Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 29 April 2017

MILITARY AIRCRAFT : F 35 ස්ටෙල්ත් යානය බල්ගේරියාවට

නේටෝ පුහුණු සැසියක් සඳහා F35 සුපිරි ස්ටෙල්ත් යානා දෙකක් බල්ගේරියාවට යැවීමට ඇමරිකන් ගුවන් හමුදාව කටයුතු කොට තිබේ. නේටෝ හමුදාවලට අලුත්ම ඇමරිකන් යානා පිලිබඳව දැනුමක් ලබාදීම සඳහා මෙලෙස යුරෝපීය රටවල පුහුණු සැසි සඳහා F35 යානා, නියමුවන් හා කාර්මිකයින් යැවීම සිදුවේ.

එමෙන්ම යුරෝපීය ගුවන්හමුදා යානා සමග ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය දැනුම හා සම්බන්ධීකරණ හැකියාවන් දියුණු කරගැනීමද තවත් එක් අරමුණකි.

මීට පෙර මෙම යානා බ්‍රිතාන්‍යයේ ලේක් හීත් ගුවන් කඳවුරේදී රාජකීය බ්‍රිතාන්‍ය ගුවන්හමුදාව සමග පුහුණුවීම් සිදුකල අතර, බල්ගේරියාවෙන් පසු එස්තෝනියාව බලා යනු ඇත. මෙම පුහුණු සැසි නේටෝ සංවිධානය හා යුරෝපීය ප්‍රජාවගේ අනුග්‍රහයෙන් සිදුවේ.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධිය ගැන ඔබ දැන ගත යුතු දේවල් 10ක්

1. කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ගැන මුලින්ම කල්පිත ඉදිරිපත් කලේ පැරණි ග්‍රීකයන්ය. ඔවුන්ගේ පුරාවෘතවල එන  හෙෆීස්ටස්ගේ රන්මුවා යාන්ත්‍රික සේනාව (golden mechanical army of Hephaestus) මින් එක් අවස්ථාවකි.

2. පරිගණකයක් සැබෑවටම කෘත්‍රිම බුද්ධියෙන් යුතුනම් එය හා කතාබස් කරන වෙනත් මිනිසෙකුට තමා කතාබස් කරන්නේ යන්ත්‍රයක් සමග බව අවබෝධ නොවනු ඇතැයි 1950දී ශ්‍රේෂ්ඨ පරිගණක විද්‍යාඥ ඇලන් ටියුරිං ප්‍රකාශකලේය. මේ සඳහා "Turing Test" නම් පරීක්ෂණයක්ද ඔහු විසින් සැකසුවේය.

3. ස්වභාවිකව කතාකරන භාශාවක් තේරුම් ගැනීම සාර්ථක කෘත්‍රිම බුද්ධියක ලක්ෂණයකි.

4. ඔබගේ ජංගම දුරකථනයේ එන ඇපල් සිරී - ගූගල් වොයිස් - මයික්‍රොසොෆ්ට් කෝර්ටානා යනු ඇප් හරහා දිවෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහන්ය. ෆෝනය තුල ඇති ඇප් එක අන්තර්ජාලය ඔස්සේ ප්‍රධාන කෘත්‍රිම බුද්ධි වැඩසටහන හා සම්බන්ධවීමෙන් ඔබට සාක්කුවේ ගෙනයන කෘත්‍රිම බුද්ධිය සහයකයෙකු ලැබේ.

5. ලංකාවේ විද්‍යාප්‍රබන්ධ ලෝලීන් වැඩිදෙනෙකු (ලේඛකයාද ඇතුලුව) මුලින්ම හඳුනාගත් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය වන්නේ ආතර් සී ක්ලාක්ගේ 2001 ප්‍රබන්ධයේ එන HAL පරිගණකයයි.

6. කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සඳහා ධනවත් රටවල් කෝටි ප්‍රකෝටි ගණනින් ආයෝජන කරමින් සිටී. මෙය ඊලඟ කර්මික විප්ලවයට මග පාදන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

7. මහාචාර්ය ස්ටීවන් හෝකින්, ටෙස්ලා සමාගමේ ඊලෝන් මස්ක් මෙන්ම මයික්‍රෝසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස්ද කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර සමාජ ව්‍යසනයන්ට මගපාදන බවට දැනටමත් අණතුරු අඟවා ඇත.

8. කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර හා රොබෝවන් නිසා නුදුරු අනාගතයේදීම ලක්ෂ ගණනකට රැකියා අහිමිවන බවට අණතුරු ඇඟවී තිබෙනවා. රියැදුරු, කම්කරු, ලිපිකරු වැනි සරළ රැකියා පමණක් නොව වෘත්තිකයින්ටද රැකියා අහිමි වන බවට අනාවැකි ඇත.

9. මානවරූපී කාන්තා රුවැති රොබෝවන් නිවසේ අත් උදව්වට මෙන්ම ගණිකා නිවාසවල මිනිස් ගණිකාවන් වෙනුවට සේවයට එන දිනය එතරම් ඈතක නොවේ. මිනිසුන් රොබෝවන් කසාද බඳින දිනයකුත් එනු ඇතැයි විද්‍යා ප්‍රබන්ධවල කියැවේ. විශ්වාසවන්ත, කිසිදා හැරනොයන රොබෝ සහකරුවෙකු / සහකාරියක තෝරා ගන්නට බොහෝ දෙන පෙළඹෙනු ඇතැයි සිතිය හැකිය.

