අඟහරු මත පැරණි ඊජිප්තු වැසියන් තරම් දියුණු වූ මානවරූපී (humanoid) ශිෂ්ඨාචාරයක් තිබී එය න්‍යශ්ඨික ප්‍රහාරයකින් විනාශවූවා? - න්‍යශ්ඨික භෞතික විද්‍යාඥ ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග්

ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් න්‍යශ්ඨික භෞතිකවිද්‍යාව [nuclear physics] පිලිබඳව PhD උපාධියක් දිනාගත් කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. ඔහු පර්යේෂ කෘති ගණනාවක් ඉදිරිපත්කොට ඇත. බොහෝ අන්තර්ජාතික භෞතික විද්‍යා සම්මේලන වල දේශන පවත්වා ඇත.  ඔහු අඟහරු ග්‍රහයා මත පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය මෙන් දියුණු ශිෂ්ඨාචාරයක් තිබූ බවට සිය මුල්ම කල්පිතය ගොඩනගන්නේ 1991දී ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාවකිනි. "Cydonia Hypothesis" හෙවත් සිඩොනියා කල්පිතය ලෙස නම්කොට තිබූ මෙම පර්යේෂණ පත්‍රිකාවට අනුව අඟහරුවාගේ සිඩොනියා හා තවත් ප්‍රදේශ කිහිපයක මානවරූපී දියුණු ශිෂ්ඨාචාරයක් මගින් ඉතිරිකොට ගොස් ඇති නටබුන් පිලිබඳව කල්පිතයක් ඉදිරිපත් කරයි. 2014 නොවැම්බර් මාසයේදී තවත් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන ඔහු, 1991දී ඉදිරිපත් කල සිඩොනියා ශිෂ්ඨාචාරයේ විනාශයට හේතුව දියුණු පිටසක්වලයින් විසින් එල්ල කරන ලද න්‍යෂ්ඨික ප්‍රහාරයක් බවත්, එම න්‍යශ්ඨික ප්‍රහාරයේ විකිරණ සළකුණු දැන් අඟහරුවා මත පර්යේෂණ කරන යානාවලින් ලැබෙන දත්ත මගින් තහවුරුවන බවත් ප්‍රකාශකොට තිබෙනවා. "Evidence of a Massive Thermonuclear Explosion on Mars in the Past, The Cydonian Hypothesis, and Fermi’s Paradox" ලෙස මෙම පර්යේෂණ පත්‍රිකාව නම් කොට තිබෙන අතර එය ඉදිරිපත් කොට තිබෙන්නේ 2014 නොවැම්බර් මාසයේදීයි.

පර්යේෂණ සඟරාවක පලව තිබූ මෙම පර්යේෂණ පත්‍රිකා දෙකම සම්පූරණයෙන්ම කියැවීමට මට අවස්ථාවක් ලැබුණු අතර, මාගේ දැනුමේ හැටියට නම්  ඉතා සමබරව, පෙර විද්‍යාඥයින් ඉදිරිපත්කල කල්පිත, තහවුරුවූ  පර්යේෂණ තොරතුරු මෙන්ම අඟහරු ගවේෂණය කල යානා මගින් එවූ දත්ත, ඡායාරූප හා එම දත්ත පදනම් කොටගෙන නිකුත්වූ පර්යේෂණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් පරිශීලනය කොට ගොඩ නගන ලද්දකි. [මා විද්‍යාඥයෙකු නොවන බව මෙහිදී සටහන් කල යුතුය - එහෙත් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් කියවා තේරුම් ගැනීමේ හා එය විශ්ලේෂණය කිරීමේ හැකියාව මා සතුය]

