FILM : Captain Marvel ගැන නොදන්න දේවල්


මේ දවස්වල තිරගත වෙන මාවෙල් කොමික්ස් සිනමා විශ්වයේ අලුත්ම නිමැවුම වන කැප්ටන් මාවෙල් චිත්‍රපටය ගැන විස්තර ටිකක් ගෙන එන්නයි සූදානම් වෙන්නේ.

කැප්ටන් මාවල් චරිතයයේ සම-නිර්මාතෲ වන්නේ මාවෙල් විශ්වයේ බොහෝ චරිත මැවූ ස්ටැන් ලී නම් සුපිරි චිත්‍රකතාකරුවායි. කැප්ටන් මාවෙල් නිර්මාණයට වස්තුබීජය ලබා දෙන්නේ කලක් මාවෙල් කොමික්ස් චිත්‍රකතා ලෝකයේ දැවැන්තයෙකු වූ ජීන් නෝලන් නිර්මාණය කල කැප්ටන් කැරොල් ඩැන්වර්ස් නම් චරිතය පාදක කරගෙනයි. 

මාවෙල් කොමික්ස් සඳහා ජීන් නෝලන් විසින් නිර්මාණය කරන ලද චරිත අතර ඩෙයාර් ඩෙවිල් හා ඩොකටර් ස්ට්‍රේන්ජ් ප්‍රධානවන අතර ඔහු නිර්මාණය කල කැප්ටන් කැරොල් ඩෙන්වර්ස් නම් ඇමරිකන් ගුවන් හමුදා කපිතාන්වරියගේ චරිතය ස්ටැන් ලී විසින් මිස් මාවෙල් හා කැප්ටන් මාවෙල් චරිතවලට පරිවර්තනය කරනවා.

ඇනා බෝඩෙන් හා රයන් ෆෙල්ක් සම-අධ්‍යක්ෂණයෙන් නිමැවුන කැප්ටන් මාවෙල් සිනමා සිත්තමේ කැප්ටන් මාවෙල් චරිතයට පණ පොවන්නේ 29 හැවිරිදි බ්‍රී ලාර්සන්. 2019 මාර්තු 8 වැනිදා තිරගතවූ අතර එය මේවනවිට ඩොලර් මිලියන 825ක ආදායම් වාර්තාවක් තබා තිබෙනවා.

ඇමරිකන් ගුවන්හමුදා කපිතාන් කැරොල් ඩැන්වර්ස් - කැප්ටන් මාවෙල් සුපිරි වීරවරිය වන්නට පෙර

කැප්ටන් මාවෙල් කතා-වස්තුවේ අවස්ථා සම්බන්ධය කෙටියෙන්

කැප්ටන් මාවෙල් චිත්‍රපටය නැරඹීමේදී එහි රූපරාමු පෙලගස්වා ඇති ආකාරය නිසා එහි කතාව තේරුම්ගැනීම අපහසුවෙන්න පුලුවන්. ඒ අපහසුතාවය මගහරවාගන්නට අත්වැලක් විධියට මේ චිත්‍රපටයේ විවිධ අවස්ථා ගැලපෙන්නේ කොහොමද කියලා විස්තරයක් කරන්නම්.

කැරොල් ඩැන්වර්ස් අති දක්ෂ F-15 ජෙට් නියමුවෙක් වන අතර ඇයගේ දක්ෂතා නිසාම ඇමරිකන් ගුවන්හමුදාව හා නාසා ආයතනය ඒකාබද්ධව පවත්වාගෙන යන Project P.E.G.A.S.U.S. ව්‍යාපෘත්‍රියේ පරීක්ෂණ ගුවන්නියමු (test pilot) ලෙස පත්වීමක් ලබනවා. ඒ 1987-1989 කාළවකවානුවේදීයි. ප්‍රොජෙක්ට් පෙගසස් ව්‍යාපෘතිය ටෙසරැක්ට් නම් අපූර්ව ශක්තිප්‍රභවයේ ශක්තිය උකහාගෙන අධිවේගී ගුවන් හා අභ්‍යවකාෂ යානා නිර්මාණය සඳහා ස්ථාපනය කොට ඇති අතර මේ කාළවකවානුවේ එම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතුකලේ ආචාර්ය වෙන්ඩි ලෝසන් නම් විද්‍යාඥවරියයි.

