Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 30 October 2014

චීනය ඇන්ටාක්ටිකාවේ ගවේෂණ පුලුල් කරයි...

ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් ඉදිරියට යමින් සිටින චීනය සිය ධනය භාවිතා කරමින් මෙතෙක් ධනවත් රටවල් වලට පමණක් සීමාව තිබූ බොහෝ ගවේෂණ, පර්යේෂණ හා ක්‍රියාකාරකම් වලින් විශාල ප්‍රගතියක් අතපත් කරගනිමින් සිටී.  ලොව වේගවත්ම සුපිරි පරිගණක නිර්මාණය කිරීමේ තරඟයෙන් චීනය ඉදිරියෙන් සිටින අතර, අමෙරිකාව, ජපානය, ජර්මනිය වැනි රටවල් වලට බලවත් අභියෝගයක්ව සිටී.

අභ්‍යවකාශයට මිනිසුන් යවා ගෙන්වාගත හැකි තුන්වැනි රට බවටද පත්වී සිටින චීනය දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් සිටී. අමෙරිකාවේ F-22 හා රුසියාවේ සුක්හොයි T-50 ස්ටෙල්ත් යානා වලට සමකල හැකි ස්ටෙල්ත් ප්‍රහාරක යානා නිර්මාණය කරමින් සිටිනා චීනය සිය නවතම ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන චෙන්ග්ඩු J-20 යානයේ පරීක්ශණ පියාසැරි ආරම්භ කලේ 2011 වසරේදීය. 2017 වනවිට එම යානය චීන ගුවන් හමුදාවට අනුයුක්ත කරගනු ඇත.

බටහිර රටවල් හා රුසියාවට පමණක් සීමාව තිබූ තවත් අංශයක වේගවත් දියුණුවක් චීනය අත්පත් කරගනිමින් සිටී. ඒ ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශවල ගවේෂණයයි. චීන ධැවාශ්‍රිත ප්‍රදේශ ගවේශණායතය (Polar Research Institute of China) 1989 වසරේදී පිහිටුවන ලද අතර මේ වනවිට ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධස්ථාන සතරක්ද, ආක්ටික් ප්‍රදේශයේ එක් පර්යේෂණ මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති අතර ශූ-ලොන්ග් (Xue Long) හෙවත් හිම මකරා නම් විශාල අයිස් කඩන නෞකාවකින්ද සන්නද්ධය.


අපේ‍්‍රල් මසදී හිම මකරා නෞකාව චීනය විසින් ඇන්ටාක්ටිකාවේ සිදුකළ 30වන ගවේෂණය සම්පූර්ණ කලේය. 1994දී යුක්‍රේනයෙන් ලබාගත් මෙම නෞකාවට අඩි 4ක් ඝණ හිම තට්ටුවක් කඩාගෙන ඉදිරියට යා හැකියි. කාර්යමණ්ඩලයට අමතරව පර්යේෂකයින් 128 දෙනෙකුට මාස ගණනාවක් ජීවත්වෙමින් පර්යේෂණ සිදුකිරීමේ පහසුකම් මෙම නෞකාවේ ඇති අතර වර්ග අඩි 1100ක් විශාල පර්යේෂණගාර හා විද්‍යාගාර මෙහි තිබේ.

බටහිර ඇන්ටාක්ටිකාවේ කින්ග් ජෝර්ජ් අයිලන්ඩ් හි "ග්‍රේට් වෝල්' පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ලාස්මාන් කඳුවැටිය අසල ශොන්ග්ෂෑන් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත. මීට අමතරව නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඩෝම් ආර්ගස් ප්‍රදේශයේ කුන්ලුන් පර්යේෂණ මධ්‍යස්ථානය ක්‍රියාත්මකවේ. සතරවන මධ්‍යස්ථානය වන ටායිශාන් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ප්‍රින්සස් එලිසබෙත් ලෑන්ඩ් නම් ප්‍රදේශයේයි.


