ඉරානය දේශීයව නිශ්පාදනය කල ස්ටෙල්ත් ප්‍රහාරක යානාවක් එලිදක්වයි [එය පියාසර කල නොහැකි ප්ලාස්ටික් මොඩලයක් පමණක් බව බටහිර විශ්ලේෂකයින් පවසයි ]


ඉරානය පසුගියදා දේශීය තාක්ශණයෙන් නිමැවුනු ස්ටෙල්ත් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් එලිදැක්වීය. Qaher F-313 ලෙස නම් තබා ඇති මෙම යානය අමෙරිකානු සුපිරි ප්‍රහාරක යානයක් වන F/A 18 හෝර්නට් යානයට සමාන හැකියාවන් ඇති යානයක් බව ඉරානය පවසයි.

ඉරාන විප්ලවයේ 34 වැනි සමරු ජයන්තිය එලබෙන දින සිදුකල මෙම එලිදැක්වීම ඉරාන රූපවාහිනී නාලිකා මගින් සජීවීව විකාශනය කලේය. එහිදී සිදුවූයේ හැඟරයක් තුල තබා තිබුණු යානයේ අනුරුවක් ඉරාන ජනාධිපති අහ්මෙනිජාඩ් මහතාවෙත ඉදිරිපත් කිරීමයි. බැලූ බැල්මට අධිතාක්ශණික යානයක් ලෙස පෙනෙන මෙම යානයේ අත්තටු කෙලවරින් පහතට නැමී ඇති ආකාරයට නිර්මාණය කොට ඇත. මෙලෙස තටු කෙළවර පහතට නැමී ඇති ආකාරයට නිමැවූ ප්‍රහාරක යානා දැනට කිසිදු රටක නිශ්පාදනය නොවන අතර එවැනි අත්තටු සැකැස්මක් ඇතිව නිර්මාණය කල පියාසර කල හැකි එකම යානය වන්නේ 1996 වසරේදී බෝයිං සමාගම නිර්මාණය කල "Boeing Bird of Prey" යානයයි. එයද තාක්ශණයන් තහවුරු කරගැනීම සඳහා නිමැවුනු (technology demonstrator) පර්යේශණ මට්ටමේ යානයක් වන තර 1999 වසරේදී එම ව්‍යාපෘතිය අත් හිටුවන ලදී.

මේතර ප්‍රධාන අත්තටු වලට අමතරව ඉදිරියෙන් "කනාර්ඩ්" ලෙස හැඳින්වෙන කුඩා අත්තටු යුගලක්ද පිහිටුවා ඇත.




යානය එලිදැක්වීමේ උත්සවයේදී ඉරාන ජනාධිපති අහ්මෙනිජාඩ් පැවසූ ආකාරයට F-313 යානය ඉරාන තාක්ශණයේ නිම්වලලු පුලුල්කොට ඇති අතර ඉරානයට ඕනෑම තාක්ශණික අභියෝගයක් ජයගත හැකිබව ලොවටම තහවුරු කල බවයි. ඉරාන ආරක්ශක අමාත්‍ය අහ්මඩ් වාහිඩ් පවසන ආකාරයට F-313 රේඩාර්වලින් සැඟවී යාහැකි යානයක් වන අතර අවි ආයුධ රාශියක් රැගෙන යාහැකි ලෙස සකසා ඇත. එමෙන්ම යානය සැහැල්ලු සංයුක්ත-ද්‍රව්‍ය (composite materials) මගින් නිර්මාණය කොට ඇත. මෙම යානයට ඉතා පහතින් පියාසර කරමින් ගොඩබිම ඇති ඉලක්කවලට ප්‍රහාර එල්ල කල හැකි අතර ගුවන් සටන්වලට හැකියාවක් ඇත. එමන්ම ඉතා කෙටි ධාවන පථයකින් ගුවන්ගත වීමට හා ගොඩ බැසීමටත් හැකියාව ඇති අතර ඉතා අඩු නඩත්තු අවශ්‍යතාවයකින් යුක්තය.

යානය ගොඩබස්වන හෝ ගුවන්ගත කරන දර්ශණ ඉරානය විසින් නිකුත්කොට නැතත් F-313 යානයේ හැඩය ඇති යානයක් ඈත අහසේ පියාසර කරන වීඩියෝ දර්ශණයක් අන්තර්ජාලයට නිකුත්කොට ඇත.

