Related Posts Plugin for WordPress, Blogger...

Monday, 13 June 2016

පැරණි ඕලන්ද (ලන්දේසි) බලකොටුව, ගාල්ල


ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .

එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූ, පසුව ලන්දේසීන් විසින් 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලෝක උරුමයක් වේ. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. 



ගාලු කොටුවේ ඉතිහාසය


ගෝවේ ප‍්‍රතිරාජයාව සිටි ප‍්‍රැන්සින්කෝ ද අල්මේදාගේ පුත් ලොරන්සෝද අල්මේදා මාලදිවයින මුහුදු තීරයේ වෙළඳාමෙහි නිරතවන ආරාබි වෙළඳ නැව් පිළිබඳ සෝදිසි කරනු පිණිස පිටත් කර යැවුණි. නැව් 9ක බල ඇණියක් සමග මෙම මෙහෙයුමෙහි යෙදුණු ලොරන්සෝ ද අල්මේදාගේ කණ්ඩායමට මුහුණදීමට සිදුවූයේ බලාපොරොත්තු නොවු අකරතැබ්බයකටය. සාගරයෙහි හදිසියේ ඇතිවූ කුණාටු සහගත තත්වය නිසා නොසිතූ විරූ දිශාවකට නාවිකයිනට ගමන් කිරීමට සිදුවිය. එලෙස අහඹු ලෙස ගසාගෙන ආවේ ලංකාවට යැයි කියයි. මොවුන් කොළඹ ප‍්‍රදේශයට ගොඩබැස්ස බැව් ඇතමුන්ගේ මතය වන අතර, ගාල්ල ප‍්‍රදේශයට පැමිණි බැව් ඇතැම්හු අදහස් කරති.





