Related Posts Plugin for WordPress, Blogger...

Monday, 14 April 2014

හෙළ කෘෂි ශිෂ්ටාචාරය ඇරඹීමට වසර දහස්ගණනකට පෙර හෝර්ටන් තැන්නේ වී වගාකල අපේ බලංගොඩ මී මුත්තෝ...


අප පාසැලේදී උගෙන ඇති ආකාරයට හෙළ කෘෂිකර්මාණ්තය හා ඊට සබැඳි වාරිකරිමාන්තය බිහිවූයේ විජයාවතරණයත් සමග පහලවූ හෙළ රාජ්‍ය වංශය සමගින්ය. පණ්ඩුකාභය රජතුමා අභය වැව (බසවක්කුළම), ජය වැව, ගාමිණී වැව ලෙසින් වාරිකර්මාණ්ත තුනක් බිහිකල බවත් හෙල වාරිකර්මාණ්තයේ ආදිකතෲ ලෙස හැඳින්විය හැකි බවත් විකිපීඩියා විශ්වකෝෂය සඳහන් කරයි.  පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437-367 ) මහාවංශයට අනුව ආර්යයන් පැමිණීමෙන් පසු ලංකාවෙහි 6 වන රජුය. ඉතිහාසඥයන්ට අනුව ඔහු ආර්යයන් හා ස්වදෙශිකයින් (යක්ඛ,දේව,නාග,රාක්ෂ ) අතර මතභෙද නැති කර, රට එක් සෙසත් කළ මුල්ම නියම ශ්‍රී ලාංකික රජතුමාය. මෙලෙස ඇරඹුණු කෘෂි-වාරි ශිෂ්ටාචාරය මහින්දාගමනයත් සමගම දැවැන්ත ඉදිරි පිම්මක් පැන දියුණුවේ හිනිපෙත්තේ වැජබිනි. උදාහරණයක් ලෙස පළමුවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී (ක්‍රි.ව.1153 – 1186) පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.පළමුවන පරාක්‍රමබාහු නිරිඳුන්ගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි. අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය (විකිපීඩියා).

පණ්ඩුකාභය රජු විසින් කරවන ලද අභයවැව (බසවක්කුලම ) ලක්දිව ප්‍රථම වාරි කර්මාණ්තය ලෙස පිලිගැනේ (Image Credit: Ministry of Irrigation Website).

විජයාවතරණයට පෙර ලක්දිව යක්ෂ, නාග, දේව රාක්ෂ යන ස්වදේශීය ගෝත්‍ර 4ක් පැවති බව සඳහන් වන අතර ඔවුන් කෘශිකර්මාණ්තයේ නිරත වන්නට ඇති බව නිසැක නමුත් ඒ පිලිබඳව පුරාවිද්‍යාත්මක තොරතුරුසොයාගැනීම අපහසුය. කෙසේ වෙතත් විජයගේ පිරිසට කුවේණිය හමුවූයේ ඇය කපු කටිමින් සිටිනා විටදී බව ජනප්‍රවාදයේ සඳහන්වන අතර කපු නූල්වලින් කපුරෙදි නිර්මාණය කරගැනීමේ තාක්ශණය පැරණි හෙළ ස්වදේශීන් සතූවූයේ නම් ඔවුන්ද යම් ආකාරයක දියුණු සමාජයක ජීවත්වූවන් බවට තර්ක කිරීම සාධාරණය. සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ සමයේ, එනම් මීට වසර 2600කට පෙර ලක්දිවට ගොඩබට විජය පැමිණෙන විටත් කපු කර්මාණ්තය ස්ථාපනයවූ කෘෂි ශිෂ්ටාචාරයක් තිබූ බවට සැක නැත. විජය මෙහි පැමිණෙන විට ලක්දිව විසූ යක්ශ, රාක්ශ, නාග, දේව යන මානව ගෝත්‍ර කවුරුන්ද, කොහි සිට පැමිණියාද, කතාකල භාශාව කුමක්ද යනාදී තොරතුරු නැතත් මොවුන්ගෙන් එක් ගෝත්‍රයක් හෝ සමහරවිට ගෝත්‍ර කිහිපයක් අප අද බලංගොඩ මානවයා ලෙස හඳුන්වන හෝමෝසැපියන් බලන්ගොඩන්සිස් (Homosapiens balangodensis) මානවයා විය හැකිය. බලන්ංගොඩ මානවයා පිලිබඳ තොරතුරු බටදොඹ ලෙන, ෆාහියන් ලෙන, බෙලි ලෙන, බූන්දල ප්‍රදේශවල සිදුකල කැනීම් වලින් හමුවී ඇත. එමෙන්ම බලංගොඩ මානවයා විසූ බවට සළකුණු දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මතුවී ඇත. ඔහු ආහාරයට ගත් සතුන්ගේ කොටස්, පාශාණිභූතවූ පළතුරු හා ශාක කොටස් (වල් කෙසෙල් වර්ග, වල්දෙල් ඇට, කැලෑ ධාන්‍ය වර්ග ) හමුවූ ඇති අතර සරළ ගල් ආයුධද හමුවී ඇත.