බටහිර විවේචන

බටහිර ආරක්ශක විශ්ලේෂකයින් බොහෝ දෙනෙකු මෙම ඉරාන යානය ඉතා නිර්දය ලෙස විවේචනය කොට ඇති අතර සමහර විශ්ලේෂකයින් F-313 සිනහ උපදවන ප්ලාස්ටික් මොඩලයක් ලෙස හඳුන්වා දී ඇත. සියල්ලම ඇමරිකාවේ හෝ බටහිර යුරෝපයේ වෙසෙන තමන්ට පමණක් කල හැකියයි සිතා සිටින උඩඟු බටහිර ජාතීන් මීට වසර දෙකකට පමණ පෙර රුසියාව සිය ස්ටෙල්ත් යානය වන සුක්හොයි T-50 යානය ලොවට නිරාවරණය කල අවස්ථාවේදීත් එය අමෙරිකානු F-22 යානයේ බාල අනුරුවක් (cheap imitation) බවට අවඥාවෙන් බැහැර කල බව එම වාර්තා කියවූ ලේඛකයාට මතක ඇත. එහෙත් අද වන විට රුසියානු T-50 යානය අමෙරිකානු F-22 හා F-35 සුපිරි ස්ටෙල්ත් යානාවල හැකියාවන් හට බොහෝ ආසන්න හැකියාවන් ඇති අමෙරිකානු යානාවලට විශ්වසනීය ලෙස අභියෝග කල හැකි යානාවක් බව බොහෝ මැදහත් විචාරකයින් පිලිගෙන හමාරය.

එමෙන්ම පසුගිය වසර දෙක අමෙරිකානු F-22 යානයටද ඉතා අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් විය. F-22 යානා දෙක තුනක්ම හදිසියේ කඩාවැටී නියමුවන් මරණයට පත්වුනු බැවින් F-22 යානා සියල්ල බිම්ගැන්වීමට අමෙරිකානු ගුවන් හමුදාව කටයුතු කල අතර F-22 යානා පැදවීම සමහර ගුවන් නියමුවන්  ප්‍රතික්ශේප කිරීම නිසා එම නියමුවන් යුද්ධාධිකරණයට පමුණුවන ලදී.

කරුණු එසේ වුවත්, ඉරාන F-313 මැදහත්ව සළකා බලන විට බටහිර විවේචනවල යම් සාධනීය තර්ක තිබෙන බව පිලිගත යුතුය.

විවේචන #1


යානයේ නියමුවා නියමුකුටිය තුල අසුන්ගෙන සිටිනා ඡායාරූපය දෙස බලන්න. එම නියමු කුටිය කෙතරම් කුඩාද යත් නියමුවාට සුවපහසුලෙස අසුන් ගැනීමට නොහැකිය. නියමුවාගේ හිස හා යානයේ නියමු අසුනේ head-rest එක දෙස බලන්න. නියමුවාගේ හිස ඇත්තේ head-rest එකට සෑහෙන ඉහලිනි. ඉරානය කියනා ආකාරයට මෙම යානය සැබැවින්ම ශබ්ධයේ වේගය අභිබවා යාහැකි සුපර්-සොනික් යානයක් නම් යානය ශබ්ධයේ වේගය අභිබවා ත්වරණය වීමේදී නියමුවාගේ හිසට ආධාරකයක් නොමැති බැවින් එය පසුපසට ගැස්සී නියමුවාගේ උගුරු දන්ඩ කැඩී යා හැකිය!

නියම ප්‍රහාරක ජෙට්යානා ගණනාවක නියමුවන් අසුන්ගෙන සිටිනා ආකාරය දැක්වෙන පහත රූපසටහන බලන්න. ඉරාන නියමුවා මොනතරම් අපහසුවෙන් නියමු කුටිය තුල හැකිලී මෙන් සිටින්නේදැයි ඔබටම පැහැදිලි වේ. බටහිර විචාරකයින් හට අනුව මෙසේ වීමට හේතුව මෙම යානය නියම පියාසර හැකියාව ඇති යානයක් නොව, ප්‍රහාරක යානයක කුඩා ප්‍රමාණයේ අනුරුවකි.
විවේචන #2


ඉහත ඡායාරූපය යානයේ පිටුපස එන්ජිමේ සම්පීඩිත වාතය පිටවන වා-පිටකරයයි. එය රතු ආවරණයකින් වසා ඇති අතර එයටම ඈඳා ඇති රතු පටියේ "remove before flight" - හෙවත් පියාසැරියට පෙර ඉවත්කරන්න යනුවෙන් ඉංග්‍රීසියෙන් ගැසූ ලේබලයක්ද ඇත. එමෙන්ම ආන්ත්‍රාවයි යනුවෙන් එන්ජිම දෙපස ඉංග්‍රීසියෙන් ලියා ඇත. යානය වටාම ඉන්ග්‍රීසි භාශාවෙන් ලියැවුනු උපදෙස් තිබීමෙන් මෙය බටහිර රටවල්වලට අපනයනය සඳහා නිමැවූවක්දෝ යන සැකය නිකමට මතුවුවත්, යානයේ වා-පිටකරය දෙස බැලූවිට එයට වඩා විශාල ගැටලුවක් පැනනගී. එම ගැටලුව නම් යානයේ වා-පිටකුරුව සාමාන්‍ය සිදුරක් ලෙස සකසා තිබීමයි. සුපර්සොනික් ජෙට් යානයක ඉන්ජිමක් උපරිම පීඩනයෙක් ක්‍රියාත්මක වනවිට වා-පිටකුරුවෙන් පිටවන වාතය ෆැරන්හයිට් 3000ක් (සෙල්සියස් 1600ක්) පමණක අධික උශ්ණත්වයකින් පිටවෙයි. මෙම උශ්ණත්වයෙන් යානයේ සැකිල්ල හා පිට පෘශ්ඨය ආරක්ශාකර ගැනීමස සඳහා සෑම ජෙට් එන්ජිමක්ම සම්පීඩිත වාතය පිටතට ගෙන එන්නේ අධික තාපයට ඔරොත්තු දෙන ටංස්ටන් මිශ්‍ර ලෝහවලින් සැකසුනු නැසින්නක් ආධාරයෙනි. එසේ නොමැතිනම් ජෙට් එන්ජිමේ අධික තාපය මගින් යානයේ සැකිල්ල ඇදවී දියවී යාමට හැකියාවක් ඇත.