ලංකාවේ වෙරළබඩ කළාපය තුළ බලකොටුව නිර්මාණය වූයේ මෙලෙස ක‍්‍රමක‍්‍රමයෙන් පෘතුගීසි ජාතිහු වෙරළබඩ කලාපය තුල බලය තහවුරු කරගැනීමත් සමගය. දකුණු ලක ගාල්ල කොටු පවුර නිර්මාණය වූයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය. පෘතුගීසි ජාතිකයන් විසින් ගාල්ල කොටුව නිර්මාණය කිරීම ආරම්භ වූයේ 1589 වර්ෂයේදීය. ඉදිකිරීම් පිළිබඳ විස්තර ඇස්තමේන්තු සහිත ලේඛන මෙම තොරතුරු සනාථ කරයි. ගාල්ල කොටුව නිර්මාණය කිරීමෙන් පෘතුගීසි ජාතිකයින්ට අවශ්‍ය වූයේ ස්වකීය යුධ බලය ගාල්ල වරාය ආශ‍්‍රිතව වඩාත් තහවුරු කර ගැනීමටයි. තමන්ට අවටින් සපයා ගැනීමට හැකි ගල්, පොල්කොටන් වැනි ප‍්‍රාථමික අමුද්‍රව්‍ය උපයුක්ත කර ගත් පෘතුගීසි ඉංජිනේරුවෝ අර්ධද්වීපික හැඩයෙන් ස්වභාවිකව පිහිටියාවූ ගාල්ල කොටුව ප‍්‍රදේශයේ ගොඩබිමට හා  සම්බන්ධ කොටසෙහි මුර අටට්ටාල 3 ක් සහිතව ප‍්‍රාථමික මට්ටමින් කොටු බැම්ම නිර්මාණය කරනු ලැබූහ. සිපන්ට්ල ශාන්ත ඉයාගෝල කොන්සෙෂා ලෙස මෙම මුර අට්ටාල එකල හැඳින්වූහ. ඔවුන් නිර්මාණය කල බල කොටුවට ඇතුල්වීමට දැඩි රැකවල් යෙදූ ආරක්ෂක දොරටුවක් තිබුණි.
පෘතුගීසි බල කොටුවේ මර්මස්ථානය  කළු කොටුව ලෙස හැඳින්විය. ඈතින් බලන කෙනෙකුට මෙම ප‍්‍රදේශය කළු පැහැයෙන් දිස්වීම නිසා මෙය  කළු කොටුව නමින් හැඳින්වීමට හේතු 2ක් විද්වතුන් පෙන්වා දෙයි. ආයුධ නිෂ්පාදනය සඳහා පිහිටා තිබූ, කම්මල්වල වැඩ නිසා ප‍්‍රදේශය විශාල ලෙස කළු පැහැයට හැරීම නිසාත් එමෙන්ම මෙම ප‍්‍රදේශය තුල බහුල ලෙස කාලතුවක්කු භාවිත කිරීම නිසා ප‍්‍රදේශය අඳුරු පැහැගැන්වීම  කළු කොටුව ලෙස හැඳින්වීමට හේතුව බැව් සමහරෙකුගේ මතයයි.
පෘතුගීසින් විසින් නිර්මාණය කරනු ලැබූ ගාලු කොටුවේ පැරණි සිතියම් පරිමාණානුකූල නොවූවද නිවැරදි ප‍්‍රකාශනයකි. බලකොටුවෙහි මුහුදු ප‍්‍රදේශයෙන් පිහිටි ස්වභාවික ගල් පර්වත භාවිත කරමින් මුහුද දෙසින් ස්වභාවිකව ආරක්ෂාව තහවුරු කර ඇත. කෘතිමව තැනූ මුර අට්ටාල මත රඳවනු ලැබූ කාලතුවක්කු තුලින් ද ගොඩබිම පෙදෙසින් ආරක්ෂාව සලසා ඇත. ඇත. පැරණි සිතුවම් වලට අනුව පෘතුගීසි කොටුව තුල ආගමික ගොඩනැගිලි නිවාස සහ වෙළඳ ආයතන රැසක් පිහිටා තිබුණු බව පෙනේ.
