Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 4 January 2017

අපේ කෞතුකාගාරයට අවුරුදු 140 යි


























බුද්ධිමය පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා තුළ සහජයෙන්ම පිහිටියා වූ ගවේෂණය හා සංරක්ෂණය කිරීමේ පුරුද්ද නිසා 'කෞතුකාගාර' සංකල්පය ලෝකයට බිහිවන්නට ඇත. බටහිර පුරාවිද්‍යාඥයන්ගේ අදහස කෙබන්දක් වුවද ලංකාවේ ද අෑත අතීතයේ පවා කෞතුකාගාර පැවැති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතියි. වසර දෙදහස් පන්සියයකටත් වඩා අදීන ඉතිහාසයකට උරුමකම් කියන මෙරට ඓතිහාසික ශ්‍රී විභූතිය ලෝකයට කියාපාන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයට වසර එකසිය හතළිහක් පිරීම නිමිත්තෙනි මේ සටහන.

කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ජාතික කෞතුකාගාරය අදින් වසර එකසිය හතළිහකට පෙර එනම් 1877 ජනවාරි මස 01 වැනි දින මහජන ප්‍රදර්ශනයට විවෘත විය. එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ශ්‍රීමත් විලියම් ගේ‍රගරි මහතාගේ යෝජනාවකට අනුව ස්ථාපිත කළ ජාතික කෞතුකාගාරය අදට ද මෙරට ඉතිහාසය හා ජන ජීවිතය පිළිබිඹු කරන අද්විතීය ජාතික සම්පතකි. වර්ෂ 1815දී කන්ද උඩරට ගිවිසුමෙන් මුළු මහත් දිවයිනම ඉංගී්‍රසි ජාතිකයෝ සිය ආධිපත්‍යයට නතු කරගත්හ. අනතුරුව බි්‍රතාන්‍යයේ සිට මෙරටට පැමිණි පාලකයන් මෙන්ම සිවිල් නිලධාරීන්ද ලංකාවේ ඉතිහාසය,  සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් දැක්වූ බව මෙකල ශේෂව ඇති ඇතැම් පතපොත තුළින් පෙනේ. ගේ‍රගරි ආණ්ඩුකාරයාද කෞතුක භාණ්ඩ කෙරෙහි ඉමහත් රුචිකත්වයක් දැක්වූ අයෙකි. ඉතිහාසය සහ කෞතුක භාණ්ඩ කෙරෙහි එතුමා දැක්වූ පෞද්ගලික රුචිකත්වය පසු කලෙක ජාතික කෞතුකාගාරය බිහිවීමට මං පෑදුවේය. මොහු මෙරට ඉතිහාසය හා උරුමය ආරක්ෂා කිරීමට කොතෙක් ඇපකැප වූයේද යත් එකල මිනිසුන් මොහු හැඳින්වූයේ 'ගිරිගෝරිස් රජු' යන අන්වර්ථ නාමයෙනි.

ධවල වර්ණයෙන් කොළොම්පුරය බබළවමින් විරාජමානව සිටින ජාතික කෞතුකාගාරය ලක්දිව ඓතිහාසික, සංස්කෘතික, සමාජීය තොරතුරු කියාපාන ස්වදේශීය අනන්‍යතාවයේ ප්‍රතිමූර්තියක් බඳුය. එය ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස වර්ධනය කරමින් මතු පරපුරට දායාද කිරීම සකල ශ්‍රී ලාංකිකයන්ගේ මාහැඟි වගකීමක් වන්නේය.


1873 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ කෞතුකාගාර ගොඩනැඟිල්ල ඉදිකිරීමට අදාළ යෝජනාව ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව 1874 වර්ෂයේ සිට එහි ඉදිකිරීම් ආරම්භ කොට ඇත. යාපනය ඔරලෝසු කණුව වැනි ස්මරණීය ඉදිකිරීම් සැලසුම් කළ එවකට රජයේ වාස්තු විද්‍යාඥයකු වූ ජේ.ජී. ස්මිදර් මහතා විසින් ඉතාලි ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව යමින් කෞතුකාගාර ගොඩනැඟිල්ලේ සැලැස්ම ඇඳ ඇත. ප්‍රසිද්ධ කෞතුකාගාරයක අවශ්‍යතාව සම්බන්ධයෙන් ආණ්ඩුකාරයාගේ අවධානය යොමු කළ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව ද මෙම ජාතික කාර්යභාරයේදී වෙසෙසින් සිහිපත් කළ යුතුය.


ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතාගේ අවධියේදී මෙසේ ගොඩනැඟුණු කෞතුකාගාරය 'ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව' ලෙස අභිවර්ධනය විය. යාපනය, මහනුවර වැනි ලංකාවේ සෙසු නගර ආශි්‍රතවද කෞතුකාගාර පිහිටුවීම සමඟ 1942 අංක 31 දරන ආඥා පනත මඟින් වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ගොඩනැඟුණි. ප්‍රාරම්භක අවධියේ කෞතුක භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් මහජන ප්‍රදර්ශනයට තැබුවද අද වන විට එය ප්‍රමාණාත්මකව ඉහළ ගොස් ඇත. පාසල් සිසුන්, උසස් අධ්‍යාපනයේ නියැළෙන විද්‍යාර්ථීන්, පර්යේෂකයන් හා දෙස්-විදෙස් සංචාරකයන්ගේ පහසුව පිණිස අද වන විට ජාතික කෞතුකාගාරය විවිධ නිර්ණායක යටතේ වර්ග කොට ඇත. පහත මාලයේ විවිධ රාජ්‍ය යුග පැවැති පිළිවෙළ අනුවද, ඉහළ මාලයේ විෂයානුබද්ධවද කෞතුක භාණ්ඩ රැසක් තැන්පත් කොට ඇත. ලිඛිත ඉතිහාසය ඇරැඹීමට පෙර විසූ ආදි මානවයන්ගේ යුගයේ සිට අනුරාධපුරය, පොළොන්නරුව ආදී වශයෙන් පැවැති රාජධානි යුග අනුව මෙහි කෞතුක භාණ්ඩ රැසක් තැන්පත් කොට ඇත. තොලුවිල බුද්ධ ප්‍රතිමාව, වල්ලිපුරම් රන් සන්නස, පනාකඩුව තඹ සන්නස, ක්‍රි.ව. 6 වැනි සියවසට අයත් අවලෝකිතේශ්වර ප්‍රතිමාව, කොටවෙහෙරින් හමුවූ ඇත් පහන වැනි සුවිශේෂී වූ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර රැසක් ජාතික කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

පළමු මැදිරිය වෙන්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආදි මානවයන් එනම් පූර්ව ශිලා යුගය, මධ්‍යම ශිලා යුගය සහ පසු අවධීන්ට අයත් මානවයන් භාවිත කළ ශිලා මෙවලම්, ආහාර වර්ග සහ ඔවුන්ගේ සුසාන ක්‍රම සහ ඔවුන්ගේ වාසස්‌ථානයන්හි අනුරූ වෙනුවෙනි. ඒ යටතේ පහළ පුරා ශිලා යුගයට අයත් ගල් ආයුධ (ඉරණමඩු ප්‍රදේශයෙන් සහ හම්බන්තොට ප්‍රදේශයෙන් සොයාගත්) දැකිය හැකි අතර, හෝමෝ සේපියන් සේපියන් (බලංගොඩ මානවයා) මානවයා පිළිබඳ තොරතුරු දැනගත හැකි වේ. ඒ ඔස්‌සේ ඔවුන්ගේ ජීවන රටාව පරිභෝජන රටාව සංස්‌කෘතික ක්‍රියාකාරකම් හඳුනාගත හැකි වේ.

ඔවුන් දියුණු තාක්‍ෂණයකට උරුමකම් කී මානව සමූහයක්‌ බව මැනවින් අවබෝධ කර ගත හැකි වේ. ලිත ඉතිහාසයෙන් ඔබ්බට දිව යන අපේ යටගියාවේ අරුමය දැන හැදින ගැනීමට ඔබට මනා පිටිවහලක්‌ පළමු මැදිරි සංකීර්ණය තුළින් ලැබෙනු ඇත.

පහළ මහළයේ දෙවන මැදිරිය අනුරාධපුර යුගයේ (ක්‍රි. පූ. 5-4 සිට ක්‍රි. ව. 1055) කෞතුක භාණ්‌ඩ වෙනුවෙන් වෙන්වී ඇත. පණ්‌ඩුකාභය රජු විසින් අනුරාධපුරය විධිමත් නගරයක්‌ බවට පත් කර සිය පාලන මධ්‍යස්‌ථානය ලෙස සකස්‌ කරගත් බව ඉතිහාසයේ සඳහන් වේ. එතැන් සිට ඇරඹෙන අනුරාධපුර රාජධානි අවධිය ලාංකික ඉතිහාසයේ සුවිශේෂම අවධියකි. ජාතික කෞතුකාගාරයේ අංක දෙක මැදිරිය තුළදී අනුරාධපුර යුගයේ කෘෂි කර්මාන්තය, දේශීය, විදේශීය වෙළෙ¹ම, භාෂාව, සංස්‌කෘතික අංග පිළිබඳ මනා අවබෝධයක්‌ ලබාගත හැකි වේ.

