Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 4 August 2015

ආදි මානවයන්ගේ නිවහන වූ පාහියන්ගල සංචාරය

බුලත්සිංහල සිට පාහියන්ගලට යන මාර්ගය
පාහියන්ගල ආදිමානවයින්ගේ නිවහනවූ දැවැන්ත ගල්ගුහාව හා  පුරාවිද්‍යා කැණීම් බිම සංචාරය කිරීමට තිබූ මහත් ආශාවක් සපුරාගැනීමට පසුගිය දිග සති අන්ත නිවාඩුවේදී හැකිවුනා. එම ආශාව මල් පලගන්වා ගැනීමට උපකාරීවුනු, එම සංචාරය සංවිධානය කිරීමට මූලිකවූ අපගේ විශ්වවිද්‍යාලයේ උපකුළපති තැම්පත් මහාචාර්ය කොලින් පීරිස් මහතාටත් අපගේ ලේඛකාධිකාරී උපාලි අතුකෝරාළ මහතාටත් තුති පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. එම ඓතිහාසික ස්ථානයේ හොඳ ඡායාරූප ටිකක් ගෙන, එහි මතකසටහන් සදාකාලිකව රඳවාගැනීමේ අරමුණද ඉටුකරගන්නට හැකිවීම තවත් සතුටට කරුණක්.

පාහියන්ගල ඈතට දිස්වන ආකාරය
කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ගම්මානයේ පිහිටි පාහියන්ගල ගල් ලෙන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ ඉහළින්ය. තනි කළුගලක ස්වාභාවිකව සැකැසී ඇති මේ ගුහාව සැබැවින්ම සොබාදහමේ විස්මිත නිර්මාණයකි. ගුහාවේ විවරය (කට) අඩි 150ක පමණ උසකින් යුක්තය. එහි පළල අඩි 175ක් පමණ වේ. ගුහාව අඩි 280ක් පමණ ඇතුළට විහිදේ.  ශ්‍රී ලංකාවෙන් හමුවන විශාලම ස්වාභාවික ලෙන වන මෙය තුල එකවර 3000ක පමණ ජනකායකට නැවතිය හැකි තරම් විශාල බව අපට දැනගන්නට ලැබුණා.

පාහියන්ගල ප්‍රධාන ගල්ලෙන හා එහි පිහිටි ප්‍රධාන කැණීම් ස්ථානය
පාහියන්ගල ප්‍රධාන ගල්ලෙන හා එහි පිහිටි ප්‍රධාන කැණීම් ස්ථානය පිටතින් බැලූවිට පෙනෙන ආකාරය
 1986-1987 දී හා 2008-2009 දී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මේ ලෙනෙහි ඉතිහාසය අවුරුදු 38,000ක් දක්වා විහිදී යන බව හෙළි වී තිබේ. දකුණු ආසියාවේ නූතන මිනිසා පිළිබඳ පැරැණිතම මානව සාධක හමුවූ ස්ථානයක් ලෙස පාහියන්ගල ලෙන වැදගත්කමක් උසුලනවා. රතු වර්ණ ගුරුගල් ආලේපිත ප්‍රාග් ඓතිහාසික මානව කපාල කොටස් පාහියන්ගල ලෙනෙන් හමුවී තිබෙනවා.  එම මානව ඇටසැකිලි මිනිසා මියගිය පසු භූමිදානය කොට පසුකාලීනව මානව සැකිල්ලෙහි ගුරුගල් ආලේප කොට තැන්පත් කළ බව විශ්වාස කළ හැකි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙසේ ගුරුගල් ආලේප කොට තැන්පත් කිරීම අතීත මානවයාගේ චාරිත්‍රයක් (සංස්කෘතික ලක්ෂණයක්) වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. ප්‍රාග් ඓතිහාසික මානවයා නිෂ්පාදනය කර භාවිතයට ගත් ශිලා මෙවලම්, ආහාරයට ගත් සත්ත්ව හා ශාක ශේෂද කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව පාහියන්ගල යනු අපගේ ආදිතම මුතුන් මිත්තන් වාසය කළ ස්ථානයක් ලෙස ස්ථීරවම ප්‍රකාශ කළ හැකි අතර එය සියැසින් දැකගන්නට ලැබීම භාග්‍යයක් කොට සළකන්නේ අපගේ පාත්‍රවර්ගයා පිලිබඳව මැකිය නොහැකි සාක්ශි සටහන් මේ ලෙන තුලින් හමුවන බැවිනුයි. හොමෝ සාපියන් සාපියන් හෙවත් නූතන මානවයා පිළිබඳ පැරණිම සාක්ෂි මෙතෙක් හමු වී ඇත්තේ ලංකාවෙන් බවට විශ්වාස කෙරෙනවා. ඩබ්ලිව්. එච්. විජේපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා 1986/87 වසරවල කරන ලද කැණීමේදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව ඇටසැකිලි හතරක් පාහියන්ගලදී හමු වී තිබිණි. එම මානව ඇටසැකිලි අදින් වසර 5500 සිට 26500 දක්වා කාල පරාසයන් අතර වූ බව වාර්තා ගත වී ඇත. 1986 දී පාහියන් ලෙන කැණීමේදී ප්‍රධාන පස් තට්ටුව පස් තට්ටු 8 ක් ලෙස හඳුනාගෙන කැණීම් කළ අතර පිහිටිගල දක්වා කැණීම සිදුකෙරුණා.

