UFO & EXTRATERRESTRIALS : පිටසක්වලයින්ගේ ආගමනය මානව වර්ගයාගේ අවසානයයි!


රිඩ්ලි ස්කොට් හොලිවුඩයේ නමක් දිනාගත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙන්. මෑතකදී ඒලියන්:කොවෙනන්ට් චිත්‍රපටයත්, ද මාෂන් (The Martian) හා බ්ලේඩ් රනර් චිත්‍රපටත් අධ්‍යක්ෂණය කල රිඩ්ලි ස්කොට්, 1979දී තිරගතවුනු පලමු ඒලියන් චිත්‍රපටයේත් අධ්‍යක්ෂක වරයා වනවා. ඒවගේම 2000 වසරේ තිරගතවුනු "ද ග්ලැඩියේටර්" චිත්‍රපටය ස්කොට්ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ සම්මාන පිට සම්මාන දිනූ චිත්‍රපටයක්.

මෑතකදී ස්කයි නිවුස් රූපවාහිණී නාලිකාව හා සම්මුඛ සාකඡ්ඡාවකට එක් වුනු රිඩ්ලි, තමන් විශ්වයේ බුද්ධිමත්, දියුණු තාක්ෂණයක් ඇති පිටසක්වලයින් සිටින බව විශ්වාස කරන්නෙක් බව පවසා සිටියා. ඔහු පවසන අන්දමට යම් දිනක ආකාශයේ දැවැන්ත පිටසක්වල අභ්‍යවකාශ යානයක් දිස්වුවහොත්, කල හැකි එකම දෙය සැඟවී සිටීම පමණක් බවයි.



රිඩ්ලි ස්කොට් පමණක් නොව, ස්ටීවන් හෝකින්ස් වැනි නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයින් පවා පිටසක්වලයින් මෙලොවට පැමිණීම මහා විනාශයක් විය හැකි අවස්ථාවක් බව පවසා තිබෙනවා. ස්ටීවන් හෝකින්ස් පවසන අන්දමට තාරකා ගමන්කල හැකි අතිශය දියුණු තාක්ෂණයන් නිර්මාණය කරගෙන සිටින පිටසක්වලයින් මෙලොවට පැමිණීම, යුරෝපීයයන් ඇමරිකානු මහාද්වීපවලට ගොඩබැසගත් පසු ඇතිවූ මහා විනාශයට සමාන කරනවා. 

තුවක්කුව, යකඩ හා වානේ නිර්මාණය, නවීන යුධ ශිල්ප හා කර්මාණ්ත තාක්ෂණයෙන් අතිවිශාල දියුණුවකින් සිටි යුරෝපීයයන් ස්වදේශික ඇමරිකානුවන් ලක්ෂ ගණනින් මරාදැම්මා. තවත් ලක්ෂ ගණනක් යුරෝපීයයන් විසින් ගෙන ආ, ස්වදේශික ඇමරිකානුවන්ට ප්‍රතිශක්තිය නැති රෝග වලට ගොදුරුවී විනාශවී ගියා. වසර දහස් ගණනක් පැවති ශිෂ්ඨාචාර වසර 100කට අඩු කාළයකදී අතුගෑවී ගියා.

මානවයාට වඩා තාක්ෂණයෙන් වසර 100ක් ඉදිරියෙන් සිටින පිටසක්වලයින් වුවත්, මානවයින් ඉතා නොදියුණු වනචාරීන් ලෙස සලකා ඉතා කුරිරු ලෙස මර්ධනය කරන්නට, යටත් කර ගන්නට ඉඩ තිබෙනවා. 

ET, Encounters of the Third Kind වැනි චිත්‍රපටවල හුවා දැක්වෙන, සානුකම්පික, මානව දියුණුවට අතදිය හැකි පිටසක්වල ජිවී වර්ගවලට වඩා, ආක්‍රමණකාරී, විනාශකාරී, දියුණු වෙන්නට උත්සහකරන බුද්ධිමත් ජීවීන් තමන්ගේ අනාගත සතුරන් ලෙස සළකා විනාශකර දමන්නට උත්සහ කරන පිටිසක්වල ජිවීන් සිටීමේ සම්භාවිතාවය ඉතා වැඩි බවයි මොවුන් පවසන්නේ. ඒ අනුව "Independence Day" , "Battle for Los Angeles" වැනි චිත්‍රපට වඩාත් තාත්විකව මානවයා හා පිටසක්වලයින් අතර පලමු හමුවීම (first contact) පිලිඹිඹු කරන බව ඔවුන් පවසනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments