Related Posts Plugin for WordPress, Blogger...

Friday, 8 November 2013

ලංකාවේ පෞද්ගලික අංශය වැනි INFOTEL ප්‍රදර්ශණය


ඉන්ෆොටෙල් යනු 1992 වසරේ සිට මෙරටතුල පැවැත්වෙන, එකම  තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණයයි. 92' වසරේ සිටම, විදේශගතව සිටි වසර 5 හැරෙන්නට සෑම වසරකම පාහේ ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය වන්දනා කිරීම ලේඛකයාගේ පුරුද්දක් වී තිබෙනවා. මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය පසුගිය සතියේ (ඔක් 27) අවසන්වූ වත් ඒ පිලිබඳව සටහනක් තබන්නට මෙතෙක් කල් ගතවූයේ ඉකුත් කාළය රාජකාරි බහුලවූ බැවිනුයි.

සංවිධායකයින්ගේ කයිවාරුව හා ප්‍රදර්ශකයින්ගේ බොරුව 

සංවිධායකයින් හා ඔවුන්ගේ ප්‍රෙස්-රිලීස් වචනයෙන් වචනයට පිටපත් කරන අපේ පත්තර මොනවා ලිව්වත්  මට පෙනන ආකාරයට ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය පිලිබඳව කිව හැක්කේ සංවිධායකයින්ගේ කයිවාරුව (සෙළුව කිව්වොත් වඩාත් නිවැරදිය) හා ප්‍රදර්ශකයින්ගේ (exhibitors) බොරුව පමණක් පෙනෙන්නට තිබුණු, ඇතුල්වීමේ ටිකට් පතට ගෙවූ රුපියල් 50 වටිනාකමට හෝ වැදගත් දෙයක් ගන්නට නොමැතිවුනු ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සල්පිලක් පමණක්ම වූ බවයි.

මාගේ දියණියන් දෙදෙනා ඉන්ෆොටෙල් බලන්නට රැගෙන ගිය අතර, ප්‍රථම වතාවට ඉන්ෆොටෙල් නරඹන්නට ගිය ඔවුන් දෙදෙනා SLECC පෝර ගබඩාවෙන් එලියන් වන් විගසම මට පවසා සිටියේ "ආයෙ ඉන්ෆොටෙල් බලන්න එක්කන් එන්න එපා, හරිම කම්මැලියි.." යන්නයි. මට රජ්ජුරුවන් හෙළුවෙන් යනවා දැක ඒ බව ඇහෙන්නට කියු පොඩි එකා මතක්විය.

මගේ පොඩි එවුන් දෙන්නාගේ කොමෙන්ටුවත් ඉන්ෆොටෙල් සංවිධායකින් පාසැල් හා උසස් අධ්‍යාපන ආයතනවලට ඉන්ෆොටෙල් නරඹන්නට ළමුන් රැගෙන එන්නැයි ඉල්ලමින් එවූ ආරාධනා පත්‍රයේ ලියාතිබූ දැයත් අහසට පොලොව මෙනි. ඉන්ෆොටෙල් සංවිධායකවරුන් අධ්‍යාපන ආයතනවලට එවා තිබූ ලිපියේ ළමුන් එය බලන්නට ගෙන එන මෙන් ඉල්ලා තිබූ අතර නව තාක්ශණය පිලිබඳ අලුත් දැනුම ලබාගන්නට ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය මහගු අවස්ථාවක් පවත් පවසා තිබුණි.  මේ ලිපිය කියැවූ විදුහල්පතිවරුන්, අධ්‍යාපන ප්‍රධානීන්, පාසැල්වල ICT/තාක්ශණ විෂය ගුරුවරුන් කීදෙනක් අතින් වියදම්කරගෙන බස් හයර් කරගෙන මේ වැදගැම්මකට නැති ලැප්ටොප් සල්පිල වෙත ළමුන් රැගන ආවාදැයි දැනගන්නට හැකියාවක් නැත.

පාසැල් දරුවන්ට ආසා හිතෙන යමක් නැති, ඉගෙන ගන්නට දෙයක් නොතුබුණු.  ඉන්ෆොටෙල් 2013 ප්‍රදර්ශණය පිලිබඳව "Daily FT" වාණිජ පුවත්පතේ ඔක්තෝම්බර් 26 පලවූ ලිපියක සීර්ශපාඨය තිබුණේ "INFOTEL 2013, South Asia’s premier ICT exhibition" යනුවෙනි.

මේ සීර්ශපාඨය, එම ලිපිය ලියූ "සාරා හනන්" නම් ලේඛිකාව ප්‍රදර්ශණය බැලීමෙන් ඇය ලැබූ නව දැනුම මුසු උද්දාමය නිසාවෙන් ලැබූ පහන් සංවේගය කරනකොට ගෙන දැමූ හෙඩිමක් නොව සංවිධායකයින්ගේ ප්‍රෙස් රිලීස් එකේ තිබූ කෑල්ලක් ගෙඩි පිටින් ගෙන දැමූවක් බව ලේඛකයා විශ්වාස කරයි. ඉන්ෆොටෙල් 2013 නැරඹීමෙන් ලැබූ උද්දාමය හේතු කොටගෙන එම ලේඛිකාව එය දකුණු ආසියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණය ලෙස හඳුන්වන්නට යෙදුනා නම් ඇය 2013 ඔක්තෝම්බර්වලට පෙර  ලැප්ටොප් එකක්වත් නොදැක ජීවත්වූ ගල් යුගයෙන් ආ ඇත්තියක් විය යුතුය.

ඇමරිකාවට පසු ලොව තොරතුරු තාක්ශණ ක්ශේත්‍රයේ දැවැන්තයා කවුද?      Infosys, TCS, Cognizant, HCL, Wipro වැනි දැවැන්ත තොරතුරු තාක්ශණ සමාගම්වල නිජබිම වූ ඉන්දියාවයි (පුදුම වන්නට එපා!)

ඒත් ලොකුම ICT එක්සිබිශන් එක තියෙන්නේ ලංකාවේය!!

තොරතුරු තාක්ශණයේ අංක 2 වූ ඉන්දියාව තිබෙන්නේද දකුණු ආසියාවේය, එහෙත් දකුණු ආසියාවේ ප්‍රමුඛතම (premier) තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණය තිබෙන්නේ කොහිද? ලංකාවේය, නමින් ඉන්ෆොටෙල්ය, මෙවර පැවැත්වුනේ, වාහන 10ක් ගාල් කරගන්නට රථගාලක් නැති, හරිහමන් වැසිකිලි පහසුකම් නැති, ගැලවෙන ගඳගහන කාපට් අතුරා ඇති, නමට පමණක් "Exhibition & Convention Centre" එකක්වූ තැනකය. එහෙත් මෙවැනි මාධ්‍ය ප්‍රකාශණ ලියාදෙන ඉන්ෆොටෙල් ලොක්කෝ, ලෝකය හෝ රට ගැන මුකුත් නොදන්නා ගැමියන් නොව ලංකාවේ ICT කොම්පැණිවල ලොක්කන්ය. ඔවුන් රට රටවල ඇවිද තිබේ, CeBITCOMPUTEX වැනි ලෝකයේ දැවැන්ත තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණ නරඹා ඇතුවාටද, ඒවා ප්‍රදර්ශකයින් ලෙස හෝ ගැනුම් කරුවන් ලෙස සහභාගීවී ඇතුවාටද සැක නැත. එමනිසා හොඳ තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණයක් යනු කුමණාකාරයේ වැඩසටහනක් දැයි මෙම උගත් වැදගත් සංවිධායක මහතුන් හොඳින් දනී.

FITIS හෙවත් Federation of Information Technology Industry Sri Lanka ඔවුන්ගේ ව්‍යාපාරවල වෘත්තිය සංවිධානයයි. ඉන්ෆොටෙල් සංවිධානය කරන්නේ මේ FITIS සංගමයෙන් තෝරාගන්නා කමිටුවකිනි. එපමණක් නොව FITISලා ගැන ගැන යමක් දැනගන්නට ඔවුන්ගේ වෙබඩවියට පිවිසි ලේඛකයාගේ මුවගට සිනාවක් නැගෙන යමක් දකින්නට ලැබිණි. ඉන්ෆොටෙල් 2013 ප්‍රදර්ශණය පවා අවසන්වී තිබෙන මොහොතක FITIS වෙබ් අඩවියේ තවමත් ඇත්තේ ඉන්ෆොටෙල් 2011 හා 2012 විස්තරය. අපේ IT ඉන්ඩස්ට්‍රි සංගමයේ යාවත්කාලීන වීම එතරම්ම ශෝක්ය. සංගමෙයේ අන්තර්ජාල බිහිදොර යාවත්කාලීන කරගන්නට උනන්දුවක් නැති අය ලංකාව "IT Hub" එකක් කරන්නට දතකයි. ඒ සඳහා ආණ්ඩුවෙන් වැඩි සහයක් නැතිබවට කොක්ටේල් පාටිවලදී මැසිවිලි නගනවාටද සැක නැත.

මේ දවස්වල ප්‍රයිවෙට් සෙක්ටර් ලොක්කන්ගේ පාටිවල වැඩියෙන්ම කියවෙන්නේ චීනෙන් ණය ගැනීමය හෙවත් චීනාට රට විකිණීම ගැනය. ආණ්ඩුව පැත්තක තිබ්බත් ලංකාවේ ප්‍රයිවෙට් සෙක්ටර් එකේ බොහෝ දෙනෙක් අද කරන්නේ බාල චීන බඩු ලංකාවට ගෙනැවිත් වැඩි ගාණට විකුණා පාරිභෝගිකයින් රැවටීම බව එයාලාම අමතක කරති. අමතක කොට චීනාට ණයවීම ගැන විතරක් කතා කරති. අපේ ප්‍රයිවෙට් සෙක්ටර් එකේ හැටි එහෙමය. මේ ලංකාවනේ... සියලු බොරු රැවටිලි මෙහෙට ඔට්ටුයිනෙ. ඕනෑම අටමගලක් අටවාගෙන ආසියාවේ ලොකුම,විශාලතම, ප්‍රමුඛතම යයි කියන්නට අපේ අයියලාට කිසිදු හිරිකිතයක් නැත.  අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත යයි කියාගන්නා පත්තරයක් අපේ රටේ තියෙන්නේත් මේ හිරිකිතයකින් තොරව බොරුකීමේ ජාතික හැකියාව නිසා විය යුතුය.  ලංකාව තිබෙන්නේ අග්නිදිග ආසියාවේ නොව දකුණු ආසියාවේ බව, අග්නිදිග ආසියාවේ වැඩිම ජනගහනය ඇත්තේ ඉන්දුනීසියාවේ බව, දකුණු ආසියාවේනම් ඉන්දියාවේ බව, වැඩියෙන්ම අලෙවිවන පුවත්පත් තිබිය හැක්කේ වැඩිම ජනගහනය තිබෙන රටවල නොවේද යන බාලාංශ දැනුම මේ අයට නැත.

ලෝකයේ වැඩියෙන්ම බොරු කියන්නේ, අවිද්‍යාව, අන්ධ විශ්වාස බෝකරන්නේත් වැඩිම අසරණයින් ගණනක් නොමග යවන්නේත් ලංකාවේ පලවන සිංහල ඉරිදා පත්තර බව ලේඛකයාගේ විශ්වාසයයි. කොහෙන්හෝ අහුලා ගන්නා ගපැලෙන මුසා, අතිශයොක්ති කතා වලින් පිරී ඇති ඒ පත්තර රුපියල් 60 ගෙවා මිලදී ගන්නේ හරවත් දෙයක් කියවන්නට නොලියැවෙන රටක අසරණ මිනිසුන්ය. ජනතාවගේ මුරදේවතාවායයි තමන්වම හඳුන්වාගන්නා මේ මාධ්‍ය ඉන්ෆොටෙල් සංවිධායකින් මවන හිස් බොරු හිස්මුදුනින් පිලිගෙන වචනයක් හෝ වෙනස් නොකොට පලකරන්නේ හොර කට්ටඩි හා ගොඩ වෙද්දුන් ජීවකයින් ලෙස හඳුන්වමින් මිනිසුන්ට රැවටෙන්නට පාරකපන්නා සේය. ඉන්ෆොටෙල් ගැන මාධ්‍යවල පලවුනු අතිශයොක්ති වාර්තා බලා රැවටී ඉන්ෆොටෙල් බලන්නට ඇවිදින් කාලය කා දමාගත් දස දහස් ගණන් මිනිසුන් මෙරට සිටිනවාට සැක නැත.

සිංහල පත්තර ගහන්නේත්, ඉන්ෆොටෙල් සංවිධායකවරු ඉන්නේත් පෞද්ගලික අංශයේ මිස රාජ්‍ය අංශයේ නොවේ..

ලංකාවේ ලොකුම බොරුකාරයන්, රැවටිලිකාරයන් සිටින්නේ රාජ්‍ය නොව අපේ පෞද්ගලික අංශයේයි!!

ලංකාවේ පොදු මහජනතාව විශ්වාසකරන අන්දමට වඩාත්ම දූශිත වන්නේ රජයේ ආයතනයි. මේ අතර පොලීසිය, අධිකරණය, ප්‍රාදේශීය සභා, නගර සභා පලාත් සභා මුල්තැනක් ගනී. මෙය ඇත්තකි. මේ සියල්ල අතරින් වඩාත්ම දූශිත පොලීසිය බව කියැවෙයේ. සුදුපටි ඇඳගත් රාළහාමිලා බාන බැගින් මහපාරේ  තැන් තැන්වල සිටිමින් නිදහසේ මහපාරේ ගමන් කරන, රථවාහන නීති කඩ නොකරන වාහන පවා නවත්වමින්, මිනිසුන්ට නිදහසේ සිය ගමන්බිමන්වල යෙදීමේ අයිතිය උල්ලංඝණය කරමින් පරීක්ශා කරන්නේ ඇයිදැයි පොලිසියේ උසස් නිළධාරියෙකුගෙන් විමසූවහොත් ගත් කටටම "අණතුරු අඩුකිරීමට, රියදුරන්ගේ නීතිවිරෝධී ක්‍රියා මැඩලීමට, බළපත්‍ර නොමැතිව වාහන පදවන්නන් අල්ලා ගැනීමට..." යයි පවසන බවට සැකයක් නැත.  එහෙත් ඇත්ත අපි දනිමු, වැඩි විස්තර වුවමනා නැත. දී කිරට බළලුන්ද සාක්කිදෙන බව අප අසා ඇත.

එහෙත් සැබැවින්ම ගත්කල මේ රටේ ජනතාව වැඩියෙන්ම ගසාකන්නේ පෞද්ගලික අංශයේ සමාගම් යයි කිවහොත් ඔබ පුදුමවනු ඇත.

ඒත් ඇත්ත එයයි...

ඔබ නිතර මිළදී ගන්නා මදුරුකොයිල් එක, ටූත්පේස්ට් ටියුබය, දත්බුරුසුව, සබන්කැටය, ක්ශණික නූඩ්ල්ස් පැකැට්ටුව, ශැම්පූ පැකට්ටුව, පෑන, පැන්සල, මකන කෑල්ල, කිරිපිටි පැකැට්ටුව, යෝගට් කෝප්පය, ක්ශණික පාන පැකැට්ටුව, පැණි බීම බෝතලය, තේ කුඩු පැකැට්ටුව, පොල්තෙල් බෝතලය, සැමන් ටින් එක වැනි සියගණනක් බඩුභාණ්ඩවල මිල ඉකුත් වසර තුල ඒ සමාගම් වලින් වැඩිකොට ඇත්තැයි ඔබට දැනීමක් ඇතිද? නැත. එහෙත් මේ සමාගම් සියල්ලම අඩුම ගණනේ මාස හයකට වතාවක් හෝ (බොහෝවිට කාර්තුවකට වරක් ) සිය භාණ්ඩවල මිළ වැඩිකොට ඇතිවාට සැක නැත.

