Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 1 January 2017

කන්ද උඩරට සිහලුන්ගේ ගරිල්ලා සටන් ක්‍රම - බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් ආතර් ජොන්ස්ටන් 1804දී තබන ලද සටහන්. (Part I)


NARRATIVE
OF THE
OPERATIONS OF A DETACHMENT
IN AN
EXPEDITION TO CANDY,
IN
THE ISLAND OF CEYLON,
IN THE YEAR 1804.



WITH SOME OBSERVATIONS ON THE PREVIOUS CAMPAIGN, AND ON THE NATURE OF CANDIAN WARFARE



BY MAJOR ARTHUR JOHNSTON.
Of the Third Ceylon Regiment, then Captain Commandant of the Detachment.

තුන්වන ලංකා රෙජිමේන්තුවේ අණදෙන කපිතාන් (පසුව මේජර්) ආතර් ජොන්ස්ටන් ලියා තබන ලද "NARRATIVE
OF THE OPERATIONS OF A DETACHMENT IN AN EXPEDITION TO CANDY, IN THE ISLAND OF CEYLON IN 1804" පොතෙහි තෝරාගත් පරිච්ඡේදවල පරිවර්තනය


සිතියම් හා තොරතුරු නොමැතිව වියැකුණු යුරෝපීය ආක්‍රමණ

බ්‍රිතාන්‍යයන්ට පෙර ලංකාව යටත්කරගෙන සිටි පෘතුග්‍රීසි හා ලන්දේසීන් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට විවිධ අවස්ථාවලදී උත්සහ කලද, ඔවුන් කිසිවෙකුත් යුධ ආක්‍රමණයන් සඳහා අත්‍යාවශ්‍ය භූ විෂමතා සිතියම් සකස්කිරීමට කිසිදු උනන්දුවක් දක්වා තිබුණේ නෑ.

මේ නිසාම ඔවුන්ගෙන් පසු මේ රට අල්ලාගත් අපට කන්ද උඩරට පමණක් නොව, පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් මුලුමනින්ම යටත් කරගෙන සිටි පහතරට පෙදෙස්වල පවා සවිස්තරාත්මක සිතියම් හෝ වෙනත් යුධමය හා පරිපාලනමය වශයෙන් වැදගත් තොරතුරු කිසිවක් බිහිවී නැහැ.

ඔවුන් අපට ඉතිරිකොට ගොස් ඇත්තේ ඔවුන් සිදුකල යුධ මෙහෙයුම් පිලිබඳ විස්තර හා එම මෙහෙයුම් වලදී ඔවුන්ගේ භටයන්ට අත්විඳීමට සිදුවූ දුක් ගැහැට, ලෙඩදුක් හා මුහුණදෙන්නට සිදුවුනු ප්‍රහාර ගැන විස්තර පමණයි.

ආසියාවේ වෙනත් රාජාණ්ඩු මෙන්ම කන්ද උඩරට රාජාණ්ඩුවද රජුට ඕනෑ ලෙස පාලනය වන හිතුවක්කාර පාලනයක් වනවා. ඔහුගේ ස්ථිර හමුදාව දෙතුන්සීයක් පමණ වන අතර ඉන් වැඩිදෙනෙකු කුළී හේවායන් වනවා. ඔවුන් බොහෝ දෙනෙකු රජුගේ හා රජමාලිගාවේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.

