ඉපැරණි අධිතාක්ශණි යුගයක් බිහිකල සුපිරි මිනිසුන්වූ රාවණ ගෝත්‍රය

රාමා ඉපැදී ඇත්තේ  මීට වසර මිලියන 1.2කට පමණ පෙර ත්‍රිත යුගය නම් කාළයේ බව හින්දු ආගමික ධර්මග්‍රන්ථ පිලිබඳ ගැඹුරින් හැදෑරූ ඉන්දීය ප්‍රාඥයින් විශ්වාස කරති. රාමාගේ සමකාලීනයෙකු වූ රාවණාද එවැනිම අති පැරැන්නෙකු යැයි උපකල්පනය කල හැකිය. නූතන විද්‍යා සොයාගැනීම් වලට අනුව නූතන මානවයා හෙවත් හෝමෝ සැපියන් වරුන් ලොව පහලවූයේ මීට වසර 200,000කට පෙර යයි උපකල්පණය වේ. ඒ ෆොසිල සටහන් හා ජානමය පර්යේෂණ ආධාරයෙනි.

එසේනම් රාමා මෙන්ම රාවණාද හෝමෝ සැපියන් විය නොහැකිය (කළබල වන්නට එපා - දිගටම කියවන්න )

නූතන මානවයාත් (homo sapiens), නියැන්ඩර්තාල් මානවයාත් (homo neanderthalensis) සමකාලීනයන් වන අතර ඔවුන් වසර ලක්ශ ගණනක් වෙන් වෙන් සමාජ වශයෙන් ජීවත්වූවා පමණක් නොව හෝමෝසැපියන් වරුන් හා නියැන්ඩර්තාල් වරුන් අතර ලිංගික සබඳතා ඇතිවී දෙමුහුන් මානවයින්ද බිහිවිය. මේ සඳහා ජානමය සාධක විද්‍යාඥයින් හට ලැබී තිබේ. නියැන්ඩර්තාල් මානවයින් භාවයට යෑම පිලිබඳව එක් කල්පිතයක් වන්නේ නියැන්ඩර්තාල් මානවයින් ඊට වඩා වේගයෙන් බෝවෙමින් වර්ධනය වූ හෝමෝ සැපියන් වරුන් හා සම්මිශ්‍රව නියැන්ඩර්තාල් ලක්ශණ නිලීනව ගිය බවයි. නියැන්ඩර්තාල් ජාන අඩංගු මානව ගෝත්‍ර අදත් අප අතර වාසය කරති. ඒ අනුව නියැන්ඩර්තාලුන් අභාවයට ගියත් ඔවුන්ගේ ජාන තවමත් මානව ශරීර තුල නොනැසී පවතී.

Homo heidelbergensis
දැනට පිලිගැනෙන මතය අනුව නියැන්ඩර්තාල් මානවයා හා හෝමෝසැපියන් මානවයා යන දෙවර්ගයම හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස් (හෝමෝ රොඩේසියන්සිස්) යන මානවයාගෙනි. හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස් මානවයා වසර මිලියන 1.3 කාලයක සිට වසර ලක්ශ 2ක් තරම් මෑතක් වන තුරුම ලොව රජකල අතර නූතන මානවයාට බෝහෝ සෙයින් සමාන, හෝමෝ සැපියන්ගේ මොළය තරම්ම විශාල මොළයක් සහිත දියුණු මානවයෙකි.

එනම් හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස් ජීවත්ව ඇත්තේ හින්දු යුග වලට අනුව ත්‍රීත යුගයේදී යයි කිව හැකිය.

7ක් පමණ උස, පුළුල් ශක්තිමත් ශරීරවලින් හෙබි, ආරෝහ පරිණාහ දේහයකින් සමන්විත වූ හිඩෙල්බර්ජෙන්සිස් මානවයා ඉහල බුද්ධියකින්ද යුතුවූවාය.

ශ්‍රී ලාංකික/දකුණු ආසියාතික මිනිසුන්ට වඩා උස මහත අමෙරිකානුවෙකුගේ සාමාන්‍ය උස අඩි 5කුත් අඟල් 9ක් පමණ යයි අමෙරිකානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පවසයි. අඩි 7ක් උස හිඩෙල්බර්ජෙන්සිස් මානවයා අමෙරිකානුවෙකු අභියස වුවද යෝධයෙකු මෙන් දිස්වේ.