මෙම කල්පිතය විද්‍යාත්මකව ගොඩ නැගීමේදී බ්‍රැන්ඩන්බර්ග් ඔහුට පෙර විසූ කීර්තිමත් විද්‍යාඥයින් ඉදිරිපත් කල, දැනට පිලිගැනෙන කල්පිත තුනක් භාවිතා කරයි. මෙම කල්පිත නම්;
  • සුප්‍රකට තාරකා විද්‍යාඥ කාල් සේගන් ඇතුලු පිරිසක් ඉදිරිපත්කල - අවිශිෂ්ටතා න්‍යාය හෙවත්  Mediocrity Theory
  • සුප්‍රකට භෞතික විද්‍යාඥ එන්රිකො ෆර්මි ඉදිරිපත්කල - ෆර්මි විරුද්ධාභාෂය හෙවත් Fermi's Paradox
  • සෝවියට් තාරකා විද්‍යාඥ නිකොලායි කාඩෂෙෆ් ඉදිරිපත්කල - කාඩෂෙෆ් පරිමාණය හෙවත් Kardashev Scale
මීට අමතරව Masursky, Boyce, Dial, Selaber, Toulmin & Strobell යන විද්‍යාඥයින් 1977දී ඉදිරිපත්කල අඟහරු ග්‍රහයා ඔක්සිජන් සහිත ඝණ වායුගෝලයක්, ගලා යන ද්‍රව ජලය අඩංගු ගංගා, ඇල දොළ මුහුදු වලින් හෙබි, පෘථිවියේ දකින්නට ලැබෙන ආකාරයේ ජීවයට හිතකර ග්‍රහලෝකයක් ලෙස වසර බිලියනයක් පමන පවතින්නට ඇතැයි යන මතය ආධාර කොට ගෙන ගොඩනගා ඇත. 1977දී මැරිනර් හා වයිකිං යානා විසින් සිදුකල ගවේෂණ වලදී ලැබුණු දත්ත මත පදනම්ව මෙම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කොට ඇති අතර, දැනට අඟහරු මත ගවේෂණ කරන ස්පිරිට්, ඔපර්චූනිටි හා කිව්රියෝසිටි රෝවර් මගින් හා අඟහරු මත කක්ශගතයව සිටින මාර්ස් ඔබ්සර්වර් යානය මගින් ලැබුණු තොරතුරු වලින් ඈත අතීතයේදී අඟහරුවා පෘථිවියට බෙහෙවින් සමානවූ බව බොහෝ සෙයින්ම සනාතවී ඇත.

බ්‍රැන්ඩන්බර්ග් ඉදිරිපත්කල පර්යේෂණ පත්‍රිකාවල කරුණු සරලව විස්තර කිරීම මෙම ලිපියේ අරමුණවේ. එහෙත් ඊට පෙර, එම පර්යේෂණ පත්‍රිකා දෙකටම පාදක කොට ගෙන ඇති මූලික කල්පිත තුන, එනම් සේගන් ගේ මිඩියෝක්‍රිටි න්‍යාය, ෆර්මිගේ පැරඩොක්සය හා කාඩශෙෆ් පරිමාණය සරළව හඳුනාගමු.

Mediocrity Theory

මිඩියෝක්‍රිටි හෙවත් අවිශිෂ්ඨතාවය යනු සුවිශේෂී නොවීම හෙවත් ඉතා සාමාන්‍ය වීමයි. සුප්‍රකට අමෙරිකානු විද්‍යාඥ කාල් සේගන් ඉදිරිපත් කල මෙම න්‍යායට අනුව, පෘථිවිය හා සෞරග්‍රහ මණ්ඩලය ඉතා සාමාන්‍යය. කිසිදු විශේෂත්වයක් නැත, ඒ අනුව මේ සෞරග්‍රහ මණ්ඩලයට සමාන සෞරග්‍රහ මණ්ඩල බිලියන ගණනක් විශ්වයේ තිබිය හැකිය. එමෙන්ම පෘථිවිය වැනි, තමන්ගේ තාරකාව වටා ද්‍රව ජලය පැවතිය හැකි, වඩා ශීතල හෝ උණුසුම් නොවන ආකාරයට එම තාරකාව වටා ගෝල්ඩි-ලොක්ස් [Goldilocks Zone/Habitable Zone] ලෙස හැඳින්වෙන දුරකින් කක්ශගත වන පෘථිවිය වැනිම වායුගෝල හා ඔක්සිජන් ඇති ග්‍රහයන් එමට තිබිය හැකිය. එනම් පෘථිවි ජීවයද අසාමාන්‍ය නොව, ඉතා සාමාන්‍යය. එනම් විශ්වය ජීවයෙන් පිරී තිබිය හැකි තරමට ජීවය සඳහා අවශ්‍ය සාධක විශ්වය තුල ඉතා සාමාන්‍ය ලෙස පවතී...