මේ හේවායන් යුරෝපීයයන්ගෙන් මිළදීගත් හෝ පහරදී අල්ලාගත් වෙඩිබෙහෙත් කොටන තුවක්කු (muskets) වලින් සන්නද්ධව සිටිනවා. නුවර රජුගේ මේ හමුදාව යුරෝපයේ අපගේ හමුදාවන් මෙන් පුහුණුවක් හා දැඩි විනයක් ඇති හමුදාවක් නොවුනත්, වසර සියගණනක සිට පෘතුග්‍රීසි හා ලන්දේසීන් සමග සටන්වැදී ලබාගත් පන්නරය නිසා යුරෝපීය හමුදාවට විශාල හානි කලහැකි හා ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදැමිය හැකි යුධ උපක්‍රම නිර්මාණය කරගෙන සිටිනවා. (කතෲ සටහන: නූතන ලෝකය මෙම සටන් ක්‍රමය හඳුන්වන්නේ ගරිල්ලා සටන් ක්‍රමය ලෙසයි ) යුරෝපීය ආක්‍රමණිකයින්ට බරපතල අවාසි ගෙන දෙන මෙම යුධෝපක්‍රමය කන්ද උඩරට භූවිෂමතාවයට, දේශගුණයට මෙන්ම රජුගේ හමුදාවල සංයුතිය හා සැපයුම් දාමයටත් කදිමට ගැලපෙනවා.

උඩරැටියන්ගේ සටන් විලාශය

කන්ද උඩරැටියන් මෙම යුධෝපක්‍රමය නිර්මාණය කරගෙන තිබෙන්නේ කරුණු දෙකක් පදනම් කරගෙනයි.

1] යුරෝපීය හමුදාවල පිරිස් බලය, විනය හා වෙඩි බලය හමුවේ මුහුණට මුහුණලා කරන සටන්වල ඇති බරපතල අවාසි පිලිබඳ අවබෝධය.

2] යුරෝපීය ආක්‍රමණික හමුදාවලට වඩා භූමියේ සැකැස්ම හා කාළගුණය/දේශගුණය පිලිබඳව තමන්ට ඇති සුපිරි දැනුම වාසියට හරවාගත හැකි බවට ඇති අවබෝධය

මේ නිසා කන්ද උඩරැටියන් සැමවිටම මුහුණට මුහුණලා සිදුකෙරෙන සටන් මගහරින අතර වාඩිලාගෙන සිටිනවිට හදිසියේ සිදුකරන ප්‍රහාර හා අපගේ හමුදා ඝණ වනාන්තර මැදින් ගමන් කරනවිට පැතිවලින් පහර එල්ලකොට (flanking attack) පලායාමේ උපක්‍රම භාවිතා කරනවා. විශේෂයෙන්ම අපගේ හමුදාවල පණිවුඩ ගෙනයාමේ හැකියාව  (කතෲ සටහන - මෙකල රේඩියෝ පණිවුඩ තාක්ෂණයක් නොතිබුණි - පණිවුඩ ගෙනගියේ දුවන්නන් - runners - මගිනුය) විනාශ කිරීම හා අපගේ සැපයුම් ලැබීමේ සැපයුම් දාමය කඩාබිඳ දැමීම ඔවුන් ඉතා හොඳින් සිදුකලා.

ඔවුන් බොහෝවිට විට ඉහල ප්‍රදේශවල, විශාල ගස් හා ගල්වලට මුවාවී පහරදුන් අතර ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ අපගේ පතරොම්, කෑමබීම් හා වෙනත් සැපයුම් කරතබාගෙන යන කුලීකාරයින්. කුලීකාරයින් කිහිපදෙනෙකු මරාදැමූවිට අපගේ පෙර ගමණ සම්පූර්ණයෙන් නතරවන අතර බියවී පලාගිය කුලීකාරයින් නැවත සොයාගන්නාවිට පැය ගණනාවක් ගතවනවා.

උඩරැටියන් සෑඟවී පහරදෙන සිටින ස්ථාන වලින් ඔවුන් පලවාහැරීම ඉතා අපහසු වන්නේ එම තැන්වලට ලඟාවීමට කඳුනැගිය යුතු නිසාත් ඒවාට ලඟාවෙන පාරවල් දන්නේ ඔවුන්ම පමණක් නිසාත්ය.

උඩරැටියන් භාවිතාකල තවත් උපක්‍රමයක් වන්නේ අප ගමන්කරන මාර්ගවල දුෂ්කර කපොලු හරහට විශාල ගස් කපාදමා අවහිර කිරීමයි. විකල්ප ගමන්මාර්ග නොමැති කඳු අතර කපොලු වල මෙවැනි ගස් ගස් කපා අවහිරකිරීම මගින් අපගේ ගමන් පැය ගණනාවක් ප්‍රමාද කරන්නට ඔවුන් සමත්වෙනවා.

මෙවැනි හිරිහැර කිරීම හා බාධාකිරීම් සිදුකරන උඩරැටියන් ප්‍රතිපත්තියක් ලෙස (maxim) කිසිවිටකත් අප සමග මුහුණුට මුහුණ සටනකට නොපැමිණියේ වැඩිකල් නොගොස්ම ඝණ කැලෑවල ඉදිරියට ඇදෙන අපේ සෙබළුන් උෂ්ණාධික දේශගුණයෙන් හෙම්බත්වී, ලෙඩරෝග වලට ගොදුරුවීමෙන් හා සැපයුම් අඩපණවී කෑමබීම හිඟවීමෙන් පසුබසින්නට සිදුවන බව අත්දැකීමෙන් ඔවුන් දන්නා නිසාය.

අප හමුදා රට ඇතුලෙහි ඈතට යනවිට උඩරට සටන්කාමියා අපට ආපසු පසුබැසිය හැකි සියලු මාර්ග අවහිර කරයි. තුවාලකරුවන්, රෝගීන් කරතබාගෙන, දැඩි වෙහෙසට පත්ව, පතොරොම් පමණක් නොව හරි හැටි කෑමබීම පවා නොමැතිව පසුබසින යුරෝපීය හමුදාවන් තවත් ව්‍යාකූල කිරීමට මෙම උපක්‍රමය වඩාත් යෝග්‍යවේ. උඩ රැටියන්ගෙන් දරුණුම ප්‍රහාර එල්ලවන්නේ පසුබැසීමේ මාර්ග අවහිරවී, වෙහෙසට පත්ව පතොරොම් අවසන්ව කුසගින්නේ සිටින අවස්ථාවලදීයි.

එමපණක්  නොව උඩරැටියන්ට හසුවන අපගේ තුවාලකාරයෙකු හෝ රෝගියෙකුට පවා නිසැකව මරණය හිමිවෙයි. මෙලෙස අසුවන ඕනෑම කෙනෙකු මරාදැමීමට උඩරට සටන්කාමීන් පෙළඹ සිටින්නේ ඔවුන් ලේ පිපාසිතයින් නිසා නොව උඩරට රජු පවත්වාගෙන යන මරාදමන සතුරු සෙබලෙකු වෙනුවෙන්ම ත්‍යාග පිරිනැමීමේ පුරුද්දයි. මෙම ත්‍යාග හා නම්බුනාම ලබාගැනීමට හසුවන ඕනෑම් යුරෝපීයයෙකු මරාදමා හිස ගෙනයාම උඩරැටියන්ගේ පුරුද්දක් වුනා.

උඩරට රජුගේ හමුදා පිරිස් බලය

සිංහල ප්‍රභූවරු රජුට දක්වන පක්ෂපාතිත්වය හා රජු වෙනුවෙන් කරන රාජකාරි වෙනුවෙන් ඉඩකඩම් භුක්තිවිඳීමට රජුගෙන් අවසර ලබාගෙන සිටී. මේ වෙනුවෙන් විවිධ සේවා රජුට සපයන අතර ඉන් එකක් වන්නේ රජුට අවශ්‍ය ඕනෑම මොහොතක, අවශ්‍ය ප්‍රමාණයෙන් හමුදාව සඳහා පිරිස් එකතුකොට ඉදිරිපත් කිරීමයි. මෙලෙස අවශ්‍යවිටක හමුදාව සඳහා පිරිස් බලය ලබාගත හැකි නිසා විශාල නිත්‍ය හමුදාවක් පවත්වගෙන යාමෙන් ඇතිවන විශාල මූල්‍යමය බරපැනෙන් මිදීමට රජුට හැකියාවක් ලැබී ඇත. එමෙන්ම අවශ්‍ය විටක රටේ පිරිමින්ගෙන් සැළකිය යුතු පිරිසක් හමුදාවක් ලෙස එක් රැස් කරගැනීමේ හැකියාවද රජුට ඇත.

හමුදාව එක් රැස් කරන ලෙස රජුගෙන් අණ ලැබෙන්නේ දිසාවේ නමින් හඳුන්වන උසක් නිළධාරීන්ට වන අතර ඔවුන් තමන්ගේ අණසක ඇති ගම්මානවල ගම්පතින්ට තමන්ගේ ගමෙන් හැඩිදැඩි පිරිමින් මෙතරම් ප්‍රමාණයක් එවන ලෙස අණ කරයි. මෙලෙස එක් රැස් වන සෑම පිරිමියෙකුටම බෙහෙත් කොටන තුවක්කුවක්, කඩුවක්, දුනුඊතල හෝ වෙනත් ආයුධයක් ලබාදෙයි. මීට අමතරව දින 15කට සරිලන ආහාර, කුඩා මුට්ටියක්ද ලැබේ. අවු රශ්මියෙන්, වැස්සෙන්, පින්නෙන් ආරක්ෂාවීමට තල් කොලයක් ද ලැබේ.

උඩරට මිනිසුන්ගෙන් බත් ආහාරයට ගන්නේ ධනවතුන් පමණක් වන අතර සාමාන්‍ය ජනතාව වැඩිවශයෙන් ආහාරයට ගන්නේ කර්කෂ පොලොවේ වුවද හොඳින් වැඩෙන කුරක්කන් නැමති ධාන්‍යයයි. ඒ අනුව සෑම උඩරට සෙබලෙකුටම කුරක්කන්, සහල්, නෙළුම් අල හා පොල් ගෙඩි කිහිපයක ආහාර සලාකයක් ලැබේ. මෙවැනි සරල, කර්කෂ ආහාරවලින් යැපෙන සිංහල සෙබලුන්ට යුරෝපීය සෙබලුන්ට මෙන් අතිවිශාල ප්‍රමාණයක ආහාර හා සැපයුම් කරතබාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත.

මෙලෙස සන්නද්ධවුනු උඩරට සෙබලා, සිය ගම්පතියා ලබාදෙන ඕනෑම අණක් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අතර ඔවුන් සිය ගම්පතියන්ට දක්වන ගෞරවය හා අවනතකම ඉතා විශාලය. දින 15ක සේවාකාළයකින් පසුව උඩරට සෙබලා හමුදාසේවයන් නිදහස්වන අතර ඔහුගේ තැන ගැනීමට ඔහුගේ ගමෙන් තවත් පිරිසක් පැමිණේ. මේ අනුව සිංහල හමුදාව නිරන්තරයෙන්ම අලුත්, නිරෝගී සෙබලුන් ගෙන සන්නද්ධවේ.

යුධසේවයෙන් නිදහස්වූ සිංහල සෙබලමුළු සිය රෝගී හා තුවාලකරුවන් රැගෙන ගම්බිම් බලායයි. සිහලුන්ගේ මෙම භටයින් ලබාගැනීමේ ක්‍රමයේ ඇති වාසි විශාල ප්‍රමාණයකි. එකක් නම් නිරන්තරයෙන් ප්‍රාණවත්, අලුත් සෙබලුන් ලැබීමයි. එමෙන්ම සිංහල සෙබලා සිය යුධ සේවය දින 15කට සීමාවන බව දන්නා නිසා ඉතා කැමැත්තෙන් යුධ සේවයේදී විඳින්නට වන ගැහැට විඳී. ඉන් ඔහුට රාජ අනුග්‍රහය හා ගම්පතින්ගේ සැළකිල්ල ලැබෙන අතර දින 15කට පසු යුධ රාජකාරියෙන් නිදහස්ව වීරයෙකු ලෙස ගමට ගොස් සිය වික්‍රමයන් කියාපෑමේ හැකියාවද ඇත.

එසේම යුධ සේවය අවසන්වී ගම්බිම් බලා යන සිංහල සේවාමුක්ත සෙබලුන්ට ආරක්ෂාව සැපයිමේ අවශ්‍යතාවයක් නැත්තේ කැලෑ මැදින් යන ඔවුන් යුරෝපීය හමුදා සේනාංක මගහැර දිගු කැලෑ මං ඔස්සේ ගම්බිම් කරා යාමට දක්ෂයින් බැවිනි.

එනිසා සියගණනක් කුලී කාරයින් මතින් විශාල සැපයුම් තොගයක් රැගෙන, කාළතුවක්කු ඇදගෙන දැඩි වෙහෙසින් හා දේශගුණයෙන් පීඩා විඳිමින් හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන යුරෝපීය හමුදා මෙන් නොව සිහල හමුදාවන්ට ඔවුන් හොඳින් දන්නා කැලෑ මංපෙත් ඔස්සේ ඉතා වේගයෙන් ඉලක්ක කරා යොමුකිරීමේ හැකියාව ඇත. දේශගුණය හා කාළගුණයද බොහෝවිට යුරෝපීය හමුදාවන්ට ලංකාව තුල දැඩි අභියෝගයක් වුවත් එය සිහල බළමුළුවලට විශාල වාසියක් අත්කර දුන්නේය.

පෘතුග්‍රීසි හා ලන්දේසි

ලංකාව මුලින්ම යටත් කරගනු ලැබුවේ පෘතුග්‍රීසින් විසිනි. 1517 සිට 1658 දක්වා වසර 141 ලංකාවේ විශාල ප්‍රදේශයක් පාලනය කරත් ඔවුන්ට සම්පූරණ මුහුදබඩ ප්‍රදේශයම යටත්කර ගැනීමට නොහැකිවිය.

පෘතෘග්‍රීසි ග්‍රහණය බිඳවැටීමට එක් හේතුවක් වූයේ ඔවුන් ස්වදේශිකයින් අනවශ්‍යලෙස ඉහල තනතුරු වලට පත්කිරීම නිසායි. මුදලිවරුන් (Modiliars) ලෙස තනතුරු ලැබූ ඔවුන්ට හමුදා ජෙනරාල්වරුන්ගේ බලතල තිබූ අතර ඔවුන් යටතේ විශාල ස්වදේශික භට පිරිසක් පාලනය විය. පෘතුග්‍රීසින්ගෙන් කොතෙක් තානාන්තර, වරප්‍රසාද ලැබුණද මෙම මුදලිවරුන්ගෙන් සතරදෙනෙකු රහසින් උඩරට රජුට පක්ෂපාතවූ අතර ඔවුන් කල්යල් බලා එවක ලංකාව භාර පෘතුග්‍රීසි ජෙනරාල්වරයා වූ කොන්ස්ටන්ටයින් ඩි සා (Constantin de Sâa) යුධයකට පොළඹවා ඔහුගේ හමුදාව මුලුමනින්ම විනාශකර දැමීමට සමත්විය.

ඉතා ලබාල අවදියේදී පෟතුගීසින්ගේ වුවමනාවට සිහසුනට පත්වු දොන් ජුවන් ධර්මපාල නම් දුර්වල කතෝලික රජු ලවා  කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවක් මගින් පෘතුග්‍රීසි රජුට පවරාගැනීම ඔවුන් කල තවත් මෝඩකමක් විය. මෙයින් ඔවුන්ට ලැබුනු වාසියක් නැති අතර ඉන් තවත් යුධ ගැටුම් ගණනාවකට පාර කපන ලදී. මෙහි අවසානය වූයේ සිහලුන් ඕලන්දය සමග ගිවිසුමකට එළබ ඔවුන්ගේ සහයෙන් පෘතුග්‍රීසින්ව පලවා හැරීමයි.

1658 සිට 1796 දක්වා ලංකාවේ මුහුදුබඩ පෙදෙස් යටත්කරගෙන පාලනය කලේ ලන්දේසීන් විසිනි. 1658දී කන්ද උඩරට රජු සමග ගිවිසුම්ගතවූ ලන්දේසීන් පෘතුග්‍රීසීන්ව පලවා හැරියත් ගිවිසුම් ප්‍රකාරව ලන්දේසීන්ගේ බලකොට රජුට භාරදීමට අකමැතිවිය. ඒ අනුව ලන්දේසීන් සමගද යුධ ගැටුම් ඇතිවිය. කෙසේවෙතත් ඉන්දියාවේ ලන්දේසි පාලන පෙදෙස්වලින් ලැබුණු යුධ ශක්තියෙන් මුලු පහතරටම තම අණසකට යටත්කරගැනීමට ලන්දේසීන්ට හැකිවූ අතර උඩරට රජුට මුහුදුබට පෙදෙස් සම්පූර්ණයෙන්ම අහිමිවූ අතර වරායවල් සියල්ලම අහිමිවිය. කන්ද උඩරට රාජධානිය වලල්ලක් මෙන් වටකරගැනීමට ලන්දේසි ආක්‍රමණිකයින්ට හැකිවිය.

කෙසේ වෙතත් සිහලුන්ගේ පෙරකී සටන්ක්‍රම මෙන්ම කාළගුණ, දේශගුණ හා ඝණකැලෑ සහිත ස්වභාවික පරිසරය නිසා දසදහස්ගණනක් ලන්දේසි හා ලන්දේසීන්ට සේවය කල ඉන්දියානු හා මැලේ සෙබළු මියගියහ.

ලන්දේසි පාලනයේ අවසානයේ ආරම්භය වන්නේ 1763දී ලන්දේසි, මලබාර් හා මැලේ සෙබලුන් 8000ක් සමග සිදුකල කන්ද උඩරට ආක්‍රමණයත් සමගයි. එතරම් අපහසුවකින් තොරව මහනුවර නගරයද අල්ලාගත් ගන්නට ලන්දේසීන් සමත්වූයේ සිහලුන් හිතාමතාම උපක්‍රමශීලීව නගරය අතර හැර, නගරයේ සියලුම වටිනා දෑද සමග කඳුකරයට පලාගිය නිසාය.

ඉන්පසු ලන්දේසි හමුදාවට වෙරළබඩ සිට එන සැපයුම් හා පණිවුඩ හුවමාරු ජාලයට පහරදුන් උඩරැටියන් නිරන්තරයෙන් මහනුවර රැකවල්ලාගෙන සිටින ලන්දේසි බලමුලුවලටද ප්‍රහාර එල්ල කලහ. මාස නවයක් මහනුවර නගරය අල්ලාගෙන සිටි ලන්දේසීන්ට මේ සඳහා ඔවුන්ගේ 8000ක හමුදාවෙන් 4000කගේම ජීවිත පූජාකරන්නට සිදුවිය.

සයමසක් ගතවන විට නුවර අල්ලාගෙන සිටින ලන්දේසි හමුදාවන්ට ආහාර හා බෙහෙත් හිඟවන්නට වූ අතර රෝගී තත්වයන්ගෙන්ද දැඩිලෙස පීඩා විඳින්නට සිදුවිය. අවසන් මාස තුනේදී කොළඹ සමග කිසිම පණිවුඩ හුවමාරුවක් සිදුකරගැනීමට බැරිවන තරමට උඩරැටියන් ලන්දේසි පණිවුඩ හුවමාරුව විනාශකොට තිබුණි.

අවසානයේ ගමන්කල නොහැකි ලෙඩුන් හා ආබාධිතයින් පල්ලිවල හා රෝහල්වල අතහැර පසුබසින්නට ලන්දේසි අණදෙන නිළධාරියාවූ මේජර් ෆර්කානාට සිදුවිය. පලායන ලන්දේසීන් ලුහුබැඳ ගිය සිහලුන් ඔවුන් දැඩි හානි සිදුකල අතර මහනුවර අතහැර දමාගිය ලන්දේසි හා විදෙස් සෙබලු සියල්ලටම මරණය හිමිවිය. අවසානයේ ලන්දේසි හමුදාවෙන් කොළඹට සේන්දුවූයේ ඉතා සුළුපිරිසකි.

වසර 143ක් මුහුදුබඩ පෙදෙස් පාලනය කල ලන්දේසීන් 1796දී පලවා හැරීමට උඩරට රජු ඉංග්‍රීසීන් සමග ගිවිසුමකට එළඹිනි.

ඉංග්‍රීසි ආක්‍රමණය

1796දී ලංකාව අප අතට පත්වූ පසුවත් කන්ද උඩරට යුද්ධයකට යාමේ නරක ප්‍රතිවිපාක එලෙසම තිබුණි. අප සිදුකල සටන්වල අවාසනාවන්ත ප්‍රතිපල ඊට නිදසුන්ය. උඩරට ආක්‍රමණය කිරීමේදී ආයුධ, පතරොම්, වෙඩිබෙහෙත්, කෑමබීම හා වෙනත් සැපයුම්, බෙහෙත්හෙත් ගෙනයාම සඳහාත් තුවාලකරුවන් හා අතරමගදී රෝගීවන සෙබලුන් යලි කොළඹට ගෙනයාමටත් අතිවිශාල කුලීකරුවන් ප්‍රමාණයක් අවශ්‍ය වීම උඩරට ආක්‍රමණයකදී මගහැරිය නොහැකි දෙයක්. මෙලෙස කුලීකරුවන් සොයාගැනීම ඉතාමත් අපහසුවූ අතර ස්වභාවයෙන්ම අලස සිංහලයා මෙවැනි දුෂ්කර කටයුතු සඳහා පොලොඹවාගැනීම ඉතා අපහසු වුනා.

උදාහරණයක් ලෙස ඉංග්‍රීසි භටයින් 600ක ආක්‍රමණික හමුදාවක් කන්ද උඩරටට යැවීම සඳහා එක් සෙබලෙකුගේ බඩු කරතබාගෙන යාම සඳහා කුලීකරුවන් 4දෙනා බැගින් කුලීකරුවන් 2400ක් උවමනා වනවා. මෙයද දල ගණන්බැලීමක් පමණයි. ඒ අනුව දිනපතා කටවල් 3000කට කෑමබීම සඳහා ආහාර ද්‍රව්‍ය, මෙන්ම ඒවා පිසීමේ උපකරණද ගෙනය යුතුවනවා. මෙය අතිවිශාල බඩුබාහිරාදිය ප්‍රමාණයක් බව අමුතුවෙන් කිවයුතුවන්නේ නෑ.

කුලීකරුවන් කන්ද උඩරට ආක්‍රමණවලට සහභාගීවීමට ඇත්තේ දැඩි අකමැත්තක්. අපගේ පරිපාලණ නිළධාරීන් හරහා අපගේ පාලනයේ ඇති පහතරට ගම්වල ගම්පතීන්ට කුලීකරුවන් සොයාදෙන ලෙස පණිවුඩ යැවූ වහාම සිදුවන්නේ එම ගම්වල සිටින පහල කුලවල මිනිසුන් වහාම ගම්මාන අතහැර පලා යෑමයි. සමහරුන් කුලීකරුවන් එකතුකිරීමේ කටයුතු ඉවරවතෙක් කැලෑවේ සැඟවී සිටින අතර සමහරුන් කන්ද උඩරටට පලා යනවා.

