කල්පිටිය මුහුද ඩොල්ෆින් මත්ස්‍යන්ගෙන් පිරේ



මේ කල්පිටිය  අර්ධද්වීපය දෙස්විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන සමයයි. කල්පිටියේ සුන්දර දසුන් නැරඹීම සඳහා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයන් සේම, දේශීය සංචාරකයන් ඇලුම් කරන ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය, ඩොල්ෆින් මත්ස්‍යයන්, තල්මසුන් ඇතුළු දූපත් 16 ක්ද කල්පිටියේදී නැරඹිය හැකිය.  ජනවාරි මාසයේ සිට දහස් ගණනින් ඩොල්ෆින් මත්ස්‍යයන් කල්පිටි මුහුදට පැමිණෙන අතර, එය අප්‍රේල් මස අවසානය දක්වා සීමා වී තිබෙන්නේ එයින් පසු සයුර රළු වීම නිසාවෙනි.

මෙරට විශාලතම කොරල් පරය බැලීමටත් නිදහසේ මුහුදේ සුන්දරත්වය විඳීමටත් දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් පුත්තලම කලපුව හා කල්පිටිය ප්‍රදේශය මෙරට විශාලතම සංචාරක කලාපය ලෙස දැන් සකස් වෙමින් පවතී. මෙහි ඇති දූපත් 31 ආශ්‍රිතව නව හෝටල්, පාවෙන කාමර ඉදිවෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රධානතම සංචාරක කලාපය ලෙස කල්පිටිය හා පුත්තලම කලපුව ප්‍රදේශය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. සාගර හා වෙරළ සම්පත් සංරක්ෂණ පදනමේ භාණ්ඩාගාරික ඒ.ඩී.එස්. නියාෂ් මහතා පවසන ආකාරයට මේ කල්පිටිය හා ඒ අවට දූපත්වල අතීතය විජය රජු මෙරට ගොඩ බසින ලද කාලයටත් වඩා ඈතට දිව යයි.




“අරාබි වෙළෙන්දන් පෘතුගීසි ලන්දේසි ගොඩ බසින ලද පෘතුගීසි වරාය, ඕලන්ද කොටුව මෙහි තිබෙනවා. පරණ පල්ලි ගොඩනැඟිලි තිබෙනවා. මේ පැත්තේ ඉඩම්වලින් පරණ රෝම ලන්දේසි සල්ලි මතුවෙනවා. ඒ අනුව මෙහි ඈත අතීතයේ ජනාවාස තිබුණු බවට සාක්ෂි තිබෙනවා. මේ ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉහළයි. ලංකාවේ තිබෙන කඩොලාන 24 න් 15 ක් ම මේ ප්‍රදේශයේ තිබෙන්නේ. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන සාගර විද්‍යාඥයන් පවසන පරිදි මෙරට වැදගත්ම ඉහළම ජෛව විවිධත්වයෙන් යුත් කොරල් පරය ද පිහිටා ඇත්තේ ද මේ කල්පිටිය දූපත් ආශ්‍රිතව ය. එය බාර් පරය ලෙස හඳුන්වයි. මෙය ශ්‍රී ලංකාවේ කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් ඇති මුහුදු තීරයේ පිහිටා ඇත. එය කරෙයිතිවු දූපත දක්වා විහිදී යයි. වර්ග කිලෝ මීටර් 308.7 පුරා කොරල් පරය පැතිරී යයි.