චීනයේ ඇන්ටාක්ටික් ගවේෂණ කටයුතු හා ඒවායේ කඩිනම් ව්‍යාප්තිය පිලිබඳ අධයනයක් සිදුකල ඔස්ට්‍රේලියානු රජයට අයත් උපායමාර්ගික ප්‍රතිපත්ති සැකසුම් ආයතනය පවසන ආකාරයට චීනයට ඇන්ටාක්ටිකාවේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන පහසුවෙන් යුධමය කටයුතු සඳහා අනුවර්තනය කරගත හැකියි. උදාහරණයක් ලෙස නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ශොන්ග්ෂෑන් පර්යේෂණ මධ්‍යස්ථානය ධැවීය කක්ෂ වල කක්ශගතකොට තිබෙන ඔත්තු බලන චන්ද්‍රිකා (polar orbit spy satellites) සමග පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා සුදුසුම ස්ථානයක් බව ඔවුන් පවසනවා.

අයිස් දියවී ගිය ග්‍රීෂ්ම  සෘතුවේදී ශොන්ග් ෂෑන් ඇන්ටාක්ටික් මධ්‍යස්ථානය දිස්වෙන අයුරු.
ඔස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාවට ආසන්නයේම ඇති විශාලතම සංවර්ධිත රාජ්‍යය වන අතර ඇන්ටාක්ටිකාවේ මුහුදු ප්‍රදේශ හා එහි ඇති ස්වභාවික සම්පත් රැසකට අයිතිවාසිකම් කියනවා. දැනට ඇන්ටාක්ටිකාවේ සිදුවන ගවේෂණ හා සංචාරක ව්‍යාපෘති විශාල ප්‍රමාණයකට පහසුකම් සපයන්නේ ඔස්ට්‍රේලියාවට අයත් ටැස්මේනියා දූපතේ ඇති හෝබාර්ට් වරාය හා ගුවන් තොටුපොල මගිනුයි. මෙමගින් වාර්ශිකව විශාල ආදායමක් ඔස්ට්‍රේලියානු රජය උපයා ගන්නවා. චීනයේ ඇන්ටාක්ටිකා ක්‍රියාකාරකම් ගැන ඔස්ට්‍රේලියාව මෙතරම් උනන්දුවක් දක්වන්නට හේතුව එයයි.

මේ අතර ඔස්ට්‍රේලියාව තවත් තිගැස්මට භාජනය කල හැකි පුවතක් වාර්තාවනවා. චීනය ඇන්ටාක්ටිකාවේ ගුවන් පථයක් ඉදිකිරීමට සැසෙන බව එම වාර්තාවයි.  බෙයිජිං ඊවිනින් නිවුස් පවසන අන්දමට මෙම ගුවන් පථය නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ප‍්‍රිඞ්ස් ලාර්ස්මන් කඳුවැටි ප‍්‍රදේශයේ පිහිටා ඇති ඇන්ටාක්ටික් සොන්ග්ෂෑන් මධ්‍යස්ථානය අසල ඉදිකරනු ඇති.

යෝජිත ගුවන් පථය චීනය සතුව ඇන්ටාක්ටිකාවේ ඇති මධ්‍යස්ථාන 4 සඳහා සහයදීමට නියමිතව තිබේ. ඇන්ටාක්ටිකාවේ ගවේෂකයන්ට මුහුදු මාර්ගයෙන් ගමනාගමනය කරන්නට සිදුවී තිබීම විද්‍යාත්මක පර්යේෂණයන් සීමාවීමට ප‍්‍රධාන හේතුවක් බව චීනය පවසන අතර මෙම ගුවන් පථය මගින් එම අපහසුව අවම කරගැනීමට බලපොරොත්තු වෙනෙවා.

ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවාගෙන සිටින රටවල් හා ඒවායේ පිහිටුම


Related Posts Plugin for WordPress, Blogger...