Live . Die . Repeat | වසරේ ත්‍රාසජනකම පිටසක්වල ආක්‍රමණය | The Edege of Tomorrow


නුදුරු අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයකින් චිත්‍රපටය ආරම්භවේ. "මිමික්" ලෙස හඳුන්වන මෙම පිටසක්වලයින් බඹරුන් මෙන් රොදබඳිමින් ලොව පුරා සියලු මිනිස් හමුදා සමග නිර්දය ලෙස සටන්වදී. සුපිරි තාක්ශණයත්, නිර්දය, කෲර සටන්විලාශයත් නිසා කිසිදු මිනිස් හමුදාවකට ඔවුන්හා සටනින් ජය නොලැබේ. සටන වසර පහක් තිස්සේ ඇදී යන අතර නේටෝ සංවිධානය පිටසක්වලයින් හා සටන් වැදීමට සියලු නේටෝ සාමාජික රටවල හමුදාවන් එක්කොට  United Defense Forces (UDF) යනුවෙන් ඒකාබද්ධ හමුදාවක් පිහිටුවයි.

මේ වනවිට පිටසක්වලයින් යුරෝපය පුරාවටම බලය තහවුරු කරගෙන සිටී. කෙසේ වෙතත් එක්සත් නේටෝ හමුදාව නවතම යාන්ත්‍රික පිටසැකිලි තාක්ශණයක් (mechanized exoskeleton) සිය සෙබලුනට ලබාදෙන අතර එය සෙබලුන්ට ගුවන් යානයකින් පැරිශූටයක් නොමැතිව බිමට පැනීමට හැකි ආකාරයේ යෝධ බලයක් ලබාදෙයි. මෙම පිටසැකිලි තාක්ශණය පිහිටෙන් මිනිස් හමුදා ඊසානදිග ප්‍රංශයේ වර්ඩුන් නුවරදී දැවැන්ත ජයග්‍රහණයක් ලබාගනී.

මෙම ජයග්‍රහණයෙන් ලැබූ උද්යෝගය පාදක කොටගෙන යුරෝපයේ පිටසක්වල මර්මස්ථානවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකිරීමට එක්සත් නේටෝ හමුදා සැළසුම් කරයි.  Operation Downfall ලෙස නම් කෙරෙන මෙම දැවැන්ත ප්‍රහාරයේ එක් අරමුණක් වන්නේ නැගෙනහිර යුරෝපයේ පෙරමුණුවල පිටසක්වලයින් හා දරුණු සටන්වලින් හෙම්බත්වී සිටින රුසියානු හා චීන හමුදාවලට ඉස්පාසුවක් ලබාදීමයි.

මේ සුවිශාල මෙහෙයුම ආවරණය කිරීමට එක්සත් ජනපද යුධහමුදාවේ ස්වේච්ඡා බළකායේ මේජර් විලියම් කේජ් හට පැවරෙන අතර රාජකාරි බාරගැනීම සඳහා ඔහුවන් ලන්ඩනය සිටින එක්සත් නේටෝ හමුදාවේ අණදෙන නිළධාරී ජෙනරාල් බ්‍රිග්හැම් හමුවට කැඳවයි. මේජර් නිළයක් දැරුවද යුධ පුහුණුවක් නොමැති, ජනමාධ්‍ය සම්බන්ධීකාරක රාජකාරියක් සිදුකරන මේජර් කේජ් තමාට යුධ පුහුණුව නොමැති බැවින් සටන් පෙරමුණුවල සිට යුධ වාර්තා ගෙන ඒමේ රාජකාරිය ප්‍රතික්ශේප කරයි.  සිය අණ ප්‍රතික්ශේප පිලිබඳව කිපෙන ජෙනරාල් බ්‍රිග්හැම්, විලියම් කේජ්ව මේජර් නිළයෙන් පහකොට, සාමන්‍ය සෙබලෙකු ලෙස ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලෙහි යුරෝපීය ආක්‍රමණය සඳහා පෙළගැසෙමින් සිටින යුධබලකාය වෙත යොමු කරවයි.

කේජ් හා ඔහුගේ ආක්‍රමණික බළ ඇණිය ගුවනින් යුරෝපයේ වෙරළතීරයට ගොඩබස්වන අතර කෙසේහෝ ආක්‍රමණය පිලිබඳව තොරතුරු හෙලිකරගන්නා පිටසක්වලයින් කේජ් ඇතුළු ආක්‍රමණික හමුදාවට මරුපහරක් එල්ලකරයි. සටනට බට ඔහු මිනිත්තු කිහිපයකින් මියගියත් ඔහු මියයන්නේ පිටසක්වලයින්ගේ අණදෙන නිළධාරියෙකුද මරාගෙනය. මිය යන පිටසක්වලයාගේ රුධිරය කේජ්ගේ සිරුර මත වැගිරෙන අතර කේජ් වෙරළතීරයේ මියගිය මිනිස් සෙබලුන් දසදහස් ගණනින් එකෙකුවේ.

මීලඟ රූපරාමුවේ මියගිය බිල් කේජ් නින්දකින් මෙන් ඇහැරෙන් ආකාරය පෙන්වන අතර ඔහුගේ අණදෙන නිළධාරියා ඔහුව යලිත් සටනට යවයි. සටනට බට ඔහු යලිත් මිය යන නමුත්, මෙවර ඔහු වැඩිකාළයක් සටන්වැදීමට සමත්වෙයි. නැවතත් නින්දකින් මෙන් ඇහැරෙන බිල් සටනට යයි. බිල් කේජි මියයන මුල්ම අවස්ථාවේ ඔහු පිටසක්වලයෙකු සමග පොරබදා මරාගෙන මැරෙන බැවින් පිටසක්වලයා ගේ රුධිරය ඔහුගේ සිරුර මත වැගිරෙන බැවින් පිටසක්වල ජීවියෙකු හා ගැටීම හේතුවෙන් (physical contact with an alien) යම් ආකාරයක කාල චක්‍රයකට (time loop) හසුවී ඔහුගේ අවසන් සටන යලියලිත් සිදුවේ... මියගොස් යලි කාලචක්‍රය අලුත්වී යන සෑම අවස්ථාවකම ඔහුට පෙරට වඩා වැඩිකාළයක් සටන්වැදීමේ හැකියාව ලැබේ. මේ අතර ඔහුගේ සහයට  රීටා ව්‍රටාස්කි නම් අති දක්ශ කොමාන්ඩෝ සෙබළියක් එක්වේ. ඇය ඔහුව පිටසක්වලයන් හා සටනට පුහුණු කරවයි...

මෙම චිත්‍රපටයේ තිරගත කිරීම පසුගිය ජූනි 6 වැනි සිකුරාදා එක්සත් ජනපදයේ සිනමාහල්වලින් ආරම්භ විය.

Comments

  1. අලුත් ජාතියක කතාවක් වගේ..ඉඩයක් ලැබුනොත් බලාන්ඩ ඕනි..

    ReplyDelete

Post a Comment