BUSINESS : කොටස් වෙළඳපොල ගැන දැනගන්න

කොටස් වෙළඳපොල (c) Image Credit : Ada Derana via Roar.lk
කොටස් වෙළඳපොල කියන්නේ මොකද්ද?

කොටස් වෙළඳපොල කියන්නේ රටක සීමිත පොදු සමාගම්වල (Public Limited Companies) අයිතිය දැක්වෙන කොටස් හා එම සමාගම් වලින් හා රජය මගින් නිකුත්කරන ණයපත් (Government & Corporate Debt Instruments) මිළදීගැණීම හා විකිණීම කල හැකි වෙළඳ පොළකි.

කොටස් වෙළඳපොල හරහා එහි ලයිස්තුගත සමාගම්වලට (listed PLCs) තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා කොටස් විකිණීම හෝ ණයකර නිකුතුවෙන් ආයෝජකයින්ගෙන් ප්‍රාග්ධනය සපයාගත හැකි අතර ආයෝජකයින්ට තැරැව්කාර සමාගමක් (Stock Brokering Company) හරහා එම කොටස් හෝ ණයකර මිළදීගත හැකිය.

මෙහි මූලස්ථානය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි පිහිටා ඇති අතර එහි ශාඛා මහනුවර, මාතර, කුරුණෑගල, යාපනය සහ මීගමුව යන නගර වල පිහිටා ඇත.

කොටස් වෙළඳපොල නියාමය වන්නේ කොහොමද?

ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (Securities and Exchange Commission of Sri Lanka) මගින් නියාමනය වේ. 1987 අංක 36 දරණ පාර්ලිමේන්තු පනත මගින් සුරැකුම්පත්  හා විනිමය කොමිෂන් සභාව නීතිගත කොට ඇත. මේ පනත 1991, 2003 හා 2009 වසරවලදී සංශෝධනය කොට යාවත්කාලීන කොට ඇත.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ විධිමත්, සාධාරණ සහ පාරදෘශ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළක්‌ ඇති කිරීම සහ පවත්වාගෙන යාමයි. ඒ සඳහා සුරැකුම්පත් වෙළෙඳපොළට සම්බන්ධ නීති රීති සහ විධිවිධාන පැනවීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත් සහ ඒවා කඩකරන්නන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත්ය. ඒ අනුව ලංකා කොටස් වෙළඳපොල, එනම් ව්‍යාපාර වස්තු හුවමාරු වෙළඳපොල නියාමනය කිරීමේ පූර්ණ බළතල සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සතුව ඇත.  

කොළඹ කොටස් වෙළඳපොල නැතහොත් ව්‍යාපාර වස්තු හුවමාරුවේ ඉතිහාසයෙන් බිඳක්..

වර්ෂ 1896 - කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ලෙස ආයතනයක් පිහිටුවාගෙන කොටස් හුවමාරුව ඇරඹීම

වර්ෂ 1904 - කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය ලෙස වෙනස්වීම

වර්ෂ 1985 - කොළඹ සුරැකුම්පත් හුවමාරුව බිහිවීම

වර්ෂ 1986 - කොළඹ සුරැකුම්පත් හුවමාරුව අන්තර්ජාතික සුරැකුම්පත් හුවමාරු ෆෙඩරේෂණයේ සාමාජිකත්වය ලැබීමෙන් ජාත්‍යන්තර පිලිගැනීමට ලක්වීම

වර්ෂ 1987 - අංක 36 සුරැකුම්පත් සභා පණත යටතේ සුරැකුම්පත් වෙළඳපොල හා ප්‍රාග්ධන වෙළඳපොල නියාමනය ස්ථාපනය වීම

වර්ෂ 1990 - කොළඹ සුරැකුම්පත් හුවමාරුව, කොළඹ ව්‍යාපාරවස්තු හුවමාරුව ලෙස ජාත්‍යන්තර සම්මතයට අනුව නම් වෙනස්වීම.

වර්ෂ 1991 - කොටස් ගණුදෙනු පහසුකරන මධ්‍යම තැම්පතු ක්‍රමය (Central Depository System) බිහිකිරීම හා ඒ අනුව කොටස් ගණුදෙනු නිෂ්කාශනය ස්ව්‍යංක්‍රීය කරවීම

වර්ෂ 1996 - කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ශත සංවස්තරය සැමරීම

ව්‍යාපාරයක කොටස් (Company Shares) යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?

සමාගමක ප්‍රාග්ධනය සමාන කොටස් වලට බෙදුවහොත් ඉන් එක් පංගුවක් "කොටසක් - share" ලෙස අර්ථදැක්විය හැකිය. උදාහරණයක් ලෙස සමාගමක් කොටස් 100,000 විකිණීමට අදහස් කරන්නේ නම්, ඉන් කොටස් 1000ක් මිළදීගන්නා ආයෝජකයෙක්, එම සමාගමේ මුලු හිමිකාරිත්වයෙන් 1%කට හිමිකම් දරයි.

(1000 /100,000) X 100 = 1%

එම සමාගම කොටසක් විකුණන්නේ රුපියල් 50කට නම්, සමාගමේ මුළු ප්‍රාග්ධනය 50 X 100,000 = රුපියල් 5,000,000 වන අතර, කොටස් 1000ක් මිලදීගන්නා තැනැත්තා රුපියල් 50,000ක් ආයෝජනය කොට සමාගමේ මුළු ප්‍රාග්ධනයෙන් 1% සපයා සමාගමේ මුළු අයිතියෙන් 1%ක ප්‍රමාණයක් හිමිකර ගනී.

එවිට මෙම පුද්ගලයා සමාගමේ shareholder කෙනෙකු හෙවත් කොටස් හිමියෙකු හෙවත් ආංශික අයිතිකරුවෙකු බවට පත්වේ.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ගණුදෙනුවන ව්‍යාපාර වස්තු වර්ග

චන්දබලය සහිත සාමාන්‍ය කොටස් (Ordinary Voting Shares)

1/ මේ කොටස් හිමියා සමාගමේ ආංශික අයිතිකරුවෙකු බවට පත්වේ

2/ සමාගමේ කොටස් හිමියන්ගේ මහා සභාරැස්වීමේදී (annual general meeting of shareholders), සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩළය ඉදිරිපත් කරන යෝජනාවලට චන්දය ප්‍රකාශකොට කැමැත්ත හෝ අකමැත්ත පෙන්වීමේ අයිතිය ලබාගනී.

3/ සමාගමේ වාර්ශික වාර්තාව ලැබීමට හිමිකම් දරයි.

4/ සමාගමේ ලාභාංශවලට හිමිකම් කියයි. එහෙත් ඒ සඳහා විශේෂ අයිතියක් නොළබයි. යම් යම් අවස්ථාවලදී සමාගම ලාභ ලැබූවත් සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ නොගෙවීමට අධ්‍යක්ෂක මණ්ඩළය තීරණය කරන්නට පුලුවන. එමෙන්ම ලාභාංශ ගෙවනවිට, සාමාන්‍ය කොටසකට කොතරම් ගෙවන්නේද යන්න තීරණය කරන්නේද අධ්‍යක්ෂක මණ්ඩළයයි.

5/ සමාගම බංකොලොත්වී ඈවර කිරීමක් (එනම් එහි සියලු සම්පත් විකුණාදැමීමක්) සිදුවන්නේනම්, සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවනු ලබන්නේ සමාගමෙන් මුදල් ලැබිය යුතු අනෙක් සියළුම පාර්ෂවවලට ගෙවා අවසන්වීමෙන් පසුවයි. එවිට එවිට සාමාන්‍ය කොටස් හිමියන්ට ආයෝජනය කල මුදල පවා ආපසු නොලැබීයාමේ අවදානමක් ඇත. මෙය කොටස්වල ආයෝජනය කරන කොටස්හිමියන් දැරිය යුතු පොදු අවදානමකි.

චන්දබලය රහිත (නිෂ්ඡන්ද) කොටස් (Ordinary non voting shares)

1/ මේ කොටස් හිමියන්ට චන්දය ප්‍රකාශකිරීමේ අයිතිය නොලැබේ. 

2/ සාමාන්‍ය කොටස් හිමියන්ට ලැබෙන අන් සියලු අයිතිවාසිකම් ලැබෙන අතර, ඔවුන් දරන සියලු වගකීම් හා අවදානම් දැරිය යුතුය.

වරණීය කොටස් (Preference shares)

වරණීය කොටස් හිමියන් විශේෂ වරප්‍රසාදවලට හිමිකම් කියන අතර සාමාන්‍ය කොටස් හිමියන් දරණ අවදානමට වඩා ඉතා අඩු අවදානමක් දරයි. එබැවින් වරණීය කොටස් හිමියන් සමාගමේ අයිතිකරුවන් එනම් ආංශික හිමිකරුවන් ලෙස නොසලකයි.

1/ කලින් ගිවිසුම්ගත ආකාරයට ස්ථිර ලාභාංශ ප්‍රතිශතයකට හිමිකම් කියයි

2/ සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ නොලැබෙන විටක වුවද ආංශික කොටස් හිමියන්ට ලාභාංශ හිමිවිය හැකිය.

3/ සමාගම් ඈවර කිරීමකදී වුව ආංශික කොටස් හිමියන්ට සාමාන්‍ය කොටස් හිමියන්ට පෙර ගෙවීම් සිදුකරයි.

කොටස් බළපත්‍ර (Share warrants)

අනාගතයේ යම් දිනක, නිෂ්චිත මිළකට සමාගමේ කොටස් මිළදී ගැනීමේ අයිතිය ලබාදෙමින් වර්තමානයේ නිකුත්කරන ලියවිල්ලකට කොටස් බළපත්‍රයක් යයි කියයි. මේවාද සාමාන්‍ය කොටස් මෙන්ම ව්‍යාපාර වස්තු හුවමාරුවේ ගණුදෙනු කල හැකිය.

