Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 31 May 2017

OPINION : කුණු ට්‍රැක්ටරය පැදවීම නගර සභාවේ සභාපතිගේ වැඩක් නොවිය යුතුවීම හෙවත් පාලකයින් ගං වතුරට නොබැසීමේ ගුණාගුණ.

යටගිය දවස එක් කලෙක එක්තරා විප්ලවීය පක්ෂයක් එක්තරා සභාවක් චන්ද බලයෙන් දිනාගත්තේය. එය ප්‍රාදේශීය සභාවක්ද, නගර සභාවක්ද යන්න මතක නැති නමුත් ඔවුන් එයට "අධිෂ්ඨානයේ පුරවරය" ලෙස නම් තැබූ බව යාන්තමට මතකය. මෙය පිලිබඳ අමතක දෑ ගොඩක් ඇතිවුවද අමතක නොවන එක් දෙයක් වන්නේ ඒ කාලයේ එම විප්ලවීය පක්ෂයේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් මගේ හිතවතෙකු වූ එම පක්ෂයේ පාක්ෂිකයෙක් කී දෙයක්ය.

"ඔන්න බලපන් මචන් දැන් අපි දිනපු ****සභාවේ වැඩ නියමට යනවා. හැමෝම බැහැලා වැඩ. කොටින්ම මචන් කුණු ට්‍රැක්ටරේ එලවන්නේ සභාවේ  සභාපති.....හිතපන් කොච්චර බිම් මට්ටමට බැහැලද අපේ උන් වැඩකරන්නේ කියලා... "

ඒ මොහොතේ මට ඇතිවූ සිනහව පාලනය කරගත්තේ කොහොමද කියලා මතක නැතත් තවමත් එය මතක්වන විට සිනහ යයි.

ප්‍රාදේශීය/පලාත්/නගර සභා සභාපතිලා ඉන්නේ කුණු ට්‍රැක්ටර් එලවන්නද නැතිනම් කුණු ට්‍රැක්ටර් එළවිය යුතු, එහෙත් එසේ නොකරමින් සභාවෙන් පඩි ගන්නා ගමන් ත්‍රීවීලර් එලවීම, බස් එලවීම හා පෞද්ගලික රියදුරන් ලෙස අමතර රැකියා කරන පල් හොරුන්ගෙන් වැඩට ගෙන්නාගෙන වැඩ ගැනීමටද යන්න සිතා බලන්න. සභාපති ට්‍රැක්ටරේ නැගී කුණු අදිනවිට සභාවේ දහසකුත් එකක් පරිපාලන කටයුතු මෙහෙයවන්නේ, තීන්දු තීරණ ගන්නේ කවුද?

විප්ලවීය පක්ෂය ඊලඟ චන්දෙදී සභාව නැතිකරගත්තේ සභාපති ට්‍රැක්ටරේ හරියට එලෙව්වේ නැති නිසාද නැතිනම් ට්‍රැක්ටර් පැද පැද ඉඳලා අනෙක් වැඩ අතපසුවෙලා මිනිස්සුන්ට එපා වෙලාද කියන එක නම් දන්නේ ඒ පක්ෂේ අයමය.

ජනාධිපති, අගමැති, ඇමතිලා වතුරේ අමුඩ ගහගෙන මිනිස්සු කරතියාගෙන යනවා පේන්නේ නැත්තේ ඇයි?

බුකියේ බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි මෙය. රටකට ස්භාවික ව්‍යසනයක් වූවිට රටේ පාලකයින් එවැනි ස්ථාන බැලීමට සංචාරයක් යාම, දුකට පත්වූවන්ගේ දුක බෙදාගැනීම සිරිතකි. 

එහෙත් ඒත් හැමදෑම ගංවතුරේ බැහැගෙන නටනවාට වඩා ඒ මිනිස්සුන්ට වැඩ නැද්ද? හමුදාව මෙහෙයවීම, සම්පත් බෙදා හැරීම, රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීම සිදුකරන්නේ කවුද? දිස්ත්‍රික්කවල වඩ කටයුතු සම්බන්ධීරකරණය කරන්නේ මුදල් සම්මත කරන්නේ, මුදල් වියදම් කරන්න චෙක්පත් අත්සන් කරන්නේ කවුද? 

රටේ නායකයින් හා ඇමති මණ්ඩලය ඉන්නේ ඒවාට මිස, මඩේ බැහැගෙන බැරි වැඩ කරන්න නොවේ. ඔවුන් සිටින්නේ වැඩ කල හැකි, කලයුතු මිනිසුන්ගෙන් වැඩ ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයිමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමටයි. 

සභාපතිලා කුණු ට්‍රැක්ටර් එලවිය යුතු නැතුවා මෙන්ම රටක නායකයෝ ඉන්නේ ගෙවල් හෝදන්න, අනාත මිනිස්සුන්ට කන්න උයන්න, ගෙවල් හෝදලා දෙන්න නොවේ. ඒවා කරන්නට සූදානම් මිනිස්සුන්ට දිය යුතු පහසුකම් ලබාදීමටයි

ඒ නිසා කෝ සිරිසේන, කෝ රනිලා, කෝ අහවල් ඇමතියා කියමින් පෝස්ට් හදමින් කාලේ කන්නේ නැතුව, ආපදා ඇති තැන්වලට ගිහිල්ලා පුලුවන් උදව්වක් කරන්න, නැතිනම් ආධාර ටිකක් එකතු කරන්න.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Tuesday, 30 May 2017

WTF?? : O/L ගණන් ෆේල්වීමේ විපාක!!!

ෆේස් බුකියේ දමා ඇති පෝස්ටුවකි මේ. 

ආණ්ඩුව සහනාධාර වශයෙන් වෙන්කල කෝටි 4.5 ගැන ගොන් පෝස්ට් එකක් හදපු මේ සුරතල් නාම්බා වැනි තව නාම්බන් නෑම්බියන් කීදෙනෙක් ඊලඟ චන්දෙදී තවත් කම්බ හොරු රැළකට පෝලිමේ ගොස් චන්දය දෙනු ඇතිද? දීලා රැවටුනු පසු හිතේ අමාරුවට මෙවැනිම පෝස්ටු හදනු ඇතිද?

කෝටිය කියන්නේ ලක්ෂ සීයකට. ඒ කියන්නේ මිලියන 10කට. කෝටි 4.5ක් නම් මිලියන 45යි. මිලියනයට බිංදු 6යි. ඒතකොට කෝටි 4.5 නැතිනම් මිලියන 45 ලියන්නේ 45,000,0000/-

කෝටියට බිංදු කීයද කියලා දන්නෙ නැති, ෆේස් බුක් කෙටුවට, ගූගල් එකෙන් හොයා ගන්නවත් බැරි, නොදන්නා බව වත් නොදන්න නව පරපුරේ ෆේස් බුක් ගොන් නාම්බාට අපේ උපහාරය.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Sunday, 28 May 2017

AUTOMOBILE TECHNOLOGY : සුපර්චාජර්, ටර්බෝචාජර් හා ඉන්ටර්කූලර් ටර්බෝ

සුපර්චාජර්, ටර්බෝචාජර් හා ඉන්ටර්කූලර් ටර්බෝ යන වචන රථවාහන සම්බන්ධයෙන් කතාකරන විට නිතරම අසන්නට ලැබෙන යෙදුම්. රථවාහන නිශ්පාදකයින් හා මෝටර්-රථ අලෙවිකරුවන් සිය වාහනවල ගුණාත්මක භාවය ඉහල බව පෙන්වීමට මේ තාක්ශණික යෙදුම් ප්‍රයෝජනයට ගත්තත් පොදු මහජනතාව අතර මේ යෙදුම් වල නියම තේරුම පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්. 

සුපර්චාජර් හා ටර්බෝචාජර් වාහනයේ අශ්වබල ප්‍රමාණය හා ඉන්ධන කාර්යක්ශමතාවය (fuel economy) වැඩිකරනවාද?

ඔව්, සුපර්චාජර් හා ටර්බෝචාජර් යන තාක්ශණයන් මගින් යම් ඉන්ධන ප්‍රමාණයකට එන්ජිමක් මගින් ලබාදෙන අශ්වබල ප්‍රමාණය ඉහල දමනවා. මේ නිසා එවැනි එන්ජින් ඉන්ධන කාර්යක්ශමතාවයෙන් ඉහලයි.

