන්ට දැනුම් දෙනු ලැබේ. 

මෙසේ දින 10ක් නගරය පුරා ඇතුපිට අණබෙර යැවීමෙන් පසුව රජු විසින් දළදා මාලිගාවේ (අනුරාධපුර රාජධානියේ දළදා මාළිගාව ) සිට අභයගිරියට යන මාර්ගය දෙපස බුදුන්වහන්සේ පෙරුම් පිරූ කාලයේ ඉපදුනු විවිධ ආත්මභවයන් පිලිඹිඹු කෙරෙන අලංකාර පිලිරූ 500ක් කරවා ප්‍රදර්ශණය කරන අතර මෙම පිලිරූ අතරින් දළදාව අභයගියට රැගෙන යයි.

දින 19ක් පුරාවටම දිවා රාත්‍රී නොකඩවා ගිහි පැවිදි දෙපිරිසම මල්, පහන් සුවඳදුම් පූජා කරමින් දළදා වඳින අතර  දින දහනවයකට පසු නැවතත් දළදාව, දළදා මාළිගාවට වඩම්මනු ලැබේ.

අභයගිරි විහාරයට නැගෙනහිරින් කඳුගැටයක් ඇති අතර මෙහි චෛත්‍යයක් ඇත. භික්ෂූන් වහන්සේ 2000ක් පමණ මෙම භූමියේ වාසය කරන බව පැවසෙනවා. මෙම ආරණයේ ධර්මගුප්ත නම් සුප්‍රකට තෙරනමක් සතලිස් වසරක් පුරා භාවනායෝගීව වාසය කරනවා. ධර්මධර සිල්වත් උතුමෙකුවූ ධර්මගුප්ත රටවැසියන් දැඩි භක්තියක් දක්වනවා. (ෆා සී යෙන් සඳහන් කරන චෛත්‍යය ඇති කඳුගැටය මිහින්තලාව බව බොහෝ විද්වතුන් පිලිගන්නවා)

CHAPTER XXXIX

CREMATION OF AN ARHAT. SERMON OF A DEVOTEE.

නගරයේ දකුණට වන්නට මො-හො-පි-හො-ලෝ නම් විශාල විහාරයක් ඇත. (අනුරාධපුර මහා විහාරය). මෙහි භික්ෂූන් 3000ක් පමණ වැඩ වාසය කලහ. මින් එක් භික්ෂූන් වහන්සේනමක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව, සියලුම විනයකර්ම අකුරට පිලිපදිමින් ඉමහත් පූජනීය පැවිදි දිවියක් ගතකලේය. එම තෙරණුවන්ගේ පූජනීය ගතිපැවතුම් නිසාම ඔහු රහතන්වහන්සේ නමක් බව නගරවාසීන් මෙන්ම රටවැසියන්ද විශ්වාස කලේය.

මෙම තෙරණුවන් වයෝවෘද්ධව මරණාසන්නව සිටින මොහොතේ උන්වහන්සේගේ අවසාන කටයුතු සැළසුම් කිරීම සඳහා රජු භික්ෂුන්වහන්සේලා හමුවට ගියේය. මෙහිදී රජු මේ තෙරණම රහතන්වහන්සේ නමක්දැයි භික්ෂූන්ගෙන් විචාල අතර එසේයයි පිලිතුරු ලැබුණි. ඒ අනුව රහතන්වහන්සේ නමකගේ පිරිණිවන් චාරිත්‍ර සිදුකලයුතු ආකාරය මහාවිහාර භික්ෂූන්වහන්සේගෙන් විචාල රජු නියමාකාරයෙන් අවසන් කටයුතු සංවිධානය කලේය.

මහාවිහාර භූමියේ තෝරාගත් ස්ථානයක සඳුන් ආදී සුවඳ දරයෙදූ දරසෑයක් පිලියෙලවූ අතර රහතන්වහන්සේගේ දේහය සුදෝසුදු රෙදිවලින් හොඳින් ඔතන ලදී. ඉන්පසු එය දෝලාවක තැන්පත්කොට චිතකය වෙත ගෙනියන ලදී. ආදාහන පූජෝත්සවය සඳහා රජු හා සියලු කුළවල රටවැසිය එක්වූ අතර මල් හා සුවඳ දුම් පුදමින් සිදුකරන ලද පූජාවලින් අනතුරුව සුවඳ තෙල් වත්කොට ගිණිදල්වන ලදී. චිතකය දැල්වෙද්දී බොහෝ ශ්‍රද්ධාවත් ජනය සිය උඩුකය වස්ත්‍රය ගලවා චිතකය වෙත චාරීත්‍රානුකූලව විසිකරන ලදී. අවසානයේ නොපිලිසුනු අස්ථි කොටස් එකතුකොට දාගැබක් තනවා නිධන්කරන ලදී. 

(ෆා සී යෙන් සඳහන් කරන ආකාරයට ඔහු අනුරාධපුරයට ලඟාවන විට මෙම රහතන් වහන්සේ පිරිනිවන් පා තිබූ අතර එම උතුමාගේ අවසන් කටයුතුවලට සහභාගී  වන්නට හැකිවිය )

ධර්මානුකූලව දිවිගෙවූ රජු (මහානාම ) බොහෝ වෙහෙරවිහාර කරවූ අතර විහාරකර්මාණ්තයක් කරන්නට පලමු මහා සංඝයා රැස්කරවා දන් පිලිගන්වා ඉන් අණතුරුව රනින් සරසන ලද ගවයින් දෙදෙනෙකු ඇදි රන් නගුලක් මගින් භූමියේ සළකුණු ඇඳ විහාරකර්මාණ්තයේ සීමා සළකුණු කරන ලදී. මේ කටයුත්ත රජු විසින්ම සිදුකරන ලද අතර ඉන්පසු විහාරයේ පැවැත්ම හඳහා බදු හා රාජකාරි සඳහා ගම්වර ප්‍රකාශයට පත්කොට ඒ ගම්වර ප්‍රධානය පිලිබඳ රාජකීය විධානය ලෝහ පත් ඉරිවල ලියවා පරම්පරාවෙන් පරම්පරාවට මෙම බදු හා රාජකාරි සිදුවන ආකාරයට රාජ අණක් ලෙස ප්‍රකාශයට පත් කරනවා.

Sources:

1] Record of the Buddhistic kingdoms: tr. from the Chinese
by Faxian, ca. 337-ca. 422 Translated by Herbert A Guiles

2] A RECORD OF BUDDHISTIC KINGDOMS: Being an Account by the Chinese Monk Fa-Hsien of his Travels in India and Ceylon (A.D. 399-414) in Search of the Buddhist Books of Discipline Translated and annotated with a Corean recension of the Chinese text BY JAMES LEGGE




























__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Tuesday, 27 December 2016

ගුවන් හමුදා කෞතුකාගාරය | Sri Lanka Air Force Museum



කෞතුකාගාරයක් හදලා තියෙන්නෙ පැරණි මතකයන් අනාගත පරපුරට දැකබලා ගන්න, අතීතය ගෙවුනෙ කොහොමද කියලා දැනුමක් ලබා ගන්න. කෞතුකාගාරයක් කියපු ගමන් අපේ මතකයට එන්නෙ පැරණි භාණ්ඩ එකතු කරපු පුරාණ පෙනුමක් තියෙන ගොඩනැගිලි. නමුත් සොඳුරු උද්‍යානයක සිරිගත් කෞතුකාගාරයක් අපේ රටේ තියෙනවා. ඒ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය. නිවාඩු පාඩුවෙ ඇවිත් ගුවන් හමුදාවේ පැරණි ශ්‍රී විභුතිය විඳලා, අපේ ගුවන් හමුදාවෙ දක්ෂකම් බලලා, ගුවන්යානා තාක්ෂණය, ඉගෙන ගෙන, පරිසරයෙ අසිරිය විඳලා, පවුලෙ අයත් එක්ක මුළු දවසම විනෝදයෙන් ගත කරන්න රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයෙ අවස්ථාව තියෙනවා.සම්ප්‍රදායික කෞතුකාගාරයක සීමා මායිම් වලින් මිදිලා විනෝදය, අධ්‍යාපනය, ඉතිහාසය, පරිසරය මේ සියල්ලක්ම අත් විඳින්න පුළුවන් නිදහස් විවෘත කෞතුකාගාරයක් විදියට මේ ස්ථානය සකස් කරලා තියෙනවා.

