2018 වනවිට කාර්යාලවල රාජකාරි සියල්ලම පාහේ රොබෝවරුන්ට කලහැකි වනවා - රොබෝ සේවකයින් නිසා අනාගතයේ විශාල රැකියා වියුක්තියක් ඇතිවිය හැකියි!


මහා බ්‍රිතාන්‍යයේ කෘත්‍රිම බුද්ධිය පිලිබඳව පර්යේෂණ පවත්වන "සෙලැටන්" නම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය ඇන්ඩෲ ඇන්ඩර්සන් පවසන අන්දමට ඉදිරි වසර 5තුල රොබෝවරුන් හා කෘත්‍රිම බුද්ධි තාක්ශණය දැවැන්ත පිම්මක් ඉදිරිය පැනීමට නියමිත අතර ඒ අනුව දැනට මිනිසුන්ට පමණක් කල හැකි කාර්යාල රාජකාරි විශාල ප්‍රමාණයකට රොබෝවරුන් අනුයුක්ත වීම අනිවාර්යයෙන්ම සිදුවනවා.

ඔහු පවසන අන්දමට කෘත්‍රිම බුද්ධියේ නවතම පර්යේෂණ තුලින් මිනිසුන් මෙන් ඉගෙනගත හැකි පරිගණක නිර්මාණය වෙමින් පවතිනවා. මෙම ක්‍රියාදාමයේ වේගය කලින් අනුමාන කලාට වඩා වේගවත් බව පවසන ඔහු දැන් පරිගණක වලට පිටු සියගණන් දිග වාර්තා ස්කෑන් කිරීම ආධාරයෙන් කියවා ඒවායේ වචන හා වාක්‍ය නිර්මාණය කොට ඇති ආකාරය අධ්‍යයනය කිරීමෙන් එම වාර්තාවල අන්තර්ගතය අවබෝධ කරගත හැකි තරමට තාක්ශණය දියුණුවී තිබෙනවා. එමෙන්ම මෙම කෘතිම බුද්ධි යන්ත්‍රවලට මිනිසුන්ට වඩා ඉතා වේගයෙන් විශාල වාර්තා කියවා තේරුම් ගෙන ඒ අනුව ගතහැකි පියවර යෝජනා කිරීමේ හැකියාවද ලබාගනිමින් තිබෙනවා.

උදාහරණයක් ලෙස කෘත්‍රිම බුද්ධි පර්යේෂණවල ඉතා ඉදියෙන් සිටින සමාගමක් වන අයි.බී.එම් සමාගම සිය "වොට්සන්" නම්වූ කෘත්‍රිම බුද්ධියක් සහිත සුපිරි පරිගණකය පාරිභෝගික සේවා සැපැයිම සඳහා අනුවර්තනය කරනු ලැබ තිබෙනවා. පාරිභෝගිකයින්ගේ දුරකථන ඇමතුම් ලබාගෙන, ඔවුන් කියනා විස්තරයට සවන්දී තේරුම් ගැනීමටත්, මිනිස් කටහඬකින් පාරිභෝගිකයා අමතා පැහැදිලි කිරීම් හා වැඩි විස්තර ලබාගැනීමටත්, එම තොරතුරු මත පාරිභෝගිකයාට අවශ්‍ය උපදෙස් හෝ සේවා සැපැයිම්ට වොට්සන් සුපිරි පරිගණකය සමත්ව තිබෙනවා.

ඉතා දියුණු කෘතිම බුද්ධියකින් යුතු IBM Watson සුපිරි පරිගණකය - පාරිභෝගික ඇමතුම් වලට සවන්දී පිලිතුරු හා විසඳුම් ලබාදීමේ හැකියාව මෙයට තිබෙනවා.
Watson Engagement Advisorලෙස හඳුන්වා ඇති මෙයට පාරිභෝගිකයාගේ ඇමතුම ලබාගන්නා අතරම සමාගම සතුව එම පාරිභෝගිකයා පිලිබඳව ඇති සියලුම ඉලෙක්ට්‍රොනික ලිපිගොනු, පෙර ඇමතුම්, චෝදනා හෝ ඉල්ලීම් ඇතිනම් ඒවා අධ්‍යයනය කොට එම පාරිභෝගිකයාගේ ගැටලුවට සරිලන ඉතා නිවැරදි පිලිතුරක් හෝ උපදෙස් ලබාදීමේ හැකියාව වොට්සන් සතුවනවා.

විශේෂඥයින් පවසන අන්දමට වොට්සන් වැනි පාරිභෝගික සේවා සපයන කෘත්‍රිම බුද්ධි පරිගණකයකට පාරිභෝගිකයින්ට ලබාදෙන සේවාවේ ගුණාත්මක භාවය ඉතා ඉහලට දැමිය හැකි අතර, ක්ශණිකව පාරිභෝගිකයාගේ ගණුදෙනු ඉතිහාසය, පෙර පැමිණිලි ආදිය ලබාගෙන, ඊට අනුරූපව පිලිතුරු දිය හැකි නිසා ගුණාත්මක භාවයෙන් ඉතා ඉහල සුපිරි සේවාවක් සැපයිය හැකිවනවා. ඒ අනුව මිනිස් පාරිභෝගික සේවා සපයන්නන්ගේ රැකියා ඉතා ඉක්මණින් නැතිවී යන්නට ඉඩ තිබෙනවා.

රක්ශණ සමාගම වල, බැංකුවල, ගුවන් සමාගම් වැනි ආයතන මෙවැනි කෘත්‍රිම බුද්ධි පරිගණක සිය පාරිභෝගික සේවාවලට අනුවර්තනය කරගැනීම ඉතා ඉක්මණින් සිදුකරනු ඇති. එමෙන්ම මෙවැනි පරිගණක වලට බැංකු ණය අයදුම්පත්, ක්‍රෙඩිට්කාඩ් අයදුම්පත්, රක්ශණ වන්දි අයදුම්පත් පිලිබඳ තීරණ ඉතා ඉක්මණින් මෙන්ම ඉතා නිවැරදිව ලබාදී පාරිභෝගිකයාගේ කාලය ඉතිරි කරන අතරම සන්තුශ්ඨියද ඉහල දැමීමට හැකි බව පැවසෙනවා.

Comments