10. "Electronic persons act" හෙවත් ඉලෙක්ට්‍රොණික පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පනත, යනුවෙන් රොබෝවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා පනතක් යුරෝපා පාර්ලිමේන්තුවේ කෙටුම්පත් වෙමින් තිබේ. කෘත්‍රිම සිතුවිලි ඇති යන්ත්‍ර බිහිවූ දාක, ඒවා ආරක්ෂා කිරීමට, මිනිසුන් අතින් ඒවාට අනවශ්‍ය අපයෝජන සිදුවීම වැලැක්වීමත් මේ පනතේ අරමුණ ලෙස දැක්වේ. තවත් අරමුණක් නම් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මිනිසුන්ට එදිරිව නැගී සිටීමට ඇති ඉඩකඩ අවම කිරීමයි.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

NORTH KOREA CRISIS : උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි! එයත් පුපුරා යයි!

දකුණු කොරියානු ප්‍රවෘත්ති වාර්තා උපුටා දක්වන රුසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්ති සේවය, මීට පැය කිහිපයකට ඉහතදී උතුරු කොරියාව තවත් මිසයිල පරීක්ෂණයක් සිදුකල බව වාර්තා කලා.

එම මිසයිලයද, අප්‍රේල් 16 පරීක්ෂා කල මිසයිලය මෙන්ම ගුවන්ගත වී තත්පර කිහිපයකින් පුපුරා ගිය බව වාර්තා වෙනවා.

ගුවාම් දූපතේ පිහිටි ශාන්තිකර සාගර ඇමරිකන් යුධ මූලස්ථානය (US Pacific Command) තමන් මෙම සිද්ධිය පිලිබඳව දැනුවත් බව ප්‍රකාශ කලා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Friday, 28 April 2017

MARITIME DEFENCE : HMS Audacious, ටොන් 7000ක් බර, පවුම් බිලියනයක් වටින බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ දිය යට සාහසිකයා

රාජකීය බ්‍රිතාන්‍ය නාවික හමුදාව සිය නවීකරණ ව්‍යාපෘත්‍රිය යටතේ ඇනවුම් කරන ලද ඇස්ටූට් මාදිලියේ අති නවීන ප්‍රහාරක සම්බැරීන 7න් සතර වැනි සබ්මැරීනය මුල් වරට දියත් කිරීමේ උත්සවය හෙට (28 සෙනසුරාදා) යෙදී තිබෙනවා. න්‍යෂ්ඨික  බළයෙන් ක්‍රියාත්මක වන මෙම සබ්මැරීනයක ආයු කාළය වසර 25ක් වන අතර මෙම වසර 25ටම ඉන්ධන පිරවීමක් සිදුවන්නේ නෑ. සබ්මැරීනය ගොඩනගන අවස්තාවේ ඇතුලු කරන න්‍යෂ්ඨික ඉන්ධන, එහි ආයුකාළය වන වසර 25ටම සෑහෙනවා.

HMS Audacious හෙවත් නිර්භය සාහසිකයා ලෙස නම් කොට ඇති නම් ලබාදී ඇති මෙය හෙටින් පසු වසරක පරීක්ෂණ කාළසීමාවකින් පසු 2018දී සක්‍රිය සේවයට පිවිසෙනු ඇත. බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ යාත්‍රා වල නමට කලින් HMS යනුවෙන් යොදන්නේ Her Majesty's Ship හෙවත් මහා රාජිණියගේ යාත්‍රාව  යන තේරුමෙනි.

මෙම සබ්මැරීනය අයත් ඇස්ටූට් මාදිලියේ සබ්මැරීන නිළධාරීන් 98 දෙනෙකු රැගෙන මාස තුනක කාලයක් සාගරය යටටවී සැඟවී සිටිය හැකි ලෙස නිර්මාණය කොට තිබෙනවා. අතිනවීන සංවේදක හා ප්‍රහාරක අවි මෙන්ම, සබ්මැරීන දඩයම් කරන (anti submarine ships) සතුරු නෞකාවලින් සැඟව නිහඬව කල්බැලීමේ විශිෂ්ඨ හැකියාවක් මෙම යාත්‍රාවට තිබෙනවා.

මෙම සබ්මැරීනය අයත් ඇස්ටූට් මාදිලියේ තවත් සබ්මැරීන තුනක් රාජකීය නාවික හමුදාවේ මේවන විට සේවයේ නියුතු අතර තවත් සතරක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. මේ එම සබ්මැරීන යාත්‍රා 7යි.