1951 මාර්තු 02 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස ඇරඹි ගුවන් හමුදාව ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත්විය. දශක තුනක ත්‍රස්තවාදය මර්ධනය කිරීමෙන් ලොව ගුවන් හමුදා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් ගුවන් හමුදාව තම අභිමානය හා පෞඩත්වය මෙරට ජනතාවට දැක බලා ගැනීමේ අරමුනින් 2009 නොවැම්බර් මස 05 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුර තුල දී මෙම කෞතුකාගාරය ඉදි කොට විවෘත කර ඇත. 

මෙම කෞතුකාගාරය පිහිටා ඇත්තේ ඉතා රමණීය භූමියකය. රත්මලාන වැනි කර්මාන්ත ශාලා වලින් ගහන කටුක පරිසරයක මෙවන් සොඳුරු උද්‍යානයක් තිබේ යයි විශ්වාස කිරීම පවා අපහසුය. මේ මුළු භූමියම ඉතා දුර්ලභ ශාක වර්ග වගා කර ඇත. 

පිවිසුම

රත්මලාන ගුවන්හමුදා කඳවුරට පිවිසෙන දොරටුවෙන් ඇතුළු වූ විට කෞතුකාගාරයට ඇතුළු විය හැකිය. ප්‍රධාන දොරටුව අසල වාහන නවතා කෞතුකාගාර පිවිසුම් මග දිගේ පැමිණිය යුතුය. ප්‍රවේශ පත් නිකුත් කරන ස්ථානයෙන් ප්‍රවේශ පත් ලබාගැනීමෙන් පසුව කෞතුකාගාරය තුලට ඇතුළු විය හැකිය.

කෞතුකාගාර උද්‍යානය

ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ස්ථානයෙන් පසු මනරම් ලෙස සකස් කරන ලද කෞතුකාගාර උද්‍යානයට ඇතුළු විය හැකිය. සුන්දර මල් වර්ග හා ශාක වර්ග වවා අලංකාර කර ඇති මෙහි විවිධ ස්ථානවල ගුවන් හමුදාව භාවිතා කල පැරණි ගුවන් යානා ස්ථාන ගත කර ඇත. උද්‍යානය දිගේ ඇවිද යමින් මේ ගුවන් යානා නැරඹීමට මෙන්ම සමහර ගුවන් යානා වලට නැග බැලීමට පුළුවන. මේ ගුවන් යානා පිලිබඳ විස්තරද ඒවා අසල සටහන් කර ඇත.

පැරණි ගුවන්යානා (vintage aircraft) තබා ඇති එළිමහන් ප්‍රදර්ශනාගාරය 


මෙයද පැරණි ගුවන් යානා සහ ගුවන් හමුදාව භාවිතා කල රථ වාහන හා උපකරණ රැසක් ප්‍රදර්ශනයට තබා ඇති එලිමහන් භූමියකි. මෙම ස්ථානයෙන් විවිධ කෞතුක භාණ්ඩ නැරඹිය හැකි වාහන අංගනය, සිවිල් ඉංජිනේරු අංගනය, ඡායාරූප ගැලරිය, ඇව්රෝ සිමියුලේටරය වෙත පිවිසිය හැකිය.

SIAI MARCHETTI SF 260 TP






DOUGLAS DC 3 (C 47 DAKOTA)


























BEECHCRAFT E18 S 9700























BELL 206A JET RANGER



























Hawker Siddeley HS 748 (Avro)
















