Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 31 December 2017

GOODBYE 2017 : පරණ අවුරුද්ද කොහොමද?



මේ ලිපිය පලවෙනකොට 2017 අවුරුද්ද ගෙවිලා අවසන් වෙන්න පැය කිහිපයක් පමණක්  තියේවි. 2017 අවුරුද්ද කොහොම ගෙවුනද කියන එකේ ප්‍රත්‍යාවලෝකනයක් කරන ගමන් 2018 අවුරුද්දේ දේශපාලන, ආර්ථික, ශ්‍රම වෙළඳපොල හා සමාජීය තත්ව කොහොම වෙයිද කියලා හිතන්න කාලය ඇවිත්.

2017 ප්‍රත්‍යාවලෝකනය

2017 අවුරුද්ද දේශපාලන වශයෙන් ගත්තම එතරම් වැදගත් කිසිවක් සිදු නොවුනු අවුරුද්දක්. පොහොය දෙකක් ගෙවිලා, ආණ්ඩුව පෙරලෙයි කියලා හිතුවත්, ඉක්මණටම ඒක වෙසක් පෝය දෙකක් වුනා. ඒවගේම මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලන වශයෙන් දියවෙලා ගිය වසරක් විධියටත් 2017 හිතන්න පුලුවන්. මහින්ද මහත්තයාට අවුරුද්ද පටන් ගන්න කොට තිබුණු ප්‍රභාව අවුරුද්ද ගෙවන කොට නැතිවෙලා ගිහින්.

ඒකෙ වගකීම ගන්න ඕනෑ එතුමාමයි. හිටපු රාජ්‍ය නායකයෙක් විධියට වගේම හැමෝම දිනන්න බෑ කියපු යුද්ධයක් දිනන්න නායකත්වය දිලා දැවැන්ත ජාතික නායකයෙක් වුනු එතුමා වගකීමෙන්,  ප්‍රවේසමෙන්, ඉවසීමෙන් වැඩ කරන්නේ නැතුව මුරලිදරන් වගේ බැට් කරන්න යාම එතුමාගේම වටිනාකම අඩුවෙන්න හේතුවෙලා. එතුමාට බලය ගන්න තියෙන හදිස්සිය, ජනතාවට නෑ කියලා ඔප්පුවෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. මේකෙන් කියන්නේ නෑ මහින්ද මහත්තයා ඊලඟ චන්දවලදී විශාල සාධකයක් නොවේ කියලා. ඒත් එතුමා හිතන තරම් ඉක්මණට ආණ්ඩුව වැටෙන්නේවත්, ආණ්ඩු වට්ටන්න ජනතාව බෙල්ල කඩාගෙන ට්‍රයි කරන්නේ නැති බවත් 2017 වසර තුල ඔප්පුවුනා කියලා මට හිතෙනවා.

මහින්ද මහත්තයාගේ උදව්වක් නැතුවම වුනත්, 2017 අවුරුද්දෙ රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් අතේ තියෙන තුවක්කුවෙන් තමුන්ගෙම කකුල් වලට වෙඩි තියාගෙන තියාගෙන ගියා කියලා හිතෙන තරම ළදරු දේශපාලනයක නිරතවුනා කියලා කියන්න පුලුවන්. රවී කරුණානායක මුදල් ඇමතිකමෙන් පන්න ගත්ත එකනම් ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක්.  එයා කරන තරමක් කෙරුවේ ආණ්ඩුවට බැනුම් අස්සන, ආර්ථිකමය වශයෙන් වැඩකට නැති දේවල්. ආණ්ඩුව මුලු හදින්ම ඒකාබද්ධයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ ඒ උදව්ව කරලා දුන්නට. එයාලගෙ විවේචන නැතිනම් රවී මේ බජට් එකත් හොඳට අනලා ආණ්ඩුව "n" වැනි වතාවටත් හොම්බෙන් යවලා.





මුදල් ඇමතිකම් කරලා කිසිම පලපුරුද්දක් නැතත්, මංගල සමරවීර ඊට වඩා බොහෝ සෙයින් ප්‍රායෝගිකව හිතන්න පුලුවන් මනුස්සයෙක් බව එයාගෙ මංගල අයවැයෙන් පෙන්නුවා කියලා මට හිතෙනවා.

බොහෝ පැතිවලින් ෆේල් වගේ පෙනුනත් ආණ්ඩුව ජයග්‍රහණ කිහිපයක්ම ලබලා තියෙනවා. එකක් තමයි කඩාවැටෙන්නේ නැතුව කොහොම හරි ආණ්ඩුව ගෙනයාම. 

මේක සිනහවට කාරණයක් කරගන්න එපා.

රටක් විධියට ඒක වැදගත් වෙන්නේ සාධාරණ මැතිවරණයකින් බලයට පත්වෙන රජයකට, ඔවුන්ට ජනතාව ලබලා දුන්න කාළය ආණ්ඩු කිරීමේ අයිතිය තියෙනවා කියන පදනම මත. එහෙම නැතිනම් චන්ද තියලා ආණ්ඩු පත්කරගන්න එක විහිලුවක් වෙනවා. විරුද්ධවාදීන් කැකෝ ගැහුවට, පාරවල් බ්ලොක් කරාට, පාද යාත්‍රා තිබ්බට චන්දෙන් පත්වුනු ආණ්ඩුවක්, සිය නියමිත කාලසීමාව අවසන් කරන්න ඉස්සෙල්ලා දාලා යන්න අවශ්‍ය නෑ. ජනතාවට තව අවුරුදු 2කින් අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න අවස්ථාව එනවා. 

මේක ජයග්‍රහණයක් වෙන්නේ දේශපාලන ස්ථාවරත්වය කියන දේ නිසාමත් නෙමෙයි, ආර්ථික වශයෙනුත් නියමිත කාලෙට ඉස්සෙල්ලා චන්ද තියන්නට සිදුවීම, චන්දෙන් පත්වෙන ආණ්ඩු ලේසියෙන් පන්නලා දාන්න පුලුවන් වීම ඉතාමත් භයානකයි. දේශපාලන ස්ථාවරත්වය රටක ආර්ථිකයට ඉතාමත් වැදගත්. ව්‍යාපාරිකයින්ට වැදගත් වෙන්නේ කොයි ආණ්ඩුව බලයේ ඉන්නවද කියන එකට වඩා ආණ්ඩුවක් පත්වුනාම නියමිත කාලෙ වෙනකන් ඒ ආණ්ඩුව තියෙයි කියලා සිතාගෙන සිය ව්‍යාපාරික සැළසුම් සකස් කරගන්න ලැබීම. 

අවුරුද්දෙන් දෙකෙන් ආණ්ඩු වෙනස්වීම ව්‍යාපාරික සැලසුම් වලට, දේශීය ආයෝජන වලට විදේශීය ආයෝජන වලට දැඩි ලෙස බලපානවා. ආණ්ඩුවක් වැටුනම ඊලඟ ආණ්ඩුව එනකන් අස්ථාවරයි. ඒ ගන්ධබ්බ කාලේ හැම ව්‍යාපාරයක්ම තමන්ගේ ආයෝජන නවත්වලා බලාගෙන ඉන්නවා, සැළසුම් නවත්වනවා. නව බඳවාගැනීම් අත්හිටුවනවා. මේ ඇත්ත ලංකාවේ බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ.

තිබුණ ආණ්ඩුව කඩා වැටිලා තව ආණ්ඩුවක් ආවත්, ස්ථාවර ආණ්ඩුවක් පත්වෙයිද? බහුතරය නැති වැට උඩ එකක් වෙයිද? ඒකත් වැටෙයිද? වට්ටයිද? කියන ගැටලුව තියෙනවා. ආණ්ඩුවක් වට්ටන්න ඇතිකරන්න ඕනෑ සමාජයික කැළඹීම, වර්ජන, වීදි සටන් ආර්ථිකයකට කෝටි ගණන් පාඩු කරන දෙයක්. ඒකෙ පාඩුව ව්‍යාපාරිකයන්ට විතරයි කියලා හිතන මිනිස්සු ලංකාවේ බහුතරයක් ඉන්නෙ. ඒත් ව්‍යාපාරවලට වදිනවා කියන්නේ හැමෝටම වදිනවා කියන එක. රටක් පවතින්නේ, දියුණු වෙන්නේ ව්‍යාපාර නිසා මිසක් ආණ්ඩු නිසා නෙමෙයි. මේ ඇත්ත තේරුම් ගන්න ලංකාවේ බහුතර ජනතාවට තව අවුරුදු 20ක්වත් යයි.