1 HMS Astute (තීක්ෂණ නුවනක් ඇත්තා) - 2010 සිට සක්‍රිය සේවයේ යෙදී සිටී

2 HMS Ambush (රැක සිට පහර දෙන්නා) - 2013 සිට සක්‍රිය සේවයේ යෙදී සිටී

3 HMS Artful (කපටි කෛරාටිකයා) - 2016 සිට සක්‍රිය සේවයේ යෙදී සිටී

4 HMS Audacious (නිර්භය සාහසිකයා) - 2018 සක්‍රිය සේවයට යොමුවනු ඇත

5 HMS Anson (කීර්තිමත් බ්‍රිතාන්‍ය නාවික හමුදා අද්මිරාල් ජෝර්ජ් ඇන්සන් සිහිවීමට) - 2020 සක්‍රිය සේවයට යොමුවනු ඇත

6 HMS Agamemnon (හෝමර්ගේ ඉලියඩ් වීර කාව්‍යයේ එන ග්‍රීක රණශූර ඇගමෙම්නන් වෙනුවෙන්) - 2022 සක්‍රිය සේවයට යොමුවනු ඇත

7 HMS Ajax (හෝමර්ගේ ඉලියඩ් වීර කාව්‍යයේ එන ග්‍රීක රණශූර ඒජැක්ස් වෙනුවෙන්)  - 2024 සක්‍රිය සේවයට යොමුවනු ඇත

නම : HMS Audacious (නිර්භය සාහසිකයා)

මාදිලිය : Astute Class Attack Submarine

ජල විස්ථාපනය : ටොන් 7000යි

කිමිදිය හැකි ගැඹුර - මීටර් 300

බලය : රෝල්ස් රොයිස් න්‍යෂ්ඨික එන්ජිම

නිළධාරීන් : 98

ටෝර්පිඩෝ විදින : 530mm ටෝර්පිඩෝ විදින 6යි ("Spearfish"වර්ගයේ අධිබල ටෝර්පිඩෝ 38 රැගෙන යා හැකියි )

ගොඩබිම් ප්‍රහාරක අවි : ටොමහෝක් බ්ලොක් 4 කෲස් මිසයිල

දිය යට සිටිය හැකි දින ගණන : අසීමිතයි (මුහුදු ජලයෙන් පිරිසිදු වාතය හා පිරිසිදු ජලය අසීමිතව නිපදවීමට හැකියාව ඇත - එහෙත් ආහාර ගෙනයා හැක්කේ දින 90 පමණි )

ආරක්ෂා උපක්‍රම :  ඇතුලත ශබ්දය පිටවීම වලක්වන acoustic masking පිටත ආවරණය.

සෝනාර් පද්ධතිය : සක්‍රිය හා නිහඬ (active & passive) සෝනාර් පද්ධතිය

නිහඬ සෝනාර් පද්ධතියේ සංවේදීතාවය : කිලෝමීටර් 5500ක් ඈතින් යන නෞකාවක එන්ජිමේ ශබ්දය ඇසිය හැකි තරමට සංවේදී බව වාර්තාවේ.

නිෂ්පාදකයා : බ්‍රිතාන්‍යයේ BAE Systems සමාගම

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

3D PRINTING : ගොඩනැගිලි ත්‍රී ඩී ප්‍රින්ටින් කරයි!

ඇමරිකාවේ  MIT විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් ගොඩනැගිල්ලක් මුද්‍රණය කල හැකි ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. මෙම තාක්ෂණය ගොඩනැගිලි සෑදීමේ විප්ලවීය වෙනසකට මගපාදනු ඇතැයි විචාරකයින් පවසනවා. කෙසේ වෙතත් ගොඩනැගිලි චීන සමාගම 2005සිට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතා කොට තිබෙනවා. එහෙත් සම්පූර්ණ ගොඩනැගිල්ලක් පාදමේ සිට නොනවත්වා ත්‍රිමාණ ලෙස මුද්‍රණය කිරීම මෙම එම්.අයි.ටී ත්‍රිමාණ ගොඩනැගිලි මුද්‍රණ යන්ත්‍රයේ විශේෂත්වයයි.

Digital Construction Platform ලෙස හඳුන්වන මෙම ත්‍රිමාණ මුද්‍රණ පද්ධතියේ නිර්මාපකයා හා ප්‍රධාන පර්යේෂකයා ලෙස කටයුතු කරන්නේ එම්.අයි.ටී විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු ශිෂ්‍යයෙකු වන ස්ටීවන් කීටින්. කීටින් පවසන අන්දමට මෙම පද්ධතියේ ඇති රොබෝ හස්තයට බිම සකස්කිරීම හා අවට පරිසරයේ ඇති පස් භාවිතා කරගෙන ගොඩනැගිල්ලක සැකිල්ල මුද්‍රණය කරන්න පුලුවන්.

රූපයේ පෙනෙන බුම්බුලාකාර (dome shape) හැඩැති ගොඩනැගිල්ල නිමවීමට මෙම මුද්‍රණය් යන්ත්‍රයට පැය 14ක් ගතවී තිබෙනවා. කීටින් පවසන අන්දමට ගොඩනැගිලි සෑදීමේ තාක්ෂණයේ මූලික වෙනස්කමක් වසර 100කින් වත් සිදුවී නෑ. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කලද අද ගොඩනැගිලි තනන්නේත් මීට වසර 100කට පෙර ගොඩනැගිලි සෑදූ ආකාරයටමයි. එහෙත් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයට මෙය වෙනස් කිරීමට හැකියි.

මෙම පද්ධතියේ අවසාන අරමුණ වන්නේ ඕනෑම පරිසරයක ස්වභාවිකව ඇති අයිස්, වැලි හෝ පස් වැනි අමුද්‍රව්‍ය යොදාගෙන ඉතා ඉක්මණින් අඩු වියදමකින් ගොඩනැගිලි තැනීමයි. ගොඩනැගිලි සෑදීමට ඉතා දුශ්කර ඇන්ටාර්ටිකාව වැනි ප්‍රදේශවල පමණක් නොව සඳ මත හෝ අඟහරු ලොව මත ගොඩනැගිල්ලක් තැනීමට මෙම පද්ධතිය ලෙහෙසියෙන් අනුවර්තනය කරගත හැකියි.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : හම්ප්බැක් තල්මස් පැටවා මවට කතාකරන හැටි අහන්න!