මිළ වැඩිකරන්න කිට්ටුවෙන විට මොවුන් එක්කෝ කෘත්‍රිම හිඟයක් මවා වෙළඳපොලෙන් බඩු ඉවත්කර ගනී, නැතහොත් විවිධාකාරයේ අලවිකරණ විජ්ජා දමා පාරිභෝගික අවධානය වෙනතක යවයි. ගෑම් කිහිපයක් වැඩියෙන් දීම, එකක් ගත්විට දෙකක් දීම වැනි විජ්ජාවලින් මිළ වැඩිවීම වසා පාරිභෝගිකයා රවටයි. මෙවැනි විජ්ජා විශාල ප්‍රමාණයක් මෙම සමාගම්වල සන්නාම කළමණාකරුවන් (brand managers) හා අලෙවිකරණ කළමණාකරුවන් (marketing managers) සතුව පවතී. මේ සෙප්පට විජ්ජා හරහා මොවුන් ඔබගේ පොකැට්ටුවෙන් ඔබට නොදැනීම වැඩිපුර මුදල් අද්දවා ගන්නා අතරම සමාගමේ වාර්ශික වාර්තාවේ (annual report) සමාජ වගකීම් ප්‍රකාශණය (social responsibility report) වැනි අතුරු වාර්තා එක් කරමින් පිටිසර පලාතක මොකක් හෝ දුප්පත් පාසලකට/ගමකට/ අනාථ නිවාසයකට කරන ලද උපකාර කිහිපයක් පෙන්වා නම්බුව රැකගන්නට උත්සහා කරයි. ඒවා සඳහා මුදල් සොයාගන්නේද ඔබගේ ඇස්වසමින් වසරකට වරක්, දෙකක් හෝ තුනක් මිල වැඩිකොට ඔබගේ පොකැට්ටුවට විදිමින් බව ඔබවත් නොදන්නේය.

එමපණක් නොව මෙලෙස මිල වැඩිකිරීමේදී, බොහෝවිට සමාගම එකතුව කටයුතු කරයි. පැණිබීම සමාගම්, බිස්කට් සමාගම්, වෙනත් පාරිභෝගික භාණ්ඩ සමාගම් මේ සඳහා ප්‍රසිද්ධය. එක් සමාගමක් මිළවැඩි කොට දින කිහිපයකින් හෝ සතියකින් දෙකකින් අනෙකුත් සමාගම්ද මිළ වැඩිකරයි. ඔවුන් එසේ කිරීම අනුව, මිළ අනුව වන තරඟය (price competition) නවත්වාගනියි. සටන වෙන්නේ රූපවාහිණී දැන්වීම හරහාය. ඒ සඳහා යන ලක්ශගණන් මුදල් ගන්නේද ඔබේම සාක්කුවෙනි. ඒ කියන්නේ ඔබ මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක දැන්වීම ගාස්තු ගෙවන්නේද ඔබමය.

ඔන්න ලංකාව හා ලංකාවේ බොරු කයිවාරු ගහන, මිළ වැඩිකොට (පාරිභෝගිකයාට අඩු මිළට විකුණා වෙළඳාම වැඩිකරගෙන නොවේ) ප්‍රොෆිට් පෙන්වන පෞද්ගලික අංශය. ඉන්ෆොටෙලුත් එයාලගෙමනේ.








Related Posts Plugin for WordPress, Blogger...