ටර්බෝ චාජර් තුනක්ම ඇති එන්ජිමක් වොල්වෝ සමාගම නිර්මාණය කරයි!!!

ටර්බෝචාජරයක කොම්ප්‍රෙසරයේ ඇති අවරපෙත්ත
ටර්බෝචාජර් තාක්ශණය සරලව.....

ටර්බෝ යනු අලුත් තාක්ශණයක් නොව පැරණි තාක්ශණයකි. ටර්බෝ චාජරයේ ඇති සම්පීඩකය මගින් වාතය සම්පීඩනය කොට සිලින්ඩරවලට ඇතුලු කරනු ලැබේ. එවිට සිලින්ඩර තුලට වැඩි වායු ප්‍රමාණයක් ඇතුලුවන අතර එවිට සිලින්ඩරය තුල නොදැවී ඉතිරිවන ඉන්ධන අවම වන අතර කුඩා එන්ජිමකින් වැඩි බලයක් ලබාදෙයි. ටර්බෝ චාජරයේ කොම්ප්‍රෙසරයේ ඇති අවර පෙත්ත (compressor fan) කරකැවෙන්නේ එන්ජිමෙන් පිටවන අධික උණුසුමෙන් යුතු විමෝචක වායු (exhaust gasses) ටර්බයින් ෆෑනයක් හරහා යැවීමෙනි. ඒ අනුව ටර්බෝ චාජරය ක්‍රියාත්මක වීමට අමතර බලයක් අවශ්‍ය නොවේ.

ටර්බෝ චාජර්වල ඇති ප්‍රධාන දුබලතා දෙකකි. එකක් නම් ටර්බෝ චාජරයේ කොම්ප්‍රෙසරය මගින් සම්පීඩිත වාතය සිලින්ඩර වෙත ඇතුලු කිරීමට මද වෙලාවක් ගතවීමයි. විශේෂයෙන්ම එන්ජිම අඩු වේගවලි න් ගමන්කිරීමේදී කොම්ප්‍රෙසරය අඩුවේගයෙන් කරකැවීමෙන් මෙම ගැටලුව ඇතිවේ. Turbo Lag ලෙස මෙය හඳුන්වයි. ටර්බෝ චාජරයක් ඇති වාහනයක ඇක්සලරේටරය පාගන මොහොතේම එන්ජිම බලය ලබාදෙන්නට අපොහොසත් වන්නේ මේ නිසාවෙනි. ඇක්සලරේටරය වේගයෙන් පාගා ස්වල්ප මොහොතකින් එන්ජිමේ වේගය වැඩිවෙන බව රියැදුරාට දැනෙයි.

අනෙක් ගැටලුව නම් එන්ජිම වේගයෙන් ක්‍රියාතමක වීමේදී කොම්ප්‍රෙසරය අධික ලෙස රත්වීම නිසා ඉන් සිලින්ඩර් තුලට ලබාදෙන වාතයද අධික ලෙස රත්වී ඇතුලුවීමයි. මෙය ගැටළුවක් වන්නේ මෙලෙස වාතය අධික ලෙස රත්වීම නිසා ප්‍රසාරණය වීම හේතුවෙනි. අධික ලෙස රත්වී ප්‍රසාරණය වන වාතය වැඩි පරිමාවක් ගනී එබැවින් ටර්බෝචාජරය හරහා සිලින්ඩර තුලට ඇතුළුකරන වාතයේ පරිමාව ටර්බෝ චාජරය රත්වන්නට රත්වන්නට අඩුවේ. එවිට ටර්බෝචාජරය මගින් ලාබාදෙන අමතර බලය ක්‍රමයෙන් අඩුවේ. 

මෙම රත්වීම මගහැරීම සඳහා "Inter-Cooler" නම් තාක්ශණයක් යොදාගනී. මෙය සරල තාක්ශණයක් වන අතර ලංකාවේ මෙම තාක්ශණය පොදු ජනවහරට එක්වූයේ "Montero Intercooler" වැනි ජීප් රථවල නිශ්පාදකයා එය වාහනයේ අලුත් තාක්ශණයක් ලෙස උලුප්පා දැක්වූ බැවින් වුවත් ඉන්ටර්කූලර් තාක්ශණයේ මූලික සංකල්ප 1910 තරම් පැරණිය. 1910දී ඉන්ජර්සොල් රෑන්ඩ් (Ingersoll Rand) සමාගම සිය air compressor වල මෙම තාක්ශණයේ පැරණි සැකසුමක් ඉදිරිපත්කොට තිබුණි.

ඉන්ටර්කූලරයක් යනු සැබවින්ම heat exchanger එකකි. ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරයෙන් පිටවන සම්පීඩිත හා අධිකලෙස රත්වූ වාතය සිලින්ඩර වෙතට ඇතුළු කිරීමට පෙර සිසිල්කිරීම ඉන්ටර්කූලරයක් මගින් සිදුවේ. මෙලෙස සිසිල්වීම නිසා සම්පීඩිත වාතයේ ඝණත්වය වැඩිවී පරිමාව අඩුවීමෙන් වැඩි වාතය ප්‍රමාණයක් සිලින්ඩර තුලට නොකඩවා ඇතුලුකල හැකිය.

Volvo Three Turbocharger Concept Engine
l
ටර්බෝ චාජර් දෙකක් ඇති "Twin-Turbo" වර්ගයේ වාහන දැනටමත් වෙළඳපොලේ ඇත. වොල්වෝ සමාගම මින් තවත් ඔබ්බට ගොස් ටර්බෝ චාජර් තුනක් සම්බන්ධකොට එන්ජිමක් නිර්මාණය කොට ඇත්තේ ටර්බෝචාජර් එන්ජින්වල සහජ දුර්වලතාවය වන "turbo lag" නැතිකර දැමීමේ අරමුණින් බව පැවසේ. මෙහිදී ටර්බෝචාජර් දෙකක් එන්ජිමට වාතය ගෙන යන අතර තුන්වන ටර්බෝචාජරය මගින් එන්ජිමට සම්බන්ධ ටර්බෝචාජර දෙකට වාතය ලබාදෙයි. මේ අනුව එන්ජිම අඩු RPM වලින් ක්‍රියාත්මකවීමේදී ඇති "turbo lag" දුර්වලතාවය නැතිවී යයි. 

එමෙන්ම මෙම තුන්වන ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වන්නේ විදුලි මෝටරයක් මගිනි. එන්ජිම RPM 3300 වනතෙක් මෙම තුන්වන ටර්බෝචාජරය ක්‍රියාත්මක වන අතර ඉන්පසු එය ක්‍රියාවිරහිතවේ. ලීටර් 2ක ධාරිතාවයකින් යුතු මෙම එන්ජිම අශ්වබල 450ක සුපිරි ජවයක් ලබාදීමට සමත්වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ජවයක් ලබාගැනීමට ලීටර් 5ක, V8 වර්ගයේ විශාල එන්ජිමක් ඇවැසිය.




Comments

  1. එළ.turbo එන්ජිමක් වැඩ කරන හැටිත් ඉගෙන ගන්න පුළුවන් උනා

    ReplyDelete
  2. අගනා පැහැදිලි කිරීමක්
    ජය වේවා!

    ReplyDelete

Post a Comment