FMA IA 58 Pukara

























MiG 27








ඇව්රෝ සිමියුලේටරය

මෙය පැරණි Avro ගුවන් යානයක සකස් කල, ගුවන් ගමනක අත්දැකීම ප්‍රේක්ෂයකයාට ලබා දීමට සකස්කල ප්‍රදර්ශනාගාරයකි. මෙමගින් කොළඹ අවට ගුවන් චාරිකාවක අත් දැකීම විඳගැනීමට පුළුවන. වායු සමනය කල මෙම යානය තුලට ඇතුළු වී අසුන් ගෙන කවුළුවෙන් එපිට බැලූවිට ඉහළ ගුවනේ සිට අවට දිස්වේ. යානය පියාසර කරන බව දැනේ . එකිනෙකා අසුන්ගෙන සිටින තැන අනුව පෙනෙන දර්ශනය වෙනස්ය. යානයේ ඉදිරිපසින් නියමුවාට පෙනෙන ආකාරය දිස්වේ. මෙය ගුවන් යානයක අත්විඳීම නොලත් අයට එය ලැබීමට ඇති හොඳම අවස්ථාවකි.

රථ වාහන අංගනය 

මෙය අතීතයේ ගුවන් හමුදාව ගොඩබිම භාවිතය සඳහා යොදාගත් විවිධ වර්ග වල වාහන එකතුවකි. පැරණි වාහන වල අනර්ඝ එකතුවක් මෙහිදි දැක බලා ගත හැකිය. 

සිවිල් ඉංජිනේරු අංගනය 

මෙහි ගුවන් හමුදාවට විදුලිය ලබා ගත් විදුලි නිෂ්පාදක ගුවන් හමුදා ඉදිකිරීම් ආදී කටයුතු වෙනුවෙන් භාවිතා කල උපකරණ හා ද්‍රව්‍ය රැසක් දැක බලා ගත හැකිය.

සාමාන්‍ය අංගනය 

මෙය ගුවන් හමුදාවේ ඉතිහාසය හා විව්‍යුහය පිලිබඳ තොරතුරු දැනගත හැකි අංගනයකි. මෙහි ගුවන් හමුදාවේ ඇඳුම් පැලඳුම් ආදර්ශන, නිල ලාංඡන, අවි ආයුධ වර්ග, කොඩි ,ආහාර පාන ගැනීමට භාවිතා කල උපකරණ, සන්නිවේදන උපකරණ, ආරක්ෂක උපකරණ, වෛද්‍ය උපකරණ ,ලිපිලේඛන, පදක්කම් ආදියෙන් සමන්විත අංගනයකි. ගුවන් හමුදාව හා ගුවන් හමුදා ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු මෙම අංගනයෙන් දැක බලා ගත හැකිය.

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දා පටන් අද දක්වාම ගුවන් හමුදාවේ සියළු වැදගත් සිදුවීම්වල ඡායාරූප අතුලත් නවීන කලාගාරයකි. මෙය ආරම්භයේ සිට අවසානය තෙක් නරඹන අයෙකුට ගුවන් හමුදාව පිළිබඳ පූර්ණ දැනුවත් වීමක් ලද හැකිය. මෙම ඡායා රූප පිළිබඳ විස්තරද ඒ අසල සටහන් කොට ඇත.

දේශන ශාලාව

ගුවන් යානා පිළිබඳව, එම තාක්‍ෂණය පිළිබඳව දැනුම ලබා දීම සඳහා දේශන සම්මන්ත්‍රණ ආදිය ද කෞතුකාගාරය තුළ සිදුකරයි . ඒ සදහා නවීන තාක්ෂණික මෙවලම් වලින් යුත් දේශන ශාලාවක් කෞතුකාගාරය සතුය . මෙය තුල සිටින්නෙකුට තමන් නිල් අහස යට සිටින හැඟීමක් ඇතිවන ආකාරයෙන් සකස් කර ඇත.

මිනි තියටර්

ගුවන් ක්ෂේත්‍ර පිළිබඳව කෙටි චිත්‍රපට නැරඹීම වෙනුවෙන් ගුවන් හමුදාව භාවිතා කරන විශාලම ගුවන් යානයේ ආකෘතියට තැනූ කුඩා චිත්‍රාගාරයක්ද මෙහි ඉදිකර ඇත. මේ මගින් කෆීර් යානයක් භාවිතා කරමින් ගුවන් මෙහෙයුමක් සිදුකරන අන්දම දැක බලා ගැනීමට අවස්ථාව හිමිවේ.