හම්ප්බැක් තල්මස් පැටවුන් සිය මවගේ අවධානය ඕනෑ වූවිට, මිනිස් ළදරුවන් මෙන් මහ හඬින් කෑගසන්නේ නෑ. තෙරක් නොපෙනෙන මහා සාගරයේ තල්මස් පැටවුන්ට ඇති අණතුරු බොහොමයි. ඔර්කා හෙවත් කිලර් වේල් නම් සුවිසල් දඩයක්කාර ඩොල්ෆින්, තල්මස් පැටවුන්ගේ ලොකුම සතුරායි. ඊට අමතරව මිනීමෝරුන් මෙන්ම වැඩිහිටි පිරිමි තල්මසුන්ගෙන්ද ඔවුනට කරදර ඇතිවෙනවා. මේ නිසා හම්ප්බැක් තල්මස් පැටවුන් සිය මවට කතාකරන්නේ බොහොම හෙමින්, ඈතට ඇහෙන්නේ නැති විධියට. නපුරු සතුරන්ට ඇහෙයි කියලා බයෙන් වගේ.

මේ වීඩියෝවේ ඇති තල්මස් සන්නිවේදනය, ඔස්ට්‍රේලියාව අසල මුහුදේදී කල එකක්. තල්මස් පැටවෙකු හා මව දින ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරලා බොහොම අපහසුවෙන් දියයට ශබ්ද පටිගත කරන උපකරණ ආධාරයෙන් තමයි මේ පටිගත කිරීම කරලා තියෙන්නේ.

මේ පටිගත කිරීම කල පර්යේෂකයින් කියන විධියට තල්මස් මවක් හා පැටවෙකු අතර සිදුවන දෙබසක් වැනි මෙවන් සන්නිවේදනයක් පටිගත කල මුල්ම අවස්ථාව මෙය වනවා. 

ග්‍රීෂ්ම සෘතුව අවසන් වෙමින් පවතින කාළය වූ මේ කාළයේ මව හා පැටවා ඈත උණුසුම් පෙදෙස් කරා සැතපුම් දහස් ගණනක ගමනකට සූදානම් වෙමින්, සිරුරුවල මේධ ගබඩා වැඩිකරගැනීම සඳහා හැකිතාක් ආහර ගතයුතු කාළයයි. මේ කාළයේ මව පැටවා ලඟින්ම සිටීම වැදගත් වන්නේ ඌට අවශ්‍ය කිරි මවගෙන් ලැබිය යුතු නිසාත් ඇයගේ ආරක්ෂාව පැටවාට ලැබිය යුතු නිසාත්. මේ නිසා නිරන්තරයෙන්ම මව හා පැටවා අතර බොහෝ අඩු තීව්‍රතාවයේ සන්නිවේදනයක් සිදුවෙනවා. මෙලෙස සන්නිවේදනය කිරීම නිසා පැටවාට මව මගහැරීම සිදුවන්නේ නෑ.

මෙම පටිගත කිරීම කල පර්යේෂකයින් බලාපොරොත්තු නොවූ දෙයක්වූයේ මව හා පැටවා අතර සන්නිවේදනයේ අඩු ත්‍රීව්‍රතාවයයි. මෙම ශබ්දයන් මුහුදේ මීටර් 30කට වඩා අඩු පෙදෙසක පැතිරෙන ලෙස නිකුත්වූ අතර සාමාන්‍යයෙන් හම්ප්බැක් තල්මසුන්ගේ සන්නිවේදනයන් සැතපුම් ගණනාවක් ඈතට පැතිරෙන අඩු සංඛ්‍යාතවල ඉතා ගැඹුරු හඬනැගීම් වනවා.

Functional Ecology පර්යේෂණ සඟරාවට මෙම පටිගතකිරීම් ගැන පත්‍රිකාවක් සපයන පර්යේෂකයින් අනුමාන කරන්නේ, මව හා පැටවා අතර මෙතරම් අඩු තීව්‍රතාවයෙන් (රහසින් මෙන්) කතා බහ සිදුවන්නේ සැබැවින්ම ඔවුන් එම ප්‍රදේශයේ සිටින බව සැඟවීමට ඇති උවමනාව නිසා බවයි. රහසින් මෙන් කතාබහ කරමින්, පැටවා ලඟින්ම තබාගනිමින් හම්ප්බැක් මව උත්සහ කරන්නේ පැටවාට සතුරු කරදර අවම වන තරමට ලොකු කර ගැනීමට බව පර්යේෂකයින් විශ්වාස කරනවා.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

BIOLOGY : බත්කූරියන්ගේ ගෑණු ගැට

බත්කූරාගේ ගෑණු සතාට බත්කූරී කියලා කියනවාදැයි හරියටම දන්නේ නැත. ඒත් අලුත්ම විද්‍යා නිරීක්ෂණයකට අනුවනම් බත්කූරියන් ගෑණු ගැට වලට දක්ෂයි.

ස්විට්සර්ලන්තයේ සූරික් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥයෙක් වන රසීම් කෙලීෆා පර්යේෂණයක් සඳහා Aeshna juncea කියන බත්කූරන් විශේෂයේ හැසිරීම් රටා නිරීක්ෂණය කරමින් සිටියදී ඔහුට දකින්නට ලැබිලා තියෙනවා මෙම විශේෂයේ ගැහැණු සතුන්, පිරිමි සතුන්ගේ අනවශ්‍ය අවධානයෙන් ගැළවෙන්න ඕනෑ වුනාම පෙන්වන අපූරු හැසිරීමක්.

අකමැති පිරිමි බත්කූරෙක් පසුපසින් හඹා එනකොට මේ ගැහැණු බත්කූරන් එක්වරම පියාසර කරන එක නවත්වලා, පොලොවට වැටෙනවා රසීම්ගේ නිරීක්ෂණයට හසුවෙලා තියෙනවා. පොලවට වැටුන ඇය නිසොල්මන්ව බිම වැටී සිටින අතර ඇය අකමැති පිරිමි බත්කූරා ඉවත්ව ගිය පසු යලිත් සුපුරුදු ලෙස පියඹා යන්න මෙම ගැහැණු බත්කූරන් පුරුදුවෙලා තියෙනවා.

මෙමෙ හැසිරීමට හේතුව ලෙස කලීෆා කියන්නේ වෙනත් පිරිමි බත්කූරෙකු මගින් බිත්තර සංසේචනය කරගත් පසු බිත්තර දමන තෙක්, තවත් බත්කූරෙකු සමග එක්වීමට ඇති අකමැත්ත නිසා මෙම ගැහැණු බත්කූරන් මෙම හැසිරීම පෙන්වනවා කියලයි.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තිර රචකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටයක් බලන්න ආසද?

ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතිනම් කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණක, මෑතකදී ඉතා වේගයෙන් දියුණුවෙමින් තියෙනවා. දැන් කෘත්‍රිම බුද්ධියෙන් පියාසර කරන ඩ්‍රෝන යානා යුධ කළාපවල අහසේ ප්‍රහාර මෙහෙයවනවා, කෘත්‍රිම බුද්ධි රියැදුරන් ධාවනය කරන වාහනවල පරීක්ෂණ ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ මහාමාර්ගවල නිරන්තරයෙන් සිදුවෙනවා. ඉතා ඉක්මණින් කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවන රථයක දරුවන්ව පාසැලට යවන්න හැකිවන තරමට ඒවා ආරක්ෂාකාරී වේවි.

එපමණක් නොවෙයි, කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන්, තවත් නොයෙකුත් මානව ක්‍රියාකාරකම් අත්හදා බලන්නට පටන් අරගෙන. සංගීත තනු නිර්මාණය, ආහාර පිසීම, කළාකෘති නිර්මාණය, චෙස් / චයිනීස් ගෝ වැනි සංකීර්ණ ක්‍රීඩා විතරක් නෙමෙයි දැන් ඔවුන් චිත්‍රපටවලට තිර රචනයන් පවා සිදු කරන්න පටන් අරගෙන.

"Sunspring" කියන විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටය, කෘත්‍රිම බුද්ධි පරිගණකයක් විසින් තනිවම ලියන ලද තිර රචනයකින් නිර්මාණය වූවක්. මෙහි කතාව, දෙබස් පවා කෘත්‍රිම බුද්ධිය මගින් ලියා තිබෙනවා. එපමණක් නොවෙයි, මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන, මෙම තිර රචනය ලියන අතරෙම, තමන්ටද නමක් දීගෙන තියෙනවා. යම් හේතුවක් නිසා මෙම කෘත්‍රිම බුද්ධිය "බෙන්ජමින්" කියන නමින් තමන්ව හඳුන්වාගන්න පටන් අරගෙන.

"Sunspring" චිත්‍රපටය බිහිවුනේ චිත්‍රපට අධ්‍යක්ෂක ඔස්කාර් ෂාප් හා නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි විශේෂඥයෙකු වන මහාචාර්ය රොස් ගුඩ්වින්ගේ හවුල් ව්‍යායාමයක් විදියට. 

Sci-Fi London කියන කෙටි චිත්‍රපට උළෙලේ පැය 48 අභියෝගය (48 hour challenge) කියන තරඟයට තමයි මොවුන් මේ කෘත්‍රිම බුද්ධිය විසින් ලියන ලද තිර රචනය කෙටි චිත්‍රපටයක් ලෙස රූගත කරලා නිර්මාණය කරලා තියෙන්නේ. 48 අභියෝගයේදී, තරඟ කරුවන් පැය 48ක් ඇතුලත අලුත් විද්‍යාප්‍රබන්ධය කෙටි චිත්‍රපටයකට තිර රචනය කරලා,චිත්‍රපයටක් ලෙස රූගත කරලා, සියලු සංස්කරණ පැය 48ක් ඇතුලත අවසන් කරලා ඉදිරිපත් කරන්න ඕනෑ. එම තරඟයට තමයි කෘත්‍රිම බුද්ධි බෙන්ජමින් ලියපු "Sunspring" චිත්‍රපටය ඉදිරිපත් කලේ.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 27 April 2017

MARITIME DEFENCE : චීනයේ නිෂ්පාදිත පලමු ගුවන්යානා ගෙනියන නෞකාව දියත් කෙරේ.