දැනට ඇති විද්‍යාත්මක මතය නම් දියුණු තාක්ශණික සිශ්ඨාචාරයක් ඇතිකල එකම මානවයා හෝමෝ සැපියන්ය. එයද සිදුවීයේ වසර 200,000 තරම් මෑත කාලයකදීය (පෘථිවි ඉතිහාසය හා බුද්ධිමත් මානවරූපී ද්වීපාදිකයින් intelligent hominid bipeds -  ලොව සැරිසැරූ වසර මිලියන 7ක කාල පරිච්ඡේදය හා සසඳනවිට)
.
2010 වසරේදී අන්තර්ජාතික පර්යේශණ කණ්ඩායමක් විසින් ආදීතම මානවයින් මීට වසර මිලියන 3.4කට පමණ පෙර ශිලා ආයුධ භාවිතාකල බවට පැහැදිලි සාක්ශි ඉතියෝපියාවෙන් සොයාගෙන තිබේ. ගල් ආයුධ යොදාගෙන මරාගත් සතුන්ගේ ඇටකටු වල එම ගල් ආයුධ භාවිතා කිරීමෙන් සටහන්වූ කැපීම් සටහන් ආධාරයෙන් මෙම නිගමනයට එළඹී තිබේ. ඊට පෙර ශිලා ආයුධ භාවිතය පටන්ගත්තේ වසර මිලියන 2.6කට පෙර බවට නිගමනය කොට තිබුණි. ඒ, එතෙක් හමුවූ පැරණිතම ගල් ආයුධ ඒ කාලයේ නිර්මාණය කල බවට නිගමනය කොට තිබූ බැවිනි. 2010 සොයාගැනීමට අනුව ශිලා ආයුධ භාවිතය වසර 800,000 තරම් විශාල කාල පරිච්ඡේදයකට පෙර සිට සිදුවී ඇතිබව තහවුරු වී ඇත.

එනම් මානවයාගේ දියුණුව ඉතා මෑතකදී සිදුවූවක් යන කල්පිතය හා හෝමෝ සැපියන් වරුන් අන් සියළු මානවයින්ට වඩා උසස් බවට පලවන කල්පිත වියැකී යන්නට පටන්ගෙන ඇත.

දැන් මානව විද්‍යාඥයින් පවසන අන්දමට පරිණාමයේ හිනිපෙත්ත හෝමෝ සැපියන් මානවයා නොවේ. පරිණාමය යන ක්‍රියාදාමය, රේඛීයව (linear) නිශ්චිත ඉලක්කයක් කරා යන්නක් නොව විවිධ පරිසර තත්වයන්ට අනුව සත්වයන් අනුවර්තනය කරවමින් හැඩගැස්වීමේ ක්‍රියාවලියක් පමණකි. ඒ අනුව මීට පෙර කාළයකද දියුණු මානවයින් සිටියා යන්න උපකල්පණය කල හැකිය. ඔවුන් හෝමෝ සැපියන්ද නැතිනම් ඊට පෙර සිටි මානව වර්ගයක්ද යන්න පැහැදිලි නැතත් ඔවුන් හෝමෝ සැපියන් නොවුනු පලියටම නොදියුණු යයි සිතීම මුලාවකි. උදාහරණයක් ලෙස මිනිස් මොලය තරම්ම විශාල මොලයක් තිබූ අඩි 7ක් උස උත්ටුංග දේහදාරී හොමෝ හිඩෙල්බර්ජෙන්සිස් දියුණු සිස්ඨාචාරයක් ඇති නොකලා යයි කිව හැක්කේ කාටද? මීට වසර මිලියන 1.3කට පෙර ලොව සැරිසැරීම ආරම්භ කල මේ මානවයා වසර ලක්ශ කිහිපයක ඇවෑමෙන් අද මෙන්ම හෝ ඊට සමාන දියුණු තාක්ශණික සිශ්ඨාචාරයක් ඇති කලා විය හැකිය.

වසර ලක්ශ කිහිපයක ඇවෑමෙන්, ශීත යුග වලින් අයිස් බෝල බවට පත්වි නැවට උණුසුම් පෘථිවියේ නිරන්තර ඛාදනයන්ට හසුව මෙම මානවයින් සිදුකල තාක්ශණික නිර්මාණ දුහුවිලි බවට පත්වන්නට ඇත. නැතහොත් අනාගත පුරාවිද්‍යාඥයින්ට සොයාගත හැකිවන ලෙස පෘථිවියේ තවමත් ගවේෂණයට බඳුන් නොවූ ප්‍රදේශයක, නැතහොත් මුහුදු පතුලේ ගිලී තිබෙන්නට පුළුවන.

රාවණා මෙන්ම රාමා හා සිතාද, ලක්ශ්මණ හා විභිෂණද හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස් මානව ගණයේ දියුණු මානවයින් වීමට ඉඩක් නැතැයි සිතනවාද? සියල්ල සිදුවූයේ පසුගිය වසර ලක්ශ 2 දෙක තුල පමණක්ද? ගෞතම බුදුන්වහන්සේ පවසන ආකාරයට උන්වහන්සේට පෙර බුදුවරුන් 27 නමක් ලොව පහලවී දහම් දෙසා ඇත. මේ 27 දෙනාම පහල වූයේ වසර ලක්ශ 2ක් වැනි සුළු කාලයක් තුලදීද? එසේනම් සෑම වසර 7400කට වරක්ම බුදුවරයෙකු පහලවී තිබේ. සෑම බුදුවරයෙකුම හෝමෝ සැපියන් මානවගණයේ යයි සළකන්නේ නම් හා ෆොසිල සාධක සත්‍ය නම් එසේ විය යුතුය. නැතහොත් සැපියන්ට පෙර ජීවත්වූ ආදී මානවයින් අතරින්ද බුදුවරුන් මෙම මහ රහතුන්ද බිහිවී ඇතැයි සිතිය යුතු නොවේද? එසේත් නැතිනම් විද්‍යාව කුමක් කීවද වසර කෝටි ගණනාවක්ම හෝමෝ සැපියන්වරුන්ම ලොව පාලනය කල එකම මානව ගණය විය යුතුය.

එපමණක් නොව මේ බුදුවරුන් ධර්මදේශනා පැවැත්වූයේ කාහටද යන්නද ගැටළුවකි. ගල් ආයුධ වලින් කොටමින්, යන්තම් සතෙකු මරාගෙන, මස් කෑලි ගින්නේ පලහා කමින් සිටි වනචාරින්ට (හෝමෝ සැපියන්ට පෙර සිටියවන් ගැන විද්‍යාව කියන ආකාරයට) ගැඹුරු දහමක් අවබෝධ කොටගත හැකිද? එසේනම් මේ බුදුවරුන් පහලවූ යුගවල ගැඹුරු, තර්කානුකූල දහමක් අවබොධකරගත හැකි, අතිශය දියුණු මනසක් සහිත මානවයින්ද සිටිය යුතුමය. ඔවුන් හෝමෝ සැපියන්ද නැද්ද යන්න ඔබ තීරණය කරන්න.

විද්‍යාව 100% සත්‍යයිද, ඉන් කියවෙනදේ පමණක් ගතයුතු යයි සිතීම විශාල මුලාවකි. 2010ට පෙර මුද්‍රණය කල සියලු මානව විද්‍යා හා පුරා විද්‍යා පොත්වල සටහන්ව තිබුණේ මානවයින් ශිලා ආයුද නිපදවන්නට පටන් ගත්තේ වසර මිලියන් 2.6කට පෙර සිට බවයි. 2010 ඉතියෝපියානු සොයාගැනීම් වලින් මෙය වසර 800,000ක් අතීතයට ගියේය. විද්‍යාවේ ස්වරූපය එයයි. නිරීක්ශණ මත ගොඩනැගූ කල්පිත උඩ විද්‍යාව දිවෙයි. අලුත් යමක් නිරීක්ශණය වූවිට, කල්පිත වෙනස් වෙයි, සිද්ධාන්ත අලුත්වෙයි.

ආගමික විශ්වාසද එලෙසමය. (මේ කතාකරන්නේ බුද්ධ දේශණා පිලිබඳව නොවේ - විශ්වාස හා මතිමතාන්තර ගැන පමණී)  ඒවාද 100% විශ්වාස කල යුතු නොවේ. ඒවා කාලානුරූපව වෙනස් වෙමින් පැමිණ ඇති නිසා මුල් සත්‍යය කුමක් දැයි දැන ගැනීම උගහටය.

රාවණ, රාමා හා සීතා 

රාමායනයේ කුමක් කීවද, ඉපැරණි යුගයක අහසින් යා හැකි යන්ත්‍ර තිබූ, ලක්ශ ගණනින් ජනයා විසූ දියුණු නගර තිබූ, එම දැවැන්ත නගර මොහොතින් අළුදුහුවිලි බවට පතකල හැකි බිහිසුණු අවි තිබූ කාල වකවාණුවක් (හෝ වකවාණු කිහිපයක්ම) මෙම පෘථිවියේ තිබූ බව රාමායනයටත් වඩා පැරණි මූලාශ්‍ර විශාල ප්‍රමාණයකින් කියැවේ. ඒවා ප්‍රබන්ධද නැද්ද යන්න තීරණය කිරීමට ඉක්මණ් නොවන්න. සියල්ල විවෘත මනසකින් දකින්න.

ඉපැරණි පිටසක්වලයින් ලබාදුන් තාක්ශණයෙන් මෙම සිශ්ඨාචාර බිහිවූ බව එක් මතයකි. ඒ මතයට අනුව පිටසක්වලින් පැමිණි මානව රූපී දියුණු ජීවීන් මිනිසාට තාක්ශණ ඥාණය ලබාදී ඔවුන්ව දියුණු කරවා යන්නට ගියෝය. රාමා සීතා හා රාවණ එවැනි පිටසක්වලයින් විසින් දියුණු කරවන ලද ආදී මානව ගෝත්‍ර කිහිපයකට අයිති, අධි තාක්ශණික සිශ්ඨාචාරයක වැසියන් විය හැකිය.

එසේත් නොමැතිනම් වසර ලක්ශ 2ක් තරම් ලාබාල හෝමෝ සැපියන් ගෝත්‍රයට පෙර විසූ, එලෙසම බුද්ධිමත් මානව ගෝත්‍රයක් දියුණුවේ හිනිපෙත්තේ පැවති අවධියේ විසූ ඇත්තන් විය හැකිය. ඒ ස්වර්ණමය යුගය පිලිබඳ මතක සටහන් වසර ලක්ශ ගණනක් පුරා කටික් කට (හෝ ලිඛිතව ) පැමිණ දැන් දේව කතා ලෙස ලොව පුරා තවමත් සැරිසරයි.

එමෙන්ම රාවණා පිලිබඳ උනන්දුවක් දක්වන ලාංකිකයින් නොදන්නා කරුණක් වන්නේ රාවණ කතාව ලංකාවට හා ඉන්දියාවට පමණක් සීමාවූ කථාවක් නොවන බවයි. රාවනා පිලිබඳ පුරාවෘත බුරුමය, ඉන්දුනීසියාව, ජාවා/සුමාත්‍රා, ලාඕසය, කම්පූචියාව, තායිලන්තය වැනි රටවල් ගණනාවක පැතිර පවතින බවයි. ඔවුන් රාවණා පිලිබඳව ඇති විශ්වාසද අප තුල ඇති විශ්වාස වලට යම් දුරකට සමානය. බුරුමයේ, ඉන්දුනීසියාවේ මෙන්ම මැලේසියාවේද, ඔවුනටම ආවේණික රාම රාවණ සංග්‍රාමයක් පිලිබඳව විස්තර කෙරෙයි. ඒ අනුව රාම රාවණ හා සිතා මෙන්ම ලක්ශ්මණ හා විභිශණද ආසියාව පුරාම හොඳින් දන්නා චරිත පෙළකි.

මේ සියල්ලම ඉන්දියාවේ වාල්මිකී විසින් ලියන ලද රාමායනයට සමාන ලෙස දැන් අනුවර්තනය වී ඇතත් මුලු මහත් අග්නිදිග ආසියාවම ඉන්දියානු වාල්මිකීගේ කාව්‍යයක් සිය සංස්කෘතියට මුලුමනින්ම වැද්ද ගත්තා යයි සිතිය නොහැකිය. එසේනම් අනෙකුත් ඉන්දියානු වෘත, උදාහරණයක් ලෙස මහා භාරත් කාව්‍යයද එලෙසම එම රටවල සංස්කෘතියන් තුල මුල් බැසගෙන තිබිය යුතුය. එහෙත් එවැන්නක් පිලිබඳව අසන්නට නොලැබේ.උදාහරණයක් ලෙස මහාභාරත කාව්‍යය, භගවත් ගීතාව, භගවත් පුරාණය වැනි හින්දු ග්‍රන්ථ මෙන්ම වේද ග්‍රන්ථ හා ඒවායේ කථාපුවත්ද මේ අග්නිදිග ආසියාතික සංස්කෘතිවල මුල් බැසගෙන නැත. එහෙත් රාමායනය එසේ වී ඇත. මෙයට හේතුව රාමායනයේ විස්තර කරන කතාවස්තුව පිලිබඳ දැනුමක් මෙම සංස්කෘතීන් තුල, රාමයනය ලියවීමටත් පෙර සිටම තිබූ බවට විශ්වාස කල හැකිය. සම්පූර්ණයෙන්ම ආගත්තුක යමක් සංකෘතියකට එකතුවන වාට වඩා පහසුවෙන් ආගන්තුක නොවන, යම් අවබෝධයක් ඇති යමක් සංකෘතියක් තුලට පහසුවෙන් එක්වී අනුවර්තනය වේ.

අසුරයෙකු ලෙස හැඳින්වෙන රාවණ දියුණු පෘථිවි වැසි මානවයෙකු වනවිට සුරයෙකු වූ රාම පිටසක්වලයෙකු වූවා විය නොහැකිද?

හැඩි දැඩි රාවණ පෘථිවි වාසී, හෝමෝ සැපියන් හෝ වෙනත් හෝමෝ ගෝත්‍රයේ දියුණු මානවයෙකු වන විට, මටසිළුටු රාමා හා සියුමැලි සීතා පිටසක්වලයින් වීමටද ඉඩ ඇත. පිටසක්වලින් පැමිණියවුන් දෙවියන් ලෙස ඇදහීම ලොව පුරාම සංකෘතීන් වල ලක්ශණයකි. අහසින් යන යානා වලින් පැමිණෙන, දිලිසෙන සන්නාහ ඇඳුම් කට්ටල වලින් සැරසුන, නිම්හිම් නොමැති සේ පෙනෙන තාක්ශණික බලමහිමයන් ගෙන් සපිරුණු මොවුන් පෘථිවි වැසි "නොදියුණු මානවයින්" කෙරෙහි අණුකම්පාවෙන් ඔවුන් දියුණු ජීවීන් කිරීමේ හා සිලාචාර කිරීමේ "උදාරතර පරමාර්ථයෙන්" කටයුතුකලා වන්නටද පුලුවන.

රාම වැනි පිටසක්වලයින්ගේ මේ උද්ධච්ඡ ක්‍රියාකලාපය පෘථිවි වාසී දියුණු මානවයින් වූ රාවණ හා ඔහුගේ සමකාලීනයින් නොඉවසන්නට ඇතැයිද සිතිය හැකිය.

