Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 29 October 2015

අනුරපුර රාජධාණියෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ ඉතිහාසය


සතුන් හා ගස්වැල්වල ආරක්ශාවට පැරණි රජවරුන් පැනවූ විවිධ  රාජාඥා අපගේ පෞරාණික ඉතිහාසය සටහන් කොට ඇති විවිධ ලියවිලිවල විස්තර කොට ඇත. මින් 4වැනි සියවසේ ලි‍යැවුනු දීපවංශය, 5වැනි සියවසේ ලියැවීම ඇරඹුණු මහාවංශය හා එහි දිගුව වන චූලවංශයේද සටහන් වී ඇත. එමෙන්ම ලංකාවේ ශිලා ලේඛණ අඩංගුකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1904 සිට විටින් විට ප්‍රකාශයට පත්කරන එපිග්‍රැෆියා සිලනිකා (Epigraphia Zeylanica) ග්‍රන්ථමාලාවද මේ සඳහා අපමණ සාක්ශි සපයනවා. එමෙන්ම ෆා-හියන්, රොබර්ට් නොක්ස් වැනි ශ්‍රී ලංකාවේ වාසය කරමින් සටහන් තැබූ විදේශිකයින්ගේ ලේඛනද වැදගත් තොරතුරු සපයනවා.

මේ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු අතර පැරණි රජවරුන් සතුන් මැරීම තහනම් කරමින් පැනවූ ආඥා හා එම ආඥා කඩකරන්නවුන්ට දිය යුතු දඬුවම්, රාජාඅඥා මගින් අභයභූමි ප්‍රකාශයට පත්කිරීම් ආදිය පිලිබඳ වැදගත් තොරතුරු වනවා.

ශ්‍රී ලංකාවේ ඉපැරණි අභයභූමි

ශ්‍රී ලංකාවේ රජවරු විවිධ රාජාඥා මගින් රටේ යම් යම් ප්‍රදේශ අභයභූමි ලෙස ප්‍රකාශයට පත්කලා. මෙම අභයභූමි පිලිබඳව විවිධ සෙල්ලිපිවල සඳහන් වී ඇති අතර එම භූමි ප්‍රදේශ තුල වාසයකරන සියලු සතුන් හා ගහකොල ආරක්ශාකල යුතුබවට නියෝග කෙරුනා. පැරණි සිංහල රජවරුන්ගේ මෙම අභයභූමි සංකල්පය නූතනයේ රක්ශිත වනාන්තර හෝ දැඩි රක්ශිත සංකල්පයට බොහෝ සෙයින් සමානයි. එම භූමිවලට නිශ්චිත සීමා මායිම් ප්‍රකාශයට පත්කොට තිබූ අතර සිටින සතුන්ගේ ආරක්ශාව රජු සිය භාරයට ගෙන තිබූනා. එම සතුන්ට ගහකොලවලට හානි කරන්නන්ට දඬුවම් පැමිණවුනා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අභයභූමිය දේවානම්පියතිස්ස මහරජතුමා විසින් ක්‍රි.පූ 240දී පමණ ප්‍රකාශයට පත්කල අතර එය අනුරාධපුරයේ මහාමේඝවන (මහමෙව්නා) නම් රාජකීය උයනයි. රජු විසින් සඟසතුකොට පූජාකරන ලද මහමෙව්නා උයන, අභයභූමියක් ලෙස වසර 2300ක පමණ අඛණ්ඩ ඉතිහාසයක් ඇති එකම අභයභූමිය වනවා. 1937දී බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව බලාත්මක කල වනසත්ව හා වෘක්ශලතා පණත යටතේ 1938දී මහමෙව්නා අභයභූමියේ සීමා මායිම් පුලුල්කොට මුලු අනුරාධපුර පූජාභූමිය හා වර්තමාන අනුරාධපුර නගර ප්‍රදේශයද ඇතුලත්ව අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත්කරන තෙක්ම කි.පූ 240දී දේවානම්පියතිස්ස මහරජතුමා පැනවූ මහමෙව්නා අභයභූමි රාජාඥාව ක්‍රියාත්මක වුනා.  අදටත් අනුරාධපුර නගරය පවා සතුන් මැරීම තහනම් අභයභූමියක් වනවා.

ක්‍රි.ව 277 – 304 කාලය තුල රජකම් කල මහසෙන් රජුවිසින් ජේතවනාරාමයට පූජාකරන ලද නන්දන වනය (ජෝතිය වන ) අනුරාධපුරයේ තවත් ඉපැරණි අභයභූමියක් ලෙස ගැනෙනවා. 1938දී අනුරාධපුර අභයභූමි ප්‍රදේශය ප්‍රකාශයට පත්කිරීමේදී මහසෙන් රජු ඇතිකල නන්දන වනයද  එයට ඇතුලත් කරගනු ලැබුවා.
නූතන නීතිමය අර්ථදැක්වීමට අනුව අභයභූමියක් (sanctuary) වන-රක්ශිතයකින් (nature reserve) හෝ වනෝද්‍යානයකින් (national park) වෙනස්වනවා. අභයභූමියක සතුන්මැරීම, කැලෑ කැපීම තහනම් වුවත් මහජනතාවට එය තුල ජීවත්වීමේ අයිතිය තිබෙනවා. රක්ශිත වනාන්තර සියලු මිනිස් ක්‍රියාකාරකම් තහනම් ප්‍රදෙශ වන අතර වනෝද්‍යාන, විනෝදාස්වාදය සඳහා සතුන් නැරඹීම සඳහා පමණක් දැඩි පාලනයකින් යුතුව මහජනතාවට ඇතුලුවිය හැකි ප්‍රදේශ ලෙස වනසංරක්ශණ පනත්වල විස්තර කෙරෙනවා.
පොලොන්නරු රාජධානියේද අභයභූමි ගණනාවක් තිබූ අතර, ඒ අතරින් චිත්තලතා වනය හා දීප උයන ප්‍රධානයි. මහා පරාක්‍රමබාහු නරතියන් හා නිශ්ශංකමල්ල රජු, පොලොන්නරුවේ අභයභූමි ඇතිකල නරපතියන් අතර ප්‍රධාන තැනක් ගන්නවා.

1187-1196 පොලොන්නරුවේ රජකල නිශ්ශංක මල්ල රජතුමා, සිය රාජධානිය තුල අභයභූමි ප්‍රකාශයට පත්කොට තිබුණ බව ඔහු කරවූ අනුරාධපුරයේ නිශ්ශංක මල්ල සෙල්ලිපියේ සඳහන් වනවා. එම සෙල්ලිපියේ අභයභූමි සීමා විස්තර කොට තිබූ අතර එහි සතා-සීපාවාට හානිකරන්නවුන්ට දෙන දඬුවම්ද විස්තරකොට තිබුණා. එපමණක් නොව නිශ්ශංක මල්ල රජු එම අභයභූමි පාලනයට හා ආරක්ශාවට රාජපුරුෂයින් පත්කොට තිබූ අතර රාජ්‍ය භාණ්ඩාගාරය මගින් ඔවුනට වේතන ගෙවනු ලැබුවා.

එපමණක් නොව නිශ්ශංක මල්ල රජු විසින් පොලොන්නරුවේ හා අනුරාධපුරයේ මහා වැව් දොලහක මසුන් මැරීම තහනම් කොට එම වැව් මත්ස්‍ය අභයභූමි බවට ප්‍රකාශකොට තිබෙනවා. මේ අනුව ලොව ප්‍රථම ජලජ අභයභූමි වන්නේ ශ්‍රී ලංකාවේ නිශ්ශංක මල්ල රජ සමයේ ප්‍රකාශයට පත්කල මහා වැව් අභයභූමි විය යුතුයි.

සතුන් ආරක්ශාකිරීම සඳහා තවත් සුවිශේෂී පියවරක් ගත් නිශ්ශංක මල්ල රජු දඩයක්කරුවන්, මසුන් මරන්නන්, කුරුල්ලන් දඩයම් කරන්නන් හට වස්තුව ලබාදී ඔවුන් එම රැකියාවලින් මුදවන්නට ක්‍රියා කල බව නිශ්ශංක මල්ල සෙල්ලිපියේ දැක්වෙනවා.

ෆා හියන් දුටු ශ්‍රී ලංකාවේ ආරණ්‍ය අභයභූමි

5වැනි ශතවර්ශයේ ලක්දිව වසර කිහිපයක් සංචාරය කල ෆා හියන් නම් චීන භික්ෂු පඬිවරයා, මහාවිහාරය, අභයගිරිය හා මිහින්තලා ආරණ්‍යසේනාසන විශාල අභයභූමි ලෙස ආරක්ශාකොට තිබූ බව ඔහුගේ චාරිකා සටහන්වල ලියා තිබෙනවා. ඔහුට අනුව එවක අභයගිරි ආරණ්‍යසේනාසනයේ භික්ෂූන් 5000කුත්, මහාවිහාරයේ 3000කුත් මිහින්තලා ආරණ්‍යසේනාසනයේ 2000 ආදීවශයෙන් අතිවිශාල සංඝයාවහසේනමක් වැඩසය කොට ඇති අතර උන්වහසේලා පාරිභෝජනය කල ප්‍රදේශ දැඩි රක්ශිත සංකල්පයට අනුව ආරක්ශාකොට තිබෙනවා. විශාල ගිහි සේවක සංඛ්‍යාවක් මේ ආරණ්‍යවල රාජකාරිකටයුතු වල යෙදී ඇති අතර ඒ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියපැහැදම් කොට තිබෙනවා.

