ගූගල් නම වෙනස් කරගනී; මව් සමාගම දැන් "ඇල්ෆබට්" | Google Inc. changes name to "Alphabet"

පහුගිය සති දෙක තුනේම වැඩ ගොඩ ගැහිලා තිබුණා. අලුතින් පටන්ගන්න විශ්වවිද්‍යාල පාඨමාලාවක විෂය නිර්දේෂයේ වැඩ අවසන්කරන්න දින නියමකරලා තිබුණ නිසා නියමිත දිනේට වැඩේ අවසන් කරලා UGC එකට විශය නිර්දේශය යවන්න වෙහෙසුන හින්දා ලිපියක් ලියන්නත් බැරිවුනා. ඒ අස්සේ මුලු ලංකාවම චන්ද උණුසුමින් ඔද්දල්වෙලා අලියාද අප්පචිද කියලා වාදකරමින් ඉන්න අතරේ දන්නෙම නැතුව තාක්ශණික ලෝකයේ ලොකු පෙරලියක් වෙලා.

ඒ තමයි ලෝක ප්‍රකට ගූගල් සමාගම, සිය ව්‍යාපාරික නාමය වෙනස් කරන්න තීරණය කරපු එක. මෙතක් කල්, ගූගල් සමූහයේ සියලුම ව්‍යාපාර "ගූගල්" සන්නාමය යටතේ ක්‍රියාත්මක වුනා. ඒත් පසුගිය ඉරිදා ගූගල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ගේ මව් සමාගම් නාමය වෙනස් කරනවා කියලයි. ඒ අනුව ගූගල් සමූහය "ඇල්ෆබට්" කියලා අලුත් මව් සමාගමක් යටතට පත්වෙලා.

Google සන්නාමය යටතේ ගූගල් සෙවුම් යන්ත්‍රය, එය හා අනුබද්ධ දැන්වීම් ව්‍යාපාරය, ඇන්ඩ්‍රොයිඩ්, යූටියුබ්, බ්ලොගර්, ජීමේල් වගේ සේවාවන් ගොනු කරලා. ගූගල් සමාගමේ අනෙකුත් සියලුම නවෝත්පාදන ව්‍යාපෘති, ඒ කියන්නේ ගූගල් රෝබෝ කාර් ව්‍යාපෘතිය, ගූගල් ජීව් විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති වැනි ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ඇල්ෆබට් සමාගම යටතේ ක්‍රියාත්මක කරන්නට තීරණය වෙලා. ඇල්ෆබට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී තනතුර (CEO) හා අධිපති තනතුර (President) ගූගල් නිර්මාතෲවරුන් වන ලැරී පේජ් හා සර්ගෙයි බ්‍රින් දරණ බව පුවත්පත් නිවේදනයේ සඳහන් වනවා.

මේ අතර ගූගල් සන්නාමය යටතේ ක්‍රියාත්මකවන සේවා සමූහය සඳහා ප්‍රධාන විධායක (CEO) ලෙස ගූගල් සමගමේ වසර 11ක අත්දැකීම ඇති, ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් ව්‍යාපෘතිය සාර්ථක කරගෙන අද ලෝකයේ ජනප්‍රියම බ්‍රව්සරය බවට ක්‍රෝම් බ්‍රව්සරය ස්ථානගතකල ඉන්දියානු සම්භවයක් ඇති (Chennai, Tamilnadu) සුන්දර් පිචායි (Sundar Pichai) නම්කෙරුනා. සුන්දර් පිචායි ගූගල් සමාගමේ ඉන්ජිනේරුවන් අතර වගේම ආයෝජක ප්‍රජාව අතරත් ජනප්‍රියයි. ඉතා හොඳ නායකයෙකු වගේම, සුහදශීලී, කණ්ඩායම් හැඟීමක් ඇති පුද්ගලයෙකු ලෙසත්, ඒවගේම අතිදක්ශ පරිගණක ඉන්ජිනේරුවෙකු ලෙසත් සුන්දර් ගූගල් සමාගම තුල ප්‍රසිද්ධයි.

ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි
ගූගල් සිය අලුත් සමාගම් සන්නාමය ලෙස "Alphabet" තෝරාගත්තේ හේතු දෙකක් නිසා කියලා සර්ගෙයි බ්‍රින් පවසනවා. එකක් තමයි ඇල්ෆබට් හෙවත් අක්ෂරමාලාව (ආකරාදිය), මිනිස් සංහතිය විසින් සිදුකරන ලද ඉතා වැදගත්ම නිර්මාණයක් වීම. සියලුම මිනිස් ඥාණය කේතගත වෙලා තියෙන්නේ ඇල්ෆබ්ට් හෙවත් අක්ශරමාලාව ආධාරයෙන්. සියලුම මිනිස් ඥාණය ගූගල් සෙවුම් යන්ත්‍රය ආධාරයෙන් ඔබගේ පරිගණක තිරයට නැතිනම් ස්මාර්ට් ෆෝන් තිරය මතට ගෙන ඒම සිය දැක්ම හෙවත් "vision" ලෙස ඉදිරිපත් කරන ගූගල් සමාගම එම නම සිය සමාගම් සමූහය හඳුන්වන්නටද යොදාගත්තා කියලා බ්‍රින් පවසනවා. ඒවගේම "Alpha" යන්නෙන් ව්‍යාපාරික ආයෝජන ක්ෂේස්ත්‍රයේ "ආයෝජන ප්‍රතිලාභය - return on investment " හඳුන්වනවා. ඒ අනුව "Alpha-bet" යනු, ගූගල් සමාගමේ ආයෝජනයෙන් ඉහල ප්‍රතිලාබ ලැබිය හැකි බෙට් එකක් හෙවත් ලංසුවක් ලෙස ගන්න පුලුවන් බවත් බ්‍රින් පවසනවා.