උදාහරණයක් ලෙස 1930ගණන් වල උපතලැබූ නට්සිවාදයට අනුව ලොව උසස්ම ජාතිය වන්නේ ආර්ය ජර්මන් ජාතියයි. ඔවුන් නෝර්ඩික් දෙවිවරුන් ගෙන් පැවත එන සුදු, උස උත්තුංග දේහධාරී, නිල් ඇස් හා රන්වන් හිසකෙස් ඇති සුපිරි මිනිසුන් බව නට්සීන් විශ්වාස කලහ. මෙම විශ්වාසවලට පදනම වූයේ නෝර්ඩික් දේවකතා වල එන ඇස්ගාර්ඩියන් නම් දේව ගෝත්‍රයයි. අමෙරිකාවේ මාර්වල් කොමික්ස් චිත්‍රපට සමාගම "තෝර්" චිත්‍රපට මාලාවෙන් ජනප්‍රිය කොට ඇට්තේ නට්සීන් සිය ආත්මය කරගත් නෝර්ඩික් පුරාවෘතයයි. තෝර් චිත්‍රපටයට අනුව ඇස්ගාඩියන් වරු මිනිස් ලෝකය හා තවත් දියුණු මානවයින් වසන ලෝක 6ක් ආරක්ශා කිරීමේ වගකීම ඇති ලෝක පාලක දේවියන් ලෙස පෙනී සිටින මානවරූපී  පිටසක්වල ජීවීන් පිරිසකි.

තෝර් විසින්ම පලමුවන චිත්‍රපටයේදී සිය ප්‍රසාදියා (admirer) වන ජේන් ෆොස්ටර් විද්‍යාඥවරියට පවසන අන්දමට ඇස්ගාර්ඩ් යනුවෙන් හඳුන්වන ඔවුන්ගේ ලෝකය තාක්ශණය ඉතා දියුණු මට්ටකමක් පවතින අතර එය කොතරම් දියුණුද යත් ඔවුන්ගේ තාක්ශණික හැකියාවන් ඉන්ද්‍රජාල මායාවන් ගෙන වෙන් කොට හඳුනා ගත හැකිය.

"Your Ancestors Called it Magic, but you call it Science. I Come From a Land Where They Are One and the Same"


තෝර් සිය ලෝකය වන ඇස්ගාර්ඩ් පිලිබඳව ජේන් ෆොස්ටර්ට විස්තර කරමින් සිටී....
තෝර් සිය ආදිකතෘ දෙවියා කරගත් නට්සීන් මුලු ලෝකයම සිලාචාර කිරීමේ හා සිස්ඨාචාරගත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකල අතර දෙවන ලෝකය යුද්ධය ලෙස පසුකලක හඳුන්වන්නට පටන්ගත්තේ මේ නට්සි ව්‍යාපෘතියයි. නෝර්ඩික් දෙවියන්ගෙන් පැවත එන නිල් දෑස් ඇති, රන්වන් හිසකෙස් ඇති  සුදු නට්සීන්ගේ ව්‍යාපෘතියට විරුද්ධව මහපොලොවේ උපන් මිනිසුන් අවි අතට ගෙන දිවිහිමියෙන් සටන්කලාක් මෙන් එදා රාවණ හා ඔහුගේ සමකාලීනයන් එක් පෙරමුණකට පැමිණ  පිටසක්වල රාමා, සීතා, ලක්ශ්මණ හා හනුමාගේ සිලාචාර හා සිස්ඨාචාරගත කිරීමේ ආක්‍රමණික ව්‍යාපෘතියට විරුද්ධවද සටන් වදින්නට ඇත.

තමන් නොදියුණු අසුරයන් යයි පිලිකෙව් කරමින්, දුර්වල මිනිසුන්ට තමුන් දෙවියන් යයි පෙන්වා ගනිමින් රාමා ඇතුළු දේව නඩය ගෙනයන වැඩපිලිවෙල වහල් ව්‍යාපෘතියක් ලෙස සැළකූම මහ පොලොවේ උපන් දියුණු මානව ගෝත්‍රයක් වූ වන රාවණ හා සමකාලීනයන් පිටසක්වලයින්ට නොදෙවෙනි ආකාරයටම සිය තාක්ශණය දියුණු කරගන්නට ඇත. සියා යානා වලින් අහසින් යමින් දෙවියන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් නොමග යවමින් සිටි රාමලාට පාඩමක් ඉගැන්වීමට මෙන්ම නොමග ගිය මිනිසුන් යලි හරවා ගැනීමටද රාවණ සිය තාක්ශණික ශිල්ප ඥාණය යොදාගන්න්ට ඇත.

"බලපල්ලා උන්ට පුළුවන් හැම දේම අපිටත් පුලුවන්.....උන් දෙවියන් නොව අප වැනිම ප්‍රාණීන් පිරිසකි...දැන්වත් රාමා ඉදිරියේ දණින් නොවැටී මිනිසුන් ලෙස සිට ගනියව්!!!" කියන්නාක් මෙන් පිටසක්වල රාමගේ පියාසර විමාන පරදවන්නට සිය දඬු මොණර යානා අහසේ කරණම් ගස්වමින් රාවණා ඇතුලු මානව සේනා, මානවයන්ගේ තාක්ශණ මහිමය විදහා දක්වන්නට ඇත. හෝමෝ සැපියන් වුවද, හෝමෝ නියැන්ඩර්තලෙන්සිස් වුවද, ඊට පෙර විසූ හෝමෝ හිඩෙල්බර්ජෙන්සිස් වුවද, යටත්ව සිටීම කිසිවිටකත් හෝමෝ ගණයේ මානවයින්ගේ ලක්ශණයක් නොවීය.