ලංකාවේ පැරණිම මානව සාධක හමුවී ඇත්තේ යාපනයේ මයික්කායි ප්‍රදේශයෙනි. එතැනින් හමුවූ ගල් ආයුධ වසර ලක්ෂ 8 ක් පැරණියි. ලංකාවේ මානව ඉතිහාසය වසර ලක්ෂ විස්ස (20) ඉක්මවිය හැකිබවට පුරාවිද්‍යාඥයින් අනුමාන කරනවා. පාහියන් ලෙන් සංකීර්ණයේ ප්‍රධාන ගල්ලෙනින් එපිට, කුඩා උප-ලෙනෙහි කල කැණීම්වලින් හමුවූ සම්පූර්ණ මානව සැකිල්ල අදින් වසර 37000 කට වඩා පැරණි යැයි අනුමාණ කෙරෙන අතර 2012දී එය වැඩිදුර පර්යේෂණ සඳහා එන්ගලන්තයට යවනු ලැබුවා. එසේ අනුමාණ කළ හැක්කේ මීට පෙර කළ කැණීමකදී වසර 37000 ට කාබන් 14 ට කාල නිර්ණය කළ මට්ටමෙන් මේ සම්පූර්ණ සැකිල්ල ලැබුණු නිසායි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී පාහියන්ගලදී සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.  නව කාල නිර්ණ වාර්තාවක් සඳහා කළ කැණීමේදී හමුවූ මානව ඇටසැකිල්ල පාහියන් ලෙනෙන් හමුවූ එකම සම්පූර්ණ මානව ඇටසැකිල්ලයි. වළක් තුළ තැන්පත් කිරීමක් නොවන මේ මානව ඇටසැකිල්ල පොළොව මතුපිට තැන්පත් වීමකි. ගල් ලෙනේ මතුපිට මට්ටමේ සිට මීටර් 1 සෙන්ටිමීටර් 40 පමණ ගැඹුරින් හමු වූ මෙම මානව ඇටසැකිල්ල කාන්තා ඇටසැකිල්ලක් වන බවට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා අනුමාණ කෙරෙන අතර වැඩිදුර පර්යේෂණ මගින් මෙය තහවුරු කරගනු ඇත.

ලංකාවෙන් මෙතෙක් සොයාගත් පැරණිතම මානව ඇටසැකිල්ල සොයාගත් පාහින්ගල ලෙන් සංකීර්ණයේ උප-ලෙනහි (sub-cave) ඡායාරූප




ලංකාවෙන් මෙතෙක් සොයාගත් පැරණිතම මානව ඇටසැකිල්ල සොයාගත් පාහින්ගල ලෙන් සංකීර්ණයේ උප-ලෙන ප්‍රදේශයේ පරිදර්ශන ඡායාරූපය (Panaromic Photograph)