වේගයෙන් දියුණුවන නාවික තාක්ෂණය මූර්තිමත් කරමින්, චීනය සම්පූර්ණයෙන්ම දේශියව නිශ්පාදනය කරන ලද විශාල ගුවන්යානා ගෙනියන නෞකාවක් ඊයේ දියත්කලා.

යූක්‍රනයෙන් මිලදිගත් "ලියොනින්ග්" චීනයේ පලමු ගුවන්යානා ගෙනියන නෞකාව වන අතර මෙම නෞකාව සෝවියට් දේශයේ නිර්මාණයක් වන "Kuznetsov" කාණ්ඩයේ නෞකාවකි. ටොන් 100,000ක් බර ඇමරිකන් නිමිට්ස් කාණ්ඩයේ ගුවන් යානා ගෙනියන නෞකාවලට වඩා කුඩා වන කුස්නෙට්සොෆ් කාණ්ඩයේ නෞකාවලට බලය සපයන්නේ ඩිසල් ටර්බයින් එන්ජින් මගිනි. ඇමරිකන් ගුවන්යානා ගෙනියන නෞකා සියල්ලම න්‍යෂ්ඨික බළයෙන් ක්‍රියාත්මක වේ.

එමෙන්ම මෙම නෞකාවලට විශාල අවිආයුධ තොගයක් පටවාගත් බර ප්‍රහාරක යානා ගුවන්ගත කල හැකි "Steam Catapult" තාක්ෂණයද නොමැත. Steam Catapult තාක්ෂණයේදී නෞකාවේ න්‍යෂ්ඨික එන්ජිමෙන් ජනනය වන වාෂ්ප උපයෝගී කරගෙන ධාවන පථයට යටින් විශාල පිස්ටනයක් ක්‍රියාත්මක වන අතර මෙම පිස්ටනය මගින් ධාවන පථයේ තිබෙන ගුවන් යානය අධික වේගයකින් තල්ලුකර ගුවන්ගත වීමට අමතර බලයක් ලබාදේ. ඉතා සංකීර්ණ තාක්ෂණයක් මෙන්ම මෙහෙයුම් ක්‍රමවේදයන් ඇති වාෂ්ප කැටපෝල තාක්ෂණය දියුණු කරගැනීමට අපහසු තාක්ෂණයක් බව විශේෂඥයින් පවසනවා.

ඒ අනුව චීනයේ ලියොනින්ග් හා මෙම අලුත් ගුවන්යානා ගෙනියන නෞකා වේගය අතින් හා ගෙනයා හැකි ගුවන්යානා ගණන අතින් ඇමරිකන් නෞකා වලට වඩා පහලින් තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරියේදී නිර්මාණය වන චීන ගුවන්යානා ගෙනියන නෞකා ඇමරිකන් නිමිට්ස් කාණ්ඩයේ විශාලත්වයට සමාන, වාෂ්ප කැටපෝල තාක්ෂණයෙන් බර ගුවන්යානා ගුවන්ගත කල හැකි මාදිලියේ ඒවා වනු ඇතැයි චීන ආරංචිමාර්ග පවසනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Wednesday, 26 April 2017

NOT SO SERIOUS SCIENCE : කිරිබොන සත්තු ඔක්කොම නොම්බර 2 කරන්නේ තත්පර 12ට අඩුකාලෙකින්ලු

කිරිබොන සත්තු ඔක්කොම නොම්බර 2 කරන්නේ තත්පර 12ට අඩුකාලෙකින්ලු

කිරිබොන සත්තුන්ගේ නොම්බර 2 මොකක්ද කියලා පැහැදිලි ඇති දැන් :D 

ඇමරිකාවේ Georgia Institute of Technology විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකරන ලද අධ්‍යයනයකදී බොහෝ ක්ෂීරපායින් සිය ශරීරකෘත්‍යය සිදුකිරීමට තත්පර 12ක් හෝ ඊට අඩු කාළයක් ගන්නවා. බළලුන් සිට අලි ඇතුන් දක්වා විවිධ ප්‍රමාණයේ සතුන්ගේ මෙම චර්යාව වීඩියෝ පටිගත කිරීම වලින් අධ්‍යයනය සිදුකරන ලද අතර කොතරම් විශාල හෝ කුඩා වුවත් මෙම කෘත්‍යය සිදුකිරීමට ගතවන කාලයේ ඇත්තේ තත්පර 5ක පමණ වෙනසක් (7s to 12s). මෙම පර්යේෂණය ඔවුන් නම් කරලා තියෙන්නේ Hydrodynamics of defecation කියලයි.

මේ පරීක්ෂණය තමුන්ට ගෙදර ඉඳගෙන උනත් කරලා බලන්න පුලුවන් ඔන්න... (සයන්ස් ඊස් ෆන් තමයි )

ගෑස්-(ට්‍රික්) එන්නේ කෑමෙන් නෙමෙයිලු

නිතරම ගෑස් නිසා දුක් විඳින හා අහල පහල අයටත් ගෑස් මුහුණු ආවරණ දාගන්නට තරම් ගෑස් යවන අය ගැලවිල්ලට කියන්නේ කෑම නිසා එහෙම වෙනවා කියලා. ඒත් දැන් පර්යේෂණයකින් හෙලිවෙලා තියෙනවා මෙලෙස පහල ජීර්ණ පද්ධතියේ (lower digestive tract) වායුව හටගන්නේ කෑම හේතුවෙන් නොව එවැනි පුද්ගලයින්ගේ පහල ජීර්ණ පද්ධතියේ සිටින බැක්ටීරියා වර්ග නිසා කියලා. මෙවැනි බැක්ටීරියා ගෑස් ප්‍රශ්ණය අඩු පුද්ගලයින්ගේ අඩු බවයි හෙලිවෙලා තියෙන්නේ. දෙගොල්ලන්ටම එකම කෑම ජාති කන්න දීලා, ඔවුන් පිට කරන ගුද වාතය පර්යේෂණාත්මකව මැන බලලා (ඇත්තටම ) තමයි මේ නිගමනයට එළඹිලා තියෙන්නේ.