කොටස් බලපත්‍රයකට වළංගු කාළසීමාවක් ඇති අතර, එම දිනට පෙර එය ක්‍රියාත්මක කල යුතුය. මේවා බොහෝවිට ණයකර නිකුතුවලදී, එම ණයකරවල ආකර්ෂණීයභාවය වඩාත් වැඩිකොට, ආයෝජකයින් ඇදගැනීමට භාවිතා කරයි.

බළපත්‍රයේ සඳහන් මිලට වඩා, කොටස් වෙළඳපොලේ, එම කොටසක මිළ වැඩිනම්, කොටස් බළපත්‍රලාභියාට වාසි වන්නේ, ඉහල මිලකට අලෙවිවන කොටසක්, අඩු මිළකට ලබාගැනීමේ අවස්ථාව ලැබෙන නිසාය.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සමාගම් ලයිස්තුගත කල හැකි පුවරු (Boards where listed companies can get enlistment) 

CSE Main Board - ප්‍රධාන පුවරුව

මෙහි ලයිස්තුගතවීම සඳහා සමාගමකට පහත කොන්දේසි සැපිරීමට සිදුවනු ඇත.

1/ ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.මිලියන 500කට වැඩිවීම

2/ නොකඩවා පිට පිට තුන්වසරක් ලාභ ලබා තිබීම

3/ පිට පිට වසර දෙකක් ධනාත්මක ශුද්ධ වත්කම් (net assets) තිබීම
Net Assets = Total Assets-(Total Liabilities + Preferred Stock)

4/ සමාගමේ නිකුත්කල ප්‍රාග්ධනයෙන් 25% මහජනතාවට කොටස් ලෙස විකුණා තිබීම හා අවම කොටස් 100ක් හිමි කොටස් හිමියන් 1000කට නොඅඩු සංඛ්‍යාවක් සිටීම

දැනට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ සමාගම් 170ක් ලයිස්තුගත වී ඇත.

CSE Dirisavi Board - දිරිසවි පුවරුව

දිරිසවි පුවරුවේ ලයිස්තුගතවීම සඳහා පහත කොන්දේසි සපුරා තිබිය යුතුය

1/ ප්‍රකාශකල ප්‍රාග්ධනය (stated capital) රු.මිලියන 100කට වැඩිවීම

2/ ඉල්ලුම් කරන වසරට පෙර වසරෙහි ධන ශුද්ධ වත්කම් තිබීම

3/ සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 10% මහජනතාවට නිකුත්කොට තිබීම හා එය අවම වශයෙන් කොටස් හිමියන් 200ක් අතර බෙදීගොස් තිබීම.

4/ මූලික මහජන නිකුතුවකින් (Initial Public Offering - IPO) තොරව දිරිසවි පුවරුවේ ලයිස්තුගතවීමට අදහස් කරන සමාගමක්, සිය නිකුත්කල ප්‍රාග්ධනයෙන් (issued capital) 50%ක් ප්‍රධාන කොටස් හිමියන් 3 දෙනෙකුට වඩා වැඩි පිරිසක් අතර බෙදීගොස් ඇති බව තහවුරුකල යුතුය.

අසාදු ලයිස්තු

අසාදු ලයිස්තු යනු, විවිධ කොටස් වෙළඳපොල කොන්දේසි හා නීතිරීති කඩ කිරීම නිසා, ප්‍රධාන පුවරුවෙන් හා දිරිසවි පුවරුවෙන් ඉවත්කල සමාගම් ඇතුලත් කරන ලයිස්තු වර්ගයි. මෙවැනි ලයිස්තු 3ක් ඇත.

Watch List ලයිස්තුව - මෙහි ඇතුලත් වන්නේ ව්‍යාපාර ව්‍යාපාර පාලන කොන්දේසී (corporate governance regulations of CSE/SEC) කඩකල සමාගම්, මූල්‍ය වාර්තා හා වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකල සමාගම්, විගණනය කල ගිණුම්වල දෝෂ ඇති සමාගම් ආදියයි.

Dealings Suspended ලයිස්තුවතාවකාලිකව ගණුදෙනු වලක්වා ඇති සමාගම්

Trading Suspended ලයිස්තුවකොන්දේසි සපුරණ තෙක් අඛණ්ඩව කොටස් ගණුදෙනු වලක්වා ඇති සමාගම්. මෙය වඩාත් තදබල වරදවල් සිදුකල ඇති සමාගම් ලයිස්තුගත කිරීමකි.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. බොහොම ස්තූතියි විස්තරයට. කොළඹ කොටස් වෙළඳපොලේ ඉන් සයිඩර් ට්‍රේඩිං වැනි අක්‍රමිකතා බහුලයි කියල ලිපියක කියෙව්ව. ඇත්ත නැත්ත දන්නෙ නෑ ... රාජ් රාජරත්නම්වත් මතක් වුණා 🙂

    ReplyDelete

Post a Comment