එක්සත් ජනපද හමුදාව වසර 50 ක් පර්යේෂණාගාර මට්ටමෙන් පවත්වාගෙන ගිය ලේසර් ආයුධ ව්යාපෘතිය සක්රීය මෙහෙයුම් සඳහා යොදාගැනීමට පටන්ගෙන තිබෙනවා. සැප්තැම්බර් 24 වනදා යුද්ධ දෙපාර්තමේන්තුව (War Department) නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට තහවුරු කළේ, ඉරාන පාලන තන්ත්රයේ හමුදා මෙවලම් විනාශ කිරීම සඳහා හෝමුස් සමුද්ර සන්ධිය තුළ අධි-ශක්ති ලේසර් ආයුධ යොදවා ඇති බවයි. "මිසයිල වැනි අධික පිරිවැයක් දරන සාම්ප්රදායික ආයුධවලට වඩා ඉතා අඩු පිරිවැයකින් ඩ්රෝන සහ එල්ල වන කෲස් මිසයිල බිම හෙළීමට" මේ හරහා හැකියාව ලැබී තිබෙනවා. එසේම, මෙක්සිකානු මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගේ ඩ්රෝන යානා ඉලක්ක කර ගනිමින්, දකුණු දේශසීමා ඒකාබද්ධ කාර්ය සාධක බලකාය විසිනුත් මේ හා සමාන පද්ධති පරීක්ෂාවට ලක්කර ඇති අතර, මේ වන විට අවම වශයෙන් ඩ්රෝන 11 ක් වත් බිම හෙළා තිබෙනවා.
දැනට ප්රධාන වශයෙන්ම භාවිත කෙරෙන්නේ යුධ නැව් මත සවිකළ 'HELIOS' (High-Energy Laser with Integrated Optical Dazzler and Surveillance) පද්ධතියයි. කිලෝවොට් 60 ක ශක්තියකින් යුතු මෙම ආයුධය මඟින් ඉලක්කය අධික ලෙස රත් වන තෙක් ෆෝටෝන කිරණ එල්ල කරන අතර, ඩ්රෝන යානාවල සංවේදක අක්රිය කිරීම සඳහා අඩු බලයකින් යුතු 'ඩැස්ලර්' (Dazzlers) පද්ධතිද යොදාගනු ලබනවා.
![]() |
| Modified X-Box Style Controller used in HELIOS Laser Weapon by US Navy |
මෙම භාවිතය විශේෂයෙන්ම අවධානයට ලක්වීමට හේතුවී ඇත්තේ එහි පාලන ක්රමවේදය සරල එකක් වීමයි. මෙහිදී ලේසර් ආයුධ ක්රියාත්මක කරනු ලබන්නේ වෙනස්කම් කිහිපයක් සිදු කරන ලද X-Box වීඩියෝ ක්රීඩා පාලක (controllers) මඟින් සෙබළුන් විසිනුයි.
වෙළෙඳපොළේ ඇති මෙම ගේම්පෑඩ් (gamepads) භාවිත කිරීමෙන් පුහුණු කාලය සැලකිය යුතු ලෙස අඩු වන බව වටහාගත් හමුදාව, වසර ගණනාවකට පෙර සිටම මෙම සැලසුම තෝරාගනු ලැබුවා. පෙන්ටගනය පවසන්නේ "හොඳම game controller format කුමක්දැයි වීඩියෝ ක්රීඩා කර්මාන්තය දැනටමත් සොයාගෙන ඇති බැවින්, එක්සත් ජනපද හමුදාව අලුතෙන් ඒ ගැන සිතීමට අවශ්යතාවයක් නැති බවයි. හමුදාවට බැඳෙන බොහෝ තරුණ තරුණියන් පරිගණක ක්රීඩාවල නියැලී තිබෙන අතර මෙම කොන්ට්රෝලර් යන්ත්ර ඔවුන්ට ඉතාමත් හුරුපුරුදුයි.".
2026 ජූනි 23 වනදා 'වයිට් සැන්ඩ්ස්' (White Sands) මිසයිල පරීක්ෂණ පරිශ්රයේදී ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සහ නියෝජ්ය ලේකම් එමිල් මයිකල් (Emil Michael) ඉදිරියේ කිලෝවොට් 20 සිට 300 දක්වා වූ සක්රීය ලේසර් පද්ධති පහක් මඟින් ඉලක්ක වෙත වෙඩි තැබූ අවස්ථාවේදී මෙම භාවිතයේ ඇති පහසුව පැහැදිලිවම දැකගත හැකි වුණා.
තවද, තමන්ගේ ධුර කාලය තුළ ක්රියාකාරී ආරක්ෂක ලේකම්වරයෙකු සක්රීය ලේසර් ප්රහාරයක් ප්රසිද්ධියේ නිරීක්ෂණය කළ ප්රථම අවස්ථාව ලෙස මෙය සලකනු ලබන අතර, එහිදී ආරක්ෂක ලේකම් හෙග්සෙත් මහතාටද මිනිත්තු කිහිපයක පුහුණුවකින් පසුව පාලකය අතට ගෙන ඩ්රෝන යානයක් බිම හෙළීමට හැකියාව ලැබුණා.
No Red Beams like in the movies
මෙම ලේසර් කිරණ පියවි ඇසට නොපෙනෙන අතර, ඒවා දැකගත හැක්කේ අධෝරක්ත (infrared) ආලෝකය යටතේ පමණයි. එමෙන්ම, සිනමාපටවල පෙනෙන විද්යුත් ප්රහාර මෙන් නොව, මෙමඟින් සිදුවන්නේ ඉලක්කයේ ඇති සංවේදක අක්රිය කිරීමට හෝ එය පුපුරා යාමට/දියවී යාමට සැලැස්වීම සඳහා යම් තත්පර ගණනක "රඳවා ගැනීමේ කාලයක්" (dwell time) එක එල්ලේ ආලෝක කිරණ එල්ල කිරීමයි.
මෙම තාක්ෂණික හැකියාව, ඇමරිකන් යුධ දෙපාර්ථමේන්තුවේ 'ගෝල්ඩන් ඩෝම්' (Golden Dome) දේශීය මිසයිල ආරක්ෂණ වැඩසටහන සමඟ කෙළින්ම සම්බන්ධ කර තිබෙනවා. 'වයිට් සැන්ඩ්ස්' හි පැවැති පරීක්ෂණය එහි පළමු සංධිස්ථානය ලෙස හඳුන්වනු ලැබූ අතර, 2027 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාව මඟින් 'ගෝල්ඩන් ඩෝම්' හි සක්රීය ලේසර් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන්ම ඩොලර් මිලියන 452 ක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම, ක්රූස් මිසයිල විනාශ කළ හැකි කිලෝවොට් 150 ක 'ඒකාබද්ධ ලේසර් ආයුධ පද්ධතියක්' වෙනුවෙන් වසර පහක් ඇතුළත ඩොලර් මිලියන 676 ක් වැය කිරීමට යුද හමුදාව සහ නාවික හමුදාව සැලසුම් කරමින් සිටිනවා. මෙම පද්ධති සැකසුම තුළ, මුලික අනතුරු ඇඟවීම් සහ ඉලක්ක හඳුනාගැනීම් එක්සත් ජනපද චන්ද්රිකා මඟින් සිදුකරන අතර, අඩු පිරිවැයකින් යුතු, අසීමිත ප්රහාරක ධාරිතාවකින් හෙබි ලේසර් ආයුධ මඟින් අවසාන විනාශකාරී ප්රහාරය එල්ල කරනු ලබනවා. ඩොලර් 500 ඩ්රෝන යානයක් බිම හෙළීමට ඩොලර් 900,000ක මිසයිලයක් භාවිතා කරන්නට සිදුවූ පැරණි, අවාසිදායක ආර්ථික සමීකරණය මෙයින් උඩුයටිකුරු කෙරෙනවා.

Comments
Post a Comment