ටෙසරැක්ට් නම් මේ ශක්ති ප්‍රභවය ඉන්ෆිනිටි ස්ටෝන්ස් ලෙස හැඳින්වෙන අපූර්ව බලයන් සහිත වස්තුප්‍රභවයන් ගෙන් එකක් වන අතර ඒවා නිර්මාණය කරන ලද්දේ වසර මිලියන ගණනකට පෙර විශ්වයේ ජීවත්වූ  Cosmic Entities ලෙසින් හැඳින්වෙන සුපිරි බුද්ධියක් ඇති ජීවීන් පිරිසක් විසින් බවයි මාවෙල් වංශකතාවේ දැක්වෙන්නේ.

ආචාර්ය වෙන්ඩි ලෝසන් හෙවත් මා-වෙල්

ආචාර්ය වෙන්ඩි ලෝසන් සැබැවින්ම මානව විද්‍යාඥවරියක් නොවන අතර ඇය ක්‍රී නමින් හැඳින්වෙන මානවරූපී සුපිරි පිටසක්වල ගෝත්‍රයක සාමාජිකාවක් වනවා. ක්‍රී ගෝත්‍ර නාමයෙන් මා-වෙල් (Mar-vell) නම්වූ ඇය, සිය වර්ගයාගේ ආක්‍රමණශීලී, යුධකාමී පැවැත්ම ප්‍රතික්ශේප කරමින්, රහසේ පෘථිවියට පැමිණ මානව විද්‍යාඥවරියක් ලෙස වෙස් ගෙන ටෙසරැක්ට් ශක්තිප්‍රභවයෙන් ක්‍රියාත්මකවන "ලයිට් එන්ජින්" නම් ආලෝකයේ වේගයෙන් ගමන්කල හැකි ප්‍රචාලන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා.

වෙන්ඩි ලෝසන්හට කපිතාන් කැරොල් ඩැන්වර්ස් මුනගැසෙන්නේ ඇයව පෙගසස් ව්‍යාපෘතියට අනුයුක්ත කල පසුව වන අතර දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා.

ආචාර්ය වෙන්ඩි ලෝසන්, ඇයගේ පර්යේෂණයන් පෘථිවියේ සිදුකලත්, ඊට අමතරව පෘථිවි කක්ෂයේ යම් තැනක ක්ලෝකින් ඩිවයිස් නම් සැඟවීමේ උපක්‍රමයක් මගින් සඟවා ඇති කක්ෂගත විද්‍යාගාරයක පෘථිවියේ ඇති නොදියුණු තාක්ෂණයට වඩා අතිශය දියුණු තාක්ෂණයන් ආධාරයෙන් පර්යේෂණ සිදුකරනවා. ඇය මේ කක්ෂගත විද්‍යාගාරයතුල ඇයගේ ක්‍රී ගෝත්‍රය සමග යුධවැදී සමූළඝාතනය වී සැඟවෙමින් සිටින ස්ක්‍රල්ස් නම් තවත් පිටසක්වල ගෝත්‍රයක සාමාජිකයින් පිරිසක් සඟවාගෙන සිටිනවා. ඇයගේ අරමුණ වන්නේ ලයිට් එන්ජින් ප්‍රචාලන තාක්ෂණය ස්ක්‍රල් ගෝත්‍රයට ලබාදී ඔවුන්ට ක්‍රී ප්‍රහාරවලින් ආරක්ෂාවිය හැකි විශ්වයේ ඈත කෙලවරකට සැඟවී යන්නට අවස්ථාව ලබාදීමටයි.

රොනන් නම් යුධකාමී ක්‍රී ජෙනරාල්වරයා හා ක්‍රී විශේෂ මෙහෙයුම් බළකායක් ලෙස ක්‍රියාත්මකවන "ස්ටාර්ෆෝස්" බළකාය ආචාර්ය වෙන්ඩි ලෝසන් හෙවත් මා-වෙල් ගැන සෙවිල්ලෙන් සිටින අතර ඔත්තුකරුවන් මාර්ගයෙන් ඇය ලයිට් එන්ජින් නම් ආලෝකයේ වේගයෙන් ගමන්කල හැකි එන්ජින් තාක්ෂණයක් නිර්මාණකරමින් සිටින බව දැනගන්නවා. ඇයගෙන් එම තාක්ෂණය උදුරාගැනීම සඳහා රොනන් ගේ උපදෙස් මත ස්ටාර්ෆෝස් බළකායේ කමාන්ඩර්වරයෙකු වන යොන් රොග් පෘථිවිය බලා පැමිණෙනවා. ඔවුන් පෘථිවිය හඳුන්වන්නේ කරදරකාරී-කළහකාරී නොදියුණු ජීවීන් වාසයකරන C-53 ග්‍රහලෝකය ලෙසයි. ඔවුන් පෘථිවි වැසියන් ටෙරාන්වරුන් ලෙස හඳුන්වනවා.

රොනන් ගේ ආක්‍රමණිකයින් තමා සොයා එන බව අවසන් මොහොතේ දැනගන්නා ආචාර්ය වෙන්ඩි ලෝසන් ටෙසරැක්ට් ප්‍රභවයේ බලය උකහාගෙන ක්‍රියාත්මක වන ලයිට් එන්ජින් ප්‍රචාලන යන්ත්‍රය සවිකල අභ්‍යවකාෂ ගුවන්යානය, කක්ෂයේ ඇති විද්‍යාගාරයේ සැඟවීමට හදිසියේ පිටත්වෙන්නට සූදානම්ව ඒ සඳහා ගුවන් නියමුවෙකු සොයනවා. ඒ හදිසි ගුවන්ගමන සඳහා කපිතාන් කැරොල් ඩැන්වර්ස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. කෙසේ වෙතත් ඒ මොහොතේදී පවා කැරොල් ඩැන්වර්ස්, ආචාර්ය වෙන්ඩි ලෝසන්ගේ නියම ස්වභාවය හෝ ඇය නිර්මාණය කල අභ්‍යවකාශ ගුවන්යානයේ නියම හැකියාවන් දන්නේ නෑ.

කැරොල් ඩැන්වර්ස්ට සුපිරි බළය ලැබෙන හැටි

කක්ෂයට යාමට පෙර ඔවුන්ගේ යානයට යොන් රොග් පහර දෙන අතර එම ප්‍රහාරයෙන් කැරොල් ඩෙන්වර්ස් හා වෙන්ඩි ලෝසන් ගමන්ගත් යානය කඩාවැටෙනවා. යානය කඩාවැටුන පසු ආචාර්ය වෙන්ඩි ලෝසන්ගේ තමන් කවුදැයි කැරොල් ඩැන්වර්ස්ට හෙලිකරන අතර, ලයිට් එන්ජින් තාක්ෂණය කෙසේ හෝ ආරක්ෂාකරන්නැයි අයැදිනවා. ඒ මොහොතේ ක්‍රී කමාන්ඩර් යොන් රොග් එම ස්ථානයට පැමිණෙන අතර රොන් යොග් එල්ලකල වෙඩි පහරකින් ඇය මිය යනවා. මා-වෙල් මරාදමන රොන් යොග් කැරොල්ගෙන් බළශක්ති ප්‍රභවය ගැන විමසනවා.

වෙන්ඩි ලෝසන්ගේ අවසන් ඉල්ලීම පරිදි යොන් රොග් අතට ලයිට් එන්ජින් තාක්ෂණය පත්වීම වැලැක්වීම සඳහා කැරොල් ඩැන්වර්ස් කඩාවැටුනු යානයේ බළශක්ති ප්‍රභවය ඇති ස්ථානයට වෙඩි තබන අතර එය පුපුරා යද්දී එම බළශක්ති ප්‍රභවය කපිතාන් වෙන්ඩි ලෝසන්ගේ සිරුරට උරාගන්නවා. ඇයට සුපිරි බලයක් ලැබෙන්නේ ඒ අනුවයි.