මෙම ප්‍රතිසංවිධානයට අමෙරිකානු ආලෝජක ප්‍රජාව හෙවත් Wall Street එක දැක්වුයේ ඉහල ප්‍රසාදයක්. ඒ මගින් ගූගල් සමාගමට සිය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට හැකිබව ඔවුන් විශ්වාසය පලකරනවා. මෙම ප්‍රතිසංවිධාන නිවේදනයෙන් පසු ගූගල් සමාගමේ කොටස් වටිනාකම ඩොලර් බිලියන 5කින් ඉහල ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ගූගල් සමාගමට විශාල අභියෝග රැසක් තිබෙන බව ව්‍යාපාරික විශ්ලේෂකයින් පවසනවා. ගූගල් සමාගමේ බිලියන ගණනක් ආදායම ($66 billion in revenues in 2014) ලැබෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය හා යූටියුබ් හරහා ලැබෙන දැන්වීම් ආදායම් වලින්. මෙම ආදායම් මාර්ගයෙන් ඔබ්බට වෙනත් ආදායම් මාර්ග උපදවා ගන්න ගූගල් සමාගම තවමත් අසමත් වෙලා තිබෙනවා. ගූගල් සමාගමේ අතිශය සාර්ථක ව්‍යාපෘති වලින් පවා ආදායමක් උපදවා ගන්න තවමත් බැරිවෙලා තියෙනවා. උදාහරණයක් විධියට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය අද ස්මාර්ට්ෆෝන් වැඩිම ගණනක් තුල (78% - source: Statcounter) දිවෙන මෙහෙයුම් පද්ධතියයි. ඒත් ඇන්ඩ්‍රොයිඩ් නොමිලේ දෙන නිසා, එය හරහා ආදායමක් ලබාගැනීමේ උපක්‍රමයක් සොයාගන්න ගූගල්ට තවම හැකිවෙලා නෑ.


තවත් සාර්ථක ව්‍යාපෘතියක් වුනු ක්‍රෝම් බ්‍රව්සරය අද අතිශයින්ම ජනප්‍රිය වුනත් ඒ මගින් ගූගල් සමාගමට ලැබෙන අමතර ආදායමක් නෑ. ඒවගේම ගූගල් සමාගම ලැප්ටොප් පරිගණක සඳහා හඳුන්වාදුන් ක්‍රෝමියම් මෙහෙයුම් පද්ධතිය සහිත ක්‍රෝම්-බුක් ලැප්ටොප්, ප්‍රධාන ධාරාවේ ලැප්ටොප් හා නෙට්බුක් මිලදීගන්නන් විසින් ප්‍රතික්ශේප කරලා තිබෙනවා. ගූගල් ඩ්‍රයිව්, ගූගල් ඩොක්ස් වගේ සේවා ජනප්‍රිය වුනත්, ඒවා වලිනුත් ආදායම් ගන්නේ කොහොමද කියන එක තෝරාගන්න ගූගල් සමාගමට නොහැකිවෙලා තියෙනවා.

ඒවගේම, මෑතකදී හඳුන්වල දුන්, ගූගල් ප්ලස් සමාජ ජාලය අසාර්ථක ව්‍යාපෘතියක් වෙලා. ෆේස්බුක් ජාලයට අභියෝගයක් ලෙස ඉදිරිපත් කල එම ජාලයේ අභියෝගය සාර්ථකව ජයගන්න ෆේස්බුක් සමාගමට හැකිවෙලා. ඒ වගේම මහත් බලාපොරොත්තු තබාගෙන සිටි "ගූගල් ග්ලාස්" ව්‍යාපෘතිය සිය නිර්මාණය වෙළඳපොලට ඉදිරිපත් කරන්නත් ඉස්සෙල්ලාම අසාර්ථක වෙලා දැන් වෙළඳපොලට ඉදිරිපත් නොකරන්න තීරණය වෙලා. දැන් ගූගල් සමාගම ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරන ගූගල් රොබෝ කාර් ව්‍යාපෘතිය, බැලූන් ආධාරයෙන් ලොව පුරා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා ලබාදෙන්නට සැළසුම් කරන ව්‍යාපෘති වලිනුත් ආදායමක් ගන්නට පුලුවන් වේවිදැයි යන සැකය බොහෝ තාක්ශණික විශ්ලේෂකයින් අතර තිබෙනවා.

COMMENTS

එල ලිපියක්, කලින් ගොඩක් දේවල් නැවත්තුවා වගේ ඔහොම හැම දේම නවත්වලා දැම්මොත් තමයි වැඩේ. on ගූගල් නම වෙනස් කරගනී; මව් සමාගම දැන් "ඇල්ෆබට්" | Google Inc. changes name to "Alphabet"
on 19/08/15

Comments

  1. එල ලිපියක්, කලින් ගොඩක් දේවල් නැවත්තුවා වගේ ඔහොම හැම දේම නවත්වලා දැම්මොත් තමයි වැඩේ.

    ReplyDelete

Post a Comment