NEW POSTS

Recent Posts Widget

HISTORY: ක්‍රිස්ටෝපර්ගේ නෝලන්ගේ ඔඩිසි චිත්‍රපටයට පාදකවූ හෝමර්ගේ ට්‍රෝයි පුරය සැබැවින්ම තිබුණාද?

 


ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ "දි ඔඩිසි" (The Odyssey) සිනමාපටය හේතුවෙන් හෝමර්ගේ වීරකාව්‍යය නැවතත් ගෝලීය සංස්කෘතික කරළියේ අවධානයට ලක්ව තිබෙනවා.

ට්‍රෝයි හි සිට ග්‍රීකයින්ගේ යුධ වීරයාවූ ඔඩිසියස් නැවත නිවස බලා යන දීර්ඝ හා දුෂ්කර සංචාරය තේමා කරගත් ඔඩිසි වීර කාව්‍යය, ට්‍රෝයි පුරය වැටලීම හා ට්‍රෝජන් යුද්ධය විස්තර කෙරෙන ඉලියඩ් කාව්‍යයට පසුව ලියා තිබෙනවා.

ග්‍රන්ථ 24 කින් සහ පද්‍ය පේළි 16,000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත "ඉලියඩ්" කාව්‍යය, ට්‍රෝජන් යුද්ධයේදී ඇකිලිස්ගේ කෝපය සහ ඒ හේතුවෙන් සිදු වූ මහා විනාශය පිළිබඳව අවධානය යොමු කරනවා.

"ඔඩිසි" කාව්‍යය ද ග්‍රන්ථ 24 කින් සමන්විත වන අතර, එය යුධ පිටියේ සිට ඔඩිසියස් වසර 10 ක් පුරා ඉතකා (Ithaca) වෙත ළඟා වීමට දරන අභියෝගාත්මක උත්සාහයත්, ඔහුගේ පුත් ටෙලිමකස් තම පියා සොයමින්, මෙන්ම රූමතියක් වූ ඔඩීසියස්ගේ බිරිඳ වූ පෙනෙලෝපී (ටෙලිමක්ස්ගේ මව) සිටින නිවස ආරක්ෂා කිරීමට දරන උත්සාහයත් නිරූපණය වෙනවා. 

ඔඩීසියස් මියගිය බව පවසමින් පෙනෙලොපීගේ සිත දිනාගැනීමට බොහෝ ධනවතුන්-බලවතුන් කරන උත්සහයන් හා ටෙලිමකස් සිය මව ආරක්ෂාකරගැනීමට වෙහෙසීමත් හෝමර් කදිමට දක්වා තිබෙනවා.

ඉහත සිතියම, ඔඩිසි මෙන්ම එහි පෙර කථාව වූ ඉලියඩ් වීරකාව්‍යයේ එන ස්ථාන පෙන්වන නූතන යුරෝපා සිතියමක්. ට්‍රෝයි පුරය නූතන තුර්කියේ බටහිර වෙරළේ තිබෙනු ඔබට පෙනෙනු ඇති. 

ට්‍රෝයි ලෙසින් හැඳින්වෙන ඉතා සශ්‍රීක, ධනවත් නගරයක් සැබවින්ම තිබී ඇති අතර එහි විනාශය යම් යුධ ක්‍රියාදාමයක් නිසා සිදුවී ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි තිබෙනවා.

ට්‍රෝජන් යුද්ධයේ පසුබිම

යුද්ධයට නිමිත්ත වන්නේ මයිසීනියානු ග්‍රීක රාජධානි එකමුතුව විසින් ට්‍රෝයි නගරය (වර්තමාන තුර්කියට අයත් ප්‍රදේශය) වටලා වසර දහයක් පුරා දියත් කළ හෙලන් රැජින යලි ලබාගැනීමේ සංග්‍රාමයයි. මෙනෙලාඕස්ගේ සොහොයුරු ඇගමෙම්නොන් රජු ට්‍රෝයි නගරය ආක්‍රමණය කර ඇයව නැවත ලබා ගැනීම සඳහා යුධ නැව් දහසක නාවික හමුදාවක් සංවිධානය කරමින් ට්‍රෝයි පුරය වටලා වසර 10ක් යුධ වදිනවා.

හෙලන් කැමැත්තෙන් ගියාද? පැහැරගෙන ගියාද?

