COLONIAL HISTORY - CEYLON TEA: සිලෝන් ටී ඉතිහාස කතාව කෙටියෙන්














1839දී කල්කටාවේ රාජකීය උද්භිද උද්‍යානයේ පාලක ආචාර්ය වැලික්, පේරාදෙණිය උද්භිද විද්‍යා පර්යේෂණ වතුයාය වෙත ඉන්දියාවේ ඇසෑම් තේ පැල කිහිපයක් එවන ලද අතර ඒවා එහි රෝපණය කරන ලදී. මේ වනවිට පේරාදෙණිය උද්භිද උද්‍යානය නිළ වශයෙන් ආරම්භ කොට නොතුබූ නමුත් 1821 සිටම එහි කෝපි, සිංකොනා හා කොකොවා වැනි ආර්ථික බෝග රෝපණය කොට පර්යේෂණ සිදුකරන පර්යේෂණ මධ්‍යස්ථානයක් බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කොට තිබුණි. පේරාදෙණිය උද්භිද උද්‍යානය නිළ වශයෙන් ස්ථාපිත කෙරුනේ 1843දීය.

1841දී මොරිස් ඩී වර්ම්ස් සොයුරන් ලංකාවේ චීනයෙන් ගෙන්වන තේ පැල පුස්සැල්ලාවේ රොත්ස්චයිඩ් වතුයායේ හා රම්බොඩ ලබුකැලේ වතුයායේ රෝපණය කොට චීන තේ වගාකිරීමට උත්සහ කල නමුත් එම උත්සාහයන් අසාර්ථක වුනා. 1842දී තවත් ඇසෑම් තේ පැල පේරාදෙණියට ලැබුණු අතර ඒවා නුවර එළියේ රෝපණය කිරීම සඳහා යවනු ලැබුවා. මේ කර්ත්ව්‍යය භාරව සිටි ඊ.එෆ් ගැප් එම පැළෑටි ඉතා හොඳන් වැඩෙන බව වාර්තාකොට තිබුණා. චීන තේ මෙහි අසාර්ථක වුනත් ඇසෑම් තේ හොඳින් වර්ධනය වූ අතර ලංකාවේ අද වගාකෙරෙන බොහෝ තේ පැල මෙලෙස ඇසෑමයෙන් ගෙන්වා රෝපණය කරන ලද ඒවා බව පැවසෙනවා.

1866දී හේවාහැට ලූල්කොන්ඩෙරා වතුයායේ තරුණ වතුපාළකයෙකු වූ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් හට, එම වතුයායේ අයිතිකරුවූ ජී.ඩී.බී හැරිසන් මහතාගෙන් පේරාදෙණියෙන් ඇසෑම් තේ ඇට ලබාගෙන ඒවා ලූල්කොන්ඩෙරාවේ අත්හදාබැලීමේ රෝපණයක් සිදුකරණ ලෙස අණලැබුණා. ටේලර් එම තේ ඇට, ලූකොන්ඩෙරා වතුයායේ මාවත් දෙපස රෝපණය කල බවයි තේ ඉතිහාසය පවසන්නේ. මේ සඳහා ටේලර් හට ඩබ්ලිව් එම් ලීකී නැමැති තවත් වතුපාලකයෙකුගේ සහය ලැබුණු බවත් වාර්තා වෙනවා. වසර 28ක් පුරා ලංකාවේ විවිධ තැන්වල පර්යේෂණාත්මකව වගාකරමින් තිබූ කර්මාණතයක් ලෙස ස්ථාපිත කිරීමේ ගෞරවය හිමිවන්නේ ලූල්කොන්ඩෙරා වතුයායේ ජේම්ස් ටේලර් වෙතයි.

1867දී ලූල්කොන්ඩෙරා වතුයායේදී ලංකාවේ තේ වගාව ඇරඹුණු අතර ටේලර්ගේ මුල්ම වගාව අක්කර 19ක් වූ බවයි වාර්තා වෙන්නේ.

1872දී ජේම්ස් ටේලර් ලංකාවේ පලමු තේ කර්මාණ්තශාළාව ලූල්කොඩෙරා වතුයායේ ස්ථාපනය කොට අවසන් කිරීමට සමත්වූ අතර එම වසරේදීම පලමු ලූල්කොන්ඩෙරා තේ මහනුවර නගරයේදී අලෙවි කෙරුණා. ලංකාවෙන් අපනයනය කල පලමු Ceylon Tea තේ තොගය 1873දී ලූල්කොඩෙරා වතුයායෙන් ලන්ඩනයට යැවුනු අතර එය රාත්තල් 23ක් එනම් කිලෝග්‍රෑම් 10ක කුඩා තේ තොගයක් වූවා.