Click on the photograph to enlarge. (c) Terence K Arachchi, 2015


පුරා විද්‍යාඥ ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ සතුන් පුළුස්සා කෑ ගිනිමැල රැසක අඟුරු පාහියන් ලෙනෙහි දක්නට ඇති බවයි. ඒ අනුව, ගින්දර හිලෑකරගෙන සිය ආරක්ශාවට හා ආහාර පිසීමට යොදාගත්, යම් ආකාරයක සාමූහික සමාජීය ජීවිතයක් ගතකරන්නට අපගේ මීමුත්තන් සමත්ව තිබෙනවා.මේ ප්‍රදේශයේ සිටි අතීත මානවයා ආහාරයට ගත් සතුන් 800 කගේ පමණ අවශේෂ ලෙන කැනීමේදී හමුවූ බව ප්‍රකාශ කළ දිසානායක මහතා ඒ අතර කටුස්සා ගේ අවශේෂ ද අලි පැටවකු ගේ දතක් ද බංගලාදේශ ව්‍යාඝ්‍රයකුගේ අස්ථි කොටසක් ද ගවරා ගේ දතක් ද රයිනෝසිරස් ගේ ඇඟිල්ලක කොටසක් ද වන බව ප්‍රකාශ කරනවා. අමතරව ගොළුබෙලි කටු සහ මුහුදු බෙලි කටු ද වෙයි. මෙයින් මේ මානවයා සිය ආහාරය පිණිස ගොළුබෙල්ලන් මෙන්ම මුහුදු බෙල්ලන් ගත් බැව් පැහැදිලි වෙයි. එසේ නම් මුහුදට බොහෝ ඈතින් සිටියත්
ඔහු මුහුද සමග සමීප සම්බන්ධතා පවත්වමින් ජීවත් වූ අනුමාණ කල හැකියි. මේ ගල්ලෙනේ ජීවත්වන අතරම සැතපුම් සියයක් පමණ ඈතින් ඇති මුහුදට ගොස් මසුන් මරාගෙන ආවා යන්න ප්‍රායෝගික නොවන බවට උපකල්පණය කලහොත් මෙහි ජීවත්වූ මානවයින්ට මුහුදු ආහාර ලැබුණේ කෙසේද යන්න පිලිබඳව ගැටළුවක් පැණනගිනවා. එසේවන්නේ ඔවුන් මුහුද සමග සම්බන්ධතා පැවැත්වූ සමකාළීන මානවයින් සමග යම් ආකාරයට භාණ්ඩ හුවමාරු කරගත් වෙළඳ සබඳතා දැක්වූවේද යන්නත් සළකන්නට පුලුවන්. එසේනම් ඔවුන් මස් පුච්චාකන නොදියුණු ගෝත්‍රිකයින්ට වඩා දියුණු වෙළඳාම/භාණ්ඩ හුවමාරුව/භාණ්ඩ වටිනාකම් පිලිබඳව යම් දැනුමක් ඇති දියුණු ගෝත්‍රයක් වූ බවට අනුමාණ කරන්නට පුලුවන්.







මෙයට අමතරව අංකුට්‌ටා, ගං ආරා, ලෙහෙල්ලා වැනි මිරිදිය මත්ස්‍ය විශේෂවල අස්‌ථි කැබැලි හමු වීමෙන් ඉඟි කෙරෙන්නේ පාහියන්ගල මානවයා මිරිදිය ධීවර කටයුතුවල නිරත වූවා ද යන්න ය. කැකුණ ඇට සහ බැදි දෙල් ඇට වල පිළිස්‌සූ කැබැලි ද මේ අතර වේ. මෙමගින් පාහියන්ගල මානවයා ශාක විශේෂ ආහාරයට ගත් බැව් පැහැදිලි ය. කැකුණ ඇට පිළිස්‌සීම රාත්‍රී ආලෝකය ලබා ගැනීමට උපක්‍රමයක්‌ ලෙස යොදා ගත්තා ද? සතුන් දඩයම් යෙදුණු බවට ඉඟි කෙරෙන සාක්‌ෂියක්‌ වන්නේ සත්ත්ව අස්‌ථිවලින් හා ශාක කොටස්‌ ආධාරයෙන් තනාගත් කුඩා ආයුධ කැබැලි හමු වීමයි.  ඒවා මඟින් මේ වන විට ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතික ලක්ෂණ, ආහාර පුරුදු, සිරිත් විරිත්, ඒ කාලයේ තිබුණු දේශගුණික රටාවන්, වෘක්ෂ ප්‍රජාව, ඉපැරණි සත්ත්ව ප්‍රජාව ගැන වගේම ඉපැරණි මෙවලම් ගැනත් තොරතුරු රැසක්  දැනගන්න හැකිව තිබෙණවා ඒ අනුව මෙම බළන්ගොඩ මානවයා වටා ගෙතුණු කතා ප්‍රවෘත්තියේ සමස්ත යටගියාව, ඔහුගේ සංස්කෘතිය, සමාජිය තාක්ෂණික භෞතික පරිසරය පිළිබඳ සමස්තය අනාවරණය කර ගැනීම ට මහත් රුකුලක් ලැබී තිබෙනවා.