කාල් සේගන් ඇතුලු පර්යේෂණ කණ්ඩායම මෙම න්‍යාය ඉදිරිපත් කලේ 1960දීය. කාල් සේගන් 1996දී මිය ගියත්, ඔහු ඉදිරිපත් කල මෙම කල්පිතය සනාථ කරමින් මේවන විට ජීවය පැවැතිය හැකි කලාපයේ සිය තාරකාව වටා කක්ශගතවී ඇති ග්‍රහලෝක 47ක් සොයාගෙන ඇත.

Fermi's Paradox

ෆර්මි විරුද්ධාභාෂය පදනම්ව ඇත්තේ රේඩියෝ තාරකා විද්‍යාඥ ෆ්‍රැන්ක් ඩ්‍රේක් ඉදිරිපත්කල ඩ්‍රේක් සමීකරණයට අනුවය. ඩ්‍රේක් සමීකරණයට අනුව විශ්වයේ ජීවය පැවැතිය හැකි ග්‍රහලෝක බිලියන ගණනක් ඇත. එසේනම්, තවමත් එවැනි එකම දියුණු ශිෂ්ඨාචාරයක් හෝ පෘථිවිය හා යම් ආකාරයකින් හෝ සම්බන්ධවීමක් සිදුවී නොමැතිවීමටත්, විශ්වය පිලිගත නොහැකි ආකාරයට නිශ්ෂබ්ද, එනම් දියුණු ශිෂ්ඨාචාර මගින් නිකුත් කරන රේඩියෝ තරංග කිසිවක් නෑසෙන්නටත් හේතුව කුමක් දැයි අනුමාන කිරීම ෆර්මි පැරඩොක්සි කල්පිතයේ අරමුණයි.

ෆර්මි පැරඩොක්සිය එනම් බිලියන ගණනක් ජීවය පැවැතිය හැකි ග්‍රහලෝක තිබියදී එකම එක දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් හෝ අප හා සම්බන්ධ නොවී සිටින්නේ හා ඔවුන්ගේ රේඩියෝ පණිවුඩ පවා නෑසෙන්නේ කරුණු කිහියක් නිසා විය හැකිය....

1] පෘථිවිය ඉතා විරල ග්‍රහයෙකි. එනම් දියුණු ජීවය හටගත හැකි පෘථිවිය වැනි ග්‍රහලෝක ඉතාම විරලය. එබැවින් අනන්ත විශ්වයේ මේ අප ගතකරන කාලය තුල තවත් දියුණු ශිෂ්ඨාචාරයක් නොතිබෙන්නට ඉඩ ඇත. එනම් අප විශ්වයේ තනිව සිටී.

2] තමන්වම විනාශකර ගැනීම [self destruction] දියුණු ජීවයේ ආවේණික ගති ලක්ශණයකි. එනම් අති බහුතරයක් දියුණු ශිෂ්ඨාචාර විශ්ව ගවේෂණයට එළඹීමට බොහෝ කලකට පෙර න්‍යෂ්ඨික, ජීව විද්‍යාත්මක හෝ රසායණික අවිමගින් හෝ පරිසර විනාශයෙන් තමන්ම විනාශ කරගනී, නැතහොත් නැවතත් ඉතා නොදියුණු අඩියකට වැටේ. අපට දියුණු පිටසක්වල ශිෂ්ඨාචාර හමු නොවෙන්නේ එබැවිනි. [විනාශකාරී න්‍යශ්ඨික යුද්ධයකින් මිනිස් වර්ගයාද නැවත ගල්යුගයට තරම් ඈතට තල්ලුවිය හැකිය]

3] වරින්වර ඇතිවන ස්වභාවික විනාශයන්, එනම් කඩාවැටෙන උල්කාපාත, ග්‍රහලෝකය සිසාරා යන දැවැන්ත භූමිකම්පා, ගිණිකඳු පිපිරීම් හා සුනාමි වැනි ව්‍යසන නිසා ජීවය නිරන්තරව විනාශවෙමින් යලිත් ඇතිවයි. එබැවින් දියුණු ශිෂ්ඨාචාර බොහෝකල් නොපවතී. [පෘථිවියේද ඩයිනසෝරයින් වඳවී ගියේ මෙවැනිම ස්වභාවික ව්‍යසනයකිනි. එසේ නොවූවානම් මිනිසා මෙන්ම බුද්ධිමත් උරග විශේෂයක් පහලවීමට  බොහෝ සෙයින් ඉඩතිබුණා පමණක් නොව ඔවුන් අපට වඩා ඉතා කලින් පරිණාමය වීම ඇරඹීම නිසා දැන් මිනිසාට වඩා බොහෝ දියුණුවක් ලබන්නට ඉඩ තිබුණි]

4] දියුණු ශිෂ්ඨාචාර විශ්වයේ තිබේ, එහෙත් එකිනෙකට ආලෝක වර්ෂ දහස්ගණනක් ඈතින් ඇති සෞරග්‍රහමණ්ඩල වල ඇති මෙම ශිෂ්ඨාචාර එකිනෙක හා සම්බන්ධවීම දුර අනුව කිසිදා සිදුනොවිය හැකිය.

5] පිටසක්වල දියුණු ශිෂ්ඨාචාර සිය භෞතිකත්වය අභිබවා ගොස් සිය සිරුරුවලින් ඉවත්ව මනසට අමරණියත්වය ලබාගෙන ඇත. එනම් ඔවුන් අප බලාපොරොත්තුවන භෞතික ජීවීන් නොව, අපට තේරුම්ගත නොහැකි මානයක ජීවත්වන්නන් බවට පත්ව ඇති නිසා අපට ඔවුන් හා සම්බන්ධවීම හෝ ඔවුන්ගේ පණිවුඩ තේරුම් ගැනීමට නොහැකිය.

6] මිනිසා පිටසක්වල ජීවීන් පිලිබඳව සොයන්නට පටන්ගෙන [එනම් ඔවුන්ගේ රේඩියෝ පණිවුඩ වලට සවන්දෙන්නට පටන්ගෙන] වසර 50ක් පමණය. මෙය ඉතා කෙටි කාලයකි. පිටසක්වල පණිවුඩ ග්‍රහණයවී නොමැත්තේ එබැවිනි.

7] පිටසක්වල පණිවුඩ ග්‍රහණය කරගැනීමට අවශ්‍ය තාක්ශණය තවමත් අපට නැත. ඔවුන් පණිවුඩ එවන සංඛ්‍යාත, ඔවුන්ගේ පණිවුඩ සංක්ෂේප කොට ඇති ඇල්ගොරිත්ම [compression algorithms] අපට තේරුම්ගත නොහැකි නිසා ඔවුන් එවන පණිවුඩ තේරුම්ගත නොහැකිය. එසේත් නැතින,ක් ඔවුන්ගේ පණිවුඩ අධිවේගී බැවින් අපගේ ඉලෙක්ට්‍රොණික උපකරණවලට ඒවා ග්‍රහණය කරගත නොහැක. එසේත් නැතිනම් ඔවුන් සන්නිවේදනය කරණ සංඛ්‍යාත පෘථිවි වායුගෝලයට ඇතුලු නොවේ [උදා: ගැමා කිරණ]

8] දියුණු ශිෂ්ඨාචාර අපට වඩා සිතාගත නොහැකි තරමට වෙනස්ය, අභව්‍යය. එබැවින් සන්නිවේදනය සිදු නොවිය හැකිය. ඔවුන්ගේ තාක්ශණය ගණිතය හා භෞතික විද්‍යාත්මක පදනම් අපට කිසිසේත් තේරුම්ගත නොහැකිය.එබැවින් ඔවුන්ගෙන් සංඥා හෝ පණිවුඩ ලැබුණද අපට ඒවා පණිවුඩ ලෙස හඳුනාගත  නොහැකිය.