විශාලවූත්, දියුණුවූත් මොළය, ද්වීපාදික ගමන, සුනම්‍ය ලෙස මෙහෙයවිය හැකි ඇඟිලි පහකින් යුතු දෑත යන ලක්ශණ නිසා ඉතා ඉක්මණින් අණුවර්තනය වීමේ හැකියාව, සතුරාගෙන් වුවද ඉගෙන ගැනීමේ හැකියාව, උගත්දේ වැඩි දියුණු කරගැනීමේ හැකියාව, නිර්මාණශීලීත්වය යනාදී හැකියාවන් තිබෙන්නේ සැපියන් මානවයාට පමණක් යයි කිව හැක්කේ කාටද? හෝමෝ ගණයේම නියැන්ඩර්තාලෙන්සිස් හට හෝ හිඩෙල්බර්ජෙන්සිස් හට මේ හැකියාව නොතිබුණේ යයි කාට කිව හැකිද?

:: සබැඳි ලිපි ::

රාවණා රජුගේ දඬුමොණර එන්ජිම යලිත් ප්‍රතිර්මාණය කරමු....
dදඬුමොණර/විමාන තාක්ෂණය නූතන යුධ ගුවන්යානා තාක්ෂණයට අනුව කියවමු..
dශ්‍රී ලාංකිකයෙකු අතින් නිමැවෙන රසදිය සුළි එන්ජිමක් හා ස්පන්ධන ප්‍රස්ඵෝටන එන්ජින් සහිත ප්‍රහාරක යානයක්??
dස්වභාවික කොරල් වැටියක්ද? රාමායනයේ කියවෙන හනුමාන් තැනූ පාලමද?

වසර දහස් ගණනක් පිටසක්වල රාමාට යටත්ව සිටිමින්, ඔවුන්ගෙන් උගත හැකි හැමදේම උගෙන රාමලාගේ තාක්ශණයට සමාන තාක්ශණයක් බිහිකර ගැනීමට වසර ලක්ශ ගණනකට පෙර ජීවත්වූ රාවණා ප්‍රමුඛ මානවයින්ට හැකියාව ලැබෙන්නට ඇතැයි කිව නොහැකිද? මෙහි කූටප්‍රාප්තිය රමා රාවණ යුධය විය නොහැකිද?

පිටසක්වල රාම හා මානව රාවණ එක් ශක්‍යතාවයක් (possibility) පමණි. රාමා මෙන්ම රාවණාද සමාන්තරව දියුණුවූ, එකිනෙකා නොරිස්සන මානව ගණදෙකක් වීමටද ඉඩ තිබේ. තාක්ශණික දියුණුවේ හිණි පෙත්තටම ගොස්, න්‍යශ්ඨික අවි නිපදවාගෙන එම අවි වලින් යුධවැදී ඉරණම විසඳා ගන්නට ගොස් නැවතත් ගල් යුගයට වැටුනු අවාසනාවන්ත ඛේදවාචකයක කාව්‍යමය සටහන රාමායනය වීමටද ඉඩ ඇත.

කතෘ සටහන : මෙය කියවන විට, වාල්මිකීගේ ප්‍රබන්ධයක්, හින්දු යුග කාල, රාවන ඇදහිල්ල හා නූතන විද්‍යාව පටලවාගෙන ඇතැයි ඔබට සිතිය හැකිය. එසේ සිතීමේ වැරැද්දක් නැත. එහෙත් මාවිසින් සිදුකොට ඇත්තේ සිදුවිය හැක්කක්, කල්පිතයක් ලෙස ගොඩ නැගීම පමණකි. එබැවින් මේ ලිපිය කල්පිතයක් ලෙස පමණක් ගෙන සළකන්න.


READER COMMENTS

ඔබ තුමාගෙන් මෙවැනි සුරංගනා කතාවක්නම් මම කොහොමවත් බලාපොරොත්තු වුනේ නෑ. on ඉපැරණි අධිතාක්ශණි යුගයක් බිහිකල සුපිරි මිනිසුන්වූ රාවණ ගෝත්‍රය


හිතවත් ධර්ම ශ්‍රී මහතාණෙනි; මාගේ ලිපිය සුරංගනා කතාවක් ලෙස සැළකීමට ඔබට ඇති අයිතිය පිලිගනිමි, එමෙන්ම ගරු කරමි. එහෙත් පිලිතුරක් සැපයිමට අවසර ඇතැයි සිතමි....