ජනප්‍රවාදවලට අනුව, ට්‍රෝයි හි පැරිස් කුමරු විසින් ස්පාර්ටාවේ මෙනෙලාඕස් රජුගේ බිසව වූ හෙලන් ට්‍රෝයි පුරයේ පැරිස් වෙත යාම කෙසේ සිදුවුනාදැයි පැහැදිලි නෑ. 

හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයට අනුව ලොව රූමත්ම යුවතියවූ හෙලන් ලබාදීමට රාගයට අධිපති දෙවඟනවූ ඇප්‍රොඩයිටි පැරිස්ට පොරොන්දු වෙන අතර හෙලන් පැරිස් වෙත යන්නේ ඇප්‍රොඩයිටිගේ වසඟයකට අනුවයි.

ඇප්‍රොඩයිටි පැරිස්ට හෙලන් ලබාගැනීමට උපකාරී වන්නේ විශ්වයේ රූමත්ම දෙවඟන වීමට දෙවියන්ගේ අග-රජ වූ සියුස් ගේ බිරිඳ හීරා, යුද්ධයට හා ඥාණයට අධිපති දෙවඟනවූ ඇතීනා හා සුන්දරත්වයට, ආදරයට හා රාගයට අධිපතිවූ ඇප්‍රොඩයිටි අතර වූ තරඟයෙන්, පැරිස්, ඇප්‍රොඩයිටිට දිනුම ලබාදීම නිසයි.

කෙසේ වෙතත් රෝමන් කවියන් වන වර්ජිල් හා ඔවිඩ් ට අනුව හෙලන් පැරිස් තමන් සතුකර ගැනීම බලහත්කාරී පැහැර ගැනීමක්. එහි නෛතික පදනම වන්නේ පුරාණ ග්‍රීක හා රෝම නීතීන්ට අනුව නිවැසි කාන්තාවක් ඇයගේ සැමියාගේ හෝ පියාගේ අනුමැතියකින් තොරව (ඇයගේ කැමැත්ත තිබුණද) ගෙනයාම පැහැර ගැනීමක් ලෙස සැළකීමයි.

ට්‍රෝයි හි පරාජය

වසර දහයක සටනකින් පසුවත් ට්‍රෝයිහි පවුරු බිඳදමා නගරයට යටත් කරගන්නට නොහැකිවූ තැන, ඔඩිසියස් විසින් සුප්‍රසිද්ධ "ට්‍රෝජන් අශ්වයා" නමැති උපක්‍රමය යොදා ගනිමින්, ට්‍රෝයි යුධ සෙනෙවියන් රවටනවා.

එමගින් ග්‍රීකයන්ට ට්‍රෝයි පුරය තුලට සූක්ෂමව ඇතුලුවී ට්‍රෝයි හි පවුර බිඳ හෙළීමටත්, නගරය යටත් කර ගනිමින් යුද්ධය නිමා කිරීමටත් හැකි වෙනවා.

ට්‍රෝයි නගරයේ පරාජයෙන් පසුව "ඔඩිසි" පුවත ආරම්භ වන අතර, එහිදී ඔඩිසියස් සිය මවුබිම වන ඉතකා (Ithaca) දූපත වෙත ආපසු පැමිණීම සඳහා වසර දහයක් පුරා විඳින දැඩි අභියෝගාත්මක ගමන තේමා කරගන්නවා.

ට්‍රෝජානු යුද්ධය සත්‍ය සිදුවීමක්ද?

ඓතිහාසික පදනම: නූතන පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරුවලට අනුව ට්‍රෝජන් යුද්ධය යනු සැබෑ ඓතිහාසික සිදුවීමක් මත පදනම් වූවකි. 

වර්තමාන තුර්කියට අයත් භූමි ප්‍රදේශය පාදක කරගනිමින් පැවැති Hittite ශිෂ්ටාචාරයට අයත් මැටි පුවරු ලේඛනවල, වයඹදිග ඇනටෝලියාවේ (තුර්කි අර්ධද්වීපය) පැවැති 'විලුසා' (Wilusa) නම් රාජ්‍යයක් පිළිබඳ නිතර සඳහන් වේ. ට්‍රෝයි (Troy) නගරයේ නටබුන් හමුවූයේ ද මෙම කලාපයෙනි. 