9] සත්වෝද්‍යාන කල්පිතය [Zoo Hypothesis]  - පෘථිවිය, දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් හෝ එවැනි ශිෂ්ඨාචාරවල එකමුතුවක් [විශ්ව රජයක්?] මගින් ආරක්ශා කරයි. අපගේ තාක්ශණය යම් මට්ටමකට දියුණුවන තෙක් ඔවුන්  අපට රහසින් අපව නිරීක්ශණය කරන අතර කිසිදු පිටසක්වල ශිෂ්ඨාචාරයකට අප හා සම්බන්ධවීම තහනම් කොට ඇත.

10] තමන් පිලිබඳව තොරතුරු විශ්වයට ප්‍රකාශ කිරීම, එනම් විශ්වයට රේඩියෝ පණිවුඩ නිකුත්කිරීම ඉතා භයානකය. එය විපත්තිදායක ප්‍රථිපලවලට අතවැනීමකි. එබැවින් විශ්වයේ දියුණු ශිෂ්ඨාචාර උවමනාවෙන්ම තමන්ගේ පැවැත්ම රහසින් පවත්වාගෙන යයි.මෙය මිනිස් ඉතිහාසය සලකා බැලීමේදීද තහවුරුවේ. දියුණු ශිෂ්ඨාචාරයක්, ඊට අඩු දියුණුවකින් යුතු ශිෂ්ඨාචාරයක් හා සම්බන්ධවූ බොහෝ අවස්ථාවලදී නොදියුණු ශිෂ්ඨාචාරය විනාශවී ඇත, නැතහොත් සදහටම වෙනස්වී ඇත. උදාහරණ - උතුරු අමෙරිකාවේ රතු ඉන්දියානුවන් සුදු ආක්‍රමණිකයින් අතින් විනාශවූ ආකාරය. මධ්‍යම අමෙරිකාවේ ස්වර්ණමය ශිෂ්ඨාචාර වූ ඉන්කා හා මායා ශිෂ්ඨාචාර ස්පාඤ්ඤ ආක්‍රමණ නිසා විනාශවූ ආකාරය. අප ලංකාවේ පවා පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන තාක්ශණයෙන් දියුණු ශිෂ්ඨාචාර හා ගැටීමෙන් හෙළ ශිෂ්ඨාචාරය දැඩිලෙස වෙනස්වීම.

11] ඔවුන් දැනටමත් පෘථිවිය මත සිටී, එහෙත් ඔවුන්ගේ සුපිරි තාක්ශණය ආධාරයෙන් අපගේ නොදියුණු තාක්ශණයට හසු නොවී සිටීමට හැකිය.

12] දියුණුවෙමින් පවතින ශිෂ්ඨාචාර තර්ජන ලෙස හඳුනාගෙන විනාශකරන විලෝපී ශිෂ්ඨාචාර [predator civilizations]  විශ්වයේ සැරිසරයි. බොහෝ දියුණුවෙමින් පවතින පෘථිවිය වැනි ශිෂ්ඨාචාර මෙම විලෝපීය පිටසක්වලයින් නිසා වැනසී යයි. මෙම විලෝපීය පිටසක්වලයින්ගෙන් බේරී සිටින පිටසක්වල ශිෂ්ඨාචාර ඔවුන්ගේ අවධානය යොමු නොවන ලෙස නිහඬව සිටී.

Kardashev Scale

කාඩෂෙෆ් පරිමාණය විශ්වයේ පැවතිය හැකි ශිෂ්ඨාචාර, ඔවුන්ගේ පැවැත්ම සඳහා බලශක්තිය ලබාගන්නා ආකාරය හා වෙනත් තාක්ශිණ හැකියාවන් අනුව වර්ගකිරීමකි. මෙම වර්ග කිරීමට අනුව විශ්වයේ පැවතිය හැකි ශිෂ්ඨාචාර වර්ග 7කට බෙදා ඇත.