Panoramic Photographs of Pahiyangala Main Excavation Site



ලංකාවේ ආදිමානවයින් පිලිබඳ ගවේෂණ

මානවයන් පිළිබඳ ඉතිහාසය සොයා යැම එතරම් පහසු නැත. එය ඒ තරමට ම දුෂ්කර ය. අතීත මානව තොරතුරු සොයා කරන කැණීම්වලින් හමු වන ෆොසිල හා ෆොසිල නො වන ද්‍රව්‍යවලින් හෙළි වන අතීතය ද බෙහෙවින් කුතුහලය දනවන සුලු ය. අදින් වසර 80000කට පමණ පෙර අප්‍රිකානු මහාද්වීපයෙන් ඇරඹි මානව සංක්‍රමණය යුරෝපයටත්, එතැනින් ආසියාවටත් සිදු වූ බැව් පුරාවිද්‍යාඥයන් ගේ මතය වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික උරුමය පර්යේෂණ කිරීමේ විශේෂ වැඩසටහනක්‌ වර්ෂ 1968 සිට ආරම්භ කර තිබෙනවා.ලොව ප්‍රචලිත නො වූවත් ශ්‍රී ලංකා මානව ඉතිහාසය වඩාත් ඈතකට විහිදී යන බවක්‌ බුන්දල පතිරාජවෙල සහ යාල කලාප අංක 2 යන ප්‍රදේශවලින් හමු වූ ගල් ආයුධවලින් පෙන්වා දෙයි.   වසර 2011 සහ 2012 තුළ කරන කැණීම් ප්‍රාග් ඵෙතිහාසික උරුමය සෙවීමේ වැඩසටහනේ හය වැනි පියවරයි. වර්ෂ 1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගල් ලෙන්වල කැණීම් සිදු කළා. විශේෂයනේ බටදොඹ ලෙන, කෑගල්ලේ අලුලෙන සහ බුලත්සිංහල පාහියන්ගල යන මේ ලෙන් කැණීම්වල ප්‍රධාන අරමුණ තමයි ප්‍රාග් ඵෙතිහාසික තොරතුරු යාවත්කාලීන කිරීම. නිදසුනක්‌ ලෙස ගත්තොත් මේ පාහියන්ගල කැණීම් කළේ වර්ෂ 1986 දී, එවකට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයෙකු වූ ආචාර්ය ඩබ්ලිව්. විඡේපාල මහත්මයයි. එතුමා මේ ගල් ලෙනේ අදින් වසර 37000 සිට වසර 4000 දක්‌වා කාල පරාසවලට අයත් ජනාවාස පස්‌ තට්‌ටු 4ක්‌ හඳුනා ගත්තා. නූතන කැණීම්වලට ඉතා ම දියුණු කැණීම් ශිල්ප ක්‍රම භාවිත කළා. මේ දියුණු ශිල්ප ක්‍රම භාවිත කර ජනාවාස පස්‌ තට්‌ටු සිය ගණනක්‌ බෙදා වෙන් කළා. මෙහි ප්‍රධාන අරමුණ තමයි කාල නිර්ණ දත්ත ලබා ගැනීම. මෙහි දී කෙරෙන්නේ පස්‌ තට්‌ටු වෙන් කර ඒ ඒ තට්‌ටුවලින් ලබා ගත් නියෑදි පර්යේෂණයට ලක්‌ කිරීම. දකුණු ආසියාවේ නවීන මානවයන් ගේ පෞරාණික තොරතුරු හමු වන්නේ ශ්‍රී ලංකාවෙන්. විශේෂයෙන් කළුතර දිස්‌ත්‍රික්‌කය, කෑගල්ල දිස්‌ත්‍රික්‌කය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කය ආශ්‍රිතව තිබෙන ප්‍රධාන ගල් ලෙන්වලින්