සුපර්චාජර් හා ටර්බෝචාජර් ක්‍රියාකාරිත්වය

සුපර්චාජර් හා ටර්බෝචාජර් ක්‍රියාකාරිත්වයෙන් ඉතාමත් සමානයි. මේ දෙකම වාහනයක සාමාන්‍ය එන්ජිමකට සවිකරන අමතර උපාංග වන අතර එමගින් සිදුකරන්නේ වාහනයේ එන්ජිමේ සිලින්ඩර තුලට දහනය සඳහා අධික ලෙස සම්පීඩනය කරනලද වාතය පොම්ප කිරීමයි. මෙම ක්‍රියාවලිය "forced induction" ලෙස හඳුන්වනවා.

වාතය සම්පීඩ්නය කලවිට සිලින්ඩරය තුලට වැඩි වායු ඝණ මීටර් ප්‍රමාණයක් ඇතුලුකල හැකිවනවා. එම වැඩි වායු පරිමාව තුල වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇති බැවින් ඉන්ධන දහනය පරිපූර්ණව සිදුවන බැවින් එන්ජිමේ කාර්යක්ශමතාවය වැඩිවෙනවා. එමෙන්ම සම්පීඩිත වාතය දහනය වීමේදී නිපදවෙන තෙරපුමද අධික බැවින් වැඩි ජවයකින් පිස්ටන තල්ලුකිරීම සිදුවනවා. එන්ජිමෙන් ලැබෙන අශ්වබල ප්‍රමාණය වැඩිකිරීමට මෙයද හේතුවනවා.

සුපර්චාජර් හා ටර්බෝචාජර් යන දෙකෙන්ම සිදුකරන්නේ මෙම ක්‍රියාවලියයි. 

සුපර්චාජර් හා ටර්බෝචාජර් තාක්ශණවල වෙනස

සුපර්චාජරයට මෙන්ම ටර්බෝචාජරයටද වාතය සම්පීඩ්නය කලහැකි කොම්ප්‍රෙසරයක් අඩංගුය. මේ තාක්ශණ දෙකෙහි ඇති වෙනස්කම වන්නේ කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලබාදෙන ආකාරයයි.

සුපර්චාජරයක කොප්‍රෙසරය වාහනයේ ක්‍රෑන්ක් ශාෆ්ටයට දම්වැලක් හෝ බෙල්ටයක් ආධාරයෙන් සම්බන්ධකොට ඇති අතර එන්ජිමේ බලයෙන් කොටසක් කොම්ප්‍රෙසරය කරකැවීමට යොදාගැනෙයි.

ටර්බෝචාජරයක කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වන්නේ එන්ජිමේදී දහනයවී මැනිෆෝල්ඩයෙන් ඉවත්වෙන අධික තාපයෙන් යුතු පිටකුරු වායුව (exhaust gas) මගිනි. මෙම වායුව සයිලන්සරය හරහා පිටකරවීමට ප්‍රථම ටර්බයින් වර්ගයේ අවරපෙත්තක් ආධාරයෙන් (turbine fan) කොම්ප්‍රෙසරය කරැකැවීමට අවශ්‍ය බ්‍රමණය ලබාගන්නවා.

සුපර්චාජර් ගැන වැඩිදුරටත්...

සුපර්චාජර් තාක්ශණය මුලින්ම නිර්මාණය කලේ ගුවන්යානා පෙට්‍රෝල් එන්ජින්වල (ජෙට් එන්ජින් නොවේ ) කාර්යක්ශමතාවය ඉහල නංවාගනීමේ උපක්‍රමයක් ලෙසයි. සුපර්චාජර් බෝහෝ වාහනවල ඔරිජිනල් උපාංගයක් ලෙස නිශ්පාදකයා විසින් සවිකොට එවීමක් දකින්නට ලැබෙන්නේ නෑ. පෙට්‍රොල් එන්ජින්වල කාර්යක්ශමතාවය ඉහල නැංවීම සඳහා නිශ්පාදකයින් වෙනත් උපක්‍රම භාවිතාකරන අතර ඩීසල් එන්ජින් සඳහා ටර්බෝචාජර් තාක්ශණය භාවිතාකරනවා.

පැට්‍රෝල් වාහනවලට සුපර්චාජර් වැඩිවශයෙන්ම යොදාගන්නේ ධාවන තරඟ සඳහා වාහන අනුවර්තනය කරන ධාවන තරඟ ලෝලීන් විසිනි. මෙවැනි ධාවන තරඟ drag racing ලෙස හඳුන්වන අතර තරඟකරුවන් සිය වාහනවල අශ්වබලය වැඩිකරගැනීම සඳහා සුපර්චාජර් භාවිතා කරනවා. මේ සඳහා ඔවුන් අතිවිශාල සුපර්චාජර් උපාංග එන්ජිමට සවිකොට අධික බලයක් ලබාගැනීමට උත්සහකරනවා. 

ධාවන තරඟවලට සූදානම් කරන වාහන නිසා ඔවුන් ඉන්ධන කාර්යක්ශමතාවය ගැන එතරම් තැකීමක් කරන්නේ නෑ.

අතිවිශාල සුපර්චාජරයක් සවිකොට ධාවන තරඟ සඳහා අනුවර්තනය කරනලද කාරයක්. මෙම සුපර්චාජරය කොතරම් විශාලද යත් බොනට්ටුවේ කොටසකුත් කපා ඉවත්කොට තිබෙනවා. සුපර්චාජරයේ කොම්ප්‍රෙසරය එන්ජිමේ ක්‍රෑන්ක් ශාෆ්ට් කොටසට සම්බන්ධ කරන අවාන් පටිය (fan belt) ඔබට දැක ගැනීමට පුලුවන්.

ටර්බෝචාජර් තාක්ශණය

අද වෙළඳපොලේ දක්නට ලැබෙන සෑම ඩීසල් වාහනයකම ටර්බෝචාජර් තාක්ශණය අනුයුක්තකොට ඇත්තේ ඩීසල් එන්ජිමක කාර්යක්ශමතාවය ඉහල නැංවීමට ටර්බෝචාජර් තාක්ශණය ඉතා සුදුසු නිසායි. කලින් විස්තර කල පරිදි ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරය ක්‍රියාකරවන්නේ එන්ජිමෙන් ඉවත්වන පිටකුරු වායුව මගින්. මේ නිසා එන්ජිමේ කාර්යක්ශමතාවයේ අඩුවීමක් සිදුනොවන අතර මේ නිසා ටර්බෝචාජරයක් මගින් ඩීසල් එන්ජිමක කාර්යක්ශමතාවය විශාල ලෙස ඉහල නංවනවා. නවීන පෙට්‍රෝල් වාහන වලද ටර්බෝචාජර් තාක්ශණය අඩංගුකොට තිබෙනවා.

ඉන්ටර්කූලර් ටර්බෝ තාක්ශණය

ශ්‍රී ලංකාව තුල ඉන්ටර්කූලර් යන වචනය අති සුඛෝපභෝගී වාහන සඳහා නිතර භාවිතාවන්නක්. ඉන්ටර්කූලර් වාහන නවතම තාක්ශණය අඩංගු අති නවීන, මෙන්ම අධික මිලක් ඇති වාහන ලෙස පිලිගැනෙනවා.

එහෙත් සැබැවින්ම ඉන්ටර්කූලර් ටර්බෝ තාක්ශණය අතිනවීන, රැඩිකල් තාක්ශණයක් නොව, ටර්බෝචාජර්වලට ආවේණික එක් දුර්වලතාවයක් මගහරවා ගැනීමට වාහන නිශ්පාදකයින් යොදාගන්නා සරල උපක්‍රමයක් යයි පැවසුවහොත් ඔබ පුදුම වනවා ඇත.

ටර්බෝචාජර්වල ඇති එක් ආවේණික දුර්වලතාවයක් නම් එය මැනිෆෝල්ඩයෙන් පිටවන අධික තාපයෙන් යුතු පිටකුරු වායුවෙන් බලගැන්වෙන නිසා අධික ලෙස රත්වීමයි. මෙලෙස අධික ලෙස රත්වීමේදී කොම්ප්‍රෙසරය මගින් සම්පීඩනය කරන වායුවද අධික ලෙස රත්වීමෙන් අවාසි දෙකක් ඇතිවෙනවා. 

  1. පලමුවැනි අවාසිය, රත්වූ වායුව ප්‍රසාරණය වීමෙන් දහනය සඳහා යන වායුව නිසිකාර්යක්ශමතාවයට සම්පීඩිත නොවීම. 
  2. දෙවැන්න නම්, මෙලෙස අධික ලෙස රත්වූ වායුව, ඉන්ධන හා මිශ්‍රවූ වහාම (නියමිත කාලයට පෙර) ගිණිගැනීමට හැකිවීම.
ඉන්ටර්කූලර් ලෙස හඳුන්වන්නේ ටර්බෝචාජරයක් මගින් සම්පීඩනය කරනලද වාතය, එන්ජිම වෙත යැවීමට පෙර රේඩියේටරයක් වැනි උපාංගයක් හරහා යවා එම වායුව සිසිල් කිරීමයි. Charge air cooler ලෙස හඳුන්වන මෙය සමහර වාහන නිශ්පාදකයින් intercooler ලෙසද හඳුන්වනවා.

ඉන්ටර්කූලරයක් සහිත ටර්බෝචාජරයක රූපසටහන

ඩීසල් වාහනයක ටර්බෝචාජරය

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

HISTORY : අවුරුදු 148ක් පැරණි C.S.S Hunley නම් ලෝකයේ ප්‍රථම යුධ සබ්මැරීනය

කාලය     : 1864 පෙබරවාරි 17. ස්ථානය  : අමෙරිකා එක්සත් ජනපදයේ (එවකට අමෙරිකානු කොන්ෆෙඩරේට් ජනපද ) දකුණු කැරොලයිනාවේ  චාල්ස්ටන් වරාය.

ඒ අමෙරිකානු සිවිල් යුද්ධය දරුණුව ඇවිලෙමින් තිබුණු සමයයි. අමෙරිකා එකසත් ජනපදයේ කාර්මීකරණය වූ උතුරු ජනපද ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා යටතේද, අමෙරිකා එක්සත් ජනපදයෙන් වෙන්ව අමෙරිකානු කෙන්ෆෙඩරේට් ජනපද යනුවෙන් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරගත් ජනපද එකොලහක් ඔවුන් තෝරා පත්කරගත් ජෙෆර්සන් ඩේවිඩ් නම් ජනාධිපතිවරයා යටතේද සටන් වදිමින් සිටියේය. කොන්ෆෙඩරේට ජනපද කෘෂිකාර්මික ජනපද වූ අතර ඔවුන් වහලුන් සේවයේ තබාගැනීම තම අයිතියක් ලෙස සලකාගෙන සිටි අතර වහල් මෙහෙය අහෝසිකිරීමට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා යටතේ එක්සත් ජනපද රජය ගනිමින් තිබුණු පියවර දකුණු ජනපද වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරගෙන වෙන්වීමට ප්‍රධාන හේතුවක් විය.

1861 ඇරඹි සිවිල් යුද්ධය 1864 වනවිට දකුණේ කොන්ෆෙඩරේට් රාජ්‍යයන්හට අවාසිදායක වෙමින් පැවතින. ඒබ්‍රහම් ලින්කන්ගේ නායකත්වයෙන් එක්සත් ජනපද හමුදා කොන්ෆෙඩරේට් හමුදා මර්මස්ථාන විනාශකරමින් කොන්ෆෙඩරේට් ජනපද රාජ්‍යයේ හදවත වන වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයද වටකොට වාඩිලාගෙන සිටියහ.

කොන්ෆෙඩරේටයේ සාමාජිකයෙකු වූ දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් වරාය යුධමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද කොන්ෆෙඩරේට රජයට වැදගත් වූ අතර 1864 වනවිට ලින්කන්ගේ ෆෙඩරල් නාවික හමුදාව චාල්ස්ටන් වරාය වටකරගෙන කොන්ෆෙඩරේට හමුදාවන්ට මුහුදින් ආහාරපාන හා වෙඩි බෙහෙත් සැපයුම නවතාගෙන සිටියේය.

හන්ලි යුධ සබ්මැරීනය දියත් කිරීමට පෙර
ලොව ප්‍රථම යුධ සබ්මැරීනය වූ සී.එස්.එස් හන්ලි සටනට අවතීර්න වන්නේ ඔයවැනි අවස්ථාවකයි. හන්ලි සබ්මැරීනයේ නිර්මාතෲවරයා වන්නේ හොරේස් හන්ලි නම් ධනවත් නාවික ඉන්ජිනේරුවෙකි. 1861 වසරේ කොන්ෆෙඩරේට් රාජ්‍යයේ ඇලබාමා ප්‍රාන්තයේ මෝබිල් නගරයේදී නිර්මාණය කොට නිශ්පාදනය කරන ලද හන්ලි සබ්මැරීනය දුම්රිය මගින් දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් නගරයට ගෙන යන ලද්දේ චාල්ස්ටන් වරාය වටකොටගෙන සිටින ෆෙඩරල් යුධ නැව් ගිල්වා දැමීමේ අරමුණින්.

1863 වසරේ අඳින ලද හන්ලි සබ්මැරීනයේ ඇතුලත රුපසටහන්

නාවිකයින් අටදෙනෙකු ගෙනයා හැකිලෙස සකස්කොට තිබුණු හන්ලි සබ්මැරීනය බලගැන්වුනේ අතින් කරකවන අවරපෙත්තක් මගිනි (රූප සටහන බලන්න). අටවැනි නාවිකයාගේ රාජකාරිය වුනේ සබ්මැරීනය සුක්කානම ක්‍රියාත්මක කරමින් එය ඉලක්කයෙ වෙත රැගෙන යාමයි.

හොරේශස් හන්ලි කොන්ෆෙඩරේට් නාවික හමුදාවට නිර්මාණය කල සබ්මැරීනය, නවීන යුධ සබ්මැරීන වලට බොහෝසෙයින් සමාන බව යුධ විශේෂඥයින් ප්‍රකාශකරනවා. එයට ජලය කාන්දු නොවන ඇතුලුවීමේ කවුලු දෙකක් (water-tight hatches), කපිතාන් හට අවට පරිසරය නිරීක්ශණය කරහැකි කවුලු වලින් සමන්විත කුඩා පාලන කුළුණු දෙකක් (conning towers), වට ආවරණයක් සහිත ප්‍රචාලන අවරපෙත්තක් (shrouded propellers), මුහුද යටදී සබ්මැරීනය සමබරව තිරස් අතට තබාගන්නට මෙන්ම යාත්‍රාව මුහුද යට ගෙනයාමට හා අවශ්‍ය විට ජල මතුපිටට ගෙන ඒමට සැකසුනු සුලං පිරවූ ටැංකි දෙකක් (ballast tanks) ඇතුලු නවීන සබ්මැරීන වල අඩංගු සියලුම මූලික අංගෝපාංගවලින් සමන්විත වුනා.

ඒ අනුව බලනකල 1860 ගණන්වල ජීවත්වුනු හන්ලි ලොව දක්ශතම සමුද්‍ර ඉංජිනේරුවෙකු වනවා. අවාසනාවකට චාල්ස්ටන් වරායේ පුහුණු කටයුත්තක නිරතවෙමින් සිටියදී වුනු අණතුරකින් සබ්මැරීනය  හදිසියේ ගිලී ගිය අතර එය මෙහෙයවමින් සිටි හොරේශස් හන්ලිද දියේගිලී මියගියා. ගිලීගිය සබ්මැරීනය නැවත ගොඩගත් කොන්ෆෙඩරේට් නාවික හමුදාව එය 1864 පෙබරවාරි මස එහි ඓතිහාසික ගමනට සූදානම් කලා.

හන්ලි සබ්මැරීනයේ ග්‍රැෆික් සිතුවමක්. උපුටාගත්තේ http://hunley.org/index.asp
 සබ්මැරීනයේ ප්‍රධාන ආයුධය වූයේ සතුරු නෞකාවක ඇමිණිය හැකි ලෙස තැනූ හාපූන් හෙල්ලක අගට සවිකරන ලද විශාල මුහුදු බෝම්බයක්. ප්‍රහාරය එල්ල කිරීම සඳහා නැවියන් සබ්මැරීනය සතුරු නෞකාවේ ගැටෙන ලෙස පැදවිය යුතුයි. සබ්මැරීනයේ හාපූනය නෞකාවේ ගැටුනු විට එය ඇමිණී යන අතර එය තනා තිබුණේ සබ්මැරීනය ආපසු පසුපසට පදවද්දී ගැලවී සතුරු නෞකාවේ ඇමිණී තිබෙන පරිද්දෙන්. බෝම්බය පුපුරුවා හැරීම සඳහා එයට සේවා ලණුවක් මගින් ක්‍රියාත්මක වන ඇටවුමක් සකස් කොට තිබුණු අතර සබ්මැරීනය ආරක්ශිතව ඈතට ගෙනගොස් බෝම්බය පුපුරවා හැරීමට එම සේවා ලණුව සෑහෙන දිගකින් යුතු එකක් වූවා.