එන්ජිම පුපුරා යාමෙන් සිහිසුන්වන කපිතාන් කැරොල් ඩැන්වර්ස්ගේ සිරුරට ලයිට් එන්ජිම බළගැන්වූ බළශක්ති ප්‍රභවයේ ශක්තිය උරාගත්බව තේරුම්ගන්නා යොන් රොග් ඇයව සිය මව් ග්‍රහලෝකය වන හාලා ග්‍රහලෝකය වෙත ගෙනයනවා.

හාලා ග්‍රහලෝකය, ක්‍රී අධිරාජ්‍යය, රොනන් ද ඇකියුසර් හා යොන් රොග්

ක්‍රී යනු මානවරූපී, යුධ කාමී පිටසක්වල ගෝත්‍රිකයින් පිරිසකි. සක්වල දියුණු ජීවීන් අතර අතිශයින්ම දියුණු තාක්ෂණයක් හා යුධකාමී විනයකින් යුතු ක්‍රී ග්‍රහ මණ්ඩල දහස් ගණනක සිය බලය පතුරුවාගෙන අධිරාජ්‍යයක් ගොඩනාගෙන ඇති අතර එම අධිරාජ්‍යයේ අග්‍ර-ග්‍රහලෝකය (capital planet) වන්නේ හාලා ග්‍රහලෝකයයි. ක්‍රී අධිරාජ්‍යය පාලනය වන්නේ Supreme Intelligence නම් කෘත්‍රිම බුද්ධි මනසකින් වන අතර ක්‍රී ගෝත්‍රය බිහිකල සියලුම දක්ෂයින්ගේ හා ශ්‍රේෂ්ඨයින්ගේ මනස්වල එකතුවක් ලෙසින් එය ක්‍රියාත්මක වනවා.

රොනන් ද ඇකියුසර්, ක්‍රී ග්‍රහලෝකයේ රණකාමී පරම්පරාවකින් පැවත එන අතර බිහිසුණු යුධ සෙනෙවියෙකු ලෙසද ප්‍රකටය. ක්‍රී අධිරාජ්‍යය හා සැන්ඩර්වරුන්ගේ නෝවා අධිරාජ්‍යය සමග යුද්ධයේදී විශාල මෙහෙයක් ඉටුකල ඔහු, ක්‍රී අධිරාජ්‍යය සැන්ඩර්වරුන් සමග සාම ගිවිසුමකට එළඹුනු පසු දැඩි කෝපයකින් පසුවේ. එමෙන්ම ක්‍රී අධිරාජ්‍යය හා ස්ක්‍රල්වරුන් සමග වර්තමානයේ කෙරෙන යුද්ධයේදීද ස්ක්‍රල් ශිෂ්ඨාචාරය විශ්වයෙන් අතුගා දැමිය යුතුය යන ප්‍රතිපත්තියේ සිටින ඔහු ස්ක්‍රල්වරුන් සිටින සෑම ග්‍රහලෝකයක්ම සොයමින් විනාශකොට දමයි.

වෙන්ඩි ලෝසන් හෙවත් මා-වෙල් නිර්මාණය කල ලයිට් එන්ජින් තාක්ෂණය උදුරාගැනීම සඳහා පෘථිවියට පැමිණෙන යොන් රොග්, රොනන්ගේ අනුගාමිකයෙකු වන අතර ඔහුගේ අණ අනුව ක්‍රියාත්මක වේ.