Type 0 Civilization - වැඩිමනත් බලශක්තිය ලබාගන්නේ කාබනික ද්‍රව්‍ය මගිනි. එනම් දර, ෆොසිල ඉන්ධන ආදිය. මෙවැනි ශිෂ්ඨාචාරයකට තම මව් ග්‍රහයාගේ කක්ශය වටා ගමන් කිරීමට සමත් තාක්ශණයක් පැවතිය හැකිය. මෙවැනි ශිෂ්ඨාචාර තමන්වම විනාශකරගැනීමේ සම්භාවිතාවය 9.99% පමණ වෙතැයි උපකල්පණය කෙරේ. පෘථිවිය මේවන විට type 0 වර්ගයේ ශිෂ්ඨාචාරය අභිබවා type 1 ශිෂ්ඨාචාරයක් වෙත පරිවර්තනය වෙමින් පවතී. තවත් වසර 500කින් පමණ අප ශිෂ්ඨාචාරය පූර්ණ ලෙසම type 1 බවට පත්වනු ඇත.

Type 1 Civilization - මෙවැනි ශිෂ්ඨාචාරයක් සිය මූලික බලශක්ති ප්‍රභවය ලෙස න්‍යෂ්ඨික විලයනය (nuclear fusion) භාවිතා කරයි. සූර්යයා දැල්වෙන්නේද හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය වන න්‍යෂ්ඨික විලයනයෙනි.තමන්ගේ සෞරග්‍රහ මණ්ඩලය සිසාරා ගමන්කල හැකි අන්තර්-ග්‍රහලෝක ප්‍රවාහණ පද්ධතියක් නිර්මාණය කරගෙන ඇත. තම සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකවලද පදිංචිවී සිටී. තමන්ගේ මව් ග්‍රහලෝකයේ කාළගුණය වෙනස් කිරීමේ හැකියාව, ගිණිකඳු පිපිරීම්, භූමිකම්පා, සුනාමි වැනි ව්‍යසන කලින් දැනගන්නවා පමණක් නොව ඒවා නැවැත්වීමේ තාක්ශණයද සතුකරගෙන ඇත.

Type 2 Civilization - තමන්ගේ චක්‍රවාටය පුරා ගමන්කිරීමේ අන්තර්-තාරකා (inter-stellar) ප්‍රවාහන හැකියාව ලබාගෙන ඇත. තම සූර්යයාගේ සියලුම බලශක්තිය අපතේ නොයවා තම ප්‍රයෝජනයට ගැනීමේ සුපිරි හැකියාවක් ලබාගෙන ඇත. වෙනත් සෞරග්‍රහ මණ්ඩලවලට ගමන් කරමින් කොලනි පිහිටුවා ගැනීමේ හැකියාව අත්පත් කොටගෙන ඇත. ඕනෑම ග්‍රහලෝකයක දේශගුණය, ස්වභාවය තමන්ට අවශ්‍ය ලෙස වෙනස්කරගැනීමේ හැකියාව (terra-forming) ලබාගෙන ඇත.

Type 3 Civilization - අන්තර් තාරකා මණ්ඩල (inter-galactic) සංචරණ හැකියාව ඇත. තමන්ගේ තාරකා මණ්ඩලයේ (චක්‍රවාටයේ ) සියලුම සූර්යයන්ගේ බලය උකහාගැනීමේ තාක්ශණයන් නිර්මාණය කරගෙන ඇත.

Type 4 Civilization - විශ්වයේ සියලුම තාරකා මණ්ඩල සිය අණසකට යටත්කරගත හැකි තරමේ තාක්ශණ දියුණුවක් ලබා ඇත. කාලය හරහා ගමන් කිරීමේ හැකියාව, කාලය වෙනස් කිරීමේ හැකියාව, සෞරග්‍රහමණ්ඩයක් පවා තමන්ට කැමති තැනකට ගෙනයාමේ හැකියාව වැනි සිතාගත නොහැකි දිව්‍යමය බලයක් මෙන් පෙනෙන තාක්ශණයක් මොවුන් සතුය.

Type 5 Civilization - තමන්ගේ විශ්වය හැරපියා වෙනත් විශ්වයන් (other universes) වෙත ගමන් කිරීමේ හැකියාව, වෙනත් මානයන් වෙත (එනම් ද්විමාන, සිව්මාන, පංචමාන වැනි මානයන්) වෙත ගමන් කිරීමේ හැකියාව ලබාගත් දිව්‍යමය බලයන් සතු සුපිරි ජීවීන් පිරිසකි.