සතරවැනි මහින්ද රජතුමා විසින් ලියවන ලද සෙල්ලිපියක මිහින්තලා ආරණ්‍යසේනාසනයේ රාජකාරි සඳහා 2000 ගිහි සේවක පිරිසක් යෙදවූ බවත් ඔවුන්ගේ රාජකාරි අතර එම අභයභූමිය දැඩි රක්ශිතයක් ලෙස ආරක්ශාකිරීමද වූ බවත් සටහන් වනවා. පැරණි මිහින්තලා රක්ශිත වනය තුල ගස් කැපීම පමණක් නොව ගස්වලින් මල් කැඩීම පවා තහනම් කොට ඇති බවත් එම සෙල්ලිපිය උපුටා දැක්වෙන එපිග්‍රැෆියා සිලනිකා පළමුවැනි වෙළුමේ සඳහන් වනවා.

මිහින්තලාව අභයභූමියක් ලෙස ප්‍රකාශකරන ලද්දේ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් ක්‍රි.පූ. 247දී වන අතර රිටිගල ආරණ්‍යසේනාසනය සුල්ලතිස්ස රජුවිසින් ක්‍රි.පූ 187දී ඇතිකරන ලදී. සිතුල්පව්ව ආරණ්‍යසේනාසනය කාවන්තිස්ස මහරජතුමා විසින් ක්‍රි.පූ 130දී පමණ ස්ථාපනය කරන ලද්දක්. මෙහි සංඝයාවහන්සේ 3000ක් වැඩසිටි බව පැරණි ලේඛනවල වාර්තාවනවා.

මහාවැව් රොන් මඩින් ආරක්ශා කිරීමට ජලාධාර ප්‍රදේශ රක්ශිත බවට පත්කල අපේ හෙළ රජදරුවෝ.

රොන්මඩ තැම්පත්වීමෙන් වාරිකර්මාණ්ත ඉක්මණින් පල රහිතවන බව අවබෝධකරගත් අපේ පැරණි රජදරුවන් හා හෙළ වාරිකර්මාණ්ත ඉන්ජිනේරුවන් වැව් පෝෂක ප්‍රදේශවල ගස් කැපීම හා වගාකිරීම තහනම් කොට ඒවා රක්ශිත වනාන්තර බවට පත්කලේ ඉතා ඈත අතීතයේදීයි.

උදාහරණයක් ලෙස රිටිගල ආරණ්‍යසේනාසන අභයභූමිය ගතහැකියි. මුලු වියලි කලාපයේම වැඩිම වර්ෂාපතනය ලැබෙන (දෙසැම්බර්-පෙබරවාරි, මිලිමීටර් 125ක් පමණ) මෙම ප්‍රදේශය සංඝයාවහන්සේට පූජාකොට රක්ශිතයක් ලෙස ආරක්ශාකිරීමට පැරණි රජදරුවන් ක්‍රියාකලේ හුදෙක් බුදුදහම පෝෂණය කිරීමට පමණක් නොව, ඊට වඩා ඥාණාන්විතව රටවැසියාගෙන් මෙම වටිනා භූමි ප්‍රදේශය ආරක්ශාකරගෙන එමගින් වියලිකලාපයේ වැව් කර්මාණ්ත ආරක්ශාකර ගැනීම උදසාද බවට තර්ක කල හැකියි. බුදුදහම පෝෂණය කරන අතරම ඒ අනුග්‍රහයෙන් අනාගත පරපුර සඳහා රටේ ස්වභාවික සම්පත් රැකදීමට ඒ උතුම් හෙළ නායකයින් ක්‍රියාකල ආකාරය අද නායකයන්ට මහඟු ආදර්ශයකි. අදත් රිටිගල ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ශ්‍රී ලංකාවේ දැඩි රක්ශිත ලෙස වර්ගකර ඇති වනාන්තර වලින් එකක් වන්නේ මේ නිසා නොවේද?

සටහන:

මේ ලිපිය සම්පාදනය කිරීමේදී ප්‍රධාන මූලාශ්‍රය ලෙස, එස්.ඩී සපරමාදු මහතා රචනාකොට, තිසර ප්‍රකාශකයෝ විසින් 2006දී පලකරන ලද "Sri Lanka, A Wild Life Interlude - Volume I" ග්‍රන්ථය භාවිතා කරන ලදී.
Related Posts Plugin for WordPress, Blogger...