කෘෂිකර්මය සඳහා යොදාගත් උපකරණ ඇසුරින් එකල පැවැති ලෝහ තාක්‍ෂණය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. ඉන්දියාවෙන්, පර්සියාවෙන්, රෝමයෙන්, භාණ්‌ඩ හුවමාරු කරගත් බවට මනා සාධක ලෙස එම රටවල කාසි ලංකාවෙන් හමුවීම දැක්‌විය හැකිය. අනුරාධපුර යුගයේ විදේශීය වෙළෙඳ සබඳතා පිළිබඳ ගවේශනය කරන්නෙකුට ඉහත රටවලින් ගෙන එන ලද භාණ්‌ඩ කොටස්‌ ඔස්‌සේ දුර්ලභ තොරතුරු රැසක්‌ අනාවරණය කරගත හැකිවේ.

අංක දෙක මැදිරිය තුළදී නැරඹිය හැකි සෙසු කෞතුක භාණ්‌ඩ අතර වල්ලිපුරම් රන් සන්නස අවලෝකිsතේශ්වර පිළිමය (ක්‍රි. ව. 6 සියවස) අර්ධනාරි නටේශ්වර (ක්‍රි.ව. 7-8), තාරා දේවියගේ ප්‍රතිමාව (ක්‍රි. ව. 9 සියවස) ආදී පිළිම ප්‍රධාන වේ. මේ ඔස්‌සේ අනුරාධපුර යුගයේ පැවැති ලෝහ තාක්‍ෂණය, සෞන්දර්යවේදය පිළිබඳ තොරතුරු ගවේශනය කළ හැකි වේ. ලක්‌ ඉතිහාසයේ නොමුහුන් සංස්‌කෘතියක්‌ පැවැති යුගය ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතානයන් හඳුන්වන අනුරාධපුර යුගයේ ආර්ථික, සංස්‌කෘතික, තාක්‍ෂණික ස්‌වරූපය පිළිබඳ ගවේශනය කරන්නෙකුට ජාතික කෞතුකාගාරයේ අංක දෙක මැදිරිය ඔස්‌සේ ගැඹුරු ඉම් පෙදෙස්‌ මතු කර ගත හැකිවනු ඇත.

ජාතික කෞතුකාගාරයේ තුන්වන මැදිරිය වෙන්වී ඇත්තේ පොලොන්නරු යුගය වෙනුවෙනි. (ක්‍රි. ව. 1055-1235) අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමග පළමුවන විජයබාහු රජතුමා පොලොන්නරුව රාජධානිය බවට පත්කර ගන්නා ලදී. එතැන් සිට දීර්ඝ කාලයක්‌ පොළොන්නරුව අග නගරය ලෙස පැවති අතර එම යුගයේ සුවිශේෂතා රැසකි. 

ලංකා ඉතිහාසයේ පොලොන්නරු යුගයේ හඳුනාගත හැකි සුවිශේෂම කාරණය වන්නේ අසල්වැසි ඉන්දියාවේ හින්දු සංස්‌කෘතියේ බලපෑම ප්‍රබලව දැකිය හැකි වීමයි. පොළොන්නරුව යුගයේ මිනිසාගේ භෞතික ජීවිතය කෙරෙහි හින්දු සංස්‌කෘතියේ බලපෑම ප්‍රභලව දැකිය හැකිය. ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කලාව කෙරෙන් ඒ බව මනාව පැහැදිලිවේ.

මෙම මැදිරිය තුළ දැකගත හැකි සුවිශේෂ කෞතුක භාණ්‌ඩ අතර පාර්වතී ප්‍රතිමාව (ක්‍රි. ව. 11- 12 සියවස) රන් ආලේපිත සමාධි බුද්ධ ප්‍රතිමාව, දැදිගම කොට වෙහෙරෙන් හමුවී ඇති ඇත් පහන ආදිය දැකිය හැකිය.

දුමින්ද ලක්මාල් - http://www.mawbima.lk/article20161101MB20161231.php?id=3181
විචිත්‍ර වනිගනෙත්ති http://www.divaina.com/2011/01/09/siya13.html




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...