Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 5 June 2014

ගුවන්යානාවල ඇති Fly-by-wire තාක්ෂණය මෝටර් රථ ලෝකයට ගෙනෙන අලුත්ම Nissan Infinity Q50 කාරය


නූතන සිවිල් හා යුධ ගුවන්යානාවල භාවිතා වන ප්‍රයෝජනවත් තාක්ෂණයක් fly-by-wire වන්නේ තාක්ෂණයයි.  මෙම තාක්ෂණයේදී සිදුවන්නේ ගුවන් යානයේ නියමුවා, යානයේ පාලන යෂ්ඨිය [joy stick] හා පැඩල ක්‍රියාත්මක කිරීමේදී එම පාලන නියෝග යානයේ අත්තටුවල හා වලිගයේ ඇති පාලන පෘෂ්ඨ [control surfaces] වෙත ගෙන යෑම වයර හරහා යන ඉලෙක්ට්‍රොණික සංඥා මගින් සිදුවීමයි. පැරණි තාලයේ ගුවන් යානාවල පාලන පෘෂ්ඨ ක්‍රියාත්මක වන්නේ, පාලන යෂ්ඨියේ හා පැඩවල සිට යානයේ පාලන පෘශ්ඨ වෙත දිවෙන කේබල මගිනි. නියමුවා යොදන බලය වැඩිකිරීමට හයිඩ්‍රොලික් පිස්ටන යොදා ගැනේ. මෙම පද්ධතිවල ඇති ප්‍රධාන අවාසිය නම් යානය පුරා මීටර් සිය ගණන් දිගු වානේ  කේබල් පද්ධති ඇදීමට සිදුවීමෙන් විශාල අමතර බරක් එකතුවීමයි.

Fly-by-wire පද්ධතියක් මුල්වරට අත්හදා බැලෙන්නේ 1930 ගණන්වල සෝවියට් දේශයේදීය. ඒ ටුපොලෙෆ් ANT-20 නම් විශාල ගුවන්යානයේයි. අත්දාබැලීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැණුනු මෙම යානය බෝයිං 747 ජම්බෝ ජෙට් යානයක් තරම් විශාල විය. ඉන්පසු මෙම තාක්ශණය යොදාගත් ප්‍රකටම ගුවන් යානය වන්නේ අධිවේගී කොන්කෝර්ඩ් මගී ප්‍රවාහන යානයයි. කොන්කෝර්ඩ් යානය නිර්මාණය කෙරුනේ 1969දී බ්‍රිතාන්‍ය-ප්‍රංශ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. නාසා ආයතනය නිර්මාණය කල අභ්‍යවකාශ ශටල් යානාද පූර්ණ වශයෙන් ඩිජිටල් ෆ්ලයි-බයි-වයර් පාලන පද්ධතියකින් ක්‍රියාත්මක විය.

Fly-by-wire පද්ධතියක් මුල්වතාවට වෙළඳ පොලට ඉදිරිපත් කරන වාහනයකට ඇතුලත් කොට ඇත්තේ නිසාන් සමාගමේ අධිසුඛෝපබෝගී වාහන සන්නාමය වන ඉන්ෆිනිටි මෝටර් රථ මාදිලියයි. Direct Adaptive Steering ලෙස ඉන්ෆිනිටි නිර්මාපකයින් හඳුන්වන මෙම පද්ධතියේදී, සාමාන්‍ය වාහනවල මෙන් රියැදුරා සුක්කානම කරකවනවිට එම බලය රෝදවලට ගෙනයන යාන්ත්‍රික උපක්‍රමයක් නොමැත. ඒ වෙනුවට සුක්කානම කරකවනවිට එය කරකැවෙන දිශාව, වේගය, යොදන බලය වැනි දත්ත පරිගණකයකට යැවෙන අතර, පරිගණකය මගින් හයිඩ්‍රොලික් පද්ධතියක් හරහා වාහනයේ රෝද රියැදුරාගේ විධාන අනුව කරකවයි.

ඉන්ෆිනිටි ඉන්ජිනේරුවන් පවසන ආකාරයට මෙවැනි ඩ්‍රයිව්-බයි-වයර් පද්ධතියක ඇති ප්‍රධාන වාසි කිහිපයකි. පලමුවෙන්ම යාන්ත්‍රික පද්ධතියක් නොමැතිවීම නිසා වාහනයේ බර අඩුවී ඉන්ධන පිරිමැස්ම වැඩිවේ. එමෙන්ම සුක්කානම හා රෝද අතර යාන්ත්‍රික සම්බන්ධතාවයක් නොමැතිවීම නිසා රළු මාවත්වල ධාවනයේදී රෝදවලට දැනෙන ගැස්ම රියැදුරාගේ දෑතට නොදැනීමෙන් ගමන වඩාත් සුඛෝපබෝගී වේ. තුන්වැන්න නම් යුරෝපයේ හා අමෙරිකාවේ අලෙවිවන වාහන බොහොමයක ඇති නවීන තාක්ශණික උපයෝගීතා වන active lane control system [වාහනය රියදුරා නොදැනුවත්ම ධාවන තීරුවෙන් ඉවත්වන විට වාහනයේ පරිගණකය මගින් නැවත වාහනය ධාවන තීරුවට යොමුකරවීමේ පද්ධතිය], adaptive cruise control system [රියැදිරාගේ මැදිහත්වීමකින් තොරව වාහනයේ වේගය නීත්‍යාණුකූල උපරිම හා අවම වේග සීමවල රඳවාගැනීමේ පරීගණක පද්ධතිය], parking assist [රියැදුරාට වාහන ඉඩ අඩු ස්ථානවල ගාල්කරගැනීම සඳහා උපකාරීවේ]  වැනි පද්ධතිවලට වාහනයේ රෝද පාලනය කිරීම පහසු කරවයි.
Related Posts Plugin for WordPress, Blogger...