පැරණි ලේඛන වලට පවුල් 275ක් පමණ පදිංචිව ඇත. බලකොටුව ආරක්ෂා කිරීම සඳහා පෘතුගීසි සොල්දාදුවන්, ලස්කිරිඤ්ඤ හෙවත් දේශීය හේවායින් හා කාපිරි ජාතිකයින් සන්නද්ධව සිට ඇත. 1640 මාර්තු මාසයේදී ලන්දේසි ජාතික විලියම් ජාකොබ් කෝස්ටර් ඇතුළු පිරිසට ගාල්ල කොටුව පෘතුගීසින්ගෙන් ලබාගැනීමට විශාල යුද්ධයක් කිරීමට සිදුවිය. ඇතිවූ යුද්ධය නිසාම ප‍්‍රධාන මුර අට්ටාල 3ක් සහිත පැරණි කොටු පවුර විනාශ විය. පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ට ලබාගැනීමට හැකිවූයේ එලෙස විනාශ වී ගිය බල කොටුවකි.
ගාල්ල ප‍්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය කොට ලංකාවේ වෙරළබඩ පාලනය කිරීමට ලන්දේසීන් උත්සාහ ගත්තේ ගාල්ල කොටුව සැලසුම් සහගත බලකොටු නගරයක් ලෙස නිර්මාණය කිරීමත් සමගය. ලන්දේසී වකවානු තුළ විවිධ අවස්ථාවල ගාල්ල කොටුව ප‍්‍රතිණිර්මාණය වූ බව ප‍්‍රන්සුවා වැලන්ටයින්ල, හෙයිඩිට්ල රයිමර් ආදී විදේශීය ජාතිකයින් විසින් ඇඳි සිතියම් වල මෙන්ම සිතුවම්වලින්ද ගාල්ල කොටුව තුළින් විද්‍යමාන වූ යුධමය පරිසරය පැහැදිලිවෙයි.
පෘතුගීසින් සමග ලන්දේසීන් ඇති වූ යුද්ධය නිසා විනාශ වූ ගාල්ල කොටුවේ ඉදිරි මුර අට්ටාල 3 නැවත ඉදිකල ලන්දේසීහු SON, MAAN, STER බැස්ටියන් ලෙසට නම් තැබූහ. SON බැස්ටියන් හෙවත් වර්තමානයේ හිරු අට්ටාලය ලෙසින් හඳුන්වන 
මුරඅට්ටාලය 1620දී අවසන් වරට පෘතුගීසි ජාතිකයින් විසින් සම්පූර්ණ කරනු ලැබුහ. ශාන්ත ඉයාගෝ හෙවත් ශාන්ත ජේම්ස් නමින් පෘතුගීසි කාලයේ හැඳින් වූ මෙම අට්ටාලය 1667 සොන් ZON හෙවත් හිරු අට්ටාලය ලෙස නම්කරනු ලැබීය. ගර්ටර් ඩි සොලි මිනි නම් එවකට  ඕලන්ද ආණ්ඩුකාරවර රිජ් ක්ලොෆ් ෆන් ගූන්ස් ගේ බිරිඳ විසින් වෙඩිමුර පත්තු කර අට්ටාලය විවෘත කරනු ලැබීය. හිරු අට්ටාලයේ ඉහළ මාලයේ සිට පහළ මාලයට ගමන් කිරීමට සකස් කළ රහස් උමග අදටත් දක්නට ලැබේ. එහි 1677 වර්ෂය දැක්වූ ගල් පුවරුවක් සවිකර ඇත. හිරු අට්ටාලයේ රහස් යුධ කාමර 4ක් අදටත් හඳුනාගත හැකිය. වර්තමානයේ එම ස්ථාන ආරක්ෂක ගේට්ටු යොදා ආවරණ කර ඇත. හිරු අට්ටාලය කොටුවට ඇතුළු වන මුරකපොල්ල සමග සමගාමීව ආරක්ෂාව සපයා දුන් ප‍්‍රධාන මුර කඳවුරයි. 1760 වර්ෂයේ මෙම අට්ටාලය මත කාලතුවක්කු 15ක් රඳවා තිබුණි. කොන්සෙෂා නම් පෘතුගීසින් විසින් හැඳින්වු ප‍්‍රධාන මුර අට්ටාලය  ඕලන්ද ජාතිකයින් විසින් මිඞ්ල් පොයින්ට්ල මිඩ්ල් බැස්ටියන් යන නම්වලින් හැඳින්වූහ. 1667 දී මෙම අට්ටාලය MEAN හෙවත් සඳු අට්ටාලය ලෙස නම් කර විවෘත කරනු ලැබීය. ජර්මන් ජාතික කාලතුවක්කු සොල්දාදුවන් මෙහි රැකවල් ලා ඇත. 1760 දී මෙම ස්ථානයේ කාලතුවක්කු 19ක් රඳවා තිබුණි. 