එපමණක් නොව බලංගොඩ මානවයා සුන්දර හෝර්ටන් තැන්නේ දඩයමේ යෙදුනු බවටද පුරාවිද්‍යාඥයින් සාක්ශි සොයාගෙන තිබේ. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයෙන් බලංගොඩ මිනිසා භාවිතා කලා යයි සැක කෙරෙන කුඩා ගල් ආයුධ (microlith stone tools) හමුවී ඇත. මේ පිලිබඳව මට දැනගන්නට ලැබුණේ පසුගිය සතියේ පාසැල් නිවාඩුව ආරම්භවීමත් සමග දරුවන් සමග හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ කල සංචාරය අතරතුරේදීය. ලෝක උරුමයක් ලෙස නම් කට ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ලෝකාන්ත මංපෙතෙහි (worlds end trail) පිවිසුමේ පිහිටා ඇති අලුතින් නවීකරණය කරන ලද සංචාරක තොරතුරු මධ්‍යස්ථානය හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයාගේ ක්‍රියාකාරකම් පිලිබඳව මුල්ම තොරතුරු මට ලබාදුන්නේය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය
අද මේ තොරතුරු මධ්‍යස්ථානය පිහිටි නිවස්නය යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගේ ප්‍රියතම දඩකෙළි බිමක් වූ හෝර්ටන් තැන්නේ  දඩකෙලියේ යාම සඳහා පෙර සූදානම් නිවස්නයක් (hunting lodge) ලෙස 1900 වසරේදී ගොඩනගන ලද්දේ තෝමස් ෆාර් (Thomas Farr) නම් බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෙකි. තෝමස් ෆාර් එකල මහ එලිය ලෙස හැඳින්වූ මෙම අපූර්ව භූමිය සොයාගත් පලමු යුරෝපීයයා වන අතර ඔහු එකල ලක්දිව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හෝර්ටන් සාමිවරයාට ගෞරව පිණිස හෝර්ටන් තැන්න නමින් නම් කල බව පැවසේ.  පසුව මේ දඩකෙලි නිවස්නය, දඩ කෙලියේ යන ප්‍රභූන්ගේ සා-පවස නිවන අවන්හලක් හා ගිමන්හලක් ලෙසට අනුවර්තනය කෙරිනි. එය Farr Inn ලෙස නම් තබා තිබුණි.  අද තෝමස් ෆාර්ගේ "ෆාර් ඉන්" හන්ටින් ලොජ් එක දෙස් විදෙස් සංචාරකයින්ට හෝර්ටන් තැන්නේ අපූර්වත්ව්ය පිලිබඳව තොරතුරු රැසක් බෙදා දෙන දැනුම් උල්පතකි. ඔබ හෝර්ටන් තැන්නේ සංචාරයට යන්නේ නම් පලමුව මේ තොරතුරු මධ්‍යස්ථානයට පිවිසෙන්නට අමතක නොකරන්න.

බලංගොඩ මානවයා හා හෝර්ටන් තැන්නේ විසූ බවත්, දඩයමේ ගිය බවත් තොරතුරු මධ්‍යස්ථානයේ විස්තර පුවරුව කියවන තෙක් මම නොදැන සිටි අතර ලෝකාන්ත මංපෙතෙහි සුන්දරත්වය විඳිමින් සැරිසරන අතරතුරම අපගේ ආදි මීමුත්තා වන බලංගොඩ මානවයා මේ සුන්දර තණබිමේ දඩයමේ යෙදෙන්නට ඇති ආකාරය සිතින් මවාගන්නට උත්සහ කලෙමි. ඕලු මුවන් (barking deer), ගෝනුන් (sambur), වල් හරකුන් (wild cattle) වැනි දඩයමට සුදුසු සතුන් එකල මෙහි විශාල වශයෙන් සිටින්නට ඇති අතර අපේ බලන්ගොඩ මී මුත්තන් සිය සරල ගල් ආයුධ අතැතිව මේ සතුන් හඹා උස් තණපඳුරු, කටු පඳුරු අතරින් දිවයන ආකාරය සිතින් මවාගන්නට හෝර්ටන් තැන්නේ සැරිසරන්නට යන ඔබටද අපහසු නොවනු ඇත.

හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා පිලිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට ඇතිවූ කුතුහලය නිසාම නවාතැන් පොලට පැමිණි වහාම හෝර්ටන් තැන්නේ මානව ජනාවාස පිලිබඳව ගූගල් සෙවුමක් දියත් කලෙමි. මෙහි ප්‍රථිපලයක් ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා 2006 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුනු ඉපැරණි කෘෂිකර්මාණ්තය පිලිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වූ "First Farmers in Global Perspective" සම්මන්ත්‍රණයට ඉදිරිපත් කල පර්යේෂණ නිබන්ධනයක් කියවන්නට ලැබුණි.

ශිෂ්‍ය පිරිසක් සමග ක්ෂේත්‍ර ක්‍රියාකාරකමක් සිදුකරන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිළක (Image Credit: Asiff Hussain, Sunday Times, 23/10/2011)
"The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka" ලෙස නම්කොට තිබූ මෙම පර්යේෂණ නිබන්ධනය හෝර්ටන් තැන්නේ දඩයම් කරමින් සිටි අපේ බලංගොඩ මී මුත්තන් දඩයමට අමතරව ගොවිතැන් කිරීමද අරඹමින් සිරිලක පලමු ගොවීන් බවට පරිවර්තනය වෙමින් සිටි බව විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරයි. පර්යේෂණ නිබන්ධනයේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රේමතිලක මෙලෙස පවසයි "The attempt of this paper is to give an account on the early evidence of agriculture in the form of palaeo-ecological findings in the Horton Plains, central Sri Lanka, and its links to climate change and archaeology..."

සිරිලක බලංගොඩ මානවයා වසර 31,000කට පෙර සිටම ශිලා ආයුධ නිර්මාණයක කරගැනීමේ තාක්ශණය බිහිකොට ගෙන තිබූ බව ආචාර්ය ප්‍රේමතිලක තවත් පර්යේෂකයින් ගණනාවකගේ පර්යේෂණ නිබන්ධන උපුටා දක්වමින් පෙන්වා දෙයි. බලංගොඩ මානවයාගේ ගල් ආයුධ හෝර්ටන් තැන්නෙන් හමුවී ඇත. අපේ මීමුත්තන් ගල් ආයුධ නිර්මාණය කරගත්තේ යුරෝපයේ ගල් යුගයේ මිනිසා ආයුධ නිර්මාණය කරගැනීමට සෑහෙන කාලයකට පෙර බවද එහි සඳහන් වේ. එමෙන්ම ආචාර්ය ශීරාන් දැරණියගල මහතාගේ පර්යේෂණයක් උපුටාදක්වන ප්‍රේමතිලක, ඒ කාලය වනවිට බලංගොඩ මානවයා බල්ලන් හීලෑ කරගෙන සිටි බවට සාක්ශද ලැබී ඇතැයි සඳහන් කරයි.  හෝර්ටන් තැන්නේ තමන් සිදුකල පර්යේෂණයේ ප්‍රථිපල සාරාංශගත කරන ආචාර්ය ප්‍රේමතිලක, හෝර්ටන් තැන්නේ පස් සාම්පල වලින් ලැබුණු පාෂාණිභූත පරාග (මල් රේණු ) රේඩියෝ-කාබන් ක්‍රමයට කාළනිර්ණය කිරීමෙන්  එම පරාග ක්‍රි.පූ 5000 (මීට වසර 7000කට පෙර) කාළයට අයත් බව සනාතවී ඇති අතර ඒ අනුව හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා ගිණිතබා පස සකස්කොට සිදුකරන හේන් ගොවිතැන් ක්‍රමයට (slash & burn cultivation) බෝග වගාකොට ඇති බවත් මෙම බෝගවල පරාග අතර පැරණි කැලෑ සහල්වලට (wild rice) අයත් පරාගද විශාල ලෙස හමුවූ බැවින් බලංගොඩ මානවයා මීට වසර 7000කට පෙර හෝර්ටන් තැන්නේ හේන් ගොවිතැන් ක්‍රමයට වීවගාවේ යෙදෙන්නටද ඇතැයි අනුමාන කලහැකි බව පවසයි. මීට පෙර වී වගාව, යකඩ නිශ්පාදනය හා අශ්වයින් හා වෙනත් ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම පිලිබඳව සාක්ශි හමුවී ඇත්තේ ක්‍රි.පූ 900 නම් මීට වසර 2900කට පමණ පෙර අනුරාධපුරයෙනි.