බොහෝ ප්‍රමාදවීම් වලින් අනතුරුවත් ඉල්ලූ ගණනින් භාගයක් මිනිසුන් සැපයිමටත් ගම්පතීන් අසමත් වනවා. කුලීකරුවන් නොමැති නිසා කොතෙක් පුහුණුවූ දක්ෂ හමුදාවක් සිටියද, කොතරම් හොඳ සැළසුම් හා හොඳ අවිආයුධ තිබුණද ඉක්මණින් තදබල ප්‍රහාරයක් එල්ලකොට කන්ද උඩරට රජු දැඩිලෙස අඩපණ කිරීමේ හැකියාවක් අපට තිබුණේ නෑ. එමෙන්ම ගම්වලට කුලීකරුවන් ඉල්ලා පණිවුඩ යැවූ සැණින් ගම්වැසියන් පලායන නිසා අප ආක්‍රමණයකට සැරසෙන බවට පණිවුඩය උඩරට රජුට ඉතා ඉක්මණින් ලැබෙන අතර ඔවුන් අප පසුබස්සන්නට හැකි සියල්ලම සිදුකරනවා.

පහතරට දුප්පතුන් අපහමුදාවේ කුලීකාරයන් වන්නට අකමැති වන්නේ ඔවුන්ගේ අලසකම නිසාම නොව, එය සැබැවින්ම දුශ්කර මෙන්ම මාරක රජකාරියක්ද වන නිසායි. අතිවිශාල බරක් ඔවුන් සෑම එකෙකුම කරගසාගෙන යා යුතු අතර ඝණ වනාන්තර මැදින් යන්නට ඇති ගමන දීර්ඝ මෙන්ම දුෂ්කරද වනවා. එමෙන්ම උඩරට සටන්කාමීන් නිතරම කුලීකරුවන් ඉලක්ක කොට වෙඩි ප්‍රහාර එල්ලකර නිසා ඉංග්‍රීසි භටයින්ට වඩා බර කරේ තියාගෙන යන කුලීකරුවන් වෙඩි ප්‍රහාරවලින් කටුක ලෙස මිය ඇදෙනවා. එමෙන්ම තුවාලවුවහොත් ඉංග්‍රීසීන්ගෙන් ඔවුනට එතරම් සැලකිල්ලක් හෝ ප්‍රතිකාර නොලැබෙන බවද ඔවුන් හොඳින් දන්නා අතර උඩරැටියන්ට හසුවුවහොත් ඉංග්‍රීසීන්ට උපකාර කිරීමේ වරදට කෲර මරණයකට ගොදුරුවීමටද ඔවුනට සිදුවනවා.

එමෙන්ම අනුන්ගේ යුද්ධයකට බරකර ගසාගෙන යන ඔවුන්ට ලැබෙන කීර්තියක්, නම්බුනාමයක් හෝ පිලිගැනීමක්ද නෑ. එනිසා පහතරට සිංහලයින් මෙම කුලීකාර සේවාව දැඩිලෙස පිලිකුල් කර අතර බලහත්කාරයෙන් බඳවාගත්තද හැකි ඕනෑම මොහොතක බඩුමුට්ටු බිම දමා පලායන්නට පසුබටවෙන්නේද නෑ. ප්‍රහාරයක් එල්ලවන්නට පටන්ගත් වහාම බඩුමුට්ටු බිම දමා කැලයට පැනගන්නා ඔවුන් නැවත එලියට ගැනීමට ඔවුන්ගේ ගම්මුලාදෑනියාට හෝ නායකටයාට හැකිවන්නේ වෙඩි ප්‍රහාර අවසන් වීමෙන් පසුවයි. ඒ අනුව ප්‍රහාරයකින් පසු නැවත ගමන් ඇරඹීම බොහෝ ප්‍රමාද වනවා.

කුලීකරුවන් නොමැතිව ආක්‍රමණය ඉදිරියට නොයන බව දන්නා උඩරැටියන් නිරන්තරයෙන්ම කුලීකරුවන් සිය ප්‍රහාර සඳහා ඉලක්ක කරගන්නේ ඔවුන්ව පලවා හැරීමට හා නැවත පැමිණීම දුර්මුඛ කරන්නටයි.

Source: http://www.gutenberg.org/files/44408/44408-h/44408-h.htm

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...