1883 නිර්මාණය කළ අන්තෝනිස් ඔරලෝසුව කණුව මෙහි පිහිටා ඇත. එම ඔරලෝසු කණුව සකස් කිරීමට පෙර බිත්ති දෙකකින් සහ ආරුක්කු ගල් වහලකින් සැදුම්ලත් ඝන්ඨා කුළුණක් හෝරා ස්ථම්භයක් ලෙස මෙහි ස්ථාපිත කරක තිබුණි.
කැවලියර් හෙවත් කැට් හෝල් නම් බංකරයක් මෙම සඳු අට්ටාලයේ පිහිටා තිබුණි. 263 දෙනෙකුගෙන් යුතු යුධ සේනාංකයක් මෙහි රැුකවල් ලා සිට ඇති අතර, 1760 දි කාලතුවක්කු 109ක් මෙහි රඳවා තිබුණි.පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේ සේවය කල කාලතුවක්තු හමුදා භටයින් 19ක් මෙම ඒකකයට අනුබද්ධව සේවය කර තිබේ. ඔරලෝසු කණුව අසල පිහිටි රහස් බංකරයේ ආරුක්කු දොරටු අදටත් හඳුනාගෙන ඇති අතර, පවත්නා ආරක්ෂක හේතුන් මත එම බංකරය වසා දමා ඇත. සඳු අට්ටාලයේ පහළ මාලයට ඇතුළුවන ස්ථානය දකුණු පසින් පොළවට බැසිය හැකි උමගකි. මෙම උමග හරහා තාරකා අට්ටාලයට රහස් මගක් වැටී තිබුණි. වර්තමානයේ මෙම උමගේ කොටසක් හඳුනාගත හැකිය.
පෘතුගීසි ජාතිකයෝ ශාන්ත අන්තෝනි හෙවත් සීපන් ලෙස හැඳින් වූ තෙවැනි මුර අට්ටාලය 1667 ස්ටර් හෙවත් තාරකා අට්ටාලය ලෙස නම් තැබූහ. ලන්දේසී අණදෙන නිලධාරී අදිරියන් රූතාස්ගේ දියණිය විසින් කාලතුවක්කු පත්තු කර මෙම අට්ටාලය විවෘත කරනු ලැබීය. 1760 දී මෙම ස්ථානයේ කාලතුවක්කු 6ක් රඳවා තිබුණි. වඩාත් සංකීර්ණ ආරක්ෂිත බංකර කිහිපයක් මෙම අට්ටාලයේ හඳුනාගත හැක. එහි පහල මාලයේ සිට ආරක්ෂිත පඩිපෙළකින් පොළව යටට පිවිසිය හැකි රහස් උමගකි. පහල මාලය සඳු අට්ටාලයෙන් වෙන්වන්නේ ද ආරුක්කු හැඩැති දොරටුවකිනි. පහල මාලයේ පඩිපෙලක් දමා සකස් කර තිබූ උමග අනෙකුත් අට්ටාල සමග සබඳතා පැවැත්වීමට රහස් දොරටුවක් සේ සකස් කර තිබුණා විය හැකිය.
තාරකා අට්ටාලය යට විශාල යුධ කාමරයකි.  ඕලන්ද අවධියේ වෙඩි බෙහෙත් ඇඹරුම්හල ලෙස මෙය හැඳින්වූහ. වාස්තුවිද්‍යා ලක්ෂණ අනුව සිර මැදුරකට සමානය. වහලුන් ලවා මෙහි වෙඩිබෙහෙත් ඇඹරූ නිසා සිර මැදුර ලෙසට ව්‍යවහාරයට පැමිණෙන්නට ඇත. එම රහස් ගබඩාව ආරුක්කු ආකාර ගඩොළු වහලකින් සකස් වී ඇත. ඇතුළට වාතය ගමන් කිරීමට වාකවුලූ සහ කුඩා ජනෙල් පිහිටා ඇත. හිරු එළිය ලබා ගැනීමට L හැඩයේ වේදිකාවක් ඉදිකර ඇත. ඇතුළත ජනෙල් ගල් රාමුවලින් සකසා ඇත. ඇතුළට ගමන් කරන්නෙකුට අතීත අභිරහස් සැගවුණු ගුප්ත බලකොටුවක පිහිටි සිරමැදුරක ස්වභාව නිතැතින්ම සිහිගන්වයි.
තාරකා අට්ටාලයේ සිට ක්ලිපන්බර්ග් මුර අට්ටාලය දක්වා ඉතා පිරිසිදු දොළ පාරක් කොටු බැම්මට සමාන්තරව ඉතා සුන්දරව කොටු බැම්මෙන් පහලට ගලා හැලූණු බව පැරණි ලේඛනවල සඳහන් වේ. වර්තමානයේ මෙම දොළ මාර්ගය දක්නට නොලැබුණ ද වර්ෂාව සමයේ සිහින් දිය පාරක් දිස්වනු පෙනේ.