ආචාර්ය ප්‍රේමතිළක හෝර්ටන් තැන්නේ සිදුකල පර්යේෂණයේ විස්තර


Figure Credit: "The emergence of early agriculture in the Horton Plains,central Sri Lanka: linked to late Pleistocene and early Holocene climatic changes", R Premathilake, Page 5
සාම්පල ලබාගත් ස්ථානය: රූපසටහනේ පෙන්වන ස්ථානයේ පිහිටි මඩ ගොහොරුවකිනි (mire).

සාම්පල ප්‍රමාණය හා යොදාගත් උපක්‍රමය: සාම්පල 36ක් ලබාගත් අතර මේවා සෙන්ටිමීටර් 5ක විශ්කම්භයකින් යුතු රුසියාවේ නිශ්පාදිත පස් සාම්පල ලබාගැනීමේ උපකරණයක් භාවිතා කරණ ලදී (Russian peat corer).

සාම්පල විශ්ලේෂණය : ලබාගත් සාම්පල; පරාග, බීජාණු, ඓන්ද්‍රිය කාබන් (organic carbon), ස්ථාවර කාබන් (ඓන්ද්‍රීය නොවන කාබන්) හා ඛණිජමය ගුණයන් සොයා බැලීමේ විශ්ලේෂ්ණයන් හට බඳුන්කොට ඇත. එමෙන්ම ඒවායින් ලැබුණු කාබණික ද්‍රව්‍ය රේඩියෝ-කාබන් කාළ නිර්ණයන්ට භාජනය කරන ලදී.

රේඩියෝ කාබන් කාළ නිර්ණය: ලබාගත් පස් සාම්පල වලින් කොටස් 14ක් කාබන් කාළ නිර්ණය සඳහා ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ ඇන්ග්ස්ට්‍රෝම් පර්යේෂණාගාරයට (Ångström Laboratory, Uppsala University, Sweden) යවන ලදී.

පර්යේෂණ ප්‍රථිපල වලින් එළඹිය හැකි නිගමන:

[1] ලැබී ඇති පාශාණිභූත පරාග හා වෙනත් ඓන්ද්‍රීය ශාක කොටස් වලින් ලැබෙන සාක්ශි අනුව ක්‍රි.පූ 15,000-14,000 (අදින් වසර 16,000-17,000ට පෙර කාළයේ) හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයින් බාර්ලි හා ඕට්ස් යන ධානය වගාකිරීම ආරම්භ කල බවට සාක්ශි තිබේ.

[2] එම කාළයේදී හෝ ඊට පසු කාළවකවානු වලදී සතුන් ගාල්කොට තබාගෙන ඇති කොට ඇති බවට සාක්ශි හමුවී ඇත.

[3] ධාන්‍ය වගා සඳහා කැළෑව ගිණිතබා හෙළිපෙහෙලි කල බවට කාබනික සාක්ශි සටහන්වී ඇත.

[4] ක්‍රි.පූ. 11,000 වනවිට හෝර්ටන් තැන්නේ ආදි මානවයින් වඩාත් විස්තීරණ ලෙස ගොවිතැන් කිරීමට පටන්ගත් බව ලැබී ඇති කාබණික, පරාග හා නයිට්‍රජන් සංයුතිය අනුව නිගමනය කරගෙන ඇත.

[5] ක්‍රි.පූ.8000-7000 කාළය වන විට බාර්ලි හා ඕට්ස් වගාව අදාල පරාග ගහණය අඩුවෙමින් ඇති අතර වී වගාවේදී දැකිය හැකි පරාග ගහණය මේ කාලයේදී වේගයෙන් ඉහල යන්නට පටන් ගෙන ඇත. ඒ අනුව කාළගුණික වෙනස් වීම අනුව හෝර්ටන් තැන්නේ බළංගොඩ මී මුත්තා බාර්ලි හා ඕට්ස් වෙනුවට කැළෑ වී වර්ග වගා කරන්නට පටන්ගෙන ඇති බව නිගමනය කල හැකිය. Oryza eichingeri, Oryza nivara, Oryza rhizomatis යන කැලෑ වී වර්ගවල පරාග හමුවී ඇත.

මූලාශ්‍ර:

[1] The emergence of early agriculture in the Horton Plains,central Sri Lanka: linked to late Pleistocene and earlyHolocene climatic changes. - R Premathilake (read the original paper here)

[2] From wild grass to golden grain: How rice cultivation in Sri Lanka may have been linked to Stone Age man - Asiff Hussein (Sunday Times, 23/10/2011) (link here)







Related Posts Plugin for WordPress, Blogger...