පලමුවෙන්ම මාගේ ලිපියේ කුමන කොටස සුරංගණා කතාවක් සේ පෙනෙන්නේ දැයි දැන ගැනීමට කැමැත්තෙමි. එහි ආදී මානවයන් පිලිබඳව කොට ඇති විස්තර ශාස්ත්‍රීය ලිපි හොඳින් පරිශීලනය කොට ලියා ඇත. රාම හා රාවණා පිලිබඳ විස්තරද එලෙසමය.

මා විසින් සිදුකොට ඇත්තේ මෙම විද්‍යාත්මක හා සංස්කෘතික කරුණු එකිනෙක ගැටගැසිය හැකි කල්පිතයක් ඉදිරිපත් කිරීම පමණකි. කල්පිතයක් යනු ඉංග්‍රීසියෙන් කොන්සෙප්ට් එකක් හෙවත් යමක් පහදාදීමේ හෝ විස්තර කිරීමෙහිලා භාවිතා කල හැකි උපකළ්පණ අඩංගු ප්‍රකාශයකටය.

මාවිසින් සිදුකොට ඇත්තේද එවැනි උපකල්පණ සහිත කොන්සෙප්ට් එකක් ගෙන හැර දැක්වීම පමණකි. තවත් ඕනෑම කෙනෙකුට එවැනි කල්පිත ඉදිරිපත් කිරීමේ නිදහස ඇත. 

ලංකාවේ රාවණා පුරාවෘතය ඈඳාගෙන බොහෝ බහුබූත ව්‍යාපෘති සිදුවෙයි. මුලුලොවටම තාක්ශණය බෙදුවේ රාවණා ප්‍රමුඛ සිංහ මිනිසුන් හෙවත් ආදී සිංහලයින් බව එක් බහුබූතයකි. ඉපැරණි සුමේරුයානු පුරාවෘත වල අහසින් පැමිණි සිංහ මිනිසුන් තමන්ට දියුණු තාක්ශණයක් දායාද කල බව සටහන් කොට ඇත. රාවණාගේ දඬුමොණරය හා සිංහල ජාතියේ සංකේතය වන සිංහයා ඈඳාගෙන ඉදිපත්කරන මෙම කල්පිත මාවිසින් ඉදිරිපත් කොට ඇති කල්පිතයට වඩා බොහෝ දුර්වල බව මගේ හැඟීමයි.

ලොවම සිවිලයිස් කිරීමේ අතීතකාමී ආශාව අප ජාතිය තුල ඇති මහා දුර්වල කමකි. ගැහැණුන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, උගතුන්ට ගරු කරන්නට, සළකන්නට නොදත්, පාදඩයින් වීරත්වයේ ලා සළකන, පාදඩයින්ටම චන්දය දෙන, පාදඩයින්ගේ පා දුහුවිලි වන්නට උපන් හපන්කමක් ඇති නූතන සිංහල ජාතිය මේ පරාධීන බව නිසාදෝ අතීත වීරක්‍රියාවලට මහත් රුචියක් දක්වයි. හරියටම "අපි දැන් බල්ලා මාක් වුනාට ඒ කාලේ ලෝකේ හෙල්ලු පොරවල්..." යනුවෙන් කියන්නාක් මෙනි.

ධර්ම ශ්‍රී මහතාණෙනි, මාගේ මේ ලිපිය එවැනි අතීතකාමී මායාවක් නොවේ. මාගේ කල්පිතය අනුව රාවණා යනු, ඔබත් මමත් අයිතිවන හෝමෝ සැපියන් ගණයේ මානවයෙකුද නොවේ. ඒ අනුව ඔහු සිංහලයෙකුද, දෙමළෙකුද ඉන්දියානුවෙකුද නොවේ. මා සිතන පරිද්දෙන් රාවණා යනුවෙන් මහා බලසම්පන්න, මහා ප්‍රාඥයකින් මෙන්ම තාක්ශණයේ හිනිපෙත්තේ සිටි පුද්ගලයෙකු සිටියානම්, ඔහු හා ඔහුගේ වර්ගයා හෝමෝ සැපියන්වරුන් පහලවීමටත් පෙර ජීවත්වුනු වෙනත් මානව ගෝත්‍රයක සාමාජිකයෙකි.