එවලූස් මුර අට්ටාලය ලන්දේසි වකවානුවේ නිව්පොයින්ට් ලෙස හැඳින්විණි. සූක්ෂම ලෙස රැකවල් ලා සිටිය හැකි යුධ කාමරයක් දක්නට ලැබේ. අට්ටාලය මත ටොන් 7ක් බලයට වෙඩි තැබිය හැකි කාලතුවක්කුවක් තිබුණු බවට සාධක ඇත. පස් කඳුවලට වැසී ඇති නිසා වර්තමානයේ මෙම කාලතුවක්කුව හඳුනාගත නොහැකිය. ක්ලිපර්න් බර්ග් මුර අට්ටාලය මතද ටොන් 7ක කාලතුවක්කු රැඳවුමක් දක්නට ලැබේ. මෙම මුරඅට්ටාල 2ක අතර දොරටු 3කින් යුත් යුධ කාමර දක්නට ලැබේ. ක්ලිපර්න් බර්ග්හි යුධකාමර මහජනයා සඳහා විවෘත කර තිබුණ ද එවලූස් හි යුධ කාමර තවමත් විවෘත කර නොමැත්තේ ආරක්ෂක හේතූන් මතය. සොල්දාදුවන්ගේ අවි ආයුධල වෙඩිබෙහෙත් ගබඩාකර තැබීමටත් ඔවුන්ට සැඟව සිටීමටත් මෙම යුධ කාමර සකස් කලා විය හැකිය.
කොටු බැම්මේ සෑම ස්ථානයකම සතුරන් ඉලක්ක කර තුවක්කු රඳවා ආරක්ෂිතව වෙඩි තැබිය හැකි විවෘත කවුළු නිර්මාණය කර ඇත. මෙම කවුලූ සැමකටම එක් දිශාවකට දෝලනය වන පරිදි ගල් පාදම් සවිකර ඇත. තුවක්කුව තල්ලූ කිරීමට මෙම ගල් පාදම් උපයුක්ත කර ගන්නට ඇත. හදිසි අවස්ථාවලදී තුවක්කු ගල් පාදම් දිගේ තල්ලූකර වෙඩිතැබීම සොල්දාදුවා සතු කාර්යයක් විය. ඉහතින් සඳහන් කළ එවලූස් මුර අට්ටාලය 1725 නිව්පොයින්ට් ලෙසටත් 1735 halve Bolwerh (අර්ධ අට්ටාලය) ලෙසටත් හඳුන්වා තිබුණි. 1770 දී තුවක්කු 5ක් මෙහි යොදා තිබුණි. 1726 සිට 1729 අතර කාලයේ පීටෲස් වුයිස්ට් ආණ්ඩුකාරවරයා විසින් නෙප්චූන් මුර අට්ටාලය ඉදිකරනු ලැබීය. 1735 දී තුවක්කු 8ක් මෙහි ස්තාපිත කර තිබුණි. එම ආණ්ඩුකාරවරයා විසින්ම ට‍්‍රයිට‍්‍රන් මුර අට්ටාලය නිර්මාණය කරනු ලැබීය. ඒ කාලවකවානුව තුල ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ ඉදිකිරීම් සිදුකල බව මින් පෙනේ.
ට‍්‍රයිට‍්‍රන් මුර අට්ටාලය ප‍්‍රදේශය තුළ බි‍්‍රතාන්‍ය පාලනය සමයේ ප‍්‍රසිද්ධ සුළං මෝලක් සවිකර තිබුණි. සුලං බලයෙන් ක‍්‍රියාත්මක වූ මෙම සුළං මෝල මගින් මුහුදු ජලය ගොඩබිමට පොම්පකරන ලදී. කරත්තවල සවිකරනු ලැබූ ටැංකිවලට මුහුදු ජලය පුරවනු ලැබූ අතර, දෛනිකව මෙම කරත්ත මගින් දූවිලි සහිත පාරවල් වලට ජලය ඉසීම සිදුකරන ලදී. 1890 ගාල්ල නගරසභාව කරත්ත වෙනුවට මැටි බට ආධාරයෙන් ජලය ඉසීම ආරම්භ කරනු ලැබීය. නගර සභාව ඉන්දියාවෙන් මැටි බට අඩි 1000ක් එලා එකල මෙම අත්හදා බැලීම සිදුකර බව පැරණි ලේඛනවල සඳහන් වෙයි.
කොඩි ගල අට්ටාලයේ  ඕලන්ද අවධියේ ප‍්‍රසිද්ධ සංඥා කොඩි කුළුණ පිහිටා තිබුණි. ඈතින් පැමිණෙන නැව පිළිබඳ හෝඩුවා සෙවීම මෙම කොඩි කණුවේ සංඥා භටයිනට පැවරුණු රාජකාරියයි. කොඩිකණුවේ රාජකාරී කරන භටයින්ට කිහිපවිටක්ම කොඩිකණුවට ගොඩවීමට සිදූවූ බැව් කියැ වේ. දුරේක්ෂ ආධාරයෙන් කොඩිකණුවේ සිට මුහුදේ ගමන් කරන නැව් නිරීක්ෂණය කරනු ලැබීය. වරායට පැමිණෙන නැව් පිළිබඳ ගොඩබිමට මෙමගින් සංඥා ලබා දෙන ලදී. එම නැව ඇතුළු කිරීමට සුදුසු නැවක් ද යන්න මෙම මධ්‍යස්ථානයෙන් සොයා බලන ලදී. මීට පෙර වරායට පැමිණ හුරුපුරුදු නැවක් නම් වෙඩි මුර එකක් ද ආගන්තුක නැවක් නම් වෙඩි මුර තුනක් ද නැවේ සිට පත්තු කරනු ලැබීය. මීට ප‍්‍රතිචාර වශයෙන් තොරතුරු සොයා බලා සංඥා මුරය ගොඩබිමින් පත්තු කරනු ලැබීය. ගාල්ල වරාය විශාල ගල් කුළු සහිත භයානක මුහුදු පරිසරයක් නිසා ගොඩබිමේ සිට නියමුවකු එම නැවට ගොස් වරායට කැඳවාගෙන ඒම එකල වැඩපිළිවෙලයි. එම වෙඩි සංඥා වලින් පසු ගොඩබිම කපිතාන් නැවට ගොස් නැව වරායට කැඳවාගෙන එනු ලැබීය.


රූමස්සල කඳුවැටිය ගාළු කොටුවට පෙනෙන ආකාරය



මෙම කොඩිගල පිහිටි ස්ථානයේ 1843 දී ලංකාවේ පළමු ප‍්‍රදීපාගාරය බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් ස්ථාපිත කරනු ලැබීය. නිමි යකඩ ඒක රාශී කර තැනූ මෙම ප‍්‍රදීපාගාරය අඩි 90ක් පමණ උසින් යුක්ත විය. භූමිතෙල් ගෑස් බලයෙන් මෙහි පහන දල්වනු ලැබීය. 1936 මෙම ප‍්‍රදීපාගාරය ගින්නෙන් දැවී විනාශ වීම නිසා ඌට්රිච් මුර අට්ටාලයේ ටොන් 7ක කාලතුවක්තු රැඳවුම් මධ්‍යස්ථානයක් කේන්ද්‍රකර වත්මන් ප‍්‍රදීපාගාරය 1939 දී ඉදිකරනු ලැබීය.
කොඩිගල සහ ඌට්රිච් මුර අට්ටාලය අතර හරවා වෙඩි තැබිය හැකි විශාල කාලතුවක්කු 2ක් ද කුඩා ප‍්‍රමාණයේ තුවක්කු කිහිපයක් ද ස්ථාපනය කර තිබුණි. මෙම ඌට්රිච් මුර අට්ටාලයට ලන්දෙසි අවදීයේදී අඩසඳ අට්ටාලය ලෙස හඳුන්වනු ලැබිය. තුවක්කු 15ක් මෙම ස්ථානයේ රඳවනු ලැබු අතර 220ක පමණ බට පිරිසක් මෙහි රැකවල් සඳහා යෙදවිම සිටියහ.අවුරෝරා මුර අට්ටාලය ද ලන්දේසි අවධියේ ප‍්‍රබල මුර කපොල්ලකි.මෙයට ඇතුළු විමට ගේට්ටු සවිකර තිබුණු අතර, වර්තමානයේ ද එම ගේට්ටු කණු දක්නට ලැබේ. අවුරෝරා යන නම ලැබිමට දේව චරිත කතා බලපාන්න ඇති බැව් පෙනේ. මෙහි තුවක්කු 6ක් රදවා තිබුණි. පෙඩ්ලර් වීදියේ සිට සෘජුව අවසාන අන්තයේ මෙම අට්ටාලය ස්ථාපිත කර ඇත. පැරණී කච්චේරි ගොඩනැගිල්ල පිහිටි භූමියේ ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍ය අවධියේ හමුදා බැරැක්ක ස්ථාපනය කර තිබුණු අතර, මෙම අට්ටාලය ද එම වැඩ කටයුතු සඳහා භාවිත කරන්නට ඇත. වර්තමානයේ හාබර්මාස්ටර් නිළ නිවස පිහිටි ස්ථානයේ ද මුරඅට්ටාලයක් තිබුණි. එය ඇකර්ස්ලූට් මුර අට්ටාල ලෙස නම් කර ඇත. අතිතයේ මෙය සෙයිලර්ස් පොයින්ට් (Sailors Point) ලෙස නම් හැදින්විණි. 1640 දි ගාල්ල අල්ලාගෙන පසුව ස්වදේශකයින් අතින් මරණයට ලක්වු ආණ්ඩුකාරවර විලියම් ජාකොබියන් කෝස්ටර්ගේ උපන් ගම වන ඇකර්ස්ලූට් සිහිපත් කරනු පිණිස එම නම යොදා ඇත. එකල ද මෙම ස්ථානයේ නිල නිවස නාවික නියමුවන්ගේ නිල නිවාසය භාවිතා වුණි. 1759 දී මෙම මුර අට්ටාලය වටා තාප්පයක් නිර්මාණය කරනු ලැබීය. කාලතුවක්කු 7ක් මෙම ස්ථානයේ පිහිටුවා තිබුණි. බි‍්‍රතාන්‍ය අවධියේ මෙම ගොඩනැගිල්ල හමුදා රෝහල(Militory hospital) ලෙස භාවිත කෙරුනු අතර එකල මෙම මුර අට්ටාලය රෝහල් බැස්ටියන් ලෙස හැඳින්වුනි.