එන්ජින් ප්‍රදර්ශනාගාරය

ගුවන් යානා වල භාවිතා වන විවිධ වර්ග වල එන්ජින් එකතුවකින් මෙය සමන්විත වේ. ගුවන් යානා තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනයට ලබන්නන් හට ඒ පිලිබඳ ප්‍රායෝගික දැනුම ලැබීමට ඇති හොඳම ස්ථානය මෙම එන්ජින් එකතුවයි.

වැව

කෞතුකාගාර භූමියෙහි පිහිටි මෙම වැව කෞතුකාගාර භූමියට සොඳුරු බවක් මෙන්ම සිසිලසක්ද එක් කරයි. ඕලු මල් ඇතුළු ජලජ ශාක වලින් හැඩවී ඇති වැව ආශ්‍රිතව වෙසෙන හංසයන් වැවට සුන්දරත්වයක් එක් කරයි. වැව ඉදිරිපිට උද්‍යනයේ බංකු මතට වී සිසිල් පවනේ සුවය විඳීමටද අවස්ථාව ඇත.

ගුවන් හමුදා ජයග්‍රහන

වැවෙහි එක් ඉවුරකදී ගුවන් හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලබාගත් ජයග්‍රහන වල සිහිවටනයන් නැරඹීමේ අවස්ථාව උදා කර තිබේ. වැව මැද පිහිටි දූපතක ත්‍රස්තවාදීන් සතුව තිබී විනාශ කරන ලද ගුවන් යානාවක්ද ප්‍රදර්ශණය කර තිබේ. මෙම යානය විනාශ කිරීමේදී ත්‍රස්තවාදීන්ට හානි සිදුවූ ආකාරයද මෙහි මූර්තිමත් කර ඇත

ළමා උද්‍යානය

කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන්ට විනෝද වීමට ළමා උද්‍යානයක්ද මෙහි සකස් කර ඇත. ළමයින්ගේ විනෝදය සඳහා අවශ්‍ය උපාංග මෙන්ම පැරණි ගුවන් යානා කිහිපයක් ළමයින්ට ක්‍රීඩා කිරීමට යොදාගත හැකි අයුරින් සකස් කර ඇත. ස්වාභාවික පරිසරය භාවිතයෙන් කුඩා දරුවන්ට විනෝදය ලැබිය හැකි ස්ථාන කිහිපයක්ද මෙහි සකස් කර ඇත.

ප්‍රධාන ගුවන් යානා අංගනය

මෙය ආවරණය කරනලද ගොඩ නැගිල්ලක් තුල ඇති ගුවන් හමුදාවට විශේෂ වටිනාකමක් ඇති පැරණි යානා හා විවිධ පුද්ගලයන් පරිත්‍යාග කරන ලද යානා ද වේ. ගුවන් හමුදාව මිලදී ගත් පළමු ගුවන් යානය වන DHB චිප්මන්ක් T10 යානයේ සිට අද දක්වා භාවිතයෙන් ඉවත් වූ ඉපැරණි යානා රැසක් මෙහිදි දැක බලා ගත හැකිය. මෙම ගුවන් යානා අතරින් කිහිපයක් තවමත් ධාවන තත්වයේ පැවතීමද සුවිශේෂි කරුණකි. 

සමරු අලෙවි හල 

කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව එය මතක තබා ගැනීම සඳහා වටිනා සමරු මෙමගින් මිලදී ගත හැකිය. ගුවන්යානා ආකෘති, කැප්, ටීෂර්ට් ඇතුළු ගුවන් හමුදාව සිහිකල හැකි විසිතුරු බඩු මෙන්ම ගුවන් හමුදාව සම්බන්ධ තොරතුරු ඇතුලත් ග්‍රන්ථ ද මෙමගින් මිලදී ගැනීමට පුළුවන.

සමරු නිෂ්පාදනාගාරය

සමරු අලෙවිහල තුල අලෙවි කරන බොහෝ නිෂ්පාදන මෙහිදි නිෂ්පාදනය කරයි.