බල්ලත් බොරු කියනවලු හලෝ??

පර්යේෂණයකින් හෙලිවෙලා තියෙනවා බල්ලන්ට රැවටීමේ හැකියාව (deceptive-like behaviour) තියෙනවා කියලා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දෙයක් ලබාගන්න තම ස්වාමියාව නොමග යවන්න මෙයාලට හැකියාවක් තියෙන බව තමයි හෙලිවෙලා තියෙන්නේ.

මිනිස්සු ආශ්‍රය කරහම ඔහොම නරක පුරුදු ඇතිවෙනවා තමයි...

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ELECTRIC CAR TECHNOLOGY : ප්‍රහාරක ජෙට්යානා වල තාක්ෂණයෙන් නිර්මිත Porsche සමාගමේ Mission E ඉලෙක්ට්‍රික් සුපර් කාරය

ජර්මනියේ පෝර්ෂෙ සුපිරි කාර් සමාගම ඉලෙක්ට්‍රික් සුපිරි කාරයක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. 2015දී දී ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් රථ ප්‍රදර්ශණයේදී මුල්වරට ප්‍රකාශයට පත්කල මෙම මෝටර් රථයේ නිර්මාණ කටයුතු දැන් අවසන්ව ඇති අතර 2019/2020 වර්ශවලදී වෙළඳපොලට නිකුත් කිරීමටයි දැන් පෝර්ෂෙ සමාගම සූදානම් වන්නේ.

මෙම රථයේ අඩංගු කොට ඇති සමහර රියැදුරු සහයක (driver assist) තාක්ෂණයන් දැනට අති නවීන ප්‍රහාරක ජෙට් යානාවල නියමුවන්ගේ සහයට යොදාගැනෙන තාක්ෂණයන් බව වාර්තාවෙනවා. 

0-100km/h වේගයක් තත්පර 3.5කදී ලඟාකරගත හැකි මෙම රථයේ ඉලෙක්ට්‍රික් මෝටර් අශ්වබල 600ක ජවයක් ජනනය කරනවා.  250km/h උපරිම වේගයක් මෙන්ම එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක දුරක් ධාවනය කිරීමටද මෙම කාරයට හැකියාව තිබෙන බවයි ජර්මනියෙන් වාර්තා වන්නේ.

Mission E ලෙස නම් තබා ඇති මෙම රථයේ ඉදිරිපස ඇක්සලයේ හා පසුපස ඇක්සලයේ මෝටර් එකක් බැගින් මෝටර් දෙකකින් බලගැන්වෙනවා. පෝර්ෂෙ සමාගම නිර්මාණය කල Torque Vectoring System   තාක්ෂණයෙන් රථයේ රෝද 4ට වෙන වෙනම ව්‍යවර්තක බලය (torque) යොදවන්නට රථයේ පරිගණකයට හැකියි.

Advanced Lithium-ion බැටරි තාක්ෂණයෙන් මෙහි බැටරි නිර්මාණය කොට ඇති අතර රැහැන් රහිතව induction charging ක්‍රමයට මෙන්ම සාමාන්‍ය ක්‍රමයට පේනුවකට සවිකොටද මෙය චාර්ජ් කරගත හැකියි. 

මෙම රථය පැති කණ්නාඩි නොමැතිව නිර්මාණය කොට ඇති අතර, එම ස්ථානවල ඇති කැමරා මගින් ගන්නා රූප වින්ඩ්ෂීල්ඩ් එකෙහි පහල වම් හා දකුණු කෙලවරවල ඇති තිරවලට යොමුවේ.

රියදුරා රථය ධාවනය කරන අතරතුරු ඩෑෂ් බෝර්ඩ් එකෙහි ඇති උපාංගයක් (උදා: රේඩියෝව ) ක්‍රියාතමක කරන්නට අවශ්‍යනම් එම උපාංගය දෙස බැලීම පමණක් සෑහේ. කාරයේ පරිගණකයට සවිකොට ඇති "eye tracking" තාක්ෂණය මගින් රියැදුරාගේ දෑස් යොමුවන ස්ථානය හඳුනාගෙන එම උපාංගය ක්‍රියාත්මක කරන මෙනුව රථයේ ප්‍රධාන තිරයට ගෙන ඒ. එවිට සුක්කානමේ ඇති බොත්තමක් තද කිරීමෙන් එම උපාංගය ක්‍රියාත්මක කිරීමට රියැදුරාට හැකිය. දැනට මෙවැනි අයි ට්‍රැකින් තාක්ෂණයන් යොදා ගැනෙන්නේ ප්‍රහාරක ජෙට් යානාවලය

රථයේ දොරවල් 4ක් ඇති අතර ඒවා විවරවන අපූරු ආකාරය ඔබට පහල ඡායාරූපයේ දැකිය හැකිය.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

INNOVATIONS : නොමේරූ ළදරුවෙකු සාර්ථකව පෝෂණය කල හැකි කෘත්‍රිම දරුගැබ!