කළු කොටු පෘතුගිසි ජාතිකයින් විසින් ඉදිකිරිම් ආරම්භ කරනු ලැබු ස්ථානයයි. මෙය Zwart Fort ලෙස ද හඳුන්වයි. පෘතුගිසි ජාතිකයින් Fortaleza ලෙස නම්කර තිබුනේ මෙම ස්ථානයයි. එකල ගාලූ කොටුවේ යුධ මධ්‍යස්ථානය ලෙස මෙම ස්ථානය ක‍්‍රියාත්මක වුණි. 1625 පෘතුගීසි ජාතිකයින් විසින් මෙහි ඉදිකිරීම් රැසක් සිදුකර ඇත. මෙහි ඉදිරි කොටස Water Pass ලෙසත් ඉහල කොටස Zawrt Fort  හැඳින්විණි. ලන්දේසි අවධියේ ගාල්ල පළාත භාර අණදෙන නිලධාරියාගේ නිවාසය මෙහි පිහිටා තිබීම නිසා දැඩි රැකවල් ලා තිබුණි. ඉහල මාලයේ සිට පහල මාලයට ගමන් කිරීමට විශාල උමගක් නිර්මාණය කර තිබුණ අතර, ඉහලට එසවෙන ගේට්ටුවකින් එම උමග විවෘත කිරීමටත් සලස්වනු ලැබීය. මෙම උමග දිගේ ගමන් කළ පසු කාලතුවක්තු ස්ථාපනය කල මළුවක් දක්නට ලැබුණි.
මෙම කොටසේ ද භටයෝ රැකවල් ලා සිටියහ. එම උමග දිගේ ඇතුළු වන්නෙකුට වම්පස තවත් උමගක් තිබෙනු දැකිය හැකිය. එම උමග කොටුවෙන් පිටතට විවෘතව තිබූ බවක් කියවේ. වර්තමානයේ ද උමං සියල්ල එලෙස දක්නට ලැබේ. අණදෙන නිලධාරියාගේ නිවසට පඩිපෙළකින් බැස යාමට හැකිවන ලෙස සිර කුටියක් නිර්මාණය කර ඇත. මෙය යකඩ ගේට්ටු යොදා අවරණ කර තිබු බව පෙනේ. මෙම අට්ටාලයේ එක් කොටසක සිර කුටි 6කින් සමන්විත සංකීර්ණයකි. මෙහි කොටසක් කඩා වැටී ඇත. බි‍්‍රතාන්‍ය අවධියේ දී ද මෙම සිරකුටි භාවිත කල බව පෙනේ. Zawrt Fort  හෙවත් කළු කොටුව බි‍්‍රතාන්‍ය අවධියේ ගාල්ල පොලීසිය ස්ථාපිත කරන ලදී. ඊට පෙර කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානය ද මෙහි පිහිටවනු ලැබීය. බි‍්‍රතාන්‍ය අවධියේ පොලීසිය වෙනුවෙන් ඉදිකල ගොඩනැගිල්ලක් වර්තමානයේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය භාවිත කරනු ලබයි. ඉතාමත් සංකීර්ණ හඳුනාගත නොහැකි රහස් උමං යුධ ඉදිකිරීම් රැසක් මෙහි දක්නට ලැබෙන අතර මේවා දුටුවන් තුළ නිබඳ කුහුල සහ භීතිය දනවන බැව් කිව යුතුය. ලංදේසි අවධියේ ගාල්ල කොටුව යුධ මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක වූ බව පැහැදිලිය. කොටුවේ පෙඩ්ලර් වීදියේ වත්මන් අංක 57 හෝ 61 දරන ස්ථානයේ පැරණි වෙඩි බෙහෙත් ගබඩාව පිහිටා තිබුණි.ඊට අමතරව වත්මන් ප‍්‍රදීපාගාරය අසල වෙඩි බෙහෙත් ගබඩාවක් පිහිටා තිබුණි.බි‍්‍රතාන්‍ය ජාතිකයෝ පසුව එම ස්ථානය වරායේ ගල් පිපිරවීම පිණිස භාවිතා කළ ඩයිනමයිට් තැන්පත් කිරීම සඳහා යොදා ගනු ලැබීය.
ගාල්ල කොටුවේ යුධ උපක‍්‍රම හා ඉදිකිරීම් සියල්ල විවිධ අරමුණු උදෙසා නිර්මිත ඒවා වෙයි. ඒ පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් ලබාගැනීම අපහසුය. නමුත් ඒ සමග වැළලුණු අතීතයේ ගුප්ත මතකය එම ඉදිකිරීම් දෙස බලන කාටත් කුතුහලය මුසුවුණු ගැනීම් අවදි වනු නියතය. මෙම ඉදිකිරීම් නැරඹීම සංචාරකයින් වශයෙන් දෙස විදෙස් කාටත් අපූරු අත්දැකීමක් වනු ඇත. එම අත්දැකීම් බිහිසුණු යුගයක තුවක්කුවට වෙළඳ බලයට අපේ රජවරුන්ගේ බල ලෝභයට මිරිකීගිය රටක ජාතියක අභිමානයේ සැමරුම් කියාපානු ඇත.