1877දී සැමුවෙල් සී ඩේවිඩ්සන් විසින් නිර්මාණය කරන ලද "සිරෝකෝ" තේ දළු වියලන යන්ත්‍ර මෙරටට ගෙන්වනු ලැබුවා. සිරෝකෝ යනු මධ්‍යධරණී මුහුදේ සිට යුරෝපය පුරා හඹායන වියළි සුළං ප්‍රවාහයක්. උණුසුම් කරනලද වාතයෙන් තේ දළු වියලීමේ තාක්ෂණයෙන් මෙම යන්ත්‍රය ක්‍රියාත්මකවූ නිසා සිරෝකෝ යන නම යොදන්නට ඇතැයි විශ්වාසකල හැකියි.

1880දී බ්‍රිතාන්‍යයේ ජෝන් වෝකර් සමාගම ප්‍රථම තේ අඹරණ යන්ත්‍රය (tea rolling machine) හඳුන්වාදුන් අතර ඒ සමගම යන්ත්‍රානුසාරයෙන් මහාපරිමාණයෙන් තේ නිෂ්පාදනයේ පදනම වැටුනු බවයි තේ ඉතිහාසය අපට පවසන්නේ.

1883දී ලංකාවේ පලමු තේ වෙන්දේසිය කොළඹදී පැවැත්වුනු අතර එය "Ceylon Chamber of Commerce" වෙළඳ සංගමයේ අනුග්‍රහයෙන් සමර්විල් හා සමාගම මගින් පවත්වනු ලැබුවා. කෝපි වගාව කෝපි කොළ රෝගයෙන් විනාශවෙමින් පැවති අතර තේ වගාව වේගයෙන් වර්ධනය වුනා.



1884දී ජෝන් වෝකර් තේ අඹරණ යන්ත්‍ර ස්ථාපනය කල ප්‍රථම තේ කර්මාණ්තශාලාව නුවර එළියේ ෆෙයරිලෑන්ඩ් (පෙඩ්‍රෝ) වතුයායේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කලා. 1893දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවැත්වුනු "Chicago World's Fair" දැවැන්ත වෙලඳ ප්‍රදර්ශණයේදී තේ පැකට් මිලියනයක අලෙවි වාර්තාවක් තැබුවා. 1894 දී "Ceylon Tea Traders Association" හෙවත් ලංකා තේ අලෙවිකරුවන්ගේ සංගමය පිහිටුවාගනු ලැබුවා.

1896දී කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමය "Colombo Brokers' Association" ස්ථාපනය කරගනු ලැබුවා.  1899 වන විට ලංකාවේ විවිධ වතුයාවල අක්කර 400,000ක පමණ වපරිසයක තේ වවා තිබූ බව යටත්විජිත රාජ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

1925දී තේ පර්යේෂණායතනය ස්ථාපනය කොට තේ පර්යේෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට බ්‍රිතාන්‍යයන් කටයුතුකල අතර 1927 වනවිට ලංකාවේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 100,000ය ඉක්මවූවා. 1932දී යටත් විජිත රජය "Tea Propaganda Board" හෙවත් තේ ප්‍රචාරණ මණ්ඩළය නම් රාජ්‍ය ආයතනයක් පිහිටුවා ලංකා තේ තවත් ප්‍රචලිත කිරීමට සහය දුන්නා.

ආරම්භයේ සිටම ලංකාවේ තේ වෙලඳාම බ්‍රිතාන්‍යයන් සතුව තුබූ අතර 1941දී මුලින්ම තේ වෙන්දේසියට අතගැසූ දේශීය සමාගම ලෙස පීරිස් හා අභයවර්ධන සමාගම ඉතිහාසයට එක්ව තිබෙනවා. 1958දී එනම් නිදහස ලැබී වසර 10ක් ඉක්මවීමේදී ලක් රජය රාජ්‍ය වතුසංවර්ධන මණ්ඩළය පිහිටුවා තේ කර්මාණ්තය තවත් ඉහලට එසවීමට ක්‍රියාකලා.

1960 වනවිට ලංකාවේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200,000ක් ඉක්මවා තිබූ අතර 1965දී ඉන්දියාව හා චීනය අභිබවා ලංකාව ලොව විශාලතම තේ අපනයන කරුවා බවට පත්වුවා. එනම් 1867දී ජේම්ස් ටේලර්ගෙන් ඇරඹි තේ කර්මාණ්තය හරියටම වසර 100කට පසු ලොව විශාලම තේ කර්මාණ්තය බවට පත්වූවා. ජේම්ස් ටේලර් 1892දී මියගිය අතර ඔහුගේ දෙන මහනුවර මහයියාව සුසානභූමියේ මිහිදන් කොට තිබෙනවා.

Comments