  • පලමු ළදරුවන් නොමේරූ (premature) බැටළු පැටවුන් 6දෙනෙක්
  • "බයෝ බෑග්" ලෙස හැඳින්වෙන මෙම කෘත්‍රිම දරුගැබ් තුල මෙම බැටළු පැටවුන් හොඳින් වැඩුන බව නිරීක්ෂණය වුනා.
  • බැටළු පැටවුන්ගේ හදවත්, පෙණහලු හා වෙනත් ඉන්ද්‍රියයන් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වූ අතර ඔවුන් කකුල් සොලවමින් දෑස් විවරකලා. මේවා දරුගැබක් තුල වැඩෙන ළදරුවෙකුගේ සාමාන්‍ය ක්‍රියාකාරකම්.
  • දින 30ක්ම මෙම බැටළු පැටවුන් මෙම බයෝබෑග් කෘත්‍රිම දරුගැබ් තුල හොඳින් වැඩුන බව නිරීක්ෂණය වුනා.
ජීවී දරුගැබක ඇති ඇමිනියෝටික් ද්‍රාවණය නම් ද්‍රාවණයට සමාන ද්‍රවයකින් පිරුණු ප්ලාස්ටික් බෑගයක් වන මෙම කෘත්‍රිම දරුගැබ නොමේරූ ළදරුවෙකුට මවගේ දරුගැබෙන් ලැබෙන සියලුදෑ ලැබෙන ලෙස සකස්කොට තිබෙනවා. මෙම දරුගැබ පිටත ඇති "gas exchanger" උපකරණයකට සම්බන්ධකොට ඇති අතර එමගින් දරුවාගේ පෙකණියට සම්බන්ධ කොට ඇති බටය හරහා එන දරුවාගේ කාබන් ඩයොක්සයිඩ් වැඩි අපිරිසිදු ලේ පිරිසිදු කර ආපසු දරුවාටම ලබාදෙනවා.

ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ළමා රෝහල විසින් මෙම පර්යේෂණ මෙහෙයවන අතර මෙම පර්යේෂණවල ප්‍රධානියා ලෙස කටයුතු කරන ළමාරෝග විශේෂඥ වෛද්‍ය ඇලන් ෆ්ලේක් පවසන අන්දමට සති 23 සිට සති 28 දක්වා කාළයේ අඩු වයසින් උපදින නොමේරූ ළදරුවන්ට නිරෝගී දරුවන් ලෙස වැඩීමට අවශ්‍ය මවගේ දරුගැබේ තත්වයන් කෘත්‍රිමව නිර්මාණය කිරීම මෙම පර්යේෂණ වල අරමුණයි.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Tuesday, 25 April 2017

INNOVATIONS: මිලෙන් අඩු වේගයෙන් වැඩි Intelගේ අලුත්ම Optane Memory

3D XPoint මෙමරි තාක්ෂණය ලෙස නිළ වශයෙන් හැඳින්වෙන මෙම මෙමරි වර්ගය Non Volatile Memory වර්ගයට අයත්ය. එනම් විදුලිබලය විසන්ධිකල විටත් මතකයේ ගබඩා කොට ඇති දෑ මැකී නොයාමේ ගුණය ඇත. එනිසා 3DX Point මතකයක් අඩුමිල, අධිවේගී Solid State Disk Drive සෑදීම සඳහා බෙහෙවින් සුදුසුය.

Solid State Disk (SSD) Drive යනු අප දන්නා හඳුනන Magnetic Disk Drive මෙන් යාන්ත්‍රික ක්‍රියාකාරකම්, එනම් කැරකෙන මැග්නටික් තැටි, ඒ මේ අත දුවන මැග්නටික් කියවීම් හිස ආදිය නොමැති, කොටින්ම චලනය වන කොටස් කිසිවක් නැති ඔබගේ පෙන් ඩ්‍රයිව් එක වැනි, එහෙත් ඊට වඩා අධික වේගයෙන් ක්‍රියාත්මක වන ඩිස්ක් ඩ්‍රයිව් වර්ගයකි.

ඉන්ටෙල් සමාගම පවසන අන්දමට SSD ඩිස්ක් ඩ්‍රයිව් සෑදීම සඳහා 3D XPoint පොයින්ට් මෙමරි ඉතාම සුදුසු වන්නේ ඒය වේගවත් මෙන්ම මිලෙන් අඩු නිසාය.

3D X පොයින්ට් මෙමරි තාක්ෂණය සඳහා අඩිතාලම වැටුනේ ඉන්ටෙල් සමාගම හා මයික්‍රෝන් ඉලෙක්ට්‍රොණික්ස් සමාගම ඒකාබද්ධව කල පර්යේෂණ වල ප්‍රථිපල අනුවය. මෙම පර්යේෂණ ප්‍රතිපල 2015දී නිළ වශයෙන් ප්‍රකාෂයට පත්වුනු අතර දැන් මෙම 3D X Point මෙමරි වාණිජමය වශයෙන් වෙළඳපොලට ඉදිරිපත් වෙමින් ඇත. Optane යනු ඉන්ටෙල් සමාගම 3D X Point තාක්ෂණයට ලබාදී ඇති වෙළඳ සන්නාමයයි.