Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 9 October 2013

පෞරාණික ඉතිහාසයේ අභිරහස්! - ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද?

පෞරාණික ඉතිහාසය අපට නොවිසඳුනු අභිරහස් රැසක් ඉතිරිකොට ගොස් ඇත. ඊජිප්තුවේ පිරමීඩ තැනුවේ කෙසේද? තාක්ශණය ලැබුණේ කාගෙන්ද?, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් ගල්කවය නිර්මාණය කලේ කවුරුන්ද? කෙසේද? ඒ සඳහා ටොන් ගණන් බර මහා ගල් ගෙනගියේ කෙසේද? මෙවැනි ඓතිහාසික අහිරහස් ඉතා ප්‍රසිද්ධ වන අතර පොත්පත් සියගණනක් මේ ගැන ලියවී ඇත. මේවා ගැන රූපවාහිණී වාර්තා චිත්‍රපට විශාල. සංඛ්‍යාවක්ද පවතී. යූ-ටියුබ් විඩියෝ ජාලයට පිවිසෙන අයෙකුට මෙම මාතෘකා පිලිබඳව වාර්තා චිත්‍රපට නරඹා දැනුවත්වීමේ හැකියාව ඇත.

මේ ලිපියේ අරමුණ වන්නේ පිරමීඩ, ස්ටෝන්හෙන්ජ්, පූමාපුන්කු, නැස්කා කාන්තාරයේ සිතුවම් මෙන් ලොව දැඩි අවධානය දිනා නොගත්, එහෙත් තවමත් ඉතිහාසඥයින් හට ගැටලුවී ඇති  අභිරහසක් වන ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ අවසානය කෙසේ සිදුවුනිද යන්නයි.

ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද? ඉන්දු නිම්න වැසියනට කුමක් සිදුවුනිද?



උච්ඡතම අවස්ථාවේ බටහිර ඉන්දියාවේ සිට ඇෆ්ඝනිස්ථානය දක්වා පැතිර තිබූ, මිලියන 5ක පමණ ජනකායක් ජීවත්වූවායයි සැක කෙරෙන ඉන්දු නිම්න සිශ්ඨාචාරය ඉන්දියානු අර්ධද්වීපයේ පැරණිතම සිශ්ඨාචාරයයි. තාක්ශණයෙන් දියුණු නාගරික සිශ්ඨාචාරයක් (urban civilization) ඔවුහු නිර්මාණය කරගෙන සිටියහ.ලෝකඩ යුගයේ (bronze age) සිශ්ඨාචාරයක් වූ මොවුන් ඉතා දියුණු සැළසුම් වලට නිර්මාණය කල නගර, දියුණු වැසිකිළි හා මළපවාහන පද්ධති වලින් නිර්මාණය කල දක්ශ ඉන්ජිනේරු ශිල්පයන් බිහිකල එකක් බවට සාක්ශි තවමත් ඕනෑ තරමින් ඉතුරු වී තිබේ.

ලෝහකර්මය පිලිබඳව ඉතා හොඳ දැනුමක් තිබූ මොවුන් තඹ, ලෝකඩ, ඊයම් හා ටින් ලෝහ භාවිතා කරමින් නිර්මාණය කල විවිධ භාණ්ඩ හමුවී තිබේ. එපමණක් නොව ඉන්දු ගංගාවට මායිම්ව මෙම සිශ්ඨාචාරය නිර්මාණය ඉතා විශාල නෞකා තටාක, ධාන්‍යාගාර හා ගබඩා පවා හමුවී තිබේ. මේ සියල්ලෙන්ම තහවුරු වන්නේ ඉන්දුනිම්න සිශ්ඨාචාරය ඉතා සමෘධිමත් එකක් වූ බවයි. ඔවුන්ගේ නිවාස නූතන අපගේ නිවාස මෙන්ම පුළුස්සන ලද ගඩොල්වලින් නිමවා ඇති අතර සෑම නිවසකම පාහේ ඉතා දියුණු නානකාමර තිබී ඇත. එමෙන්ම ඉන්දු නිම්න සිශ්ඨාචාරය දිග, බර හා කාළය මැනීම සඳහා සම්මත මිනුම් ඒකක (standard units) මුලින්ම නිර්මාණය කරගත් සිශ්ඨාචාරය බවට දැනට තහවුරු වී තිබේ. සෑම දෙයක්ම ඉතා පිලිවෙලට, සැළසුම් සහගතව සිදුකල මොවුන් සමූහාණ්ඩු ක්‍රමයට රාජ්‍ය පාළනය සිදුකල බව විශ්වාස කෙරේ.

තවත් විශ්මය දනවන කරුණක් වන්නේ ඉන්දු නිම්න සිශ්ඨාචාරයට අයත් යයි සැළකෙන පැරණි සොහොනකින් සොයාගත් පිරිමි මෘතශරීර දෙකකම දත් වල කුඩා සිදුරු සාදා තිබීමයි. මේවා මොවුන් ජීවතුන් අතර සිටියදීම සිදුකරන ලද විදුම් බව ඒ පිලිබඳව පර්යේශණ සිදුකල විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව ඉහල දන්ත සෞඛ්‍ය තාක්ශණයක් ඔවුන් සතුව තිබී ඇති බව සැළකේ.

එහෙත් එවැනි සිශ්ඨාචාරයක් එක්වරම අතුරුදහන් වී ගියේය. වෙනත් සිශ්ඨාචාර විනාශවී යනවිට ඒවා නිරන්තර යුද්ධ, බල අරගල, කාළගුණික විපර්යාසවලට යටත්වී විනාශවී ගිය බවට සාධක ඇතත් ඉන්දු නිම්න වැසියන් හට එවැනි ඉරණමක් අත්වූ බවට තහවුරු කල හැකි සාධකයක් සොයා ගැනීමට නැත.

1922 දී මොහෙන්ජෝදාරෝ හා හරප්පා නගර සොයාගන්නා තෙක්ම්ම ඔවුන් ගැන කිසිදු සටහනක් ලෝක ඉතිහාසයේ ඉතුරු නොවන තරමටම වේගයකින් මෙම විශිෂ්ඨ සිශ්ඨාචාරය මිහිපිටින් තුරන්වීම තවමත් පුරාවිද්‍යාඥයින් හට පැහැදිලි කල නොහැකි ඓතිහාසික අභිරහස් වලින් එකකි. ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ යටපත්වීමට හේතු ලෙස දැනට ඉදිරිපත් කොට ඇති වඩාත් විශ්වාසකල හැකි කල්පිතය නම් කාළගුණ විපර්යාසයක් මගින් ඔවුන්ගේ කෘෂිකර්මානතයට හා වෙළඳාමට දැඩි බලපෑමක් එල්ලවූ බවය.





Related Posts Plugin for WordPress, Blogger...