ඒවගේම ආණ්ඩුව ප්‍රභල වෘත්තිය සමිති වලට සිය සීමාවන් කියලා දෙන්න සමත්වෙලා තියෙනවා. සැලසුම් සහගතව හෝ ආණ්ඩුවට වර්ජන පාලනය කරන්න සැලැස්මක් නැති නිසාම පාලනයකින් තොරව අරගෙන ගිය වර්ජන, වර්ජකයින් මිනිස්සුන්ගෙන් ගුටි කන තත්වෙට ගෙන එන්නට ආණ්ඩුව සමත්වුනා. තව අවුරුද්දක් වත් යනකන් දොස්තර මහත්තුරුන්ට මහා වැඩ වර්ජන කරන්න හම්බුවෙන්නේ නෑ. තෙල් මහත්තුරුන්ටත් එහෙමයි. තෙල් නෑ කියන්නේ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැතිවුනාට වඩා අමාරු දරාගන්න බැරි දෙයක් කියලා 2017 අවුරුද්දෙ ඔප්පුවුනා. 

තෙල් බෙදාගන්ඩ බැරි ආණ්ඩුවක් බලය බෙදන්නේ කොහොමද කියලා තෙල් පෝලිමේ ඉන්න ගමන් සවුන්ඩ් බයිට් දීලා ආතල් ගත්තට, තෙල් නැතිවුනාම ගුටි කන්ඩ වෙන්නේ ආණ්ඩුවට නෙමෙයි කියලා පෙන්වන්න මේ ආණ්ඩුව සමත්වෙලා තියෙනවා.

ඒවගේම රටක් ඉදිරියට යන්නට ආණ්ඩුවක ප්‍රතිපත්ති වැදගත් වුනත්, ඇත්තටම ලංකාවේ ආර්ථිකයට ආණ්ඩුවකට කරන්න පුලුවන් ලොකුම සේවය අනවශ්‍ය ගැටලු ඇති නොකර ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර කරන්න ඉඩදීලා ආණ්ඩුව පැත්තකට වෙන එක කියලත් 2017 අවුරුද්දේදී රනිල්-මෛත්‍රී රජය ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා.

මේ ප්‍රතිපත්තිය නිවැරදියි කියන එකට එකම එක උදාහරණයක් විධියට 1996දී චන්ද්‍රිකා ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවක් පෙන්වන්න පුලුවන්. කොළඹ වරායේ SAGT නැතිනම් ස්වුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් කියන කන්ටේනර් ගොඩබෑමේ හා ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපෘතිය ජෝන් කීල්ස්-පී ඇන්ඩ් ඕ සමාගම් ඒකබද්ධයට ලබාදීම ඒ ප්‍රතිපත්තිමය තීන්දුවයි. ඒ කාලේ මේ ව්‍යාපෘතිය හැඳින්වුවෙත් වරාය කුණුකොල්ලෙට විකුණන, දේශිය සම්පත් විකුණන් කන, ආර්ථික මර්මස්ථානයක් දෙමළ කෙන් බාලේන්ද්‍රන්ගේ JKH කොම්පැණියට විකුණන්ඩ යන ව්‍යාපෘතියක් විධියට.

සන්ඩේ ලීඩර් කතෲ ලසන්ත වික්‍රමතුංග මහත්තයා මේ ව්‍යාපෘතියට ගහන්න පුලුවන් හැම විධියටම ගැහුවා. මේ දැවැන්ත විදෙස් ආයෝජන ව්‍යාපෘතිය භාරව හිටපු එවක BOI සභාපති තිලාන් විජේසිංහ මහතාටයි, මනෝ නානායක්කාර මහතාටයි පෞද්ගලික ජීවිත පවා ඇදගෙන Sunday Leader මඩ ගැහුවා. ඒත් ව්‍යාපෘතිය සිද්ධ වුනා. 

1999 අවුරුද්දේ අත්සන් කරපු මේ ගිවිසුමෙන් අවුරුදු 16කට පස්සේ බැලුවම SAGT ව්‍යාපෘතිය වරාය අධිකාරියට පිරිවැයක් නැතුව ඩොලර් මිලියන ගණනක ආදායමක් ලබාදීලා. වරායේ මෙහෙයුම් වලින් ඉතාම කාර්යක්ෂම අංශය බවට SAGT පත්වෙලා තියෙනවා පමණක් නොවේ වගේම මහා විශාල නැව් පවා ඇතුලුකල හැකි ආසියාවේ වරායන් කිහිපයෙන් එකක් බවට කොළඹ වරාය පත්කරන්නත් මේ ව්‍යාපෘතිය සමත්වෙලා තියෙනවා. හැමෝම බැණපු චන්ද්‍රිකා නෝනාගේ ඒ ප්‍රතිපත්තිමය තීරණය රටට වාසිදායක වූ බව දැන් ඔප්පුවෙලා.

ඔය ව්‍යාපෘතිය ආණ්ඩුවෙන් කරන්නට ගියා නම් කෝටි ගණන් වැඩිපුර වියදම් කරලා, කොමිස් ගිලලා රටේ මිනිස්සු තව ණය කරනවා විතරක් නෙමෙයි වරාය වෘත්තීය සමිති බයියලා ඔය ටර්මිනල් එක ආසියාවේ අකාර්යක්ෂමම කන්ටේනර් මෙහෙයුම් ව්‍යාපෘතිය බවටත් පත් කරනවා.

ඒ විතරක් නෙමෙයි උද්ධමනය, විනිමය අනුපාත, විදෙස් ආයෝජන වගේම රටක දියුණුවට හා ජන ජීවිතය සැපවත් වීමට ව්‍යාපාර ක්ෂේස්ත්‍රයේ වර්ධනය වැදගත්. බිස්නස් කොන්ෆිඩන්ස් හෙවත් ව්‍යාපාරිකයින් ඉදිරිය පිලිබඳව දක්වන විශ්වාසවන්ත භාවය යහපාලන ආණ්ඩුවේ වැනෙන ප්‍රතිපත්ති නිසා කඩා වැටිලා. රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දරදඬුවුනත් ඔවුන් නිස්චිත ප්‍රතිපත්තියක හිටියා. ඒවගේම දැන් නරි නාඩගම් නටන, වාතයක් ගියත් වර්ජන තර්ජන දාන වෘත්තීය සමිති ඒකාලේ බොහෝම කීකරුව ලඟට වැටෙන දෙයක් කාලා නිදාගෙන හිටියා.

ඒ නිසා ව්‍යාපාරිකයින්ට නිසි සැලසුමකට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ ලැබුණා. ඕනෑම බිස්නස් එකක් කර ගන්න, අවසර ගන්න, කොන්ත්‍රාත් ලබාගන්න කතාකරන්න ඕනෑ කාටද?, ලබාදිය යුතු ප්‍රතිශතය කුමක්ද? කියන එක පැහැදිලිව තිබුණා. ඒ නිසා දිය යුතු අයට කුට්ටිය දීලා වෙන කරදරයක් නැතුව බිස්නස් කරන්න පුලුවන් වුනා. ඒ නිසා ඒකාලේ බිස්නස් කොන්ෆිඩන්ස් බොහෝම ඉහලින් තිබුණා. ඒත් 2016/2017 කාලේ ආණ්ඩුව ඔන්න වැටෙයි මෙන්න පෙරලෙයි වගේ තිබුණ නිසාත්, පසුගිය රජය පටන් ගත්ත දැවැන්ත ව්‍යාපෘති සමහර ඒවා මෝඩකම නිසා අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙනුත් බිස්නස් කොන්ෆිඩන්ස් හොඳටම වැටුනා.

ඒවගේම එදත් අදත් රට කාළකන්නි කරන වෘත්තීය සමිති ව්‍යාපාර හා අන්තරේ ටාසන්ලාගේ කෙලවරක් නැති නාඩගම්, පාරවල් වැහිලි හා උද්ගෝසන නිසා මිනිස්සුන්ට බිස්නස් කරන එක එපාවෙන්න ගත්තා. හැම දෙයක්ම අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙනකොට, තීරණ පරක්කු වෙනකොට, ගත්ත තීරණ ආපහු හැරවෙන කොට, 10%ක් අහවලාට දීලා සැනසිල්ලේ බිස්නස් කරන්න තිබ්බානම් කොච්චර හොඳ දැයි රටේ ව්‍යාපාරිකයින්ට හිතෙන්න වුනා.