1864 පෙබරවාරි 17 රාත්‍රියේ සිය මෙහෙයුම දියත්කල හන්ලි සබ්මැරීනය චාල්ස්ටන් වරායේ මුවවිට අවහිර කරමින් නැංගුරම්ලාගෙන සිටි ෆෙඩරල් නාවික හමුදාවට අයත් ටොන් 1240 බරැති හූසටොනික් යුධ නෞකාව (USS Housatonic) පුපුරවා හැරියා. කොන්ෆෙඩරේට් හමුදාවේ ලුතිනන්වරයෙකු වුනු ජෝර්ජ් ඩික්සන් හා තවත් නැවියන් සත් දෙනෙකු මෙහෙයුමට සහභාගී වුනා.

රාත්‍රියේ අඳුටත් සමගම ප්‍රහාරය සාර්ථක කරගත් හන්ලි සබ්මැරීනය යුධ ප්‍රහාරයක් එල්ලකොට සතුරු නෞකාවක් ගිල්වා දැමූ ලොව ප්‍රථම යුධ සබ්මැරීනය වනවා. එම ඓතිහාසික සිදුවීමෙන් පසු නැවතත් යුධ සබ්මැරීනයකට සාර්ථකව සතුරු නෞකාවක් ගිල්වා දැමිය හැකිවන්නේ පලමුවන ලෝක සංග්‍රාමයේදී 1914 සැප්තැම්බර් මස ජර්මානු "යූ බෝට්" නම් සබ්මැරීනයක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් පාත්ෆයින්ඩර් (HMS Pathfinder) නෞකාව ගිල්වාදැමීමෙන්. එනම් හන්ලී සබ්මැරීන් ප්‍රහාරයෙන් හරියටම වසර 50කට පසුවයි!

ප්‍රහාරයෙන් උද්දාමය පත්වූ කොන්ෆෙඩරේට් හමුදාවන් ජයපැන් බීම සඳහා හන්ලි සබ්මැරීනය නැවත කඳවුරට පැමිණෙන තෙක් බලාසිටියත් එය යලිත් කිසි දිනක ආපසු පැමිණියේ නැතුවා පමණක් නොව එයට සිදුවූයේ කුමක්ද යන්න පවා වසර 100කටත් වඩා අභිරහසක්ව පැවතුනා.1995 වසර වනතෙක්ම හන්ලි සබ්මැරීනයේට සිදුවූයේ කුමක්ද, එය ගිලීගියානම් ඒ කොතැනකද යන්න පවා හඳුනාගත නොහැකිව තිබුණා. 1995 වසරේ චාල්ස්ටන් වරායේ පුරාවිද්‍යා ගවේශණ සිදුකරමින් සිටි කිමිදුම් කරුවන් හා පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට හන්ලි සබ්මැරීන ප්‍රහාරයට ගොදුරු වූ හුසටොනික් නෞකාව මුහුදු පතුල තුල වැටී තීබූ ස්ථානයට යාර 100 ඈතින් ගිලී ගොස් තිබු හන්ලි සබ්මැරීනයේ නෞකාභංගය (wreck) හමුවුනා.

1995 වසර වනතෙක්ම හන්ලි සබ්මැරීනයේට සිදුවූයේ කුමක්ද, එය ගිලීගියානම් ඒ කොතැනකද යන්න පවා හඳුනාගත නොහැකිව තිබුණා. 1995 වසරේ චාල්ස්ටන් වරායේ පුරාවිද්‍යා ගවේශණ සිදුකරමින් සිටි කිමිදුම් කරුවන් හා පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට හන්ලි සබ්මැරීන ප්‍රහාරයට ගොදුරු වූ හුසටොනික් නෞකාව මුහුදු පතුල තුල වැටී තීබූ ස්ථානයට යාර 100 ඈතින් ගිලී ගොස් තිබු හන්ලි සබ්මැරීනයේ නෞකාභංගය හමුවුනා. සැබ්මැරීනය එතෙක් කල් සොයාගැනීමට නොහැකිව තිබී ඇත්තේ එය අඩි 10කටත් වඩා ඝණකම රොන්මඩ තට්ටුවකින් වැසී පැවතුනු නිසයි. වසර 2000 අගෝස්තු 8 වැනිදා සංරක්ශණය සඳහා එය මුහුදු පතුලෙන් ගොඩගත් අතර වසර 10ක සංරක්ශණ කටයුතුවලින් පසුව මේ නොබෝදා එය පුරාවිද්‍යා පර්යේශකයින් සඳහා විවර වුනා.

සංරක්ශණය කෙරමින් පවතින් හන්ලි සබ්මැරීනයේ ඡායාරූප.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

INNOVATIONS : ඉරිඟුවලින් හයිඩ්‍රජන්

නුදුරු අනාගතයේදී ලොව ඇතිවෙතැයි සිතන බළශක්ති අර්බුධයට මෙන්ම ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර විනාශය අවම කිරීමටත් හොඳ විසඳුමක් ලෙස හයිඩ්‍රජන් හඳුනාගෙන තිබුණේ දශක ගණනාවකට පෙර සිටය. එහෙත් හයිඩ්‍රජන් ප්‍රායෝගික ඉන්ධනයක් ලෙස යොදාගැනීමට හැකි තාක්ශණය නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පසුගිය දශක කිහිපයම ගත කරන්නට විය.

විශේෂයෙන් මෝටර් රථ ධාවනය සඳහා හයිඩ්‍රජන් යොදාගැනීමට ඇති හැකියාව පිලිබඳව බොහෝ පර්යේෂණ සිදුකෙරුණි. ඉතාමත් පිරිසිදු ලෙස දහනය වී ජලවාශ්ප පමණක් අපද්‍රව්‍යයක් ලෙස පිටකරන හයිඩ්‍රජන් ඉන්ධනය ඉතා සැහැල්ලු වායුවක් වීමත්, ක්ශණයෙකින් ගිණිගන්නා අන්තරායකාරී ද්‍රව්‍යයක් වීමත් නිසා  හයිඩ්‍රජන් මෝටර් රථ ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසු විය.

එහෙත් වසර විසි තිස් ගණනක පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල ප්‍රථිපලයක් ලෙස ටොයොටා සමාගම 2014 දෙසැම්බරයේදී හයිඩ්‍රජන් වලින් ධාවනය කල හැකි ලොව ප්‍රථම වාණිජමය වශයෙන් අලෙවි වන හයිඩ්‍රජන් මෝටර්රථය වන ටොයෝටා මිරායි රථය නිර්මාණය කලේය.  "ටොයොටා මිරායි" රථය මුලින්ම වෙළඳපොලට එක්වන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත අතරින් පරිසර දූෂණය පිටුදැකීම සඳහා නීති දැඩිම ප්‍රාන්තය වන කැලිෆෝනියා ප්‍රාන්තයේය.

TOYOTA MIRAI

ප්‍රායෝගිකව හයිඩ්‍රජන් භාවිතාකිරීමේ තාක්ශණික බාධක එලෙස බිඳවැටෙද්දී හයිඩ්‍රජන් භාවිතයට ඇති තවත් ප්‍රභල බාධකයක් වූයේ හයිඩ්‍රජන් නිශ්පාදනයේදී ඇති අධික පිරිවැයයි. අමෙරිකාව ඇතුලු ඉරිඟු නිශ්පාදනය බහුලව සිදුකරන රටවල් ඉරිඟු ආධාරයෙන් හයිඩ්‍රජන් නිපදවීම ආරභ කොට තිබුණද එය එතරම් කාර්යක්ශම නොවීය. ඉරිඟු ගසේ ඉවතලන කොටස් බැක්ටීරියා ආධාරයෙන් පැසවීමට බඳුන්කොට (fermentation) හෝ කාර්මික උත්ප්‍රේරක (industrial catalysts) භාවිතයෙන් හයිඩ්‍රජන් නිශ්පාදනය කල හැකි වුවද, එම ක්‍රියාවලි මගින් ඉරිඟු ශාක කොටස්වල අඩංගු සයිලෝස් සීනි (xylose plant sugar)වලින් 30-60 අතර ප්‍රමාණයක් පමණක් හයිඩ්‍රජන් බවට හර්ඣවා ගැනීමට හැකිවිය.