හෝමර්ගේ කාව්‍යයන්හි ට්‍රෝයි නගරය හැඳින්වීමට යොදාගත් ග්‍රීක 'ඉලියෝස්' (Ilios) යන්නෙහි Hittite උච්චාරණය 'විලුසා' වන බවට ඉතිහාසඥයෝ පොදුවේ එකඟ වෙති. එසේම, Hittite ලිපිවල විලුසා රාජ්‍යය ආශ්‍රිතව පැවැති භූ-දේශපාලනික නොසන්සුන්තාවන් පිළිබඳව සඳහන් වන අතර, ඊට 'අහියාවා' (Ahhiyawa) නම් බලවත් නාවික රාජ්‍යයක් සම්බන්ධ වූ බව කියැවේ. හිටයිට්වරුන් ග්‍රීකයන් හැඳින්වීම සඳහා යොදාගෙන ඇත්තේ මෙම 'අහියාවා' යන්නයි.

1870 ගණන්වලදී, හැයින්රිච් ෂ්‍ලීමාන් (Heinrich Schliemann) විසින් වයඹදිග තුර්කියේ හිසාර්ලික් (Hisarlık)  ප්‍රදේශයේ තිබූ විශාල පස් ගොඩැලි සහිත ප්‍රදේශයක කැණීම් කර, එය පුරාණ ට්‍රෝයි නගරය ලෙස තහවුරු කරගෙන තිබෙනවා.

පසුව විල්හෙල්ම් ඩෝර්ප්ෆෙල්ඩ් (Wilhelm Dörpfeld), කාල් බ්ලෙගන් (Carl Blegen) සහ මැන්ෆ්‍රෙඩ් කෝර්ෆ්මාන් (Manfred Korfmann) විසින් සිදු කරන ලද විද්‍යාත්මක කැණීම් මගින් වසර 4,000 ක කාලයක් පුරා පැවති ප්‍රධාන ජනාවාස ස්තර නවයක් අනාවරණය කර ගත් අතර, පෞරාණික පාංශු ස්ථර අතර ක්‍රි.පූ. 1300–1180 කාලයට අයත් ස්තරයන්හි දැඩි ගැටුම් හේතුවෙන් සිදු වූ මහා විනාශයක ප්‍රබල සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. 

එම සාක්ෂි අතර, මුළු නගරයම ගින්නෙන් අළු වී ගිය බව පෙන්නුම් කරමින් ඝන අළු සහ අඟුරු තට්ටුවක් නගරය පුරා පැතිර පවතිනවා. බලහත්කාරයෙන් කොල්ලකා කර විනාශ කරන ලද නගරයක දැකිය හැකි පරිදි, වීදි සහ නිවාස තුළ භූමදානය නොකළ, තුවාල සහිත මිනිස් සිරුරු සහ සැකිලි අවශේෂ හමුවී තිබෙනවා.

ඊට අමතරව, ආරක්ෂිත පවුරු තුළ රැඳී තිබූ ලෝකඩ යුගයට අයත් ග්‍රීක මාදිලියේ ඊතල හිස් සහ  ආරක්ෂිත පවුරු, දිය අගල්වල නටබුන්ද හමුවී තිබෙනවා. මේ අනුව නගරය විනාශයට පෙර දීර්ඝ කාළයක්, වැටලීමට ලක්ව තිබෙන බව තහවුරුවී තිබෙනවා.

ඒ අනුව හෝමර්ගේ ට්‍රෝයි පුරය හා නාවික බලවතෙකුවූ මයිසීන-ග්‍රීක රාජ්‍යය අතර දැඩි අර්බුධයක් පැවැතී බවත් එහි කූටප්‍රාප්තිය මෙම යුද්ධය හා ට්‍රෝයි පුරයේ විනාශය බවත් සිතාගත හැකියි.

ට්‍රෝයි පුර වැටලීම හා විනාශය පිලිබඳව හෝමර්ගේ ප්‍රබන්ධය: මෙම ප්‍රධාන අර්බුදයෙන් ලෝකඩ යුගයේ සැබෑ භූ-දේශපාලනික යුද්ධ සහ ආක්‍රමණයන් නිරූපණය වුවද, හෝමර්ගේ විස්තර කිරීම් ජනප්‍රවාද සහ ප්‍රබන්ධයන් මුසුකර ග්‍රීක හා රෝම දේව ඇදහිලි , දෙවිවරුන් මිනිස් කටයුතුවලට මැදිහත් වීම, සාගර රක්ෂසයන්, මන්ත්‍රකාරියන් සහ අද්භූත ක්‍රියා වැනි මිථ්‍යාමය අංග සමඟ කවා තිබෙනවා.


Comments