වෘත්තීය සමිති රට කාළකණ්නි කරනවා කියන කතාවට කාට හරි තරහක් ඇති වෙනවානම්, එක උදාහරණයක් පෙන්වන්නම්. මේ උදාහරණ ලංකාව වගේ 1948 ඉඳන් තාමත් සංවර්ධනය වන රටකින් නෙමෙයි. සංවර්ධිත රාජ්‍යයක් වෙන එක්සත් රාජධානියෙන්.

ලෝකයේ මහා පරිමාණයෙන් කාර් හදන්න පටන් ගත දවසේ ඉඳලාම ලෝකයේ වාහන කර්මාණ්තයේ අංක 2 නැතිනම් 3 මට්ටමේ හිටියේ මහා බ්‍රිතාන්‍යය. ලේලන්ඩ්, මොරිස්, රෝවර් කියන දැවැන්ත සමාගම් මුලු ලෝකෙටම කාර් විතරක් නෙමෙයි වෑන්, ට්‍රක්, පොඩි ලොරි, ලොකු ලොරි වගේ හැම ජාතියක්ම හැදුවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නැතිවෙලා අවුරුදු 25ක් ගතවුනු 1975 වෙනකොටත් ලෝකේ බ්‍රිතාන්‍ය ආභාෂය තිබූ හැම රටකම පාරවල් වල දිව්වේ බ්‍රිතාන්‍යයේ හදපු වාහන, නැතිනම් බ්‍රිතාන්‍ය සමාගම් වලින් ලයිසන් අරගෙන ඒ රටවල් වල හදපු වාහන.

සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ බ්‍රිතාන්‍ය වාහන කර්මාණ්තය කඩා වැටුනේ ජපන් තරඟයට මුහුණ දෙන්න බැරුව කියලා. ඒත් එහෙම නම් ජර්මනියේ, ඉතාලියේ, ප්‍රංශයේ කාර් සමාගම් ඒ විධියට බංකොලොත් වෙන්න ඕනෑ. එහෙම වුනේ බ්‍රිතාන්‍යයේ විතරයි.

මේ විනාශයට හේතුව ජපන්නු නෙමෙයි.  බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වය දරපු, බ්‍රිතාන්‍ය වාහන කර්මාණ්තයේ සේවක වෘත්තීය සමිති සන්ධානවල අසහාය නායක "ඩෙරෙක් රොබින්සන්"

1970 දශකයේ බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයේ කම්කරු සටන් වලට නායකත්වය දීපු ඩෙරෙක් රොබින්සන් වැඩ වර්ජන 500කට වඩා මෙහෙයවලා තියෙනවා. රොබින්සන්ගේ මහා වැඩවර්ජන නිසා කෙලින්ම බ්‍රිතාන්‍ය රථවාහන කර්මාණ්තයට සිදුවුනු පාඩුව පවුම් මිලියන 200කට අධිකයි කියලා ගණන් බලලා තියෙනවා. මේ මිනිහා බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයේ මිනිස් පැය ලක්ෂ ගණනක් නිකරුනේ නාස්තිකලා. සමාගම් සතු කෝටි ගණන් වටින ස්ථාවර වත්කම්, යන්ත්‍ර සූත්‍ර සමහර වෙලාවට සති ගණන් ඇදුනු වැඩ වර්ජන නිසා ආදායම් උපදවෙන්නේ නැතුව ක්ෂයවෙමින් ගියා. 

ඩෙරෙක්ගේ මහා කම්කරු සටන් වල අවසාන ප්‍රතිපලය මොකක්ද?

> මොරිස් මයිනර් කාර් 1,368,291ක අලෙවි වාර්තාවක් තිබ්බ මොරිස් සමාගම 1984දී බංකොලොත් වුනා. දැන් මොරිස් සන්නාමය අයිති චීනෙ SAIC සමාගමට.