ෂෙල් ඉන්ධන සමාගමේ මූල්‍ය දායකත්වයෙන් මේ අකාර්යක්ශමතාවය පිලිබඳව පර්යේශණ පැවැත්වූ අමෙරිකාවේ වර්ජිනියා ටෙක් සරසවියේ පර්යේෂකයින් පිරිසක්, ඉවතලන ඉරිඟු ශාක කොටස්වල අඩංගු සයිලෝස් සීනිවලින් 100%ක්ම හයිඩ්‍රජන් බවට හැරවීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇත. මේ අනුව හයිඩ්‍රජන් නිශ්පාදනයේ පිරිවැය වේගයෙන් අඩුවනු ඇතැයි විද්‍යාඥයින් පවසනවා.

මෙම පර්යේෂණ ප්‍රථිපල හැකිතාක් ඉකමණින් වාණිජකරණය කිරීම මගින් දැනට ලොව ආර්ථිකය යැපෙන, ක්ශයවෙමින් යන ෆොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය ඉන්ධනයක් වන හයිඩ්‍රජන් මත යැපෙන "හයිඩ්‍රජන් ආර්ථිකයක්" බවට පත්කල හැකි බව මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය පර්සිවාල් සැන්ග් පවසනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

HISTORY : ඉරණමඩුවේ විසූ හෝමෝ ඉරෙක්ටස්

හෝමෝ ඉරෙක්ටස් යන විද්‍යාත්මක නාමය, සෘජුව ඇවිද ගිය මානවයා යන තේරුම දෙනවා. මුලින්ම යම් දුරකට හෝ සෘජුව ඇවිද ගිය මානවරූපී සත්වයා (එනම් අර්ධ-මානවයා, මනුජයා - හොමිනිඩයා) හෝමෝ ඉරෙක්ටස් නොවේ. එම ගෞරවය දැනට හිමිවෙන්නේ මීට වසර මිලියන වසර මිලියන 3.9 - 2.9 අතර කාලයක ජීවත්වූවායැයි ඇස්තමේන්තු  කරන "ඔස්ට්‍රෝලෝපීතිකස් ඇෆරෙන්සිස්" අර්ධ-මානවයාටයි. ඔස්ට්‍රෝලෝපීතිකස් ගේ ෆොසිල නැගෙනහිර අප්‍රිකාවේ කෙන්යාවෙන් හා ඉතියෝපියාවෙන් හමුව තිබෙනවා. මින් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ඉතියෝපියාවේ ඇෆර් ප්‍රදේශයෙන් හමුවූ "ලුසී" ලෙසින් නම්කල ගැහැණු ඔස්ට්‍රෝලෝපීතිකස් ෆොසිලයයි.

කෙසේවෙතත් අප දැන් කතාකරන්නට යන හෝමෝ ඉරෙක්ටස් (හෝමෝ අර්ගැස්ටර්) පැවත එන්නේ ඔස්ට්‍රෝලෝපීතිකස්ට වඩා දියුණු මෙන්ම මානව (හෝමෝ ලෙස හැඳින්විය හැකි ) ගෝත්‍රයක් වන හෝමෝ හැබිලිස් වරුන්ගෙන් (Homo Habilis - Able Man - හැකියාවන් ඇති මානවයා).

ප්ලයිස්ටොසීන යුගයේ, එනම් මීට වරස මිලියන 2.5සිට වසර 12,000ක දක්වා කාල පරාසයේ ජීවත්වූ හෝමෝ ඉරෙක්ටස්, දැනට හමුවී ඇති මුල්ම සැබෑ මානවගණයට (හෝමෝ ගණයට) අයත්, සෘජුව ඇවිදගිය, ගස් උඩ වාසය නොකරමින් භූමිය මතම සිය ජීවිතය ගතකල ආදීවාසියා ලෙස හඳුනාගෙන තිබෙනවා. එනිසා හෝමෝ ඉරෙක්ටස් මිනිසත් බවේ සැබෑ මුල්ම පුරුක ලෙසත් පුරා විද්‍යාඥයින් සලකනවා .

හෝමෝ ඉරෙක්ටස් මානවයා නාමකරණයේදී පුරාවිද්‍යාඥයින් අතර යම් මතගැටුමක් තිබෙනවා. එක් මතයකට අනුව හෝමෝ ඉරෙක්ටස් යනු, හෝමෝ අර්ගැස්ටර් (Homo Ergaster - කාර්යශූර මානවයා) මානවයාගේ උප කුළයක්. මෙම විද්‍යාඥයින් හෝමෝ ඉරෙක්ටස්, අප්‍රිකානු හෝමෝ ඉරෙක්ටස් යනුවෙන් හඳුන්වනවා. මෙයට හේතු වශයෙන් පසුකාලීනව ආසියාවේ (ලංකාවද ඇතුලුව) ජීවත්වූ ආසියානු හෝමෝ ඉරෙක්ටස් නම් මානව කුලයක්ද බිහිව තිබූ නිසා.

දැනට පිලිගැනෙන ආකාරයට පසුකාලීන වඩාත් දියුණු මානවයන් වූ හෝමෝ හිඩෙල්බර්ජෙන්සින්, හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් (Homo Neanderthalensis - නියැන්ඩර්තාල් මානවයා) හා ආසියානු හෝමෝ ඉරෙක්ටස් පැවත එන්නේ ප්‍රිකානු හෝමෝ ඉරෙක්ටස් එනම් හෝමෝ අර්ගැස්ටර්ගෙන්.  වසර මිලියන 1.9 ඈත අතීතයේ සිට වසර 70,000ක් මෑතකාලය දක්වාම ජීවත්ව ඇති හෝමෝ ඉරෙක්ටස් නැගෙනහිර අප්‍රිකාවේ (ඉතියෝපියාව, කෙන්යාව ) සැවනා බිම්වල බිහිවූ බවට ෆොසිල සාධක ලැබී තිබෙනවා. මෙසේ බිහිවූ හෝමෝ ඉරෙක්ටස් වසර ලක්ශ ගණනක ඇවෑමෙන් ලොව පුරාම විහිදී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඉරණමඩු ප්‍රදේශයේද වසර 300,000 සිට වසර 125,000ක් දක්වා ජීවත්ව සිට ඇති බවට ෆොසිල සාධක පවතින බව කීර්තිමත් ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෙකු වූ සිරාන් දැරණියගල පවසයි.  එමෙන්ම ඔහුගේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා පොලව මත සැබෑ මානවයින් (හෝමෝ කුළය) වසර මිලියනයක පමණ කාලයක සිට ජීවත්ව සිටින්නට ඉඩ තිබේ.

හෝමෝ ඉරෙක්ටස්ගේ හිස්කබලක් ආධාරයෙන් ඉතා විද්‍යාත්මකව
සකස් කරනලද හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ මුහුණක් 
එහෙත්, ශ්‍රී ලංකාවේ දේශගුණය මිනිස් සිරුරු (මෙන්ම සත්ව සිරුරුද ) ෆොසිල බවට පත්වී ආරක්ශාවීමේ ක්‍රියාවලියට හිතකර නොවන නිසා එම සිරුරු දිරාපත්ව ගොස් ඇතැයි සැළකිය හැකිය. නැතහොත් එසේ ෆොසිල බවට පත්වූ මානව හා සත්වකොටස් අඩංගු පාංශු ස්ථර වසර මිලියන ගණනක ඇවැමෙන් පොලොවේ ඉතා යටට ගොස් සොයාගැනීමට අපහසු වනලෙස පවතිනවා වන්නටද පුලුවන. අතිශයින් පැරණි මානව ෆොසිල හමුවන බටහිට අප්‍රිකාවේ රිෆ්ට් වැලී (පැළුණු නිම්නය) ප්‍රදේශයේ ෆොසිල පොලොවට ඉතා ආසන්නව ඇත්තේ භූවිද්‍යාත්මක ක්‍රියාකාරකම් (geological activity) නිසා ඉතා යටින් තිබෙන පාංශු ස්ථර ඉහලට එසවීම නිසාය. හෝමෝ ඉරෙක්ටස් භාවිතාකලා යැයි සැළකෙන මධ්‍යතන ශිලා යුගයට  (Mesolithic) අයත් පරළු ශිළා ආයුධ (crude stone tools) ඉරණමඩු පාංශු ස්ථරවලින් හමුවී ඇත.

