US Government orders OpenAI not to release GPT 5.6 to public | GPT 5.6 එළියට දාන්න එපා! ඇමරිකානු රජයෙන් OpenAI එකට නියෝගයක්
Posted by
Terence Kahapola Arachchi
- Get link
- X
- Other Apps
US Government orders OpenAI not to release GPT 5.6 to public | GPT 5.6 එළියට දාන්න එපා! ඇමරිකානු රජයෙන් OpenAI එකට නියෝගයක්
එක්සත් ජනපද රජය විසින් OpenAI ආයතනය වෙත නිල දැනුම්දීමක් කරමින්, ඔවුන්ගේ ඉදිරි තාක්ෂණික නිර්මාණය වන GPT-5.6 මහජනතාව සඳහා මුදාහැරීම ප්‍රමාද කරන ලෙසත්, එය අදියර කිහිපයක් යටතේ සිදුකරන ලෙසත් තදබල ඉල්ලීමක් කර තිබෙනවා. මෙය ඉල්ලීමටකට වඩ නියෝගයක් බවයි නිරීක්ෂකයින් පවසන්නේ.
ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂණ ගැටළු පදනම් කරගනිමින් ගෙන ඇති මෙම තීරණය, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකන් රජයේ දැඩිවන ප්‍රතිපත්තිය පෙන්වනවා.
මෙම තත්ත්වය තුළ ඉස්මතු වන ප්‍රධාන මෙහෙයුම් වෙනස්කම් කිහිපයක් දකින්නට ලැබෙනවා.
1. රජයේ මැදිහත්වීම සහිත නිකුතු ක්‍රියාවලිය
මෙතෙක් පැවති ආකාරයට පුළුල් මහජන නිකුතුවක් සිදුකරනවා වෙනුවට, සීමිත "පෙරදසුන් කාලසීමාවක්" (Preview period) හඳුන්වා දීමට OpenAI තීරණය කර ඇත. OpenAI ප්‍රධානී Sam Altman විසින් නිකුත් කළ අභ්‍යන්තර ලිපියකට අනුව, ධවල මන්දිරයේ ජාතික සයිබර් අධ්‍යක්ෂක කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලය මෙම නිකුතු අනුක්‍රමය පාලනය කරනු ඇත.
මේ අනුව, ආරම්භක අවධියේදී විශ්වාසවන්ත ව්‍යාපාරික හවුල්කරුවන් 20 දෙනෙකු පමණක් තෝරාගෙන, ඔවුන්ට ප්‍රවේශය ලබාදීම රජයේ සෘජු අනුමැතියට යටත්ව සිදු කෙරේ.
2. සයිබර් ආරක්ෂාව සහ තාක්ෂණික අවදානම්
මෙම දැඩි මැදිහත්වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ GPT-5.6 සතු උසස් බුද්ධිමය හැකියාවන් පිළිබඳව පවතින බියයි. විශේෂයෙන්ම, මෙම මාදිලියේ ඇති ඉහළ මට්ටමේ තර්කන හැකියාව (reasoning capabilities) සයිබර් ආරක්ෂණ පද්ධති බිඳ දැමීමට හෝ රටේ තීරණාත්මක යටිතල පහසුකම් කඩාකප්පල් කිරීමට භාවිත කළ හැකි බවට බලධාරීහු සැක පළ කරනවා. තවද, මෙම තාක්ෂණය චීනය වැනි භූ-දේශපාලනික ප්‍රතිවාදීන් අතට පත්වීමේ අවදානමද මෙයට බලපා තිබෙනවා.
3. ප්‍රභල AI මාදිලි කෙරෙහි එල්ලවන රජයේ දැඩි නියාමනය
මෙය හුදකලා සිදුවීමක් නොවේ. නවීන AI මාදිලි ඉලක්ක කරගනිමින් නිකුත් කළ විධායක නියෝගවල දිගුවක් ලෙස මෙය දකින්නට පුලුවන්.
මීට පෙර, Anthropic ආයතනයේ උසස්ම AI මාදිලි දෙකක් වන Mythos 5 සහ Fable 5 සඳහා විදේශිකයන්ට පවතින ප්‍රවේශය අත්හිටුවන ලෙස රජය නියෝග කිරීම සිදුවුනා. ඇමරිකාවේ ජීවත්වන දිගුකාලීන වීසා ඇති තාක්ෂණවේදීනට පවා මෙම තහනම බලපා තිබෙනවා. උදාහරණයක් ලෙස ඇන්ත්‍රොපික් සමාගමේම සේවය කරන අන්ඩ්‍රෙජ් කාපාර්තෙටද මිතෝස් 5 භාවිතය තහනම් බවයි පැවසෙන්නේ.
මෙම සිදුවීම් මාලාවෙන් පැහැදිලි වන්නේ, කෘත්‍රිම බුද්ධියේ දියුණුව හමුවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා රජයන් සහ තාක්ෂණික සමාගම් අතර පවතින සහයෝගීතාවය සහ ගැටුම ඉදිරියේදී වඩාත් තීව්‍ර වනු ඇති බවයි.

Comments
Post a Comment