> ලේලන්ඩ්, ඔස්ටින්, ලෑන්ඩ් රෝවර්, ට්‍රයම්ප් වගේ ජනප්‍රිය සන්නාමවල අයිතිකාර "බ්‍රිටිෂ් ලේලන්ඩ්" සමාගම 1986දී බංකොලොත් වුනා. අද ලේලන්ඩ් කියන සුපිරි බ්‍රිතාන්‍ය සන්නාමය වාහනයක රැඳිලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ මූන්ජල් පවුලට අයත් "හින්දූජා" කියන සමූහ ව්‍යාපාරයට අයිති අෂෝක් ලේලන්ඩ් කොම්පැණිය නිසා. 1954දී ඇතිකරගත් ගිවිසුමකට අනුව තාමත් අෂෝක් ලේලන්ඩ් සන්නාමය පවතිනවා.

> රෝවර් සමාගම අවුරුදු ගණන් පාඩු ලබලා 2000වසරේදී වහලා දැම්මා.

> බ්‍රිතාන්‍යයේ බංකොලොත් MINI සන්නාමය අද ජර්මනියේ BMW සමාගමට විකුණලා. ඔවුන් MINI බොහෝම සාර්ථක වාහන මාදිලියක් බවට පත්කරලා. 

> බ්‍රිතාන්‍ය රැජිනගේ ප්‍රියතම වාහනයක් වන Land Rover වගේම සුපිරි Jaguar සමාගමත් අද අයිති ඉන්දියාවේ ටාටා සමාගමට. Land Rover හා Jaguar අද ටාටා යටතේ කෝටි ගණන් ලාභ ලබනවා.

> රෝල්ස් රොයිස් - සුපිරි ධනවතුන් වෙනුවෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රෞඩ නිෂ්පාදනය අද අයිති වෙලා තියෙන්නේ ජර්මනියි BMW සමාගමට.

> බෙන්ට්ලි -  තවත් සුපිරි, අති සුඛෝපභෝගී කාර් හදපු ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සමාගමක්. දැන් අයිති ජර්මනියේ වොක්ස්වැගන් සමාගමට

බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයට වෙලා තියෙන විනාශය පේනවා නේද?

බ්‍රිතාන්‍ය වාහන සමාගම්වල හා ඒ සමාගම්වල සැපයුම් සමාගම් වල වැඩකරපු දස දහස් ගණනකට රස්සාවල් නැතුව ගියා. ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය නිෂ්පාදන ආර්ථිකයට මරු පහරක් වැදුනා. කොහොමද ඩෙරෙක් රොබින්සන් ගේ මන රන්ජන වැඩ වර්ජන බ්‍රිතාන්‍යයේ මහා වාහන කර්මාණ්තයට අත්කරලා දීපු සෙතේ? මිනිහෙකුට රටකට මීට වඩා විනාශයක් කරන්න පුලුවන්ද?

ඇටකටු කුඩුවෙන්න ගහන්නේ නැති ආණ්ඩුවක් බලයේ හිටපු හැම කාලෙකම වගේම 2017 අවුරුද්දේත් ලංකාවේ වෘත්තිය සමිති මේ වගේම විනාශයක් කරන්න අර ඇද්දා.  මිනිස්සුන්ගේ විරෝධය නැතිනම් මේ විනාශකාරී ක්‍රියාවලිය තවත් ඇදගෙන යන්න ඔවුන් බොහොම කැමතියි. එහෙත් මහජන කෝපය කියන සීමාව ඔවුන්ව කොටුකරා කියලා කියන්න පුලුවන්. ආණ්ඩුවෙන් ගහනවා වගේ නෙමෙයි මිනිස්සු ගහනකොට.

ලංකාවේ මිනිස්සු සීමාන්තික ඉවසීමෙන් බැහැර වෙලා හැම දේටම සීමාවක් තියෙනවා කියලා විවිධ ආකාරවලින් දැනුම් දුන්න අවුරුද්දක් 2017. ඉස්සරනම් මිනිස්සු මේ විධිය දැනුන් දීම් කලේ ආණ්ඩුවලට විතරයි.