F-313 මෙවැනි නැසින්නක් ඇති බවට කිසිදු සළකුණක් නැතිවීම මෙම යානය පියාසර හැකියාවක් ඇති නිර්මාණයක් නොවන්නේදෝ යන බලවත් සැකය ඇති කරයි. බටහිර විචාරකයින්ගේ "ප්ලාස්ටික් මොඩලය" විවේචනය සාධනය වීමට මෙම නැසිනි රහිත නිමැවුම විශාල හේතුවකි.


ඉහත ඡායාරූපයෙන් ඔබට ලොව කුඩාම සුපර්-සොනික් ප්‍රහාරක යානය ලෙස පිලිගැනෙන අමෙරිකානු F-16 ප්‍රහාරක යානයේ වා-පිටකුරු නැසින්න දැක ගත හැකිය. මෙම නැසින්න යානයේ සැකිල්ලෙන් අඩි 2-3 පසුපසට නෙරා ඇත්තේ අධික තාපයෙන් යානය ආරක්ශාකිරීමටයි.

විවේචන #3


F-313 එන්ජිමේ වා-පිටකුරු නැසින්න පමණක් නොව ඉදිරිපසින් එන්ජිමට වාතය ඇදගන්නා වා-පිවිස්න කවුලු (air-intakes) වල ප්‍රමාණයද විශාල ගැටලුවක් මතු කරයි. ඡායාරූපයේ පෙන්වන වා-පිවිස්න කවුලු සුපර්සොනික් ජෙට් යානා එන්ජිමකට වාතය ලබාදීමට කොහෙත්ම හැකියාවක් නැත්තේ ප්‍රමාණයෙන් ඒවා ඉතා කුඩා වීමයි. 

පහත රූපයේ අමෙරිකානු, රුසියානු හා යුරෝපීය ප්‍රහාරක යානාවල ඉදිරිපස වා-පිවිස්න කවුලු පෙන්වා ඇති. F-313 හා සාපේක්ශව එම වා-පිවිස්න කවුලු කෙතරම් විශාලදැයි ඔබටම වැටහෙනවා ඇත.
මෙම විවේචන තුන, බටහිර විචාරකයින් එල්ල කරනා විවේචන ගණනාවකින් සාමාන්‍ය පුද්ගලයෙකුට පවා අවබෝධ කරගත හැකි අඩුපාඩුය. මීට අමතරව තාක්ශණික විවේචන ගණනාවක් ද එල්ල වේ. යානයේ හැඩය සලකා බලන විචාරකයින් එය වායුගති-විද්‍යාත්මකව පියාසරකල නොහැකි එකක් යයි ප්‍රකාශකරන අතර මෙම යානාව කිසිසේත්ම රේඩාර් වලින් සැඟවී යා නොහැකි යානාවක් නොවන බව ඔවුන් ප්‍රකාශකරන්නේ යානයේ පෘශ්ඨවල ආනතිය (surface angles) යනාදිය සලකා බලමිනි. 

මේ අනුව මෙම ස්ටෙල්ත් යානයේ අනුරුව බටහිරයන් රැවටීමටත් වඩා ඉරාන ජනාධිපති අහ්මනිජාඩ් හා ඉරානයේ සැබෑ පාලකයින් වන මූලධර්මවාදී මුල්ලාවරුන් රැවටීම සඳහා ඉරාන ආරක්ශක දෙපාර්ථමේන්තුව විනින් අටවන ලද්දක් දැයි සැක සිතේ.

Comments

  1. සිරාවට පෙනුමේ හැටියටනං හිතෙනවා බං..

    ReplyDelete
  2. මටත් දැන්නම් හිතෙනවාමේක සිරාවටම අනුරුවක් විතරයි කියලා.
    ඕකට උත්තර දෙන්ඩ ඉරානයට හරිම ලේසි.
    පොඩි රවුමක් දෙකක් ගහලාපෙන්නන්ඩනේ තියෙන්නේ

    ReplyDelete
  3. ස්තුතියි සවිස්තර ලිපියට!

    ReplyDelete
  4. ඉරාන් කාරයෝ කියන්නේ සම්පූර්ණ බොරු. මොලයක් නැති මැටි හරක් ඉන්නේ.

    ReplyDelete

Post a Comment