Type 4 / Type 5 ශිෂ්ඨාචාරයක තාක්ශණික හැකියාවන් අද පවතින මිනිස් මනසට කිසිලෙසකින් වත් ග්‍රහණය කරගත නොහැකිවනු ඇත.

Cydonia Hypothesis

අප මෙතෙක් වෙලා සිදුකලේ බ්‍රැන්ඩන්බර්ග් ගේ සිඩොනියා කල්පිතය ගොඩනැගීමට පාදක කරගත් මූලික න්‍යායන් හඳුනාගැනීමයි.

බ්‍රැන්ඩර්බර්ග් විසින් සම්පාදනය කල සිඩොනියා කල්පිතය ඉදිරිපත්වන පර්යේෂණ පත්‍රිකාවේ සංශිප්තය මෙලෙස සටහන් කල හැකිය...

"දැන් ශුෂ්ක කාන්තාර දේශගුණයක් සහිත අඟහරුවා මත, ඈත අතීතයේදී පෘථිවිය හා සමාන දේශගුණික, කාළගුණික හා භූවිශමතා සහිත පෘථිවියේ නිවුන් සහෝදරයා මෙන්වූ ග්‍රහලෝකයක් විය. මුහුදු, ගලා යන ජලය, ඔක්සිජන් සහිත ඝණ වායුගෝලයකින් සමන්විත වූ මෙය පෘථිවි ජීවය හා සමාන කාබනික ජීවයට හිතකර වූ බැවින් එහිද කාබනික ජීවය (organic life) හටගන්නට ඇත.

පරිණාමය වූ මේ ජීවය අතීතයේ යම් කාළවකවානුවකදී මානවරූපී, දියුණු බුද්ධියක් සහිත ශිෂ්ඨාචාරයක් බිහිකර ඇත. මෙම ශිෂ්ඨාචාරය තාක්ශණය අතින් පිරමීඩ තැනූ ඊජිප්තු ෆේරෝ රජවරුන්ගේ සමයේ ලබා තිබූ තාක්ශණික දියුණුව මෙන් දියුණුවක් ලබා තිබීය. යම් හේතුවකින් විනාශවී යාමට පෙර ඔවුන් විසින් ඉදිකරන ලද විවිධ ඉදිකිරීම් යයි සැළකිය හැකි, ස්භාවයෙන් හට නොගන්නා ආකාරයේ ත්‍රිමාණ ජ්‍යාමිතික හැඩතල ලෙස පෙනෙන  නිමැවුම් (artifacts) වයිකිං හා මැරිනර් යානා වලින් ගන්නා ලධ ඡායාරූප වල පැහැදිලි ලෙස සටහන්වී ඇත.

මෙම ශිෂ්ඨාචාරය ගොඩනැගූ ස්මාරක අපට හඳුනාගත හැකි හුරුපුරුදු හැඩතල වන්නේ ඒවා ගොඩනැගූ සිඩොනියානුවන් පෘථිවි මානවයින් හා සමාන රූපකායෙන් මෙන්ම මනෝවිඥානයකින්ද යුතුවූ බැවිනි. මෙම ස්මාරක බහුල වශයෙන් අඟහරුගේ සිඩොනියා ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ දකින්නට තිබේ. පුප්‍රකට සිඩොනියා මුහුණත මින් වැදගත්ම සාක්ශියයි.
සිඩොනියා මුහුණත අඟරුවාගේ සිඩොනියා ශිෂ්ඨාචාරය ගොඩනැගූ මානවරූපී ජීවීන්ගේ මුහුණේ ස්වභාවය පෙන්වයි. සිඩොනිය ශිෂ්ඨාචාරය ගොඩනැගූ ස්මාරක පෘථිවියේ මානව ශිෂ්ඨාචාරයේ පැරණි මිසර රාජධානියේ වැසියන් ගොඩනැගූ ස්මාරකවලට සමානත්වයක් උසුලයි. සිඩොනියානුවන් එම ස්මාරක ගොඩනැගීමට හේතු පැරණි මිසරයන් ඔවුන්ගේ ස්මාරක ගොඩනැගූ හේතුන් එනම් දෙවියන් මෙන් පිදුම් ලැබූ රාජකීයයන් සැමරීම සඳහා මේවා ගොඩනැගුවා වන්නට පුලුවන.