සමාජ ජාල හැම මනුස්සයෙකුගේම සාක්කුවට රිංගලා නිරන්තරයෙන් යාවත්කාලීන කරනවා. ඉස්සර ජාතික නාලිකාව, සිරස, දෙරණ, හිරු ආණ්ඩුවට ඕනෑ දේ, නැතිනම් ටීවී චැනල් මුදලාලිලාට ඕනෑ දේ විතරක් රටටම කාණ්දු කරුවාට දැන් එහෙම බෑ. මිනිස්සු ඉක්මණටම ඇත්ත දැන ගන්නවා. ඇත්ත පැතිරෙනවා. අකුරු ටිකක් යවනවා වගේම වේගයෙන් ඡායාරූප, වීඩියෝ මිනිස්සුන්ගේ සාක්කුවට යනවා.

සිරසේ මීඩියා සීරෝලා ටයි කෝට් ඇඳගෙන බැඳුම්කරේ ගැන විතරක් පට්ට ගැහුවට මිනිස්සු සිරසෙ මහාරාජකීය බොස්ලා ගෑවිලා ඉන්න සංඛ්‍යාත මගඩිය වගේම කබල් රුසියන් ගෙපාර්ඩ් නැව් මගඩිය ගැනත් ෆේස්බුක් එකෙන් දැන ගන්නවා. ඒවා ගැන වැඩි විස්තර තියෙන බ්ලොග් පෝස්ට් ගැනත් ෆේස්බුක් එකෙන්ම දැන ගන්නවා. බස් එකේදී, කෝච්චියේදී ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න අතරේම ඒවා ෆෝන් එකෙන් කියවනවා. දැනුවත් වෙනවා.

චැනල් කාරයෝ, පත්තර කාරයෝ හංගලා ගහන, කොලේ වහලා ගහන ගැහිලි, ඒකපාර්ශවීය අදහස් පලකිරීම් වෙනුවට 2017 අවුරුද්ද වඩාත් පාරදෘෂ්‍ය ලෙස තොරතුරු විහිදෙන්න පටන්ගත් අවුරුද්දක් නිසා පරණ සෙල්ලම් කල්පනාවෙන් කරන්න කියලා අවවාදයක් කෙරුවොත් හොඳයි කියලා හිතනවා. ජන ජීවිතය අවුල් කරන්නට අර අඳින්නන් හොඳට සිහියට ගන්නට ඕනෑ මිනිස්සුන් ඇත්ත දැනගෙන ඉක්මණට ප්‍රතික්‍රියා කරන, විරෝධය දක්වන තැනකට 2017දී රට ප්‍රවේශවෙලා තියෙන බව.

වෘත්තිය සමිතිවලට, ශිෂ්‍ය සංගම්වලට කාදමන්නට ඕනෑ තරම් කාළය තිබුණත් එදිනෙදා ජීවත් වෙන්න වෙර දරන මිනිස්සුන්ට එහෙම නාස්ති කරන්න කාළයක් නෑ.  පාන්දර හතරේ ඉඳන් නැගිටගෙන උයලා, පාර්සල් බැඳලා කෑම පැකට් 100ක් දාගෙන ත්‍රීවිලර් එකෙන් ඒවා කඩවලට දාන්න දුවන මිනිහාට පැට්‍රෝල් ටිකක් ගහගන්න බැරි වෙලා, බෝඩ් උස්ස ගත්ත බහුබූතයෝ ටිකක් හින්දා පාර වහලා ඒ මනුස්සයාට කෑම ටික වෙලාවට කඩවලට දාගන්න බැරි වුනොත්, ඒ මනුස්සයා මොකද කරන්නේ? කෑම පැකට් සීය ගෙදර අරගෙන ගිහිල්ලා කන්නද? පහු වෙනිදට කෑම උයන්න බඩු ගන්නේ ණයටද?