Vidya Gaweshana - Terence K Arachchi


මම දවසක් ඔය බුදු වරුන්ගේ කතාව මඩවල උපාලි හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඔය කියන බුදුවරු 27 දෙනා කොහෙද ඉපදුනේ? දැනට අපි දන්නා විද්‍යාවත් එක්ක ඒක පිළිගන්න බැරි කතාවක් නේද කියල. මොකද බුද්ධිමත් ලෙස සැලකිය හැකි මිනිස්සු ජිවත් වූ කාලයත් බුද්ධ දේශනාවේ සඳහන් කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරන කතාවත් එකිනෙකට පරස්පරයි නේද කියල.. ඒ හාමුදුරුවෝ කිව්වේ මෙන්න මෙහෙම දෙයක් ඔය හැම බුදු කෙනෙක් ම ඉඳල තියෙන්නේ මේ පෘථිවියේ තමයි. හැමදාම සිද්ද වෙන්නේ මේ විදියට මිනිස්සු පරිණාමය වෙලා දියුණු වෙලා විනාශ වෙලා යනවා. ආයේ නැවත මේ පෘථිවියේම ජිවය හට ගන්නවා මිනිස්සු දියුණු වෙනවා බුදු වරු පහල වෙනවා ආයේ විනාශ වෙලා යනවා කියන එක. ඒ කියන්නේ මේක එක සැරයක් සිද්ද වෙච්ච දෙයක් නෙවෙයි. ඔය කතාව බිග් බෑන් තියරි එකයි. පුරාණ වේදයේ එන ලෝකය ඇතිවීම කියන දේ එක්කත් ගලපන්න පුළුවන්. දැන් වෙනකොට විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා බිග් බෑන් එක සිද්ද වෙන්න කලින් ඒ සියලුම ශක්තිය පුංචි ගෝලාකාර වස්තුවක් විදියට තියෙන්න ඇති කියල. (COSMOS සිරිස් එකේ එක කොටසකදී ඔය කතාව කියනවා ). වේද ග්‍රන්ථ වල ඕක සඳහන් වෙන්නේ හිරන්‍ය ගර්භය කියල. හිරන්‍ය ගර්භය කියන්නේ පුංචි ගෝලාකාර on ඉපැරණි අධිතාක්ශණි යුගයක් බිහිකල සුපිරි මිනිසුන්වූ රාවණ ගෝත්‍රය






Comments

  1. මම දවසක් ඔය බුදු වරුන්ගේ කතාව මඩවල උපාලි හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඔය කියන බුදුවරු 27 දෙනා කොහෙද ඉපදුනේ? දැනට අපි දන්නා විද්‍යාවත් එක්ක ඒක පිළිගන්න බැරි කතාවක් නේද කියල. මොකද බුද්ධිමත් ලෙස සැලකිය හැකි මිනිස්සු ජිවත් වූ කාලයත් බුද්ධ දේශනාවේ සඳහන් කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරන කතාවත් එකිනෙකට පරස්පරයි නේද කියල.. ඒ හාමුදුරුවෝ කිව්වේ මෙන්න මෙහෙම දෙයක්

    ඔය හැම බුදු කෙනෙක් ම ඉඳල තියෙන්නේ මේ පෘථිවියේ තමයි. හැමදාම සිද්ද වෙන්නේ මේ විදියට මිනිස්සු පරිණාමය වෙලා දියුණු වෙලා විනාශ වෙලා යනවා. ආයේ නැවත මේ පෘථිවියේම ජිවය හට ගන්නවා මිනිස්සු දියුණු වෙනවා බුදු වරු පහල වෙනවා ආයේ විනාශ වෙලා යනවා කියන එක.

    ඒ කියන්නේ මේක එක සැරයක් සිද්ද වෙච්ච දෙයක් නෙවෙයි. ඔය කතාව බිග් බෑන් තියරි එකයි. පුරාණ වේදයේ එන ලෝකය ඇතිවීම කියන දේ එක්කත් ගලපන්න පුළුවන්.

    දැන් වෙනකොට විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා බිග් බෑන් එක සිද්ද වෙන්න කලින් ඒ සියලුම ශක්තිය පුංචි ගෝලාකාර වස්තුවක් විදියට තියෙන්න ඇති කියල. (COSMOS සිරිස් එකේ එක කොටසකදී ඔය කතාව කියනවා ). වේද ග්‍රන්ථ වල ඕක සඳහන් වෙන්නේ හිරන්‍ය ගර්භය කියල. හිරන්‍ය ගර්භය කියන්නේ පුංචි ගෝලාකාර වස්තුවක් විශ්වය නිර්මාණය වීමේ සම්පුර්ණ මූල ශක්තිය ඒ තුල තියෙනවා. ඒක පුපුරලා විශ්වය නිර්මාණය වෙනවා. නැවත කාලයක් ගියාම විශ්වය හැකිලිලා ආයෙත් හිරන්‍ය ගර්භයක් බවට පත්වෙනවා කියල. විද්‍යාවේ එන විශ්වය ප්‍රසාරණය වීම සහ හැකිලීම කියන දේ එක්ක මේ කතා මැච් වෙනවා.

    මම හිතන්නේ අවුරදු බිලියන ගානක් තිස්සේ චක්‍රාකාරව සිද්ද වෙන මේ ක්‍රියා දාමය තමයි බුද්ද දේශනාවේ තියෙන්නේ. රාම, රාවණා, ඇට්ලන්ටිස්, ග්‍රීක දෙවිවරු, ඔය හැමෝම මේ විශ්ව චක්‍රයේ යම් යම් කාල වල ඇත්තට හිටපු අය වෙන්න පුළුවන්

    ReplyDelete
  2. ඔබ තුමාගෙන් මෙවැනි සුරංගනා කතාවක්නම් මම කොහොමවත් බලාපොරොත්තු වුනේ නෑ.

    ReplyDelete
  3. විද්‍යාවයි බුදු දහමයි පරස්පරයි. ඒ දෙක සංසන්දනය කරලා බලන්න එපා.

    ReplyDelete

Post a Comment