පිටු 25ක් පුරා ලියැවී ඇති සිඩොනියා කල්පිත පර්යේෂණ පත්‍රිකාව මෙම කල්පිතය ගොඩනැගීමට අවශ්‍ය දත්ත වලින් පුරවා ඇත. මෙම පර්යේෂණ පත්‍රිකාව සම්පූර්ණයෙන්ම කියවීම මෙතනින් සිදුකල හැකිය.

Evidence of a Massive Thermonuclear Explosions on Mars in the Past

ආචාර්ය බ්‍රැන්ඩන්බර්ග් සිය දෙවන පත්‍රිකාවෙන්, සිඩොනියා ශිෂ්ඨාරය විනාශවීගිය ආකාරය ගැන කල්පිතයක් ඉදිරිපත් කරයි. ඔහු යෝජනා කරන ආකාරයට සිඩොනියා ශිෂ්ඨාචාරය විනාශවී ගියේ බුද්ධිමත් ජීවීන් සිටිනා ග්‍රහලෝක සොයමින් එහි ජීවය විනාශකරන විලෝපී පිටසක්වලයින් පිරිසක් විසින් න්‍යෂ්ඨික ප්‍රාහාරයක් එල්ලවීමෙනි.


2014 නොවැම්බරයේ අමෙරිකානු භෞතික විද්‍යා සංගමයේ සම්මේලනයකදී බ්‍රැන්ඩන්බර්ග් සිය පත්‍රිකාව ඉදිරිපත්කලේය. ඔහු මේ කල්පිතය සඳහා පාදක කොට ගෙන ඇත්තේ අඟහරුවා මතුපිට පෘශ්ඨය පුරාවට තුනී තට්ටුවක් ලෙස පැතිරී ඇති යුරේනියම්, තෝරියම් හා විකිරණශීලී පොටෑසියම් එසේ පැතීරීමට හේතුව ලෙස 2011 වසරේදී ඉදිරිපත්වූ තවත් කල්පිතයක් මත පදනම් කරගෙනය. මෙම කල්පිතයට අනුව අඟහරුවා මත මෙලෙස විකිරණ තට්ටුවක් පැතිරී ඇත්තේ ප්‍රශ්ඨ්යම මත සිදුවූ ස්වාභාවික න්‍යශ්ඨික පිපුරුම් නිසා බව පැවසේ.අඟහරුවා වටා කක්ශගත වෙමින් එහි වායුගෝලයේ දත්ත රැස් කරන මාර්ස් ග්ලෝබල් සර්වේයර් යානය මගින් අඟහරු වායුගෝලයේ විකිරණශීලී සෙනන්-129 සමස්ථානිකය සොයාගෙන තිබේ. බ්‍රැන්ඩන්බර්ග් පවසන අන්දමට අමෙරිකාව හා රුසියාව ඉහල වායුගෝලයේ සිදුකල අත්හදාබැලීමේ න්‍යශ්ඨික පිපුරුම් වලදීම සෙනන්-129 සමස්ථානිකය නිපැදවී ඇත.

බැලූබැල්මට විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පෙනුනත් සිය කල්පිතය හැකිතාක් විද්‍යාත්මකව ගොඩනැගීම බ්‍රැන්ඩන්බර්ග් උත්සහකොට තිබෙනවා. එමෙන්ම ස්ටීවන් හෝකින්ස් වැනි ලෝක පූජිත භෞතික විද්‍යාඥයින් පවා මිනිස්වර්ගයාට විලෝපීය පිටසක්වලයින්ගෙන් විය හැකි විපත් පිලිබඳව අණතුරු අඟවා තිබෙනවා.

බ්‍රැන්ඩන්බර්ගේ අඟහරු න්‍යෂ්ඨික ප්‍රහාර පර්යේෂණ පත්‍රිකාව මෙතනින් කියවිය හැකියි.



Comments