හුංගම මිණිඇතිලිය ප්‍රදේශයේ කළ කැණීමකින් හමු වූ ප්‍රාග් මානව අස්‌ථි සහ බෙලිකටු නිධි වලින් ප්‍රාග් ඵෙතිහාසික ජනාවාසවල තොරතුරු හෙළි වෙයි. මේ බෙලිකටු නිධිය පිළිබඳව කළ විශ්ලේෂණවල දී එය වසර 6000ක්‌ පමණ පැරැණි බැව් අනාවරණය විය. මේ නිධිය ආශ්‍රිතව හමු වූ මානවයා මැණික්‌හාමි යනුවෙන් නම් කෙරිණි.  මේ බෙලිකටු නිධිවලින් ප්‍රාග් ඵෙතිහාසික මානවයා ගේ ක්‍රියාකාරකම් රැසක්‌ අනාවරණය වෙයි. එනම් මානවයා ගේ යෑපීම් රටාව, පරිසරය ජයගැනීම, පාරිසරික භාණ්‌ඩවලට අවතීර්ණ වීම සහ ඔවුන් භාවිත කළ තාක්‌ෂණ ක්‍රමවේද වැනි කරුණු රැසක්‌ අනාවරණය වෙයි. වෙරළාසන්නව විසූ මානවයන් ගේ යෑපීම් රටාව මූලික වශයෙන් මුහුද හා කලපු ආශ්‍රිතව සිදු කෙරුණු අතර තෙත් කලාපීය ප්‍රදේශවල ගල් ලෙන්වල විසූ මානවයන් ඝර්මකලාපීය වනාන්තර මත යෑපීමක්‌ සිදු කළ බැව් ද, අනාවරණය වන අතර ම මුහුද හා ආශ්‍රිත සම්පත් ද පරිභෝජනය කළ බැව් අනාවරණය වෙයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 500ක පමණ ඉහළින් පිහිටි කුරුවිට වලාදුරේ පිහිටි බටදොඹලෙන ලොව ප්‍රචලිත වූයේ නූතන මානවයාට අයත් පැරැණි ම සාධක එහි තිබී හමු වූ බැවිනි. අදින් දශක 6කට පමණ පෙර මෙරට ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ පී. ඊ. පී. දැරණියගලයන් විසින් හා ඉන්පසුව ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන පුරාවිද්‍යාඥයන් විසින් මේ ලෙන ආශ්‍රිතව වරින් වර කරන ලද කැණීම්වලින් අදින් වසර 37000කට පමණ පෙර සිට මේ ලෙන මධ්‍ය ශිලා යුගයට අයත් ආදි මානවයන් පරිහරණය කළ බවට තහවුරු විය. මේ ගුහාව ආශ්‍රිතව කළ කැණීම්වලින් ආදි මානව සැකිලි කොටස්‌වලට අමතරව ඔවුන් පරිහරණය කළ එනම් දඩයම් කර පුළුස්‌සා ආහාරයට ගත් සත්ත්ව අවශේෂ, ගොළු බෙලි කටු, වල් දෙල් හා කැකුණ ඇට යනාදී ද්‍රව්‍ය රාශියක්‌ හමු වෙයි. මේ ගුහාවෙන් හමු වන බොහෝ දේ අතර මධ්‍ය ශිලා යුගයට අයත් ජ්‍යාමිතික හැඩයෙන් යුත් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (microliths) විශේෂ තැනක්‌ ගනී. මේ අතර සත්ත්ව අස්‌ථිවලින් නිර්මාණය කළ ආයුධ, ගිනි ඇවිලීම සඳහා භාවිත කළ ශිලා මෙවලම් ද ප්‍රධාන වෙයි. මෙසේ හමු වූ බලංගොඩ මානව සැකිලි කොටස්‌ විශ්ලේෂණය කිරීමෙන් බලංගොඩ මානවයා ගේ භෞතික ස්‌වරූපය පිළිබඳව යම් දල අදහසක්‌ මෙසේ පෙන්වා දිය හැකි ය. පිරිමි මානවයන් අඩි 5 අඟල් 6 සිට අඩි 5 අඟල් 8ක්‌ දක්‌වාත්, ගැහැනුන් අඩි 5 අඟල් 1/2 සිට අඩි 5 අඟල් 4 දක්‌වාත් උසින් යුක්‌ත විය. පිරිමින් ගේ කපාල ධාරිතාව ඝන සෙ.මි 1589.72ක්‌ ද, ගැහැනුන් ගේ කපාල ධාරිතාව ඝන සෙ.මී 919.66ක්‌ ද වෙයි. හිස්‌ කබලේ අස්‌ථි ඝනකමින් යුක්‌ත ය. තල්ල විශාල ය පළල් ය. යටි හනුව ශක්‌තිමත් ය. දත් ප්‍රමාණයෙන් විශාල ය.