ගාළු කොටුවේ ඇති කෞතුකාගාර

ගාළු කොටුව තුල, ගාලු ප්‍රදේශයේ ප්‍රධාන කෞතුකාගාර තුනම පිහිටා ඇති බව බොහෝ දෙන නොදන්නා කාරණයකි. මෙම කෞතුකාගාර තුන නම්;

1] ජාතික සමුද්‍ර කෞතුකාගාරය - ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි

2] සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය - මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය කරයි

3] ගාල්ල ජාතික කෞතුකාගාරය - ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි

මේ තුනම ගාලු කොටුව පරිශයේ පිහිටුවා ඇත. සමුද්‍ර කෞතුකාගාර දෙක පිහිටුවා ඇත්තේ ගාලු කොටුවේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ඇති පැරණි ඕලන්ද ගබඩා සංකීරිණයක් වූ ගොඩනැගිල්ලේය. අනෙක ඉන් මීටර් 150ක් පමණ ඈති පිහිටා ඇත.
සමුද්‍ර කෞතුකාගාර ද්විත්වය පිහිටා ඇති පැරණි ඕලන්න ගබඩා ගොඩනැගිල්ල - මේ දෙසින් ඇති දොරටුවෙන් සමුද්‍ර කෞතුකාගාරයට ඇතුළුවිය හැකිය.


සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරට ඇතුලුවන ඕලන්ද ගබඩා ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුව


Source article: http://si.archaeology.lk/article.php?articleID=958





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...