2017 කියන්නේ ඒ කෑම පැකට් මනුස්සයාටත් තමුන්ගේ විරෝධය නිසි තැනට එල්ල කරන  අවස්ථාව ලැබෙන්න පටන්ගත් අවුරුද්ද. ඒ විරෝධය පාරවල් වහගෙන නටන මීමුන්ට විරෝධය දක්වන පෝස්ට් එකකට දාන ලයික් එකක් වගේ සුලු එකක් වෙන්න පුලුවන්. ඒත් බුකියේ ඇල්ගොරිදම් වලට අනුව ලයික් වැඩිවෙනකොට පෝස්ට් එක පැතිරෙනවා, තව තව අයගේ ටයිම් ලයින් වල පෙනෙන්නට පටන් ගන්නවා . දිගටම ලය්ක් වුනොත් වයිරල් වෙනවා. බස් එකේ කෝච්චියේ යන මිනිහාගේ තරහ, කේන්තිය, විරෝධය සමාජ ජාල හරහා වයිරල් වෙලා ජනගත වෙන්නේ ඒ විධියට. 2017 අවුරුද්ද සාමාන්‍ය මිනිහාගේ විරෝධය වයිරල් වෙන හැටි හොඳටම දකින්න ලැබුණු අවුරුද්දක්

ඒවගේම විරෝධය දක්වන්නට ඉක්මණට මිනිස්සු එක් තැනකට ගෙන්වන්නට පුලුවන් අවස්ථාව ඕනෑම කෙනෙකුට තියෙනවා. මිනිස්සු බලගැන්විලා තියෙනවා.

ඉස්සර මේ බලය තිබුණේ සංවිධානාත්මක දේශපාලන පක්ෂවලට විතරයි. එක රැයකින් රටපුරා එකම පෝස්ටරයක් අලවන්න හැකියාව තිබුණේ JVP එකට විතරයි. ඒත් දැන් ඒ සුපිරි හැකියාව නිෂ්ක්‍රිය වෙලා. දැන් හැමෝමට පුලුවන් උදේ නැගිට්ට ගමන් කියවන්න පණිවුඩයක් රටටම යවන්න.

ඒ පණිවුඩ වලින් නැති පැට්‍රෝල් පෝලිම් ඇති කරන්න වගේම පැට්‍රෝල් පෝලිම්, කෝච්චි බස්, ඉස්පිරිතාල ස්ට්‍රයික් ඇති කරමින් මිනිස්සුන්ට අනවශ්‍ය ලෙස වද දෙන්නන්ට අමතක නොවන ගේමක් ඕගනයිස් කරන එකත් බොහොම ලේසියෙන් පුලුවන්.

මහින්ද මහත්තයා පෝට් සිටිය හදන්නට හිටවපු සමරු පලකෙ ගලවලා ලොරියක දාගත්ත හැටි මිනිස්සු දැක්කෙ සමාජ ජාල වලින්. ඒවගේම  ප්‍රයිවට් කැම්පස් වහන්නම ඉපදිලා ඉන්නවා වගේ පෙන්නන අන්තරේ කමාන්ඩර්ලාගේ පවුලේ ලේ නෑයෝ ප්‍රයිවට් කැම්පස් සමග තියෙන ආත්මීය බැඳීම මිනිස්සු දැන ගත්තෙත් සමාජ ජාලවලින්. ඒ මහත්තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීලා STF කොල්ලන්ට කුණු හරුපෙන් බනිද්දිත් උන් ආයුධත් අතේ තියාගෙන සිනාමුසු මුහුණින් ඒ අපහාස ඉවසාගෙන ඉන්නවා දැක්කෙත් සමාජ ජාලවලින්මයි. STF කොල්ලන්ට මීට පස්සේ ප්‍රතිකාර නෑ කියලා ළාමක ඩොකෙක් ඇනගත්තේත් බුකි අවකාශයේමයි.

මේ නිසා හැංගි හැංගි බඳින වෙස්මූණු ගැලවිලා, රෙදිත් කැඩිලා යට ඇඳුමෙන් දුවන්න සිද්දවෙන්න ඕනෑ කරන්නේ එකම එක ෆේස්බුක් ෆොටෝ එකක් වයිරල් වෙන එක විතරයි කියන එක 2017දී රටක් විධියට අපි ඉගෙන ගත්ත පාඩමක් කියලා හිතන්න පුලුවන්. මේ නිසා ආණ්ඩුවට වගේම වෙන මොන පාර්ශවයකටත් කොලේ වහලා මිනිස්සු රවට්ටන්න පුලුවන් කමක් නෑ. 2018 එලි පත්තේ ඉන්න මේ මොහොතේ හැමෝම මේක වටහා ගන්නවානම් හොඳයි.








__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...