කපිතාන් කැරොල් ඩැන්වර්ස්, ක්‍රී ස්ටාර්ෆෝස් බළකායට අනුයුක්තවීම

ලයිට් එන්ජිම පුපුරා යාමෙන් පසුව එහි සුපිරි බලය කැරොල් ඩැන්වර්ස් ගේ සිරුරට උරාගත් බව තේරුම්ගන්නා යොන් රොග් ඇයව හලා ග්‍රහලෝකයට ගෙනයයි. පිපුරුමේ කම්පණය නිසා සිහිසුන්ව සිටින ඇයගේ මනසේ මතකයන් මකාදමන සුප්‍රීම් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය, ඇය ක්‍රී ස්ටාර්ෆෝස් මෙහෙයුම්කාරියක් බවට අලුත් මතකයන් කාවද්දයි.

ඇයව සිය අනුගාමිකයා කරගන්නා ලෙස යොන් රොග්ට අණකරන සුප්‍රීම් ඉන්ටෙලිජන්ස්, ඇයව ක්‍රී-මානව දෙමුහුම් ජීවියෙකු බවට පත්කිරීම සඳහා යොන් රොග් ගේ රුධිරය ඇයට එන්නත් කරයි. රොන් යොග් යටතේ සටන් පුහුණුවන වන ඇය ස්ටාර්ෆෝස් විශේෂ බළකායට අනුයුක්ත වන අතර පෘථිවියේ සිය ජීවිතය පිලිබඳව සියල්ල අමතකව සිටින ඇය, "වර්ස්" යන නම භාවිතා කරයි.

වර්ස් හෙවත් කැරොල් ඩැන්වර්ස් යලි පෘථිවියට පැමිණීම

ටෝෆා නම් ග්‍රහලෝකයේ ඇති ස්ක්‍රල් ජනාවාස ගැන ඔත්තු බැලීමට ගිය සෝ-ලාර් නම් ඔත්තුකරුවා බේරාගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා. රොනන්ගේ ඇකියුසර් බළ ඇණියේ ප්‍රහාරක යානා එම ග්‍රහලෝකයට පහර දෙන අතර, ස්ටාර්ෆෝස් විශේෂ බළකාය සෝ-ලාර් ගලවාගෙන ආපසු පැණගැනීමට සැලසුම් කරනවා. මෙහෙයුමට යොන් රොග් නායකත්වය දුන් අතර වර්ස් (කැරොල් ඩැන්වර්ස්) හා මින්-අර්වා නැමති වෙඩික්කාරිය ඇතුලු පිරිසක් සහභාගි වෙනවා.

මෙය ස්ක්‍රල් වරුන් විසින් වර්ස් ග්‍රහණයට ගෙන ඇයගේ මනස පිරික්සීම සඳහා ඇටවූ උගුලක් වන අතර එහිදී C-53 ග්‍රහලෝකය ගැන ස්ක්‍රල් ජෙනරාල්වරයෙකු වන ටේලෝස් දැනගන්නවා. ස්ක්‍රල්වරුන්ගේ ග්‍රහණයෙන් මිදී වර්ස් පලායන අතර ටේලෝස් C-53 හෙවත් පෘථිවියට මා-වෙල් හා ඇයගේ ලයිට් එන්ජීන් තාක්ෂණය සොයාගෙන පැමිණෙනවා. වර්ස් හෙවත් කැරොල් ඩැන්වර්ස් යලි පෘථිවියට පැමිණෙන්නේත්, නික් ෆියුරි හා ෂීල්ඩ් ඔත්තුසේවාව හා එක්වන්නේත් මේ ගමනේදීයි.

තම නියම අතීතය ක්‍රමයෙන් සිහිපත්කරගන්නා වර්ස් හෙවත් කැරොල් ඩැන්වර්ස් ස්ක්‍රල් වරුන්ට ක්‍රී ග්‍රහණයෙන් මිදී පලායන්නට ඉඩසළසනවා. රොන් යොග් හා ඇතිවන අවසන් සටනේදී ඇය ඔහුව පරදවා ආපසු හාලා ග්‍රහලෝකයට යවන්නේ සුප්‍රීම් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධි පාලකයාට හා රොනන්ට දීමට පණිවුඩයක්ද සමගයි.









__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments