Related Posts Plugin for WordPress, Blogger...

Monday, 19 October 2015

මෙගලිතික යුගයට අයත් ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමියෙන් වසර 2600 ක් පැරණි සොහොනක් හමුවෙයි



දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී ඉපැරණි සොහොන් කොත් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. විශේෂත්වයක් වන්නේ මෙම සොහොන් කොත් විජයාගමනයටත් පෙර නැතහොත් වසර 2600 කට පෙර ගොඩනැගූ ඒවා වීමයි. අතීතයේ සුසාන භූමි ආශ්‍රිතව පැවති සංස්කෘතිය සම්බන්ධයෙන් සාධක රැසක් මෙම ඉපැරණි සොහොන් භූමියෙන් හමුව තිබේ. 

බුදුදහම ලංකාවට පැමිණීමට පෙර සිටි මිනිසුන් මරණින් පසු ජීවිතයක් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කර ඇති බව මෙම සොහොන්කොත් ඇසුරින් සනාථ වන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 

මෙවැනි සොහොන් කොත් විශාල ප්‍රමාණයක් එකම ස්ථානයකින් හමුවීම ද විශේෂත්වයක් බව ඔහු පවසිය. 

මෙම සුසාන භූමියෙන් මේ වනවිට සොහොන් කොත් 42 ක් සොයාගෙන ඇති අතර මියගිය පුද්ගලයා ජීවත්ව සිටියදී ඇළුම් කළ භාණ්ඩ මැටි භාජනවල දමා ඔවුන්ගේ සොහොන් තුළ වළදමා ඇති බව පෙනී යයි.

මෙතෙක් එකම ස්ථානයකින් හමුවූ වැඩිම සොහොන් ගර්භ බරණි සහ මුට්ටි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඉබ්බන්කටුව මහා ශිලා සුසානයේ කරන ලද කැණීම්වලදී හමුවී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රියන්ත ගුණවර්ධනගේ මගපෙන්වීම යටතේ එකී අරමුදලේ දඹුල්ල කළමනාකරු අජිත් ජයසුන්දර යටතේ මෙම කැණීම් කටයුතු සිදු කෙරේ.

දැනට සිදුකර ඇති කැණීම්වලදී සොහොන් ගර්භ 42 ක් සහ බරණි සහ හට්ටි 20 ක් පමණ මතුකරගෙන තිබේ. මෙම බරණි හා මුට්ටි පශ්චාත් විශ්ලේෂණ කටයුතු සදහා රසායනාගාර පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.

ක්‍රි.පූ.6 වන සියවසෙහි විජයාවතරණයත් සමග සිංහල ජාතිය ආරම්භවූ බවට සැලකුණද, ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් බිම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන බැව් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මීට පෙර මෙම සුසානයේ කැණීම් සිදුකර ඇත්තේ 1982 වසරේදීය.

එම කැණීම්වලදී ප්‍රථමවරට සොහොන් ගර්භ 19 ක් සොයැගැනුණු අතර, සිදු කළ කාබන් පරීක්ෂණවලදී ඒවා වසර 2500 කට වඩා පැරණි මෙගලිතික යුගයට අයත් බවට විද්වතුන් විසින් අනාවරණය කරනු ලැබිණ.



ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය

ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි.

දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

ක්‍රි. පූ. 6 වන සියවසේහි විජයාවතරණයත් සමග සිංහල ජාතිය ආරම්භ වූ බවට සැලකුණද, ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් කොත් මගින් සිතා ගත හැකි බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

මිනිසෙකු මිය යැමෙන් පසු ඔහු ආදාහනය කර ලබා ගත් අළු, මැටි බඳුන්වල තැන්පත් කිරීමට තරම් ඉහළ මට්‌ටමක මිනිස්‌ සමාජයක්‌ එකල සිටි බැව් හෙලිවී ඇත.

මෙගලිතික යුගය ලෙස මානව විද්‍යඥයන් විසින් හඳුන්වනු ලබන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ යුගයයි.

ඉබ්බන්කටුවේ මෙගලිතික සොහොන්බිමට සමාන සොහොන් කොත් අනුරාධපුර ගෙඩිගේ, පොන්පරිප්පු කන්දරෝදේ යන ස්‌ථානවල කරන ලද කැනීම්වලදී හමුවී තිබේ.

විජය පැමිණෙන්නට පෙර යක්‍ෂ, නාග, රාක්‍ෂ ආදී කණ්‌ඩායම් මෙහි සිටි බව ඔප්පු කිරීමට මේ සොහොන් බිම් කදිම සාක්‍ෂියක්‌ යෑයි කියති.

මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථමවරට හඳුනාගන්නා ලද්දේ 1970 වසරේදී වන අතර එහි මූලික පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා විසිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩ සටහන යටතේ මෙම ස්‌ථානය පර්යේෂණයට ලක්‌වූයේ 1982 වසරේ දීය.

මෙම ප්‍රදේශය සොහොන් බිමක්‌ බැව් නොදත් ගම්වාසින් මෙහි නිවාස ඉදිකර පදිංචිවී සිටින අතර, බොහෝ දෙනෙක්‌ නොදැණුවත්කම නිසා මෙම පිටියේ සොහොන් ගල් නිවෙස්‌වලට ගෙන ගොස්‌ විවිධ කාර්යයන් සඳහා පාවිච්චි කර ඇත.

"මෙම ඉඩම්වල අපි බලෙන් පදිංචිවූයේ නැහැ. හිටපු අමාත්‍යවරයෙකු වූ ටී. බී. තෙන්නකෝන් මහතායි. අපට මේ බිම් කොටස්‌ ලබාදුන්නේ. ඒ 1970 ගණන්වල ඒ කාලයේ මෙතන ඓතිහාසික සොහොන් බිමක්‌ හඳුනාගෙන තිබුණෙ නැහැ. අපි දැනට අවුරුදු හතලිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම ඉඩමේ පදිංචිව සිටිනවා.

අපිට මේ ඉඩම් කට්‌ටි සඳහා මේ වනතුරු ඔප්පු හෝ බලපත්‍ර ලබාදී නැහැ.

මෙම ඓතිහාසික භූමිය සංරක්‍ෂණය කිරීම ගැන අපේ විරුද්ධත්වයක්‌ නැහැ. එහෙත් අපිටයි අපේ දරුවන්ටයි යන්න තැනක්‌ තියෙන්න ඕනෑ".

මේ භූමිය ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ අක්‌කර 300 ක්‌ විශාල දඹුළුඔය වත්ත පිහිටා තිබෙනවා. එම ඉඩමේ අක්‌කර 200 ක්‌ පමණ කිසිදු වැඩකට නොගෙන තිබෙනවා. එම වත්තෙත් අපිට බිම් කොටස්‌ ලබා දෙන ලෙස වසර ගණනාවක්‌ තිස්‌සේ අපි රජයෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් මේ දක්‌වා අපට කිසිදු සහනයක්‌ සැලසුනේ නැහැ.

අපි දැනට ජීවත්වන්නේ පුරාවිද්‍යා නිලධාරින්ගේ විවිධ තර්ජන මැද්දේ. ඒ නිසා මෙම දැවෙන ප්‍රශ්නයට වහා විසදුමක්‌ ලබා දිය යුතුයි.

ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය වටා පදිංචිව සිටින පිරිස වෙනුවෙන් අදහස්‌ දැක්‌වූ ඩබ්ලිව්. ජී. තෙන්නකෝන් බණ්‌ඩා නමැති සය දරු පියකු එසේ පැවසීය.

ඉබ්බන්කටුව සුසාන භූමිය හෙක්‌ටෙයාර් 10 ක පමණ පැතිරී තිබෙන අතර, එදා මෙහි 40,000 කට අධික ජනවාස සංඛ්‍යාවක්‌ තිබුණු බවට ඓතිහාසික සාධක මගින් සනාථ වී තිබේ.

මෙම ඓතිහාසික සුසාන භූමිය පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සිය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

"කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳ ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුව සොහොන් බිමෙනි. එකම පවුලක හෝ එකම කුලයක කිහිප දෙනකුගේ භෂ්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති සොහොන් "කළ ගෙඩි" භාවිත කරමිනි. එක්‌ කාමරයක්‌ ඇති සොහොන්, කාමර දෙකක්‌ ඇති සොහොන් මෙන්ම කාමර කිහිපයක්‌ ඇති සොහොන්ද මෙම සුසාන භූමියේ දැකගත හැකියි. කාමර කිහිපයක්‌ සහිත ලොකු සුසාන ගෙවල් ඉහළ පන්තියේ ඒවා විය හැකිය.

"යම්කිසි රටක ජනතාවගේ සංස්‌කෘතික තත්ත්වයන් නිසි පරිදි අවබෝධ කර ගත හැක්‌කේ ඔවුන්ගේ සුසාන තුළින් යයි පැවසීම සාධාරණය. එවකට සමාජයේ තත්ත්වය මැනැවින් අවබෝධ කර ගත හැක්‌කේ ඒ සමාජයේ මිනිසුන් මිහිදන් කළ ස්‌ථාන හා ඒ වටාපිටාව මගිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ඉතා පුළුල්, සමීක්‍ෂණ, ගවේෂණ හා පර්යේෂණවලට භාජනය වූ ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හෙළිවන විසිතුරු ඉතිහාසය රාමායණයේ වාල්මිකී මුනිවරයා සඳහන් කර ඇති අති ශ්‍රේෂ්ට සිංහල සමාජය නොවේද?

මෙම සොහොන් බිමේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ බඳුන්වල තිබුණු අක්‍ෂර කියවා බැලූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ අක්‍ෂර ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හරජපා ශිෂ්ටාචාරයෙන් සොයා ගත් මැටි පුවරුවල අක්‍ෂරවලට සමීප බවක්‌ දක්‌නට ඇති බවයි.

කුරුණෑගල - දඹුල්ල මහා මාර්ගය ඔස්‌සේ දිනකට දෙස්‌ විදෙස්‌ සංචාරකයන් දහස්‌ ගණනක්‌ උතුරු හා නැගෙනහිර පළාත් කරා ගමන් කළද, එම මාර්ගය ආසන්නයේම පිහිටි මෙම ඓතිහාසික සුසාන භූමිය බොහෝ දෙනකුගේ අවධානයට ලක්‌ නොවීම කණගාටුවට කරුණකි.

මෙම තත්ත්වය උද්ගතවී ඇත්තේ මෙම ස්‌ථානය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් ප්‍රචාරයක්‌ ලබාදීම සඳහා වගකිවයුතු අංශ කිසිදු පියවරක්‌ ගෙන නොමැති බැවිනි. අඩුම වශයෙන් මෙම ඓතිහාසික ස්‌ථානය පිළිබඳව විස්‌තර ඇතුළත් පුවරුවක්‌ මහා මාර්ගය අසල ප්‍රදර්ශනය කරන්නේ නම් බොහෝ දෙනා එය නැරඹීමට උනන්දුවක්‌ දක්‌වනු ඇත.

මෙම සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සංස්‌කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුව තිබේ.

Source : http://www.divaina.com/2010/07/25/feature15.html
Related Posts Plugin for WordPress, Blogger...