හෝමෝ ඉරෙක්ටස් මානවයා ඊට පෙර විසූ අර්ධ-මානව කුළවලට වඩා දියුණු, එනම් නූතන මිනිසාගේ ආරම්භය යැයි සැළකෙන ශාරීරික ව්‍යුහයෙන් නූතන මිනිසාට බොහෝ සමානයයි උපකල්පණය කරන මානව වර්ගයකි. සාමාන්‍යයෙන් අඩි 5' 6" ක් පමණ උසට වැඩෙන හෝමෝ ඉරෙක්ටස් පොලොවේ ඇවිදීම මෙන්ම හොඳින් දිවයාම සඳහාද පරිණාමය වී ඇති බව පුරාවිද්‍යාඥයින් පවසනවා. ඔවුන් මෙසේ අනුමාන කරන්නේ කරුණු කිහිපයක් ඇසුරිනුයි.

හෝමෝ ඉරෙක්ටස්ගේ විශාල සිරුරත්, එතෙක් කල් ජීවත්වුනු මානවයින්ට වඩා විශාල මොළයකින්ද යුතුවීම නිසා හොමෝ ඉරෙක්ටස්ට අතිවිශාල කැළරි ප්‍රමාණයක් දිනපතා අවශ්‍ය වන්නට ඇති. මෙම කැළරි නිරන්තරයෙන් ලබාගැනීම සඳහා හෝමෝ ඉරෙක්ටස් හොඳ දඩයක්කාරයෙකු වියයුතු බව ඔවුන් පවසනවා. සරල ශිලා ආයුධ අතැතිව සිටි හෝමෝ ඉරෙක්ටස් චීටාවුන්, සිංහයින් බහුල අප්‍රිකානු සැවනා තනබිම්වල දිවිගලවා ගැනීම සඳහා මෙන්ම, වේගයෙන් දිවයන ඇන්ටිලෝප් වැනි සතුන් දඩයම් කරගැනීම සඳහාත් ඉතා වේගයෙන්, බොහෝදුර දිවයා හැකිලෙස ඔවුන්ගේ සිරුරු පරිණාමය වී තිබෙනු ෆොසිල සාධක වලින් පෙනී යනබව පැවසෙනවා. මෙම ක්‍රියාශීලී විශාල සිරුර හා විශාල මොලය සඳහා අවශ්‍ය මේ අතිවිශාල කැලරි ප්‍රමාණය වැඩිපුර ශාක ආහාරයට ගැනීමෙන්  සපයාගැනීමට හැකිවුවත් ඒ සඳහා දවස පුරාම ආහාර ගැනීමට සිදුවනු ඇති අතර එසේ වූවානම් ගල් ආයුධ නිර්මාණය වැනි බුද්ධිය මෙහෙයවා සිදුකරන ක්‍රියාකාරකම් සඳහා කාළය මද වනු ඇත.

එමෙන්ම ශාක භක්ශකයින්ට එම අතිවිශාල ආහාර ප්‍රමාණය දරාගැනීමට හා ජීර්ණය කරගැනීමට විශාල උදරයක් හා ආහාර ජීර්ණ පද්ධතියක් තිබිය යුතුවුවත් හෝමෝ ඉරෙක්ටස්ගේ උදරය හා ආහාර ජීර්ණ පද්ධතිය කුඩා බව ෆොසිල ඇටසැකිලිවල ප්‍රමාණය අනුව නිගමනය කර තිබෙනවා. ඒ අනුව විශාල මොලයට හා සිරුරට අවශ්‍ය කැළරි ප්‍රමාණය ලබාගත හැකිවන්නේ දඩයම් කොට මස් සපයාගැනීමෙන් පමණයි. එපමණක් නොව හෝමෝ ඉරෙක්ටස්ගේ කුඩා ජීර්ණ පද්ධතිය අනුව ඔවුන් ගින්නෙහිලා මස් පුලුස්සා (එනම් පිසගෙන ) ආහාරයට ගන්නට ඇතැයිද සමහර පුරා විද්‍යාඥයින් අනුමාන කරන්වා. පිසූ ආහාර ජීර්ණයට පහසු නිසා දීර්ඝකාළයක් පිසූ ආහාරය පරිභෝජනයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රමාණයෙන් කුඩාවන බව පරිණාම සාධක අනුව සත්‍යයක්. ඒ අනුව හෝමෝ ඉරෙක්ටස්, ආයුධ නිර්මාණය කරගැනීමේ බුද්ධියක්  ඇති, කණ්ඩායම් ලෙස දඩයමේ යන, යම් ආකාරයක සංකීර්ණ සමාජ පද්ධතියක් තිබූ ප්‍රථම දියුණු මානයවා ලෙස බොහෝ විද්‍යාඥයින්ගේ පිලිගැණීමයි.'

හෝමෝ ඉරෙක්ටස් හෙවත් හෝමෝ අර්ගැස්ටර්ගේ මෙම සමාජ පද්ධතිය ඉතා සංකීර්ණ මෙන්ම අද නූතන මානවයා මෙන්ම අන්‍යයන්ගේ හැඟීම් තේරුම්ගත හැකි, එලෙස තේරුම්ගෙන ප්‍රතික්‍රියාකල හැකි, අන්‍යෝන්‍ය උපකාරය ඇති සමාජ පද්ධතියක් වූ බවට පුරා විද්‍යාඥයින් අනුමාන කරනවා. ඔවුන් මේ අනුමානයට එන්නට එක් ප්‍රධාන සාධකයක් වූයේ වයස්ගත හෝමෝ ඉරෙක්ටස් මානවෙකුගේ හිස් කබලක් ආධාරයෙන් කරන ලද පර්යේෂණ අනුවයි. මෙම හිස්කබලේ දත් සම්පූර්ණයෙන්ම වයස්ගත වීම නිසා වැටී තිබූ අතර, සියලු දත් අහිමිවීමෙන් පසුවත් තවත් වසර කිහිපයක් මෙම වයස්ගත හෝමෝ ඉරෙක්ටස් ජීවත්ව තිබෙන බව ෆොසිලයේ රසායණික විශ්ලේෂණ මගින් තහවුරු වී තිබෙනවා. දත් සියල්ල අහිමිවූ පසුත් කුසගින්නේ මිය නොගොස් වසර ගණනක් මේ වයස්ගත හෝමෝ ඉරෙක්ටස් ජීවත්වූයේ රැහේ අනෙකුන් ඔහුව රැකබලාගෙන ආහාර පාන ලබාදුන් නිසා බව පිලිගැනෙනවා. මෙලෙස තමන්ගේ වයස්ගතවූවන් රැකබලා ගන්නේ හැඟීම් ඇති, අන් හැඟීම් තේරුම් ගැතහැකි සංකාර්ණ මනසක් තිබූ මානවයින් පමණයි.

වයස්ගත වූවන් රැකබලා ගැනීම හැඟීම් බිහිවෙන, ඒවාට ප්‍රතික්‍රියා කරන උසස් මනසක් ඇති හෝමෝ මානවයින්ට සුවිශේෂී වූවා පමණක් නොව එමගින් හෝමෝ ඉරෙක්ටස් වැනි මානවයින්ගේ දියුණුව වේගවත්ව ඉදිරි පිම්මක් පණින්නට උපකාරීවූ බව විද්‍යාඥයින් පවසනවා. රැහේ තරුණ හා ශක්තිසම්පන්න වූවන් මහළුවියට එළඹියන් රැකබලා ගැනීම මානව දියුණුවට ඉමහත් පිටිවහලක් වූවා. ශක්තිසම්පන්නවූවන් දඩයමේ ගියවිට දරුවන් බලාකියාගැනීම මෙන්ම මහලුවිය දක්වා තමන් දැන උගත් අත්දැකීම් සම්භාරය ටිකෙන් ටික දරුවන්ට උගන්වා ඔවුන් වඩාත් දියුණු, වඩාත් සාර්ථක අයවලුන් බවට පත්කරන්නට හේතුවුනා. මේ අනුව වයස්ගත මානවයින් රැස්කරගත් දැනුම පරම්පරාවෙන් පරම්පරාවට නොනැසී ඉදිරියට යන්නට වූවා.

එමෙන්ම දරුවන් බලාගැනීමේ වගකීමෙන් මිදුනු දෙමව්පියන් හට වැඩිපුර ආහාර රැස්කරගැනීමට හෝ වඩාත් දියුණු ආයුධ තනාගැනීමට කාළය ඉතිරිවුනා. එමෙන්ම වයස්ගතවූවන් දරුවන් රැකබලාගැනීම තුලින් ලදරු මරණ සීග්‍රයෙන් අඩුවූ අතර මානව ජනවර්ගය වේගයෙන් පැතිරීමටද මෙය ඉවහල් වුනා. සංස්කෘතිය, සභ්‍යත්වය, ආචාරධර්ම ආගමික ඇදහිලි, කළා නිර්මාණ යනාදී මානව (හෝමෝ) ගෝත්‍රිකයන් පමණක් සතුවන සුවිශේෂී මානව හැකියාවන් බිහිවන්නට හා දියුණුවන්නටද මෙලෙස වයෝවෘද්ධයින් රැකබලාගැනීම මහත්වූ පිරිවහලක් බවට පැවසෙනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

INNOVATIONS : Night Vision පෙනුම ලබාදෙන Contact Lenses

සුපිරි යුධ බළඇණි නිර්මාණය කිරීමේ පෙන්ටගන සැළසුම් පිලිබඳව අප විටින්විට ඔබ වෙත පිලිගන්වා ඇත. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඩාර්පා නම් යුධමය පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් වන අධිතාක්ශණික සමාගම් හා අමෙරිකාවේ නමගිය විශ්වවිද්‍යාලයි. පෙන්ටගනයෙන් ලැබෙන අලුත්ම වාර්තාවලට අනුව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් දෙපලක්, ග්‍රැෆීන් නම් සුපිරිසිදු කාබන් සංයුතිය අඩංගු ද්‍රව්‍යයකින් ඉතා තුනී, පාරදෘශ්‍ය [transparent], අධෝරක්ත ආලෝකයට සංවේදී සිවියක් නිර්මාණය කොට ඇත.

අධෝරක්ත ආලෝකයට සංවේද ග්‍රැෆීන් පටකයට එම ආලෝකය උරාගෙන එය විද්‍යුත් සංඥා බවට හැරවිය හැකිබවද අනාවරණය වී තිබේ. එනම් ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරය දෘශ්‍ය ආලෝකය ඩිජිටල් සංඥා බවට හරවන ආකාරයට මෙම ග්‍රැෆීන් පටකය අධෝරක්ත ආලෝකයට සංවේදීවී එම අධෝරක්ත තරංග විද්‍යුත් සංඥා බවට හරවයි.

පාරදෘෂ්‍ය බැවින් මෙම ග්‍රැෆීන් පටක ඉතා පහසුවෙන් ස්පර්ෂ කාච නැතිනම් සිවිකාච බවට පරිවර්තනය කල හැකිබව මෙම සොයාගැනීම සිදුකල විද්‍යාඥයින් දෙපොල පවසයි. ඒ අනුව නුදුරු අනාගතයේදී යුධ සෙබලුන් හට, රාත්‍රී පෙනුම ලබාදෙන නයිට් විෂන් උපකරණ වෙනුවට දැසේ දවටාගෙන යා හැකි නයිට් විෂන් සිවිකාච ලැබෙණු ඇත.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

INNOVATIONS : අලුත්ම ඉලෙක්ට්‍රොණික තාක්ෂණය - නැනෝෆොටොනික්ස්

නැනෝෆොටොනික්ස් යනු නැනෝ පරාසයේ, එනම් මීටරයකින් 1 / 1,000,000,000ක ප්‍රමාණයේ ක්ශුද්‍ර පරිපථ තුල ආලෝකය හැසිරෙන ආකාරය විස්තර කරන විද්‍යාවයි. දැන් අයි.බී.ම්, ඉන්ටෙල් වැනි අධිතාක්ශණික සමාගම් මෙම තාක්ශණය වැඩි දියුණු කරමින් සිටින්නේ නුදුරු අනාගතයේදී මෙම සමාගම්වල ප්‍රධාන නිශ්පාදනය වන සිලිකන් පරිපථ හා ඒ මත බිහිවන පරිගණක ක්ශුද්‍රකරණයේ (miniaturization) උපරිම සීමාවට එනම් නැනෝමීටර් 7 සීමාවට වේගයෙන් ලඟාවෙමින් සිටීම නිසයි.

ක්ශුද්‍රපරිපථ නිර්මාණය කලදා සිට ඉන්ටෙල්, අයිබීඑම් හා වෙනත් පරිගණක සමාගම් සිය සිලිකන් පරිපථ ක්‍රමාණුකූලව ක්ශුද්‍රකරමින් හැකිතාක් ට්‍රාන්සිස්ටර් හා වෙනත් ඉලෙක්ට්‍රොණික පරිපථ මෙම කුඩා සිලිකන් පෙතිවල අසුරමින් සිය ක්ශුද්‍රපරිපථවල ධාරිතාවය වැඩිකරමින් සිටියා. ඔවුන් නිර්මාණය කල සිලිකන් චිපයන්ගේ ඉලෙක්ට්‍රොණික සංඥා ගෙනයන පරිපථ කෙමෙන් කුඩාවෙමින් තිබූ අතර දැන් එය නැනෝමීටර් 22 තරම් කුඩාවෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස Intel Core i7 මයික්‍රෝචිපය නිර්මාණය කොට ඇති SandyBridge Microarchitecture ක්ශුද්‍රපරිපථ තාක්ශණය නැනෝමීටර් 22 ප්‍රමාණයේ සිලිකන් පරිපථ වනවා.

මෙම පරිපථවල ප්‍රමාණය හා විදුලිය පාරිභෝජනය අවමයේ තබාගන්නා ගමන් ඒවායේ ගණන බලය (processing power) වැඩිකිරීමට නම් තවතවත් ට්‍රාන්සිස්ටර් මෙම පරිපථ තුලට ඇතුලු කලයුතු වනවා. එනම් එම ට්‍රාන්සිස්ටර් හා ඒවාවෙත දත්ත ගෙනයන පරිපථ තවත් කුඩාකල යුතුවනවා. සිලිකන් පරිපථ තාක්ශණයේ විශේෂඥයින් පවසන්නේ මෙම කුඩා කිරීමේ සීමාව නැනෝමීටර් 7 පමණවන විට අවසන්වන බවයි. ඊට වඩා පරිපථ කුඩාකල හොත් ඒවායේ ක්‍රියාකාරිත්වය අහඹුවනබව (unpredictable) ඔවුන් පවසනවා.

මෙම ගැටලුවට විවිධාකාරයෙන් විසඳුම් යෝජනාවී ඇති අතර අයි.බී.එම්, ඉන්ටෙල් වැනි සමාගම් මේ සඳහා නැනෝෆොටොනික්ස් තාක්ශණය ආධාරයෙන් සිලිකන් නැනෝ ෆොටොනික්ස් හෙවත් සිලිකන් පරිපථ මත ඉතාක්ශුද්‍ර නැනෝ මීටර් පරිමාවේ ආලෝකය ගෙනයා හැකි පරිපථ නිර්මාණය කරමින් සිටිනවා.

Cross-sectional view of an IBM Silicon Nanophotonics chip combining optical and electrical circuits 

මෙම පර්යේෂකයින් පවසන ආකාරයට ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදුලි පරිපථ වෙනුවට ලේසර් වැනි ආලෝක ධාරාවකට නැනෝමීටර් 7ට වඩා කුඩා පරිපථවල ගමන් කරමින් නිරවද්‍යතාවයකින් දත්ත සම්ප්‍රේෂණය කල හැකියි. තනිකරම ආලෝකයෙන් ක්‍රියාත්මක වන ට්‍රාන්සිස්ටර් හා වෙනත් ඉලෙක්ට්‍රොණික පරිපථ තැනිය හැකි තාක්ශණය දැනට බිහිවී ඇතත් ඉන්ටෙල්, අයිබීඑම් වැනි සමාගම සිලිකන් පරිපථ නිර්මාණය හා නිශ්පාදනය සඳහා ආයෝජනය කොට ඇති ඩොලර් බිලියන් සියගණන මෙවැනි තාක්ශණයකට පරිවර්තනය වීමේදී අපතේ යනවා. එබැවි එම සමාගම් ඔවුන්ගේ සිලිකන් තාක්ශණය හා බද්ධව ක්‍රියාකල හැකි silicon nanophotonics තාක්ශණය කෙරෙහි විශ්වාසය තබමින් සිටිනවා.

View of a portion of an IBM chip showing blue optical waveguides transmitting high-speed optical signals and yellow copper wires carrying high-speed electrical signals. IBM Silicon Nanophotonics technology is capable of integrating optical and electrical circuits side-by-side on the same chip. 

ලැබෙන වාර්තා අනුව අයි.බී.එම් සමාගම පමණක් ඉදිරි වසර 5 තුලදී නැනෝ ෆොටොනික්ස් තාක්ශණය දියුණු කිරීමට ඩොලර් බිලියන 3ක මුදලක් වෙන්කොට තිබෙනවා. අයි.බී.එම් පරිගණක විද්‍යාඥයින් දැනටමත් එකම සිලිකන් චිපයක් මත ආලෝකයෙන් ක්‍රියාත්මක වන පරිපථ හා විදුලි පරිපථ එකට බද්ධකොට සුමටව ක්‍රියාත්මක වන තාක්ශණයක් ලෙස වඩි දියුණු කොට තිබෙනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

HOW TO? : සුවෙන් සිටීමට හොඳම එලිමහන් ක්‍රියාකාරකම්

1] ඇවිදින්න

කිසිදු වියදමක් නැති, හොඳ නිරෝගී සිරුරක් ලබාදෙන, පහසුවෙන් ඕනෑම අයෙකුට කල හැකි හොඳම ව්‍යායාමයකි.

විනාඩි 30ක් වේගයෙන් ඇවිදීමේදී (brisk walking) කැලරි 150ක් පමණ වැයවේ. දණහිස් ආබාධ හෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විදින්නන්ට සුදුසුය.

හදවත ශක්තිමත්වීම, රුධිරපීඩනය අඩුවීම, යහපත් කිරීමට, අස්ථි හා මාංශපේෂි නිරෝගීභාවයට උදවුවේ.

එමෙන්ම දෛනික රාජකාරි ජීවිතයේදී ඇතිවන මානසික ආතතිය ලිහිල් කිරීමට මෙන්ම හොඳ රාත්‍රී නින්දක් සඳහාද නිතරම ඇවිදීමෙන් ලැබෙන තවත් වාසිවේ.

ඇවිදීමට පටන්ගැනීමේදී විනාඩි 5ක් පමණ සෙමින් ඇවිදිමින් මාංශපේෂි උණුසුම් කරගැනීමෙන් පසු (warm-up) වේගයෙන් ඇවිදීම පටන්ගන්න. හොඳම ප්‍රථිපල ලබාගැනීම සඳහා සතියකට දින 5ක්, දිනකට විනාඩි 30ක වේගවත් ඇවිදීම සිදුකල යුතුය.

2] බයිසිකල් පදින්න

ඉහල කැලරි ප්‍රමාණයක් වැයකරගත හැකි, හදවතට ඉතා හොඳ ව්‍යායාමයක් ලබාදෙන, දණහිස්, තුනටියේ හා කොන්දේ ආබාධ ඇති අයටද සුදුසු ව්‍යායාමයකි.

පැයක් බයිසිකල් පැදීමෙන් කැලරි 350-400ක් පමණ වැයකරගත හැකි අතර පාදවල මාංශපේෂි වලට ඉතා හොඳ ව්‍යායාමයක් ලබාදෙයි.විනාඩි 5-10ක් පමණ හෙමින් පැද උණුසුම්වීමෙන් පසු වේගයෙන් පැදීමට පටන් ගන්න.

බයිසිකල් පැදීමෙන් හදවතට ලැබෙන ව්‍යායාමය, දිවීමෙන් හදවතට ලැබෙන ව්‍යායාමයට සමානය.

සිරුරේ බර දණහිස්වලට නොවැටෙන ව්‍යායාමයක් නිසා තරබාරු අයටද පහසුවෙන් කල හැකි ව්‍යායාමයකි.

බයිසිකල් පදිනවිට සැළකිය යුතු කරුණු;
  • ආරක්ෂිත හෙල්මට් පලඳින්න
  • සැහැල්ලු ව්‍යායාම ඇඳුම් අඳින්න
  • උඩුකයට ලා පැහැති ඇඳුමක් ඇඳීමෙන් වාහනවල රියැදුරන්ට ඔබව පැහැදිලිව පෙනේ.
  • හැකිනම් බයිසිකලයට පිටුපස ස්පන්ධනය වන රතු LED ආලෝක පහනක්  (blinking red light) හා ඉදිරිපසට ස්පන්ධනය වන සුදු LED ආලෝක පහනක් සවිකර ගන්න.

3] දිගුදුර ඇවිදින්න (Hiking)

නිතිපතා කල හැකි ව්‍යායාමයක් නොවුවත්, දිගු නිවාඩුවක් ලැබුණුවිට යෙදිය හැක හොඳ ව්‍යායාමයකි. ඈත ප්‍රදේශයක අලුත් පරිසරයක ඇවිදීමෙන් ලැබෙන ප්‍රබෝධයට අමතරව ඉහල කැලරි ප්‍රමාණයක් දවාගත හැකි, හොඳ ව්‍යායාමයකි. දිගුදුරක් ඇවිදීමෙන් සිරුරට ලැබෙන වාසි බොහොමයකි.

හදවතට හොඳ ව්‍යායාමයක් වන අතර රුධිර පීඩනය හා රුධිරයේ සීනි අඩුකරයි. අස්ථි පද්ධතිය ශක්තිමත් කරයි. කකුල්වල, තුනටියේ හා කොන්දේ මාංශපේෂි ශක්තිමත් කරයි.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

ASTRONOMY : ලෝකයේ ලොකුම දුරේක්ෂයට මුලගල තැබේ

යුරෝපීය ප්‍රජාව විසින් බරපැන දරන European Extremely Large Telescope දුරේක්ෂය සඳහා මුල්ගල තැබීම නොබෝදා සිදුවුනා. චිලී රටේ ඇටකාමා කාන්තාරයේ මීටර් 3000ක් උස කඳුගැටයක ඉදිවන මෙහි පරාවර්තක දර්පණය මීටර් 39ක් විශාලයි. විශ්වය පිලිබඳ දැනුම වඩාත් පුලුල් කිරීමට මෙම අතිවිශාල ප්‍රකාශ දුරේක්ෂය (optical telescope) සහය වනු ඇතැයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.

වසරේ වැඩි දිනගණනාවක් වළාකුලු රහිත අහස හා ඉතා වියලි වායුගෝලයක් සහිත ඇටකාමා කාන්තාරය ප්‍රකාෂ දුරේක්ෂ ගොඩනැගීම සඳහා සුදුසුම ප්‍රදේශය ලෙස පිලිගැනෙනවා. 2024 වනවිට මෙම දුරේක්ෂය ගොඩනගා අවසන් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Friday, 26 May 2017

AGRICULTURE TECHNOLOGY : පස් නැති, වතුර නැති අපූරු එළවළු ගොවිපොල

පස් නැතුව එළවලු වවන හයිඩ්‍රොෆොනික් තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි. 1980 ගණන්වල ඉඳලා භාවිතාවන තාක්ෂණයක්. හයිඩ්‍රෝෆොනික් තාක්ෂණයේදී පැලෑටිවලට පෝෂණය දෙන පෝෂක දාවණයක් තුල මුල් ඇදීමක් සිදුවනවා. පැලෑටිය යම් ආධාරකයක් මත කෙලින් සිටවනවා. හයිඩ්‍රෝෆොනික් තාක්ෂණයේ ඇති ප්‍රධාන අවාසිය වන්නේ මුල්වලට ඔක්සිජන් අඩුවීම නිසා ඒවා කුණුවීමට පටන් ගැනීමයි. මේ නිසා වියදම් අධික පොම්ප ක්‍රමායක් මගින් ද්‍රාවණය ඉවත් කරලා මුල්වලට වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න ඕනෑ.
Aerophonic තාක්ෂණය
මේ ප්‍රශ්ණයට අපූරු විසඳුමක් ඇමරිකාවේ ඒරෝෆාම්ස් ආයතනය සොයාගෙන. ඔවුන්ගේ ඒරෝෆොනික් තාක්ෂණයට අනුව පැලෑටිවල මුල් පෝෂක දාවණයක ගිල්වා තබනවා වෙනුවට ඒවා මතට විටින් විට පෝෂක ද්‍රාවණය ස්ප්‍රේ කරනවා. ඒ අනුව මුල්වලට වාතාශ්‍රය නොලැබී කුණුවීමේ ගැටලුව විසඳෙනවා පමණක් නොව භාවිතාවල ජල ප්‍රමාණය වගේම මහාපරිමාණයෙන් හයිඩ්‍රෝෆොනික් වගාකරනකොට පොම්ප දිවවීම සඳහා ඕනෑ බලශක්තියත් අඩු වෙනවා.

මේ ක්‍රමය යටතේ තට්ටු වශයෙන් පැලෑටි වවන තටාක අසුරලා තියන්න පුලුවන්. සූර්යාලෝකය වෙනුවට පැලෑටි වල ක්ලෝරෝෆිල් භාවිතා කරන රතු හා නිල් ආලෝකය පමණක් විහිදුවන, බළශක්තිය සුරකින LED බල්බවලින් ආලෝකමත් කරනවා.