පුස්තකාලය හා තොරතුරු මධ්‍යස්ථානය

කෞතුකාගාරය සතු වැදගත්ම අංගයක් වනුයේ පුස්තකාලයයි. ගුවන් හමුදාව ගුවන්යානා තාක්ෂණය පිලිබඳ ඉතා දුර්ලභ ග්‍රන්ථ රැසකින් එය සමන්විතය. විශ්වවිද්‍යාල සිසුන් පර්යේෂකයන් හට මෙම පුස්තකාලය භාවිතයෙන් විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය. මෙම පුස්තකාලය සතුව දුර්ලභ ගුවන්යානා අත්පොත් එකතුවක් ඇත. ඇතැම් ඒවා ගුවන්යානා නිෂ්පාදන සමාගම් පවා සතුව නොමැති අතර එම සමාගම් මගින් එම අත්පොත්වල ඇති කරුණු අධ්‍යයනය වෙනුවෙන්ම විදේශයන්හි සිට මෙහි පැමිණේ. මෙය මෙරට ගුවන්යානා තාක්ෂණය හදාරන්නන් හට ඉතා වටිනා සම්පතකි. පුස්තකාලයට පමණක් පැමිනෙන්නේ නම් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන අතර නොමිලයේම පුස්තකාලය පරිහණය කල හැකිය. පුස්තකාලය විශිෂ්ඨ කාර්ය මණ්ඩලයකින් සමන්විත නිසා පහසුවෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

ගමන් මාර්ගය

ගුවන් හමුදා කෞතුකාගාරය රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රය තුල පිහිටා ඇත. මේ වෙතට කොළඹ සිට කිලෝමීටර් 18 පමණ ගාළු පාරේ පැමිණෙනවිට හමුවන රත්මලාන ගුවන් තොටුපල අසලින් හැරී ගුවන් හමුදා කඳවුර මාර්ගයේ කිලෝමීටර් 2 පමණ පැමිණීමෙන් ලඟාවිය හැකිය. දුම්රියෙන් පැමිනෙන්නේ නම් රත්මලාන දුම්රිය ස්ථානයට පැමිණ එතැනින් 117 රත්මලාන - නුගේගොඩ බස්රථයකින් ගාළු පාරට පැමිණ මද දුරක් ගාල්ල දෙසට ගාළුපාරේ යනවිට රත්මලාන ගුවන් තොටුපල හමුවේ. එතැනින් ගුවන් හමුදා කඳවුරු මාර්ගයේ ගමන්කල හැකිය. මේ පොදු ප්‍රවාහන සේවා දුර්ලභ බැවින් කුලී රථයකින් ගමන් පහසුව සලසා ගැනීමට සිදුවේ. මෙම ස්ථානයට ගමන් කල හැකි එකම පොදු ප්‍රවාහන සේවය 256/1 රත්මලාන - සඳුන්ගම බස්රථය වන අතර මෙම බස්රථය භාවිතා කරන්නේ නම් අන්ධ විද්‍යාලය අසල බස් නැවතුම් පලට යායුතුය. බස්රථ වේලාවන් රත්මලාන ඩිපෝව - 0117706440 මගින් ලබා ගත හැකිය.( බස් රථය උදෑසන 8.10 හා 9.15 ට ගමන් ආරම්භ කරයි ) හොරණ - කොළඹ මාර්ගයේ පැමිණන්න් සඳහා වේරහැර බොරුපන හරහා රත්මලාන දෙසට ඇති මාර්ගයේ පැමිණ 7 වන පටුමග වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල මාර්ගයේ පැමිනීමෙන්ද මේ වෙත ලඟාවිය හැකිය. මෙම මාර්ගයේ බස්රථ ධාවනය නොවේ. 

විවෘත වෙලාව

සඳුදා හැර සෑම දිනකම පෙරවරු 8.30 සිට සවස 5 දක්වා කෞතුකාගාරය විවෘතව පවතී. සඳුදා දිනයන්හිදි නඩත්තු කටයුතු සඳහා වසා තැබේ.

ගාස්තු

වැඩිහිටියන් - රු 100
ළමා - රු 25
පාසල් අධ්‍යාපන චාරිකා පැමිණෙන සිසුන් - රු 5
විදේශිය වැඩිහිටි - ඇමෙරිකානු ඩොලර් 10
විදේශිය ළමා - ඇමෙරිකානු ඩොලර් 3



__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...