මෙහි විශාල ප්‍රදේශයක පැතිරිණු පැතලි වැලි පරයක් සහ බාර් පරය ලෙස හඳුන්වන වර්ග කිලෝමීටර් 40 ක් පමණ පැතිරුණු ප්‍රධාන කොරල් පදාසයන් දෙකක් ද වැලි සහිත ප්‍රදේශයක් ද මෙම බාර් පරයට ඇතුළත් වේ.  1992 දී මේ බාර් පරය හා ඒ අවට වැලිපර ප්‍රදේශය සමුද්‍ර අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි ප්‍රමාණය හෙක්ටයාර 30669.9 කි.  ශ්‍රී ලංකාව අවට පිහිටි විශාලතම කොරල් පරය වන මෙහි ලොව දුර්ලභ කොරල් විශේෂ 150 ක් හා දුර්ලභ මත්ස්‍ය විශේෂ සමඟ කොරල් ආශි‍්‍රත මත්ස්‍ය විශේෂ 400 ක් තිබෙනවා. විශාල නිල් තල්මසා, මින්කි තල්මනා, කුරුමන්දා, තල්මසා, සන්නාලි මුල්ල, බෝතල් නගස් මුල්ලා, කබරමුල්ලා වැනි දුර්ලභ මුහුදු ක්ෂීරපායින් ද මේ කොරල් පරය ආශ්‍රිතව ඉන්නවා.   බාර් පරය අවට මුහුදු තීරයේ ඩොල්ෆින් බහුලව ඉන්නවා. මුහුදු සිංහයන් හරි විරල සතුන්. මේ ප්‍රදේශයේ දී මුහුදු සිංහයන් ද දකින්න පුළුවන්. පිලිපිඩියා නම් සීල් මත්ස්‍යයන්, සිටේයියා තල්මසුන්, සන්නාලි මුල්ලන්, බෝතල් නගස්මුල්ලා වොරලිස් ද සයිරේනිසා යන විරල මුහුදු ක්ෂීරපායින් ද මේ ප්‍රදේශයේ ඉන්නවා. ලංකාවේ මේ සතුන් මෙතරම් දකින්න පුළුවන් කල්පිටිය ආශ්‍රිතව පමණයි.


මේ ප්‍රදේශයේ දී අපට දක්නට ලැබෙන තල්මසුන් මුල්ලන් හා මුහුදු ඌරන් යන මුහුදු ක්ෂීරපායෝ මුළු ජීවිතයම ජලජ පරිසරයේ ජීවත්වෙයි. ඔවුන් දිගු ගැබ්බර කාලයකට පසුව තනි පැටවකු පමණක් බිහි කර දිගු කලක් රැක බලාගැනීම කරයි. මේ අනුව ඔවුන්ගේ පරම්පරාව සීමාසහිත වේ. නාරා ආයතනය පවසන පරිදි මේ මුහුදු තීරයෙහි දක්නට ලැබෙන කබරමුල්ලා මෙරට වෙරළ කලාපවලට ආවේණික දුර්ලභ මුහුදු ක්ෂීරපායි විශේෂයෙකි. මේ සතා මෙරට කලපු ඇතුළතට එන එකම මුහුදු ක්ෂීරපායි විශේෂය වේ. කල්පිටියේ දූපත් ආශ්‍රිතව මේ සියලු සතුන් දැකීමට පුළුවන. කල්පිටියේ පුත්තලම් කලපුව ආශ්‍රිතව විවිධ ප්‍රමාණයේ දූපත් 32 ක් පමණ ඇත. මුහුදු තෘණ කඩොලාන ආදියෙන් ගැවසී ගත් මේ දූපත් මනරම් සෞන්දර්යයක් එක් කරයි. ජලජ පක්ෂීහු ද ඒ අසල බහුලය.

තවද ආලංකුඩා මුහුදු තීරය යනු මුහුදු සම්පත් වලින් බහුල ප්‍රදේශයක් වන අතර නොයෙක් වර්ගයේ කුරුළු වර්ග වලින් යුතු ගොඩබිම් තීරයක්ද අසළ දක්නට ලැබේ. ඩොල්ෆින් විශේෂ 4ක්ද, තල්මස් විශේෂ 5ක්ද මෙම ප්‍රදේශයේදී දක්නට ලැබෙන අතර, ඊට අමතරව ශ්‍රි ලංකාවේ මෙම ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන් විශේෂ ක්ෂිරපායී මුහුදු ජීවියකු වන ඩගොන්ස් සත්වයන් ද මෙහිදී දැක ගත හැක.  ඊට අමතරව ස්වභාවික කොරල් පර, තැනිතලා මුහුදු වෙරළ, ලුණු ලේවායන්, සහ කඩොලාන වගුරු බිම්ද මෙම ප්‍රදේශයේ වේ. 





Photo Credit : www.ada.lk ,  http://sinhala.newspot.lk
Sources : [1]  http://ada.lk/article/3893/ [2] http://www.silumina.lk/2010/09/26/_art.asp?fn=ay1009261&p=1

Comments

Post a Comment