අලු ලෙන

කෑගල්ලට ආසන්නව පිහිටි අත්තනගොඩ ගම් පියසේ පිහිටි අලුගල්ගෙය හෙවත් අලුලෙන ද, ප්‍රාග් ඵෙතිහාසික මානවයන් ගේ වැදගත් සාක්‌ෂි රැසක්‌ විදහාපාන්නකි. වසර 1954 දී පුරා විද්‍යාඥ පී. ඊ. පී. දැරණියගලයන් විසින් කරන ලද කැණීම්වලින් පාෂාණමය ආයුධ හා මානව අස්‌ථි රැසක්‌ සොයා ගැනීමට හැකි විය. මෙහි දී හොඳින් සංරක්‍ෂණය නො වුණු මානව සැකිලි කොටස්‌ රැසක්‌ සොයා ගැනීමට හැකි විය. මෙයට අමතරව ගොළුබෙලි කටු, මොලුස්‌කාවන් ගේ අස්‌ථි, උරගයන්ගේ අස්‌ථි කොටස්‌ මෙන්ම මී හරකා, වඳුරා, ලේනා, යන සත්ත්ව විශේෂ රැසක ගේ අස්‌ථි ද හඳුනා ගැනීමට හැකි වී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සත්ත්ව විශේෂ සියල්ල ම අද වන විට මෙරටින් වඳ වී ගොස්‌ සිටීම ය.

අලවල මානවයා

ශ්‍රී ලාංකීය ආදි මානව ජනාවාසවල ඉතිහාසයට ඉතා ම වටිනාකමක්‌ එක්‌ කරමින් හා බස්‌නාහිර පළාතට ද එවන් වටිනාකමක්‌ දෙමින් වසර 2008 දෙසැම්බර් මස සිට 2009 අප්‍රේල් දක්‌වා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් කරන ලද කැණීම්වලින් අලවල පොත්ගුල් ලෙන ප්‍රාග්ඵෙතිහාසික ස්‌ථානයක්‌ බවට තහවුරු විය. බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මේ අලවල ලෙන සියනෑ කෝරලේ උඩගහ පත්තුවට අයත් වෙයි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 500ක්‌ පමණ උසින් පිහිටි මේ අලවල ලෙනෙන් හමු වූ මානව අස්‌ථි දිරා ගිය ස්‌වරූපයක්‌ පෙන්නුම් කළේ ය. මේ මානව අස්‌ථි අතර හිස්‌ කබලේ කොටස්‌ 26ක්‌, යටි හණු කොටස්‌ 2ක්‌, කෘන්තක දත් 2ක්‌, රදනක දත් 2ක්‌, දිගු අස්‌ථි කැබැලි 7ක්‌, දණිස්‌ කටු 2ක්‌, පර්ශු 3ක්‌, ශ්‍රොඅණි කොටස්‌ 1ක්‌ සහ කොඳු ඇට 2ක්‌ හඳුනා ගැනීමට හැකි විය. මෙයට අමතරව ලෙහෙල්ලා, මස්‌පෙතියා, අංකුට්‌ටා, හුංගා, මගුරා වැනි මත්ස්‍යයන් ගේ අස්‌ථි කැබැලි රැසක්‌ ද දඩයම් කළ සත්ත්ව විශේෂ රැසක ගේ අස්‌ථි කොටස්‌ ද හමු විය. මේ සත්ත්ව විශේෂ අතර වඳුරන්, වැලි මුවන්, මී මින්නන්, වල් ඌරන් ද වෙයි. කුරුවිට බටදොඹ ලෙනේ වර්ෂ 1982 කළ කැණීම්වල හතර වැනි ස්‌ථරයෙන් අදින් වසර 13500කට අයත් හා පස්‌ වැනි ස්‌ථරයෙන් අදින් වසර 17000කට අයත් ව්‍යාඝ්‍රයන් ගේ අවශේෂ 4ක්‌ හමු වී ඇත. වර්ෂ 2009 මුල් භාගයේ දී පාහියන්ගල කැණීම්වලින් 80 වැනි ස්‌ථරයේ තිබී වසර 20000ක්‌ පැරැණි ව්‍යාඝ්‍ර ශේෂ දෙකක්‌ හමු වී ඇත.

Related Posts Plugin for WordPress, Blogger...